වෙබ් ලිපිනය:

Tuesday, March 9, 2021

දරුවන් සමඟ ඉගෙන ගැනීම


පසුගිය සති දෙක තුනේ මම මනෝරාජික සමාජවාදීන් ලෙස සැලකෙන ඔවෙන් හා ෆුරියේගේ මුල් ලේඛණ කිහිපයක් නැවත හැදෑරුවා. මෙහිදී කියෙවුවා නොකියා හැදෑරුවා කියා කියන්නේ ඒ දෙකේ වෙනසක් තිබෙන නිසා. පොතක් කියවන එක ඉතා ඉක්මණින් කළ හැකි දෙයක්. හැදෑරීම ඊට වඩා වෙනස්. මොකක් හෝ වැදගත් දෙයක් අහුවුනාම පොත කියවන එක තාවකාලිකව නවත්තලා එයට අදාළ පසුබිම් කරුණු දැන ගන්න වෙනත් දේ කියවන්න වෙනවා. එහෙම කියවද්දී තවත් දේවල් කියවන්න වෙනවා. පොත කියවීම නවත්තපු තැනට නැවත එන්න වෙන්නේ වරහන් එකින් එක වහගෙන. මේක ටිකක් වෙලාව යන වැඩක්. ඔය වගේ දෙයක් කරන්න මාතෘකාව ගැන සෑහෙන උනන්දුවක් ඇති විය යුතුයි.

මේ වැඩේ මම කාලයක් තිස්සේම කරන වැඩක්. ඇත්තටම කියනවානම් වියදම් අධික ඇබ්බැහියක්. මනෝරාජික සමාජවාදය ගැන නෙමෙයි. උනන්දුවක් ඇති වන ඕනෑම දෙයක් ගැන හැකි තරම් ගැඹුරින් හදාරනවා. තනිකරම මගේ සතුට වෙනුවෙන් කරන වැඩක්. ඔය වැඩේ කරද්දී ලියන්න සුදුසුයි කියා හිතන දෙයක් තමයි මෙහි කෙටියෙන් ලියා පළ කරන්නේ.

මනෝරාජික සමාජවාදීන්ගේ මුල් ලේඛන කියවන්න උනන්දුවක් ඇති වෙන්න එක් ප්‍රධාන හේතුවක් වුනේ අජිත් ධර්මා විසින් දමා තිබුණු ප්‍රතිචාර කිහිපයක්. හැබැයි එය එකම හේතුව නෙමෙයි. හරියටම ඔය දවස් වලම තවත් දෙයක් සිදුවුණා. මෙය තනිකරම අහම්බයක්. 

පසුගිය මාර්තු මාසයේ ඉඳලා අපේ දරුවෝ ඉගෙන ගන්නේ ගෙදර ඉඳලා. අවශ්‍යනම් පාසැල් යැවිය හැකියි. නැත්නම් ගෙදර සිට අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පුළුවන්. අපේ දරුවන්ව අපි තවමත් පාසැල් යැවුවේ නැහැ.

ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමයේ විභාග වලට සාපේක්ෂව පැවරුම් වලට සෑහෙන බරක් තියෙනවනේ. සරසවි වල වගේම පාසැල් වලත් එහෙමයි. දරුවෝ මේ පැවරුම් සම්පූර්ණ කරලා සබ්මිට් කරද්දී ඔවුන්ට එන ඊමේල් එකේ පිටපතක් මටත් එනවා. මේවා එකින් එක බැලුවේ නැතත් අවධානයෙන් ඉන්න බව පෙන්වන්න ඉඳහිට මේ පැවරුම් ගැන දරුවන් එක්ක කතා කරනවා. ඊමේල් එකේ මාතෘකාව අනුව සමහර පැවරුම් වලට එක පාරටම අවධානය යොමු වෙනවා.

මම ජනවාරි මාසයේ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගැන ලිවුවනේ. ඕක ඉදිරිපත් කළේ ඒ අනුසාරයෙන් මාක්ස්වාදය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිතාගෙන. ගොඩක් වෙලාවට ලිපි ලියවෙන්නේ හිතන පිළිවෙලටම නෙමෙයි. අවුරුදු හතර පහකට කලින් ලියන්න හිතාගෙන හිටපු සමහර ලිපි තවම ලියවිලා නැහැ. මනෝරාජික සමාජවාදීන් හා විද්‍යාත්මක සමාජවාදීන්ද  ඇතුළු යුතෝපියාවන් ගැන විස්තර කළ අය අනාගතය ගැන ශුභවාදීව බලපු අයනේ. ඔය වගේම, අනාගතය ගැන අශුභවාදී ලෙස බලමින් දිස්තෝපියානු අනාගතයන් ගැන විස්තර කළ අයත් ඔය කාල වකවානු වලම හිටියා. ඔය කණ්ඩායම් දෙකටම උත්තේජනයක් සැපයුවේ කාර්මික විප්ලවයෙන් පසුව යුරෝපයේ කම්කරුවන්ගේ ජීවිත වල පැවති දුක්ඛිත තත්ත්වය. සමහර අය ජීවත් වුනේ පොළොව යට හාරපු උමං ඇතුළේ. මේ වගේ තැන් දැනටත් බලා ගන්න පුළුවන්.

ෆුරියේ, ඔවෙන් වගේ අය අනාගතය දිහා ශුභවාදීව බලද්දී ඔවුන්ගේ සමකාලීනයෙකු වූ තෝමස් මැල්තුස් වගේ අය අනාගතය දිහා බැලුවේ අශුභවාදී ලෙසයි.

මැල්තුසියානු උගුලෙන් ගැලවීම

මේ වෙද්දී අපට ෆුරියේට, මාක්ස්ට හෝ මැල්තුස්ට නොතිබුණු, අවුරුදු දෙසීයකට ආසන්න ඉතිහාසයේ වාසිය තියෙනවා. සමාජවාදීන් විසින් පුරෝකථනය කළ දේවල් සිදු වී නැතුවාක් වගේම මැල්තුස් වගේ අශුභවාදීන් පුරෝකථනය කළ දේවල් සිදු වෙලාත් නැති බව දැන් අපි දන්නවා. 

නමුත් එය ඒ අයගේ වැරැද්දක් නෙමෙයි. අපි කාටවත් අනාගතය හරියටම පුරෝකථනය කරන්න බැහැ. න්‍යාය හදන්න පුළුවන්. එහෙත් ඒවා හරියන බවට කිසිම සහතිකයක් නැහැ. හරිගියා කියලත් එයින් න්‍යාය නිවැරදි බව ඔප්පු වෙන්නේ නැහැ. සමහර දේවල් හරියන්නේ අහම්බ නිසා. 

ඒ නිසා අපි විය හැකි ඕනෑම දෙයක් අනාගතය ලෙස භාර ගත යුතුද? නැහැ. හරියටම පුරෝකථනය කරන්න බැරි වුනත් අපට අනාගතය ගැන පුරෝකථන කළ හැකියි. එකම දේ ඒවා අනිවාර්යයෙන් එලෙසම සිදු විය යුතු නැති බව අප තේරුම් ගත යුතුයි. 

අපට අනාගතය ගැන පුරෝකථන කරන්න වෙන්නේ අතීතය දිහා බලාගෙන. අතීතයේ විවිධ අය කරපු පුරෝකථන වැරදුනේ ඇයි කියන එක හදාරලා අපට අනාගතය වඩා නිවැරදිව පුරෝකථනය කළ හැකියි. වෙනත් විදිහකට කිවුවොත් විවිධ අය කලින් කරලා තිබෙන වැරදි නැවත නොකර සිටිය හැකියි. අප සතුව තිබෙන අවුරුදු දෙසීයක ඉතිහාසයේ වාසිය පැත්තකට දමලා දහනවවන සියවසේ මුල දැන සිටි දේවල් මත පමණක් පදනම්ව කළ හැකි වූ පුරෝකථන දැන් කරන්න යන එකේ කිසිම තේරුමක් නැහැ. ඒ අතරම ඒ කාලයේ ජීවත් වූ අයට ඔවුන් කළ දේ වෙනුවෙන් අවශ්‍ය ගෞරවයද හිමි විය යුතුයි.

අවුරුදු පහකට කලින් මැල්තුස් ගැන ලිවුවේ දිගින් දිගටම යන ලිපි පෙළක් ලියන්න හිතාගෙනයි. නමුත් ඒ වැඩේ මග ඇරුනා. ඔහොම ලියන්න හිතාගෙන හිටපු සහ තවමත් ලියන්න හිතාගෙන ඉන්න ලිපි මාලා සිය ගණනක් තිබෙනවා. ඔය ගොඩක් ඒවා කවදාවත් ලියන්න ලැබෙන එකක් නැහැ. 

ෆුරියේ, ඔවෙන්, මැල්තුස් වගේ අය ගැන නැවත අවධානය යොමු වුනේ දරුවෙකුගේ පැවරුම් කිහිපයක් නිසා. දවස ගානේ එන ඊමේල් එකකට එකවර ඇහැ ගියේ එහි මාතෘකාව "කොමියුනිස්ට් ප්‍රකාශනය" වූ නිසා. පොඩි පන්ති වල සිටියදීම ආර්ථික විද්‍යාව උගන්වන නමුත් ඇමරිකාවේ පාසැල් වල ඔය වගේ දේවල් උගන්වන බවක් මම දැනගෙන හිටියේ නැහැ. පස්සේ දරුවාගේ පැවරුම් වල විස්තර තිබෙන ලින්ක් එක ක්ලික් කරලා ගියාම මනෝරාජික සමාජවාදීන් ගැන හා මාක්ස්වාදී අදහස් වර්ධනය වීම ඇතුළු ගොඩක් දේවල් දරුවාගේ පැවරුම් ගොඩේ තිබෙනවා.

මෙය කියවන ගොඩක් අයට ඇමරිකාව සම්බන්ධව තිබෙන්නේ ඔලුවෙන් අහක් කරන්න අමාරු අටුවම් බැහැපු අදහස්. ඒ නිසා ගොඩක් අය මම ඇමරිකාව උඩට උස්සලා ලියනවා වගේ අදහසක ඉන්නවා. ලංකාවේ ඉපදුනු, සමාජවාදීන්ගේ දැනුම් ආධිපත්‍යය යටතේ හැදී වැඩුණු මගේ ඔළුවෙන් වුනත් ඇමරිකාව සම්බන්ධ ඔය වගේ අටුවම් බැහැපු අදහස් තවමත් බැහැර වෙලා නැහැ. ඒ නිසා එක පාරටම මගේ ඔළුවට ආවේ "යකෝ මේ පොඩි එවුන්ට මාක්ස්වාදය ගැන උගන්නනවා! මේ ඇමරිකාවේ?" කියලයි. 

ඇමරිකාවේ විෂයයක් යටතේ උගන්වන්නේ මොනවද කියන එක ගුරුවරයා විසින් තීරණය කරන දෙයක් නිසා මෙය ගුරුවරයාට අවශ්‍ය වූ සාමාන්‍ය තත්ත්වය නොවන එකතුවක්ද කියලත් හිතුනා. ඒ එක්කම එක පාරටම වුනත් ඒ වගේ දෙයක් ඔළුවට ආපු එක ගැන මටම ලැජ්ජා හිතුනා. "ඇමරිකාවේ පොඩි එවුන්ට සමාජවාදය ගැන ඉගැන්විය යුතු නැත්තේ ඇයි?"

මාක්ස්වාදය මූලධර්මය කරගත් සමාජවාදී රටකට සමාජවාදය පවත්වා ගන්නනම් මාක්ස්වාදය කියන්නේ සත්‍යය බවත්, එය විද්‍යාත්මක බවත්, අනෙක් විකල්ප විද්‍යාත්මක නොවන බවත් අධ්‍යාපනය හරහා ඔළු වලට පොම්ප කරන්න වෙනවා. විකල්ප අදහස් වාරණය කරන්න වෙනවා. එහෙම කළත් සමහර අදහස් ස්වභාවිකවම පැන නගින්න පුළුවන්. ඒ නිසා ඊට කලින්ම ඒ වගේ නිකම්ම හිතෙන්න පුළුවන් දේවල් වල වැරදි වර්ෂන් එකක් ඔළුවට දමන්න වෙනවා. කාලයක් තිස්සේම සැලසුම් සහගතව ධනවාදය ගැන පට්ටපල් බොරු ජනගත කරලා තියෙන්නේ ඔය හේතුව නිසයි. ආගම් ගැන වුනත් එහෙමයි. සෝවියට් දේශය කඩා වැටුනට පස්සේ ආගම් නැවත ජනප්‍රිය වෙන්නේත්, ඇමරිකාවට සංක්‍රමණය වන කවදාවත් ආගම් ගැන අසා නොතිබූ ඇතැම් චීන්නු උග්‍ර ආගමික භක්තිකයෝ වෙන්නෙත් ඒකයි.

ධනවාදී රටක් ධනවාදය පවත්වා ගන්න කළ යුත්තේ ඕකේම අනික් පැත්තද? ධනවාදයට එරෙහි විකල්පයක් ගැන දැන ගන්න ඉඩ නොදෙන තරමට වෙනත් කවර හෝ ක්‍රමයකින් එවැනි විකල්පයක් ගැන හදිසියේ දැනගත් විට ඇති වන කම්පනය විශාලයි. මාක්ස්වාදය ගැන එක පාරටම දැන ගන්න ඇමරිකාවේ ඉපදෙන දරුවෙක් ඒ කෙරෙහි ආකර්ශනය වෙන්න පුළුවන්. තහනම් මත්ද්‍රව්‍ය පස්සේ යන්න උත්තේජනයක් ඇති වෙන ආකාරයට. ධනවාදයට වඩා මාක්ස්වාදය කොයි තරම් පසුගාමීද කියා කෙනෙකුට පැහැදිලිව පෙනෙන්න ගන්නේ ඔය දෙකම සංසන්දනාත්මකව හදාරන තරමටයි.

ඇමරිකාවේ මාක්ස්වාදය උගන්වන්නේ ධනවාදී දෘෂ්ඨි කෝණයකින්ද? මේකත් මට හොයා බලන්න අවශ්‍ය වූ දෙයක්. පැහැදිලිවම නැහැ. පැවරුම් ආශ්‍රිතව උගන්වද්දී දරුවන් අන්තර්ජාලයේ තිබෙන විවිධ තොරතුරු හොයා බලනවා. මාක්ස්වාදය ගැන තිබෙන තොරතුරු බොහොමයක්ම මාක්ස්වාදීන් විසින්ම උඩුගත කරපුවා. ඒ නිසා බොරු උගන්වන්න බැහැ.

මේ කරුණත් පැහැදිලියිනේ. මාක්ස්වාදය ගැන දරුවන්ට බොරු ඉගැන්නුවා කියා කියමු. සමාජවාදී රටක වගේ ඇමරිකාවේ තොරතුරු වාරණය කරන්න බැහැ. තමන්ට උගන්නලා තියෙන්නේ බොරු බව කොයි වෙලාවේ හෝ අහුවෙනවා. එහෙම වුන වෙලාවක ඇමරිකාවේ තිබෙන ක්‍රමය පිළිබඳ විශ්වාසය එක පාරටම කඩා වැටෙනවා. ඇත්තටම දරුවන්ට ඉගැන්වීමක් කෙරෙන්නේ නැහැ. ගුරුවරයාගේ මාර්ගෝපදේශනය යටතේ ඔවුන් විසින්ම තොරතුරු හොයාගෙන ඉගෙන ගන්න එකයි වෙන්නේ.

මම මෙහි පළ කර තිබෙන ලිපි විශාල ගණනකට උත්තේජනය සපයා තියෙන්නේ දරුවන් එක්ක නැවත ඉගෙන ගන්නා දේවල්. එක්කෝ මම  ලංකාවේ පාසැල් පාඨ ග්‍රන්ථ වලින් සැලසුම් සහගතව කාන්දු කර තිබෙන දැනුම හැර මේ ගොඩක් දේවල් ගැන හරියට දන්නේ නැහැ. එහෙම නැත්නම් පහුගිය අවුරුදු හතළිහක පණහක කාලය තුළ දැනුම ගොඩක් වෙනස් වෙලා. බොහෝ විෂයයන් හා අදාළව මේ තත්ත්වය දැකිය හැකියි. අපි දන්නවා කියා හිතාගෙන ඉන්න ගොඩක් දේවල් ඇත්තටම දන්නේ නැති බව තේරෙන්නේ දරුවන් එක්ක කතා කළාමයි. 

12 comments:

  1. රට වට කරල බඳිතැකි වැට අවැසිම නම්
    ඒ වැට කට වටේ හිටවනු කෙසේ කරම්?
    කුල්ලෙන් කුණු වහන වැඩමයි අපට උතුම්
    දැනුමට වැට බඳිනු හොඳටම අවදානම්!

    හැම සැරයම පරද්දන ඒ හීන් සැරේ
    තතු දැන යතොත් යන්නට ඕනෑ පාරේ
    රටටත් හොඳක් වෙනවා යන කතන්දරේ
    පාලකයන්ට වැටහේවා නිරන්තරේ

    ReplyDelete
  2. මාතෘකාව සමාජවාදය මාක්ස්වාදය ගැන උනත් ලිපියෙ සදහන් වෙනත් කාරණාවක් ගැන මට හිත ගියා.

    ඒ ඇමෙරිකාවේ ඉගෙනුම් ක්‍රමය ගැනයි. පැවරුම් ආශ්‍රිතව කරන අධ්‍යයනය ඉතා හොද දෙයක්. මේ තුලින් ළමයෙක්/ ශිෂ්‍යයෙක් තුල දැනුම සොයා යෑමේ , ගවේෂණය කිරීමේ කුසලතා වර්ධනය වෙනවා.
    ලංකාවේ මේ ක්‍රමය දැන් දැන් භාවිත උනත් එය ක්‍රියාත්මක වන විදියේ අඩුපාඩු තියෙනවා.

    උදාහරනයක් ලෙස ලමයි පුරුදු වෙලා තියෙන්නෙ ඉන්ටනෙට් එකේ තියෙන දෙයක් ගෙඩි පිටින් කට් පේස්ට් කරන්න. ප්ලේජරිසම් ගැන ලමයින්වත් ගුරුවරුවත් දැඩි අවධානයක් යොමු කරන්නෙ නෑ. ගුරුවරුන්ගෙ පැත්තෙන් උනත් ලමයා කොපි කරලද, ගෙඩි පිටින් කට් පේස්ට් කරලද කියලත් වැඩි අවධානයක් නෑ. ගුරුවරුත් ගුරු රස්සාවට අමතරව ජීවන තරගයක යෙදී සිටින නිසා ලමයින්ගෙ පැවරුමක් ගැන එතරම් සැලකිල්ලක් නෑ. ඊට වඩා ලේසී එකම නෝට් එක පංතියෙ හැම ලමයටම දීලා ඒ නෝට් එකෙන් ප්‍රශ්ණ අහන එක.

    ඉස්කෝල වල විතරක් නෙවෙයි කැම්පස් වල තත්වයත් එහෙමයි. කෝස් වර්ක් එකක් උනත් කොපියක් යවනවා මිස දැනුම ගවේෂණයයක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙය මූලික වශයෙන් ළමයින්ගේවත්, ගුරුවරුන්ගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. නූල් බෝලයක් සේ පැටලී තිබෙන ලංකාවේ සමාජවාදී ආකෘතියේ ප්‍රශ්නයක්. ලංකාවේ රැකියා වලින් වැඩි ප්‍රමාණයක් රජයේ රැකියා. රජයේ රැකියා වල වැටුප් තීරණය වන්නේ අධ්‍යාපන සුදුසුකම්, සේවා කාලය වැනි පහසුවෙන් මැනිය හැකි නිර්ණායක මත. ඵලදායීත්වය මත වැටුප් අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, දැනුම හෝ කුසලතා වලට වඩා අධ්‍යාපන සුදුසුකම් වලට වෙළඳපොළ අගයක් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් මත ඇතුළට ගියාට පස්සේ ලොකු වැරැද්දක් නොකළොත් විශ්‍රාම යන තුරුම රැකියාව සුරක්ෂිතයි.

      කම්කරු නීති නිසා පෞද්ගලික අංශයේ වුවත් රැකියාවක් සඳහා බඳවා ගත් කෙනෙක් ලේසියෙන් රැකියාවෙන් අයින් කරන්න බැහැ. කොහොමටත් අළුතෙන්ම රැකියා වෙළඳපොළට එන කෙනෙක් රැකියාව තුළ කොයි තරම් ඵලදායීද කියන එක නිර්ණය කරන්න අපහසුයි. ඒ නිසා, එතැනදී අධ්‍යාපන සුදුසුකම් වලට වැඩි බරක් වැටෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එහෙත් අධ්‍යාපන සුදුසුකම් ඵලදායීත්වය පිළිබඳ හොඳ නිර්ණායකයක් නොවන නිසා සහ බඳවා ගත් කෙනෙක් වැරදි තේරීමක් බව පෙනුණු පසු පහසුවෙන් ඉවත් කරන්න බැහැ. මේ හේතුව නිසා පෞද්ගලික අංශයට කෙනෙක්ව බඳවා ගැනීමේදී ඉතාම සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. බොහෝ විට පළපුරුද්දට හා දැන හැඳුනුම්කම් වලට බරක් දෙන්න වෙනවා. ඒ නිසා, නැවත වටයකින් අධ්‍යාපන සුදුසුකම් හෝ දැන හැඳුනුම්කම් මිස දැනුම හා කුසලතා එතරම් වැඩක් නැති වෙනවා. ළමයින්ගේ වගේම දෙමවුපියන්ගේද ඉලක්කය විභාග බවට පත් වෙනවා.

      අනෙක් පැත්තෙන් ගුරුවරු කියා කියන්නේ (හැමෝම නොවුනත්) එම වෘත්තියට තිබෙන කැමැත්ත මත ගුරුවරු වූ අය නෙමෙයි. ගුරු වෘත්තීය බොහෝ දෙනෙකුට ආකර්ෂණය වී තිබෙන්න අඩු පැය ගණනක් වැඩ කළ හැකි වීම මත. ගුරුවරයෙකුට පාසැල් කාලය තුළ එක දිගටම වගේ උගන්වන්න වෙන නිසා සූදානම් වීම, ඇගයුම් ආදිය කරන්න වෙන්නේ එම කාලයෙන් පිටතදී. නමුත්, රස්සාවට එන්නෙම අඩු පැය ගණනක් වැඩ කරන්න නිසා ගුරුවරයෙක් බොහෝ විට පාසැල් කාලයෙන් පිටත ගෙදරදී වැඩ කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. රස්සාව ගෙදර ගේන එකට ගෙදර පරිසරයෙන් බාධා මිසක් උදවුවක් ලැබෙන්නත් නැහැ. ටියුෂන් කරන අය වැඩි පැය ගණනක් වැඩ කළත් එතැන තිබෙන අරමුණ සල්ලි. ඔය අතර ඉගැන්වීමෙන් සතුටක් ලබන යම් පිරිසක් ඉන්නවා. නමුත් ගොඩක් අය කරන්නේ රස්සාවක්. රස්සාව බේර ගන්න කළ යුතු අවම දේ කළහම ඇති.

      සිසුන්ට විභාග වෙනුවට පැවරුම් දුන්නත් පැවරුම් කරන්නෙත් විභාග කරන විදිහටමයි. මොකද පැවරුම් කිරීමේ අවසාන ඉලක්කයත් අධ්‍යාපන සුදුසුකම් මිසක් කුසලතා නෙමෙයි. අනාගතය සාර්ථක වෙන්නේ අධ්‍යාපන සුදුසුකම් වලින් මිසක් කුසලතා වලින් නොවන නිසා. ගුරුවරයෙක්ට ඇගයීමක් ලැබෙන්නත් සිසුන් හොඳින් විභාග සමත් වුනාම මිසක් කුසලතා ගොඩ නගා ගත්තහම නෙමෙයි. ඔය සන්දර්භයේදී දැනුම සොයා යෑමේ හෝ ගවේෂණය කිරීමේ වාසියක් සිසුන්ට නැහැ. එවැනි දේ ප්‍රවර්ධනය කිරීමෙන් ගුරුවරයාට වාසියකුත් නැහැ. වට්ටෝරු ක්‍රමය දෙන්නාටම වාසියි.

      අනෙක් පැත්තෙන් පෞද්ගලික දේපොළ අයිතිය කියන එක සම්බන්ධව ලංකාවේ පතුරුවා තිබෙන්නේ වැරදි හා නරක අදහස් ගොඩක්. පෞද්ගලික දේපොළ අයිතිය ගරු නොකරන කෙනෙක්ට බුද්ධිමය අයිතියට ගරු කළ යුත්තේ ඇයි කියන එක තේරෙන්නේ නැහැ. දඬුවමකට බයේ කළොත් මිසක් වැරැද්දක් කරනවා කියන එක ඇඟේම නැහැ. උසස් අධ්‍යාපනය සඳහා ආසියාතික රටවලින් ඇමරිකාවට එන සිසුන්ට මෙය ලොකු ප්‍රශ්නයක් වෙනවා. දෙපැත්තකින්ම. එක පැත්තකින් වැරැද්දේ බරපතල කම නොදැන ප්ලේජරිසම් කරලා අහු වීමේ අවදානම ගොඩක් වැඩියි. අනෙක් පැත්තෙන් කියන දේ කරන්න මිසක් ඉගෙන ගන්න පුරුද්ද අඩුයි. විභාග හොඳට කරනවා. හොඳ RAලා වෙනවා. එතැනින් එහාට හිර වෙනවා.

      මේ වගේ පැටලුම් ගොඩක් එක පාරට ලෙහන්න අමාරුයි. ඒ නිසා කොනක ඉඳන් පැටලුම් අරින්නේ නැතුව සිසුන්ට හෝ ගුරුවරුන්ට සම්පූර්ණ වැරැද්ද පටවන්න බැහැ.

      Delete
    2. මේ කතාවට නම් එකඟ වෙන්න බැහැ;

      //ඉස්කෝල වල විතරක් නෙවෙයි කැම්පස් වල තත්වයත් එහෙමයි. කෝස් වර්ක් එකක් උනත් කොපියක් යවනවා මිස දැනුම ගවේෂණයයක් වෙන්නෙ නෑ.//

      ලංකාවේ ගත්තොත් රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල වගේම පුද්ගලික අංශයේත් ගොඩක් ඒවායේ ප්ලේජරිස්ම් කරන්න දෙන්නේ නැහැ කාලයක ඉඳන්. අවම අවුරුදු පහළොවකට විතර කලින් පවා එහෙම තමයි. ඒ සඳහා විශේෂ වූ පරිගණක මෘදුකාංග ඇසුරින් කාලයක් තිස්සේ හැම assignment එකක්ම සහ හැම කෝස් වර්ක්ස් එකක්ම චෙක් කරනවා. සමහර කලා අංශයේ විශ්ව විද්‍යාල සහ ඇතැම් තාක්ෂණික විද්‍යාලවල වල තත්ත්වය දන්නේ නැහැ. සමහර වෙලාවට ඇතැම් සරසවි ඇදුරන්ගේ නොදැනුවත්කම නිසා එහෙම කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.

      කොහොම උනත් ලංකාවේ අධ්‍යාපන කටයුතු වල ඇතැම් දේවල් පසුගාමී. විශේෂයෙන් සමහර පීඨවල උසස් පෙළ සමත් වී කැම්පස් ඇවිත් තමුන්ගෙ ජූනියර් බැච් එකට වද දෙන අධ්‍යාපනය, කැම්පස් එකේ අවුරුදු හතරක් ඉගෙනගෙනත් රස්සාවක් හොයාගන්න බැරි අධ්‍යාපනය, ස්මාට් විදියට පරිගණක පාවිච්චි කරන එක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා දැනුම, මෘදු කුසලතා සංවර්ධනය ගැන කතාවක් නැති ලෙක්චර් කට් කරන්න විතරක් කතාකරන අධ්‍යාපනය නම් පසුගාමී අධ්‍යාපනක් කියලා කියන්න පුළුවන්.

      ඒ වගේම මයියා වගේ අය ලොකුයි කියලා හිතන ඇමෙරිකාවේ එහෙම කෙලින්ම තුවක්කු අරන් ඉස්කෝලෙ එන ළමයි, තම සහෝදර සිසුන් වෙඩි තබා ඝාතනය කිරීම් කරන ළමයි ඉන්නවා නේද?

      හැම තැනම ඉන්නවා පිස්සෝ ඒකට මුලු ක්‍රමයටම මුලු සමාජෙටම දොස් කියල ඵලක් නෑනේ ද?

      Delete
  3. ඉකොනො මේකේ ලංකාවෙ දේශපාලනය ගැන හොඳ ඉවක් තියෙනවා. මේක තමයි ලංකාවේ දැන් වෙලා තියෙන්නේ, එහෙම නේද?

    https://www.facebook.com/gossipkadee/videos/507949700179008/

    අවාසනාවට ඇත්ත කතාවක්, නමුත් කියපු මනුස්සය ආණ්ඩුවෙන් හිරේ දාල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. රන්ජන්ට හිරේ යන්න සිදු වුනු එකේ අවුලක් තිබෙනවා. හැබැයි ඕවානම් අමු ගොන්පාට් නේද?

      Delete
    2. Hi Econ, Awlak thibenawa? do you think Ranjan should not be punished? He is an idiot, dug his own grave, probably blinded by all illegal activities happening in his party/govt. Others like Ranil are more cunning and careful.

      1) Will you phone the head of CID and ask him to send material by a taxi to support you in parliament? and record it without his knowledge?
      2) Will you call a HC judge (or equivalent)in US and tell him to remand a man even for a short while, so that public will not see the political influence in other cases, and record it without his knowledge?
      3) Let's forget lot of other phone call recordings for now(which are illegal as well)
      4) Then call 90% of judiciary is corrupt in public and repeat the allegation in public even after court summoned him.
      5) What was he thinking? Call the Supreme court judge and ask to drop his case?

      Wijebahu

      Delete
    3. විජයබාහු,

      රන්ජන් හිරේ දමපු එක එජාපයේ සහ සජබ අයගේ ද උවමනාව මත රාජපක්ෂ කල්ලියේ අය විසින් කරපු බවයි ඇතැම් රන්ජන් හිතවාදීන් විස්වාස කරන්නේ. මේකේ සත්‍ය අසත්‍යතාව පෙන්වාදීමට පුළුවන් ද?

      ඒ වගේම ඔබට ඉතිහාසය කියලා දෙන්න ඕන. පහුගිය රාජ පක්ෂ චෞරයන් විසින් 2010 - 2015 රට විනාශ මුඛයට යවමින් සිටි සමයේ එජාපයේ මන්ත්‍රීවරයෙක් ව සිටි කාලයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉතා බරපතල විදිහට රාජ පක්ෂ කල්ලියට එරෙහිව නායකත්වය ගෙන ප්‍රහාර එල්ල කළා. ඔබට මතක ඇති හම්බන්තොට වරායේ විශාල ගලක් තියෙන බව, බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පීලි රත්තරන් වලින් දාන්න තරම් අධික මිලකට කොන්ත්‍රාත් දී ඇති බව, තව විදෙස් ණය මත ඉදිකල විවිධාකාර ව්‍යාපෘති වලින් රාජ පක්ෂ චෞරයන් විසින් 1000% සිට 5000% දක්වා හොරකම් කළ හැටි ජවිපෙ සමග එක්ව අනාවරණය කළේ ඔහු විසින්. නමුත් අවාසනාවකට 2013 අග භාගයේ දයාසිරි රාජ පක්ෂ චෝර කල්ලියට එක්වී එජාපය පාවා දුන් අතර එවිට එජාපයේ ආණ්ඩුවට එරෙහිව තදින් විවේචනය කරන්න වෙන කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැති වෙලාවක රංජන් රාමනායක කියන්නේ 2014 වසරේ විතර ඉඳන් රාජ පක්ෂ කල්ලිය ගෙනා ලැම්බෝගිනි කාර්, විවිධාකාරයේ සොරකම් ගැන හඬක් නගමින් එජාපයේ කාහල නාදය වෙමින් හොරු අල්ලන දුප්පතාගේ හිතවතා ලෙස මහත් ජනාදරයට පත් වුණ කෙනෙක්. ජවිපෙට එජාපයෙන් විශාල සහයෝගයක් දුන්නේ ඔහු විසින්. මේ වන විට ඔහු සිරගත වීම නිසා විපක්ෂය වූ සමගි ජන බලවේගයේ ප්‍රචාරක යාන්ත්‍රණයේ ප්‍රබල කොටසක් අහිමි වී තිබේ.

      කෙසේ වෙතත් ලංකාවේ සිරගතවීම වීරකමක් වන්නේ සතියක් දෙකක් යනතුරු පමණක් වන අතර ඉන් අනතුරුව සමාජය සිය සුපරුදු චර්යාවන්ට එළඹෙන අතර බහුතරයකට සිරගත වූ වීරයා අමතක වන නිසාය. ප්‍රභාකරන් කී දේ ඇත්තය. සිංහලයාට සති දෙකක් යන විට සමාජ දේශපාලන සිද්ධි අමතක වෙයි.

      ඒ වගේම දිගටම පාර්ලිමේන්තු මංත්‍රීවරයකු ලෙස රංජන් රාමනායකට හඩ අවදිකරීමට අවකාශය තිබුණේ නම් සමාජයට කළ හැකිව තිබූ සේවය, අධිකරණය සියයට 90-95ක් නැත්නම් බහුතරයක් දූෂිතයැයි කියා සිරගත වී වීරයකු වෙනවාට වඩා බොහෝ විශාල බව මගේ අදහසය. දැන් අපට දූෂිතයින්ට හෙණ ගැසු රංජන් ගේ රණ හඩ අසන්නට නොලැබී යාම මහත් වූ ඛේදයකි.

      ලෙහෙසියෙන්ම ප්‍රෙක්ෂකයින් දශලක්ෂයක් කරා ඉක්මනින්ම ගමන් කරා හැකිව තිබූ රංජන් ගේ ෆේස්බුක් පිටුව ද දැන් එක්කෝ එකතැන පල්වනු ඇත. නැත්නම් හැකිළෙනු ඇත. මා දන්නා තරමින් රාජ පාක්ෂික නොවන කිසිම ්දේශලනඥයකුට එවැනි බලපෑමක් තිබුණේ නැත. පාර්ලිමේන්තුවෙන් පිටත පවා රංජන් සතු වූ දැඩි සමාජ බලපෑම අති විශාලයි.

      ඒ වගේම විජයබාහු අප දැන් මේ ආපසු හැරී බැලීම කළ යුත්තේ පසුතැවීම පිනිස නොවේ. ඉදිරිය බැලීම සහ උගත හැකි පාඩම් තේරුම් ගැනීම පිනිසය.

      ලංකාවේ දූෂණ වංචා ගැන ප්‍රවීණ විශේෂඥයකු වූ රංජන් රාමනායක මහතාට අනුව ලංකාවේ දූෂිත ආයතන අතුරින් අධිකරණ පද්ධතිය පවතින්නේ අංක එකට හෝ දෙකට බව වසර ගණනාවකට පෙර රංජන් රාමනායක බුද්ධි අංශය මගින් කරන ලද සමාජ සමීක්ෂණ කිහිපයකින්ම පෙන්වා දී තිබුණි. එමෙන්ම ලංකාවේ අතිශයින්ම දූෂිත විනිසුරන් සිටි බවත් සාක්ෂි සහිතවම රංජන් මෙන්ම වික්ටර් අයිවන් වැනි අය විසින් සනාථ කර තිබේ.

      එදා ලෙනින් රත්නායක ධැනි ස්ත්‍රී දූෂක විනිසුරන් සිටියේ නම් අද ද විටෙක එවැනි පුද්ගලයින් විනිසුරු අසුන් අරා නොවැජඹෙන්නේයැයි කිව හැක්කේ කාටද?

      2009 අග සරත් ෆොන්සේකා මහතාට පෙර ජනාධිපතිවර්ණයේ එජාපයේ පොදු අපේක්ෂකයා ලෙස පැමිණි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා කියු කතා මතක ඇති නේද? හෙල්පිං හම්බන්තොට වංචාවට සිරගත විය යුතුව තිබූ මහින්ද රාජපක්ෂ නිර්දෝශී කලේ තමා විසින් යැයි කීවේ අප නොව මෙරට අගවිනිසුරුවරයකුව සිටි සරත් සිල්වාය. (සරත් ෆොන්සේකා මහතා පැමිණීමෙන් පසු රණ්ඩු වී ඔහු නැවත රාජ පක්ෂ කල්ලිය දෙසට ගොස් වෙන බයිලාවක් ගැසුවා තමයි නමුත් කියපු දේ ඇත්ත කතාවක් නේද?)

      ඒ වගේම තවත් එවැන්නකු වූ මොහාන් පීරිස් අවශ්‍ය පරදි තීන්දු දෙන්නෙමියි කියා දිගටම තමා අගවිනිසුරු පදවියේ තබාගන්නැයි ජනාධිපති සිරිසේනට කීවේ යැයි ද ප්‍රචාරය විය. එවැනි අගවිනිසුරුවරුන් සිටියේ ඒ දෙදෙනා පමණක්මද? ඒම කතා අධිකරණ අපහාස නොවන්නේද?

      මේ නිසා අප තේරුම් ගත යුතු කාරණයක් වන්නේ ලංකාවේ අධිකරණ අපහාසය සම්බන්ධයෙන් නීතියක් නැති බවයි. එය අයත්වන්නේ විනිසුරුවරුන්ගේ තීරණ ගැනීමේ බලයටය. දිය යුතු අවම හෝ උපරිම දඩුවමක් කියා දෙයක් නැත.

      ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අධිකරණ අපහාසය සම්බන්ධයෙන් නීති ප්‍රතිසංස්කරණයන්ගේ අවශ‍්‍යතාවය දීර්ඝකාලයක් තිස්සේ පෙන්වා දෙමින් සිටින නමුත් කිසිදු ආණ්ඩුවක් ඒ ගැන පියවර ගෙන නැත. ඊට හේතුවද දේශපාලනයම විය හැකිය.

      Delete
    4. ඒ වගේම තමයි ඔබත් පිළිගනීවි ලංකාවේ නම් අධිකරණයට අපහාස විය හැකියැයි සැළකෙන කුමක් හෝ ප්‍රකාශක් කිරීම වනාහී දැන දැනම බිම් බෝම්බ වළදමා ඇති උල් හිටවූ හිස් බිමක කරණම් ගැසීමක් වගේ කියන එක. ජනප්‍රිය සටන් නළුවකු වූ රංජන්ට වුවත් එවැනි බිමක ආරක්ෂිතව කරනම් ගැසීම නම් කළ නොහැකි දෙයක් බව පේනවා නේද මේවායෙන්.

      ලංකාවේ දේශපාලනයේ දී අපට පෙනෙන්නට ඇති භයානකම සාධකයක් නම් දේශපාලන පංතියට හිමිව ඇති විශාල සමාජ දේශපාලන මුක්තිය තමයි. ඒක නීතිමය මුක්තියට වඩා බලවත් නේද?

      කෝටි ප්‍රකෝටි ගණනින් වැය කොට තැනෙන මාලිගාවලට හිමිකරුවන් නැතිව යන එක, පිල්ලයාන් කරුණා චොකා මල්ලි වගේ මීනීමරු දේශපාලකයෝ නිදහස් වී පාවාඩ මතින් රජ ගෙදරට එති.

      ඒ වගේම රාජ්‍ය ත්‍රස්තවාදය මගින් වෙඩි තබා මරා දැමූ සිරකරුවන් සිරගෙදර එකිනෙකා සමග වූ කලහයකින් මිය ගියේ යැයි කියන දේශපාලකයෝ සිරකරු කළමනාකරණයට පත් වෙති. කොවිඩ් එන්නත ජනයාට ලබාදීම වළකනු වස් මුට්ටි පැණි වැනි බහුබූත අවිද්‍යාව වපුරන දේශපාලකයෝ විරයෝ වෙති. සීනි හොරු රජ කරති.

      මම හිතන්නේ ඔබ දැන සිටි කතාවක් වන සුප්‍රසිද්ධ රංජන් ගේ “මල්ලි, උනුත් හොරු අල්ලන්නේ නෑ, මුනුත් හොරු අල්ලන්නේ නෑ” යැයි කියූ ඒ කියමන දූෂණය ගැන ලියැවෙන දාර්ශනික ලිපියකට වඩා ඉතා විශාල වශයෙන් බලවත් බව සුනන්ද මහේන්ද්‍ර ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක් මහත් සේ අගය කළා. උපුල් ශාන්ත සන්නස්ගල, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියංගොඩ ඇතුළු විශාල දාර්ශනිකයන් පිරිසක් හිතන්නේ ලංකාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම දූෂණයට එරෙහිව ඉදිරිපත් වූ විශිෂ්ටතම ප්‍රකාශනය එය බවයි.

      කෙටියෙන් රංජන් යළි යළි කියා ඇති පරිදි මෙරට දේශපාලන පංතියට නීතියක් රීතියක් නැත. දැන් අධිකරණය සම්බන්ධයෙන් රංජන් කළ ප්‍රකාශයද එම මුක්තියේ මෝහනයට අසුවීමේ විපාකයක්දැයි මට සිතේ. එසේ නොවන්නේ නම් කියන්න.

      රංජන් රාමනායක මහතාගේ ලංකාවේ අධිකරණ විනිසුරු – විනිසුරුවරියන් අතර සියයට 90-95ක් නැත්නම් බහුතරයක් දූෂිත යැයි කීම සාහසික ප්‍රකාශයක් වන්නේද යන්න ගැන නිසංසල උදෑසනක ඔබම කල්පනා කර බලන්න.

      රංජන්ට දෙන ලද දඩුවම සාධාරණයැයි ලංකාවේ දාර්ශනික විද්වතුන් රාශියක් විසින් පිළිගන්නේ නැත. ලංකාවේ පොදු මතය නම් රංජන් සිව් වසරක් සිරගතවීමට සිදු වූයේ රංජන් ඒ මුක්තිය දේශපාලන පංතියට අයත් නොවීම නිසා විය හැකිය යන්නයි. බොහෝ සමගි ජන බලවේගයේ, ජවිපෙ සහ එජාපයේ නීති විශාරදයින් පෙන්වා දී ඇත්තේ සිව් වසරක දඩුවම රංජන් කළ ඒ ප්‍රකාශයට සමානුපාතිව විශාල වැඩි බවයි.

      ශේෂ්ඨාධිකරණ අගවිනිසුරන් හතර දෙනෙකුටම අපහාස කළැයි තීන්දු වූ ඉන්දියානු ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු ලද දඩුවම වූයේ එක් රුපියලක දඩයක් බව ඔබ දන්නවාද?

      Delete
    5. Ano, If SL had defamation as criminal offense, Ranjan will have nothing to talk about, since he will go to prison if he can't prove his allegations. Talks about the courts system is same, can't prove most.

      Delete
  4. දැනුම පාලනය කරන ක්‍රම දෙකක් තියෙනවා.
    එකක් තමයිපෙරා හරින ලද දැනුම බෙදා හැරීම.
    අනික තමයි ඕන එකයි එපා එකයි ඔක්කොම ඔළුවට පුරවා අහන එකා අන්දුන් කුංදුන් කිරීම.

    මෙතන වෙන්නේ දෙවැනි ක්‍රමය වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මොකක්ද එහෙම කරන එකේ තියෙන ප්‍රයෝජනේ?

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...