වෙබ් ලිපිනය:

Wednesday, March 10, 2021

ප්‍රාග්ධනය එක්රැස්වීම


කාර්මික විප්ලවයෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත යුරෝපයේ විශාල සමාජ පරිවර්තනයක් ඇති වුනා. දිගු කාලයක් තිස්සේ පැවති නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වීමත් එක්ක ඇති වුනු කම්හල් වල වැඩ හොයාගෙන ගම් වල හිටපු මිනිස්සු විශාල වශයෙන් නගර කරා ඇදුනා. ශ්‍රමය විකිණීම සඳහා තරඟය වැඩි වෙද්දී ශ්‍රමය ලාබ වුනා. ශ්‍රමිකයන්ට ඉතා අයහපත් තත්ත්වයන් යටතේ දිගු පැය ගණනක් වැඩ කරන්න සිදු වුනා. ඇඩම් ස්මිත්ගේ ඉඳලා කාල් මාක්ස් දක්වා වූ කාලයේ ජීවත් වුනේ මේ සමාජ පරිවර්තනය ඇහෙන් දැකපු උදවිය. ඔවෙන්, ෆුරියේ, මැල්තුස් වගේ අය ඔය අතරමැද කාලයේ ජීවත් වුනු අය.

ඔය කාලයේ ශ්‍රමිකයන්ගේ තත්ත්වය ගොඩක් නරක මට්ටමක තිබුණේ ඇයි කියන කාරණාව අපට දැන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. 

ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.

w = ∂Y/∂L = (1-α)Y/L

r = ∂Y/∂K = αY/K

විශාල පිරිසක් සතුව ශ්‍රමය තියෙද්දී, ප්‍රාග්ධනය තිබෙන්නේ සුළු පිරිසක් සතුවනම් ඉහත w හා r වලට මොකද වෙන්නේ? Y හා  α නොවෙනස්ව තිබෙන තත්ත්වයක් යටතේ L වැඩි වන තරමට w පහළ යනවා. සාමාන්‍ය භාෂාවෙන් කිවුවොත් ශ්‍රමය විකුණන්න ඕනෑ තරම් අය ඉන්න නිසා ඒ අය අතර තරඟයෙන් වැටුප් පහළ යනවා. නමුත්, ප්‍රාග්ධන හිමියන් ඉන්නේ සුළු පිරිසක් නිසා ඒ අය අතර ඒ තරම් තරඟයක් නැහැ. එහෙම තරඟයක් ඇති වෙන්නේ ශ්‍රමය හොයා ගන්න අමාරු තරමේ හිඟයක් ආවානම් පමණයි. ඔය කාලයේ එවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රාග්ධනය හොයාගෙන ශ්‍රමය ආවා මිසක් ශ්‍රමය හොයා ගෙන ප්‍රාග්ධනයට යන්න වුනේ නැහැ. K අඩු නිසා r ඉහළ මට්ටමක තිබුණා.

ඔය කාලයේ උපත් පාලනයක් තිබුණේ නැහැනේ. සාමාන්‍ය ශ්‍රමිකයෙකුට දරුවන් විශාල ප්‍රමාණයක් හිටියා. පවුලක බඩවල් පුරවන එක ලේසි නැහැ. ලැබෙන වැටුපෙන් පවුලකට යාන්තමින් හෝ ජීවත් වෙන එක පහසු වුනේ නැහැ. පවුල නඩත්තු කරගෙන යාන්තමින් ජීවත් වෙන්න පැය ගාණක් වැඩ කරන්න වුනා. යාන්තම් කරදඬු උස්මහත් වෙද්දී ළමයින්ටත් කම්හලක රස්සාවක් හොයා ගන්න වුනා. 

මේ කම්කරුවන්ගේ දුක්ඛිත ජීවිත ගැන බොහෝ දෙනෙක් සානුකම්පිකව බැලුවා. විසඳුම් හෙවුවා. ඇඩම් ස්මිත් දැක්කේ එක විසඳුමක්. ඔවෙන් වෙන විසඳුමක්. මාක්ස් තවත් විසඳුමක්.

ඇඩම් ස්මිත්ගේ අදහස වුනේ ප්‍රාග්ධන හිමියන් අතර තරඟය වැඩි වෙද්දී ශ්‍රමය ආකර්ෂණය කර ගැනීම සඳහා කම්කරුවන්ට වඩා හොඳ වැටුප් ගෙවන්න සිදු වෙනවා කියන එකයි. මේ අදහස නිවැරදි බව අද වන විට පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. එහෙත්, කාල් මාක්ස්ගේ පුරෝකථනය වුනේ ප්‍රාග්ධන හිමියන් විසින් දිගින් දිගටම ශ්‍රමිකයන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය අවම වැටුපක් පමණක් ලබා දෙමින් අතිරික්තය මුළුමනින්ම සූරාකන නිසා කම්කරුවන්ගේ තත්ත්වය කොහොමටවත්ම වෙනස් වෙන්නේ නෑ කියන එකයි.

ඇඩම් ස්මිත්ට සාපේක්ෂව මාක්ස්ට සියවසක ඉතිහාසයේ වාසිය තිබුණා. මාක්ස්ගේ ප්‍රවාද හැදුනේ ඇඩම් ස්මිත් විසින් ආර්ථික විද්‍යාවට එකතු කළ දේ, ඔවෙන් හා ෆුරියේ වැනි මනෝරාජික සමාජවාදීන්ගේ අදහස් හා හේගල්ගේ දර්ශනය උකහා ගනිමිනුයි. මාක්ස්ගේ තර්කය වුනේ නිවැරදි විද්‍යාත්මක ප්‍රවාදයකින් දැනට පවතින තත්ත්වය පමණක් පැහැදිලි කළ හැකි වීම ප්‍රමාණවත් නොවන බව හා මිනිස් ඉතිහාසයම පැහැදිලි කළ හැකි විය යුතු බවයි.

ගැලීලියෝගෙන් පස්සේ බටහිර භෞතික විද්‍යාවේ සීඝ්‍ර ප්‍රගතියක් ඇති වුනා. අලුත් භෞතික විද්‍යා නියම වලින් බොහෝ දේවල් පැහැදිලි කරන්න පුළුවන් වුනා. ඒ එක්කම ඒ විදිහටම සමාජ විද්‍යාවන්ද වර්ධනය කළ හැකි නියම හොයා ගන්න ලොකු උනන්දුවක් ඇති වී තිබුණා. දැනුම හොයා ගැනීමේ ඉලක්කය වුනේ පරම සත්‍යයක් එළිදරවු කර ගැනීමයි. ෆුරියේ වැනි අය උත්සාහ කළේ පදාර්ථ, පදාර්ථ වල ගුණ, ජීවය වගේම මිනිස් සමාජය ක්‍රියා කරන මූලික නියම එළිදරවු කර පැහැදිලි කරන්නයි. වෙනත් විදිහකින් කිවුවොත් දෙවියන් වහන්සේගේ සැලසුම එළිදරවු කර ගැනීම. 

කාල් මාක්ස් මේ සැලසුමෙන් දෙවියන් වහන්සේව අයින් කළා. එහෙත්, සැලසුමක් තිබෙනවා කියන අදහස අයින් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු දෙවියන් වහන්සේ නැතුව ඒ සැලසුම එළිදරවු කර පැහැදිලි කළා. කාල් මාක්ස් විසින් දැකපු විදිහට මිනිස්සුන්ට දුක් විඳින්න සිදුවන ආරම්භක පාපය පෞද්ගලික ප්‍රාග්ධනයයි. ඔහු දුටු අනාගත පාරාදීසියේ පොදු දේපොළ මිසක් පෞද්ගලික දේපොළ නැහැ.

මාක්ස්ගේ විග්‍රහය පටන් ගන්නේ මිනිස්සු සතුව ප්‍රාග්ධනය නැති අතීතයකින්. මා කලින් ලිපියක ලියූ පරිදි මිනිස්සු මිනිස්සු වෙන්නේම ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමට සමාන්තරවයි. ප්‍රාග්ධනය නැති මිනිස් සමාජයක් හා සත්තු අතර වෙනසක් නැහැ. කෙසේ වුවත්, ආන්තීය තත්ත්වයක් විදිහට අපිට මේ වගේ තත්ත්වයක් ගැන හිතන්න පුළුවන්.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ α=0  වූ විට අපට මෙසේ ලියන්න පුළුවන්.

Y = F(K,L) = AKαL1-α = AK0L1-0 = AL

මෙහි L මිස K නැහැ. නිෂ්පාදිතයේ වටිනාකම ශ්‍රමයට සමානුපාතිකයි. මේ අනුව, නිෂ්පාදිතය කියන්නේ ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් කියා අපට කියන්න පුළුවන් නිසා, එම තර්කය මත පදනම්ව භාණ්ඩයක වටිනාකම ඒ වෙනුවෙන් යෙදවූ ශ්‍රම ඒකක ගණනට සමාන ලෙස අපට සලකන්න පුළුවන්. මෙය මාක්ස්වාදයේ මූලික උපකල්පනයක්. එහෙත් මෙය මාක්ස්ගේ කාලයේදී දැන සිටි දෙයක් මිසක් මාක්ස් විසින් එකතු කළ දෙයක් නෙමෙයි. ඇඩම් ස්මිත් විසින්ද මෙය මෙලෙසම සලකා තිබෙනවා. ඒ කාලය වෙද්දී භාණ්ඩයක වටිනාකම පිළිබඳ අද පිළිගැනෙන සම්මත න්‍යායයන් වැඩිදියුණු වී තිබුණේ නැහැ.

භාණ්ඩයක වටිනාකම හැදෙන්නේ එය නිපදවීම සඳහා යෙදවූ ශ්‍රමය නිසා පමණක්නම් එම වටිනාකමේ අයිතිය තිබෙන්නේ ශ්‍රමය යෙදවූ ශ්‍රමිකයාටයි. ඒ අනුව, ශ්‍රමය නොයොදවා ලාභයක් උපයන ප්‍රාග්ධන හිමියා විසින් කරන්නේ ශ්‍රමිකයා සතු දෙයක් සූරාකන එකයි. ඉතා සරලව මාක්ස්වාදයේ පදනම ඕකයි.

මාක්ස්වාදය තුළ, එහෙමත් නැත්නම් ඓතිහාසික භෞතිකවාදය තුළ, ඉහත කී ආකාරයෙන් ශ්‍රමය පමණක් නිශ්පාදනය සඳහා යොදවන, ප්‍රාග්ධනයක් නැති කාලය හැඳින්වෙන්නේ ආදි කොමියුනිස්ට් සමාජය විදිහටයි. ඊට පස්සේ වහල් යුගය, වැඩවසම් යුගය හා ධනවාදය ලෙස සමාජය විකාශනය වෙනවා. මාක්ස්ගේ ප්‍රවාදය අනුව ධනවාදයෙන් පස්සේ කොමියුනිස්ට් සමාජයක් එනවා. මේ පරිණාමය කවුරුවත් සැලසුම් කරන දෙයක් නෙමෙයි. කොහොමටත් සිදුවන දෙයක්. 

මාක්ස්වාදයටම අනුව වුනත් ධනවාදී නිෂ්පාදනය සිදු වෙන්නේ ශ්‍රමය පමණක් නිෂ්පාදන සාධක ලෙස යොදා ගනිමින් නෙමෙයි. නිෂ්පාදන සාධකයක් විදිහට ප්‍රාග්ධනයත් යොදා ගැනෙනවා. එහෙත්, මාක්ස්වාදයට අනුව ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් හිමි විය යුතු නැහැ. සියල්ල ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතුයි.

මේ තර්කයේ පදනම වන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය කියා කියන්නේම ඓතිහාසික "වැරැද්දක්" කියන එකයි. ආරම්භයේදී නිෂ්පාදිතය ශ්‍රමය මත පමණක් පදනම් වූ නිසා පෞද්ගලික ප්‍රාග්ධනය රැස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකුගේ ශ්‍රමයේ ප්‍රතිලාභ තමන් සතු කර ගැනීමෙන් කියන එක මාක්ස්වාදී අදහසයි. උදාහරණයක් විදිහට වහල් හිමියෙක් විසින් වහලෙකුගේ ශ්‍රමය සූරාකමින් ප්‍රාග්ධනය එක්රැස් කර ගන්නවා.

ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය මාක්ස් විසින් දැක්කේ ප්‍රචණ්ඩ ලෙස සිදු වූ දෙයක් විදිහටයි. පිරිසක් විසින් යම් ප්‍රදේශයක් කොටුකර ගෙන එහි සිටින තවත් පිරිසක් බැහැර කරනවා. එසේ බැහැර කරනු ලැබූ පිරිසට ජීවත් වීම සඳහා කුලී ශ්‍රමිකයන් වෙන්න සිදු වෙනවා. ප්‍රාග්ධන හිමියන් හා ශ්‍රමිකයන් කියා කොටස් දෙකක් හැදෙන්නේ ඔය විදිහටයි. 

මාක්ස්ට කලින් ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය ඇඩම් ස්මිත් විසින් දැක තිබුණේ සාමකාමීව සිදු වූ දෙයක් විදිහටයි. නාස්තිකාරයෝ හා විවිධ විෂමාචාර වල යෙදෙන්නෝ ලැබෙන දේ අනෙක් අතට වියදම් කරද්දී මසුරෝ සල්ලි ඉතුරු කරනවා. මේ වැඩෙන් යම් පිරිසක් අතේ පමණක් ප්‍රාග්ධනය එකතු වෙනවා. අද නූතන ධනවාදී සමාජයක් දිහා බැලුවහම මාක්ස් විසින් සමච්චලයට ලක් කළ ඇඩම් ස්මිත්ගේ ප්‍රවාදය නිවැරදි බව පේනවා.

ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීම එකම ආකාරයකට පමණක් සිදු වුනා කියලා මම හිතන්නේ නැහැ. ඇඩම් ස්මිත් විස්තර කරපු ආකාරයට සාමකාමීව වගේම කාල් මාක්ස් විස්තර කළ ආකාරයට ප්‍රචණ්ඩ විදිහටත් ඔය වැඩේ වෙන්න ඇති. මේ හේතු දෙකට අමතර තුන් වන හේතුවක් විදිහට වාසනාව කියන සාධකයත් ඉදිරිපත් කරන්න පුළුවන්. වාසනාව කියා මම කියන්නේ අහඹුතාවය.

කාලයකට ඉස්සර රත්නපුර පැත්තේ ගොඩක් අය පතල් රස්සාව කළානේ. දැන් ඔය වගේ කර්මාන්තයකදී L විශාල ලෙස වැඩි කළා කියලා Y ඒ තරම් වැඩි වෙන්නේ නැහැ. Y වැඩි වෙන්නේ මැණිකක් හම්බ වුනොත් පමණයි. මෙහිදී වෙන්නේ A වැඩි වෙන එක. ඒ කියන්නේ Y/L හෙවත් ශ්‍රම ඒකකයකට නිෂ්පාදිතය. එකම මහන්සිය වෙන දෙන්නෙක් අතරින් වටිනා මැණිකක් හොයා ගන්න වාසනාව තිබුණු කෙනා ලොකු ධනවතෙක් වෙනවා. අනික් අය දිගටම දුප්පත්තු. මෙහිදී Y/L = A කියා කියන්නේ වාසනාව මිසක් තාක්ෂනය නෙමෙයි.

මේ උදාහරණයේදී තරම්ම පැහැදිලි නැතත් ඔය වාසනාව හෙවත් අහඹුතාවය බොහෝ කර්මාන්ත වල Y/L කෙරෙහි බලපෑමක් කරනවා. උදාහරණයක් විදිහට කාලගුණය, දේශගුණය, පසේ ස්වභාවය ආදී දේවල්. විශේෂයෙන්ම මුදල් කියන දේ හොයා ගත්තට පස්සේ.

ඉතිහාසයේ යම් අවස්ථාවක රන් හා රිදී මුදල් බවට පත් වෙනවා. ඒ එක්කම මිනිස්සුන්ට ධනවත් වෙන්න විකල්ප මාර්ගයක් හිමි වෙනවා. ඒ රන් හෝ රිදී හොයන එක. රන් හෝ රිදී හොයා ගන්න කෙනෙකුට ආහාර, රෙදි පිළි වගේ අත්‍යවශ්‍ය දේවල් හදාගන්න මහන්සි නොවී ඒවා හදන කෙනෙක්ගෙන් මිල දී ගන්න පුළුවන්. අනෙක් අතට ආහාර, රෙදි පිළි වගේ දේවල් නිපදවන කෙනෙකුට රන්, රිදී හාරන්න මහන්සි නොවී මිල දී ගැනීම හරහා ඒවා අයිති කරගෙන ධනවතෙක් වෙන්න පුළුවන්.

මුල්ම කාලයේදී නයිල් ගඟේ ඉවුරක ඇවිද ගෙන යන කෙනෙකුට අහම්බෙන් වගේ දිලිසෙන රත්තරන් කෑල්ලක් අහු වෙන්න ඇති. ලස්සන නිසා ළඟ තියාගෙන හිටපු මේ රත්තරන් කෑල්ල වෙනත් කෙනෙකුට දීලා මරපු සතෙක්ව ලබා ගන්න පුළුවන් බව පස්සේ තේරෙන්න ඇති. කොහොම කොහොම හරි කාලයක් යද්දී රන් හා රිදී ලෝකය වටේම ධන සංචිත ලෙස සැලකෙන්න පටන් ගත්තා.

රන් රිදී හැම තැනම නැහැ. මේවා තියෙන තැනක මිසක් නැති තැනක ඉන්න කෙනෙක් කොයි තරම් මහන්සි වෙලා පොළොව හෑරුවත් රන් රිදී හමු වෙන්නේ නැහැ. වාසනාව කියන සාධකය මෙහිදී බලපානවා. ලෝක ඉතිහාසය පුරා සමහර රටවල් ධනවත් වෙන්නත් තවත් සමහර රටවල් දුප්පත් වෙන්නත් රන් රිදී වගේ වටිනා වස්තු තිබීම වැනි අහඹු කරුණුත් යම් තරමකින් බලපෑවා. ලංකාවේ රන් රිදී නොතිබුණත් ඒ වගේම වටිනා මුතු හා මැණික් තිබුණා. ඇත්දළ වගේ දේවලුත් තිබුණා. මේ දේවල් සමඟ හුවමාරු කරලා රන් හා රිදී ලබා ගන්න පුළුවන් වුනා.

ඇමරිකන් ඩොලරය ජාත්‍යන්තර මුදල් ඒකකය බවට පත් වෙන්න කලින් ඒ තැන තිබුණේ බ්‍රිතාන්‍ය පවුමට. එහෙත් පවුමේ තිබුණේ එහි අඩංගු වූ රන් වල වටිනාකම. ඔය විදිහට ලෝකයේ විවිධ රටවල භාවිතා වූ කාසි වලට තිබුණේ ඒ කාසි වල තිබුණු රන් හෝ රිදී වල වටිනාකම. රන් හා රිදී වල වටිනාකම තීරණය වුනේ ඉල්ලුම හා සැපයුම මත. 

රන් වලට වඩා වැඩිපුරම මුදල් විදිහට භාවිතා වුනේ රිදී. රුපියල් කියන වචනය හැදිලා තියෙන්නෙත් රිදී යන අදහස තිබෙන රුප්‍ය (रूप्य) කියන සංස්කෘත වචනයෙන්. හීබෘ භාෂාවේ කෙසේ (כסף) කියන වචනයේ වගේම ආජෙන්ටුම් (argentum) කියන ලතින් වචනයේත් රිදී කියන තේරුම වගේම මුදල් කියන තේරුමත් තිබෙනවා.

අටවන සියවසේදී ඇන්ග්ලෝ සැක්සන් වරු භාවිතා කළේ ස්ටර්ලින් ලෙස හැදින්වුනු රිදී කාසි. මේ රිදී කාසි 240ක මළු ලොකු ගනුදෙනු වලදී යොදා ගත්තා වගේම බර මැනීමේ ඒකකයක් විදිහට භාවිතා වුනා. ඒ වගේ මල්ලක් පවුන් (Pound) එකක් ලෙස හැඳින්වුනා. පවුන් එකක එහෙමත් නැත්නම් රාත්තලක් බර ස්ටර්ලින් රිදී කාසි මළු වලින් ගනුදෙනු කළේ ලොකු පෝසත්තු. එංගලන්තය රිදී කාසි වෙනුවට රන් කාසි වලට මාරු වුනේ ගොඩක් පස්සේ. අයිසෙක් නිවුටන්ගේ කාලය වෙද්දී යුරෝපයේ රිදී කාසි ගොඩක් බාල්දු වෙලා. රන් මිල රිදී මිල මෙන් පහළොස් ගුණයක් පමණ වෙලා. නමුත්, ඒ කාලය වෙද්දීත් චීනයේ හා ඉන්දියාවේ වැඩි ඉල්ලුමක් තිබුණේ රිදී කාසි වලටයි.

5 comments:

  1. ඉකොනොමැට්ටා ඉතිහාසය ගැන කතා කරන එක වගේම නූතන ලංකාවේ තත්ත්වය ඉහළ නැංවීමට කළ යුතු දේ ගැනත් හිතන්න ඕන නේද?

    මේ බලන්න මේක;

    https://www.facebook.com/groups/campofjvp/permalink/2481111155341906/?app=fbl

    මේ ලංකාවේ දේශපාලකයන් නාස්ති කරන මුදල් අති විශාල ප්‍රමාණයක් ඉතුරු කරමින් රට සංවර්ධනය කළ හැකි බවට හිටපු දිස්ත්‍රික් ආදායම් නිලධාරියෙක් සහ අමාත්‍යාංශ ලේකම් කෙනෙක් විදියට වැඩ කරපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීයෙක් විසින් කරන අගනා පැහැදිලි කිරීමක්.

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? මම හිතන්නේ ලංකාවේ සෑහෙන ජනප්‍රිය වෙයි මේ වගේ නිර්මාණශීලී අදහස් සහිත ඇමතිවරු පිළිබඳව.

    ReplyDelete
  2. කාල් මාක්ස් කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා සදා අමරණියයි.

    ReplyDelete
  3. ආවෙමි, ඇවිත් කියවූයෙමි පෝස්ටුව
    කමෙන්ට්ස් එන්න කල් මදි එයි හෙටත් තව
    ඒවයෙනුත් ගත හැකි දේ එමට නෙව
    වියත් මඟට ඇයි නොගැනුණේ ඔහෙලාව?

    ReplyDelete
  4. සල්ලී අච්චු ගහල ආර්තික වර්ධනයක් පෙන්න පුලුවන් ද එකෝන් ? මේ අවුරුද්දෙ දෙවෙනි කාර්තුවේ 20% ආර්තික වර්ධනයක් අපේක්ෂා කරන්වා කියල කබ්‍රාල් කියනවා ?


    ReplyDelete
    Replies
    1. මේක සරල දෙයක්නේ. පසුගිය වසරේ දෙවන කාර්තුවේදී ආර්ථිකය 16.3%කින් හැකිලුණා. සාමාන්‍යයෙන් ලංකාවේ ආර්ථිකය 4.5%ක පමණ වේගයකින් වර්ධනය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමට වඩා 21%ක් පමණ අඩු මට්ටමකයි පසුගිය වසරේ දෙවන කාර්තුවේදී ලංකාවේ ආර්ථිකය තිබුණේ. එය රට වසා දැමීම නිසා ඇති වුනු කෘතීම තත්ත්වයක්. නැවත රට විවෘත කළාම ඔය අඩු වුනු ටික නැවත කලින් මට්ටමට එන්න ඕනෑ. මේ අවුරුද්දට සාමාන්‍ය වර්ධනය වන 4.5% එකතු වුණාම 2021 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 25%ක් පමණ විය යුතුයි. යහපාලන කාලයේ ආර්ථික වර්ධනය අඩු වුනා කියා සැලකුවොත් ඒ අඩු වුනු ටිකත් එකතු විය යුතුයි. ඒ ටික අපි අමතක කරමු. එතකොට 20%ක් කියන්නේ සාමාන්‍ය තත්ත්වයට වඩා 5%ක් අඩු ආර්ථික වර්ධනයක්. තවමත් රට කෝවිඩ් වලට පෙර තත්ත්වයට ඇවිත් නැති නිසා 25%ක්ම එන එකක් නැතත් 20%ක පමණ වර්ධනයක් එන එක සිදුවිය යුතුම දෙයක්. හැබැයි එය රට වසා දැමීම නිසා අඩු වූ ආර්ථික ක්‍රියාකාරකම් නැවත පෙර මට්ටමට පැමිණීමේ ප්‍රතිඵලයක් පමණයි. තෙවන කාර්තුව වෙද්දී ඕක අඩු වෙනවා. එසේ නැතුව දිගින් දිගටම 20% බැගින් වර්ධනය වෙන්නේ නැහැ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...