වෙබ් ලිපිනය:

Saturday, May 7, 2016

බල්ලන්ට හොඳ දත් දොස්තරලා සහ බල්ලන්ට විසිකරන සල්ලි


පසුගිය සතියේ දිනෙක මා දැනට ජීවත්වන නිවස අසල පිහිටි සත්ත්ව රෝහලක විවෘත දිනයක් (open house) තිබුණේය. ඇමරිකාවේ විවිධ සේවාවන් සපයන ආයතන වල සාමාන්‍යයෙන් වසරකට දිනක් හෝ දින කිහිපයක් මෙවැනි විවෘත දින පැවැත්වේ. මෙසේ විවෘත දිනක් ලෙස දැනුම් දීමක් කර ඇති විට කලින් දැනුම් දීමක් නොකර ඕනෑම කෙනෙකුට එවැනි ස්ථානයකට ඇතුළු වීමට මෙන්ම එහි විවිධ අංශ වල කටයුතු කෙරෙන ආකාරය දැක බලා ගැනීමට පුළුවන.

සාමාන්‍යයෙන් අවසරයක් නොමැතිව වෙනත් අයෙකුගේ නිවෙසකට ඇතුළු වීම සිදු නොවන ඇමරිකාවේ ඇතැම් අවස්ථා වල පුද්ගලික නිවෙස් වලද මෙවැනි විවෘත දින ප්‍රකාශ කෙරේ. බොහෝ විට එවැන්නක් සිදුවන්නේ නිවෙසක් හෝ නිවෙසක ඇති අනවශ්‍ය භාණ්ඩ විකිණීමට අවශ්‍ය වූ විටය. වෙනත් හේතු මත විවෘත දින ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාද තිබේ. මෙය වෙනත් බටහිර රටවලද සිදුවන දෙයකැයි මම සිතමි.

මා පෙර කී රෝහල විශාල එකක් නොවේ. මා හිතන පරිදි පශු වෛද්‍යවරුන් හතර පස් දෙනෙකු එකතුව කරන ව්‍යාපාරයකි. බොහෝ විට ඇමරිකාවේ සාමාන්‍ය වෛද්‍යවරුන්ද හතර පස් දෙනෙකු එකතු වී මේ අයුරින් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. ඇමරිකාවේ පශු වෛද්‍යවරු හැටපන්දාහක් පමණ සිටිති. සංසන්දනාත්මකව, වෛද්‍යවරු සහ ශල්‍යවෛද්‍ය වරු ලක්ෂ හතක් පමණද දන්ත වෛද්‍ය වරු ලක්ෂ එකහමාරක් පමණද සිටින අතර ආර්ථික විද්‍යාඥයින් සිටින්නේ විසි එක් දහස් පන්සියයක් පමණි.


කෙසේ වුවද, පශු වෛද්‍ය වරුන් සාමාන්‍යයෙන් ගොවිපොළ සතුන් සඳහා ප්‍රතිකාර කරන්නන් සහ සුරතල් සතුන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්නන් ලෙස විශේෂීකරණය වී සිටින අතර මෙයින් එක් කොටසක් සාමාන්‍යයෙන් අනිත් කාණ්ඩයේ සතුන්ට ප්‍රතිකාර කරන්නේ නැත.

ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය වන මිනිස් සම්පත් වලට සාපේක්ෂව භෞතික සම්පත් ඇත්තේ ඉතා අඩුවෙනි. එහෙත්, සංවර්ධිත රටවල දක්නට ලැබෙන්නේ එහි අනිත් පැත්තයි. ලංකාවේදී රෝගියෙකුට පෝලිමේ සිට වෛද්‍යවරයා සිටින කාමරයට යාමට සිදුවන අතර අවශ්‍ය වෙනත් පරීක්ෂණ සඳහා අදාළ තැන් වලට යාමට සිදුවේ. එහෙත්, බටහිර රටකදී (මට අත්දැකීම් ඇති රටවලට අදාළව) පළමුව රෝගියාට කාමරයක් ලැබෙන අතර වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය මෙන්ම හෙද නිලධාරියා හෝ නිලධාරිනියද කරන්නේ මේ කාමරයට පැමිණ රෝගියා හමුවීමයි.

මා පෙර කී සත්ත්ව රෝහලේ (මෙන්ම එවැනි වෙනත් සත්ත්ව රෝහල් වලද) කටයුතු සිදුවන්නේද මේ අයුරින්මය. යමෙකු තමන්ගේ සුරතල් බල්ලා හෝ පූසා සමඟ මෙවැනි රෝහලකට පැමිණි පසුවද සාමාන්‍යයෙන් මුලින්ම සිදුවන්නේ කාමරයක් ලබා දීමයි. මේ කාමරය සාමාන්‍ය කාමරයක් නොවේ. වෛද්‍ය වරයෙකුට/ වරියකට හෝ හෙද නිලධාරිනියකට/ නිලධාරියෙකුට මූලික පරීක්ෂාවන් කිරීමට අවශ්‍ය සියළු උපකරණ මෙවැනි සෑම කාමරයකම තිබේ. වෙනත් කාමරයකට යා යුත්තේ ශල්‍ය කර්මයක් හෝ දන්ත චිකිත්සාවක් වැනි කටයුත්තක් වෙනුවෙන් පමණි.

අප පෙර කී සත්ත්ව රෝහලේ ගත කළ කාලය තුළ එහි ශල්‍යාගාරයේ කටයුතු සිදුවන ආකාරයත් (සැබෑ ශල්‍ය කර්මයක් නොවේ), සතුන්ගේ දන්ත සෞඛ්‍යය සුරැකීමට කටයුතු සිදු කරන ආකාරයත් ගැන තොරතුරු දැන ගත්තෙමු. මෙහිදී, මගේ දරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහි සිටි
පශු දන්ත වෛද්‍යවරයා පැහැදිලි කළේ මිනිසුන් භාවිතා කරන දන්තාලේප වල ඇති රසායන ශරීරගත වීම බල්ලන්ගේ හා පූසන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් සතුන් සඳහා වෙනස් රසායනික අඩංගු දන්තාලේප භාවිතා කරන බවයි. එමෙන්ම, මින්ට් වැනි රසකාරක වෙනුවට මස් රස දැනෙන රසකාරක යොදාගන්නා බවයි. 

පශු දන්ත වෛද්‍යවරු  පශු වෛද්‍යවරු අතරින් තවදුරටත් විශේෂීකරණය වී සිටින වෘත්තීය කණ්ඩායමකි. අප සමඟ කතා කළ පශු දන්ත වෛද්‍යවරයා පැවසුවේ සතුන්ගේ දත් පවිත්‍ර කිරීම හා පිරවීම වැනි මූලික කටයුතු සියල්ල මේ ස්ථානයේදී සිදුකරන නමුත් වඩා විශේෂී කටයුතු සඳහා අදාළ සතාව සතුන් සඳහා ප්‍රතිකාර කරන අදාළ කාර්යය සඳහා විශේෂඥ පුහුණුවක් ඇති පශු දන්ත වෛද්‍ය විශේෂඥයෙකු වෙත (උදාහරණයක් ලෙස veterinary endodontist කෙනෙක් වැනි) යොමු කරන බවයි.

බොහෝ ඇමරිකානුවන්ට තමන්ගේ නිවසේ සිටින බල්ලා හෝ ඇතැම් විට පූසා නිවසේම සාමාජිකයෙකු වැනිය. එම සතුන් සත්ත්ව වෛද්‍ය වරයෙකු වෙත ගෙන යන්නේ රෝගී වූ විටම නොවේ. වාර්ෂික වෛද්‍ය හා දන්ත වෛද්‍ය හමු ආදිය මෙවැනි සුරතල් සතුන් හා අදාළවද සිදුවේ. මේ කටයුතු මිල අධික බැවින් සතුන් සඳහා වෛද්‍ය රක්ෂණ ලබා ගැනීමද සිදුවේ. එමෙන්ම, මේ සතුන්ට කෑම ලෙස නිවසේ ඉතිරි වන දෑ දෙන්නේ නැත. ඔවුන්ට සුදුසු ආහාර වෙනම මිලදීගෙන පිළියෙළ කර දෙන අතර, මෙවැනි සත්ත්ව ආහාර, සතුන්ගේ සෙල්ලම් බඩු, දත් බුරුසු වැනි උපකරණ ආදිය සඳහා සුපිරි වෙළදසැල් සියල්ලකම වාගේ වෙනම පේලියක් වෙන්වී තිබේ. බොහෝ නගර වල සතුන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථාන මෙන්ම වෙනම උද්‍යානද තිබේ.

ඇමරිකාවේ සුරතල් සතුන් හා අදාළ ආර්ථිකය ඩොලර් බිලියන හැට ඉක්මවූ කර්මාන්තයකි. සංසන්දනාත්මකව ලංකාවේ සමස්ත ආර්ථිකයම ඩොලර් බිලියන අසූවකි. පෙර කී ඩොලර් බිලියන හැටෙන් බිලියන 23.0 ක් සුරතල් සතුන්ගේ ආහාර වෙනුවෙන්ද, බිලියන 15.4ක් පසු
පශු වෛද්‍ය සේවාවන් සඳහාද, බිලියන 14.3ක් ඖෂධ ආදී සැපයුම් වෙනුවෙන්ද වැයවේ.

අප පිවිසි ඉහත රෝහලේ ඉදිරිපස පූසන් තිදෙනෙකුද විකුණන්නට තබා තිබුණු අතර මගේ දරුවෙකු මේ පූසෙකුගේ මිල විමසීය. මිල එතරම් අධික නොවූවත් මිල දී ගන්නා අයෙකු පූසන් තිදෙනාම මිල දී ගත යුතු වීම කොන්දේසියක් විය. මෙයට හේතුව වූයේ කලක් එකට හැදී වැඩී ඇති පූසන් තිදෙනා වෙන් කරන්නට වත්මන් අයිතිකරුගේ ඇති නොකැමැත්තයි.

***

පසුගිය සතියේ අපි විවෘත දිනයක් පැවති තවත් තැනකට ගියෙමු. ඒ විවෘත දිනය පැවැත්වුනේ මා සමඟ සේවය කරන මිතුරියකගේ නිවසේය. මෙය විවෘත දිනයක් වන්නේ ඒ බව දන්වමින් අපේ ආයතනයේ සියල්ලන්ටම විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවා තිබුණු බැවින් මිස ඇගේ නිවස ඕනෑම කෙනෙකුට විවෘත කර තිබුණු නිසා නොවේ. මේ විවෘත දිනය පැවැත්වීමට හේතුව වූයේ ඇගේ දෙවන පුතු නිවසට පැමිණීමයි. මේ දරුවා අප්‍රිකානු රටක උපන් දරුවෙකි. දරුවා නීත්‍යනුකූලව භාර ගැනීම වසර දෙකකටත් පෙර සිදු කර තිබුණත් ඒ හා සම්බන්ධ නීතිමය කටයුතු නිමකර ඔහුව ඇමරිකාවට ගෙන ඒමට හිතුවාට වඩා බොහෝ කල් ගත වී තිබුණේය. ඔවුන්ගේ පළමු දරුවාද මෙසේ වෙනත් රටක මවුපියන්ට දාව ඉපදුනු දරුවෙකි.

මගේ මිතුරිය මෙන්ම ඇගේ සැමියාද ඉහළ ආදායම් ලබන රැකියා කරන අයයි. ඔවුන්ගේ ඉඩකඩ ඇති නිවස මෙන්ම ගෙවත්තද දරුවන්ට ගැලපෙන සේ මුළුමනින්ම වෙනස් කර තිබුණේය. සති දෙකකට පෙර තමන්ගේ අළුත් නිවසට පැමිණි මේ දරුවා සිටියේ ඉමහත් ප්‍රබෝධයකිනි. තවමත් ඉංග්‍රීසි නුහුරු ඔහුගේ අප්‍රිකානු-ප්‍රංශ කතා තේරෙන කිසිවකු නොසිටියත් ඔහුගේ කියවිල්ලේ අඩුවක් තිබුණේ නැත. මගේ මිතුරිය පැවසූයේ පෙර දින මේ දරුවාගේ ජීවවිද්‍යාත්මක මව සමඟ කතා කරන්නට අවස්ථාව සලසාදුන් විට ඔහු සංවේදී වනු ඇතැයි සිතා සිටියත් කිසිදු කලබලයක් නැතිව ටික වෙලාවක් කතා කර 'බායි' කියා පරිගණකයෙන් ඉවත් වූ බවයි.

***

ඇමරිකාවේ පොදු පුස්තකාල ආශ්‍රිතව විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වේ. නොමිලේ පෙන්වන චිත්‍රපටි, ඉංග්‍රීසි හා ස්පාඤඤ භාෂා පංති, පරිගණක පංති ආදිය මෙවැනි වැඩ සටහන්ය. පසුගිය සතියේ මෙවැනි වැඩ සටහන් අතර තිබුණේ මාළු ඇල්ලීමේ වැඩමුළුවකි. මෙය සංවිධානය කර තිබුණේ වැඩිහිටියන්ට හා දරුවන්ට එකට සහභාගී විය හැකි පවුලේ වැඩ සටහනක් ලෙසිනි. මාළු ඇල්ලීමට අවශ්‍ය මූලික උපකරණ මෙන්ම මූලික පුහුණුවක්ද ලබාදෙන බව සඳහන් කර තිබුණේය.

***

මගේ දරුවෝද වෙනත් සම වයසේ දරුවන් මෙන් සුරතල් සතුන්ට ලොකු කැමැත්තක් දක්වති. මෙතෙක් කල් සංචාරක ජීවිතයක් ගෙවා ඇති, ළඟදී ඒ තත්ත්වයෙන් මිදෙන්නට සැලසුමක්ද නැති මගේ විසිකර යා නොහැකි දේවල් ගොඩගසා ගන්නට ඇති විශාල නොකැමැත්ත නිසා ඔවුන්ට තවමත් මේ කැමැත්ත ඉටු කරගන්නට ලැබී නැත. කලකට පෙර මා මගේ වැඩිමල් දරුවාට ඔහුගේ උපන්දිනයට සුරතල් මසෙකු මිලදී ගෙන දුන්නෙමි. එයින් අනතුරුව සිදුවූයේ ඔහු විසින් මාළු ආහාරයට ගැනීම නැවැත්වීමයි.


(Image: southvalleyanimalclinic.com)

60 comments:

  1. හොඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් . මගේ පුතාටත් බල්ලෝ පුසෝ හැම එකෙක්ම ඕනා වුනා . අපිත් අරන් දුන්නේ මාළු ටැංකියක් පමණයි.. සතෙක් හැදීමේ ඇති භාර දුර වගකීම ඉටුකර ගන්න බැරිවේවි කියන බිය ඊට හේතුවයි..

    ReplyDelete
    Replies
    1. සතෙක් හදන එක සෑහෙන භාරදූර වැඩක් තමයි මේ රටවල් වල.

      Delete
  2. පොඩි කලේ අපේ නිවසේ ඇති පදං බල්ලන් පූසන් සිටි නිසාද මන්දා මං නම් සතුන්ට වැඩි කැමැත්තක් නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේනම් අපේ ගෙදරත් සත්තු විමානයයි. දැනුත් එහේ එහෙම තමයි.

      Delete
  3. දැන් ලංකාවෙත් බල්ලෝ රෙජිස්ටර් කරන්න ඕනෑය කියල ඇමතියෙක් ඊයෙ පෙරෙයිදා කියල තිබුන නේද?

    ReplyDelete
    Replies
    1. කොහොමත් වෙට් කෙනෙක් ගානට අරං ගියාම රෙජිස්ටර් කරනව නේද... ජලභීතිකා එන්නත දෙද්දිත් ලියාපදිංචි කරනව.. ( ගෙදරක හදන හැම බල්ලටම වගේ ජලභිතිකා එන්නත නං විඳිනව අපේ කට්ටිය) හැබැයි බෙල්ට් එකට දාන්න පුලුවන් පොඩි ටැග් එකක් වගේ දෙන්න පුළුවන් නං හොඳයි...

      Delete
    2. බල්ලෝ රෙජිස්ටර් කරන එකේනම් වරදක් නැහැ. එතකොට කාට හරි වගකීමක් තියෙනවනේ. ජාතික මට්ටමින් කිරීම ප්‍රායෝගික නැත්නම් නාගරික ප්‍රදේශ වල මුලින් කරන්න පුළුවන්.

      Delete
  4. ඉකෝ, අප පොඩි කාලයේ ගෙදර බල්ලෙකු හා පූසෙකු සිටියාමයි. මොවුන්ගෙන් කෙනෙක් මැරුණු විට වැඩි දිනක් නොයවා අලුත් එකෙක් ගෙන්වා ගත්තා. නමුත් මුන්ට අමතර වියදමක් දැරීමට සිදු වුනේ නැහැ. පණුවන්ට බෙහෙත් සමහරවිට දෙන්න ඇති, කෑම අප කන ඒවායින් දුන්න.

    අද පොඩි දරුවට බල්ලෙකු හදන්න ඕනෙය කියනවා. එය සරල කටයුත්තක් නොවන නිසා මා කල්පනා කරනවා. අපගේ "පාලු ජිවිතයට" බල්ලෙකු හෝ හිටියා නම් හොඳ තමා. සුරතල් සතුන් ඇසුරේ වැඩෙන ළමුන් වඩාත් යහපත් මිනිසුන් වන බව මා කියවා තියනවා.ලෝකය ගැන හිතුවොත් සතුන් ඇති කිරීම පමණක් නොවේ, ආහාර පරිභෝජනයේ පවා තියන අසමතුලිතතාවය පැහැදිලිනේ.

    ReplyDelete
    Replies
    1. සුරතල් සතුන් නිසා ( විශේෂයින් බල්ලන් ) ලමයින්ට ආදරය කරුණාව පමණක් නෙමෙයි වගකීමක් දැරීමත් පුරුදුවෙනවා

      Delete
    2. මමත් හිතන්නේ අනෙක් අය ගැන හිතන්න වගේම වගකීමක් දරන්නත් පුහුණුවක් ලැබෙනවා කියල.

      Delete
  5. මට බල්ලෙකු සහ පූසෙකු සිටී

    ReplyDelete
  6. මටනං මේක කියෝනකොට හිතුනෙ ඇමරිකාවෙ ඉන්න බල්ලො, පූසො ක‍ොච්චර දුක් විඳනවද කියලයි. හැක්..
    //මෙයට හේතුව වූයේ කලක් එකට හැදී වැඩී ඇති පූසන් තිදෙනා වෙන් කරන්නට වත්මන් අයිතිකරුගේ ඇති නොකැමැත්තයි.// සමහර අවස්ථාවල මෙහෙම වෙන්කරපු සත්තු ඒ දුක නිසාම මැරිල යන අවස්ථා තිනෙව.

    ReplyDelete
    Replies
    1. මම කුඩා කාලයේ අපේ ගෙදර හිටපු පූසන් කිහිප දෙනෙක්ගෙන් එකෙක් නෑදෑයෝ වන කෙනෙකුට දුන්නා. හැතැක්ම හතර පහක් ඈත නිවසක ජීවත් වූ ඔහු පූසව පෙට්ටියක දාගෙන බයිසිකලේ ලගේජ් එකේ පෙට්ටිය බැඳගෙන අරන් ගියා. ගෙදර ගිහින් පෙට්ටිය ඇරපු ගමන් පූසා දුවලා. හෙවුවට හම්බ වෙලාම නැහැ. සුමානයකට පස්සේ පූසා අපේ ගෙදර ආපහු ආවා. හොඳටම කෙට්ටු වෙලා. අතරමඟ ඇලවල් දෙකකුයි ගඟකුයිත් තියෙනවා. කොහොම ආවද දන්නේ නැහැ.

      Delete
  7. ඒ 'විවෘත දින කතා දෙකම' රසවත්. බල්ලන් වෙනුවෙන්ම ඉන්නා දත් දොස්තරලා ගැන ලංකාවේදී අසා තිබුනේ නෑ

    ReplyDelete
    Replies
    1. මමත් සතුන් හදා නැති නිසා මේ තරම් විශේෂීකරණය වී සිටින බව එදා වෙනකම් දැනගෙන හිටියේ නැහැ.

      Delete
  8. ඔව්, සමහර බල්ලෝ හරි වෙන සුරතල් සතුන් හදන්න ගන්න තැන්වල දැන් pet insurance එකකුත් අරන්ම යන්න කියනවා. එච්චරට මේ සතුන්ගේ ප්‍රතිකාර ගනන්. එකත් එක ආර්ථිකයක් තමයි !!!

    ReplyDelete
    Replies
    1. ඩොලර් බිලියන හැටක් කියන්නේ ගොඩක් විශාල ආර්ථිකයක්. වෙනත් බටහිර රටවලත් මේ වගේ ඇති.

      Delete
  9. බල්ලන්ගෙ තත්වයනම් මෙහෙත් ඔය වගේ. රූපලාවන්‍යාගාර පවා තියෙනවා.දරුවෙකුට වගේ තමයි සැලකිල්ල .අර ප්‍රොෆෙසර් ගංගානාත්ගෙ පැණි වළලු පොතෙත් කතාවක් තියෙන්නෙ "ධම්මික" කියලා බලු පැටියෙක් ගැන.

    පූසො ගෙවල්වල හදනවද කියලා දන්නෑ. අපේ කැම්පස් එකේ ඉන්නවා පූස් රාජයෝ කීපදෙනෙක්ම. උන් අර ගාර්ෆීල්ඩ් වගේ. හවස තුන වෙනකොට ආච්චිලා සෙට් එකක් එනවා බයිසිකල්වල කෑම බැදගෙන (අපි කියන්නෙ එක්සත් කාන්තා පූස් සංගමය කියලා ). එක එක පූසො කන්නෙ එක එක ජාතියෙ කෑම. උන්ට ඒ උන් කැමති කෑම වෙන වෙනම දෙනවා විතරක් නෙවෙයි ඩයිනිං ටේබල් එකට එකෙක් හරි ඇවිත් නැත්නම් යනවා හොයාගෙන එන්නත්. සීතල කාලෙට උන්ට නිදාගන්නත් සැප පහසු තැන් හදලා තියෙන්නෙ. ඒවයෙ බ්ලැන්කට් එහෙම ජරා උනාම අලුත් ඒවා ගෙනත් දානවා.අපිට නම් ඒවා බලන් ඉන්න එකත් එකම විකාරයක් වගේ.

    ReplyDelete
    Replies
    1. පැණි වළලු පොත කියවල නැහැ. මම කලකට පෙර කියෙවුවා ජෙනී කියල පරිවර්තන කෘතියක්. හදිසි අනතුරකින් පසු තමන් පූසෙක් කියා හිතන ළමයෙකුගේ කතාවක්. ළමයාගේ මානසික විපර්යාසය හරහා පූසන්ගේ ජීවිත ගැන කතා කරනවා. මගේ දරුවන්ට අරන් දෙන්න කැමැත්තෙන් හිටියත් පොතේ කතෘ හෝ ඉංග්‍රීසි නම මතකම නැහැ.

      Delete
  10. / ආර්ථික විද්‍යාඥයින් සිටින්නේ විසි එක් දහස් පන්සියයක් පමණි. /

    මේ ගාණ ඔහෙත් එක්කද? නැත්තං ඔහෙත් එක්ක විසි එක් දහස් පන්සිය එකයිද?

    බල්ලො බලල්ලු මට අරහං.....පොඩි කාලෙ උනත් අතේ දුරින් තමයි මගේ එයාල එක්ක ආස්සරේ...හොඳ වෙලාව කියන්නෙ අපෙ උන්දැත් ඒ මොඩල් එක. නැත්තං වහ කන්නයි වෙන්නෙ. මම හැබැයි කලින්ම උන්දැගෙන් ඇහැව්ව.." මේ...බල්ලො බළල්ලු ගැන කොහොමද ඔය ළමයගෙ ප්‍රතිපත්තිය? " එහෙම අහල ඉස්තිර කරගෙනයි වැඩේ පටන් ගත්තෙ.

    රසවත් විස්තරයක් ඉකෝන්...ස්තූතියි...:)

    ReplyDelete
    Replies
    1. //මේ...බල්ලො බළල්ලු ගැන කොහොමද ඔය ළමයගෙ ප්‍රතිපත්තිය? " එහෙම අහල ඉස්තිර කරගෙනයි වැඩේ පටන් ගත්තෙ.//

      ඇයි යකෝ, හිතුවද ගෑණු බල්ලෝ බළල්ලු පැටව් ගහනවා කියලා?

      Delete
    2. \\ආර්ථික විද්‍යාඥයින් සිටින්නේ විසි එක් දහස් පන්සියයක් පමණි.\\

      ඇමරිකාව දියුණුවෙන්න හේතුව.....හැක්

      Delete
    3. මේ 2014දී සිටි ගණන. වසරකට 6%කින් වැඩි වන නිසා දැන් වැඩි ඇති. ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාඥයෙක්ම නෙමෙයි නිසා ඔය ගානට ඇතුළත් නැහැ.

      Delete
  11. හ්ම්.................මෙන්න මෙහෙමයි අපේ ගෙදර.

    බල්ලා සහ පූසා පවුලේ සාමාජිකයන් හා සමානය. සියලු සැලකිලි සත්කාර නොඅඩුව ලැබේ. විශේෂ කෑම උන් වෙනුවෙන් සකසා දෙනු ලැබේ. පූසාට නම් ඉහෙන් බහින රෝගයක් නැත. අලසය. දවසපුරා නිදි. රෑට රති කෙලියේ යයි. කුස්සියේ මීයෙක් දැක්කොත් උඩ පනින්නේ බල්ලාය. (බැල්ලියෙක්)

    මේ බැල්ලී තරමක් උසස් වර්ගයක යයි සම්මත එකෙකි. නමුත්, අනියම් සබඳතාවක් පවත්වා, පැටව් හදාගෙන, උන්ව වදන්න බැරුව මැරෙන්න ගිහින්, අනූනවයෙන් බේරුනි. දොස්තර මතය වුයේ, ඉතා කුඩා ශරීර ප්‍රමාණයකින් යුත් බැල්ලිය, සබඳතා පවත්වා ඇත්තේ විශාල බල්ලෙකු සමග බවත්, බැල්ලියගේ උපත් මාර්ගය කුඩා නිසා, පැටව් දැමීමට කල උත්සාහයේදී, එක පැටවකු හිරවීමෙන් අනික් පැටවුන්ද මියගොස්, බැල්ලිය අනතුරුදායක තත්වයට පත්වූ බවයි. සත්ව රෝහලේදී, සිසේරියන් සැත්කමක් කොට, මියගිය පැටවුන් ඉවත් කර, බැල්ලිය සුවපත් කිරීමට සහ ඉන්පසු අවශ්‍ය ප්‍රතිකාර සඳහා ගාස්තුව රු 15000/- කි.

    හොඳටම සනීපය. (අපේ බලු කරුණාව හොඳටම සනීපය)

    ReplyDelete
    Replies
    1. එක එක ප්‍රමාණ වල, වෙනස් සිරුරු ඇති බල්ලෝ සිටියත් ඔවුන් සියල්ලන්ම එකම සත්ත්ව වර්ගයක් නිසා මේ ප්‍රශ්නය තියෙනවා. පෙනුමෙන් ගොඩක් වෙනස් බල්ලෝ වර්ග දෙකක එකතුවකින් වුණත් සරු ජනිතයෙක් හැදෙනවා.

      Delete
  12. අපූරු සටහනක්... හරිම රසවත්...

    ඇමරිකාවත් එක්ක බලනකොට ලංකාව වෙනස් තමයි.. ඒත් බොහොම ඉක්මනට සුරතල් සතුන්ගේ පැත්තෙන් නම් ඔය දේවල් සමාන වෙන්න පුලුවන්.. මොකද දැන් ලංකාවේ අයත් සුරතල් සතුන්ට විශේෂයක් දක්වනවා..
    අපේ පූසටත් ලඟදී ඇක්සිඩන්ට් එකක් වෙලා කාටත් නැති සැලකිලි ලැබුනා..

    ReplyDelete
    Replies
    1. රටක සමාජ හා ආර්ථික තත්ත්වය දියුණු වන තරමට එතරම් හොඳ ජීවන තත්වයක් නැති වෙනත් මිනිසුන් වෙනුවෙන් වගේම සත්තුන් වෙනුවෙනුත් යමක් කරන්නට පෙළඹීම පෙනෙන්නට ඇති කරුණක්.

      Delete
  13. රසවත් විස්තරාත්මක සටහනක්...මගේ මිතුරෙක් ඉන්නවා, ඔහු තමන්ගේ දිවා ආහාර කාලයේ, සේවා ස්ථානයෙන් පිටත යනවා, ඔහුගේ බල්ලාව එලියට රැගෙන යන්න...ඔවුන්, තමන්ගේ දින චරියාවෙන් කොටසක්, ඔවුන්ගේ සුරතලා වෙනුවෙන් අනිවාර්යෙන් වෙන් කරනවා...හැබැයි ලංකාවේ වෙසෙන මගේ මවත්, දේව කාරියක් ලෙස සලකා. අපේ සුරතල් බල්ලාව, දැන් අවුරුදු 12ක පමණ කාලයක් තිස්සේ දරුවෙකු ලෙස රැක බලා ගන්නවා...ඌ කුඩා කාලය්දීම ඇස් පෙනීම දුර්වල උන නිසා, මව ඌව දම්වැලෙන් නිදහස් නොකර, උගේ සියලුම අවශ්‍යතා වලට උගේ පසු පසින් යාම මෑත කාලයක් වෙනතෙක්ම සිදු කළා...මගේ බල කිරීම මත ඒ අසරණයා දැන් දම් වැලෙන් නිදහස්...ඌ බල්ලෙක් නිසා, උගේ සහජ ඉවෙන් සියලුම වැඩ කටයුතු තනිවම කරගන්නවා...

    උසස්ම තත්වයේ සෞඛ්‍ය සේවා සහ ආහාරපාන සැපයුවත්, ඇමෙරිකාව වැනි දියුණු රටවල සිටින මේ සුරතල් සතුන්ට තිබෙන නිදහස නම් ඉතාම සිමා සහිතයි...මට ඒ ගැන දැනෙන්නෙ කණගාටුවක්...

    ReplyDelete
    Replies
    1. //ඇමෙරිකාව වැනි දියුණු රටවල සිටින මේ සුරතල් සතුන්ට තිබෙන නිදහස නම් ඉතාම සිමා සහිතයි// ඇමරිකාවේ විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් දැන් වැඩිපුර ස්ව-කැමැත්තෙන්ම ගෙවල් ඇතුලේ හිර වෙලා ඉන්න එකේ බල්ලන්ටත් ඒක පුරුදු වෙලා ඇති.

      Delete
  14. මම මිනිසුන්ට වගේම තමා සතුන්ටත් වැඩි කැමැත්තක් නැහැ. ඒත් අපේ ගෙදර බල්ලො තුන්දෙනෙක්ම ඉන්නවා. දෙන්නෙක් නිවුන්නු. labrador වර්ගයෙ. කූඩුවෙන් ඇරපු ගමන් ඇවිත් ඇඟේ එල්ලෙන එක වෙලාවකට වදයක් වුනාට බල්ලො තුන් දෙනා සෙල්ලම් කරන හැටි බලන්න ආසයි.

    කාලෙකට කලින් බල්ලන්ට තිබ්බ තද නොකැමැත්ත දැන් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙවී යන්නේ කවදා හරි ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න බලු මිත්‍රයෙක් ඕනා වෙයි කියල මගෙ හිත දන්න නිසා වෙන්න ඇති ( මම ළමයි හදන්න කැමති කෙනෙක් නෙමේ).

    ලිපිය රසවත්. ආසාවෙන් කියෙව්වා. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සැඳෑ කාලයට නං බල්ලෙක් තමයි හොඳ.. ළමයි කියන්නෙ ඒ කාලෙටත් වදයක් විතරයි..

      Delete
    2. ඒ කාලෙට විතරක් නෙමේ, හැම කාලයකටම වදයක් තමා :)

      Delete
    3. ලමයින් හදනවාට වඩා ලේසි මෙන්ම බලාපොරොත්තු කඩ වීම් නැති නිසා බල්ලන් හැදීම සතුටත් වැඩිය. නෙගටිව් සයිඩ් එක බල්ලන්ගේ ජීවිතකාලයේ කෙටි බවය. මගෙ බල්ලන් දෙදෙනා මැදිවියට ආසන්නය. උන් මැරෙන එක ගැන දැන්ම ඉඳන් අපිට දුකයි

      Delete
    4. මමත් සත්තු ඇඟේ දැවටෙනවට ඒ තරම්ම කැමති නැහැ.

      Delete
  15. Replies
    1. මගේ දරුවෙකුත් කාලයක් හැම්ස්ටර් කෙනෙක් හරි ජර්බිල් කෙනෙක් හරි ඉල්ලුවා.

      Delete
  16. Lankawe asalwasiyan ape gegawata avith balu wada karanawa.

    ReplyDelete
    Replies
    1. බලු අසල්වාසීන් වගෙයි ජගත්ට ඉන්නේ.

      Delete
  17. ඒ අපිත් එක්ක කාලය බෙදා ගන්න තවත් ජීවිත.උන් ගේ බුද්ධි මට්ටමින් අපිත් එක්ක කටයුතු කරනවා.ලංකාවෙත් දැං නං බොහොම හොඳ ආදායමක් ලැබෙනවා වෙටා ලට...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නාගරික ප්‍රදේශ වල වෙටාලට හොඳ ඇති.

      Delete
  18. මටත් පොඩි කාලේ ඇතිවෙන්න අයාලේ ගිය බල්ලන් සහ පූසන් සිටි නිසා.. සුරතල් සතුන් ගැන එච්චර වගක් නැත...

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ අපේ ගෙදරත් බල්ලො පූසෝ ගොඩක් හිටියා.

      Delete
  19. පොඩි කලේ අපේ නිවසේ ඇති පදං බල්ලන් පූසන් සිටි නිසාද මන්දා මං නම් සතුන්ට වැඩි කැමැත්තක් නෑ2

    ReplyDelete
    Replies
    1. දැන් අවු 30 ක පමණ සිට නොකඩවා බල්ලන් සිටි නිසා උන් නැතුව බැරිය

      Delete
    2. බල්ලන් සහ පූසන් එපාවුනේ උන් අකාලයේ මියයාම නිසා. සාමාන්‍යයෙන් අපි කලේ බල්ලන් නිදහසේ(දඩාවතේ) හැදෙන්න ඉඩදීමනේ. ඒ නිසාමද කොහෙද මම හදපු බල්ලන්ගෙන් පරමායුෂ ගෙව්වෙ එකම එක බල්ලයි. පූසන් එකෙක්වත් නෑ.

      Delete
    3. ලංකාවේ බල්ලෝ පරමායුෂ ගෙවනවා අඩුයි.

      Delete
  20. රසවත් කරුනු කාරනා.....

    මගෙ යාලුවෙක්ගේ බල්ලට ඩිප්‍රෙශන් කියලා වෙට් කිව්වලු. අපේ දරුවා ගාව හැම්ස්ටර් කෙනෙක් හිටියා ඌ මැරුනා කැන්සර් එකකින්. මම කිව්වා මාව අරන් ගිහින් හදාගන්න කියලා.

    තව එකෙක් ගාව ගෝල්ඩ්ෆිශ් කෙනෙක් ඉන්නවා මාලි නම. කීයට හරි රෑට ගෙදර යනවා මාලි බලාගෙන ඉන්නවා කියලා. නොදන්න කෙනෙක් හිතන්නේ මාලි කියන්නේ වයිෆ් කියලා. මූ මාලිට කොච්චර ආදරේද කිව්වොත් මාලු ටැන්කියට බැහැලා බදාගෙන නිදාගන්න එක විතරයි නොකරන්නේ.

    ReplyDelete
    Replies
    1. //නොදන්න කෙනෙක් හිතන්නේ මාලි කියන්නේ වයිෆ් කියලා// ඔහොම කේස්නම් සෑහෙන්න තියෙනවා.

      Delete
  21. විදේශ රටවලින් වෙනස් සටම් පැහැයක් ඇති දරුවන් ගෙන හදාගැනීමත් බල්ලො හදනවා වගේ වැඩක් නේද

    ReplyDelete
    Replies
    1. අවස්ථා දෙකේදීම වෙන්නේ තමන් උපයන දෙයින් කොටසක් තමන්ට ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නැති වෙනත් ජීවියෙක් වෙනුවෙන් වැය කිරීම නේද?

      Delete
  22. මේ විදියට සුරතල් සතුන් හදන්න මගෙත් එච්චර කැමැත්තක් නැහැ.එකට එක හේතුවක් තමයි උන් වෙනුවෙන් කැපවෙන්න තරම් ඉඩක් නැතිකම.
    ඔය ඇමරිකාවේ එහෙම සාමාන්‍ය සුරතල් සතුන්ට වඩා වෙනත් සතුන් පවා ඇති කරනවා නේද ?උදාහරණයක් විදියට සර්පයෝ වගේ?

    ReplyDelete
    Replies
    1. ඔවු ඇමරිකාවේ සර්පයින් මිලියනයක් පමණ සුරතල් සතුන් ලෙස හදනවා. බල්ලෝ සහ පූසෝ මිලියන 70 පමණ බැගින් ඉන්නවා. කටුස්සන්, තලගොයින් වැනි උරගයින් මෙන්ම ඉබ්බොත් ජනප්‍රිය සුරතල් සත්තු.

      Delete
  23. මමත් සුරතල් සතුන්ට ආසයි හැබැයි හදන්න ආස නෑ..

    අපේ අක්කල පුසෝ හදනවා උන් හෙන ආතල්....නිදි කුම්බරයෝ. පොඩි දෙන්න ගේ වලි අඩු වෙලා කරුණාවන්ත ගති එහෙම පුරුදු උනා පුසෝ හදන වැඩේ නිසා...

    ReplyDelete
    Replies
    1. සත්තු හදන එක ටිකක් වෙලාව වෙන් කළ යුතු වැඩක්.

      Delete
  24. සුරතල් සතුන් හැදීමේදී තියෙන ලොකුම අවුල තමා උන් අපිට කලින් මැරෙන එක. පවුලේ කෙනෙක් වගේ හැදෙන සතෙක් මැරෙන එක හිතට බොහොම වේදනාවක්. අපූරු ලිපියක් ඉකොන්.

    ReplyDelete
    Replies
    1. ඉබ්බොනම් ගොඩක් කල් ජීවත්වෙනව නේද?

      Delete
  25. විදි බල්ලන්ට වඳ සැත්කම් කිරීම දැන් නවත්වලා නේද?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...