වෙබ් ලිපිනය:

Saturday, March 27, 2021

අන්දරේ සීනි කෑ හැටි (හත්වන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. තෙවන කොටසින් ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. මිල පාලනය ගැනත් කතා කළා. සිවුවන කොටසින් බදු ගැන කතා කළා. පස් වන කොටසින් ලංකාවේ සීනි වෙළඳපොළේ මූලික ලක්ෂණ ගැන කතා කළා. හයවන කොටසින් අපි ලංකාවේ සීනි වෙළඳපොල ගැන තව ටිකක් කතා කළා. විශේෂයෙන්ම ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන කතා කළා. 

මුල් කොටස් පහේ විස්තර කළ දේවල් ආර්ථික විද්‍යාවේ සම්මත මූලික කරුණු බවත් හයවන කොටසින් විස්තර කළ ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය පිළිබඳ අදහස ආර්ථික විද්‍යා මූලධර්ම හා ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳ තොරතුරු මත පදනම්ව ලේඛකයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් මෙහිදී කිව යුතුයි.

ලංකාවේ සිල්ලර සීනි වෙළඳපොළේ සැපයුම් වක්‍රයේ හැඩය ගැන ලියූ දේ සාරාංශගත කළොත් අප විසින් පෙන්වා දී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ සැපයුම් වක්‍රයේ අදාළ කොටසේ බෑවුම ශුන්‍යයට ආසන්න බවයි. එහෙමත් නැත්නම් සැපයුම් වක්‍රයේ අදාළ කොටස තිරස් රේඛාවක් බවයි.

අප පෙර ඉගෙන ගත් පරිදි කිසියම් වෙළඳපොලක සියලුම සැපයුම්කරුවන්ගේ ලාබ සැපයුම් වක්‍රයට උඩින්, සමතුලිත මිලට යටින් හා සමතුලිත ප්‍රමාණයට වම්පසින් පිහිටි ප්‍රදේශයේ වර්ග ඵලයට සමානයි. සැපයුම් වක්‍රය තිරස් රේඛාවක්නම්, සමතුලිත මිල තිබෙන්නේත් ඒ මට්ටමේමනම් මේ කියන වර්ග ඵලයද ශුන්‍යයි. ඒ කියන්නේ සැපයුම්කරුවන් විසින් ලාබයක් ලබන්නේම නැහැ. එහෙම වෙන්න පුලුවන්ද?

එහෙම වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේදී අපි ලාබ ලෙස හදුන්වන්නේ ආර්ථික ලාබ මිසක් ගිණුම්කරණ ලාබ නෙමෙයි. ආර්ථික ලාබ ලෙස හඳුන්වන්නේ ගිණුම්කරණ ලාබ වලින් ගිණුම් වල නැති ආවස්ථික පිරිවැය අඩු කළ පසු ඉතිරි වන කොටසයි. උදාහරණයක් විදිහට සමාගමක අයිතිකරුවන් වැටුප් ලබා නොගෙන වැඩ කළානම් ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් නිසි මුදලක් ලාබ වලින් අඩු කළ යුතුයි. ආර්ථික විද්‍යා විශ්ලේෂනයකදී ලබා නොගත් වැටුප් ලාබ සේ සලකන්න බැහැ. ඒ වගේම සමාගමටම අයිති ගබඩාවක සීනි ගබඩා කර තැබුවත් ගබඩා ගාස්තු වෙනුවෙන් නිසි මුදල ලාබ වලින් අඩු කළ යුතුයි. ලාබ ශුන්‍ය සේ සලකන්නේ ඔය ආකාරයේ ගිණුම් වල නැති වියදම්ද අඩු කිරීමෙන් පසුවයි. 

ඔය ආකාරයේ ආවස්ථික පිරිවැය අඩු කිරීමෙන් පසුව තරඟකාරී වෙළඳපොලක සැපයුම්කරුවන්ගේ ලාබ ශුන්‍ය වෙනවා. එසේ නොවනවානම් ඒ ඒවාට කියන්නේ සුපිරි ලාබ කියලයි. ආර්ථික විද්‍යාවේදී සැබෑ ලාබ සේ සලකන්නේ මේ ආකාරයේ සුපිරි ලාබයි.

සැපයුම්කරුවෝ හැම වෙලාවේම තමන්ගේ ලාබ වැඩි කරගන්න උත්සාහ කරනවා. තනි සැපයුම්කරුවෙකුට වෙළඳපොළ මිල පාලනය කළ නොහැකි නිසා ලාබ වැඩි කරගන්න තිබෙන එකම ක්‍රමය පිරිවැය අඩු කර ගැනීමයි. ලංකාවට සීනි ආනයනය කරන හැම සැපයුම්කරුවෙකුටම සීනී ගේන්න වෙන්නේ එකම පිරිවැයක් දරමින් කියා මම කලින් කොටසේ කිවුවත් මේ ප්‍රකාශය ආසන්න සත්‍යයක් පමණයි. ලෝක වෙළඳපොළේ සීනි මිල දවසෙන් දවස වෙනස් වෙනවා. විණිමය අනුපාතිකයත් දවසින් දවස වෙනස් වෙනවා. නමුත් හැම සැපයුම්කරුවෙකු විසින්ම ලංකාවට සීනි ගේන්නේ එකම දවසේ නෙමෙයි. ඒ නිසා එක් එක් සැපයුම්කරුවාගේ පිරිවැය වල පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. 

සමහර සැපයුම්කරුවන්ගේ පිරිවැය රුපියලක් දෙකක් අඩු වෙන්න පුළුවන්. ඒ අයට අනෙක් අයට සාපේක්ෂව පොඩි අමතර ලාබයක් තිබෙනවා. මේ කතාව සැපයුම් වක්‍රය ඇසුරෙන් පැහැදිලි කළොත් තිරස් රේඛාවක් කියා කිවුවත් ඔතැන තියෙන්නේ පඩි පෙළක ආකාරයේ සමාන්තර තිරස් රේඛා කිහිපයක්. සැපයුම් වක්‍රය තිරස් එකක් කියා කිවුවත් එහි සුළු බෑවුමක් තිබෙනවා. ඒ සුළු බෑවුම නිසා මම කලින් ලිපියේ කියූ දේවල් කිසිවක් දැනෙන තරමට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට සැපයුම් වක්‍රය තිරස් රේඛාවක් ලෙසම සලකමු.

මේ තිරස් රේඛාවේ උස තීරණය කරන ප්‍රධාන සාධක වන්නේ ආනයනික මිල හා ලංකාවේ රජය විදින පනවන බදු අනුපාතිකයයි. පහත ප්‍රස්ථාරය පෙන්වා තිබෙන්නේ ලංකාවේ සිල්ලර වෙළඳපොළේ සීනි මිල තීරණය වන ආකාරයයි.


ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට ලංකාවේ සීනි වෙළඳපොළ පිළිබඳව මා විස්තර කර තිබෙන කරුණු නිවැරදි බව තහවුරු වෙනවා. මිල තීරණය කෙරෙන ප්‍රධානම සාධකය ලෝක වෙළඳපොළේ සීනි මිලයි. එයට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වෙනවා. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වීම නිසා ආනයනික මිල ලෝක වෙළඳපොළේ සීනි මිලට වඩා 7%කින් පමණ ඉහළ මිලක්. ආනයනික මිලට බදු එකතු වෙනවා. එම මුළු එකතුවම පිරිවැයේ කොටසක්. ඉන්පසුව ආනයනකරුගේ, තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ ආන්තික මේ පිරිවැයට එකතු වෙනවා. එම සියලුම ආන්තික වල එකතුව 12%ක් පමණ. 

මේ ප්‍රස්ථාරයේ බදු පිළිබඳ දත්ත සියයට සියයක්ම නිවැරදි නැහැ. කිසියම් වසරක් තුළ බදු වෙනස් වූ විට අදාළ වසර සඳහා සාමාන්‍ය බදු ප්‍රමාණය සේ සැලකිය හැක්කේ එක් එක් බදු අනුපාතිකය යටතේ ආනයනය කළ සීනි ප්‍රමාණය අනුව බර තැබූ අගයක්. එම දත්ත මා සතු නැති නිසා මෙහි තිබෙන්නේ මගේ ආසන්න ඇස්තමේන්තු. බදු අනුපාතික වෙනස් නොවූ වසරවල් සඳහා දත්ත සම්පූර්ණයෙන්ම නිවැරදියි.

ඒ නිසා උදාහරණයක් විදිහට අපි බදු වෙනස් නොවූ වසරක් වන 2011 වසර සලකමු. එම වසරේ ලෝක වෙළඳපොළේ සීනි කිලෝවක මිල ඩොලර් 0.70ක්. එම වසරේදී ඩොලරයක් 110.57ක් වූ නිසා මෙය රුපියල් 77.15ක මුදලකට සමානයි. නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එකතු වී ලංකාවට එන විට සීනි කිලෝවක් රුපියල් 81.80ක් වෙනවා. ඉන් පසු මෙයට රුපියල් 5ක බද්දක් එකතු වෙනවා. දැන් සීනි කිලෝවක් රුපියල් 86.80ක් වෙලා. ආනයනකරුගේ හා අනෙකුත් අතරමැදියන්ගේ ලාබ ආන්තික එකතු වීමෙන් පසුව සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 96.11ක් වෙනවා. 

වෙනත් වසරක දත්ත පරීක්ෂා කළත් පෙනෙන්නට තිබෙන චිත්‍රය මීට වඩා වෙනස් නැහැ. සීනි වෙළඳපොළෙහි මාෆියාවක් හෝ සුපිරි ලාබ ලබන අතරමැදියන් පෙනෙන්නට නැහැ. අතරමැදියන්ගේ අතිරික්තය ඔවුන්ගේ වක්‍ර වියදම් ආවරණය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නෙමෙයි. හැම අතින්ම පෙනෙන්නේ තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ.

සීනි වෙළඳපොළේ අතරමැදියන්ගේ ලාබ ආන්තික වසරින් වසර වෙනස් වන බවක් පෙනෙන්නේ නැහැ. මෙයට හේතුව ප්‍රමාණවත් තරඟකාරිත්වය ලෙස සැලකිය හැකියි. ඒ අනුව සැපයුම් වක්‍රය තිරස් හැඩයක් ගන්නා බවට අප කළ නිගමනය නිවැරදි බව තහවුරු වෙනවා. අතරමැදියෙකු විසින් සුපිරි ලාබ ලබනවානම් ඒ කලාතුරකින් හා සුළු වශයෙන් මිසක් සාමාන්‍ය තත්ත්වය ලෙස විය නොහැකියි. ඒ වගේම නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද විශාල ලෙස විචලනය වන්නේ නැහැ.

කෙසේ වුවත් ලෝක වෙළඳපොළේ සීනි මිල විශාල ලෙස විචලනය වෙනවා. විණිමය අනුපාතිකය කාලයත් සමඟ ටිකෙන් ටික පිරිහෙනවා. ඒ වගේම සීනි වල ආනයනික මිල වෙනස් වෙද්දී රජය විසින් මිල ස්ථාවර වන ආකාරයට බදු අනුපාතික වෙනස් කරනවා. මේ සාධක තුන මත සැපයුම් වක්‍රයේ තිරස් කොටසේ උස වරින් වර වෙනස් වෙනවා. එයට අනුරූපව සීනි වල සිල්ලර මිලද වෙනස් වෙනවා.

ඉහත කරුණු අනුසාරයෙන් අපට සීනි වෙළඳපොළේ කිසියම් විකෘතියක් වී තිබේනම් එය හදුනාගන්න පුළුවන්. 

7 comments:

  1. ඉකොනොමැට්ටාගේ ගෙලට කඩු පහරක් එල්ල වූ අතර ඉන් ඔහුගේ ගෙල සිඳී හිස බිමට පතිත විය. මේ සමගම එතෙක් කලක් මුළු රටටම තිබූ හිසරදයක් නිමා විය

    ReplyDelete
  2. එක කාලෙකට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය එපා කියනවා. තව කාලෙකට ජිනීවා මානව හිමිකම් කවුසිලය ඕනේ වෙනවා. බුරුමේ වගේම තමයි ලංකාවෙත්. 89 ජිනීවා වලට පැමිණිලි කරන්න පින්තුර අරන් යන්න ගියපු අයට දැන් ජිනීවා වහකදුරු වගේ.

    In 2021: “We need further strongest possible action from the international community to immediately end the military coup, to stop oppressing the innocent people, to return the state power to the people and to restore the democracy,” said Kyaw Moe Tun to applause and praise from Western and Islamic counterparts.

    In 2017: "Even so, Suu Kyi's situation is especially problematic. Her pro-democracy movement had earned her widespread respect internationally and led to 15 years of strict house arrest and only limited contact with her family. However, since the military government began to relinquish control in 2011, she has failed to speak out against escalating anti-Muslim and anti-Rohingya violence in the western state of Rakhine, some of which is said to have been carried out by her own government forces, and refused to let the United Nations investigate."

    In 2107 : "Fellow Nobel peace laureate Shirin Ebadi, an Iranian lawyer and human rights activist, is among those who have criticized Suu Kyu, but she also says that the Nobel Peace Prize cannot be revoked. “Suu Kyi received this prize for her peaceful resistance in the face of oppression. She deserved to win it,” Ebadi told Deutsche Welle. “How the Nobel peace laureates behave after taking the prize has nothing to do with the Nobel committee. It is up to the laureates to honor the award. Aung San Suu Kyi fails to do.”

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා බරණ ගණිතයා ගැන අහල තියෙනවද? දවසක් උන්නැහේ ගමනක් යනකොට කට්ටියක් මේසෙකට වාඩිවෙලා බැදපු මාළු කකා (රා බොමින්) සූදු කෙලිනවා දැකලා මෙහෙම් කිව්වා ලු.

    "පෙර රැස නගා පලහා අන්තිම රාසි
    යුග රැස වන් දනා උනුන්'උන් දෙති වාසි."
    පෙර රැස කිව්වෙ පළමුවෙනි රාශිය "මේෂ", ඒක නිකම්ම "මේස" වෙලා. අන්තිම රාසි කිව්වෙ මීන ඒ කියන්නේ මාළු - "යුග රැස" කිව්වේ දෙවෙනි රාශිය - වෘෂභ, නැත්නම් හරක්

    ඉතින් අපිටත් මේ කට්ටිය ගැන කියන්න තියෙන්නේ "යුග රැස වන් දනා........." කියල තමයි ��

    ReplyDelete
    Replies
    1. පෙර රැස නගා පලහා අන්තිම රාසි
      නොම රැස එක් ගහන් දස එක් වන රාසි
      යුග රැස වත් දනෝ සිවු රැස ගෙන පෑසී
      පස රැස ලෙසින් විකුමෙන් බස් දෙති වාසි

      ඔය කවිය ගැන කලින් ලිපියක විස්තර ලියපු මතකයක් තිබුණත් දැන් හොයා ගන්න බැහැ. පහත ලිපිය ඇතුළු තවත් ලිපි වල රාශි චක්‍රය ගැන ලියා තිබෙනවා.

      පාර කියන තාරකා...

      Delete
    2. බරණ ගණිතයා විතරක් නෙවෙයි කොත්මලේ ගණිතයා ගැනත් රසවත් කථා ගොඩක් තියෙනවා. කොත්මලේ, මාවෙල ග​මේ කළ සමීක්ෂණයකදී ​කොත්මලේ ගණිතයා ලියූ පුස්කොළ පොත් දෙකක අත් පිටපත් දෙකක් පළමුවරට සොයා ගත හැකි වූ අතර ඉන් පළමු පොත වූ මහා ගණිතය තෙළිඟු බසින් ලිවූ පත්තිරු එකසිය පනහක නක්ෂත්‍ර ග්‍රන්ථයකි. පත්තිරුවක දිග අඟල් හයක් වෙයි. පළල අඟල් තුනක් වන අතර පත්තිරුව දෙපැත්තේම ලියා ඇත. මහා ගණිතය තෙළිඟු නක්ෂත්‍ර ග්‍රන්ථය කම්බා බැඳ ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල බුද්ධ වර්ෂ 2301 හෙවත් ක්‍රි.ව. 1751 මේ පොත ලියා ඇත. මහා ගණිතය අග අවසාන පිටුවේ මේ පාඨය එයි. ස්වස්ති සිද්ධම් බුද්ධ වර්ෂ 2301 සිකුරාධිපති මහා ගණිතයා ඔහුගේ නක්ෂත්‍ර දැනුම හෙළි කරන අතර මේ තෙළිඟු බසින් ලිවීමෙන් ඔහුගේ දකුණු ඉන්දීය සම්භවය පෙනී යයි.

      කොත්මලේ ගණිතයාගේ දෙවැනි ග්‍රන්ථය පත්ඉරු 150 යුතු සාරංග මාලය කවි පොතයි. කොත්මලේ ඔය අද්දර මොරපේ කතරගම් දේවාලයේ පෙරහැර නිමවී දිය කපන විට එන එදා හාල් වැලිතොට නම් වැලිතලාවේදී ශබ්ද රසයෙන් ඉහළ සාරංග මාලයේ කවි කියමින් මොරපේ කතරගම දෙවියන්ට පූජා පවත්වා ඇත.

      මේ වගේ ම කොත්මලේ ගණිතයා නැකැත් ගැනීමට භාවිත කළ ගල් පුවරුව ඔහු භාවිතා කළ ලෝහ පන්හිඳ ඒ පරපුරේ අය සතුව තවම ඇත. කොත්මලේ හරංගල මහා විද්‍යාලයේ පැවති සාහිත්‍ය උත්සවයකදී ඔහු ලියූ මහා ගණිතයා හා සාරංග මාලයේ පුස්කොළ අත් පිටපත් ද ඔහු භාවිත කළ පන්හිඳ ද මහජන ප්‍රදර්ශනයට තබන ලදි. ඔහුගේ මරණයට පසු අද ඇති පරපුර ​කොත්මලේ ගණිතයාගේ බාල සොහොයුරු කුඩා නැකැත්තාගෙන් පැවත එයි. පසු කල ඒ පරපුරේ කුඩා නැකැත්තා හා සිරියා නැකැත්තා ජීවත්ව ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල (1798-1815) මුතුවා හෙවත් රාජ මුතු නැකැත්තා ජීවත් විය.

      කෙසේ වෙතත් ජනප්‍රවාදයේ හැටියට කොත්මලේ ගණිතයාගේ නක්ෂත්‍ර දැනුම ගැන යටි හිතින් ඊර්ෂ්‍යා කළ රාජධිරාජසිංහ රජු ඔහු වගේ බලගතු නක්ෂත්‍රකරුවෙක් සිටීම තමාට තර්ජනයක් බැවින් ගණිතයාගේ හිස ගසා දැමීමට තීරණය කර ඇත. මෙහිදී කොත්මලේ ගණිතයා තම ග්‍රහචාරය ගැන බලන්නට විය. රජු තමා කෙරෙහි සැකයෙන් හිස ගසා දැමීමට නියම කර ඇති බව ඔහුට අවබෝධ විය. තමන්ගේ ග්‍රහචාරය අනුව තමාට තව ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයක් බව ඔහුට පෙනුණි. ඒ නිසා තම හිස ගසා දැමීම තුන් පැයකට ප්‍රමාද කරන ​ෙලස ඔහු බැගෑපත්ව රජුගෙන් කවියකින් මෙසේ ඉල්ලුවේය. කවිය ගැන පැහැදුණු රාජාධිරාජසිංහ රජු ඔහුගේ හිස ගසා දැමීම තුන් පැයකට ප්‍රමාද කර ඇත.


      හත් අවුරුද්දක් වහිනා වැස්සේ බිංදු ගණන්
      කරලා දෙඤ්ඤං

      සත් අවුරුද්දක් ගිය කන්කුංඩගෙ කකුල් ගණන්
      කරලා දෙඤ්ඤං

      අබ තුන් පෑලක් මැනලා දුන්නොත් පියලි ගණන්
      කරලා දෙඤ්ඤං

      තව තුන් පැයකට නොමරා හිටියොත් මෙතුන් පදේ තෝරාලා දෙඤ්ඤං

      ටීබී කෙහෙල්ගමුවේ ලිවූ කොත්මලේ පුරාවෘත්ත ග්‍රන්ථයේ හා පුංචි බණ්ඩාර සන්නස්ගලගේ සිංහල සාහිත්‍ය වංශය මේ කවිය දක්වා ඇත. තුන් පැය අවසානය ගෙවීයත්ම කොත්මලේ ගණිතයාගේ ආයුෂ කෙළවර වී ඉබේම මරණයට පත් විය. එහෙත් ඔහුගේ මරණයෙන් රජුගේ සිත තදින් කම්පාවට පත් විය.

      මීට අමතරව ග්‍රහ තරුවක චලනය දිගු කලක් නිරීක්ෂණය කළ කොත්මලේ ගණිතයා කොත්මලා ඔය දෙපස පිහිටි කඩ දොර හා තිස්පනේ යන කඳු දෙක මතු අනාගතයේ එක් වන බව හා කොත්මලා ඔය උතුරට ගලන බව අනාවැකියක් කියා ඇත. කෙසේ හෝ වසර දෙසීය තිහකටත් පසු ගණිතයාගේ මෙම අනාවැකිය සනාථ කරමින් ​කොත්මලේ බැම්ම බැඳ ජලාශය ඉදිවීමෙන් ජලාශය දෙපස පිහිටි කඩදොර හා තිස්පනේ යන කඳු දෙක ජලාශය නිසා එකතු වූ අතර ජලය උමං හා ඇල මාර්ග හරහා උතුරු දිශාවට යවනු ලැබීය. මේ ගැන දීර්ඝ ලෙස විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි.

      Delete
  4. එකොනෝ, අයුබෝං කිව්වා...
    කලකට පස්සේ වලට සෙට් වෙන්නේ. : ))

    2021 ජනවාරි 27 ලිපියේ අන්තිම ඡේද තුන සම්බන්ධවය:

    ප්‍රාග්ධන හිමියන්ගේ  හෙට්ටු කිරීමේ බලය (F1) සහ ශ්‍රමිකයන්ගේ හෙට්ටු කිරීමේ බලය (F2) නම් , වෙනත් බාහිර බලයන්  මෙම පද්ධතිය මත ක්‍රියා නොකරයි නම් F1= F2 සහ එනයින් F1- F2 =0 වෙයි. මේ නිසා (wL + rK) - Y = 0 සත්‍ය වෙයි. එනම්, මින් අදහස් වෙන්නේ වෙළඳපොල සහ කුටුම්භ අතර dynamic equilibrium  එකක් ඇති වෙලා කියන එකයි. ඇත්තටම නිදහස් වෙළඳ පොල තුල අප (ප්‍රාග්ධන හිමියා සහ ශ්‍රම හිමියා) අපේක්ෂා කරන තත්ත්වයත් මෙයයි.

    නමුත්  මේ වනාහි සුමට කප්පි, ආතති රහිත තන්තු, සහ ඝර්ෂණ රහිත පෘෂ්ඨයන් ලෙසට අර්ථ දක්වන පරිපූර්ණ/ideal  භෞතික  තත්ත්වයක්. මෙවන් තත්ත්වයක් ඇති ⁣භෞතික විද්‍යාගාරයක් කොහේද තියෙන්නේ? ඒක නිසා මනින හැම මිනුමකම දෝෂයක් තියෙනවා. නමුත් C-D ආකෘතියේ වෙළඳ පොල විතරක් real market place එකක්!

    ශ්‍රමිකයාගේ සංවිධානය වීම සහ ප්‍රාග්ධන හිමියාගේ ශුද්ධ ලාභය යනු ඉතා නිවැරදි ආකාරයෙන් දෙපිරිසටම ලබා ගත නොහැකි දත්තයන්. එනම්, දෙපිරිසටම හැසිරෙන්න සිදු වෙලා තියෙන්නේ අඩු දත්තයන් ලැබෙන තත්ත්වයන් යටතේ. වෙළදපොල තුල සාධාරණ තීරණයන් ගැනීමට දත්තයන් අවහිර වන තත්ත්වයක් තුල නිදහස් වෙළදපොලක් පැවතිය හැකිද?

    අනික, මේ සමතුලිතතාවය ඒක තල මානයකම පවතී යැයි සාධාරණ ලෙසට අපට උපකල්පනය කල හැකිද? වෙනත් බාහිර තත්ත්වයන් ලෙස මා අදහස් කරන්නේ  ප්‍රාග්ධනය ගෝලීය ලෙස විතැන් කරවීම මෙන්ම වැඩ වර්ජන. මේවා  පවතින්නේ මෙම ආකෘතිය මඟින් සාධාරණ ලෙස විස්තර කල නොහැකි තත්ත්වයක් යටතේයි. (නිදසුනක් ලෙසට සමාජ සහ පාරිසරික  සාධාරණත්වය උදේසා සාමාජීය නිශ්පාදනය සමතුලිත කිරීම වැනි මාතෘකාවක් මෙතැනට ඇදලා ගත්තොත් C-D ආකෘතියේ සීමාවන් ඉක්මනින්  පැහැදිලි වෙනවා.)


    මේ අනුව ශ්‍රමිකයා සහ ප්‍රාග්ධන හිමියා හැසිරෙන පොදු  වෙළඳපොල තුල ඇති real තත්ත්වය යටතේ මෙම C-D ආකෘතිය යොදවා ගෙන ඉන් මාක්ස්වාදී න්‍යායය අහෝසී වී යන්නේ යැයි කීම කෙතරම් සීමා සහිත ප්‍රකාශනයක්ද?

    CP-C

    ReplyDelete
    Replies
    1. //ප්‍රාග්ධන හිමියන්ගේ හෙට්ටු කිරීමේ බලය (F1) සහ ශ්‍රමිකයන්ගේ හෙට්ටු කිරීමේ බලය (F2) නම් , වෙනත් බාහිර බලයන් මෙම පද්ධතිය මත ක්‍රියා නොකරයි නම් F1= F2 සහ එනයින් F1- F2 =0 වෙයි. මේ නිසා (wL + rK) - Y = 0 සත්‍ය වෙයි. එනම්, මින් අදහස් වෙන්නේ වෙළඳපොල සහ කුටුම්භ අතර dynamic equilibrium එකක් ඇති වෙලා කියන එකයි. ඇත්තටම නිදහස් වෙළඳ පොල තුල අප (ප්‍රාග්ධන හිමියා සහ ශ්‍රම හිමියා) අපේක්ෂා කරන තත්ත්වයත් මෙයයි.//

      මම හිතන්නේ ඔබ නැවතිලා තිබෙන්නේ ගොඩක් වැදගත් තැනක. මට සාපේක්ෂව වත්මන් මොහොතේ දේශපාලනය තිබෙන තැනට ඔබ කිට්ටු වෙලා කියා මම හිතනවා. නමුත් ඔබ සමඟ වන සාකච්ඡාව නියම මාර්ගයට ගෙන යන්න පෙර මට එය හරියටම තහවුරු කරගන්න අවශ්‍යයි. ඒ සඳහා අපට තව ටිකක් කතා කරන්න වෙයි.

      මගේ පළමු ප්‍රශ්නය වන්නේ ඝර්ෂණ සියල්ල අමතක කර සෛද්ධාන්තිකව මෙවැනි ගතික සමතුලිතතාවයක් පැවතිය හැකිනම් ඒ ගතික සමතුලිතතාවය පිළිබඳව ඔබට ප්‍රශ්න තිබෙනවාද කියන එකයි. වෙනත් විදිහකින් කිවුවොත් "ඇත්තටම නිදහස් වෙළඳ පොල තුල අප (ප්‍රාග්ධන හිමියා සහ ශ්‍රම හිමියා) අපේක්ෂා කරන තත්ත්වයත් මෙයයි." කියද්දී මෙහි "අප" කියන එක ඇතුළේ ඔබ සිටිනවාද?

      කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ඇසුරෙන් මා ලියූ ලිපි පෙළේ ඉලක්කය වූයේ මේ ආකාරයේ ගතික සමතුලිතතාවයක් මාක්ස්වාදය විසින් යෝජනා කරන ක්‍රමයට වඩා සාධාරණ හා කාර්යක්ෂම බව පෙන්වා දීමයි. ඔබ එය පිළිගන්නවානම් ඔබේ ප්‍රතිචාරයේ ඉතිරි කොටස් පිළිබඳ පැහැදිලි කිරීම් කළ හැකියි. (සමහර විට තවත් ආකෘති ගණනක් විස්තර කරමින් හා ලිපි ගණනකින්.) නමුත් ඔබට මෙහි ඔබ විසින් නිවැරදිව අවබෝධ කරගෙන විස්තර කර තිබෙන ආකාරයේ ගතික සමතුලිතතාවයක් පිළිබඳව කවර හෝ ප්‍රශ්නයක් තිබේනම් අප ඉදිරියට යා යුත්තේ එම ප්‍රශ්න විසඳාගෙනයි.

      ඔබ අසා තිබෙන ප්‍රශ්න නිවැරදි, සාධාරණ හා වැදගත් ප්‍රශ්න. ඒ වගේම සාධාරණ වශයෙන් ගත් විට ආර්ථික විද්‍යාඥයින් විසින් මේ මොහොතේ විසඳුම් හොයන්නේ හා විසඳුම් යෝජනා කරන්නේ මේ ආකාරයේ ප්‍රශ්න වලටයි. නමුත් විසඳුම් ගැන කතා කරන්න කලින් අපට විසඳුමක ඉලක්කය විය යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව එකඟ වෙන්න වෙනවා. එය යම් තරමකින් දේශපාලනිකයි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...