වෙබ් ලිපිනය:

Showing posts with label විදේශ ණය. Show all posts
Showing posts with label විදේශ ණය. Show all posts

Tuesday, December 14, 2021

ඉන්දියානු සහන පැකේජය ප්‍රශ්නයට විසඳුමක්ද?


ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත දැඩි අන්තරායකාරී මට්ටමකට පහත වැටී තිබේ. එසේ වුවද, පෙර ලිපියෙන් විස්තර කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේදී පියවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට මහ බැංකුවේ තිබෙන සංචිත ප්‍රමාණවත් බැවින් ජනවාරි අවසානය දක්වා ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානමක් නැත. එහෙත්, ජූලි මාසයේදී පියවිය යුතු ඇමරිකන් ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට තිබෙන සංචිත ප්‍රමාණවත් නොවන බැවින්, කිසියම් ආකාරයකින් සැලකිය යුතු විදේශ ණය මුදලක් ලබා නොගතහොත්, ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වනු ඇත.

මාධ්‍ය වාර්තා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට මේ වන තුරුද ආණ්ඩුව තීරණයක් ගෙන නැති අතර, ශ්‍රී ලංකා රජය ණය පැහැර හැරීමේ අවදානමෙන් බේරා ගැනීමට ඉන්දීය රජය සූදානම්ව සිටී. මේ ඉන්දීය සහන පැකේජය හරහා සිදු වනු ඇත්තේ කුමක්ද? 

ආහාර හා ඖෂධ අර්බුදයට සහනයක් කියා කියන විටම මතක් වන්නේ පූමාලයි මෙහෙයුම වුවත්, සිවිල් යුද්ධයෙන් පසු බොහෝ දුරට අමතක කරනු ලැබ ඇති ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය හා යෝජිත ඉන්දියානු විසඳුම් නැවත කාඩ් කුට්ටමේ උඩට පැමිණීම ඇතුළු ආර්ථික නොවන කරුණු අපි දැනට නොසලකා හරිමු. ඉන්දියාවෙන් ලැබෙන ඊනියා සහන වලින් කොටසක්, මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදිම කටයුතු සිදු වුවහොත්, ආයෝජන ලෙස ලැබෙනු ඇත. ඉතිරි කොටස වාණිජ ණය ලෙසත්, මුදල් හුවමාරු ගිවිසුම් යටතේත් ලැබෙනු ඇත. 

ඉන්දීය ආයෝජන වලින් ලංකාවේ ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් ලැබෙනු ඇති නමුත් මේ ආයෝජන ක්ෂණිකව හෝ දිගුකාලීනව ලංකාවේ ගෙවුම් ශේෂ හිඟයට පිළියමක් නොවනු ඇත. එමෙන්ම, මෙකී ආයෝජන වහාම සිදු වේයැයි සිතිය නොහැකිය. ගෙවුම් ශේෂ ප්‍රශ්නයට ක්ෂණික පිළියමක් විය හැක්කේ අදාළ ආයෝජන සිදු කිරීමේ ආරම්භක පියවරක් ලෙස ශ්‍රී ලංකා රජය සතු කවර හෝ භෞතික සම්පතක් ඉන්දීය සමාගමකට විකිණීමෙන් ක්ෂණිකව ලැබෙන මුදලක් පමණි. එවැනි විකිණීම් කොපමණ සිදු වනු ඇත්ද, ඒ හරහා කොපමණ මුදලක් ලැබේද යන්න ඉදිරි මාස කිහිපය හෝ වසර තුළ දැන ගන්නට ලැබෙනු ඇත. ඒ හැර, ආයෝජන සේ පැමිණෙන වෙනත් මුදලක් වේනම්, ඒ මුදල් නැවත ඉන්දියාවටම යනු ඇත. ලංකාවට පැමිණෙනු ඇත්තේ එම මුදල් වල වටිනාකමට සරිලන ආයෝජන භාණ්ඩයි.

වාණිජ ණය හේතුවෙන්ද ලංකාවට සෘජුව විදේශ විණිමය ගලා නොඑනු ඇත. මේ ණය මුදල් වලින් කළ හැක්කේ ඉන්දියාවෙන් ආහාර, ඖෂධ හා ඉන්ධන ආනයනය කිරීමයි. වෙනත් අයුරකින් කිවහොත්, ඉන්දියාව කරන්නේ පසුව මුදල් අය කර ගැනීමේ පදනම මත ආහාර, ඖෂධ හා ඉන්ධන සැපයීමයි. පාලනය කර තිබෙන විනිමය අනුපාතය යටතේ මෙසේ ඉන්දියාවෙන් ලැබෙන ආහාර, ඖෂධ හා ඉන්ධන ලාංකිකයින් විසින් සතුටින් පරිභෝජනය කරනු ඇති අතර ඒ වෙනුවෙන් පොලියද සමඟ මුදල් ගෙවීම අනාගතයට ඉතිරි වනු ඇත. බොහෝ විට මේ අනාගතය එතරම් දුරු අනාගතයක් විය නොහැකි අතර වැඩිම වුනොත් වසර කිහිපයක් වනු ඇත.

මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලැබෙන්නේ ඉන්දියානු රුපියල්ද එසේ නැත්නම් ඩොලර්ද යන්න නිශ්චිතව සඳහන් වී නැත. බොහෝ විට මෙසේ ලැබෙන්නේ ඉන්දියානු රුපියල් විය හැකිය. ඒ අනුව, එම මුදල් යොදා ගත හැකි වනු ඇත්තේද ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවීමට පමණි. අවසාන වශයෙන් මේ ඉන්දීය සහන පැකේජය හරහා ලැබෙන එක් සතයක් හෝ මුදල් ලෙස ලංකාවට නොලැබීමට ඉඩ තිබේ. 

චීනය විසින් මීට කලින්ම මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලංකාවට ඩොලර් බිලියන 1.5කට පමණ සමාන යුවාන් ප්‍රමාණයක් ලබා දී ඇතත්, ඒ මුදල්ද මුදල් ලෙස ලංකාවට නොලැබෙන ණය පහසුකමක් පමණි. අදාළ මුදල් ප්‍රයෝජනයට ගත හැක්කේ චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා චීන ණය ගෙවීමට පමණි. දැන් ඉන්දියාව විසින් ලබා දී තිබෙන්නේද එවැනිම විකල්පයකි.

කෙසේ වුවද, මෙයින් අදහස් වන්නේ මේ සහන පැකේජ වලින් ලංකාවට ප්‍රයෝජනයක් නැති බව නොවේ. 

සංක්ෂිප්ත කිවහොත්, ලංකාවට වෙළඳ ගිණුම හරහා ඩොලර් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් හා යුරෝපයෙනි. ඉන්දියාව හා චීනය විසින් පසුගිය කාලය තුළම කළේ අපනයන හරහා එසේ ලංකාවට බටහිර රටවලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය එකතු කර ගැනීමයි. චීන මුදල් හුවමාරු ගිවිසුම හා යෝජිත ඉන්දීය සහන පැකේජය නිසා තාවකාලිකව ඉන්දියාව හා චීනය විසින් ලංකාවට බටහිරින් ලැබෙන ඩොලර් එකතු කර ගැනීම නවතිනු ඇත. එහිදී බටහිර රටවලින් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස මැද පෙරදිගින් ලැබෙන ඩොලර් වලින් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයේ ණය ආපසු ගෙවීම සඳහා රට තුළ ඉතිරි වනු ඇත. මෙය ප්‍රශ්නයට තාවකාලික විසඳුමකි. 

සියල්ල මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි සිදු වුවහොත්, මේ හරහා ජූලි මාසයේ ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ ප්‍රශ්නය විසඳෙනු ඇති අතර, ඇතැම් විට ලබන වසර අවසානය දක්වාම ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කර ගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත්, එපමණකින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

ආකෘතිමය ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් පවතින තාක් එම ශේෂය විදේශ ණය වලින් පියවන්නට සිදු වන නිසා මේ අයුරින් වරකට ලැබෙන සහන පැකේජයකින් සිදු වන්නේ තාවකාලිකව ප්‍රශ්නය කල් දමාගෙන හුස්මක් ගන්නට ඉඩක් ලැබීම පමණි. යම් ආකාරයකින් ඉදිරි වසර කළමණාකරනය කර ගත්තද, එතැනින් ඔබ්බට ඉදිරියට යන්නටනම් කොහෙන් හෝ දිගින් දිගටම මේ ආකාරයේ සහන පැකේජ ලැබිය යුතුය. එහෙත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් නැතුවාක් මෙන්ම ඉතා ඉක්මණින් මෙසේ අලුතෙන් ලබා ගන්නා ණයද ගෙවා දමන්නට සිදු වනු ඇත. එතරම් ඉක්මණින් මැතිවරණයක් නොපැමිණෙන බැවින් ප්‍රශ්නය තවදුරටත් මේ ආණ්ඩුවේම ප්‍රශ්නයක්ව පවතිනු ඇත.

ඉහත සන්දර්භය තුළ, ඉන්දීය සහන පැකේජය ලැබුණේ වුවද, එයින් පවතින තත්ත්වය බරපතල ලෙස වෙනස් නොවනු ඇත. මේ අලුත් තත්ත්වය යටතේ වුවද, මේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට සිදුවීම ආසන්න අනිවාර්යතාවයකි.

Friday, December 10, 2021

ඩොලරයක මිලෙන් නොවැසෙන ආර්ථිකයේ හෙළුව


ඇමරිකාවේ ශීත සෘතුව හා වසරාන්ත නිවාඩු කාලය එළැඹෙමින් තිබෙනවා. මේ නිවාඩු සමයේ දන්නා කියන කීප දෙනෙක්ම ලංකාවට යන්න සූදානමින් ඉන්නවා. වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට පෙර දෙවසර තුළ ලංකාවට යන්න ලැබුණේ නැහැ. ඔමික්‍රෝන් නිසා අනාගතය පිළිබඳව තිබෙන්නේද අවිනිශ්චිත තත්ත්වයක්. ග්‍රීක හෝඩියේ අකුරු ඉවර වෙනකම් කෝවිඩ් ප්‍රභේද අලුතෙන් එන එක ඉවර වෙන එකක් නැහැ. 

ඇමරිකාවේ ඉන්න ගොඩක් අය ලංකාවට යන්න මේ කාලය තෝරා ගැනීම තේරුම් ගත හැකියි. ගුවන් ගමන්පත් මිල වුවත් සාමාන්‍ය වසරකදී තරම් වැඩි නැහැ. එහෙත්, සංචාරය කරන්නෙකු විසින් අනුගමනය කළ යුතු නියාමන රෙගුලාසි ගණනාවක් තිබෙනවා. පෞද්ගලිකව සංචාරයට කොයි තරම් ලැදි කෙනෙක් වුවත්, සංචාරය කිරීමේදී සැපිරිය යුතු විවිධ කොන්දේසි එක්ක රටින් එළියට යන එක ගැන මටනම් තවමත් හිතන්න අමාරුයි. රට ඇතුළේ වුවත් ගුවනින් යන ගමනකින් සතුටක් ලැබිය හැකි තත්ත්වයක් තවමත් නැහැ.

ඇමරිකාවේ සිට ලංකාවට යන අයට කොහොමටත් ලංකාවෙන් විවිධ ඉල්ලීම් එනවා. ගොඩක් වෙලාවට මේ වගේ ඉල්ලීම් එන්නේ සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට සංචාරය නොකරන, බොහෝ විට රටින් එළියට ගිහින්ම නැති, නෑදෑයන් වගේ අයගෙන්. පෙනෙන විදිහට දැන් මේ තත්ත්වයේ වෙනසක් වෙලා. ලංකාවට යන ගොඩක් අයට මෙවර විවිධ ඉල්ලීම් කර තිබෙන බව පෙනෙන්නේ සාමාන්‍යයෙන් නිතර රටින් පිට සංචාරයෙහි යෙදෙන ඉහළ මධ්‍යම පාංතික යහළු යෙහෙළියන් විසින්. ගොඩක් අයට අවශ්‍ය මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ. විශේෂයෙන්ම විවිධ සන්නාම වල සුවඳ විලවුන්, චර්මාලේප වගේ දේවල් හා පරිගණක උපාංග, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය. 

ගොඩක් අය කියන්නේ "සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔය බ්‍රෑන්ඩ් එකම ගේන්න. ලංකාවට ආවහම සල්ලි දෙන්නම්" කියලා ලංකාවේ යාලුවෝ කියනවා කියලයි. ටික දවසකට ලංකාවට යන මේ ගොඩක් අයට දැන් තිබෙන ප්‍රශ්නය ලංකාවේදී ලැබෙන රුපියල් වලට කරන්නේ මොකක්ද කියන එකයි. සාමාන්‍යයෙන් ලංකාවට යන අය සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලංකාවේදී රුපියල් වලට මාරු කරන නමුත් මෙවර මේ ගොඩක් අය එහෙම කරන එකක් නැහැ. ඉලෙක්ට්‍රොනික බඩු, රූපලාවන්‍යය සඳහා අවශ්‍ය දේ පමණක් නෙමෙයි. ඉස්සර ලංකාවෙන් ඇමරිකාවට එද්දී කහ කුඩු අරගෙන ආපු අය දැන් ලංකාවට කහ අරගෙන යනවා. මම හිතන්නේ කොළඹ අවට ඉන්න දෙමළ අයට එහෙම කහ නැතුවම බැරි දෙයක්. 

මේ යන අයට ඒ අයගේ ලංකාවේ යාලුවෝ රුපියල් දෙද්දී ඩොලර් එකකට කීය ගානේ රුපියල් දෙයිද? හොඳ ප්‍රශ්නයක් වුනත් පෞද්ගලික කරුණක් නිසා ආපසු ආවට පස්සේ ඔය වගේ දේවල් හාරා අවුස්සා අහන්න බැහැ. සමහර විට නිල අනුපාතය වන රුපියල් 200 බැගින් හෝ පොඩ්ඩක් වැඩියෙන් දෙයි. 

ලංකාවේ ඩොලර් සංචිත පිළිබඳ අලුත්ම තත්ත්වය ගැන කිහිප දෙනෙක් විසින්ම දැනුවත් කිරීම් කර තිබුණා. නොවැම්බර් අවසානය වෙද්දී නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. මේ ගණනට රන් සංචිත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති වත්කම් ආදියත් ඇතුළත්. නොවැම්බර් මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ඩොලරයේ මිල තිබෙන මට්ටමේ තියා ගැනීම සඳහා ඩොලර් මිලියන 311ක් විකුණා තිබෙනවා. 

ඔක්තෝබර් මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ඩොලර් මිලියන 1,260ක් පමණ දක්වා ඉහළ ගිහින්. බැංකු පද්ධතියම ගත්තොත් ඩොලර් බිලියන 4,180ක පමණ හිඟයක් තිබෙනවා. නොවැම්බර් මාසය තුළ මේ තත්ත්වය තවත් දරුණු වී තිබිය යුතු බව පැහැදිලියි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර්ද විශාල ලෙස පහළ යමින් තිබෙනවා. මහ බැංකුව හදන්නේ මුදල් හුවමාරු කරන්නන් බය කර ඩොලරයේ කළු කඩ මිල පාලනය කරන්නයි. එයින් සිදු විය හැක්කේ කළුකඩය හරහා එන ඩොලර් වලින් කොටසක් අඩුවන එක පමණයි. ඩොලර් ඇති අය ඩොලර් රුපියල් නොකරන්නේ මිල සාධාරණ නැති නිසා. කළුකඩ විකල්පය නැති වුනා කියා මේ සල්ලි බැංකු පද්ධතියට එන්නේ නැහැ. යම් ප්‍රමාණයක් පමණක් එයි. බොහෝ විට එහි වාසියට වඩා ශුද්ධ ලෙස රටට ඩොලර් නොපැමිණීමේ පාඩුව වැඩියි. 

සංඛ්‍යාලේඛණ පිරික්සා නැතත් ලංකාවට එන සංචාරකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය. විදේශයක පුරවැසිභාවය ලබාගත් අයෙක් සංචාරක වීසා මත රටට පැමිණෙන විට සංඛ්‍යාලේඛණ වල ඔවුන් පෙනෙන්නේ අදාළ රටෙන් පැමිණි සංචාරකයන් ලෙසයි. ඔවුන් වගේම ද්විත්ව පුරවැසියන්ද ලංකාවේ සංචාරය කරද්දී ඩොලර්, පවුම්, යුරෝ ආදිය අරගෙන ඇවිත් මාරු කරනවා. සංචාරක ඉපැයීම් වල මෙවැනි ලැබීම්ද සැලකිය යුතු කොටසක් තිබෙනවා. මා ලිපිය මුලින්ම විස්තර කළ තත්ත්වයන් යටතේ වෙන්නේ මෙවැනි ලැබීම් අහිමිව යාමයි. 

ඩොලරයේ මිල ස්ථිරව තියා ගන්න යාම නිසා ලංකාව විශාල වන්දියක් ගෙවා තිබෙනවා. වත්මන් අර්බුදයට පාදක හේතුව රජයේ අයවැය හිඟය වුවත් ආසන්නම හේතුව විදේශ ණය යොදවා ඩොලරයේ මිල පාලනය කිරීමයි. අයවැය හිඟය 1947 සිට පවතින ප්‍රශ්නයක් වුවත්, වත්මන් ඩොලර් හිඟයට හේතු වී තිබෙන අවුලේ ලංකාව පැටලුනේ 2010 වසරේදී. ඩොලරය 200 මට්ටමේ තියා ගන්නා තුරු සිදුවන්නේ විනාශය තවතවත් දරුණු වීම හා ඉක්මන් වීම පමණයි.

දැන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ගොඩ දාගන්නවත් කාලයක් නැහැ. ලංකාවට ඉතා ඉක්මණින් ඉන්දියාවෙන්, චීනයෙන් හෝ බටහිර රටකින් ලොකු ඩොලර් ණයක් ගන්නම වෙනවා. ඉතිරිව තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් ආර්ථිකයේ හෙළුව වහගෙන ඉන්න කොයි තරම් හැදුවත්, ඔය සොච්චම් ඩොලර් ටික පොඩ්ඩක් එහාමෙහා වූ විට කාලයක් තිස්සේ වහගෙන ඉන්න අවලස්සන දේවල් ඔක්කොම එළියේ!

(Image: https://cartoonmovement.com/cartoon/fistful-dollars-0)

Saturday, November 13, 2021

අයවැය අභියෝගය


තවත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. තවත් අයවැයක් කියා කිවුවත් මෙය තවත් අයවැයක්ම නෙමෙයි. ලංකාව තීරණාත්මක මංසන්ධියකට එළැඹ සිටින අවස්ථාවක ඉදිරිපත් කෙරෙන අයවැයක්. ලෝකය පුරා විසිරී සිටින, ලංකාව ගැන කවර ආකාරයක හෝ උනන්දුවක් තිබෙන බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි අයවැයක්.

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් පිළිබඳ ලියවිල්ලක් මිසක් එය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන පුද්ගලයාගේ ලොකු තාත්තා, තාත්තා හා අයියා ඇතුළු පරම්පරාව ගැන පුරාජේරු ගහන්න හදන ලියවිල්ලක් නොවන නිසා අපි කෙළින්ම අවශ්‍ය තැනට යමු. 

ඉදිරි වසර සඳහා යෝජිත රජයේ ආදායම් හා වියදම් මෙහෙමයි.

මුළු ආදායම - රුපියල් බිලියන 2,284යි.

මුළු වියදම - රුපියල් බිලියන 3,912යි.

අයවැය හිඟය - රුපියල් බිලියන 1,628යි.

රුපියල් බිලියන 1,628ක අයවැය හිඟයක් පවත්වා ගන්න සැලසුම් කරනවා කියන්නේ ඒ අඩුව ණය වලින් පුරවා ගත යුතුයි කියන එකයි. ඊට අමතරව, ඉදිරි වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා. නමුත්, දැන් ලංකාව ඉන්නේ ලේසියකට විදේශ ණය ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒ නිසා, අයවැය හිඟය පියවන්න වෙන්නේ දේශීය ණය වලින්.

රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 508ක විදේශ ණය ලබා ගන්න සැලසුම් කර තිබෙනවා. එහෙත්, වසර තුළ ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 687ක්. ඒ නිසා, අයවැය හිඟය වන රුපියල් බිලියන 1,628ට අමතරව විදේශ ණය වලින් කොටසක් පියවීම සඳහාද රුපියල් බිලියන 179ක දේශීය ණය ලබා ගන්න අවශ්‍ය වෙනවා.

මේ අනුව, දේශීය ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 1,807ක්. එයින් රුපියල් බිලියන 501ක් බැංකු අංශයෙන්ද ඉතිරිය බැංකු නොවන අංශ වලින්ද ලබා ගැනීම සැලසුමයි.

රුපියල් බිලියන 508ක විදේශ ණය කියා කියන්නේ ඩොලරය රුපියල් 200 ගණනේ ගණන් හැදුවොත් ඩොලර් බිලියන 2.54ක්. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 150ක් (ඉහත විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 750ක්) වාණිජ ණය ලෙසත්, ඉතිරි මුදල ව්‍යාපෘති ණය ලෙසත් ලබා ගන්නට යන බවයි සඳහන්ව තිබෙන්නේ.

ව්‍යාපෘති ණය සාමාන්‍යයෙන් හදිසියේ ලබා ගන්න බැහැ. මේ ඇස්තමේන්තුව පදනම් වෙනවා ඇත්තේ දැනට යෝජනා ඉදිරිපත් කර ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු සිදු වෙමින් තිබෙන (pipeline එකේ තිබෙන) ව්‍යාපෘති මත පදනම්ව විය යුතුයි. එසේ වුවත්, එවැනි ව්‍යාපෘති ණය අපේක්ෂා කළ පරිදිම ලැබෙන බවට සියයට සියයක සහතිකයක් නැහැ. මිලියන 750ක් කියා කියන්නේ ලංකාව අරගෙන තිබෙන ණය වල හැටියට ලොකු ණයක් නොවුණත්, මේ වෙලාවේ එවැනි මුදලක් වුවත් වාණිජ ණය ලෙස ලබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්.

මේ ණය සියල්ල ගත්තත් ලබන වසරේ ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 900ක් පමණ දේශීය වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ දේශීය වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ ඩොලර් බිලියන දෙකක හෝ තුනක ණය වෙළඳපොළට සැපයීමෙන් පසුවයි. ඒ වැඩේ කරන්න බැරි වීමෙන් පසුව සංචිත ක්ෂය වෙන්න පටන් ගත්තා. ඉන් පසුව, ආනයන පාලනය කරන්න සිදුවුණා.

දැන් සංචිත ඩොලර් මිලියන 2,268 දක්වා පහත වැටිලා. ඒ, විශාල ලෙස ආනයන පාලනය කරන පසුබිමක. මේ වගේ තත්ත්වයක් තුළ රටට එන ඩොලර් වලින් ඩොලර් මිලියන 900ක් ණය ගෙවන්න ගන්නවා කියන්නේ එම අඩුව හා ගැලපෙන පරිදි තව දුරටත් ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. එසේ නැත්නම්, සංචිත තවත් අඩු වෙනවා කියන එකයි.

මේ විදිහට ඩොලර් මිලියන 900ක් දේශීය වෙළඳපොළෙන් හොයා ගෙන ගොඩ දාගන්න පුළුවන් වෙන්නේත් අපේක්ෂිත පරිදි ඩොලර් බිලියන 2.54ක් ණය ගන්න පුළුවන් වුනොත්. වාණිජ ණය ලෙස ඩොලර් මිලියන 750ක් ලබා ගැනීම බොහෝ විට සිදු නොවෙන්න පුළුවන්. ව්‍යාපෘති ණය වුවත්, ඇස්තමේන්තුවේ තිබෙන තරමටම නොලැබෙන්න වැඩි ඉඩක් තිබෙනවා. බොහෝ විට සිදු විය හැකි පරිදි, විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත යුතු ඩොලර් අවශ්‍යතාවය ඩොලර් මිලියන 900ක් නොවී ඩොලර් බිලියන 2ක් පමණ වුවහොත්, එය ඉතාම දරුණු තත්ත්වයක්.

සංචාරක කර්මාන්තය යම් තරමකින් හිස ඉසෙවුවොත් එයින් සහනයක් ලැබෙයි. එහෙත්, ඉදිරි වසරේදී එසේ සංචාරක කර්මාන්තය හිස එසෙවුවත්, වසංගතයට පෙර පැවති මට්ටමට නැවත යාමේ ඉඩක් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට සංචාරකයෝ රටට ගෙන්නන එකත්, ආනයන සීමා දිගටම පවත්වා ගැනීමත් දෙකම එකට කිරීම අසීරු වැඩක්.

එක දෙයක් පැහැදිලියි. ඒ, ඉදිරි වසර තුළද දැඩි ආනයන සීමා පවත්වා ගන්න සිදු වෙනවා කියන එක. එහි අහිතකර ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා. රට තුළ භාණ්ඩ හිඟය, ආර්ථික වර්ධනය අඩාල වීම හා මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස මිල ගණන් ඉහළ යාම එයින් ප්‍රධාන දේවල්. 

මේ වගේ තත්ත්වයක් යටතේ අපේක්ෂිත පරිදි බදු ආදායම් වැඩි කර ගත හැකි වෙයිද? 

භාණ්ඩ හා සේවා බදු ආදායම වසර තුළ 58.6%කින්ද, ආදායම් බදු ආදායම 68.1%කින්ද, ආනයන බදු ආදායම 21.1%කින්ද, බදු නොවන ආදායම්  32.9කින්ද වැඩි කර ගැනීම සැලසුමයි. වැඩිම මුදලක් උපයා ගන්න සැලසුම් කර තිබෙන්නේ භාණ්ඩ හා සේවා බදු වලින්. මේ බදු  නිසා සෘජු ලෙසම භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ආනයන බදු නිසා වෙන්නේත් බඩු මිල ඉහළ යාමයි. සමාගම් වල ආදායම් මත අය කරන බදු වලින් විශාල කොටසක්ද එම සමාගම් විසින් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනෙන නිසා එයින්ද බඩු මිල ඉහළ යනවා.

පසුගිය ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම දේශපාලන සටන් පාඨයක් කර ගනිමින් බලයට පත් වූ මේ ආණ්ඩුවටද අවසන් වශයෙන් ඒ දේම කරන්නට සිදු වීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවටද ඊට වඩා වෙනස් විකල්පයක් නැති බවයි. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි මිලද සෘජුව හෝ වක්‍රව අය කර ගන්නම වෙනවා.

ලංකාවේ ආණ්ඩු විසින් කාලයක් තිස්සේ රාජ්‍ය අයවැය හරහා ජනතාවට විවිධ සහන ලබා දෙමින් එහි බර ඉදිරි ආණ්ඩුවකට තල්ලු කළා. දැන් එය තව දුරටත් කළ නොහැකියි. මේ යථාර්තයට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනේ යහපාලන ආණ්ඩුවටයි. එම ආණ්ඩුව 2015දී මැතිවරණය ඉලක්ක කර විවිධ සහන දුන්නා. එහෙත්, ඔවුන්ට එවැනි සහන නඩත්තු කරමින් වසර හතරක් ඇද ගන්න පුළුවන්කමක් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අන්තිමට දුන්නාටත් වැඩියෙන් ආපසු ගන්න සිදු වුනා. මෙය කරන්න යාමේදී ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම ගිලිහුණා.

මේ ආණ්ඩුවද බලයට පත් වූ වහාම, මැතිවරණ ඉලක්ක කර, ඊටත් වඩා විශාල සහන දුන්නා. එහෙත්, මේ ආණ්ඩුවට එවැනි සහන නඩත්තු කරමින් ඊළඟ මැතිවරණය දක්වා රාජ්‍යමූල කළමනාකරණය කළ නොහැකියි. මේ ආණ්ඩුවටත් දැන් යථාර්තයට මුහුණ දෙන්න සිදු වෙලා. වෙනත් අයෙකු බලයට පැමිණියා කියලාත් මේ යථාර්තය වෙනස් වෙන්නේ නැහැ. මැතිවරණ පොරොන්දු, අයවැය සහන ගැන බලාපොරොත්තු තැබිය හැකි වූ යුගය දැන් ඉවරයි. අලුතින් බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් එවැනි පොරොන්දු දී එම පොරොන්දු ඉටු කළහොත්, ඊළඟ වසරේ සිටම එසේ ලබා දුන් සහන සියල්ල පොලියත් සමඟ ආපහු ගන්නම වෙනවා.

යහපාලන ආණ්ඩුව දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත්තේ රාජපක්ෂලාගේ "හොරකම්". බැඳුම්කර "හොරකම" එක්ක ඔවුන්ගේ සටන් පාඨය ඔවුන්ටම පාරාවළල්ලක් වුනා. යහපාලන බදු දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත් මේ ආණ්ඩුවටද ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ එවැනිම අභියෝගයකටයි. 

බදු නිසා බඩු මිල ඉහළ යනු ඇතත් ඒ එක්කම ඉල්ලුම පහළ යන නිසා ඇස්තමේන්තු වල තිබෙන තරමට ආදායම් ලැබේයයි සිතිය නොහැකියි. එසේ වුවහොත්, වියදම්ද සීමා කරන්න වෙනවා. අයවැය ඇස්තමේන්තු වල තිබෙන ප්‍රාග්ධන වියදම් වලින් වැඩි කොටසක් කපා හැරෙනු ඇති බවනම් සහතික කර කිව හැකියි. පුනරාවර්තන වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව ඉතාම අසීරු කටයුත්තක්.

දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 1,807ක් ණය ලබා ගැනීමද පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම්ද ඉහළ යනවා. ඒ නිසා, බැංකු අංශයෙන් ණය ගැනීම් අයවැය ඇස්තමේන්තු වල තිබෙන ගණන් ඉක්මවයි කියන එක කියන්න මහ ලොකු විශ්ලේෂණයක් කළ යුතු නැහැ. බොහෝ විට සිදු විය හැකි පරිදි, ඇස්තමේන්තු වල ඇති තරමට විදේශ ණය නොලැබුණොත් ඒ අඩුව පුරවන්න වෙන්නෙත් දේශීය ණය වලින්. ඒ කියන්නේ තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයේ මිල ස්ථාවරව තියා ගෙන ඉන්න එක කරන්න පුළුවන් වෙයිද?

එක දෙයක්නම් පැහැදිලියි. ඒ බඩු මිල විශාල ලෙස ඉහළ යාමට නියමිත බවයි. ගිය වසරේ අයවැය ඇස්තමේන්තු වල ආදායම් අයිතමයන් සැබෑ ආදායම් හා සැසඳූ විට හැම අයිතමයකම වගේ දැකිය හැක්කේ සැබෑ ආදායම ඇස්තමේන්තුවට වඩා අඩු බවයි. හැබැයි ඇස්තමේන්තුව ඉක්මවා අදායම් ලැබී ඇති අයිතමයක්ද තිබෙනවා. ඒ පාස්පෝට් ගාස්තු ආදායම!


Thursday, October 28, 2021

මූඩීස් ලංකාව තවත් පහළට දමයි!


මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ ණය අවදානම Caa1 ශ්‍රේණියේ සිට Caa2 ශ්‍රේණිය දක්වා තවත් කට්ටයකින් පහළට දමා තිබෙනවා. මේ අනුව පෙනෙන්නේ මහ බැංකුවේ නව අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කෙටිකාලීන මාර්ග සිතියම මූඩීස් ආයතනය විසින් සාධනීය ලෙස දැක නැතුවාට අමතරව, තවත් නිශේධනීය ලෙස දැක ඇති බවයි. 

විදේශ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටී තිබියදී, ඉදිරි කාලයේදී ගෙවිය යුතු ණය ආපසු ගෙවීම සඳහා මුදල් සොයා ගත හැකි ක්‍රමයක් පැහැදිලිව පෙනෙන්නට නැති පසුබිමක, මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ තක්සේරුව අනුව ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම තව දුරටත් ඉහළ යාම මෙම තීරණයට හේතු වූ බව එම ආයතනය විසින් පවසනවා. ඒ වගේම, ඉතා කෙටි කාලයක් තුළ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වීමේ දැවැන්ත අවදානම අඩු කර ගැනීම සඳහා රටේ ආයතන විසින් තීරණාත්මක පියවර ගෙන නැති බව මේ නිගමනය තුළින් පිළිබිඹු වන බවද ඔවුන් පවසනවා.

ද්‍රවශීල විදේශ වත්කම් නැති වීමේ අවදානම විශාල ලෙස ඉහළ යාම, මෑතකාලීනව ණය නොවන විදේශ මුදල් යම් ප්‍රමාණයක් හොයා ගෙන තිබුණත් එදාවේල ක්‍රමයට ද්විපාර්ශ්වික ණය හා විණිමය හුවමාරු ගිවිසුම් හරහා මුදල් හොයා ගැනීම කෙරෙහි රජය විශ්වාසය තැබීම, දිගින් දිගටම විශාල අයවැය හිඟයක් නඩත්තු කිරීම හා රජයේ ආදායම් විශාල ලෙස පහත වැටී තිබීම හමුවේ අලුතින් ණය ලබා ගැනීම වඩා වඩා අසීරු වෙමින් තිබෙන බවද මූඩීස් ආයතනය සඳහන් කරනවා.

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අයවැය ඔන්න මෙන්න කියා තියෙද්දී, මූඩීස් ආයතනය විසින් මෙසේ ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීම පිළිගත නොහැකි බවයි.

Thursday, October 14, 2021

කොමිස් ගෙවා ගන්න යන ණය


තෙල් සංස්ථාව විසින් 7%ක කොමිස් මුදලක් ගෙවා ඩොලර් බිලියන 2.5ක ණය මුදලක් ගන්න යන බව වාර්තා වී තිබෙනවා. උදය ගම්මන්පිල විසින් මේ කතාව සනාථ කරලා. ඔහුට අනුව මේ ණය ගන්න යන්නේ තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් බිලියන 3.6ක ණය වලින් කොටසක් පියවන්නයි. රාජ්‍ය බැංකු වලින් ලබා ගෙන තිබෙන ණය සඳහා ගෙවිය යුතු පොලිය 5.5%ක් බැවින් මේ ගන්න යන ණය අරගෙන එම ණය පියවීම ලාබ බවයි ගම්මන්පිල කියන්නේ. 

"ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව A ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා."

"මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. .. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා."

ඔය ණය මුදල ලැබෙයිද කියන එක ගැන උදය ගම්මන්පිලටවත් විශ්වාසයක් නැහැ කියා කියනවා. අදාළ සමාගම පිළිබඳවත් ඇතැම් අය ප්‍රශ්න මතු කර තිබෙනවා. මම මෙය ලියන්නේ ඒ කරුණු සාකච්ඡා කරන්න නෙමෙයි. මූල්‍යකරණ විෂය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් සරල විෂය කරුණක් පැහැදිලි කරන්න. 

සියයට 3ක පොලී අනුපාතිකයක් ගෙවන්න පොරොන්දු වී ගන්න ණය මුදලකින් ගන්න කොටම 7%ක් කපා ගත් පසු පොලී අනුපාතිකය ගම්මන්පිල කියන 3.23%ද?

මේ පොලිය කෙසේවත් 3.23% විය නොහැකියි. අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩි විය යුතුයි. ගණන තීරණය වෙන්නේ ණය මුදලේ අනෙකුත් කොන්දේසි මත. ඒ සඳහා අදාළ ණය මුදල පියවිය යුතු ආකාරය පිළිබඳව විස්තර අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට මේ ණය වසරකට පසුව පියවනවානම් 7% කොමිස් මුදල නිසා 3% පොලී අනුපාතිකය 10.75%ක් දක්වා වැඩි වෙනවා. වැඩි කාලයකින් පියවනවානම් ඒ තරම්ම වැඩි වෙන්නේ නැහැ.

මාධ්‍ය වාර්තා වල තිබෙන විදිහට ණය මුදල වසර 12කින් පියවිය යුතුයි. මුල් වසර දෙක සමා කාලයක් ලෙස සඳහන්ව තිබෙනවා. ඒ අනුව මේ ණය මුදල හා පොලිය වසර දෙකකට පසුව පටන් ගෙන වසර 10ක කාලයක් තුළ සමාන වාරික වලින් ගෙවන්නේයැයි අපි උපකල්පනය කරමු. ඒ අනුව, මුලින්ම කළ යුත්තේ වාරික මුදල හොයා ගැනීමයි. මේ වාරික මුදල වසරකට ඩොලර් මිලියන 310.92 ක්. එම වාරිකය ගෙවද්දී වසර 12ක් තුළ ණය මුදල ගෙවා අවසන් වෙන්නේ පහත ආකාරයටයි.


දැන් මේ ණය මුදල ලබා ගනිද්දීම 7%ක කොමිස් මුදලක් ගෙවනවා කියා කියන්නේ අතට ලැබෙන්නේම ඩොලර් මිලියන 2,325ක් පමණයි. නමුත්, වාරික ඉහත ආකාරයටම ගෙවිය යුතුයි. මේ අනුව, ඵලදායී පොලී අනුපාතිකය වෙන්නේ අදාළ වාරික ගෙවීම් වල වර්තමාන අගය ඩොලර් මිලියන 2,325කට සමාන කරන පොලී අනුපාතිකයයි. ගණන් හදා බැලූ විට මේ පොලී අනුපාතිකය 4.041%ක් වෙනවා. අදාළ ගණනය කිරීම් පහත තිබෙනවා. 


තෙල් සංස්ථාව සාමාන්‍ය ලාබ ලබන ආයතනයක් සේ සැලකුවොත් 4.04%ක පොලියට ණයක් අරගෙන 5.5%ක ණයක් පියවීම ලාබදායක වැඩක් බව පැහැදිලියි. එහෙත්, මෙහි තිබෙන එක් අවුලක් වන්නේ දැන් රාජ්‍ය බැංකු වල ණය පියවන්න යනවා වගේ හදිසියේවත් මේ ණය මුදල කලින් පියවන්න ගියොත් විශාල අලාබයක් වීමයි. උදාහරණයක් විදිහට වසරකට පසුව කොහෙන් හෝ සල්ලි ලැබී, එහෙමත් නැත්නම් වඩාත් අඩු පොලියකට ණය ලැබී, මේ ණය මුදල පියවන්න ගියොත් පොලිය 10.8%ක් පමණ වෙනවා. 

මේ විදිහට කලින් ණය පියවීම මූල්‍යකරණයේදී සිදුවන සාමාන්‍ය හා දුලබ නැති දෙයක් වුවත්, තෙල් සංස්ථාව හා අදාළව මෙය කීයටවත් නොවන දෙයක්නම් අපට මේ සාධකය නොසලකා හැරිය හැකියි. ඒ කියන්නේ කොහොමටත් ඔය ණය වසර 12කට පෙර ආපසු ගෙවන එක හිතන්නවත් බැහැ කියන උපකල්පනය මත වැඩේ අනිවාර්යයෙන්ම වාසියි. 

තවත් ප්‍රශ්නයක් වන්නේ තෙල් සංස්ථාව කියන්නේ  සාමාන්‍ය ලාබ ලබන ආයතනයක් නොවීම. එය ලංකාවේ රජයේම කොටසක්. එතකොට 5.5% පොලියට ණය අරගෙන තිබෙන්නේත් රජයේම තවත් කොටසකින්. ඒ කියන්නේ, මේ 5.5% ඩොලර් වලින් ලැබෙන රජයේම ආදායමක්. මේ පොලී ආදායම රට ඇතුළෙම ඉතිරි වෙනවා. අඩු පොලියට ගන්න ණය සඳහා ගෙවිය යුතු පොලිය රටින් පිටතට යනවා. ඒ අනුව සමස්තයක් ලෙස රජය කියන තනි ඒකකය ගත්තොත් වෙන්නේ රාජ්‍ය බැංකු වල 5.5%ක ඩොලර් පොලී ආදායම අහිමි වී 4.1%ක පොලියක් වසර දහයක් පුරා ඇමරිකානු සමාගමකට ලැබෙන එකයි. 

මේ විදිහට පොලී විදිහට ගෙවන්න වන මුදල ඩොලර් මිලියන 610.92 ක්. කොමිෂන් මුදල ඩොලර් මිලියන 175ක්. ඒ කියන්නේ මේ ගනුදෙනුව නිසා අතට ලැබෙන මුදල වන ඩොලර් මිලියන 2,325ට අමතරව තවත් ඩොලර් මිලියන 775.92ක් රටින් එළියට යනවා කියන එකයි.

එවැනි පාඩුවක් වුනත් මේ වෙලාවේ ලංකාවේ රජය වැටී සිටින තැන අනුව කොහොමටත් කොහෙන් හෝ විදේශ ණය නොගෙනම බැරි නිසාත්, 4.1%ක පොලියකට ඩොලර් හොයා ගන්න එක ලේසි වැඩක් නොවන නිසාත් මෙය නරක ගනුදෙනුවක් නෙමෙයි. මේ වෙලාවේ ඩොලර් බිලියන 2.5ක් හොයා ගන්නවා කියන්නේ සෑහෙන්න වටිනා දෙයක්. අනිත් එක වසර දෙකක් යන තුරු ණය ගෙවන්නත් අවශ්‍ය නැහැ. ණය ගෙවන එක ඊළඟ ආණ්ඩුවේ හා ඊටත් පසු බලයට පත් වන ආණ්ඩු වල වැඩක්!

Friday, September 10, 2021

ඩොලරයේ මිල ස්ථාවර වුනේ කොහොමද?


පසුගිය සති කිහිපය තුළ ඩොලරයේ මිල මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී නිදහසේ ඉහළ යමින් තිබුණු බව අපි දැක්කනේ. මහ බැංකුවේ නිල විණිමය අනුපාතය අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 203ක් පමණ වුවත්, වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිල රුපියල් 226-232 වැනි පරාසයකයි තිබුණේ. හැබැයි එකවරම වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිල නැවතත් මහ බැංකුවේ මිලටම පහත වැටුණා. එහෙම වුනේ කොහොමද?

වාණිජ බැංකු වල ඩොලරයේ මිලෙන් නිරූපනය වුනේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ විණිමය අනුපාතයක්. විවිධ නියාමන කොන්දේසි හරහා ඩොලර් ඉල්ලුම සීමා කර තිබෙන නිසා මෙයත් ඩොලරයක හරි මිලනම් නෙමෙයි. එහෙත්, මහ බැංකුවේ මිලට වඩා හරි මිලට තරමක් හෝ කිට්ටු මිලක්. මහ බැංකුවේ මිල, ඉතා පැහැදිලිවම, නියම මිලට වඩා අඩු මිලක්.

මේ විදිහට ඩොලරයක මිල එහි ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලට වඩා පහළින් තියා ගනිද්දී ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඒ නිසා, මිල පහළින් තියා ගන්නනම් කොහෙන් හෝ ඩොලර් හොයා ගෙන ඉල්ලුමට ගැලපෙන පරිදි සැපයුම වැඩි කළ යුතුයි. කාලයක් තිස්සේම ලංකාවේ ඩොලරයක මිල නියම මිලට වඩා පහළින් තියා ගන්නේ විදේශ ණය අරගෙන එම ඩොලර් වෙළඳපොළට පොම්ප කර සැපයුම වැඩි කිරීමෙන්. විදේශ ණය ගැනීම දිනපතා සිදුවන දෙයක් නොවන නිසා එදිනෙදා ඩොලරයේ මිල පාලනය කර ගන්නේ මහ බැංකුවේ තිබෙන රටේ නිල සංචිත විකුණා ඩොලර් සැපයුම වැඩි කිරීමෙනුයි. අඩු වන සංචිත නැවත පිරවෙන්නේ ණයක් ගත්ත වෙලාවට.

දැන් ඇති වී තිබෙන ප්‍රශ්නය රජයට තවදුරටත් විදේශ ණය ලබා ගැනීම අසීරු වී තිබීමයි. ඒ නිසා, ඩොලරයේ මිල පහළින් තියා ගැනීම සඳහා සංචිත විකුණන තරමට සංචිත නැවත පුරවාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංචිත හොඳටම පහළ වැටිලා මහ බැංකුවට තව දුරටත් විණිමය අනුපාතය ආරක්ෂා කර ගන්න අමාරු මට්ටමකට ආවා. අන්තිමේදී මහ බැංකුව විණිමය අනුපාතය බේරා ගැනීම සඳහා සංචිත විකිණීම සීමා කරලා පසුගිය සති කිහිපය තුළ වාණිජ බැංකු වල ඩොලරයක මිල නිදහසේ ඉහළ යන්න ඉඩ හැර තිබුණා. මෙය මහ බැංකුව පැත්තෙන් සිදුව තිබුණු බව පෙනුණු යම් "හැරවුමක්".

කොහොම වුනත්, මේ වෙද්දී මහ බැංකුව විසින් නැවතත් ඩොලරයේ මිල සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. මෙවැන්නක් කිරීම "මිල අධික" කටයුත්තක් බව කිව යුතු නැහැ. ඩොලරයක මිල පහළින් තියා ගන්නනම් අඛණ්ඩව වෙළඳපොළට ඩොලර් සපයන්න වෙනවා. පෙනෙන්නට තියෙන්නේ මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෑතකදී ලැබුණු එස්ඩීආර් ඩොලර් කර එම ඩොලර් විකුණමින් සිටින බවයි. 

පසුගිය අගෝස්තු 23 වෙනිදා මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රමාණයක් ලැබුණා. එයින් ඩොලර් මිලියන 666ක පමණ වටිනාකමක් තිබෙන එස්ඩීආර් ප්‍රමාණයක් මේ වන විටත් ඩොලර් වලට හුවමාරු කරගෙන තිබෙනවා. බංග්ලාදේශ බැංකුවෙන්ද ඩොලර් මිලියන 150ක ණයක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා ගෙන තිබුණා. මේ අනුව, ජූලි අවසානයේදී ඩොලර් මිලියන 2,806ක් වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,743දක්වා ඉහළ යා යුතුව තිබුණා.

අගෝස්තු මාසය තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීම සඳහා ඩොලර් මිලියන 176ක පමණ සංචිත ප්‍රමාණයක් වැය කර තිබෙනවා. ඒ නිසා, අගෝස්තු අවසානයේදී සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 3,550ක් දක්වා පමණයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු සංචිත මෙන්ම බංග්ලාදේශ බැංකුවෙන් ලබා ගත් මුදල්ද මහ බැංකුවේ විදේශ බැරකම් යටතට වැටෙන නිසා මේ ලැබීම් වලින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යන්නේ නැහැ. පසුගිය මාසය අවසානයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක පමණ මට්ටමකට පහත වැටී තිබුණා. පසුගිය මාසයේ විකුණා ඇති ඩොලර් ප්‍රමාණය සැලකූ විට මේ වෙද්දී මහ බැංකුවේ විදේශ වත්කම් එහි බැරකම් වලට වඩා අඩු විය යුතුයි. ඒ කියන්නේ රජය හා රටේ බැංකු පද්ධතිය වගේම මහ බැංකුවත් මේ වෙද්දී ලෝකයට ණයකරුවෙක් කියන එකයි. 

මහ බැංකුව විසින් ඩොලරයේ මිල නැවත සිය පාලනය යටතට ගනිද්දී ආණ්ඩුව විසින් මහ බැංකුවේ පාලනයද අතට ගෙන ඇති බවක් පෙනෙන්න තිබෙනවා. මහ බැංකු අධිපති වරයා ඉල්ලා අස්වෙන්නට යන්නේ ඔහුගේ ධුර කාලයෙන් විශාල කොටසක් ඉතිරිව තිබියදී පමණක් නොව කලින් සැලසුම් කළ බව කියන දිනයටද සති කිහිපයක් කලිනුයි.

Sunday, September 5, 2021

හමන සුළන් මකුළු දැලෙන්...?


මේ වෙද්දී ඩොලරයක මිල රජයේ හා මහ බැංකුවේ පාලනයෙන් ගිලිහී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 203කට වඩා අඩු වුවත් පෞද්ගලික බැංකු වල ඩොලරයක් විකිණෙන්නේ රුපියල් 226-232 අතර පරාසයකයි. බැංකු වලින් පිට කොටුවේ මිල ඊටත් වැඩියි. මෙවැනි තත්ත්වයක් මෑත ඉතිහාසයේ මීට පෙර දැකිය හැකි වූයේ නැහැ.

ප්‍රශ්නයට මුල පසුගිය රාජපක්ෂ දශකය තුළ දිගින් දිගටම විදේශ ණය ගනිමින්, එසේ ගත් විදේශ විණිමය දේශීය වෙළඳපොළට මහා පරිමාණයෙන් පොම්ප කරමින්, කෘතීම ලෙස රුපියලේ විදේශීය අගය එහි නියම අගයට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීමයි. බොහෝ දෙනෙක් රාජපක්ෂ ණය ගැන කතා කළත්, වඩා බරපතල සැබෑ ප්‍රශ්නය වූයේ එම ණය වල උදවුවෙන් ඩොලරය පාලනය කිරීමයි. මෙහි ප්‍රතිඵල මේ වෙද්දී ලැබෙමින් පවතිනවා.

රාජපක්ෂ දශකයේ සාර්ව-ආර්ථික දර්ශක පරීක්ෂා කරන අයෙකුට වැරැද්දක් හොයා ගන්න ලේසි නැහැ. හැම දෙයක්ම ඉතා හොඳින් තිබුණු බවයි සංඛ්‍යාලේඛණ වලින් පෙන්වන්නේ. ඇතැම් අය කියන විදිහට මේ සංඛ්‍යාලේඛණ බොරු නෙමෙයි. සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන්නේ ඇස් බැන්දුමක් වුවත්, ඒ ඇස් බැන්දුම සැබෑ ලෝකයේද දැකිය හැකි වූ දෙයක්. එහෙත්, රාජපක්ෂ දශකයේ දැකිය හැකි වූ ආශ්චර්යය, දැකිය හැකි වූ සෞභාග්‍යය, බොහෝ දුරටම වැල්ලේ තැනූ මාලිගාවක්. මාලිගාව කිසිදු අඩුපාඩුවක් නැතිව ඉතා හොඳින් හදා තිබුණත් එය හදා තිබුණේ ලොකු රැල්ලක් පැමිණි වහාම බිඳ වැටෙන අයුරිනුයි. 

ආණ්ඩු මාරුවක් සිදු නොවුනානම් මාලිගාව කඩා වැටෙන්නේ 2016 පමණ කාලයේදී. එහෙත්, යහපාලන ආණ්ඩුව කෙසේ හෝ රැල්ල වලකා, මාලිගාවට මුක්කු ගසා, ප්‍රශ්නය වසර කිහිපයක් ඉදිරියට තල්ලු කළා. දැන් රැල්ල ඇවිත්. මාලිගාව කඩා වැටෙන්න පටන් අරන්.

ඩොලරය පහළින් තබා ගැනීම රාජ්‍ය ණය ප්‍රශ්නයටද වඩා බරපතල ප්‍රශ්නයක් බව මා කියන්නේ ඇයි? මේ හරහා රජය විසින් රජයෙන් බාහිර පාර්ශ්වයන්ටද ලෝකයට ණය වෙන්නට සෘජු හා වක්‍ර බලපෑමක් කළා. විශේෂයෙන්ම 2008න් පසුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වල පොලී අනුපාතික තිබුණේ ඉතාම පහළ මට්ටමකයි. ලංකාවේ පොලී අනුපාතික ඊට වඩා ඉහළින් තිබුණා.

උදාහරණයක් විදිහට ලංකාවේ පොලී අනුපාතිකය 7% ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙහි ඩොලර් පොලී අනුපාතිකය 2% ලෙසත් සලකමු. මේ වගේ අවස්ථාවක ඩොලර් වලින් ණය ගෙන රුපියල් වලින් ආයෝජනය කරන අයෙකුට 5%ක ලාබයක් ලැබිය හැකියි. එහෙත්, රුපියල අදාළ කාලය තුළ 5%කින් අවප්‍රමාණය වුනොත් එම ලාබය ලැබෙන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් පවතින හා පැවති තත්ත්වය ඉහත ආකාරයේ තත්ත්වයක්. ලංකාවේ රුපියල් පොලී අනුපාතික ඩොලර් පොලී අනුපාතික වලට වඩා වැඩි වුවත් ඩොලරයක අගය ඉහළ යාමෙන් එම වෙනසේ වාසිය නිශේධනය වන නිසා ඩොලර් වලින් ණය වී රුපියල් වලින් ආයෝජනය කර ලාබ ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ලංකාවේ රජය හා මහ බැංකුව විසින් ඩොලරයේ මිල ස්ථාවරව තබන බව ප්‍රකාශ කිරීමෙන් හා ඒ බව ක්‍රියාවෙන් පෙන්වීමෙන් මේ තත්ත්වය වෙනස් කළා. ඒ එක්කම, ලංකාවේ බැංකු හා වෙනත් ඇතැම් සමාගම් ඩොලර් වලින් ණය වී රුපියල් වලින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්න පෙළඹුණා. මෙය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ "carry trade" ලෙසයි.

දැන් මේ වැඩෙන් වෙන්නේ කුමක්ද? වාණිජ බැංකු හා සමාගම් ඩොලර් වලින් ලෝකයට ණය වෙනවා. රජය මේ වාණිජ බැංකු හා සමාගම් වලින් රුපියල් ණය ගන්නවා. අන්තිමට වක්‍ර ලෙස සිදු වන්නේ රජය ලෝකයට ණය වීමක්ම වුවත්, මෙහිදී රජයෙන් බාහිර පාර්ශ්වද අවදානමක වැටිලා. රජයේ සංඛ්‍යාලේඛණ බැලුවොත් පෙනෙන්නේ දේශීය ණය. එහෙත්, ඇත්තටම මේ ණයත් විදේශීය ණය.

මහ බැංකුව ඇතුළේ මේ වෙද්දී යම් වෙනසක් සිදුවෙමින් පවතින බව පේනවා. මා එසේ කියන්නේ බාහිර නිරීක්ෂකයෙකු ලෙස මට පෙනෙන දේවල් අනුවයි. මහ බැංකුව ඇතුලෙ මගේ පෞද්ගලික මිතුරන් ගණනාවක් සිටියත් මම ඔවුන් සමඟ සාමාන්‍යයෙන් කතා කරන්නේවත් නැති තරම්. මා මෙහි ලියන දේවල් ලියන්නේ පොදු අවකාශයේ තිබෙන තොරතුරු මත පදනම්වයි. ඒ හැර, කිසිදු ආයතනයකින් මා අභ්‍යන්තර තොරතුරු ලබා ගන්නේ නැහැ. 

ලංකාවේ මහ බැංකුවට රජයෙන් ස්වායත්තව කටයුතු කළ නොහැකි බව ප්‍රචලිත කරුණක්. ඕනෑවට වඩා ස්වාධීන වෙන්න ගියොත් මහ බැංකු වෘත්තිකයෙකුට තමන් විසින් කරන යම් සාධනීය දෙයක් වුනත් කරන්න තිබෙන ඉඩ අවහිර වෙන්න පුළුවන්. ඒ වගේම, මහ බැංකුව ඇතුළේ තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වෙන්න පුළුවන්. හැබැයි රජයට අවශ්‍ය සේ වැඩ කිරීමෙන් මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වුවහොත්, එහි සේවකයින්ට කොහොමටත් පැවැත්මක් නැති වෙනවා. දේශපාලන පත්වීම් ලබන අධිපතිවරුන්ට මෙය ප්‍රශ්නයක් නොවුනත්, මහ බැංකුවේ පැවැත්මම අභියෝගයට ලක් වූ විට එහි අවශේෂ සේවකයින්ට රජයේ පැවැත්ම අමතක කර මහ බැංකුවේ පැවැත්ම ගැන හිතන්න වෙනවා. මම හිතන්නේ දැන් මේ වගේ හැරවුම් ලක්ෂ්‍යයක් දක්වා අර්බුදය තල්ලු වෙලා.

පසුගිය ජූනි මාසය තරම් මෑතකදී මහ බැංකුව විසින් "තම ව්‍යාපාරික ශක්තීන් උපරිම වශයෙන් යොදා ගනිමින්" පිටරටින් ඩොලර් ණය අරගෙන, ඒ ඩොලර් රජයට ණය ලෙස දෙන මෙන් පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියා. මෙය ගිලී මැරෙන්න යන රජය බේරා ගැනීම සඳහා වතුරට පැන මැරෙන සේ සෘජුවම කළ ආරාධනයක්. කිසියම් පෞද්ගලික ආයතනයක් මහ බැංකුවේ ඉල්ලීමට සවන් දුන්නේනම් දැන් වෙන්න තිබෙන හරිය වෙලා. වාණිජ බැංකු ටිකනම් කලින්ම ඔය උගුලේ අහුවෙලයි හිටියේ.

පහළින් තිබෙන්නේ පසුගිය මාස කිහිපය තුළ බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වූ ආකාරයයි. වරහන් තුළ තිබෙන්නේ සෘණ අගයන්.

2021 අප්‍රේල් අවසානයේදී:

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 349.1 

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (778.0) 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (428.9)

 

2021 ජූලි අවසානයේදී:

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන 10.3 

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (709.6) 

බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්: රුපියල් බිලියන (699.4) 

රජය වගේම ලංකාවේ බැංකු පද්ධතියත්, විදේශ සංචිත පැත්තෙන් බැලුවොත්, බංකොලොත් වී අවසන්. ටික කලක සිටම බැංකු පද්ධතිය සතු විදේශ වත්කම් වලට වඩා විදේශ බැරකම් වැඩියි. තෙමසක් ඇතුළත බැංකු පද්ධතියේ විදේශ වත්කම් හිඟය (එහි රුපියල් අගය) රුපියල් බිලියන 428.9 සිට රුපියල් බිලියන 699.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව ධන පැත්තේ ඉන්නේ යාන්තමින්. තව සුළු අඩුවක් වුවහොත් මහ බැංකුවත් සෘණ පැත්තට යනවා.

මේ සංඛ්‍යාලේඛණ ඇසුරෙන් වාණිජ බැංකු වල ඩොලරයක මිල මහ බැංකුවේ පාලනයෙන් මිදී ඉහළ යන්නේ ඇයි කියන එක පහසුවෙන් පැහැදිලි කළ හැකියි. 2021 ජූලි අවසානයේදී වාණිජ බැංකු වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය රුපියල් බිලියන 709.6ක්. සරලව කිවුවොත්, මෙයින් අදහස් වෙන්නේ ලංකාවේ බැංකු වල තැන්පත් කර තිබෙන ඩොලර් ගිණුම් හිමියන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම (හෝ එවැනි වෙනත් බැරකම්) සඳහා පමණක් බැංකු වලට බිලියන 3.5ක පමණ ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය බවයි.

බැංකු වලින් කාලයක් තිස්සේ කළේ, මහ බැංකුව විසින් මෑතකදී පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටි පරිදි, ලෝකයට ණය වී ඩොලර් එකතු කරගෙන එම ඩොලර් රජයට ණය ලෙස දෙන එකයි. නමුත්, රජයට ණය දී තිබෙන්නේ ඩොලර් රුපියල් කිරීමෙන් පසුව නිසා ආපසු ලැබෙන්නේ රුපියල්. රුපියල් වලින් ණය ආපසු ලැබුණා කියා වාණිජ බැංකු වලට ඩොලර් ණය පියවන්න බැහැ. මේ වගේ වෙලාවක වාණිජ බැංකු වලට තිබෙන සාමාන්‍ය පිළියම මහ බැංකුවට රුපියල් දී ඩොලර් වලට මාරු කිරීමයි. ඒත් මේ වෙලාවේ මහ බැංකුව වාණිජ බැංකු වලට ඩොලර් දෙන්න සූදානම් නැහැ. තවත් ඩොලර් විකිණුවොත් මහ බැංකුව තමන්ගේම විදේශ බැරකම්වත් පියවිය නොහැකි තැනකට වැටෙනවා.

ඉහත තත්ත්වය යටතේ වාණිජ බැංකු වලට තමන්ගේම විදේශ බැරකම් පියවීම සඳහා වෙළඳපොළෙන් කීයට හෝ ඩොලර් මිල දී ගන්න සිදු වී තිබෙනවා. තමන්ට අවශ්‍ය ඩොලර් ටිකවත් හොයා ගන්න අමාරු තත්ත්වයක් යටතේ පාරිභෝගිකයින්ගේ ඩොලර් ඉල්ලුම සීමා කිරීම සඳහා ඩොලරයක විකිණුම් මිල ඉහළ දමන්න වෙනවා. ඩොලරයක මිල බලා ඉඳිද්දී ඉහළ යන පසුබිමක අපනයනකරුවන් වැනි ඩොලර් උපයන අය ඩොලර් රුපියල් කරන්න හදිස්සි නොවී ඩොලර් ලෙසම තියා ගන්න පෙළඹෙන නිසා බැංකු වලට මුහුණ දෙන්න වී තිබෙන ප්‍රශ්නය තවත් අසීරු වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ, මහ බැංකුව විසින් සංචිත නිදහස් කිරීමක් නොකළොත්, වාණිජ බැංකු වල ඩොලරයක මිල තවතවත් ඉහළ යන එක වලක්වන්න බැහැ.

මහ බැංකුව තව දුරටත් සංචිත නිදහස් කරයිද? 

මෙය යම් තරමකින් දේශපාලනික ප්‍රශ්නයක්. මහ බැංකුවට මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787ක පමණ විදේශ වත්කම්ද, බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්ද ලැබී ඇති බව ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 937කින් පමණ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබිය යුතුයි. කෙසේ වුවද, මේ ලැබීම් වල තිබෙන ප්‍රශ්නය මහ බැංකුවේ විදේශ වත්කම් ඉහළ යන තරමටම විදේශ බැරකම්ද ඉහළ යන නිසා ශුද්ධ විදේශ වත්කම් වල වෙනසක් සිදු නොවීමයි. ඒ නිසා, යම් හෙයකින් මහ බැංකුව විසින් සංචිත විකිණීමක් කළහොත් රජය, වාණිජ බැංකු මෙන්ම මහ බැංකුවද ලෝකයට ණයකරුවෙක් බවට පත් වෙනවා.

මීට අමතරව චීන සංවර්ධන බැංකුවෙන්ද යම් මුදලක් ලැබීමට නියමිත බව පැවසෙනවා. එම මුදල ලැබුණොත්, එය රජයේ ණයක් නිසා, මහ බැංකුවේ බැරකම් ඉහළ යන්නේ නැහැ. මහ බැංකුවට අදාළ ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන වාණිජ බැංකු වලට විකිණිය හැකියි. හැබැයි එහෙම කළා කියලත්, හමන සුළන් මකුළු දැලෙන් වළකන්නට බැහැ.

Saturday, September 4, 2021

එක රටක් විණිමය අනුපාත දෙකක්


වසරකට දෙකකට පෙර හදිසියේ මාධ්‍ය අවධානය දිනාගත් එක් පුද්ගලයෙකු විසින් මෑතකදී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස යෝජනා කර තිබුණේ ලංකාව රුපියලට සමාන්තරව තවත් මුදල් ඒකකයක් නිකුත් කිරීමෙන් ප්‍රශ්නයෙන් ගොඩ යා හැකි බවයි. මේ ගැන අපේ ඇතැම් පාඨකයින් විසින් අපෙන්ද අදහස් විමසා සිටියා. 

ගඟේ ගහගෙන යන වෙලාවක පිදුරු ගස් ගැන වුවත් බොහෝ දෙනෙකු විමසිලිමත් වීම තේරුම් ගැනීමට අපහසු නැතත්, කිසිදු තාර්කික හෝ මූලධාර්මික පදනමක් නොතිබුණු, වැරදි තොරතුරු මත පදනම් වූ, ඉහත කතාවේ හදිසියේ හීනෙන් නැගිට කියවන දෙයකට වඩා ගත යුත්තක් තිබුණේ නැහැ. එහෙත්, ඒ ප්‍රකාශය ජනගත කර වැඩි කලක් යාමට පෙර ලංකාවේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්නම් බිහි වී තිබෙනවා. වඩාත් නිවැරදිව ත්‍රිත්ව විණිමය අනුපාත ක්‍රමයක් කියා කියන්නත් පුළුවන්.

මහ බැංකුවට අනුව, මේ වන විට ඩොලරයක විකිණුම් මිල රුපියල් 203කට වඩා අඩුයි. එහෙත්, ඒ මිලට වාණිජ බැංකු වල ඩොලර් තිබෙනවාද?

සම්පත් බැංකුව - රුපියල් 226.75යි 

කොමර්ෂල් බැංකුව - රුපියල් 226යි 

සෙලාන් බැංකුව - රුපියල් 227යි 

හැටන් නැෂනල් බැංකුව - රුපියල් 226යි 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රුපියල් 229යි 

ඩීඑෆ්සීසී බැංකුව - රුපියල් 227.25යි.

අමානා බැංකුව - රුපියල් 232යි.

එන්ඩීබී බැංකුව - රුපියල් 228යි 

වාණිජ බැංකු වලින් පිටත, ඩොලරයේ කළු කඩ මිල රුපියල් 250-260 අතර බව පැවසෙනවා. 

මහ බැංකුව විසින් කාලයක් තිස්සේම ඩොලරයක මිල එය තිබිය යුතු අගයට වඩා පහළින් තියා ගත්තා. පසුගිය රාජපක්ෂ දශකය තුළ පෙනෙන්නට තිබුණු ආශ්චර්යයේ රහසිගත වට්ටෝරුව වූයේ මෙයයි. මේ විදිහට වසර ගණනක් තිස්සේ හැදූ මාලිගාවට අත්තිවාරමක් තිබුණේ නැහැ. අත්තිවාරම් නොදමා හදන තට්ටු ගෙවල් කොයි වෙලාවක හෝ කඩා වැටෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ කළ මුක්කු ගැසීම් නිසාත්, ඒ කාලය තුළ ගොඩනැගිල්ල තව තවත් උසට නොහැදූ නිසාත් එය කඩා නොවැටී තිබුණා. ඒ හැර, ඒ කාලයේ අත්තිවාරම් ශක්තිමත් කිරීමක් සිදු වුනේ නැහැ.

රාජපක්ෂ ණය ගැන කාලයක් තිස්සේ ගොඩක් අය කතා කළා. එසේ වුවත්, මා ඒ දවස් වලම පැහැදිලි කළ පරිදි, ලංකාව ණය උගුලක පැටලුවේ රාජපක්ෂලා නෙමෙයි. ඔවුන් ආණ්ඩුව භාර ගන්නා විට ලංකාව ණය උගුලක පැටලී අවසන්. රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ණය උගුලක කොහොමටත් පැටලී සිටි ලංකාව විශාල ගෙවුම් ශේෂ උගුලකද පැටලවීමයි. දැන් ගැලවෙන්න අසීරු වී තිබෙන්නේ මේ දෙවන උගුලෙන්.

වසර තුනකට පෙර ලියූ පහත ලිපිය නැවත කියවන්න.

රාජපක්ෂ ණය

මහ බැංකුවට ඩොලරයක මිල එය තිබිය යුතු මිලට වඩා ඉහළින් හෝ පහළින් තියා ගන්න පුළුවන්. මෑතකාලයේදී සීඝ්‍ර ආර්ථික වර්ධනයක් පෙන්වූ චීනය වැනි රටවල සිදු වුනේ පළමුවැන්න වුවත් ලංකාවේ සිදු වුනේ දෙවැන්නයි. ඩොලරයක මිල එය තිබිය යුතු මිලට වඩා පහළින් තියා ගන්නනම්, සාමාන්‍ය ක්‍රමයට උපයන ඩොලර් වලට අමතරව ඩොලර් සැපයුමක් සිදු විය යුතුයි. වාණිජ බැංකු වලට සංචිත විකිණීම හරහා මහ බැංකුවට මෙය කළ හැකියි. 

කෙටිකාලීනව මහ බැංකුවට සංචිත විකුණා ඩොලරය පහළින් තබා ගත හැකි වුවත් එහිදී සංචිත පහළ වැටෙන නිසා මේ වැඩේ කළ හැකි සීමාවක් තිබෙනවා. එයට පිළියමක් ලෙස රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ඉහළ පොලියකට ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරමින් ඒ හරහා ණයට ගන්නා ඩොලර් මහ බැංකුවට විකිණීමයි. මේ ක්‍රමයට දිගින් දිගටම ඩොලරයක මිල පහළින් තියා ගන්න පුළුවන් වුනා. 

ඩොලරයේ මිල පහළින් තියා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන ලාබ වී ආනයන විශාල ලෙස ඉහළ ගියා. අපනයනකරුවන්ගේ ආදායම් පහළ ගොස් අපනයන කඩා වැටුනා. ආනයන අපනයන පරතරය විශාල ලෙස වැඩි වුනා. රාජපක්ෂ දශකය තුළ ලංකාවේ ජාතික ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් විනාශ වූ ආකාරය වසර පහකට පෙර මා පහත ලිපියේ විස්තර කළා.

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)

ඩොලරයේ මිල පහළින් තියා ගැනීම නිසා ආනයන අපනයන පරතරය ඉහළ යද්දී, ඩොලරය පහළින් තියා ගැනීම සඳහා තව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය අරගෙන රටේ ඩොලර් සැපයුම වැඩි කරන්න සිදු වුනා. වත්මන් ආර්ථික අර්බුදයට මූල හේතුව වන, ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාම රාජපක්ෂ දශකය තුළ කොයි තරම් දරුණු විදිහට සිදු වුනාද කියා මා පහත ලිපියේ විස්තර කර තිබෙනවා. ලිපිය අවසානයේ තිබෙන වගුව බලන්න.

රටේ ණය හා රජයේ විදේශ ණය

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව යම් තරමකින් ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. එහෙත්, විපක්ෂයේ ඝෝෂාවන් ඇතුළු වෙනත් හේතු නිසා මේ වැඩේ වුනත් හරියකට කරගන්න ඉඩ ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින්ද වඩා ලේසි රාජපක්ෂ ක්‍රමය වෙතම හැරුණා. ණය සේ ලබාගත් ඩොලර් මහ බැංකුව හරහා තවතවත් වෙළඳපොළට මුදා හැරුණා. හිර වී සිටි ගෙවුම් ශේෂ උගුල තුළ ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් තිබුණේත් නැහැ. පහත ලිපිය ලිවුවේ යහපාලන ආණ්ඩුවේ අන්තිම කාලයේදී.

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල

යහපාලන ආණ්ඩුව කාලයේදී හෝ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනානම් අද තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. අප මේ ගැන දිගින් දිගටම අවවාද කළා. එහෙත්, රටේ දේශපාලන බලය තිබෙන, හඬක් තිබෙන, බොහෝ දෙනෙකුට ඩොලරයක මිල ඉහළ යාම දරාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා, විකල්පය වුනේ ස්වෛරිත්ව බැඳුම්කර හරහා තවතවත් ණය ගැනීමයි.

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?

එකසිය හැටයි! ලාබයි!!

ඩොලරයක අගය රුපියල් 230ක් පමණ විය යුතුව තිබුණේ වසර තුනකට පමණ පෙරයි. එසේ වූවානම් මේ වෙද්දී ආනයන අපනයන පරතරය සැලකිය යුතු ලෙස අඩු වෙලා. දැන් පරක්කු වැඩියි.

මේ වෙද්දී ඩොලරයක මිල මහ බැංකු පාලනයෙන් ගිලිහී පාලනයක් නැතිව ඉහළ යමින් තිබෙනවා. එහෙත්, මේ විදිහට ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස වසංගත කාලයේ එය සිදු වුනා කියා කලින් ලබා ගත හැකිව තිබුණු වාසි ලැබෙන්නේ නැහැ.

Friday, August 13, 2021

සංචිත ඩොලර් බිලියන 2.8 දක්වා පහළට!


මහ බැංකුවේ අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව, ජූලි අවසානය වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 දක්වා පහත වැටී තිබෙනවා. මෙයින්ද ද්‍රවශීල විදේශ වත්කම් තිබෙන්නේ ඩොලර් මිලියන 2,364.6ක් පමණයි. 

වසරේ පළමු මාස හය තුළ විදේශ ගනුදෙනු වල ඩොලර් මිලියන 1,261ක හිඟයක් පෙන්නුම් කරන අතර ඒ අනුව වසරේ අවසන් මාස හය තුළද එවැනිම හිඟයක් අපේක්ෂා කළහොත්, ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය වසර අවසන් වෙද්දී ඩොලර් බිලියනයක් පමණ දක්වා පහත වැටිය හැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 780ක පමණ වටිනාකමක් ඇති එස්ඩීආර් ප්‍රමාණයක් ලැබෙන්නට නියමිතව ඇතත් මෙම ලැබීම් ද්‍රවශීල විදේශ වත්කම් සේ සැලකිය නොහැකියි. 

මේ මොහොත වන විට මහ බැංකුව සතු ඩොලර් මිලියන 2,833.5ක් වන සමස්ත විදේශ වත්කම් ප්‍රමාණය යොදා ගෙන රුපියල් බිලියන 1,060ක් පමණ වන මහ බැංකුවේ වගකීම් සියල්ල පියවන්නටනම් ඩොලරයක මිල රුපියල් 375ක්වත් විය යුතුයි. ඊට අඩු විණිමය අනුපාතිකයක් පවත්වා ගනිමින් අඩු ගණනේ ඩොලර් වලින් වගකීම් පියවා මහ බැංකුව විසුරුවා හරින්නවත් බැහැ. 

මෙයින් මා අදහස් කරන්නේ ඩොලරයක නියම මිල රුපියල් 375ක් බව නෙමෙයි. එහෙත්, ප්‍රමාණවත් තරමින් සංචිත වර්ධනය කරගත නොහැකිනම් ඉදිරි වසරේ මැද භාගය පමණ වන විට රුපියලේ දැවැන්ත කඩා වැටීමක් සිදුවීම නොවැලැක්විය හැකියි. 

මහ බැංකුව විසින් සංචිත වර්ධනය කර ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමට උත්සාහ කරමින් සිටියත් විණිමය අනුපාතිකය පවතින මට්ටමේ නඩත්තු කරමින් එය කළ නොහැකියි. පවතින මිලට කවුරුවත් ඩොලර් විකුණන්නේ නැහැ. 

විණිමය අනුපාතිකය ඉහළ ගිය විට එක පැත්තකින් ආණ්ඩුවේ ආර්ථික කළමණාකරණයේ දුර්වලකම ප්‍රදර්ශනය වීමත්, අනෙක් පැත්තෙන් රජයේ විදේශ ණය වල රුපියල් අගය වැඩි වීමත් මේ විණිමය ප්‍රතිපත්තියට හේතු සේ සැලකිය හැකියි. විණිමය අනුපාතිකය නිවැරදි වෙන්නට ඉඩ හැරීමෙන් ඇත්තටම ආණ්ඩුවේ ආර්ථික කළමණාකරණයේ දුර්වලකමක් පිළිබිඹු නොවන නමුත් මේ ආණ්ඩුවේ ප්‍රබලයින් විසින්ම එවැනි මතයක් ජනගතකර තිබීම ආණ්ඩුවට පාරාවළල්ලක් වී තිබෙනවා. 

ඒ වගේම, විදේශ ණය වල රුපියල් අගය වැඩි වුනා කියා එම ණය ඇත්තටම වැඩි වන්නේ නැහැ. එහෙත්, ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය ඉහළ යන නිසා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න සිදු වෙනවා. පවතින පොලී අනුපාතික නඩත්තු කරමින් භාණ්ඩාගාර බිල්පත් අවශ්‍ය පමණ විකිණිය නොහැකියි.

Saturday, July 10, 2021

දැන් රාජ්‍ය ණය කොපමණද?


අප්‍රේල් අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,288 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිලියන ගණන් ඇඟට නොදැනෙන නිසා මේ ණය ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට රුපියල් ලක්ෂ හත හමාරක පමණ ප්‍රමාණයක්. ඒ වගේම, පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම මෙන් දොළොස් ගුණයකට ආසන්න මුදලක්. 2019 අවසානයේ පැවති මට්ටමට සාපේක්ෂව, මාස 16ක කාලයක් තුළ, දේශීය ණය 46%කින්ද විදේශීය ණය වල රුපියල් අගය 3%කින්ද සමස්ත ණය 25%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය ණය ප්‍රශ්නය හා විදේශ ණය ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. විදේශ ණය වලින් කොටසක් රාජ්‍ය ණය වන අතර රාජ්‍ය ණය වලින් කොටසක් විදේශ ණයයි. විදේශ ණය ප්‍රශ්නයටද හේතු වී තිබෙන්නේ රාජ්‍ය ණය ප්‍රශ්නය වුවත් එය එකම හේතුව නෙමෙයි. ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියත් විදේශ ණය ප්‍රශ්නයට හේතුවක්. 

සල්ලි අච්චු ගසා රාජ්‍ය ණය ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගත හැකි වුවත් විදේශ ණය ප්‍රශ්නය එසේ විසඳා ගන්න බැහැ. මේ මොහොතේ ලංකාවේ රජය මුහුණ දී සිටින ගැටලුව එයයි. 

(Image: dailymirror.lk)

Tuesday, July 6, 2021

ලංකාවට ආසියාවෙන් පළමු තැනක්!

පයිසර් එන්නත මිල දී ගත් පළමු දකුණු ආසියානු රට ලංකාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් හරහා ප්‍රචාරය කර අනෙක් පැත්ත හැරෙද්දී එය එසේ නොවන බව වෙනත් අය පෙන්වා දී තිබෙනවා. මාල දිවයින් රජය එරට වැසියන්ට ලබා දී ඇත්තේ නොමිලේ ලැබුණු පයිසර් එන්නත් පමණක්නම් ජනාධිපති රාජපක්ෂගේ ප්‍රකාශය නිවැරදි විය හැකියි. කොහොම වුනත් මේ ප්‍රකාශයෙන්ද පෙනෙන්නේ "අපි තමයි ඉහළින්ම ඉන්නේ" උන්මාදයයි.  

මේ වන විට ඒක පුද්ගල ආදායම වගේම ආයු අපේක්ෂාව අතින්ද දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට මාල දිවයින නිසා ලංකාවට දකුණු ආසියාවේ හෝ පළමු වැනියා වීමට තිබෙන අවස්ථා අඩු වෙමින් තිබුණත් බ්ලූම්බර්ග් විසින් වාර්තා කරන පරිදි ණය ආපසු නොගෙවීමේ අවදානම අතින් මේ වන විට ලංකාව ආසියා-ශාන්තිකර කලාපයේම පළමු තැනට පැමිණ තිබෙනවා. මේ බව සඳහන් කරමින් ඊයේ පළ වූ බ්ලූම්බර්ග් විශ්ලේෂණ වාර්තාව වොෂින්ටන් පෝස්ට් ඇතුළු වෙනත් මාධ්‍ය වලද ප්‍රචාරය වී තිබෙනවා.

දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට තම ආයෝජනය අහිමි වීමේ අවදානමක් තිබෙනවා. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් ලංකාවට සිදු වූ පාඩුවයි. මෙසේ තම ආයෝජනය ආපසු නොලැබීමේ අවදානම අවම කර ගැනීම සඳහා ආයෝජකයෙකුට ස්වොප් ගිවිසුමක් අත්සන් කළ හැකියි. මෙවැනි ගිවිසුමක් ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් (credit default swap) ලෙස හැඳින්වෙනවා. මෙය එක්තරා ආකාරයක රක්ෂණ ගිවිසුමක් ලෙසද හැඳින්විය හැකියි. 

ණය අවදානම අඩු රටක බැඳුම්කරයක් සඳහා ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුත්තේ බැඳුම්කරයේ මුහුණත වටිනාකමෙන් 0.1% නොඉක්මවන සුළු මුදලක් වුවත් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල පස් අවුරුදු ණය අවදානමට එරෙහිව ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල මේ වන විට 15.53% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරම බ්ලූම්බර්ග් ගණන් බැලීම් අනුව ඉදිරි වසර තුළ ලංකාවට ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානම 27.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය 1.5% ඉක්මවීම අධි අවදානමක් ලෙස ඔවුන් සලකනවා. ඒ අනුව, ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අතින් මේ වන විට ආසියා-ශාන්තිකර කලාපයෙන්ම පළමු තැනට පැමිණ සිටිනවා. 

Sri Lanka's 1-year default probability is the highest in the Asia-Pacific

Source: Bloomberg

Note: Bloomberg's debt default probability scale lists any score above 1.5% as an indication of high risk of failure to pay


Sunday, July 4, 2021

මහ බැංකුව උගස් කර ණය ගැනීම


මේ වෙලාවේ ලංකාව විසින් කරමින් සිටින දෙය හැඳින්විය හැකි හොඳම ආකාරය "මහ බැංකුව උගස් කර ණය ගැනීම" කියන එකයි. ලංකාවේ ආර්ථික අර්බුදයට පාදක හේතුව වන අයවැය හිඟය පියවා ගැනීම සඳහා දිගින් දිගටම විදේශ ණය ගැනීම නිසා ලංකාවේ රජය අර්බුදයකට ගියා. මෙය අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි. 

වැඩි වැඩියෙන් ණය ගනිද්දී ලංකාවේ රජයට තව තවත් විදේශ ණය ලබා ගැනීම අසීරු වුනා. මෙහිදී මධ්‍යම රජයේ ණය අඩුවෙන් පෙන්වීමේ උපක්‍රමයක් විදිහට රාජ්‍ය සංස්ථා හරහා ණය ගත්තා. ඉන් පසුව සෘජුව හා වක්‍රව වාණිජ බැංකු හරහා විදේශ ණය ලබා ගත්තා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙද්දී ලංකාවේ මධ්‍යම රජය වගේම රාජ්‍ය සංස්ථා හා වාණිජ බැංකුද එකිනෙක හා ගැට ගැහුණු ණය අවදානමක පැටලී ඉන්නවා. මේ දිය සුලිය කරා අවසාන වශයෙන් මහ බැංකුවද ඇදෙමින් සිටිනවා. 

රටක ආර්ථික ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුත්තේ වෛද්‍යවරයෙකු විසින් විද්‍යාගාර පරීක්ෂණ වාර්තා තේරුම් ගන්නා ආකාරයටයි. විද්‍යාගාර පරීක්ෂණ වාර්තා සැලකිය යුත්තේ කිසියම් රෝගයක් ගැන කරන සංඥා ලෙසයි. මොනවා හෝ කර වාර්තාව හොඳ කර ගත්තා කියා රෝගය අවසන් වන්නේ නැහැ. රටක ආර්ථිකයක සැබෑ ප්‍රශ්න හඳුනාගෙන විසඳීමෙන් මිසක් සංඛ්‍යාලේඛණ ඉලක්ක කිරීමෙන් ආර්ථිකයක් අර්බුදයට යාම වලක්වන්න බැහැ.

මේ දවස් වල ලංකාවේ තේරීම වී තිබෙන්නේ මුදල් හුවමාරු ගිවිසුම්. මේ ගිවිසුම් සිදු වන්නේ රටවල් දෙකක මහ බැංකු අතරයි. මුදල් හුවමාරු ගිවිසුමක් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්. මෙහිදී සිදු වන්නේ මහ බැංකුවෙන් ණය අරගෙන විදේශ ණය ගෙවීමක්. මහ බැංකුව වෙනත් රටක මහ බැංකුවකින් ණය ගන්නවා.

මේ වැඩෙන් සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. මොකද ශුද්ධ වශයෙන් ගත්තොත් මෙහි රුපියල් සම්බන්ධයක් නැහැ. මහ බැංකුව විසින් එක පැත්තකින් ණයට ගන්න ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) අනෙක් පැත්තෙන් ඩොලර් ලෙසම එළියට යනවා. 

හැබැයි මේ විදිහට මහ බැංකුව විසින් ණය වී ගෙවන්නේ රජයේ ණය මිසක් මහ බැංකුවේ ණය නෙමෙයි. මහ බැංකුව විසින් ණය වී ලබා ගන්නා ඩොලර් මහ බැංකුව විසින් රජයට විකුණනවා. රජය ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ මුදල් හොයා ගන්න නැවත මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. දැන් රජයේ ණය ඒ විදිහටම තිබෙනවා. කලින් තිබුණු විදේශ ණය වෙනුවට දැන් තිබෙන්නේ මහ බැංකුවට වූ ණය. සංඛ්‍යාලේඛණ වල රාජ්‍ය ණය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. රාජ්‍ය ණය වෙනස් වෙන්නේ නැහැ කිවුවත් තව දුරටත් රජය ආදායම් ඉක්මවා වියදම් කරන නිසා රාජ්‍ය ණය වැඩි වෙනවා. මම කියන්නේ ඒ හැර විදේශ ණය ගෙවීම හේතුවෙන් රාජ්‍ය ණය වෙනස් වීමක් සිදු නොවන බවයි. ඒ වෙනුවට සිදු වන්නේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක්.

මේ විදිහට මහ බැංකුවෙන් ණය ගත්තත්, ඒ සල්ලි නැවත මහ බැංකුවටම යන නිසා සංචිත මුදල් විශාල ලෙස වැඩි වෙන්නේත් නැහැ. ඒ නිසා, උද්ධමනය ගැන බය වෙන්න අවශ්‍ය නැද්ද? 

ඇත්තටම වෙන්නේ ප්‍රශ්නය මහ බැංකුව පැත්තට තල්ලු කිරීමක්. දැන් රජය වෙනුවට ණය වෙන්නේ මහ බැංකුවයි. රජයේ විදේශ ණය අඩු වන ප්‍රමාණයට මහ බැංකුවේ විදේශ ණය ඉහළ යනවා. මේ විදේශ ණය මහ බැංකුව සතු විදේශ වත්කම් වලින් අඩු කළ විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පහළ යනවා. ඒ එක්කම රුපියලට වටිනාකමක් ලැබෙන පදනම වේගයෙන් ඛාදනය වෙනවා. 

මහ බැංකුව විසින් මුදල් හුවමාරු ගිවිසුමක් අත්සන් කළාම මහ බැංකුවට ඩොලර් එනවා. ඩොලර් වත්කම් ඉහළ යනවා. එහෙත් ඒ එක්කම අනෙක් පැත්තෙන් ඊට හරියටම සමානව ඩොලර් බැරකම්ද ඉහළ යනවා. ඒ නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් මුදල් හුවමාරු ගිවිසුම් නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ඉහළ යන්නේ නැහැ.

මේ විදිහට මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් අත්සන් කරන්නේ රජයේ විදේශ ණය ගෙවන්න ඩොලර් හොයා ගන්න කියලා අපි දන්නවා. මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලබා ගන්නා ඩොලර් රජයට විකුණනවා. එසේ කරද්දී මහ බැංකුවේ විදේශ වත්කම් අඩු වුනත් බැරකම් ඒ විදිහටම තිබෙනවා. මෙහි ප්‍රතිඵලය මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් අඩු වෙන එකයි. එහෙමත් නැත්නම් මහ බැංකුවේ "වටිනාකම" අඩු වෙන එකයි. මේ වැඩේ මහ බැංකුව උගස් කර ණය ගැනීමක් වන්නේ ඒ නිසයි.

මහ බැංකුව උගස් කර ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මේ මොහොත වන විට මහ බැංකුව තිබෙන්නේ බංකොලොත් තත්ත්වයක කියා කියන්න පුළුවන්. 2021 ජූලි 1 දින වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි. නමුත්, මහ බැංකුව සතුව තිබෙන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඊට වඩා අඩුයි. මැයි අවසන් වන විටත් තිබුණේ ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත ප්‍රමාණයක් පමණයි.

ඩොලර් මිලියන 4,032.8ක ශුද්ධ විදේශ වත්කම් වලින් රුපියල් බිලියන 1,072.0ක මුදල් සැපයුමක් ආවරණය කළ හැක්කේ අවම වශයෙන් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ නිසා, ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියා ගන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය අවම වශයෙන් ඩොලර් මිලියන 5,346.1ක මට්ටමට ඉහළ නංවා ගන්න වෙනවා. මුදල් හුවමාරු ගිවිසුම් වලින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. එසේ ලබා ගන්නා ඩොලර් රජයට විකිණීමෙන් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තවත් පහළ යන්නනම් පුළුවන්.

මහ බැංකුවට විදේශ වත්කම් වැඩි කර ගත හැකි වන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමෙන් පමණයි. පවතින විණිමය අනුපාතිකය යටතේ එය කළ හැකිද? 

මහ බැංකුව විසින් දැනට අනුගමනය කරන උපක්‍රමය වන්නේ ඩොලර් රටින් පිටවීම හැකි තරම් පාලනය කිරීමයි. මේ සීමාවන් නිසා විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීම වඩ වඩා අසීරු වී අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඩොලරයක අවිධිමත් වෙළඳපොළ මිල බැංකු වල මිල ඉක්මවා විශාල ලෙස ඉහළ යනවා. ඒ එක්කම කවර හෝ ආකාරයකින් ඩොලර් උපයන අය, උදාහරණයක් විදිහට විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අය, රටේ බැංකු පද්ධතිය මග හැර යාමේ ප්‍රවණතාවයක් ඉදිරියේදී ඇති විය හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ මහ බැංකුවට දැන් මිලට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම තවත් අමාරු වෙන එකයි. 

දැන් යන ක්‍රමයට ලංකාවේ ආර්ථික අර්බුදය මහ බැංකුවේ ස්ථායීතාවය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට මතු වෙන්න වුනත් බැරිකමක් නැහැ! ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු හැත්තෑ හතක්. මහ බැංකුවටත් දැන් හැත්තෑ එකක්!!  

Sunday, March 28, 2021

වාර්ෂික යුවාන් කප්පම හා රුපියල පදවන අත


ලංකාව අළුතෙන්ම අරගෙන තිබෙන ණය යුවාන් ණයක්. ඩොලර් වලින් නැතුව යුවාන් වලින් මේ ණය අරගෙන තියෙන්නේ ඇයි? ඇත්තටම කියනවානම් අහන්න තියෙන්නේ ලංකාව යුවාන් වලින් නැතුව ඩොලර් වලින් ණය ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයයි. මොකද ඇත්තටම ලංකාවට හිඟ යුවාන් මිසක් ඩොලර් නෙමෙයි.

මේ ලංකාව යුවාන් වලින් ණය ගත්ත පළමු අවස්ථාව නෙමෙයි. කාලයක් තිස්සේම ලංකාව යුවාන් වලින් ණය ගන්නවා. ඒ වගේම ඩොලර් නොවන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වලින්ද ණය ගන්නවා. බොහෝ විට කතාබහට ලක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය SDR ණය (special drawing rights). SDR කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුදල් ඒකකයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු කරන්නේ SDR වලින්.

ණය ගන්නේ කවර විදේශ ව්‍යවහාර මුදලකින් වුවත්, ණය ගැන කතා කරද්දී බොහෝ විට එවැනි ණය මුදලක් ඩොලර් වලට පරිවර්තය කරලා ඩොලර් වලින් ප්‍රකාශ කරන එක රජය, මහ බැංකුව වගේම මාධ්‍ය විසින්ද කරන දෙයක්. එය සංසන්දනය කිරීමේ පහසුවට කරන දෙයක්. මෙවර වුනත් යුවාන් බිලියන 10 සමහර වෙලාවට ඩොලර් බිලියන 1.5ක් විදිහට හැඳින්වෙන්නේ මේ සම්ප්‍රදාය අනුවයි.

කොහොම වුනත්, ණයක් කියා කිවුවට මේ ගණුදෙනුව විණිමය හුවමාරු ගිවිසුමක්. විණිමය හුවමාරු ගිවිසුමක් කියන්නේ කුමක්ද කියා මම කලින් පැහැදිලි කරලා තිබෙනවා. මෙවැනි ගිවිසුමකට එළැඹෙන්නේ රටවල් දෙකක මහ බැංකු. සාමාන්‍ය ණයකදී මෙන් අදාළ ව්‍යවහාර මුදල් ඒකක ගැන කතා නොකර විණිමය හුවමාරු ගිවිසුමක් ගැන කතා කරන්න බැහැ. ඒ නිසා, මෙවර ණය ගත්තේ යුවාන් වලින් කියන එකට මහ බැංකුවේ පුවත්පත් නිවේදනයෙහි වෙනදාට නැති අවධානයක් යොදවා තිබෙනවා. 

මම කලින් කිවුවා වගේම සාමාන්‍යයෙන් මෙහි ලියන ලිපිද ඇතුළු බොහෝ ලිපිවල ලංකාවට ඩොලර් හිඟයක් තිබෙන බව බොහෝ වර කියා ඇති නමුත් මෙහිදී ඩොලර් කියන එකෙන් අදහස් වන්නේ පොදුවේ රුපියල් නොවන විදේශ මුදල් කියන එකයි. හරියටම බැලුවොත් යුවාන් හිඟයක් හා ඉන්දියානු රුපියල් හිඟයක් මිසක් ඩොලර් හිඟයක් නැහැ. 

චීන ආනයන වෙනුවෙන් 2019 වසරේදී ලංකාව ඩොලර් බිලියන 4.08ක් වැය කර තිබෙනවා. එහෙත් චීනය ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා තිබෙන්නේ ඩොලර් මිලියන 391ක් පමණයි. මේ අනුව මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් තිබෙනවා. සෑම වසරකම වගේ තත්ත්වය මෙවැන්නක්. 

දැන් මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් කියා කිවුවත් ඇත්තටම මෙය ඩොලර් වලට පරිවර්තනය කර ඉදිරිපත් කරන යුවාන් බිලියන 24ක හිඟයක්. ලංකාවට චීනයෙන්ම යුවාන් නොලැබුනොත් යුවාන් හොයා ගන්න වෙන ක්‍රමයක් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ යුවාන් වෙනුවට ඇමරිකාවට ඇඟලුම් ඇතුළු භාණ්ඩ අපනයනය කර හා වෙනත් විවිධ ක්‍රම වලින් රටට ලැබෙන ඩොලර් චීනයට ගෙවන එකයි. 

චීනයට ඇත්තටම ඩොලර් වලින් වැඩක් නැහැ. ලංකාව සමඟ කරන වෙළඳාමෙන් වගේම ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙනුත් චීනයට කාලයක් තිස්සේ ඩොලර් ලැබෙනවා. වෙනත් තෙවන රටවල් වලින්ද ඩොලර් ලැබෙනවා. මේ ඩොලර් වලින් ආදායමක් උපයන්නනම් චීනයට එම ඩොලර් නැවත ණය සේ කාට හෝ දෙන්න වෙනවා. ඇමරිකාව ණය ගන්නේ ඉතාම අඩු පොලියකට. පොලිය ශුන්‍ය මට්ටමට ආසන්නයි. ඒ නිසා චීනයට ඇත්තටම මේ ඩොලර් බරක්. 

චීනය සතුව තිබෙන ඩොලර් චීනයට බරක් වුවත් මේ ඩොලර් එළියට දමන එකේ පාඩුවත් අන්තිමට චීනයටමයි. එසේ කළොත් ඇමරිකන් ඩොලරය විශාල ලෙස බාල්දු වෙයි. නමුත් ඒ එක්කම ඇමරිකන් නිෂ්පාදන විශාල ලෙස ලාබ වෙනවා. ඇමරිකාවට චීනය සතු නිෂ්පාදන වෙළඳපොළවල් අල්ලගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම චීනයට ඇමරිකන් වෙළඳපොළ අහිමි වෙනවා. ඒ නිසා චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ චීනයට කොටි වලිගයක්. එක පාරට කොටි වලිගය අතාරින්න බැරි වුනත් උපක්‍රමික ලෙස කොටියාගෙන් නිදහස් වෙන්න චීනය සැලසුම් කරන බවයි ඔවුන්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්මෙන් පෙනෙන්නේ.

චීනයට චීනයේ හදන බඩු විකුණන්න මිසක් ඩොලර් එකතු කරගෙන ගොඩ ගහගන්න අවශ්‍ය නැහැ. චීන බඩු රටින් පිට විකුණන්න පුළුවන් වෙන්නේ චීන යුවානය අවප්‍රමාණය වී තිබෙන තරමටයි. ඒ කියන්නේ අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය වී තිබෙන තරමටයි. අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය කරන්නනම් එම මුදල් මිල දී ගෙන ඉල්ලුම කෘතීම ලෙස වැඩි කළ යුතුයි. වක්‍ර විදිහට චීනය කාලයක් තිස්සේම ඇමරිකාවට කළේ ඒකයි.

චීනය විසින් යුවාන් ගෙවා ඇමරිකාවෙන් ඩොලර් මිල දී ගන්නවා. මේ වැඩෙන් ඩොලරය අධිප්‍රමාණය වෙලා ඇමරිකන් බඩු වලට සාපේක්ෂව චීන බඩු ලාබ වෙනවා. ඇමරිකාවේ නිෂ්පාදන කර්මාන්ත වැහෙනවා. ඇමරිකානුවන්ගේ රස්සා චීනයට යනවා. ඇමරිකාවට මේ යුවාන් වලින් වැඩක් නැති නිසා ඇමරිකාව ඒ යුවාන් නැවත චීනයටම දීලා චීනයෙන් භාණ්ඩ මිල දී ගන්නවා. නමුත් චීනය එකතු කර ගන්න ඩොලර් වලින් ඇමරිකන් භාණ්ඩ මිල දී නොගෙන ඒ විදිහටම තියා ගන්නවා. නිකම්ම තියාගෙන ඉන්න එක පාඩු නිසා සුළු පොලියකට ඇමරිකාවේම ආයෝජනය කරනවා. ඇමරිකාවට චීනය සමඟ වෙළඳාමෙන් පාඩුවක් වුනත් එහි හිලවුවට අඩු පොලියට අරමුදල් ලැබෙනවා. සල්ලි චීනයෙන් වුනත් ගෙවන පොලිය තීරණය කරන්නේ ඇමරිකාව.

මෙතෙක් කල් ලංකාව ඇමරිකාවෙන් හෝ වෙනත් රටකින් උපයාගත් ඩොලර් චීනයට ගෙවමින් හිටියා. උපයන ඩොලර් ප්‍රමාණවත් නොවෙද්දී ගිණි පොලියට ණයට අරගෙන චීනයට ගෙවුවා. දැන් ලංකාව ණය ගන්න බැරුව හිර වෙලා. ඩොලරය කඩා වැටෙන එක නවත්වාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් බවත්, ඉදිරියේදී රුපියල විශාල ලෙස අවප්‍රමාණය විය හැකි බවත් ළඟදී ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කියල තිබුණේ. 

රුපියල කඩා වැටුණොත් චීනයට මොකද වෙන්නේ? චීන බඩු වල මිල ලංකාවේ රුපියල් වලින් විශාල ලෙස ගණන් යනවා. ලංකාවේ චීන බඩු විකිණෙන එක නවතිනවා. ලංකාවෙන් චීනයට ලැබෙන යුවාන් බිලියන 24ක වාර්ෂික "කප්පම" චීනයට අහිමි වෙනවා. ඒ නිසා දැන් චීනයට අවශ්‍ය මොන ජාතියෙන් හරි රුපියල අවප්‍රමාණය වන එක වළක්වන්නයි. ඒ වෙනුවෙන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින්ම කටයුතු කරන නිසා චීනයට මේ වැඩේ හරිම පහසුයි. ඇමරිකාව එක්ක කරන ගනුදෙනු වලදී වගේ කිසිම ආතතියක් නැහැ. චීනයට අවශ්‍ය රුපියල ශක්තිමත් කරන්න. ලංකාවට අවශ්‍යත් ඒකමයි.

චීන යුවාන් ගෙවා ඇමරිකන් ඩොලර් මිල දී ගෙන කාලයක් තිස්සේ ඇමරිකන් ඩොලරයේ අගය අවප්‍රමාණය වීම වැළැක්වුවා වගේම දැන් චීනය ලංකාවේ රුපියලටත් අත ගහලා තිබෙනවා. කාටවත් වැඩක් නැති ලංකාවේ රුපියල් අරගෙන චීනය ලංකාවට යුවාන් බිලියන 10ක් දීලා. ඔය ගත්ත රුපියල් වලින් චීනය ලංකාවේ භාණ්ඩ මිල දී ගන්නේ නැහැ. අවුරුදු තුනක් ඒ ගත්ත විදිහටම සේප්පුවක දාලා තියා ගන්නවා පමණයි. අවුරුදු තුනකින් පස්සේ ලංකාව ණයට ගත්ත යුවාන් බිලියන 10ට පොලියත් එකතු කරලා ආපසු චීනයට දීලා රුපියල් ටික බේරාගත යුතුයි. එහෙම කරන්න ලංකාවට අවුරුදු තුනකින් පස්සේ යුවාන් ලැබෙන ක්‍රමයක් තියෙනවද? සමහර විට චීනයට වටින මොනවා හරි දෙයක් ණයේ හිලවුවට චීනය බාර ගනියි.

දැන් මේ යුවාන් බිලියන දහය ඇත්තටම ලංකාවට ලැබෙනවද? එහෙම ලැබෙන්නෙත් නැහැ. ඇත්තටම වෙන්නේ ලංකාව වාර්ෂිකව චීනයට ගෙවන යුවාන් බිලියන 24ක කප්පම යුවාන් බිලියන 14 දක්වා අඩු වෙන එක විතරයි. ඒ කියන්නේ මේ සල්ලි ලංකාවට එන්නෙවත් නැහැ.

දැන් පවතින තත්ත්වය අනුව කොහොමටත් ලංකාවට යුවාන් බිලියන 24ක කප්පමක් චීනයට ගෙවන්න විදිහක් නැහැ. ගෙවන්න ඩොලර් කොහෙන්ද? ඒ නිසා ඔය කප්පම කොහොමටත් යුවාන් බිලියන 14 පමණ මට්ටමකට අඩු වෙනවා. දැන් චීනය කරන වැඩෙන් චීනයට වෙනදා වගේම යුවාන් බිලියන 24ක් ම ලැබෙනවා. එයින් යුවාන් බිලියන 10ක් ලැබෙන්නේ රුපියල් වලින්. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් බිලියන 300කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ මහ බැංකුවෙන් චීන මහ බැංකුවට යනවා. 

ලංකාවේ මුදල් සැපයුම පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්නේ. ඒ හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියලේ අගය තීරණය කරනවා. වෙන රටක මහ බැංකුවකට ලංකාවේ රුපියල් මුද්‍රණය කරන්න බැහැ. ඒ අයිතිය තියෙන්නේ ලංකාවේ මහ බැංකුවට පමණයි.

හැබැයි දැන් චීන මහ බැංකුව සතුවත් ලංකාවේ රුපියල් බිලියන 300ක් තිබෙනවා. රුපියල් අච්චු ගහන්න බැරි වුනත්, ඔය විදිහට රුපියල් එකතු කර ගත් විට ඒ සල්ලි වෙළඳපොළට දමලා රුපියලේ අගය පාලනය කරන්න චීන මහ බැංකුවටත් පුළුවන් වෙනවා. ඔය විදිහට ලංකාවේ මුදල් ප්‍රතිපත්ති හදන එකත් චීනයටම ගිහින් රුපියල් යුපියල් වෙයිද? 

Friday, February 26, 2021

සල්ලි උඩ පීනා ගොඩයයිද ගිලී මැරෙයිද?


කිසියම් අයෙකු විසින් මෙහි අප ලිවිය යුතු දේවල් ගැන අපට උපදෙස් දෙමින්, එසේ නොකරන්නේනම් කළ හැකි දේ ගැන මෘදු තර්ජනයක්ද කර තිබෙනවා. ඔහු (හෝ ඇය) කියන විදිහට ඔහු අපේ ෆේස්බුක් පිටුව රිපෝර්ට් කර තිබෙන කණ්ඩායමේ කෙනෙක්. අපට දෙන උපදෙස හෝ තර්ජනය වන්නේ ලංකාව ගැන ලිවීමෙන් වැලකී සිටිය යුතු බවයි.

මේ වගේ තර්ජන වලින් පෙනෙන්නේ අප ලියන දේවල් වලින් සිදු වන පොඩි බලපෑම වුවත් මේ අයට දරා ගැනීමට අමාරු මට්ටමට පැමිණ ඇති බවයි. පෙර ලිපිය හා අදාලවනම් මුඛ්‍ය කාරණාව ලංකාව මේ දවස් වල කරන මහා පරිමාණ සල්ලි අච්චු ගැසීමයි. අප ලිවුවත්, නොලිවුවත් සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵල ඇස් පනාපිට පෙනෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ලංකාවේ විදේශ ණය අර්බුදය අද තත්ත්වයට පත් වීමට නියමිත බව අප වසර පහකට වැඩි කාලයක සිට කියනවා. ඒ කියූ දේවල් මේ වෙද්දී සැබෑ වී තිබෙනවා. සල්ලි අච්චු ගැහීම ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.

අප පෞද්ගලිකව ලංකාව දෙස බලා සිටියත් නැතත් ලෝකය ලංකාව දෙස බලා සිටින එක වලක්වන්න අමාරුයි. කොරෝනා හැදී මිය යන අයගේ මළ සිරුරු වලින් වෛරසය පැතිරීමේ හැකියාව පිළිබඳ ලංකාවේ විද්‍යාත්මක මතය පවා තීරණය වෙන්නේ ලංකාව දෙස ලංකාවට පිටත සිට බලා සිටින අය මතයි. කාලයක් තිස්සේ ලංකාවේ පනවා තිබෙන වාහන ආනයන සීමා කිරීමත් ඒ විදිහටම දිගටම තියෙනවාද නැද්ද කියන එක තව ටික දවසකින් ලංකාවට වාහන එවන ලොකු අයියා තීරණය කරයි.

තොරතුරු හා අදහස් වාරණය කර වර්තමානය හා අතීතය යම් තරමකින් වෙනස් කළ හැකි වුවත් එසේ වෙනස් කළ හැක්කේ සීමිත අවකාශයක් ඇතුළේ පමණයි. ගෙදරට දාන චන්ඩිපාට් ගෙදරින් පිටට ඔට්ටු නැහැ. මාධ්‍ය ප්‍රචාරණ හා මාධ්‍ය වාරණ හරහා තොරතුරු හා අදහස් සැඟවීම හෝ වෙනස් කිරීම රබර් බෝලයක් යට ඔබාගෙන ඉන්නවා වගේ වැඩක්. රබර් බෝලය නොහිතන වෙලාවක නොහිතන තැනකින් උඩ එන්න පුළුවන්. 

අපේ ෆේස්බුක් පිටු අප පටන්ගත්තේ අපට අවශ්‍ය තැනට යාමට අවශ්‍ය පහුරක් ලෙස පමණයි. දැන් අපට මේ ෆේස්බුක් පිටු එතරම්ම වැදගත් නැහැ. අවශ්‍ය වුවහොත්, අවශ්‍ය අවස්ථාවක නැවත ෆේස්බුක් හරහා අපට අවශ්‍ය පිරිස වෙත ලඟා වෙන්න බැරිකමකුත් නැහැ.

මේ වියුණුව ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. මේ වෙද්දී ඉකොනොමැට්ටා සන්නාමයක් වී අවසන්. වියුණුව දැන්ම අත හැර දමන්නට අපට අදහසක් නැතත්, කිසියම් ආකාරයකින් වියුණුව අහිමි වුවහොත් එය කිසිසේත්ම ලෝක විනාශය වෙන එකක් නැහැ. 

සමහර දේවල් තීරණය කරන්නේ ඇල්ගොරිදම් වලින් නිසා මේ ඇල්ගොරිදම් ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට හෝ කණ්ඩායමකට ඒවා නොමඟ යවා අපේ වියුණුව වාරණයකට ලක් කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් ඇති වුවහොත් ඔබට www.economatta.com හරහා තවදුරටත් ඉකොනොමැට්ටා වියුණුව කියවීමේ අවස්ථාව ඉතිරි වෙයි. දැන් ඔබ මේ ලිපිනය භාවිතා කළ විට ඔබව http://economatta.blogspot.com/ වෙත යොමු කෙරෙන නමුත් බ්ලොගර් භාවිතා කිරීම ප්‍රශ්නයක් වූ අවස්ථාවක අපට ඔබව වෙනත් සත්කාරක පරිගණකයක් වෙත යොමු කරවිය හැකියි.

ලංකාව දිහාම බලා ගෙන ඉන්න, ඇමරිකාවේ කොන් වෙලා ඉන්න අපි වගේ අයට පේන විදිහට ලංකාවේ ණය අර්බුදය මේ මොහොත වෙද්දී ඉතාම උග්‍ර වී තිබෙන්නේ කෝවිඩ් නිසා නෙමෙයි. ආණ්ඩුව මාරු වූ වහාම සිදු කළ තේරුමක් නැති බදු කප්පාදුව අර්බුදයට එක් ප්‍රධාන හේතුවක්. පසුගිය වස‍රේ පළමු මාස 11 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,128.9ක් පමණයි. මෙය පෙර වසරට සාපේක්ෂව 30% ඉක්මවන අඩු වීමක්. බදු ආදායම රුපියල් බිලියන 484.10කින් පහළ යද්දී පුනරාවර්තන වියදම් රුපියල් 259.50කින් වැඩි වෙලා තිබෙනවා.

ආදායම් අඩු වී වියදම් වැඩි වෙද්දී පරතරය පියවාගන්න වෙන්නේ ණය වලින් කියන එක ඉතාම පැහැදිලියිනේ. මේ කියන්නේ පරණ ණය ගැන නෙමෙයි. පසුගිය වසරේ පළමු මාස එකොළහේ පමණක් ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා අලුතෙන්ම ගත යුතු වූ ණය ගැන. කාලයක සිටම ලංකාව පරණ ණය හා පොලී කොහොමටත් ගෙවන්නේ අලුත් ණය වලින්නේ. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ සෑහෙන කාලයකට පසුව ප්‍රාථමික හිඟය ලෙස හඳුන්වන, පරණ ණය හැර අලුත් ආදායම් හා වියදම් අතර පරතරය අතිරික්තයක් වූ බවත් මතක් කළ යුතුයි.

ණය අවශ්‍යතාවය කොයි තරම් වැඩි වුවත් මේ වෙලාවේ විදේශ ණය ගැනීම ලංකාවට සිහිනයක්. ජනවාරි 18 කල් පිරෙන ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරය ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්නා අයෙක් මේ වෙද්දී එසේ කරන්නේ 44.24%ක පොලියක් (ඩොලර් වලින්) ලැබෙනවානම් පමණයි. මේ වෙලාවේ විදේශ ණය වාණිජ පදනමකින් ගන්නවානම් ගන්න වෙන්නේ ඔය වගේ පොලියකටයි. ඒ නිසා තිබෙන එකම විකල්පය දේශීය වෙළඳපොළෙන් ණය ගන්න එකයි.

දේශීය වෙළඳපොළේ විශාල මුදල් අතිරික්තයක් මේ වෙද්දී තිබුණත් ආණ්ඩුවට අවශ්‍ය තරම් අඩු පොලියකට ණය දෙන්න කවුරුවත් කැමති නැහැ. වාණිජ බැංකු විසින් වැඩිපුර සල්ලි රුපියල් බිලියන 170කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවට ණයට නොදී දවසේ පොලියට ආපහු මහ බැංකුවේම තැන්පත් කරනවා. මහ බැංකුව මේ සල්ලි වලට 4.5%ක පොලියක් ගෙවනවා. අවුරුද්දක ණයකට ආණ්ඩුව ගෙවන්න කැමති උපරිම පොලිය 5%ක් පමණ වුවත් ඒ පොලියට ආණ්ඩුවට දේශීය වෙළඳපොළෙන් ණය ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම සල්ලි අච්චු ගහන එකයි. 

නොවැම්බර් අවසානය වෙද්දී රජයේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,424.1ක්. 2019 අවසානයේදී සිට ගතවුණු මාස 11 තුළ 27%ක වැඩි වීමක්. මෙයින් සැලකිය යුතු කොටසක් පියවාගෙන තිබෙන්නේ සල්ලි අච්චු ගහලා. සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් කරන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණා මුදල් ලබා ගැනීම. අවුරුද්දකට කලින්, 2020 පෙබරවාරි අවසානයේදී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 78ක් පමණයි. 2021 පෙබරවාරි අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 810ක්. කොහොමද සල්ලි අච්චු ගැහිල්ල?

අර කතාවට කියන්නේ සල්ලි උඩ පීනනවා කියලා. අපි වගේ ඇමරිකාවේ ඉන්න කොන් වෙච්ච අයට ඔය වගේ සල්ලි උඩ පීනිල්ලක් බලා ගන්න ලේසියකට ඉඩක් නොලැබෙන නිසා මේ දවස්වල අපි ලංකාව දිහාම බලාගෙන ඉන්නවා. අපිට ලංකාව ගැන ලියන්න එපා කියන අයනම් සමහර විට සල්ලි එක්ක කොහේට හරි පීනයි. හැබැයි ලංකාවේ පහළ ස්ථර වල ගොඩක් මිනිස්සුන්ටනම් වෙන්නේ ඔය සල්ලි ගංවතුරේ ගිලිලා මැරෙන්නයි.

Tuesday, February 16, 2021

විණිමය හුවමාරු ගිවිසුම් හා ණය


මම හිතන්නේ විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනය පහුගිය දවස් වල ලංකාවේ ගොඩක් අයට ඇහෙන්න ඇති. සමහර මාධ්‍ය වල පළ වී තිබුණු හැටියට ලංකාව ඉන්දියාවෙන් අරගෙන තිබුණු ඩොලර් මිලියන 400ක ණයක් වහාම ගෙවන්න කියලා ඉන්දියාව ඉල්ලලා තිබෙනවා. ඔය ගැන ලංකාවෙන් වගේම ඉන්දියාවෙන්ද පැහැදිලි කිරීම් කෙරුණා. ඊට පස්සේ දැන් චීනයෙන් ඩොලර් මිලියන 1,500ක ණයක් ගන්න යන කතාවකුත් ඇහෙනවා. ඔය කතා දෙකම එක්ක විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනයත් ඇහෙන බව ටිකක් හොයා බැලුවොත් පෙනෙයි.

මේ විණිමය හුවමාරු ගිවිසුම් කියන්නේ මොනවාද? ඒවා ණය නෙමෙයිද? අයිඑෆ්එම් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ණය ගැනත් ඔය වගේම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ගැන මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නමුත්, ගොඩක් අයට මෙය තවමත් පැහැදිලි නැති නිසා, විශේෂයෙන්ම වෙන තැන් වල නැවත පළවීමෙන් පසුව මේ ලිපි කියවන අයත් දැන් ගොඩක් ඉන්න නිසා, අපි මේ ගැන නැවතත් පැහැදිලි කර ගනිමු.

පළමුව රාජ්‍ය ණය හා විදේශ ණය අතර වෙනස නැවත පැහැදිලි කරන්නම්.

රාජ්‍ය ණය කියන්නේ රජය විසින් ලබා ගන්නා ණය. මේ ණය විදේශ ණය හෝ දේශීය ණය විය හැකියි. ඒ වගේම, විදේශ ණය කියන්නේ ලංකාවේ කවුරු හෝ විසින් විදේශයකින් ගන්නා ණය. ණය ගන්නේ රජය, පුද්ගලයෙක් හෝ සමාගමක් වෙන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය ණය අර්බුදය හා විදේශ ණය අර්බුදය එකිනෙකට සම්බන්ධ වුනත් මේ දෙක දෙකක්. 

රාජ්‍ය ණය ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ ණය වාරික හා පොලිය ගෙවීම අනාගතයට ඉතිරි වීම, ඒ හරහා අනාගතයේදී රජයේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය වැඩි වීම හා අයවැය හිගය පියවන්න වැඩි වැඩියෙන් තවතවත් ණය ගන්න සිදු වීම. මේ විදිහට අයවැය හිඟය ඉහළ ගිහින් ඒ අයවැය හිඟය පියවීම සඳහා තවදුරටත් දේශීය හෝ විදේශීය ණය ගන්න අමාරු වුනහම රජය සල්ලි අච්චු ගැහීම කරා යොමු වෙනවා. පහුගිය අවුරුද්දේ කළේම ඔය වැඩේනේ. එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරන්න කාලය වැය නොකර සිටිමු. කලින් මේ ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ.

ඇත්තටම රජය විසින් ලබා ගන්න ණය ඵලදායී ලෙස ආයෝජනය කරනවානම් ණය කොයි තරම් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කරපු මොනවා හෝ ආයෝජන නිසා රටේ ආදායම් ඉහළ යන නිසා ණය වාරික හා පොලී ගෙවන්න අවශ්‍ය අමතර මුදලට වඩා වැඩියෙන් රජයේ බදු ආදායම් ඉහළ යනවා. ඒ නිසා, ණය ගෙවන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය ණය ඒ විදිහට ඵලදායී විදිහට ආයෝජනය නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ නිසා, වරින් වර ඔය සල්ලි අච්චු ගහන විකල්පයට යන්න වෙනවා.

විදේශ ණය ඉහළ යාමේ ප්‍රශ්නය වෙන එකක්. අපි රජය පැත්තකින්ම තියමුකෝ. ලංකාවේ කවර හෝ සමාගමක් විසින් විශාල (ඩොලර් බිලියන දෙක තුනක වගේ) විදේශ ණයක් ගත්තා කියමු. මේ විදිහට ලබාගත් අරමුදල් ඉතාම ඵලදායී ලෙස ආයෝජනය කරලා ණය ගෙවන්න අවශ්‍ය මුදලටත් වඩා ආදායමක් ඉපැයූවා කියමු. හැබැයි ආදායම උපයා තියෙන්නේ රුපියල් වලින්. ණය ආපසු ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්. 

දැන් මේ සමාගමට ණය ගෙවන්න රුපියල් ඩොලර් වලට මාරු කරන්න වෙනවා. ඒ සඳහා, ඩොලර් දීලා රුපියල් ගන්න කැමති කෙනෙක් ළඟට යන්න වෙනවා. පොඩි ඩොලර් ගණනක්නම් ඔය විදේශ මුදල් හුවමාරු කරන තැනකින් ගන්න පුළුවන්. ටිකක් ලොකු ගණනක් බැංකුවකින් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ කිසිම වාණිජ බැංකුවක බිලියන ගණන් ඩොලර් නැහැ. ඒ වගේ ගණනක් ගන්න පුළුවන් තැන මහ බැංකුව. රුපියල් දීලා ඩොලර් ගන්න පුළුවන් වෙන්නේ මහ බැංකුවේ ඩොලර් සංචිත වලින්. 

ඇත්තටම කියනවානම් වෙන කවුරු විසින් ප්‍රතික්ෂේප කළත් මහ බැංකුවට රුපියල් අරගෙන ඩොලර් දෙන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ. මහ බැංකුව විසින් එහෙම කරනවානම් එහි විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇයි?

මහ බැංකුව විසින් රුපියල් අරගෙන ඩොලර් දෙන්න බැහැ කියා කියනවානම් එය සමාන කළ හැක්කේ වාණිජ බැංකුවක් විසින් ඔබේ තැන්පතු ආපසු දෙන්න බෑ කියන එකටයි. ඔබේ අතේ තිබෙන රුපියල් මුද්‍රණය කරලා සංසරණයට එකතු කරලා තියෙන්නේ මහ බැංකුව විසින්. ඔබ මේ රුපියල් ලබා ගෙන තිබෙන්නේ නිකම් නෙමෙයි. මහන්සියෙන් හදාගත් මොනවා හෝ දෙයක් එක්ක හුවමාරු කරලා. එහෙම නැත්නම් ඔබේ ශ්‍රමය එක්ක හුවමාරු කරලා. ඔබ වටිනා දෙයක් රුපියල් නෝට්ටු එක්ක හුවමාරු කරගන්න කැමති වී තිබෙන්නේ මහ බැංකුව මත තිබෙන විශ්වාසය මත. රුපියල් අතේ තියා ගන්නවා කියන්නේත් හරියට බැංකුවක සල්ලි දමනවා වගේම දෙයක් තමයි.

රුපියල් වලට වටිනාකමක් තිබෙන බව කියන්නේ මහ බැංකුව. මේ වටිනාකම හරියටම ඔබට දැනුම් දෙන්නෙත් මහ බැංකුව. නිශ්චිතවම කියනවානම් රුපියල් දෙසීයක ඇමරිකන් ඩොලරයකට සමාන වටිනාකමක් තිබෙන බව ඔබට කියන්නේ මහ බැංකුව. මහ බැංකුව ඔබට එහෙම කියනවානම් ඔබ රුපියල් දෙසීයක් මහ බැංකුවට දුන්නහම ඔබට ඩොලරයක් දෙන්න මහ බැංකුවට වගකීමක් තියෙනවා. මහා බැංකුව එහෙම දෙන්න බැහැ කියනවානම් ඒ කියන්නේ රුපියලේ වටිනාකම පිළිබඳව මහ බැංකුව කියන්නේ බොරුවක් කියන එකයි.

ඉහත තර්කය අනුව ඔබ රුපියල් දුන්නහම ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් දෙන්න බැරිනම් මහ බැංකුවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වෙනවා. ඒ නිසා, මහ බැංකුවක් මේ තත්ත්වයට වැටෙන්න කැමති නැහැ. එහෙම වැටෙනවානම් වැටෙන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති වුනහම. එහෙමත් නැත්නම් මහ බැංකුව බංකොලොත් වුනහම. රටක මහ බැංකුවක් බංකොලොත් වෙනවා කියන්න ඒ රටේ මුදල් වලට කිසිම වටිනාකමක් නැති වෙලා නිකම්ම කඩදාසි බවට පත් වෙලා කියන එක. සමහර රටවල් වල ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. කවුරු හෝ ඉල්ලුවොත් ඉල්ලන තරමක් දෙන්න ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් මහ බැංකුවේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වන්නේ මේ නිසා.

මහ බැංකුවේ ඩොලර් සංචිත පහත වැටිලා ඉල්ලුමට සරිලන තරම් ඩොලර් සපයන එක අසීරු වුනහම එය අපි ගෙවුම් ශේෂ අර්බුදයක් කියා හඳුන්වනවා. ලංකාව වසර කිහිපයකට වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙනවා. ගොඩක් වෙලාවට ගොඩ දමන්නේ අයිඑම්එෆ් එක. අර්බුදය අවසන් වන විට රුපියල සෑහෙන තරමකින් අවප්‍රමාණය වෙනවා. බොහෝ විට වෙන්නේ සංචිත ඉහළ යන එකට වඩා විණිමය අනුපාතය ඉහළ යාම නිසා ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වෙන එක. 

රුපියල් දෙසීය ගානේ මහා බැංකුවෙන් ඩොලර් ඉල්ලන ගොඩක් අය රුපියල් තුන්සීය ගානේ ඩොලර් ඉල්ලගෙන එන්නේ නැහැ. ඒ නිසා සංචිත වැඩි වුනේ නැතත් අඩු වශයෙන් තාවකාලිකව හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා. කාලයක් ගිහින් අලුත් වටයකින් නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්නය මතු වෙන කොට ආයෙත් ඔය රවුමම යනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. 

දැන් මම ඔය විස්තර කළේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය. මම මෙය විස්තර කළේ රජය ගාවා නොගෙන. ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතුව මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය. රාජ්‍ය ණය ප්‍රශ්නයක් නොතිබුණත් මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ උදාහරණයේදී මෙන් විදේශ ණය ලබාගත් පෞද්ගලික සමාගම එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කරලා ආදායම් ඉපදවූයේ වුවත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. 

මේ ප්‍රශ්න දෙකේ වෙනස පැහැදිලි කරන්න මේ විදිහට පෞද්ගලික අංශය විසින් ලබාගත් විදේශ ණයක් උදාහරණයට ගත්තත් ඇත්තටම ලංකාවේ විදේශ ණය වලින් විශාල කොටසක් අරගෙන තිබෙන්නේ රජය විසින්නේ. රජය විසින් විදේශ ණය ගත්තහම එක පැත්තකින් රාජ්‍ය ණය අර්බුදයක් වගේම අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ අර්බුදයක්ද මතු වෙනවා. ඒ නිසා, වෙන වෙනම ප්‍රශ්න දෙකක් වුනත් මේ ප්‍රශ්න දෙක එකට ගැට ගැහිලයි තියෙන්නේ. 

විදේශ ණය ගත්තහම තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් වෙනවා. එක පැත්තකින් ගත්ත ඩොලර් ටික රුපියල් වලට මාරු කළාම රටේ බැංකු පද්ධතියට ඩොලර් ඇවිත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය යට යනවා. අනෙක් පැත්තෙන් ඩොලර් මාරු කරලා ගත්ත රුපියල් ටිකෙන් අයවැය හිඟය පියවාගන්න පුළුවන්. ඒ නිසා, සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උද්ධමන ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ මේ වැඩේ.

හැබැයි ඉතිං මේ වැඩේ තනිකරම හිඟන්නාගේ තුවාලය කහනවා වගේ වැඩක්. විදේශ ණය අරගෙන තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් කර ගත්තත් ගත්ත ණය පොලියත් එක්ක ගෙවන්න වුනහම ප්‍රශ්නය අලුත් වටයකින් එන්නේ තිබුණාටත් වඩා දරුණු වෙලා. එතකොට හැමදාම වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා. නමුත්, ණය ගන්නනම් ණය දෙන්න කැමති අයත් ඉන්න ඕනෑනේ. 

දැන් ලංකාවේ රජය ණය අරන් තිබෙන තරමට හා ඒ ගත්ත ණය මෙතෙක් කාලයක් වියදම් කරලා තිබෙන විදිහට රජයට තවත් ණය දෙන එක විශාල අවදානමක් බව කාට වුනත් තේරෙනවා. මෙච්චර කල් ගත්ත ණය වලින් ආදායම් උපදවා නැතුවා වගේම කවදාවත් ගත්ත ණය ගෙවලත් නැහැනේ. ගත්ත ණය ගෙවලා නැහැ කියා කියන්නේ ණයට පොලු තියලා තියෙනවා කියන එක නෙමෙයි. ලංකාව එහෙම කරලා නැහැ. නමුත්, හැම විටම ගත් ණය ගෙවා තියෙන්නේ අලුත් ණය වලින්. ඔය පිරමිඩ් එක කොයි වෙලේ හෝ කඩා වැටෙන බව කාට වුනත් තේරෙනවනේ.

දැන් ලංකාවේ රජයට විදේශ ණය ලබා ගන්න එක ඉතාම අසීරුයි. අවුරුද්දකින් (2022 ජනවාරි 18) කල් පිරෙන්න නියමිත ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරයක අද ආයෝජනය කරන කෙනෙකුට (ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්න කෙනෙකුට) 40%කට කිට්ටු පොලියක් ඩොලර් වලින්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවට අවුරුද්දකට ඩොලර් 100ක් දෙන කෙනෙක් එසේ කරන්නේ අවුරුද්දකින් ඩොලර් 140ක් ලැබෙනවානම් පමණයි. මෙයින් පෙන්වන්නේ රට ඇතුළේ ඉන්න අයට නොතේරුණත් රුපියලේ සැබෑ වටිනාකම කොයි තරම් අඩු වෙලාද කියන එකයි.

මේ වගේ තත්ත්වයකදී ලංකාවට විදේශ ණය ලබා ගැනීම ඉතාම අසීරුයි. වාණිජ පදනමින් ණය ගන්නවානම් 40%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. නැත්නම් ඉන්දියාව, චීනය හෝ වෙනත් බටහිර රටක් දේශපාලන අරමුණක් පෙරදැරිව අඩු පොලියකට ණය දෙන්න ඕනෑ.

මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම විශාල ලෙස බදු අඩු කළානේ. එහි දේශපාලනය අපි පැත්තකින් තියමු. මේ වැඩෙන් රජයේ ආදායම් විශාල ලෙස අඩු වෙලා අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියා. දැන් එක පැත්තකින් අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගිහින්. අනෙක් පැත්තෙන් අයවැය හිඟය පියවාගන්න විදේශ ණය ගන්නත් බැහැ. දේශීය ණය ගන්න පුළුවන් වුනත් දේශීය ආයෝජකයෝ වුනත් ආණ්ඩුවට අවශ්‍ය පොලියට ණය දෙන්න සූදානම් නැහැ. පවතින පොලියට රජයට ණය දීම අවදානම් බව දේශීය ආයෝජකයෝ පවා හිතනවා. මේ තත්ත්වය යටතේ විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවා ගන්න ආණ්ඩුව පෙළඹී තිබෙනවා.

මේ වැඩෙන් යම් කාල පමාවකින් පසුව විශාල ලෙස රටේ බඩු මිල ඉහළ යාම හා ඉන් පසුව ඩොලරයේ මිලද ඉහළ යන එක ඉතාම පැහැදිලියි. ඒ කතාව අපි පැත්තකින් තියමුකෝ. ඒ අනාගත අවදානම් කොහොම වුනත් මේ විදිහට සල්ලි අච්චු ගහන එකෙන් මේ අවස්ථාවේදී තාවකාලිකව රාජ්‍යමූල්‍ය අර්බුදය විසඳෙනවා. අච්චු ගහපු සල්ලි වලින් දේශීය ණය වගේම පොලියත් ආපහු ගෙවන්න පුළුවන්. අනෙක් දේශීය වියදම් වෙනුවෙන් මේ මුදල් වැය කරන්නත් පුළුවන්. ඒ වගේම විදේශ ණය හා පොලිය ගෙවන්න අවශ්‍ය තරමට මුදලක් අච්චු ගහගන්නත් පුළුවන්. 

ප්‍රශ්නය තියෙන්නේ එතැනින් එහාට. ඩොලර් වලින් ලංකාවේ රජයට ණය දුන් කවුරුවත් රුපියල් දෙසීයක් ඩොලරයේ අනුපාතයට රුපියල් වලින් ණය හා වාරික ආපහු ගන්න කැමති නැහැ. මොකද එහෙම ගත්තා කියලා රුපියල් දෙසීයේ අනුපාතයට රුපියල් ඩොලර් වලට මාරු කරලා දෙන්න කෙනෙක් නැහැ. ආණ්ඩුව ඩොලර් වලින් ගත් ණය හා පොලිය ඩොලර් වලින්ම ආපසු ගෙවිය යුතුයි. රුපියල් ඩොලර් වලට මාරු කරගන්න වෙන්නේ මහ බැංකුවෙන්. නමුත් ඒ වැඩේට ප්‍රමාණවත් ඩොලර් මහ බැංකුවේ නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නය.

"අපේ රුපියල් දීලා ඩොලර් අරන් ණය ගෙවන්න බැරිද? එහෙම ගෙව්වොත් ඩොලර් එක කොච්චරකින් වැඩිවෙයිද? (ඩොලර් බිලිනයක් ගත්තොත් ඩොලරය කීයක් වෙයිද?) ඒ ඔප්ශන් එකට යන්නෙ නැත්තෙ ඇයි?"

ඔය ඔප්ෂන් එකට යන්න පුළුවන්නම් හරිම ලේසියි. කැමති තරමක් රුපියල් මුද්‍රණය කළා. ඩොලර් වලට මාරු කළා. ණය ගෙවුවා. සිම්පල් ප්ලෑන් එකක්!

ඇත්තටම කියනවානම් ඇමරිකාව කරන්නේ ඔය වගේ වැඩක්. ඩොලර් අච්චු ගහලා ණය ගෙවනවා. ඇමරිකාව අච්චු ගහලා දෙන ඩොලර් කියන්නෙත් රුපියල් වගේම නිකම්ම කඩදාසි වුනත් ඒ කඩදාසි බාර ගන්න කැමති අය ඇමරිකාවෙන් පිටත ඕනෑ තරම් ඉන්නවා. නමුත්, ලංකාව ඒ විදිහට සල්ලි අච්චු ගැහුවා කියලා ලංකාවේ පිටත කිසිම කෙනෙක් ඒ කඩදාසි බාර ගන්නේ නැහැ. ඒවා බාර ගන්නේ ලංකාව ඇතුළේ ඉන්න අය පමණයි.

ලිපිය පටන් ගැනීමේදී කතා කළ විණිමය හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ මේ විදිහට රුපියල් අරගෙන ඩොලර් දීමක්. හැබැයි එහෙම දෙන අය රුපියල් අරගෙන ඩොලර් දෙන්නේ කොන්දේසියක් යටතේ. යම් නිශ්චිත කාලයකට පසුව රුපියල් ටික ආපසු අරගෙන ඩොලර් ටික ආපසු දෙන්න ඕනෑ. තාක්ෂනිකව බැලුවොත් මෙය ණය ගැනීමක් නෙමෙයි. මොකද ඩොලර් ගන්නේ රුපියල් දීලා. 

විණිමය හුවමාරු ගිවිසුම් වලට යන්නේ රජයයන් පමණක් නෙමෙයි, උදාහරණයක් විදිහට සමාගමක් හා වාණිජ බැංකුවක් අතර විණිමය හුවමාරු ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු චීනයෙන් මොනවා හරි ගෙන්නලා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන ලංකාවේ ව්‍යාපාරයක් ගැන. හදිසියේම ඉන්දියාව පැත්තෙන් ඉල්ලුම වැඩි වුනොත් එම ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අමතර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අනෙක් අතට බඩු ටික ඉන්දියාවට ගිය ගමන් ඩොලර් ලැබෙනවා. ඩොලර් අවශ්‍ය වන්නේ ඔය අතර කාලයේදී පමණයි. 

එක විකල්පයක් වන්නේ ඩොලර් ණයට ගන්න එක. එතකොට ණයට පොලියක් ගෙවන්න වෙනවා. නමුත් අතේ රුපියල් වලින් ඕනෑ තරම් සල්ලි තියෙන කෙනෙකුට පොලියට ණය ගන්න අවශ්‍ය නැහැ. උවමනාව අතේ තිබෙන රුපියල් ටික තාවකාලිකව ඩොලර් කර ගන්න එකයි. ඒ වගේම දිගටම ඩොලර් අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ වගේ අවස්ථාවකදී විණිමය හුවමාරු ගිවිසුමකට යන එක හොඳ විකල්පයක්. පසුව දෙන පොරොන්දුවට කාගෙන් හෝ ඩොලර් ගත්තත් අනෙක් පැත්තෙන් රුපියල් ගෙවීමක්ද සිදුවන නිසා මෙය ණයක් නෙමෙයි. ඩොලර් ගන්නේ සදහටම නොවන නිසා සාමාන්‍ය විණිමය ගනුදෙනුවකුත් නෙමෙයි.

පහුගිය දවස් වල කතාබහට ලක් වුනු ඉන්දියාවට ආපසු ගෙවපු ඩොලර් 400ක "ණය" මුදලත් ඔය විදිහට විණිමය හුවමාරු වැඩ සටහනක් යටතේ අරගෙන තිබුණු මුදලක්. දැන් චීනයෙන් ගන්න යනවා කියා කියන්නෙත් මේ වගේ "ණයක්". සාමාන්‍යයෙන් අයිඑම්එෆ් එකෙන් ගන්නා ණයත් මේ වර්ගයේ "ණය". අයිඑම්එෆ් ණය වලට විණිමය හුවමාරු ගිවිසුම් කියා කියන්නේ නැතත් ව්‍යුහමය ලෙස සිදුවන්නේ සමාන දෙයක්. 

ඉහත අවස්ථා තුනේදීම ගනුදෙනුව සිදු වන්නේ මහ බැංකුව එක්ක මිසක් රජය එක්ක නෙමෙයි. මේ වගේ ගනුදෙනුවකින් රජය විදේශ ණය ගනිද්දී මෙන් රාජ්‍ය ණය ඉහළ යන්නේ නැහැ. මොකද රජය ණය ගැනීමක් නොකරන නිසා. රජය කරන්නේ කවර හෝ ක්‍රමයකින් හොයා ගන්නා රුපියල් මහ බැංකුවට දී ඩොලර් කර ගන්න එක. මහ බැංකුව විසින් කරන්නේ සංචිත වල ඩොලර් ප්‍රමාණය පහත වැටෙන එක වලක්වා ගැනීම සඳහා තාවකාලික ක්‍රියාමාර්ගයක් ගන්න එක.

යුරෝපයේ හා ඇමරිකාවේ පිහිටි සමාගම් දෙකක් අතර සිදුවන විණිමය හුවමාරු ගිවිසුමක් වගේ එකක් ගත්තොත් ඇමරිකාවේ සමාගමට තාවකාලිකව යුරෝ අවශ්‍ය වෙනවා. යුරෝපයේ සමාගමට තාවකාලිකව ඩොලර් අවශ්‍ය වෙනවා. නමුත්, ඉන්දියාවට, චීනයට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඔය විදිහට තාවකාලිකව ලංකාවේ රුපියල් අවශ්‍ය වීමක් වෙන්නේ නැහැ. ලංකාවට ඩොලර් අවශ්‍ය වීම පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, ලංකාවට විණිමය හුවමාරු ගිවිසුමකට යන්න වෙන්නේ යම් තාක් දුරකට අනෙක් පාර්ශ්වයේ අනුකම්පාව මත හෝ කොන්දේසි වලට යටත් වෙමින් පමණයි.

තවත් දෙයක් තිබෙනවා. විණිමය හුවමාරු ගිවිසුමකදී සෛද්ධාන්තිකව ණය ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ලංකාවේ මහ බැංකුව විසින් කරන්නේ ඉන්දියාවේ මහ බැංකුව එක්ක තාවකාලිකව රුපියල් හා ඩොලර් මාරු කර ගැනීමක් පමණයි. ලංකාවේ රජය විසින් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නවා. ඒ සඳහා රුපියල් හොයා ගැනීම වෙනම කතාවක්. එය රජයේ බදු හෝ වෙනත් ආදායමක් වෙන්න පුළුවන්. නැත්නම් දේශීය වෙළඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් විකුණා හොයා ගන්න මුදලක් වෙන්න පුළුවන්.

හැබැයි දැන් වෙන්නේ කුමක්ද? රජය මහ බැංකුවට රාජ්‍ය සුරැකුම්පත් විකුණනවා. මහ බැංකුව අලුතින් මුද්‍රණය කළ මුදල් ගෙවා ඒ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නවා. ඉන් පසු රජය රාජ්‍ය සුරැකුම්පත් විකුණා මහා බැංකුවෙන් ලබාගත් මුදල්ම මහ බැංකුවට දී ඩොලර් ලබා ගන්නවා. මහ බැංකුව ඩොලර් ලබා ගන්නේ ඉන්දියාවේ මහ බැංකුවට රුපියල් දීලා. ඒ කියන්නේ වක්‍රව ගත්තහම මෙතැනදී අන්තිමට වෙන්නේ ලංකාවේ රජය විසින් ඉන්දියාවේ මහ බැංකුවෙන් ණයක් ගැනීමක්ම තමයි.

මහ බැංකුව ගිවිසුමේ කාලය අවසානයේදී ඉන්දියාවට ඩොලර් ආපසු දී රුපියල් ටික නැවත ලබාගත යුතුයි. නමුත්, ඩොලර් ටික දැන් රජයට දීලා ඉවරයි. ඒ ඩොලර් නැවත ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉන්දියාව පැත්තෙන් බැලුවහම මහ බැංකුවට දුන් ඩොලර් ටික ආපසු ලබා ගැනීමේ අවදානම ඒ විදිහටම තිබෙනවා. 

මෙහි ඉන්දියාව වෙනුවට අයිඑම්එෆ් එක හිටියත් කතාව ඔය විදිහමයි. දුන්න සල්ලි ආපසු නොලැබීමේ අවදානම අයිඑම්එෆ් එකට තිබෙනවා. ඒ නිසා, අයිඑම්එෆ් එක සල්ලි දෙන්නේ ඒ සල්ලි ආපසු ගෙවිය හැකි තරමේ වෙනසක් සිදුවන ප්‍රතිසංස්කරණ වලට ලංකාව කැමති වුනොත් පමණයි. ණය ගනිද්දී අයිඑම්එෆ් එක කොන්දේසි දමනවා කියා කියන්නේ ඕකටයි. 

විණිමය හුවමාරු ගිවිසුම යටතේ ඉන්දියාව ඩොලර් මිලියන 400ක් දීලා තියෙන්නෙත් ඔය වගේ කොන්දේසියක් දමලා. කොන්දේසිය වන්නේ ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට යා යුතු බවයි. එසේ කළහොත් ණය ආපසු ලබා ගැනීමේ අවදානම අඩු වන බව ඉන්දියාව දන්නවා. නමුත්, ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට ගියේ නැහැ. ඒ නිසා, ඉන්දියාව තමන්ගේ අවදානම අඩු කර ගැනීම සඳහා ඩොලර් ටික නැවත ආපසු අරගෙන ගත්ත රුපියල් ටික ආපසු දුන්නා.

දැන් ලංකාව සතුව ඉතිරි වී තිබෙන එක් විකල්පයක් වන්නේ අයිඑම්එෆ් වැඩසටහනකට යන එකයි. දෙවන විකල්පය වන්නේ ඉන්දියාවෙන් හෝ චීනයෙන් ණය ගැනීමයි. තෙවන විකල්පය වන්නේ ඉන්දියාව හෝ චීනය සමඟ විණිමය හුවමාරු ගිවිසුමකට යන එකයි. හතරවන විකල්පය රටේ මූල්‍යමය නොවන වත්කම් වලින් කොටසක් විකුණන (හෝ බදු දෙන) එකයි.

මෙහි මා ඉන්දියාව හා චීනය ගැන සඳහන් කළේ එම දෙරටින් එකක් මේ වැඩේට කැමති වීමේ වැඩි හැකියාවක් තිබෙන නිසයි. ලංකාවේ ඩොලර් සංචිත හිඳෙනවා කියා කියන්නේ දැඩි ලෙස ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. මෙයින් ප්‍රධාන වශයෙන්ම අවාසියක් වෙන්නේ ඉන්දියාවට හා චීනයටයි. එම රටවල් වලින් ලංකාවට කරන අපනයන අඩු නොකර පවත්වා ගන්නනම් අනෙක් පැත්තෙන් ලංකාවට බඩු ගන්න සල්ලිත් කිසියම් ක්‍රමයකින් දෙන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ. 

ණය ආපසු නොලැබීමේ අවදානම නොගෙන අපනයනද එලෙසම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංකාවට පොම්ප කළ හැකි එකම ක්‍රමය ලංකාවේ මොනවා හෝ වත්කම් මිල දී ගැනීමයි. චීනය වගේම ඉන්දියාවත් කරන්න හදන්නේ ඒකයි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...