Friday, April 17, 2020
ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළට?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ වසරේ ලෝකයේ එක් එක් රටවල ආර්ථික වර්ධනයන් සම්බන්ධ පුරෝකථන ඉදිරිපත් කර තිබෙනවා. වසර තුළ කිසියම් හෝ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්න ඉඩ තිබෙන්නේ රටවල් සුළු ප්‍රමාණයක් ප්‍රමාණයක් පමණයි. ඒ රටවල් වල පවා දැකිය හැකි වනු ඇත්තේ ඉතා අඩු ආර්ථික වර්ධනයක්. සමස්තයක් ලෙස ලෝකයේම ආර්ථිකය 3%කින් සංකෝචනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
ඇමරිකාවේ ආර්ථිකය 5.9%කින්ද, කැනඩාවේ 6.3%කින්ද, එක්සත් රාජධානියේ 6.5%කින්ද, ජර්මනියේ 7.0%කින්ද, ප්‍රංශයේ 7.2%කින්ද, ජපානයේ 5.2%කින්ද, ඉතාලියේ 9.1කින්ද, ස්පාඤ්ඤයේ 8.0කින්ද, රුසියාවේ 5.5කින්ද, ඕස්ට්‍රේලියාවේ 6.7කින්ද, දකුණු කොරියාවේ 1.2කින්ද, සවුදි අරාබියේ 2.3%කින්ද. සිංගප්පූරුවේ ආර්ථිකය 3.5%කින්ද හැකිලීමට නියමිතයි. චීනයේ හා ඉන්දියාවේ ආර්ථිකයන් වර්ධනය වනු ඇති නමුත් ඒ පිළිවෙලින් 1.2%කින් හා 1.9%කින් පමණයි.
ලංකාවේ ආර්ථිකයද වසර තුළදී 0.5%කින් සංකෝචනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. නිදහසින් පසු මීට පෙර ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනේ 2001 වසරේදී පමණයි. එයට හේතු වූයේද කටුනායක ගුවන් තොටුපොළට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයකින් පසුව ලංකාව හා බාහිර ලෝකය අතර ආර්ථික සම්බන්ධතා කෙටි කාලයකට බිඳ වැටීමයි.
එකී 2001 වසරේදී හැර අනෙකුත් සෑම වසරකදීම ලංකාවේ ආර්ථිකය යම් පමණකින් හෝ වර්ධනය වී රටේ ඒක පුද්ගල ආදායම ටිකෙන් ටික වැඩි වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේදී ලෝක බැංකුව විසින් ලංකාව ඉහළ මැදි ආදායම් රටක් සේ නම් කළා. එතෙක් ලංකාව වර්ගීකරණය වී තිබුණේ පහළ මැදි ආදායම් රටක් ලෙසයි. ඉහළ මැදි ආදායම් රටක් සේ නම් කරනු ලැබීම සඳහා අවශ්‍ය අවම ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටම වූ ඇමරිකන් ඩොලර් 3,996 ඉක්මවමින් 2018 වසරේදී ඇමරිකන් ඩොලර් 4,060ක ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් කරා ළඟා වීමට හැකි වීම මත ලංකාවට මේ උසස් වීම ලැබුණා. දෙසතියකට පෙර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත ඇස්තමේන්තු අනුව 2019 වසරේදීද ලංකාව 2.3%ක ආර්ථික වර්ධනයක් ලබාගෙන තිබෙනවා.
මේ වසර තුළ ලංකාවේ ආර්ථිකය හැකිලෙන්න සෑහෙන ඉඩකඩක් තිබෙනවා. ඊට අමතරව සමස්තයක් ලෙස රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමටද ඉඩ තිබෙනවා. ඒ අනුව, ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා වැටෙන්න ඉඩ තිබෙනවා. බොහෝ විට දැනටමත් එය සිදු වී අවසන්ව තිබෙන්න පුළුවන්.
ඉතා ඉක්මණින් කෝවිඩ්-19 සඳහා ප්‍රතිකාරයක් සොයා ගනු ලැබුවහොත් මේ තත්ත්වය යහපත් අතට වෙනස් විය හැකියි. මේ වන විටත් ගිලියාඩ් සමාගමේ රෙම්ඩෙසවියාර් ප්‍රතිවෛරසය තෙවන අදියරේ සායනික පරීක්ෂණ සාර්ථක ලෙස අවසන් කරමින් තිබීම බලාපොරොත්තු දනවන්නක්.
(Image: https://www.fairobserver.com/politics/coronavirus-outbreak-effects-global-economy-crisis-recession-us-china-news-16661/)
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
// 2018 වසරේදී ඇමරිකන් ඩොලර් 4,060ක ඒක පුද්ගල දළ ජාතික ආදායම් මට්ටමක් කරා ළඟා වීමට හැකි වීම මත ලංකාවට මේ උසස් වීම ලැබුණා //
ReplyDeleteආචාර්ය බන්දුල ගුණ්වර්ධන ගිය අවුරුදුවල විපක්ෂයේ ඉන්නකොට කිව්වේ, unp ආණ්ඩුව රාජපක්ෂ කාලයේ නෑගීගෙන ආපු ආර්තිකය බුල් ඩොසර් කරා කියලා, කියල තියෙන්නේ පට්ට පල් බොරුවක් නෙ
ඇත්තටම ඉකෝන් ලංකාවේ 1977 බලයට පැමිණි අන්න දූෂිත අශීලාචාර අශික්ෂිත රජය විසින් කරපු බරපතල විනාශ රාශියක් වූ අතර ඉනුත් 1983 ජූලි රාජ්‍ය ත්‍රස්තවාදී ජනඝාතනය, 1987 - 90 භීෂණ සමයේ මහත් වූ ආර්ථික විනාශයට අමතරව විශේෂයෙන්ම 1983 - 2009 වසර 26 ක බරපතල සිවිල් යුද්ධය රටේ ආර්ථිකය විනාශ කර දැම්මා. නමුත් 2009 යුද්ධය අවසන් වූ වහාම 2009 සිට 2013 දක්වා වූ පස් අවුරුදු කාල සීමාව තුළ ලංකාවේ ආර්ථිකයේ 7.5% ක විතර වාර්ෂික සාමාන්‍ය වේගයකින් වර්ධනය වුණත් ඒ යුද්ධය අවසන් වීමෙන් පසු මුල් වසර තුන තුළ සිදු වූ ඉහළ වර්ධනය විශේෂයෙන් කැපී පෙනෙනවා නේද? ඔ එක්ක අඛණ්ඩව ඉහළ වර්ධන ගමන් මඟක් පෙන්නුම් කරමින් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2010 දී 8.0% ක් ද, 2011 දී 8.4% ක් ද සහ 2012 දී 9.1% ක් ද විය.
ReplyDeleteමෑත කාලීනව 2015 දී ඉදිකිරීම් කටයුතු සීමා කර රජයේ වැඩ පිළිවෙල සම්පූර්ණ වෙනස් වීම් සමග 2015 වර්ෂයේ දී වර්ධනය 3.4% ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටීමත් සමඟ මෙම වර්ධන ප්‍රවනතාවය බිඳ වැටුණ බව මහ බැංකුවේ වාර්තා සහ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. 2015 සිට 2018 දක්වා වූ පසුගිය පස් අවුරුදු කාලය තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධනය 3.4% දක්වා අඩුවීමත් (මෙය මීට පෙර පස් අවුරුදු කාලයට සාපේක්ෂව ප්‍රතිශතාංක 3 - 4 කට වඩා පහත වැටීමකි) තවත් බරපතළ ලෙස 2019 මෙය 2% පමණ දක්වා උග්‍ර ලෙස කඩා බිඳ වැටීම සමග ලංකාවේ ආර්ථිකය පණ අදින තත්ත්වයට පත්ව තියෙනවා. එපමණක් නොව, 2015 සිට අඛණ්ඩව ආර්ථික වර්ධනය මන්දගාමී වූ අතර, 2018 දී 3.2% ක වර්ධනය 2002ට පස්සේ වසර 16 කින් වාර්තා වූ පහළම ආර්ථික වර්ධන අනුපාතය බවට පත් වෙලා උග්‍ර ලෙස විවේචනයට බඳුන් විය. එමෙන්ම 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදු වූ ආර්ථික බලපෑම මෙන්ම රජයේ විකාර ප්‍රතිපත්ති සමග 2019 2% 2020 වසරේ 3% ක් හෝ ඊටවඩා වැඩි කරගන්න ලංකාවේ ආණ්ඩුව කලින් අපේක්ෂා කරගෙන තිබුණා. නමුත් දැන් එය මුළුමනින්ම අත්හැර දමා ඇති ක්‍රියාවලියක්.
ලංකාව $ 4,000 ඉහළ මැදි ආදායම් ඉලක්කයක් තබාගෙන සිටියේ 2015 දී. නමුත් 2014න් පසු ආර්ථික සංවර්ධනය අඩාල වී 2018 දක්වා කල් ගියා.ලෝක බැංකුව රටවල් ආදායම් කාණ්ඩවලට වර්ගීකරණය කරනු ලබන්නේ දළ ජාතික ආදායම (GNI) මත පදනම්ව වේ. දළ ජාතික ආදායමෙන් මනිනු ලබන්නේ ශුද්ධ විදේශ සාධක ආදායම ඇතුළුව නේවාසිකයන්ගේ සහ ව්‍යාපාරවල සමස්ත ආදායම තමයි.
කොහොම උනත් 2019 දී ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වීමේ GNI සීමාව $ 3,996 ක් වූ අතර 2018 වර්ෂය සඳහා ඩොලර් 4,060 ක් වූ ශ්‍රී ලංකාවේ GNI මෙම සීමාව ඉක්මවා යාමේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ආර්ථිකය දැන් සිටින්නේ චීනය, මැලේසියාව සහ තායිලන්තය වැනි සුවිශේෂී ආර්ථිකයන් ඇතුලත් කාණ්ඩයක වුණත් පසුගිය 2018 වසරේ ඩොලර් බිලියන 89 ක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 13.6 ක් ද, මැලේසියානු ආර්ථිකය ඩොලර් බිලියන 354 ක් ද තායිලන්තය ඩොලර් බිලියන 505 ක් ද විය. ඒක පුද්ගල දළ ජාතික ආදායම මැලේසියාවේ ඩොලර් 10,460 ක් ද චීනයේ ඩොලර් 9,470 ක් ද තායිලන්තයේ ඩොලර් 6,610 ක් ද වාර්තා කරන බව පේනවා.
වරක් සංඛ්‍යා ලේඛන පිලිබඳ විද්වතෙක් කිව්වා 'ඒවා ගස් නෙවෙයි. වැටෙන්නට යන ගස්වලට ගහන කරු විතරයි. එක-එක අය ඒ කරු ගහන(සිටවන) ආකාරය එයාලගේ අරමුණ අනුවයි තීරණය වෙන්නේ' කියලා.
ReplyDeleteමේ දැන් පළ කළ ඊළඟ ලිපියට මේ ප්‍රතිචාරය වඩාත් ගැලපෙනවා.
Delete