පසුගිය සති අන්තයේදී ලංකාවේ ඥාතීන් හා හිතවතුන් කිහිප දෙනෙකු සමඟ කතා කළා. මේ අය රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක ජීවත් වන අය. ඔවුන්ගේ ප්‍රතිචාර ගැන කෙටියෙන් කියනවානම් මේ වෙද්දී කෝවිඩ්-19 ලංකාවේ බොහෝ දෙනෙකුගේ එළිපත්තටම ඇවිදින්. බොහෝ දෙනෙකුට මරණ බය දැනිලා.
මේ තත්ත්වය තේරුම් ගන්න එක මට අපහසු දෙයක් නෙමෙයි. ඔය මරණ බයත් එක්ක මමත් සෑහෙන කාලයක් ජීවත් වුනා. දැන්නම් මරණ බයෙන් මිදී ජීවත් වෙනවා. මරණයට බය නැත්තේ කවුද? සබ්බේ භයන්ති මච්චුනෝ!
මරණය මරණය ලෙසම ගත්තොත් මට එය බියක් දනවන්නේ නැහැ. මා ගෙවන නැති ජීවිතය නැති මරණයකින් අවසන් වී මා විසින් මවාගෙන සිටින ලෝකයන් සියල්ලද මුළුමනින්ම අවසන් වී යාම මට විශාල ප්‍රශ්නයක් නොවුනත්, එවැන්නකින් පසුව තව දුරටත් ඉතිරි වන සමීපතමයන්ගේ ලෝක වල මා නොසිටීමෙන් සිදුවන අඩුව ගැන මම සංවේදීයි. ඊට අමතරව කෝවිඩ් හැදී මැරෙන්න වෙනවා කියන්නේ මා කැමති ආකාරයක මරණයක් නෙමෙයි. කෝවිඩ් හැදී අසාධ්‍ය වුවහොත් මරණය දක්වා ජීවත් වෙන්න සිදුවන කාලයේදී ගෙවන්න වෙන ජීවිතය මරණයට වඩා නරක දෙයක්.
පසුගිය වසරේ මාර්තු මැද සිට ගෙවුණු මාස 13ක කාලය මා උපරිම වශයෙන් පරිස්සම් වුනු කාලයක්. එම කාලය තුළ ගෙදරින් හෝ එළියට බැස්සේ කිහිප වරක් පමණයි. මගේ රැකියාව මට නිවසේ සිටම කළ හැකි වීම එයට උපකාරයක් වුනා. අඩු වශයෙන් තවත් මාස තුන හතරක් යන තුරු රැකියාව සඳහා නිවසින් පිටව යාමේ අවශ්‍යතාවයක් නැහැ. මෙම කාලය පුරා මගේ දරුවන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කළේද නිවසේ සිටයි. බිරිඳට වරින් වර ඇගේ රැකියාව හා අදාළ කටයුතු සඳහා නිවසින් පිටව ක්ෂේත්‍රයට යන්න සිදු වුවත්, ඇගේ රැකියාව හා අදාළ සාමාන්‍ය කටයුතු කෙරෙන්නේද නිවස තුළ සිටයි.
අපේ ප්‍රාන්තයෙන් පළමු වරට කෝවිඩ් ආසාදිතයෙකු හමු වුනේ පසුගිය මාර්තු 5 වනදා. ඒ බව තහවුරු වුනේ මාර්තු 6 වනදා. මාර්තු 16 වනදා අපේ ප්‍රාන්තයේ පළමු කෝවිඩ් මරණය වාර්තා වුනා. එයින් දින තුනකට පසුව මාර්තු 19 වනදා සියළු පාසැල් වසා දැමීම ඇතුළු තීරණ රැසක් ගැනුණා. මාර්තු 23 වනදා නිවස තුළ රැඳී සිටීමේ නියෝග නිකුත් කෙරුණා. එක වර 10 දෙනෙකුට වඩා එක්රැස් වීම තහනම් කෙරුණු අතර අත්‍යවශ්‍ය නොවන වෙළඳ ව්‍යාපාර වසා දැමීමට නියෝග කෙරුණා. මේ නියෝග මාර්තු 25 දින සිට බලාත්මක වුනා.
මමනම් නිවසේ රැඳී සිටින්න පටන් ගත්තේ මාර්තු 12 දින සිටයි. අපේ ප්‍රාන්තයේ වැසියන්ගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ මා මෙන්ම තවත් බොහෝ ප්‍රාන්ත වැසියන් ප්‍රාන්ත රජයේ නියෝග නිකුත් වන්නට අඩු වශයෙන් සතියකට පමණ පෙර සිට ස්වේච්ඡාවෙන්ම නිවසෙන් නොබැහැරව රැඳී සිටින්න තීරණය කර තිබී ඇති බවයි. ඒ අනුව ප්‍රාන්ත රජයේ නියෝගයෙන් ඇත්තටම සිදු වී තිබෙන්නේ කොහොමටත් බොහෝ දෙනෙකු විසින් කළ දෙයට රබර් මුද්‍රාව තැබීමක් පමණයි.
අපේ ප්‍රාන්තය එවකට මෙන්ම දැන්ද රිපබ්ලිකන් ප්‍රාන්තයක්. ඉහත තීරණ ගන්නා විට අපේ ප්‍රාන්තයෙන් හමු වී තිබුණේ කෝවිඩ් ආසාදිතයින් 259 දෙනෙකු පමණයි. මා මේ ටික ලිවුවේ ඇමරිකාව කිසිවක් නොකර මිනිස්සු මැරෙන්න දී බලා සිටි බවත්, ආර්ථිකය රැක ගැනීම වෙනුවෙන් ජීවිත බිලිදුන් බවත් වැනි කතා ඇහෙන නිසයි. ඩිමොක්‍රටික් ප්‍රාන්ත රිපබ්ලිකන් ප්‍රාන්ත වලටද වඩා දැඩි ක්‍රියාමාර්ග ගත්තා.
කෝවිඩ් පැතිරෙද්දී ඇමරිකාවේ ජනාධිපති වූයේ ට්‍රම්ප්. වෘත්තීය දේශපාලනඥයෙකු නොවූ ඔහුට හිතට එන දෙයක් කියන්න කලින් දෙවරක් හිතීමේ වෘත්තීය පළපුරුද්ද තිබුණේ නැහැ. ට්‍රම්ප්ගේ බ්රේක් නැති කටින් එළියට පනින වචන වලට ජනමාධ්‍ය විසින් හැමවිටම තටු හයි කළා. කෙසේ වුවත්, කෝවිඩ් සම්බන්ධව රජයක් සේ ගත යුතු ක්‍රියාමාර්ග ඔහු කලට වේලාවට ගත්තා. කෝවිඩ් හා අදාළව, බයිඩන් ජනාධිපති වීමෙන් පසුව කරන්න අමුතු දෙයක් ඉතිරි වී තිබුණේ නැහැ.
මුලින්ම කෝවිඩ් පැතිරෙද්දී එම රෝගය පිළිබඳව මේ වන විට අප දන්නා බොහෝ දේ කිසිවකු දැනගෙන හිටියේ නැහැ. කාට වුනත් සිදු වුනේ අඳුරේ අතපත ගාන්නයි. ඉදිරි වසර තුළ සිදු විය හැකි දේ පිළිබඳව පෞද්ගලිකව මට නිරවුල් අදහසක් තිබුණා. වසංගත රෝග පැතිරෙන ආකාරය පිළිබද ආකෘති ගැන දැනුමක් ඒ වන විටද තිබීම එයට හේතුවයි. එම ආකෘති ගැන මෙන්ම ආකෘති වල සීමාවන් ගැනද මට පැහැදිලි අදහසක් තිබුනා. මේ දැනුම පසුගිය වසරක කාලය තුළ පණ බේරාගෙන ජීවත් වෙන්නත්, හැකි පමණින් වෙනත් අයට පණ බේරාගන්න උදවු කරන්නත් උපකාරී වුනා කියා මම හිතනවා.
මේ ආකෘති බටහිර විද්‍යාවේ ආකෘති. බටහිර විද්‍යාව පිළිබඳව මට විශ්වාසයක් තිබෙනවා. කෝවිඩ් වසංගතය විසින් එම විශ්වාසය ඉතා දැඩි ලෙස තහවුරු කර තිබෙනවා. මා බටහිර විද්‍යාව විශ්වාස කරන්නේ එය ලෝකයේ පවතින හා පැවතිය හැකි එකම දැනුම් පද්ධතිය සේ සලකමින් නෙමෙයි. බටහිර විද්‍යාව පරම සත්‍යයක් සේ සලකමින්ද නෙමෙයි. බටහිර විද්‍යාවට අනුවම වුවත් බටහිර විද්‍යාව පරම සත්‍යයක් නෙමෙයි. වෙනත් දැනුම් පද්ධති කෙරෙහි විවෘත ආකල්පයක් දරන නමුත් වෙනත් කිසිදු දැනුම් පද්ධතියක් පිළිබඳව බටහිර විද්‍යාව පිළිබඳව තිබෙන ආකාරයේ විශ්වාසයක් මට නැහැ. මෙය පෞද්ගලික කාරණාවක් නිසා වෙනත් අයට එවැනි විශ්වාස තිබීම මා ප්‍රශ්නයක් සේ සලකන්නේ නැහැ. අපේ විශ්වාස ගොඩ නැගෙන්නේ එකිනෙකාගේ පෞද්ගලික අත්දැකීම් අනුවයි.
ඇමරිකාව, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය වැනි රටවල් කෝවිඩ් අර්බුදයට මුහුණ දුන්නේ තනිකරම වගේ බටහිර විද්‍යාව මත පදනම්වයි. මේ සඳහා යොදාගත් ආකෘති, ඒවායේ සීමාවන්ට යටත්ව, නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. කෝවිඩ් ඉතා වේගයෙන් පැතිරෙන බවත්, උත්තරාර්ධගෝලයේ ග්‍රීෂ්ම සෘතුව එළැඹෙද්දී ස්වභාවික ලෙසම පාලනය වී ශීත සෘතුව තුළ නැවත දරුණු ලෙස හිස ඔසොවන බවත් මෙම ආකෘති වලින් මාර්තු මාසයේදීම පුරෝකථනය කෙරුණා. බටහිර විද්‍යාත්මක දැනුම මත පදනම්ව කෝවිඩ් වලින් ගැලවීමේ මාර්ගය වැටී තිබුණේ මහා පරිමාණ එන්නත්කරණ වැඩ සටහනක් හරහා. එහෙත් ඒ සඳහා අවම වශයෙන් වසරක සිට වසර එකහමාරක පමණ කාලයක් යන බවද පුරෝකථනය කළ හැකි වුනා.
බටහිර විද්‍යාවේ දෘෂ්ඨි කෝණයෙන් කෝවිඩ් ආරම්භයේදී දැන සිටි කරුණු මත පදනම්ව විශ්ලේෂණය කළ විට පෙනී ගියේ සාර්ථක එන්නතක් වැඩි දියුණු කර ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය කිරීම සඳහා ගතවන කාලය අතරතුර විශාල පිරිසකට රෝගය ආසාදනය විය හැකි බවයි. තත්ත්වය එවැන්නක්නම් වසංගතයට "එඩිතරව" මුහුණ දීම හැර වෙනත් කළ යුතු දෙයක් තිබුණේ නැහැ.
මේ අවදියේදී නිගමන වලට එළැඹෙන්නට සිදු වුනේ චීනයේ දත්ත දෙස බලාගෙනයි. ඒ දත්ත අසම්පූර්ණ දත්ත. විශේෂයෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් ප්‍රමාණය පිළිබඳවත්, ඒ හෙයින්ම කෝවිඩ් මරණ අනුපාතය පිළිබඳවත්, වරක් ආසාදනය වූ අයෙකුට ලැබෙන ස්වභාවික ප්‍රතිශක්තියේ ප්‍රමාණය පිළිබඳවත් තිබුණේ අවිනිශ්චිත අදහසක්. රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් ප්‍රමාණයට සාපේක්ෂව රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් ප්‍රමාණය ඉතා වැඩිනම් (ඇතැම් අය මේ ප්‍රමාණය සිය ගුණයක් පමණ බැව් ඇස්තමේන්තු කර තිබුණා) එයින් අදහස් වන්නේ සැබෑ මරණ අනුපාතය ඉතා අඩු බවයි. තත්ත්වය එවැන්නක්නම් හා වරක් ආසාදනය වූ අයෙකුට සැලකිය යුතු කාලයක් ස්වභාවික ප්‍රතිශක්තිය ලැබෙන්නේනම්, රෝගය බෝවී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීම වුවද නරක දෙයක් නොවන නිසා ඇතැම් රටවල් කෝවිඩ් වලට මුහුණ දීමේ විකල්පයක් ලෙස "කිසිවක් නොකර සිටීම" ගැනද සලකා බැලුවා. එහෙත් මෙය හොඳ විකල්පයක් නොවන බව ඉතා ඉක්මණින්ම පැහැදිලි වුනා.
වසංගතය ආරම්භයේදී ඇමරිකාවේ ප්‍රමුඛ ඉලක්කය වූයේ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිකමින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමයි. ඉතා ඉක්මණින් ප්‍රාන්ත වසා දැමීමට තීරණය කෙරුණේ සෞඛ්‍ය පද්ධතිය අවශ්‍ය පමණ පුළුල් කර ගන්නා තුරු රෝගය පැතිරීම මන්දගාමී කර ගැනීමේ අරමුණින්. ආරම්භයේදී පෙනෙන්නට තිබුණේ ජීවිත බේරා ගැනීම සඳහා ක්ෂණිකව කළ යුත්තේ ප්‍රමාණවත් තරම් වෙන්ටිලේටර නිපදවීම බවයි. එය එසේ නොවන බව පසුව පෙනී ගියත් ඇමරිකන් රජය මුල් වී වෙන්ටිලේටර සැපයුම විශාල ලෙස වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත්තා. පසුව මෙසේ නිපදවනු ලැබූ වෙන්ටිලේටර ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ප්‍රදානය කෙරුණා.
කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් ගැනුණු සෞඛ්‍යමය නොවන ක්‍රියාමාර්ග ප්‍රතිඵලදායක බව ඉතා ඉක්මණින්ම පෙනී ගියා. යුරෝපයේ ඇතැම් රටවල සිදු වුනාක් මෙන් කෝවිඩ් වසංගතය ඇමරිකාවේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වූයේ නැහැ. මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, නිතර අත් සේදීම වැනි විවිධ ක්‍රියාමාර්ග හරහා රෝගය පැතිරීම පාලනය කළ හැකි වූ නිසා ග්‍රීෂ්ම සෘතුව එළැඹෙද්දී රට ක්‍රමයෙන් විවෘත කරන්න හැකි වුනා. එහෙත්, පූර්ණ විවෘත කිරීමක් වුනේ නැහැ. ඒ වගේම අවශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය අඩු කෙරුණේද නැහැ. ශීත සෘතුව තුළ කෝවිඩ් වසංගතය වැඩි තීව්‍රතාවයකින් මතුවන බව මුල සිටම පෙනෙන්නට තිබුණු නිසා එම කාලය තුළ නැවතත් සැලසුම්සහගතව යම් සීමා කිරීම් කෙරුණා.
මේ සියල්ල කිරීමෙන් අනතුරුවද ඇමරිකානුවන්ගෙන් 9.98%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන අතර ඔවුන්ගෙන් 1.78%ක් මරණයට පත්ව තිබෙනවා. හඳුනා නොගැනුනු ආසාදිතයින් ප්‍රමාණය හඳුනා ගැනුනු ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ විය හැකි බැව් සැලකුවහොත් සැබෑ මරණ අනුපාතය 0.5-1.0% අතර සේ සැලකිය හැකියි.
වසංගතයක් පැතිරෙද්දී එහි හානිය වැළැක්වීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුත්තේ නිවාරණය කෙරෙහියි. ප්‍රජා වෛද්‍ය විද්‍යාවේදී "බෙහෙත් කරන්නේ" රෝගයට මිස රෝගියාට නෙමෙයි. සිදුවිය යුතු පරිදිම ඇමරිකන් රජය එන්නත් වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩි බරක් දැම්මා. එහි ප්‍රතිඵලයක් ලෙස හිතුවාටත් වඩා කලින් හිතුවාටත් වඩා සාර්ථක එන්නත් කිහිපයක්ම නිපදවා ගත හැකි වුනා. ප්‍රධාන වශයෙන්ම එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඇමරිකාවේ මෙන්ම, කෝවිඩ් වසංගතයෙන් දරුණුවටම බැට කෑ එක්සත් රාජධානියේද, ඊශ්‍රායලය වැනි තවත් රටවලද කෝවිඩ් වසංගතය පාලනය වී ජනජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් පවතිනවා.
මෙවැනි වසංගතයක් හමුවේ රෝගය ආසාදනය වීම 50%කින් අඩු කරන එන්නතක් හොඳ එන්නතක් සේ සැලකිය හැකියි. ඇමරිකාවේ භාවිතා වූ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් වල ඵලදායීතාවය 95% පමණ ඉහළ මට්ටමක තිබුණා. එන්නතක අහිතකර ප්‍රතිඵල කලකට පසුව වුවත් පෙනී යා හැකි නිසා සාමාන්‍යයෙන් ඇමරිකාවේ එන්නතක් භාවිතය සඳහා අනුමත කරන්නේ අවශ්‍ය පමණ කල් අරගෙනයි. එහෙත් දැන් තිබෙන්නේ හදිසි තත්ත්වයක්. ඇමරිකාව තුළ තවමත් කෝවිඩ් සඳහා කිසිදු එන්නතක් අනුමත කර නැතත්, පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් වලටත් ඉන්පසුව ජොන්සන් සහ ජොන්සන් සමාගමේ එන්නතටත් හදිසි අනුමැතිය ලැබී තිබෙනවා. එහෙත් වයස අවුරුදු 16 නොඉක්මවූ අය සඳහා තවමත් කිසිදු එන්නතකට හදිසි අනුමැතිය හෝ හිමි වී නැහැ.
ඇමරිකාව තුළ වයස අවුරුදු 16 ඉක්මවූ අයෙකුට කෝවිඩ් එන්නතක් ලබා ගැනීම සඳහා මේ වන විට කිසිදු බාධාවක් නැහැ. අපේ ප්‍රාන්තයේ මධ්‍යස්ථාන රැසකදී කලින් දැනුම් දීමක් නොකර කෙළින්ම ගොස් එන්නතක් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට තිබෙනවා. වයස තහවුරු කිරීම හැර පදිංචිය හෝ පුරවැසිභාවය වැනි කරුණු තහවුරු කළ යුතු නැහැ. මුදල් ගෙවීමක් කළ යුතු වන්නේද නැහැ. වැඩිහිටි ඇමරිකානුවන්ගෙන් 56.1%ක් මේ වන විට එක් එන්නතක් හෝ ලබාගෙන තිබෙන අතර 40.3%ක් එන්නත් දෙකම හෝ ජොන්සන් සහ ජොන්සන් එන්නතේ තනි මාත්‍රාව ලබාගෙන තිබෙනවා. රටේ මුළු ජනගහණයම සැලකුවොත් 44.3%ක් එක් එන්නතක් ලබාගෙන තිබෙන අතර 31.6%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙනවා.
කෙසේ වුවත්, තවමත් ඇමරිකානුවන්ගෙන් බාගයක්ම කෝවිඩ් එන්නතක් ලබාගෙන නැහැ. තුනෙන් දෙකක්ම එන්නත් මාත්‍රා සම්පූර්ණ කර නැහැ. පූර්ණ ප්‍රතිශක්තියක් ලැබෙන සේ සැලකෙන්නේ එන්නත් මාත්‍රා සම්පූර්ණ කර දින 14කට පසුවයි. මා නිදහසේ ගෙයින් එළියට බැස්සේ පයිසර්-බයෝඑන්ටෙක් දෙවන මාත්‍රාව ලබාගෙන දින 14ක් ගත වීමෙන් පසුවයි. එහෙත්, එයින් අදහස් වන්නේ එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන දින 14කට පසුව කෝවිඩ් වැළඳීමේ අවදානම නැත්තටම නැති වන බව නෙමෙයි. පසුගිය අප්‍රේල් 26 දක්වා කාලය තුළ කෝවිඩ් එන්නත් සම්පූර්ණ කර දින 14 පසු කළ ඇමරිකානුවන් 9,245 දෙනෙකුටද කෝවිඩ් ආසාදනය වී තිබෙන අතර ඔවුන්ගෙන් 835 (9%) දෙනෙකුට රෝහල් ගත වන්නට සිදු වී තිබෙනවා. එයින් 132 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වාර්තා නොවූ ආසාදිතයින් සිටිය හැකි නිසා මෙය අවම ඇස්තමේන්තුවක්. එහෙත් අප්‍රේල් 26 දින වන විට මිලියන 95 ඉක්මවන ඇමරිකානුවන් පිරිසක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබීම සැලකූ විට මේ සම්භාවිතාව ඉතා අඩු එකක්.
තවමත් එන්නත් ලබාගෙන තිබෙන්නේ ඇමරිකානුවන්ගෙන් බාගයකට අඩු පිරිසක් වුවත් එහි ප්‍රතිඵල පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ වන විට ඇමරිකාවෙන් දිනකට හමු වන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 50,000 මට්ටමටත් මරණ ගණන 700 මට්ටමටත් අඩු වී තිබෙනවා. වසර මුලදී මේ සංඛ්‍යා පැවතුණේ පස් ගුණයක් ඉහළින්. කෙසේ වුවත්, මේ අඩු වීමට එකම හේතුව එන්නත්කරණය කියා කියන්න බැහැ. කාලගුණය උණුසුම් වීමේ බලපෑමත් මෙහි තිබෙනවා.
ලංකාව මෙන් 15 ගුණයකට වඩා වැඩි ජනගහණයක් සිටින ඇමරිකාවෙන් ඊයේ හමු වූ කෝවිඩ් ආසාදිතයින් ගණන 30,701ක්. මෙය ජනගහණයට සමානුපාතිකව බැලුවොත් ලංකාවෙන් දිනකට ආසාදිතයින් 1,983 දෙනෙකු හමු වීමට සමානයි. ලංකාවෙන් ඊයේ හමු වුනු ආසාදිතයින් ගණන වූ 1,891 ඊට වඩා අඩු ගණනක්. මෙයින් මා පෙන්නුවේ ඇමරිකාවේ දැන් තිබෙන "හොඳ" තත්ත්වය වුවත් ලංකාවේ දැන් තිබෙන "නරක" තත්ත්වයට වඩා හොඳ බවයි. ඇමරිකාවේ දිනකට හමු වූ ආසාදිතයින් ගණන දැන් ගණන මෙන් 10 ගුණයකට වඩා ඉහළින් තිබුණා. කිසිසේත්ම මගේ ප්‍රාර්ථනාව නොවුනත් ලංකාවේ තත්ත්වය දැන් තිබෙනවාට වඩා ගොඩක් නරක අතට හැරෙන්න පුළුවන් බව අමතක කළ යුතු නැහැ.
ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ට අවශ්‍ය වූ පමණින් කෝවිඩ් එන්නතක් ලබා ගැනීමේ හැකියාවක් තවමත් නැති බව මම දන්නවා. ඒ වගේම ඇමරිකාවේ මට්ටමෙන් 10%කටත් වඩා අඩුවෙන් ආසාදිතයින් හමු වී තිබියදීත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව මේ වන විටද ඉක්මවා ගොස් ඇති බව පෙනෙනවා. කෝවිඩ් පාලනය කිරීම එක දෙයකින් පමණක් කිරීම අසීරුයි. උඩ ඡායාරූපයේ තිබෙන්නේ අපේ නිවසට හැරෙන පාර අයිනේ ප්‍රදර්ශනය කර තිබෙන බැනරයක්. කෝවිඩ් එන්නතක් ලබා ගන්නා සේ ඉල්ලා තිබෙන එහි කෝවිඩ් මර්දනය සඳහා කළ යුතු අනෙකුත් දේවල්ද ප්‍රදර්ශනය කර තිබෙනවා. ඇමරිකාව මේ තරමින් හෝ ගොඩ ගිහින් තියෙන්නේ ඔය හැම දෙයක්ම කරලා.
ඔය හැම දෙයක්ම කරන අයටත් කෝවිඩ් හැදෙනවා. එය මේ රෝගයේ ස්වභාවය. පුළුවන් හැම විදිහකටම පරිස්සම් වෙලත් කෝවිඩ් හැදී තිබෙන ලංකාවේම කිහිප දෙනෙක් ගැනත් මට අහන්න ලැබුණා. ඇමරිකාවේ කෝවිඩ් මේ තරම් ව්‍යාප්ත වුනේ ආණ්ඩුවේ වැරැද්දකින්වත්, මිනිස්සුන්ගේ වැරැද්දකින්වත් නෙමෙයි. ඒ වගේ බොරු අදහස් වලින් වෙන්නේ රෝගයේ භයානකකම අවතක්සේරු වෙන එක පමණයි. එය හානිකරයි. තමන්ට පුළුවන් හැම විදිහකින්ම පරිස්සම් වෙන්න.
මෙරට රැදි ඉන්න චිනුන්ට ගෙනත් එන්නත් කල චින එන්නතට අපේ රටේ අනුමැතිය දුන්නේ නෑ. චිනය කොරෝනාව සාර්ථකව පාලනය කරගෙන තියෙන්නේ මේ එන්නතින්ද? ඇයි චින්නුන්ට ගහන්න හොද අපිට හොද නැත්තේ? මුලින්ම ගහපු ඇස්ට්‍රා සෙනිනා එන්නතේ දෙවන මාත්‍රාව තාම ලැබිලා නෑ. මාස ගනනාවක් පරක්කුවෙලා ගැහුවාම එකේන් ලැබෙන ප්‍රතිශක්තිය හරියටම ලැබෙයිද? කොරෝනාව සමහරුන් ඉල්ලමක් කරගෙන වාගේ පෙනෙනවා.
ReplyDelete//චීනය කොරෝනාව සාර්ථකව පාලනය කරගෙන තියෙන්නේ මේ එන්නතින්ද?//
Deleteඑන්නතෙන්නම් වෙන්න බැහැ. චීන ජනගහණයෙන් ඕනෑනම් 15%ක් එන්නතක් ලබාගෙන ඇති. ලංකාව මුලින් අනුගමනය කළ ක්‍රමය චීනය තවමත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා. මුලින්ම රට ඇතුළේ කෝවිඩ් පාලනය කර ගත්තා. ඉන් පසුව එළියෙන් එන එක වලක්වාගෙන ඉන්නවා.
//ඇයි චින්නුන්ට ගහන්න හොද අපිට හොද නැත්තේ?//
ඒ ගැනනම් කියන්න දන්නේ නැහැ. මම හිතන්නේ වෛද්‍යමය නොවන හේතුවක් මත ගත් තීරණයක් කියලා.
//මුලින්ම ගහපු ඇස්ට්‍රා සෙනිනා එන්නතේ දෙවන මාත්‍රාව තාම ලැබිලා නෑ. මාස ගනනාවක් පරක්කුවෙලා ගැහුවාම එකේන් ලැබෙන ප්‍රතිශක්තිය හරියටම ලැබෙයිද?//
මේ ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කර නැති නිසා හරියටම කියන්න බැරි වුනත් මගේ පෞද්ගලික අදහසනම් මෙයින් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියන එකයි. කොහොමටත් මේ එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිය ගොඩක් කල් තියෙන්නේ නැහැ. බොහෝ විට අවුරුද්දකට වරක් බැගින් එන්නතක් ගන්න වෙයි. කලින් කෝවිඩ් ලොකුවට පැතිරී නොතිබුණු අවස්ථාවේ දෙවන මාත්‍රාව ගැනීමට සාපේක්ෂව දැන් ලංකාවේ කෝවිඩ් පැතිරෙන වෙලාවේ දෙවන මාත්‍රාව ගන්න එකේ වාසියකුත් තියෙනවා.
අපි නං නියම පිරිමි වගේ මරණයට එඩිතරව මුහුණ දෙනවා. ගෙවල් පල්ලේ හැංගි හැංගි ඉන්නේ නැහැ.
ReplyDeleteඔබගේ ලිපි FB හී ෂෙයාර් කරන්නට සීමා පනවා ඇත්තේ ඇයි?
ReplyDeleteමෙහි පළ කරන ලිපි සමාජයට හානිකර බව බොහෝ දෙනෙකු විසින් FB වෙත වාර්තා කිරීම මත පදනම්ව එහි ෂෙයාර් කිරීම වාරණය කර තිබෙනවා. ඒ වගේම වසර පහක් පමණ තිස්සේ FBහි ෂෙයාර් කළ සියළුම ලිපි ඉවත් කර තිබෙනවා.
Delete"වත්පොත ඉකොනොමැට්ටා තහනම් කරයි!"
http://economatta.blogspot.com/2021/01/blog-post_22.html
ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අනික් අය ඒවාට අකමැති උනාට කරන්න දෙයක් වගේ දේවල් කියලා. අන්න ඒ නිසා ඉකොනොට පෙන්නලා දෙන්න උනා ඉකොනෝ කැමති හැම දේම ලියන්න බැහැ, සීමාවක් තියෙනවා කියලා.
Delete..
ඉකොනෝ,
කලින් ඉකොනෝ බිට්කොයින් ගැන දාපු ලිපියක මෙහෙම එකක් තියෙනවා.
"මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම "කණිනු ලැබූ" බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා.'
මෙතන මුලින්ම කණිනු ලැබූ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? කොහොම ඒක කරේ. අලුතෙන් සංස්සරනයට එකතුවෙන බිට් කොයින් ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි?
//මෙතන මුලින්ම කණිනු ලැබූ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? කොහොම ඒක කරේ. අලුතෙන් සංස්සරනයට එකතුවෙන බිට් කොයින් ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි?//
Deleteඉතාම සරල පිළිතුරක් දෙන්නම්. බිට්කොයින් එකක් කියන්නේ පරිගණක වැඩ සටහනකින් හදන අතාත්ත්වික දෙයක්. යම් කෙනෙක් බිට්කොයින් එකක් අයිති කරගන්නනම් එක්කෝ බිට්කොයින් එකක් හොයා ගන්න ඕනෑ. නැත්නම් හොයාගත් කෙනෙක්ගෙන් සල්ලි වලට ගන්න ඕනෑ. අලුත් බිට්කොයින් එකක් හොයා ගන්න බිට්කොයින් සොයා "කැනීම්" කළ යුතුයි. මෙයින් අදහස් වෙන්නේ පරිගණක වැඩ සටහනක් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම. එහි ප්‍රතිඵලයක් ලෙස අහඹු ලෙස බිට්කොයින් ලැබෙනවා. පරිගණක වැඩ සටහන හදලා තියෙන්නේ අලුත් බිට්කොයින් එකක් හොයා ගැනීම එන්න එන්නම වඩ වඩා අමාරු වන ආකාරයට.
//ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අනික් අය ඒවාට අකමැති උනාට කරන්න දෙයක් වගේ දේවල් කියලා. අන්න ඒ නිසා ඉකොනොට පෙන්නලා දෙන්න උනා ඉකොනෝ කැමති හැම දේම ලියන්න බැහැ, සීමාවක් තියෙනවා කියලා.//
Deleteදැනුත් මම ලියන්නේ මට ඕනෑ දේවල්. එහෙම නැතුව වෙනත් අයට අවශ්‍ය දේවල් කුලියට ලියන්නේ නැහැ. ෆේස්බුක් එක නැති වුනා කියලා එය වෙනස් වෙලා නැහැ. ෆේස්බුක් එක නැති වීමෙන් පාඩුවක් වී තිබෙන්නේ කියවන අයට මිසක් මට නෙමෙයි.
ඉකොනෝ අලි ටෝක් දුන්නා මම ලියන්නේ මට ඕනි දේවල්, අනික් අය ඒවාට අකමැති උනාට කරන්න දෙයක් වගේ දේවල් කියලා. අන්න ඒ නිසා ඉකොනොට පෙන්නලා දෙන්න උනා ඉකොනෝ කැමති හැම දේම ලියන්න බැහැ, සීමාවක් තියෙනවා කියලා
Deleteකුලියට ලියන, report ගහන ගමන් bitcoin ජුන්ඩක් mine කරගන්න හදන අහිංසකයෙක්
Delete@ Anonymous May 4, 2021 at 7:38 AM
Deleteදැන් දැන් බොහෝ සමාගම් ක්‍රිප්ටොකරන්සි වලින් ගණුදෙනු කිරීම අරන් තියෙනවා. ටෙස්ලා වාහන මිලදී ගැනීමට, පේපෑල් හරහා භාණ්ඩ මිලදී ගැනීමට දැන් ක්‍රිප්ටෝ වලින් පුළුවන්.
ගොඩක් අය ක්‍රිප්ටොකරන්සි ගැන, නැත්නම් අඩුමගානේ ඒක මොනවගේ දෙයක්ද කියල දන්නව උනත් ගොඩක් අය දන්නේ නැත්තේ ක්‍රිප්ටෝ මයිනින් ගැන. ලංකාව 2018 - 2021 කාලයේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන බිට්කොයින්/ ක්‍රිප්ටෝ මයිනින් රටක් අනික් දකුණු ආසියාතික රටවල් වලට වඩා පස් ගුණයක් විතර වැඩියි. සාමාන්‍යයෙන් බලගතු පරිගණක මයිනින් යන්ත්‍ර දෙකක් විතර පැය 24 ම යොදාගනිමින් මයින් කරන්න ඔබට විශාල මුදලක් ආයෝජනය කරන්න ඕන. ලංකාවේ රුපියල් මිලියන 20 - 25 ක් විතර හොඳින් හිරු එළිය ලැබෙන සූර්ය පැනල් එක්ක අවම 15 kW යුරෝපීය හෝ හොඳ බ්රැන්ඩ් එකක චීන ඉන්වර්ටර් වගේ ගහල නෙට් මීටරින් කරගන්න ඕන. ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් තියෙනවා නම් සෑහෙන හොඳයි. සීඊබී/ ලෙකෝ විතරක් නම් රුපියල් 75,000 කට වඩා බිලක් එනවා.
මේකේ මූලධර්මය සරලව කිව්වොත් දැනට තියෙන සියගානක් ක්‍රිප්ටෝ මුදල් ඒකක හැම එකේම වගේ මයින් වෙන ක්‍රමය මූලිකව එකයි. යම් යම් වෙනස්කම් තියනව එකින් එකට. ඒනිසා අපි දැනට ජනප්‍රියම හා වටිනාම ක්‍රිප්ටෝ ඒකකය වන බිට්කොයින් මයින් වෙන විදිහ බලමු එතකොට අනිත් ඒව වෙන්නෙ කොහොමද කියල අදහසක් ගන්න ඇහැකි. (වඩාත් සුදුසු එතීරියම්) හොඳ මෘදුකාංග සහ මල්ටි ලෙවෙල් ඩිෆෙන්ස් සහිත, MFA වගේ ආරක්ෂාවක් අත්‍යවශ්‍යයි.
මේක හරියට ඛණිජ ද්‍රව්‍යයක්, නැත්නම් රත්තරන් ගරනව වගේ වැඩක්. නිධියක තියෙන රන් හාරල පිරිසිදු කරල ගන්න එක අමාරුයි වගේ නිධිගත රන් වගේම බිට්කොයින් ප්‍රොටෝකෝල් එකේ බිට්කොයින් නිධියක් තියනව. ප්‍රොටෝකෝල් එකෙන් බිට්කොයින් නිපදවීමට මයිනිං කියනවා.
(බිට්කොයින් ප්‍රොටෝකෝල් එකේ බිට්කොයින් උපරිම ධාරිතාව මිලියන 21ක්.)
ඒ වගේම බිට්කොයින් බ්ලොක් චේන් එක කියන්නේ මොකක්ද කියනවනම් බ්ලොක් චේන් කියන්නේ අතිශය සුවිශේෂී තාක්ශණයක්, සතෝෂි නකොමෝතෝ කියන ෆේක් නේම් එකෙන් හිටපු කෙනා නිර්මාණය කළ බ්ලොක්චේන් වලින් (බිට්කොයින් නිර්මාණය කළ සතෝෂි කව්ද කියල කවුරුත් දන්නෑ. බිට්කොයින් වල අඩුම මුදල් ඒකකය සතෝෂි කියල නම් කරල තියෙන්නෙ මෙයා වෙනුවෙන්.)
බ්ලොක්චේන් එකක් වැඩ කරන්නේ මෙහෙමයි, හිතන්න ඔබ ගාව ලෙජර් එකක් තියනව, ඒකේ 100% නිවරදි කොපියක් කීප දෙනෙක්ට දෙනව. එයාල ඒක තවත් කීප දෙනෙක්ට කොපි කරල දෙනව. මේ කොපිවල නිවරදි බව තහවුරු කරන්න මෙයාලා තම තමංගෙ කොපි අනිත් අය එක්ක සසඳනව. අව්ලක් තියනවනම් තියන මුලු කොපි වලින් 51%ක තියන දත්ත නිවරදි දත්ත ලෙස සලකල අනිත් කොපි වල දත්ත නිවරදි කරනව.
Deleteදැන් හිතන්න දැවැන්ත ඩේට බේස් එකක් මේ විදිහට මිලියනයක් අතර බ්ලොක්චේන් ක්‍රමේට බෙදල දුන්න කියල. එතකොට කව්රුහරි සිතාමතා ඩේටාබේස් එක විකෘති කලා කියල හිතන්න. එතකොට ඒක පට්ගාලා අහුවෙනව. මොකද මේ ඔක්කෝම ඩේට බේස් එකිනෙකා සමඟ සම්බන්ධ නිසා නිතරම ඩේට නිවරදිද කියල චෙක් කරන නිසා. ඒනිසා බ්ලොක්චේන් එකක තියන ඩේට බේස් එකක් විකෘති කරන්න බැහැ. (හැබැයි තනි කෙනෙක් මේ ඩේටාබේස් වලින් 51%ට වඩා ප්‍රමාණය පාලනය කරනව නම් ඔහුට පුළුවන් වෙනස් කරන්න. මේකට අපි කියනව 51% ඇටෑක් කියල)
ඒ අනුව බ්ලොක්චේන් කියන්නේ කාටවත් අයිති නැති තනි පුද්ගලයකු විසින් පාලනය නොකරන විසිරී පවතින එකක්. (Decentralized/ Peer-to-Peer/Digital)
බිට්කොයින් බ්ලොක්චේන් එක කියන්නේ බිට්කොයින් ගනුදෙනු, ප්‍රොටෝකෝල් වගේ දත්ත තියන ඩේටා ස්ට්‍රක්චර් එකේ බ්ලොක්චේන් එක. මේ හේතුව නිසා බිට්කොයින් කව්රුහරි පාලනය කරන දෙයක් නෙවෙයි.
බිට්කොයින් නෙට්වර්ක් එකේ තියනව "Nodes" කියල මගුලක්. මේව සාමාන්‍යය පරිගණක. මේවායේ බිට්කොයින් ලෙජර් එක තියෙන්නෙ. මෙයාල බිට්කොයින් බ්ලොක්චේන් එකේ කොටසක්.
ඕනම කෙනෙක්ට බිට්කොයින් නෝඩ් එකක් වෙන්න පුළුවන්. බිට්කොයින් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඊටපස්සේ ඕන වෙන්නේ 145 GB හිස් ඉඩක් විතරයි. (මේක ඩවුන්ලෝඩ් කරන්න නෙට්වර්ක් කනෙක්ෂන් එකක් ඕන. ඊට පස්සේ එච්චර ඩේට යන්නේ නෑ). (145GB තමයි බිට්කොයින් ස්ට්‍රක්චර්/ලෙජර් එක)
අයෙක් මෙහෙම නෝඩ් එකක් හදාගත්තම ඒ නෝඩ් එක තවත් නෝඩ් කීපයක් එක්ක කනෙක්ෂන් එකක් හදාගෙන බ්ලොක්චේන් එකට කනෙක්ට් වුණාම මේ ඩේට වෙනස් කරන්න බැහැ තනි කැමැත්තට. වෙනසක් උන ගමන් අනිත් නෝඩ් වලින් අහල වැරැද්ද නිවරදි කරගන්නව.
බිට්කොයින් වල මේ ලෙජර් එක තියෙන්නෙ බ්ලොක්, බ්ලොක් විදිහට. (වගුවක වගේ)
මේ නෝඩ්ස් වලින් සමහර නෝඩ්ස් තියනව මයිනින්ග් නෝඩ්ස්, ඒවායින් බිට්කොයින් මයින් කරන්නේ.
සරලව කිව්වොත් බිට්කොයින් මයින් ප්‍රොටෝකෝල් එකේ තියෙන ගණිතමය ගැටළුවකට අවශ්‍ය සංඛ්‍යාත්මක පිළිතුර පරිඝනකයෙ CPU, GPU පාවිච්චි කරල ගණනය කිරීම. ලේසී වගේ පෙනුනට මේක පට්ටම පට්ට විදියට සංකීර්ණයි.
මෙම අගය බ්ලොක් එකකට සෙට් කරල හෑෂ් ෆන්ක්ෂන් එකක් ඇතුලෙන් රන් කලාම එන අගය 0ත් 4,294,967,296ත් අතර පිහිටන අගයක් වියයුතුයි. (මේ රේන්ජ් එක බිට්කොයින් වලට. අනිත් ඒවට වෙනස් රේන්ජ් එකක් එන්නෙ)
මේ අගය හොයන්නේ අහඹු අගයන් දම දමා බලල. හෑෂ් එකෙන් ගියාම එලියට එන අගය අනුමාන කිරීම කරන්න බැරි වැඩක්. ඒනිසා කණා පොල්ලන් ගහ ගහ බලල තමා අගය හොයන්නේ. මුලින් නිශ්චිත බිංදු ගානක් දෙනව ප්‍රොටෝකෝල් එකෙන් මේන් මේකෙන් පටන් ගනින් කියල.
එකම මොහොතේ එකම බ්ලොක් එකට මයිනර්ල කීප දෙනෙක්ම ට්‍රයි කරනවනේ. එතකොට මුලින්ම මේ අගය හොයාගන්න කෙනා ක්ෂණිකව බ්ලොක්චේන් එකට කියනව එයා අගය හොයාගත්ත බව. එතකොට අනිත් මයිනර්ස්ල ඒ බ්ලොක් එක ඇතෑරලදාලා ඊලඟ එක පටන් ගන්නව. අර අගය හොයාගත්ත කෙනාට යම් බිට්කොයින් ප්‍රමාණයක් ලැබෙනව.
කාලයත් එක්ක මේ දෙන බිංදු ගණන වෙනස් කරනව. එතකොට මේ ගැටලුව විසඳන එක අමාරු වෙනව. ඒකයි දැන් එන්න එන්නම බිට්කොයින් මයින් කරන්න අමාරු.
ඒවගේම බ්ලොක් එකක් විසඳුවාම විසඳපු කෙනාට දෙන බිට්කොයින් ප්‍රමාණය කාලෙන් කාලෙට අඩුවෙනව. ඉස්සරහ නම් දුන්න ලොට් එකක්. දැන් නම් ලැබෙන්නෙ බිට්කොයින් 12.5ක් විතරයි. තව කාලෙකින් මේක 6.25ක් වෙනව.
මේකට කීපයක් හේතු නිසා, ඒ අතිශය ඉක්මනින් සම්පූර්ණ බිට්කොයින් බ්ලොක් ඔක්කෝම පිරෙන එක නවත්තන්න ඕන නිසා බිට්කොයින් චේන් එක පිරෙන්නේ 2140දි විතර කියලා කියන්නේ.
නමුත් කාලයත් එක්ක මේ මයිනින්ග් අමාරු වෙන නිසා සාමාන්‍යය පරිගණකවලින් බිට්කොයින් මයින් කරන්න බැරිවෙලා තියනව. දැන් බිට්කොයින් මයින් කරන්න අති දැවැන්ත ප්‍රොසෙසින් පවර් එකක් ඕන. අනාගතයේදී මේක තව දුරටත් අමාරු වෙනව.
එතකොට වැයවන විදුලි බිල, උපාංග වියදම කවර්කරගන්න ලැබෙන බිට්කොයින් වලින් බැරිවෙනව සාමාන්‍යය යූසර්ලට. එතකොට මයින් කරන්න වෙන්නේ පූල් වලින්.
පූල් කියන්නේ සාමාන්‍යය කම්පියුටර් දහස් ගානල් එකතුකරල හදපු නෙට්වර්ක් එකක්. මේවයින් බ්ලොක් බෙදාගෙන විසඳනව. සමහරු මැල්වෙයා පාවිච්චි කරනව පූල් හදන්න.
නැත්නම් වෙබ්සයිට් වල ස්ක්‍රිප්ට් පාවිච්චි කරනව යූසර්ල වෙබ් පේජ් එක ඕපන් කලාම එයාගේ CPU එක පාවිච්චි වෙලා Mine වෙන්න. (උදාහරණයක් විදියට Piratebay වගේ)
සමහර ක්‍රිප්ටෝ කොයින් තියනව අඩු හීප් එකක් (අඩු ප්‍රොසෙසින් පවර් එකක් ඕන) තියන. මේව මයින් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ස්මාට් ෆෝන්. සමහර ඇප්ස් වල මේ වගේ ක්‍රිප්ටො මයිනර් බයින්ඩ් කරල එවනව. ඩිවයිස් මිලියනයක පූල් එකකින් හොඳට හම්බ කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ සඳහා බලගතු පරිගණක යන්ත්‍ර වෙනුවට ස්මාට් ෆෝන් පාවිච්චි කරන එක නිසා ෆෝන් එකට කෙළවිලා යන්න ඉඩ තියෙනවා සෑහෙන්න.
Deleteඒ වගේම තවත් දෙයක් තමයි පරිගණක මෘදුකාංග ලියන්න මුලින්ම මම උගත්තේ වයස දහයේදී විතර ශිෂ්‍යත්ව විභාග කාලයෙන් පස්සෙ මගේ පියාගේ යෝජනාවක් අනුව පරිගණක අධ්‍යාපන ආයතනයක. ඒකෙදි BASIC කියන පරිගණක භාෂාවෙන් එකතු කිරීම් අඩු කිරීම් ගුණ කිරීම් වැනි කුඩා දේවල් කරන්න තමයි මුලින් උගත්තේ. ඒවායින් ඇති ප්‍රයෝජනය ගැන අදහසක් මට එකල තිබුණේ නැතත් මෘදුකාංගයක් පිටුපස ඇති තර්ක (Logic) ගැන හරියටම උගත්තේ කොළඹ NIBM එකේ පරිගණක පාඨමාලාවෙන්. පාසලේ නවය දහය පන්ති වලදි එයට බැඳුනේ මගේ පියා බලෙන්ම වගේ ඒකට එක්කගෙන ගිය නිසා, IQ පරීක්ෂණයක් තියලා සම්මුඛ පරීක්ෂණයකුත් තිබුණා. විශ්වවිද්‍යාල දේශන ආකාරයෙන් පැවැත්වූ ඒ ඉගැන්වීම මට අලුත් අත්දැකීමක්. සීයක් දෙසීයක් හිටිය පන්තියේ ළාබාලතම දොළහක් පමණ දෙනාගෙන් එකෙකු වී අපි විවිධ ගැටලු විසඳීම සඳහා Flow Chart හෙවත් ගැලීම් සටහන් අඳින්න උගෙන සරල ගැටලුවලින් පටන්ගෙන සංකීර්ණ ගැටලු දක්වා ගියා. සමහර ගැලීම් සටහන් පිටු ගණන් දිගයි. ඒවා හරි ලස්සනට පාට පාටින් නිවැරදි හැඩතල අඳිමින් පිළිවෙලකට කළ යුතු වුණා. නැත්නම් බැනුම්. සිය ගණනක් විතර සටහන් අඳිනකොට තාර්කික සිතීම පත්තියම් වෙලා. ඊට පස්සේ ඒ හැම එකකටම Pseudo Code ලියන්න ඉගැන්නුවා. ඒක අර රූපමය සටහන් කේත ආකාරයෙන් ලියන ක්‍රමයක්. ප්‍රාථමික මෘදුකාංග භාෂාවක් වගේ. ඊළඟට තමයි ඒ හැම ගැටලුවකටම සහ තවත් ගැටලුවලට පැස්කල් භාෂාවෙන් මෘදුකාංග ලීවේ. ඒකත් මුලින් පොතේ ලියලා තමයි පරිගණකයේ ලියා බලන්නේ. ඒ වෙනකොට ඕනෑම ගැටලුවකට තාර්කිකව විසඳුමක් හොයන හැටි හීනෙනුත් පේනවා. මා හිතනවා අදටත් මා සිතන තාර්කික ආකාරයට එය තදින්ම බලපෑවා කියා. ඔය කාලේ (2001/02 වගේ මතක) තමයි මුලින්ම Microsoft Windows XP ආවේ. මට මතකයි NIBM එකේ පරිගණකයක ඒක Install කරලා අපට පෙන්නුවේ හරියට වටිනා මැණිකක් ප්‍රදර්ශනය කරනවා වගේ. ඊට කලින් වින්ඩෝස් 2000 වගේ යන්තම් පාට තියෙන කළු සුදු ටීවී වගේ මගුල් වලට හුරු වෙලා හිටපු අපට XP පාට පිරිච්ච ලෝකයක් අමුතුම මිහිරක්...
ඒත් එදා සහ අද පරිගණක තාක්ෂණය අතර ලොකු වෙනසක් තියෙනවා. අද මෘදුකාංග ලියන විවිධ භාෂා තිබෙනවා. ඒවායේ කේත සහ ව්‍යාකරණ ඉගෙන නොගත්තත් ඒවා ලියන තාර්කික පියවර මට අදටත් පහසුවෙන් කිව හැකියි. ඒ පදනම දැමූ ගුරුවරුන්ට මාගේ ස්තුතිය සමග මා ඒ සඳහා යොමු කළ මගේ පියාණන්ට මගේ ආදරය හිමිවේ. අද දරුවන් මෘදුකාංග ඉගෙන ගන්නේ ඒ විදිහට නොවෙයි. කෙලින්ම භාෂාවක් ඉගෙන ගන්නවා. නමුත් එයත් අද ප්‍රමාණවත් නැහැ. ඔවුන් සොයනවා එම මෘදුකාංගයෙන් කිසියම් අතට අහුවෙන ප්‍රතිඵලයක්. පරිගණක තිරයේ දිස්වෙන ප්‍රතිඵලය ඔවුන්ට මදි. ඒ නිසා තමයි මෘදුකාංගයක් ලියා කිසියම් වැඩක් කළ හැකි ආකාරයේ කුඩා පරිපථ සහිත මෙවලම් නිර්මාණය වී තිබෙන්නේ. මට ළඟදී මුණ ගැසුණා එවැනි මෙවලමක් හදපු ලාංකික තරුණ ව්‍යවසායකයන් කණ්ඩායමක්. ඔවුන්ගේ නිෂ්පාදනය තමයි MagicBit. ඒකත් ඇත්තටම කුඩා පරිගණකයක්. නමුත් වෙනස තමයි ඒකට විවිධ උපකරණ පහසුවෙන් අමුණන්න පුළුවන්. උදාහරණයක් ලෙස කාමරයේ උෂ්ණත්වය මනින උපකරණයක් අමුණලා ඒ උෂ්ණත්වය අනුව එයටම අමුණන මෝටරයක් කරකවා සුළං පහරක් එන්න හදන්න පුළුවන්. ඒ උපකරණ භාවිතා කරලා කිසියම් වැඩක් කරගන්න පුළුවන් විදිහට ඒ මෙවලමට මෘදුකාංග ලියන්න පුළුවන්. එවැනි සරල වැඩක සිට අඟහරු මතට ගොඩබස්සවන රොබෝ යානයක් දක්වා මේකෙන් හදන්න පුළුවන්. ඇත්තටම මෙවැනි ව්‍යවසායකයන්ට අප මුල් තැන දෙන්න ඕනා. ඔවුන්ට හැකි උපරිමයෙන් අප ආයෝජනය කරලා උඩට ගන්න ඕනා. මේ මෙවලම් භාවිතා කරලා අපේ රටේ හැම පාසලකම පරිගණක විද්‍යාව උගන්වන්න ඕනා. එතකොට තමයි ඒවායින් අලුත් අලුත් අදහස් විසඳුම් නිෂ්පාදන බිහිවෙන්නේ. මම ඔවුන්ගේ වටිනා නිෂ්පාදනය මගේ කුඩා පුතුන්ට තිලිණ කරනවා, සමහර විට මගේ පියා මට දුන්නා වගේ දැනුමක් මගේ කුඩා පුතුන් දෙදෙනාටත් ඉදිරි කාලයේදී එයින් ලැබේවි.
ඉකොනොමැට්ට දැන් වැඩිය ලිපි දාන්නෙත් නෑ, ප්‍රතිචාර වලට වැඩිය උත්තර දෙනවා දකින්නත් අමාරුයි.
ReplyDeleteදැනුම උදව් වෙයි පණ බේරා ගන්න
ReplyDeleteනොදැනුම නිසා සිදු වෙයි බිල්ලට යන්න
හිත තිබුණාට දැනුමෙන් පරිණත වෙන්න
ඇහැකිද හැමෝටම? වෙහෙසක් නොදරමින
දෙයියන් දැනුම දෙන තුරු සමහරු සිටිතී
හෙයියන්මාරුවට තව අය කල් බලතී
මරු ආවාම එළිපත්තට සලිත වෙතී
මැරුණම මොකද 'මිනිහෙක්' විදිහට පැවැතී?
නිදී,
Deleteමේකේ තියෙනවා තොරණේ විස්තරය
https://m.facebook.com/100001536295585/posts/2703189676408882/?sfnsn=mo&__tn__=R-R
ඉකෝන් දන්නවා ඇතිනේ ඊයෙ ලංකාවේ උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ නිකුත් වුණ ප්‍රතිඵල එක්ක ගොඩක් අය තමන්ගෙ අනාගත ඉරණම, දැන්ම ඉඳන්ම තීරණය කරලා තිබුණ බව සමාජ ජාල වල දක්නට ලැබෙන ඔවුන්ගේ අදහස් අනුව මම දැක්කා. ඒ අතරිනුත් ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුණෙ හැකි ඉක්මනින් ව්‍යවසායකයෙක් (Entrepreneur) වෙන එක මිසක්, වැඩිදුර අධ්‍යාපනයක් ලබන එක නෙමෙයි. ඒ නිසා ඒ හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නත් එක්ක මම මේ කතාව කියන්න හිතුවෙ.
ReplyDeleteඔයාල හැමෝම දන්න විදියට ඒ කාලෙ තිබුණ දුෂ්කරතා එක්ක මට ඉහළට අධ්‍යාපනය ලබන්න අවකාශ නොලැබුණත්, වාසනාව සහ චිත්ත ධෛර්යය මත මම ව්‍යාපාර ගණනාවක් ගොඩනඟාගත්තා. ඒ අතරිනුත් බොහෝ ව්‍යාපාර අතිශයින් සාර්ථක වෙන්න මූලික අඩිතාලම බවට වුණේ මගේ අත්දැකීම්, යාවත්කාලීන වීම සහ මූල්‍ය විනය කියන ගුණාංගයි. එකාතකින්, ඒක මගේ දෛවය සහ ලැබීම වෙන්න ඇති. ඒත් එහෙම වුණා කියලා, මම මගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන එක කිසිම මොහොතකකදිවත් අතපසු කළේ නෑ.
මම එයාලගෙ මූලික අධ්‍යාපනයෙ සිට ද්විතීය, තෘතීය සහ වෘත්තීමය අධ්‍යාපනය වෙනකල්ම පසුපසින් සිටගත්තා. මට සල්ලි තිබුණ කියල කිසිදවසක මම මගේ දරුවන්ව අධ්‍යාපනයක් සහ දැනුමක් නොමැතිව මගේ ව්‍යාපාර වලට සහ සම්බන්ධ කරගත්තෙ නෑ. උදාහරණයක් ලෙස මගෙ පුතා වෘත්තියෙන් ගුවන් නියමුවෙක්. ඒත්, ඔහු ඔහුගෙ වෘත්තීමය හැදෑරීම් නිමා කරලා අද වෙනකොට මගේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට මගේ ව්‍යාපාර මෑතකාලීනව තාක්ෂණයත් සමඟ දියුණු වුණේ ඔහුගේ දැනුම සහ සංකල්ප මත කියන දේ මම පිළිගන්නවා. මොකද නිසි අධ්‍යාපනයක වටිනාකම අපිට මෙතෙකයි කියා නිමකරන්න බැරි නිසා.
ඒ නිසා මට ඔය දරුවන්ට කියන්න තියෙන්නෙත් ඒ ටිකම පමණයි. ඔයාලට ඉගනගන්න පුලුවන් කාලෙ අනිවාර්යයෙන්ම ඉහළටම ඉගන ගන්න. නව දැනුම, තාක්ෂණය සමඟ යාවත්කාලීන වෙන්න. මොකද ඕනම ව්‍යවසායක් වෙනුවෙන්, අධ්‍යාපනය මත ලබන අත්දැකීම් ජීවිතයට බොහෝ සෙයින් වැදගත් වන නිසා. ඒ නිසා එක් ප්‍රථිඵලයක් මත තමන්ගෙ ජීවිතයම තීන්දු නොකර, ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න ඕන එහෙම නේද? මේ ගැන ඔබට මීට වඩා හොඳ පෝස්ට් එකක් දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ලංකාවේ උසස් පෙළ සිසුන් සඳහා වැදගත් වන පෝස්ට් එකක් දාන්න ඊළඟට.
බොහොම ස්තූතියි.
ඉක්නමැට්ටාගෙන් නීති උපදෙස් ඕන පොඩි වැඩකට,
ReplyDeleteමම පහුගිය අප්‍රේල් මාසේ 29 වෙනිදා ලංකාවේ තිබුණ වෙඩිං එන්ගේජ්මන්ට් එකක ඡායාරූප අරගෙන සේරම පින්තූර මුද්‍රණය කරලා ඇල්බම් එක හදල ගෙදර තියලා තිබුණා. වැඩේට මම පොඩි ඇඩ්වාන්ස් එකක් විතරයි ගත්තේ.
අද උදේ මම වෙනත් ඡායාරූප ගන්න වැඩක් සඳහා ගිහින් හිටපු ගෙදර නැති වෙලාවක ඒ කපල් එක ඇවිත් සල්ලි නොදී මුද්‍රණය කළ ඇල්බම් එක අරගෙන ගිහින්. මම කෝල් එකක් දුන්නාම කියනවා ෆොටෝ ටික හරි නෑ ඒ නිසා ඉතුරු සල්ලි දෙන්න බෑ කියල. එතකොට මම කියුව එහෙනම් ඇල්බම් එක රිටන් කරන්න කියලා ඒකත් බෑලු. මේකට මම මොකද කරන්නේ? නීතිමය ක්‍රියාමාර්ග කරා යාමට හැකියාවක් ඇති නිසා මේකට කළ හැකි දේ මොනවාද?
ප.ලි. මේ අය ඒ පින්තූර ෆේස් බුක් එකේ දාල තියෙන්නෙ. මම තව දුරටත් ඔහුගේ ෆේස් බුක් කාලරේඛා බැලුවාම ඔහු උග්‍ර ලෙස ආණ්ඩුව විවේචනය කරන දැඩි ආණ්ඩු විරෝධී දේශපාලන අදහස් දරන අයෙක් බව පැහැදිලියි නමුත් මේක නීතිය ක්‍රියාත්මක කිරීමේදී මගේ වාසියට හරවා ගැනීමට හැකි වෙයිද? කරුණාකර මේකට උදවු කරන්න.
ඇල්බම් එක උන්ට ගෙනියන්න දුන්න එකාගෙ කලිසම පාත් කරල පිටි අත්ලෙන් පාරවල් දහයක් ගහන්න.
Delete