වෙබ් ලිපිනය:

Friday, March 5, 2021

අන්තවාද හා භක්තිවාද


මනෝරාජික සමාජවාදය ගැන දිගින් දිගටම ලියන්න අදහසක් තිබුණේ නැහැ. මම මේ වියුණුව පටන් ගත් තැන සිට සමාජවාදය ලෙස හැඳින්වූවේත්, විවේචනය කළේත් මාක්ස් හා එංගල්ස්ගෙන් පටන් ගත් විද්‍යාත්මක සමාජවාදය ලෙස පොදුවේ හැඳින්වෙන දැනුම් සම්ප්‍රදායයි. මම හිතන විදිහට නිදහසට පෙර හා නිදහසින් පසුව ලංකාවේ කිසියම් දේශපාලන බලයක් තිබුණු, සමාජවාදීන් ලෙස පෙනී සිටි හැම දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක්ම වගේ පෙනී සිටියේ විද්‍යාත්මක සමාජවාදය වෙනුවෙන්.

විද්‍යාත්මක සමාජවාදය ගොඩ නැගුනේ ඊට පෙර ජීවත් වූ මනෝරාජික සමාජවාදීන්ගේ අදහස් මත පදනම්ව හා මනෝරාජික සමාජවාදය තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කරමින්. තමන් සමාජවාදියෙක් ලෙස තේරුමක් ඇතිව හඳුන්වා ගන්නා ඕනෑම කෙනෙක් (88/89 කාලයේ සිටි ගල්කටස් සමාජවාදීන් හා දැන් දැකිය හැකි ඇතැම් ෆේස්බුක් සමාජවාදීන් හැර) ඔය දෙකේ වෙනස පැහැදිලිව දන්නවා කියා හිතන නිසාත්, සමාජවාදයට තේරුමක් ඇතුව හෝ නැතුව විරුද්ධ ගොඩක් අය ඔය වෙනසට එතරම් සංවේදී නැති නිසාත්, අන්තර්ජාලයේ ඕනෑ තරම් තොරතුරු තිබෙන නිසාත් මනෝරාජිකයෙන් විද්‍යාත්මක සමාජවාදයට සිදු වූ පරිණාමය හෝ පිම්ම ගැන විස්තර කරන්න මම වචන නාස්ති කරන්නේ නැහැ.

මනෝරාජික සමාජවාදය විවේචනය නොකර විද්‍යාත්මක සමාජවාදය පමණක් දිගටම විවේචනය කළේ මනෝරාජික සමාජවාදය වඩා සාධනීය ලෙස සැලකූ නිසා නෙමෙයි. මාක්ස්ගෙන් පසුව මනෝරාජික සමාජවාදය තීරණාත්මක ලෙස පරාජය වෙලා අවසන් කියා බොහෝ සමාජවාදීන් විසින් හිතන නිසයි. ඔය ගැන ලියන්න ගියානම් ඕනෑම මාක්ස්වාදියෙක් "ඉතිං ඔය ටික මාක්ස් පැහැදිලි කරලා දැන් කොච්චර කල්ද?" කියලා අනික් අතට අහනවා. කතාවත් ඇත්ත. 

කලින් ලිපියේ සඳහන් කළ පරිදි මනෝරාජික සමාජවාදය වෙත තරමකින් හෝ අවධානය යොමු කළේ අජිත් ධර්මා නිසා. මේ පාරේ වැඩි දුර යන්න හිතා ගෙන නොහිටියත් අජිත්ගේ අලුත් ලිපියකට වැටී තිබුණු කමෙන්ට් එකක් නිසා තව ටිකක් දුරට යන්න තීරණය කළා.  "Who Must Not Be Named" කෙනෙකුගේ කමෙන්ට් එකක් කියා කියන්න අවශ්‍ය නැහැ. අපේ බ්ලොග් හිතවතෙක් වන D.G.M බස්සාගේ කමෙන්ට් එකක්.

"මනෝරාජික සමාජවාදය කියන වචනෙ මුලින්ම ඇහුවෙ ඔබෙන්, ඒත් අපට "ලිබරල් ආට්ස්" උගන්වපු ආචාර්‍යවරයෙක්, වරක් මෙසේ කිව්වා " සමහරවිට මාක්ස්ට වැරදුනේ නැති වෙන්නෙ පුළුවන්, මාක්ස් කිව්වෙ "පූර්ණ සමාජවාදී සමාජයක් බිහිවන්නේ ධනවාදය හරහාය", ලෙනින් "ජම්ප් ද ගන්" කියලාය.

පූර්ණ සමාජවාදය වගේම "දාස් කැප්ටාල්" වන්දනාවත්, "Who Must Not Be Named" ගේ ධනවාදී භක්තිය තරම්ම අන්තවාදීයි කියල හිතෙන්නෙ මට විතරමද? කෙසේ වුනත්, ඇමරිකාවේ මනෝරාජික සමාජවාදී කොලනිවල අසාර්ථකත්වය පිළිබඳව ඔහු ගෙන එන තර්ක ලේසියෙන් අහක දැමිය නොහැකියි."

ඔය කමෙන්ට් එකේ ලියා තිබෙන පරිදි ලෙනින්ට මිස මාක්ස්ට වැරදුනේ නැති බව අජිත් ධර්මා විසින්ද ඉදිරිපත් කර තිබුණු අදහසක්. මම හිතන්නේ මම මෙය ඔහුට පැහැදිලි කළා. 88/89න් පසුව මම හිතාගෙන හිටියේ වැරදුනේ ජවිපෙට මිසක් මාක්ස්ට හෝ ලෙනින්ට නොවන බවයි. වැරැද්ද ජවිපෙ වැරැද්දක් නොව මාක්ස්ගේ ඉඳන්ම එන උරුමයක් කියන එක පැහැදිලි වුනේ ජවිපෙ වැරැද්ද හොයන්න යාමේදීයි. එහෙම නැත්නම් ගිහින් නවතින්නේ විකොස වගේ තැනක.

මේ ගැන විස්තරාත්මක ලිපියක් වෙනම ලියන්න හිටියත් දැන් ඒ වැඩේ කල් දාලා බස්සාගේ ප්‍රතිචාරය ඔස්සේ ඉදිරියට යන්න වෙනවා. මනෝරාජික කියන නමින්ම කියනවා වගේ මනෝරාජික අදහස් කියන්නේ නිශ්චිත තාර්කික පදනමක් නැති මිනිස්සුන්ගේ හිතළු. ගලිවර්ගේ චාරිකා වලදී හමු වුනු රටවල් හෝ ඇලිස්ගේ විස්මලන්තය ඇත්තටම තිබිය හැකියි කියා කවුරුවත් හිතනවායැයි මම හිතන්නේ නැහැ. මනෝරාජික සමාජවාදී අදහස් කියා කියන්නේත් ඔය වගේ හිතළු මත පදනම් වූ විවිධ මිනිසුන්ගේ අදහස් සමූහයකට කියන පොදු නමක්. 

අජිත්ගේ අලුත් ලිපියේ (ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය) මෙවැනි අර්ථදැක්වීමක් තිබෙනවා.

"මනෝරාජික සමාජවාදීන් යනු දියුණු ධනවාදයෙන් පසු කොමියුනිස්ට්වාදී හෙවත් පූර්ණ  සමාජවාදී සමාජයක් එළඹෙන්නේය යන විශ්වාසයෙන් කටයුතු කරන්නෝ වෙති. ඔවුන් පන්ති අරගලයකින් බලය ලැබීමේ අවශ්‍යතාවයක් නැති බවට ද විශ්වාස කරති."

ඔය අර්ථදැක්වීම ගැන හෝ පොදුවේ අජිත්ගේ ලිපියේ තිබෙන කරුණු ගැන මට එතරම් ප්‍රශ්නයක් නැහැ.

මනෝරාජික සමාජවාදය කියන එක විද්‍යාත්මක සමාජවාදය මෙන් පොදුවේ අරගෙන විවේචනය කරන්න හෝ සාකච්ඡා කරන්න බැහැ. ඒ වගේම දියුණු ධනවාදයෙන් පසු කොමියුනිස්ට්වාදී හෙවත් පූර්ණ සමාජවාදී සමාජයක් බිහිවන්නේ කොහොමද කියන එක පිළිබඳවද විවිධ අදහස් තියෙන්න පුළුවන්.

මේ හේතු නිසා මම අජිත් ධර්මාගෙන් පහත ප්‍රශ්න දෙක ඇහුවා. 

"මනෝරාජික සමාජවාදය පොදුවේ ගත්තහම මිනිස්සුන්ට තිබිය හැකි වෙනස් අදහස් සමූහයක් අතරින් තවත් එක් අදහසක් පමණයි. අජිත්ගේ මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද? අජිත් කවුරු හෝ නිශ්චිත මනෝරාජික සමාජවාදියෙකු කියන දේ විශ්වාස කරනවානම් ඒ කවුද?"

පළමු ප්‍රශ්නයට අජිත් විසින් මෙතෙක් පැහැදිලිව පිළිතුරු දී නැහැ. සමහර විට පිළිතුරක් පසුව දෙන්න ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට අළුත් ලිපිය ඇතුළේ තියෙන්නේ ඒ පිළිතුර වෙන්න පුළුවන්. 

ඔය ප්‍රශ්නයට මාක්ස් විසින් පැහැදිලි පිළිතුරක් ලබා දී තිබෙනවා. මාක්ස්ගේ පිළිතුර නොපිළිගනිමින් අනාගත පූර්ණ සමාජවාදී සමාජයක් ගැන කතා කරන්නනම් විකල්ප ප්‍රවාදයක් අවශ්‍ය වෙනවා. අජිත්ගේ පිළිතුර කුමක්ද කියා මම තවම දන්නේ නැහැ. එවැනි නිශ්චිත පිළිතුරක් තිබෙනවාද කියා මම දන්නේත් නැහැ. ඉහත අජිත්ගේ අර්ථදැක්වීම අනුවනම් එය විශ්වාසයක් පමණයි. එයත් පිළිගත හැකි පිළිතුරක්. විශ්වාස වලට පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ. දෙවන ප්‍රශ්නයට අජිත් විසින් පැහැදිලිව පිළිතුරු දී තිබෙනවා.

"එක අදහසක් කියන්නේ ඉතින් එක අවුරුදු ගනනක් තිස්සේ 1700 ගණන් වල සිට ආ අදහස් ගොන්නක්. එක්කෙනක් කියල නැහැ. රොබට් ඔවෙන්, තෝමස් මෝර්, චාල්ස් ෆුරියේ, ක්‍රපොත්කින්, ප්ලෙහනොව් තරමක් දුරට, ටෝල්ස්ටෝයි , ඇලෙක්සැන්ඩර් දුබ්චෙක් වැනි අය තමා."

මෙයින් තෝමස් මෝර් විසින් කළේ ප්‍රබන්ධයක් ප්‍රබන්ධයක් ලෙසම ලියන එක පමණක් නිසා මම ඔහුගේ අදහස් විවේචනය කරන්න යන්නේ නැහැ. එසේ කිරීම ඇලිස් දුටු විස්මලන්තය විවේචනය කරනවා වගේ තේරුමක් නැති වැඩක්. කවුරුවත් ඔහුව බරපතල ගණයේ මනෝරාජික සමාජවාදියෙක් ලෙස සලකනවා කියා මම හිතන්නේ නැහැ. ඔහුගේ ප්‍රබන්ධයෙන් පසුකාලීන මනෝරාජික සමාජවාදීන්ට පෙළඹවීමක් වෙන්න ඇති.

තෝමස් මෝර් මෙන් නොව ඔවෙන් හා ෆුරියේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළේ ප්‍රබන්ධ විදිහට නෙමෙයි. එම අදහස් මත මහ පොළොව මත සමාජවාදී සමාජ ගොඩ නැගුණා. මේ දෙන්නා අතරින්ද වැඩිම බලපෑමක් කළේ ෆුරියේ. ඔහුගේ අදහස් මත ගොඩ නැගුනු පැලන්ස්ටරි 40ක් පමණ ඇමරිකානු භූමිය තුළ පමණක් ගොඩ නැගුනා. බොහෝ ඒවා අවුරුද්දෙන් දෙකෙන් බිඳ වැටුනත් ඇතැම් ඒවා අවුරුදු දහයක් පමණ කාලයක් තිබුණා. ඇමරිකාවෙන් පිටත ෆුරියේගේ මවුරට වූ ප්‍රංශයේ හා යුරෝපයේ තවත් රටවල් ගණනාවකද මේ වගේ පැලන්ස්ටරි විශාල ප්‍රමාණයක් ගොඩ නැගුණා. 

මම දන්නා තරමින් ප්‍රායෝගිකව වැඩිම බලපෑමක් කළ මනෝරාජික සමාජවාදියා ෆුරියේ. ෆුරියේ හෝ ඔවෙන් හැරුණු විට වෙනත් කිසිම මනෝරාජික සමාජවාදියෙකුගේ අදහස් මත ලෝකයේ සමාජවාදී සමාජ බිහි වී නැහැ. ඔවුන් දෙදෙනාගේ අදහස් මත නිදහස් කැමැත්තෙන් බිහි වූ සමාජවාදී සමාජ වසර කිහිපයකට වඩා ස්ථායී ලෙස පැවතී නැහැ.

මෙයින් වෙනස්ව මාක්ස්ගේ විද්‍යාත්මක සමාජවාදය මත පදනම්ව බිහි වූ සමාජවාදී සමාජ ලෝකයෙන් තුනෙන් එකක බිම් ප්‍රදේශයක් වසාගනිමින් සියවසකට ආසන්න කාලයක් ස්ථායී ලෙස පැවතුනා. උතුරු කොරියාව වැනි රටවල තවමත් තිබෙනවා. (අඩු වශයෙන් තිබෙනවා කියා අපි හිතනවා. ගිහින් බලන්න ලේසි නෑනේ!) විද්‍යාත්මක සමාජවාදය කියා කියන්නේත් ෆුරියේ සමාජවාදය වැනිම සුරංගනා කතාවක් බව අද අපට පෙන්වාදිය හැකි නමුත් ඒ වසර 150කට පමණ පසුවයි. දිගුකාලීනව අසාර්ථක වුනත් විද්‍යාත්මක සමාජවාදය මත පදනම් වූ සමාජ ක්‍රමයක් විශාල කාලයක් ස්ථායී ලෙස පැවතිය හැකියි. එයට හේතුව මනෝරාජික සමාජවාදයේ නැති බලහත්කාරයක් විද්‍යාත්මක සමාජවාදය තුළ තිබීමයි.

මම අජිත්ගේ ලිපියෙන්ම කොටසක් උපුටා දක්වන්නම්.

"සැප්තැම්බරයේදී පෙට්‍රොගාඩ් සෝවියට් සභාවේ  බහුතරය වූයේ බෝල්ෂෙවිකයන්  වන අතර ලෙනින් ගේ නායකත්වයෙන් බලය අල්ලා ගැනීම කෙරුනේ නොවැම්බර් හත් වනදාය. ලෙනින්  මේ සඳහා සැරසුනේ  1905 කැරැල්ලේ සිටය. "කළ යුත්තේ කුමක්ද" නමැති පොතින් අදහස් කළ ලෙසින්ම ඔහු ඉතාමත් විනයගරුක කණ්ඩායමක් පක්ෂයක් ලෙස සංවිධානය  කළ අතර 1917 පෙබරවාරි  සිට ලෙනින් රුසියාවට පැමිණි අප්‍රේල් මාසය දක්වා ලෙනින් ගේ කණ්ඩායමේ මුළු රුසියාවේම සිටියේ පනස්දහසකට  අඩු ප්‍රමාණයකි. මුළු රුසියාවේ ජනගහණය මිලියන 90 කට මදක් අඩුවෙනි.  නමුත් ඔවුන් ලෙනින් සිට ගන්නට කීවිට හිට ගන්නටත්, ඉඳ ගන්නට කීවිට හිඳ ගන්නටත් සැදී පැහැදී සිටි හමුදා විනයක් සහිත කණ්ඩායමක් විය. අහසේ යන බැලුමක් මෙන් 1917 ඔක්තෝබර් වන විට රුසියානු අහසේ පාවෙමින් තිබූ බලය ලබා ගත්තේ මේ කණ්ඩායමයි. නමුත් ඒ වන විට ඔවුන් ලක්ෂයක් දක්වා සාමාජික සංඛ්‍යාවකට වැඩි වූ තිබුණි. ප්‍රතිශතයක් වශයෙන් 0.1 පමණය.  (මේ නිසා කලබල සහිත ආර්ථික අවපාත කාලයක 3% ට හෝ දස දහසකට ඔච්චම් කිරීම අවදානම් සහගත බවද සඳහන් කරමි. අවශ්‍ය වන්නේ තීක්ෂණ නායකයෙකු හා අණට කීකරු වන සාමාජිකයන් සංඛ්‍යාවක් පමණකි.)"

මනෝරාජික සමාජවාදය මතවාදී තලයේදී තීරණාත්මක ලෙස පරාජය කළ විද්‍යාත්මක සමාජවාදීන්ගේ අදහස් මත මෙතෙක් ලෝකයේ ගොඩ නැගී තිබෙන හැම සමාජවාදී සමාජයකම ඉහත විස්තර කෙරෙන තත්ත්වය දැකිය හැකියි. මේ සමාජවාදී සමාජ බොහොමයක් ගොඩ නැගී තිබෙන්නේ සුළු පිරිසක් විසින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගෙන එම බලය පවත්වා ගැනීම හරහා. එහෙමත් නැත්නම් මහජන කැමැත්තෙන් ලබාගත් බලය බලහත්කාරයෙන් දිගටම පවත්වා ගැනීම හරහා. හැබැයි මේ වගේ ක්‍රමයකට කාලයක් ස්ථායීව පවතින්න පුළුවන්. මෑතකාලීන ඉතිහාසයේ විශාල කාලයක් පැවතුණේ රාජාණ්ඩු. අවසානයේදී බිඳ වැටුණත් රාජාණ්ඩු කියා කියන්නේත් කාලයක් ස්ථායී ලෙස පැවතිය හැකි ක්‍රමයක්. 

මේ වෙද්දී ලෝකයේ සමාජවාදීන් අතර විශාල බෙදීම් තිබෙනවා. එහෙත් අඩු වශයෙන් ස්ටාලින් වගේ කෙනෙක් වෙනුවෙන් මේ වන විට සමාජවාදීන් කිසිවෙකු පෙනී නොසිටින තරම්. සමහර අය ස්ටාලින්ගෙන් පස්සට ගිහින් ස්ටාලින් වැරදි වුනත් ලෙනින් හරි බව කියනවා. තවත් සමහර අය ලෙනින්ගෙනුත් පස්සට ගිහින් ලෙනින් වරද්දා ගත්තත් මාක්ස් හරි බව කියනවා. විද්‍යාත්මක සමාජවාදය ලෙස වැරදියට හඳුන්වන මතවාදය මාක්ස්ගේ සිටම වැරදියි. දැනටමත් පැහැදිලි කර නැති වැඩි විස්තර අපි පසුවට ඉතිරි කරමු. 

මාක්ස් වැරදිනම් මාක්ස්ට පෙර සිටි විද්‍යාත්මක සමාජවාදීන් නිවැරදිද? මාක්ස් වැරදි වුනත් මනෝරාජික සමාජවාදය පිළිබඳ මාක්ස්ගේ විවේචන වලට පැහැදිලි පදනමක් තිබෙනවා. මාක්ස්වාදය අඩු වශයෙන් බැලූ බැල්මට සුරංගනා කතාවක් නෙමෙයි. එහෙත්, මාක්ස්ට පෙර තිබුනු මනෝරාජික සමාජවාදය සුරංගනා කතාවක් කියන එක ඕනෑම කෙනෙකුට බැලූ බැල්මටම පේනවා. 

මාක්ස්ට පෙර මනෝරාජික සමාජවාදයේ දියුණුම තත්ත්වය ෆුරියේවාදය කියා කියන්න පුළුවන්. මම අජිත්ගෙන් අහපු "මනෝරාජික සමාජවාදය තුළ කොමියුනිස්ට් ක්‍රමයක් අවසානයේදී ඇති වන යාන්ත්‍රනය කුමක්ද?" කියන ප්‍රශ්නයට ෆුරියේ විසින් පැහැදිලි හා ඉතා විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. ඇමරිකාව හා යුරෝපය පුරා පැලන්ස්ටරි විශාල ප්‍රමාණයක් හැදුනේ එම මතවාදය මත පදනම්වයි. 

මාක්ස් විසින් හේගල්ගේ ද්විඝටනාත්මක තර්කනය මත පදනම්ව සමාජ පරිණාමය පිළිබඳ අලුත් ප්‍රවාදයක් හැදුවේ සමාජ පරිණාමය පිළිබඳ ෆුරියේගේ විස්තරාත්මක ප්‍රවාදයට විකල්පයක් විදිහටයි. ඊට පෙර බටහිර ලෝකයේ සැලකිය යුතු පිරිසක් ෆුරියේගේ මනෝරාජික සමාජවාදය පිළිගත්තා. ෆුරියේවාදය ගැන ලියන්න හිතාගෙන පටන් ගත්තත් ලිපිය දිග වැඩියි. එය පසුවට තියමු.

බස්සා කියන අන්තවාදී ධනවාදී භක්තියක් තිබෙන "Who Must Not Be Named" කවුද කියා හොයා ගන්නනම් බැරි වුනා. කවුරු වුනත් ඔය කියන මනුස්සයාත් ඇමරිකාවේ මනෝරාජික සමාජවාදී කොලනිවල අසාර්ථකත්වය පිළිබඳව විස්තර කර තිබෙන බව පෙනෙනවා. සමහර විට සිංහලෙන් ලියන කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. සිංහලෙන් ලියන අය අතරනම් අන්තවාදී ධනවාදී භක්තියක් තිබෙන අය මට කවදාවත්ම හමු වෙලා නැහැ. ඇමරිකාවේදීනම් එවැනි අය හමු වෙනවා. 

උඩම රූපයේ තිබෙන්නේ රොබට් ඔවෙන් විසින් සැලසුම් කළ, හදා නිම කළ නොහැකි වූ උතෝපියාව.

21 comments:

  1. ටර්නිං පොයින්ට් යූඇස්ඒMarch 5, 2021 at 7:37 PM

    ප්‍රපංච..ප්‍රපංච..ප්‍රපංච......

    ReplyDelete
  2. 'උඩම රූපයේ තිබෙන්නේ රොබට් ඔවෙන් විසින් සැලසුම් කළ, හදා නිම කළ නොහැකි වූ උතෝපියාව'


    මහත්තයා ඉතියෝපියාවේද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඉතියෝපියාව සම්බන්ධ වැඩත් කරනවා, ඇනෝ. ඔබ හිතාගෙන ඉන්නේ ලංකාවට සාපේක්ෂව ඉතියෝපියාව මොන වගේ රටක් කියලද?

      Delete
    2. ඉතියෝපියාව කිව්වම සාමාන්‍ය කෙනෙකුට මතක් වෙන්නෙ අප්‍රිකා මහාද්වීපයේ දෙවෙනි වැඩිම ජනගහනයක් ඉන්න රට (නයිජීරියාව ඇරුණම) බව සහ කාලෙකට කලින් එහේ තිබුණ සාගතය.

      නමුත් ඉතියෝපියානු දළ දේශීය නිෂ්පාදිතය ලංකාවෙ ආර්ථිකයට වඩා ටිකක් විතර වැඩි උනත් ඒක පුද්ගල ආදායම සහ අධ්‍යාපන සෞඛ්‍ය සංවර්ධන තත්ත්වයන් ලංකාවට සාපේක්‍ෂව අඩුයි.

      ලංකාවෙ වගේ ශෛලමය පුරා විද්‍යා ත්මක ගොඩනැගිලි සංචාරක ආකර්ෂණය දිනා ගෙන තියෙනවා. රොක් චර්චස් හෙම පට්ට.

      ඉතා ලාභ වුණාට ඉතාමත් රසවත් ප්‍රණීත ඉතියෝපියානු ආහාර වර්ග රස විඳින්න පුළුවන්. විශේෂයෙන් පරිප්පු (lentils) වර්ග රාශියක්, බත් වර්ග කුස් කුස් මස් ඇතුළු රස නහර පිනා යන ආහාර වර්ග රසවිඳිය හැකි වෙයි.

      ඒ වගේම චීන ආධාර උපකාර සමග මේ දවස් වල වේගයෙන් දියුණු වන ඉතියෝපියාවේ ඉදිකර ඇති අදිස් අබාබා අගනුවර එල් ආර් ටී දුම්රිය පද්ධතිය ඉතා හොඳ අත්දැකීමක් වන බව නිසැකයි.

      ඉකොනො ඔබ සංචාරයට කැමති නම් එන්තෝතෝ කන්ද තරණය කිරීම සුදුසුයි. ඒ වගේම එන්තෝතො ස්වභාවික උයන බලන්න යන්න පුළුවන් වෙයි. රොක් කට් ගල් පල්ලි, මෙනගේෂා සුබා වන උයන
      (Menagesha Suba Forest Park), ගුල්ලේලේ උද්භිද උද්‍යානය (Gullele Botanical Garden), ඒ වගේම
      Ras Dashen වගේ තව බලන්න ලස්සන තැන් තියෙනවා ගොඩාරියක්.

      මම ඉතා කැමති ඉතියෝපියානු ගුවන් සේවය ගැන කියනවා නම් Ethiopian Airlines is working towards being worth $25 billion with over 200 aircraft by 2035 කියලා මෑතකදී නිව්ස් එකක් දැක්ක.

      ඒ වගේම It is already Africa's largest, most profitable and fastest growing airline බවත් It currently has a fleet of 128 aircraft and flies to 127 destinations around the world කියලත් කියනවා. කොහොම උනත් ර්වණ්ඩා, කෙන්යා, ඉතියෝපියා වගේ රටවල් වගේම බොහෝමයක් අප්‍රිකා ඉතාමත් වේගයෙන් දියුණු වෙනවා චීනය සමග ඇති දැඩි මිතුරු සබඳතා නිසා. චීනය උත්සාහ කරන්නේ බොහොමයක් ස්වභාවික සම්පත් බහුල අප්‍රිකා රටවල් සංවර්ධනය කර එම වෙළඳ පොළ අල්ලා ගැනීමට. ලෙසොතෝ ඇරුණාම අනික් සේරම අප්‍රිකා රටවල් යුරෝපීය සහ ඇමරිකානු බලපෑම් අමතක කරල විශාල වශයෙන් චීනය දෙසට නැඹුරු වෙලා තියෙන්නේ. ඒ චීනය ඔවුන්ට අවංකව දියුණු වෙන්න උපකාර කරනු ඇතැයි කියන දැඩි විශ්වාසයක්ට සහිතව. යුරෝපීය ජාතීන් ඔවුන්ට විනාශය ගෙන දුන් බව තමයි ඔවුන් හිතන්නේ. චීන්නු මිතුරන් විදියට දකින මෝඩ අප්‍රිකානුවන්ට කුමන අන්දමේ බරපතල කරදර වලට මුහුණ දෙන්න සිදු වේවිද? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

      Delete
    3. AnonymousMarch 5, 2021 at 11:10 PM තුමියගේ කොමෙන්ටුවේ අන්තිම ඡේදය ගැනනම් යමක් ලිවිය යුතුයි.
      චීනය ලෝක බලවතෙක් වීම මම දකින්නේ සිංහල ජාතියේ අභිලාශයට උදව්වක් වෙයි කියලා.

      සිංහලයාගේ අවාසනාවට දෙවෙනි ලෝක යුද්ධයෙන් ජර්මන් සහ ජපන් පෙරමුණ පැරදුනා. එය සිංහල ජාතියේ අභිලාශයට විශාල පාඩුවක් වුනා. සිංහලයාට නැවත අවස්ථාවක් ලැබී තියෙනවා. ඒ චීනය ලෝක බලවතෙක් වීම.

      ලංකා රජය හැකිතාක් චීනය සමඟ සබඳතා වැඩිකරගත යුතුයි. එසේම හැකිනම් ලංකාව තුල චීන ජාතිකයන් මිලියනයක් පමණ පදිංචි කරවාගෙන. ඔවුන් ආවාහ විවාහ මගින් සිංහලයා සමඟ මිශ්‍රවීමට සැලැස්විය යුතුයි.

      Delete
    4. ජගත්ගේ චීන මිශ්‍රණ අදහසනම් නරක එකක් නෙමෙයි!

      Delete
  3. සමාජවාදය ගැන මා උගෙන නැත
    ඒ වාදී යැයි කියන්නො හමුව ඇත
    උන්ගේ කියුම් විතරයි කිසි වැඩක් නැත
    ධනවාදින්ට අන්තයි උන් කැතය හිත!

    ReplyDelete
    Replies
    1. කුරහන් යාය වල් බිහිවන ලකුණු ඇත

      ඔහොමම ගියොත් යන එන මං රටට නැත

      මැද මුලනෙන් ගෙනා ඔසුවක් අතේ ඇත

      කේවට්ටයන්ගෙන් ගැලවෙනු මැනවි පුත


      සතුරන් මිතුරු වෙස ගනිමින් ළඟාවෙන

      හදි හූනියම් අණ වින දොස් නිවාරණ

      ඔය යන ගමන මරු සමගයි කඹේ යන

      කුරහන් සළුවෙ මඩ ගෑවෙයි බලා ගෙන

      Delete
  4. මෙහෙමයි ඉකොන්,

    ලංකාවේ වාමාංශිකයන් අති බහුතරය ඔය කියන තරම් අවබෝධයක් තියෙන අය නෙවෙයි. ගොඩක් වාමාංශික මතවාද දරන අය කරන්නේ කොහෙන් හෝ චින්තකයකු සොයාගෙන බාගෙට කියවා තමන්‍ට ත‍ේරුන තැන් කීපයක් අල්ලාගෙන නන් දෙඩවීමයි. තව ඊට අමතරව භෞතික විද්‍යාව, දර්ශනය, රසායන විද්‍යාව, පරිසර විද්‍යාව, පරිගණක තාක්ෂණය වගේ විවිධ විෂයයන්ට අදාළ පාරිභාෂික වචන එහෙන් මෙහෙන් අහුලාගෙන නන් දෙඩවීම කරන්නේ.

    උදාහරණයක් විදියට 1980 ගණන් වල ආචාර්ය නලීන් ද සිල්වා වියුක්ත ප්‍රවාද ඉතිහාසය ගැන සඳහන් කරන දේවල්, තව මගේ ලෝකය සහ ප්‍රවාද වගේ දේවල් ගැන මෙලෝ හසරක් නොදැන කිසිම හරයක් නැති බහුබූත කියවන එක දකින්න පුළුවන්.

    නලීන් ද සිල්වා ලියපු "මාක්ස්වාදයේ දරිද්‍රතාවය" ගැන හරවත් විදියට තේරුමක් ඇතිව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වාමාංශික දර්ශනවාදීන් නැති තරම්. ඔහේ මොනවා හරි වාචාල කතා කියවනවා විතරයි.

    ආචාර්ය නලීන් පවා මෑත කාලයේ අමනුෂ්‍යයන්ගෙන් දැනුම ලබාගන්න දේවල් නිසා විහින් නෝන්ඩි වූ අතර දැන් ඒ කතා අල්ලගෙන නලීන් ට මඩ ගහන එක හැර ඔහුගේ දාර්ශනික අදහස් තේරුම් ගැනීමට පවා හැකියාවක් නැති බව පේනවා.

    ඔය ලංකාවේ වාමාංශික දාර්ශනිකයන් කියා ගන්නා කීප දෙනෙක්ම අන්ධ භක්තික අනුගාමිකයන් හදාගෙන ඉන්නවා හරියට අර නලීන් ගේ නලීන් නැට්ටන් වගේ. ඒ අනුගාමිකයන් ඔවුන් ඉදිරිපත් කරන තේරුමක් නැති වාක්‍යවල තේරුමක් ඇතැයි සිතා කලක් ඔවුන් පසුපස යමින් තේරුම් සෙවූ නමුත් තමන්ට නො තේරෙන දෙයක් අනුන්ට තේරුම් කරන්නට පුළුවන් ද? උදාහරණයක් විදියට දීප්ති කුමාර ගුණරත්න නිතර ම 'මං කියන දේ තේරුණා ද දන්නෙ නැහැ,' යි කියන්නේ ඇත්තෙන් ම ඔහු කියන දේ ගැන ඔහුට ද තේරුමක් නැති නිසා බව පේනවා. සමහරු මේවා තේරුන බව පෙන්නන්නට ‍ගොස් විහින් ගොන්නු වූ අවස්ථා බහුලයි.

    ඒ වගේම ඉකොන් හින්දු ආගම ප්‍රමුඛ සංස්කෘතිය ගැන ඉස්සරම මගේ හිතේ ඇතිවෙලා තිබ්බෙත් ඒ කාලේ බුද්ධාගම සහ ඉන් පෝෂිත සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වගේම ප්‍රාථමික යැයි කියන හැඟීමක්. ඒ පොඩි කාලේ ඉඳන් මම දෙවියන් යකුන් භූතයන් ගැන වැඩි විස්වාසයක් නැතුව හිටපු සහ පස්සෙ කාලෙක හය වසරේ වගේ කාලයේ ඒබ්‍රහම් ටී කොවුර් වගේ අයගේ අදහස් වල බලපෑම් නිසා කියන්න පුළුවන්.

    අද සමාජ මාධ්‍ය වල ඉන්න නිරාගමික, භෞතික වාදීන් කියාගන්න වැඩි දෙනෙක් වගේ ඕලෙවල් භෞතික විද්‍යා සංකල්ප ඉස්සරහට දාල අර ප්‍රාථමික යැයි සිතුනු සංස්කෘතීන් වල ගොන්පාට් කියල හිතුනු දේවල් වලට හිනාවීම තමයි ලොකම විනෝදාංශය ඒ කාලෙ මගෙත්.

    ක්‍රමයෙන් මේ සංස්කෘතීන් වල විවිධත්වය, ඒ තුළ "දැනුම" ගොඩනැගුනු ආකාරය, දැනුම සංස්කෘතියට පෙන්වන සාපේක්ෂ බව, ඒ විවිධ සංස්කතීන්ගේ දැණුම් වලින් බටහිර දැණුම් පද්ධතියේ අධිකාරීත්වය ගොඩනැඟුනු ආකාරය හා එය දිගින් දිගටම පවත්වාගෙන යන ආකාරය ගැන දැනුම වැඩිදියුණු වෙනකොට අර ගොන්පාට් වලට හිනාවුනු "මම" (ඉස්සර මම) තමයි ගොන්පාට් එක කියල පෙනෙන්න ගත්තා.

    මට හිතෙන්නෙ "සියල්ල දත්" කියන ආකල්පයේ ඉඳලා "කිසිවක් නොදත්" (එහෙම නැතිනම් "හැමදේම ටික ටික දත්") කියන තැනට ආකල්පය පල්ලම් බස්සගන්න ලැබීම ජීවිතයේ ලැබූ ලොකුම ජයග්‍රහණයක්. එතනින් පස්සෙ තමයි ගොඩක් දේවල් ගැන දැනගැනීමේ විමසුම් ඇස පෑදුනේ හරියටම.

    ReplyDelete
    Replies
    1. මට හින්දු ආගම ගැන හොයන්න ඇත්තටම ආස හිතුනෙ ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන හොයද්දි ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ පුරෝගාමීන් එහෙම නැතිනම් පතාක යෝධයින් බොහෝම දෙනෙක් හින්දු දර්ශනයේ ආභාසය ලබා ඇතිබව පෙනීගිය පසුයි. ඇත්තටම බුද්ධාගම ගැනත් වැඩිපුර හෙව්වේ ඒ සමඟම තමයි. හින්දු ආගම ගැන නම් මට ක්‍රිස්තියානි හෝ මුස්ලිම් ආගම් තරම් වත් දැනුමක් වත් උනන්දුවක් වත් තිබුනෙ නෑ ඊට පෙර.

      හින්දු ආගම හරිම අරුම පුදුම ලක්ෂණ ගොඩක් තියෙන දෙයක්. එහි ආරම්භකයෙක් නෑ. ආරම්භ කරපු කාලසීමාවක් නෑ. ආගමික සංකල්ප ගොඩක් බුද්ධාගමේ හා ජෛනාගමේ සංකල්ප වටකරගෙන තියෙනවා.(කෙනෙක්ට ඕන නම් තර්ක කරන්න පුළුවන් අරකී ආගම් හින්දු ආගමේ සංකල්ප ණයට ඇරන් කියලා) හින්දු ආගම ඒකදේවවාදී මූලධර්මය පදනම් කටගත් බව සියුම්ව විමසද්දි පෙනුනාට බොහෝදෙනා එය හඳුනාගන්නේ බහුදේවවාදී ආගමක් විදියට.

      තවදුරටත් හින්දු ආගම අදහන අයටත් වෙන වෙනම ඔප්ශන් තියෙනවා. මූලිකව එක් දෙවියෙක් අදහන්න පුළුවන් විශ්ණු, ශිව, දේවී ලෙස. මේ ඕනම විකල්ප මාවතකින් ගොස් අවසානයේ එකම විමුක්තිය ලබාගැණීමට හැකි බවට ඒ ආගම තුළ සහතිකයක් තියෙනවා. කොටින්ම ඒකීයත්වය වෙනුවට බහුත්ව සංකල්පය ඒ තුළ තිබීමම එහි තිබෙන අතිශය දියුණු ස්වභාවය පෙන්නුම් කරන්නක්. නමුත් සමහරක් බටහිර දාර්ශනිකයන්ට අනුව ඒක දේවවාදය කියන්නෙ පරිණාමිකව ඉතාම දියුණුම ඇදහීම් ක්‍රමයලු. බහු දේව ඇදහීම් කියන්නෙ පරිණාමිකව නොදියුණු ඇදහීම්ලු. අනේ මන්දා උන් නම්. One and only god කියල මරාගැනීම ලෝක පරිමාණව පටන්ගත්තෙම ඔය එකම දෙවියෙක් අදහන දෙගොල්ලො තුන්ගොල්ලො (ඔව් යුදෙව්වොත් එකතුව තුන්ගොල්ලක්) කියලා තමයි මට හිතෙන හැටියට. එක බොත්තමක් ඔබල වැඩිම මිනිස්සු ගානක් මරන්න හැකිවීමම දියුණුවක් කියල හිතන ලෝකෙක ඒක ඇත්තත් වෙන්නැති.

      හින්දු ආගමේ මූලික හරය විදියට මම හඳුනගත්තෙ "බ්‍රාහ්මන්" සහ "ආත්මන්" සංකල්පය. ඒ අනුව අපි එක් එක්කෙනා වෙන වෙනම අපට පවතිනවා යයි සලකන පුද්ගලික යථාර්ථයන් සියල්ල මායාවක්.

      පුද්ගලික යථාර්ථය කිව්වම ටිකක් ඔල්මොරොන්දම් වගේ දැනෙනවානම් පොඩ්ඩක් ඒක විමසා බලමු. මුලින්ම අපි හැමොම හිතනවා "මම" කියල නිරපේක්ෂ අනන්‍යවූ ප්‍රපංචයක් පවතිනවා කියල.ඊටපස්සෙ මගෙන් පරිබාහිර අවකාශකාලයක වෙනස් වෙනස් ප්‍රපංච සමඟ අපි සැබෑවටම ගනුදෙනු කරනවා කියල. බොහොමයක් නි‍රාගමික භෞතික වාදීන් හිතන්නෙ ඒක තමා සදාතනික සත්‍ය, එතනින් එහාට හිතන්නවත් ඕන නෑ, ඒ නිසා කාල බීල ජොලි කරල මැරිල යනකල් ඔහොම ඉමු කියල.

      Delete
    2. දැන් ඔය නූතන විද්‍යාත්මක දියුණුව නිසා අපි අපේ යථාර්ථය වෙනස් වෙලා කියල හිතුවට ඒක එහෙමමද? නූතනත්වය ට පෙර මධ්‍යතන යුගයේ හිටපු හම්කෑලි එල්ලගෙන විලිවසාගෙන කඩු වන වනා මිනී මරාගත්ත ගෝල් දේසේ වැසියෙක්ගෙ පුද්ගලික යථාර්ථය වුනේ ඉර, හඳ, තරු කියල දේවල් අහසෙ පායනවා, ගස්, සත්තු ඉන්නවා, වතුර ගලාගෙන යනවා, තව මිනිස්සු ඉන්නවා, උන්ගෙන් කොටසක් සතුරු අනික් උන් මිතුරු වගේ දේවල්. ඉතිං අදත් විද්‍යාඥයන් සූර්යයා අපි වටේ යන්නෙ නෑ, අපියි සූර්යයා වටේ යන්නේ, (by the way සූර්යයා වටා පෘථිවිය යෑම ගැන මුල්ම අදහස් තිබිල තියෙන්නෙත් පරමාණුව ගැන සහ ගුවනින් යාම ගැන දැණුම බිහිවූ හිමාලය කඳු වැටිය කේන්ද්‍රකරගත් පෙරදිග ඉන්දු ආර්‍ය ශිෂ්ඨාචාරය තුළ බව කියවෙනවා) සෞරග්‍රහ මණ්ඩලය කියල එකක් තියෙනවා, අඟහරු ග්‍රහලෝකෙ පස් තියෙනව, මේ බලන්න අඟහරුගෙ ෆොටෝ කිව්වට ඒව සෘජුවම අපේ පුද්ගලික යථාර්ථයක් වෙලා නෑනේ. නාසා එකේ විද්‍යාඥයකුගේ පුද්ගලික යථාර්ථය අනුව හඳට ගොඩබහින්න පුළුවන් වුනාට, මගේ පුද්ගලික යථාර්ථය එහෙම නැතිනම් ඉන්ද්‍රිය ගෝචර යථාර්ථය නම් හඳ රෑට අහසෙ පායනව කියන එක විතරයි. එහෙම බැලුවම අපිට හිතාගන්න බැරි තරම් අතිවිශාල දියුණුවක් ලබල තිබ්බත් අපේ පුද්ගලික යථාර්ථය ලොකුවට වෙනස් වෙලා නෑ. හැබැයි අපිට පුළුවන් ඕන තරම් කළු කුහර ගැන, අඳුරු පදාර්ථ ගැන එහෙම දැක්ක අතගෑව වගේ කථා කරන්න. ඒක වෙනම කතාවක්.

      දැන් ආපහු අර හින්දු ආගමට ගියොත් එහි කියන විදියට අපි වෙන් වෙන්ව අත් විඳින පුද්ගලික යථාර්ථයන් එහෙම නැතිනම් "ආත්මන්" මායාවක් ලෙස සළකනවා කිව්වනෙ. එතකොට සැබෑව එහෙම නැතිනම් නිරපේක්ෂ යථාර්ථය කියන්නෙ "බ්‍රාහ්මන්" හෙවත් මහා බ්‍රහ්මයාගෙ යථාර්ථයයි. අපි කියා වෙන වෙනම ප්‍රපංච නැහැ, අප වියන වෙන් වෙන් පැවැත්මවල් අවසානයෙ මහා බ්‍රහ්මයාගේ පැවැත්ම කියා අවබෝධ කරගැනීම තමයි හින්දූන්ගෙ පරම ආධ්‍යාත්මික විමුක්තිය වෙන්නෙ. හින්දූන්ට අනුව මහාබ්‍රහ්මයා විශ්වය මැවුව බවත්, මැවූ විශ්වය ආරක්ෂා කිරීම විෂ්ණු අතිනුත්, විනාශ කිරීම ශිව අතිනුත් සිදුවෙන බව පවසමින් ඔවුන් අදහනවා, මෙය වෙන කිසිවක් නොව විශ්වයේ පවතින ආරම්භය, පැවැත්ම, විනාශවීම සහ නව ආරම්භය කියන සනාතන දහම මනසට ගෝචර ලෙස දේවත්වයට නංවා ප්‍රකාශ කිරීම වෙන්නට පුළුවන්. අවසානයේ ලබාදිය යුතු අවබෝධ නිවැරදි නම් එය කුමන ස්වරූපයෙන් ලබා දුන්නද මට නම් වරදක් නොපෙනේ.

      මෙතනදි බුදු දහම ගැන කියනවා නම් එය හින්දු දමෙනුත් ඔබ්බට ගොස් විශ්වයේ සනාතන දහම ගැන ප්‍රකාශ කිරීමක් ලෙස සළකන්න පුළුවන්.

      දීඝ නිකායේ මහා බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන විදියට මෙලොව සියළු ආගම්වල ඇතිවීම විග්‍රහ කරගන්න පුළුවන් නේද?

      කොහොම හරි අනික් දැණුම් පද්ධති වලින් සොරාගන්නා සංකල්ප ඉතාමත් කෘතහස්ත ලෙස තමන්ගේ කරගැණීමට සමත් (බටහිර) භෞතික විද්‍යාවේ ඇතිවෙන්න ගිය මහා කඩා වැටීමකට උත්තර හෙවීමේදී හින්දූන්ගෙ ආත්මන්, බ්‍රාහ්මන් සංකල්පය පාවිච්චි කළ බවයි මට හිතෙන්නේ.

      Delete
    3. සාපේක්ෂතාවාදය දියුණු කරමින් හිටපු අයින්ස්ටයින් මුහුණ දීලා හිටපු ලොකුම අභියෝගයක් තමයි ආලෝකයේ ද්විත්ව් හැසිරීම පැහැදිලි කරගැනීම. ඊට පෙරත් සුළු වශයෙන් එළියට ඇවිත් තිබ්බ ක්වොන්ටම් වාදය ප්‍රධාන භෞතික විද්‍යාව ධාරාවට ආවෙ අයින්ස්ටයින්ගෙ ඒ ගැටලුව ලිහා දමමින්. එනම් ආලෝකය අංශුවක් ලෙස හා කිරණයක් ලෙස දෙවිදියටම හැසිරීමට ඉඩ දෙන ක්වොන්ටම් වාදයෙන්.

      නමුත් සඟවාගත් දැඩි දේවභක්තිකයෙකු වූ අයින්ස්ටයින් නම් දෙවියන්ගෙ සැළැස්ම සොයා යන "භෞතික විද්‍යාව " නැමැති ආගමේ ක්වෝන්ටම් පෙරළියට කොහෙත්ම කැමති වුනේ නෑ. "දෙවියන් කිසි දිනක දාදු කෙළින්නේ නැත" වරක් ඔහු ලියා තැබුවා. (God never play dice) තවත් වරක් ඔහු කිවේ "එය දෙවියන්ගේ සැළැස්මට විරුද්ධයි "(that's against the old one's secret). කොහොම උනත් අයින්ස්ටයින්ගෙ මහා පෞරුෂය, ඒකාධිපතිත්වය පරාජය කරමින් නීල්ස් බෝර්, වර්නර් හේසන්බර්ග්, අර්වින් ශූර්ඩින්ගර් ආදීන් ක්වෝන්ටම්වාදය ගොඩනඟා අවසන් කළත් එය සම්පූර්ණයෙන්ම අවසන් නැහැ. ඇත්තෙන්ම සත්‍යම කොන්ටම් වාදය තවම ඉදිරිපත්වී, ගොඩනැඟී හෝ යටත් පිරිසෙයින් එය සොයාගන්නා පුද්ගලයා තවමත් ඉපදී හෝ නැති බවයි බොහෝ විද්‍යාඥයින්ගේ මතය.

      නමුත් ක්වොන්ටම් වාදයේ many worlds theory, uncertainty principles ආදී වාද (theories) අතරින් ඉතාම සිත් ඇදගන්නාසුළුම copenhagen interpretation හි හින්දු දර්ශනයේ බ්‍රාහ්මන් ආත්මන් සංකල්පයේ බලපෑම තිබෙන බව කියවේ. ඒ වගේම wave function collapse කියන සංසිද්ධිය අනුව අපෙන් පරිබාහිර යථාර්ථය කියන දේ පවතින්නේ එකට ගැටගැහුනු (blend වූ) තරංගයක් හා පදාර්ථය අතර වූ (wave function) අවස්ථාවකයි. අප බාහිර ලෝකය නිරීක්ෂණය කරන මොහොතේම collapse of wave function සිදුවී අප දකින ලෝකය මැවේ. ඒ අනුව අප පවතිනවා කියා සංජානනය කරන චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට wave function collapse වෙමින් ලෝකය අප ඉදිරියේ නිර්මාණය වේ. බුදු දහමේ බලපෑමද මේවාට ඇති බව තවත් අදහසකි. කොහොම උනත් අවසාන විග්‍රහයෙදි මේව කතන්දර පමණක් බව වටහා ගැණීම හොඳටම ප්‍රමාණවත්‍ ය. නැතිව "අඩේ මේව මරුනෙ, මේව කොහොමද අප්පා හිතන්නෙ,මේව හොයා ගත්ත මිනිස්සු දෙවිවරු තමා "කියා මේවා තුළ දුවන ප්‍රාථමික මූල සංකල්ප පවතින දැණුම් ගෝත්‍රික මිථ්‍යාදෘෂ්ටික ආගම් කියමින් ගැරහීමෙන් පලක් නෑ.

      නීල්ස්බෝර්, ශ්‍රූඩිංගර්, හේසන්බර්ග්, වුල්ෆ්ගැන්ග් පවුලි ආදීන් සියල්ලම කිසියම් ආකාරයකින් හෝ හින්දු දහමේ විශේෂයෙන් එහි දාර්ශනික හරය වන "උපනිශ්ද්" හි බලපෑමට ලක්වූවන් බව උදාහරණ යහමින් තිබේ. කොහොම උනත් අදාල විද්‍යාඥයින් හින්දු ආගමේ සරණ ගියා කියල නම් මින් කිසිසේත් නොකියන්නේ මතුවූ හිදැසක් පිරවීමට යමක් භාවිතා කළ බව පමණක්ම මට හැඟෙන හින්දා. එයාකාරයෙන්ම බුදු දහමේ දාර්ශනික හරයන් මනෝවෛද්‍ය විද්‍යාව ආදිය තුළට වද්දාගෙන තිබෙන බවත් පැහැදිලියි.

      අතිශයින් ලෞකික (බටහිර) සංස්කෘතික ලක්ෂණ වලට අනුගතවූ සිංහල බෞද්ධයන් ද දැන් දැන් බෞද්ධ දර්ශනයක් ගැන කියවීම පෙනෙන්න තිබේ. බටහිර carnal spirituality කියා සංකල්පයක් තිබේ. ඒක නිකන් "ලෞකික ආධ්‍යාත්මික" වගේ වචනයක්. ලෞකික ජීවිතයේ මතුවන ගැටළු වලදි යම් ආධ්‍යාත්මික ගුණයක් ජීවිතයට කාන්දු කරගැණීමට උපයෝගී කරගන්න ටූල් එකක් පමණයි ඒ ලෞකික ආධ්‍යාත්මිකත්වය. ඒ විදියට "බෞද්ධ දර්ශනය" කියන එක නිකන් පිටින් අතපතගාල බලනදෙයක් පමණයි.

      Delete
    4. ඇනෝ, ඔබේ අදහස් වලට මම කැමතියි. ඒකදේවවාදය කියන සංකල්පය අවතක්සේරු නොකර අනෙක් දේවල් මෙන් ඒ ගැනත් තව පොඩ්ඩක් හදාරන්න කියා යෝජනා කරනවා. මෙහිදී "දේව" කියන කෑල්ලට මුලා නොවීම වැදගත්.

      Delete
    5. බොහොම ස්තුතියි ඒත් මම හිතන්නේ ඒක දේව වාදී දර්ශනය තුළින් යහපත් දේවල් නිර්මාණය වුණත් බොහෝ දෙනා එක අරමුණකට ගොනු කල හැකි තත්ත්වයන් තිබුණත් ඒක දේව වාදී සංකල්ප වලට අනුව බිහිසුණු යුද ගැටුම් සහ මහත් විනාශ සිදුවීම් ඇතිවූ බව. නමුත් තවමත් ඒක දේව වාදී දර්ශන වට වටිනාකම් ගැන ඇකඩමික සාකච්ඡාවන් යනවා. විශේෂයෙන් ඒක දේව වාදී ඉස්ලාම් සංස්කෘතියේ යහපත් ලක්ෂණ බෙහෙවින් තොරොම්බල් වනු දැකිය හැකියි. ඒ පිළිබඳව වෙනමම සාකච්ඡාවන් කරන්න පුළුවන් වේවි.

      Delete
  5. මාර්තු 1 වියනුව සමබන්ධවය.

    මනුෂ්‍ය  නොවන දෑ සමඟ සංවාදවල යෙදෙමින්  ලත් තොරතුරු මත පදනම්ව  මනුෂ්‍ය සමාජයට ඒවා ආරෝපණය කිරීමට දැරූ අන්ත අසාර්ථක උත්සාහයක ප්‍රතිපලයක් ලෙසට  දැරිවියක මියයාමේ ශෝකජනක සිද්ධියක් පසුගියදා වාර්තා විණි. ඊට පසුව දෙස් -විදෙස්  ලංකා සමාජය පුරා පැතිර ගිය වෙනත් බිහිසුණු අපරාධමය  සිද්ධීන්, පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාව ආදීය නිසා එකී මුල් පුවත යට ගියද එමඟින් ඇති කරන ලද කතිකාව යට යාමට ඉඩ නොදිය යුතු බවට අප කියා සිටිමු. මේ උත්සාහය ඒ වෙනුවෙනි.

    අවිද්‍යාව ප්‍රවර්ධනය කරමින්, මිත්‍යාව මතු කරන බවට praja.lk  විසින් සෘජුවම චෝදනා කර තිබුනේ නලින් කුමාරටය. නලින් කුමාර , අජිත් පැරකුම්ගේ  ලිපි කියවනවාදැයි අපි නොදනිමු. එහෙත් , අජිත් විසින් නලින් හට එදිරිව  ගෙනෙන තර්කය පහසුවෙන් ඉවත දැමිය හැකි දෙයක් බවට අජිත්ගේ ලිපි යනු  "...අහම්බෙන් හමු වුනොත් කියවනවා මිස සොයාගෙන ගොස් කියවිය යුතු දෙයක් නොවන.."  බවට කියන  ප්‍රතිචාරයක් සටහන්ව තිබිණි.  නලින් කුමාරට විවෙික බුද්ධිය පමණක් නොව සාමාන්‍ය බුද්ධියද අහිමිව බොහෝ කල්ය. ඇතැමිවිට නලින් කුමාරට සහ ඔහුගේ නැටි කැබලිවලට  මතුගම අජිත් යනු නොදැනෙන , නොසලකා හැරිය අයකු ලෙස පෙනී යා හැක. නමුත් අජිත් ගෙනෙන තර්කය නොසලකා සිටීමේ හැකියාවක් නලින් නැට්ටන්ට තබා නලින්ටවත්  නැත.

    1/4

    ReplyDelete
  6. එකොනෝගේ මාර්තු 1 වියමන පාදක වී තිබුණේ අජිත්ගේ ලිපිය මතය. නලින් කුමාර ගේ  පඬි නැට්ටන් එය දුටුවේ නලින් කෙරෙහි පැසවමින් තිබෙන වෛරයක් පිරිමසා ගැනීමක් ලියූවක්  ලෙසටය. ⁣තුඃ නොදකින් මෙහෙමත් ජාතියක චින්තනයක්!

    මෙයින් පෙනී යන්නේ නලින්ගේ කණ පැලෙන්නම අසා තිබුණ ප්‍රශ්ණවලට ඔහුගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය තුල තවමත් පිලිතුරු නැති සෙයකි.

    අපගේ අදහස නම් අජිත් සහ එකොනො  විසින් දරනු ලබන  නූතන ලාංකීය දර්ශනය පිලිබඳවූ  ආස්ථානය සදොස්ම  නොවුනත් , එහි ප්‍රධාන  අඩුපාඩුවක් ඇති බවය. විශේෂයෙන්ම මෙම සමකාලීන ලාංකිය අන්ත පසුගාමී  දර්ශනයේ සම්භවය ගැන ඔවුන් දරන මතය වැරදි බවය.


    අජිත් පැරකුම් මෙන්ම එකොනෝද කියා සි⁣ටියේ ලංකාවේ නූතන රාජ්‍ය මතවාදය වනාහී , නලින් කුමාර ගේ මතවාදය බවය. මතුපිට තලයේදී මෙය එසේම යැයි නූතන ලංකාවේ පසුගාමී දේශපාලන -ආර්ථිකය , සාමාජීය සහ ජන විඤ්ඤානය නිරීක්ෂණය කිරීමෙන් එලැඹිය හැකි නිගමනයන්ය. එහි වැඩි දොසක් නැත.   නමුත් ඇත්තටම සිදුව ඇත්තේ එහි විලෝමයය. එනම්, ධර්මපාල සමයේ සිට පැවත එන 'එම මතවාදය'  නොහොත් පසුගාමී ලාංකීය අශිෂ්ට චින්තනය නලින් කුමාර විසින් විශේෂයෙන් 1980 පසු පිහිටුවා ලූ එකක් නොවේ. එය වනාහී ලංකා සමාජය දේවත්වයට මදක් පහලින් තබා වන්දනය කරන ධර්මපාල නැමැත්තකු  (මේ පුද්ගලයා නමින් පන්නිපිටිය පැත්තේ රජයේ පාසැලක්ද වෙයි.) විසින් ගෙන එන්නට වෙර දැරූ චින්තනයකි.  කොර ගසමින්  හෝ දුව පැන ලංකා සමාජය ඔස්සේ හතර අත ඇවිද විස්තර සොයා, ප්‍රශ්නවලට  පිලියම් ⁣යෙදූ , කාරණා දත් වැඩිහිටියකු බඳු වූ පසුව වල පල්ලටම ගිය සමාජවාදී කතිකාව විසින් මේ වැඩකට නැති පැණි  වින්තනය  යටපත් කර සිටියේ  මහා අයිස් කන්දක් පහල අයිස් තට්ටු යට කරගෙන සිටින සේය.

    2/4

    ReplyDelete
  7. අසූ ගණන් වලදී ලෝක මට්ටමින් සමාජවාදී කඳවුර දෙදරීමට පටන් ගන්නා  විට  ලංකා ජන සමාජය තුල ද මෙම වෛරසය පණ ලබා ආයේ මහා අයිස් කඳු දියවෙන විට  ඊට යටින් ඇති අයිස් තට්ටුවල රැඳී ඇති පැරණි වෛරස නැවත  මතුවන ආකාරයෙනි.

      ලංකාව වෙසෙසින් සැලකීමෙිදී එහි  පීඩිතයන් සහ ඔවුන්ගේ අරගලවලට විද්‍යාත්මක  විමුක්තිවාදී  න්‍යායයක් විවිධ හේතු මත අහිමි  වීමේ තතු යටතේ ව්‍යාජ න්‍යායවාදීන් දෙපසින්ම  බිම්මල් ලෙස පිපුණහ. ජාතිකවාදී වෛරසයෙි ලක්ෂණයක් නම් එම වෛරසය  ජනතාවට ආසාදනය වූ වහාම එම වෛරසය  තම චින්තන ප්ලාස්මාවේ ඇති  'ක යන්න' හැර දැමීමය. ධාරකයා එවිට පෙන්වන්නේ ජාතිවාදී ලක්ෂණ සහිත රෝගයකි.

    නලින් කුමාර විසින් මෙහිදී සිදු කලේ, ඉහත පිරිහෙන ජාත්‍යන්තරවාදී තතු යටතේ යටපත්ව තිබූ ජාතික චින්තනය -එනම්  ධර්මපාල සමයේ සිට හෝ ඊටත් පෙර සිට   තිබූ ,ඒ ජරාජීර්ණ කුණු කෙල ජාතික චින්තන  පිත්තල පඩික්කම එලියට ගෙන සෝදා මැද ලෙවකා  වීදුරු කූඩුවක ලා ජාතියට පිලි ගැන්වීමය. බලයෙන් ගිලිහෙන  ජාතික අප්පච්චිලාට මේ පිදුරු ගහත්, තවත් මාර ගසක් විය.

    3/ 4

    ReplyDelete
  8. අද අජිත් සහ එකොනො කතා කරන මෙි ඊනියා ජාතික චින්තනය ,මේ අනුව නලින්ගේ තනි හුදෙකලා නිර්මාණාත්මක දෙයක් නොවෙි. නලින් කුමාර කලේ ලාංකිය ජාතික කුණුවල පිටතට ඉසීමය. නමුත් මෙම චින්තනය පසඅගාමීත්වයට ගැලපෙන ලෙස සූත්‍රගත කර අනුමත කල නිබන්ධනයක් ලෙසට සකසා ගැනීමට ඔහු ලද බටහිර අනුකාරක අධ්‍යාපනය නලින් කුමාර ද සිල්වාට ඉමහත් පිටිවහලක් විය. සමි බැම්මෙන් බැඳ, රන් අකුරින් පොතේ නම කවරයේ  ලියූ විට හිස් කඩදාසි  සුඟක් දර්ශනශූරි  උපාධි නිබන්ධනයක් ලෙසට අයකුට  පෙනී යා හැක. එහෙත් පෙරලා බැලූ විට එය හිස් කොල ගොඩකි. පොතේ ලියා  ඇත්තේ කුමක්දැයි මිනිස් ඇසට නොපෙනෙන නිසා ඒ නොපෙනෙන දෙය කුමක්දැයි අසා දැන ගැනීමට ප්‍රියන්තා සේනානායක හෝ කුට්ටි අප්පු ධම්මික ධනපාල වැන්නන් හට කාල බෝතල් සහ රුපියල් පන්දාහක් ගෙවා චැනල් කර නාථ හෝ කාලි ගෙන්වා විමසිය යුතු බවට මේ නලින් කුමාර කියා සිටී.

    නලින් කුමාර අද  තමාට විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුව වගේ ම තවත් බලාපොරොත්තුවක් ( ඒ තවත් බලපොරොත්තුව කුමක්දැයි හේ නොකියයි)  ඉටු නොවී ඇතැයි කියයි.අඳෝමැයි!  එනම් අද ඔහු බටහිර මිදි ඇඹුලයි කීවත්  ඔහුටත්  විද්‍යාඥයකු වීමේ සිහිනයක්ද තීබී ඇත. අයකුට  විද්‍යාඥයකු විය හැක්කේ කෙසේදැයි හා අයකුට  එසේ වීමට නොහැකි වන්නේ  ඇයිදැයි යන පැනයට  මාක්ස් දුන් පිලිතුර කුමක්දැයි සොයා බලන ලෙසට අපි ඔහුට කියා සිටිමු.

    ලොව අන් ජාතීන් වැරදී වැරදී, පැටලි හෝ පැටලී නූතනත්වය සමඟින් ප්‍රගතිය කරා දිව යාමට වෙර දරන විට නලින් කුමාර ලංකා සමාජයට  යෝජනා කරන්නේ අනාථ හුකාලි ලා සමඟ දේව මණ්ඩලයක නිදි වැදීමටය.

    පැරා ⁣විසින් එක හෙලා කියා සිටින ලෙසට, විද්‍යාව වෙනුවෙන් පෙනී සිටින, විද්‍යාවේ ආධිපත්‍යය වෙනුවෙන් සටන් කරන, අවිද්‍යාව පරාජය කරන සමාජ දේශපාලන බලවේගයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යය. එහෙත් මේ දුෂ්ඨ කාලකන්නිකම  මුලිනුපුටා දැමීම එක රැයකින් නොහොත් එක් පරපුරකින් පමණක් කල හැකි දෙයක් නොවේ.
    4/4
    CP-C

    ReplyDelete
    Replies
    1. //අජිත් පැරකුම් මෙන්ම එකොනෝද කියා සි⁣ටියේ ලංකාවේ නූතන රාජ්‍ය මතවාදය වනාහී , නලින් කුමාර ගේ මතවාදය බවය//

      මේක බරපතල ප්‍රකාශයක් නෙමෙයි. මේ වගේ දෙයක් ඔය තරම්ම සරල විදිහට විග්‍රහ කරන්න බැරි බව මම දන්නවා. ඇත්තටම එහෙම කරන එක නලින් ද සිල්වාටත් කරන අසාධාරණයක්. වෙනත් ඕනෑම අදහසක් වගේම ආණ්ඩුව තුළ නලින් ද සිල්වාගේ අදහස් නියෝජනය වන්නේද ආණ්ඩුව පවත්වා ගෙන යාම සඳහා උපකාරී වන ප්‍රමාණයට පමණයි. මම මේක කියන්නේ අනෙක් පැත්තෙන්. ඒ කියන්නේ ආණ්ඩුව දුවන්නේ නලින් ද සිල්වාට අවශ්‍ය විදිහට කියා නෙමෙයි. රාජ්‍ය මතවාදයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි තරමට ඔහුගේ අදහස් පසුගිය වසර 35 තුළ ප්‍රචලිත වී තිබෙනවා කියන අදහසින්. පවිත්‍රා මාදු ගඟට මුට්ටි දමන්නේ නලින් ද සිල්වාගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින නිසාද? චන්න ජයසුමන වගේ අය කොහොම වෙතත් පවිත්‍රාට නලින් ද සිල්වාගේ මතවාදය තේරෙනවාද කියා මට සැකයි. බොහෝ විට නැහැ. නමුත්, මේ වගේ වැඩක දේශපාලනික වටිනාකමක් තියෙනවා කියන ඉව පවිත්‍රාට තියෙනවා. ඒ වටිනාකම හදන්නේ නලින් ද සිල්වාගේ මතවාදය. සමස්තයක් ලෙස නලින් ද සිල්වාගේ මතවාදය හා ආණ්ඩුවේ මතවාදය අතර සහසම්බන්ධය මම දකින්නේ ඔය වගේ ආකෘතියක.

      Delete
  9. ඉකොනො, ඇත්තටම ඔබට වෙලාව තියෙනවා නම් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ දේශපාලනමය අසාර්ථකභාවයට සහ දිගින් දිගට ලබන පරාජයට හේතු සාධක විශ්ලේෂණය කර බැලීමට පුළුවන් නම් හොඳයි නේද?

    ඒ වගේම 'වම' දේශපාලනික වශයෙන් කාණ්ඩවලට බෙදීයාම එහි ආරම්භක අවධියේ පටන්ම ඇමීබා වන් බෙදී යන්නාක් මෙන් බරපතල ලෙස දැඩි ප්‍රවණතාවක් දක්වන බව පේනවා නේද?

    කෙසේ වෙතත් 1922 පමණ කාලයේ සිටි ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහගේ කම්කරු වැඩ වර්ජන කල්ලියේ විගඩම් වලින් වූ පෙළඹවීම සමග ලංකාවේ මුල්ම සහ පැරණිතම දේශපාලන පක්‍ෂය විදියට 1935 දෙසැම්බර් මාසයේ 'සම-සමාජ ව්‍යාපාරය' ආරම්භ වූයේ එවක ලංකාවේ සිටි රදළ පරපුරේ මෝඩ පුතුන් වී වාමාංශික බයිලා වලට රැවටුන පිරිසක් සහ සිය දෙමාපියන්ගේ ධන වියදමින් එංගලන්තයේ හෝ වෙනත් රටවල ඉගෙනීමට ගොස් අධ්‍යාපනය යන්තමින් ගොඩ දාගත් හෝ කඩාකප්පල් කරගත් පසු ලංකාවට ආපහු ආපු බකපණ්ඩිතයන් පිරිසක් විසින්.

    ඒ අනුව එංගලන්තයේ දී සෝ කෝල්ඩ් වෛද්‍ය උපාධියක් සම්පූර්ණ කොට සියරට ළඟා වූ පළමු මාක්ස්වාදියා වූ දොස්තර සුගීෂ්වර අබේවර්ධන වික්‍රමසිංහ ලංකාවේ දේශපාලනයට අවතීර්ණ වෙමින් 1931 පැවති පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් ජය ගැනීම 'වාම මතධාරී බක පණ්ඩිතයන්ගේ' මෝඩ ආශ්වාදයට හේතුවක් උනා. පස්සෙ නානායක්කාර මාටින් පෙරේරා, කොල්වින් රෙජීනල්ඩ් ද සිල්වා සහ පිලිප් ගුණවර්ධන ඇතුළු සියලු වාමාංශිකයන්ගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමෙන් බිහි වූ සංවිධානාත්මක දේශපාලන එකතුව ලංකා සම සමාජ පක්ෂය කියලා කියන්නේ. මේ සමගම එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන සම සමාජ නායකයන් ලෙස දුප්පත්කම සහ නූගත්කම නිසා අසරණව සිටි මිනිසුන් අන්දලා සමාජවාදී උටෝපියාවක් මවමින් ඡන්ද ලබාගැනීමට හැකි වූ අතර සම්ප්‍රදායික දේශපාලන නායකයන්ට අභියෝග කරමින් 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය ජයග්‍රහණය කර මහත් සේ කොලාහල කළා.

    මේ අතර තවදුරටත් අහිංසක කම්කරුවන් රවටමින් ගෙන ගිය මේ විගඩමේ අභ්‍යන්තර ආරවුල් දෙවෙනි ලෝක යුද්ධය පටන් ගැනීම සමඟ දෙකකට බෙදී වෙන් වී ගියා. හේතුව තුන්වන ජාත්‍යන්තර කල්ලියට සෙට් වීම' ගැන මතු වූ ප්‍රශ්න සහ 'ලෝක යුද්ධය ගැන ගත යුතු ස්ථාවරය කුමක්ද' යන්න ගැන කෙලින් තීරණ ගැනීමේ හැකියාව නැති බව ඉතාමත් පැහැදිලියි. මේ මුග්ධ රණ්ඩු සරුවල් නිසා සු. අ. වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත එම කල්ලියම ස්ටාලින්වාදීන් ලෙස සමසමාජ පක්ෂයෙන් නෙරපා කුණුහරුප වලින් අමතා බැන වැදී එලවා දැමූ පසු එවුන් එක්සත් සමාජවාදී පක්ෂය - United Socialist Party නමින් වෙනත් දේශපාලන පක්ෂ කල්ලියක් වුණා.

    මේකත් එක්ක ඉතා කෙටි කාලයක් ඇතුළත අර එක්සත් සමාජවාදී පක්ෂය කියන කල්ලිය අසාර්ථක බව නිසා විසුරුවා හරිමින් ලකේ පංකා කොමියුනිස්ට් පක්ෂය CP.C නමින් තවත් ත්‍රී වීල් කල්ලියක් අටවා ගැනීමට කටයුතු කළ අතර මේ සියලු කල්ලි නැවත නැවත අනන්තවත් අප්‍රමාණ කල්ලි වලට බෙදෙමින් එක එක කල්ලි හැදෙමින් ජනයාට ආතල් දුන්නා.

    ටික කලකින්ම වැලේ වැල් නැති වූ මේ කල්ලි ලැජ්ජාවක් බයක් නැතුව ජනතාවට තව දුරටත් ජෝක් සපයමින් ලංකාවේ සෝ කෝල්ඩ් ධනවාදී පක්ෂ වල වලිග බවට පත්ව තිබේ.

    වාසිදේව වට්ටක්කා #කා ඇතුළු කල්ලිය මේ වන විට බූරුවංස වැනි නග්න සිංහල ජාතිවාදී හොර වමුන් සමග සෙට් වී මැදමුලනේ පොල් රැවුල් මරාගේ සාටක රෙද්දේ පල්ලේ එල්ලී ඔංචිල්ලා පදින අතරේ ජෙයම්පදී, බාහුලා වැනි දෙමළ ජාතිවාදීන්ට කඩේ ගිය සෙට් එක දැන් එක්සත් ජාතික පක්ෂයේ වලිගයේ එල්ලී යාවජීව සාමාජිකයන්ටත් යූ එන් පී එක ගැන උගන්වතී. මෙයින් ජෙයම් පදී පහුගිය කාලේ ආණ්ඩුවට සෙට් වෙලා එක එක ව්‍යාවස්ථා විරෝධී හොර ජල්තර දමා චොර වෙලා දැන් කුජීත ලෙස ස්විට්සර්ලන්තයට පැන ගොස් කිච වී සිටී. තවත් පිරිසක් වඳවීමේ තර්ජනයට ලක්වූ 3% ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයන්ට කෙළවමින් බලවේගයක් නමැති කල්ලියක් සාදා ගෙන විගඩම් කරමින් සිටිනා ආකාරයද දැකිය හැකිය.

    ReplyDelete
    Replies
    1. එමෙන්ම තවත් හිටපු වමෙක් වූ නලිං ද සිල්වා වාමාංශික මුග්ධ මතවාද හැරදැමීමට තරම් මොළේ පොඩ්ඩක් පෑදුනත් ඒ සමගම ජාතික චින්තන බයිලාවක් ගසා අපරිණත සරසවි සිසුන් ජාතිවාදී පදනමින් අන්දවා සිංහල ජාතිවාදය හා ගෝත්‍රික මතවාද කරපින්නාගෙන කල්ලියක් හදාගෙන ජනතාවට ආතල් දී මේ දිනවල විවිධාකාර කට්ටඩිරාළලා, හොර වෙද්දු ආදීන් වණමින් ආතල් දෙන බවත් සඳහන් කළ යුතුයි. දොස් තර ගුණදාස වැනි හිටපු වමුන් ද ජාතික සමාජවාදී නමින් ජාතිවාදී පදනමින් ධනවාදී පක්ෂ වල වලිග බවට පත්ව ඒවාට මාකටින් කැම්පේන් කරමින් ජීවිකාව සරිකර ගනිමින් සිටින බව පේනවානේ. මේ අනුව ලංකාවේ නම් සියලුම ආකාරයේ වමුන් අතිශයින්ම අසාර්ථක ජෝක් එකක් වෙමින් පවතින බව ඉතාමත් පැහැදිලියි. මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ විශ්ලේෂණයන් කියවන්න කැමතියි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...