වෙබ් ලිපිනය:

Friday, November 27, 2020

අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවරද?


මොකක් හරි ලොකු අකරතැබ්බයකින් යාන්තමින් බේරුනාම අපි කියනවා අනූ නවයෙන් බේරුනා කියලා. මේ කාලය අපි කවුරුත් අනූ නවයෙන් බේරී ජීවත් වන කාලයක්. ඒ වෙනුවෙන් ඇල් වතුරත් නිවලා බොන කාලයක්. වසංගතය ඉවර වුන දවසක ඒ ගැන සමාලෝචනයක යෙදෙන්න තරම් වාසනාවක් තිබුණොත් ඒ වන තුරු ජීවත්ව සිටින අපට මේ විදිහට අනූ නවයෙන් බේරුණු යුගය ගැන ගොඩක් දේවල් කතා කරන්න ඉතිරි වෙයි.

රටක් විදිහට ගත්තොත් ලංකාව සෑහෙන කාලයක් කෝවිඩ්-19 වසංගතයෙන් අනූ නවයෙන් බේරී හිටියා. නමුත්, දැන්නම් ඒ කාලය ඉවරයි වගේ.

මේ වෙද්දී ලංකාවෙන් හඳුනා ගැනුණු කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 22,501ක් දක්වා ඉහළ ගිහින්. ආසාදිතයින් ප්‍රමාණය අනුව කාලයක් තිස්සේම ලංකාව හිටියේ ලෝකයේ රටවල් අතරින් 99 වන තැන හෝ පහළින්. ඊයේ වෙද්දී ලංකාව 99 පහු කරලා 98 වන තැනට ඇවිත්.

ලංකාව කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වුනු ඊයේ දිනයේම කෝවිඩ්-19 මරණ ප්‍රමාණයත් 99 මට්ටමේ සිට 107 දක්වා ඉහළ ගිහින්. ඒ අනුව, මරණ ගණන අනුව බැලුවත් අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවර වෙලා.

ඒ විතරක් නෙමෙයි. ජනගහණයේ අනුපාතයක් ලෙස මෙතෙක් ලංකාවේ කෝවිඩ්-19 රෝගීන් හමු වී තිබුණේ ලක්ෂයකට 99 කට වඩා අඩු ප්‍රමාණයක්. මේ වෙද්දී ඒ ගණනත් ජනගහණය ලක්ෂයකට 105 දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ලංකාවේ දාහකින් එකකට වඩා මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් වෙලා. 

ඇමරිකාව එක්ක බැලුවහමනම් මේ එකක්වත් ලොකු දේවල් නෙමෙයි. ඇමරිකානු ජනගහණයෙන් 4%ක් මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන අවසන්.

කෝවිඩ් වසංගතය හා අදාළව ලංකාව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වෙද්දී ලංකාවට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ දිගුකාලීන ණය අවදානම් ශ්‍රේණිය CCC මට්ටම දක්වා පහත දමලා. කෙටිකාලීන ණය අවදානමද C මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

දෙමසකට පෙර මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය B2 මට්ටමේ සිට Caa1 මට්ටම දක්වා පහත හෙළුවා. මේ අනුව, ෆිච් ආයතනය විසින් කර තිබෙන්නේ ලංකාව සම්බන්ධ මූඩීස් ආයතනයේ දැක්ම තහවුරු කිරීමක්. 

ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන අතරින් මේ වන තුරුත් ලංකාවේ ණය අවදානම B කාණ්ඩයේ (B-) ඇති සේ සලකන්නේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය පමණයි. එයද තව කොපමණ කාලයක් නොවෙනස්ව තිබේදැයි සැක සහිතයි.


7 comments:

  1. ඉකොනෝ...
    මම ඔයාගෙ අදහස්වලට එකඟයි.
    ලංකාවෙ කොරෝනා 2 රැල්ල මේ තරමට ව්‍යාප්ත වෙන්න හේතුව මහජනතාවගේ නොමනා හැසිරීම කියලයි මට හිතෙන්නෙ.
    ලංකාවේ ණය අවදානම පහත වැටීම හොඳයි කියලයි මට හිතෙන්නෙ. එහ්ව්ම උණාම අනෙක් රටවල් ලංකාවට ණය දෙන්නෙ නෑ නේද. එතකොට ලංකාවෙ මිනිස්සු ණයට අරන් කන්න නැති උනාම පුලුවන් විදියකට මොනවහරි නිෂ්පාදනය කරල ආදායමක් හොයාගන්න උත්සාහ කරයි. ඒකෙන් රටේ ආර්ථිකේට පොඩි තල්ලුවක් ලැබේවි. ණය නිගෙන ඉන්න තරමට රටේ අනාගතය හොඳ වේවි.

    ReplyDelete
  2. ඉකොනො ඔය ණය ශ්‍රේණිගත කිරීම කෙරෙන්නේ පවතින ප්‍රසිද්ධ මූලාශ්‍ර මතද නැත්නම් පුරෝකථනයන් මතද? පුරෝකථනයන් මතනම් වැරදි පුරෝකථනයක පාඩුවට එරෙහිව යමක් කල හැකිද? උදාහරණයක් විදිහට ණය ශ්‍රේණිය පහල යන හිංදා අපිට වැඩි පොලියක් ගෙවන්ඩ වීම වගේ පාඩු පියවගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. 1. ඔය දෙකම මත හා බොහෝ විට තවත් දේ මත. ඕනෑම පුරෝකථනයක් කරන්න වෙන්නේ මොනවා හෝ දත්ත ප්‍රයෝජනයට අරගෙන. පුරෝකථනයක් කරන කෙනෙක් ප්‍රයෝජනවත් දත්ත කිසිවක් බැහැර කරන්නේ නැහැ. ඒ නිසා, ප්‍රසිද්ධ මූලාශ්‍ර වල තිබෙන දත්ත අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයට ගන්නවා කියා කියන්න පුළුවන්. ඊට අමතරව ප්‍රසිද්ධ කර නැති දත්ත ලබා ගත හැකි අවස්ථා වල එම දත්තත් යොදා නොගන්න හේතුවක් නැහැ. තවත් දේ කියන එකෙන් අදහස් කළේ එසේ පෞද්ගලික මට්ටමෙන් ලබා ගන්නා දත්ත.

      2. පුරෝකථනයන් කියා කියන්නේ හරියටම වෙන දේවල් නෙමෙයි. වෙන්න ඉඩ තිබෙන දේවල්. පුරෝකථන කරන කෙනෙක්ගේ පුරෝකථන දිගටම වරදිනවානම් එම පුරෝකථන පිළි නොගෙන ඉන්න පුළුවන්.

      3. වැඩි පොලියක් ගෙවන්ඩ වීම කියන එක සාපේක්ෂ ප්‍රකාශයක්. ණය ගැනීමේදී ගෙවන්න වෙන පොලී අනුපාතිකය තීරණය වන්නේ (වෙනත් දේවල් වලට අමතරව) ණය දෙන පුද්ගලයාට තිබෙන අවදානම මත. ලොකු පාඩුවක් විය හැක්කේත්, ඒ නිසාම ලොකු අවදානමක් ගත යුත්තේත් ණය දෙන පුද්ගලයා විසිනුයි. අවදානම වැඩි වන තරමට ණය දෙන්නෙකු වඩා වැඩි පොලී අනුපාතයක් අපේක්ෂා කිරීම ඉතා සාමාන්‍ය දෙයක්. ණය ගන්නා පුද්ගලයාට එවැනි අවදානමක් නැහැ. පොලී අනුපාතිකය වැඩියිනම් කරන්න තියෙන්නේ ණය නොගෙන සිටීමයි. ණය ගැනීමේ අරමුණ එම ණය ආයෝජනය කිරීමෙන් ලබාගත් ණය හා පොලී ගෙවීම් ඉක්මවන ලාබයක් ලැබීමයි. එවැනි ලාබයක් ලැබිය හැකිනම් පොලී අනුපාතිකය කොපමණද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. එවැනි ලාබයක් ලැබිය නොහැකිනම් ආයෝජනය අත හැර දැමිය යුතුයි. එසේ කරන්නේනම් ණය ගන්නා පාර්ශ්වයට පාඩුවක් හෝ අවදානමක් නැහැ.

      Delete
    2. ණය ශ්‍රේණිගත කරන සමාගමක් ඉහළ ශ්‍රේණියක් ලබා දීමෙන් කියන්නේ ණය ආපසු නොලැබීමේ අවදානම අඩු බවයි. එවිට ණය දෙන්නන් සාපේක්ෂව අඩු පොලියකට ණය දෙන්න මැලි වෙන්නේ නැහැ. එසේ අඩු පොලියකට ණය දීමෙන් පසු ණය ආපසු නොලැබී ගියොත් පාඩුව සිදු වන්නේ ණය දුන් අයටයි. ණය ශ්‍රේණිගත කරන සමාගම් පොත් විචාරකයින් සමඟ සංසන්දනය කළ හැකියි. විචාරකයෙක් පොතක් හොඳයි කියා නිර්දේශ කළ විට පාඨකයින් එම පොත මිල දී ගෙන කියවන්න පෙළඹෙනවා. නමුත්, ඇතැම් විට පොත හොඳ එකක් නොවෙන්න පුළුවන්. මෙහිදී වැදගත් වෙන්නේ විචාරකයා පොත විවේචනය කළේ කවර සාධක මතද කියන එක නෙමෙයි. අදාළ විවේචනය සමඟ පාඨකයාට එකඟ විය හැකිද කියන එකයි.

      විචාරකයෙකු විසින් නිර්දේශ කරන පොත් එතරම් හොඳ නැති බව පාඨකයෙකුට දිගින් දිගටම පෙනෙනවානම් ඒ පාඨකයා විසින් කරන්නේ එම විචාරකයාව නොසලකා හැරීමයි. ඒ අනුව, විචාරකයින් සේ නමක් හදා ගන්නේ බොහෝ දෙනෙකුට එකඟ විය හැකි විචාර කරන කෙනෙක්. විචාර කරන ක්‍රමවේදය වැදගත් නැහැ. ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන කියන්නේ කාලයක් තිස්සේ එවැනි නමක් හදාගත් ආයතන. ඔවුන්ට ඒ නම රැක ගැනීම වැදගත්. ඔවුන්ගේ පුරෝකථන වැරදුනොත් පාඩුව ඔවුන්ටමයි.

      මේ ප්‍රධාන සමාගම් තුන විසින් කියන දේ බොහෝ ණය දෙන්නන් (ආයෝජකයින්) විසින් පිළිගන්නවා. එම සමාගම් තුනට ඇමරිකාව ඇතුළේ 87%ක පමණ වෙළඳපොළ හවුලක් (market share) තිබෙනවා. S&P 33.2%, මූඩිස් 32.4% හා ෆිච් 21.3% ලෙස. යුරෝපයේ 93%ක පමණ වෙළඳපොළ හවුලක් තිබෙනවා. S&P 46.3%, මූඩිස් 32.0% හා ෆිච් 15.1% ලෙස. ඒ අනුව, මේ සමාගම් වලින් නිර්දේශ නොකරන ණය සුරැකුම්පත් වෙනුවෙන් ඇමරිකාව හෝ යුරෝපය තුලින් ණය දෙන්නන් හොයා ගන්න අමාරුයි. ඒ නිසා, ණය ගන්න අවශ්‍ය අය මේ සමාගම් වලට මුදල් ගෙවලා තමන් සම්බන්ධව "විචාරයක්" කර ගන්නවා. මේක සමාන කරන්න පුළුවන් පොතක් පළ කරන ලේඛකයෙක් රට පිළිගත් ග්‍රන්ථ විචාරකයෙකුට මුදල් ගෙවලා විචාරයක් කර ගැනීමට. නමුත්, සල්ලි ගෙවුවා කියලා හොඳ විචාරයක් ලැබෙන බවට සහතිකයක් නැහැ. විචාරකයාට ඉල්ලුමක් තිබෙන්නේම විචාරකයාගේ විචාර පාඨකයින් පිළිගන්න නිසා. ලේඛකයෝ සල්ලි ගෙවලා විචාර ලියා ගන්න එන්නේ ඒ පිළිගැනීම නිසා. සල්ලි වලට විචාර ලියන්න ගියොත් ඒ පිළිගැනීම නැති වෙනවා. ඊට පස්සේ කවුරුවත් නැවත විචාර ලියා ගන්න එන්නේ නැහැ.

      තවත් උදාහරණයක් කිවුවොත්, අපි විභාගයක් ලියන්න විභාග ගාස්තුවක් ගෙවනවා. නමුත්, සල්ලි ගෙවලත් ලැබෙන්නේ නරක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. දැන් ඔය අධ්‍යාපනය විකුණනවා කිවුවට පෞද්ගලික සරසවියකට ගියත් මහන්සි වෙලා ඉගෙන නොගත්තොත් සල්ලි ගෙවුවා කියලා උපාධිය ලැබෙන්නේ නැහැනේ.

      ලංකාව මුලින්ම මේ ණය ශ්‍රේණිගත කිරීමේ සමාගම් වෙත ගිහින් ශ්‍රේණිගත කිරීමක් ලබා ගත්තේ 2006දී මුලින්ම ස්වෛරීත්ව බැඳුම්කරයක් වෙළඳපොළට දමන්න පෙරයි. ඒ වෙනුවෙන් ලංකාව විසින් අදාළ සමාගම් වලට ගාස්තුවක් ගෙවුවා කියා මම හිතනවා. බොහෝ විට දිගින් දිගටම යම් ගාස්තුවක් ගෙවනවා ඇති. කවුරු වුනත් මුදල් ගෙවා ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්නේ හොඳ ශ්‍රේණිගත කිරීමක් ලැබෙනු ඇතැයි කිසියම් විශ්වාසයක් ඇත්නම් පමණයි. අනිවාර්යයෙන්ම අසමත් වෙන බව දන්නා විභාගයකට පෙනී ඉන්න කවුරුවත් විශාල විභාග ගාස්තුවක් ගෙවන්නේ නැහැනේ.

      ඇමරිකාවේ හෝ යුරෝපයේ බැඳුම්කර වෙළඳපොළෙන් ණය ගන්නා කෙනෙක් අනිවාර්යයෙන්ම වගේ මුදල් ගෙවා මෙවැනි ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්නවා. එසේ ලබා නොගන්නවානම් එයින් හැඟවෙන්නේ පහළම මට්ටමේ ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්න තරම්වත් යෝග්‍ය නැති තරමේ විශාල අවදානමක් තිබෙන බවයි. මුදල් ගෙවා ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමේදී පොදු මූලාශ්‍ර වල නැති තමන්ගේ "හොඳ දේවල්" ඇත්නම් ඒ දේවල් අදාළ ශ්‍රේණිගත කිරීම කරන සමාගමට ලබා දිය යුතුයි. ඕනෑම කෙනෙක් එය කරනවා. නමුත්, එසේ අමතර දේවල් ලබා දුන් පමණින් ශ්‍රේණිගත කිරීම කරන සමාගම එම කරුණු පිළිගනු ඇතැයි අපේක්ෂා කරන්න බැහැ. ඔවුන් ඒවා විශ්ලේෂණය කරන්නේ හොඳින් කිරා මැනීමෙන් පසුවයි.

      Delete
  3. //කෝවිඩ් වසංගතය හා අදාළව ලංකාව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වෙද්දී ලංකාවට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ දිගුකාලීන ණය අවදානම් ශ්‍රේණිය CCC මට්ටම දක්වා පහත දමලා// මම දැක්ක ආණ්ඩුවේ කට්ටියක් කියල තියනව . ඕකා තනි බොරුවක් වගේ කතාවක්. හැබැයි ඒ යම ගිය ආණ්ඩුව පහල දැම්මහම ඒක පිලි ගත්ත

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ කට්ටියක් නෙමෙයි මුදල් අමාත්‍යාංශය විසින් නිල වශයෙන්ම මෙය වැරදියි, පිළිගන්න බැහැ කියල තියෙනවා. නමුත්, මුදල් අමාත්‍යාංශය හෝ ආණ්ඩුවේ වෙනත් කවුරු හරි මෙය පිළිගන්නවද කියන එකේ කිසිම වැදගත්කමක් නැහැ. හරි වුනත්, වැරදි වුනත් ඔය ශ්‍රේණිගත කිරීම් දිහා බලල තමයි බැඳුම්කර වල මුදල් ආයෝජනය කරන අය තීරණ ගන්නේ. ශ්‍රේණිගත කිරීමේ ආයතන මොනවා කිවුවත්, ආණ්ඩුව කියන දේ විශ්වාස කරලා ආයෝජකයෝ බය නැතුව ලංකාව නිකුත් කරන බැඳුම්කර මිල දී ගන්නවානම් ඔය වගේ විවේචන වල තේරුමක් තියෙනවා. නමුත්, එහෙම ආයෝජකයෝ නැහැ. ඒ නිසා, ඔය කතා වල කිසිම තේරුමක් නැහැ.

      Delete
  4. කන්න හිතුණ වෙලාවේදී කබරගොයා
    හිතා ගනිති ඌ 'ඉගුවානාය' කියා
    අපෙ මහයෝ ලජ්ජා නැති කතා කියා
    බොරුවෙන් රට කරති - රවටා පුරවැසියා!

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...