වෙබ් ලිපිනය:

Sunday, October 25, 2020

කෝවිඩ් හටන


වර්ඩෝමීටර්ස් දත්ත අනුව පෙරේදා (ඔක්තෝබර් 23) දින ඇමරිකා එක්සත් ජනපදයෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 81,414ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී එක්සත් ජනපදයෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. එදිනම ලංකාවෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 866ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී ලංකාවෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. 

කෝවිඩ්-19 සමස්ත මිනිස් ප්‍රජාව මුහුණ දී සිටින පොදු ප්‍රශ්නයක්. තරඟය තිබෙන්නේ අදාළ රෝගකාරක වෛරසය හා හෝමෝ සේපියන්ස්ලා අතර මිස ලෝකයේ එක් එක් රටවල් අතර නෙමෙයි. ඒ නිසා, කෝවිඩ්-19 හා අදාළව ලෝකයේ රටවල් සංසන්දනය කිරීමේ තේරුමක් තිබෙන්නේ තර්ජනයට මිනිස් ප්‍රජාව සේ පොදුවේ මුහුණ දීමේදී වඩා සාර්ථක ක්‍රමවේදයන් හඳුනාගැනීමේ අරමුණින් පමණයි.

කෝවිඩ්-19 තර්ජනයට ලෝකයේ විවිධ රටවල ආණ්ඩු ප්‍රතිචාර දැක්වූයේ විවිධ ආකාර වලින්. එම ප්‍රතිචාර වල අදාළ ආණ්ඩු වල දේශපාලනය දැකගත හැකි වුනා. එහෙත්, ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් "වැරදි තීරණ" ගත්තේ නැහැ. හැම ආණ්ඩුවක් විසින්ම ගත්තේ ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව නිවැරදිම තීන්දු. මේ විශ්ලේෂණ වලදී එක් රට හා අදාළ සුවිශේෂී භූගෝලීය, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, දේශපාලන කරුණු සැලකිල්ලට ගැනුණා. ඒ සාධක වෙනස් වූ ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වුනා. එය එසේ සිදුවීම නරක දෙයක් නෙමෙයි. 

කෝවිඩ්-19 තර්ජනයට ප්‍රතිචාර දැක්වීමේදී ඉහත සාධක වල වෙනස්කම් වගේම කෝවිඩ්-19 හා අදාළ දැනුමේ සීමාවන්ද බලපෑම් කළා. වසංගතය පැතිරුණු මුල් කාලයේදී ඒ පිළිබඳව තිබුණේ සීමිත දැනුමක්. මේ දැනුම තවමත් සීමිත වුවත්, මුල් කාලයේදී තරම්ම සීමිත නැහැ. වසංගතය පිළිබඳ දැනුම වඩා සීමාකාරී වන තරමට වැඩිපුර "කණාපල්ලන්" ගහන්න වෙනවා. මේ විදිහට කණාපල්ලන් ගැහීමේදී වාස්තවික කරුණු වලට වඩා තීරණ ගන්නා අයගේ පෞද්ගලික මතිමතාන්තර ඉස්මතු වෙනවා. ඒ පෞද්ගලික මතිමතාන්තර වෙනස්වන ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වෙනවා. එහෙත්, රෝගය පිළිබඳ දැනුම පුළුල් වෙද්දී වඩා නිවැරදි ප්‍රතිචාර හඳුනා ගැනීම පහසු වෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය වැනි විශාල රටක පොදු වශයෙන් බලපාන තීරණ ගැනීමේදී ලංකාව වැනි රටකට සාපේක්ෂව වැඩි පිරිසක් මැදිහත් වෙනවා. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ වුවත්, වැඩි පිරිසකගේ දායකත්වයෙන් ගන්නා තීරණ නිවැරදි වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඊට සාපේක්ෂව තනි පුද්ගලයෙකු විසින් ගන්නා තීරණ වැරදෙන්න වැඩි ඉඩක් තිබෙනවා.

බලය කියා කියන්නේ ඕනෑම රටක ආණ්ඩුවකට වටිනාම දෙයක්. ආණ්ඩුවක් ජනප්‍රියයි කියා කියන්නේ ඒ ආණ්ඩුව සතු බලය වැඩියි කියන එකයි. ඒ නිසා ආණ්ඩුවකට ජනප්‍රිය විය හැකි දේ කරන්නත්, ජනප්‍රිය නොවන දේ නොකරන්නත් ස්වභාවික නැඹුරුවක් තිබෙනවා. 

කෝවිඩ්-19 නිසා රටක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙද්දී කිසිම ආණ්ඩුවක ජනප්‍රියත්වය ඉහළ යන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවක් සතු බලය දුර්වල වෙනවා මිසක් වඩා ශක්තිමත් වෙන්නේ නැහැ. සමාජවාදී වේවා, ධනවාදී වේවා, ප්‍රජාතන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා, ඕනෑම රටක ආණ්ඩුවක්, ඕනෑම රටක පාලකයෙක් එම රටේ කෝවිඩ්-19 පැතිරෙන එක වලක්වා ගත හැකිනම් එය නොකර ඉන්නේ නැහැ. හැම රටකම වගේ ආණ්ඩු කෝවිඩ්-19 හමුවේ තම තම නැණ පමණින් කළ හැකි දේ කර තිබෙනවා. ඒ කළ දේවල් හා කළ දේවල් වල ප්‍රතිඵල රටින් රටට වෙනස් වීම වෙනම කරුණක්.

චීන ආණ්ඩුවට හමු වුනු කෝවිඩ්-19 සතුරා හිටියේ රට ඇතුළේ. ඒ වෙද්දී චීනයෙන් පිටත කෝවිඩ්-19 තිබුණේ නැහැ. ඒ නිසා, චීනයට තිබුණේ පැහැදිලි, නිශ්චිත ඉලක්කයක්. චීනය මුලින්ම සතුරාව වට කරලා ඉන් පසුව සතුරා හඹා ගොස් පහර දී විනාශ කළා. 

ඒ වන විටත් සතුරු කණ්ඩායම් චීන ආණ්ඩුවේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගෙන එළියට ගිහින් තිබුණා. එහිදී චීන ආණ්ඩුව විසින් කළේ සතුරා සිටිය හැකි වඩා විශාල ප්‍රදේශයක් වට කරලා ඉතිරි ප්‍රදේශ බේරගන්න එකයි. මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම මෙහිදී චීනයේ වාසියට හිටියා.

චීනය කෝවිඩ්-19 තුරන් කරලා නැහැ. තවමත් වරින් වර චීනයෙන් කෝවිඩ්-19 රෝගීන් හමු වෙනවා. එසේ හමු වෙන අවස්ථා වලදී ඉක්මණින් සතුරා හඳුනාගෙන, සතුරා හඹා ගොස් පහර දී විනාශ කිරීම චීනය විසින් තවමත් සාර්ථකව කරමින් සිටිනවා.

ඇමරිකාව ඇතුළු ලෝකයේ අනෙක් හැම රටකටම වගේ මුහුණ දෙන්න වුනේ වෙනස් ආකාරයක ප්‍රශ්නයකට. සතුරා හිටියේ රටින් පිට. ඒ නිසා, චීනය මෙන් වට කර පහර දීම වෙනුවට තමන්ගේ මායිම් ආරක්ෂා කර ගැනීමයි කළ යුතු වුණේ. ලංකාව කළේත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් කළේත් මෙයයි.

මේ කාර්යයේදී එක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින් (ප්‍රායෝගිකව) පමණක් ලෝකය හා සම්බන්ධ වී සිටි කුඩා දූපත් රාජ්‍යයක් වූ ලංකාවට හා අයිස්ලන්තය, නවසීලන්තය, සීෂෙල්ස් වැනි වෙනත් දූපත් රාජ්‍ය වලට තිබුණු භූගෝලීය වාසිය ඇමරිකා එක්සත් ජනපදයට තිබුණේ නැහැ. ඒ වගේම, රෝගය ගැන ලෝකය දැන ගන්නා අවස්ථාව වන විටත් කෝවිඩ්-19 ඇමරිකාවට ඇතුළු වී අවසන්.

ලංකාවේ ඇතැම් අය ඇමරිකාවට විරුද්ධව චීනයේ පැත්ත අරගෙන කුලියට කහින නමුත් ඇමරිකාව හා චීනය අතර තිබෙන ආර්ථික වගේම සංස්කෘතික සම්බන්ධතාත් ලංකාව හා චීනය අතර තිබෙන එම සම්බන්ධතා වලට වඩා කිහිප ගුණයකින් ප්‍රබලයි. චීනයෙන් පිටත චීනයේ ඉපදුණු පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් ජීවත් වන රට ඇමරිකා එක්සත් ජනපදයයි. හොංකොං වල සිටින චීන ප්‍රධාන භූමියේ ඉපදුනු ප්‍රමාණය පවා ඊට අඩුයි. 

ඇමරිකාවට එන විදේශ සිසුගහණයෙන් තුනෙන් එකක්ම එන්නේ චීනයෙන්. චීන ජාතිකයින් සරණාගතයින් සේ වැඩිපුරම එන්නේත් ඇමරිකාවටයි. ඇමරිකාවෙන් පිටතට යැවෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් හතරෙන් එකක් යන්නේ චීනයට. චීන අපනයන වලින් පහෙන් එකක්ම මිල දී ගන්නේ ඇමරිකාවයි.

කාලයක් ලංකාවේ රාජ්‍ය නායකයින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල හයිය අරගෙන ඉන්දියාවට චණ්ඩි පාට් දැම්මා. එහෙත්, බටහිර රටවල් ඉන්දියාවේ වෙළඳපොල අමතක කර ලංකාවේ පැත්ත ගත්තේ නැහැ. චීනය ගැන කියන්න තියෙන්නේත් ඔය ටිකම තමයි. චීනය ලංකාවට කෑම මේසයේ වැදගත් තැනක් දුන්නත් ඒ තැන කරපිංචා වලට ලැබෙන තැනයි. ඇමරිකාවේ පමණක් නෙමෙයි ඉන්දියාවේ වෙළඳපොළ පවා වැඩි කල් නොයා චීනයට ලංකාවට වඩා වැදගත් වෙනවා.

චීනය පැත්තකට තියලා ලංකාවේ කෝවිඩ් වලට එමු. ලංකාව මුලදීම පිටින් රටට කෝවිඩ් එන එක පාලනය කරගත්තා. ඉන් පසුව, රට ඇතුළේ කෝවිඩ් සතුරා සිටින තැන් හඹා ගොස් වටකර පහර දුන්නා. වටකර කියා කිවුවත් අත් අඩංගුවට ගෙන පොලීසියේදී පහර දුන්නා කියන එක වඩා නිවැරදියි. මේ ක්‍රියාදාමය ඇතුළේ සතුරාට පහර දීමටත් වඩා ප්‍රමුඛ වුනේ සැක කටයුතු සතුරන් අත් අඩංගුවට ගැනීමයි.

නිරෝධායන මධ්‍යස්ථාන නමින් ලංකාවේ ආණ්ඩුව විසින් කළේ මහත මිනිස්සු එකතු කර කර රේල්පාරට තල්ලු කරන එකයි. මෙය නිරීක්ෂණයක් මිසක් විවේචනයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ කැමැත්ත එයනම්, වැඩෙත් කෙරෙනවානම් විවේචනය කරන්න පදනමක් නැහැනේ.

වෙනත් පිරිසකගේ ජීවිත බේරාගැනීම සඳහා ආණ්ඩුව විසින් තමන්ව බිලි දෙනවාට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එහෙත්, එහෙම අකැමැති වුනා කියා තනි පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. ආණ්ඩුවේ බලය හමුවේ ඇස් දෙක පියාගෙන ට්‍රොලිය කිසියම් ආශ්චර්යයකින් තමන්ව යට නොකර බේරන තුරු බලා ඉන්නවා හැර වෙනත් කළ හැකි දෙයක් මහත මිනිහාට නැහැ. 

ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක ආණ්ඩුවකට මේ වගේ දෙයක් කරන්න බැහැ. හඬක් නැති මහත මිනිහා වෙනුවෙන් කතා කරන්න තවත් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා. එසේ කරන්නේ පෞද්ගලික නිදහස කියන සටන් පාඨය අරගෙන. හැබැයි බටහිර රටක ආණ්ඩුවකට ලීවරය ඇදලා ට්‍රොලිය අතුරු මාර්ගයකට හරවන්න පුළුවන්. ඒ වැඩෙන් වෙන්නෙත් පැත්තක ඉන්න කෙනෙක් මැරෙන එක. මේ වගේ වෙලාවකත් විවේචන ආවත් ඒ විවේචන ආණ්ඩුවේ ක්‍රියාවට බාධාවක් වෙන්න තරම්ම ප්‍රබල නැහැ. 

කෝවිඩ්-19 හමුවේ ආණ්ඩුවකට වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් සුළු පිරිසක් බිල්ලට දෙන්න තිබෙන අයිතිය පිළිගන්නවානම්, උපයෝගීතාවාදී පදනමකින් බැලුවහම ලීවරය අදින එක නිවැරදි වෙන්නත්, මහත මිනිස්සු හොය හොයා නිරෝධායන කඳවුරු වල ගාල් කරන එක වැරදි වෙන්නත් තර්කානුකූල හේතුවක් නැහැ. මේ වගේ වෙලාවක හරි වැරැද්ද තීරණය වෙන්නේ බහුතර මතය අනුව. බහුතර මතය වෙනස් වන ආකාරය අනුව කිසියම් රටක ලොක්ඩවුන්, ඇඳිරි නීති, නිරෝධායන කඳවුරු ආදී ඕනෑම උපාය මාර්ගයක් හරි හෝ වැරදි වෙන්න පුළුවන්. 

ලංකාව අනුගමනය කළ නිරෝධායන කඳවුරු ක්‍රමය නිසා රටේ බොහෝ දෙනෙකුගේ කෝවිඩ්-19 අවදානම විශාල ලෙස අඩු වුනා. එහි මිල ගෙවන්න වුනේ එම කඳවුරු වල ගාල් වූ සුළු පිරිසකට. මගේ විශ්වාසය අනුව මේ නිරෝධායන කඳවුරු වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් සැලකිය යුතු පිරිසකට වෛරසය අසාදනය වෙන්න ඇත්තේ එම කඳවුරකදී. ඉතාලියෙන් හා ඉන්දියාවෙන් ආ කණ්ඩායම් වල සිට හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනාම ඒ රටවලින් කෝවිඩ්-19 අරන් ආ අය කියා මම හිතන්නේ නැහැ. 

ලංකාවේ නිරෝධායන කඳවුරක් මම පෞද්ගලිකව නිරීක්ෂණය කරලා නැහැ. ඒ කඳවුරකදී එක් අයෙකුගෙන් වෙනත් අයෙකුට කෝවිඩ්-19 බෝවෙන්න විදිහක් නැහැ කියලා තර්ක කරන අය ඉන්න පුළුවන්. එහෙත්, කන්දකාඩු පොකුරෙන් පසුව එවැනි තර්කයකට වලංගු භාවයක් නැහැ.

නිරෝධායන කඳවුරු ක්‍රමය හරි හෝ වැරදිද කියන එක සදාචාරාත්මක ප්‍රශ්නයක්. පිළිතුර විෂයමූලිකයි. එහෙත්, මේ ක්‍රමය හා සමස්තයක් ලෙස ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය ඵලදායීද කියන එක විෂයමූලික නොවී සලකා බැලිය හැකි කරුණක්. මේ ක්‍රමය මෙතෙක් කල් ලංකාවට වැඩ කළා. එය තව දුරටත් එසේම වැඩ කරයිද?


19 comments:

  1. මේ ළඟදී දවසක රෝහලකදී මමම දුටු දෙයක්.

    කොරෝන රෝගියෙකු යැයි සැක සහිත කෙනෙකුගේ රුධිර සාම්පල් ගන්න රෝහලේ නිලධාරියෙකු ආවේ විශේෂ ඇඳුමකින් සැරසිලා (අඟහරුවෙක්) වගෙයි. රුධිර සාම්පලය අරගෙන ගිහින් පයකට විතර පස්සෙවත් ඔහුගේ ඇඳුම ඉවත් කොට තිබ්බේ නැහැ. හැබැයි ඔහු ඒ ඇඳුම පිටින්ම රෝහල් බිමේ හිටි සෙනඟ අතරින් එහෙ-මෙහෙ ගියා. රෝහලේ සේවකයන් පවා කතා වුණේ 'එයා බේරිලා...ලෙඩා පොසිටිව් නම්... හැම තැනම ඇවිද-ඇවිද අපට නේද අර යකා ලෙඩේ වපුරන්නේ?' කියලයි!

    ReplyDelete
    Replies
    1. නිරෝධායන මධ්‍යස්ථානවල මීට වඩා ක්‍රමවත්ව වැඩ කෙරිලාද?

      දැන ගැනීමට තොරතුරු නැත, මට නම්.

      Delete
    2. තොරතුරු නැත, එළියට එන්නේ කටකතා සහ වෛරස පමනි.

      Delete
  2. ඇමරිකන් ආණ්ඩුවේ මිලේච්ඡතත්වයට එරෙහි කළු ජාතික සන්නද්ධ විමුක්ති අරගලයට අපගේ සහය දක්වා සිටිමු.
    ඇමරිකන් ආණ්ඩුවට කත් අදිනා ඉකොනෝමැට්ටා බංග වේවා. ජන්දෙන් ට්‍රම්ප් ගෙදර ගියාම ඉකොනෝමැට්ටාටත් වෙන්නේ ගෙදර යන්න.

    ReplyDelete
    Replies
    1. ගෙදර යන්න දෙයක් නෑ, ඇනෝ. පසුගිය මාර්තු මාසේ ඉඳලම ගෙදර තමයි ඉන්නේ.

      Delete
  3. ලංකා ආණ්ඩුව කරවන උදවිය කියන්නේ කොයි දේ වුණත් වාසියට හරවගන්න හපන්නු. සංචාරකයෝ නාවට මොකෝ රස්සා නැතිවෙලා එන ලාංකිකයොන්ගෙන් හෝටල් ටික පුරවා ගත්ත. වෙනදට සුද්දොත් 10,000 ගන්න කාමර 15,000 ට විකිණුව. හැමදාම පාඩුවට දුවපු Usually Late UL ශ්‍රී-පීකොක්-ගුවන් සේවාව මෑතක ලාබයක් ගත්ත නම් කොරෝන කාලේ වෙන්න ඇති. විදේශ ශ්‍රමිකයන්ගේ රස්සා නැතිවෙලා වෙලා පාරේ ඉන්නකොටත්, රස්සා නැතුව ගෙදර ආපු විදේශ ශ්‍රමිකයන්ගේ pension පෙන්නලා විදේශ ශ්‍රමිකයන්ගෙන් කොරෝනා කාලේ වෙනදාටත් වැඩිය අදායමක් ආවා කියල පෙන්නුවා. හැමදාම පාඩු ලබන ගුවන්තොටුපල සහ ගුවන් සමාගම් කොරෝනා කලේ වෙනදට වැඩිය පාඩු අඩුකරගත්තා.

    සරලව කියනවා නම් රටෙන් නීත්‍යානුකුලව බැහැර වෙලා ගිය ශ්‍රී ලංකික මිනිස්සු කොරෝනවට විකුනලා ලාබ ගත්ත. අසාධාරණ වෙළදාමෙන් සදාකාලික ලාබ අරන් දියුණු වෙන්න පුළුවන් නම් ලෝකේ දියුනම රටවල් වෙන්න ඕනේ මත්ද්‍රවය විකුණන මෙක්සිකෝ, කොලොම්බියා වැනි රටවල් හෝ මුහුදු මංකොල්ලකන සෝමාලින් හෝ ගණිකාවෝ විකුණන තායිලන්තය වගේ රටවල් වෙන්න ඕනේ. නමුත්, හැමදාම ඒවා නොදියුණු රටවල්. රටේ විදේශ ශ්‍රමිකයෝ මංකොල්ලකාල ගන්න අදායම තාවකාලිකයි. ඒකෙ ප්‍රතිඵල එනකොට තව ටික කාලෙකින් අමාරුව තේරේවි.

    ReplyDelete
    Replies
    1. //රස්සා නැතුව ගෙදර ආපු විදේශ ශ්‍රමිකයන්ගේ pension පෙන්නලා විදේශ ශ්‍රමිකයන්ගෙන් කොරෝනා කාලේ වෙනදාටත් වැඩිය අදායමක් ආවා කියල පෙන්නුවා.//
      කොරෝනා අස්සේ ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙන්න හේතුව ඒකද?

      Delete
    2. කොරෝනා නිසා ආදයම් මාර්ග අහිමිවූ අයටත් ලීසිං ණය වාරික දාගන්න විදේශගත නෑදෑ හිතවතුන්ගෙන් මුදල් ගෙන්වාගන්න වෙලා තියනවානේ.

      Delete
    3. මට හිතෙන විදියට මෙතන වෙලා තියෙන්නෙ මේ වගෙ දෙයක්. මැදපෙරදිග ඉන්දන් එන ශ්‍රමිකයො (සැලකිය යුතු අදායමක් ලබන බොහො දෙනෙක්) ලන්කාවට එන්න කිට්ටුව ඒ රටේ මුදල් ඉතුරු කර ගන්නවා ලන්කාවට ඒවන්නෙ නැතුව. මොකද ඒ මුදල් ලන්කාවට ගෙනත් වැඩි මුදලකට මාරු කර ගන්න පුලුවන් නිසා. ( සාමාන්‍යයෙන් බැන්කු විනිමය අනුපාතයට වඩා රුපියලක් 2 ක් විතර වැඩියෙන් මාරු කර ගන්න පුලුවන්) දැන් තියෙන තත්වය යටතේ එහෙම විශාල මුදලක් අරන් එන එක අවදානමත් නිසා ඒ අය එන්න කලින් ලන්කාවෙ බැන්කු වලට එවනවා ඇති. මොකද දැන් ඉස්සර වගෙ කෙලින්ම එයාර් පෝර්ට් එකෙන් ගෙදර යන්න බැහැනෙ. කන්දකාඩු හරි හොටෙල් හරි ගිහින් සති 2 ඔය සල්ලි තියාගෙන ඉන්න එක විශාල අවදානමත්.
      අනිත් කාරනේ රැකියාවෙන් ඉවත් කරනකොට දෙන පරිතෝශකය( gratuity) සමහර අයට සැලකිය යුතු විශාල මුදලක් හම්බ වෙනවා. ඒවත් විදේශ ප්‍රේශන තමයි. හැබැයි අවුරුදු ගානක් ඉන්දලා එවපු විදේශ ශ්‍රමිකයාගේ අවසාන විදේශ ප්‍රේශනය.

      Delete
    4. මේ කරුණු සියල්ලම වෙන්න පුළුවන් දේවල්.

      Delete
    5. 6% ka poliyak dunna usd fd walata. Direct remittances was.. ekath eka reason ekak

      Delete
  4. පිටරට ඉන්න අයට ලංකාවට එන්න පැකේජ දීලා තිබුනා ඇවන්ගාඩ් හරහා. ඒ සිද්දිය වාර්තා වෙලා තිබුන විදිහට ගුවන් ගමනට සහ ඉන් පසු නිරෝධායනයට නිසි ආකාරයෙන් වෙන් නොකරපු ගාස්තු ඇතුලත් සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලක් ඇවන්ගාඩ් එක අයකරගෙන තිබුනා. මේ සම්බන්ධව වංචාවක් වලොකිව්වත් ඒ ගැන වැඩිදුර මොකුත් සද්දයක් නැහැ.
    දෙවැනිවර කෝවිඩ් ආසාදන තත්වය දරුණු වෙද්දි මේ විදිහට ලෝකල් ගැන් එකකුත්කොළඹ සමහර ඔෆිස් වල ෆෝම් කරලා තිබුනා. සාමාන්‍යයෙන් ලෙඩෙක් කොරෝනා කියලා සැකනම් ඇවිත් රැගෙනයනවා වුනාට එතනදි රක්නා ආරක්ෂක අංශය හරහා තමයි අදාල කටයුතු කරන්න තියෙන්නේ..

    සාමාන්‍යෆයන් ලංකාවේ මිනිස්සු හිතන්නේ සෑම ස්ටෙප් එකකදිම ගතමන්ට් එකක් බිස්නස් එකක් කරගන්න එක තමයි දියුනුව කියන්නේ කියලා. ඒක නිසා අපිට පුද්ගලික තැනකින් පෙලක් වෙලාවට වැඩක් කරගන්න ගියත් කාට කාට හරි එක්කෝ නෑකම් කියන්න වෙනවා. නැතිනම් සල්ලි දෙන්න වෙනවා. මේ තත්වය මම හිතන්නේ ඉහලම ලෙවල් එකෙන් දැන් සිද්ද වෙනවා එලිපිටම. කොරෝනා මෙහෙයුම් වල ප්‍රමාද තත්වයක් එන්නත් තීරණ වල ප්‍රමාදයක් එන්නත් මේ තත්වය හේතු වෙලා ඇතිය කියලාමට අසාධාරන සැකයක් තියෙනවා.

    ඉකොනො කියා තියෙනවා වගේ මේක ඇවිල්ලා මිනිස්සු කැමති විදිහ. ඒක ඒ ආකරයෙන් වෙයි. අඩුපාඩු තිබුනත් කියලා සත පහක වැඩක් නැහැ. කොරෝනා මුල් අවස්තාවේ ඉදලා මේ වෙද්දි මාස තුන හතරක් ගිහින්. අපි කොළඹ කන්තෝරු ගියා මාස තුන හතරක්. මේ කාලේට කිසිම දෙයක් වෙනස් වුනේ නැහැ. මිනිස්සුන්ගේ මුද්ල ගනුදෙනු, ගැටීම්, ප්‍රවාහනය , කාර්යාල වට පිටාවන් වත් රාජ්‍ය සහ ගොඩක් පුද්ගලික තැන්වල වෙනස් වුනේ නැහැ. හෙමින් පාඩම් ඉගෙනගන්න ජාතියක් නේ අපි. ඉතින් අර සියලු විධිවිදාන තියෙද්දිත් බ්‍රැන්ඩික්ස් පොකුර පැලියගොඩ පොකුර ඇතිවුනාවගේ ඇඩ්ම්න් සහ පොලිටිකල් වැරදි මේ වෛරස එකෙන් හංගන්න අමාරුයි. ලංකාව සවුත්තු වෙන්න පතනවා නෙමෙයි. ඒත් දැන් යන විදිහට දියුනු වේගවත් ක්‍රමවේදයක් පද්ධතියක්තවම නිර්මාන්‍ය වෙච්චා පාටක් පේන්න නැහැ.. වලේ වැටුනම කට්ටිය එකතු වෙලා ඔහේ උස්සනවා තැන් තැන් වලින්..

    ReplyDelete
  5. ලංකාවේ නිරෝධන ක්‍රමය නියම ප්‍රථිපල ලබා ගත්තේ මුල් වටයෙන් විතරයි. දැන් නිරෝධන මධ්‍යස්ථාන බෝකරන මධ්‍යස්ථාන වෙලා වගේ. මේකට ප්‍රධාන හේතුව මුල් වෛරසය ට වඩා වෙනස් වෛරසයක් දෙවන රැල්ල වශයෙන් ව්‍යාප්ත වීමයි. මෙම වෛරසයේ සානද්‍රණය වැඩි වීමක් සිදු වී ඇති අතර එම නිසා බෝ වීම වැඩි වී ඇත. මුල් වටයේ වෛරසයේ සැර අඩු නිසා සියලු දෙනා ලකුණු දා ගත්තත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. පාලනයයෙන් ගිලිහී ගිහින් කිව්වොත් නිවරදියි. තව ටික දිනකින් ඇමරිකාව ඉන්දියාව වගේ රෝගින් හමු වීමත් මිය යාමත් වෙනවා.

    ReplyDelete
  6. ලංකාවේ නිරෝධන ක්‍රමය නියම ප්‍රථිපල ලබා ගත්තේ මුල් වටයෙන් විතරයි. දැන් නිරෝධන මධ්‍යස්ථාන බෝකරන මධ්‍යස්ථාන වෙලා වගේ. මේකට ප්‍රධාන හේතුව මුල් වෛරසය ට වඩා වෙනස් වෛරසයක් දෙවන රැල්ල වශයෙන් ව්‍යාප්ත වීමයි. මෙම වෛරසයේ සානද්‍රණය වැඩි වීමක් සිදු වී ඇති අතර එම නිසා බෝ වීම වැඩි වී ඇත. මුල් වටයේ වෛරසයේ සැර අඩු නිසා සියලු දෙනා ලකුණු දා ගත්තත් දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. පාලනයයෙන් ගිලිහී ගිහින් කිව්වොත් නිවරදියි. තව ටික දිනකින් ඇමරිකාව ඉන්දියාව වගේ රෝගින් හමු වීමත් මිය යාමත් වෙනවා.

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා මේ දවස් වල ලංකාවේ කතාවෙන තවත් වැදගත් කරුණක් වන්නේ ඩයනා ගමගේ බ්‍රිතාන්‍යය පුරවැසියෙක් බවත් ඇගේ මන්ත්‍රීධුරය නීති විරෝධී බවත්.

    ඔබ දැනටමත් දන්නවා ඇති 1965/12/18 උපන් ඩයනා ගමගේ බ්‍රිතාන්‍යයේ පුරවැසියෙක්, ඇය සහ ඇගේ වෛවාහක ස්වාමි පුරුෂයා වන සේනක හරිප්‍රිය ආනෝල්ඩ් සිල්වා (ශ්‍රීලාංකික) විසින් 2014 වසරේ දී බ්‍රිතාන්‍යයේ සමාගමක් ආරම්භ කර ඇති අතර එක 'company house’ හි ලියාපදිංචි කර ඇත. එකී වාර්තා අනුව SENDAGIFT.LK සමාගමේ අධ්‍යක්ෂ ඩයනා ගමගේ ජාතිකත්වය අනුව බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකි. ඒ අනුව, ඈ පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනුව නුසුදුසුකම් සහිත මන්ත්‍රීවරියක ලෙසය. එහෙයින් අධිකරණයීදිරියේ ප්‍රශ්න කළහොත් හා 2020 අගෝස්තු 20 වන දින විට ඈ බ්‍රිතාන්‍යයේ පුරවැසි බව අතහැර නොමැතිනම් ඇගේ මන්ත්‍රීධුරය අහෝසි විය යුතුයි.

    ලංකාවේ 20 වන සංශෝධනය බලපානුයේ කතානායක අත්සන් කරන දිනයේ සිට ඉදිරියට පමණක් වන නිසා, ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන විට ද්විත්ව හෝ තනි බ්‍රිතාන්‍ය පුරවැසිකමකට හිමිකම් කීවේ නම් ඇයට 20 වෙනි සංශෝධනයෙන්ද සරණක් හිමි නොවේ. මේ ගැන විස්තර හොයලා කියලා දෙන්න පුළුවන් ද බලන්න.

    ඒ වගේම මේ ගැනත් සොයා බලන්න;

    01. ගීතා කුමාරසිංහට පියසේන ගමගේ නඩු දැම්ම නිසා ධූරය අහිමි වූවා.

    02. මම අහල තියෙන විදියට දන්න තරමින් සුමන්දිරන්, සම්බන්ධන්, වඩිවේල් සුරේෂ් යන අය කැනඩා පුරවැසියන්.

    03. සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, හිටපු ඇමතිවරයෙකු වූ ජයම්පති වික්‍රමරත්න (කචලයක් නැතුව ගිය ආණ්ඩුවේ හිටියා) ස්විස්ටර්ලන්ත පුරවැසියන්.

    04. එරාන් වික්‍රමරත්න බිතාන්‍යය, හර්ෂ ද සිල්වා ඇමරිකා. මේ අයත් නීතී විරෝධීයි.

    ඒ නිසා මේ ඔක්කොම හොරු අපිව අන්දනවාද? බොරුවට කෑ ගහනවාද? උන් දන්නවා යටින් support, එච්චරයි. අපි බොරුවට කෑ ගහනවා එහෙම ද? මේක ගැන මොකද කියන්න පුළුවන්?

    ReplyDelete
  8. ඉකොන්,

    ලංකාවෙ බන්ධනාගාරයක් තුළ කොටුවී "අනේ.. මගේ ජීවිතය බේරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න..." - මරණ බිය දැනී ඥාතීන් ඉදිරියේ කුඩා දරුවකු ලෙස හඬා වැටෙන කංජිපානි ඉම්රාන් කියන අසරණයා බේරාගැනීම පිණිස අපට කළහැකි දේවල් ගැන උපදෙස් ලබා දෙන්න කරුණාකරලා

    ReplyDelete
  9. ඉකොනොමැට්ටා,

    මේ එරන්ද ගිනිගේ අයියගේ ඇමරිකානු එක්සත් ජනපදය විසින් ලංකාවේ බලහත්කාරයෙන් ඇති කරන්නට යන එම් සී සී ගිවිසුම ගැන ලියපු ලිපියෙන් මා ඇමරිකානු එක්සත් ජනපදයේ ජඩ පිළිවෙත් ගැන විස්තර දැනගත්තා. ඔබටත් මේ ඇමරිකානු ආක්‍රමණය තුලින් සිදු විය හැකි විනාශයෙන් ලංකාව බේරා ගැනීම ගැන විස්තර ලියන්න හැකියි නේද?

    ///ඇමරිකානු Millennium Challenge Corporation (MCC) හී ශ්‍රී ලංකාවේ Resident Country Director ජෙනර් එඩල්මන් සහ ඇගේ කණ්ඩායම සමග හමුවක් සඳහා මට ආරාධනා කෙරිණි. ඒ හරියටම මීට වසරකට පෙර ජනපතිවරණය කටමුල තියාගෙන MCC ගිවිසුම අත්සන් කළ යුතු යැයි එවක යහපාලන ආණ්ඩුව විසින් බෝල දමමින් සිටි කාලයේය. ඇමරිකානු MCC ගිවිසුම කෙරෙහි සමාජයේ ඇති නරක ප්‍රතිරූපය වෙනස් කිරීමට ඔවුන් ප්‍රචාරණ සහ සන්නිවේදන වැඩපිළිවෙලක් අරඹා තිබෙන බව මට පෙනී ගියේය. ලෝකයේ විශාලතම අන්තර්ජාතික සබඳතා සංවිධානයේ වසර හතකට වැඩිය සේවය කර ඇති මා එවැනි සංවිධානවල උපාය උපක්‍රම හොඳින් දනී. එකල මා ගෝඨාභයගේ ජනපතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ රචකයෙක් සහ කථිකයෙක් විය. විරුද්ධ දේශපාලන මත දරන තරුණ කණ්ඩායමක් ලෙස පිහිටුවා ගත් #NextGenSL ඒ වනවිට තරුණ සමාජය අතර තරමක් ප්‍රසිද්ධ වෙමින් තිබිණි. එහි ආරම්භක සාමාජිකයන් වන මම, මිලින්ද රාජපක්ෂ සහ රසික ජයකොඩි ඇතුළු තවත් කිහිපදෙනෙකුට ඉහත රැස්වීම සඳහා ආරාධනා ලැබිණි. එකල ETCA ගිවිසුමට විරුද්ධව කතා කළ යුතුකම සංවාද කවයේ ලසන්ත වික්‍රමසිංහවත් මම අපේ කණ්ඩායමට එකතු කර ගතිමි. රැස්වීම තිබුණේ Cinnamon Grand හෝටලයේ එක් රැස්වීම් ශාලාවකය. මා ඇඳගෙන ගියේ සරමක් සහ කමිසයකි.

    පළමුව ජෙනර් විසින් MCC ගැන හැඳින්වීමක් කළාය. පසුව ඇයගේ සගයා වූ ලාංකිකයෙක් ඇමරිකානු ඌරුවට අහංකාරයෙන් කතා කළේය. මට ඔහුගේ නම මතක නැත. රැස්වීමට යන්නට පෙර දිනයේම මා කළේ MCC ගැන අන්තරජාලයේ ගවේෂණය කිරීමයි. ඇසිය යුතු ප්‍රශ්න මගේ සටහන් පොතේ ලියාගෙන ගියෙමි. මා ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔවුන් ඇතැම්විට නිරුත්තර විය. උදාහරණයක් ලෙස MCC ගිවිසුම සකස් කර තිබුණේ ලංකාව අඩු ආදායම්ලාභී රටක් වූ නිසාය. නමුත් ඒ වනවිට ලංකාව මැදි ආදායම් රටකට උසස් වී තිබිණි. මා ඇසුවේ “ඇයි එහෙනම් දැන් ඔබේ නීතියට විරුද්ධව යමින් මේ ගිවිසුම අත්සන් කරන්නේ?” හරි උත්තරයක් නැත. එමෙන්ම මැඩගස්කරය, මාලි, ඝානාව වැනි අප්‍රිකානු රටවල අත්සන් කළ MCC ගිවිසුම් අසාර්ථක වූයේ ඇයි දැයි මම උදාහරණ සහිතව විමසුවෙමි. ඔවුන් ගොතගසමින් ඒවායින් ලිස්සා ගියේය. ඔවුන් කීවේ MCC වල අරමුණ ලංකාවේ දුප්පත්කම නැති කිරීම බවයි. එවිට මා ඇසුවේ එහෙනම් ලංකාවේ දුප්පත්කම වැඩිම දිස්ත්‍රික්ක අත්හැර වෙනත් දිස්ත්‍රික්ක ගිවිසුමෙන් ආවරණය කරන්නේ මන්ද? යන්නයි. උත්තර නැත. ලසන්ත වික්‍රමසිංහත් එවැනි හිරවෙන ප්‍රශ්න ඇසුවා මට මතකය. අනෙක් උන් නම් ගල් බිල්ලන් සේ සිටියේය. එජාප කඳවුර නියෝජනය කළ තරුණයන් කොහොමත් සිටියේ MCC යට පක්ෂවය. ජෙනර් පුන පුනා කියා සිටියේ ගිවිසුම දෙසැම්බරයට (2019) පෙර අත්සන් නොකරන්නේ නම් ගිවිසුම අවලංගු වන බවයි. එසේනම් දැන් ගිවිසුම අවලංගු වී තිබිය යුතුය. නමුත් එය තවමත් මේසය මත තිබීමෙන් ඔප්පු වන්නේ ඇය එදා පට්ටපල් බොරුවක් කියූ බවයි. මා එතරම් හොඳින් ලැහැස්ති වී ඒ යැයි ඔවුන් නොසිතූ බව පෙනිණි. එහිදී ජෙනර්ගේ කටින් පිටවූ එක් වැදගත් කාරණයක් නම් ලංකාවේ මෙම වැඩසටහන කළ යුතු යැයි මුළින්ම යෝජනා කළේ කුප්‍රකට ඇමරිකානු බිලියනපතියෙකු සහ ගෝලීය දේශපාලන හසුරුවන්නෙකු වන ජෝර්ජ් සොරෝස් විසින් මුදල් ගෙවා හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කළ පර්යේෂණයක් විසින් බවයි.///

    ...

    ReplyDelete
    Replies
    1. ///MCC ගිවිසුමෙන් කරන්නේ සරල දෙයකි. එහි ලස්සන කැරට් අලයක් ඇත. එනම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට Traffic Management System එකක් සහ ලස්සන නවීන බස් රථ ටිකක් ලබා දීමයි. ආටෝපයට කැමති අපේ ගොබ්බයන්ට එය බැලූ බැල්මට ආකර්ශනීයය. නමුත් එයට පිටුපසින් ඇත්තේ හලාහල වසකි. එනම් ලංකාවේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට හෙක්ටයාර දහස් ගණනින් සින්නක්කර මිලදී ගැනීමට හැකි වන පරිදි වැඩ සැලසීමයි. ඒවා ගැන දැන් ඇති තරම් කතා කර ඇත. නමුත් ලංකාවේ වැසියන්ට කැරට් අල පෙන්වා ලෙහෙසියෙන් රැවටිය හැකිය. එදා ඉඳන්ම අප පිටරැටියන්ගේ චාටු කතාවලට රැවටුණු අහංකාර මෝඩ රැළකි. ඒ බව ඇමරිකානුවන් පමණක් නොව අනෙක් සියලුම රටවල් දනී. මාව ඔවුන්ගේ Diplomatic කතාවලින් නම්මාගත නොහැකි බව ඔවුන්ට වැටහිණි. රැස්වීම අවසන් කරමින් මා ජෙනර්ගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන මෙසේ පැවසුවෙමි. “මගේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩම්වල අයිතිය එදා මුඩුබිම් පනත කියන එක ලියවිල්ලකින් අහිමි වුනා. ඒ ඉඩම් අයිතිය නැවත බ්‍රිතාන්‍යයන්ගෙන් දිනා ගන්න අපේ මුතුන් මිත්තන්ට ලේ වගුරුවා සටන් කරන්න වුනා. ඒ නිසා අපේ ඉඩම් ගැන සම්බන්ධ ඕනෑම ගිවිසුමකදී අප ඒ ගැන ඉතාමත් සැලකිලිමත්.” ජෙනර් බිම බලාගත්තා. අපි නැගිටලා එන්න ආවා. ටික දවසකට පස්සෙ #NextGenSL මගුලෙන් මා ඉල්ලා අස්වුණා. වසරකට පස්සේ ලංකාව නැවත අඩු ආදායම් රටක් වුනා. ද්විත්වපුරවැසියන්ට දොර ඇරුණා. මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහකොමසාරිස් වෙලා මයික් පොම්පෙඕ ලංකාවට ආවා.

      ධර්මය ඔබට මග වේවා!

      - එරන් ද ගිනිගේ
      2020 ඔක්තෝබර් 30 වැනිදා
      හැමදාම රැවටෙන (ජන)රජයක සිට

      කැමති ලෙස Share කරන්න.///

      Delete
  10. ලංකාවේ මේ වන විට සුදර්ශණ පැණිය කොරෝනා රෝගීන් සඳහා ලබා දීමට පියවර ගන්නවා යැයි ඇසීමත් සමඟ පරල වී ඇති සමහර බටහිර වෛද්‍යවරුන් කපුවා වරම ගත්තාක් මෙන් රාජ්‍ය ඇමති මහාචාර්‍යය චන්න ජයසුමනට නෙලමින් ඇත. එසේ කිරීමෙන් ඒ අයගේ ආචාරධාර්මික මොකද්දෝ එක මෙව්වා වෙන බව කියා තිබෙනු දුටුවෙමි.

    ජනතා බදු මුදලින් බටහිර වෛද්‍යවරු බවට පත්වන මේ අය දේශීය වෛද්‍ය ක්‍රමයට මෙතරම් පහත් ලෙස සලකන්නේ ඇයි දැයිඅප ප්‍රශ්ණ කල යුතුව ඇත. සියළුම ලෙඩ වලට ලොව පවතින එකම විසඳුම වෛද්‍ය විද්‍යාව යැයි සිතා සිටින සමහරක් දීන බටහිර වෙදුන්ගේ මානසික දීන බාවය පිලිබඳ කණගාටු විය යුතුය.

    යමක් බැහැර කරන්නේ නම් එයට සාධාරණ හේතු ඉදිරිපත් කරනවා වෙනුවට කොරෝනා ඉදිරියේ නන්නපෝල් වී ඇති බටහිර වෛද්‍ය විද්‍යාවට විසඳුමක් සොයා ගැනීම පේනතෙක් මානයක නැති මොහොතක අවම වශයෙන් කොරෝනා රෝගීන්ගේ ප්‍රතිශක්තිය නැංවිය හැකි නම් එයද රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ඉවහල් වනු ඇත. ඒ සඳහා දේශීය වෙදකමෙන් හෝ යමක් ගැනීමට ඇත්නම් එය ගන්නවා වෙනුවට එයට ගැරහීම සහ එය පහත් කොට සැලකීමෙන් පෙනෙන්නේ බටහිර ගැති නිවට බාවය මිස අන් යමක් නොවේ.

    ඒක දේවවාදී මූලයකින් ඇරඹි බටහිර දැනුම එහෙම පිටින්ම ගිල ඇති සමහරක්ට වෙනත් දැනුම් පද්ධතීන් පිලිබඳ පිලිගැනීමට කියවීමට හැකි බහුමානීය දැක්මක් කියවීමක් නැත.

    ඊනියා බටහිර වෛද්‍ය ආචාරධර්ම ගැන කතා කරන්නට ගියොත් බල්ලන් බත් කන්නේ නැත. ඒ නිසා ඒවා පසුවට කතා කරන්නට තබා කෙටියෙන්ම පවසන්නට ඇත්තේ අවශ්‍ය වන්නේ ජනතාව සුවපත් කිරීම මිස ඊනියා බටහිර ආචාරධර්ම හෝ ඔවුන්ගේ බමුණු කුල රැකීම නොවන බවයි.

    -කැලුම් ජයසුමන

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...