වෙබ් ලිපිනය:

Wednesday, February 10, 2021

පුරවැසි සමනල්ලු හා සාමණේර ගස්


නවසීලන්ත පාර්ලිමේන්තුව තුළ 2017 මාර්තු මාසයේදී සම්මත කළ පනතකින් එරට තෙවන විශාලතම ගංගාව වන වන්ගානුයී ගංගාව නෛතික පුද්ගලයෙක් බවට පත් වුනා. මෙය මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාවයි. ඒ එක්කම වාගේ ඉන්දියාවේ උත්තරඛාන්ද් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් ගංගා හා යමුනා ගංගාවන් නෛතික පුද්ගලයින් සේ ප්‍රකාශයට පත් කරමින් තීන්දුවක් දුන්නා. පසුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ තීන්දුව ආපසු හැරෙවුවා. ඉන් පසුව, 2019 වසරේදී කොස්ටරිකාවේ කරිදාබත් නගරය වවුලන්, සමනලයින්, මී මැස්සන්, පැණි කුරුල්ලන් ඇතුළු සත්ව විශේෂ ගණනාවකට හා ශාඛ ගණනාවකට එම නගරයේ පුරවැසිකම ලබා දෙන බව ප්‍රකාශ කළා. 

දැන් ලංකාවේ බෞද්ධ භික්ෂූන් පිරිසක් විසින් ලංකාවේ තිබෙන දුලබ ශාඛයකට සාමණේර භාවය ලබා දී තිබෙනවා. මෙය සංකේතාත්මක හා ප්‍රදර්ශනාත්මක කරුණක් පමණක් විය හැකියි. කෙසේ වුවත්, ලංකාවේ සමාජය තුළ සාමණේර තත්ත්වය නෛතික පුද්ගල තත්ත්වයට හා පුරවැසි තත්ත්වයටත් වඩා ඉහළ ගෞරවනීය තත්ත්වයක්. 

හැම ජීවයක්ම පැවැත්ම සඳහා නිරන්තර සටනක් කරනවා. එහිදී සමහර වෙලාවට වෙනත් වර්ග වල ජීවීන් එක්ක ගැටුමක් තිබෙනවා. තවත් සමහර වෙලාවට සහජීවනයක් තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ වර්ගයා එක්කම ගැටුමක් හෝ සහජීවනයක් තිබෙනවා. මේ සටන හෝ සහජීවනය හිතාමතා කරන කටයුත්තක් වෙන්න අවශ්‍ය නැහැ. හිතුවත්, නැතත් පරිණාමයේ නීති අනුව එය කොහොමටත් සිදු වෙනවා. අවසාන වශයෙන් සිදුවෙන්නේ පැවැත්ම සඳහා වඩාත්ම හිතකර දෙයයි. පැවැත්මට බාධා කරන ලක්ෂණයක් හෝ චර්යාවක් දිගුකාලීනව පවතින්නේ නැහැ.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හැම එකකම වගේ අවසාන අරමුණ පැවැත්ම තහවුරු කර ගැනීම. මිනිස්සුන්ගේ ප්‍රශ්න කියා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න. පාරිසරික ප්‍රශ්න කියා කියන්නෙත් මිනිස්සුන්ගේ වෙනත් ප්‍රශ්න වගේම මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට මිනිස්සුන්ගේ විසඳුම් කියා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කරන විසඳුම් වලටම මිසක් වෙන කෙහෙල්මලකට නෙමෙයි. වන්ගානුයී ගංගාව නෛතික පුද්ගලයෙක් වෙන්නේත් කෘඩියා සෙලනිකා ගහ සාමණේර කෙනෙක් වෙන්නේත් මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා කරන සටන ඇතුළේ. අධිවේගී මාර්ග හදන එක සිදු වෙන්නේත් මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා කරන සටන ඇතුළේ.

කවුරු හරි කෙනෙක් "මම" කියලා වෙන් කර ගන්න කොටස ඇරුනහම ඉතුරු සියල්ල පරිසරය. වඩු කුරුළු කූඩුවක් වගේම නෙළුම් කුළුනත් පරිසරයේම කොටස්. පරිසරය කියන්නේ හැම මොහොතකම ගතික ලෙස වෙනස් වෙන දෙයක්. මේ වෙනස් වීම ඇතුළේ සමහර ශාඛ හා සත්ත්ව විශේෂ වඳ වෙලා යනවා. තව ඒවා අළුතින් බිහි වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වය.

සමහර ශාඛ හා සත්ත්ව විශේෂ පෘථිවියෙන් වඳ වී ගොස් තියෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්. මිනිස්සු කියන්නේත් පරිසරයේම කොටසක් නිසා කිසියම් ශාඛ හෝ සත්ත්ව විශේෂයක් පෘථිවියෙන් වඳ වී යාමට හේතු වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්ද නැත්නම් වෙනත් කරුණක්ද කියන එක වැදගත් වෙන්නේත් එය මිනිසුන්ගේ පැවැත්ම කෙරෙහි බලපෑමක් කරනවානම් පමණයි. දැන් ලෝකයේ ගොඩක් දේවල් සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑමක් සහිතවයි. මිනිස් ක්‍රියාකාරකම් කියන්නේත් පරිසරයේම කොටසක්. මිනිස් ක්‍රියාකාරකම් නිසාම ලෝකයට අලුතෙන් ශාඛ හා සත්ත්ව විශේෂ කොයි තරම් බිහි වෙලා තියෙනවද?

මොන විදිහේ තර්ක ඉදිරිපත් කළත් වෙනත් ශාඛ හෝ සත්ත්ව විශේෂ වඳ නොවී පැවතිය යුතු පරම වූ හේතුවක් මිනිස්සුන්ට තිබෙනවානම් ඒ මිනිස්සුන්ගේ පැවැත්මට එයින් කවර හෝ උදවුවක් ලැබීමයි. තමන්ගේ පැවැත්මට බාධා වන ශාඛ හෝ සත්ත්ව විශේෂයක් මිහිමතින් වඳ කර දැමීමට මිනිස්සු පැකිලෙන්නේ නැතුවාක් වගේම එහි වැරැද්දකුත් නැහැ.

ඕනෑම දෙයකට මිලක් තිබෙනවා. කෘඩියා සෙලනිකා ශාඛයට වගේම ශ්‍රී මහා බෝධියටත් මේ කතාව වලංගුයි. ශ්‍රී මහා බෝධියට තිබෙන්නේ ඓතිහාසික, ආගමික හා සංස්කෘතික වටිනාකමක්. ඒ වටිනාකම දෙන්නේ මිනිස්සු. එහෙම නැතුව ශ්‍රී මහා බෝධියට වාස්තවික වටිනාකමක් නැහැ. ඓතිහාසික, ආගමික හා සංස්කෘතික ලෙස කවුරුවත් ශ්‍රී මහා බෝධිය වටිනා සේ නොසලකන පසුබිමක ශ්‍රී මහා බෝධියට වටිනාකමක් නැතුව යනවා. එවැනි වටිනාකමක් තිබෙන පසුබිමක වුවත් එම වටිනාකාම අසීමිත නැහැ. 

මනඃකල්පිත උදාහරණයක් විදිහට අපි හිතමු තවුතිසා දිව්‍ය ලෝකයෙන් දේව කණ්ඩායමක් ඇවිත් ශ්‍රී මහා බෝධිය අරගෙන යන්න හදනවා කියලා. ඔය වගේ කතා බෞද්ධ සාහිත්‍යයේ තියෙනවනේ. දැන් ශ්‍රී මහා බෝධිය බේරගන්න එයට වටිනාකමක් දෙන හැම කෙනෙක්ම දේව කණ්ඩායම එක්ක මරාගෙන මැරෙන සටනක් කරලා ශ්‍රී මහා බෝධියට වටිනාකමක් ලබා දෙන සංස්කෘතිය පෘථිවියෙන් වඳ වී යාමේ අවදානම ගන්නවද? ශ්‍රී මහා බෝධියට වටිනාකමක් ලබා දෙන සංස්කෘතිය නැති වුනොත් ශ්‍රී මහා බෝධියට වටිනාකමක් තියෙනවද?

වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙන ගහක් හේතුවක් නැතුව වඳ වෙන්න අරින්න අවශ්‍ය නැහැ. නමුත්, එම ගහ වඳ වෙන්න නොදී පරිස්සම් කර ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍යයි. ගහ වෙනුවෙන් කොයි තරම් මිලක් ගෙවිය යුතුද? මේ මිල කොපමණ වුවත් මිලට කවර හෝ සීමාවක් තිබෙනවා. එය අසීමිත නැහැ. ගෙවිය යුතු මිල වැඩිනම් ගහ විනාශ වෙන්න අරින්න වෙනවා.

එහෙමනම් පාරිසරික ප්‍රශ්න කියා දේවල් නැද්ද? තියෙනවා. පරිසර ප්‍රශ්න කියන ඒවායේ මූලික ලක්ෂණයක් වන්නේ කිසියම් මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් අනාගතයේදී මිනිසාගේ පැවැත්මට සිදු විය හැකි හානි පිළිබඳව බොහෝ මිනිස්සුන්ට අවබෝධයක් නැතිකම හේතුවෙන් මේ ප්‍රශ්න ඇති වී තිබීමයි. වෙනත් අයුරකින් කිවුවොත් මේ ප්‍රශ්න තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්න. තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්න වලට විසඳුම දැනුවත්භාවය වැඩි කර මිනිස් ක්‍රියාකාරකම් වෙනස් කිරීමයි.

පරිසර ප්‍රශ්නයකට විසඳුමක් දෙන හැම වෙලාවකම එය කළ යුත්තේ එයින් මිනිසුන්ගේ පැවැත්මට ලැබෙන වාසි හා අවාසි සැලකිල්ලට අරගෙනයි. එවිට විසඳුම සරලයි. දුලබ ගහක් වඳ වී යාම වැළැක්වීමේ වාසිය කුමක්ද? මේ වගේ දෙයක් ඇස්තමේන්තු කළ හැකි වාස්තවික ආකාරයක් නැහැ. වාසිය විෂයමූලිකයි. මිනිසුන්ගේ විෂයමූලික වටිනාකම් සමීක්ෂණයක් හරහා හොයා ගෙන දුලබ ගහක් වඳ වී යාම වැළැක්වීමේ වාසිය ඇස්තමේන්තු කළ හැකියි.

කෘඩියා සෙලනිකා ගහ බේරා ගන්න අවශ්‍යයි කියන කෙනෙක් ඒ වෙනුවෙන් උපරිම වශයෙන් කොපමණ මුදලක් ගෙවන්න කැමතිද? එසේ මුදලක් ගෙවන්න කැමති හැම කෙනෙක්ම එකතු වී ගෙවන්න කැමති උපරිම මුදල කීයද? අධිවේගී මාර්ගයේ සැලසුම වෙනස් කළොත් යන අමතර වියදම ඊට වඩා අඩුද වැඩිද?

12 comments:

  1. ඉකොනොමැට්ටා මේ දවස් වල ඇමරිකානු එක්සත් ජනපදයේ ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා static shock වලින් කරදරයි නේද? ඒ ගැනත් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

    මට තව ප්‍රශ්නයක් තියෙනවා, ඇත්තටම ඇමරිකාවේ ඉකොනොමැට්ටාගෙ යාලු මිත්‍රයො සහ ඇසුරු කරන පිරිස් අතරින් වඩාත්ම ඇහෙන්න, ඉස්මතු වෙන්නෙ "ලංකාව මාර උතුම් රටක්, පැරණිම සහ ලොකුම එක තියෙනෙ අපිට, අපි තමයි සුද්දන්ට කලින් ඔක්කොම කළේ" කියන මානසිකත්වයද එහෙම නැත්නම් "ලංකාව පොඩියි, අපි පුංචි ජාතියක්, අපිට බෑ, අපි අසරණයි, ඉන්දියාව තමයි අපේ ලොකු සහෝදරය, අපි ඒ අයව අප්සෙට් කරන්න හොඳ නෑ, සුද්ද ගල විද්දෙ නැත්නම් අපි ලොස්, රට මේ ගාණට හරි තියෙන්නෙ සුද්ද ඇවිත් රට දියුණු කළ හින්ද, සුද්දො දිගටම හිටිය නම් හොඳයි" කියන මානසිකත්වයද?

    මට නම් පිටරටවලට සංක්‍රමණය කරපු ලාංකීය සිංහල ඩයස්පෝරා සාමාජිකයන්ගෙන් ඔය දෙකෙන් වැඩිය ඇහිල තියෙන්නෙ ඔය දෙවනියට කියපු මතය.

    මෙතන ඒ දෙවැනි කණ්ඩායම කරල තියෙන විවේචනය වලංගු වුණු කාලයකුත් තියෙන්න ඇති, ඒ වගේම මේ විවේචනයට අදාළ වෙන අයත් තවම එහෙන් මෙහෙන් ඇති. හැබැයි මගෙ නම් අදහස ඒ අය මේ එල්ල කරන්නෙ සිංහලයා සම්බන්ධව තිබුණු සාම්ප්‍රදායික විවේචනය කියලයි. සිංහල මිනිස්සු දැන් ඔය අවධිය පහු කරල ටිකක් කල්. දැන් උන් ඉන්නෙ ඔය ස්පෙක්ට්‍රම් එකේ අනිත් පැත්තෙ කොණට වෙන්න. ඇත්තටම දැන් ලංකාවෙ ඉතිහාසය කතාකරන, ඒ ගැන යම් හෝ උනන්දුවක් තියෙන පිරිස් ඉන්නෙ කීයෙන් කී දෙනාද (මේකත් එක්තරා දුරකට අර 'කොදෙවු මානසිකත්ව විවේචනය' වගේම තමයි. අපේ ප්‍රශ්ණවලට හේතුව කොදෙවු මානසිකත්වය කියාගෙන සමහරු වැලලෙන්න හැදුවට ඇත්තටම අපේ ගොඩක් ප්‍රශ්ණවලට එක හේතුවක් වෙන්නෙ අපිට එහෙම මානසිකත්වයක් නැතිකම. ඒක තිබුණ නම් අපිට සමහර විට මේ ගාණට කෙල නොවෙන්න තිබුණ) එහෙම නේද?

    "ලංකාව මාර උතුම් රටක්, පැරණිම සහ ලොකුම එක තියෙනෙ අපිට" වගේ මතයක් කරපින්න ගත් අය තවම ඉන්නව නම් උන් ඉන්න ඕනෙ ඔය ඉතිහාසය, සම්ප්‍රදාය, ජාතිකත්වය වගේ ඒව අගය කරන ගොඩේනෙ. දැන් බලන්න ෆේස්බුක් එකේ තියෙනව එහෙම උනන්දුවක් තියෙන උන් එකතුවෙන, අදහස් හුවමාරු කරගන්න සමූහයන්. උදාහරණයන් විදියට ඔය archaelogy.lk, සිංහල වෙදකම, ජාතික චින්තනය (ඒ සමූහය දැන් ජෝක් එකක් වෙමින් පවතිනවා කියන එක වෙනම කතාවක්), සිංහළ පදරුත් වියරණ වගේ සමූහයන්. ඒවට ගිහින් ටිකක් ඔලුව දාල බලන්න. එහෙම තැන්වලවත් ඔහොම දේවල් කියන උන් නැහැ. ඒවයෙ ඉන්න උන් උනත් මේව දිහා බලන්නෙ ඔය දෙවෙනි කණ්ඩායම කියල තියෙනවට වඩා හෙණ සාධනීය විදියට.

    අනෙක් අතට මට නම් දැන් කාලයක් තිස්සෙ ලංකාවෙන් පිට රටවලදි හම්බු වෙලා තියෙන්නෙ, සුද්දො ඉස්සරහ නැමෙන, උන්ට කීකරු, යටහත් පහත්, උන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙන, අපි කරන ඒවයෙන් උන් අපහසුතාවයට පත්වෙයිද කියල හෙණ කන්සර්න් (ඒ නිසාම උන්ට උච්චාරණය කරන්න පුළුවන් විදිහෙ නම් තමුන්ගෙ දරුවන්ට දාන්න තරම් නිහීන වුණු), කතා කරන්න පොඩි චාන්ස් එකක් ලැබුණොත් ලංකාව හෙණ බැක්වර්ඩ් වුණාට අපි නම් පුද්ගලිකව ඔය ගොල්ලො වගේම හෙණ ඇඩ්වාන්ස් කියල කියාගන්න නලිය නලිය ඉන්න, ඉන්දියන්කාරයන්ට වඩා හොඳට අපිට ඉංග්‍රීසි උච්චාරණය කරන්න පුළුවන් වීම ගැන අමු ගොන් පාට් දාල ආඩම්බර වෙන පිරිසක් මිසක් 'අපි පට්ට පොරවල්' කියල හිතාගෙන සුද්දන්ටත් පාර්ට් දාගෙන ඉන්න උන් නෙමේ (මේවට ඉතාමත් කලාතුරකින් ව්‍යාතිරේකයන් ඇති, නමුත් මම මේ කිව්වෙ පොදුවේ මගෙ නිරීක්ෂණය). මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  2. ලෝකයේ තිබෙන එකම ගස මෙයනම් ඒ වෙනුවෙන් මුදල් වැය කරනවා වෙනුවට සංචාරක ආකර්ෂණයක් බවට පත්කර විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පත්කළ හැකියි.

    ReplyDelete
  3. සාමනේර හිමිවරුන්ට
    ලිංගික අතවර වෙනවලු
    මෙතැන් පටන් සෙලනිකාට
    අලි මදිවට හරක්!

    ReplyDelete
  4. මේ වනවිට තමන් ලංකාවෙ පුද්ගලයන් ගණනාවක් මළවුන්ගෙන් නැගිට්ටවා ඇතැයි ලංකාවෙ බෝර්න් අගේන් නිකායේ නායක දේව ධර්මාචාරය රදගුරු W නිශ්ශංක සඳහන් කර ඇති බව ඉකෝන් දැක්කා ද?

    ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්, එහිදී ලංකාවෙ නම් පාස්ටර්වරුන් වැඩි පිරිසක් කරන්නේ බොරු බවත් ඔවුන් මිනිසුන් රවට්ටන බවත් ඔහු පැවසූ අතරම තම ආගමට ජනතාව හරවා නොගන්නා බවත් මිනිස්සුන්ට සල්ලි බෙදන්නේ නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළා.

    ඒ වගේම ලංකාවෙ බෙහෙවින් ජනප්‍රිය වූ වික්ටර් රත්නායකගේ ආශ්චර්යමත් සිදුවීම ගැන තමන්ට කිසිවක් කිව නොහැකි නමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ඒ සියල්ල කළ හැකි බව නම් අතිශයින්ම සත්‍ය බව තමා ඉතා වගකීමෙන් පවසන බවද කිව්වා. ඔහුගේ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකියි;

    https://youtu.be/QTC88XcaYKs

    ReplyDelete
  5. ඔක්සිජන් ඕනි නැත කියනා පකිරන්ට
    නම්බු නාම දිය යුතුමයි තව දුරට
    සිංහරාජෙ වුව හෙළි කොට වාසියට
    ගත්තට මොකද, යත හැකි නොවැ නොරටකට

    පෘථිවි ගෝලයට කිසි සෙනෙහසක් නැතී
    ගහ කොළවලට, ඇල දොළකට ආලෙ නැතී
    සල්ලි මිටිවලට විතරක් ලීලෙ ඇතී
    අම්බරුවන්ට රට දුන්නම මෙහෙම වෙතී

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ Think big and Think differently කියන සංකල්පය ගැන?


    මොකද "Think Big-ලොකුවට හිතන්න" කියන එක කලක් මා ලංකාවේ ඉද්දි සේවය කල සේවා ස්ථාන ප්‍රධානියාගේ මුවේ නිතරම තිබුනු තේමා පාඨය වුණා. දිනක් ඔහු ඔහුගේ පාසල් මිතුරෙක්ගේ කතාවක් ඊට උදාහරණයක් ලෙස ගෙන දැක්වූවා.

    ඔහුගේ යාලුවා පාසල් යන කාලයේ සිට හිතුවේ අනිත් අයට වඩා වෙනස් ලෙසලු. ඕනම දෙයක් කරන විට අනෙක් අයට වඩා ලොකු දෙයක් කරන්න හිතන කෙනෙක්. මේ නිසා සමාගමක සාමාන්‍ය රැකියාවක් කරපු මේ යාලුවගේ තාත්තට ලොකු ලොකු පාඩු වෙච්චි අවස්ථාත් තිබුනලු.

    කොහොමින් හරි මෙයාලගේ පාසල් දිවියේ අවසන් වසරේ බිග් මැච් කාලය ආවලු. ඔවුන්ගේ පාසලේ බිග් මැච් එක පටන් ගන්න දවස් ටීම් එකේ කැප්ටන්ගෙ ගෙදර ගිහින් පෙරහැරකින් එයාව කැඳවාගෙන එන සිරිතක් තිබුනලු.

    මේ පෙරහැර ගැන කලින් සංවිධානය කරන සාකච්ඡාවට ආපු අර යාලුවා කිව්වලු අපි මේ පෙරහැරට හෙලිකොප්ටර් එකකින් මල් වැස්සක් වස්සමු කියලා. ඒත් අනිත් අය පුදුම වෙලා එයාගේ යෝජනාව කරන්න බැරි එකක් කියලා කිව්වලු.

    කෙසේ වෙතත් අපේ යාලුවා වැඩේ අත ඇරල නෑ. ඔහු ගුවන් හමුදාවෙ ලොකු තනතුරු වල ඉන්න පාසලේ ආදි ශිෂ්‍යයන් හොයාගෙන පාසලේ බිග් මැච් එකට හෙලිකොප්ටර් එකක් ඉල්ලලා ලියුම් යැව්වලු.

    කවුරුත් පුදුමයට පත් කරමින් පාසලේ ආදි සිසු ගුවන් හමුදාවෙ ප්‍රධානියෙක් මේ ඉල්ලීම පිළි අරගෙන හෙලිකොප්ටරයක් ලබා දීලා තියෙනවා. මිනිහා ඇත්තටම සිරා වැඩ කාරයෙක් බව යාලුවන්ට තේරිලා තියෙන්නේ එදා තමයි.

    කොහොමින් කොහොම හරි පාසලෙන් ඉවත් වුනාට පස්සේ මම කිව්ව ඒ ආයතන ප්‍රධානියාට තමන්ගේ යාලුවා ගැන කිසිම විස්තරයක් දැන ගන්න බැරි වුනාලු. මෙහෙම ඉන්දැද්දි දවසක් ආරංචි උනා ලු මිනිහා ඉන්නේ රට, ලඟදි ලංකාවට නිවාඩුවකට එනවා කියලා.

    ඉතින් යාලුවා ලංකාවට ආවහම ඔහුව හම්බ වෙන්න ගිහින්. ඔහු නැවතිලා ඉඳලා තියෙන්නේ කොලඹ තරු පහේ හෝටලයක. ඉතිං යාලුවා සමග ආගිය කතා කතා කරලා ඉවර වෙලා දැන් මොනවද කරන්නේ කියලා ඇහුවලූ.

    "බිස්නස් නම් කීපයක්ම කලා. නමුත් දැන් ඔස්ට්‍රේලියාවෙ වරායක කොටසක් කුලියට අරගෙන නැව් රෙපෙයාර් කරනවා" කියලා කිව්වලු.

    ඉතින් මේ "ලොකුවට හිතන්න, වෙනස් විදියට හිතන්න ඔබට කවදා හරි, හරි යනවා" කියන සංකල්පය ගැන අභිප්‍රේරණය, ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගැනීම වගේ දේවල් ගැනත් ඔබට ලියන්න පුලුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  7. ඉකෝන් මේක බලන්න,

    https://www.facebook.com/132297601647462/posts/225858065624748/

    මේකේ චීනයේ බීජිං නගරයේ ජීවන අත්දැකීම් අළලා ආදායම් සහ වියදම් ගැන විස්තර සඳහන් කරනවා. මේ වගේම ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසියකු වශයෙන් ඇමරිකානු ආදායම් වියදම් ගැන විස්තර සඳහන් කරන්න පුළුවන් නේද?

    ReplyDelete
  8. ඔය කියන විදිහට හැම දෙයකටම මිළක් නියම කරන්න පුළුවන්. හැබැයි එක් එක්කෙනා එකම දේට මිළ නියම කරන්නෙ තමුන්ට දැනෙන වටිනාකමත් එක්ක. වයසක මනුස්සයෙක් ජීවත් කරවන්න දැඩි සත්කාර ඒකකයක තියන් ඉන්න එකට යනවා වියදමක්. ඒ වෙලාවට දොස්තරලා යෝජනා කරනවා ලෙඩාට මැරෙන්න ඉඩ අරින්න. ආර්තික විද්‍යාවට අනුව ඒක සාදරණයි. ඒත් ලෙඩාගෙ ළමයින්ට තමුන්ගෙ තාත්තට මිළක් නියම කරලා ලාබ අලාබ බැලන්ස් කරලා ඔන්නොහේ මැරෙන්ඩ අරිමු ජීවත් කරවන එක පාඩුයි කියන්ඩ පුළුවන්ද?
    ගහක් උනත් එච්චරයි. හයිවේ එකක් හැදුවම වියදම සහ ආදායම ගණන් හදලා අප්පුඩි ගහන්ඩ හරි විවේචනය කරන්ඩ හරි පුලුවන්. ඒත් ගහකට වටිනාකමක් දෙන්ඩ පුළුවං මිනිස්සු වගේම ගහකොළට පණ වගේ ආදරය කරන මිනිස්සුත් ඉන්නවා. ගහකින් අපිට ඍජු ප්‍රයෝජනයක් නෑ කියලා ඒක අයින් කරනවා වගේ තීරණ ගත්තු අය තමයි උමා ඔය යෝජනාව වගේ ඒවයින් සෑහෙන පරිසර විනාශයක් කළේ සහ ඒකෙන් මිනිස්සු සෑහෙන කොටසකගේ ජීවිත දුක්ඛිත කරලා දැම්මෙ.
    පරිසර පද්ධති සමතුලිතව පවතින්නේ ජයිව විවිදත්වය නිසා. අපිට ඍජු වැදගත්කමක් නැති ගහකොළ සහ සත්තු ඉවත් කළොත් මේ පද්ධතිය කොයි මොහොතේ හරි කඩන් වැටෙනවා.
    ගහ කපන්ඩ එපා කියලා නෙමෙයි මම කියන්නෙ. පටක රෝපනය මගින් පැළ ගොඩක් හදලා ඒ ගහ නැවත ව්‍යාප්ත කරගන්න පුළුවන්. පාර හදන්නත් පුළුවන්. ආකල්ප තමයි ගැටළුව.

    ReplyDelete
    Replies
    1. //ඒත් ලෙඩාගෙ ළමයින්ට තමුන්ගෙ තාත්තට මිළක් නියම කරලා ලාබ අලාබ බැලන්ස් කරලා ඔන්නොහේ මැරෙන්ඩ අරිමු ජීවත් කරවන එක පාඩුයි කියන්ඩ පුළුවන්ද?//

      ගණන් හද හදා කළේ නැතුවට හැමෝම අවිඥානිකව ඔය වැඩේ කරනවා. ඔබේ පියා හෝ පියාගේ පියා අවුරුදු අනූවක්‌ වයසයි. කිසියම් රෝගයකින් ඔහු මාස තුනකින් මැරෙන්න නියමිතයි. එහෙත්, විශාල වියදමක් දැරුවොත් ඔබට ඔහුව තවත් මාසයක් ජීවත්ව තියා ගන්න පුළුවන්. ඔහුව ඒ මාසය ජීවත්ව තියා ගැනීම සඳහා ඔබට ඔබ අවුරුදු ගණනක් රස්සාව කරලා හදාගත් ගේ සහ ඉඩම වගේම මෝටර් රථයත් විකුණන්න වෙනවා. රස්සාවෙනුත් අස් වෙන්න වෙනවා. තියෙන රස්සාවෙන් අස් වුනොත් නැවත රස්සාවකට යන එක සෑහෙන්න අමාරු බවත් පේනවා. ඔබේ ශරීර අවයවයක් (වකුගඩුවක් කියමු) පියා වෙනුවෙන් පරිත්‍යාග කරන්නත් වෙනවා. ඔය ඔක්කොම කිරීමෙන් පසුව පියාව තවත් මාසයක් ජීවත්ව තියා ගන්න පුළුවන්. ඊට පස්සේ කොහොමටත් මැරෙනවා. දැන් ඔබ ලාබ අලාබ බැලන්ස් නොකර ඔය ටික ඔක්කොම කරනවද?

      Delete
    2. //ඒත් ගහකට වටිනාකමක් දෙන්ඩ පුළුවං මිනිස්සු වගේම ගහකොළට පණ වගේ ආදරය කරන මිනිස්සුත් ඉන්නවා.//

      මේ ගහ බේරාගැනීම සඳහා තවම කවුරුත් ගිණි තියාගෙන මැරුණේ නැතත් එහෙම මිනිස්සු කලාතුරකින් ඉන්න පුළුවන්. එහෙම මිනිහෙකුගේ පණටත් නිශ්චිත වටිනාකමක් තියෙනවා. පණ වුනත් අසීමිත ලෙස වටින්නේ නැහැ. තමන්ගේ පණ වුනත් ඒ තරම් වටිනා සේ නොසලකා කටයුතු කරන කෙනෙක් ගහකට පණ වගේ ආදරය කළත් ගහට ලැබෙන්නේ සීමිත වටිනාකමක් පමණයි.

      Delete
  9. වල් අලි ප්‍රශ්නෙට ගැලපෙන මොකක් හරි උත්තරයක් ඔබ තුමා ළඟ තියනව ද ?

    ReplyDelete
    Replies
    1. වල් අලි ප්‍රශ්නයට, ලංකාවේ පාරිසරික ප්‍රශ්න බොහොමයකට වගේම ලංකාවේ තවත් ප්‍රශ්න ගණනාවකටම දිගුකාලීන විසඳුම ලංකාවේ ඉඩම් වෙළඳපොළ දියුණුවීමට තිබෙන බාධාවන් ඉවත් කිරීම. ලංකාවට කෙටි කාලයක් තුළ වේගවත් ආර්ථික වර්ධනයක් අත් කර ගැනීම සඳහා පහසුවෙන් කළ හැකි තනි දෙයක් තිබෙනවානම් එයත් ලංකාවේ ඉඩම් වෙළඳපොළ දියුණුවීමට තිබෙන බාධාවන් ඉවත් කිරීම. (එයට සමාන්තරව මූල්‍ය වෙළඳපොළද දියුණු වී රටේ පහළ ස්ථර වල සිටින අයටද මූල්‍ය ප්‍රවේශය සඳහා අවස්ථාද වැඩි විය යුතුයි. පහළ ස්ථර වල අය වෙනුවෙන් පොදු අරමුදල් යොදවා මානව ප්‍රාග්ධනය සම්පාදනය කරන නමුත් ඒ විදිහට භෞතික ප්‍රාග්ධනය සම්පාදනය නොකිරීම නිසා ලංකාවේ ඇති වී තිබෙන විකෘතිය නිවැරදි විය යුතුයි) එවිට පරිසරය රකිනවාට වඩා ජීවත් වීමේ අරගලය ලොකුයි කියා හිතන මිනිස්සු පරිසරය එක්ක හැප්පි හැප්පී කාලය නාස්ති කරන්නේ නැතුව ඔවුන්ට සාපේක්ෂව ප්‍රශ්න අඩු පැත්තකට සංක්‍රමණය වෙයි. පරිසරය එක්ක ජීවත් වෙන්න කැමති මිනිස්සු ඒ පැති වලට එයි. රටක් විදිහට ලංකාව දැන් තිබෙන තැනින් ඉදිරියට යන්නනම් ලංකාවේ මිනිස්සු ගම්වැසියෝ ලෙස (අකුරැස්සේ පුරවැසියෝ හෝ පිළිමතලාවේ පුරවැසියෝ ලෙස) නොසිතා රටවැසියෝ ලෙස (ලංකාවේ පුරවැසියෝ ලෙස) හිතන්න පුරුදු විය යුතුයි. මම කිසිසේත්ම පරිසරය හෝ පරිසර ප්‍රශ්න අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, "පරිසරය පණටත් වඩා වටිනවා" වගේ සුන්දර කතා වලින් පරිසරය රැකෙන්නේ නැහැ. ඕනෑම විසඳුමක් තිරසාර වෙන්නේ ඒ සඳහා යන වියදම ලැබෙන ප්‍රතිලාභ වලට වඩා අඩුනම් පමණයි.

      මිනිස්සු පරිසරය විනාශ කරන්නේ ඇයි? පිළිතුර සරලයි. පරිසරය විනාශ කරන මිනිහෙකුට බොහෝ විට එසේ කිරීමෙන් සිදු වන හානියට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා. මිනිහෙක් පරිසරය විනාශ කරන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? එක මිනිහෙක් පරිසරය විනාශ කරන එකෙන් තවත් මිනිසෙකුට හෝ මිනිස්සුන්ට පාඩුවක් වෙනවානම් එය ප්‍රශ්නයක්. පරිසරය විනාශ කර වාසියක් ගන්න පුද්ගලයා අනෙක් අයගේ හානි පූරණය කළ යුතුයි. අනෙක් පැත්තෙන් මෙය විග්‍රහ කළොත් තමන්ට අනවශ්‍ය වුවත් පරිසරය ආරක්ෂා කරන්න සිදු වීම නිසා පාඩු විඳින කෙනෙකුට පරිසරය අගය කරන අය එම පාඩුව ගෙවිය යුතුයි. එහෙම නැතුව ඒ අයට පරිසරය ආරක්ෂා කරන්න බල කරන එක සාධාරණ නැහැ. වල් අලි ප්‍රශ්නය වගේ එකකට ආවොත් ඔය ප්‍රශ්නයට මුහුණ දෙන පුද්ගලයෙක්ට බොහෝ විට අලි මරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත්, අලින්ගෙන් තමන්ගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගන්න ඕනෑ. ඒ සඳහා අලි මරන්න සිදු වෙන්න පුළුවන්. නැත්නම් ගම රට දාලා වෙන පැත්තකට යන්න ඕනෑ. මේ මිනිස්සුන්ට ශුද්ධ වශයෙන් ගත්තහම අලි ඉන්න එක අවාසියක්. අලි ඉන්න එකේ යම් වටිනාකමක් තිබුණත් හානි වඩා වැඩියි.

      කොළඹ හෝ අලි නැති පැත්තක ඉන්න පරිසරවේදියෙකුට දඹුල්ලේ අලි ඉන්න එකේ වාසියක් මිසක් අවාසියක් නැහැ. වාසිය මුදල් වාසියක් වුනත් නැතත් ඒ වාසියට නිශ්චිත මුදල් වටිනාකමක් තිබෙනවා. අසීමිත නැහැ. තිරසාර ලෙස අලි ප්‍රශ්නය විසඳෙන්නනම් දඹුල්ලේ අලි ඉන්න එකෙන් සතුටු වන කොළඹ හෝ ගම්පහ ඉන්න මිනිස්සු තමන් එසේ සතුටු වීම වෙනුවෙන් දඹුල්ලේ ගොවීන්ට "සතුටු බද්දක්" ගෙවිය යුතුයි. එවිට ඒ ගොවීන්ට එක්කෝ ඒ සල්ලි වලින් තමන්ගේ පාඩු පියවාගන්න පුළුවන්. නැත්නම් ආර්ථික ලාභ අඩු වෙනත් පැත්තකට සංක්‍රමණය වෙන්න පුළුවන්. පරිසරය ආරක්ෂා කිරීමේ වියදමක් තිබෙනවා. ඒ මිල ගෙවිය යුත්තේ පරිසරය ආරක්ෂා වීම නිසා කවර හෝ වාසියක් ලබන හෝ අඩු වශයෙන් එයින් සතුටු වන අයයි. තමන් මෙන්ම වෙනත් අයත් පරිසරය රැක ගැනීම වෙනුවෙන් කැප විය යුතුයි කියා කාටවත් කියන්න බැහැ. එසේ කළ යුත්තේ ඇයි කියා අනෙක් අයව දැනුවත් කළ හැකියි. නමුත් අවසන් තීරණය පුද්ගලික තීරණයක්. ලංකාවේ තිබෙන මොකක් හෝ එකක් ලෝක උරුමයක්නම් එයින් අදහස් වෙන්නේ එයින් ලංකාවෙන් පිට ඉන්න අයත් කිසියම් වාසියක් ලබන හෝ සතුටු වන බවයි. එය එසේනම් ඒ අයත් එහි පිරිවැයෙන් කොටසක් දැරිය යුතුයි. සරලවම කියනවානම් පරිසරය රැකීම වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් එහි මිල ගෙවන්නටද සූදානම් විය යුතුයි. නොමිලේ කිසිවක් ලබා ගන්න බැහැ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...