ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද නැද්ද කියා තීරණය කරන්න කැබිනට් මණ්ඩලය අද රැස් වන බව කියනවා. එය එසේනම් මේ වෙද්දී මේ සාකච්ඡාව සිදු වී තියෙන්න පුළුවන්. ලිපිය පළ වන විට තීරණය අරගෙන තියෙන්න පුළුවන්. මා මේ ලිපිය ලියන්නේ එවැනි තීරණයක් ගැන නොදැන.
ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන බව මේ වෙද්දී හැමෝම වගේ එකඟ වන, ඇහැට පෙනෙන්න තියෙන දෙයක්. ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පාන්න වෙනවා කියන එක තව දුරටත් අනාවැකියක් නෙමෙයි. මෙතැනින් එහාට ප්රශ්නයේ ස්වභාවය වෙනස් වනු ඇත්තේ කොයි ආකාරයකටද?
වහා විසඳිය යුතු, කෙටිකාලීන ප්රශ්නය ඩොලර් හිඟයයි. ඒ ප්රශ්නය පසුපස දිගුකාලීන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න නිදහස ලැබූ දා සිට හා යම් තරමකට ඊටත් පෙර සිට, ඇතැම් විට සර්වජන ඡන්දබලය ලැබූ කාලයේ සිට, ලංකාවේ ක්‍රියාත්මක වූ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්න. එහෙත්, වත්මන් ඩොලර් හිඟයට මුල් වී ඇති ප්රශ්නය උතුරේ සිවිල් යුද්ධය අවසන් වූ පසු ඇති වූ ප්‍රශ්නයක්. ප්රශ්නයේ මුල් පිළිබඳව විස්තරාත්මක තොරතුරු තවදුරටත් ලියන්න පුළුවන්. එය පසුවට තබමු.
ප්‍රශ්නයක මුල් ගැන කතා කළ යුත්තේ ප්රශ්නය විසඳීම සඳහා මුලින්ම ප්රශ්නය නිසියාකාරව හඳුනා ගෙන ප්රශ්නයේ මුල් ගලවා දැමිය යුතු නිසා මිසක් කාවවත් විවේචනය කරන්න නෙමෙයි. කෙටිකාලීන ප්රශ්නය විසඳීම සඳහා අප යෝජනා කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ. එයට පළමු හේතුව ඒ සඳහා වෙනත් අය යෝජනා කර නැති අළුත් යෝජනා කිසිවක් අපට නැති වීමයි. දෙවන හේතුව මේ කෙටිකාලීන ප්රශ්නය ඉදිරි වසර තුළ කවර ආකාරයෙන් හෝ විසඳෙන ප්‍රශ්නයක් වීමයි. වෙළඳපොළ බලවේග විසින් එය සිදු කරනු ලැබීම තවදුරටත් වැළැක්විය හැකි දෙයක් නෙමෙයි.
කෙටිකාලීන ප්රශ්නය මොන විදිහකින් විසඳුනත් දිගුකාලීන ප්‍රශ්න ඉතිරි වෙනවා. දිගුකාලීන ප්‍රශ්න ඉතිරිව තිබෙන තුරු, දැනට මොන විදිහකින් හෝ විසඳා ගත්තත්, කෙටිකාලීන ප්රශ්නය නැවතත් වසර කිහිපයකින් මතු වීම වැළැක්විය නොහැකියි. කෙටිකාලීන ප්රශ්නය විසඳාගන්න මේ වෙද්දී රටේ හැමෝටම වගේ උවමනාවක් තිබුණත්, දිගුකාලීන ප්‍රශ්න විසඳාගන්න එවැනි උනන්දුවක් තවමත් නැහැ. දිගුකාලීන ප්‍රශ්න පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට අවබෝධයක්ද නැහැ. මේ අවබෝධය බොහෝ දෙනෙකුට ලැබෙනු ඇත්තේ මීට වඩා විශාල විනාශයකින් පසු වෙන්න පුළුවන්.
කෙටිකාලීන ප්‍රශ්න වලට විසඳුම් ගැන කතා කරන එකේ තේරුමක් නැතත්, දිගුකාලීන ප්‍රශ්න වලට තිබෙන විසඳුම් ගැන කතා කරන්න පටන් ගන්න මේ හොඳම අවස්ථාව කියා අප සිතනවා. ඒ වැඩේ අපි ඉදිරි වසර තුන තුළ කරමු. එසේ කර, දැනට පෙනෙන තෙක් මානයකවත් නැති ලංකාවට අවශ්‍ය දේශපාලන විකල්පය අනාගතයේදීවත් හැදෙයිද කියා බලා සිටිමු.
හැබැයි ඊට කලින් ලංකාවට ක්ෂණිකව විසඳාගත යුතු කෙටිකාලීන ප්‍රශ්නයක් තිබෙනවා. මෙයට දැනට ඉදිරිපත්ව තිබෙන්නේ විසඳුම් දෙකක් පමණයි. පළමුවැන්න, හැකි ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මුල සිටම මේ අදහස වෙනුවෙන් පෙනී සිටියා. සජබයේ හර්ෂ ද සිල්වා වැනි අය දකින විසඳුමත් මෙයයි. සජබ නිල ස්ථාවරයද මෙවැන්නක් විය හැකියි. දේශපාලන පක්ෂයකට සෘජු සම්බන්ධයක් නැති ආර්ථික විද්‍යාඥයින් ගණනාවක්ද මේ අදහස දරනවා. දිගුකාලීනව ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම පිළිබඳ ජවිපෙ හා එජාප උපාය මාර්ගයන් අහසට පොළොව මෙන් දුරස්ථ වුවත්, කෙටිකාලීනව පවතින ඩොලර් ප්රශ්නය විසඳා ගැනීම පිණිස ජවිපෙ දකින විසඳුමද එජාප විසඳුමෙන් වෙනස් බවක් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ද මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තිබෙන එකම විසඳුම බව පිළිගන්නා තැනකට තල්ලු වී තිබෙනවා. ආණ්ඩු බලය එජාප හෝ සජබ සතුව තිබුණානම් මීට බොහෝ කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා හැකිව තිබුණා. එසේ වුනානම් අද තිබෙන ඩොලර් ප්රශ්නය මේ තරම් දරුණු මට්ටමකට ඔඩු දුවන්නේ නැහැ.
කෙටිකාලීන ප්‍රශ්නයට අප සතුව වෙනත් විසඳුමක් නැති බව අප කලින්ම කිවුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට විකල්පව ඉදිරිපත්ව තිබුණු දෙවන යෝජනාව ආණ්ඩුවේ දේශීය (homegrown) විසඳුමයි. මේ විකල්පය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේත්, ඒ අනුව ලංකාවේ ආර්ථිකය මෙහෙයවමින් ඉන්නේත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්. ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සඳහා හේතු ගණනාවක් තිබෙනවා. පළමු හේතුව ලංකාවේ ආර්ථිකයේ ප්රශ්නය දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගත යුතු නැති, කොත්තමල්ලි බී සනීප කරගත හැකි, පොඩි හෙම්බිරිස්සාවක් පමණක් වීමයි. දෙවන හේතු වන්නේ දොස්තර බෙහෙත් වල අතුරු ආබාධයි.
තමන්ගේ කොත්තමල්ලි විසඳුම පසුගිය ඔක්තෝබර් මාසය ආරම්භයේදී අධිපති කබ්රාල් විසින් රටට හා ලෝකයට ඉදිරිපත් කළා. වැඩි දෙනෙකු එතරම් බරපතල සේ නොසැලකූ මේ සැලසුමේ තිබුණු දේවල් මා පෙර ලිපියකින් විස්තර කළා.
"කබ්රාල්ගේ මාස හයේ මාර්ග සිතියම කුමක්ද?
ඉතා කෙටියෙන් කිවුවොත්, කබ්රාල් විසින් කරන්න යන්නේ ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඩොලර් කෙසේ හෝ හොයා ගැනීමයි. වැල් වටාරම් ඉවත් කර මාර්ග සිතියමේ අදාළ කරුණු පමණක් ගත්තොත්, විණිමය අනුපාතය මේ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ඩොලර් හොයා ගන්න යන්නේ කොහොමද?
- රජයක් විසින් රජයකට දෙන (G2G) ණය ලෙස කෙටිකාලීනව ඩොලර් බිලියනයක් (ඉදිරි මාස තුන ඇතුළත මිලියන 500ක්) ලබා ගැනීම.
- රාජ්‍ය දේපොළ විකිණීමෙන් ඩොලර් බිලියනයක් ලබා ගැනීම.
- බදු සමා පනතේ උදවුවෙන් ඩොලර් මිලියන 100ක් හොයා ගැනීම.
- කෙටිකාලීන විණිමය හුවමාරු ගිවිසුම් හරහා ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීම
- රට තුළට රැගෙන විත් නැති අපනයන ආදායම් ඩොලර් බිලියන 1.8ක් (මාසයකට ඩොලර් මිලියන 300 බැගින්) රටට ගෙන්වා ගැනීම.
- ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම.
- ඩොලර් මිලියන 300ක පමණ සංවර්ධන බැඳුම්කර විදේශිකයන්ට විකිණීම.
- බැංකු/ මූල්‍ය ආයතන විසින් ඩොලර් බිලියන 1.5ක විදේශ ණය ලබා ගැනීම.
දැන් මේ ටික එකතු කළොත් සාරාංශයක් ලෙස ඩොලර් හොයා ගන්න යන්නේ ඩොලර් බිලියන 4.3ක ණය ලබා ගැනීම, ඩොලර් බිලියන 1.1ක විදේශ ආයෝජන ගෙන්වා ගැනීම හා ආපසු නොයන ඩොලර් බිලියන 2.8ක් රට තුළට ගෙන්වා ගැනීම ලෙසයි. එකතුව ඩොලර් බිලියන 8.2ක් පමණ වෙනවා.
ඉදිරි මාස හයක කාලය තුළ ඔය විදිහට ඩොලර් බිලියන 8.2ක් හොයා ගන්න පුලුවන්නම් එම කාලය තුළ ගෙවිය යුතු ණය ගෙවා, අපනයන වෙනුවෙන්ද අවශ්‍ය පමණ ඩොලර් වැය කර, සංචිතද නැවත ඉහළ නංවා ගන්න පුළුවන්. එවැනි ඩොලර් ප්‍රමාණයක් ලැබේනම් ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න බැරිකමක් නැහැ.
මේ ඇස්තමේන්තු කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. එහෙත් ඉලක්ක සේ සැලකුවොත් නරක නැහැ. දැන් අපට තියෙන්නේ ඉදිරි මාස හය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය දෙස බලා ඉන්නයි."
දැන් මේ සැලසුම ඉදිරිපත් කරලා මාස දෙකහමාරක් ගත වෙලා. එම කාලය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය කොහොමද?
රටට විශාල හානියක් කරමින් ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගැනීමට විශාල උත්සාහයක් දැරුවත් මේ වෙද්දී එය කර ගන්න බැරුව ඩොලරය රුපියල් 210 බැගින් මාරු කරන්න ඉඩ දෙන්න වෙලා. නමුත් ඒ ගාණට වුනත් ඩොලර් මාරු කරන්න කවුරුවත් කැමති නැහැ. කොත්තමල්ලි විසඳුමේ විදිහට බිලියන ගාණක් ඩොලර් හොයා ගන්න එක කොහොම වෙතත්, තමන්ට අවශ්‍ය මට්ටමේ විණිමය අනුපාතය නඩත්තු කරන්න මේ වෙද්දී තිබුණු සොච්චම් සංචිත වලිනුත් සෑහෙන කොටසක් විකුණලා.
කොත්තමල්ලි විසඳුම කියා කිවුවේ කබ්රාල් මේ වචනය යොදාගත් නිසා මිසක් කොත්තමල්ලි බොන අයට කරන අපහාසයක් විදිහට නෙමෙයි. කොත්තමල්ලි කියන්නේ කෝකටත් තෛලයක් නොවන බව කොත්තමල්ලි බොන දන්නවා. ලංකාවට හැදිලා තියෙන ලෙඩේ කොත්තමල්ලි බීලා සනීප කළ හැකි පොඩි හෙම්බිරිස්සාවක් නෙමෙයි.
කබ්රාල් අධිපති ධුරය භාර ගත්තේ සැප්තැම්බර් මැද. සැප්තැම්බර් මාසය පටන් ගනිද්දීත් මහ බැංකුවේ ඩොලර් මිලියන 3,550ක සංචිත ප්‍රමාණයක් තිබුණා. නොවැම්බර් අවසාන වෙද්දී මේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. කබ්රාල්ගේ කොත්තමල්ලි විසඳුමේ සාර්ථකත්වය මේ ගණන් දිහා බැලූ විටම පැහැදිලි වෙනවා.
කෙසේ වුවත්, ඔහුගේ පැත්තෙනුත් ප්රශ්නය දිහා බලමු. කබ්රාල් ඉදිරිපත් කළේ සයමාසික වැඩපිළිවෙලක්. ඒ වගේම, වැඩපිළිවෙළ ආරම්භයේදී යම් තරමකින් සංචිත අඩු වෙන බවත් ඔහු කිවුවා. ඒ නිසා තවත් මාස තුනකින් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හත අටක් වෙයි කියලා අපිට හිතන්න බැරිද? කබ්රාල් ඉදිරි මාස තුනේදී වැඩ පෙන්නයිද?
පළමුව, මේ වැඩපිළිවෙළ ප්‍රායෝගික නැති වැඩ පිළිවෙලක් බව මුලදීම බොහෝ දෙනෙකුට පැහැදිලිව පෙනෙන්න තිබුණා. ඒ හැමෝටම වැරදිලා කබ්රාල්ගේ ඇස්තමේන්තු නිවැරදි වෙන්නනම්, එහෙම වෙන බව මුල සිටම පෙනී යා යුතුයි. නමුත් පේන්නේ අනෙක් බොහෝ දෙනෙක් දුටු දෙය මිසක් කබ්රාල් දුටු දෙය නෙමෙයි. ඉතිරි මාස තුනේ මෙතෙක් සිදු නොවුණු අමුතු මැජික් එකක් වෙයි කියා හිතන්න බැහැ. කබ්රාල් මේ ඇස්තමේන්තු හා සැලසුම ඉදිරිපත් කළේ තනි පුද්ගලයෙක් ලෙස නොවන නිසා ආර්ථිකය වල පල්ලට දැමීමේ අපකීර්තිය සමස්ත මහ බැංකුවටම බාර ගන්න වෙනවා.
කබ්රාල් ඇතුළු ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තරම් අසාත්මික වුනේ ඇයි?
බන්දුල ගුණවර්ධන විසින් කියා ඇති පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් ආණ්ඩුවට අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීමට හා ඒ වෙනුවෙන් සේවක වැටුප් මෙන්ම විශ්‍රාම වැටුප් ප්රදානය කිරීම පවා සීමා කිරීමටත්, ගෑස් මිල ඉහළ දැමීමටත් සිදු වෙනවා. ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු වෙනවා. කබ්රාල් විසින්ද මෙවැනි ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණා.
කලින් විස්තර කර ඇති පරිදි, ණය ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි පනවන්නේ නැහැ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමුපකාර සංගමයක් වැනි තැනක්. ඔවුන් සාමාජික රාජ්‍යයන්ට ණය ලෙස ලබා දෙන්නේ ලංකාව ඇතුළු සාමාජික රාජ්‍යයයන්ගේම මුදල්. එම මුදල් ආපසු ලැබෙන බවට ඔවුන් වග බලාගත යුතු වෙනවා. ඒ නිසා, ණය ලබා ගන්නා රටට තමන් රටේ තත්ත්වය යහපත් කරගෙන ණය ආපසු ගෙවන ආකාරය අරමුදලට කියන්න වෙනවා.
ඉහත ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ රටේ ආර්ථික තත්ත්වය ණය ආපසු ගෙවිය හැකි මට්ටමකට වැඩි දියුණු කර ගැනීම සඳහා අයවැය පරතරය අඩු කර ගැනීම හා ඩොලරය පාවෙන්නට ඉඩ දීම වැනි දේ කරන්නම වෙන බව බන්ධුල ගුණවර්ධන, කබ්රාල් වැනි අයද විශ්වාස කරන බවයි. වෙනත් විසඳුමක් ඇත්නම් ඔවුන්ට ඒ විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට හැකි විය යුතුයි. අනෙක් අතින් එයින් අදහස් වන්නේ කබ්රාල්ගේ කොත්තමල්ලි විසඳුම යම් හෙයකින් විසඳුනත්, එය තවත් ණය ගන්නා සැලසුමක් මිසක් එසේ ගත් ණය ආපසු ගෙවිය හැකි ආකාරයේ සැලසුමක් නොවන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම මෙයින් වෙනස් වන්නේ එයද තවත් ණය ගන්නා සැලසුමක් වුවත් එසේ ගත් ණය ආපසු ගෙවිය හැකි ආකාරයේ සැලසුමක්ද එයට අඩංගු වීම යන කරුණ මතයි. එහෙත්, එවැනි සැලසුමකින් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අලුතෙන් ගන්නා ණය ආපසු ගෙවන ආකාරය මිස ලංකාව කාලයක් තිස්සේ ගොඩ ගසා ගෙන සිටින දැවැන්ත ණය කන්දෙන් නිදහස් වීමේ සැලසුමක් අඩංගු නොවන නිසා නැවතත් වසර කිහිපයකින් පසුව ප්රශ්නයේ මුලට එන එක වලක්වන්න බැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ගැන ආණ්ඩුව මේ වෙද්දී සලකා බලමින් ඉන්නේ ඇයි?
මෙයට ආසන්න හේතුව මේ වන විට ලංකාවේ නිල සංචිත, රත්රන් ආදියද ඇතුළුව, ඩොලර් බිලියන 1.5 පමණ දක්වා පහත වැටී තිබීමයි. මේ තත්ත්වය යටතේ වුවද ජනවාරි මාසයේ පියවිය යුතු ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කරය පියවිය හැකි වුවත්, ජූනි මාසයේ පියවිය යුතු ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ හැකියාවක් නැහැ. කබ්රාල්ගේ කොත්තමල්ලි වැඩසටහන වැඩ නොකරන බවත් ඉතා පැහැදිලියි. මේ තත්ත්වය යටතේ, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියත්, අදාල කටයුතු අවසන් වීමට මාස හයකට වඩා වැඩි කාලයක් යා හැකි නිසා, වසර මැද ගෙවිය යුතු ඩොලර් බිලියන ගෙවිය නොහැකි වීමට ඉඩ තිබෙනවා.
ආණ්ඩුව අද ගන්නා තීරණය කුමක් වෙයිද?
මෙය තීරණය වන්නේ ආණ්ඩුවේ තක්සේරුව අනුව ජූලි මාසයේදී ඩොලර් බිලියනයක් ගෙවීමට රජයට තිබෙන හැකියාව මතයි. යම් හෙයකින් තව දුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා සිටීමේ මතය තුළම ආණ්ඩුව රැඳී සිටියහොත් එයින් අදහස් වන්නේ වසර මැදදී මෙම බැඳුම්කරය පියවීම සඳහා ඩොලර් හොයා ගත හැකි වනු ඇති බවට ආණ්ඩුවට දැඩි විශ්වාසයක් ඇති බවයි. එසේ නොවී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ආණ්ඩුව අද තීරණය කළහොත් එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ බහුතර මතය අනුවම ණය පැහැර හරින්නට සිදුවන තැනට ලංකාවේ රජය වැටී තිබෙන බවයි.
තව දුරටත් කොත්තමල්ලි විසඳුම තුළම රැඳී සිටින්නට ආණ්ඩුව තීරණය කළා කියා අපි හිතමු. එම විසඳුම තුළ වුවද, කීයටවත් ණය පැහැර හරින තැනකට වැටෙන්නට ආණ්ඩුවට අවශ්‍ය නැහැ. එවැනි තත්ත්වයක් ඇත්නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යනවා. දැන් තිබෙන තත්ත්වය අනුව ජනවාරියේදී ස්වෛරීත්වය බැඳුම්කරය පියවීමට අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 500ක් යන නිසා නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයක් දක්වා පහත වැටෙනවා. ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 600ක් පමණ දක්වා පහත වැටෙනවා. ඊට අමතරව, විණිමය අනුපාතය පවතින මට්ටමේ නඩත්තු කරමින් අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා දෙසැම්බර් හා ජනවාරි දෙමස තුළ තවත් ඩොලර් මිලියන 500-600 පමණ ප්‍රමාණයක් වැය විය හැකි නිසා වසර මැද දක්වා ඇද ගන්න එක කළ නොහැකි තරම් අසීරු දෙයක්.
ඉන්දියාවෙන් ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබුනා කියා හිතමු. කොහොමටත් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙනුත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවන්නත් මේ මුදල් යොදා ගන්න පුළුවන්. චීනයෙන් දැනටමත් ලැබී තිබෙන ණය මුදල චීන ආනයන හා චීන ණය වෙනුවෙන් තව දුරටත් වැය කළ හැකියි. එසේ කළත් වසර මැද ඩොලර් බිලියනයක් ආපසු ගෙවන එක අසීරු ඉලක්කයක්. ඒ නිසා, මහ බැංකුවට ඊට පෙර අනිවාර්යයෙන්ම විනිමය අනුපාතය අවප්‍රමාණය කරන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියා කියා මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ.
ආණ්ඩුවේ වියදම් සීමා කර අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන ආණ්ඩුව දැනටමත් කියා අවසන්. ඒ වගේම, ලබන වසරේ රාජ්‍ය සේවකයින් අලුතෙන් බඳවා නොගන්නා බවත් කියා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියත්, එම අරමුදල විසින් දමන කොන්දේසි සේ ආණ්ඩුවට සම්බන්ධ අය විසින් හඳුන්වන ක්‍රියාකාරකම් කරන්න මේ ආණ්ඩුවට කොහොමටත් සිදු වෙනවා.
විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම ගැන පමණක් අපි බලමු. මෙහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. උද්ධමනය වැඩි වෙනවා. රජයේ විදේශ ණය වල රුපියල් වටිනාකම වැඩි වී අයවැය හිඟය ඉහළ යනවා. එය පියවීමට එක්කෝ තවතවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැත්නම් පොලී අනුපාතික විශාල ලෙස වැඩි වෙන්න ඉඩ දෙන්න වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස වැඩි වන විට ඒ හේතුවෙන්ද ආණ්ඩුවේ වියදම් වැඩි වී අයවැය හිඟය ඉහළ යනවා. සහන කපා බදු වැඩි කරන්න වෙනවා. ආණ්ඩුවේ කිසියම් ජනප්‍රියත්වයක් තවදුරටත් ඇත්නම් එයද පහළ වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියා කියා මේ දේවල් වලක්වා ගන්න බැහැ.
විපක්ෂයේ පක්ෂ බලා ඉන්නේ මේ ටික වෙන තුරුයි. ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙද්දී විපක්ෂයට බලය ලැබෙනු ඇතැයි සජබ සිතනවා. ජවිපෙටද එවැනි යම් බලාපොරොත්තුවක් තිබෙනවා. යම් හෙයකින් ආණ්ඩුව මේ මොහොතේ වැටී විපක්ෂයේ පක්ෂයක් බලයට ආවොත් ඔවුන්ට තිබෙන එකම විකල්ප විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හා එම අරමුදල වෙත යාමේ උදවුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඔවුන් සතු වෙනත් විකල්පයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තුළ ඉහත අහිතකර තත්ත්වයන් වැළකෙන්නේ නැහැ. ඒ නිසා, ප්රශ්නය කවර ආකාරයකින් හෝ විසඳෙන තුරු ආණ්ඩු බලය ගන්න විපක්ෂයට ඇත්තටම අවශ්‍ය නැහැ.
කෙසේ වුවත්, මේ දේවල් වෙන්නේ ආණ්ඩුව මාරු වුනොත් පමණයි. ඒ වගේම, ආණ්ඩු මාරුවක් වීම පරිකල්පනීය අදහසක් පමණයි. අරමුදල් විකල්පය හෝ කොත්තමල්ලි විකල්පය යන දෙකෙන් කොයි එක තෝරා ගත්තත් ඇති වන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ මේ ආණ්ඩුවටයි.
මට පෙනෙන විදිහට ආණ්ඩුව විසින් කරන්නේ සියුම් දේශපාලන ක්‍රීඩාවක්. ආණ්ඩුව විසින් හිතාමතාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රතික්ෂේප කරමින් එහි අහිතකර විපාක ගැන ජනතාව දැනුවත් කරමින් සිටිනවා. විපක්ෂය, විශේෂයෙන්ම එජාප සහ සජබ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන මෙන් ආණ්ඩුවට බල කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ කොයි වෙලාවක හෝ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමෙන් පසු විපක්ෂයට තව දුරටත් ආණ්ඩුවට චෝදනා කරන්න ඉඩක් ඉතිරි වන්නේ නැහැ. ඉන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට තබා ආණ්ඩුවට අර "නරක දේවල්" සියල්ල පහසුවෙන් කළ හැකියි. කෝවිඩ් පාලනයේ සිට රසායනික පොහොර තහනම දක්වා බොහෝ අවස්ථා වලදී ආණ්ඩුව අනුගමනය කළේ මේ එකම උපක්‍රමයයි.