වෙබ් ලිපිනය:

Monday, August 6, 2018

තේ කොළ හා කෝපි දළු

අපි දත් ගැලවිල්ල ගැන කතා කරමින් හිටියනේ. ඇමරිකාවේදී දතක් ගලවනවා කියන එක ඒ තරම් වේදනාකාරී දෙයක් නෙමෙයි. එයට හේතුව මේ වැඩේ කරන්නේ ප්‍රතිකාරලාභියාගේ ඉල්ලීම පරිදි අදාළ ප්‍රදේශය හිරිවැට්ටවීමෙන් හෝ අවශ්‍යනම් රෝගියාව  සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීමෙන් පසුව නිසායි. සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීම කෙසේ වුවත් අදාළ ප්‍රදේශය හිරිවට්ටවන එක ලංකාවෙත් සාමාන්‍යයෙන් කරන දෙයනේ.

පෞද්ගලිකව මම ඔය නිර්වින්දනය කියන විකල්පයට එතරම් කැමති නැහැ. මේ වගේ වැඩක් කෙරෙද්දී මට හොඳ සිහියෙන් ඉන්න ඕනෑ. හිරි වැට්ටවීමෙන් පසුව දන්ත ප්‍රතිකාරයක් කරන විට රෝගියාට වේදනාවක් දැනෙනවානම් වහාම අතක් උස්සා දැනුම් දීමක් කරන මෙන් ඉල්ලීමක් කරනවා. එවැනි ඉල්ලීමක් කළ විට වැඩේ තාවකාලිකව නවත්වා අමතර නිර්වින්දන ඖෂධ ලබා දීමෙන් පසුවයි නැවත වැඩේට බහින්නේ. නමුත්, මම පෞද්ගලිකව මේ වගේ වෙලාවකදී යම් කිසි මට්ටමකට වේදනාව ඉවසාගෙන ඉන්න කැමතියි. ඒ නිසා, තරමක වේදනාවක් දැනුණත් ප්‍රශ්නයක් නැති බව කියමින් වේදනාව දරාගෙන ඉන්නවා.

දන්ත ප්‍රතිකාරයක් කරද්දී මේ ක්‍රමයට වේදනාව පාලනය කළත් ගෙදර ආවට පස්සේ වේදනාව එනවනේ. එය වළක්වාගන්න ගෙදර එන විට ප්‍රබල වේදනා නාශක ලැබෙනවා. මේ විදිහට බොහෝ විට ලැබෙන ඖෂධ මත්ද්‍රව්‍ය ගණයේ ලා සැලකිය හැකි ඒවා (opioid). මේ වන විට ඇමරිකාව විසඳුම් හොයන දැවෙන ප්‍රශ්නයක් වන්නේ මෙවැනි ඖෂධ අවභාවිතය හා ඒවා යොදාගනිමින් ගෙවල් වලම හදා ගන්නා මත්ද්‍රව්‍යයි. ආරක්ෂාකාරී පියවරක් සේ සලකා මේ විදිහට නියම කරන වේදනා නාශක ෆාමසියකින් මිල දී ගත්තත්, නිර්වින්දන ඖෂධ වල ක්‍රියාකාරීත්වය ඉවත් වූ පසුවත් මම සාමාන්‍යයෙන් කරන්නේ හැකිතාක් දුරට වේදනාව ඉවසා සිටින්න උත්සාහ කිරීමයි.

දන්ත ප්‍රතිකාරය අවසන් වූ පසුව මේ ආකාරයෙන් ෆාමසියෙන් මිල දී ගත යුතු වේදනා නාශක, ප්‍රතිජීවක ඇතුළු ඖෂධ සඳහන් බෙහෙත් තුණ්ඩුව ඇතුළු තවත් දේ අඩංගු පාර්සලයක් දන්ත වෛද්‍යවරයාගෙන් ලැබෙනවා. ඇමරිකාවේ දන්ත වෛද්‍යවරයෙකු හමු වීමෙන් පසුව දත් බුරුසුවක්, දන්ත ආලේපන ටියුබයක් හා ඩෙන්ටල් ෆ්ලොස් වැනි දේ අඩංගු ගුඩි බෑග් එකක් කොහොමටත් ලැබෙනවා. දතක් ගැලවීම වගේ ලොකු වැඩකින් පස්සේ බෙහෙත් තුණ්ඩුව, අමතර ගෝස් කෑලි, පසු ප්‍රතිකාර උපදෙස් ආදියත් මේ බෑග් එකටමයි එකතු වෙන්නේ.

දතක් ගැලවීමෙන් පසුව කලින් කී ගුඩි බෑග් එකට එකතු වන තවත් දෙයක් තියෙනවා. ඒ ටී බෑග් එකක්. මේක දෙන්නේ දිගටම ලේ එනවනම් ලේ නවත්වන්න. තේ කොළ වල තිබෙන ටැනික් ඇසිඩ් වලින් ලේ කැටි ගැහෙන්න උදවු වෙන බවත්, රුධිර නාල සංකෝචනය වීම නිසා රුධිර වහනය අඩු වන බවත් කියවෙන නමුත් ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන්ගේ පසු ප්‍රතිකාර උපදෙස් සමඟ ටී බෑග් එකක් ලැබෙන්නේ මේ හා අදාළව කිසිවකු විසින් සිදු කළ පර්යේෂණයක් හේතුවෙන් කියා මම හිතන්නේ නැහැ.

ලේ නවත්වන්න ටී බෑග් එකක් යොදා ගැනීම සාමාන්‍ය ඇමරිකානුවන් විසින් හොයාගත් අත් බේතක් කියලයි මම හිතන්නේ. ඔය අත් බේත පසුව දන්ත වෛද්‍යවරුන් විසිනුත් භාවිතයට ගන්න ඇති. මීයෝ අල්ලනවනම් පූසා මැටියෙන් වුනාම මොකද? පුරුද්දක් ලෙස දිනපතා තේ පානය කරන අය අතර මොළයේ රුධිර නාල පිපිරී සිදුවන රුධිර වහන (Hemorrhage) හතර ගුණයකින් අඩු බව මෑතකාලීන ජපන් පර්යේෂකයෙකුගේ පත්‍රිකාවකනම් සඳහන් වෙලා තිබුණා.

අපි කුඩා කාලයේදී තුවාලයක් වුනාම කරපු අත් බේතක් තමයි කෝපි දළු ටිකක් කටින් හපලා තුවාලයට තියන එක. ඉක්මණින් ලේ නවතින බව අත් දුටුවයි සත්තයි! තේ කොළ මොකද කෝපි කොළ මොකද?

දිගින් දිගටම රටෙන් එළියට විදේශ විණිමය ගලන එකත් තුවාලයකින් නොනවත්වා ලේ ගලනවා වගේම දෙයක් තමයි. කොහොම හරි ඉක්මණින් නැවැත්තුවේ නැත්නම් වැඩේ බරපතල වෙන්න පුළුවන්.

ලංකාවේ ආර්ථිකය දැන් කලක සිට මුහුණ දී සිටින විදේශ විණිමය ප්‍රශ්නය ඉංග්‍රීසින් විසින් ලංකාව අල්ලා ගත් මුල් කාලයේ ඔවුන්ටත් මුහුණ දෙන්න සිදු වූ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඉංග්‍රීසීන් විසින් දැරූ උත්සාහය තුළ සෑහෙන තරමකින් ලංකාවේ ඉතිහාසය වෙනස් වුනා වෙන්න පුළුවන්.

අද ඉන්දියාව කියා අපි දන්නා රට ඉංග්‍රීසින්ගේ නිර්මාණයක් බව ගොඩක් අය දන්න දෙයක්නේ. ආසන්න වශයෙන් ඉන්දියාව පිහිටා තිබෙන බිම් ප්‍රදේශය එසේ හඳුන්වන්න වෙලානම්නම් අවුරුදු සහශ්‍ර දෙක තුනක්වත් වෙනවා. එය වෙනත් කරුණක්.

ඉංග්‍රීසින් විසින් වෙන වෙනම පාලනය වුනු බිම් කොටස් සිය ගණනක් එකතු කරලා ඉන්දියාව (හා පකිස්ථානය) හදන කොට ඔය ඉන්දියාව කියන අලුත් රටට ඒ ආසන්නයේම තිබුණු ලංකාවත් එකතු නොකර සිටීම බලාගෙන ගියාම සුවිශේෂී දෙයක්. එහෙම නොවෙන්න එක් ප්‍රධාන හේතුවක් වුණේ ලංකාව මුල ඉඳලම වගේ ඉන්දියාවෙන් ස්වාධීන වෙනම බ්‍රිතාන්‍ය කොළනියක් සේ පාලනය කරනු ලැබීමයි.

ඉන්දියාවට සම්බන්ධයක් නැති වෙනම රටක් වූ, ලංකාව මෙන් දහගුණයක් විශාල, මියන්මාරය පවා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක්ව තිබී වෙනම කොළනියක් වුණේ ඉන්දියාවට නිදහස ලැබෙන්න යාන්තම් අවුරුදු දහයකට කලිනුයි. එහෙම බැලුවහම ලංකාව බේරිලා තියෙන්නේ යාන්තමිනුයි.

කොහොම වුණත් ලංකාවත් ඉංග්‍රීසීන්ගේ මදුරාසි පාලනයේ කොටසක් වූ කාලයක් තිබුණා. ලංකාවෙන් ලන්දේසි එළවා ලන්දේසින් සතු වූ ප්‍රදේශ අයිති කර ගැනීමේදී බරපැන දැරුවෙත් මදුරාසියේ තිබුණු ඉංග්‍රීසි ආණ්ඩුවයි. මතක හැටියට පවුම් දොළොස් දාහක් වගේ මුදලක්.

ලංකාව අල්ලාගත්තායින් පස්සේ ඒ අල්ලාගත් ප්‍රදේශ පාලනය කළෙත් ඔය මදුරාසි ආණ්ඩුවමයි. පාලනය කළා කිවුවට ඇත්තටම කළේ බොහොම හදිස්සියෙන් ආදායම් එකතු කරන්න දඟලන එකයි. ඇල්ලුවට හපන්න බෑ කිවුව වගේ ඔන්න ඔතැනදී තමයි මදුරාසි ආණ්ඩුව ඇණ ගත්තේ.

මදුරාසි ආණ්ඩුව කළේ මදුරාසියේ ආදායම් එකතු කළ ක්‍රමය ගෙඩි පිටින් ලංකාවේ ක්‍රියාත්මක කිරීම. නමුත්, ඊට පෙර සිටි පෘතුගීසින් හා ලන්දේසින් විසින් කළේ සියවස් ගණනක් තිස්සේ සිංහලයින් පුරුදු වී සිටි රාජකාරි ක්‍රමය ඒ විදිහටම තියෙද්දී ඒ ක්‍රමයටම ආදායම් එකතු කර ගැනීමයි.

පෘතුගීසින්ට හා ලන්දේසින්ට ලංකාවේ ඒ වන විට තිබුණු රාජකාරි ක්‍රමය ඇතුළේම ඔවුන්ට අවශ්‍ය දේ පහසුවෙන්ම කරගන්න පුළුවන් වුණා. ආණ්ඩුවට අවශ්‍ය මිනිස් ශ්‍රමය වෙනුවෙන් ඔවුන් මුදල් වැය කළ යුතු නොවූ නිසා වියදම් ඉතිරි වුණා. ඒ නිසා, මුදලින් නැතුව ශ්‍රමයෙන් බදු ගෙවන එකේ අවාසියක් තිබුණේ නැහැ. රාජකාරි ක්‍රමයට අස්වැන්නෙන් කොටසක් ලබා දිය යුතු අය ස්වේච්ඡාවෙන්ම එය කළා. රටේ සාමාන්‍ය ජනතාව හා ආණ්ඩුව අතර කටයුතු සම්බන්ධීකරණය කළේ සම්ප්‍රදායික ප්‍රභූන් වූ ඉඩම් හිමි, ඉහළ කුල වල පිරිස් අතරින් තෝරාගත් අයයි.

ඉංග්‍රීසින් ලංකාවට එන විට ලන්දේසින්ගේ කාලය දක්වාම මුහුදුබඩ පළාත් වලත් ක්‍රියාත්මක වුනු බදු ක්‍රමය ඉංග්‍රීසින්ට තේරුම් ගන්න අමාරු තරමේ සංකීර්ණ එකක්. ඉඩම් භුක්ති විඳීමේ හිලවුවට රාජකාරි ක්‍රමයට ඉඩම් ලබාගත් අය අවුරුද්දකට මාස තුනක් ආණ්ඩුවට වැඩ කරනවා. බිං අඳේට ඉඩම් ලබාගත් අය වවන භෝගය අනුව දහයෙන් එකේ සිට දෙකෙන් එක දක්වා නියමිත කොටස ආණ්ඩුවට ගෙවනවා. මුදලි තනතුරට හා එයින් පහළ තනතුරු වලට පත් කර තිබුණු අය මේ කටයුතු සම්බන්ධීකරණය කරනවා. සමහර ඉඩම් වල බිං අඳේ ගන්නේ මේ අයයි.

ඉංග්‍රීසීන් පැමිණි ගමන්ම කළේ එක පාරටම මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එකයි. මේ අනුව ඔවුන් උත්සාහ කළේ සියලුම බදු රිදී වලින්ම අය කර ගන්නයි. ඉඩමේ ප්‍රමාණය අනුව ඇස්තමේන්තු කරන ලද, ලැබිය හැකි අස්වැන්නෙන් බාගයක වටිනාකම බදු ලෙස මුදලින්ම ගෙවිය යුතු බව නියම කෙරුනා. ඒ වන විට අතේ රිදී කාසි ලොකුවට ඉතිරි කරගෙන හිටියේ නැති ලංකාවේ මිනිස්සුන්ට මේ අලුත් බදු ක්‍රමය කොයි තරම් ප්‍රශ්නයක් වුනාද කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ!

වැඩිපුරම ප්‍රශ්නයක් වුණේ 1796 සැප්තැම්බර් 1 සිට ක්‍රියාත්මක වන පරිදි පොල් ගහකට පනම ගානේ දමපු බද්දයි. මේක අලුත් බද්දක්ම නොවුනත් ලන්දේසින්ගේ කාලේ ඔය බද්ද ක්‍රියාත්මක වී නොතිබුණු නිසා මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණු එකක්.

මේ අලුත් බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් මදුරාසියෙන් රැගෙන ආ නිලධාරීන් ඔමිල්දාර්ලා ලෙස හා ඔවුන්ගේ පහළ නිලධාරීන් ලෙස පත් කළා. ඒත් එක්කම ඒ වන විට වරප්‍රසාද ලබමින් සිටි මුදලි, ආරච්චි ආදී තනතුරු වල සිටි අයට මෙතෙක් ලැබුණු වරප්‍රසාද නැති වුණා. දකුණු ඉන්දියාවෙන් ආනයනය කළ අයව ඔමිල්දාර්ලා ලෙස හා එයින් පහළ පේෂ්කාර්, පට්ටකාරර් ආදී තනතුරු වලට පත් කෙරුණා.

ඉංග්‍රීසින් යටතේ බදු ආදායම් එකතු කරන එක සෑහෙන තරමකට පුද්ගලීකරණය වෙලයි තිබුණේ. මේ ක්‍රමය යටතේ කිසියම් ප්‍රදේශයක කිසියම් බද්දක් එකතු කිරීමේ අයිතිය වෙන්දේසියේ විකුණලා වැඩිම ඉල්ලුම්කරුට දෙනවා. ඕක ඊජිප්තුව, රෝමය, ග්‍රීසිය වගේ රටවලත් ක්‍රියාත්මක වූ ක්‍රමයක්. ඊට පස්සේ බදු එකතු කර ගැනීම වෙන්දේසියෙන් දිනන පුද්ගලයාගේ වැඩක්. ආණ්ඩුවට ගෙවන්න පොරොන්දු වූ මුදල එකතු කරගන්න බැරි වුනොත් පාඩු වෙනවා. වැඩිපුර එකතු කරගත්තොත් ලාබ. ආණ්ඩුවේ පැත්තෙන් ගත්තහම බදු ආදායම් සම්බන්ධ අවිනිශ්චිතතාවය නැතුව යනවා.

මේ ක්‍රමයේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි වෙන්දේසිය දිනන පුද්ගලයින් විසින් බදු එකතු කර ගැනීම සඳහා මිනිස්සුන්ව විශාල ලෙස පීඩාවට පත් කිරීම. විශේෂයෙන්ම ඒ වගේ තත්ත්වයක් වලක්වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන විට.

ලංකාව ඉංග්‍රීසින් විසින් අල්ල ගත්තට පස්සේ මේ විදිහට බදු එකතු කිරීමේ කොන්ත්‍රාත් ගත්තු වැඩි දෙනෙක් ආණ්ඩුවේ පහළ ස්ථරය වූ ඔමිල්දාර්ලා වැනි අයමයි. ඒ අය බොහෝ විට බදු එකතු කරන්න යොදාගත්තේ ඔවුන්ගේ පහළ නිලධාරීන්වයි. පහළ මට්ටමේදී යුක්තිය පසිඳලීමේ බලතල තිබුණෙත් ඒ අයටමයි. ඒ නිසා, මේ බදු එකතු කිරීමේ පලහිලව්ව දුර දිග ගියොත් ඒ ගැන පැමිණිලි කරන්න වෙන්නෙත් මේ අයටමයි. වෙන එකක් තබා ඒ දවස් වල ලංකාවේ බ්‍රිතාන්‍ය පරිපාලනයේ ඉහළින්ම සිටි රොබට් ඇන්ඩෲස්ගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලෙස කටයුතු කරපු ජර්විස් උන්නැහේ පවා තමන්ගේ රස්සාවට අමතරව මේ බදු කොන්ත්‍රාත් වැඩේ කරපු කෙනෙක්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

ඉන්දියාවෙන් ආපු ඔමිල්දාර්ලා කලින් හිටපු මුදලි ආරච්චි පේරු වල ඇත්තෝ වගේ ලංකාවේ මිනිස්සු ගැන යාන්තමින් හෝ කැක්කුමක් තිබුණ අය නෙමෙයි. ඔවුන් වෙනම සංස්කෘතියක හිටපු, වෙනම භාෂාවක් කතා කරපු මිනිස්සු. කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ අයට බදු එකතු කරගන්න උදවු වෙන්න දකුණු ඉන්දියාවේ ඉඳලා ඒ අයගේ යාලුවෝ නෑදෑයෝ සනුහරෙන් සෑහෙන ප්‍රමාණයකුත් ඇවිත් තියෙනවා. බදු එකතු කිරිල්ල කොහොම වුනාද කියන එක හිතාගන්න පුළුවන්නේ!

මේ අලුත් බදු ක්‍රමය නිසා අලුත් ඉංග්‍රීසි ආණ්ඩුවට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුනා. ආණ්ඩුවේ වැඩ වලට අවශ්‍ය කුලීකරුවන් ඉන්දියාවේදී වගේ දවස් කුලියකට නැත්නම් මාස් පඩියකට බඳවා ගන්න ඔවුන් බලාපොරොත්තු වුවත් කීයක් දුන්නත් කුලී වැඩ කරන්නනම් බෑ කියන එක තමයි සිංහලයන්ගේ ප්‍රතිචාරය වෙලා තියෙන්නේ. ඕනෑනම් රාජකාරී ක්‍රමයට වැඩ කරන්න ඕනෑ දවස් ගාණ වැඩ කරන්නම්. හැබැයි ඔය රිදී කාසි කොච්චර දුන්නත් කුලී වැඩ කරන්න කියලනම් අපිට කියන්න එපා!

අවුරුද්දකටම පනමක ගෙඩි නොහැදෙන කණාටු පොල් ගහකටත් පනමක බද්දක් ගෙවන්න නියම කරලා ඔමින්දාර්ලාගේ මැරයෝ තාඩන පීඩන කරන්න පටන් ගත්තහම දුක කියන්නවත් කෙනෙක් නැති පහතරට මිනිස්සු විශාල අසහනයකට පත් වුණා. තනතුරු නැතිවෙලා හිටපු ආරච්චිලා මුදලිලා ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. පහතරට පුරා කැරැල්ලක් මතු වුණා. තමන්ගේ ආණ්ඩුව වට්ටපු ඉංග්‍රීසින් ගැන කැමැත්තකින් නොසිටි ලංකාවේ පදිංචිව සිටි ලන්දේසීන් කැරළිකරුවන්ට යටින් උදවු කළා.

අන්තිමේදී, මේ අවුල් සහගත තත්ත්වය ගැන කරුණු හොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන්න 1797 අවුරුද්දේ ජූනි 9 වෙනිදා ජෙනරාල් ඩි මියුරන්ගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණා.

ඩි මියුරන් කමිටුවේ නිර්දේශ වල ප්‍රතිඵලයක් ලෙස රාජකාරි ක්‍රමය නැවත ස්ථාපිත කෙරුණා. ඉන්දියාවෙන් ආ නිලධාරීන් ආපසු යැවුනා. ලංකාවේ කලින් හිටපු මුදලි, ආරච්චි ආදීන්ගේ තනතුරු නැවත ලැබුණා. 1797 සැප්තැම්බර් 16 වෙනිදා සිට පොල් බද්ද අහෝසි වුණා.

1798 ඔක්තෝබර් 12 වෙනිදා ෆෙඩ්රික් නෝර්ත් ලංකාවේ පළමුවෙනි ආණ්ඩුකාරයා විදිහට පත් වෙලා ආවා. ලංකාව ඉන්දියාවෙන් ස්වාධීන වෙනම කොළනියක් වුණා. ලංකාවට නිදහස ලැබෙන තුරුම ඒ තත්ත්වය ඒ විදිහටම පැවතුණා.

9 comments:

  1. හා, දතක් ගලවන්නෙ නැතුවම බැරි පාටයි?

    ඉතිරි කොටස නම් නියමයි. ඔහොම දිගටම යමු.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා,

    දත්වල ආසාදන සඳහා කෝපි දළු/ තේ පැකට් තැබීමට පෙර ලංකාවේනම් පැරණි සිංහලයන්, විශේෂයෙන්ම වැද්දන් තුවාලවලට කහට පොතු / කහට සහිත දළු ටිකක් කටින් සපා තැබීම සිදුකළා. මේ එම පැරණි අත්බෙහෙතේම නව මුහුණුවර වියහැකියි.

    ඔබ මතුකල පහතරට කැරැල්ල නිසා ලංකාව වෙනම රාජ්‍යයක් වූවා කියන අදහසත් රසවත්. කෙසේ නමුත් පාලනයේ පහසුව සඳහා බ්‍රිතාන්‍යයන් මුලදී ලංකාව මදුරාසිය සමග ඈඳුවත් ලංකාව තුළ ලංදේසීන් ඒවනවිටත් ඉතා දියුණු පාලන ක්‍රමයක් ස්ථාපිත කර තිබුණා. එය ඉන්දියාවට වඩා ඉතා විධිමත්, රෝම ලංදේසි නීතිය මත ගොඩනැගුණ අධිකරණ පද්ධතිය ඇතුළු මනාව සංවිධිතව පැවති එම ක්‍රමය නිසා එම තත්ව්යන් යටතේ ලංකාව වෙනම පාලනය කිරීම වඩාත් සුදුසු වුණා. මේ බව වටහා නොගැනීම නිසා බ්‍රිතාන්‍යන් මුලදී සියල්ල අවුල්කරගෙන කැරැල්ලකටත් මුහුණ දී විශාල පාඩුවක් සිදුකරගත්තා. කෙසේ නමුත් කැරැල්ලෙන් පසු කරුණු මනාව අධ්‍යනය කර බ්‍රිගේඩ්යර් ජෙනරල් පියේර් ෆ්‍රෙදෙරික් ද ම'රෝං ලංකාවේ එවකට පැවති ලංදේසි පාලනාධිකරී නීතිරීති වඩාත් බ්‍රිතාන්‍යකරණය කරමින් වෙනම කොලනියක් ලෙස පාලනය කළ අතර එය ලංකාවේ වත්මන් සාර්ථකත්වයට හේතුවී තිබෙයි.

    ReplyDelete
    Replies
    1. මේ කැරැල්ල සිදුවන කාලය වන විට ලන්දේසින්ගේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා නිසා ඔවුන්ට ඒ ගැන වාර්තා තියන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අනෙක් අතට ඉංග්‍රීසි පරිපාලනය මේ වන විටත් ස්ථිරව පිහිටුවලා නැති නිසා ඔවුන්ගේ වාර්තාත් හිඟයි. ඒ නිසා මේ වසර දෙක තුන එයට පෙර හා පසු වසර වලට සාපේක්ෂව මූලාශ්‍ර වලින් දුප්පත් කියා කිව හැකියි. මූලාශ්‍ර හිඟකම නිසා පසුකාලීනව සිදු වූ උඩරට කැරළි ආදියට සාපේක්ෂව මේ පහතරට කැරැල්ලට ලැබී තිබෙන්නේ අඩු අවධානයක් වුවත් එහි සෑහෙන බලපෑමක් ලංකාවේ ඉතිහාසයට තිබෙන්න ඇති කියා මම හිතනවා. කෙතරම් ප්‍රශ්න තිබුණත් අපට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කර ගන්න වෙන්නේ ඉතිරි වී තිබෙන මූලාශ්‍ර වලිනුයි. ප්‍රතිචාරයෙහි ඔබ ලියා ඇති කරුණු වලට එකඟයි. නිවැරදි උච්ඡාරණය "පියේර් ෆ්‍රෙදෙරික් ද ම'රෝං" කියා හිතනවා. එයට ස්තුතියි!

      Delete
  3. අගනා පෝස්ට් එකක් !

    ලංකාවට ගෙනාපු ඕමිල්ඩාර්ල (Aumildar) දකුණු ඉන්දියාවෙන් වුනාට ඒ නිලය අරාබි+පර්සියන් වචනවලින් ආපු එකක් නේද? ( හමුදාවේ හැවිල්ඩාර් Havildar වගේ ) මෝගල් අධිරාජ්‍යය දකුණු ඉන්දියාවෙත් ව්‍යාප්ත වුනාද? එහෙම නැත්නම් ඉන්ග්‍රීසි ආණ්ඩුව මෝගල් කාලයේ සිට පැවතුනු නිල නාමයන් මුලු ඉන්දියාව පුරාම යොදාගත්තද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මෙය අරාබි-පර්සියන් මූලයක් තිබෙන වචනයක්. යුරෝපීයයන් එන්න කලින් ඉන්දියාවේ ප්‍රාදේශීය පාලකයෙකු හැඳින්වුණු අමල්දාර් යන වචනයේ ඉංග්‍රීසි ස්වරූපය. මේ වචනය දැනටත් භාවිතා වෙනවා. අවුරන්ශිබ්ගේ කාලයේදී අරාබි-පර්සියානු බලපෑම් මදුරාසිය තිබෙන හරියටම ආවා.

      http://www.columbia.edu/itc/mealac/pritchett/00islamlinks/ikram/graphics/india1700.jpg

      ඔබේ ප්‍රශ්න තුනටම මගේ පිළිතුර ඔව් කියන එකයි.

      Delete
    2. මා දන්නා තරමින් මෝඝල් බලය දකුනු ඉන්දියාවේ දිගු කලක් පැවතුනේ නෑ.නමුත් මුස්ලිම් බලපෑම දිගටම තිබුනා.මේ වචන එන්නේ එම මූලාශ්‍ර වලින් විය හැකියි.

      Delete
  4. ඉකෝන්, ලංකාව පාලනය කිරීම කොහොම කල යුතුයි ද කියලා නිල වශයෙන් සිදු වුණු සාකච්ඡා අනිවාරයෙන්ම තියෙන්න ඇතිනේ. ඒ ලිඛිත තොරතුරුත් කොහෙ හරි ඇති නේද? අපි ඉංග්‍රීසින්ගේ පැත්තෙන් හිතුවොත්, දැනටත් සිදු වෙනවා වගේ පිටතින් ඉන්දියානුවන්ගේ අපේ සංස්කෘතික සමානකම් නිසා බොහෝ වෙලාවට ඉන්දියාවේ ක්‍රමයටම ලංකාවත් පාලනය කරන්න පුළුවන් කියා සිතන්නට ඇති. නමුත් ප්‍රශ්න මතුවන විටම කොමිසමක් පත් කිරීම සහ නිර්දේශ අනුව ක්‍රියා කිරීම එක පැත්තකින් පාලනයේදි ඔවුන් දැක්වූ දක්ෂතාව පෙන්නුම් කරනවා.

    මට මතක් වුණේ බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියන එක. සමහර විට මේ වැඩිය ප්‍රසිද්ධ නැති කැරැල්ලේ ලොකු බලපෑමක් තියෙන්නේ ඇති ලංකාව වෙනම රටක් විදිහට පවතින්න. නමුත් තව විදිහකින් බැලුවහම, අපේ රටේ තිබ්බ පාලන ක්‍රමවේදය, බදු, රාජකාරී ක්‍රමය, සාපේක්ෂව දියුණු සංස්කෘතික අංග, තාක්ෂණය ආදී සියල්ල සලකා බැලුවහම, අනිවාර්යයෙන් වෙන්න තිබුණු දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. ලන්දේසීන් ලංකාවෙන් එළවා ඉංග්‍රීසින් විසින් ඔවුන් පාලනය කළ ප්‍රදේශ අල්ලා ගැනීම හදිසියේ වුනු දෙයක්. ඉංග්‍රීසින්ට කලක සිටම ලංකාව ගැන උනන්දුවක් තිබුණත් මේ වෙලාවේ සිදු වුණේ යුරෝපයේ සිදුවූ දේශපාලනික වෙනස්කමකට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වමින් උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැනීමකුයි. ඒ නිසා, ආක්‍රමණයට පෙර අනාගත පරිපාලනය සම්බන්ධව තීරණය වී තියෙන්න එතරම් ඉඩක් නැහැ.

      බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන කතා කිරීම ඇත්තටම මම මුලින්ම ලිපියේ පටන් ගැන්මේදී කරන්න හිතා සිටි දෙයක්. පසුව සැලසුම වෙනස් කර වෙන විදිහකට පටන් ගත්තා. මෙය ටිකක් එවැනි දෙයක් තමයි.

      වත්මන් ඉන්දියාව සේ එකතු වී තිබෙන සිය ගණනක් වූ රටවල් වල විවිධත්වය දෙස බැලුවහම ඉංග්‍රීසින්ට සාපේක්ෂව ලංකාව හා ඉන්දියානු භූමියේ වූ අනෙකුත් රටවල් අතර ලොකු වෙනසක් තිබුණා කියා මම හිතන්නේ නැහැ.මියන්මාරය පවා බ්‍රිතාන්‍ය ඉන්දියාවට එකතු කර ගනිද්දී ලංකාව එකතු නොකිරීම තරමක් අහඹු දෙයක් කියා මම හිතන්නේ ඒ නිසයි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...