වෙබ් ලිපිනය:

Thursday, December 17, 2020

ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙයිද?


ඇමරිකාවේ පැවැත්වුණු පසුගිය ජනාධිපතිවරණ පහෙන් දෙකකදීම තේරී පත් වුනේ මුළු රටෙන්ම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා නෙමෙයි. තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් මේ පාරත් ඒ වැඩේම වෙනවා. ලංකාවේ ගොඩක් අය වගේම ඇමරිකාවෙන් හා ලංකාවෙන් පිටත වෙනත් රටවල ගොඩක් අයත් මෙය අවුලක් සේ දකිනවා. එහෙත්, ඇමරිකාව ඇතුළේ මේ සම්බන්ධව තිබෙන්නේ බෙදුණු මතයක්.

ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂය වගේම රිපබ්ලිකන් පක්ෂයත් මූලික වශයෙන් ධනවාදී ආර්ථික ක්‍රමයක් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබන පක්ෂ. එසේ වූ පමණින් මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති සමාන නොවන බව කවුරුත් දන්නා කරුණක්. රිපබ්ලිකන් පක්ෂයට ජාතිකවාදී නැඹුරුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව ඩිමොක්‍රටික් පක්ෂය ජාත්‍යන්තරවාදී පක්ෂයක්. පක්ෂ දෙකම යම් තරමකින් ධනවාදය නමනවා. හැබැයි එකම විදිහට නෙමෙයි. ඩිමොක්‍රටික් ක්‍රමයේ යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙනවා. එයින් වෙනස්ව රිපබ්ලිකන් පක්ෂය ධනවාදය නමන්නේ ආර්ථික ආරක්ෂණවාදය හරහා. සංක්‍රමනික විරෝධයත් එහිම කොටසක්.

ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වූ වහාම, හරියටම කියනවානම් බලයත් පත් වීමට නියමිත බව පැහැදිලිව පෙනී ගිය වහාම, සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය වගේ කරුණු උඩට පැමිණ තිබෙනවා. සුළුතර ප්‍රජාවන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන කණ්ඩායම් වල වැඩි සහයෝගය ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට කියන එකත් ප්‍රචලිත කරුණක්. අනෙක් පැත්තෙන් බැළුවහම ඒකීය පුද්ගලයෙක් කියා කියන්නේ කුඩාම මට්ටමේ සුළුතරය. රාජ්‍ය නියාමනයට එරෙහිව ඒකීය පුද්ගලයාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේදී වඩා ඉදිරියෙන් ඉන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් වෙන්නේ බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කියන එක නෙමෙයි. හැමෝගෙම අදහස්  සැලකිල්ලට ගෙන පොදු එකඟතාවයකට එන එක. මෙහිදී ඇතැම් අදහස් යටපත් වෙනවා. ඇතැම් අදහස් මතු වෙනවා. හැම විටම උඩට මතු වන්නේ බහුතර මතය නෙමෙයි. බහුතරයට එකඟ විය හැකි මතය. එය සුළුතර මතයක් වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩේ වෙන්නේ හැමෝගෙම අදහස් වලට හැමෝම සවන් දෙන තරමේ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තිබේනම් පමණයි. හැමෝම තම තමන්ගේ මත වල දැඩිව එල්බ සිටින විට වෙන්නේ හැම විටම බහුතරයේ මතය උඩට මතු වීම. එය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස හඳුන්වන්න බැහැ. ඒ කියන්නේ හැම විටම කිහිප දෙනෙකුගේ හෝ සුලුතරයක මතය උඩට මතු වෙන ක්‍රමයක් හොඳයි කියන එක නෙමෙයි. එය කොහොමත් නරකයි.

බහුතරයකට එකඟ විය නොහැකි සුළුතරයකගේ මතයක් ක්‍රියාත්මක වීමට සාපේක්ෂව බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීම සාධනීයයි. හැබැයි බහුතරයකගේ මතය ක්‍රියාත්මක වීමට වඩා බහුතරයකට එකඟ විය හැකි කාගේ හෝ වඩාත්ම පිළිගත හැකි මතය සාකච්ඡා, සම්මුති ආදියෙන් පසුව අවසානයේදී පොදු එකඟතාවයෙන් ක්‍රියාත්මක වීම හැම විටම වඩා සාධනීයයි. වඩා විශාල පිරිසකට එකතු වී මෙවැනි පොදු සම්මුතියක් ඇති කර ගැනීම අසීරුයි. අඩු පිරිසකට එය වඩා පහසුයි.

ඇමරිකානු ජනාධිපතිවරණ ක්‍රමය පහළ මට්ටමේ සිට ඉහළට ජනතා කැමැත්ත එසැවෙන ක්‍රමයක්. අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ඕනෑම කෙනෙක්ට ජනාධිපතිවරණයට තරඟ කරන්න පුළුවන්. තමන් තරඟ කරන්නේ ප්‍රධාන  දේශපාලන පක්ෂයකින්ද, සුළු පක්ෂයකින්ද, තමන් විසින් අළුතින් හදා ගන්නා දේශපාලන පක්ෂයකින්ද, එහෙමත් නැත්නම් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටද කියන එක මුලින්ම තීරණය කරන්න වෙනවා. මොන ආකාරයෙන් තරඟ කළත් ඡන්ද පත්‍රිකාවට නම දමා ගන්න පුළුවන් වෙන්නේ අවම අත්සන් ප්‍රමාණයක් හෝ අවම සහයෝගයක් ඇත්නම් පමණයි. ඒ මට්ටමට යන්න බැරි කෙනෙකුට ඡන්ද පත්‍රිකාවේ නම නැතත් ඡන්ද ලබා ගන්න පුළුවන්කමක්ද තිබෙනවා. එවැනි අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දදායකයෙකු විසින් නම ලියා ඡන්දය දිය යුතුයි.

තමන්ට සහයෝගය ලබා ගන්න වැඩිම ඉඩක් තිබෙන්නේ දැනටම ක්‍රියාත්මකව පවතින දේශපාලන පක්ෂයක සාමාජිකයින් අතරෙන්නම් එවැනි පක්ෂයක අපේක්ෂකත්වය වෙනුවෙන් කැමති කෙනෙකුට තරඟ කරන්න පුළුවන්. පක්ෂයට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. ප්‍රාථමික මැතිවරණ වලදී වෙන්නේ එයයි. ප්‍රාථමික මැතිවරණ වලට ඉදිරිපත් වන කෙනෙක් පාක්ෂිකයින්ගේ සහයෝගය ලබා උඩට එනවානම් ඔහු හෝ ඇය පක්ෂයේ දිගටම හිටපු කෙනෙක්ද ආදී අවශේෂ කරුණු වැදගත් වෙන්නේ නැහැ. ඇමරිකාවේ දේශපාලන පක්ෂ කාගෙවත් පෞද්ගලික බූදල් නෙමෙයි. 

ඇමරිකාවේ ප්‍රාථමික මැතිවරණ ක්‍රමය ඉතාම පහළ මට්ටමෙන් පටන් අරන් උඩට යන ක්‍රමයක්  නිසා මේ ක්‍රියාවලියේ එක් එක් අදියරේදී එයට සහභාගී වන හැමෝගෙම වගේ අදහස් සලකා බලන්න යම් තරමක ප්‍රායෝගික ඉඩක් ලැබෙනවා. මුළු රටේ සියලු දෙනාගේම කැමැත්ත එකවර විමසන අවස්ථාවකදී එවැන්නක් කරන්න අමාරුයි. එවිට සිදු වෙන්නේ තම තමන් දැනට එල්බ සිටින මත ප්‍රකාශ වීමක් පමණයි. අදහස් ගැටීමක් හෝ සංවාදයක් නැහැ.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවසන් අදියරේදී ඒ කටයුත්තට සහභාගී වෙන්නේ 538 දෙනෙක් පමණයි. එවැනි පිරිසකට කතාබහ කරලා හැමෝගෙම අදහස් සැලකිල්ලට අරගෙන හොඳම තීරණය ගන්න පුළුවන්කම තිබෙනවා. එය ඒ විදිහටම සිදු නොවීම වෙනම කරුණක්.

මේ විදිහට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කටයුත්තට සහභාගී වෙන 538 දෙනා එක් එක් ප්‍රාන්ත වල නියෝජිතයෝ. ඒ අයව පත් කර එවන්නේ අදාළ ප්‍රාන්ත විසිනුයි. ඒ තේරීම කරන්නේ කොහොමද කියන එක අදාළ ප්‍රාන්තයට භාර කටයුත්තක්. ප්‍රාන්තයේ ඡන්දදායකයින්ට අවශ්‍යනම් තේරීම කරන ක්‍රමය වෙනස් කර ගන්න බාධාවක් නැහැ. දැනට ප්‍රාන්ත දෙකක් හැර අනෙක් සියළුම ප්‍රාන්ත විසින් කරන්නේ ප්‍රාන්තයේ වැඩිම සහයෝගයක් තිබෙන දේශපාලන පක්ෂය විසින් නම් කරන නියෝජිතයින්ට අවස්ථාව ලබා දෙන එකයි. ප්‍රාන්ත දෙකක් අනුපාතික ක්‍රමයක් අනුගමනය කරනවා. එම ප්‍රාන්ත වල ප්‍රාන්තයේ බහුතරය මත වගේම ප්‍රාන්තය ඇතුලේ ප්‍රාදේශීය මැතිවරණ කලාප වල බහුතර කැමැත්ත මත නියෝජිතයින් පත් කර ගැනෙනවා.

ඇමරිකාවේ ජනාධිපති ලෙස රටේම වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා පත් නොවෙන්න පුළුවන්නේ. ඒ වගේම, එය කිහිප වරක්ම සිදු වෙලත් තිබෙනවනේ. මෙය මේ විදිහට නොවන බවට වග බලාගන්න අවශ්‍යනම් කරන්න තිබෙන්නේ පොඩි වැඩක් පමණයි. එක් එක් ප්‍රාන්ත විසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් පත් කර යැවීමේදී තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත ගැන නොසලකා රටේ බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කරන එක. වැඩේ එතැනින්ම ඉවරයි.

මේක යුරෝපයට ආදේශ කළොත්, මුළු යුරෝපයම පාලනය කරන්න තනි නායකයෙක් තීරණය කරනවා කියා හිතමු. එය කරන්නේ යුරෝපීය සංගමයේ සාමාජික රටවල නියෝජිතයින්ගේ ඡන්දයෙන්. එක් එක් රටට හිමි වන සාමාජිකයින් ප්‍රමාණය එම රටේ ජනගහණයට සමානුපාතිකව අඩු වැඩි වෙනවා වගේම හැම රටකටම සමානව බෙදී යන කිසියම් අවම නියෝජිතයින් ගණනකුත් ඉන්නවා. දැන් ඩෙන්මාර්කය වැනි රටක අති මහත් බහුතරය කිසියම් අපේක්ෂකයෙකුට කැමති නැති වුනත් සමස්තයක් ලෙස යුරෝපයේ වැඩි දෙනෙක් කැමති ඒ අපේක්ෂකයාටනම් ඩෙන්මාර්කය නියෝජනය කරන නියෝජිතයින් විසින්ද අර යුරෝපයේ වැඩි දෙනෙක් කැමති අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය දෙනවා වගේ වැඩක්. 

මේ ආකාරයට රටේම බහුතර කැමැත්ත ලබන පුද්ගලයාව ජනාධිපති ධුරයට පත් කර ගැනීම පිළිබඳ අදහස මෑත ඉතිහාසය තුළ ඇමරිකාවේ ප්‍රබලවම මතු වුනේ 2000 ජනාධිපතිවරණයෙන් පසුව කියා කියන්න පුළුවන්. 2016 ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව මේ පිළිබඳ උනන්දුව තවත් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවත්, ඉහත අවස්ථා දෙකේදීම "අවාසිය" සිදු වුනේ ඩිමොක්‍රටික් පක්ෂයට නිසා මේ අදහස වැඩිපුරම එහෙමත් නැත්නම් මුළුමනින්ම වාගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ඉදිරියට ගෙනගිය අදහසක් කියා කියන්න පුළුවන්.

මේ අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ලෙස යෝජනා වුනේ අන්තර්-ප්‍රාන්ත එකඟතා ගිවිසුමක්. යෝජිත ගිවිසුම අනුව, ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නියෝජිතයින් තෝරා පත් කර යැවීමේදී ප්‍රාන්ත අතර ඇති කර ගන්නා පොදු එකඟතාවයක් අනුව එම එකඟතාවයට යටත් ප්‍රාන්ත විසින් තමන්ගේ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත නොසලකා රටේම බහුතර කැමැත්ත මත පදනම්ව නියෝජිතයින් පත් කර යැවිය යුතුයි. 

උදාහරණයක් විදිහට දකුණු කැරොලයිනා ප්‍රාන්තය මේ ගිවිසුම අත්සන් කළා කියා හිතමු. දැන් මැතිවරණ ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂකයා දකුණු කැරොලයිනා ඡන්ද වලින් 43%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 55%ක් ගන්නවා. එහෙත් මුළු රටේම ඡන්ද භාවිතාව බැලුවහම ඩිමොක්‍රටික් අපේක්ෂකයා ඡන්ද වලින් 51%ක් ගනිද්දී රිපබ්ලිකන් අපේක්ෂකයා ඡන්ද වලින් 47%ක් ගන්නවා. හරියම මේ අවුරුද්දේ ත්ත්වය වගේ. දැන් ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ එම ප්‍රාන්තයේ වැඩිම ඡන්ද ලබාගත් රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්. එහෙත්, යෝජිත ක්‍රමය අනුව දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ නියෝජිතයින් 9 දෙනා සේ තෝරා ගැනෙන්නේ මුළු රටෙන්ම  වැඩිම ඡන්ද ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් 9 දෙනෙක්.

අපි හිතමු අවම වශයෙන් නියෝජිතයින් 270 දෙනෙකු පත් කර යැවීමේ අයිතිය තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ යෝජනාවට කැමති වී අන්තර්-ප්‍රාන්ත ගිවිසුමක් අත්සන් කළා කියලා. එවැනි ගිවිසුමකින් පසුව, මේ ප්‍රාන්ත සියල්ලේම ඡන්ද ලැබෙන්නේ රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයාටයි. එම ඡන්ද ප්‍රමාණය 270 ඉක්මවන නිසා රටේම බහුතර ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ඇමරිකාවේ ජනාධිපති වෙනවා. 

මේ වන විටත් ප්‍රාන්ත 16ක් (වොෂින්ටන් ඩීසීද ඇතුළුව) මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කරගෙන අවසානයි. එයින් ප්‍රාන්ත 4ක්ම අදාළ නීති සම්මත කරගත්තේ පසුගිය වසරේදී. ඒ අනුව, මේ ක්‍රමයට දැනටමත් පක්ෂව සිටින ප්‍රාන්ත සතුව මේ වන විටත් නියෝජිතයින් 196 දෙනෙකු සිටිනවා. තවත් නියෝජිතයින් 74 දෙනෙකු ලබා දීමේ හැකියාව තිබෙන ප්‍රාන්ත ප්‍රමාණයක් මේ ක්‍රමයට එකඟ වී නීති සම්මත කර ගැනීමෙන් පසුව අදාළ අන්තර්-ප්‍රාන්ත ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවත් ප්‍රාන්ත ගණනාවක මේ වන විටත් මේ යෝජනාව නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙන නිසා මෙය ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වීමට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම මෙවර ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීම හා එය තව සුළු ඡන්ද ප්‍රමාණයක් එහා මෙහා වුනානම් එම ජයග්‍රහණය නොලැබී යන්නට ඉඩ තිබීම යන කරුණු මත ඉහත කී සම්මුතියට තවත් ප්‍රාන්ත අලුතෙන් එකතු වීමේ ශක්‍යතාවය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඉහත කී සම්මතය සමඟ මෙතෙක් එකඟව සිටින හැම ප්‍රාන්තයක්ම වාගේ ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන ප්‍රාන්ත. එහෙත්, ඩිමොක්‍රටික් ප්‍රාන්තයට බලය තිබෙන හැම ප්‍රාන්තයක්ම වුවත් මේ යෝජනාවට කැමති නැහැ. යෝජනාව ක්‍රියාත්මක වුවහොත් අඩු ජනගහණයක් සිටින ප්‍රාන්ත වල ඡන්දදායකයින් සතු බලය අඩු වී, නිවුයෝර්ක්, කැලිෆෝර්නියා වැනි ජනගහණය වැඩි ප්‍රාන්ත කිහිපයක අවශ්‍යතාවය මත ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී පත් වීම එයට හේතුවයි. අනෙක් පැත්තෙන් බැලුවොත් මෙය එක ආකාරයක කාටල ක්‍රමයක්. කාටලය බලවත් වූ පසු කාටලයට අයත් නැති ප්‍රාන්ත වලට දේශපාලන බලයක් නැති වනවා වගේම කාටලය තුළ සිටින කුඩා ප්‍රාන්ත වලටද තමන්ගේ ස්වාධීනත්වය නැති කර ගන්න වෙනවා. කලින් ඉදිරිපත් කළ යුරෝපීය උදාහරණයට ගිහින් ඩෙන්මාර්කය පත් වන තත්ත්වය දිහා බැලුවොත් මෙය වඩා හොඳින් පැහැදිලි වෙනවා. රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ජාත්‍යන්තරවාදී දෘෂ්ඨිවාදයක ඉන්න ඩිමොක්‍රටික් පක්ෂයට රටේ සාමූහික එකඟතාවය තුළ ප්‍රාදේශීය අනන්‍යතා යටපත් වී ගිලී යාම ප්‍රශ්නයක් නෙමෙයි.

දේශපාලන දෘෂ්ඨිවාදයක් විදිහට සාමූහික කැමැත්තට පෞද්ගලික කැමැත්ත යටපත් වෙන්න අරින එක පිළිගත් පසුව සුළුතර ප්‍රශ්න ලෙස හැඳින්විය හැකි ප්‍රශ්න මතු වීම ඉතාම ස්වභාවිකයි. එවිට එම ප්‍රශ්න වලට විසඳුම් දීමටද සිදු වෙනවා. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වීම දේශපාලන දෘෂ්ඨිවාදයේම කොටසක් කර ගන්න සිදු වෙනවා. සමාජවාදීන්ට බොහෝ විට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වෙන්නේ මේ හේතුව නිසයි. යම් තරමක සමාජවාදී භාවිතාවක් තිබෙන ඩිමොක්‍රටික් පක්ෂයට සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට සංවේදී වෙන්න සිදු වී තිබෙන්නේත් මේ හේතුව නිසයි.

සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වල මුල තිබෙන්නේ සාමූහික කැමැත්ත තුළ පෞද්ගලික කැමැත්ත යටපත් වීමයි. එය එසේ නොවන්නේනම් කිසිදු ඒකීය පුද්ගලයෙක් වෙනත් අයෙකුට සාපේක්ෂව බහුතරයක හෝ සුළුතරයක කොටසක් වෙන්නේ නැහැ. සුළුතර ප්‍රජාවන්ගේ ප්‍රශ්න වලට විශේෂ අවධානය යොමු කරන්න යාමේදී සුළුතරයක් සේ පොදුවේ හඳුනා නොගැනෙන කණ්ඩායම් වල ඉන්න අයට තමන්ට අසාධාරණයක් වන බව දැනෙන්න පටන් ගන්නවා. ඒ ඔවුන්ද ඒකීය පුද්ගලයින් ලෙස ඉතාම කුඩා සුළුතරයක් වන නිසයි. ඒ තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන්ටත් කවර හෝ සාමූහිකයක කොටසක් වෙන්න සිදු වෙනවා. එවැනි ප්‍රති-සාමූහිකයක් හැදෙන්නේ සුළුතර විරෝධයක් එක්කයි. 

යම් හෙයකින් ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මුල් කාලයේදී එහි වාසිය ඩිමොක්‍රටික් පක්ෂයට ලැබෙයි. ඒ එක්කම, සුළුතර සේ හඳුනා ගැනෙන කණ්ඩායම් වලට වාසිදායක හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති යම් කාලයක් තිස්සේ එක දිගට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම, ආර්ථික තලයේදී කාර්යක්ෂමතාවය වෙනුවට යම් තරමකින් සමානාත්මතාවය ප්‍රමුඛතාවයක් බවට පත් වෙයි. හැබැයි මේ දේවල් වලින් දිගුකාලීනව වෙන්නේ ඒකීය පුද්ගලයින් ලෙස ක්‍රියා කරන පොදුවේ බහුතරයේ සාමාජිකයින් ලෙස හැඳින්වෙන කොටස් සාමූහිකයක කොටස් බවට පත් කර එකම කණ්ඩායමක් බවට පත් කරන එකයි. මෙය දැනටමත් කාලයක් තිස්සේ සිදු වෙමින් තිබෙන දෙයක්. ට්‍රම්ප්ව බලයට ගෙනාවේ එවැනි සාමූහික මානසිකත්වයක්.

ඇමරිකාවේ ජනාධිපතිවරයා පත් කර ගන්නා ක්‍රමය වෙනස් වුනොත් මේ තත්ත්වය වෙනස් විය හැක්කේ කොහොමද? දැනට පෙනෙන්න තිබෙන චිත්‍රය අනුවනම් මේ වැඩෙන් වාසිය ඩිමොක්‍රටික් පක්ෂයටයි. එහෙත්, මේ චිත්‍රය වෙනස් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ජේආර් ජයවර්ධන ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය හැදුවේ එජාපය දිගටම බලයේ තියා ගැනීමේ අරමුණින්. 1977 දක්වා මැතිවරණ ප්‍රතිඵල දැන් ක්‍රමයට නැවත ගණනය කළොත් එජාපයට ලැබිය හැකිව තිබුණු වාසිදායක ප්‍රතිඵලය පැහැදිලිව පෙනෙනවා. එහෙත්, අතීතයේ සිදු වූ දේවල් ඒ දේවල් සිදු වූ පසුබිම තුළම මිස අප විසින් උපකල්පනය කරන වෙනත් පසුබිමක එළෙසම සිදු විය හැකිව තිබුණේයැයි සිතීම මුලාවක්. අනාගතය ගැන කියන්න තිබෙන්නේත් එවැනිම දෙයක්. ජේආර්ගේ මැතිවරණ ක්‍රමය නිසා අවසාන වශයෙන් වුනේ එජාපය නැත්තටම නැති වී යාමයි.


Monday, December 14, 2020

බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය


කලින් ලිපියෙන් මම පෙන්වා දුන්නේ මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය යාන්තමින් තීන්දු වූවක් බවයි. ඒ එක්කම මම කියපු තවත් දෙයක් වුනේ මේ වෙද්දී ඇමරිකානු සමාජය ඉතා විශාල ලෙස දේශපාලනිකව බෙදී ඇති බවයි. ඒ නිසා, දෝලන ප්‍රාන්ත කිහිපයක අවසන් ප්‍රතිඵලය "කෙස් ගහෙන්" තීරණය වුනත්, අනෙකුත් ප්‍රාන්ත ගණනාවකම අපේක්ෂකයින් දෙදෙනා අතර ඉතා විශාල පරතරයක් දැකිය හැකියි. 

හරියටම කියනවානම් වොෂින්ටන් ඩීසීද ප්‍රාන්තයක් සේ සැලකුවොත් ඇමරිකාවේ ප්‍රාන්ත 51න් 31කම අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය 15% ඉක්මවනවා. මේ බෙදීම කාලයක් තිස්සේම වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවක්. ට්‍රම්ප් ජයග්‍රහණය කළ ප්‍රාන්ත 25න් 17කදීම ඔහු බයිඩන්ට වඩා 15% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. ඒ වගේම බයිඩන් විසින් ජයග්‍රහණය කළ ප්‍රාන්ත 25න් 13කදී හා වොෂින්ටන් ඩීසීහි ඔහු විසින් ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රතිශතයට වඩා 15% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා.

ඉහත දත්ත අනුව පැහැදිලි වෙන්නේ අදාළ ප්‍රාන්ත වල ඡන්දදායකයින්ගේ ඡන්ද වලට ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරීමේ කටයුත්තේදී ආන්තික වටිනාකමක් ඇත්තේම නැති තරම් බවයි. මම කලින් ලිපියෙන් ඡන්දදායකයෙකුගේ ඡන්දය දීමේ හෝ නොදීමේ තීරණය සූත්‍රගත කළානේ. ඒ අනුව ඡන්දය දැමීමෙන් ඡන්දදායකයෙකුට ලැබෙන වාසිය B ලෙස සැලකුවොත් එම අගය අපට පහත පරිදි ලියන්න පුළුවන්.

B = (U1 - U0)p + C 

U1 - තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  

U0 - ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  

p - තමන්ගේ ඡන්දය නිසා තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි වීමේ සම්භාවිතාව 

C - ඡන්දය දැමීමේ ක්‍රියාවලිය නිසා ලැබෙන වාසිය/අවාසිය හෝ සතුට/අසතුට

මෙහි B>0 වූ විට කිසියම් අයෙක් ඡන්දය දමනවා. B<0 වූ විට ඡන්දය දමන්නේ නැහැ.

දැන් අර 15%ක පරතරයක් තිබෙන ප්‍රාන්ත වල ඡන්දදායකයෙකුගේ තත්ත්වය සලකා බැලුවොත් එවැන්නෙකු හා අදාළව ඉහත p අගය ඉතාම අඩුයි. ඒ කියන්නේ එවැන්නෙකු ඡන්දය දැම්මා හෝ නොදැම්මා කියා ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ ප්‍රාන්ත වල ඡන්දදායකයෝත් වැඩියෙන් ඡන්දය දැම්මේ ඇයි? 

එක හේතුවක් වන්නේ U1 හා U0 අතර පරතරය විශාල ලෙස ඉහළ යාම. එවිට (U1 - U0) අගය ඉහළ යන නිසා p අගය අඩු වීමේ අවාසිය නිශේධනය වෙනවා. දෙවැන්න පෙර ලිපියෙන්ද කියූ පරිදි C අගය ඉහළ යාම. එය සෘණ අගයක් බව සැලකුවහොත් එහි මාපාංකය අඩු වීම. 

ඇත්තටම කියනවානම් මේ 15%ක පරතරය මගින් ඉහත සූත්‍රය පැහැදිලි කරනවාට වඩා සූත්‍රය ඇසුරෙන් පරතරය පැහැදිලි කිරීම පහසුයි. මෙවැනි පරතරයක් ඇති වී තිබෙන්නේම පක්ෂ දෙකේ ආධාරකරුවන් එක් එක් ප්‍රාන්තයේදී ඡන්දය දැමීම හෝ නොදැමීම සිදු වී තිබෙන්නේ එකම රටාවකට නොවන නිසා. 

කොහොමටත් රිපබ්ලිකන් පක්ෂය දිනන ප්‍රාන්තයක ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු ඡන්දය දමන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. තමන් කාට ඡන්දය දුන්නත් ප්‍රාන්තයේ ඡන්ද ටික යන්නේ රිපබ්ලිකන් පක්ෂයට බව එවැනි අයෙකු දන්නවා. ඒ වගේම, කොහොමටත් ඩිමොක්‍රටික් පක්ෂය දිනන ප්‍රාන්තයක රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ඡන්දය දමන්න වැඩි උනන්දුවක් දක්වන්නේත්  නැහැ. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙපැත්තෙන් එක පැත්තකට පැහැදිලිවම බර ප්‍රාන්තයකදී දිනන පක්ෂයේ අපේක්ෂකයා උඩින්ම දිනන එකයි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ප්‍රාන්තයක බහුතරයට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ප්‍රාන්තයක බහුතරයට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන එකම හේතුව ඉහත කරුණ නෙමෙයි. ප්‍රාන්තයක බලයේ ඉන්නේ බහුතරය කැමති පක්ෂයේ ආණ්ඩුවක්. ඒ වගේම ඇමරිකාවේ ප්‍රාන්තයක මැතිවරණ නීතිය හා මැතිවරණය ක්‍රමවේදය හැදෙන්නේ අදාළ ප්‍රාන්තයේ ආණ්ඩුවට, ඒ කියන්නේ අදාළ ප්‍රාන්තයේ බහුතර ඡන්දදායකයින්ට අවශ්‍ය විදිහටයි. ඒ කියන්නේ බහුතරයට වාසිදායක වන ආකාරයට. මෙවර මැතිවරණයේදී මේ තත්ත්වය විශේෂයෙන්ම පෙනෙන්නට තිබුණා.

ඉතාම සරල හා අසම්පූර්ණ විග්‍රහයක් වුනත් කෝවිඩ් වසංගතය හමුවේ රිපබ්ලිකන් පක්ෂයේ ස්ථාවරය වුනේ රට වසා නොදමා, වසංගතයට බය නොවී, සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බවයි. ඩිමොක්‍රටික් පක්ෂය වසංගතය හමුවේ පසු බැස සැඟවී සිටින ස්ථාවරයක හිටියා. මේ පක්ෂ දෙකේ ඡන්දදායකයින්ගෙනුත් මේ වෙනස පිළිබිඹු වුනා. ඡන්දය දමන්න ඡන්ද පොළට යන්න බය අය වැඩිපුර සිටියේ ඩිමොක්‍රටික් කඳවුරේ. ඒ කියන්නේ, ඉහත සූත්‍රයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ C අගය රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේ C අගයට වඩා විශාල සෘණ අගයක්ව පැවතුණා. ඒ නිසා, සාමාන්‍ය ආකාරයට ඡන්දය පැවැත්වුවානම් සමස්තයක් ලෙස ඩිමොක්‍රටික් පක්ෂයට අවාසියක් වෙනවා. 

මේ තත්ත්වය හමුවේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් කළේ ඔවුන්ට බලය තිබුණු ප්‍රාන්ත වල තැපැල් ඡන්ද ක්‍රමය ඇතුළු ක්‍රමවේද හඳුන්වා දී ඡන්දදායකයින්ගේ C අගය විශාල ලෙස පහළ දැමීමයි. ඒ නිසා, එම ප්‍රාන්ත වල ඩිමොක්‍රටික් ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉහළ ගියා. නමුත්, රිපබ්ලිකන් ප්‍රාන්තයට බලය තිබුණු ප්‍රාන්ත වල එවැන්නක් සිදු වුනේ නැහැ. රිපබ්ලිකන් පාක්ෂිකයින් ඡන්ද පොළට යාමට බය නොවූ නිසා එම ප්‍රාන්ත වල රිපබ්රිකන් ඡන්ද අඩු නොවුනත් ඩිමොක්‍රටික් ඡන්ද අඩු වුනා. එයින් වුණෙත් අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉහළ යාමයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ සර්ව සම්පූර්ණ ක්‍රමයක් නෙමෙයි. කොයි රටක වුනත් ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ පැත්තට නැමෙන එක වලක්වන්න බැහැ. පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය කියා කීවත් බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රාමුව හැදෙන්නේ බලය ඇති පාර්ශ්වයේ අවශ්‍යතාවය ඉටු වන ආකාරයටයි. එයින් කියන්නේ ඒකාධිපති ක්‍රමයක් වඩා හොඳයි කියන එක නෙමෙයි. ඒක කොහොමටත් නරකයි. 

බලය විමධ්‍යගතව තිබීම ප්‍රජාතන්ත්‍රවාදය බහුතරයේ පැත්තට නැමෙන එකේ අවාසිය හෝ අසාධාරණය නිශේධනය කෙරෙන එක් ප්‍රධාන යාන්ත්‍රණයක්. ඇමරිකාවේ බොහෝ දේවල් සිදු වන්නේ ප්‍රාන්තයේ බහුතරයේ මතය අනුව නිසා ප්‍රාන්ත වැසියන්ට රටේ වැසියන්ගේ බහුතර මතයට යටත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රාන්තයේ බහුතරයේ මතයට යටත් වෙන්න වීම විශාල ප්‍රශ්නයක් සේ පෙනෙන කෙනෙකුට වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය වෙන්න බාධාවකුත් නැහැ. 


Sunday, December 13, 2020

ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණය හෙටයි!


මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත සියල්ලේම හා වොෂින්ටන් ඩීසීහි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඇතැම් ප්‍රාන්ත වල නිල ප්‍රතිඵල නිකුත් වුනේ ගෙවුණු සතියේදීයි. ඒ අනුව, මේ වන විට බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙස සමස්ත නියෝජිතයින් ගණන බෙදී ගොස් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී නියෝජිතයින් බෙදී ගියේ හරියටම අනික් අතට, ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙසයි.

ඉහත කී ප්‍රාන්ත නියෝජිතයින් විසින් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කරන්නේ හෙටයි. ඒ අනුව, ඇමරිකාවේ සැබෑ ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වෙන්නේ හෙට (දෙසැම්බර් 14) කියා කිව හැකියි. එහිදී බයිඩන්ට 306ක් හා ට්‍රම්ප්ට 232ක් ලෙසින්ම ඡන්ද බෙදී යාම අනිවාර්ය දෙයක් නෙමෙයි. පසුගිය වර ට්‍රම්ප්ට 306ක් හා හිලරි ක්ලින්ටන්ට 232ක් ලෙස නියෝජිතයින් බෙදී ගොස් තිබුණත් ඔවුන්ට සැබෑවටම ලැබුණේ පිළිවෙලින් ඡන්ද 304ක් හා 227ක් පමණයි. ඉතිරි ඡන්ද 7, කොලින් පවල්ට 3ක්, බර්නි සැන්ඩර්ස්ට 1ක්, රොන් පෝල්ට 1ක්, ජෝන් කේසික්ට 1ක් හා ෆේත් ස්පොටඩ් ඊගල්ට 1ක් ලෙස බෙදී ගියා. මෙවර ප්‍රතිඵලය දැනගන්න ලැබෙන්නේ ජනවාරි 6 වනදා ප්‍රාන්ත නියෝජිතයින්ගේ ඡන්ද ගණන් කිරීමෙන් පසුවයි.

පැහැදිලිවම පෙනෙන්නට ඇති පරිදි මෙවර ජයග්‍රාහකයා බයිඩන් වුවත් එම ජයග්‍රහණය දැවැන්ත ජයග්‍රහණයක් නෙමෙයි. බයිඩන්ට සහයෝගය දීමට නියමිත නියෝජිතයින් ප්‍රමාණය අවශ්‍ය අවම ප්‍රමාණය වන 270ට වඩා වැඩි වන්නේ 36කින් පමණයි. බයිඩන් යාන්තමින් ජයග්‍රහණය කළ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල නියෝජිතයින් ප්‍රමාණය 37ක්. ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව බයිඩන් හා ට්‍රම්ප් අතර පරතරය ඡන්ද 1,274කින් අඩු වී තිබෙනවා. විස්කොන්සින් ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසුව එහි පරතරය ඡන්ද 87කින් වැඩි වී තිබෙනවා. ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල අවසන් නිල ප්‍රතිඵල මෙහෙමයි. 


ඉහත සංඛ්‍යාලේඛන අනුව පැහැදිලිව පෙනෙන පරිදි මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කර තිබෙන්නේ ඇරිසෝනා, විස්කොන්සින් හා ජෝර්ජියා ප්‍රාන්ත වල ආන්තික ඡන්දදායකයින් 43,349 දෙනෙකු විසිනුයි. එම එක් එක් ප්‍රාන්තය තුළ ලිබටේරියන් අපේක්ෂිකාව වූ ජෝ ජෝර්ගන්සන් විසින් ලබා ගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය ඉක්මවනවා.

ජනාධිපති ට්‍රම්ප්ව ගෙදර යවන්න හේතු වුනේ මෙවර මැතිවරණයේදී ඡන්ද භාවිතය වාර්තාගත ලෙස ඉහළ යාම බව පැහැදිලි කරුණක්. ඡන්ද භාවිතය ඉහළ ගියේ පසුගිය වසර වලදී පැවැත්වුණු ප්‍රධාන මැතිවරණ වලට සාපේක්ෂවයි. එහෙම වුනේ ඇයි?

මැතිවරණයකදී කිසියම් පුද්ගලයෙකු විසින් ඡන්දය භාවිතා කිරීමේ හෝ නොකිරීමේ තීරණය ගනිද්දී සවිඥානිකව හෝ අවිඥානිකව තමන්ට ලැබෙන ආකාර දෙකක වාසි හෝ අවාසි ගැන සලකා බලනවා.

1. තමන්ගේ ඡන්දය මඟින් ලැබිය හැකි ප්‍රතිඵලය වෙනස් කර ගැනීමේ හැකියාව නිසා දීර්ඝකාලීනව ලැබෙන වාසිය.
2. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය මඟින් ලැබෙන වාසිය (හෝ අවාසිය).

මෙයින් පළමුවැන්න හැමවිටම ධන අගයක් හෝ ශුන්‍ය වන නමුත් දෙවැන්න ධන හෝ සෘණ අගයක් විය හැකියි. බොහෝ විට සෘණ අගයක්. ඒ වගේම පළමුවැන්න තමන්ගේ ඡන්දය නිසා ප්‍රතිඵලය වෙනස් වීමට තිබෙන සම්භාවිතාව මත වෙනස් වන දෙයක්. 

ඇමරිකානු ජනාධිපතිවරණය වැනි අවස්ථාවකදී ඡන්දය දැමීමේ ක්‍රියාවලිය හරහා ඡන්දදායකයෙකුට ලැබෙන ශුද්ධ වාසිය පහත ආකාරයට සරල ලෙස සූත්‍රගත කරන්න පුළුවන්. මෙහිදී පහසුව සඳහා තෙවන අපේක්ෂකයින් ඇතුළු අනෙකුත් සාධක වල බලපෑම් බැහැර කර තිබෙනවා.

B = (U1 - U0)p + C 

U1 - තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
U0 - ප්‍රතිවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ වාසිය/අවාසිය හෝ සතුට/අසතුට  
p - තමන්ගේ ඡන්දය නිසා තමන් වඩාත්ම කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වැඩි වීමේ සම්භාවිතාව 
C - ඡන්දය දැමීමේ ක්‍රියාවලිය නිසා ලැබෙන වාසිය/අවාසිය හෝ සතුට/අසතුට

දැන් මෙහි B>0 වූ විට කිසියම් අයෙක් ඡන්දය දමනවා. B<0 වූ විට ඡන්දය දමන්නේ නැහැ.

ඇමරිකාව වැනි රටක මැතිවරණ ප්‍රතිඵල මත ගොඩක් දේවල් වෙනස් වෙන්නේ නැහැ. කවුරු ජනාධිපති වුනත් අපි හම්බ කළොත් අපි කනවා. ඒ නිසා, U1 හා U0 අතර ලොකු වෙනසක් නැහැ. පරතරය අඩුයි. ඒ වගේම, තමන් වාසය කරන්නේ දෝලන ප්‍රාන්තයක නොවේනම් p අගය ඉතාම අඩුයි. ඒ නිසා, සමස්තයක් ලෙස (U1 - U0)p අගය ගොඩක් විශාල නැහැ. ඡන්දය දැමීමේ ක්‍රියාවලිය තුළ සතුටක් ලබන අයෙකුට C>0 නිසා මෙය ප්‍රශ්නයක් නෙමෙයි. එවැන්නෙකු හා අදාළව සමස්තයක් ලෙස B>0 නිසා ඔවුන් ඡන්දය දමනවා. එහෙත්, ඡන්දය වෙනුවෙන් වෙනත් වැඩ පැත්තක දමා පැය කිහිපයක් රස්තියාදු වීම වදයක් සේ සලකන අයට C<0 නිසා (C වල ලකුණ නොසලකා මාපාංකය පමණක් ගත්තොත්) ඉහත සූත්‍රය B = (U1 - U0)p - C බවට පත් වෙනවා. එවැන්නෙකුට B>0 වෙන්නේ (U1 - U0)p > C වුවහොත් පමණයි. ඒ කියන්නේ ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය ඡන්දය දමන්නට යාමේ කෙටිකාලීන අවාසියට වඩා වැඩිනම් පමණයි.

සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අය බොහෝ විට ඡන්දය දැමීමේ අපේක්ෂිත දිගුකාලීන වාසිය එතරම් විශාල සේ සලකන්නේ නැහැ. ඒ වගේම ඔවුන් බොහෝ විට ඡන්දය දැමීමේ ක්‍රියාවලිය වියදමක් සේ සලකනවා. ඒ නිසා එවැනි අය සාමාන්‍යයෙන් ඡන්දය දැමීමට දක්වන උනන්දුව අඩුයි.

මේ වෙද්දී ඇමරිකාව විශාල ලෙස දේශපාලනිකව බෙදුණු රටක්. දේශපාලනික බෙදීම තීව්‍ර වන තරමට U1 හා U0 අතර පරතරය විශාල වෙනවා. එවිට (U1 - U0)p ඉහළ ගොස් B ඉහළ යනවා. ඡන්ද භාවිතය ඉහළ යනවා. මෙවර වගේම 2016 මැතිවරණයේදීත් ඇමරිකාවේ ඡන්ද භාවිතය යම් තරමකින් ඉහළ යාමට මේ සාධකය ඉවහල් වුනා.

කෝවිඩ් නිසා ඡන්දය දමන්නට ඡන්ද පොළට යාමේ හා එහි පැය කිහිපයක් ගත කිරීමේ ආවස්ථික පිරිවැය විශාල ලෙස ඉහළ ගියා. ඒ කියන්නේ C අගය ඉහළ ගියා. ඒ අනුව, සිදු විය හැකිව තිබුණේ (U1 - U0)p - C අගය පහළ ගොස් ඡන්ද භාවිතය අඩු වීමයි. මෙය සංක්‍රමණිකයින්, අඩුආදායම්ලාභීන් වැනි අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. ඒ වගේම කෝවිඩ් වලට වැඩිපුර බය අයට වැඩි බලපෑමක් කළ හැකිව තිබුණා. මේ දෙකෙන්ම විය හැකිව තිබුණේ රිපබ්ලිකන් ඡන්ද අඩු ප්‍රමාණයක් අඩු වෙද්දී ඩිමොක්‍රටික් ඡන්ද වැඩි ප්‍රමාණයක් අඩු වීමයි.

මේ තත්ත්වය කලින් අවබෝධ කරගත් ඩිමොක්‍රටික් පක්ෂය ඔවුන්ට බලය තිබුණු ප්‍රාන්ත වල C අගය අඩු කිරීමට කටයුතු කළා. කොන්දේසි විරහිතව තැපැල් ඡන්ද දැමීමට ඉඩ දීමෙන් කළේ එයයි. මේ නිසා, එසේ නොකළේනම් B<0 විය හැකිව තිබුණු බොහෝ දෙනෙකුට B>0 වුනා. ඒ බොහෝ දෙනෙක් පැයේ ශ්‍රමයට රැකියා කරන අඩු ආදායම්ලාභීන්, සංක්‍රමණිකයින්, සුළු ජාතිකයින් වැනි ඩිමොක්‍රටික් නැඹුරුවක් තිබුණු අයයි. එහි වාසිය බයිඩන්ට ලැබුණා. මෙය එක අතකින් කෝවිඩ් නිසා ලැබුණු අනපේක්ෂිත වාසියක්.



Sunday, November 29, 2020

මොකක්ද මේ z-ස්කෝර් කියන්නේ?

පහුගිය දවස් වල ලංකාවේ එක් එක් සරසවි වල විවිධ පාඨමාලා සඳහා බඳවා ගැනෙන අවම ලකුණු ප්‍රකාශයට පත් කළානේ. අවම ලකුණු කියා කිවුවත් ප්‍රකාශයට පත් කළේ අවම z-ස්කෝර් අගයන්. මේ අවම අගයයන් සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙනවා. ඊට අමතරව මෙවර මේ අවම z-ස්කෝර් අගයයන් සිසුවෙකු විභාගයට මුහුණ දුන්නේ නව නිර්දේශය යටතේද නැත්නම් පැරණි නිර්දේශය යටතේද කියන එක මතත් වෙනස් වෙනවා. 

මේ විදිහට මෙවර නිර්ණායක දෙකක් යොදා ගන්න හේතු වී තිබෙන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකට අනුව වසර අටකට පසුව උසස් පෙළ විෂය නිර්දේශ සංශෝධනය කිරීමයි. මේ කරුණ හා අදාළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දු ගණනාවක් ඇතුළු තවත් පසුබිම් කරුණු රැසකුත් තිබෙනවා.

හේතු මොනවා වුනත්, සමස්තයක් ලෙස බැලුවහම කිසියම් සරසවියක කිසියම් නිශ්චිත පාඨමාලාවක් සඳහා නව නිර්දේශය යටතේ මුහුණ දුන් සිසුවෙකු හෝ සිසුවියක බඳවා ගැනීමේදී සලකා බලන අවම z-ස්කෝර් අගයයන් පැරණි නිර්දේශය යටතේ මුහුණ දුන් සිසුවෙකු හෝ සිසුවියක බඳවා ගැනීමේදී සලකා බලන අවම z-ස්කෝර් අගයයන්ට වඩා සැලකිය යුතු තරමකින් වැඩියි. ඇතැම් විට එසේ නොවන අවස්ථාද තිබෙනවා විය හැකි වුවත් පොදුවේ දැකිය හැකි තත්ත්වය මෙයයි. උදාහරණ කිහිපයක් පහත පෙන්වා දී තිබෙනවා.


කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.4546

පැරණි නිර්දේශය: 2.1010


කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.5010

පැරණි නිර්දේශය: 2.1076


මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.0676

පැරණි නිර්දේශය: 1.7248


මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.1944

පැරණි නිර්දේශය: 1.7664


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 2.0630

පැරණි නිර්දේශය: 1.6234


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පාඨමාලාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්:

නව නිර්දේශය: 1.8391

පැරණි නිර්දේශය: 1.7238


දැන් මේ අනුව බැලූ බැල්මටම පෙනෙන්නේ නව නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකුට හෝ සිසුවියකට සාපේක්ෂ අවාසියක් හෝ අසාධාරණයක් සිදු වී ඇති බවයි. එහෙත්, එවැනි නිගමනයකට එළැඹිය හැක්කේ නව නිර්දේශයේ හා පැරණි නිර්දේශයේ z-ස්කෝර් අගයයන් වලින් අදහස් වන්නේ එකම දෙයක්නම් පමණයි. මේ සිසු කණ්ඩායම් දෙකේ  z-ස්කෝර් අගයයන් ගණනය කර තිබෙන්නේ වෙන වෙනම, එකිනෙකින් ස්වායත්තව නිසා එවැනි සංසන්දනය කිරීමක් නිවැරදි නැහැ. සංසන්දනයක් කළ හැක්කේ මේ z-ස්කෝර් අගයයන් වලින් අදහස් වෙන්නේ කුමක්ද කියා නිවැරදිව තේරුම් ගැනීමෙන් පසුව පමණයි.

z-ස්කෝර් අගයයන් ගණනය කරන්නේ කොහොමද?

පිළිතුරක් ලෙස මෙය ගණනය කරන සමීකරණය ඉදිරිපත් කරන එක ඉතාම පහසුයි. නමුත්, එසේ කළ පමණින් බොහෝ දෙනෙකුට මේ අණ්ඩර දෙමළය තේරෙන එකක් නැහැ. ඒ නිසා, අපි මේ ගණනය කිරීමේ මූලධාර්මික පසුබිම දෙස මුලින්ම බලමු.

උසස් පෙළ විභාගයේ කිසියම් විෂයයකට පෙනී සිටින සිසුවෙකු හෝ සිසුවියක විසින් ලබා ගන්නට ඉඩ තිබෙන ලකුණු ප්‍රමාණය හරියටම දැන ගන්නට වෙන්නේ පිළිතුරු ඇගයීමෙන් පසුවයි. එතෙක්, ඒ පිළිබඳව තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. මෙය කාසියක් හෝ කැටයක් උඩ දැමීමට සමාන කළ හැකියි.

කාසියක් උඩ දැමූ විට සිරස හෝ අගය වැටෙන්න පුළුවන්. වැටෙන්නේ සිරසද අගයද කියා කලින් දැන ගන්න විදිහක් නැහැ. නමුත්, ඔය දෙකෙන් එකක් බව පැහැදිලියි. ඉතාම කලාතුරකින් දාරය වැටෙන්නත් පුළුවන්. එය අපි නොසලකා හරිමු. ඒ වගේම, කැටයක් උඩ දැමූ විට එහි පැති හයෙන් කවර හෝ එකක් වැටෙන්න පුළුවන්. වැටෙන පැත්ත කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ.

මේ ආකාරයටම උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ වැනි විභාගයක විෂයකට මුහුණ දෙන අයෙකුට 0-100 අතර ලකුණක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ප්‍රතිඵල 101න් කවර හෝ එකක් ලැබෙන්න පුළුවන්. ඒ කොයි එකද කියා කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ. කාසියක් හෝ කැටයක් උඩ දැමීමේදී වගේමයි.

හැබැයි මේ දෙකේ වෙනසක් තිබෙනවා. කාසියක් හෝ කැටයක් උඩ දැමූ විට ලැබිය හැකි කවර හෝ ප්‍රතිඵලයක් ලැබෙන්න තිබෙන්නේ සමාන ඉඩක්. කාසියක් උඩ දැමූ විට සිරස ලැබෙන්න තිබෙන ඉඩකඩ ආසන්නව 1/2ක්. කැටයක් උඩ දැමූ විට 3 වැටෙන්න තිබෙන ඉඩකඩ 1/6ක්. නමුත්, විභාගයකදී හරියටම ලකුණු 73ක් ලැබෙන්න තිබෙන ඉඩකඩ 1/101ක් නෙමෙයි. ඒ වගේම ඕනෑම ලකුණක් ලැබෙන්න තිබෙන ඉඩකඩ සමාන නැහැ. ලකුණු 100ක් ලැබෙන්න තිබෙන ඉඩකඩට වඩා ලකුණු 60ක් ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

මෙය අපිට උසස් පෙළ විභාගයේ කිසියම් විෂයයකට පෙනී සිටි සිසු සිසුවියන් විසින් ලබාගත් සැබෑ ලකුණු ප්‍රමාණ වල ව්‍යාප්තිය දෙස බලා පහසුවෙන් තේරුම් ගත හැකියි. අපි ආර්ථික විද්‍යාව විෂය ගනිමු. මම කැමතිම විෂයයක් නිසාම නෙමෙයි. පළමු වර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ ජනප්‍රියම විෂය ආර්ථික විද්‍යාව නිසා. පසුගිය වර නව නිර්දේශය යටතේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් වැඩිම පිරිසකගේ තේරීම වූ විෂය ආර්ථික විද්‍යාවයි. සතුටු විය හැකි කරුණක්!

හැබැයි පොඩි අවුලකට තිබෙන්නේ මේ ලකුණු ව්‍යාප්තිය ප්‍රසිද්ධ අවකාශයක සොයා ගත නොහැකි වීමයි. 2016 වසර දක්වා ආපසු ගියොත්, හරියටම ලකුණු ප්‍රමාණ නැතත්, ලකුණු කාණ්ඩ පිළිබඳ තොරතුරු සොයාගත හැකියි. බත් නැත්නම් කොස් හරි තියෙන එක කොයි තරම් දෙයක්ද? අදාළ තොරතුරු පහත වගුවේ තිබෙනවා.


වගුවේ දත්ත වලින් පැහැදිලි වන පරිදි, විභාගයට මුහුණ දුන් සිසුන්ගෙන් 66.8ක්ම, ඒ කියන්නේ තුනෙන් දෙකකටත් වඩා, අරගෙන තිබෙන්නේ 31-70 අතර ලකුණක්. අසූවට වැඩි හෝ 20ට අඩු (20ද ඇතුළුව) ලකුණක් ලබා ගෙන තිබෙන්නේ සිසුන්ගෙන් 10.6%ක් පමණයි. අහඹු ලෙස සිසුවෙක්ව අරගෙන ඔහුගේ හෝ ඇයගේ ලකුණු ගණන සොයා බැලුවොත් එය 50 වැනි මැද හරියේ ලකුණක් වෙන්න තිබෙන ඉඩකඩ 0 හෝ 100 වැනි අන්තයක ඇති ලකුණක් වෙන්න තිබෙන ඉඩකඩට වඩා ගොඩක් වැඩියි. 

මෙහෙම වෙන්න හේතුවක් තිබෙනවා. කාසියක් උඩ දැමීම හා සංසන්දය කළ හැක්කේ විභාගයක එක ලකුණක් මිසක් සමස්ත විභාගය නෙමෙයි. අපි හිතමු විභාගයේ ලකුණු දෙන්නේ කාසියක් උඩ දමලා කියලා. දැන් එක් එක් සිසුවාට කාසිය 100 වරක් උඩ දමන්න අවස්ථාව ලැබෙනවා. අගය වැටුණොත් ලකුණයි. සිරස වැටුණොත් ලකුණක් නැහැ. මේ අනුව කිසියම් සිසුවෙකුට ලකුණු 0-100 අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ලකුණු 100ම ගන්නනම් සියපාරම අගය වැටෙන්න ඕනෑ. එවැන්නක් විය හැක්කේ ඉතාම කලාතුරකින් බව ඉතාම පැහැදිලියි. ඒ වගේම, එකම එක වරක්වත් අගය නොවැටී ලකුණු 0 ලැබීමත් ඉතා කලාතුරකින් පමණක් විය හැකි දෙයක්. බොහෝ දෙනෙක්ට ලැබෙන්න ඉඩ තිබෙන්නේ 50ට ආසන්න ලකුණු ප්‍රමාණයක්. විභාගයකදී වෙන්නේත් ඔය වගේ දෙයක්. 


උසස් පෙළ විභාගය වැනි 0-100 අතර ලකුණු දෙන විභාගයකදී එක් එක් ලකුණු ප්‍රමාණය ලබාගත් සිසුන් ගණන ප්‍රස්ථාරයකින් පෙන්වූ විට එම ප්‍රස්ථාරය ඝණ්ඨාවක හැඩය ගන්නා බව බොහෝ විට දැකිය හැකියි. ඉහත වගුවෙහි ලකුණු කාණ්ඩ මිස හරියටම ලකුණු ප්‍රමාණ නැති නිසා මෙය ගොඩක්ම පැහැදිලිව නොපෙනුණත් යාන්තමින් හෝ ඝන්ඨා හැඩයක් දැක ගන්න බැරිකමක් නැහැ. 

මේ ආකාරයේ ප්‍රස්ථාරයක් සංඛ්‍යාන ව්‍යාප්තියක් ලෙස හඳුනා ගත හැකියි. එවැන්නක හැඩය ඉහත කී ආකාරයේ ඝන්ඨා හැඩයක් ගන්නා බව පෙනෙන විට එවැන්නක් ප්‍රමත ව්‍යාප්තියක් හෙවත් ගවුසියානු ව්‍යාප්තියක් යොදා ගනිමින් ආකෘතිගත කළ හැකියි. ප්‍රමත ව්‍යාප්තියක් කියා කියන්නේ ගණිත සමීකරණයක් මගින් විස්තර කළ හැකි හැඩයක් තිබෙන සංඛ්‍යාන ව්‍යාප්ති පවුලක්. ඒ පවුලේ එක් විශේෂ සංඛ්‍යාන ව්‍යාප්තියක් සම්මත ප්‍රමත ව්‍යාප්තියක් ලෙස හැඳින්වෙනවා. සම්මත නොවන ප්‍රමත ව්‍යාප්තියක් පහසුවෙන් සම්මත ප්‍රමත ව්‍යාප්තියක් බවට පරිවර්තනය කළ හැකියි. 

විභාගයක ලකුණු බොහෝ විට ප්‍රමත ව්‍යාප්තියක් යොදාගෙන ආකෘතිගත කළ හැකි වුවත්, එක් එක් විභාගය සඳහා ගැලපෙන්නේ වෙනස් ප්‍රමත ව්‍යාප්තීන් නිසා ඒවා සංසන්දනය කරන්න අමාරුයි. එහෙත්, මේ වෙනස් ප්‍රමත ව්‍යාප්තීන් සම්මත ප්‍රමත ව්‍යාප්තීන් බවට පරිවර්තනය කළ පසු එවැනි සංසන්දනය කිරීමක් කළ හැකියි. උසස් පෙළ විභාගයේදී සිසුන් ලබා ගන්නා සැබෑ ලකුණු z-අගයයන් බවට හැරවීමේ අරමුණ මෙවැනි සැසඳීමක් කිරීමට ඉඩ ලබා ගැනීමයි.

මුලින්ම අපි සම්මත ප්‍රමත ව්‍යාප්තියක් කියන්නේ මොන වගේ එකක්ද කියා බලමු. අපි හිතමු ඕනෑම ලකුණු ගණනක් ලැබිය හැකි ක්‍රීඩාවක් හෝ විභාගයක් ගැන. අපි කවුරුත් දන්නා උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ විභාගයකදී ලැබෙන්නේ 0-100 අතර ලකුණු ගණනක් වුවත් මේ විභාගයේ එවැනි සීමාවක් නැහැ. කැමති තරම් ඉහළ හෝ පහළ ලකුණු ගණනක් ගන්න පුළුවන්. කැමති තරමක් පහළ කියා කියන්නේ ලකුණු ගණන විශාල සෘණ අගයක් වුනත් වෙන්න පුළුවන්. 

මේ වගේ සෘණ ලකුණු ලැබෙන විභාගත් තියෙනවද? අපි ප්‍රශ්න 100ක් තිබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ගැන හිතමු. හරියන ප්‍රශ්නයකට ලකුණක් ලැබෙනවා. වැරදෙන ප්‍රශ්නයකට ලකුණක් අඩු වෙනවා. දැන් හරියන ප්‍රශ්න ගණනට වඩා වැරදෙන ප්‍රශ්න ගණන වැඩි වුනොත් ලකුණු ගණන සෘණ පැත්තට යනවනේ. ඔය වගේ විභාග ලකුණු ක්‍රමයක් ගැන හිතන්නකෝ.

එතකොට දැන් ඔය ගොඩක් විභාග පරිගණක ආශ්‍රිතව පවත්වනවනේ. මුද්‍රිත විභාගයකදී වගේ පරිගණක ආශ්‍රිත විභාගයකදී නිශ්චිත ප්‍රශ්න ගණනක්ම දෙන්න අවශ්‍ය නැහැනේ. අපි හිතමු අපේක්ෂකයෙකුට තමන් කැමති තරමක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඉඩ දෙනවා කියලා. කැසිනෝ වගේ සූදුවක අවසන් ප්‍රතිඵලයත් මේ ආකාරයේ විභාග ප්‍රතිඵලයකට සමාන කරන්න පුළුවන්. දිනුවොත් ධන ගණනක්. පැරදුනොත් සෘණ ගණනක්. 

මේ වගේ ක්‍රීඩාවකදී විශාල ධන ගණනක් හෝ සෘණ ගණනක් ප්‍රතිඵලය විය හැකි වුවත් එසේ වෙන්නේ කලාතුරකින්. බොහෝ විට ප්‍රතිඵලය ශුන්‍යයට ආසන්න ගණනක්. මේ ආකාරයේ ක්‍රීඩාවක හෝ විභාගයක ලකුණු ව්‍යාප්තිය සම්මත ප්‍රමත ව්‍යාප්තියකින් පැහැදිලි කළ හැකියි. පහත රූප සටහනේ පෙන්වා දී තිබෙන්නේ එවැනි සම්මත ප්‍රමත ව්‍යාප්තියක්.


සම්මත ප්‍රමත ව්‍යාප්තියක සුවිශේෂී ගුණාංග රාශියක් තිබෙනවා. 

- සම්මත ප්‍රමත ව්‍යාප්තියක වඩාත්ම සුලභ "ලකුණ" බිංදුව. බිංදුවෙන් ඈත් වන තරමට කිසියම් ලකුණක් ලැබෙන්න තිබෙන ඉඩකඩ අඩු වෙනවා. තාක්ෂනික වචනයක් භාවිතා කළොත් ව්‍යාප්තියේ මාතය 0යි.

- සමස්ත ගහණයෙන් හරියටම 50%ක් බිංදුවට වඩා වැඩි, එනම් ධන, ලකුණු ලබා ගන්නවා. ඉතිරි 50% සෘණ ලකුණු ලබා ගන්නවා. තාක්ෂනික වචනයක් භාවිතා කළොත් ව්‍යාප්තියේ මධ්‍යස්ථය 0යි.

- හැමෝගෙම ලකුණු එකතු කළාම ධන සෘණ අවලංගු වී ගිහින් ප්‍රතිඵලය බිංදුව වෙනවා. තාක්ෂනික වචනයක් භාවිතා කළොත් ව්‍යාප්තියේ මධ්‍යන්‍යය 0යි.

- මුළු ගහණයෙන් 34.13%ක් 0 හා 1 අතර ලකුණු ලබා ගන්නවා. ඒ වගේම, මුළු ගහණයෙන් තවත් 34.13%ක් -1 හා 0 අතර ලකුණු ලබා ගන්නවා. ඒ අනුව, මුළු ගහණයෙන් 68.26%ක් -1 හා 1 අතර ලකුණු ලබා ගන්නවා. මේ ලකුණු ගණන් ඕනෑම දශම ගණනක් විය හැකියි. තාක්ෂනික වචනයක් භාවිතා කළොත් ව්‍යාප්තියේ සම්මත අපගමනය 1යි.

- මේ ආකාරයටම ඕනෑම ලකුණු දෙකක් අතර, උදාහරණයක් විදිහට 0.789 හා 1.237 අතර ලකුණු ගන්නා අය කී දෙනෙක්ද කියන එක ගණිත සමීකරණයක් ඇසුරෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.

මේ අවසන් ලක්ෂණයේ ප්‍රායෝගික වැදගත්කමක් තිබෙනවා. අපි හිතමු මේ තරඟයෙන් ලකුණු 4කට වඩා ලබා ගන්නා අයට කිසියම් ත්‍යාග මුදලක් දෙනවා කියලා. එම ත්‍යාග මුදල් ලබා ගන්නේ කවුද කියා කලින් දැන ගන්න විදිහක් නැතත්, කී දෙනෙක් එම ලකුණු ප්‍රමාණය ඉක්මවයිද කියන එක කලින්ම නිවැරදිව ඇස්තමේන්තු කරන්න පුළුවන්. තව දුරටත් විස්තර කළොත්  සම්මත ප්‍රමත ව්‍යාප්තියක ඕනෑම ලකුණකට වඩා අඩුවෙන් හා වැඩියෙන් ලකුණු ගන්නා ප්‍රතිශතය පහසුවෙන් හොයා ගන්න පුළුවන්. 

සම්මත ප්‍රමත ව්‍යාප්තියක් කියා කියන්නේ ප්‍රමත ව්‍යාප්ති පවුලේ එක් සාමාජිකයෙක් කියා මම කිවුවනේ. සම්මත ප්‍රමත ව්‍යාප්තියක ලක්ෂණ සියල්ලම නොවුණත් ලක්ෂණ ගණනාවක්ම එම පවුලේ පොදු ලක්ෂණ. 

අපි කලින් කියපු ක්‍රීඩාවට හෝ විභාගයට නැවත යමු. මේ ක්‍රීඩාවේ හෝ විභාගයේ ලකුණු ව්‍යාප්තියේ වඩාත්ම සුලබ ලකුණ බිංදුව. මාතය කියා කියන්නේ ව්‍යාප්තියක වඩාත්ම සුලබ අගයටයි. මාතය වගේම මධ්‍යස්ථය හා මධ්‍යන්‍යයත් බිංදුවයි. මධ්‍යස්ථය කියා කියන්නේ තරඟකරුවන් 50% බැගින් දෙපැත්තට බෙදන ලකුණ. තරඟකරුවන්ගෙන් අඩක් මධ්‍යස්ථයට වඩා වැඩියෙනුත්, අනෙක් අඩ මධ්‍යස්ථයට වඩා අඩුවෙනුත් ලකුණු ලබා ගන්නවා. මධ්‍යන්‍යය කියා කියන්නේ සියළුම තරඟකරුවන්ගේ ලකුණු එකතු කර තරඟකරුවන් ගණනින් බෙදූ විට ලැබෙන පිළිතුර.

දැන් මේ විභාගයේ සියලුම තරඟකරුවන්ට පොදුවේ "පිනට" ලකුණු පහ බැගින් දුන්නා කියා හිතමු. කලින් 0 ලබාගත් අයට දැන් ලකුණු 5යි. කලින් 5 ලබාගත් අයට දැන් ලකුණු 10යි. කලින් -5 ලබාගත් අයට දැන් ලකුණු 0යි. දැන් සංඛ්‍යාන ව්‍යාප්තියට මොකද වෙන්නේ? 

දැන් වඩාත්ම සුලභ ලකුණ, එනම් මාතය තව දුරටත් 0 නෙමෙයි. අලුත් මාතය 5. ඒ වගේම අළුත් මධ්‍යස්ථය හා මධ්‍යන්‍යයත් 5. මුළු සංඛ්‍යාන ව්‍යාප්තියම ඒකක පහකින් දකුණට තල්ලු වෙලා. නමුත්, තරඟකරුවන්ගේ සාපේක්ෂ පිහිටීම් වෙනස් වෙලා නැහැ. කලින් තරඟකරුවන් 34.13%ක් හිටියේ 0 හා 1 අතර. දැන් තරඟකරුවන් 34.13%ක් ඉන්නේ 5 හා 6 අතර. ඒ වගේම කලින් -1 හා 0 අතර සිටි තරඟකරුවන් 34.13 දැන් ඉන්නේ 4 හා 5 අතර. කලින් 0 ආශ්‍රිතව සිදු වුනු දේවල් දැන් වෙන්නේ 5 ආශ්‍රිතව.

මේ විදිහටම ලකුණු 5ක් එකතු කරනවා වෙනුවට අඩු කරන්නත් පුළුවන්. එවිට හැම දෙයක්ම වෙන්නේ -5 කේන්ද්‍ර කරගෙන. පහත රූප සටහනේ පෙන්වා දී තිබෙන්නේ අදාළ ප්‍රමත ව්‍යාප්තීන් දෙකයි.


ඔය විදිහට හැමෝටම ලකුණු එකතු කරන්නේ හෝ අඩු කරන්නේ නැතුව හැමෝගෙම ලකුණු ගණන් දෙගුණ කළොත් මොකද වෙන්නේ? සීයෙන් ලකුණු දෙන විභාගයකට දෙසීයෙන් ලකුණු දුන්නා වගේ වැඩක්නේ. බිංදුව ගත් අයට කොහොමත් එකයි. නමුත්, 1 ගත් අයගේ ලකුණ දැන් 2ක් වෙලා. -1 ගත් අයගේ ලකුණ -2ක් වෙලා.

මේ වැඩෙන් ව්‍යාප්තියේ මාතය, මධ්‍යන්‍යය හෝ මධ්‍යස්ථය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ව්‍යාප්තියේ වෙනසක් වෙනවා කියන එක පැහැදිලියිනේ. කලින් 0 හා 1 අතර සිටි 34.13%ක පිරිස දැන් ඉන්නේ 0 හා 2 අතර. කලින් -1 හා 0 අතර සිටි පිරිස දැන් ඉන්නේ -2 හා 0 අතර. තාක්ෂණික ලෙස මෙහිදී සිදු වෙලා තිබෙන්නේ සම්මත අපගමනය 1 සිට 2 දක්වා වැඩි වීමයි.


ප්‍රමත ව්‍යාප්ති පවුලේ සාමාජිකයින් එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ මධ්‍යන්‍යය හා සම්මත අපගමනය කියන පරාමිතීන් දෙකේ වෙනස් වීම අනුවයි. මධ්‍යන්‍යය කියන්නේ ව්‍යාප්තියේ මැද හා එහි උසම තැනයි. සම්මත අපගමනය කියා කියන්නේ ව්‍යාප්තිය මධ්‍යන්‍යය වටා කොයි තරම් දුරට පැතිරී ඇත්ද කියන එක පිළිබඳ මිනුමක්. ප්‍රමත ව්‍යාප්තියක මධ්‍යනය 0 හා සම්මත අපගමනය 1 වූ විට එය සම්මත ප්‍රමත ව්‍යාප්තියක් ලෙස හඳුන්වනවා. සම්මත ප්‍රමත ව්‍යාප්තියකට කිසියම් ධන හෝ සෘණ ගණනක් එකතු කිරීමෙන් හා/හෝ කිසියම් ගණනකින් ගුණ කිරීමෙන් වෙනත් ප්‍රමත ව්‍යාප්තීන් අනන්ත සංඛ්‍යාවක් හදා ගන්න පුළුවන්.

උදාහරණයක් විදිහට සම්මත ප්‍රමත ව්‍යාප්තියක් 10න් ගුණ කර 50ක් එකතු කළොත් අපට මධ්‍යන්‍යය 50 හා සම්මත අපගමනය 10 වූ ප්‍රමත ව්‍යාප්තියක් ලැබෙනවා. එය පහත රූප සටහනේ පෙන්වා දී ඇති ආකාරයේ ව්‍යාප්තියක්.


ඉහත ව්‍යාප්තිය 50 වටා කේන්ද්‍ර වී ඇති බවත්, එහි "ලකුණු" 0-100 අතර පරාසයේ පැතිරී ඇති බවත් ඔබට පෙනෙනවා ඇති. 0-100 අතර ලකුණු දෙන බොහෝ විභාග වල සංඛ්‍යාන ව්‍යාප්තිය මෙවැන්නක්. මෙවැන්නක් කියන එකෙන් අදහස් කළේ මධ්‍යනය හරියටම 50 වන බව හෝ සම්මත අපගමනය හරියටම 10 වන බව නෙමෙයි. එහෙත් එසේ වෙන්නත් පුළුවන්. එවැනි වෙනත් ගණනක් වෙන්නත් පුළුවන්.

දැන් අපි මේ සංඛ්‍යාන ව්‍යාප්තිය හදා ගත්තේ සම්මත ප්‍රමත ව්‍යාප්තියක් 10න් ගුණ කරලා 50ක් එකතු කිරීමෙන්නේ. ඒ කියන්නේ මේ හදාගත් සංඛ්‍යාන ව්‍යාප්තියේ හැම අගයකින්ම 50 බැගින් අඩු කරලා 10න් බෙදුවොත් අපට නැවතත් සම්මත ප්‍රමත ව්‍යාප්තියක් ලැබෙනවා. 

සාධාරණ වශයෙන් කිවුවොත්, ඕනෑම ප්‍රමත ව්‍යාප්තියක සියළුම අගයන්ගෙන් එහි මධ්‍යන්‍ය අගය අඩු කරලා ලැබෙන ප්‍රතිඵලය එහි සම්මත අපගමනයෙන් බෙදුවොත් අපට සම්මත ප්‍රමත ව්‍යාප්තියක් ලබා ගන්න පුළුවන්. ආරම්භක ප්‍රමත ව්‍යාප්තියේ මධ්‍යන්‍යය හා සම්මත අපගමනය කවර අගයක් වුනත් ප්‍රශ්නයක් නැහැ. මේ පියවර දෙකෙන් පස්සේ අපට ලැබෙන්නේ සම්මත ප්‍රමත ව්‍යාප්තියක්. 

විභාග ප්‍රතිඵල වගේම කිසියම් ගහණයක මිනිසුන්ගේ උස වැනි ස්වභාවික විචල්‍යයන් බොහොමයක් ප්‍රමත ව්‍යාප්තියක් ඇසුරෙන් ආකෘතිගත කළ හැකියි. ඉන් පසුව, සම්මත ප්‍රමත ව්‍යාප්තියක් බවට පරිවර්තනය කළ හැකියි. z-ස්කෝර් අගය සේ හැඳින්වෙන්නේ මේ ආකාරයට කිසියම් ප්‍රමත ව්‍යාප්තියක අගයක් සම්මත ව්‍යාප්තියක් බවට පත් කිරීමෙන් පසු ලැබෙන අගයයි.

z-ස්කෝර් අගය = (මුල් අගය - ව්‍යාප්තියේ මධ්‍යන්‍ය අගය)/(ව්‍යාප්තියේ සම්මත අපගමනය)

අදට ඇති නේද?



Friday, November 27, 2020

අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවරද?


මොකක් හරි ලොකු අකරතැබ්බයකින් යාන්තමින් බේරුනාම අපි කියනවා අනූ නවයෙන් බේරුනා කියලා. මේ කාලය අපි කවුරුත් අනූ නවයෙන් බේරී ජීවත් වන කාලයක්. ඒ වෙනුවෙන් ඇල් වතුරත් නිවලා බොන කාලයක්. වසංගතය ඉවර වුන දවසක ඒ ගැන සමාලෝචනයක යෙදෙන්න තරම් වාසනාවක් තිබුණොත් ඒ වන තුරු ජීවත්ව සිටින අපට මේ විදිහට අනූ නවයෙන් බේරුණු යුගය ගැන ගොඩක් දේවල් කතා කරන්න ඉතිරි වෙයි.

රටක් විදිහට ගත්තොත් ලංකාව සෑහෙන කාලයක් කෝවිඩ්-19 වසංගතයෙන් අනූ නවයෙන් බේරී හිටියා. නමුත්, දැන්නම් ඒ කාලය ඉවරයි වගේ.

මේ වෙද්දී ලංකාවෙන් හඳුනා ගැනුණු කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 22,501ක් දක්වා ඉහළ ගිහින්. ආසාදිතයින් ප්‍රමාණය අනුව කාලයක් තිස්සේම ලංකාව හිටියේ ලෝකයේ රටවල් අතරින් 99 වන තැන හෝ පහළින්. ඊයේ වෙද්දී ලංකාව 99 පහු කරලා 98 වන තැනට ඇවිත්.

ලංකාව කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වුනු ඊයේ දිනයේම කෝවිඩ්-19 මරණ ප්‍රමාණයත් 99 මට්ටමේ සිට 107 දක්වා ඉහළ ගිහින්. ඒ අනුව, මරණ ගණන අනුව බැලුවත් අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවර වෙලා.

ඒ විතරක් නෙමෙයි. ජනගහණයේ අනුපාතයක් ලෙස මෙතෙක් ලංකාවේ කෝවිඩ්-19 රෝගීන් හමු වී තිබුණේ ලක්ෂයකට 99 කට වඩා අඩු ප්‍රමාණයක්. මේ වෙද්දී ඒ ගණනත් ජනගහණය ලක්ෂයකට 105 දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ලංකාවේ දාහකින් එකකට වඩා මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් වෙලා. 

ඇමරිකාව එක්ක බැලුවහමනම් මේ එකක්වත් ලොකු දේවල් නෙමෙයි. ඇමරිකානු ජනගහණයෙන් 4%ක් මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන අවසන්.

කෝවිඩ් වසංගතය හා අදාළව ලංකාව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වෙද්දී ලංකාවට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ දිගුකාලීන ණය අවදානම් ශ්‍රේණිය CCC මට්ටම දක්වා පහත දමලා. කෙටිකාලීන ණය අවදානමද C මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

දෙමසකට පෙර මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය B2 මට්ටමේ සිට Caa1 මට්ටම දක්වා පහත හෙළුවා. මේ අනුව, ෆිච් ආයතනය විසින් කර තිබෙන්නේ ලංකාව සම්බන්ධ මූඩීස් ආයතනයේ දැක්ම තහවුරු කිරීමක්. 

ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන අතරින් මේ වන තුරුත් ලංකාවේ ණය අවදානම B කාණ්ඩයේ (B-) ඇති සේ සලකන්නේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය පමණයි. එයද තව කොපමණ කාලයක් නොවෙනස්ව තිබේදැයි සැක සහිතයි.


Saturday, November 21, 2020

කළු කපුටා සුදු වන තුරු...


මේ දවස් ටික ඉතාම කාර්ය බහුලයි. ලියන්නනම් ගොඩක් දේවල් තිබෙනවා. නමුත්, අනෙකුත් ප්‍රමුඛතා අවසන් කරලා බ්ලොග් එක පැත්තේ එන්න තවත් දවස් ගණනාවක් යන්න පුළුවන්. එතෙක් පරණ ලිපි කිහිපයක් ගැන නැවත මතක් කරන්නම්. 

මේ වෙද්දී මේ බ්ලොග් එකේ ගොඩක් දේවල් ගැන මොනවා හරි ලියල තියෙනවනේ. පළමුවෙන්ම කපුටා ගැන ලියපු ලිපි කිහිපයකින් එකක් ගැන නැවත මතක් කිරීමක්. අර කපුටා කියලා පියාසර කරන කළු සතෙක් ඉන්නේ. අන්න ඒ සතා ගැන. 

කපුටා කිවුවහම පොඩි කතාවක් මතක් වුනා. මේ කතාවත් කතාවක් ගැන කතාවක්. මගේ පුතෙක් පොඩි කාලේ දවසක් අපේ නැන්දම්මා එයාට කතාවක් කියා දෙනවා. ඒ කතාව ගැන අපි කතා නොකර ඉඳිමු. ඒ ගැනත් කතා කරන්න ගියොත් මේ කතාව කථා සරිත් සාගරයේ කතාව වගේ කදලු (nested) ආකෘතියේ කතාවක් වෙනවනේ. 

ඔය නැන්දම්මා පුතාට කියා දෙන කතාවේත් කපුටෙක් ඉන්නවා. ඒ කපුටාට කෑමක් හම්බ වෙලා කෑම බෙදා ගන්න තවත් කපුටන්ට කතා කරනවා. කපුටෝ ඉතිං එහෙමනේ. සම්පත් සාමූහිකව බෙදා ගන්නවා. හැබැයි සමසමව හරි නිර්ධන පංතියේ කපුටන්ගේ ආඥාදායකත්වයකට අවශ්‍ය පිළිවෙලට හරි නෙමෙයි. ඕනෑනම් මොනවා හරි කෑමක් එළියට දමලා පොඩ්ඩක් කාක් කියලා බලන්න.

පොඩ්ඩක් පාරෙන් එළියට ගියා. හරි. ආපහු පාරට දාගත්තා. ඉතිං දැන් අර කපුටා කාක් කාක් කියලා වටේපිටේ ඉන්න අනෙක් කපුටන්ට කතා කළාට පස්සේ සිදු වුන දේ අපේ නැන්දම්මා පුතාට විස්තර කළේ මේ විදිහටයි. 

"ඔන්න එතකොට වටේම ඉන්න කපුටෝ ටික හනිකට දුවගෙන දුවගෙන ආවා."

ඔහොම කියපු ගමන්ම අපේ පුතා මෙහෙම ප්‍රශ්නයක් අහනවා.

"ඉතිං ආච්චි කපුටෝ ටික පියාඹාගෙන එන්නේ නැතිව දුවගෙන ආවේ ඇයි?"

සාධාරණ ප්‍රශ්නයක්නේ. දැන් ඉතිං දීපංකෝ උත්තර.

කපුටෝ සාමාන්‍යයෙන් එන්නේ පියාඹාගෙන මිසක් දුවගෙන නොවන බව පුතා විසින් ඒ වෙද්දී බොහෝ වර නිරීක්ෂණය කරලා තිබෙනවා. ඒ නිරීක්ෂණය ඔහු සාධාරණීකරණය කරගෙන. ඔහු එවැනි සාධාරණීකරණය කිරීමක් කරලා තිබෙන්නේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගෙන තිබුණු නිසා නෙමෙයි. ඒ වෙද්දී වයස අවුරුදු තුනයි. 

දැකලා තිබෙන බොහෝ අවස්ථා වලදී කපුටෙක් ඔය වගේ වෙලාවක පියාඹාගෙන මිසක් දුවගෙන එන්නේ නැති නිසා පුතා එය සාමාන්‍ය තත්ත්වය ලෙස පිළිගන්නවා. එහෙම නොවෙන්නනම් විශේෂ හේතුවක් තිබිය යුතුයි. එවැනි විශේෂ හේතුවක් තියෙනවාද කියලයි පුතා නැන්දම්මාගෙන් ඇහුවේ. ලංකාවේ ජීවත් වූ සම වයසේ දරුවෙක් තරමටම සිංහල භාෂාව හුරු වී තිබුණානම් භාෂාවේ මේ යෙදීම ඔහුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත්, ඔහු ඒ තරම්ම සිංහල භාෂාවට නිරාවරණය වෙලා නැති නිසා දුවගෙන ආවේ කියන එක තේරුම් ගත්තේ එහි වචනාර්ථය අනුව යමිනුයි.

කපුටා කියන්නේ පියාසර කරන සතෙක් වනවාක් මෙන්ම කළු සතෙක්. කපුටා කලුයි කියන එක බොහෝ දෙනෙක් සාධාරණ ප්‍රකාශයක් ලෙස පිළිගන්නවා. කළු නැති සුදු කපුටෙක් දකින්න මෝල් ගහේ දළු එන තුරු බලා ඉන්න ඕනෑ. දුවගෙන එන කපුටන්ව දැකපු අය සාපේක්ෂව ටිකක් වැඩිපුර හිටියත්, සුදු කපුටන් දැකපු අයනම් ගොඩක් දුර්ලභයි. 

කවදාවත් සුදු කපුටෙක්ව දැකලා නැති කෙනෙක්ට සුදු කපුටෙක්ව පරිකල්පනය කර ගැනීම අසීරු දෙයක් නෙමෙයි. සුදු කපුටන් ගැන කතා බොහෝ සංස්කෘතීන් වල තිබෙනවා. එක ස්වදේශික ඇමරිකානු ජන කතාවකට අනුව ඉස්සර සියලුම කපුටෝ සුදුයිලු. කපුටා කළු වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකයෙන් මිනිස්සුන්ට ගින්දර අරන් එද්දී වැදුණු දුම නිසා. දුම් හට්ටි අල්ලපු නිසානම් නෙමෙයි. කවදාහරි මිනිස්සුන්ගේ කල්කිරියාව හොඳ වුනු දවසක නැවතත් කපුටෝ සුදු වෙනවා කියලා ඒ ස්වදේශික ඇමරිකානුවෝ විශ්වාස කරනවා. ඒක වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් හැදුනු දවසකද දන්නේ නැහැ.


(Photos by Mike Yip)

ඉතාම දුර්ලභ වුනත් සුදු කපුටෝ ඉන්නවා. ඇතැම් අය සුදු කපුටන්ව ඡායාරූපගත කරලා තිබෙනවා. උඩ ඉන්න සුදු කපුටාව හමු වෙලා තියෙන්නේ කැනඩාවේ වැන්කුවර් දිවයිනෙන්. සමහර විට කල්කිරියාව අතින් හොඳ මිනිස්සු බිහි විය හැක්කේ ඔය වගේ ධනවාදී රටකින් නිසා වෙන්න ඇති.

කල්කිරියාව අතින් හොඳ මිනිස්සු බිහි විය හැක්කේ ධනවාදී රටකින් කියන එක මගේ විශ්වාසයක්. එය මගේ නිරීක්ෂණ මත පදනම් වූ විශ්වාසයක්. කපුටා කෑමක් කන්න කතා කළාම පියාඹා ගෙන මිසක් දුවගෙන නොඑන බව වගේම විශ්වාසයක්. ඒ එන්නේ කළු කපුටෝ මිසක් සුදු කපුටෝ නොවන බව සිතීම වගේම විශ්වාසයක්. කපුටා පියාඹන කළු සතෙක් කියා සිතීම වැනිම විශ්වාසයක්. මේ විශ්වාස නිවැරදි වන්නේ කිසියම් සන්දර්භයක. එසේ සිතීමත් මගේ විශ්වාසයක්.

සුදු කපුටෝ පැත්තකින් තියමුකෝ. ලංකාවේ නෙමෙයි කැනඩාවේ පැත්තකින්. කළු කපුටෝ ඇත්තටම කළුද? එහෙමනම් කපුටා කළු වෙන්නේ කොහොමද? කපුටාට "කළු" කියා හැඳින්විය හැකි ගුණයක් තිබෙන නිසාද නැත්නම් කපුටා කළු සේ මා දකින නිසාද?

පරණ ලිපි කිහිපයකට සබැඳි පහත තිබෙනවා.

කළු, කැත කපුටා හා ලස්සන මොණරා

කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ!

කපුටා කළු නැත්නම් තැඹිලි තැඹිලි පාටද?

තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)

තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)

ප්‍රතිචාර කියවා පිළිතුරු ලියන්න වෙලාව හොයා ගන්න අමාරුයි. හදිසි වැඩ ටික ඉවර කර ගන්න දවස් කිහිපයක් යයි. කළු කපුටා සුදු වන තුරු මෝල් ගහේ දළු එන තුරු තරම් කාලයක්නම් යන එකක් නැහැ.



Saturday, November 14, 2020

බයිඩන් නැගිට්ටේ කොහොමද?


ඇමරිකාවේ ඡන්දදායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කවර හෝ දේශපාලන පක්ෂයක් යටතේද ලියාපදිංචි වන බව මම කලින් ලිපියේ ලිවුවනේ. එම ලිපියේ විස්තර කළ පරිදි, මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

දැන් මේ ආකාරයට කිසියම් පක්ෂයක් යටතේ ලියාපදිංචි වුනා කියලා එම පක්ෂයටම ඡන්දය දෙන්න අවශ්‍ය නැහැ. ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වී හිටියත්, රිපබ්ලිකන් හෝ වෙනත් පක්ෂයක් යටතේ ලියාපදිංචි වී හිටියත්, කිසිදු පක්ෂයකට සම්බන්ධ නැති අයෙකු ලෙස ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වී හිටියත්, කිසිදු වෙනසක් නැතුව ජාතික මැතිවරණයකදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න පුළුවන්. මේ විදිහටම ඕනෑම කෙනෙකුට වෙනත් පක්ෂයක කෙනෙකුට ඡන්දය දෙන්නත් පුළුවන්.

මේ නිදහස තිබුණත් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි වන අය, අපේක්ෂා කළ හැකි පරිදිම, බොහෝ විට ඡන්දය දෙන්නේ එම පක්ෂයේ අපේක්ෂකයෙකුටයි. රිපබ්ලිකන් පක්ෂය හා අදාළවත් මෙය එලෙසමයි. කුඩා පක්ෂ යටතේ ලියාපදිංචි වී ඉන්න අයනම් අන්තිමේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක දුලබ දෙයක් නෙමෙයි. පක්ෂයකට බැඳීමක් නැති අය බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ඡන්දය දෙනවා වගේම ඔවුන් බොහෝ දෙනෙකුටත් මේ පක්ෂ දෙකෙන් එකක් වෙත නැමියාවක් තිබෙනවා. වෙනස පක්ෂය වෙත බැඳීම එතරම් දැඩි නොවීම පමණයි. වෙනත් විදිහකින් කිවුවොත් ඒ ගොඩේ ඉන්න බොහෝ දෙනෙකුත් "පාවෙන ඡන්දදායකයින්" කියා කිව හැකි අය නෙමෙයි.

එක් එක් පක්ෂ යටතේ ලියාපදිංචි වන ඡන්දදායකයින් ප්‍රමාණ අනුව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන්. කැලිෆෝර්නියා ප්‍රාන්තය සැලකුවොත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ප්‍රමාණය රිපබ්ලිකන් පාක්ෂිකයින් ප්‍රමාණයට වඩා දෙගුණයකට ටිකක් අඩුයි. මැතිවරණයේ සැබෑ ඡන්ද භාවිතය බැලුවහම ගොඩවල් දෙකම විශාල වී තිබුණත් ආසන්න වශයෙන් අනුපාතය සමානයි.

කොහොමටත් ඩිමොක්‍රටික් පක්ෂයේ බල කඳවුරක් වන කැලිෆෝර්නියා ප්‍රාන්තය අත ඇරලා පක්ෂ දෙකටම ආසන්නව සමාන බලයක් තිබෙන ෆ්ලොරිඩා වගේ ප්‍රාන්තයක් දිහා බැලුවත් ඉහත කී කරුණ තහවුරු කර ගන්න පුළුවන්. නමුත්, ඒ මත පදනම්ව මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව අවසන් නිගමනයකට එළැඹෙන්න අසීරුයි. මෙවර මැතිවරණයට පෙර, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයින් පක්ෂ වලට බෙදී සිටියේ (හෝ නොසිටියේ) පහත ආකාරයටයි.

ඩිමොක්‍රටික් - 5,203,795 (37.0%)

රිපබ්ලිකන් - 5,020,199 (35.7%)

වෙනත් පක්ෂ - 188,587 (1.3%)

පක්ෂයකට බැඳීමක් නැති - 3,653,046 (26.0%)

මම කලින් ලිපියක ලිවුවනේ මම පෞද්ගලිකව ඇසුරු කරන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කියලා. ඒ අය අතර රිපබ්ලිකන් පාක්ෂිකයින් නැති තරම්. එහෙත්, ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ලියාපදිංචි නොවූ, "පක්ෂයකට බැඳීමක් නැති" ගොඩේ ඉන්න අය.

මගේ මේ මිතුරු මිතුරියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවෙන් පැමිණි පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්. මාද ඇතුළු මේ පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ එක කකුලක් තවම ලංකාවේ තිබෙනවා කියන එක බොරුවක් නෙමෙයිනේ. ලංකාවේ ජනමතය නියෝජනය කරමින් මේ බොහෝ දෙනෙක්ද රාජපක්ෂවාදියෝ. එජාප, ජවිපෙ වැනි ලංකාවේ වෙනත් පක්ෂ වලට පක්ෂපාතිත්වයක් තිබෙන ටික දෙනෙක්ද ඉන්නවා. 

ලංකාවේ ජනමතය කියා කිවුවේ අර තාප්ප පාට කරපු කාලයේ ජනමතය ගැන මිසක් දැන් ජනමතය ගැන නෙමෙයි. මම බ්ලොග් එක පටන් ගත්ත කාලයේ හැම තැනම හිටියේ යහපාලනය වෙනුවෙන් ඡන්දය දීපු අය. හැබැයි ටික දවසක් යද්දී එහෙම කෙනෙක් බේතකටවත් හොයා ගන්න නැහැ. බේතකට වගේ ඕනෑ වුනොත් රාජපක්ෂවාදීන්නම් තවමත් හොයාගන්න අමාරු නැහැ.

ට්‍රම්ප් ඇමරිකාවේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටි කාලයේදී වුවත් ඇමරිකාවෙන් පිටත ඔහුට තිබුණේ දැඩි අප්‍රසාදයක්. විශේෂයෙන්ම යුරෝපය ප්‍රමුඛ අනෙකුත් බටහිර රටවල. එහෙත්, ලංකාවේ ජාතිකවාදීන් හා රාජපක්ෂවාදීන් හිටියේ මීට වඩා වෙනස් ස්ථාවරයක. ඇමරිකාවෙන් පිටත ට්‍රම්ප්ට වැඩිම කැමැත්තක් තිබුණු රට සමහර විට ලංකාව වෙන්න වුනත් බැරි නැහැ.

හැබැයි ලංකාවෙන් සංක්‍රමණය වී ඇමරිකාවේ ජීවත්ව සිටි දැඩි රාජපක්ෂවාදීන් පවා කිසි විටෙක ට්‍රම්ප්වාදියෙකු වූ බවක් මම නිරීක්ෂණය කරලා නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ ලංකාවේ කවර දේශපාලන පක්ෂයකට වුවත් ඇමරිකාව ඇතුළේදීනම් ඉතිං ඩිමොක්‍රටික් තමයි.

ලාංකික සම්භවයක් නැති මගේ මිතුරු මිතුරියන්ගෙන් වැඩි දෙනෙක්ද සංක්‍රමණිකයින්. මේ අය අතර ඉන්දියාව, චීනය, වෙනත් නැගෙනහිර හා දකුණු ආසියානු රටවල්, රුසියාවෙන් හා පැරණි සෝවියට් දේශයෙන් කැඩී ගිය රටවල් වලින් පැමිණි අය, දකුණු ඇමරිකාවේ විවිධ රටවලින් පැමිණි අය, අප්‍රිකාවේ විවිධ රටවලින් පැමිණි අය වගේම බටහිර යුරෝපීය රටවල් වලින් හා කැනඩාවෙන් පැමිණි අයත් ඉන්නවා. පොදුවේ ගත්තහම මේ කාගේත් කැමැත්ත තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ඔවුන් වැඩි දෙනෙක් ට්‍රම්ප් විරෝධීන්.

ඊට අමතරව මගේ මිතුරන් සේ සැලකිය හැකි සංක්‍රමණිකයින් නොවන සුදු ඇමරිකානුවන් හැම දෙනෙක්ම වාගේත් ඩිමොක්‍රටික් පැත්තට බර අයයි. ඔවුන් හැම දෙනෙක්ම වගේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබෙන වෘත්තීය රැකියා කරන අය. ඒ අයට පොදු වශයෙන් ගත් විට ට්‍රම්ප් ප්‍රශ්නයක් වී තිබෙන්නේ ට්‍රම්ප් විසින් විද්‍යාව පිළි නොගැනීම හා ඇමරිකාවේ ආයතනික පද්ධතියට ගරු නොකිරීම හේතුවෙනුයි.

වෘත්තීය මට්ටමෙන් මා දන්නා රිපබ්ලිකන් පක්ෂයට බර අදහස් ඇති, පොදුවේ ඇමරිකාව තුළ හා ඇමරිකාවෙන් පිටතත් පිළිගැනීමක් තිබෙන, ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්ති හා එකඟ නොවන්නේ විද්‍යාව මත පදනම්වයි. රිපබ්ලිකන් පාක්ෂිකයින් වුවත් ඔවුන්ගෙන් ඇතැම් අයටත් ට්‍රම්ප් සමඟ ප්‍රශ්න තිබෙනවා.

කෙසේ වුවත්, මා ජීවත් වන ප්‍රදේශය ඉතා පැහැදිලි ලෙසම රිපබ්ලිකන් ප්‍රදේශයක්. මේ රිපබ්ලිකන් පාක්ෂිකයින් අතර මා සමඟ හිතවත්, නිතර හමුවෙන හා කතාබස් කරන, අසල්වැසියන් බොහෝ දෙනෙක් සිටිනවා විය යුතුයි. එහෙත්, ඔවුන් දේශපාලනය කතා කරන්න එන්නේ නැහැ. ඇතැම් විට මා සංක්‍රමණිකයෙකු හා සුළු ජාතිකයෙකු වීම ඊට හේතුවක් විය හැකි වුවත් ඊටත් වඩා මෙය ට්‍රම්ප් වෙනුවෙන් ඡන්දය දෙන අයගේ මූලික ස්වභාවයක්.

ට්‍රම්ප්වාදීන් ට්‍රම්ප් විරෝධීන්ට සාපේක්ෂව පැත්තකට වී පාඩුවේ ඉන්න පිරිසක්. ඔවුන් තර්කනය මත පදනම්ව හෝ සාක්ෂි මත පදනම්ව තීරණ ගන්නා අය නෙමෙයි. ට්‍රම්ප් කියන්නේ ඔවුන්ට ආගමක් වගේ. ලංකාවට රාජපක්ෂලා වගේ.

පසුගිය දෙසැම්බරය වන විටත් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය පෙනෙන සීමාවක හිටියේ නැහැ. පළමුව කෝවිඩ්-19 වසංගතය විසිනුත්, දෙවනුව ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසුව හමා ගිය විරෝධතා රැල්ල නිසාත් ඩිමොක්‍රටික් පක්ෂයට ගැම්මක් ආවා. හැබැයි කරුණු දෙකේදීම ට්‍රම්ප්ගේ විවේචකයින් වී සිටියේ කොහොමටත් ට්‍රම්ප් විරෝධීන්ව සිටි අයයි. ට්‍රම්ප්වාදීන් දිගටම ට්‍රම්ප් සමඟ හිටියා. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට හේතු වුනේ ට්‍රම්ප්වාදීන්ව සිටි ඇමරිකානුවන් විසින් ට්‍රම්ප්ව අතහැර බයිඩන්ව වැළඳ ගැනීම නෙමෙයි. එහෙම දෙයක් වුනේ නැහැ.

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ යාමයි. එසේනම්, අපට විග්‍රහ කරන්න වෙන්නේ ඡන්ද භාවිතය විශාල ලෙස ඉහළ ගියේ කොහොමද කියන කාරණයයි. බ්ලොග් එක පටන් ගත් අලුත ලියා පළ කළ පහත ලිපිය මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.



(Image: https://www.reddit.com/r/pics/comments/12xwqq/joe_biden_doing_pushups_with_little_girls/)

Friday, November 13, 2020

ඇමරිකාවේ සමාජවාදය


ඇමරිකානු ජනාධිපතිවරණ දිනයට පෙර සිදු වුනු මැතිවරණ ප්‍රචාරණයේදී "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන ඇහුණා. ගොඩක් වෙලාවට පෙනෙන්න තිබුණේ ට්‍රම්ප් කඳවුර විසින් බයිඩන් කඳවුරට මේ වගේ වචන වලින් දමා ගසන ආකාරයක්. මේවා දැකපු ලංකාවේ සමහර අය ජෝ බයිඩන් සමාජවාදියෙක් ලෙසත්, ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදී පක්ෂයක් ලෙසත් දකින තැන දක්වාම තල්ලු වෙලා තියෙනවා. කවුරු හරි එහෙම හිතනවානම් ඊට වඩා මුලාවක් තවත් නැහැ.

ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ලිබරල්වාදී, ජාත්‍යන්තරවාදී, සුබසාධනවාදී හා සම්ප්‍රදාය විරෝධී පක්ෂයක්. නමුත්, ඩිමොක්‍රටික් පක්ෂය කියන්නේත් රිපබ්ලිකන් පක්ෂය වගේම ධනවාදය පිළිගත්, ධනවාදය වෙනුවෙන් කැප වුනු, ධනවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පක්ෂයක්. ඩිමොක්‍රටික් පක්ෂයට සාපේක්ෂව එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමාජවාදී පක්ෂයක් කියා හඳුන්වන්න පුළුවන්.

ඩිමොක්‍රටික් පක්ෂය හෝ පාක්ෂිකයන් විසින් තමන් සමාජවාදීන් සේ හඳුන්වා ගන්නේ නැහැ. ඔවුන්ට  "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන වලින් දමා ගසන්නේම අපහාසාත්මක අර්ථයකින්. එහෙමත් නැත්නම් දේශපාලන හානියක් කිරීමේ අරමුණින්. මොකද ඇමරිකාව ඇතුළේ සමාජවාදී ලේබලය ගැසීම නිශේධනාත්මක දෙයක්. තනිකරම ලංකාවේ අනික් පැත්ත.

එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් තමන්ව ධනවාදී පක්ෂ සේ හඳුන්වා ගන්නේ නැහැ. එම පක්ෂ, ධනවාදී පක්ෂ සේ කෙසේ වුවත්, ධනපති පක්ෂ සේ හැඳින්වීම මුලින් ලසසප, කොප වැනි පැරණි වාමාංශික පක්ෂ විසින් පටන් අරගෙන පසුව ජවිපෙ වැනි පක්ෂ විසින් ඉදිරියට අරගෙන ගිය භාවිතාවක්. එම පක්ෂ ධනපති පක්ෂ සේ හඳුන්වන්නේ අපහාසාත්මක අර්ථයෙන්. මේ ආකාරයෙන්ම ලංකාවේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ එවැනි අනෙක් පක්ෂ සුළු ධනේශ්වර පක්ෂ සේ හඳුන්වනවා. ඇත්ත වුනත්, බොරු වුනත් මේ ලේබලය ගහන්නේ අපහාසාත්මක අර්ථයකින්. ට්‍රම්ප්වාදීන් ඩිමොක්‍රටික් පක්ෂය ගැන කතා කරද්දී "රැඩිකල් වාමාංශය" වගේ යෙදුම් යොදන්නෙත් මෙවැනිම අර්ථයකින්.

ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ඇමරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති අතර මහා ලොකු වෙනසක් නැහැ. පොදුවේ ඇමරිකාවේ ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ, විශේෂයෙන්ම දියුණු වන රටක සිට සංක්‍රමණය වූ අයෙකුගේ, දෘෂ්ඨි කෝණයෙන් බැලුවත් තත්ත්වය එසේමයි. මේ පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති අතර වෙනස පැහැදිලිව පෙනෙන්නේ ඇමරිකානු සන්දර්භය ඇතුළේ පමණයි. පක්ෂ දෙකම මූලික වශයෙන් නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය පිළිගන්නවා. 

ඇමරිකාවේ ඡන්දය දමන්න අවස්ථාව ලැබෙන්නේ වයස 18 සම්පූර්ණ වූ අයෙකුටයි. එසේ සම්පූර්ණ වූ අයගෙන් ඇතැම් අයට විවිධ හේතු මත මෙම අයිතිය අහිමි වෙන්න පුළුවන්. අපරාධ වරදක් කිරීම වගේ. එය තීරණය වන්නේ ප්‍රාන්ත නීතිය අනුවයි. ඡන්දය දැමීමේ අයිතිවාසිකම තිබෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය යුතුයි. එසේ නැත්නම් ඡන්ද ලැයිස්තුව අරගෙන ග්‍රාමසේවක ගෙදරට එන්නේ නැහැ.

පුද්ගලයෙකුට ඡන්දය සඳහා ලියාපදිංචි වෙනවා වගේම කවර හෝ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් ලෙසත් ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙත් මේ ආකාරයට ඡන්දය දමන්න සුදුසුකම් ලබන ඇමරිකානුවන්ගෙන් 30%ක් පමණ අඩු වශයෙන් ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වෙන්නේවත් නැහැ. ලංකාවේ බාසාවෙන් කිවුවත් ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්නවත් උනන්දු වෙන්නේ නැහැ. ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්න අයගෙනුත් 10-15% අතර ප්‍රමාණයක් ප්‍රධාන මැතිවරණයකදී පවා ඡන්දය දමන්නේ නැහැ. වැදගත්කමින් අඩු මැතිවරණයකදීනම් ඡන්ද භාවිතාව හොඳටම අඩුයි.

ඇමරිකානුවන් සාමාන්‍යයෙන් ඡන්දය දමන්න එතරම් උනන්දුවක් නොදක්වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කොයි එක දිනුවත් ඔවුන්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් නැති නිසයි. අර කියන්නේ අපි හම්බ කළොත් අපි කනවා කියලා. ඇමරිකාවේ ක්‍රමය තුළ රටේ මිනිස්සුන්ට හම්බ කරගෙන කන්න අවශ්‍ය වාතාවරණය හදනවා මිසක් එතැනින් එහාට මිනිස්සුන්ගේ ජීවිත වලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්.

සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර තිබෙන වෙනස්කම් ඇඟට දැනෙන තරමට වෙනස් වෙද්දී මැතිවරණ සඳහා තිබෙන උනන්දුවත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තය ගත්තොත්, මෙවර ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ පිරිස 25,060,169ක්. එයින් ඡන්දය සඳහා ලියාපදිංචි වූ ප්‍රමාණය 20,921,513 හෙවත් 83.5%ක්. එහෙත්, 2016දී ලියාපදිංචි වී තිබුණේ සුදුසුකම් ලැබූවන්ගෙන් 72.9%ක් පමණයි. (මෙවර ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලියාපදිංචි වූ ඡන්දායකයින් ප්‍රමාණය වුවත් ලංකාවේ ජනගහණයට ආසන්නව සමානයි.)

මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

මෙයින් පෙනෙන පරිදි බොහෝ ඇමරිකානුවන් සෘජුවම කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා. 

ජනාධිපතිවරණයට තරඟ කරන හැම අපේක්ෂකයෙකුගේම නම ඡන්ද පත්‍රිකාවට නොයන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යන නොයන එක බොහෝ විට තීරණය වන්නේ අදාළ පක්ෂයේ සාමාජික සංඛ්‍යාව අනුවයි. කැලිෆෝර්නියා ප්‍රාන්තයේනම් අවසන් වලට පැවැත්වුණු ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.33%කට නොඅඩු සාමාජික පිරිසක් සිටින දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යනවා. එපමණ සාමාජිකයින් නැති පක්ෂයක සාමාජිකයෙකුට ඡන්දය දිය හැක්කේ නම ලිවීමෙන් පමණයි. මේ අවම කොන්දේසි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.

මේ මැතිවරණයේදී ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම ඡන්ද පත්‍රිකා වලට නම දමා ගන්න පුළුවන් වුනේ අපේක්ෂකයින් තිදෙනෙකුට පමණයි. ඒ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල අපේක්ෂකයින් තිදෙනාට. එහෙත්, තවත් පක්ෂ ගණනාවක අපේක්ෂයින්ගේ නම් කවර හෝ ප්‍රාන්තයක ඡන්ද පත්‍රිකාවේ තිබුණා. 

ඩිමොක්‍රටික් පක්ෂයට සමාජවාදී ලේබලය අලවන්නේ අපහාසාත්මකව වුවත්, ලංකාවේ වගේම සෘජුවම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂත් ඇමරිකාවේ තිබෙනවා. ජන පදනම අනුව මේ පක්ෂ අතරින් ඉදිරියෙන්ම ඉන්න බව කිව හැක්කේ සමාජවාදී විමුක්ති පක්ෂයයි. මේ පක්ෂය 2004 වසරේදී ලෝක කම්කරු පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් හදපු පක්ෂයක්. සමාජවාදී පක්ෂයක අඩු වශයෙන් සාමාජිකයින් දෙන්නෙක් හෝ ඉන්නවානම් ඒ දෙන්නා මතවාදී ගැටුමක් හදාගෙන පක්ෂ දෙකක් හදා ගන්නවා කියල කියනවනේ!

සමාජවාදී විමුක්ති පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකාව වූ ග්ලෝරියා ලා රිවාට මෙවර ඇමරිකාවේ ප්‍රාන්ත 15ක ඡන්ද පත්‍රිකා වලට නම දමා ගත හැකි වුනා. මේ ප්‍රාන්ත බොහොමයක් ඡන්ද පත්‍රිකාවට නම දමා ගැනීම සඳහා දැඩි කොන්දේසි පනවා නැති ප්‍රාන්තයි. 

කවර හෝ ප්‍රාන්තයකින් ඡන්ද පත්‍රිකාවට නම දමා ගත හැකි වූ අනෙක් සමාජවාදී අපේක්ෂිකාව ඇලිසන් කෙනඩි. ප්‍රාන්ත හයක ඡන්ද පත්‍රිකා වල පෙනී සිටි ඈ නියෝජනය කළේ සමාජවාදී කම්කරු පක්ෂයයි. මේ පක්ෂය සියවසකටත් වඩා කාලයක සිට ඇමරිකාවේ ක්‍රියාත්මක වන සම්ප්‍රදායිකව ට්‍රොට්ස්කිවාදී වූ හා හතරවන ජාත්‍යන්තරයට සම්බන්ධව සිටි පක්ෂයක්. 

ග්ලෝරියා ලා රිවා වගේම ඇලිසන් කෙනඩිත් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වුනු ග්ලෝරියා විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 74,392ක් ලබා ගනිද්දී ඇලිසන් කෙනඩි විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 12,467ක් ලබා ගත්තා. 2016දී ග්ලෝරියා ලා රිවා විසින් ලබාගත් ඉහත කී ඡන්ද ප්‍රමාණයෙන් 66,101ක්ම ලබා ගත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන්. 

මෙතෙක් ගණන් කර අවසන්ව තිබෙන කැලිෆෝර්නියා ඡන්ද වලින් ග්ලෝරියාට ලැබී තිබෙන්නේ ඡන්ද 45,726ක් පමණයි. ඒ අනුව, ඇමරිකාවේ සමාජවාදීන් ගියවර ගත්ත ඡන්ද ටිකත් මේ පාර නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා, ඇමරිකාවේ ධනවාදය කඩා වැටිලා සමාජවාදය බිහිවන තුරු බලා ඉන්න අයට බයිඩන් සමාජවාදියෙක් කියලා හිතලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.


Thursday, November 12, 2020

බයිඩන් දිනුවේ කොහොමද?



ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන එක පිළිබඳව මගේ අදහස කුමක්ද කියා අපේ හිතවත් පාඨකයෙක් අසා තිබුණා. තවමත් බයිඩන් නිල වශයෙන් ජයග්‍රහණය කර නැතුවාක් මෙන්ම ට්‍රම්ප් පරාජය බාර අරගෙනත් නැහැ. නමුත්, සමස්තයක් විදිහට ඇමරිකානු ජනතාව වගේම ජාත්‍යන්තරයත් මේ වෙද්දී ජෝ බයිඩන් මීළඟ ඇමරිකානු ජනාධිපති සේ පිළිගෙන අවසානයි.

වසර හතරකට වරක් ඇමරිකාවේ ජනාධිපති වෙනස් වීම (හෝ නොවීම) සිදුවන ඉතාම නිශ්චිත නීතිමය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය ඉතාම පැහැදිලියි. කාගේවත් හිතුමනාපයට වෙනස් කරන්න බැහැ. අවුලක් ඇති වුනොත්, ඒ අවුලට විසඳුමත් බොහෝ විට නීතියේ නිශ්චිත ලෙස සඳහන්ව තිබෙනවා.

මේ ක්‍රියාදාමයේ ආරම්භය මැතිවරණය නොවුණත් මැතිවරණ දිනය වැදගත්ම දිනයක්. එම දිනය වන්නේ නොවැම්බර් 2-8 අතර එළඹෙන අඟහරුවාදා දිනයයි. එය වෙනස් වන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 3 වෙනිදා. එහෙත් ජනාධිපතිවරයාගේ නිල කාලය ආරම්භ වෙන්නේ ජනවාරි 20 වනදා. එය වෙනස් නොවන නිශ්චිත දිනයක්. මේ දින දෙක අතර දින 79-85 අතර කාලයක පරතරයක් තිබෙනවා. බල හුවමාරුව සඳහා එවැනි සාපේක්ෂව දිගු කාල පරාසයක් අවශ්‍ය ලෙස තීරණය කර තිබෙන්නේ යම් හෙයකින් ඇති විය හැකි අවුල් සියල්ල ලෙහාගෙන සුමට බල හුවමාරුවක් කර ගැනීමට ඉඩ සලසමිනුයි.

ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ මැතිවරණය දිනයට බොහෝ පෙරයි. මා පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි එක් එක් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේත් මහජන ඡන්දයෙන්. ප්‍රාථමික මැතිවරණ සේ හැඳින්වෙන මේ මැතිවරණ නොවැම්බර් මැතිවරණ දිනයට මාස ගණනකට පෙර සිට පැවැත්වෙනවා.

මැතිවරණ දිනයේදී බොහෝ විට ඡන්දය සලකුණු කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටයි. ඒ නිසා, ඡන්දය ගණන් කරන්න අමුතු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පරිගණක පද්ධතියෙන් පහසුවෙන් හා ඉක්මණින් වාර්තාවක් ගන්න පුළුවන්. එහෙත්, තැපැල් ඡන්ද එකින් එක පරීක්ෂා කර දත්ත පරිගණක පද්ධතියට ඇතුළු කළ යුතුයි. එය කාලය අවශ්‍ය වන කටයුත්තක්. සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඕනෑම ඡන්දදායකයෙකුට තැපෑලෙන් ඡන්දය දමන්නට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා, තැපැල් ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්.

බොහෝ ප්‍රාන්ත වල මැතිවරණ දිනයේදී තැපැල් කර මැතිවරණ දිනයෙන් පසුව ලැබෙන තැපැල් ඡන්දද වලංගු ඡන්ද සේ සැලකෙනවා. වොෂින්ටන් ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්තයක මැතිවරණ දිනයේ සිට 20 වන දින දක්වාම තැපෑලෙන් ලැබෙන, මැතිවරණ දින දින මුද්‍රාව සහිත, තැපැල් ඡන්ද ගණන් කරනු ලබනවා. ඒ නිසා, ලංකාව වැනි රටක සිටින ඇමරිකානු පුරවැසියෙකු විසින් මැතිවරණ දිනයේදී තැපැල් කර එවන ඡන්දයක් වුවත් අපතේ යන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 23 දින දක්වාම වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්ද ගොඩට අලුත් ඡන්ද එකතු වෙන්න පුළුවන්.

ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් හා සමාන කළ හැකි කිසියම් කවුන්ටියක හෝ එවැනි කවුන්ටි ගණනාවකින් සමන්විත ප්‍රාන්තයක අවසන් මැතිවරණ ප්‍රතිඵල නිසි බලධාරියෙකු විසින් නිශ්චිත දිනයකට පෙර සහතික කළ යුතුයි. එම දිනය අදාළ ප්‍රාන්තයේ නීතිය අනුව තීරණය වන්නක්. පෙර කතා කළ වොෂින්ටන් ප්‍රාන්තයේ කවුන්ටි හා අදාළව මේ දිනය මැතිවරණ දිනයේ සිට 21 වන දිනයයි. මේ අවුරුද්දේනම් නොවැම්බර් 24. කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම දිනය මැතිවරණ දිනයේ සිට 31 වන දිනයයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 4.

කවුන්ටි වල මැතිවරණ කොමිසම් මගින් සහතික කළ ප්‍රතිඵල ප්‍රාන්ත ලේකම් වෙත ලැබුණු පසු ප්‍රාන්ත ලේකම් හෝ අදාළ වෙනත් නිසි බලධාරියෙකු විසින් එම ප්‍රතිඵල ලැයිස්තුගත කර සමස්ත ප්‍රතිඵලය පිළියෙල කර සහතික කළ යුතුයි. ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාන්තයේ ඡන්දදායකයින් වෙනුවෙන් ඡන්දය දෙන ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගත යුතුයි. මෙය කළ යුත්තේ මැතිවරණ දින සිට 38 වන දිනයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 11.

සෑම ප්‍රාන්තයක් විසින්ම අදාළ ප්‍රාන්තයේ ක්‍රමවේදය අනුව ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසුව එළැඹෙන සඳුදා දිනයේදීයි. දෙසැම්බර් 13-19 අතර යෙදෙන මේ දිනය මේ අවුරුද්දේ වැටෙන්නේ දෙසැම්බර් 14 දිනටයි. එයින් පසුව කොංග්‍රසය රැස්වී මේ ඡන්ද ගණන් කර ජනාධිපතිවරයාව තෝරා පත් කර ගන්නේ ජනවාරි 6 වන දිනයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරයාව ජනවාරි 6 දින නිල වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව දිවුරුම් දීම සිදුවන ජනවාරි 20 දක්වා දින 14ක කාලයක් තිබෙනවා. ඒ නිසා අලුතෙන් මුල් වරට පත් වෙන ජනාධිපතිවරයෙකුට වුවත්, පෙර සූදානම් වීම් සඳහා යම් අවම කාලයක් ලැබෙනවා. 

ප්‍රායෝගිකව මේ කාලය දින 14කට වඩා ගොඩක් වැඩියි. මැතිවරණයෙන් පසුව ඊළඟට පත් වීමට ඉඩ තිබෙන ජනාධිපතිවරයා කවුද කියන එක පැහැදිලි වූ වහාම බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව හා අදාළ රහස් තොරතුරු සම්බන්ධව ඔහුව (හෝ ඇයව) දැනුවත් කිරීම ඇරඹෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද නිශ්චිත ලෙස නීතියේ සඳහන්ව තිබෙනවා. මේ අවුරුද්දේ ප්‍රතිඵලයේ තිබෙන අවිනිශ්චිත ස්වභාවය  නිසා තවමත් මේ කටයුත්ත ඇරඹී නැහැ.

ඒ වගේම පත් වීමට නියමිත ජනාධිපතිවරයාටද කාර්යාල පහසුකම්, ප්‍රවාහන දීමනා ආදිය කලින් සිටම ලැබෙනවා. රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමට නියමිත පුද්ගලයින්ගේ පසුබිම් තොරතුරු හැකි ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට අදාළ කාර්යාල වලට ගොස් තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. ඒ නිසා, තමන්ගේ තනතුර නිල වශයෙන් භාර ගන්නා අවස්ථාව වන විට ඔවුන්ට මනා පෙර සූදානමක් තිබෙනවා. ඇමරිකාවේ සාපේක්ෂව පහළ මට්ටමේ තනතුරු හා සම්බන්ධවද මෙවැනි පෙර සූදානම් අවස්ථා තිබීම ඉතා සාමාන්‍ය දෙයක්.

මෙවර මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීමේදී ප්‍රධාන මාධ්‍ය බොහොමයක්ම එය කළේ ජෝ බයිඩන්ට ඇත්තටම තිබෙනවාට වඩා වාසිදායක තත්ත්වයක් ඇති බව පෙන්වමිනුයි. හොඳම උදාහරණය වන්නේ කළින්ම බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ජයග්‍රහණයයි. මෙය මුලින්ම කළේ ප්‍රංශ පුවත් සේවය විසින්. පසුව වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ඇරිසෝනා ප්‍රාන්තය රතු පාටින් පාට කළා. 

මේ මොහොත වන විට ඇරිසෝනා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 11,034 දක්වා අඩු වෙලා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 0.3%ක වෙනසක් පමණයි. ප්‍රංශ පුවත් සේවය අනුව යමින් ඇරිසෝනා ප්‍රාන්තය රතු පාට කළ සීඑන්එන් එක දැන් ඇරිසෝනා ප්‍රාන්තයේ රතු පාට අයින් කර නැවත අළු පාට කරලා. වැඩි ඡන්ද ප්‍රතිශතය 0.1% මට්ටමට අඩු වුවහොත් ඉල්ලීමක් නැතත් ඇරිසෝනා නීතිය අනුව අනිවාර්යයෙන්ම ඡන්ද නැවත ගණන් කළ යුතුයි.

දැනට ජෝර්ජියා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 14,106ක් පමණයි. මෙයත් ප්‍රතිශතයක් ලෙස 0.3%ක් පමණයි. මෙම ප්‍රතිශතය 0.5%ට අඩුනම් ප්‍රාන්ත නීතිය අනුව නැවත ගණන් කරන සේ ඉල්ලීමක් කළ හැකියි. ජෝර්ජියා ඡන්ද නැවත ගණන් කෙරෙනු ඇති බව දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා.

විස්කොන්සින් ප්‍රාන්තය තුළ දැනට බයිඩන් ඉදිරියෙන් ඉන්නේ වැඩි ඡන්ද 20,546 කින් පමණයි. මෙය 0.6%ක ප්‍රතිශත වෙනසක්. මෙම වෙනස 1%ට අඩුනම් විස්කොන්සින් නීතිය අනුව ඡන්ද නැවත ගණන් කරන සේ ඉල්ලා සිටිය හැකියි. පළමු වටයේ අවසන් ප්‍රතිඵල ලැබුණු සැණින් මෙම ඉල්ලීම ඉදිරිපත් වීමට නියමිතයි.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් දිනාගෙන තිබෙන ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් ප්‍රාන්ත තුනම බයිඩන්ගේ ගොඩට දැමීමෙන් පසුව ඔහුගේ ප්‍රාන්ත නියෝජිතයින් ගණන 306 දක්වා ඉහළ යනවා. ට්‍රම්ප්ගේ ගොඩ 232 දක්වා පහළ බසිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවුනේ මෙහි අනෙක් පැත්තයි. එවර ට්‍රම්ප් විසින් නියෝජිතයින් 322ක් දිනා ගනිද්දී හිලරි ක්ලින්ටන් විසින් නියෝජිතයින් 232ක් දිනා ගත්තා. 2016ට සාපේක්ෂව  මෙවර ප්‍රතිඵලය වෙනස් වන්නේ ට්‍රම්ප්ගේ ගොඩේ තිබුණු පෙනිසිල්වේනියා, මිචිගන්, ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් යන ප්‍රාන්ත පහ සහ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ දෙවන දිස්ත්‍රික්කය බයිඩන්ගේ ගොඩට පැමිණීමෙනුයි.

ඇරිසෝනා (11), ජෝර්ජියා (16) හා විස්කොන්සින් (10) ප්‍රාන්ත තුනේ නියෝජිතයින් ගණන් වල එකතුව 37ක්. අලුතින් දිනාගත් නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ නියෝජිතයාවත් එකතු කළොත් 38ක්. මේ 38 දෙනා නොවන්නට බයිඩන්ට හිමි වන්නේ නියෝජිතයින් 268 දෙනෙකු පමණයි. එසේනම්, ට්‍රම්ප් විසින් නියෝජිතයින් 270 සම්පූර්ණ කර තරඟය ජය ගන්නවා. මේ අනුව, බයිඩන්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සේ බලපා තිබෙන්නේ ඉහත ප්‍රාන්ත තුනෙන් හා නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයෙන් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයි. එම ප්‍රමාණය, දැනට ගණන් කර අවසන් ඡන්ද මත පදනම්ව, නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 21,607ක්ද ඇතුළුව, 67,244ක් පමණයි. මෙම ප්‍රමාණය මීටත් වඩා අඩු වෙන්න වුනත් බැරිකමක් නැහැ.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය මිලියන 150ක් පමණ වෙනවා. ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගත්තේ මිලියන 12.5ක පමණ ඡන්ද ප්‍රමාණයක්. මේ අනුව, ඇමරිකාවේ ප්‍රතිඵලය සමාන කළ හැක්කේ ගෝඨාභය විසින් සජිත්ට වඩා ඡන්ද 5,650 ක් පමණක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමක් වැනි තත්ත්වයකටයි. එවැනි තත්ත්වයක් ඇති වුනානම් සජිත් එකවර පරාජය භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි. 

ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන ප්‍රශ්නයට ප්‍රතිචාරයක් සේ මේ කරුණු ලිවුවේ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වලින් පෙන්වන පරිදි ඇමරිකාවේ මහා විශාල පෙරළියක් සිදු වුනේ හෝ බයිඩන් රැල්ලක් හමා ගියේ නැති බව පෙන්වන්නයි. අවසාන ප්‍රතිඵලය ලැබෙන විට නියෝජිතයින් ගණන අනුව බයිඩන් කොපමණ ඉදිරියෙන් සිටියේ වුවත්, ඔහුගේ දිනුම කෙස් ගහෙන් ලබන ජයක්. මේ කරුණ ඉතා වැදගත් කරුණක් වන්නේ කොංග්‍රසයේ බල තුලනය, එම බලතුලනය දෙවසරකට වරක් මාරු වීම හා කෝවිඩ්-19 වසංගතයේ බලපෑම අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තුරුවත් තිබිය හැකි වීම ආදී අවශේෂ කරුණුද සැලකිල්ලට ගත් විටයි.

ඒ වගේම, ඇමරිකාවේ මෙවැනි රැළි හමා යාම සාමාන්‍ය දෙයක් නොවන බවත් කිව යුතුයි. බොහෝ විට එවැනි තත්ත්වයන් මවා පෙන්වන්නේ මාධ්‍ය විසින්. දැන් බයිඩන් රැල්ලක් නැතුවාක් මෙන්ම, වසර හතරකට පෙර, 2016දී ට්‍රම්ප් රැල්ලක් තිබුණේත් නැහැ. එවර ට්‍රම්ප් ජයග්‍රහණය කළේත් මේ වගේම කෙස් ගහෙන්. ට්‍රම්ප් විසින් සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් ජයග්‍රහණය කළ හා මෙවර බයිඩන් විසින් ට්‍රම්ප්ගෙන් ආපසු ලබාගත්, මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත නොවන්නට පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වන්නේ හිලරි ක්ලින්ටන්. එමෙන්ම ඇය සමස්තයක් ලෙස ට්‍රම්ප්ට වඩා ඡන්ද මිලියන 2.8ක් ඉක්මවා ලබාගත්තා.


මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත තුනෙන් ට්‍රම්ප් විසින් ලබා ගත්තේ වැඩි ඡන්ද 77,744ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රාන්ත නියෝජිතයින් 46 දෙනෙකුගේ ඡන්ද ලැබුනා. එම ඡන්ද නොවන්නට සමස්තයක් ලෙස ට්‍රම්ප්ට ලැබිය හැකිව තිබුණේ නියෝජිතයින් 260 දෙනෙකුගේ ඡන්ද පමණයි. එසේ වූවානම් නියෝජිතයින් 278 දෙනෙකුගේ සහයෝගය ලැබූ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ 45වන ජනාධිපතිවරයා (ජනාධිපතිවරිය) වගේම එම ධුරයට පත් වූ පළමු කාන්තාව විය හැකිව තිබුණා. ඉතිහාසය වෙනස් කළේ ඉහත කී 77,744ක "සුළු" ඡන්ද ප්‍රමාණයයි. මේ අයුරින්ම මෙවර ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කර තිබෙන්නේ ඡන්ද 67,283ක් හෝ ආසන්න ප්‍රමාණයක්. 

මෙවර බයිඩන් දිනුවේ කෙස් ගහෙන් බව මා මුලින් පැහැදිලි කළා. දැන් මා පැහැදිලි කර තිබෙන පරිදි මේ විදිහට කෙස් ගහෙන් දිනා ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු පත් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ට්‍රම්ප් දිනුවේත් ඔය විදිහටමයි. ඡන්දදායකයින්ගේ හැසිරීමේ ඔය වගේ පොඩි වෙනසක් වෙන්න මහා ලොකු හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මීටත් වඩා ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකින්, කෙස් ගහකින් ඉරපු රීප්පයක් වැනි ඡන්ද 537ක ප්‍රමාණයකින්, ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී වුනු අවස්ථාද තිබෙනවා.

ලිපිය දිග වැඩි වන නිසා ඉතිරි කරුණු ඉදිරි ලිපියකින් කතා කරමු.


(Image: https://commons.wikimedia.org/wiki/File:Vice_President_Biden_visit_to_New_Zealand,_July_20-21,_2016_(27824840164).jpg)


Monday, November 9, 2020

ඔරිගන් වැසියෝ මත්ද්‍රව්‍ය නීති ලිහිල් කරගනිති!


පසුගිය සතියේ පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ වලදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනේ ජනාධිපති තරඟය කෙරෙහි වුවත්, සාමාන්‍යයෙන් සිදු වන පරිදි, ඇමරිකාවේ මැතිවරණ දිනයේදී ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් මැතිවරණ හා ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක් එක වර පැවැත්වෙනවා. 

ඔරිගන් ප්‍රාන්තයේ පැවති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව මෙතෙක් අපරාධ වරදක් වූ හෙරොයින්, කොකේන් ඇතුළු දරුණු ගණයේ ලා සැලකෙන මත්ද්‍රව්‍යයක සුළු ප්‍රමාණයක් වාණිජ නොවන අරමුණකින්, තමන්ගේ පාවිච්චිය සඳහා ළඟ තබා ගැනීම තව දුරටත් අපරාධ වරදක් වන්නේ නැහැ. ඔරිගන් ඡන්දදායකයින්ගෙන් 59.51%ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙය මෙවැනි යෝජනාවක් ඇමරිකාවේ සම්මත වූ පළමු අවස්ථාවයි. පෘතුගාලයේනම් කලක සිටම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නෙමෙයි.

මේ යෝජනාවේ අරමුණ මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානි අඩු කිරීමයි. යෝජනාව සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය භාවිතය නීතිගත වන්නේ නැතත්, මත්ද්‍රව්‍ය භාවිතය වරදක් සේ දකිනවා වෙනුවට ඇබ්බැහි වූවන් පිළිබඳව මානුෂික මුහුණුවරකින් බලා මත්ද්‍රව්‍ය භාවිතය යනු ප්‍රතිකාර කළ යුතු රෝගයක් සේ දකිමින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපන වැඩ සටහනකට යොමු කෙරෙනවා. එය නොකරන්නේනම් ඩොලර් 100කට නොවැඩි සුළු දඩ මුදලක් පමණක් අය කළ හැකියි.

මෙතෙක් ඔරිගන් ප්‍රාන්තය තුළද ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් වූ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අසු වූ විට සිර දඬුවම් දෙනු ලැබුවා. එහෙත්, සංඛ්‍යාලේඛණ අනුව පෙනී යන පරිදි භාවිතා කරන්නන් සිරගත කිරීමෙන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නවතින්නේ නැහැ. සිරෙන් නිදහස් වන ඔවුන් නැවත නැවතත් සිරගත වෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධ වරදක් නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලි වෙනවා.

වරක් අපරාධ වරදකට වරදකරුවෙකුට වූ අයෙකුට රැකියාවක් ලබා ගැනීම, කුලියට නිවසක් ගැනීම ආදී බොහෝ දේ අසීරු වෙනවා. ඒ නිසා, නැවතත් පරණ වලේම වැටී සිරගත වෙනු හැර ගොඩ යන්න අවස්ථාවන් අඩුයි. එයින් වෙන්නේ මහජන මුදල් නාස්තියක්.

"කුඩු පැකට් එකක් දමා ඇතුළට දැමීම" ලංකාවේ අයෙකු අසා නැති දෙයක් නෙමෙයි. ඔය විදිහට ඇතුළට යන අය ගියේ ඇත්තට වුනත්, බොරුවට වුනත්, ආපහු එළියට එන්නේ ඇතුළට ගිය පුද්ගලයා නෙමෙයි. මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටින අය බොහෝ විට වරදකරුවන් වුවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්නම් ලේසියකට අහුවෙන්නේ නැහැ.

අලුත් නීතිය සම්මත වීමෙන් පසුව මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ළඟ තබාගෙන අසුවන අයව මහජන මුදලින් පුනරුත්ථාපනය කෙරෙනවා. යෝජනාව අනුව, මීට පෙර ගංජා භාවිතය නීතිගත කිරීමෙන් පසු ප්‍රාන්ත ආණ්ඩුවට ලැබෙමින් පවතින බදු හා ගාස්තු වලින් කොටසක් මේ වෙනුවෙන් වෙන් කෙරෙනවා.

ඔරිගන් වැසියන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නීති ලිහිල් කර ගනිද්දී තවත් ප්‍රාන්ත ගණනාවක ගංජා භාවිතය නීතිගත කර ගැනීම වෙනුවෙන් වූ ජනමතවිචාරණ ජයග්‍රහණය කර තිබෙනවා.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...