වෙබ් ලිපිනය:

Thursday, October 15, 2020

බැල ගෙඩියටත් කෙලවන මිල පාලනය


ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙද්දී "ඔය වැඩෙන් වෙන්නේ ගමක පොල් ගෙඩියක් කඩා ගන්නවත් මනුස්සයෙක් නැති වෙන එක" කියලා සමහර අය විරුද්ධ වුනා කියනවනේ. ඔය පොල් කඩන වැඩේ කාලයක් ලංකාවේ විශාල පිරිසක් නිරතව හිටපු වෙන කරන්න දෙයක් නැති අයට කළ හැකි වූ රැකියාවක්. අපි පොඩි කාලේ විභාගයකදී ලකුණු ටිකක් අඩු වුනොත් වැඩිහිටියෝ කියන්නේ "ඔහොම කරලනම් කවද හරි පොල් කඩන්න තමයි වෙන්නේ" කියලා. මම හිතන විදිහට මේ රස්සාව අද සමාන කරන්න පුළුවන් වෙන්නේ ත්‍රිරෝද රථ රස්සාව වගේ එකකටයි.

ඒ දවස් වල පොල් කඩන රස්සාව කරපු අයට අපි සල්ලි දුන්නේ නැහැ. නගින ගහකට ගෙඩිය ගානේ දෙන එකයි කළේ. ඔයාකාරයට පොල් කැඩීමේ කුලිය විදිහට දුන් ගෙඩියට බැල ගෙඩිය කියලයි කිවුවේ. දැන් කල්පනා කරලා බැලුවහම වචනයේ තේරුම බැලයාගේ එහෙම නැත්නම් සේවකයාගේ පංගුව වගේ එකක් බව පේනවා. ඔය වචනය ගූගල් එකේවත් නැත්තේ සමහර විට අපේ පැත්තේ ප්‍රාදේශීය යෙදුමක් නිසාද දන්නේ නැහැ.

මේ "අපේ පැත්ත" තිබුණේ පොල් ත්‍රිකෝණය ඇතුළේ හෝ මුහුදක් අයිනේ නෙමෙයි. ඒ නිසා අපේ පොල් ගස් වල සාර සොබාවට ගෙඩි හැදුනේ නැහැ. එහෙම හැදුනේ ගේ කිට්ටුව තිබුණු වැඩි සාත්තු සප්පායම් ලැබූ ගස් කිහිපයක පමණයි. වත්තේ ගෙදරින් ඈතට වෙන්න තිබුණු, ඔහේ හැදෙනවට හැදුණු සමහර ගස් වල වල්ලක ගෙඩි දෙක තුනකට වඩා තිබුණේ නැහැ. ඔය වගේ ගෙඩි දෙක තුනක් තියෙන ගහක පොල් කඩවලා බැල ගෙඩිය දීලා ගෙඩියක් හෝ දෙකක් ගන්න එකේ තේරුමක් නැති නිසා ඒ වගේ ගස් වල තියෙන ගෙඩි කීපය කඩවන්නේ නැතුව වේලිලා වැටෙන්න අරින එකයි කළේ. 

සමහර හවුල් ඉඩම් වලට අයිතිකාරයෝ විශාල ගණනක් හිටියා. කඩන පොල් අයිතිකාරයින් අතර බෙදෙනවා. ඒ ඇතැම් අයිතිකාරයින්ගේ පංගුවේ තරමට වාරයකට පොල් ගෙඩියකට දෙකකට වඩා ලැබෙන්නේ නැහැ. සමහර ඉඩම් වල පොල් මුර ක්‍රමයක් තිබුණා. ඉඩමේ පළමු පහෙන් පංගුවේ කොටස් අයිතිකාරයින්ට එක අවුරුද්දක පොල් ලැබෙනවා. ඉන් පසු දෙවන පහෙන් පංගුවේ අයිතිකාරයින්ට. සිංහල අවුරුද්දට පස්සේ පොල් මුරේ මාරු වෙනවා. මුරේ ඉවර වුනාට පස්සේ ආයේ මුරයක් ඉන්නේ අවුරුදු පහකට පස්සේ. ඔය එක පහෙන් පංගුවකටත් අයිතිකාරයෝ සෑහෙන ගණනක් හිටියා. ඉතිං පොල් ටික කඩලා බෙදුවට පස්සේ ලොකුම පොල් ගොඩ අයිතිවෙන්නේ පොල් කඩපු මනුස්සයාටයි.

සාමාන්‍යයෙන් ගහක ගෙඩි ටික කඩලා එකතු කළ ගමන්ම පොල් කඩන මනුස්සයා බැල ගෙඩිය පැත්තකට කර ගන්නවා. ඒ නිසා, ලොකු හෝ පොඩි ගෙඩි ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ගහේ පොල් ලොකුනම් බැල ගෙඩියත් ලොකුයි. ගහේ පොල් පොඩිනම් බැල ගෙඩියත් පොඩියි.

පොල් ගහකට නැග්ගට පස්සේ කඩන ගෙඩි ප්‍රමාණය අනුව මහන්සිය ලොකුවට අඩු වැඩි වෙන්නේ නැහැනේ. ගහේ එක පොල් ගෙඩියක් තිබුණත් ගෙඩි විස්සක් තිහක් තිබුණත් ගහට නගින මහන්සිය එකයි. නමුත්, ගහට නැගලා පොල් කැඩීම නිසා නිර්මාණය වන වටිනාකම කඩන පොල් ගෙඩි ගණන අනුව වෙනස් වෙනවා. 

පොල් වත්තේ අයිතිකාරයාට වැදගත් වන්නේ කැඩෙන පොල් ගෙඩි ගණනයි. පොල් ගෙඩි ගණන ඉහළ යන තරමට සමානුපාතිකව ඔහුට හෝ ඇයට ලැබෙන දෙය ඉහළ යනවා. පොල් කඩන ශ්‍රමිකයාගේ පැත්තෙන් බැලුවොත් වැදගත් වන්නේ නගින පොල් ගස් ගණන මිසක් කඩන පොල් ගෙඩි ගණන නෙමෙයි. 

දැන් මේ අනුව බැළුවහම පොල් කැඩීමේ රස්සාව හා අදාළ ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරයේ පැහැදිලි වෙනස්කමක් දෘශ්‍යමාන වෙනවනේ. පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැහැ. ඒ නිසා ඔහු හදන්නේ ගෙඩි අඩුවෙන් තියෙන ගහකට හරි නැගලා තමන්ගේ ගාස්තුව ගන්නයි. නමුත්, පොල් ගස් අයිතිකාරයාට පොල් කඩන්නාගේ ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ගහේ යම් අවම ගෙඩි ප්‍රමාණයක් තියෙනවානම් පමණයි. ඔය දෙපාර්ශවයේ අවශ්‍යතා සමතුලිත වීම අනුව පොල් කැඩෙන ගස් ගණන තීරණය වෙනවා. 

ඒ කියන්නේ පොල් කඩන මනුස්සයාට ගහේ තියෙන ගෙඩි ගණන වැදගත් නැත්තේත් නැහැ. කවුරු හරි පොල් කඩන්න කිවුවොත් ගහේ ගෙඩි ගණන ගැන වද නොවී ඔහු ගහට නගින බව ඇත්ත. නමුත්, ඔහුට ඒ විදිහට පොල් කඩන්න අවස්ථාවක් ලැබෙන එක ගහේ තිබෙන පොල් ගෙඩි ගණන අනුව තීරණය වෙනවා. ඒ නිසා, වක්‍රව ගහේ තියෙන ගෙඩි ගණන ඔහුට වැදගත්. 

පොල් කඩන්නාගේ දවසක ආදායම තීරණය වෙන්නේ ඔහු දවසකට නගින පොල් ගස් ගණන අනුව. ඒ නිසා, තමන්ගේ මහන්සියෙන් ආදායම වැඩි කර ගැනීමේ අවස්ථාවක් ඔහුට තිබෙනවා. හැබැයි මේ ආකාරයට මහන්සි වී තමන්ගේ ආදායම වැඩි කර ගන්න පුළුවන් සීමාවක් තිබෙනවා. මොකද ඔහුට නගින්න ලැබෙන ගස් ගණන තීරණය කරන්නේ පොල් ගස් අයිතිකාරයා. 

පොල් ගස් අයිතිකාරයාගේ තීරණයට බලපාන්නේ ගහක තිබෙන පොල් ගෙඩි ගණන පමණක් නෙමෙයි. පොල් ගෙඩියක මිලත් එයට බලපානවා. පොල් ගොඩක් ගණන්නම් සාපේක්ෂව අඩු පොල් ගෙඩි ප්‍රමාණයක් තිබෙන ගහක වුවත් ගෙඩි කඩවන්න ඔහු මැලි වෙන්නේ නැහැ. ඒ වගේම පොල් මිල අඩුනම් ඔහු කෙනෙක්ව ගහට යවලා පොල් කඩවන්නේ වැඩි පොල් ප්‍රමාණයක් ගහේ තිබුණොත් පමණයි.  ඒ නිසා, පොල් කඩන්නාට නගින්න ලැබෙන පොල් ගස් ප්‍රමාණය පොල් මිල මතත් තීරණය වෙනවා. ඒ අනුව, ඔහුට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් පොල් මිල මත තීරණය වෙනවා.

ලැබෙන බැල ගෙඩි ප්‍රමාණය ඉහළ යාම නිසා, පොල් මිල වැඩි වෙද්දී පොල් කඩන්නාගේ ආදායම වක්‍ර ලෙස ඉහළ යනවා. ඒ වගේම, පොල් ගෙඩියක මිල වඩා වැඩි නිසා අර බැල ගෙඩි විකුණා ලැබිය හැකි ආදායම පොල් මිල ඉහළ යද්දී සෘජුවමත් වැඩි වෙනවා. වාසි දෙකයි.

පොල් කඩන්නාට වැඩියෙන් මහන්සි වෙලා වැඩි පොල් ගස් ගණනක් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම, මොන විදිහකින් හරි වඩා කාර්යක්ෂම ලෙස පොල් ගස් නැගලා ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩි කර ගන්නත් පුළුවන්. ඒ නිසා, පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය යම් පමණකට ඔහුගේ අතේ තිබෙන දෙයක්. හැබැයි මුළුමනින්ම නෙමෙයි. ඔහුගේ පාලනයට යටත් නැති, වෙනත් බාහිර සාධක මත ඔහුගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. ඒ අනුව, ඔහුගේ ආදායමත් වෙනස් වෙනවා.

පොල් මිල වෙනස් වෙද්දී පොල් කඩන්නාගේ ආන්තික ඵලදායීතාවය වෙනස් වෙනවා. පොල් මිල වෙනස් වෙන්නේ රටේ පොල් වලට තිබෙන ඉල්ලුම හා සැපයුම අනුව. එය පොල් කඩන්නාගේ පාලනයට යටත් නැති කරුණක්.

ඉඩෝර කාලෙකදී පොල් හැදෙන්නේ අඩුවෙන්. ඒ නිසා, පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන අවස්ථා ගණනත් අඩු වෙනවා. ගස් වල පොල් නැත්නම් කඩන්නේ මොනවාද? ඒ කියන්නේ ඉඩෝර කාලෙකදී පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙනවා.

ඉඩෝර කාලෙකදී පොල් අඩුවෙන් කැඩෙන කොට පොල් සැපයුම පහළ ගිහින් පොල් මිල ඉහළ යනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි වල වෙළඳපොළ වටිනාකමත් ඉහළ ගිහින් ඔහුගේ ආදායම වැඩි වෙනවා. ඒ වගේම, පොල් ගස් අයිතිකාරයාට පොල් අඩු ගස් වලත් ගෙඩි කඩවන්න ඉහළ පොල් මිල නිසා පෙළඹුමක් ඇති වෙනවා. ඒ නිසා, පොල් කඩන්නාට ලැබෙන බැල ගෙඩි ප්‍රමාණයත් යම් තරමකින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඉඩෝරය නිසා පොල් කඩන්නාට වෙන්න ගිය පාඩුව මගහැරෙනවා.

පොල් සරුවට හැදෙන කාල වලදී පොල් කඩන්නෙකුට වැඩ වැඩියි. ලැබෙන බැල ගෙඩි ගණනත් වැඩියි. නමුත්, පොල් මිල අඩු නිසා පොල් කඩන්නාගේ ආදායම මහා ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් වැඩියෙන් හැදුනා කියලා පොල් කඩන්නෙකුට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ඉක්මවන විශාල ආදායමක් ලබා ගන්න වෙළඳපොළ ඉඩ අරින්නෙත් නැහැ. පොල් හොඳට හැදෙන කාල වලදී වගේම, පොල් අඩුවෙන් හැදෙන කාල වලදීත් පොල් කඩන්නෙකුට ලැබෙන ආදායම විශාල ලෙස උච්ඡාවචනය නොවන පරිදි වෙළඳපොළ යාන්ත්‍රනය විසින් ස්වභාවික ලෙසම නියාමනය කරනවා.

පොල් අස්වැන්න අඩු වැඩි වෙද්දී නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම මත වෙනස් වන පොල් මිල නිසා පොල් කඩන්නාගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයත් අනුරූපී ලෙස වෙනස් වෙලා ඔහුගේ ආදායමත් නිසි සේ සකස් වෙනවා. මේ ස්වභාවික නියාමන යාන්ත්‍රනය නිසා පායනා කාලෙකදී පොල් අඩුවෙන් කැඩුනත්, ඊට සමානුපාතිකව පොල් කඩන්නෙකුගේ ආදායම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුගේ දරුවන්ට පොල් අවාරයේදී හාමතේ ඉන්න වෙන්නේ නැහැ.

පොල් අවාරෙකදී රජය මැදිහත් වෙලා පොල් වලට පාලන මිලක් දැම්මහම මොකද වෙන්නේ? ගස් වල පොල් අඩු නිසා පොල් කඩන්නෙකුට පොල් කඩන්න ලැබෙන්නේ සීමිත ගස් ප්‍රමාණයක පමණයි. මිල අඩු නිසා පොල් ගස් අයිතිකාරයා වැඩි ගස් ප්‍රමාණයක පොල් කඩවන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා, පොල් කඩන්නෙකුට ලැබෙන්නේ බැල ගෙඩි අඩු ප්‍රමාණයක්. අනෙක් අතට මේ බැල ගෙඩි ටික විකුණන්න වෙන්නේ අඩු මිලකට. පොල් කඩන්නාගේ ආදායම දෙයාකාරයකින්ම අඩු වෙලා. පොල් ගහෙන් වැටිච්ච මිනිහට මිල පාලන ගොනා අනින්නේ ඔය විදිහටයි.

රජය වෙළඳපොළට මැදිහත්වීම නිසා බඩේ පාර වදින්නේ පොල් කඩන රස්සාව කරන අයට විතරක් නෙමෙයි. ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට රාජ්‍ය මැදිහත්වීම් නිසා බඩේ පාර වදිනවා. ඒ අතරිනුත්, සුවිශේෂී කුසලතා අවශ්‍ය නොවන, පොල් කැඩීම වැනි රැකියා කරන අයට බලපෑම වැඩියි.

1 comment:

  1. පොල් මිලටත් රජය මැදිහත් වෙනව කියන්නේ මහා අසාධාරණයක් කියලයි මට නම් හිතුනේ , ඔහොම මුර වැඩේ තියෙන ක්‍රමයක් දැනන් හිටියේ නැහැ. අපේ අම්ම රුපියල් 50 හෝ සියක් ගෙවනවා එක ගහකට . මට හරියටම මතක නැහැ. බැල ක්‍රමයක් දන්නේ නැහැ,.නමුත් මට මතක තිබ්බ වරක් පොල් කඩන්නා ආවේ යතුරු පැදියක. එයාට කෝල් කරලා Appointment එකක් දාගන්න ඕනේ. ඒ ධනවාදී දියුණුවට මම කැමැතියි. පොල් කඩන එක බැල ගෙඩි කාරයා නොව ගරුත්වයක් ඇතිව කෙරෙන් රැකියාවක් බවට පත්වූ නිසා

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...