මුලින්ම ක්‍රීඩාව ගැන විස්තරය නලින් ද සිල්වාගේ ලිපියෙන්ම උපුටා දක්වන්නම්.
"දිනක් නැවක යෝනයන් පහළොස්දෙනකු සහ සිංහලයන් පහළොස්දෙනකු යමින් ඉන්න කොට නැව ගිලෙන තත්වයක් ඇවිත්. එහි දී බේරෙන්න නම් පහළොස් දෙනකු මුහුදට දමන්න ඕන වෙලා තියෙනවා. එවිට සිංහල නැව්පති කියල තිස්දෙනා ම රවුමට හිටගෙන තමන්ගෙන් (වෙන්න පුළුවන්) පටන් ගෙන නවයට ගණන් කරල ඒ නවවැනිය මුහුදට දමනවා, ඉන් පස්සේ දහවැනියගෙන් පටන් ගෙන නැවත නවයට ගණන් කරල නවවැනියා මුහුදට දානව, ඔය විධියට පහළොස් වරක් නවයට ගණන් කරල බලන කොට යෝනයන් ඔක්කොම මුහුදෙ. දැන් නැව්පති දැනගෙන ඉඳලා තියෙනවා නාවිකයන් කොහොම හිට ගත්තොත් ද යෝනයන් මුහුදට දාන්න පුළුවන් වෙන්නෙ කියල. ඕක තමයි යොන් මැරිල්ල."
ඇත්තටම ඕක ඇවිදිල්ලා මේ යොන් මැරිල්ල ක්‍රීඩාවේ සම්භවය සම්බන්ධ කතාව. ක්‍රීඩාව කරන්න පෙතක් (බෝඩ් එකක්) අවශ්‍යයි. පෙතේ වෘත්තාකාර පථයක් දිගේ වලවල් තිහක් හදා තිබෙනවා. මේ ගණන තිහක්ම නොවෙන්නත් පුළුවන්. අපි තිහේ වර්ෂන් එක ගැන කතා කරමු.
ඔය ක්‍රීඩාව කරන්නම හදපු කැටයම් කපපු ලී පෙත් දැන්නම් හොයාගන්න නැතුව ඇතිනේ. ඒ නිසා, අවශ්‍ය කෙනෙකුට ලොකු කාඩ්බෝඩ් එකක රවුම් තිහක් ඇඳගෙන ක්‍රීඩාව කරන්න පුළුවන්. ක්‍රීඩකයෝ දෙන්නයි. එක ක්‍රීඩකයෙක්ට ඉත්තෝ පහළොව බැගින් ලැබෙනවා. මුලින්ම ක්‍රීඩකයෝ දෙන්නා මාරුවෙන් මාරුවට පෙතේ වලවල් වල ඉත්තෝ තියනවා.
ඉත්තෝ තිහම තියලා ඉවර වුනාට පස්සේ එක් ක්‍රීඩකයෙක් යොන් මැරිල්ල පටන් ගන්නවා. මෙය කරන්නේ තමන් සිටින තැනින් පටන් ගෙන නවවෙනි වලේ ඉන්න ඉත්තාව ඉවත් කිරීමෙන්. ඉවත් වුනේ ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයාගේ ඉත්තෙක්නම් වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. නවයට ගැනෙන්නේ තමන්ගේම ඉත්තෙක්නම් ක්‍රීඩා කිරීමේ වාරය ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයාට යනවා. ඔහුගේ හෝ ඇයගේ ඉත්තෙක් ඉවත් කරන්න වුනාම ක්‍රීඩා කිරීමේ වාරය නැවත මාරු වෙනවා. මුලින්ම ප්‍රතිවිරුද්ධ පිලේ සියළුම ඉත්තන් ඉවත් කරන ක්‍රීඩකයාට ජයග්‍රහණය හිමිවෙනවා.
ගොඩක් වෙලාවට කතාවේ එන යොන් මැරිල්ලේදී වගේ තමන්ගේ ඉත්තෝ පහළොවම බේරාගෙන ප්‍රතිවිරුද්ධ පිළේ ඉත්තෝ පහළොවම ඉවත් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. දිනුම කලින් සැලසුම් කර ගන්න එක ගොඩක් අමාරු වැඩක්. අහඹු ලෙස ඉත්තෝ තිබ්බොත් ඉත්තෝ තියන්න පුළුවන් ආකාර 155,117,520ක් තියෙනවා. ගණිතයට උනන්දු අයට ගාණ හදාගන්න අමාරු වෙන එකක් නැහැ.
යොන් මැරිල්ල ක්‍රීඩාවේ දිනුම පැරදුම බොහෝ විට අහඹු ලෙසයි තීරණය වෙන්නේ. නමුත් යොන් මැරිල්ලේ විසඳුම දන්නවානම් හරියටම ඒ පිළිවෙලට ඉත්තෝ තියලා දිනන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිවිරුද්ධ පිලේ ක්‍රීඩකයා ඒ විසඳුම දන්නේ නැත්නම් පමණයි. ප්‍රතිවිරුද්ධ පිලේ ක්‍රීඩකයාත් විසඳුම දන්නවානම් ඉත්තෝ තියන්න ඔහුගේ හෝ ඇයගේ වාරය එනවිට ප්‍රතිවිරුද්ධ පිලේ ක්‍රීඩකයා විසින් අදාළ රටාව හදන එක වලක්වන නිසා වැඩේ හරියන්නේ නැහැ.
තමන්ගේ ඉත්තෝ පහළොවම බේරාගෙන ප්‍රතිවිරුද්ධ පිළේ ඉත්තෝ පහළොවම ඉවත් කරන්නනම් ඉත්තෝ තියන්න වෙන්නේ එකම එක නිශ්චිත ක්‍රමයකට. ඉත්තෝ තිහේ වර්ෂන් එකේදී අහඹු ලෙස ඉත්තෝ තියලා ඒ රටාව හැදෙන්න තිබෙන සම්භාවිතාව 155,117,520කින් එකක් පමණයි. උඩ රූපයේ තියෙන්නේ ඒ රටාව. පහළ අංක රටාව අනුගමනය කරන්නත් පුළුවන්. රතු පාටින් දක්වා තිබෙන්නේ යොන්නු.
4 5 2 1 3 1 1 2 2 3 1 2 2 1
පසු සටහන:
මේ සංඛ්‍යා රටාව පහසුවෙන් මතක තියාගන්න උදවු කෙරෙන කවි දෙකක් තිබෙනවා. මතක් කර ගන්න හැදුවත් පද සියල්ලම මුළුමනින්ම මතක් වුනේ නැහැ. පාඨකයෙක් විසින් ප්‍රතිචාරයක් ලෙස පහත එම කවි දෙක පළ කර තිබෙනවා. මේ ජන ක්‍රීඩාව සංරක්ෂණය කර තැබීම සඳහා උදවු කළාට ඔහුට හෝ ඇයට බොහොමත්ම ස්තුතියි!
මෙන්න දෙපාර්ශ්වය පිහිටුවන හැටි
සදාපන්න පළමුව ජය වෙන සතර
ඊලඟ සදන් පණයන පස් දෙන නිතර
යාළු දෙන්නා ගාවා මයි එක සතුර
දැනගන් මිතුරු තුන් දෙනකුය ඒ අතර
නොහොඳ කෙනෙකි කුසලින් වැඩි එක යාළු
හතුරු දෙන්නා ලඟ දෙන්නත් ගැලවේලු
අකුසල් තුනින් කුසලින් වැඩි එක යාළු
හතුරු දෙන්නා ලඟ දෙන්නට එක මර ලු
මෙන්න දෙපාර්ශ්වය පිහිටුවන හැටි
ReplyDeleteසදාපන්න පළමුව ජය වෙන සතර
ඊලඟ සදන් පණයන පස් දෙන නිතර
යාළු දෙන්නා ගාවා මයි එක සතුර
දැනගන් මිතුරු තුන් දෙනකුය ඒ අතර
නොහොඳ කෙනෙකි කුසලින් වැඩි එක යාළු
හතුරු දෙන්නා ලඟ දෙන්නත් ගැලවේලු
අකුසල් තුනින් කුසලින් වැඩි එක යාළු
හතුරු දෙන්නා ලඟ දෙන්නට එක මර ලු
අහලා තිබුණා යන්තම්න්... මේ තියෙන්නේ එළකිරි වගේ!
ReplyDeleteස්තුති නිමල්
ReplyDeleteහර්ෂ
ඉකොනොමැට්ටෝ
ReplyDeleteමේ ප්‍රස්තාවපිරුළට මුල් වුන කතාව මම අඩුම ගානේ මූලාශ්‍ර දෙකකින් හෝ තුනකින් කියවලා තියෙන්නේ ඉහත ඔබගේ බ්ලොග් පෝස්ට් සටහනේ තියෙන විදියට මයි. මා ළඟ දැනට තියෙන මූලාශ්‍රයකින් ඒ කතාව පහතින් දාන්නම්. යොන් මැරිල්ල කියන ගැමි ක්‍රීඩාව ගැන අදහස එහෙම උනත් සාමාන්‍ය ජන ව්‍යවහාරයේ ලංකාවේ යෝනක (මුස්ලිම්) මිනිස්සු ගැන දමිළ සහ සිංහල ජනතාව අතර තියෙන්නේ ඕනෑම කරදරකාරී අවස්ථාවක උනත් තමන්ගේ වාසිය විතරක් බලන කෛරාටික මිනිස්සු කියල මතයක්. ඔබ කියවල තියෙනවද රපියෙල් තෙන්නකෝන් මහතාගේ "වවුලුව" නිර්මාණය?
වවුලුවට අනුව නැවේ සිංහල හා යෝනක ජාතිකයන් සිටි බවත්, නැව කුණාටුවකට හසුවී බර අඩු කිරීමට නැව් බඩු තොගයද මුහුදට දැමුවත් පලක් නොවී නැව මුහුදේ ගිලීමට ආසන්නවු විට යොන් පිරිස අවස්ථාවාදීව වර්ගවාදී ලෙස කටයුතු කළ නිසා ඉන් කෝපවූ සිංහලයන් නැවේ සිටි සියලුම යොන් ජාතිකයන් උපායමාර්ගික සැලසුම් අනුව මුහුදට ඇද දැම්මාලු. වවුලුව පොතේ 28 වන කවියේ ඒක තියෙනවා.
යොන් හුට නැගෙත කුඹ ගස මත නැව ගිලෙත
දුන් කුඩු හෙප්පුවට ඉන් යන කලට අත
දෙන්නට නිදසුනට සරි කල සිය සිරිත
දැන් මෙහි හොවති වලගම්බාවෝ අනත
මට දැනගන්න ඕන වවුලුවේ රැපියෙල් තෙන්නකෝන් මහත්තයා ලියපු වර්ෂන් එක එතුමාගේ ප්‍රබන්ධයක් ද (වවුලුව ප්‍රබන්ධ කතාවක් නිසා) එහෙම නැත්නම් ඒ වර්ෂන් එක වෙනත් මූලාශ්‍රයකින් කියවලා හෝ අහලා තියෙනවද කියන එක.
මම දන්න විදිහට පහත මූලාශ්‍ර වල ඔය ගැන මේ සටහනට සමාන කතාවක් දීර්ඝ වශයෙන් විස්තර කර තියෙනවා.
ගුණතිලක, එච්. (1948) සිනා සුමුග, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ (44) (පිට 14-15)
යොන් මැරීම - සිංහලයන් සහ යොනුන් (යෝනක) නැගී ගිය රුවල් නැවක් බර වැඩි වූ හෙයින් මුහුද මැද දී ගිලෙන්නට යන ලකුණු ඇති විය. නැවේ සිංහල කප්පිත්තා සිංහලයන් ඉතිරි කර ගෙන මේ අනතුරින් බේරී යාමට උපක්‍රමයක් කල්පනා කළේය. මුල සිට ගණන් කරන විට නිතරම නව වැන්නා යොනෙකු වන ලෙස සියලු දෙන පෙළට සිටුවා, "නැව බේරා ගැනීමට කළ යුතු එකම දෙය මෙහි සිටින්නවුන්ගෙන් කොටසක් මුහුදට දැමීමයි.නවය නපුරු නිසා මේ මිනිස් පෙළ මුල සිට ගණන් කර ගෙන යාමේ දී නව වැන්නා මුහුදට දැමීමට නියම කර ගතිමි. ඔවුන්ගේ භාග්‍ය ඇති නැති සැටියට එය සිදු වේවා!"යි උස හඬින් ප්‍රකාශ කළේය. එසේ ගණන් කර ගෙන යාමේ දී යෝනුන්ට ම නවය වැටුණේය. අන්තිම යොනා මුහුදට දමන විට "මේක මහ යොන් මැරිල්ලක්" යැයි කීවේ ලු. මිනිස් පෙළ පිළියෙළ කළ හැටි කියැවෙන කවිය
"සදා පන්න පළමුව ජය වෙන සතර
ඊළඟ සදනු පණ යන පස්දෙන නිතර
යාළු දෙන්න ගාවාමයි එක සතුර
දැනගන් මිතුරු තුන් දෙන මයි ඒ අතර
නො හොඳ අයෙක් කුසලින් වැඩි එක යාළු
විහිළු දෙන්න ළඟ දෙන්නත් ගැල වේ ලු
අකුසල් තුනෙන් කුසළට වැඩි එක යාළු
සතුරු දෙන්න ළඟ දෙන්නට එක මර ලු"
මේ කතාවෙන් බිහි වූ තේරවිලි කවිය ගැන ද නවනැලියේ විජේතුංග මහත්තයත් 2013 "ජන විඥානයෙන් බිඳක් හෙවත් ජනකතා" දැනුම වැඩුම ප්‍රකාශකයෝ, මුල්ලේරියාව, 51 පිටේ සඳහන් කරනවා. ඔබ ඒ ගැන තොරතුරු දන්නව ඇතිනේ.
ඔබේ දිගු ප්‍රතිචාරයට සහ මූලාශ්‍ර වලට ස්තුතියි! වවුලුවනම් කියවා තිබෙනවා. එහෙත්, අනෙක් පොත් දෙක කියවා නැහැ. ඔබ කියන තේරවිලි කවිය පිළිබඳවත් මතකයක් නැහැ.
Delete