වෙබ් ලිපිනය:

Friday, November 13, 2020

ඇමරිකාවේ සමාජවාදය


ඇමරිකානු ජනාධිපතිවරණ දිනයට පෙර සිදු වුනු මැතිවරණ ප්‍රචාරණයේදී "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන ඇහුණා. ගොඩක් වෙලාවට පෙනෙන්න තිබුණේ ට්‍රම්ප් කඳවුර විසින් බයිඩන් කඳවුරට මේ වගේ වචන වලින් දමා ගසන ආකාරයක්. මේවා දැකපු ලංකාවේ සමහර අය ජෝ බයිඩන් සමාජවාදියෙක් ලෙසත්, ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදී පක්ෂයක් ලෙසත් දකින තැන දක්වාම තල්ලු වෙලා තියෙනවා. කවුරු හරි එහෙම හිතනවානම් ඊට වඩා මුලාවක් තවත් නැහැ.

ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂයට සාපේක්ෂව ලිබරල්වාදී, ජාත්‍යන්තරවාදී, සුබසාධනවාදී හා සම්ප්‍රදාය විරෝධී පක්ෂයක්. නමුත්, ඩිමොක්‍රටික් පක්ෂය කියන්නේත් රිපබ්ලිකන් පක්ෂය වගේම ධනවාදය පිළිගත්, ධනවාදය වෙනුවෙන් කැප වුනු, ධනවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පක්ෂයක්. ඩිමොක්‍රටික් පක්ෂයට සාපේක්ෂව එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමාජවාදී පක්ෂයක් කියා හඳුන්වන්න පුළුවන්.

ඩිමොක්‍රටික් පක්ෂය හෝ පාක්ෂිකයන් විසින් තමන් සමාජවාදීන් සේ හඳුන්වා ගන්නේ නැහැ. ඔවුන්ට  "සමාජවාදය" "රැඩිකල් වාමාංශය" වගේ වචන වලින් දමා ගසන්නේම අපහාසාත්මක අර්ථයකින්. එහෙමත් නැත්නම් දේශපාලන හානියක් කිරීමේ අරමුණින්. මොකද ඇමරිකාව ඇතුළේ සමාජවාදී ලේබලය ගැසීම නිශේධනාත්මක දෙයක්. තනිකරම ලංකාවේ අනික් පැත්ත.

එජාප, පොදුජන පෙරමුණ ඇතුළු ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් තමන්ව ධනවාදී පක්ෂ සේ හඳුන්වා ගන්නේ නැහැ. එම පක්ෂ, ධනවාදී පක්ෂ සේ කෙසේ වුවත්, ධනපති පක්ෂ සේ හැඳින්වීම මුලින් ලසසප, කොප වැනි පැරණි වාමාංශික පක්ෂ විසින් පටන් අරගෙන පසුව ජවිපෙ වැනි පක්ෂ විසින් ඉදිරියට අරගෙන ගිය භාවිතාවක්. එම පක්ෂ ධනපති පක්ෂ සේ හඳුන්වන්නේ අපහාසාත්මක අර්ථයෙන්. මේ ආකාරයෙන්ම ලංකාවේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ එවැනි අනෙක් පක්ෂ සුළු ධනේශ්වර පක්ෂ සේ හඳුන්වනවා. ඇත්ත වුනත්, බොරු වුනත් මේ ලේබලය ගහන්නේ අපහාසාත්මක අර්ථයකින්. ට්‍රම්ප්වාදීන් ඩිමොක්‍රටික් පක්ෂය ගැන කතා කරද්දී "රැඩිකල් වාමාංශය" වගේ යෙදුම් යොදන්නෙත් මෙවැනිම අර්ථයකින්.

ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් ඇමරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති අතර මහා ලොකු වෙනසක් නැහැ. පොදුවේ ඇමරිකාවේ ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණිකයින්ගේ, විශේෂයෙන්ම දියුණු වන රටක සිට සංක්‍රමණය වූ අයෙකුගේ, දෘෂ්ඨි කෝණයෙන් බැලුවත් තත්ත්වය එසේමයි. මේ පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති අතර වෙනස පැහැදිලිව පෙනෙන්නේ ඇමරිකානු සන්දර්භය ඇතුළේ පමණයි. පක්ෂ දෙකම මූලික වශයෙන් නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය පිළිගන්නවා. 

ඇමරිකාවේ ඡන්දය දමන්න අවස්ථාව ලැබෙන්නේ වයස 18 සම්පූර්ණ වූ අයෙකුටයි. එසේ සම්පූර්ණ වූ අයගෙන් ඇතැම් අයට විවිධ හේතු මත මෙම අයිතිය අහිමි වෙන්න පුළුවන්. අපරාධ වරදක් කිරීම වගේ. එය තීරණය වන්නේ ප්‍රාන්ත නීතිය අනුවයි. ඡන්දය දැමීමේ අයිතිවාසිකම තිබෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය යුතුයි. එසේ නැත්නම් ඡන්ද ලැයිස්තුව අරගෙන ග්‍රාමසේවක ගෙදරට එන්නේ නැහැ.

පුද්ගලයෙකුට ඡන්දය සඳහා ලියාපදිංචි වෙනවා වගේම කවර හෝ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් ලෙසත් ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙත් මේ ආකාරයට ඡන්දය දමන්න සුදුසුකම් ලබන ඇමරිකානුවන්ගෙන් 30%ක් පමණ අඩු වශයෙන් ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වෙන්නේවත් නැහැ. ලංකාවේ බාසාවෙන් කිවුවත් ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්නවත් උනන්දු වෙන්නේ නැහැ. ඡන්ද ලැයිස්තුවට නම දමා ගන්න අයගෙනුත් 10-15% අතර ප්‍රමාණයක් ප්‍රධාන මැතිවරණයකදී පවා ඡන්දය දමන්නේ නැහැ. වැදගත්කමින් අඩු මැතිවරණයකදීනම් ඡන්ද භාවිතාව හොඳටම අඩුයි.

ඇමරිකානුවන් සාමාන්‍යයෙන් ඡන්දය දමන්න එතරම් උනන්දුවක් නොදක්වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කොයි එක දිනුවත් ඔවුන්ගේ ජීවිත වලට ලොකු බලපෑමක් නැති නිසයි. අර කියන්නේ අපි හම්බ කළොත් අපි කනවා කියලා. ඇමරිකාවේ ක්‍රමය තුළ රටේ මිනිස්සුන්ට හම්බ කරගෙන කන්න අවශ්‍ය වාතාවරණය හදනවා මිසක් එතැනින් එහාට මිනිස්සුන්ගේ ජීවිත වලට ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඉතා අඩුවෙන්.

සාමාන්‍ය තත්ත්වය එසේ වුවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර තිබෙන වෙනස්කම් ඇඟට දැනෙන තරමට වෙනස් වෙද්දී මැතිවරණ සඳහා තිබෙන උනන්දුවත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තය ගත්තොත්, මෙවර ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ පිරිස 25,060,169ක්. එයින් ඡන්දය සඳහා ලියාපදිංචි වූ ප්‍රමාණය 20,921,513 හෙවත් 83.5%ක්. එහෙත්, 2016දී ලියාපදිංචි වී තිබුණේ සුදුසුකම් ලැබූවන්ගෙන් 72.9%ක් පමණයි. (මෙවර ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලියාපදිංචි වූ ඡන්දායකයින් ප්‍රමාණය වුවත් ලංකාවේ ජනගහණයට ආසන්නව සමානයි.)

මේ අවුරුද්දේ ඡන්දය දැමීම සඳහා ලියාපදිංචි වූ කැලිෆෝර්නියානුවන්ගේ පාක්ෂිකත්වය මෙහෙමයි.

ඩිමොක්‍රටික් - 9,691,855 (46.3%)

රිපබ්ලිකන් - 5,018,332 (24.0%)

වෙනත් පක්ෂ - 1,182,416 (5.7%)

පක්ෂයකට බැඳීමක් නැති - 5,028,910 (24.0%)

මෙයින් පෙනෙන පරිදි බොහෝ ඇමරිකානුවන් සෘජුවම කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා. 

ජනාධිපතිවරණයට තරඟ කරන හැම අපේක්ෂකයෙකුගේම නම ඡන්ද පත්‍රිකාවට නොයන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යන නොයන එක බොහෝ විට තීරණය වන්නේ අදාළ පක්ෂයේ සාමාජික සංඛ්‍යාව අනුවයි. කැලිෆෝර්නියා ප්‍රාන්තයේනම් අවසන් වලට පැවැත්වුණු ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.33%කට නොඅඩු සාමාජික පිරිසක් සිටින දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ නම ඡන්ද පත්‍රිකාවට යනවා. එපමණ සාමාජිකයින් නැති පක්ෂයක සාමාජිකයෙකුට ඡන්දය දිය හැක්කේ නම ලිවීමෙන් පමණයි. මේ අවම කොන්දේසි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.

මේ මැතිවරණයේදී ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම ඡන්ද පත්‍රිකා වලට නම දමා ගන්න පුළුවන් වුනේ අපේක්ෂකයින් තිදෙනෙකුට පමණයි. ඒ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල අපේක්ෂකයින් තිදෙනාට. එහෙත්, තවත් පක්ෂ ගණනාවක අපේක්ෂයින්ගේ නම් කවර හෝ ප්‍රාන්තයක ඡන්ද පත්‍රිකාවේ තිබුණා. 

ඩිමොක්‍රටික් පක්ෂයට සමාජවාදී ලේබලය අලවන්නේ අපහාසාත්මකව වුවත්, ලංකාවේ වගේම සෘජුවම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂත් ඇමරිකාවේ තිබෙනවා. ජන පදනම අනුව මේ පක්ෂ අතරින් ඉදිරියෙන්ම ඉන්න බව කිව හැක්කේ සමාජවාදී විමුක්ති පක්ෂයයි. මේ පක්ෂය 2004 වසරේදී ලෝක කම්කරු පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් විසින් හදපු පක්ෂයක්. සමාජවාදී පක්ෂයක අඩු වශයෙන් සාමාජිකයින් දෙන්නෙක් හෝ ඉන්නවානම් ඒ දෙන්නා මතවාදී ගැටුමක් හදාගෙන පක්ෂ දෙකක් හදා ගන්නවා කියල කියනවනේ!

සමාජවාදී විමුක්ති පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂිකාව වූ ග්ලෝරියා ලා රිවාට මෙවර ඇමරිකාවේ ප්‍රාන්ත 15ක ඡන්ද පත්‍රිකා වලට නම දමා ගත හැකි වුනා. මේ ප්‍රාන්ත බොහොමයක් ඡන්ද පත්‍රිකාවට නම දමා ගැනීම සඳහා දැඩි කොන්දේසි පනවා නැති ප්‍රාන්තයි. 

කවර හෝ ප්‍රාන්තයකින් ඡන්ද පත්‍රිකාවට නම දමා ගත හැකි වූ අනෙක් සමාජවාදී අපේක්ෂිකාව ඇලිසන් කෙනඩි. ප්‍රාන්ත හයක ඡන්ද පත්‍රිකා වල පෙනී සිටි ඈ නියෝජනය කළේ සමාජවාදී කම්කරු පක්ෂයයි. මේ පක්ෂය සියවසකටත් වඩා කාලයක සිට ඇමරිකාවේ ක්‍රියාත්මක වන සම්ප්‍රදායිකව ට්‍රොට්ස්කිවාදී වූ හා හතරවන ජාත්‍යන්තරයට සම්බන්ධව සිටි පක්ෂයක්. 

ග්ලෝරියා ලා රිවා වගේම ඇලිසන් කෙනඩිත් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වුනු ග්ලෝරියා විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 74,392ක් ලබා ගනිද්දී ඇලිසන් කෙනඩි විසින් මුළු ඇමරිකාවෙන්ම ඡන්ද 12,467ක් ලබා ගත්තා. 2016දී ග්ලෝරියා ලා රිවා විසින් ලබාගත් ඉහත කී ඡන්ද ප්‍රමාණයෙන් 66,101ක්ම ලබා ගත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන්. 

මෙතෙක් ගණන් කර අවසන්ව තිබෙන කැලිෆෝර්නියා ඡන්ද වලින් ග්ලෝරියාට ලැබී තිබෙන්නේ ඡන්ද 45,726ක් පමණයි. ඒ අනුව, ඇමරිකාවේ සමාජවාදීන් ගියවර ගත්ත ඡන්ද ටිකත් මේ පාර නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා, ඇමරිකාවේ ධනවාදය කඩා වැටිලා සමාජවාදය බිහිවන තුරු බලා ඉන්න අයට බයිඩන් සමාජවාදියෙක් කියලා හිතලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.


29 comments:

  1. සමාජවාදෙ කියලා එකක් ලෝකෙ කොහේ හරි දැන් තියනවාද ? ලංකාවෙ ඇති සමාජවාදෙකුත් නෑ ( අපි හම්බකළොත් අපි කනවා) හැබැයි රටේ නමේනම් තියනවා සමාජවාදි ජනරජය කියලා..පිස්සු නේ?

    ReplyDelete
  2. ලෝකයේ ඕනෑම රටක ධනවාදය පවත්වාගෙන යෑමට නම් නියත වශයෙන්ම ධනේශ්වර පක්ෂ දෙකක අවශ්‍යතාව මතු වේ.එසේ නොවුන හොත් බලය වාමාංශික කඳවුරකට කේන්ද්‍රනය වීම නොවැලැක්විය හැකිය. ඇමරිකානු එක්සත් ජනපදය තුලද නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන්නේ ද්වී පක්ෂ ක්‍රමයකි. එය මාරුවෙන් මාරුවට දේශපාලන බලය හොබවයි. එහෙත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂනයන් ධනවාදය තුල පවතින බවට කෙතරම් තර්ක ඉදිරිපත් කලද විසදාලිය නොහැකි ප්‍රශ්න ගනානවකට ධනේශ්වර ආර්ථිකය උරුමකම් කියයි. පෞද්ගලීකරණය, අධිරාජ්‍යවාදය හමුවේ ධනවාදය ක්‍රමයෙන් අර්බුදයට ලක් වේ...

    එහෙත් අධිරාජ්‍යවාදය තුල දියුණු ධනවාදී රටවල් පරිවර්තනය වීමට පෙර සූරාකෑමට ලක් වන රාජ්‍යයන් අර්බුදයට ලක් වන බව පිළිගත් මතයයි.එකී සූරාකෑම් හමුවේ දරිද්‍රතාව විරැකියාව මන්දපෝෂණය ආදී ගැටලු සදහා එකම විසදුම වන්නේ සමාජවාදයම පමණකි.

    එහිදී සමාජ පරිවර්තනයකට අවශ්‍ය විශයමූල තත්වය අර්බුදය විසින්ම නිර්මාණය වන අතර වාමාංශික කඳවුරක මෙහෙයවීම තුල මිනිස්සුන්ගේ මනෝමූලික තත්වය සකස් කල යුතුය...

    එවිට සමාජ පරිවර්තනයකය මඟ විවර වේ... එය ඉහත පරිදි මෙතෙක් සාම්ප්‍රදායික ලෙස ධනේශ්වර පක්ෂ හට බලය ලබා දුන් මිනිස්සුන්ගේ මනෝභාවය මුලුමනින්ම පරිවර්තනයට ලක්වීමකි. ලංකාවේ ද ධනවාදයේ ගැත්තන් වූ ප්‍රධාන පක්ෂ විසින් සිදු කරනු ලබන්නේ බටහිර ලිබරල් ධනවාදයේ වඩාත් ගෝත්‍රික පන්නයේ පාලන තන්ත්‍රයක් නඩත්තු කිරීම පමණි.

    ReplyDelete
    Replies
    1. //වාමාංශික කඳවුරක මෙහෙයවීම තුල මිනිස්සුන්ගේ මනෝමූලික තත්වය සකස් කල යුතුය//

      ඔය වාමාංශික කඳවුරේ ඉන්න මිනිස්සුන්ගේ මනෝමූලික තත්වය විතරක් ඉබේටම සකස් වෙන්නේ ඒ අයව විතරක් මහා බ්‍රහ්මයා විසින් අමුතු විදිහකට මවල තියෙන නිසාද? අනෙක් මිනිස්සු හැමෝම වාමාංශික කඳවුරේ අය විසින් මනෝමූලික තත්වය සකස් කරනකම් කිසි දෙයක් තේරුම් ගන්න බැරි තොත්ත බබ්බු වෙන්නේ ඒ මිනිස්සු උපතින්ම අඩු කුලේක නිසාද?

      Delete
    2. මට මේක කියවපු ගමන් හිනා ගියා. නමුත් මම හිතන්නේ තේරුම තමයි හැම මිනිහෙක්මඅඩුම ගානේ බහුතරය වාමාංශික වෙනකන් (නිර්ධන් පන්ති ආඥා දායකත්වය ජනතාව පිලි ගෙන කැරැල්ල කරන කන් ඒක එන්නේ නැහැ කියන එක. ) හැබැයි ඉතින් ඇයි එහෙනම් එහෙම නොවී කට්ටිය කැරලි ගැහුවේ කියන ප්‍රශ්නේ එනවා. හෙවත් බලෙන් බෙහෙත් දීම

      Delete
  3. ජවිපෙයි පෙසපයි ගාන අරගෙන තියනවා. හේ හේ බයිඩන් සමාජවාදියෙක් කියල කවුද කියන්නේ. මමනම් එහෙම දෙයක් දැක්කේ නැහැ, එකොනොමට්ස් අතින් දාල වගේ. මේ පැත්තේ සමාජවාදී අදහස් ඇත්තෙක් කියල කියන්නේ ප්‍රයිමරි වලින් පැරදුනු බෙර්නි සැන්ඩර්ස් ට. මිනිහ එය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියල කීවත් (ලනක්වේ ජේ ආර් ක්‍රමේට) මට නම් පෙනේනේ සෝෂල් ඩෙමොක්‍රටික් කෙනෙක් වගේ. (ජර්මනියේ වගේ) . ඇමෙරිකාවේ ඒ ගානට ආවත් සමජවදේ ලේබල් එක වදිනවනේ. මම නම් හිතන්නේ ඇමෙරිකාව වගේ රටක කොමියුනිස්ට් වාදය එන්න පුළුවන් කියල. ඒ වගේ දියුණු රටක තමා එන්න ඕනෙත්. (පොතේ හැටියට). හැබැයි ක්‍රමය කඩන් වැටිලා එයිද ස්මූත් ට්‍රාන්සිෂන් එකක් වෙයිද කියන්න බැහැ. දෙවන එකට ඉඩකඩ වැඩියි. ඔය ඉතින් මම හිතන විධිහ

    ReplyDelete
    Replies
    1. https://kolambagamaya.blogspot.com/2014/07/blog-post.html

      Delete
    2. ඔය ලිපියේ තිබෙන්නේ අජිත්ගේ මේ මොහොතේ ස්ථාවරයනම් මට කියන්න තියෙන්නේ ඔය ලිපියේ තිබෙන ගොඩක් කරුණු සමඟ මම එකඟ නැහැ. "ගහ මරා ගන්නේ නැතුව ඕන දේශපාලනයක්" වගේ සමහර දේවල් වලටනම් එකඟයි. හැම දෙයක් ගැනම ලියන්න ගියොත් එය ගොඩක් දිගු ලියමනක් වන නිසා කරුණු කිහිපයක් ගැන පමණක් ලියන්නම්. ලිපියේ සඳහන් බොබ් එක්ක සංවාදයෙන් පැහැදිලි වන පරිදි උග්‍ර දෙවියන් අදහන ක්‍රිස්තියානි ආගමිකයෙක්ට හා මාක්ස්වාදියෙකුට එකඟ විය හැකි බොහෝ තැන් තිබීම ඉතා සාමාන්‍ය දෙයක්. මොකද දෙගොල්ලන්ම සොයා බැලීමක් නොකර තමන්ගේ සාමාන්‍ය බුද්ධිය අදහිල්ලකට යට කර සිටින අය.

      උදාහරණයක් විදිහට "ඇමෙරිකාවේ මිනිස්සු හැමෝම ණය[නය] වෙලා නේද?" කියලා අජිත් අහන කොට කිසිදු හොයා බැලීමක් නොකර බොබ් එකඟ වෙනවා. පළමුව, ණය වීම වැරැද්දක් හෝ අපරාධයක් නෙමෙයි. අවශ්‍ය අවස්ථා වල ණය වුනා කියා මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නැහැ. දෙවනුව, ධනවාදී රටක ඕනෑම කෙනෙක් ප්‍රායෝගිකව ඕනෑම මොහොතක ණය කරුවෙක්. සමාජවාදී රටක වුනත්, ආණ්ඩුවෙන් මිනිස්සුන්ට අවශ්‍ය හැම දෙයක්ම මුදල් නොගෙන නිකම් සපයනවානම් පමණයි මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙන්නේ. එවැනි රටවල් තිබී ඇතැයි මම හිතන්නේ නැහැ.

      ඔබ අවන්හලකට ගිහින් කෑම වේලක් කෑවහම බිල ගෙවන මොහොත දක්වා ණය කරුවෙක්. ණයෙන් නිදහස් වෙන්නේ සාක්කුවේ තිබෙන සල්ලි අරගෙන බිල ගෙවුවාට පසුවයි. මුදල් නොගෙවා ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවුවොත් ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන තුරුම ණයකරුවෙක්. මාසයේ විදුලි බිල ආවහම එය ගෙවන තුරු ණයකරුවෙක්. බිල එන්න පෙර කාලයේදී වුවත්, ඔබ විදුලිය භාවිතා කර තිබෙන නිසා ණයකරුවෙක්. මේ අර්ථයෙන් ගත්තොත්නම් හැමෝම ණයකරුවෙක් කියන එක ඇත්ත.

      නමුත්, ණයකරුවෙක් කියන එකේ සාමාන්‍ය අර්ථදැක්වීම වන්නේ කෙනෙකුගේ සමස්ත වත්කම් වලට වඩා බැරකම් වැඩියි කියන එකයි. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ණයකරුවෙක් කියන එකයි.

      ඇමරිකානුවෙකු සාමාන්‍යයෙන් වැඩිහිටි ජීවිතය ආරම්භ කරන්නේ ණයකරුවෙකු ලෙසයි. එසේ ණයකරුවෙකු සේ ජීවිතය ආරම්භ කළත් එසේ කිරීමෙන් ජීවිත කාලය තුළ ලැබෙන ප්‍රතිලාභ ඉතා විශාලයි. මේ ණය බොහෝ විට යෙදවෙන්නේ මානව ප්‍රාග්ධනය එකතු කර ගැනීමේ අරමුණින්. සරල වචන වලින් කියනවානම් උසස් අධ්‍යාපනය සඳහා ලබා ගන්නා ණය ලෙස. එකතු වෙන මානව ප්‍රාග්ධනයේ වටිනාකම බොහෝ විට ගන්නා ණය වලට වඩා වටිනවා. ප්‍රාග්ධන ආයෝජනයේ අනාගත මූල්‍ය ප්‍රතිලාභ අනාගත පොලී හා ණය වාරික ගෙවීම් වලට වඩා බෙහෙවින්ම වැඩි නිසා දිගුකාලීනව වෙන්නේ ශුද්ධ වත්කම් ඉහළ යන එකයි. එසේ නොවන්නේ පරිභෝජනයක් ලෙස සලකා, එනම් දැනුම සඳහා, අධ්‍යාපනය ලබා ගැනීමට මුදල් වැය කළොත් පමණයි. [අජිත් තාරකා විද්‍යාව ඉගෙන ගත්තා වගේ.]

      බොහෝ ඇමරිකානුවන් නිවසක් මිල දී ගැනීම පිණිස ණය ලබා ගන්නවා. නමුත්, මෙසේ ලබා ගන්නා ණයට සාපේක්ෂව අනෙක් පැත්තෙන් වත්කමක්ද එකතු වන නිසා ශුද්ධ වශයෙන් ණයකරුවෙකු වෙන්නේ නැහැ. එසේ වෙන අවස්ථා නැතුව නොවෙයි. 2008දී නිවාස වෙළඳපොළ කඩා වැටී බොහෝ දෙනෙකුට එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුනා. නමුත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. මැදි වයසට එනකොට බොහෝ ඇමරිකානුවන්ගේ බැරකම් වලට වඩා වත්කම් වැඩියි.

      ඇමරිකානුවන් අතරින් ශුද්ධ ණයකරුවන් සිටින්නේ 10.8%ක් පමණයි. ඉතිරි 89.2%ම ශුද්ධ වත්කම් හිමි අයයි. එනම් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණයට වඩා වත්කම් අතේ තිබෙන අයයි. මේ ශුද්ධ ණයකරුවන් බොහෝ දෙනෙක් තවමත් ප්‍රාග්ධනය එක් රැස් කරගනිමින් සිටින තරුණ වයසේ අයයි. ඇමරිකානු නිවාස ඒකකයක මධ්‍යන්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් 746,821ක්. මේ දෙමසකට පෙර ප්‍රකාශිත අලුත්ම දත්ත. ඔබ කියනවා වගේම ආදායම් විෂමතා තිබෙන නිසා මධ්‍යන්‍යය දෙස බැලීම එතරම් ප්‍රයෝජනවත් නැති වෙන්න පුළුවන්. එහෙත්, ශුද්ධ වත්කම් වල මධ්‍යස්ථ අගය වුවත් ඩොලර් 121,411ක්. ඔය ඇමරිකාවේ හැමෝම ණයකරුවන් කියන එක සමාජවාදීන් විසින් ප්‍රචාරය කරන තවත් එක් බොරුවක් පමණයි.

      Delete
    3. "ධනපතියෝ ඔයිට වැඩිය අඩුම ගානේ දෙවියෝ කිව විධිහටවත් ඉන්න ඕනේ නේද?" කියා ඔබ අහන එකෙන් පැහැදිලිව පෙනෙන්නේත් ආගමික අන්තවාදීන්ගේ හා මාක්ස්වාදීන්ගේ අදහස් කොයි තරම් සමපාතද කියන එකයි. දෙවියන්ව විශ්වාස නොකරන ධනපතියෙක් ඉන්න ඕනෑ තමන් අදහන දෙවියන් කියල තියෙන විදිහට කියලා ආගමික අන්තවාදියෙක් හිතන්න පුළුවන්. හැබැයි එහෙම හිතන්නේ ආගමික අන්තවාදීන් පමණයි. ආගම් අදහන හැමෝම එහෙම හිතන්නේ නැහැ. සමාජවාදය විශ්වාස නොකරන ධනපතියෙක් ඉන්න ඕනෑ තමන් අදහන මාක්ස්වාදයේ කියල තියෙන හැටියට කියලා සමාජවාදීන් අති මහත් බහුතරය විසින් හිතනවා [අජිත් සමහර විට දැන් ඒ ගොඩේ නැතුව ඇති!]. ඒ පදනමින් බැලුවහම සමාජවාදීන් හැමෝම වගේ අන්තවාදීන්. ඒ අය පමණක් පැත්තකට වෙලා තමන්ගේ ආගම අදහගෙන ඉන්නවනම්, අනෙක් අයගේ මනෝමූල තත්ත්වයන් වෙනස් කරන්න එන්නේ නැත්නම්, අනෙක් අයට කරදරයක් නැහැ. නමුත්, ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අය සමාජ විප්ලවයක් කරන ආකාරය තේරුම් ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇතිව ඉපදුනු, අමුතු සත්ත්ව කොට්ඨාශයක් කියලා. තමන් දෙවියන්ගේ පණිවුඩය මිනිසුන් වෙත ගෙනයාමට දෙවියන් විසින් තෝරාගත් සුවිශේෂී පුද්ගලයෙක් කියා ඇතැම් අය හිතන එකේත්, සමාජවාදීන් මේ විදිහට හිතන එකේත් කිසිම වෙනසක් නැහැ. ගොඩක්ම අන්තවාදී වුනාම දෙගොල්ලොම තමන්ගේ අවසන් ඉලක්කය වෙනුවෙන් මිනී මරන්න පෙළඹෙනවා.

      Delete
    4. එකොන් මේ පිළිතුරු දෙකින්ම පැහැදිලි වන්න එකොන් මම ලියපු එක පැහැදිලි කරගෙන කියන එක. මම ඕක ලිව්වේ 2014. //ඇමරිකානුවන් අතරින් ශුද්ධ ණයකරුවන් සිටින්නේ 10.8%ක් පමණයි. ඉතිරි 89.2%ම ශුද්ධ වත්කම් හිමි අයයි. එනම් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණයට වඩා වත්කම් අතේ තිබෙන අයයි.//මේක මගේ පැත්තෙන් බැලුවත් නිවැරදියි. අපි ණය ගත්තා තමයි. මමත් බිරිඳත් ගෙවල් ගන්න ඒ වගේ. නමුත් දැන් ඒවායේ වටිනාකම ඉහල යන නිසා ණයට වැඩිය වත්කම වැඩියි. ඒක හරි. මේ රටවල ජීවත්වෙන ලංකාවේ සමාජවාදී පක්ෂ දෙකට අයිති අයත් ඔය සත්‍යය හොඳින් දනනවා. නමුත් පිලි ගන්නේ නැහැ.මම මෙතැන කියන්නේ අන්තවාදීන් ගැන . ටී පාටි එක ඒ දවස්වල වල මට එක්තරා ප්‍රමානයකට අන්තවාදීන්. සමාජවාදී පක්ෂ දෙකත් එක්තරා ප්‍රමානයකට ඇදහීම අනුව අන්තවාදී බවක් පෙන්වනවා. ඒකයි මම කියන්නේ ඔබ කියන සමාජවාදය (සරදියෙල්ගේ පන්නයේ)ඔය දෙකෙන්ම එන්න පුළුවන් කියල. සමස්තයක් වශයෙන් ඔබ ලියල තියෙන දෙයට විරුද්ධත්වයක් නැහැ.

      Delete
  4. අජිත් එක්සත් ජනපදයේ මම මාස්ටර්ස් උපාධිය හැදෑරපු විශ්වවිද්‍යාලයේ, මගේ ඩිපාට්මන්ට් එකේ හිටිය එකම සහ මුල් ම ශ්‍රී ලාංකිකයා මම.

    අවුරුද්දක විතර කාලයක් මුලු ඩිපාට්මන්ට් එකටම හිටිය ඇමෙරිකානු නොවෙන ශිෂ්‍යයාත් මම.

    තවත් විදියකට කිව්වොත්, තනිකරම සුදු මිනිස්සුන්ගේ ආධිපත්‍යයට යට වෙලා තිබුණු ඒ ඩිපාට්මන්ට් එකේ, ඒ කාලේ හිටිය "නොගැළපෙන රූප" කිහිපයෙන් එක්කෙනෙක් තමයි මම. මගේ හම දුඹුරුයි, කොණ්ඩේ කලුයි, කතා කරද්දී වෙනස් උච්චාරණයක් තියෙන්නේ.. ඉතිං මම අමුතුයි!

    ඩිපාට්මන්ට් එකටම ඒ වගේ "අමුතු" මහාචාර්‍ය්වරු තුන් දෙනෙක් වගේ හිටියා, එයාලා හිටියේ ලොකු පීඩනයකින්..
    ඒ, එයාලාට අනික් මහාචාර්යවරුන්ගෙන් එන ප්‍රශ්න නිසා.. හැබැයි ඒ "අමුතු" මහාචාර්‍ය්වරු හැමවෙලේම මාව ආරක්ෂා කළා.. මට ප්‍රශ්න එද්දී පැය ගණන් මගේ හිත හැදුවා.. මම මගේ මාස්ටර්ස් උපාධිය ඉවර කර ගන්නකල් ම මාව පරිස්සම් කළා..

    මම ඇමෙරිකා එක්සත් ජනපදයට ආවේ බැරැක් ඔබාමා ජනාධිපති වෙලා ඉන්න කාලේ..
    ඒ ඇවිත් මාස කිහිපෙකින් තමයි මෙහෙ 45 වෙනි ජනාධිපතිවරයාව තෝරා ගන්න ජනාධිපතිවරණය තිබුණේ..

    ඒ දවස් වල මම එතරම්ම ජනාධිපතිවරණය හෝ දේශපාලනය ගැන අවධානයකින් හිටිය කෙනෙක් නෙමෙයි. කොටින්ම "අපි හම්බ කළොත් අපි කනවා" කියන මානසිකත්වයෙන් හිටියේ..

    ඒ කාලේ, මම ඇමෙරිකානු අධ්‍යාපන රටාව, සංස්කෘතිය, සිරිත්විරිත්, දේශගුණය, ඉංග්‍රීසි උච්චාරණය, ජීවන රටාව වගේ ගොඩාක් දේවල් එක්ක ඔට්ටු වෙවී, ඒවා වලට හුරු වෙන්න දඟලන කාලයක්!

    හැමදේම තනියම ම කර ගන්න ඕනේ නිසා, මට වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් තිබුණේ ම නෑ..

    අන්න ඒ නිසා, ඩොනල්ඩ් ට්‍රම්ප් කියන කෙනා කොයි වගේ කෙනෙක් ද, එයාගේ තීරණ කොයි වගේද කියන දේ මම දැනගෙන හිටියේ නෑ..

    To be continued...

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිවරණය තිබුණු දවසේ හවස 6 - 8.30 මට දේශනයක් තිබුණා. ඒකේ මගේ එහා පැත්තෙ වාඩි වෙලා හිටියෙ ඇමෙරිකානු සුදු පිරිමි ළමයෙක්. අපි එයාට "මයික්" කියමු.. මයික් ඒ මුලු දේශනය පුරා ම හිටියේ හරිම නොඉවසිලිමත් බවකින්., හැම විනාඩියේම එයාගේ ෆෝන් එක refresh කර කර ඡන්ද ප්‍රතිඵල බලමින්..

      මයික් ලොකු සල්ලිකාර පවුලක එකම පුතා.. එයායි මායි මාස්ටර්ස් උපාධිය පටන් ගත්තේ එකට.. ඒත් මයික් මට වඩා අවුරුදු 6ක් විතර බාලයි. ඇමෙරිකානු අධ්‍යාපන ක්‍රමය අපේ වගේ නෙමෙයිනේ.. ඉස්කෝලේ ගිහිං ඉවර වෙලා, කැම්පස් යන්න බලාගෙන අවුරුදු 1.5 ක් විතර ගෙදරට වෙලා ඉන්න ඕනේ නෑනේ..

      අනික, කැම්පස් ගිහිං ඉවර වෙලා මාස්ටර්ස් එක පටන් ගන්න තව අවුරුදු ගාණක් බලාගෙන ඉන්න ඕනෙත් නෑ.. එයාලා ඉස්කෝලේ ඉද්දීම කැම්පස් වලට අයදුම් කරනවා.. කැම්පස් එකේ ඉද්දීම මාස්ටර්ස් වලට අයදුම් කරනවා.

      ඉතිං, මේ මයික් දැඩි ට්‍රම්ප් සපෝටර් කෙනෙක්! මයික් විතරක් නෙමෙයි, එයාගේ මුලු පවුලම ට්‍රම්ප් සපෝටර්ස් ලා.. බිස්නස් කරන අය ගොඩාක් කොහොමත් ට්‍රම්ප් ට කැමතියි කියලා මයික් මට කිව්වා.. ට්‍රම්ප් ගේ දැක්ම රටේ ආර්ථිකය ට හොඳයි ලු!

      එදා රෑ, දේශනය ඉවර වෙලා ගෙදර ගිහිං පැය කීපයකින් අපි දැන ගත්තා ට්‍රම්ප් ඇමෙරිකාවෙ 45වෙනි ජනාධිපති විදියට තේරුණා කියලා..

      කවුරු ජනාධිපති වුණත් මට මොකෝ!!
      මේක මගේ රට යැ!

      පහුවෙනිදා උදේ 9.30ට මට තවත් දේශනයක්! සුපුරුදු පරිදි මම ඒ දේශනයටත් ගියා.. ඒ දේශනය කළේ සුදු මහාචාර්යවරයෙක්. වෙනදට සිනාමුසු මුහුණින්, සතුටෙන් පංතියට එන ඔහුගේ මූණ එදා මැළවිලා..

      TBC...

      Delete
    2. පංතියට ආපු ගමන් ඔහු අපෙන් ඇහුවා ඊයේ රෑ ඡන්ද ප්‍රතිඵලය ගැන මොකද හිතන්නේ කියලා.. ළමයි ඔක්කොම කසුකුසු ගාන්න ගත්තා, කවුරුත් කිසි දෙයක් කෙළින් කිව්වේ නෑ..

      ළමයිනේ කසුකුසුව දිහා බලාගෙන හිටපු මහාචාර්යවරයා, අපිට කොළයක් ගන්න කිව්වා.. අරගෙන ලියන්න කිව්වා ඇමෙරිකාවෙ ජනාධිපති විදියට ඩොනල්ඩ් ට්‍රම්ප් තේරුණු එක ගැන අපිට හිතෙන ඕනෑම දෙයක්!

      තමන් හිතනවා නම් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන කෙනා හිලරි ක්ලින්ටන් ට වඩා ජනාධිපති වෙන්න සුදුසුයි කියලා, ඒකට හේතුත් ලියන්න කිව්වා.. මේ ඔක්කොම ලියන්න කිව්වේ නිර්නාමික ව.. ඒ කියන්නේ, කොළේ නම ලියන්න එපා කිව්වා..

      අපි ඒ රටේ ජීවත් වෙන උගත් තරුණ පිරිස නියෝජනය කරන නිසා, අපේ අදහස් දැන ගන්න තමන් කැමති බව මේ මහාචාර්යවරයා අපිට කිව්වා..

      මාව දැන් හොල්මන්! මම ඩොනල්ඩ් ට්‍රම්ප් ව දන්නෙත් නෑ.. එහෙම ලොකුවට හිලරි ක්ලින්ටන් ව දන්නෙත් නෑ.. කොටින්ම ඇමරිකාවේ ජනාධිපතිවරණය මට අදාළම නෑ!!

      "මම ඇමරිකානුවෙක් නෙමෙයි, මම මේ රටට ආවේ ළඟදී.. ඒ නිසා, ඇමරිකාවේ දේශපාලනය ගැන මට එතරම් දැනුමක් නැහැ.
      ඊයේ තිබුණු ජනාධිපතිවරණය ගැන මට කියන්න කිසිම දෙයක් නැතිවීම ගැන මගේ කණගාටුව පළ කරනවා.."

      ඔන්න ඕක තමයි එදා මම ඒ කොළේ ලිව්වේ!

      අපරාදේ!

      මට තිබුණා "අපි හම්බ කළොත් අපි කනවා!" කියන ලංකාවේ අපේ උදාන වාක්‍යයත් අන්තිමට ලියන්න..

      එහෙනම් මගේ උත්තරේ සර්වසම්පූර්ණයි!

      මගේ කොළේ දැකපු ගමන් මහාචාර්යවරයාට ඒක ලිව්වේ මම කියලා හොයා ගන්න පුලුවන්! මොකද, පංතියේ ඇමෙරිකානු නොවෙන කෙනෙක් ට හිටියේ මම විතරයි නේ!
      මාව හොයා ගත්තත් මට මොකෝ!

      අපි අපේ අදහස් ලියපු කොළ ටික මහාචාර්යවරයාගේ මේසේ උඩින් තිබ්බා.. ඔහු ඒවා පස්සේ කියවන්නම් කිව්වා..

      හැබැයි, ඔහු පාඩම පටන් ගත්තේ නෑ.. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන දැඩි අප්‍රසාදය පළ කරමින්, ඔහු දිගට ම, ඒ ගැන ම කතා කළා.. හිලරි ක්ලින්ටන් කියන කෙනා සම්පූර්ණ සුදු චරිතයක් නොවුණත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා 100% ගුණයක් ඇය මේ තනතුරට සුදුසුයි කියලා ඔහු විශ්වාස කරන බව කිව්වා..

      විද්‍යාව, දේශගුණික විපර්යාස වගේ දේවල් ගැන ට්‍රම්ප් විශ්වාස නොකරන එක මුලු විශ්වවිද්‍යාල පද්ධතියටම ලොකු තර්ජනයක් බව ඔහු කිව්වා..

      මේවා අහගෙන හිටිය ළමයිනුත් ටික ටික තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ගත්තා..
      පංතියේ ඉන්න ළමයින්ගෙන් ගොඩාක් අය ඡන්ද ප්‍රතිඵලය ගැන දුක් වෙන බව එයාලාගේ කතා වලින් මට තේරුණා..

      කොහොම හරි, පැය එකහමාරක දේශනයෙන් විනාඩි 40ක් විතර ම අපි ගත කළේ ජනාධිපතිවරණය ගැන කතා කරන්න..

      ලෙක්චර් එක ඉවර වෙලා මම මගේ ඔෆිස් එකට ගියා.. මයික් මාත් එක්කම ඔෆිස් එකට යන්න ආවා.. අපි දෙන්නාගේම මේස තිබුණේ එකම ඔෆිස් එකේ..

      ඒ යද්දී තමයි දැක්කේ, අපේ මුලු ඩිපාට්මන්ට් එකම මළගෙයක් වගේ!! හැමෝගෙම මූණු අඳුරුයි! හැමෝම කොරිඩෝ වල ඉඳගෙන ඡන්ද ප්‍රතිඵලය ගැන කතා වෙනවා.. ඉස්සරහට ඇමෙරිකාවට, ඇමෙරිකාවෙ පරිසරයට, විශ්වවිද්‍යාලවලට මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ ලු.. විද්‍යා හා තාක්ෂණ පර්‍යෙෂණ වලට දෙන රාජ්‍ය අනුග්‍රහය අඩු කළොත් රටට වෙන අවාසිය කොච්චරක්ද කියන්න බෑ ලු..

      ජීවවිද්‍යාව කරන අය පරිසර විනාශයට සංවේදී, විද්‍යාව හා තාක්ෂණය කියන දේ රටක දියුණුවට අත්‍යාවශ්‍ය සාධක විදියට සළකන අය නිසා, ට්‍රම්ප්ගෙ ප්‍රතිපත්ති එක්ක එයාලා කවුරුත් එකඟ නෑ!

      හැබැයි අර මයික් නම් හිටියේ හරිම සතුටෙන්!

      "ඔයාට නම් සතුටු ඇති නේද?" මම ඇහුවා..

      "ඔව්! ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලට මම හරි කැමතියි! එයාට අකැමැති වෙන ඔක්කොම පිස්සෝ!!" ඔහු කිව්වා...

      කාලය ගෙවීගෙන ගියා..

      TBC...

      Delete
    3. මට නිතර හිතෙන දෙයක් තමා ඇයි ඇමෙරිකාවේ හාවඩ් වගේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්තු අපේ යාලුවෝ ලංකාවට ආවහම ඇමෙරිකාවට ඔපමණ විරුද්ධ. ඔයා කියන දේ නිසා වෙන්න පුළුවන්. ඒ වගේම මතකද ඔක්ස්ෆර්ඩ් හෙම ඉගෙං ගත්තු බණ්ඩාරනායක ලා හැසිරුණු විධිහ. තමනට සුදු අය සලකපු විධිහේ ඇරියස් එක ගන්න ලංකාවේ ඒ රටවලට විරුද්ධ වුනා කියන එක.
      නලින්ද සලිවා ට වුනෙත් ඒක . මෙහෙදී කපුවා නේ. එයා ට තිබ්බේ චන්ද්‍රසේකර් වගේ වලියෙන්ම ඉඳල මෙහෙ තැනක් අල්ල ගන්න. වඩා වැදගත් සොයා ගැනීම් කරන්න තිබ්බ.

      Delete
    4. ඒක නම් ඇත්ත තමයි ඉතින්. හැබැයි මේ සිද්ධියෙදි මම අපේ ඩිපාට්මන්ට් එකේ ඉන්න, ලංකාවෙන් ආපු එකම කෙනා විදියට, මගේ පාඩුවේ වැඩ ටික කරගෙන හිටියා..

      ලොකුකමකට කියනවා නෙමෙයි, අපේ ඩිපාට්මන්ට් එකේ හිටපු ගොඩාක් ඇමෙරිකානු ළමයින්ට වඩා මගේ මීටරේ හොඳයි.. ඒ ලංකාවේ අපේ හැටි!
      අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිං, අච්චර අමාරු A/L විභාගේ පාස් වෙලා, ඒකෙන් කැම්පස් යන්න තෝරා ගන්න පොඩි ප්‍රතිශතය ඇතුළට තේරිලා, කැම්පස් එකේත් 20%කට විතරක් කරන්න දෙන විද්‍යාවේදී විශේෂ උපාධියත් හදාරලා, ඊටපස්සේ, ලෝකෙම ළමයි ලියන GRE කියන විභාගය කරලා, ඒකෙන් ලෝකෙම ළමයි එක්ක කරට කර තරගයක් දීලා තමයි ලංකාවේ අපි මේ රටට උසස් අධ්‍යාපනයට එන්නේ..
      ඉතිං, අපේ මීටරේ හොඳයි..
      අපිට හොඳට ම කට්ට කාලා පුරුදුයි!

      පාඩම් කරන විදිය, විභාග ගොඩ දාන විදිය, assignments කරන විදිය ගැන අපි හොඳටම දන්නවා!

      අන්න ඒක නිසා, මගේ මාස්ටර්ස් උපාධිය අතරතුර මාව කැපිලා පේන්න පටන් ගත්තා.. College of Science වලින් සහ Graduate School එකෙන් තෝරා ගන්නා ළමයි කීපදෙනෙක් ට විතරක් ලැබෙන විශේෂ ශිෂ්‍යත්වත්, මම අයදුම් කරපු හැම සෙමෙස්‍ටර් එකකම මට ලැබුණා..

      කරපු හැම විෂයකටම මම ලේසියෙන් ම A සාමාර්ථ ගත්තා..ඩිපාට්මන්ට් එකේ හිටිය අර "අමුතු" මහාචාර්යවරු එක්ක අමතර පර්‍යේෂණත් කළා..
      ඒවා පර්‍යේෂණ සඟරා වල පළ කළා..
      කොටින්ම මම 200% ක් ඵලදායි විදියට මගේ කාලේ ගත කළා..

      හැබැයි, ඩිපාට්මන්ට් එකේ සමහරු මට කැමති වුණේ නෑ.. එයාලා එක්ක මම වචනයක් වත් කතා කරලාත් නැති වුණත්, එයාලා අහේතුකව මට අකැමැති බව මට එයාලා ගේ හැසිරීමෙන් තේරුණා..

      "ගුඩ් මෝනිං" කිව්වා ම අහක බලාගෙන යන අය හිටියා..
      මම එනවා දැකපු ගමන් ඈත තියාම අහක බලා ගන්න අය හිටියා..
      ඕවාට පුරුදු වුණා..
      එයාලා ගේ ඒ හැසිරීම දකින එකත් මට එක්තරා ජොලියක් වුණා..

      "ඔයා ගැන ඩිපාට්මන්ට් එකේ කතා වෙනවා.. ඔයා ඒ මුකුත් ගැන හිතන්න ඕනේ නෑ! පාඩුවේ වැඩ ටික කරගෙන, ඉක්මනට මෙතනින් යන්න!" අර "අමුතු" මහාචාර්යවරයෙක් මට දවසක් කිව්වා..

      "අපේ කලාපයෙන් එන අය දක්ෂයි! අපිත් එක්ක මෙයාලා ට හැරෙන්නවත් බෑ! ඒකට අපිට කරන්න දෙයක් නෑ! මගේ නෝනාත් මෙතන ඉස්සර වැඩ කළා..

      TBC...

      Delete
    5. එයාටත් මෙතන හරියට ප්‍රශ්න ආවා.. අන්තිමට එයා මේ රස්සාව දාලා වෙන එකකට ගියා.. මම යන්තම් ඔලුව ගහගෙන ඉන්නවා.. ඔයාත් වැඩ ටික කරගෙන ඉක්මනට ම PhD එකකට යන්න." තවත් "අමුතු" මහාචාර්යවරයෙක් කිව්වා..
      ඒ මහාචාර්යවරයා ඉන්දියානු කෙනෙක්..

      මේවා මට ඒ මහාචාර්යවරු කියන්න හේතු වුණු සිද්ධි මම මේ කතාවෙන් කියන්න යන්නේ නෑ.. ඒවා මට හිතුණොත් මම වෙනම දවසක ලියන්නම්!

      කොහොම හරි, ඒ වෙච්ච සිද්ධි නිසා මාව ගොඩාක් ශක්තිමත් වුණා..
      මගේ සම්භවයටට, හමේ පාට, කොණ්ඩේ පාටට මම තව තවත් ආදරය කරන්න ගත්තා..

      මම 2017 අවුරුද්දේ එක්තරා පංතියක් ගත්තා.. මම හදාරන්නේ ජීවවිද්‍යාව වුණාට, මේ පංතිය ගොඩාක් ගණිතය පැත්තටත් බර පංතියක්.. අනුකලන අවකලන ගණන් පවා තිබුණා..
      මුලු සෙමෙස්‍ටර් එක පුරාම අපි ඒ පංතියේ දී කතා කළේ පරම්පරාවෙන් පරම්පරාවට ජාන සංයුතිය වෙනස් වෙන විදිය ගැන, ගණිතයෙන්!

      මයිකුත් මේ පංතිය මාත් එක්ක ගත්තා.. මයික් ට ඒ පංතියේ දේවල් තේරුම් ගන්න හරිම අමාරු වුණා..
      එයා ඒ නොතේරෙන ඒවා මගෙන් අහ ගත්තා.. මම මයික්ටයි තව ඇමෙරිකානු කීපදෙනෙක්ටයි "කුප්පි" දැම්මා.. මම උගන්වන්න ආසයි!
      ලංකාවෙදිත් මම ඕනේ තරම් කුප්පි දාලා තියෙනවා.. කුප්පි දාන්න දාන්න මට මතක හිටිනවාත් වැඩියි..

      හැබැයි මයික් මගෙන් ම ඉගෙන ගෙන මට ම එක එක කතා කියන්න පටන් ගත්තා.. එයාගේ assignment එකකට ලකුණු අඩු වුණ ගමන් ඒ වැරැද්ද මට දාන්න පටන් ගත්තා.. ගාණ හදන හැටිත් කියලා දීලා, ඒකේ පිටිපස්සේ තියෙන සිද්ධාන්ත ටිකත් කියලා දීලා, උත්තරෙත් කිව්වාට පස්සේ, ඒ ටික හරියට ලියා ගන්න බැරි එකට මම මොනවා කරන්නද?

      අනික, එයාගේ විභාග ගොඩ දාලා දෙන එක මගේ වගකීමක් නෙමෙයිනේ!

      "ඔයා මයික් ට උදව් කරන එක නවත්තන්න! මයික් කියන්නේ ඔයාගේ වගකීමක් නෙමෙයි! එයා ඔයාව පාවිච්චි කරනවා! එයාට ලකුණු අඩු වුණ ගමන් එයා බනින්නේ ඔයාට.. ඔයාට එන තරමක් ප්‍රශ්න එන්නේ ඔය මයික් නිසා.." තවත් ඇමෙරිකානු මිතුරෙක් මට කිව්වා..

      ටික ටික මට ඒ ඇමෙරිකානු මිතුරා කියපු දේ තේරුණා.. මයික් සල්ලිකාර පවුලකින් එන නිසා, එයා හිතන්නේ හැමදේම එයාට අතට පයට ලැබෙන්න ඕනේ කියලා.. හැමෝම එයාට සළකගෙන ඉන්න ඕනේ කියලා..
      මට මයික්ව හිසරදයක් වුණා..
      ඒ නිසා, මම එයාව මග ඇරියා..
      කුප්පි දාන්නයි බැනුම් අහන්නයි දෙකක් කරන්න බෑනේ..

      ඔන්න අපිට ඒ පංතියේ අවසාන විභාගය ආවා..

      TBC...

      Delete
    6. විභාග ප්‍රශ්න පත්තරේ මහාචාර්යවරයා අපිට ඊමේල් කළා, පැය 48ක් ඇතුළත ඒකේ ප්‍රශ්න වලට උත්තර ලියලා මහාචාර්යවරයා ට බාර දෙන්න ඕනේ..

      ඔයාලාට හිතෙනවා ඇති ඒක මරු ක්‍රමයක් කියලා! හරි ලේසියි නේ..
      පොත් බලාගෙන හරි උත්තර ලියන්න පුලුවන්! පැය 48ක් මත් තියෙනවා..
      ලේසියෙන් ම ලකුණු ගන්න පුලුවන්!!

      නෑ!!

      ඒ විභාගවල තියෙන ප්‍රශ්න වලට පොත්වල උත්තර නෑ.. ඒවා මහාචාර්යවරයා ම හදපු ප්‍රශ්න.. ඔක්කොම ගණිත ගැටලු!

      සිද්ධාන්ත පැහැදිලි කරන්නත් තිබුණා..
      සිද්ධාන්ත දන්නේ නැතුව ඒ ගණන් හදන්න බෑ.. විභාගේ හරිම අමාරුයි!

      හැබැයි, මම පැය 14ක් එක දිගට වැඩ කළා.. කෑවෙත් නෑ.. වතුර විතරක් බිබී වැඩ කළා.. වැඩ හිර වේගෙන එද්දී, නොකා නොබී වැඩ කරන්න පුලුවන් සුපර් පවර් එකක් මට තියෙනවා.. මම ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා.. මට හොඳටම මතකයි ඒ ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියලා ඉවර වුණාට පස්සේ මම පැය ගාණක් එක දිගට නිදා ගත්තා.. නින්දෙනුත් මගේ මොළේ ගණන් හැදුවා..

      කොහොම හරි පැය 48 යද්දී මම ප්‍රශ්න ඔක්කොටම උත්තර ලස්සනට පිටපත් කරලා, පොඩි පොතක් වගේ එකකුත් හැදුවා.. එහෙම පොත් හදන එක මට කැලණියෙන් ලැබුණු පුරුද්දක්!
      අපිට කැලණියේ coursework ලියන්න පුරුදු කළේ එහෙමයි!

      ලකුණු එද්දී මට 99.3% ක් තිබුණා..
      පංතියේ වැඩිම ලකුණු මට!
      මගේ උත්තර පත්‍රය පුරාම ඒක උගන්නපු මහාචාර්යවරයා එක එක දේවල් ලියලා, ඒවා දැක්කාම මට හරි ආඩම්බරයක් ආවා..
      මොකද, අපේ ඩිපාට්මන්ට් එකේ අමාරු ම පංතිය ඔය පංතිය බවට ළමයි අතරේ මතයක් තිබුණා..

      ඒ අමාරුම පංතියේ අවසන් විභාගයට මම හොඳට ම ලකුණු අරගෙන විතරක් නෙමෙයි, මහාචාර්යවරයාගේ අගය කිරීමකටත් ළක් වෙලා..

      පස්සේ ඒ මහාචාර්යවරයා මට පෞද්ගලිකව ම කතා කළා..
      කරලා ඇහුවා ඔච්චර පිළිවෙලට උත්තර ලියන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා.. අනික් ළමයින් ගේ උත්තර පත්‍ර ඔක්කොම බලලා, අන්තිමට ලු මගේ එක බලන්න තියා ගත්තේ, සතුටෙන් උත්තර බැලිල්ල ඉවර කරන්න ඕනේ නිසා..

      ඕවා ගැන දැන් හිතලා බලද්දී හරිම පොඩි සිද්ධි විදියට හිතුණත්, පැය 14ක් එක දිගට වැඩ කරලා, ආයෙත් පැය කීපයක් තිස්සේ උත්තර පිටපත් කරලා ගොඩ දාපු විභාගේ ලකුණු ලැබුණු අලුත ඒ දේවල් ඔක්කොම මට හරිම සතුට දනවන දේවල් වුණා..

      TBC...

      Delete
    7. කොහොම හරි, එදා දවල් මයික් මගේ මේසේ උඩ තිබුණු උත්තර පත්‍රය දැක්කා..

      එයා තාම එයාගෙ උත්තර පත්‍රය මහාචාර්යවරයාගෙන් අරගෙන නෑ..
      ඒ නිසා එයා එයාගේ ලකුණු දන්නේ නෑ..

      ටිකකින් එයා එයාගේ උත්තර පත්‍රයත් අරගෙන ආයෙත් ඔෆිස් එකට ආවා..
      එවෙලේ ඔෆිස් එකේ හිටියේ මමයි මයිකුයි විතරයි.

      වේගෙන් ඔෆිස් එකට ඇතුළු වුණු මයික් එයාගේ උත්තර පත්‍රෙන් මගේ මූණට දමලා ගැහුවා..

      "බ්ලැක් ට්‍රෑෂ්!" - කළු කුණුගොඩ තමුන් මට උදව් කළා නම් මම මේ ලකුණු ගන්නේ නෑ!" මයික් කෑ ගැහුවා..

      මම මයික්ගේ උත්තර පත්‍රෙ දිහා බැලුවා.. එයාට ලකුණු පනස් ගාණයි..
      පංතියේ අඩුම ලකුණු එයා බව මම පස්සේ දැන ගත්තා..

      "ඔයාගේ ජීවිතේ ගැන මට වගකීමක් නෑ, මයික්!" මම එහෙම කියලා ඔෆිස් එකෙන් ගියා..

      කොහොම හරි මයික් මට බනින්න පාවිච්චි කරපු ඒ "බ්ලැක් ට්‍රෑෂ්" කියන වචනය ලොකු අපහාසාත්මක වචනයක් බව මම එදා දැනගෙන හිටියෙ නෑ..
      ඒක ඇමෙරිකාවෙ නීතියේ හැටියට, මට මයික් ව නඩු මගට ගෙනියන්න තරම් පුලුවන් දරුණු අපහාසයක්! නමුත් ප්‍රශ්නය ප්‍රායෝගිකව කලු සංක්‍රමණිකයන් වන අපට එහෙම නීතියෙන් සහනයක් ලැබෙන්නේ නැහැ.

      මයික් මාත් එක්ක තවත් වෛර බැඳ ගත්තා.. අර තැන තැන මගේ ගැන කතාවෙන කතන්දර වලට මයික්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.. අර "අමුතු" මහාචාර්යවරු ටික මාව දිගටම ආරක්ෂා කළා..

      දවසක් මයික් මම නැති අතරේ මගේ ඔෆිස් ඩෙස්ක් එක සම්පූර්ණයෙන් අයින් කරලා, මගේ බඩු ඔක්කොම කුණු ගොඩක් වගේ වෙන මේසෙක ගොඩ ගහලා තිබුණා..

      එහෙම කාගේවත් බඩු වලට කවුරුවත් අතවත් තියන්නේ නෑ මේ රටේ සාමාන්‍යයෙන්...

      අනික, මගේ බඩු අදින්න කාටවත් අයිතියක් නෑ!

      මගේ මේසෙයි පුටුවයි මට ඩිපාට්මන්ට් එකෙන් දීලා තියෙන්නේ, මමත් විශ්වවිද්‍යාලයේ උගන්වන කෙනෙක් නිසා..

      එතන මගේ පෞද්ගලික දත්ත තියෙන ලිපිලේඛන ගොඩක් තිබුණා. මයික් ඒවා කියෙව්වාද?? ඒවා වල පින්තූර ගත්තා ද?? මම ඒවා මුකුත් දන්නේ නෑ..

      මගේ මේසෙන් මාව අයින් කරලා, බඩු ටිකත් අවුස්සලා දාලා තියෙන හැටි දැක්කාම මට හරියට දුක හිතුණා, තරහාත් ගියා..

      මයික් ඒ දේ කළේ එයාගේ බලපුළුවන්කාරකම මට පෙන්නන්න.
      මට රිද්දන්න..

      "ඇයි මගේ මේසේ අයින් කළේ? ඇයි මටත් නොකියා මගේ බඩු ඇද්දේ?" මම මයික්ගෙන් අහලා යැව්වා..

      "මට ඕනේ නිසා! ඔයාට පුලුවන් දෙයක් කරන්න!" මයික් උත්තරයක් එව්වා..

      මට පුදුම අසරණකමක් දැනුණා..
      මම ඒ සිද්ධිය මම මගේ ඇමෙරිකානු මිතුරියක් එක්ක කිව්වා..
      මගේ ඉගැන්වීම් අධීක්ෂණය කරපු කෙනාටත් කිව්වා..

      කවුරු හරි කෙනෙක් ඕක යුනිවර්සිටි එකේ නීතිය සම්බන්ධ ඒකකයට දන්වලා.. ඒ ඒකකයෙන් මට කතා කළා..

      මගේ අයිතිවාසිකම් කඩ වෙලා, මාව අපහසුතාවට ලක්වෙලා තියෙන බව එයාලා ට දැන ගන්න ලැබුණු බව කිව්වා..

      මම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න එයාලා කැමති බවත්, ඒකට මගේ අනුමැතිය සහ විස්තර ඕනේ බවත් කිව්වා..

      මම ඇමෙරිකාවට ආවේ නඩු කිය කිය ඉන්න නෙමෙයි!
      එක එක්කෙනාගෙන් වන්දි ගන්නත් නෙමෙයි!
      ඒ නිසා මට ඒ ප්‍රශ්නය දුරදිග ගෙනියන්න ඕනේ වුණේ නෑ..

      මයික් මගෙන් සමාව ඉල්ලනවා නම් මට ඇති බවත්, මගේ වැඩ ටික පාඩුවේ කරගෙන යන්න මට ඉඩ දෙනවා නම් ඊට වඩා දෙයක් මට ඕනේ නැති බවත් මම කිව්වා..

      ඩිපාට්මන්ට් එක ඇතුළෙන් මයික් ව ආරක්ෂා කරන්න කට්ටිය හිටියා..
      එයාලාගෙනුත් මට ලොකු පීඩනයක් ආවා..

      මයික් සහ එයාට උදව් කරපු පිරිස දැනගෙන හිටියා මයික් මට කරපු වැඩේ ඇමරිකාවේ ව්‍යවස්ථාවෙ හැටියටත් බරපතල වැරැද්දක් කියලා..
      හැබැයි එයාල දන්නේ නෑ ඒ ව්‍යවස්ථාව තියෙන දේවල් මම දන්නවා කියලා..
      (අර ඒකකයෙන් මට කතා කරනකල්, මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ ඇත්තටම..)
      ඒ නිසා මයික් සහ පිරිස කීයටවත් හිතුවේ නෑ මේ දේ නීතිය පැත්තට යයි කියලා..

      ඒත්, නීති අංශයේ අයත් සිද්ධියට මැදිහත් වුණ බව දැන ගතපු නිසා, එයාලා ටික ටික නිෂ්ශබ්ද වුණා..
      ඒ නිසා, මයික් තනි වුණා..
      අන්තිමට මයික් මගෙන් සමාව ඉල්ලුවා..

      එතනින් පස්සේ මයික් මාත් එක්ක කතා කළේ නෑ.. මට කරදරයක් කළේත් නෑ..

      ඔය මම මුහුණ දුන්නු එක සිද්ධියක් විතරයි!

      TBC...

      Delete
    8. තවත් දවසක්, මම අපේ ඩිපාට්මන්ට් එකේ Chair Professor ඉන්න කාර්‍ය්යාලයට ගියා, එදා දවල් මට උගන්වන්න තිබුණු පංතියකට ඕනේ කොළ ටිකක් ප්‍රින්ට් කර ගන්න..
      ඒ දවස් වල අපේ Chair Professor ගේ සහායිකා (Assistant to the chair) තනතුරට අයදුම්පත් කැඳවලා තිබුණේ.. එච්චර කල් ඒ තනතුරේ හිටිය කෙනා වෙන රස්සාවකට යන නිසා, ඉක්මනින් ම අලුත් කෙනෙක් ගන්න උවමනාවක් ඩිපාට්මන්ට් එකට තිබුණා..

      ඉතිං එදා මම ඒ කාර්‍යයාලයට ඇතුළු වෙද්දී අපේ ඒ කාලේ හිටිය Chair Professor තව කෙනෙක් එක්ක කතා කර කර හිටියේ..

      අර තනතුරට අයදුම් කරපු කවුරු හරි වෙන රටකින් ඇමෙරිකාවට ආපු කෙනෙක්, interview එකේදී මොකද්ද ලොකු බොරු කියලා.. ඒක Chair Professor ට අහු වෙලා..

      "මට කොහොමත් ඔය වෙන රටවලින් මෙහෙට එන අයව (immigrants ලා) පේන්න බෑ... එයාලා එක්ක වැඩ කරන්න බෑ!"

      මම ඒ කාමරයට ඇතුළු වෙන බව දැකලා ඔහු මගේ මූණ දිහා බලලා එහෙම කිව්වා..

      මමත් immigrant කෙනෙක්!
      ඩිපාට්මන්ට් එකේ එවෙලේ හිටිය එකම international student මම!

      ඔහු මගේ මූණ බලලා immigrants ලා පේන්න බෑ කිව්වේ, මටත් රිදෙන්න බව මට හොඳටම තේරුණා.

      ඒ කතාව අහගෙන හිටපු අනික් කෙනාත් මගේ දිහා බලලා අමුතු ම හිනාවක් දැම්මා..

      "අපිව immigrants ලා කියලා කොන් කළාට, ඉතිහාසේ අරගෙන බැලුවොත්, ඔයාගෙත් අත්තලා මුත්තලා ඔක්කොමත් immigrants ලා තමයි!"

      මට එහෙම කියන්න කටට ම ආවත්, මම ඒ දේ නොකියා මගේ වැඩේ කරගන්න ගියා..

      ඒ සිද්ධියත් අර මට "බ්ලැක් ට්‍රෑෂ්" කියපු සිද්ධිය වගේම, පොතේ හැටියට මට නඩු මගට යන්න පුලුවන් තරමේ දරුණු සිද්ධියක් !

      කොයිම ජන වර්ගයක්වත්, කිසිම මනුස්සයෙක්වත් එහෙම පහත් කරලා කතා කරන එක නීතියෙන් තහනම්!
      ඒත්, මම ඒකත් කරන්න ගිහින් ඇණ ගත්තේ නෑ!

      කොහොම හරි, මගේ විදියට, හමේ පාටට, ජාතියට ඩිපාට්මන්ට් එකේ බහුතරය අකැමැති බව මට හැමවෙලේම දැනුණා. ළමයින්ගෙ ඉඳලා Chair Professor වෙනකල් ම, හැම මට්ටමකම මට අකැමැති අය හිටියා..

      මොකා මට අකැමැති වුණත්, මම මට හරිම කැමති බව මට ටික ටික තේරෙන්න ගත්තා. මගේ අනන්‍යතාවය ගැන මට ලංකාවේ ඉන්නවටත් වඩා දැනෙන්න ගත්තා.

      මාස්ටර්ස් එක පුරා ම මට ඒ ඩිපාට්මන්ට් එකේ අයගෙන් එක එක විදියේ ප්‍රශ්න ආවා. මගේ මාස්ටර්ස් එක මට ගන්න බැරි වෙන තැනට සමහරු වැඩ කළා. මට කළින් ආපු නේපාල ජාතික පිරිමි ළමයෙක්ටත් එයාලා මේ දේම කරපු බව මම දැන ගත්තා. අන්තිමට අවුරුදු 3.5ට පස්සේ ඒ ළමයා ඒ යුනිවර්සිටි එකෙන් ගියේ, මාස්ටර්ස් එකත් නැතුව, හිස් අතින්!

      ඒත් මගේ හමේ පාට, කොණ්ඩේ පාට, ඉංග්‍රීසි උච්චාරණය, මාව මාස්ටර්ස් උපාධිය ගන්න නුසුදුස්සෙක් කරන්නේ නැති බව මට පෙන්නන්න ඕනේ වුණා.

      ලංකාව වගේ පුංචි දූපතක ඉඳලා මම මේ රටට ආව හේතුව මම කොයි ක්‍රමයකින් හරි ඉටු කර ගන්න බවට මම මටම පොරොන්දු වුණා.

      අන්තිමට, එයාලා කරපු දේවල් නිසා මගේ PhD උපාධිය පටන් ගන්න කළින් මට මගේ මාස්ටර්ස් එක ඉවර කර ගන්න බැරි වුණා.

      ඒත්, මගේ PhD එක පටන් ගැනිල්ල පරක්කු කරන්න මට හිතුණේ නෑ..
      ඒ නිසා, මම මාස්ටර්ස් උපාධිය අස්සේම PhD එකත් පටන් ගත්තා..
      මගේ මහාචාර්යවරයා (එමීගේ තාත්තා) මට මගේ වැඩ ටික කර ගන්න ලොකු නිදහසක් දුන්නා.. (ඔහුත් අර "අමුතු" මහාචාර්යවරු තුන් දෙනාගෙන් කෙනෙක්!)

      TBC...

      Delete
    9. මම එක සෙමෙස්‍ටර් එකක් පුරාවට මාස්ටර්ස් එකයි PhD එකයි කිලෝමීටර් 350ක් දුර තියෙන යුනිවර්සිටි දෙකක එකට කළා.. හැම සති අන්තයේ ම ඒ කිලෝමීටර් 350 තනියම ම ගියා..
      සමහර රෑ සම්පූර්ණයෙන් ම ගත වුණේ මාස්ටර්ස් එක කරපු යුනිවර්සිටි එකේ පර්‍යේෂණාගාරෙක (Lab එකේ) පුටුවක් උඩ..

      කොහොමහරි, අභියෝග ගොඩකට පස්සේ, මම මගේ මාස්ටර්ස් උපාධිය ගත්තා.. ❤️
      මොනදේ වුණත් 4.0 GPA එකකුත් මට මාස්ටර්ස් එක අවසානේ තිබුණා..

      දැන්, මම සතුටෙන් මගේ PhD උපාධිය කරනවා..
      මේ යුනිවර්සිටි එක කළින් එක වගේ නෙමෙයි..
      මේකේ එක එක රටවලින් ආපු ළමයි, මහාචාර්යවරු ගොඩාක් ඉන්නවා..
      කොටින්ම Chair Professor ත් ඉන්දියානු ජාතිකයෙක්!
      මට අකැමැති අය මෙතනත් ඉන්නවා, හැබැයි එයාලා Powerless!
      කළින් යුනිවර්සිටි එකේ වගේ නෙමෙයි, මෙතන ජාතිවාදයට පෝර දාන්න ඉන්න ප්‍රමාණය අඩුයි!

      කාලය ගත වුණා..
      ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආණ්ඩුව යටතේ අපිට හරිම අමාරු කාලයක් ආවා..
      විද්‍යා පර්‍යෙෂණ වලට වෙන් කරපු සල්ලි ප්‍රමාණය අඩු වුණ නිසා, කෙරෙන පර්‍යේෂණ ප්‍රමාණය අඩු වුණා..
      වීසා නීති තද වුණා නිසා, පිටරට ළමයින්ට මෙහේ ඇවිත් ඉගෙන ගන්න තියෙන අවස්ථා අඩු වුණා..
      මම දන්න ලංකාවේ දක්ෂම ළමයි ගොඩදෙනෙක්ගේ පවා වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වුණා..

      නිවාඩුවකට හරි ලංකාවට ආවොත්, නිවාඩුව ඉවර වෙලා ආයෙත් ඇමෙරිකාවට එද්දී, අපිව මේ රටට ඇතුළු කර ගනියි ද කියලා සැක හිතෙන තරමට ම නීති තද වුණා..

      ජාතිවාදය, වර්ණවාදය එළිපිට ම තිබුණා.. මම ඒක අත්වින්ඳා..

      කොහොම හරි, අවුරුදු 4ක් ගිහිං, ඇමෙරිකාවෙ 46වෙනි ජනාධිපතිව තෝරා ගන්න ආයෙත් ජනාධිපතිවරණයක් තිබුණා..

      ඒකෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව පරද්දලා, හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් තේරී පත්වුණා..

      ඒක විතරක් නෙමෙයි!

      ජැමෙයිකානු සහ ඉන්දියානු සම්භවයක් තියෙන කමලා දේවී හැරිස් උප ජනාධිපති විදියට තේරුණා!

      ඒ, ඇමෙරිකානු ඉතිහාසේ ඒ තනතුරට පත් වුණු පළමු කාන්තාව විදියට විතරක් නෙමෙයි, පළමු කලු ජාතික කාන්තාවත් විදියට!! ඇයගේ අම්මායි තාත්තායි දෙන්නාම immigrants ලා..

      ජෝ බයිඩන් විද්‍යාව හා තාක්ෂණය අගය කරන, දේශගුණික විපර්යාස වලට සංවේදී කෙනෙක් නිසා, මම මාස්ටර්ස් උපාධිය කරපු යුනිවර්සිටි එකේ අයත් බහුතරය ජෝ බයිඩන් ට මනාපය දෙන්න ඇති!

      ඒත්, කලු මිනිස්සු කුණු ගොඩවල් කිව්ව මයික්, immigrants ලාට අකැමැතියි කිව්ව අර මහාචාර්යවරයාට එහෙම දැන් මොනවා හිතනවා ද දන්නේ නෑ!

      මයික් නම් කොහේ ඉන්නවා ද දන්නේ නෑ.. ඒත් අර මහාචාර්යවරයා නම් තාම ඒ යුනිවර්සිටි එකේ ඉන්නවා..
      මට එයා දැනට අවුරුදු 3කට කළින් කියපු කතාව මතක් කරලා ඊමේල් එකක් දාන්න හිතෙනවා..

      "Your Vice President is a proud daughter of two immigrant parents! Deal with it!" කියලා..

      ප.ලි. - අජිත් ඇතුළු හැමෝගෙන්ම කරුණාවෙන් ඉල්ලනවා, මේක ශෙයාර් කරනවා නම් මගේ නමත් එක්ක හරි (Supuni Dhameera Silva) පේජ් එකේ නමත් එක්ක හරි (Supi) ශෙයාර් කරන්න.. නමක් නැතුව ශෙයාර් කරන්න එපා..
      මොකද, මේ ලියලා තියෙන හැම අකුරක් ම මට වෙච්චා..
      මගේ අත්දැකීම්..
      මගේ ජීවිතේ කොටස්..

      මීට අමතරව "කලු කුණුගොඩ" මාස්ටර්ස් උපාධිය ගතපු දවස සහ, "කලු කුණුගොඩ"ට ලකුණු 99.3% ක් ලැබුණු අවසාන විභාගයේ උත්තර පත්‍රයේ පිටු කීපයක් මගේ ෆේස් බුක් එකේ ඇති.

      Delete
    10. එකොන් මේකට මොනවා ලියයිද දන්නේ නැහැ. මම ඔබේ ෆේස්බුක් පේජ් එකට ගිහින් බැලුව. මේ වර්ෂවල ඇමෙරිකාව එහෙමයි කියන්නේ ට්‍රම්ප් ගෙනාපු ජාතිවාදය තමයි. මම MSc දෙකක් එංගලන්තයේ කළා. පී එච් ඩී එකනම් කලේ නැත්තේ කම්මැලි කමට. ඒ දෙකේදී කවදාවත් එහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ. මේ රටේ (එංගලන්තේ ඒව අඩු කියලමං හිතන්නේ) මම ඉතින් ස්ටාර් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. මෙහම් කීවට හැබැයි තරහ වෙන්න එපා. සාමාන්‍යයෙන් හොන්දට් ඉගෙන ගන්න කොට ඉරිසියාව අනිත් අයගෙන් එල්ල වෙනවා. අනික් එක තමා කෙලින්ම ලංකාවෙන් එන ශිෂ්‍යයෝ බැගේජ් එක ගොඩක් අරන් එනවා. ඒ කියන්නේ ඒ ගොල්ලෝ සෝෂලයිස් වෙනවා අඩුයි. ක්‍රෑම විතරයි. සුදු කෙල්ලෝ දිහා වපර ඇහින් බලන්නේ. එතොට පොඩ්ඩක් ප්‍රශ්න එනවා. නමුත් ඔයාට ආපුව සෑහෙන්න වැඩි බවයි මට හිතෙන්නේ.

      Delete
    11. මේ රටේ බ්රෙක්සිට් එකට ගොඩක් ලංකාවේ ඉන්දියාවේ අය උදව් කරා. මට මාර ප්පුදුමයක් වුනා ඒක . බ්රෙක්සිට් එකත් එකක් සුදු ජාතිවාදය සෑහෙන්න උඩට ආව . නමුත් අපේ ලංකාවේ අය ඉථිඅ ආත්මාර්ථකාමී හේතු මත ඒකට උදව් කළා. ඉතින් ඔය හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියනවා. නමුත් සමස්තයක් වශයෙන් ඇමෙරිකාවේ ජාතිවාදය හා කළු ජාතිකයන්ට එරෙහි වීම වැඩි ඇති. නමුත් ඉතින් ඔය රටේ ම තමා ඔබාමාදිනුවේ . කමලා හැරිස් දිනුවේ.

      Delete
    12. අපක්ෂපාතී ලෙස ලියපු සැබෑ අත්දැකීමක් බව පැහැදිලියි. මෙහි සඳහන් මයික්ගේ මට්ටමේ අය මටනම් කවදාවත් පෞද්ගලිකව හමු වෙලා නැහැ. එහෙත් එහෙම අය ඉන්න බැරිකමක් නැහැ. අනෙක් චරිතනම් බොහෝ විට නිතර හමුවන චරිත. ඇමරිකාවේ දේශපාලනික වෙනස්කම් සරසවි පද්ධතියට බලපාපු ආකාරයත් ඉතා හොඳින් විස්තර කර තිබෙනවා. මෙතන ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මයික් කියන පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. අජිත් කියන හේතුව මුල් වුනා වෙන්න පුළුවන්. වෛරයට පාත්‍ර වෙන කෙනාගේ "අඩුවක්" පෙනෙන්නට ඇති විට වෘත්තීය ඊර්ෂ්‍යාව ඒ අඩුව පිටින් යාම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට කිසියම් දෙයකට කාන්තාවන් විවේචනය කරන්නේ ඔවුන් කාන්තාවන් වීම නිසා වගේ. රුසියාවේ ඉගෙනගෙන ලංකාවේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුත් ඔය වගේ දේවල් ගැන පැමිණිලි කරන්නේ. මේ වගේ දෙයක් සිදු වූ විට අනිවාර්යයෙන්ම පැමිණිලි කළ යුතුයි. "බ්ලැක් ට්‍රෑෂ්" වැනි වචනයක් භාවිතා කිරීම ඉතාම දරුණු ගණයේ ලා සැලකෙන ක්‍රියාවක්. මුල්ම අවස්ථාවේ පැමිණිලි කළානම් දිගින් දිගටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම "නඩු යාම" ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සරසවියක ඒ දේවල් වෙන ක්‍රමවේදයක් තියෙනවා. මට මෙහෙම කියන්න පුළුවන් වුනත්, ඇමරිකාවේ සියලුම ප්‍රතිපාදන තිබුණත්, ලංකාවෙන් ආ අලුත මේ වගේ සිදුවීමකට මුහුණ දෙන කෙනෙකුගේ මානසිකත්වය අනුව පැමිණිලි නොකර තනියම විඳ දරා ගැනීමත් මට තේරුම් ගන්න පුළුවන්. මෙය ලියූ Supuni Dhameera Silvaට මා යෝජනා කරනවා බ්ලොග් එකක් පටන් ගන්න කියලා.

      Delete
    13. තවත් කාරණයක්. මම සාමාන්‍යයෙන් ලංකාවට හෝ බ්ලොග් එක කියවන අයට සම්බන්ධ හෝ අදාළ නැති, එහෙමත් නැත්නම් කියවන අයට ඉගෙන ගන්න දෙයක් නැති, ඇමරිකාවේ සිදුවන මේ වගේ දේවල් ගැන මේ බ්ලොග් එකේ කතා කරන්නේ ඉතා අඩුවෙන්. හේතුව එහෙම සිංහලෙන් කතා කළා කියා එයින් කිසිම යහපතක් හෝ වෙනසක් නොවන නිසා. ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ තිබෙන මම දකින විශේෂත්වය මේ වගේ වැරැද්දක් සිදුවන හැම විටෙකම එවැන්නක් නිවැරදි කිරීම සඳහා කළ හැකි දෙයක්ද තිබෙනවා. ඔබ මෙහි සඳහන් කරන සිදුවීමෙන් පිළිබිඹු වෙන්නේ SHSUහි පවතින්නේ ඉතාම නරක තත්ත්වයක් බවයි. අවම වශයෙන් ඔබ සිටි දෙපාර්තමේන්තුවේ. ඔබ මෙහි පොදු අවකාශයක පළ කර තිබෙන තොරතුරු මත පදනම්ව, SHSUහි සිටින දන්නා අයවත් සම්බන්ධ කරගෙන මේ ගැන අවශ්‍ය අයගේ අවධානය යොමු කරවන්න මට හැකි පමණින් උත්සාහ කරන්නම්. එම සරසවියේ හොඳ නම හදා ගැනීම වෙනුවෙන් ඒ අය මොනවා හෝ කරයිනේ. ඔබ සඳහන් කරන මයික් කියන නම සැබෑ නම නොවන බවයි පෙනෙන්නේ. නැත්නම් ඔහුවත් ඉන්න තැනකින් සොයාගෙන ඔහුව නිරාවරණය කළ හැකිව තිබුණා.

      Delete
  5. මේ වගේ දේවල් ඔබට සිදු වීම ගැන කනගාටුයි. නමුත් මේ බොහෝ දේවල් extreme මිසක් සාමාන්ය තත්වය නෙවෙයි. අජිත් කිව්ව වගේ ඉරිසියාව සාමාන්ය තත්වයක්, අපි හැම දෙනාටම පොදු. ඉන්දියවෙ කෙනෙක් Head of Dept වුනු පලියට ඔක්කොම හරි කියන්න පුලුවන්ද, සමහර ඉන්දියන් අය ශ්‍රි ලාන්කික අය එක්ක විශේශයෙන්ම ඉරිසියාවයි. ඒ වගේම අජිත් කියනව වගේම ඔබේ යම්කිසි හැසිරීම් නිසා අනිත් අයගෙ මේ වගේ හැසිරීමක් trigger වුනා වෙන්න පුලුවන්, ඒක immigrants හුඟ දෙනෙකුට මුල් කාලයෙ වෙන්න පුලුවන්.

    අනිත් කාරනය තමයි ලන්කාවෙ අය මේ වගේ දේවල් වලට නීත්යානුකූල actions ගන්නවත් හොරයි. මොකටද කරදර වෙන්නෙ කියලා නිකම් ඉන්නවා. නමුත් මේ වගේ සිදුවීම් උනහම, escalation process එකක් තියෙන්නෙ යම්කිසි හේතුවක් නිසා, විශේශයෙන්ම මේ වගේ දෙවල් කරන අයට යම්කිසි දැනුවව්ත් වීමක් (education) දෙන්න අවශ්ය නිසා. එහෙම නැතුව හුන්ගක් ලන්කාවෙ අය කරනව වගේ හැම තැනම කියව කියව යන එක ලන්කාවෙ දක්ශ ලමයි අධර්යමත් කිරීමක් වෙන්න පුලුවන්. (once again, I am not undermining your experience at all. Well done on your achievements).

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. මමත් මේ කරුණු ලිවුවා පමණයි. ඇමරිකාවේ මේ වගේ වෙලාවක ක්‍රියාකළ යුතු නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා වගේම ඒ ක්‍රමවේදය අනුව ගියාම ඉතා කලාතුරකින් හැර අවශ්‍ය දේ සිදු වෙනවා. අවශ්‍ය දේ සිදුවුනේ නැත්නම් කළ හැකි දේවලුත් තිබෙනවා. ඒ නිසා, තමන් සද්ද නැතුව සිටින්නේනම් එය තමන්ගේ වැරැද්දක් මිස ක්‍රමයේ වැරැද්දක් නෙමෙයි. මෙතන ප්‍රශ්නය වැරදි එක්ක ජීවත් වෙන්න අපි ලංකාවේදී කාලයක් පුරුදු වී තිබීමයි. ඒ නිසා හිතෙන්නේ ඕවාට පැමිණිලි කරන්න ගිහින් නැති ලෙඩක් වැටෙයි කියලයි. ලංකාවේදී ගොඩක් වෙලාවට වෙන්නේ ඕකනේ. ඇමරිකාවේ කාලයක් ඉඳලා ලංකාවට ගියාම ඕකේ අනික් පැත්තත් වෙනවා. සමහර දේවල් ගැන දැනුම් දෙන්න තිබෙන ඉලක්කම් තුනේ අංක වලට කතා කරලා නිකම් බැනුම් අහගන්න විතරයි වෙන්නේ. පොදු ප්‍රශ්නයක් ගැන දැනුම් දුන්නහම අහන්නේ ඔයාට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. මයික්ගේ සිද්ධිය වගේ සිද්ධියක් වක්‍රව හෝ දැනගත්තොත් සරසවියකට සම්බන්ධ බොහෝ දෙනෙක් විසින් අනිවාර්යයෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුම දෙයක් මිස තේරීමක් නෙමෙයි.

      Delete
  6. This Ajith guy has so many complexities in so many levels.

    ReplyDelete
    Replies
    1. he he Did you study Quantum Physics? I am still studying it. Far more complex.

      Delete
    2. That is called a hobby.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...