වෙබ් ලිපිනය:

Sunday, October 11, 2020

මිනිසා වැඩ කරන්නේ කුමටද?


මේ ප්‍රශ්නය අජිත් පැරකුම්ගේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයට අදාළ ඔහුගේ නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැරා ඔහුගේ ලිපිය අවසන් කරන්නේ මේ විදිහටයි.

"මිනිසා වැඩ කරන්නේ කුමටද යන ප්‍රශ්නය මා ඉදිරියේ තිබේ. එහෙත්, මට එයට පිළිතුරක් නැත."

පිළිතුරු නැති ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කරන්න මම කැමතියි. පිළිතුරු කියා කියන එක අවුල් වගේනම් යෝජනා කියා කියමු. මා විසින් පිළිතුරු හෝ යෝජනා ඉදිරිපත් කරන්නේ ඇයි කියන එකත් මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේම කොටසක්. 

සරල ප්‍රශ්නයක් වගේ පෙනුනත් පැරාගේ ප්‍රශ්නය ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද කියන එක මත වඩා සංකීර්ණ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු මොනවාද කියන එකත් තීරණය වෙනවා. උදාහරණ විදිහට සෞම්‍ය ලියනගේට රැකියාව නැති වීම, ඊට පෙර නලින් ද සිල්වා, වික්‍රමබාහු කරුණාරත්න, සුචරිත ගම්ලත් වගේ අයට රැකියා නැති වීම, හරිනි අමරසූරිය විසින් මැතකදී යෝජනා කළ, කාලයකට පෙර සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයේ හෝ හරිශ්චන්ද්‍ර විජේතුංගගේ යෝජනාවක් වූ ගෙවල් වල වැඩ කරන කාන්තාවන්ට දීමනාවක් ගෙවීම පිළිබඳ කතිකාව, ප්‍රසූත නිවාඩු ප්‍රශ්නය, බ්‍රැන්ඩික්ස් සන්නාලියන්ට කෝවිඩ් ආසාදනය වීම ආදී ප්‍රශ්න වල සිට අජිත් පැරකුම් විසින් කතා කරන ලංකාවේ චීන ශ්‍රමිකයින් පිළිබඳ කතිකාව දක්වා බොහෝ ප්‍රශ්න මේ ප්‍රශ්නයටම සම්බන්ධයි.

මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු එකකට වඩා තිබෙනවා. සමාජවාදී පිළිතුර එයින් එකක්. ධනවාදී පිළිතුර තවත් එකක්. 

ද්‍රව්‍යවාදය මත පදනම් වූ මාක්ස්වාදී විග්‍රහය අනුව ශ්‍රමය කියා කියන්නේ මිනිස් යන්ත්‍රයේ ප්‍රතිදාන (outputs). මේ ප්‍රතිදාන ලබා ගැනීම සඳහා ආහාර, ඇඳුම්, නිවාස වැනි ආදාන (inputs) අවශ්‍යයි. අනෙක් අතට එම ආහාර, ඇඳුම්, නිවාස වැනි පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවා. මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේදී මිනිස් ශ්‍රමය ආදානයක් බවටත්, ආහාර වැනි පරිභෝජන භාණ්ඩ ප්‍රතිදානයක් බවටත් පත් වෙනවා. 

මිනිස් යන්ත්‍රයේ දායකත්වයෙන් එහෙත් මිනිස් යන්ත්‍රයෙන් බැහැරව සිදු වන සාමූහික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අතිරික්තයක් ජනනය වෙනවා. ඒ නිසා, මිනිස් යන්ත්‍රය නඩත්තු කිරීමට අවශ්‍ය ආදාන නිපදවීමට දවසේ සීමිත කාලයක් පමණක් ශ්‍රමය යෙදවීම ප්‍රමාණවත්. ඉතිරි වන අතිරික්ත කාලය මිනිස්සුන්ට තමන් සතුටු වන වෙනත් දේවල් වෙනුවෙන් යෙදවිය හැකියි.

මාක්ස්වාදීන් විසින් දකින "ධනවාදී ක්‍රමය" අනුව, ලෝකයේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. ප්‍රාග්ධනය හිමි පංතිය හා ප්‍රාග්ධනය අහිමි, වැඩ කරන පංතිය විදිහට. ධනවාදය ඇතුළේ ප්‍රාග්ධනය හිමි පංතිය විසින් වැඩ කරන පංතියේ ශ්‍රමය මිල දී ගන්නවා. එහෙත්, ඒ වෙනුවෙන් ගෙවන්නේ ඔවුන්ගේ ශ්‍රමය ප්‍රතිදානය කිරීම සඳහා අවශ්‍ය අවම ආදාන ලබා ගැනීමට ප්‍රමාණවත් මුදලක් පමණයි. ඒ නිසා, වැඩ කරන පංතියට තමන්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආදාන ලබා ගැනීම සඳහා දවස පුරා වැඩ කරනු හැර වෙනත් විකල්පයක් නැහැ. ඔවුන්ට තමන් සතුටු වන වෙනත් දේවල් වෙනුවෙන් යෙදවීමට කාලයක් ඉතිරි වන්නේ නැහැ. අතිරික්තය මුළුමනින්ම ලබා ගෙන පරිභෝජනය කරන්නේ ප්‍රාග්ධනය හිමි පංතිය විසින්. ඔවුන් වැඩ නොකර තමන්ට රිසි සේ විනෝද වෙනවා.

සමාජවාදීන්ගේ ඉලක්කය ඉහත කී පරිදි ප්‍රාග්ධනය හිමි පංතිය විසින් තනිව භුක්ති විඳින අතිරික්තය සියළු දෙනා අතර සම සේ බෙදා හැරීමයි. එහෙත්, එසේ අතිරික්තය සම සේ බෙදා හැරියා කියලා කාටවත් වැඩ නොකර ඉන්න ලැබෙන්නේ නැහැ. නමුත්, වැඩ කරන පංතියේ අයට ටිකක් අඩුවෙන් වැඩ කරලා ඉතිරි කාලය තමන්ට රිසි සේ විනෝද වෙන්න පුළුවන්. එහි හිලවුවට ප්‍රාග්ධනය හිමි පංතියේ අයගේ විනෝදය අඩු වෙලා ඒ අයටත් වැඩ කරන්න වෙනවා.

මිනිහෙක් දවසකට කොයි තරම් කාලයක් වැඩ කළ යුතුද? කොයි තරම් කාලයක් විනෝද විය යුතුද? ඒවා තීරණය කරන්නේ පක්ෂයයි. පක්ෂය හෝ ආණ්ඩුව විසින් නියම කරන අවම කාලය වැඩ කරන එක ඔබේ වගකීමක් හා යුතුකමක්. ඒ වගේම, ඒ කාලය වැඩ කිරීම වෙනුවෙන් ඔබට ලැබෙන දේ තීරණය කරන්නේත් පක්ෂය හෝ ආණ්ඩුව විසිනුයි. ඒ ලැබෙන දේ ඔබේ ශ්‍රමයේ නියම වටිනාකම බව ඔබට පිළිගන්න සිදු වෙනවා.

දැන් මේ අනුව බැලුවහම මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට සමාජවාදී පිළිතුර තීරණය වෙන්නේ පවතින සමාජ ක්‍රමය ධනවාදී එකක්ද සමාජවාදී එකක්ද කියන එක මතයි. පවතින්නේ ධනවාදී ක්‍රමයක්නම් මිනිස්සු වැඩ කරන්නේ තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා. වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරනවා හා ජීවත් වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ. වැඩ නොකරන මිනිස්සු වැඩ නොකරන නිසා ඔවුන් හා අදාළව මිනිස්සු වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. එහෙත්, ඒ මිනිස්සු වැඩ නොකරන්නේ ඇයි කියා ඇහුවොත් ඔවුන්ට වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්කම තිබෙන නිසා කියා කියන්න පුළුවන්. 

මේ අනුව, සමාජවාදී විග්‍රහය අනුව මිනිස්සුන්ට වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්කම තියෙනවානම් මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ වැඩ කිරීම වෙනත් කළ හැකි දෙයක් නැතිකමට අකැමැත්තෙන් කරන නිශේධනීය දෙයක් මිසක් කවුරුවත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. වැඩ කරන්න අකැමැති නිසා වැඩ නොකළොත් ජීවිතය පවත්වාගෙන යන්න බැරි නිසා වැඩ කරන පංතියේ අයට වැඩ කරන්න වෙනවා. සමාජවාදය ආවා කියලත් ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වඩා හොඳ ස්වාමියෙක් ලැබෙනවා. එහෙම නැත්නම් වඩා හොඳ ස්වාමියෙක් ලැබෙන බවට පොරොන්දුවක් සමාජවාදය ඇතුළේ තිබෙනවා.

සමාජවාදී විග්‍රහය අනුව ධනවාදී සමාජ ක්‍රමයක් පවතිද්දී වැඩ කරන එකේ වාසිය තනිකරම ලැබෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටයි. වැඩ කරන අයට ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා, පුළුවන් තරම් අඩුවෙන් වැඩ කළා කියලා හරි හොරට වැඩ කළා කියලා හරි ඔවුන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. පාඩුව වෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටයි. එහෙම තියෙද්දී මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්නේ ඔය ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති නිසා. සමාජවාදී පක්ෂ උත්සාහ කරන්නේ වැඩ කරන ජනතාවට ඔය කාරණාව කියා දෙන්නයි. බය නැතුව වැඩ වර්ජන වගේ දේවල් සංවිධානය කරන්නෙත් ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමිකයන් නැතුව බැරි නිසයි. වැඩේ කියන්නේ ශ්‍රමිකයෝ කොයි තරම් කියා දෙන්න හැදුවත් ඔය ටික තේරුම් ගන්නේ නැහැ. ඒ අය හිතන්නේ මහන්සි වී වැඩ නොකළොත්, වැඩ වර්ජන කළොත්, කරන රස්සාවත් නැති වෙයි කියලා. පවු ඒ අය!

වැඩ කිරීම පිළිබඳ ධනවාදී අදහස ඉහත සමාජවාදී අදහසට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් නෙමෙයි. සමහර මූලික කරුණු සමානයි.

ධනවාදී ආර්ථික විද්‍යාව අනුව මිනිස්සු කොයි දෙයක් වුනත් කරන්නේ තමන්ගේ සතුට වෙනුවෙන්. ඒ අනුව, වැඩ කරන්නේත් තමන්ගේ සතුට වෙනුවෙන් කියා කියන්න පුළුවන්. එහෙත්, සතුට තිබෙන්නේ වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළම නොවෙන්න පුළුවන්. 

මිනිස්සු ජීවත් වීමෙන් සතුටු වෙනවා. ජීවත් වීමේ පූර්ව කොන්දේසියක් ලෙස ආහාර ආදිය අවශ්‍ය වෙනවා. ඒ දේවල් සපයා ගන්න වැඩ කරන්න වෙනවා. මෙහිදී වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළ සතුටක් නැති වෙන්න පුළුවන්. එහෙත්, ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කුලිය හෙවත් වැටුප් තුළ සතුට තිබෙනවා. එසේ ලැබෙන මුදලින් මිල දී ගන්නා දේවල් තුළ සතුට තිබෙනවා.

ධනවාදී ආර්ථික විද්‍යාව අනුව වැඩ කරන එක අකැමැත්තෙන් කරන දෙයක් විය යුතුම නැහැ. වැඩ කිරීමේ ක්‍රියාවලිය තුළම සතුට තිබෙන්න පුළුවන්. හැබැයි එසේ තිබීම අනිවාර්යත් නැහැ. වැටුප් තකා, අසතුටෙන් වැඩ කරන අයත් ඕනෑ තරම් ඉන්න පුළුවන්.

සමාජවාදී විග්‍රහය අනුව ධනවාදී ක්‍රමයක් තුළ වැටුප් සේ ගෙවනු ලබන්නේ ශ්‍රමිකයෙකුට යාන්තම් පණ ගැට ගසා ගැනීමට අවශ්‍ය ප්‍රමාණය පමණයි. ඉතිරිය ප්‍රාග්ධනය අයිති පුද්ගලයා විසින් "සූරා කනු" ලබනවා. එහෙත්, ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, තරඟකාරී වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයෙකුට තමන්ගේ ශ්‍රමයේ නියම වටිනාකම වැටුප් සේ හිමි වෙනවා. මේ "නියම වටිනාකම" මනින්නේ කොහොමද?

මේ ප්‍රශ්නයට ටිකක් කිට්ටුවෙන් යන ප්‍රශ්නයක් පහුගිය දවසක නලින් ද සිල්වා විසින් අහලා තිබුණා. 

"අප කරන වැඩ මනින්න බැහැ. වැඩක් මනින්නෙ කොහොම ද කියන එක මට තේරෙන්නෙ නැහැ. යම්කිසි නිර්ණායක යොදා ගෙන අපි වැඩ මනිනවා. උගතුන් කරන වැඩ මානසික වැඩ ශාරීරික ව කරන වැඩවලට වඩා වටිනවා කියල අපි හිතනවා. උගතුන්ට වැඩියෙන් වැටුප් ඉල්ලනවා. සමහරු කියනව මා අහල තියෙනවා අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන කියල. ඒ ආයෝජන කතාවක්. නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්.  ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සි වෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ අත්මාර්ථකාමියෙක් වෙන්න ඇති."

නලින් ද සිල්වාගේ සටහනේ වැදගත් කරුණු ගණනාවක් මතු කර තිබෙනවා. එහෙත් එහි සඳහන් එක් කරුණක් වැරදියි. "අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන" කියන කතාව සමාජවාදී ප්‍රකාශයක් මිසක් "නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්" නෙමෙයි. 

මාක්ස්වාදය අනුව මිනිස්සු හැමෝම සමාන නිසා හැම මිනිහෙකුගේම පැයක ශ්‍රමයේ වටිනාකමත් සමානයි. ඒ අනුව, වැඩක් මනින්නේ ඒ වැඩේ කරන්න යෙදවූ ශ්‍රමය මත පදනම්වයි. මහන්සි වෙලා පාඩම් කළානම් ඒ වෙනුවෙන් පැය ගණනට ගෙවන්න ඕනෑ. ඉගෙන ගත්තද නැද්ද කියන එක වැදගත් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් වටිනාකම මනින්නේ ආදාන (inputs) මත පදනම්වයි. එහෙත්, ධනවාදය අනුව වටිනාකම මනින්නේ ප්‍රතිදාන (outputs) මත පදනම්වයි. කවුරු හෝ කෙනෙක් මහන්සි වෙලා වැඩ කළා කියලා හෝ මහන්සි වෙලා පාඩම් කළා කියලා ඒ මහන්සියට සමානුපාතිකව යමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන දේ තීරණය වන්නේ මහන්සි වී කළ දෙයින් වැඩක් වුනාද කියන එක මතයි.

ලංකාවේ සරසවි ඇදුරන්ගේ වැටුප් තීරණය වෙන්නේ සමාජවාදී ක්‍රමයට ආදාන මත පදනම්වයි. ඒ අනුව, වැටුප් නිර්ණායක හදා තිබෙන්නේ මහන්සි වූ තරම මැනීම සඳහායි. එක සමානව මහන්සි වී ඇත්නම් ඒ මහන්සියෙන් ලැබුණු ප්‍රතිඵල මොනවාද කියන එක අදාළ නැහැ. අවුරුදු අටක් ඇතුළත ආචාර්ය උපාධියක් ලබා ගත්තාද නැද්ද කියන එකෙන්, සර්ව සම්පූර්ණ ලෙස නොවුණත්, අවුරුදු අට ඇතුළත කොයි තරම් මහන්සි වුනාද කියන එක මනින්න පුළුවන්. ඒ අනුව, සමාන තරමට මහන්සි වී ඇති බව පෙනෙන අයට සමාන වැටුප් දෙන්න පුළුවන්. ලබාගත් ආචාර්ය උපාධිය නිසා "නිෂ්පාදනය" කොයි තරම් ඉහළ ගියාද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. එය වැදගත් වන්නේ ධනවාදී ක්‍රමය තුළයි.

එහෙත්, බ්‍රැන්ඩික්ස් සන්නාලියන්ගේ වටිනාකම තීරණය වෙන්නේ සරසවි ඇදුරන්ගේ වටිනාකම මනින සමාජවාදී ක්‍රමයට නෙමෙයි. ඔවුන් වැඩ කරන පැය ගණනට වඩා පැයකදී මහන කෑලි ගණනයි වැදගත් වෙන්නේ.

වටිනාකම් මනින ධනවාදී ක්‍රමයත් සමාජවාදී ක්‍රමය වගේම ආකෘතියක් මත පදනම් වූ ක්‍රමයක් තමයි. එහෙත්, එය වඩා සංගතයි. ධනවාදී විග්‍රහය අනුව තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් ඇති විට ශ්‍රමිකයෙකුට වැටුප් සේ හිමිවන්නේ ඔහුගේ හෝ ඇයගේ ආන්තික ඵලදායීතාවයයි. මෙහිදී ආන්තික ඵලදායීතාවය යනුවෙන් අදහස් වන්නේ කිසියම් ශ්‍රමිකයෙකු නිෂ්පාදනය සඳහා සම්බන්ධ කර ගැනීම නිසා නිෂ්පාදනය ඉහළ ගිය ප්‍රමාණයයි.

ආන්තික ඵලදායීතාවය ශ්‍රමයේ නියම වටිනාකම සේ සැලකීමේ පදනම කුමක්ද?

අපි හිතමු බිත්තියක් බඳින බාස් කෙනෙක් ගැන. බාස්ට දවසකට ලැබෙන මුදල තීරණය වෙන්නේ බඳින වර්ග අඩි ගණන අනුව කියා සලකමු. අපි හිතමු බාස්ට තනිවම බිත්ති වර්ග අඩි හැත්තෑවක් බඳින්න පුලුවන් කියා. අත්වැඩකාරයෙක් ගත්තොත් බිත්ති වර්ග අඩි සීයක් බඳින්න පුළුවන්. දැන් මේ විදිහට දවසකට වර්ග අඩි තිහක් වැඩියෙන් බඳින්න පුළුවන් වුනේ අත්වැඩ කාරයා නිසයි. ඒ අනුව, අත්වැඩකාරයාගේ ශ්‍රමයේ වටිනාකම බිත්ති වර්ග අඩි තිහක් බැඳ ලැබිය හැකි මුදලයි.

බිත්ති බැඳීම වෙනුවෙන් රුපියල් දස දහසක මුදලක් ලැබුණොත් එයින් හත් දහසක් යන්නේ බාස්ටයි. අත්වැඩකරුට යන්නේ තුන් දහසක් පමණයි. එහෙත්, දෙදෙනාම සමාන පැය ගණනක් වැඩ කර තිබෙනවා. සමාජවාදී ක්‍රමයටනම් රුපියල් දසදහස දෙදෙනා අතර සම සේ බෙදී යා යුතුයි. මේ ක්‍රමය අසාධාරණ වන්නේ අත්වැඩකරු නැතත් බාස්ට තනිව රුපියල් හත් දහසක් උපයා ගත හැකි නිසයි. 

අත්වැඩකරු විසින් රුපියල් තුන් දහසකට වඩා ඉල්ලා සිටියොත් බාස් ඔහුට රැකියාව ලබා දෙන්නේ නැහැ. එය අතින් කා හරක් බැලීමක්. අනෙක් අතට බාස් නැතිව අත්වැඩකරුට තනිව බිත්ති බඳින්න බැහැ. ඒ නිසා, රැකියාවක් නැත්නම් ඔහුට ආදායමක් ඉපැයිය හැකි වෙනත් වඩා හොඳ ක්‍රමයක් නැති වෙන්න පුළුවන්. එවැනි වෙනත් වඩා හොඳ ක්‍රමයක් තිබේනම් ඔහු අත්වැඩ දෙන්න එන්නේ නැහැ.

අජිත් පැරකුම්ගේ ලිපියේ ඇති තොරතුරු අනුව චීන කම්කරුවෙකුට ලංකාවේදී මසකට එක්සත් ජනපද ඩොලර් 1,000ක් පමණ වැටුප් ලැබෙන නමුත් ශ්‍රී ලාංකික කම්කරුවෙකුට ලැබෙන්නේ එම මුදලෙන් තුනෙන් එකක් පමණයි. මේ වෙනසින් පිළිබිඹු වන්නේ අදාළ සන්දර්භය තුළ චීන කම්කරුවෙකුගේ හා ශ්‍රී ලාංකික කම්කරුවෙකුගේ ආන්තික ඵලදායීතාවයන්ගේ වෙනසයි.

මේ ආන්තික ඵලදායීතා වෙනස අජිත් පැරකුම් විසින් පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි.

"[චීන කම්කරුවන්] දවසේ නියමිත මුළු කාලය ම වැඩ කරන අතර, නිවාඩු නොගෙන දිනපතා වැඩට පැමිණෙති. ලාංකික කම්කරුවන් ගැන විස්තර සඳහන් කිරීම අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් ඔවුන් ස්ථිරව සේවයේ රැඳෙන්නේ නැත. අධික ලෙස නිවාඩු ලබාගනිති. අලසය. වැඩ සම්බන්ධයෙන් සුබවාදී නැත. අවස්ථාව ලැබුණොත් සොරකම් කරති."

මේ වෙනස්කම් ආන්තික ඵලදායීතා වෙනසට විශාල ලෙස හේතු වනවා විය හැකි නමුත් ඒ සඳහා වෙනත් අමතර කරුණුද බලපානවා විය හැකියි. උදාහරණයක් ලෙස චීන වැඩ බිමක සේවය කරන කම්කරුවෙකු චීන භාෂාව දැන සිටීම විවිධ ආකාර වලින් එම ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවය ඉහළ නංවනවා. කෙසේ වුවත්, ලාංකික කොන්ත්‍රාත්කරුවන් විසින්ද චීන ශ්‍රමිකයින්ට වැඩි කැමැත්තක් දක්වන්නේනම් එයින් පෙනෙන්නේ ඉහත අජිත් පැරකුම් විසින් සඳහන් කර තිබෙන කරුණු වල වැඩි බලපෑමක් ඇති බවයි.

අජිත් පැරකුම්ගේ මුල් ප්‍රශ්නයට ආවොත්, මිනිසා වැඩ කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට "ජීවත්වීම සඳහා" හෝ "තමන් එයින් සතුටු වන නිසා" ලෙස සරල පිළිතුරක් දෙන්න බැහැ. ඔය හේතු දෙකම නිසා මිනිස්සු වැඩ කරනවා. ඇතැම් අය ස්වේච්ඡා රැකියා පවා කරන්නේ වැඩ කිරීමෙන් සතුටු වන නිසා. බොහෝ දෙනෙක් තමන් කරන රැකියාව කරන්නේ ලැබෙන වැටුපට අමතරව එම රැකියාව කිරීමෙන්ම යම් සතුටක්ද ලැබෙන නිසා.

මිනිස්සු එදිනෙදා කරන දේවල් ජීවත්වීම සඳහා කරන්න සිදු වී ඇති හෝ අකැමැත්තෙන් කරන "වැඩ" හා විනෝදය පිණිස කරන දේවල් ලෙස ඉරක් ගසා වෙන් කරන්න බැහැ. සිංදු කියන එක බොහෝ දෙනෙක් විනෝදය සඳහා කරන දෙයක්. වෘත්තීය ගායකයෝ රැකියාව ලෙස සිංදු කියනවා. ඔවුන් එය කරන්නේ අකැමැත්තෙන්ද? ඔවුන් තමන්ගේ රැකියාවෙන් විනෝදයක් ලබන්නේ නැද්ද? 

බොහෝ වෘත්තීය කලාකරුවන් තමන්ගේ රැකියාවෙන් වැටුපක් වගේම සතුටකුත් ලබනවා. වෙනත් බොහෝ වෘත්තිකයිනුත් අඩු වැඩි වශයෙන් තම තමන්ගේ රැකියා වලින් සතුටක් ලබනවා. බොහෝ ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, සරසවි ඇදුරන්, දේශපාලනඥයින් යම් තරමකට හෝ තම තමන්ගේ රැකියා වලින් සතුටු වන අයයි. එහෙත්, ඉදිකිරීම් හෝ කෘෂිකාර්මික කම්කරුවන් බොහෝ දෙනෙක් ජීවත්වීම සඳහාම රැකියා කරන අය වෙන්න පුළුවන්.

කෙනෙක් රැකියාවක් තෝරා ගන්නේ කොහොමද? 

දැන් කරන රැකියාව හා අදාළවම නොවිය හැකි වුවත් නලින් ද සිල්වා මෙහෙම කියනවා.

"ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සිලාවෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ ආත්මාර්ථකාමියෙක් වෙන්න ඇති."

ඒ අතර, අජිත් පැරකුම් මෙහෙම කියනවා.

"මා වැඩ කරන්නේ මගේ ජීවිත අරමුණු කීපයක් සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට වුව ද, අවසානයේදී මගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ මගේ එකී අවශ්‍යතාව විසින් නොව මට ලැබෙන වැඩ විසිනි."

නලින් ද සිල්වා, අජිත් පැරකුම් වගේම වෙනත් ඕනෑම කෙනෙක් ප්‍රමුඛතාවය දෙන්නේ තමන් කැමති, තමන්ට සතුටු විය හැකි දෙයක් කරන්නයි. නමුත්, ඒ විදිහට තමන් කැමති දෙයම කරන්න ඉඩ ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ බාහිර කරුණු මතයි. මේක අර මුලින් කී සමාජවාදී විග්‍රහය අනුව පැහැදිලි කරන්න බැහැ. 

ඕනෑම කෙනෙක් තමන් සතුටු දේ කළාම වටිනාකම් නිර්මාණය වෙනවානම් කරන්න තියෙන්නේ දවසේ නියමිත පැය ගණනක් මහන්සි වෙලා තම තමන් කැමති දේවල් කරන එකයි. වටිනාකම් නිර්මාණය වෙන්නේ යොදවපු ශ්‍රමයට සමානුපාතිකවනම් මොනවා කළත් අවුලක් නැහැනේ. හැබැයි එහෙම කළොත් කාටත් වෙන්නේ ආඬි හත් දෙනාගේ කැඳ හැලිය බෙදාගෙන බොන්න බව ඉතාම පැහැදිලියි. තමතමන් කැමති දේවල් කළ පමණින් වටිනාකම් නිර්මාණය වෙන්නේ නැහැ. 

නලින් ද සිල්වා, අජිත් පැරකුම් හෝ සෞම්‍ය ලියනගේ කරන දේවල් වල වටිනාකම තීරණය කරන්නේ වෙනත් අයයි. එය තමන්ට තීරණය කරන්න බැහැ. කරපු දෙයින් වෙන කාටවත්ම වැඩක් නැත්නම් එතැන කරපු දෙයක් නැහැ. අනෙක් අතට කාට හෝ වැඩක් වෙලානම් කොයි තරම් මහන්සි වෙලාද කියන එක වැදගත් නැහැ. ධනවාදී ක්‍රමයක් ඇතුළේ තමන් කරපු දේ වෙනුවෙන් ලැබෙන්නේ මොනවාද කියන එක තීරණය වෙන්නේ ඒ කරපු දේවල් වෙනත් අයට කොයි තරම් වටිනවාද කියන එක මතයි.

අනුන්ට වටිනාකමක් තියෙනවාද නැද්ද කියන එක ගැන වැඩිය වද නොවී "මා කැමති දේ පමණක් කරනවා" කියන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට එහෙම තමන් කැමති දේ පමණක්ම කරන්නනම් "මට සතපහක් ගෙවන්න ඕන නැහැ" කියන පදනමෙන් වැඩ කරන්න වෙනවා. නමුත්, යම් තරමකින් තමන් කැමති දේ කරන අතරම ඒ වෙනුවෙන් යම් ගෙවීමක්ද බලාපොරොත්තු වන අජිත් පැරකුම් වැනි කෙනෙකුගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ ඔහුගේ එකී අවශ්‍යතාව විසින් වගේම ඔහුට ලැබෙන වැඩ අනුවයි.

මේ කරුණු අනුව, එක දෙයක් පෙන්වා දෙන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් තමන් කැමති. තමන් සතුටු වන දෙයක් කරද්දී වෙනත් අය ඒ දෙයින් සතුටු වෙනවානම්, ඒ කියන්නේ තමන් කොහොමටත් සතුටු වන දෙයින් වටිනාකම් නිර්මාණය වෙනවානම් අර වැඩ හා විනෝදය කියන දෙක අතර ඉර බොඳ වී යනවා. වැඩ කිරීමම විනෝදයක් බවට පත් වෙනවා. ධනවාදය දියුණු වෙද්දී ශ්‍රම වෙළඳපොළ පරිණාමය වෙන්නේ මේ වගේ තැනකටයි. 

අපි හිතමු ග්‍රාමීය මට්ටමේදී ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගැන. ආර්ථික ක්‍රමය කුමක් වුනත්, හැමෝටම ආහාර අවශ්‍යයි. ආහාර සපයා ගැනීම සඳහා හැමෝටම වගේ වැඩ කරන්න වෙනවා. මේ අතරින් කිහිප දෙනෙක් එසේ වැඩ කිරීමෙන් විනෝදයක් ලබනවා වෙන්න පුළුවන්. නමුත්, විශාල පිරිසකට මෙය විනෝදයක් නෙමෙයි. තමන්ගේ වත්තේ, තමන්ගේ කුඹුරේ වැඩ කළා කියලා මෙය වෙනස් වෙන්නේ නැහැ. මෙතැන තියෙන්නේ වැඩ කිරීමේ රුචිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.

ධනවාදය තුළ වෙළඳපොළ ප්‍රසාරණය වෙද්දී සිදු වෙන්නේ ඔය විදිහට තමන් අකැමැති රැකියා කරන අය ක්‍රමයෙන් තමන් කැමති රැකියා කරා විතැන් වීමයි. හැමෝටම වගේ ආහාර වල වටිනාකමක් තිබෙනවා. එහෙත්, බහුතරයකට නොතේරෙන දාර්ශනික ප්‍රවාදයක වටිනාකමක් තියෙන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක්ටයි. සරල ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතුළේ මාර සිරා දාර්ශනිකයෙකුට ඉල්ලුමක් නැහැ. එවැන්නෙකුගේ ශ්‍රමයට හුවමාරු වටිනාකමක් නැහැ. ඒ නිසා දර්ශනය පැත්තකට දමලා අකැමැත්තෙන් වුනත් කුඹුරට බහින්න වෙනවා. නැත්නම් හාමතේ මැරෙන්න වෙනවා. වෙළඳපොළ විශාල ලෙස ප්‍රසාරණය වීමේ වාසිය වන්නේ බොහෝ දෙනෙක්ට වටිනාකමක් නැති, තමන් කරන්න කැමති දෙයට වටිනාකමක් දෙන පුද්ගලයෙක් කොහෙන් හෝ හමු වීමයි.

ධනවාදය යටතේ වුවත් හැම පුද්ගලයෙකුටම තමන් කැමතිම දේ කරන්න ලැබෙන බවට සහතිකයක් නැහැ. එහෙම කරනවානම් කරන්න වෙන්නේ කවුරුවත් "සතපහක් ගෙවන්න ඕන නැහැ" කියන පදනමිනුයි. හැමෝම තමන් වඩාත්ම කැමති දේවල් තෝරා ගත්තොත් සමාජවාදයක් යටතේ වගේම ධනවාදයක් යටතේත් කවුරු හෝ විසින් කළ යුතු, කවුරුත් කරන්න කැමති නැති වැඩ කොටසක් කරන්න කෙනෙක් නැතිව ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථාවක ශ්‍රම වෙළඳපොළ අසමතුලිතතාවය නිසා ඒ අකැමැති වැඩේ කරන්න අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල ඉහළ යනවා. ඔය විදිහට මිල ඉහළ යද්දී, එක අවස්ථාවක වැඩේ කරන්න ප්‍රමාණවත් පිරිසක් එකතු වෙනවා. වැඩේ තමන් කරන්න කැමතිම දෙය නොවූවත්, ලැබෙන ගණන බැලුවහම පාඩුවක් නැහැ!

සමාජවාදයක් යටතේ "තමන්ට හැකි ප්‍රමාණයට සමාජයට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සමාජයෙන්" කියල කතාවක් තියෙනවනේ. දැන් ඔය කතාවේ පළමු කොටසේ අදහස වෙන්නේ හැමෝම නිශ්චිත පැය ගණනක් වැඩ කරනවා නමුත් එම පැය ගණන තුළ සිදුවන ඵලදායී කාර්යය සමාන විය යුතු නැහැ කියන එකයි. තමන්ට හැකි ප්‍රමාණයනේ! දෙවන කොටසෙන් ප්‍රයෝගිකව අදහස් වෙන්නේ නිෂ්පාදිතය සමසමව බෙදෙනවා කියන එකයි. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ සමාජය විසින් මිසක් තමන් විසින් නොවන බවයි. 

ධනවාදය ඇතුළේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නේ තමන් විසින්. එහෙත්, තමන්ට අවශ්‍ය ප්‍රමාණය සමාජයෙන් ලබා ගන්නනම් අවශ්‍ය පමණ සමාජයටත් දිය යුතුයි. හැකි පමණ සමාජයට දී අවශ්‍ය පමණ සමාජයෙන් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා සමාජයට දෙන අයගේ සහකම්පනය මත පමණයි. 

මිනිසාට තමන් කැමති වැඩක් කිරීමට තිබෙන අයිතිය ගැන සමාජවාදීන් විසින්ද කතා කරනවා. ඇතැම් අය කියන විදිහට සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලයෙක් විසින් කරන්නේ තමන් කැමති රැකියාවයි. එහෙත්, සියළු දෙනාම තමන් කැමති රැකියා කළොත් සියලු දෙනාට අවශ්‍ය ඇතැම් දේවල් ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා, ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න විදිහක් නැහැ. ප්‍රායෝගිකව සිදුවෙන්නේ පක්ෂය විසින් යම් පිරිසක් ඔවුන් අකැමැති රැකියා වලට ඇද දමන එකයි. ධනවාදය යටතේත් යම් පිරිසකට තමන් අකැමැති රැකියා කරන්න සිදු වුනත් එහිදී කිසිවකු බලහත්කාරයෙන් එම රැකියා වලට තල්ලු කරන්නේ නැහැ. වැඩි වැටුප් හරහා ස්වේච්ඡාවෙන් පිරිස් ආකර්ෂණය කර ගන්න එකයි සිදු වෙන්නේ.

මේ වෙනස ඉතා වැදගත් වෙනසක්. සමාජවාදය යටතේ "තමන්ගේ සමාජ වගකීම ඉටු කිරීමට" කිසියම් පිරිසක් ඔවුන් අකැමැති රැකියා වලට බලෙන් තල්ලු කෙරෙනවා. එහෙත්, ඒ වෙනුවෙන් ඔවුන්ට අනෙක් අයට නොලැබෙන දෙයක් ලැබෙන්නේ නැහැ. ධනවාදය තුළ මෙසේ තමන් අකැමැති රැකියා කරන අයට එහි වටිනාකම ලැබෙනවා.

ධනවාදය තුළ කිසියම් රැකියාවක් කරන්න කැමති පිරිස් අඩු වෙද්දී එම රැකියාව හා අදාළ ශ්‍රමයේ මිල ඉහළ යනවා. මේ විදිහට ඉහළ යන ශ්‍රමය විසින් අදාළ රැකියාව ස්වයංකරණය කිරීම සඳහා තාක්ෂනය වැඩි දියුණු කිරීම පිණිස සිදු කෙරෙන ආයෝජන දිරිමත් කෙරෙනවා. අවසානයේදී ස්වයංකරණය විසින් මිනිස්සු කරන්න අකැමැති රැකියා ප්‍රතිස්ථාපනය කෙරෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් හැමෝටම වගේ තමන් කැමති රැකියා කරන්න අවස්ථාව සැලසෙනවා. සමාජවාදී ක්‍රමයක් යටතේ මෙවැනි ජනප්‍රිය නැති රැකියා සඳහා යම් පිරිසක් බලෙන්ම වගේ යොමු කෙරෙන නිසා වේගවත් ස්වයංකරණයක් සඳහා අවශ්‍ය ආර්ථික සාධක සම්පූර්ණ වෙන්නේ නැහැ.

වෙළඳපොළ පුළුල්වීම හා ස්වයංකරණය නිසා ටිකෙන් ටික සිදු වන්නේ "වැඩ" හා "විනෝදය" අතර ඉර මැකී යාමයි. කෙනෙකුගේ "වැඩ" හා "විනෝදය" එකක් වූ විට දවසේ වැඩ කරන පැය ගණන සීමා කිරීම විනෝදය සීමා කිරීමක් බවට පත් වෙනවා. වැඩ කරන තරමට ආන්තික ඵලදායීතාවය ඉහළ ගොස් ශ්‍රමයේ මිල ඉහළ යනවාක් වගේම විනෝදයත් ඉහළ යනවා. මිනිහෙකුට වැඩි වැඩියෙන් විනෝද වෙන්න අවස්ථාව දීම හා වැඩි වැඩියෙන් වැඩ කරන්න අවස්ථාව දීම යන දෙකම එකක් වුනාම වැඩි වැඩියෙන් වැඩ ගැනීම සූරාකෑමක් කියා කියන්න මොකක් හරි පදනමක් ඉතිරි වෙනවද?

3 comments:

  1. අනේ ඉකොනොමැට්ටෝ නිකන් බොරු කියන්න එපා

    ////පිළිතුරු නැති ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කරන්න මම කැමතියි. ///

    මොන මගුලක් ද මන්දා මේ උන්නැහේ කියන්නේ. මේ බ්ලොග් එකේම කට්ටිය කොච්චර ප්‍රශ්න අහල තියෙනවාද? වැඩි හරියක් ප්‍රශ්න වලට ඉකොනොමැට්ටට උත්තර නැත. වැඩිය ඕන නැහැ කලිං පෝස්ට් එකේ විතරක්ම ගත්තොත් උත්තර නැති ප්‍රශ්න කොච්චර අහල තියෙද?

    අජිත් පැරකුම් අහල තිබ්බෙ තේරුමක්නැති බයිලා. මිනිස්සු වැඩ කරන්නේ කෙටියෙන් කිව්වොත් ජීවත් වෙන්න. People work to either make money or other benefit make them satisfied. They need money for food, for rent, and to have fun with their friends and family. Independence etc. When you work, you are learning new things, getting more skills, and making friends with people you meet through your job. Work besides making money, is meaningful daily life activity — making something, serving someone, providing something of worth to others (either individually or to the community in which you live [local or globally]) මේක තමයි සරල බසින් ඉදිරිපත් කරන්න පුළුවන් දේ.

    ඒක නෙමේ ඉකොනොමැට්ටෝ තමුන් කලින් ඇමරිකන් කෘෂිකර්මාන්තයේ සංවර්ධනය ගැන ටෝක්ස් දුන්නා නේද? එහෙනම් මෙන්න මේ පහල තියෙන ලින්ක් එක බලන්න.

    https://youtu.be/dUgUT-kydvQ

    මේකේ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් ද? මේ ගැන මොකද හිතන්නේ? මේ බ්ලොග් එකේ මළාට කමෙන්ට් නොකරන (බලන්නේත් නැතුව ඇති මයෙ හිතේ) අජිත් පැරකුම් ජයසිංහ වෙනුවට මේක බලන අපට කමෙන්ට් කරන විවේචන කරන අපට උත්තර දෙන්න පුළුවන් නම් ඉකොනොමැට්ටා හොඳයි කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  2. අජිත් පැරකුම්ගෙන් වෙන ලොකුම සේවය තමයි. සිංහල බෞද්ධයාට සමාජවාදය එපා කරවීම.

    අජිත් පැරකුම්, වික්‍රමබාහු කරුණාරත්න, දයාපාල තිරාණගම වගේ එවුන් කියන දේ අහලත් කවුරුහරි සිංහල බෞද්ධයෙක් සමාජවාදය විස්වාස කරනවානම්. එයාව මනෝ වෛද්‍යවරයෙක් ලඟට ගෙනියන්න.

    ReplyDelete
    Replies
    1. අනේ අන්තෝනියෝ

      ඔය කියන සමාජවාදීන් එහෙම නැත්නම් වඩා නිවැරදි ලෙස මාක්‌ස්‌වාදය කියල කියන්නේ පැරණි ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙන් ආපසු කතෝලික චින්තනය වෙත යැමට කරන ලද අසාර්ථක හා දුර්වල උත්සාහයක්‌ විදියට තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම ෆැසිස්‌ට්‌වාදය ද එලෙසම කතෝලික චින්තනය වෙත යැමට කරන ලද උත්සාහයක්, ෆැසිස්‌ට්‌වාදය මෙන් ම මාක්‌ස්‌වාදය ද කතෝලික රටවල් වූ ජර්මනිය, ඉතාලිය ආශ්‍රිත ව බිහිවීම ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්. ඉතාලියේත් එක්‌තරා කාලයක ශක්‌තිමත් කොමියුනිස්‌ට්‌ ව්‍යාපාරයක්‌ තිබ්බ නේද? මාක්‌ස්‌ එංගලන්තය සමාජවාදී වෙතැයි අපේක්‍ෂා කළත් එරට ග්‍රීක් යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයේ ඇංග්ලෝ සැක්‌සන් ප්‍රභේදයේ කම්කරු පක්‍ෂය එහාට හෝ මෙහාට (තමන් බලන ආකාරය අනුව) ගියේ නැහැ. අපට බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිත වාදයෙන් මිදිය හැක්‌කේ ඔය යල්පිනූ මාක්‌ස්‌වාදයක්‌ පසුපස යැමෙන් නොව අපේ මගක්‌ ගැනීමෙන් බව වටහා ගත යුතුය. ඔබ විසින් ඉහත සඳහන් කළ කණ්‌ඩායම මාක්‌ස්‌වාදී වීම ගැන මම සතුටුවෙනවා මොකද ඒ නිසා ම ඔවුන්ට පැවැත්මක්‌ නැහැ තව ටික දවසකින් කුජීත වෙලා යනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...