වෙබ් ලිපිනය:

Saturday, November 14, 2020

බයිඩන් නැගිට්ටේ කොහොමද?


ඇමරිකාවේ ඡන්දදායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කවර හෝ දේශපාලන පක්ෂයක් යටතේද ලියාපදිංචි වන බව මම කලින් ලිපියේ ලිවුවනේ. එම ලිපියේ විස්තර කළ පරිදි, මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

දැන් මේ ආකාරයට කිසියම් පක්ෂයක් යටතේ ලියාපදිංචි වුනා කියලා එම පක්ෂයටම ඡන්දය දෙන්න අවශ්‍ය නැහැ. ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වී හිටියත්, රිපබ්ලිකන් හෝ වෙනත් පක්ෂයක් යටතේ ලියාපදිංචි වී හිටියත්, කිසිදු පක්ෂයකට සම්බන්ධ නැති අයෙකු ලෙස ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වී හිටියත්, කිසිදු වෙනසක් නැතුව ජාතික මැතිවරණයකදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න පුළුවන්. මේ විදිහටම ඕනෑම කෙනෙකුට වෙනත් පක්ෂයක කෙනෙකුට ඡන්දය දෙන්නත් පුළුවන්.

මේ නිදහස තිබුණත් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වන අය, අපේක්ෂා කළ හැකි පරිදිම, බොහෝ විට ඡන්දය දෙන්නේ එම පක්ෂයේ අපේක්ෂකයෙකුටයි. රිපබ්ලිකන් පක්ෂය හා අදාළවත් මෙය එලෙසමයි. කුඩා පක්ෂ යටතේ ලියාපදිංචි වී ඉන්න අයනම් අන්තිමේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක දුලබ දෙයක් නෙමෙයි. පක්ෂයකට බැඳීමක් නැති අය බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ඡන්දය දෙනවා වගේම ඔවුන් බොහෝ දෙනෙකුටත් මේ පක්ෂ දෙකෙන් එකක් වෙත නැමියාවක් තිබෙනවා. වෙනස පක්ෂය වෙත බැඳීම එතරම් දැඩි නොවීම පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් ඒ ගොඩේ ඉන්න බොහෝ දෙනෙකුත් "පාවෙන ඡන්දදායකයින්" කියා කිව හැකි අය නෙමෙයි.

එක් එක් පක්ෂ යටතේ ලියාපදිංචි වන ඡන්දදායකයින් ප්‍රමාණ අනුව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන්. කැලිෆෝර්නියා ප්‍රාන්තය සැලකුවොත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රමාණය රිපබ්ලිකන් පාක්ෂිකයින් ප්‍රමාණයට වඩා දෙගුණයකට ටිකක් අඩුයි. මැතිවරණයේ සැබෑ ඡන්ද භාවිතය බැලුවහම ගොඩවල් දෙකම විශාල වී තිබුණත් ආසන්න වශයෙන් අනුපාතය සමානයි.

කොහොමටත් ඩිමොක්‍රටික් පක්ෂයේ බල කඳවුරක් වන කැලිෆෝර්නියා ප්‍රාන්තය අත ඇරලා පක්ෂ දෙකටම ආසන්නව සමාන බලයක් තිබෙන ෆ්ලොරිඩා වගේ ප්‍රාන්තයක් දිහා බැලුවත් ඉහත කී කරුණ තහවුරු කර ගන්න පුළුවන්. නමුත්, ඒ මත පදනම්ව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව අවසන් නිගමනයකට එළැඹෙන්න අසීරුයි. මෙවර මැතිවරණයට පෙර, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයින් පක්ෂ වලට බෙදී සිටියේ (හෝ නොසිටියේ) පහත ආකාරයටයි.

ඩිමොක්‍රටික් - 5,203,795 (37.0%)

රිපබ්ලිකන් - 5,020,199 (35.7%)

වෙනත් පක්ෂ - 188,587 (1.3%)

පක්ෂයකට බැඳීමක් නැති - 3,653,046 (26.0%)

මම කලින් ලිපියක ලිවුවනේ මම පෞද්ගලිකව ඇසුරු කරන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කියලා. ඒ අය අතර රිපබ්ලිකන් පාක්ෂිකයින් නැති තරම්. එහෙත්, ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි නොවූ, "පක්ෂයකට බැඳීමක් නැති" ගොඩේ ඉන්න අය.

මගේ මේ මිතුරු මිතුරියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවෙන් පැමිණි පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්. මාද ඇතුළු මේ පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ එක කකුලක් තවම ලංකාවේ තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයිනේ. ලංකාවේ ජනමතය නියෝජනය කරමින් මේ බොහෝ දෙනෙක්ද රාජපක්ෂවාදියෝ. එජාප, ජවිපෙ වැනි ලංකාවේ වෙනත් පක්ෂ වලට පක්ෂපාතිත්වයක් තිබෙන ටික දෙනෙක්ද ඉන්නවා. 

ලංකාවේ ජනමතය කියා කිවුවේ අර තාප්ප පාට කරපු කාලයේ ජනමතය ගැන මිසක් දැන් ජනමතය ගැන නෙමෙයි. මම බ්ලොග් එක පටන් ගත්ත කාලයේ හැම තැනම හිටියේ යහපාලනය වෙනුවෙන් ඡන්දය දීපු අය. හැබැයි ටික දවසක් යද්දී එහෙම කෙනෙක් බේතකටවත් හොයා ගන්න නැහැ. බේතකට වගේ ඕනෑ වුනොත් රාජපක්ෂවාදීන්නම් තවමත් හොයාගන්න අමාරු නැහැ.

ට්‍රම්ප් ඇමරිකාවේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටි කාලයේදී වුවත් ඇමරිකාවෙන් පිටත ඔහුට තිබුණේ දැඩි අප්‍රසාදයක්. විශේෂයෙන්ම යුරෝපය ප්‍රමුඛ අනෙකුත් බටහිර රටවල. එහෙත්, ලංකාවේ ජාතිකවාදීන් හා රාජපක්ෂවාදීන් හිටියේ මීට වඩා වෙනස් ස්ථාවරයක. ඇමරිකාවෙන් පිටත ට්‍රම්ප්ට වැඩිම කැමැත්තක් තිබුණු රට සමහර විට ලංකාව වෙන්න වුනත් බැරි නැහැ.

හැබැයි ලංකාවෙන් සංක්‍රමණය වී ඇමරිකාවේ ජීවත්ව සිටි දැඩි රාජපක්ෂවාදීන් පවා කිසි විටෙක ට්‍රම්ප්වාදියෙකු වූ බවක් මම නිරීක්ෂණය කරලා නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ ලංකාවේ කවර දේශපාලන පක්ෂයකට වුවත් ඇමරිකාව ඇතුළේදීනම් ඉතිං ඩිමොක්‍රටික් තමයි.

ලාංකික සම්භවයක් නැති මගේ මිතුරු මිතුරියන්ගෙන් වැඩි දෙනෙක්ද සංක්‍රමණිකයින්. මේ අය අතර ඉන්දියාව, චීනය, වෙනත් නැගෙනහිර හා දකුණු ආසියානු රටවල්, රුසියාවෙන් හා පැරණි සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල් වලින් පැමිණි අය, දකුණු ඇමරිකාවේ විවිධ රටවලින් පැමිණි අය, අප්‍රිකාවේ විවිධ රටවලින් පැමිණි අය වගේම බටහිර යුරෝපීය රටවල් වලින් හා කැනඩාවෙන් පැමිණි අයත් ඉන්නවා. පොදුවේ ගත්තහම මේ කාගේත් කැමැත්ත තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ඔවුන් වැඩි දෙනෙක් ට්‍රම්ප් විරෝධීන්.

ඊට අමතරව මගේ මිතුරන් සේ සැලකිය හැකි සංක්‍රමණිකයින් නොවන සුදු ඇමරිකානුවන් හැම දෙනෙක්ම වාගේත් ඩිමොක්‍රටික් පැත්තට බර අයයි. ඔවුන් හැම දෙනෙක්ම වගේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන වෘත්තීය රැකියා කරන අය. ඒ අයට පොදු වශයෙන් ගත් විට ට්‍රම්ප් ප්‍රශ්නයක් වී තිබෙන්නේ ට්‍රම්ප් විසින් විද්‍යාව පිළි නොගැනීම හා ඇමරිකාවේ ආයතනික පද්ධතියට ගරු නොකිරීම හේතුවෙනුයි.

වෘත්තීය මට්ටමෙන් මා දන්නා රිපබ්ලිකන් පක්ෂයට බර අදහස් ඇති, පොදුවේ ඇමරිකාව තුළ හා ඇමරිකාවෙන් පිටතත් පිළිගැනීමක් තිබෙන, ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ නොවන්නේ විද්‍යාව මත පදනම්වයි. රිපබ්ලිකන් පාක්ෂිකයින් වුවත් ඔවුන්ගෙන් ඇතැම් අයටත් ට්‍රම්ප් සමඟ ප්‍රශ්න තිබෙනවා.

කෙසේ වුවත්, මා ජීවත් වන ප්‍රදේශය ඉතා පැහැදිලි ලෙසම රිපබ්ලිකන් ප්‍රදේශයක්. මේ රිපබ්ලිකන් පාක්ෂිකයින් අතර මා සමඟ හිතවත්, නිතර හමුවෙන හා කතාබස් කරන, අසල්වැසියන් බොහෝ දෙනෙක් සිටිනවා විය යුතුයි. එහෙත්, ඔවුන් දේශපාලනය කතා කරන්න එන්නේ නැහැ. ඇතැම් විට මා සංක්‍රමණිකයෙකු හා සුළු ජාතිකයෙකු වීම ඊට හේතුවක් විය හැකි වුවත් ඊටත් වඩා මෙය ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය දෙන අයගේ මූලික ස්වභාවයක්.

ට්‍රම්ප්වාදීන් ට්‍රම්ප් විරෝධීන්ට සාපේක්ෂව පැත්තකට වී පාඩුවේ ඉන්න පිරිසක්. ඔවුන් තර්කනය මත පදනම්ව හෝ සාක්ෂි මත පදනම්ව තීරණ ගන්නා අය නෙමෙයි. ට්‍රම්ප් කියන්නේ ඔවුන්ට ආගමක් වගේ. ලංකාවට රාජපක්ෂලා වගේ.

පසුගිය දෙසැම්බරය වන විටත් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය පෙනෙන සීමාවක හිටියේ නැහැ. පළමුව කෝවිඩ්-19 වසංගතය විසිනුත්, දෙවනුව ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසුව හමා ගිය විරෝධතා රැල්ල නිසාත් ඩිමොක්‍රටික් පක්ෂයට ගැම්මක් ආවා. හැබැයි කරුණු දෙකේදීම ට්‍රම්ප්ගේ විවේචකයින් වී සිටියේ කොහොමටත් ට්‍රම්ප් විරෝධීන්ව සිටි අයයි. ට්‍රම්ප්වාදීන් දිගටම ට්‍රම්ප් සමඟ හිටියා. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට හේතු වුනේ ට්‍රම්ප්වාදීන්ව සිටි ඇමරිකානුවන් විසින් ට්‍රම්ප්ව අතහැර බයිඩන්ව වැළඳ ගැනීම නෙමෙයි. එහෙම දෙයක් වුනේ නැහැ.

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ යාමයි. එසේනම්, අපට විග්‍රහ කරන්න වෙන්නේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ ගියේ කොහොමද කියන කාරණයයි. බ්ලොග් එක පටන් ගත් අලුත ලියා පළ කළ පහත ලිපිය මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.



(Image: https://www.reddit.com/r/pics/comments/12xwqq/joe_biden_doing_pushups_with_little_girls/)

16 comments:

  1. /ට්‍රම්ප් කියන්නේ ඔවුන්ට ආගමක් වගේ. ලංකාවට රාජපක්ෂලා වගේ/
    මේක නම් හිතන්න අමාරුයි.ට්‍රම්ප් ගියවර දිනුවේ රිපබ්ලිකන් පක්ෂයෙන් ඉල්ලපු නිසා.ඔවුන් රිපබ්ලිකන් පාක්ෂිකයන් මිස ට්‍රම්ප් වාදීන් නොවන බවයි මා හිතන්නේ.පක්ෂයකට බැඳීමක් නැතිව ට්‍රම්ප් නැවත ඉල්ලුවොත් වෙනදේ හිතන්න.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය පෙර ලිපිද සමඟ එක්ව ගෙන කියවන්න. ඔබ කියනවා වගේම පක්ෂයකට බැඳීමක් නැතිව ට්‍රම්ප් නැවත ඉල්ලුවොත් දිනන්න ඉඩක් නැහැ. මොකද ඔහුගේ ඡන්ද වල බේස් එක රිපබ්ලිකන් පක්ෂයෙන් කවුරු ඉල්ලුවත් ලැබෙන ස්ථිර ඡන්ද ටික. නමුත් ඇමරිකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය තීරණය වෙන්නේ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේ ස්ථිර ඡන්ද විශාල ප්‍රමාණයෙන් නෙමෙයි. ස්ථිර නැති ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයකින්. ඡන්ද 77,744ක් එහා මෙහා වුනානම් පසුගිය වර ට්‍රම්ප් දිනන්නේ නැහැ. මෙවර බයිඩන්ගේ ජයග්‍රහණය තීන්දු වෙන්නේ ඊටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයකින්. මේ ආන්තික ඡන්ද ප්‍රමාණයට වඩා ට්‍රම්ප්වාදීයැයි කිව හැකි ඡන්ද ප්‍රමාණය ගොඩක් වැඩියි. ඒ ඡන්ද රිපබ්ලිකන් ඡන්දම විය හැකි වුවත් ඒවා ඡන්ද පොළට ඇද්දවූයේ ට්‍රම්ප් කියන පුද්ගල සාධකය විසින්. අනෙක් අතට මෙවර බයිඩන්ව දිනවමින් විශාල පිරිසක් ඡන්ද පොළට ඇද්දවීමට හේතු වුණෙත් ට්‍රම්ප් කියන පුද්ගල සාධකය. ඒවාට බයිඩන්වාදී ඡන්ද කියන්න බැරි වුනත් ට්‍රම්ප් විරෝධී ඡන්ද කියා කිව හැකියි. 2015දී ලංකාවේ රාජපක්ෂ ඡන්ද හා රාජපක්ෂ විරෝධී ඡන්ද වගේ.

      Delete
  2. what happens if trump does not concede even after a supreme court verdict? Pence just indicated that they going to stay right?

    ReplyDelete
  3. /* හැබැයි ලංකාවෙන් සංක්‍රමණය වී ඇමරිකාවේ ජීවත්ව සිටි දැඩි රාජපක්ෂවාදීන් පවා කිසි විටෙක ට්‍රම්ප්වාදියෙකු වූ බවක් මම නිරීක්ෂණය කරලා නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ ලංකාවේ කවර දේශපාලන පක්ෂයකට වුවත් ඇමරිකාව ඇතුළේදීනම් ඉතිං ඩිමොක්‍රටික් තමයි. */

    එය වැරදි නිරීක්‍ෂණයක්.
    උදාහරණ ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම කවුරුවත් නැති වෙන්න බැහැනේ. නමුත්, ඉතාම අඩුයි.

      Delete
    2. ඒක හරි නිරීක්ෂණයක් නම් හේතුව මොකක්ද? මෙහෙ ම ලංකාවේ අය ගැන බැලුවොත් යුඇන්පී (සජිත් පිල) හා රාජපක්ෂ පිලේ අය ට්‍රම්ප් ට කැමති බවයි පෙනුනේ. මේ අයමයි යුරෝපා සංගමයෙන් එලියට යන්න චන්දය දුන්නෙත්. කොහොමත් යුඇන්පී කට්ටිය ඇමෙරිකාවට පක්ෂ බවයි පේන්නේ .රාජපක්ෂ පිලේ විමල් පැත්ත, ජවිපෙ , පෙසප වගේ අය ඔය දෙකටම කැමති නැති බවයි පේන්නේ. එනිසා මේ නිරික්ෂණයට මොකක් හරි හේතුවක් තියනවාද

      Delete
  4. කොරෝනාවට එන්නත සොයාගත් ජර්මන් Biotech සමාගමේ හිමිකාර දොස්තර යුවල තුර්කි සංක්‍රමිකයන්.මට දොස්තර ශාෆි නාඩගමේ වඳ සැත්කම මතක් වෙනවා.පිරිසිඳු සිංහලයෝ තම්බිගේ බේත විද නොගත්තත් කමක් නැහැ.Biotech සමාගමේ කොටස් වෙළඳපොළ අගය ඩොලර් බිලියන 22ටත් වඩා ඉහළට ගිහිං.

    ReplyDelete
    Replies
    1. මට වැඩිම කුතුහලයක් තියන්නේ ප්‍රතිශක්තිකරන එන්නත් කියා කියන්නේ තනිකරම බටහිර කුමන්ත්‍රණයක්, ඒවායින් කරන්නේ සංවිධානාත්මකව නැති ලෙඩ හැදීමක් කියා කියන අය එන්නත් එපා කියලා ආණ්ඩුවට බල කරයිද, එහෙම කරන්නේ නැත්නම් ඒ ඇයි කියන එකයි.

      Delete
    2. Econ, ඔබ දේවත්වයෙන් අදහන බටහිර වෙදකම නමැති ආගමට අනුව වයිරසයක් නමැති දෙයක් නිසා තමයි කොවිඩ් 19 පැතිරෙන්නේ. එය කතන්දරයක් පමණයි.

      ඇත්ත වශයෙන්ම කියතොත් අප වයිරසය තියා අංශුවක් කියන්නේ මොකක් ද කියාවත් දන්නේ නැහැ. අංශුව කියන්නේ බටහිර සංකල්පයක්. අංශු භෞතික විද්‍යාව (Particle Physics) කියලම විෂයක් තියෙනවා. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙන් අංශුවක් කියන්නේ මොකක් ද කියා දැන ගන්න බැහැ. අංශුවක් යනු කුමක් ද?

      "It has been thought of as many things: a pointlike object, an excitation of a field, a speck of pure math that has cut into reality. But never has physicists’ conception of a particle changed more than it is changing now.

      (Courtesy Quanta Magazine - එය කඩුවෙන් ලියැවුණු එකක්. මෙය කඩුව කඩුවටම විරුද්ධව යොදා ගැණුනු තැනක්.)

      තවත් Science of the Total Environment සඟරවේ පළ වුවක් මා මෙය ඉදිරිපත් කරන්නේ බටහිර විද්‍යාවේ අනිශ්චතාව පෙන්නුම් කිරීමට. මේ ලිපිය අනුව කොවිඩ් හා වතුර අතර සම්බන්ධයක් තියෙනවා.

      FOCUS on Covid-19 Diagnosis by Wastewater-Based Epidemiology: SARS-CoV-2 Concentration and Detection Methods, Biomarkers and Future Perspectives ලිපිය කොවිඩ් හා වතුර ගැන බටහිර විද්‍යා සඟරාවක පළ වූ පත්‍රිකාවක්. ඒ අනුව කොවිඩ් පැතිරීම හා වතුර යම් සම්බන්ධයක් තියෙනවා. මා එය ඉදිරිපත් කරන්නේ බටහිර විද්‍යාව හරි කියන්නවත් බටහිර විද්‍යාව මගේ තර්කයක් වෙනුවෙන් යොදා ගැනීමටවත් නො වෙයි. බටහිර විද්‍යාවේ තවත් ලිපි පත්‍රිකා ඇති එහෙම සම්බන්ධයක් නැහැ කියන්න. මා කියන්නේ බටහිර විද්‍යාවේ ඔය කියන නිශ්චය බවක් නැති බව. හයිසන්බර්ග් අනිශ්චය මුල ධර්මයෙන් කියැවෙන්නේ එය නොවන බවත් කියන්න ඕන.

      දැන් ඒ වගේම කියන්න බලන්න කුරානයේ කියා ඇත්තේ කොහොම ද කියලා. කොවිඩ් වැනි තත්වයක් යටතේ වුව ද භූමදාන කළ යුතු යැයි එහි කියා තියෙනවා ද? දැන් කියන්න එපා එකල කොවිඩ් තිබුණේ නැහැ කියා. මා කියා ඇත්තේ කොවිඩ් වැනි කියායි. භූමදාන කළත් ආදාහන කළත් අප පස් වී අළු වී යනවා. සමහරු අළු ගඟට දානවා. එවිට නම් රෝගය පැතිර යන එකක් නැහැ. පස් වුණත් අළු වුණත් සිරුර එකතු වන්නේ පසටයි. වැදගත් වන්නේ සිරුරට, මසට වන දෙය නො වෙයි කියා කාට හරි කියන්න පුළුවන්. වැදගත් වන්නේ මනසට ආත්මයට සිදුුවන දේ කියා තරක කරන්න පුළුවන්.

      ඔබ වැනි බටහිර දැනුමේ වහල් අනුකාරකයන් අන්ධ භක්තියෙන් යුතුව අදහන ආගමික විශ්වාස කඩුවෙන් ලැබුණත් බයිනෙත්තුවෙන් ලැබුණත් පාසලෙන් ලැබුණත් (බටහිර දැනුම කියන්නේත් තවත් එක මිථ්‍යා විශ්වාස මත පදනම්වූ ආගමක්) තබා ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. එහෙත් එය අනෙක් අයට බලෙන් පටවන්න හදන එක ප්‍රශ්නයක්. සමාජයට මොකක් වුණත් භූමදාන කරන්න ඕන කියන ආකල්පයට රටේ ඉඩක් නැහැ. වතුරෙන් කොවිඩ් පැතිරෙනවා ද කියන එක ගැන අවිශ්වාසයක් තියෙනවා. මා කලිනුත් කියා ඇත්තේ ඔබ වැනි බටහිර දැනුම අදහන අන්ධ භක්තිකයෝ ආගමික විශ්වාස තබා ගන්නා අතර අවිශ්වාසයට ද ඉඩක් දිය යුතු බවයි. යම් නිශ්චිත ආගමික විශ්වාස අදහන ජන කොටසකගේ ඡන්දය ගැනීමට භූමදානයට ඉඩක් දිය යුතු ද යන තැනට ප්‍රශ්නය පත් කරන්න එපා. ඔබ වැනි බටහිර වෙදකම ඇතුළු බටහිර විද්‍යාවත් වෙනත් බටහිර දැනුමුත් වන්දනා කරමින් ලබාගත්ත අයගෙන් අති මහත් බහුතරය දීනයන්. බටහිර දැනුම මේ වන විට ඉතා පැහැදිලි ලෙස කඩා වැටිලා. ඒ බටහිර වෙදකමේ පමණක් නොවෙයි ඔවුන්ගේ ඉහළම ක්‍ෂෙත්‍රය වන බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවේත් (Theoretical Physics) කිසිම වර්ධනයක් නැහැ. අර තන්තුවාදය (String Theory) කියන එකට සිදුවෙලා තියෙන්නේ මහත තන්තුවකින් බෙල්ල හිර කර ගැනීම පමණයි. ඔවුන් අඳුරු ද්‍රව්‍ය (Dark Matter) හා අඳුරු ශක්තිය (Dark Energy) ගැන අඳුරේ අතපාත ගාන්න වෙලා දැන් අවුරුදු සීයකට ආසන්නයි. ඔවුන් ඉඳහිට කළුකුහර යැයි කියමින් පිරිද්දූ ඡායාරූප ටිකක් පෙන්නනවා. මෙරට උගතුන් "ආහ් අඩෝ එළ එළ මෙන්න කළුකුහරයක් කියමින්" පිස්සුවෙන් මෙන් උඩ පනින්නේ කුඩා දරුවන් මෙන්. ලංකාවේ මිනිස්සුන්ට බටහිර භෞතික විද්‍යාඥයකු වීමට නොහැකි වීම ගැන කිසිම පුදුමයක් නැහැ.

      Delete
    3. දැන් මේ ලෝකය පුරාම කොවිඩ් කියලා කියන උණක් තියෙනවානේ, ඒ කොවිඩ් නිසා හැදෙන උණක් නොව, කොවිඩ් වටා හැදෙන උණක්. ඔන්න බේතක් එනවා ඔන්න එන්නතක් එනවා කිය කියා ලෝකයන් උමතුවෙන් මෙන් කෑ ගහනවා. ඔවුන් හොඳයි අදද රෙන වතුර පල්විස්ගේ ලෝකය හා ලෝකයෝ කියන ගොන් පාට් වැඩ සටහනට. ඔය එන්නත් ඔවුන්ගෙ බටහිර වෙදකම අනුව පරීක්‍ෂා කරල ද? ප්‍රතිඵල නිකුත් කරලද තියෙන්නේ?

      ඔය කියන කොවිඩ් පාලනයට බටහිර වෙදකම කිසිම දෙයක් නිර්දේෂ කරන්නේ නැහැ. බටහිර වෙදමහත්තුරු අත් හෝදනවාට අමතර ව කියන්නේ මොනවා ද? කොවිඩ් බිල්ලා ගැන මිනිසුන් බිය වද්දන පරණ කතා ද? ලංකාවේ මේ තරමට හරි කොවිඩ් පාලනය කෙරෙන්නේ හමුදාව හා රාජ්ය නිලධාරීන්ගගේ පරිපාලන තීන්දු මගින් මිස සෞඛ්‍ය තීන්දු මගින් නො වෙයි. කවුද කියල තිබුණා බටහිර වෙදමහත්තුරුන්ගෙ වැඩ හමුදාව නොකළ යුතුයි කියල. අද බටහිර වෙදමහත්තුරු කරන්නෙ හමුදාවෙ හා පරිපාලනයෙ වැඩ විතරයි. අත් ඔසවන්, නැහැ අත් හෝදන්, මීටරේ තියා ගනින්, නැහැ දැන් මීටර් දෙකක් තියාගනින්..... etc. ect. මේවා කියන්න හා අනුගමනය කරවන්න බටහිර වෙදමහත්තුරුන්ට වඩා ත්‍රිවිධ හමුදාවට පොලීසියට සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට පුළුවන්. ලංකාවේ මිනිසුන් කොවිඩ් 19ට බයයි. ඒක මාරාන්තිකයි කියල හිතන අය ඉන්නවා. ඒ හැදෙන එක ලැජ්ජාවක් කියල හිතනවා. කොවිඩ් නිසා ලංකාවේ කී දෙනකු සිය දිවි නසාගෙන තියෙනවා ද? මේ තත්වයට ජනමාධ්‍යවේදීනුත් වග කියන්න ඕන. ඔවුනුත් අන්තිමට ගත්ත ම ඉකොනොමැට්ටා වගේම බටහිර වහල් අනුගාමිකයන් වන බටහිර උගතුන්.

      දැන් බලන්න මෙල්බර්න් නුවර හා වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් පාලනය කරල කියනවා. එය දැඩි පරිපාලන නීති යටතෙ කෙරුණ දෙයක්ක්. වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති ආඥාදායකයකු ලෙසත් හැඳින්වුණා. ඔහුගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව බහුතරයක් අය හිටියා. එහෙත් දැනට ඔහු දිනුම්. ලංකාවේ එවැනි ම ප්‍රතිපත්ති අනුගමනය කරන්න බැහැ. ලංකාවේ ජනතාවගෙන් ඉතා විශාල පිරිසක් එදිනෙදා හම්බකරන් කන අය. ඔවුන් මාසයක් ගාල් කරන් ඉන්න බැහැ. මේකට ඉකොනොමැට්ටා වගේ බටහිර ගැත්තන්ට දෙන්න පුළුවන් සොලුයුෂන් එක මොකක්ද?

      Delete
  5. ආර්තික වර්ධනය රින කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද ,? ආර්තික වර්ධනය 0 න්ම් ඒකේන් කියන්නේ නෑනේ ආර්තික් නෑ හෝ කඩා වැටිලා කියල,

    , මේ දවස් වල අයවැයේ ගැන පොඩි ගිය වසර්වල් සමග සන්සන්දනක් ඉදිපත් කරන්න පුලුවන් නම්, ඔබේ මත්‍යන් වල ඉදලා

    ReplyDelete
    Replies
    1. බොහෝ විට ආර්ථික වර්ධනය ගැන කතා කරන්නේ පෙර වසරට සාපේක්ෂව. ආර්ථික වර්ධනය 0% කියන්නේ ආර්ථිකය තිබෙන්නේ කලින් අවුරුද්දේ තිබුණු මට්ටමේම කියන එක. ආර්ථික වර්ධනය -2% කියන්නේ කලින් අවුරුද්දේ මට්ටමට වඩා 2%ක් අඩුයි කියන එක. 2%කින් අඩු වුනත්, ගිය අවුරුද්දේ මට්ටමෙන් 98%ක්ම තියෙනවා. මේ අවුරුද්දේ දෙවන කාර්තුවේදී ඇමරිකාවේ ආර්ථිකය 31.4%ක වාර්ෂික වේගයකින් (31.4%කින් නෙමෙයි) අඩු වුනා. (ඉන් පසුව තුන් වන කාර්තුවේදී 33.1%ක වාර්ෂික වේගයකින් වැඩි වුනා) වඩා වැදගත් ආර්ථිකයේ ප්‍රමාණය කොපමණද කියන එකයි. 2020 පළමු කාර්තුවේදී ඇමරිකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 21,561ක්. 33.1%ක වේගයෙන් අඩු වීමෙන් පසුවත්, දෙවන කාර්තුවේදී ඇමරිකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 19,520ක්. එයට සාපේක්ෂව ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 84ක් පමණ. ආර්ථික වර්ධනය වැදගත් වන්නේ එයින් ආර්ථිකයේ ප්‍රමාණය විශාල වන වේගය පෙන්නුම් කරන නිසා. සෘණ ආර්ථික වර්ධනයක් කියන්නේ ඔය ඩොලර් බිලියන 84 තවත් අඩු වෙනවා කියන එක.

      මේ දවස් වල නැවතත් ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ. හදිසි වැඩ ටිකක් කරලා අවසන් කළාට පසුව ඔබේ ඉල්ලීම ගැනත් සලකා බලන්නම්.

      Delete
  6. It is ironic according to me to have more Democrats in California which is one of the rich states. That means Californians prefer them to be taxed and distribution of welfare to general masses. How do you compare the same with Conservatives in UK and probably UNP in Sri Lanka and responses to their ideology from the rich.

    ReplyDelete
    Replies
    1. California is one of 5 states in the US with highest level of income inequality. 25% of immigrants in the US are living in California and around 27% of its population is foreign-born. I guess these two facts explain the outcome.

      Delete
  7. බජට් එක ගැන මුකුත් ලියන්නෙ නැද්ද

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...