වෙබ් ලිපිනය:

Sunday, October 4, 2020

රුසියන් බිංදුව


රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ගැන සටහනක් පහුගිය දවස්වල වත්පොතේ හුවමාරු වුනා. සටහන මුලින්ම පළ කළේ කවුද කියලානම් මට හොයා ගන්න බැරිවුනා. හැබැයි මා දන්නා තරමින් මේ සටහනේ තිබෙන තොරතුර නිවැරදියි. සුළු අක්ෂර වින්‍යාස නිවැරදි කිරීම් කිහිපයක් පමණක් සමඟ මම එම සටහන පහත පළ කරනවා.

"රුසියාවේ බහුතර විභාගවල උපරිම ලකුණු සංඛ්‍යාව 5කි. සිසුවෙකු කිසිම ප්‍රශ්නයකට පිළිතුර නොදී හිස් ප්‍රශ්න පත්‍රය ආපසු ලබාදුන්නේ නම් ඔහුට ලැබෙන ලකුණු සංඛ්‍යාව 2කි.

මොස්කව් විශ්වවිද්‍යාලයෙහි මාගේ මුල් දිනවල මා මෙම ක්‍රමය පිලිබඳව නොදැනුවත්ව සිටියෙමි. පසුව පුදුමයට පත් මා තියඩෝර් මෙඩ්රේව් මහාචාර්යවරයාගෙන් මෙසේ විමසුවෙමි. 

"කිසිම පැනයකට පිලිතුරු නොදුන් සිසුවෙකුට ලකුණු 5න් 2ක් ලබාදීම සාධාරණයි කියා ඔබ සිතනවාද? ඔහුට ලකුණු බිංදුවක් නොදෙන්නේ ඇයි? නිවැරදි ක්‍රමය එය නොවේද?"

එතුමා මාගේ පැනයට මෙසේ පිලිතුරු ලබාදුන්නේය.

"දරුවෙකුට අප ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? සෑම දේශනයකටම සහභාගී වීමට උදෑසන 7ට අවදි වූ සිසුවෙකුට ලකුණු බිංදුවක් දෙන්නේ කෙසේද? මෙම ශීත කාලගුණයේද උදෑසන අවදි වී පොදු ප්‍රවාහන සේවය මගින් නියමිත වේලාවට විභාගයට පැමිණ ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමට උත්සාහ දැරූ සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද? රෑ දවල් පාඩම් කර තමන්ගේ මුදලින් පෑනක්, පොතක්, පරිගණකයක් ලබාගෙන තම අධ්‍යාපනයට කැපවූ සිසුවෙකුට ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? අනිත් සියලුම ජීවන ක්‍රම ප්‍රතික්ෂේප කර අධ්‍යාපනයට යොමුවුන සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද?

මෙහි පුතේ, දරුවෙකු පිළිතුරු නොදැනීම හේතුවෙන් අපි ඔහුට ලකුණු බිංදුවක් ලබා නොදෙන්නෙමු. ඔහුද මිනිසෙකි. ඔහුට මොලයක් ඇත. ඔහු ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට උත්සාහ ගෙන ඇත.

අප මෙහි ලබාදෙන ලකුණු විභාග ප්‍රශ්න පත්‍රයට පමණක් සීමා නොවේ. ඔහුට උපහාරයක් ලෙස ලකුණු ප්‍රමාණයක් ලැබිය යුතුයි."

එයට ප්‍රතිචාර දැක්වීමට නොදැන මාගේ දෙනෙත් කඳුලෙන් පිරුණි. මිනිසෙකු ලෙස මාගේ වටිනාකම මා හට වැටහුනි.

බිංදුව ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසයි. ඉගෙනීමට ඇති උනන්දුව වනසයි. අද මා මෙම සටහන තබන්නේ අප රටේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහයක් දරන ගුරුවරුන් වෙනුවෙනි.

උපුටා ගැනීමකි.

මා රුසියාවේ හෝ සෝවියට් දේශයේ ඉගෙනුම ලබා නැහැ. එසේ ඉගෙනුම ලැබූ අය මෙය කියවන අය අතර ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේම පෞද්ගලික අත්දැකීම් ඇති. එහෙත්, මේ ඇගයීම් ක්‍රමය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයන මා පරිශීලනය කර තිබෙනවා. ඒ වගේම, රුසියානු මිතුරන්ගෙන් වැඩිදුර තොරතුරු අසා දැනගෙන තිබෙනවා.

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ මේ ඇගයීම් ක්‍රමය රුසියන් ක්‍රමයක් මිස "සමාජවාදී" ක්‍රමයක් නොවන බවයි. රුසියාවේ විභාග ඇගයීම් ක්‍රමය ප්‍රචලිත වී තිබෙන්නේ දහනවවන සියවසේ මුල් කාලයේදී. නොවැම්බර් විප්ලවයෙන් පසු මුල් කාලයේදී මේ ක්‍රමය වෙනස් කර වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙන්න උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. ඒ නිසා, මේ ක්‍රමයේ හොඳ හෝ නරක කවර වුවත් එය සමාජවාදයට සෘජුව සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙත්, වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. මේ වත්පොත් සටහනෙන් පැහැදිලි වන්නේ එම වක්‍ර සම්බන්ධයයි. ඒ වක්‍ර සම්බන්ධය ගැන කතා කරන්න කලින් මේ සටහනේ නැති රුසියන් ඇගයීම් ක්‍රමයේ තවත් සුවිශේෂතා කිහිපයක් ගැන සඳහන් කළ යුතුයි.

ලංකාවේද ප්‍රචලිත බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී ලිඛිත විභාග වලට වැඩි බරක් දෙනවා. එයට සාපේක්ෂව රුසියානු ක්‍රමයේදී වාචික විභාග වඩා ප්‍රචලිතයි. ඒ වගේම, බටහිර ලිඛිත විභාග වලදී මුළු විෂය නිර්දේශයම පිළිබඳ දැනුම පරීක්ෂාවට ලක් කෙරෙන නමුත් රුසියානු ක්‍රමයේදී බොහෝ විට අහඹු ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂා කරනවා. විභාග ක්‍රම සංසන්දනය කළ යුත්තේ මේ වෙනස්කම්ද සිහියේ තබාගෙනයි.

විභාගයකදී මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන විට විභාග ප්‍රතිඵලය හා දැනුම අතර සහසම්බන්ධය වැඩියි. එහෙත්, අහඹු ලෙස ප්‍රශ්න තුනක් අසා එමගින් දැනුම පරීක්ෂාවට ලක් කරද්දී වැරදීම් වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඉහත කී අහඹු ප්‍රශ්න තුනෙන් දෙකකට නිවැරදිව පිළිතුරු දුන්නොත් රුසියානු විභාගයක් සමත් වූ සේ සැලකෙනවා. ලකුණු 3/5ක් ලැබෙනවා. ප්‍රශ්න තුනටම නිවැරදි පිළිතුරු දුන්නොත් 4/5ක් ලැබෙනවා. අවම වශයෙන් ප්‍රශ්න දෙකකට නිවැරදි පිළිතුරු ලබා නොදුන්නොත් ලැබෙන්නේ ලකුණු 2/5යි. මේ අනුව, 2/5 ලබා ගන්නා සිසුන් අතර ප්‍රශ්න තුනෙන් එකකට පමණක් නිවැරදි පිළිතුරු ලබා දුන් අයත්, එක ප්‍රශ්නයකටවත් නිවැරදි පිළිතුරු ලබා නොදුන් අයත් ඉන්නවා.

ලකුණු 5/5ක් ලබා දෙන්නේ මුල් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් අය වෙත තවත් අමතර ප්‍රශ්න යොමු කර ඒ ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු දුන්නොත් පමණයි. ඒ වගේම, 2/5ට වඩා අඩු ලකුණු ලබා දෙන අවස්ථාත්, කලාතුරකින් වුවත්, තිබෙනවා. 1/5 වැනි ලකුණකින් අදහස් කෙරෙන්නේ නීති පිළි නොපැදීම හෝ විනය විරෝධී ක්‍රියාවක්. ප්‍රශ්න කිසිවකට නිවැරදිව පිළිතුරු ලබා නොදීම නිසා ලකුණු ප්‍රමාණය 2/5ට වඩා අඩු වන්නේ නැහැ.

මුළු විෂය නිර්දේශයම පරීක්ෂාවට ලක් කෙරෙන බටහිර ආකෘතියේ විභාගයකින් වෙනස්ව, අහඹු ප්‍රශ්න තුනක් පමණක් අහන විට සැලකිය යුතු දැනුමක් ඇති අයෙකුට වුවත් එම ප්‍රශ්න කිසිවකට පිළිතුරු දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා, 0/5 වෙනුවට 2/5 ලබා දීමේ නිශ්චිත පදනමක් තිබෙනවා. 

අනෙක් අතට මේ සමත්/අසමත් ලකුණ සංකේතයක් පමණයි. කාගේ හෝ ලකුණු ප්‍රමාණය 2/5ක් නම් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එම ඇගයීම් ක්‍රමය ගැන දන්නා කාට වුනත් රහසක් නෙමෙයි. විභාගයකට මුහුණ දෙන සිසුවෙකුට වැදගත් වන්නේ විභාගය සමත්ද අසමත්ද කියන එක මිසක් ඒ බව දැනුම් දෙන සංකේතය කුමක්ද කියන එක නෙමෙයි. ලැබුනේ 2/5නම් එය අසමත්වීමක් බව අදාළ සිසුවාත් අනෙක් අයත් දන්නවා. වෙනත් රටක විභාග ඇගයීම් ක්‍රම ගැන නොදන්නා රුසියානු සිසුවෙකුට මෙය බිංදුවම තමයි. ඒ නිසා, බිංදුවෙන් ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසා ඉගෙනීමට ඇති උනන්දුව වනසනවානම් රුසියානු දෙකෙනුත් ඒ වැඩේම වෙනවා.

ඇමරිකාවේ විභාග වල සාමාන්‍ය සමත් ලකුණ 70 හෝ 73යි. A සාමාර්ථයක් ලබා ගන්නනම් 90ක් හෝ 93ක් ලබා ගත යුතුයි. නමුත්, ලංකාවේද ප්‍රචලිත බ්‍රිතාන්‍ය ක්‍රමයේදී සමත් ලකුණ 40ක් හෝ 50ක් පමණ වෙනවා. ලකුණු 70ක් හෝ 75ක් ලබාගත් විට A සාමාර්ථයක් ලැබිය හැකියි. ඇමරිකානු විභාග ක්‍රමයට පුරුදු වී සිටින බොහෝ දෙනෙක් දකින්නේ ඇමරිකාවේ අසමත් ලකුණක් වන 60%ක් පමණ ලබා බ්‍රිතාන්‍ය ක්‍රමයට සම්මාන සාමාර්ථයක් ලැබිය හැකි නිසා එය ඉතා පහසු බවයි. 

ඇත්තමට වෙන්නේ කිසියම් රටක භාවිතා කරන ඇගයීම් ක්‍රමය අනුව සිසුන් වගේම ඇගයීම් කරන අයත් තමන්ගේ විභාග සම්මත සීරුමාරු කර ගැනීමයි. ඒ නිසා, බොහෝ විට බ්‍රිතාන්‍ය ක්‍රමයට 40% ගැනීමත්, ඇමරිකානු ක්‍රමයට 70% ගැනීමත්, රුසියානු ක්‍රමයට 3/5 ගැනීමත් එක තරම් අමාරු වෙන්න ඉඩ තිබෙනවා. 

රුසියානු විභාග ඇගයීම් ක්‍රමය හා සෝවියට් සමාජවාදය අතර සම්බන්ධයක් නැතත් ඉහත සටහනේ සඳහන් මහාචාර්යවරයා හා සටහන ලියූ පුද්ගලයා විසින් මේ ඇගයීම් ක්‍රමය අර්ථකථනය කරන ආකාරය තුළින් ඔවුන්ගේ මාක්ස්වාදී චින්තනය පැහැදිලි වෙනවා.

දළ වශයෙන් කියනවානම් ඔවුන් සිතන්නේ විභාගයට පිළිතුරු දී ඇති ආකාරය කෙසේ වුවත් විභාගයට මුහුණ දීම දක්වා සිසුවා විසින් දරා ඇති මහන්සිය ඇගයීමට ලක් විය යුතු බවයි. මේ අදහස පදනම් වන්නේ ශ්‍රමයේ වටිනාකම පිළිබඳ මාක්ස්වාදී අදහස මතයි. මාක්ස්වාදය අනුව වටිනාකම් නිර්මාණය වන්නේ යෙදවූ ශ්‍රමයට සමානුපාතිකවයි. ඒ අනුව, එක තරමට මහන්සි වී විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන් සිසුවාත්, කිසිම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් ලබා නොදුන් සිසුවාත් සමාන වටිනාකම් නිර්මාණය කර තිබෙනවා.

නොවැම්බර් විප්ලවයෙන් පසුව හඳුන්වා දෙන්න උත්සාහ කර තිබෙන්නේ විභාග නැති, ඇගයීම් නැති අධ්‍යාපන ක්‍රමයක්. එහි පදනම වන්නේත් ඉගෙන ගැනීම යනු ඒ සඳහා වැය කළ ශ්‍රමය මිසක් තමන් උකහා ගත් දෙය නොවන බවයි. සෝවියට් දේශයට වුවත් මාක්ස්වාදී මූලධර්ම මත පදනම් වූ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකි වී නැහැ.

ධනවාදයට අනුව යමෙක් මහන්සි වී වැඩ කළ පමණින් වටිනාකම් නිර්මාණය වන්නේ නැහැ. ඒ, ධනවාදයේදී මාක්ස්වාදයේදී මෙන් ශ්‍රමයට නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නැති නිසා. ශ්‍රමයේ සාපේක්ෂ වටිනාකම තීරණය වන්නේ එම ශ්‍රමය යොදවා නිර්මාණය කළ වටිනාකම් මතයි. ඒ අනුව, කොයි තරම් කාලයක් මහන්සි වුනත් ඉගෙන ගත්ත දෙයක් නැත්නම් ඒ ඉගෙන ගැනීමෙන් ඇති වැඩක් නැහැ. අනෙක් අතට විභාගයේදී සියලුම ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දිය හැකිනම් එය කළේ අවුරුද්ද තිස්සේම බේසම් වල කකුල් ඔබාගෙන පාඩම් කරලද, විභාගයට කලින් දවසේ පැය කීපයක් පාඩම් කරලද කියන එක වැදගත් නැහැ. මීටරෙන් ගොඩ දැම්මත්, මෝටරෙන් ගොඩ දැම්මත් වැදගත් වන්නේ අවසාන ප්‍රතිඵලයයි. 

බටහිර විභාග ඇගයීම් ක්‍රමයේදී කොහොම වුනත්, ධනවාදය තුළදී  අවසානයේදී කිසිම වටිනාකමක් නිර්මාණය කිරීමට දායක වෙලා නැත්නම් කොයි තරම් මහන්සි වුනත් ලැබෙන්නේ බිංදුව පමණයි. සමාජවාදී ක්‍රමයකදී මෙන් පහෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවානම් ලැබෙන්නේ වටිනාකම් නිර්මාණය කරන අයගේ සහකම්පනය මත පමණයි.

18 comments:

  1. මා දන්නා විදිහට ඉගෙන ගත්තේ මීටරයෙන්ද මෝටරයෙන්ද යන්න විභාගේදි පරිකාශාවට ලක් වෙනවා අඩුයි. භෞතික විද්‍යා කෙටි ප්‍රශ්ණ වැනි දේවලදි නම් මීටරත් මෝටරය්ත් චෙක් කරන්න පුලුවන්..

    මීටරයෙන් ඉගෙන් ගත්තත්, මෝටරෙන් ඉගෙන ගත්තත් , ඉගෙන ගත්ත දේ මොකක්ද කියලත් වැදගත්.....ස' පවා තැන් තැන් වල කියන්නේ ඒකනේ...මාකට් එක ඉල්ලන දේවල් ඉගෙන ගන්න ඕනේ...

    මගේ අයියා කෙනෙක් හිටියා...මිනිහා ඒ ලෙවල් වැඩ හතරම ෆේල්....හැබැයි රස්සාවට ගිහිල්ලා වැඩ පෙන්නලා දැන් ලොකුම තැනක ඉන්නේ.....මිනිහා කියන්නේ වැඩ හතරම ෆේල් උනත්, කලේ මැත්ස්.....ඒකයි වෙනස කියලා...:)

    ReplyDelete
  2. ඉකොනොමැට්ටෝ ඉගෙන ගන්න එකට වඩා දැන් කාලේ නම් ව්‍යවසායකත්වය හරිම වැදගත් දෙයක් කියලා ලංකාවේ තරුණ පරපුර හිතනවා. ඒ නිසා ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම හරි එහෙම නැත්නම් කැම්පස් එකෙන් අවුට් උනාම ලංකාවේ ගොඩක් අය හිර වෙන තැනක් තමයි ඊලගට ජොබ් එකකට යනවද නැත්නම් තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්නවද කියන එක. ජොබ් එකකට ගියාම හිත නිදහස්. අඩු පොලියට අර ලෝන් මේ ලෝන් ප්‍රමෝශන්, ලොකු ලොකු ඔෆිස් වල වැඩ කරන්න, ඇති තරම් නිවාඩු, වගේ ලස්සන දේවල් ගොඩයි. බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වම ණය අරගෙන ගෙවන්න, industry එකේ අනිත් අයත් එක්ක තරග කරන්න, එන ප්‍රශ්න වලට මූන දෙන්න, ලාභ නැතුව අවුරුදු ගනන් කැප කරන්න වගේ භයානක දේවල් ගොඩයි. හරියට horror movie එකක් වගේ.

    ඒත් ඉතින් ඒ ඔය පටන් ගන්න තැන විතරයි. ටික කාලෙකින් ඔය දෙකේ දෙපැත්ත මාරු වෙනවා. ජොබ් වල ඉන්න අය ණය අරන් ඒවා ගෙවන්න, ජොබ් එක නිසා තමන් කැමති දේවල් අතඇරලා ඒකටම කැපවෙන්න, ජීවිත කාලෙම අනුන් යටතේ ඉලක්කම් හයක පඩියකට (රුපියල්) වැඩ කරන්න වෙනවා. කට්ට කාගෙන බිස්නස් එකක් කරන කෙනා ටික කාලෙකින් තමංගේම දෙයක් හදාගෙන තමන් කැමති දේවල් වලට වෙලාව හදාගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තැනට එනවා. ඔය දෙකෙන් මොන පැත්තට ගියත් එක පැත්තක ඉදලා අනිත් පැත්තට මාරු වෙන්න පුළුවන් කම තියෙන්නේ ටික කාලයයි. එතනින් එහාට තමන් තෝර ගත්ත දේ ඇතුලේ හිර වෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි ලොකු risk එකක් අරගෙන තමන් ගිය පාර මාරු කරන්නේ.

    ලංකාවේ නම් ජොබ් වල ඉන්න ගොඩක් අයට ඒ ජොබ් එකට පාවිච්චි වෙන්නේ නැති හැබැයි වෙලදපලේ ලොකු වටිනාකමක් තියෙන skills සහ talents තියෙනවා. කිසි දවසක ඒවා එලියට ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. එයාලගේ හීන එක්කම ඒ දක්ශතා ඔක්කොමත් මැරිලා යනවා.

    ඒක නිසා මම හිතන්නෙ පරිස්සමට තමන් කැමති මොනාටද කරන්නේ මොකද්ද කියන එක තෝරගන්න ඕනෙ. ලංකාවේ සාමාන්‍යයෙන් ගොඩක් අය රැවටෙන තැන තමයි ජොබ් එකකදි මුලින්ම ලැබෙන salary එකයි ජොබ් security එකයි එක්ක බිස්නස් එකක මුල් කාලෙ තියෙන කට්ටයි, risk එකයි compare කරන්න යන එක.

    ඉතින් ඔන්න ඔය නිසා අකුරු හයකින් වැහුන ඉලක්කම් පහකට තමන්ගේ හීන ඔක්කොම විකුනලා දානවද කියන එක හොදට කල්පනා කරලා තීරණය කරන්න ඕන. මේ ගැන ඇමරිකන් සංකල්ප ඇතුළත් පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් හරිම වටිනවා.

    ReplyDelete
  3. ලංකාවේ අලුත්ම කොවිඩ 19 ලෙඩුන් එක්ක දැනට උදාවෙලා තියෙන තත්ත්වය අනුව අවුරුදු උත්සවේක සැඟවුනු අමුත්තා වගේ පලමු ආසාධිතයා සෙවීම අසීරු කාර්‍යක් බවයි පේන්නෙ.ඒක හොයාගත්තා උනත් ලොකු පලක් ප්‍රයෝජනයක් නැති බවයි පේන්නෙ මොකද සමාජයේ සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් ඉදලා සහ ඉන්න පුලුවන් තවත්..

    සමහර විට පලමු කාන්තාව අහම්බෙන් හදුනා ගත්තත් ඇයටත් මේ 69 දෙනාගෙන් කාගෙන් හෝ බෝ උනා වෙන්න හැකියි. 69 දෙනෙක් දැනට හදුනා ගත්තට ආශ්‍රිතයන්ගෙ PCR ටෙස්ට් තාම කරගෙන යන නිසා මේ ප්‍රමාණය වැඩිවීමෙ අවධානමක් තියෙනවා

    දැනට ආසාදිතයින්ගෙ පවුල් වල ලමයි පාසල් ගිහින් තියෙන්න පුලුවන් පහුගිය දොහේ.. ඒ වගේම හස්බන්ඩ්ලා රාජකාරි වලට ගිහින් තියෙන්න පුලුවන්.. ඒ 69 දෙනා ගම්පහට විතරක් සීමා උනා කියලා කියන්න කොහෙත්ම බෑ

    සමහරවිට මේ පවුල් වල අය කොලඹ හෝ වෙනත් පලාත් වල රැකියා කරන අය වෙන්න පුලුවන්.. ලමයි ගම්පහින් එහාට පාසල් යනවා වෙන්න පුලුවන් නෑයෝ ඇවිත් තිබෙන්න පුලුවන්
    මේ ඔක්කොම විය හැකියැයි අනුමාන කල හැකි දේවල් ගොඩක් අයට මේ වෙලේ තියෙන ප්‍රශ්නෙ lock down එකකට යන්න වේවිද?

    අනික් පලාත් කෙසේ වෙතත් සමස්ත ගම්පහ දිස්ත්‍රික්කය මේ අවස්ථාවෙ ප්‍රථමව ලොක් ඩවුන් කල යුතුයි කියන අදහස තමයි මගෙ නම් මතය.මොකද ලංකාවෙ අයිසීයූ bed 500 යි තියෙන්නෙ කියන එක අමතක කරන්න බෑනේ එකවර රෝගීන් විශාල පිරිසක් සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බෑ .. ඒක තමයි තිත්ත ඇත්ත

    යම්ලෙසක ලංකාවේ ලොක් ඩවුන් විමක් උනොත් සමස්ථ රටම කබලෙන් ලිපට වැටෙනවා.. නමුත් කල හැකි විකල්ප තියෙනවද? මේ රැල්ලට ගහගෙන යන්න දුන්නොත් මේ පුංචි දූපත තවත් ඉන්දියාවක් වේවිද? මේ රැල්ල පාලනයට ලොක් ඩවුන් එකක් අවශ්‍යයිද?

    මොකක්ද ඔබේ අදහස??

    ReplyDelete
    Replies
    1. ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද හවස 6 පටන් ඇඳිරි නීතියලු!

      එතකොට සේරම හරි යයිද?��

      brandix සමුහයේ sub ප්ලාන්ට් එකක් තමයි මිනුවන්ගොඩ තිබුනෙ.. සීදුව වැලිසර ප්‍රදේශ වල තවත් brandix ප්‍රධාන කම්හල් තියෙනවා.. මේවා අතර යම්කිසී ක්‍රියාකාරකම් වෙන්න බැයිද?

      එතකොට කටුනායක අපනයන සැකසුම් කලාප වල බියගම අපනයන සැකසුම් කලාප වල මේ මොහොතේ පවා වැඩකටයුතු සිදු වෙනවා.

      මේ කලාප වලටත් ආසාදිතයින්ගෙ පැතිර යාමක් සිදු නොවි තියේවි කියලා සහතික වෙන්න පුලුවන්ද?

      ගම්පහ මිනුවන්ගොඩ වේයන්ගොඩ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශ වලින් එහාට මේක කටාන , මහර , ජාඇල , මීගමුව,දොම්පේ කැලණිය බියගම ප්‍රදේශ දක්වා ව්‍යාප්ත නොවෙවී කියලා මෙවෙලේ කාටද පුලුවන් සහතිකයක් දෙන්න..

      trace කරන්න අසීරු තරම් ආසාදිතයින් ප්‍රමාණයක් මේ වාර්තා වෙලා තියෙන මොහොතේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පමණක් ඇඳිරි නිතීය දාලා

      " හොඳයි අපි තව සුට්ටක් බලමු " කිය කිය කල් මරමින් ඉන්නවා..

      මුල ඉදන්ම වරද්ද ගත්තෙ අධි තක්සේරුව නිසා.. public transmission zero කියලා ලොකුවට උදම් ඇනුවා

      රටේ වාසනාවට randomly කරපු ටෙස්ට් එකට පලමු කාන්තාව හසු නොවෙන්න වෙන්න තිබුන විනාශය අපිට හිතාගන්නවත් බෑ..

      රටේ සියළුම රෝහල් වලට ඇතුල් වන උණ රෝගීන්ට ඇතුල් වු මොහොතේම PCR නොකර discharge වෙලා යන අවස්ථාවෙ random test විතරක් කරලා.

      දැනට ලංකාවේ ඇක්ටිව් කොරෝනා වැඩිම රෝගීන් ගනන වෙලා තියෙන්නේ 914ක්, ඒ අපි උපරිමයෙන් පරිස්සං උන ඇදිරිනීති කාලේ නාවික හමුදාවේ, අනික කදවුරෙන් එලියට ඇව්ල්ල සමාජෙ එක්ක ගැටීම අඩු පිරිසක්. විනයක් සහිත අණකට යටත් වෙන පිරිසක්. ඒ අනුව බලද්දි මේ මිනිස්සු ?? මේක නිසා ඊට වඩා වැඩි පිරිසක් හම්බ වෙයිද දන්නේ නෑ. දැනට බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 567 දක්වා ඉහළ යයි.

      සිංහලෙන්ම කියන්න තියෙන්නෙ මෙච්චරයි!

      " හයියු ඇම් නෙනවා "��

      ඉකොනොමැට්ටලාට නම් දැන් රජ මගුල් ලංකාවට කෙළවෙනවා කියලා පෝස්ට් කීපයක්ම දාලා ලංකාවටයි ලංකාවේ මිනිස්සුන්ටයි අපහාස කරලා ආතල් එකක් ගන්න මරු නේද?

      Delete
    2. @ Ano 6.25

      ලංකාවේ දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර හේතුවෙන් සමාජය බරපතළ අවදානමකට වැටීමට ඉතා ඉහල ඉඩක් ඇති බව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ කියනවා, ඊට හේතුව වී ඇත්තේ එම ඇගළුම් කම්හලේ ආසාදිත සේවක සේවිකාවන් තමන්ගේ ආශ්‍රිතයන් හෙළි කිරීමට දක්වන අධිකම අධික මැලිකමයි.

      ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයන් තාක්ෂණය ඔස්සේ සොයා ගැනීම පවා ඉතාමත්ම අපහසු වී ඇත.

      ලංකාව තුළ මේ ආකාරයේ තොරතුරු හෙලි නොකරන අමුතු කොරෝනා පොකුරක් හමු වූයේ පලමු වතාවට බවද සෞඛ්‍ය බලදාරීන්ගේ අදහසයි.

      ඉතින් එම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රසිද්ධියේ එම ආසාදිතයන් ගෙන් ආයාචනා කර සිටියේ තමන් පසුගිය දිනවල ආගිය තැන් සියල්ල කිසිවක් නොවලහා ප්‍රකාශ කරන ලෙසයි.

      ඒ වගේම නීති විරෝධී ස්ථානයන්ට හෝ රහසිගත ඇසුර වලට යොමු වුවද ඒ සියල්ල වහා හෙළි කරන ලෙසත් ඒ සියල්ලේ රහස්‍යභාවය රකින බවත් ඔහු සඳහන් කළ අතර එම නීතිවිරෝධී ස්ථානයට ගිය බවක් පැවසුවේ යයි ඒ කිසිවකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් නොකරන බව ද පොලිස්පතිවරයා අවධාරණය කළා

      දැන් වන විට ලංකාවේ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිත ප‍්‍රමාණය 800 ඉක්වමා ගොස් ඇති බවයි සමහරක් පවසන්නේ.

      Delete
    3. ඔය මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවෙලා තියන කොරෝනා පොකුරේ ආසාදිතයින් සහ ආශ්‍රීතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් රෝගය හෙළිදරව් නොකර සමාජයෙන් සැඟවෙනවා කියල දැන් රාවයක් යනවා. ආයිත් නිකම් කොරෝනා කියන්නේ වැඩ කරන පන්තිය විසින් පතුරවන ලෙඩක් ගානට දැන් ඒක පල්ලම් බැහැල. කෝවිඩ් වෛරසය කියන්නේ පියාපත් ආපු වෛරස් එකක් අපේ ජීවිත කාලේ ඇතුළේ විතරක් ගත්තත්. ඕනෑම කෙනෙකුට අසුරු සැණින් ආසාදනය වෙන්න පුළුවන් සෞඛ්‍ය උපමාන අනුගමනය කළේ නැත්නම්. ඒකට පංති භේදයක් නැහැ කියල තේරුම් ගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෝරිස් ජොන්සන් දිහා විතරක් බැලුවත් ඇති. හැබැයි වැඩ කරන මිනිස්සු ලොකු අවදානමක් ගන්නවා ආර්ථිකය ඇතුලේ. මේ මැෂිම දුවවන්න එයාල දෙන බූස්ට් එක ගැන අපි වෙනම සැලියුට් එකක් ගහන්න ඕනි. ඉනුත් විශේෂයෙන් ස්ත්‍රී ශ්‍රමය.

      මට මේ සටහන ලියන්න හිතුණේ ඉහත පංති දේශපාලනය ගැන ලියනවට වඩා ටිකක් වැදගත් උපනතියක් ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඒ තමයි රෝගය වසන් කිරීම, සත්‍යය තොරතුරු නොදීම සහ සැඟව සිටීම නම් 'නව කොරෝනා ප්‍රවණතා' ගැන යමක් සිහිපත් කරන්න. ගොඩක් වෙලාවට මේ ආසාදිත හෝ ආසාදිත යැයි සැක සිතන මිනිස්සු ආගිය තැන්, සම්බන්ද වෙච්ච අය සහ ඒ සම්බන්දතා ඇතුලේ කරන ලද ක්‍රියා වල 'මිනිස් ස්වභාවය' එළිදරව් වෙන එක වළක්වා ගන්න මේ උදවිය උත්සාහ කරනවා ඇති. සමහර විට ඒ ක්‍රියා නිසා එයාලට සමාජයට මුහුණ දෙන්න බැරුව ඇති. සමහර වෙලාවට ඒ දේවල් එළිදරව් වෙනවට වඩා හොඳයි කොරෝනා හැදිලා මැරෙනවා නම් කියල හිතෙන්න පුළුවන් ඇති අර ක්‍රියා වල 'බර' ගැන ඒ අය පසු ආවර්තිත ලෙස හිතන කොට. එයින් අදහස් කරන්නේ ඒ ක්‍රියාවේ බර සහ වරදකාරීත්වය මරණයටත් වඩා ලොකුයි කියන එක. රහස එළිදරව් නොවී මැරිලා යන එක හොඳයි කියල ඒ අය හිතනවා ඇති. ඒකත් එක මිනිස් තේරීමක්.

      මට මතක් උනා ලස්සන උදෘත පාඨයක් Munich (2005) කියන ස්පීල්බර්ග් ගේ ෆිල්ම් එකේ තියන. ඒ කතාව කියන්නේ ලුවී ගේ පියා. ඔහුට අනුව 'අප ජීවත් වෙන්නේ රහස් එකිනෙකින් ඡේදනය වෙලා තියන සහ ඒ ඡේදනය වෙච්ච රහස් කොයිම හෝ මොහොතක නැවත මුණ ගැහෙන්න පුළුවන් ලෝකෙක'. We inhabit a world of intersecting secrecies, we live and die at the places where those secrecies meet. This is what we accept? ලූවී ගේ පියා ඇව්නර්ගෙන් තවදුරටත් අහනවා අප ඒ සත්‍යය පිළිගත යුතුයි නේද කියල?කොච්චර අමිහිරි උනත් ඒක තමයි ඇත්ත. කොපමණ කාලයක් හරි ගිහිල්ලා ඇත්තට ඇත්ත හමුවෙන එක.

      මේ එකිනෙකාගෙන් අප සඟවා ගෙන ඉන්න රහස් එහෙමම කාලයේ වැලි තලාවෙන් වැහිලා තියනකම් අපි යම් සහනයකින් ඉන්නවා. නමුත් ඒ සත්‍යයන් එකිනෙක මුණ ගැහෙනවා (intersect) කියල දැන ගත්තම අපි ආතතිගත වෙනවා. හේතුව අපි ලෝකෙට, ගෑනිට, මිනිහට, අම්මට, තාත්තට, ඥාතීන්ට, වැඩ කරන තැනට පෙන්නගෙන ඉන්න 'චරිතය' (personality) සහ අර සත්‍යය ඔස්සේ එළිදරව් වෙන 'එසේ නොවන චරිතය' අපට සමහන් කර ගන්න බැරි නිසා. ඒ කියන්නේ අපි ලෝකෙට පරකාසේ ඇතුලේ පෙන්නන 'ශිෂ්ට චරිතය' සහ ඒ ශිෂ්ට බවට යටින් අපිටම දරා ගන්න බැරි රාක්ෂයෙක් (monster) අපිව අරක්ගෙන ඉන්නවා කියන එක අපිටම ක්ෂිතියක්. ඒකයි අර කියන 'සත්‍යයන් සම්මුඛ වීම' අපිට එක මොහොතක දරා ගන්න බැරි. මොකද එතකොට අපේම යක්ෂයා අපිට මුණ ගැහෙනවා. ඒ එක්ක මැරෙන්න තරම් හැඟීමක් එනවා.

      Delete
    4. නිකම් හිතන්න වැඩ බිමේ නැත්නම් සේවා ස්ථානයේ ඇතිවෙන ප්‍රේම සම්බන්දතා ගැන (workplace romance). මේක ගෝලීය ලෙස ගත්තත් ලොකු ප්‍රේමවෘත්තාන්ත ශානරයක් (genre of romance). සෑහෙන වෙලාවක් යම් සේවා ස්ථානයක ඉන්න කොට මිනිස්සු මිනිස්සු අතරේ ඇතිවෙන්න පුළුවන් ආදරණිය සහ ලිංගික ආකර්ෂණයන් එක්ක මිනිස්සු නොයෙක් දේ කරන්න පෙළඹෙනවා වෙන්න පුළුවන්. Imitation Game (2014) චිත්‍රපටයේ එක තැනක කියවෙනවා තම කාර්ය සහායකයා (co-worker) අකුරු අමුණන රිද්මය එක්ක උනත් හදවතේ රිද්මය සමපාත වෙන්න පුළුවන් කියන. හොඳින් අහගෙන හිටියොත් එහා අන්තයේ සතුරු කඳවුරක කෙනෙක් අකුරු අමුණන රිද්මය ඔස්සේ උනත් යම් යම් පණිවුඩ තේරුම් ගන්න පුළුවන් කියල. මේක තමයි මිනිස් ස්වභාවය. මිනිසා තම පරිපුර්ණ බව (perfection) සඳහා ගමන් කරන්න නොයෙක් දේ කරනවා. නොයෙක් දේ අත්හදා බලනවා. ආශා වෙනවා. ඒ ආශාවට ඇද වැටෙනවා. ඒ අත්හදා බැලීම් වලින් සමහර ඒවා හොඳ (good) දේවල් වෙන්න පුළුවන් වගේම සමහර දේවල් නරක (evil) දේවල් වෙන්නත් පුළුවන්. දෙවියන් නැති තත්වයක් යටතේ මේවායේ අවසන් විනිශ්චය කරුවා වෙන්නෙත් මිනිසා ම තමයි.

      ඉතිං ඇත්තම මිනිස් බව මතුවෙන්නේ අර තමන්ගේම රහස් එළිවෙලා තමන්ගේම රාක්ෂයා තමන්ට මුණ ගැහෙන නිමේෂයේ ආතතියට මුහුණ දීල ඒක තරණය කරන එක එක්ක. මිනිස් නොවෙන දෙයක් (monstrous existence) තමන් තුළ තිබිල තියනවා කියල තමන්ට අභිමුඛ වෙන මොහොතේ ඒක ඒ අයුරින් පිළිගන්නා එක එක්ක. 'අනේ දෙයියනේ මම අසවලාට වරදක් කළා නේද?' 'අසවලා මම වෙනුවෙන් බලා සිටින්න ඇති නේද?' තමන් කරන කියන දේවල් ඇතුලේ මේ වගේ හැඟීම් ගොඩක් ප්‍රභල ලෙස මතුවෙන්න පුළුවන්. නීට්ෂ කියන විදියට ඒ තමන් යම් කෙනෙක් ගේ විශ්වාසය 'පාවා දුන්නා' (betrayal) කියල දැනෙන මොහොතේ ඇතිවන වරදකාරී බව සහ බිය නිසා ගොඩක් මිනිස්සු සිය දිවි හානි කර ගන්නවා. මරණය වැළද ගන්නවා. නමුත් අවශ්‍ය වෙන්නේ ඒ වරද සහ බිය තරණය කරලා (beyond good and evil) ඉන් පස්සේ යෙදෙන අවබෝධය (consciousness) පිණිස යුහුසුළු වෙන එක. හොඳ සහ නරක කියන දෙකම මිනිසා යම් විදියකට අත්දකින්න ඕනි ඉන් එහාට යන්න නම්.

      මිනිසා කියන්නේ හොඳ සහ නරක කියන දෙකේම එකතුවක් සහ ඉන් ඔබ්බට යන්න ආශා කරන්නෙක් (Man has the desire to transcend beyond good and evil) කියන දෙය මිනිස් ශිෂ්ටාචාරය ඇතුලේ අවබෝධ කර ගන්න එක ටිකක් අමාරු වැඩක්. ගෙස්ට් හවුස් ගානේ පැන පැන ජෝඩු කුදලා ගෙන එන්න තදියමේ දඟලපු පොලිසිය දැන් කියනවා අපි කිසි දෙයක් එළිකරන්නේ නැහැ ඇත්ත තොරතුරු දෙන්න කියල. නමුත් 'මිනිස් ඇත්ත' වෙනුවෙන් කවදාවත් එයාල පෙනී සිටලා නැහැ. ධෛර්යමත් කරලා නැහැ. සත්‍යයන් මර්ධනය කරන්න, යටපත් කරන්න කටයුතු කළා මිසක් යමක් ගැඹුරින් එළිදරව් කරගන්න සහ ඒක දරාගන්න එයාල කවද්ද කටයුතු කළේ? කසිප්පු පොට්, බූරු පොළවල්, ජොයින්ට් තියන තැන්, නීති විරෝධී කියන ගණිකා නිවාස වගේ තැන් වලට මිනිස්සු යන්න ඇති. රහස් සම්බන්දතා තියෙන්න ඇති අනන්තවත් ඔය මිනිස් කැළ ඇතුලේ. නමුත් සියවස් ගණනක් තිස්සේ සදාචාරය ඇතුලේ මිනිස් ක්‍රියා වරදකාරී කරපු, හෙළා දැකපු, ලැජ්ජාවට පත් කරපු සහ බියපත් කරපු අපේ මිනිස් ආත්ම ගොඩක් හැංගෙනවා ඇරෙන්න වෙන දෙයක් කරයි කියල හිතන්න බැහැ. මේක තමයි සියවස් ගණනක අපේ ශේෂ පත්‍රය.

      අපි මිනිස්සු බිහි කරලා නැහැ. ළදරු වැඩිහිටියෝ ටිකක් නම් උදේ හවස රූපවාහිනී තිර වල ඉන්නවා පේනවා. විකසිත වන මිනිසුන් තමයි සමාජයකට ඕනි. විකසිත වීමට සීමාවක් නැහැ වගේම විකසිත මිනිසෙකුගේ සීමාව කොතරම් දැයි කීමටත් බැහැ කියල නීට්ෂ කියනවා. ඔහුට අනුව වර්ධනය විය හැකි එකම දෙයත් මිනිස් බව පමණයි (Anything truly human can grow).

      මිනිසා හොඳ සහ නරක කියන දෙකම අතික්‍රමනය කරලා එයාගේම අවබෝධයක් කරා එන්න ඕනි. ඒක වෙන කෙනෙකුට පොවන්න බැහැ. එහෙම පෙව්වට ඇති වැඩකුත් නැහැ. මිනිසා අත්දැකීම් හොයාගෙන යනවා. ඒක එයාගේ හැටි. එයා පරිණත වෙන්න කරන උත්සාහය ඇතුලේ තමයි එහෙම වෙන්නේ. වැරදෙන්න ඕනි යමක් තේරුම් ගන්න. සමහර විට කිහිප වරක් වෙන්නත් පුළුවන්. ඒ වැරදීම් වල මිළ ගොඩක් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි ඊට පස්සේ තමයි ශිෂ්ටාචාරයේ බරට කරගසන්න එයාට පුළුවන් වෙන්නේ. ශරීරයෙන් කොච්චර ලොකු වුණත් අත්දැකීම් නැති ළදරුවෙකුට බැහැ ශිෂ්ටාචාරයේ දැවැන්ත බර කර මතට ගන්න. සිසිපස් බවට පත් වෙන්න.

      'මිනිසා නිදහස් වන්නේ නිදහස සොයා යාම ඔස්සේ නොව තමන්ට පුළුවන් උපරිම බර කර තබා ගෙන උපරිම දුරක් යන අදිටනෙන් ගමන් ආරම්භ කිරීමෙනි'.

      (මේ සටහන සමස්ත ලාංකික ආර්ථිකයේ විශාල කොටසක් තම දෙවුර මත දරා සිටින ස්ත්‍රී සිසිපස් ලා වෙනුවෙනි. එකම අවුල නම් පිරිමියා විසින් එම බර වරින් වර කන්ද පහළට තල්ලු කර විනෝද වීමයි).

      - මහේෂ්

      Delete
  4. ඉකෝන් මේ පහල තියෙන ලින්ක්ක එකේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ ? මේ කතාව ඇත්තද දන්නේ නැහැ. Binary blockchain cryptocurrency එක එක මගුල් මේවා සාර්ථකව මාකටින් කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මාත් බැලුවේ මේ වගේ එකක් වත් පටන් අරගෙන දුප්පත් කම නැති කරගන්න. තව ෂොපිෆයි වලින් drop ෂිපින් කරල ගොඩ ගිය චූටි කොල්ලෝ කෙල්ලෝ පවා ඉන්නවා සෑහෙන දැන් නම් ලංකාවේ

    https://youtu.be/AA9kq6uFRug

    වැඩි විස්තර කියලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

    ReplyDelete
  5. රුසියානු ක්‍රමයේ විභාග හැත්තෑපහකට විතර මුහුණු දුන්නු මම නොදැන සිටි සමහර කරුණුත් ඉකොන් ගෙනහැර දක්වලා තියනවා. එහි මම අත්දැකපු සමාජවාදී කරුණත් වුනේ ඔයි ලකුණු 1/5 සහ 2/5 ලබාදීමට ආචාර්යවරු ඉතාම අකමැති බව. ඇත්තෙන්ම එම ලකුණු ලැබූ කිසිවෙකුත් ගැන කිසිම මතකයක් මට නැහැ, කවුරු හෝ ඉතා දුර්වල පිළිතුරු සැපයුවොත්, අමනාපයෙන් තරවටුකර නැවත සූදානම්ව පැමිණෙන ලෙස දන්වනවා, ලකුණු ලේඛනයක සටහන් කර පුවරුවක ප්‍රදර්ශනය කරනවාට වඩා පිළිතුරු සැපයීම අවසානයේ සිසුවා අමතා ලකුණ ප්‍රකාශ කිරීමට සිදුවීමත් එයට හේතුවක් වෙන්න ඇති. විභාග වාරය තුල විභාගයට පෙනී සිටිය යුතු දිනයක් නියම කර නොතිබීමත්, අදාල විභාගය පවත්වන දින කිහිපයකින් කැමති දිනයක ඉදිරිපත් වීමට හැකියාව තිබීමත් නිසා ඔවුනට එම වසරේදීම නැවත පෙනීසිටිය හැකිවුනා. එසේම සිසුන්ගේ ඉල්ලීම් මත විභාග වාරය අවසානයේදී වුනත් විශේෂ විභාග පැවැත්වීම සිදුවුනා. එසේම ලකුණු 3 හිමිවන සිසුනට නැවත දිනයක පැමිණ නැවත මුළු ප්‍රශ්න පත්‍රයටම මුහුණදී 4ක් ලබා ගැනීමට උත්සහ කළ හැකියි. නීතියට අනුකූල නොවූවත් ආචාර්යවරුන්ගේ සිත්ගත් සිසුවෙකු 5 ලබා නොගත් විට තරවටු කර ආපසු යවා ඊළඟ අවශ්තාවේදී 5 ලබාදීමත් කරනවා, එම ආර්ථික වාසිය මට දෙවරක්ම ලැබී තියෙනවා. රුසියානු විභාග ඉන්ටවීව් ක්‍රමයක් නිසා සිසුවාගේ ආචාර්යශීලීත්වය සහ සුහද බව වාසිදායක වෙනවා, මෙම විභාග ක්‍රමය රුසියාව තුල පවතින්නේම එම හේතුව නිසා විය හැකියි. එය නිතර කහලකාරී හැසිරීමක් ප්‍රදර්ශනයකළ ප්‍රංශ භාෂාව කතාකරපු අප්‍රිකානු සිසුන්ට ඉතා අවාසිදායක වුනා.

    ReplyDelete
  6. ඉකොනො මේ පේරු රටේ වැනේඩියම් නිධි වල කතාව සහ ශක්තිමත් වැනේඩියම් ස්ටීල් නිසා ෆෝඩ් ලොක්කා ගේ නූතන ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථික සංවර්ධනය ඉක්මන් කිරීමට වුණ දායකත්වය ඒ තරමටම සාකච්ඡා වුණේ නැහැ නේද? ඔබ මේ කතාව එක්ක එකඟයි ද?

    https://youtu.be/n1IzetXHttI

    ReplyDelete
    Replies
    1. අන්තෝනියෝ කළු ගල් වල ඔළුව ගහන්නේ හයිය මිනිස්සු බං.

      විමල් එලවනවලු
      විමල් අනාථ කරනවලු
      විමල්ට පැවැත්මක් නෑලු

      ඇත්ත මිත්‍රයා .

      විමල්ගේ මුළු දේශපාලනයම තිබ්බේ එලවීම් ආපසු හරවන්න

      අනාථ කිරීම් නවත්වන්න
      පැවැත්මක් නැති තැනවලට පැවැත්මන් හදන්න.

      විමල් කියන මිනිහා හැමදාම කළුගල් වල ඔළුව ගහගත්තා. 88/89 ශාරීරිකව මරන්න බැරි වුන විමල්

      අද දේශපාලනිකව මරන්න බැරි තරම් හයියයි.

      ඒ හයිය ගත්තේ මේ මහපොළවේ මිනිස්සු හදපු බැදීම් වලින්.

      විමල් ජවිපයට දුන්නේ
      මහින්දට දුන්නේ
      ගෝඨාභයට දුන්නේ ජනතාව දුන්න ඒ හයිය.

      මේ මහපොළව පිටින් පිහියෙන් අනින හතුරා ගෙනුත්

      ඇතුලෙන් කොනිති ගහන හතුරන්ගෙනුත් බේරාගන්න පුළුවන් එකාට විමල් ඒ හයිය ලබා දෙනවා.

      අද වුනත් විමල් ජවිපයට ඒ හයිය දුන්නොත් ජවිපය නවතින්නේ 2004 ජවිපය හිටපු තැනට ගිහිං. විමල් කියන්නේ රට වෙනුවෙන් කළුගල් වල ඔළුව ගහගන්න එකෙක් කියන එක රටේ පිලි අරං ඉවරයි.

      දුටු ගැමුණු මහ රජුගේ කථාව ලස්සන වෙන්න දසමහා යෝධයන් ගැන කියවෙන්න ඕන.

      විමලුත් ඒ වගේ. රටට හතුරු සුමන්දිරන්ලා ගේ ඉදන් පක්‍යසෝති සරවන මුත්තුගේ ඉදන් වන්ද්‍රිකා මංගල දක්වා කොටස එක පිලකට එනකොට විමල් අනිත් පැත්තේ ඉන්නවනම්

      මුළු රටම දන්නවා විමල් හිටගත්ත පැත්ත රටේ පැත්ත කියලා.

      විමල් හිට ගන්න පැත්ත රටේ ජාතිකවාදී පැත්ත ඒ පැත්ත කීතු කීතු කරලා බෙලහීන කරන හීන අධිරාජ්‍යවාදයට අදත් තියනවා.

      ඒක කදවුරේ ඇතුලතින් බිලී බා ගත්ත හඩවල් අතරින්

      විමල් පලයං කියන හඩ හදන්න පුළුවන්.

      විමල් යාවි. කවදාහරි යාවි. ඒ විමල්ට ඕන අවස්ථාවේ හෝ වෙනත් පලයං කියන අයට ඕන අවස්ථාවකවත් නෙවේ.

      තීරණාත්මකවම ජනතාව රාජපක්ෂ කදවුරේ ජාතිකවාදයට පැවැත්මක් රාජපක්ෂලා අතින් මේ රටේ සිවුකොනට ආරක්ෂාවක් නෑ කියලා කෑ ගහලා කියන්නේ කවදාද

      අන්න එදාට විමල් එලියට බහිනවා අද පලයං කියලා සරදම් කරන අය ඉදපං කියලා වැද වැටුනත් එදාට යනවා
      .
      ජවිපයෙන් එලියට ඇවිත්
      බිංදුවටත් වඩා පාතින් පටන් ගත්ත විමල්ට

      ආපහු ගිහිං ජනතාව එක්ක යන්න පුළුවන් දුරක් යන්න බැරි කමක් නෑ.

      හැබැයි විමල් යන්නේ මේ රට ගිලගන්න හදන සැලසුම් වලට පරාද වෙලා නෙවේ

      ඒ සැලසුම් වලට උත්තරය රාජපක්ෂ කදවුර නොවන බව මහපොලවේ ජනතාව නිගමන ලියන කාලෙට.

      විමල් කියන්නේ අද තනි පුද්ගලයෙක් නෙවේ.

      විමල් ලාංකික ජාතික ව්‍යාපාරයන්ගේ ජාතිකවාදයේ සීමිත සලකුණු වලින් එකක්. ගිලිහිලා ගිය ලාංකික සමාජවාදයේ අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී භූමිකාවේ සක්‍රීයම වර්ථමාන සලකුණ විමල්.

      අපි කළුගල් වල ඔළුව ගහනවා.

      පුළුවන් නම් නතර කරපල්ලා හිර ගෙවල් වල දාපල්ලා අපි මහින්ද ආපහු ගේනවා කීවෙත් කළුගලේ ඔළුව ගහගන්න එපා කියනකොට.

      රට වෙනුවෙන් කළුගලේ ඔළුව ගහපං කියලා අපි විමල්ට කෑගහලා කීවා

      විමල් ඒක කලා .එයට හිමි පලිගැනීම් ඉවසා ගත්තා අපට ආඩම්බර වෙයං කීවා.

      ඔව් රාජපක්ෂලා ⁣රට තවමත් විශ්වාස කරන තැන
      අපි ඔවුන් අතින් රටේ අරක්ෂා විය යුතු තැන් වලට වගවෙනවා

      ඒ වගවීම බිදෙන තැන් වලට පහර දෙනවා.

      උරුම කළුගල් වල රට වෙනුවෙන් ඔළුව ගහන එකනම්

      මුළු දේශපාලන ජීවිතය තුළම ඒක කරනවා.

      අපි ඒකට තමයි විමල් තියලා තියෙන්නේ ජාතික නිදහස් පෙරමුණ තියලා තියෙන්නේ අපි එහෙයියෝ නෙවෙයි.

      Delete
  7. ඉකොනොමැට්ටා වගේ Econimists ලා ආර්ථික ඔස්තාර්ල මොන කැටයම් දාල මොනව කීවත් ලංකාවෙ ආර්ථිකේ පහු ගිය ටිකේ පණ ගැට ගහගෙන දිව්වෙ මේ වගේ ගාමන්ට් කෙල්ලො ටික උදේ ඉදන්‍ රෑ වෙනකන් ඇගේ පණ යනකන් මැශින් අස්සෙ රිංග ගෙන රට පටවන ඇදුම් කෑලි ටික වෙලාවට කපල කොටල මහල දෙන නිසා.

    උන් ඉර දකින්න කලින් ෆැක්ටරිය අස්සට දුවල හද පෑව්වට පස්සෙ අම්ම තාත්තවත් නැති බෝඩිමට ඇවිත් විදින දුක ගැන ලියන්න පොත් පත්තරත් මදි.

    එහෙව් දුක් විදින රටක් කරවන මේ දරුවො ටික රැකගන්නෙ නැතිව, උන්ට වටිනකමක් දෙන්නෙ නැතිව උන් හිනාවෙලා ඉන්න පින්තූර ටිකක් Sustainable HR Practices කියල අවුරුද්ද අන්තිමේ ඇනුවල් රිපෝට් එකට දාගන්න විතරක් පොරකන බ්‍රැන්ඩික්ස් එකේ ඉහල සහ මධ්‍යම කළමනාකරුවො රටකට මොකටද? අහිංසක කෙල්ලො ටික රැකගන්න බැරි වුණු මිනුවන්ගොඩ Brandix ලොක්කො ටික දැන්වත් බැහැපල්ල එළියට


    අහිංසක දරුවො 1000කට 2000 කට කොරෝනා හැදෙනකන් මේ වගකීම් රහිත නොසන්ඩාළ මිනිස්සු *$ක් ගැහුවද?

    වරෙල්ල එළියට. උත්තර දීපල්ල. අපිට තියෙනව ප්‍රශ්න.

    එලියෙ පාරෙ ෆාමසියක් පවා ගේට්ටුවෙන් දොරෙන් ඇතුලට ගන්නකොට කොල්ලගෙයි බල්ලගෙයි හැමෝගම ශරීර උෂ්ණත්වය බලද්දි බ්‍රැන්ඩික්ස් එක පහුගිය සති දෙකේ මොකද්ද කලේ? ළමයින්ගෙ උෂ්ණත්වය බැලුවද නැද්ද? බැලුව නම් කවුද බැලුවෙ? බැලුවෙ නැත්තම් ඇයි නොබැලුවෙ? උණ බලන මැෂිම කැඩිලද? කඩලද? උණ කියල දැන දැනත් උන්ව මරාගෙන හරි ඩෙඩ්ලයින් ගහන්න ඕනෙ නිසා ඒ අහිංසකයන්ව දැම්මද ෆ්ලෝර් එකට?
    අපිට උත්තර ඕනෙ!

    හැම ෆැක්ටරි එකකම ෆැක්ටරි ෆ්ලෝර් එකෙ ඉන්නව HR එක. අඩුම Administration එකෙන් සැලකිය යුතු තනතුරක් තියෙන මනුස්සයෙක් Factory Floor එකත් එක්ක නිතර ගැටෙනවා දිනපතා මෙහෙයුම් වල තත්වය සහ ගැටළු බලන්න. උන් දැක්කෙ නැද්ද දරුවන්ට උණ කියල. උන් සති දෙකක් යනකන් දැක්කෙ නැද්ද දරුවො සැලකිය යුතු ප්‍රමාණයක් එකවර අසනීප වෙනව කියල? උන්ට කැස්ස හෙම්බිරිස්සාව කියල පෙනුනෙ නැද්ද? HR එකේ ඉන්නෙ අන්ධයොද? ඕක නෝමල් වයිරස් එකක් ඩිස්පෙන්සරියෙන් බෙහෙත් ගන්න කියල කීවද නැද්ද?
    අපිට උත්තර ඕනෙ!

    අසනීපයි කියල HR එකෙන් නිවාඩු ඉල්ලපු ළමයි හිටිය නේද සැලකිය යුතු ප්‍රමාණයක්? ඇයි අසනීප නිවාඩු දුන්නෙ නැත්තෙ? ඇයි එක වර සැලකිය යුතු පිරිසක් අසනීප නිවාඩු ඉල්ලද්දිවත් මේ ගැන විමර්ශනය නොකලෙ? ඇයි අසනීප තියෙද්දිත් වැඩ ඉවර කරල යන්න කිව්වෙ?
    අපිට උත්තර ඕනෙ!

    ඉන්දියාවට ගිහින් හොරපාරෙන් ඇවිත් නිරෝධායනයට නොගිහින් ෆැක්ටරි ෆ්ලෝර් එකට ගියෙ කවුද? එතනින් නෙවෙයිද දරුවන්ට කොරෝනාව බෝ වුණේ? ඇයි ඇත්ත හංගල මේක ඒ අහිංසකයො බෝ කරගත්ත කියල උන්ගෙ කර පිටින් යවන්න උත්සාහ කරන්නෙ?
    අපිට උත්තර ඕනෙ!

    දරුවො විශාල ප්‍රමාණයක් ලැගුම් අරන් ඉන්න ෆැක්ටරියට ආසන්නතම බෝඩිමේ හිමිකාරිණිය දරුවන්ට අසනීප නිසා දරුවො එවන්න බෑ කියල ගේට්ටුව ලගට ඇවිත් වගකිවයුතු නිලධාරියෙක්ට කියද්දි අපි ඔක්කොම බලාගන්නම් ඔයා එවන්න කියල කීවද නැද්ද? කියපල්ල ඇත්ත.
    අපිට උත්තර ඕනෙ!

    කොරෝනා බෝ නොවෙන්න ෆැක්ටරි එක ඇතුලෙ අරන් තිබ්බ ක්‍රියාමාර්ග මොනවද? පිළිපැදපු පුරුදු මොනවද? මේ සිදුවීම වෙන්න කලින් දිනවල ගත්ත සීසීටීවී දර්ශන එක්ක අපිට බලන්න ඕනෙ!

    ගම්පහ රෝහලෙන් වෙන අසනීපෙකට බෙහෙත් ගන්න ගිහින් හදිසි අහඹු පරීක්ෂණයක් කරල ෆැක්ටරියෙ ළමයෙක්ට කොරෝන කියල දැනගත්තම,
    අපි කළින් අවධානම තේරුම් අරගෙන ආයතනය විසින් රෝගීන් කලින්ම හදුනගත්ත කියල බොරු බයිල කියල මාධ්‍ය යට පච නිල නිවේදන ගහපු එක ඇරෙන්න,

    ෆැක්ටරිය ඇතුලෙ 1000ක් එකවර පොසිටිව් වෙනකන් උඹල මොනවද කලේ?

    අද රටට වෙන විනාසයට උඹල වග කියනවද?

    එ අහිංසක දරුවො හුස්ම හිර වෙලා විදින වේදනාවට උඹල වග කියනවද?

    කොරෝනා හින්ද ඉන්ඩස්ට්‍රි එක කඩන් වැටුණා කියල ඒක කවර් කරන්න ප්‍රොෆිට් එක විතරක් ෆෝකස් කරල සේවකයො බිල්ලට දෙන එකද Brandix Business Sustainability එක?

    අපිට උත්තර ඕනෙ! රටට උත්තර ඕනෙ!

    "We are always with you" කියල එෆ් බී මූණ චේන්ජ් කලාට කැත වහල් භාවිතාවන් ඒවට යට කරන්න අමාරුයි.

    කවුරු හරි කියනව නම් මේ කේස් එක එළියට ඇදල ඇත්ත නැත්ත හොයල නීතිමය පියවර ගත්‍තොත් Brandix එකේ Global Brand Reputation එකට මාර අවුලක් වෙලා එන ඕඩර්ස් අඩු වෙයි කියල, අන්න උන් තමයි මිනිස්සුන්ගෙ වේදනාවත් සල්ලි වලට උගස් කරන්න ලෑස්ති අසංවේදී අමනුස්ස හැත්ත.

    - දුමිදු නකුලසූරිය

    ReplyDelete
  8. ඉකෝන් මේකේ ඇමරිකන් එක්සත් ජනපදයේ සැබෑ තත්ත්වය පිළිබඳ හොඳින් පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ මේක ඇත්ත කතාවක් කියලා කියන්න පුළුවන් නේද?

    https://www.facebook.com/1571808443/posts/10209685754331924/

    ReplyDelete
  9. මේ කතාව ඇත්ත නේද ඉකොන්?

    https://www.facebook.com/manelevonrebera/videos/260797921617464/

    මේකේ ඇමරිකානු එක්සත් ජනපදය ගැන ඉතාම රසවත් සහ විශිෂ්ට ලෙස පැහැදිලි කර තියෙනවා.

    ReplyDelete
  10. //පළමුවෙන්ම කියන්න තිබෙන්නේ මේ ඇගයීම් ක්‍රමය රුසියන් ක්‍රමයක් මිස "සමාජවාදී" ක්‍රමයක් නොවන බවයි.// මේ කතාව හරි. ඔය ලියල තියෙන විකාරය මම නම් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මම කැමති ලංකාවේ හෝ බ්‍රිතාන්‍ය ක්‍රමයට. මෙහෙ ක්වින්ස්මේරි එකත් විභාග වල සීයෙන් ලකුණු දෙන්නේ. ඒක වඩා සාධාරණයි.
    ඔය ක්‍රමයට මට අසාධාරණ කිහිපයක් වෙලා තියෙන නිසා ලිව්ව්වේ. මගේ බ්ලොග් එකේ රුසියානු ඉතිහාස ගුරුතුමිය මට ලකුණු දුන් හැටි ලියල තියනවා.මට නම ඔය ක්‍රමයඅසාර්ථක එකක්. 0 නොදී 35% ලකුණු දුන්නම (ලනක්වේ) අට විධිහට් මනසින් වැටෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉහත කී පාඨය මට කියන්නට සිදුවුවකි. උචිත්සා යනු ඉගෙන ගන්න (learn) යන තේරුම ඇති රුසියානු වචනයයි. ඒ මම සොවියට්දේශයේ ඉගෙනුම ලබද්දී පළමු අවුරුද්ද අවසන්වූ කාලයේ තිබු රුසියානු භාෂා උත්සවයටය. මගේ පියකරු කරුණාවන්ත රුසියන් ගුරුතුමිය මෙම වදන් පෙළ අඩංගු පරිච්චේදය එම උත්සවයට වේදිකාවේ සිට කියැවීම සඳහා පැවරුවේ මටය. ඒ 1984 දීය. පරිච්චේදය ඇය රැගෙන තිබුනේ ලෙනින්ගේ ලිපියකිනි. 2014 දී එම පරිච්චේදයම වෙන හේතුවක් සඳහා ලියන්නට වේයැයි හීනෙන් වත් නොසිතුවෙමි. එයට පෙර කියයුතු තව කතාවක් මතකයට නැංවේ.
      1985 උපාධිය පාඨමාලාවේ පළමු අවුරුද්දේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය උගන්වයි. මෙය ඉන්ජිනේරු, වෛද්‍ය ආදී ඕනෑම පාඨමාලාවක් කරන අය ඉගෙන ගත යුතුය. මෙහිදී වසර අවසාන විභාගයේ ප්‍රතිපලය උපාධියේ අවසන් ලකුණු ලේඛනයට යන නිසා වැදගත්ය. මෙහි එක ප්‍රශ්නයකට තිබුනේ ලෙනින්ගේ "පියවරක් ඉදිරියට පියවර දෙකක් පසුපසට" පොත් පුන්ච ගැනයි. සියලුම ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු සැපයු මම පිළිතුරු පත්‍රය සමග මදක් තද ගතියකින් කටයුතු කරන ඉතිහාසය ගුරුතුමිය ලී.***** ලඟට ගියෙමි. ඇය සියලුම ප්‍රශ්න සලකුණු කල නිවැරදි බව කියා ඉන්පසු ඉහත පොත් පිංච මොන අවුරුද්දේ ලීවද කියා ඇසුවාය. මම හරි පිළිතුර දුන් පසු ඇය ලෙනින්ගේ "ඉගෙන ගන්න යනුවෙන් තෙවරක් තිබෙන" පොත් පුන්ච ඉදිරිපත් කල වර්ෂය ඇසුවාය. එය නොදන්නා බව කියූ මම එහි ඇති දේ හා ලියුවේ ඇයි කියා පැහැදිලි කල හැකි බව කීවෙමි. නමුත් ඇය පන්න පන්නා වර්ෂයම ඇසුවාය. එතැන සිටි විදේශ ශිෂ්‍යයන් භාර අංශයේ පීඨාධිපතිනිය (අපේ විභාග නිරික්ෂනයට ඇය පැමිණ සිටියාය) මෙහිදී මා හොඳට පිළිතුරු දුන් බවත් මට මුළු ලකුණු දීම යෝග්‍ය බවත් කියා සිටියාය. එය ප්‍රතික්ෂේප කල ඉතිහාස ගුරුතුමිය කීවේ මා විභාගයට ආවේ නොගරුවෙන් බවයි. අනික මා පන්තියේදී පවා ප්‍රශ්න අසමින් වාද කරන බවයි. එහිදී මට තේරුනේ අනික් පිරිමි සිසුන් සියලු දෙනාම පාහේ ටයි කෝට් දමා පැමිණි අතර ටි ෂර්ට් එකක් ඇඳන් සිටියේ මා පමණක් බවයි. එය හොඳ සුදු ටි ෂර්ට් එකක් මිස අනං මනං ලියා තිබූ එකක්වත් නොවේ. කෙසේ වතුදු ඉතිහාස ගුරුතුමිය ලී.***** තරහෙන් මෙන් මට අඩු ලකුණු දුන්නාය. මා පෙරදා රැයේ ප්‍රශ්න උත්තර කියා දුන් සගයන්ට මුළු ලකුණු ලැබුණි. පීඨාධිපතිනිය කලේ කණගාටුවෙන් බලා සිටීම පමණි.

      Delete
    2. .මට නම් ඔය ක්‍රමය අසාර්ථක එකක්. 0 නොදී 35% ලකුණු දුන්නම (ලනක්වේ ) අර විධිහට මනසින් වැටෙන්නේ නැහැ. ඔය ඇණය කීව විධ්හට කළු මිනිස්සු වගේ කෑ ගහගෙන ගියොත් ලකුණු ලබෙන්නේනහ කියන එක. ඉංජිනේරු ආර්ථික විද්‍යාව පන්තියේ හොඳටම කරපු ශිෂ්‍යයා මම. මගේ පන්තියේ ටීචර් ට මට 5 නැතිව වෙන දෙන්න ලකුණක් නැහැ. මම රුස්සන්ටත් උදව් කළා. මහාචාර්යවරිය එයා සැරයි කියල පෙන්වන්න මට හතරක් දැම්ම. ඒකත් වුනේ පන්තියේ අනිත් එවුන් බය වුනා ඒ ගෑණි ගාවට විභාගේ දෙන්න යන්න,මටයි යන්න වුනේ. සයන්ටිෆික් කොමියුනිස්ම් වලදී මායි තව රුස්සෝ දෙන්නෙකුයි ප්‍රොෆෙසර් කාරයා බයිට් කළා . මොකද උන් ඉගැන්නුවේ බොරු.ලෙනින් කියපු දේවල් වත් නෙමේ පක්ෂයේ සම්මලේනයෙන් අනුමත කරපු දේ විතරයි. ඒ දවස් වල ටිකක් කියවල හිටි නිසා . ඌ පලි ගත්තේ හතරක් දීල. අනිත් හැම විෂයටම වගේ මට පහයි අන්තිම විභාග වලට. අර රුස්සෝ දෙන්නට වුනෙත් ඒක. ඔය උඩ තියන කතාව (එකොන් එක නෙමේ) භාග බොරුවක්. හැබැයි දැන් මේ කෝවිඩ් නිශ ආපේ ළමයින්ට වෙන්න යන්නෙත් එකමයි. ටීචර්ස් ලා තමයි ලකුණු දෙන්නේ. එංගලනතේ ටීචර්ස් ලා හොඳයි. නමුත් වැඩි වැඩියෙන් අපේ රටවලින් (ඉන්දියාව අලංකව, අප්‍රිකාව, ) ආපු ගුරුවර ගුරුවරියන් වැඩි වෙනවා. ඒ ගොල්ල එන්නේ බැගේජ් එක්ක.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...