වෙබ් ලිපිනය:

Saturday, November 13, 2021

අයවැය අභියෝගය


තවත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. තවත් අයවැයක් කියා කිවුවත් මෙය තවත් අයවැයක්ම නෙමෙයි. ලංකාව තීරණාත්මක මංසන්ධියකට එළැඹ සිටින අවස්ථාවක ඉදිරිපත් කෙරෙන අයවැයක්. ලෝකය පුරා විසිරී සිටින, ලංකාව ගැන කවර ආකාරයක හෝ උනන්දුවක් තිබෙන බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි අයවැයක්.

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් පිළිබඳ ලියවිල්ලක් මිසක් එය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන පුද්ගලයාගේ ලොකු තාත්තා, තාත්තා හා අයියා ඇතුළු පරම්පරාව ගැන පුරාජේරු ගහන්න හදන ලියවිල්ලක් නොවන නිසා අපි කෙළින්ම අවශ්‍ය තැනට යමු. 

ඉදිරි වසර සඳහා යෝජිත රජයේ ආදායම් හා වියදම් මෙහෙමයි.

මුළු ආදායම - රුපියල් බිලියන 2,284යි.

මුළු වියදම - රුපියල් බිලියන 3,912යි.

අයවැය හිඟය - රුපියල් බිලියන 1,628යි.

රුපියල් බිලියන 1,628ක අයවැය හිඟයක් පවත්වා ගන්න සැලසුම් කරනවා කියන්නේ ඒ අඩුව ණය වලින් පුරවා ගත යුතුයි කියන එකයි. ඊට අමතරව, ඉදිරි වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා. නමුත්, දැන් ලංකාව ඉන්නේ ලේසියකට විදේශ ණය ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒ නිසා, අයවැය හිඟය පියවන්න වෙන්නේ දේශීය ණය වලින්.

රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 508ක විදේශ ණය ලබා ගන්න සැලසුම් කර තිබෙනවා. එහෙත්, වසර තුළ ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 687ක්. ඒ නිසා, අයවැය හිඟය වන රුපියල් බිලියන 1,628ට අමතරව විදේශ ණය වලින් කොටසක් පියවීම සඳහාද රුපියල් බිලියන 179ක දේශීය ණය ලබා ගන්න අවශ්‍ය වෙනවා.

මේ අනුව, දේශීය ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 1,807ක්. එයින් රුපියල් බිලියන 501ක් බැංකු අංශයෙන්ද ඉතිරිය බැංකු නොවන අංශ වලින්ද ලබා ගැනීම සැලසුමයි.

රුපියල් බිලියන 508ක විදේශ ණය කියා කියන්නේ ඩොලරය රුපියල් 200 ගණනේ ගණන් හැදුවොත් ඩොලර් බිලියන 2.54ක්. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 150ක් (ඉහත විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 750ක්) වාණිජ ණය ලෙසත්, ඉතිරි මුදල ව්‍යාපෘති ණය ලෙසත් ලබා ගන්නට යන බවයි සඳහන්ව තිබෙන්නේ.

ව්‍යාපෘති ණය සාමාන්‍යයෙන් හදිසියේ ලබා ගන්න බැහැ. මේ ඇස්තමේන්තුව පදනම් වෙනවා ඇත්තේ දැනට යෝජනා ඉදිරිපත් කර ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු සිදු වෙමින් තිබෙන (pipeline එකේ තිබෙන) ව්‍යාපෘති මත පදනම්ව විය යුතුයි. එසේ වුවත්, එවැනි ව්‍යාපෘති ණය අපේක්ෂා කළ පරිදිම ලැබෙන බවට සියයට සියයක සහතිකයක් නැහැ. මිලියන 750ක් කියා කියන්නේ ලංකාව අරගෙන තිබෙන ණය වල හැටියට ලොකු ණයක් නොවුණත්, මේ වෙලාවේ එවැනි මුදලක් වුවත් වාණිජ ණය ලෙස ලබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්.

මේ ණය සියල්ල ගත්තත් ලබන වසරේ ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 900ක් පමණ දේශීය වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ දේශීය වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ ඩොලර් බිලියන දෙකක හෝ තුනක ණය වෙළඳපොළට සැපයීමෙන් පසුවයි. ඒ වැඩේ කරන්න බැරි වීමෙන් පසුව සංචිත ක්ෂය වෙන්න පටන් ගත්තා. ඉන් පසුව, ආනයන පාලනය කරන්න සිදුවුණා.

දැන් සංචිත ඩොලර් මිලියන 2,268 දක්වා පහත වැටිලා. ඒ, විශාල ලෙස ආනයන පාලනය කරන පසුබිමක. මේ වගේ තත්ත්වයක් තුළ රටට එන ඩොලර් වලින් ඩොලර් මිලියන 900ක් ණය ගෙවන්න ගන්නවා කියන්නේ එම අඩුව හා ගැලපෙන පරිදි තව දුරටත් ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. එසේ නැත්නම්, සංචිත තවත් අඩු වෙනවා කියන එකයි.

මේ විදිහට ඩොලර් මිලියන 900ක් දේශීය වෙළඳපොළෙන් හොයා ගෙන ගොඩ දාගන්න පුළුවන් වෙන්නේත් අපේක්ෂිත පරිදි ඩොලර් බිලියන 2.54ක් ණය ගන්න පුළුවන් වුනොත්. වාණිජ ණය ලෙස ඩොලර් මිලියන 750ක් ලබා ගැනීම බොහෝ විට සිදු නොවෙන්න පුළුවන්. ව්‍යාපෘති ණය වුවත්, ඇස්තමේන්තුවේ තිබෙන තරමටම නොලැබෙන්න වැඩි ඉඩක් තිබෙනවා. බොහෝ විට සිදු විය හැකි පරිදි, විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත යුතු ඩොලර් අවශ්‍යතාවය ඩොලර් මිලියන 900ක් නොවී ඩොලර් බිලියන 2ක් පමණ වුවහොත්, එය ඉතාම දරුණු තත්ත්වයක්.

සංචාරක කර්මාන්තය යම් තරමකින් හිස ඉසෙවුවොත් එයින් සහනයක් ලැබෙයි. එහෙත්, ඉදිරි වසරේදී එසේ සංචාරක කර්මාන්තය හිස එසෙවුවත්, වසංගතයට පෙර පැවති මට්ටමට නැවත යාමේ ඉඩක් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට සංචාරකයෝ රටට ගෙන්නන එකත්, ආනයන සීමා දිගටම පවත්වා ගැනීමත් දෙකම එකට කිරීම අසීරු වැඩක්.

එක දෙයක් පැහැදිලියි. ඒ, ඉදිරි වසර තුළද දැඩි ආනයන සීමා පවත්වා ගන්න සිදු වෙනවා කියන එක. එහි අහිතකර ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා. රට තුළ භාණ්ඩ හිඟය, ආර්ථික වර්ධනය අඩාල වීම හා මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස මිල ගණන් ඉහළ යාම එයින් ප්‍රධාන දේවල්. 

මේ වගේ තත්ත්වයක් යටතේ අපේක්ෂිත පරිදි බදු ආදායම් වැඩි කර ගත හැකි වෙයිද? 

භාණ්ඩ හා සේවා බදු ආදායම වසර තුළ 58.6%කින්ද, ආදායම් බදු ආදායම 68.1%කින්ද, ආනයන බදු ආදායම 21.1%කින්ද, බදු නොවන ආදායම්  32.9කින්ද වැඩි කර ගැනීම සැලසුමයි. වැඩිම මුදලක් උපයා ගන්න සැලසුම් කර තිබෙන්නේ භාණ්ඩ හා සේවා බදු වලින්. මේ බදු  නිසා සෘජු ලෙසම භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ආනයන බදු නිසා වෙන්නේත් බඩු මිල ඉහළ යාමයි. සමාගම් වල ආදායම් මත අය කරන බදු වලින් විශාල කොටසක්ද එම සමාගම් විසින් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනෙන නිසා එයින්ද බඩු මිල ඉහළ යනවා.

පසුගිය ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම දේශපාලන සටන් පාඨයක් කර ගනිමින් බලයට පත් වූ මේ ආණ්ඩුවටද අවසන් වශයෙන් ඒ දේම කරන්නට සිදු වීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවටද ඊට වඩා වෙනස් විකල්පයක් නැති බවයි. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි මිලද සෘජුව හෝ වක්‍රව අය කර ගන්නම වෙනවා.

ලංකාවේ ආණ්ඩු විසින් කාලයක් තිස්සේ රාජ්‍ය අයවැය හරහා ජනතාවට විවිධ සහන ලබා දෙමින් එහි බර ඉදිරි ආණ්ඩුවකට තල්ලු කළා. දැන් එය තව දුරටත් කළ නොහැකියි. මේ යථාර්තයට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනේ යහපාලන ආණ්ඩුවටයි. එම ආණ්ඩුව 2015දී මැතිවරණය ඉලක්ක කර විවිධ සහන දුන්නා. එහෙත්, ඔවුන්ට එවැනි සහන නඩත්තු කරමින් වසර හතරක් ඇද ගන්න පුළුවන්කමක් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අන්තිමට දුන්නාටත් වැඩියෙන් ආපසු ගන්න සිදු වුනා. මෙය කරන්න යාමේදී ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම ගිලිහුණා.

මේ ආණ්ඩුවද බලයට පත් වූ වහාම, මැතිවරණ ඉලක්ක කර, ඊටත් වඩා විශාල සහන දුන්නා. එහෙත්, මේ ආණ්ඩුවට එවැනි සහන නඩත්තු කරමින් ඊළඟ මැතිවරණය දක්වා රාජ්‍යමූල කළමනාකරණය කළ නොහැකියි. මේ ආණ්ඩුවටත් දැන් යථාර්තයට මුහුණ දෙන්න සිදු වෙලා. වෙනත් අයෙකු බලයට පැමිණියා කියලාත් මේ යථාර්තය වෙනස් වෙන්නේ නැහැ. මැතිවරණ පොරොන්දු, අයවැය සහන ගැන බලාපොරොත්තු තැබිය හැකි වූ යුගය දැන් ඉවරයි. අලුතින් බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් එවැනි පොරොන්දු දී එම පොරොන්දු ඉටු කළහොත්, ඊළඟ වසරේ සිටම එසේ ලබා දුන් සහන සියල්ල පොලියත් සමඟ ආපහු ගන්නම වෙනවා.

යහපාලන ආණ්ඩුව දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත්තේ රාජපක්ෂලාගේ "හොරකම්". බැඳුම්කර "හොරකම" එක්ක ඔවුන්ගේ සටන් පාඨය ඔවුන්ටම පාරාවළල්ලක් වුනා. යහපාලන බදු දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත් මේ ආණ්ඩුවටද ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ එවැනිම අභියෝගයකටයි. 

බදු නිසා බඩු මිල ඉහළ යනු ඇතත් ඒ එක්කම ඉල්ලුම පහළ යන නිසා ඇස්තමේන්තු වල තිබෙන තරමට ආදායම් ලැබේයයි සිතිය නොහැකියි. එසේ වුවහොත්, වියදම්ද සීමා කරන්න වෙනවා. අයවැය ඇස්තමේන්තු වල තිබෙන ප්‍රාග්ධන වියදම් වලින් වැඩි කොටසක් කපා හැරෙනු ඇති බවනම් සහතික කර කිව හැකියි. පුනරාවර්තන වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව ඉතාම අසීරු කටයුත්තක්.

දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 1,807ක් ණය ලබා ගැනීමද පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම්ද ඉහළ යනවා. ඒ නිසා, බැංකු අංශයෙන් ණය ගැනීම් අයවැය ඇස්තමේන්තු වල තිබෙන ගණන් ඉක්මවයි කියන එක කියන්න මහ ලොකු විශ්ලේෂණයක් කළ යුතු නැහැ. බොහෝ විට සිදු විය හැකි පරිදි, ඇස්තමේන්තු වල ඇති තරමට විදේශ ණය නොලැබුණොත් ඒ අඩුව පුරවන්න වෙන්නෙත් දේශීය ණය වලින්. ඒ කියන්නේ තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයේ මිල ස්ථාවරව තියා ගෙන ඉන්න එක කරන්න පුළුවන් වෙයිද?

එක දෙයක්නම් පැහැදිලියි. ඒ බඩු මිල විශාල ලෙස ඉහළ යාමට නියමිත බවයි. ගිය වසරේ අයවැය ඇස්තමේන්තු වල ආදායම් අයිතමයන් සැබෑ ආදායම් හා සැසඳූ විට හැම අයිතමයකම වගේ දැකිය හැක්කේ සැබෑ ආදායම ඇස්තමේන්තුවට වඩා අඩු බවයි. හැබැයි ඇස්තමේන්තුව ඉක්මවා අදායම් ලැබී ඇති අයිතමයක්ද තිබෙනවා. ඒ පාස්පෝට් ගාස්තු ආදායම!


55 comments:

  1. හොඳ පෝස්ට් එකක් ඉකොනොමැට්ටා, කෙසේ වෙතත් ලංකාවේ මෙවර අයවැය යෝජනා දෙස විවෘතව සහ සාධාරණව බැලීමේදී පැහැදිලිව පෙනෙන දෙයක් තමයි එහි තිබෙන සංගත බව (consistency). එනම් එහි සියලුම යෝජනා ප්‍රමුඛව දේශීය නැඹුරුවක් පෙන්වනවා. විදේශීය ඒජන්සි විසින් නොහැදූ එකක් බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. මෙය මා හිතන්නේ කරුණු දෙකක් නිසා සිදු වූ බවයි. පළමුවැන්න කොරෝනා වසංගතය සහ එයින් ඇති කළ මහා අර්බුදය නිසා දේශීය මූලික ආර්ථිකයක වැදගත්කම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වී තිබීම. සරලව කිව්වොත් ලංකාවට ඇති සැබෑ පිහිට ලංකාවම පමණක් බව අවබෝධ කරගෙන තිබීම. දෙවැන්න හැටියට මා දකින්නේ ගෝඨාභය ජනපතිගේ ප්‍රායෝගික දැක්ම. එයින් මා අදහස් කරන්නේ ඔහු පිළිපදින අරපරෙස්සම. එනම් අනවශ්‍ය වියදම් කපා හරිමින් හැකි තරම් සරල වීමේ ප්‍රතිපත්තිය. ඒ බලපෑම මෙවර අයවැය තුළ පෙනෙන්නට තිබෙනවා. බැසිල් රාජපක්ෂ සමත් වි තිබෙනවා ජනරජයේ වර්තමාන සහ නුදුරු අනාගත ගැටලු තත් ආකාරයෙන් හඳුනාගන්න. විවිධ පාර්ශව සමග කළ දීර්ඝ සාකච්ඡා එයට හේතු වන්නට ඇතිවාක් මෙන්ම ඔහුගේ ප්‍රායෝගික එළඹුමත් ප්‍රයෝජනවත් වන්නට ඇති. අයවැයකින් සියලු ගැටලු විසඳිය නොහැකි වුවත් ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගිකව හිතන නිහතමානී මනසක් හදා ගැනීම ඉතා වැදගත්. ලංකාවේ ගැටලු විසඳගන්න පුළුවන් ලංකවේ හැටියට පමණයි. අපි වැඩ කරන්න ඕන අපට දරන්න පුළුවන් තරමට. අපේ හැකියාවන් සහ දුර්වලතාවයන් අවංකව හඳුනාගෙන ඒ අනුව කටයුතු කළ යුතුයි. යෝජනා හදනවාට වැඩිය අමාරුයි ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම. ඒක තමයි "විධායකයේ" කාර්යය. ඊළඟ වසර අභියෝගාත්මක වසරක්. මෙවැනි දේශීය චින්තනයක් මත පදනම්ව රටක් හැදෙන එක වළක්වන්න පරණ එන්ජීඕ නඩයේ හොල්මන් දඟ දානවා, විදේශීය ඒජන්තකරුවන් නලියනවා. කාමසුඛල්ලික අධිපරිභෝජනවාදීන්ට මේක තේරුම් ගන්න බැහැ. ඒ දේශපාලන බලපෑම් මැද්දේ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනපති දැඩි මැනුම් සහ පාලන (Monitoring and Control) ක්‍රම හදාගත යුතුයි. දවස ගානේ ප්‍රගතිය අකුරට ඉලක්කමට විමසිය යුතුයි. බැසිල්ට සිද්ධ වෙනවා ලබන අවුරුද්දේ කාටවත් මුකුත් කියන්න බැරි වෙන්න මේ යෝජනා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න. ප්‍රතිඵල කොහොම වුණත් ඉවසීමෙන් මේ සැලසුම ක්‍රියාත්මක කරලා බලන්න. ලංකාවෙන් පිටත මෙන්ම ලංකාවේද සිටින ජනරජයේ සාමාන්‍ය වැසියන් ලෙස අපට යුතුකමක් තිබෙනවා මේ හොඳ යෝජනා යථාර්ථයක් කරගන්න අවංකව උනන්දු වෙන්න. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. අයවැය ඇස්තමේන්තු වැනි කාරණයක් හා අදාළව සංගත බව කියන එකට නිශ්චිත අර්ථයක් තිබෙනවා. ඒ අනුව, සාර්ව ආර්ථිකයේ සංරචක වන මූර්ත, විදේශ, මුදල්, මූල්‍ය අංශවල අපේක්ෂිත වර්ධනයන් හා රාජ්‍යමූල්‍ය අංශයේ වර්ධනයන් අතර සංගත බවක් තිබිය යුතුයි. එවැනි සංගත බවක් ඇත්නම්, කාර්ය සාධනය පිළිබඳ ගැටළුවක් මතු වන්නේ නැහැ. කෝවිඩ් වසංගතය වැනි අනපේක්ෂිත තත්ත්වයකදී හැර, එම ඇස්තමේන්තු විශාල ලෙස වෙනස් වීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ අයවැය ඇස්තමේන්තු වල මේ සංගත බව නැහැ. විශේෂයෙන්ම ආදායම් ඇස්තමේන්තු වල. මෙය ඇස්තමේන්තු වරදකට වඩා සැලසුම් සහගතව කරන බොරුවක්. ආදායම් ඇස්තමේන්තු ඕනෑවට වඩා වැඩියෙන් පෙන්වූ විට, එම ඇස්තමේන්තු මත පදනම්ව වැඩියෙන් වියදම් කළ හැකියි. මේ වැඩේ කාලයක් තිස්සේම සිදු වෙනවා. ඒ නිසා, හැම විටම වගේ ඇස්තමේන්තුවට වඩා ඇත්ත අයවැය හිඟය වැඩි වෙනවා. ඇස්තමේන්තුවට වඩා වැඩියෙන් ණය ඉහළ යනවා. ඒ අර්ථයෙන්, මේ අයවැය ඇස්තමේන්තුද සංගත බවක් පෙනෙන්නේ නැහැ. වෙනදා වගේම තමයි. ඒ හේතුව නිසාම, මේ ඉලක්ක සපුරා ගැනීම විධායකයේ කාර්යයක් සේ සලකනවානම් එය විධායකය වෙත ලබාදෙන එතරම්ම ප්‍රායෝගික නොවන අසීරු ඉලක්කයක්. යම් හෙයකින් මේ ඉලක්ක එලෙසම සපුරා ගනු ලැබුවහොත්, එය විධායකයේ දක්ෂතාවය පිළිබිඹු වීමක්.

      Delete
  2. මේ කතාව ගැන මොකද හිතන්නේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    https://www.facebook.com/slvlog/videos/5851768878228847/

    ReplyDelete
    Replies
    1. ටිකක් පරණ ප්‍රකාශයක්නේ. ඔය කියන හැම දෙයක් ගැනම මගේ පෙර ලිපි වල විස්තර කර තිබෙනවා.

      Delete
  3. මේ වෙලාවේ සියලුම රටාවල් විශාල ආර්ථික අර්බුධයක ඉන්නේ. ඇමරිකාවේ උනත් උද්ධමනය 6.2% ක්. ඒක ශ්‍රී ලංකාවටත් වඩා වැඩියි.

    ඉතින් මොන අර්බුධ තිබ්බත් වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුව මේක ගොඩ දායි කියලා හිතන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ මහතාගේ දක්ෂතාවය ඒක තමයි.

    එල්ටීටීඊ යුද්දේ අවසන් කාලයේත් ඉන්දියාව ඇතුළු රටවල් බලපෑම් කරා ඒක සාම සාකච්ජා මගින් විසදගන්න කියලා. ඒ වෙලෙත් ඉන්දියාව ශේප් කර ගත්තේ බැසිල් රාජපක්ෂ තමයි. ඒ නිසා මේ අවස්ථාවේදීත් යහපාලන ආණ්ඩුව නිසා රට වැටුණු වලෙන් ගොඩ ගන්න එතුමා කටයුතු කරන බව අපිට විශ්වාසයි.

    -රංග තේනුවර-

    ReplyDelete
    Replies
    1. //මේ වෙලාවේ සියලුම රටාවල් විශාල ආර්ථික අර්බුධයක ඉන්නේ. ඇමරිකාවේ උනත් උද්ධමනය 6.2% ක්. ඒක ශ්‍රී ලංකාවටත් වඩා වැඩියි.//

      ඇමරිකාවේ උද්ධමනය 6.2%ක් වීමෙන් කිසිදු ආකාරයක ආර්ථික අර්බුදයක් ඇති වී නැහැ. උද්ධමනයට හේතුව සාමාන්‍ය මිනිසුන් අතේ වැඩිපුර මුදල් සංසරණය වීම හා ඒ හේතුවෙන් රැකියා ඉල්ලුම පහත යාමයි. ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබෙන්නේ තිබිය හැකි අඩුම මට්ටම වන 0-0.25% මට්ටමේ. උද්ධමනය ප්‍රශ්නයක් වුවහොත් පොලී අනුපාතික ඉහළ දමා එය පාලනය කිරීම පහසු කටයුත්තක්.

      Delete
  4. //රුපියල් බිලියන 1,628ක අයවැය හිඟයක් පවත්වා ගන්න සැලසුම් කරනවා කියන්නේ ඒ අඩුව ණය වලින් පුරවා ගත යුතුයි කියන එකයි. ඊට අමතරව, ඉදිරි වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා//
    රජයේ වියදම් වලට ණය වාරික ඇතුළත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම රාජ්‍ය වියදම් වල තිබුණත් ණය වාරික කොටස නැහැ.. ජපානය වැනි ඇතැම් රටවල අයවැය ඇස්තමේන්තු වල වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරිකත් තිබෙනවා. නමුත්, ලංකාවේ අයවැය ඇස්තමේන්තු වල රාජ්‍ය වියදම් වලට ණය වාරික ඇතුළත් නැහැ. ගෙවිය යුතු ණය වාරික තනිකරම අමතර වියදමක්. ණය වාරික කොහොමටත් ගෙවිය යුත්තේ අළුතෙන් ණය අරගෙන. මේ ඊට අමතරව ඉදිරි වසරේ ආදායම ඉක්මවා කරන වියදම් වෙනුවෙන් ගත යුතු ණය.

      Delete
  5. ඔබේ ලිපි කියවලා ගත්ත දැනුමෙන්, මේවර අයවැයෙහි ඉදිරියේ ඇති අවධානමනම් හොදට තේරුණා.

    ReplyDelete
    Replies
    1. ඉදිරියට ඇති අවදානම් මොනවාද? ඒ ගැන විස්තර කරලා කියන්න පුළුවන්ද? මට නම් පේන්න තියෙන එකම දේ අයවැය හිඟය සහ එය පියවීමට දෙස් විදේශ ණය ප්‍රමාණයක් ගැනීම සහ මුදල් අච්චු ගැසීම සමග ඒවායේ අහිතකර ප්‍රතිඵල කොහොමත් හැමදාම වෙන දේ නේ? ඊට අමතරව වෙන මොනවාද අවදානම් තත්ත්වයක තිබෙන දේවල්?

      Delete
  6. 1988 - 89 අරගලය ගැන ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් මේකේ විනාඩි 1.15 පමණ සිට ලාල් කාන්ත සහෝදරයාගෙන්, එක්සත් ජාතික පක්ෂය මේ තරම් දරුණු ලෙස භීෂණයෙන් ලංකාව පාලනය කරපු බවක් දන්නේ අද, ඒ කාලේ අත්දැකීම් තියෙන කෙනෙක් විදියට ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ එකේ කියන දේ වල් වලට එකඟ වෙනවා ද? අපිට ඒ කාලේ ගැන අත්දැකීම් නැති නිසා මම හිතන්නේ මේ කතාව ඇත්ත විය යුතු බවයි. ඔබත් මේ ගැන එකඟවන බවත් මට හිතෙනවා;

    https://www.facebook.com/anuruddhabandara05/videos/907793516519791/

    ReplyDelete
    Replies
    1. මෙහි ලාල් කාන්ත විසින් 1988/89 ජවිපෙ කැරැල්ල පුරන් අප්පුගේ සටන් සමඟ සංසන්දනය කරනවා. මම ඒ ගැන විනිශ්චයක් දෙන්න යන්නේ නැහැ. එහෙත් මේ කැරලි ඇති වන්නේ සමාන සන්දර්භ වල නෙමෙයි. කැරලි අවස්ථාවක කැරලිකරුවන් විසින් රාජ්‍ය දේපොළ විනාශ කිරීම, මිනී මැරීම ඇතුළු සාමාන්‍යයෙන් නීති විරෝධී සේ සැලකෙන කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් කියන එකට එකඟයි. මේ කාලයේදී යම් කිසි ආකාරයක ඉන්දීය ආක්‍රමණයක් ක්‍රියාත්මක වී තිබුණා කියන එකත් ඇත්ත. 1987දී උතුරේ කැරැල්ල (2009දී මෙන්ම) අවසන් අදියරකට ආසන්න තත්ත්වයකටම ආවා. එල්ටීටීඊ සංවිධානය යාපනයට කොටු වුනා. එම කාලය වන තුරුම වාගේ උතුරේ සටන්කාමී සංවිධාන (මුල් කාලයේදී එල්ටීටීඊ සංවිධානයට උතුරේ ඒකාධිකාරයක් තිබුණේ නැහැ. අඩු වශයෙන් ප්‍රබල සංවිධාන පහක් ක්‍රියාත්මක වුනා. එල්ටීටීඊ සංවිධානය අනෙක් සියළු සංවිධාන පරාජය කර තනි සංවිධානයක් ලෙස ඉස්මතු වුනේ මේ කාලයේදී සිදු වූ ක්‍රියාදාමයෙන් පසුවයි.) පුහුණු කරනු හා මෙහෙයවනු ලැබුවේ ඉන්දියාව විසින්. මේ තත්ත්වය වෙනස් වුනේ රජීව් ගාන්ධි ඝාතනයෙන් පසුවයි. ඒ කාලයේදී ඉන්දියාව සිටියේ බටහිර විරෝධී සෝවියට් කඳවුර පැත්තේ. තමන්ගේ එළිපත්තේ පිහිටි ලංකාව ජේආර්ගේ කාලයේදී බටහිර කඳවුරට කිට්ටු වීම පිළිබඳව ඉන්දියාවේ ප්‍රසාදයක් තිබුණේ නැහැ. උතුරේ තරුණයන් පුහුණු කර, ආයුධ දී මෙහෙයවීම එයට එරෙහිව ඉන්දියාව ගත් ක්‍රියා මාර්ගයක්. ලංකාවේ හමුදාව මෙම සටන්කාමීන් පරාජය කරන්න ඔන්න මෙන්න තියා තිබියදී ඉන්දියාවෙන් "මානුෂික ආධාර" අරගෙන බෝට්ටු ගණනාවක් යාපනය දෙසට ආවා. ලංකාවේ නාවික හමුදාව මේ බෝට්ටු සාර්ථක ලෙස ආපසු හරවා "ජය සමරා" අනෙක් පැත්ත හැරෙද්දී ඉන්දියාව බලහත්කාරයෙන් ලංකාවේ ගුවන් සීමාවට ඇතුළු වී වියලි ආහාර බිම හෙළුවා. සාමාන්‍ය ව්‍යවහාරය අනුව පරිප්පු දැම්මා. ඉන්දියානු බලපෑම හමුවේ ජේආර්ට සටන් නවත්වා සටන් විරාමයකට යාම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. මේ අනුව, රජීව් ගාන්ධි හා ජේආර් අතර "සාම ගිවිසුමක්" අත්සන් කෙරුණා. මෙම ගිවිසුම අනුව, පළාත් සභා හඳුන්වා දුන්නා. 13 වන සංශෝධනය ආවා. උතුරේ සටන්කාමීන් නිරායුධ කිරීම ඉන්දියාව භාර ගත්තා. ඒ අනුව, ඉන්දීය සාම හමුදාව ලංකාවට ආවා. මේ දේවල් ගැන රටේ බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයක් තිබුණේ නැහැ.

      Delete
    2. හැබැයි ඔය වන විට ජවිපෙ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් ආරම්භ වෙලා. මෙය පටන් ගත්තේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි ශිෂ්‍ය අරගලයක් ලෙසයි. පසුව ලංගම වර්ජනය, හෙද වර්ජනය ආදී ලෙස වර්ජන රැල්ලක් ආවා. වර්ජන නොකරන අයට ජවිපෙ විසින් මරණ තර්ජන කළා වගේම ඒවා නිකම්ම තර්ජන වලට සීමා වුනේ නැහැ. සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජවිපෙ සටන් පාඨ අතරට පළාත් සභා අහෝසි කිරීම, 13 සංශෝධනය අවලංගු කිරීම, සාම හමුදාව ආපසු යැවීම ආදී ඉල්ලීම්ද එකතු වුනා. කෙසේ වුවත්, අතිශයෝක්තියට නංවා තිබෙන හුදෙකලා සිදුවීම් කිහිපයක් හැරුණු විට ජවිපෙ ඉන්දීය හමුදාව සමඟ සටන් කළේ නැහැ. ඔවුන් උත්සාහ කළේ ආණ්ඩුව දුර්වල වී සිටින අවස්ථාවේ රාජ්‍ය බලය අල්ලා ගන්නයි. බොහෝ දෙනෙකුට ජවිපෙට මාසිකව කප්පම් ගෙවන්න සිදු වුනා. රටපුරා ක්‍රියාත්මක වුනේ ජවිපෙ නීතියයි. ජවිපෙට සම්බන්ධව සිටි නූගත් තරුණයින් නඩු අසා දඬුවම් දුන්නා. රට පුරා ජනතාව බලහත්කාරයෙන් විරෝධතා වලට තල්ලු කරනු ලැබුවා. ඒවාට ගියේ නැත්නම් මරණ තර්ජන දක්වා විවිධ තර්ජන වලට මුහුණ දෙන්න සිදු වුනා. විරෝධතා වලට යන අයට පොලීසියෙන් වෙඩි කන්න වුනා. සාමාන්‍ය ජනතාව ඉදිරියට දමා ජවිපෙ සාමාජිකයින් බොහෝ විට විරෝධතාකරුවන් අතර සැඟවිලායි හිටියේ. ගම් වල එජාප පාක්ෂිකයින්ට පෙලපාලි වල ඉදිරියෙන්ම යන්න වුනා. පසුව එල්ටීටීඊ සංවිධානය විසින්ද මේ ක්‍රමය ඉගෙන ගත්තේ ජවිපෙන් විය යුතුයි. (මේ සියල්ලම වාගේ පෞද්ගලික අත්දැකීම් මිසක් එහෙන් මෙහෙන් අහපුවා නෙමෙයි) ජවිපෙ උපක්‍රමය වුනේ පාසැල් සිසුන් හා සාමාන්‍ය ජනතාව පොලීසිය සමඟ ගැටෙන්නට සලසා මරණ එකතු කරගෙන එම මරණ විකිණීමයි. ජේආර්ට උතුර ඉන්දියාවට බාර දී පැත්තකට වෙන්න සිදු වුනේද දකුණේ මෙවැනි තත්ත්වයක් තිබූ නිසයි. රටේ උතුර හා දකුණ දෙකම ගිණි ගෙන තියෙද්දී සිරිමාවෝ බණ්ඩාරනායක හා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා. ජේආර් ගාමිණී දිසානායක වැනි කෙනෙකු වෙනුවට රණසිංහ ප්‍රේමදාසට අවස්ථාව දුන්නේම මෙය එජාපය පරදින්නට නියමිත තිබුණු මැතිවරණයක් වූ නිසයි. වැඩි වාසිය තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායකට. එහෙත් සිරිමාවෝ බණ්ඩාරනායක දිනුවානම් ආණ්ඩු විරෝධය නැති වන නිසා ආණ්ඩු විරෝධය දිගටම තියා ගැනීමට රණසිංහ ප්‍රේමදාසව දිනවන්න ජවිපෙට අවශ්‍ය වුනා. ඒ නිසා ජවිපෙ මැතිවරණය තහනම් කළා. ඡන්දය දමන අය මරණ බවට තර්ජනය කළා. ඇතැම් අයමරා දැමුවා. මේ නිසා සිරිමාවෝ බණ්ඩාරනායකට වැඩි බලයක් තිබුණු දකුණේ ප්‍රදේශ වල ඡන්ද වැටුණේ නැහැ. රණසිංහ ප්‍රේමදාස දිනුවා. දිගින් දිගටම ලැබුණු ජයග්‍රහණ නිසා අධිතක්සේරුවක සිටි ජවිපෙ හමුදා සාමාජිකයින්ට ඉල්ලා අස්වීමට නියෝග කළා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයින් දරුණු ලෙස ඝාතනය කළා. මේ සමඟව තත්ත්වය කණපිට හැරුණා. ඒ වන විටද හමුදා පොලීසි වල සිටි අය ජවිපෙ දෙස යම් තරමකින් හෝ සානුකම්පිකව බලමින් සිටියත් ඒ තත්ත්වය වෙනස් වුනා. මුල සිටම ජවිපෙ මරණ තර්ජන වලට ලක්ව සිටි අනෙකුත් වාමාංශික පක්ෂද (විශේෂයෙන්ම විජය කුමාරතුංග විසින් පිහිටවූ ශ්‍රී ලංකා මහජන පක්ෂය) එජාප ආණ්ඩුව සමඟ යම් ආකාරයක සම්මුතියකට එළැඹී සිටියා. ජවිපෙට එරෙහිව විශාල මර්දනයක් පටන් ගත්තා. නිල හමුදා වලට අමතරව නිල නොවන හමුදා බිහි වී ඔවුන්ද ජවිපෙ ක්‍රමයටම ඊටත් වඩා දරුණු ප්‍රති භීෂණයක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. තැන් තැන් වල මිනී කඳු ගොඩ ගැහුණා. විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් මරණයට පත් වුනා.

      Delete
    3. බොහොම ස්තුතියි ඉතාමත් සරල බසින් ඉදිරිපත් කරන විශිෂ්ට විග්‍රහයක් සියලුම කරුණු කාරණා කෙටියෙන් දැක්වෙන comprehensive පිළිතුරක්, මේ සම්බන්ධයෙන් ඔබට බෙහෙවින් ස්තූති කරන අතර නොදත් දේ බොහෝ දැනගත හැකි වුණා. නමුත් නූතන තරුණ පරපුර මේ ඉතිහාසය ගැන ගොඩාක් අඩුවෙන් තමයි දන්නේ ඒ නිසා මේ ගැන සැබෑ තොරතුරු හොයා ගන්න එකට අවස්ථාත් ඉතාමත් සීමිතයි. නමුත් මේ වගේ පිළිතුරු ඉතාමත් වටිනා අතරම සැබෑ අත්දැකීම් වලින් බොහෝ සමාජ දේශපාලනික පරිචයක් ලැබිය හැකියි. ඒ වගේම 1988 ජනපතිවරණය සඳහා ප්‍රේමදාස ජනපති වරයා මැතිවරණයට පෙර ජවිපෙ රෝහණ විජේවීර සමග එකඟතාවකට පැමිණ නිල නොලත් සාම සාකච්ඡා ආරම්භ කර තමාත් විජේවීර යන දෙදෙනාම එක සමාන පවුල් පසුබිමක සිට කුල පීඩනය නිසා වින්දිතයන් වූ බව පවසා තමා දිනූ පසු අනිවාර්යයෙන්ම ජවිපෙ ද රජයට සම්බන්ධ කර රට පාලනය කරන බව ප්‍රසිද්ධ වේදිකාවල පැවසූ බව කියන කතාව ඇත්ත ද? ඡන්දයෙන් දිනූ පසු ඔහු මේ පොරොන්දුව උල්ලංඝනය කරමින් ජවිපෙ විනාශ කිරීමට රන්ජන් විජේරත්න ප්‍රධානත්වයෙන් ලකී අල්ගම, ජානක පෙරේරා, උඩුගම්පොළ ආදී එජාප හිතවාදී හමුදා පොලිස් නිලධාරීන් යොදා භීෂණය ක්‍රියාත්මක කිරීමට කැපවූ බවට ජවිපෙ හිතවතුන් පවසන කතාව ඇත්ත ද දන්නේ නැහැ, මේ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

      Delete
    4. ඒ වගේම ඒ කාලේ වත්මන් අගමැති රාජපක්ෂ ද එජාපයේ නායකත්වය සමග එකතු වී ජවිපෙ විනාශ කිරීමට කටයුතු කළ බවටත් චෝදනා එල්ල කෙරෙනවා, නමුත් පොහොට්ටු පක්ෂයේ, විශේෂයෙන්ම වීරවංශ කණ්ඩායම මේ කතා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ රාජපක්ෂ ඔවුන් බේරා ගැනීමට මැදිහත් වී ඇති බව සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මේ ගැන පැමිණිලි ඉදිරිපත් කර ලංකාවේ තරුණ සංහාරයට එරෙහි වූ බව, මේක ඇත්ත ද?

      තව කාරණයක් තිබෙනවා වත්මන් ජනපති නන්දසේන ගෝඨාභය එම කාලයේ 1987 පමණ වනතුරු බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ එවකට කර්නල් විජය විමලරත්න යටතේ උතුරේ වඩමාරච්චි මෙහෙයුමේ යෙදී සිට උතුරේ ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් පසූ දකුණට මාරු වෙලා මාතලේ ප්‍රදේශයේ හමුදා ප්‍රධානී ලෙස කටයුතු කළ බවත් එම කාලයේ අහිංසක ජවිපෙ තරුණ තරුණියන් සහ වෙනත් සතුරන් බොහෝ දෙනෙක් මාතලේ සමූහ මිනී වළේ අතුරුදහන් කළ බවට චෝදනා එල්ල වී තිබේ, මේ චෝදනා ඇත්ත ද?

      Delete
    5. රණසිංහ ප්‍රේමදාස හා විජේවීර අතර රහස් එකඟතාවයක් තිබුණාද කියන එක මම දන්නේ නැහැ. එවැන්නක් තිබුණා කියා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, රණසිංහ ප්‍රේමදාස ජවිපෙට ඇමතිකම් තුනක් දී ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට කැමැත්තෙන් සිටියා. විවෘත ඉල්ලීමක්ද කළා. මම හිතන විදිහට ඔහු ජවිපෙ සමඟ එකඟතාවයකට පැමිණීමට අවංක උත්සාහයක් දැරුවා (එල්ටීටීඊ එකටත් රැවටුණු මනුස්සයානේ!) . ජවිපෙ හිටියේ ඔවුන්ට අවි බලයෙන් ආණ්ඩු බලය ලබා ගත හැකි වනු ඇතැයි යන අධිතක්සේරුවක. ඒ නැතත්, ජවිපෙ කිසිසේත්ම එජාප සමඟ සන්ධානයකට යන තැනකනම් හිටියේ නැහැ.

      මහින්ද රාජපක්ෂ ඒ දින වල ප්‍රචලිතව සිටියේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙසයි. ඔබ සඳහන් කරන ජිනීවා කතාව මිස එජාප සමඟ මහින්ද සහයෝගයෙන් කටයුතු කළ බවක් මා ඒ කාලයේ අසා තිබුණේ නැහැ. ගෝඨාභය ඒ දවස් වල ප්‍රසිද්ධ පුද්ගලයෙක් නෙමෙයි. මම ඒ දවස් වල ඔහු ගැන කිසිවක් අසා තිබුණේ නැහැ.

      Delete
    6. බොහොම ස්තුතියි පේන විදියට නම් බොහෝ විට ලංකාවේ ඉතිහාසය විකෘති කොට එය ප්‍රබල ලෙස ජනගත කර තියෙනවා, හරියට දෙවන ලෝක යුද්ධයේ රුසියානු යුධ අපරාධ වසන් කර හිට්ලර්ගේ අපරාධ චෝදනා උත්කර්ෂයට නගා ඇති ආකාරය සහ එකල ජර්මන් ගුවන් හමුදා යුධ හමුදා නිලධාරීන්ගේ දක්ෂතා නිසි පරිදි ඇගයීමට ලක් නොවීම වගේ. ලංකාවේත් යුධ හමුදා පොදුවේ අගය කරන නමුත් සැබෑ යුධ බිමේ දක්ෂතා පෙන්වූ බොහෝ දෙනෙක් ගැන ජනතාව දැනුවත් නැහැ වගේ. කෙසේ වෙතත් මෙවන් සංවාද හරහා සඟවා ඇති සත්‍යය හෙළිදරව් කරගැනීම වගේම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන නැවත එම දුබලතා හොඳින් හඳුනා ගෙන ඉතිහාසයේ අර්බුද නැවත ප්‍රතිනිර්මාණය වීමට නොදී නිසි පරිදි අවශ්‍ය තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව මේ දේවල් වලින් මට හිතෙනවා. මේ සංවාදය ගැන නැවතත් ස්තුතියි.

      Delete
    7. එකොන් ජවිපෙ විසින් මුලින් තමන්ගේ මුලින් හිටි අය මරා දමමින් තමා අරගලය පටන් ගත්තේ. එනිසා පුරන් අප්පු කතාව විහිළුවක්. එකොන් මේ කියන දෙයට එකඟයි. ප්‍රශ්නේ ජවිපෙ සාමාජිකයන් ගෙන් බහුතරයක් මේවා පිලි නොගැනීමයි. ඔවුන් සමග වැඩ කිරීමට ඒක ලොකු බාධාවක්.

      Delete
    8. එජාප සාමාජිකයින් මරන්න කලින් මුලින්ම මැරුවේ ජවිපෙ හැර අනෙකුත් වාමාංශික පක්ෂ වල අයවනේ. එල්ටීටීඊ එක කරපු දෙයම තමයි. ඒ දවස් වල කරපු දේවල් නිසා දැන් ජවිපෙට දිගින් දිගටම පන්න පන්නා ගහන්න අවශ්‍ය නැහැ. දැන් ජවිපෙට නැවත එවැනි තැනකට යාමේ හැකියාවක්ද නැහැ. නමුත් ඔය අතීත උරුමය කර පින්නාගෙන ජවිපෙට පසුපසට මිස ඉදිරියට යන්න අමාරුයි. අනුර කුමාර "අපි අතිනුත් වැරදි වෙලා තිබෙනවා" කියලා කියන්නේ ඒ සන්දර්භයේ. හැබැයි එසේ කියන ගමනුත් කියන්නේ "අපිව මිනී මරන තැනට තල්ලු කළා කියලයි". එයින් ගම්‍ය වෙන්නේ "අපිව මිනී මරන තැනට තල්ලු කළ නිසා ඒ මිනී මැරීම් සාධාරනයි" කියන එකයි. මෙය නියුරම්බර්ග් නඩු විභාගය වැනි අවස්ථා වලදී ලෝක මට්ටමෙන් ප්‍රතික්ෂේප වී තිබෙන අදහසක්. පක්ෂයේ අතීතය නිසා ජවිපෙ ඉදිරියට යා නොහැකි උගුලක හිර වෙලා ඉන්නේ. අතීතයේ කළ දේවල් පිළිබඳ අවංක ස්වයං විවේචනයක් ප්‍රසිද්ධියේ කළොත් ජවිපෙ ජවිපෙටම එරෙහිව යන නිසා ඉතිරි වී සිටින කාඩර් එක තියා ගන්න බැරි වෙනවා. එසේ නොකර පුළුල් ජනතා සහයෝගයක් ලබා ගන්නත් අමාරුයි. යම් හෙයකින් කවර හෝ හේතුවක් නිසා ජවිපෙට ජවිපෙ නොවන 5-10%කගේ සහයෝගයක් ලැබුණොත් ඒ මත හිටගෙන ජවිපෙට ඇත්තටම වෙනස් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් ජවිපෙට කලකට පෙර ලැබුනත් (මන්ත්‍රීධුර 41) ඒ වෙලාවේ ආපු රැල්ලට ජවිපෙ බය වුනු එකයි වුනේ. දැන් වුනත් අවිඥානිකව ජවිපෙ සාමාජිකයා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලැබෙනවට බයයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලැබුනොත් ජවිපෙට තවදුරටත් ජවිපෙ විය නොහැකියි.

      Delete
    9. //. අතීතයේ කළ දේවල් පිළිබඳ අවංක ස්වයං විවේචනයක් ප්‍රසිද්ධියේ කළොත් ජවිපෙ ජවිපෙටම එරෙහිව යන නිසා ඉතිරි වී සිටින කාඩර් එක තියා ගන්න බැරි වෙනවා. එසේ නොකර පුළුල් ජනතා සහයෝගයක් ලබා ගන්නත් අමාරුයි. // හරියට හරි . මට තියෙන්නෙත් ඔය අදහසම තමයි .//එවැනි අවස්ථාවක් ජවිපෙට කලකට පෙර ලැබුනත් (මන්ත්‍රීධුර 41) ඒ වෙලාවේ ආපු රැල්ලට ජවිපෙ බය වුනු එකයි වුනේ. දැන් වුනත් අවිඥානිකව ජවිපෙ සාමාජිකයා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලැබෙනවට බයයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලැබුනොත් ජවිපෙට තවදුරටත් ජවිපෙ විය නොහැකියි.// සුපර්බ්

      Delete
  7. ඉකොනොමැට්ටා,

    ලංකාවේ විදේශ ආධාර සහන පොළියට ලබාගෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛ පෙළේ ප්‍රාග්ධන ආයෝජන ලෙස ඒවා ක්‍රියාත්මක කිරීම මගින් රජයේ විදේශ විනිමය හිඟකමට සහ පොදුවේ ආර්ථික වර්ධනය සහ උද්ධමන ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට පුළුවන් වේවි ද? බංග්ලාදේශය එසේ කරමින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් බවට සඳහන් වන වූ මාධ්‍ය වාර්තා සත්‍ය ද?

    Could SL implement current development projects Bandaranaike International Airport (BIA P2 S-11) – Terminal 2 (T2) Development Project, Construction of the Import Cargo Terminal Building, All island Roads and Canal Constructions Project, Mattala Rajapaksa International Airport (MRIA) new development, Colombo International Airport Rathmalana (CIAR), construction of the Airport Facility Complex, Batticaloa International Airport (BTIA), Jaffna International Airport (JIA) and developmental projects surrounding Colombo including West Container Terminal, Port city project and Hambantota ports & free economic & industrial development and FTZ trade zone project are some projects which need to be implemented as soon as possible. The authorities in Sri Lanka can implement the projects following the line of ‘Implementation of Bangladesh’s mega projects model’.

    Some interesting facts about Bangladesh;

    https://www.eurasiareview.com/08112021-bangladeshs-mega-projects-help-revive-economy-oped/

    https://www.futuredirections.org.au/publication/making-sense-of-bangladeshs-investment-in-megaprojects-development-or-delusion/

    https://www.dailynews.lk/2021/11/13/features/264472/sri-lanka-can-learn-%E2%80%98bangladesh%E2%80%99s-thriving-through-mega-projects%E2%80%99


    Pls advice on this, thank you very much & much appreciated your efforts in explaining many things with ecomics perspective.

    ReplyDelete
    Replies
    1. මම ලින්ක් වලට ගියේනම් නැහැ. පිළිතුර සරලයි. මේ වෙලාවේ cashflow positive නොවන කිසිදු ප්‍රාග්ධන ආයෝජනයක් ලංකාවට දරාගත නොහැකියි. මුල සිටම cashflow positiveනම් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ණය වාරිකයක් හෝ පොලිය ගෙවිය යුතු සෑම අවස්ථාවකදීම ඊට සමාන හෝ වැඩි මුදලක් අදාළ ආයෝජනය තුළින් ආදායම් ලෙස එකතු වී තිබිය යුතුයි. අදාළ ආයෝජනයෙන් ලැබෙන ආදායමෙන් මිස, බදු මුදල් හෝ වෙනත් පොදු අරමුදල් වලින් ණය ආපසු නොගෙවන බව ණය ලබා ගැනීමේ කොන්දේසියක් විය යුතුයි. එම කොන්දේසි යටතේ ණය ලබා ගත හැකිනම් ප්‍රශ්නයක් නැහැ. විදේශ ණය ලබා ගත යුත්තේ ආදායම් ලැබෙන්නේ ඩොලර් වලින්නම් පමණයි. cashflow positive නොවන ඕනෑම ණයකින් සිදු වන්නේ දැනට පවතින තත්ත්වය තවත් දරුණු වීම පමණයි.

      Delete
  8. කිරිපිටි මිල පාලනය ඉවත්කල රජයට ස්තුති වේවා.
    මම අද ගමේ කඩෙන් සෝයා කිරිපිටි පැකට්ටුවක් ගත්තා.

    ඉන්දියානු චරපුරුෂයන් චීන කාබනික පොහොර ගැන පතුරුවන බොරු වලට නොරැවටෙමු.

    දෙමෙල්ලු නරකයි චීන්නු හොඳයි.

    ReplyDelete
  9. අයවැය හිඟය බිලියන 1628යි(ඩොලර් බිලියන 8.11) 2022 වසරට ණය සහ පොලී වාරික ගෙවීම් බිලියන 5245යි(ඩොලර් බිලියන 26.225). එකතුව ඩොලර් බිලියන 34.335යි. ආණ්ඩුව ගැනීමට බලපොරොත්තු ණය මුදල ඩොලර් බිලියන 16යි. 2022 අවුරුද්ද ගෙවාගන්නත් අමාරුයි වගේ!

    ReplyDelete
    Replies
    1. //අයවැය හිඟය බිලියන 1628යි(ඩොලර් බිලියන 8.11) 2022 වසරට ණය සහ පොලී වාරික ගෙවීම් බිලියන 5245යි(ඩොලර් බිලියන 26.225). එකතුව ඩොලර් බිලියන 34.335යි. ආණ්ඩුව ගැනීමට බලපොරොත්තු ණය මුදල ඩොලර් බිලියන 16යි. 2022 අවුරුද්ද ගෙවාගන්නත් අමාරුයි වගේ!//

      බිලියන 5,245ක් වන්නේ ණය, පොලී හා අනෙකුත් සියළුම වියදම් වල එකතුවයි. ඒ නිසා, මේ ගණන් එකතු කිරීම නිවැරදි නැහැ.

      වසර තුළ ආපසු ගෙවිය යුතු ණය වාරික - රුපියල් බිලියන 1,531යි.
      පොලී වියදම් - රුපියල් බිලියන 1,115යි.
      අනෙකුත් වියදම් - රුපියල් බිලියන 2,797යි.
      අගය වෙනස් වීම සඳහා ප්‍රතිපාදනද සමඟ එකතුව - රුපියල් බිලියන 5,461යි.

      ආදායම් හා ලැබීම් - රුපියල් බිලියන 2,261යි.
      ණය ගැනීමේ අවශ්‍යතාවය - රුපියල් බිලියන 3,200යි. (ඩොලර් බිලියන 16 නිවැරදියි.)

      Delete
    2. 2017 ,2018 ප්‍රාතමික අයවැය හිඟය ප්ලස් උනා කියන්නෙ ඔය උඩ තියෙන අනෙකුත් වියදම් කියන කෑල්ල බදු ආදායමට වඩා අඩු වුනා කියන එකද?

      Delete
    3. අනෙකුත් වියදම් බදු සහ බදු නොවන ආදායම් එකතුවට අඩු වුනා කියන එක.

      Delete
    4. ඒ කියන්නෙ මේ පාරත් ප්ලස් කරගත්තත් තවත් ඩොල්‍ර්ර් බිලියන 13ක් ණය ගන්න ඕන?

      Delete
    5. ඔව්. රුපියල් වලින් හා/හෝ ඩොලර් වලින් ගත යුතු ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකම එපමණක්.

      Delete
    6. ඉකොන්, ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954 වසරේ, එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් ලෙස, පසුව 1956 වසරේ දී ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2%ක අයවැය අතිරික්තයක් වාර්තා වුණා.

      ඒ වගේම 1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ නමුත් 1994 සිට මේ දක්වා අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැතුණු අතර 2015 දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 දී 5.3%ක් දක්වා අඩුවුණේ අයවැයේ ප්‍රාථමික ශේෂය 2018 වසරේ දී රුපියල් බිලියන 21.4 ක් විතර අතිරික්තයක් බවට පත්වූ නමුත් 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,550ක්ද රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,400ක් ලෙස ගණන් බලා තිබුණාට රජයේ සැබෑ ආදායම් වුණේ රුපියල් බිලියන 1,890 ක් පමණයි. 2017 සහ 2018 වසරවල දී ද රජය අධික ලෙස බදු වැඩි කරපු එකෙන් ආර්ථිකය සංකෝචනය වී ආයෝජන අඩු වෙලා අපේක්ෂිත රුපියල් බිලියන 2200 ක් විතර බදු ආදායම් වෙනුවට රුපියල් බිලියන 1700 - 1800 අතර ආදායමක් පමණයි ලැබුණේ. උදාහරණයක් විදියට 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය ආදායම 10.4%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 1473 දක්වා ඉහළ ගියේ 2016 එම කාල වකාවනුව තුළ එම ආදායම වූයේ රුපියල් බිලියන 1333 ක් පමණයි එසේ ම එම මාස දහයක කාලය තුළ රටේ බදු ආදායම ද රුපියල් බිලියන 1332 සිට1470 දක්වා 14.2%කින් වර්ධනය වූ නමුත් 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය වියදම 2016 වසරට සාපේක්ෂව 9.5%කින් ඉහළ ගොස් 2016 වසරේ මුල් මාස දහය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 1,881 ක් වූ අතර 2017 වසරේ එම කාලය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 2,060 ක්, රජයේ ආදායම 2018 දී බිලියන 2,025 ක් විතර සහ 2019 දී බිලියන 2,464 දක්වා 22%කින් වැඩි වන බවට ඇස්තමේන්තු කර තිබුණා නමුත් ඇත්තටම ලැබුණේ නැහැ යාන්තමට 2018 බිලියන 1890 ක් විතරයි.

      නමුත් ලංකාවේ සහ ඇමරිකානු යුරෝපීය රටවල් ප්‍රමුඛ සමස්ත ලෝකයේම ආර්ථිකය ඉතාමත්ම හොඳින් පැවති 2017 සහ 2018 දී ආදායම වැඩි වුණේ කලින්ට වඩා 5%ක් පමණයි නම් ඊටත් වඩා දුෂ්කර වන 2021/22 දී ආදායම 22%කින් වැඩි වෙනවා කියන්නේ කොහොමද? මොකද ඛනිජතෙල් මිල පවා තවදුරටත් වැඩි වෙනවා කියා ආණ්ඩුවම පුරෝකථනය කරනවා.

      ඇත්තටම ආණ්ඩුවට ලැබිය හැක්කේ උපරිම බිලියන 2,100 පමණ ආදායමක් පමණයි. ඊටත් වඩා අඩු වේවි, ආදායම බොරුවට වැඩි කරලා පෙන්වන්නේ අයවැය පරතරය අඩුවෙන් පෙන්වලා ණය ගැනීම් අඩුවෙන් පෙන්වන්නයි. මේ අයවැයත් මංගල සහ රවීගේ විගඩම් වගේම තවත් එකම ණය උගුලක්.

      මේවන විටත් ලංකාවේ පවතින සමාජ ආර්ථික තත්ත්වය තුළ මෙවර අය වැයෙන් කිසිම විදිහකින් සහන අපේක්ෂා කළ නොහැකියි, එසේ වුවත් වැඩිවන ජීවන වියදම හා අඩු වූ ආදායම් හමුවේ දැඩි ලෙස හෙම්බත්ව සිටින ලංකාවේ ජනතාව යම් ලෙසකින් හෝ සහන අපේක්ෂා කරති. භාණ්ඩ හා සේවා මත බදු තවත් බදු පැනවීම් සිදුකර රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට සුදුසු පරිසරයක් අද ලංකාවේ කිසිසේත්ම නැහැ. එසේ නම් රජයේ ආදායම් ඉහළ නංවා ගත යුත්තේ කෙසේද?

      විදේශ ආයෝජන ලංකාවට ඇවිත් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ද?

      Delete
    7. 1. ආදායම් ඉලක්ක ප්‍රායෝගිකද? කිසිසේත්ම නැහැ. හැබැයි එසේ ඉලක්ක කිරීම වුවත් නරක නැහැ.
      2. රජයේ ආදායම් ඉහළ නංවා ගත යුත්තේ කෙසේද? මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයකට සරල පිළිතුරක් නැහැ.
      3. විදේශ ආයෝජන ලංකාවට ඇවිත් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ද? එය තීරණය වෙන්නේ එන විදේශ ආයෝජන මොනවාද කියන එක මතයි.

      Delete
  10. රටක්ම කම්මුතු
    වෙයිද සිතිය යුතු
    මොහොතක ඇති තතු
    මෙලෙසයි කිව යුතු!

    ReplyDelete
  11. ලංකාවේ gini coefficient එක කීයක් විතර ඇතිද? එය ලෝකයේ රටවල් සමග සසදන විට කොහොම rank වෙනවාද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේ අනුව ලංකාව එචරම නරක නැහැ.

      Delete
    2. ඔව්. මැදට කිට්ටු වෙන්න තියෙන්නේ.

      Delete
  12. ලංකාවේ රාජපක්ෂ බ්‍රෝකර් ජාවාරම් කල්ලියේ ආණ්ඩුව විසින් රජයට අයත් ජාතික වශයෙන් ඉතාමත් වැදගත් වටිනා ඉඩම් කොටස් පණහකට වැඩි ප්‍රමාණයක් සඳහා විදේශීය ආයෝජකයන්ට ලබා දීම සදහා රජය විසින් සොයා බලමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකය අනාවරණ කර තිබෙනවා.

    මේ හරහා උපයා ගැනීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් මිලියන හයක් බව රජයේ නිලධාරීන් පවසන නමුත් එම ඉඩම වලින් සියයට 51%ක් කොටස් පමණක් රජය සතු වන පරිදි අයිතිය විදේශ සමාගම් වලට හිමි කර දෙමින් ආරම්භ කරන ව්‍යාපෘති වෙනුවෙන් විදේශීය ආයෝජකයන් ඉඩම් ලබාදීමට සාකච්ඡා වෙමින් ඇත.

    කොළඹ, රාජගිරිය, නුගේගොඩ, බත්තරමුල්ල, වැලිකඩ, නුවරඑළිය, මහනුවර සහ ජාඇල ප්‍රදේශවල ඉඩම් කිහිපයක් මේ සඳහා දැනට යෝජනා වී ඇත.

    කොළඹ කොටුවේ ඇති ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම, වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම, පිටකොටුවේ ලෝක වෙලද මද්‍යස්තානය පිහිටි ඉඩම ද ඊට අයත් යැයි ද වාර්තා පල වෙයි. මේ සමගම ලංකාවේ ජාතික ආරක්ෂාව සහ අනාගත පරපුරට අයත් මහජන දේපල අවභාවිත කිරීමට එරෙහිව පවතින නීතිය අනුව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. මම මේ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි විශේෂඥයෙක් නෙමෙයි. මෙහි නීතිමය වරදක් ඇතැයි මම හිතන්නේ නැහැ.

      Delete
  13. මම ඉන්නේ කැනඩාවේ, ඒත් මම ළඟදීම විශ්‍රාම යනවා. මම ඩොලර් ලක්ෂ 8 ක් විතර ඉතුරු කරලා තියෙනවා, පෙන්ෂන් එක මාසෙකට ඩොලර් 2,800ක් ලැබෙනවා , මේ නිසා කලක පටන් මගේ අදහස තියෙන්නේ ලංකාවට ගිහින් විශ්‍රාම කාලය කාටවත් බරක් නැතිව ජීවත් වෙන්න. ලංකාවේ ඩොලර් නැති නිසා මම කැමතියි ඩොලර් ගෙවලා වාහනයක් ජපානෙන් දාලා ලංකාවට ගිහින් බදු මුදලත් ඩොලර් වලින් ගෙවන්න. ඒත් එකටත් ඉඩක් නැහැ. ෆේස් බුක් සමාජ ජාල වලට අනුව මට පෙන්නේ බොරු ඩොලර් හිඟයක් මතුකරලා රාජෆක්ස්හොරු සහ උන්ගේ සනුහරේ උන්ගේ කළු ඩොලර් සුදු කරන ක්‍රමයක් මේ දවස්වල ලංකාවේ තියෙනවා කියලා. ලංකාවේ වැඩ වලට ඩොලර් ඕනෙනම් අපි කැමතියි ඩොලර් වියදම් කරන්න. මුන් ඩොලර් හොයන්න කියලා යුක්රේන් කාරයන්ටම පහසුකම් දෙන එක සැක සහිතයි. මුන්ගේ සල්ලි බාගයක් තියෙන්නේ යුක්රේන් වල කියලා කියන්නේ මන්දා ? ��

    ReplyDelete
    Replies
    1. විශ්‍රාමිකයන් ආකර්ෂණය කර ගැනීම ලංකාවේ විදේශ විණිමය ප්‍රශ්නයට හොඳ විසඳුමක්. ශ්‍රමික ප්‍රේෂණ වලට සාපේක්ෂව මෙහි අවදානම අඩුයි. ඒ සඳහා, ලංකාව විශ්‍රාමිකයන්ට ප්‍රසස්ථ තැනක් විය යුතුයි.

      Delete
  14. ඉකොන්,

    මේ කියන විදිහට පෝට් සිටි එක හරහා ලංකාවේ ආර්ථිකයට ඩොලර් බිලියන 13.8 ක් පමණ එකතු කරන්න පුළුවන් වෙයි ද? ඩුබායි වල ජබෙල් අලි FTZ කලාපයේ පමණක් ඩොලර් බිලියන 100 ක් විතර GDP එකක් තියෙනවා, චීනයේ ෂෙං ශෙං වගේ නම් මීටත් වඩා ගොඩාක් විශාලයි, තව සිංගප්පූරුව හොංකොං වගේ ඒවාත් මීට සමාන ආකාරයේ විශාල වෙළඳ නගර, ඒ හා සමාන විදිහට මේක දියුණු කරන්නත් පුළුවන් වෙයි ද?

    https://island.lk/port-city-colombo-project-to-add-13-8-bln-usd-to-sri-lankan-economy-pwc/

    නමුත් මෑත කාලීනව චීනය හා ලංකාව අතර පැවති දැඩි විරෝධය සහ මතභේද ඇතිවීම නිසාත් 2019 අග භාගයේ ඇමරිකානු පුරවැසියන් ලංකාවේ නායකත්වයට පත් කර ගත් පසු ලංකාව වේගයෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ සහ ඉන්දීය ඔඩොක්කු කුක්කකු (lap dog) වෙමින් පවතින බවත් ජාත්‍යන්තරයේ කතාබහට ලක්වන නිසා චීනය මේ ව්‍යාපෘතිය අත්හරින්න ඉඩ තියෙනවා සෑහෙන්න දුරට නේද? ඒ නිසා බොහෝ විශේෂඥයින් පවසන්නේ මේ කියන තරම් ලේසියෙන් මේ දේවල් කරන්න අමාරු බවයි ලංකාවේ විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇමරිකානු ගැති දුර්වල බියසුලු කළමනාකරණය සහ සෙවල විදේශ ප්‍රතිපත්තිය නිසා චීනය අත පුච්චා ගන්නට එන එකක් නැහැ කියලා කියන්නේ. කතාව ඇත්ත තමයි නේද? මේ ගැන තව දුරටත් විස්තර කරලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. සංකීර්ණ සාධක ගණනාවක් මත තීරණය වන දෙයක් නිසා මේ ගැන පුරෝකථන කරන්න අමාරුයි.

      Delete
  15. මේ කුඩා වීඩියෝ clip එකේ වජිර අබේවර්ධන පවසන්නේ 19 වන සංශෝධනය සමග ලංකාවේ Westminster System එකට සමාන ආකාරයේ අගමැති මූලික කරගත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වූ බවයි, මේක ඇත්ත ද?

    https://www.facebook.com/NewsCenterLka/videos/4407391022641701/?app=fbl

    ඒ වගේම 2019 මැද භාගයේ දී ජවිපෙ සහ වෙනත් කුඩා පක්ෂ වල සියලු දෙනා එකතු කරගෙන යම් කිසි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු තෝරාගෙන ඔහු වෙනුවෙන් පෙනී සිට කටයුතු කළා නම් 2019 එජාපයේ සංධානය විසින් ආණ්ඩු බලය අත්පත් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතුව ලංකාවේ දැනට පවතින අර්බුද සියල්ලටම පාහේ විසඳුම් සොයා ගැනීමටත් ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කර ගැනීමටත් හැකියාව තිබුණු බව පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමනම් සිදු වෙයි. නමුත්, ලංකාවේ ආර්ථිකයේ නිදන්ගත ප්‍රශ්න සුවවෙයිද?

      Delete
    2. මැරුනත් IMF යන්නෑ...!

      Delete
  16. ඉකොනො,

    ඔබ මේ සාකච්ඡාව ගැන හිතන්නේ මොකද කියලා කියන්න;

    https://www.facebook.com/headlinenewslk/videos/159699243013250/

    මේ කියන දේ ඇත්ත මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනිවාර්යයෙන්ම ලංකාවේ රජයට දැඩි බලපෑමක් එල්ල කරනවා, ඒ දැඩි කොන්දේසි රාශියක් සමගින්, ඒ වගේම ආණ්ඩුව කුඩා කරනව කියන්නෙ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය හෙවත් පෞද්ගලික ව්‍යවසායකයන්ට විකුණනව කියන එක.

    කොහොම හරි එයාලගෙ ප්‍රධානම කොන්දේසිය තමයි රුපියල අවප්‍රමාණය කිරීම. ඒ අනුව ඩොලර් එකක් රුපියල් 300 ක් විතර හෝ ඊට වඩා වැඩි වෙනවා ලේසියෙන්ම. ඒ වගේම IMF එකට ගියාම ඒ අයගේ කොන්දේසි මාලාවකට යටත් විය යුතුයි. සාමාන්‍යයෙන් ප්‍රධානතම කොන්දේසිය තමා ආණ්ඩුව කුඩා කිරීම. ලංකාවේ ප්‍රමාණයට සරිලන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ලංකාවේ ජාතික ආයතන වල, පළාත් සභා සහ අනෙකුත් රජයේ ආයතන වල සිටින බව ඔවුන්ගේ අදහසයි. ඔවුන් පවසන්නේ ලංකාවේ දේ භශපාලනඥයින්ගේ සමීපතම අයට ඉහළ පෙළේ වැටුප් සහිත තනතුරු දීම සහ පහළ ආධාරකරුවන්ට රැකියා අවස්ථා සඳහායි මෙපමණ ප්‍රමාණයක් යොදවා ඇත්තේ කියා. නමුත් ලංකාවේ උග්‍රලෙස රැකියා විරහිත තරුණ තරුණියන් බිහිවුණු නිසා බරපතල විදිහට තරුණ අසහනය මෝදු වෙමින් රටේ තරුණ කැරැලි දෙකක් දකුණේත් තව එකක් උතුරේත් ඇතිවූ විට ඊට පිළිතුරු වශයෙන් 1990 දශකයේ පමණ සිට විශාල වශයෙන් රාජ්‍ය ආයතන වලට, යුධ ගුවන් නාවික හමුදා නිලධාරීන් පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින්, වෙනත් සියලු අංශ වලට රජයේ සේවයට මිලියන එක හමාරක් පමණ දෙනා බඳවා ගැනීම සහ රජයේ විශ්ව විද්‍යාල වලින් වසරකට පිටවන 35,000 ක් විතර වෙන අයගෙන් භාගයක් පමණ පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ඒ අයට රජයේ පරිපාලන කටයුතු වල රැකියා අවස්ථා ලබා දෙනවා. කෙසේ නමුත් IMF හිතන්නේ වෙනස් ආකාරයකට නිසා ඒ අනුව IMF යෝජනා කරාවි මේ රජයේ සේවකයන් සහ අනෙකුත් අනවශ්‍ය බවට ඔවුන් සිතන වෙනත් රජයේ සේවකයන්ව ඉවත් කරන ලෙස සහ රටේ ආදායමක් නොලබන පාඩු ලබන දෙපාර්තමේන්තු වසා දමන ලෙස අපට අණ කරාවි. විශේෂයෙන්ම හොඳින් සකස් කරපු විගණන වාර්තා පෙන්විය යුතුයි. මුදල් වියදම් කිරීම දැඩි ලෙස සීමා කර ඉතා ඉහළ සහ ප්‍රායෝගික නොවන තරමට විනිවිදභාවයකින් යුතු විය යුතුයි. ලංකාවේ දේශපාලනඥයින්ගේ පැවත්ම ඇත්තේ විශාල රාජ්‍ය අංශයක් මත පදනම්ව නිසා ඔවුන් IMF වෙත යාමට අකමැති එබැවින් ද?

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ දේශපාලනඥයින්ගේ පැවත්ම ඇත්තේ විශාල රාජ්‍ය අංශයක් මත පදනම්ව නිසා ඔවුන් IMF වෙත යාමට අකමැති එබැවින් ද//

      ඔව්.

      Delete
  17. එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ හෝ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන පරිදි උද්ගතව ඇති එක්සත් ජනපද ඩොලර් හිඟය පියවා ගැනීමට මේ ‍මොහොතේ රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගන්නේ දැයි ‘කළ විමසුමකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට යන්නේ නැති බව පැහැදිලි වුණා. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැඩි ලෙස අවධාරණය කළේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමක් කරමින්, කබ්රාල් කබ්බාට අනුව ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමේදී විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදු වෙනවා. එම කොන්දේසි ජනපති ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දරන ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්‍ම රටත් ජනතාවත් දිනවන ප්‍රතිපත්ති මාලාවට, එය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට බාධා පමුණුවන ඒවා විය හැකි බවත් එවැනි බාධාකාරි කොන්දේසිවලට යටත්ව IMF වලින් ණය ගැනීමට ලංකාවේ ආණ්ඩුව සූදානම් නැති බවයි අධිපතිවරයා සඳහන් කළේ. මේක ගැන හිතන්නේ මොකද?

    කබ්බගේ වචන වලින් "විපක්ෂයේ සමහරු අද IMF වෙත අපට යන්නට කියනවා. ඔවුන් එදා එහි ගොස් අමාරුවේ වැටුණා. ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දමන්නයි. අපේ රටේ ජාතික ආරක්ෂාව, ජනතා සුබසාධනය, සංවර්ධනය ඇති කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒවා සාර්ථක කර ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. කොවිඩ් – 19 ගෝලීය වසංගතය නිසා රටේ ආර්ථිකයේ දැවැන්ත අභියෝගයක් අපට එල්ලවී තිබෙනවා. එය කෙතරම් අභියෝගාත්මක උවත් ජාතික ආරක්ෂාව පාවාදීමට හෝ ජනතා සුබසාධන ව්‍යාපෘති සඳහා වැය කරන මුදල් කප්පාදුවකට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා එවැනි කොන්දේසිවලට යටත්ව IMF වෙත ගොස් ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකොට හැකි තරම් ආර්ථිකයේ වර්ධනයක් ඇති වන ආකාරයේ සුබවාදි ගමනක් කොවිඩ් වසංගතය මැද පවා ඉදිරියට යෑමටයි අපගේ සූදානම. බිඳවැටී ඇති සංචාරක කර්මාන්තය පුබුදුවා ඉහළ ආදායමක් ලැබීම, අපනයන ආදායම වැඩි කර ගැනීම, හැකි තරම් ආනයනය ආදේශන කර්මාන්ත දියුණු කිරීම හරහා එක්සත් ජනපද ඩොලර් දිනාගැනීමයි අපේ ඉලක්කය. ඍජු විදේශ ආයෝජන වැඩිවශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වේගවත් කිරීම දේශීය වශයෙන් ශක්තිමත් ආයෝජක පිරිසක් බිහි කිරීම සඳහා අප විවිධ පියවර ගෙන තිබෙනවා. මේවා තුළින් හැකි තරම් රටේ ණය ගෙවීමේ කටයුතු විදේශීය අරමුදල්වලින් මිදී දේශීය ණය වශයෙන් ලබාගෙන කිරීමටයි අපි ඉලක්ක කොට තිබෙන්නේ. අපේ අරමුණ සහ විපක්ෂයේ අරමුණ අතර වෙනස එයයි. ඔවුන් සෑම දේටම IMF වෙත ගියත්, අප එසේ කටයුතු කරන්නේ නැහැ."

    "ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීමේදී විශාලම ණයක් ලබාගත්තේ වසර 2008 – 2014 කාලයේ, එවකට ජනාධිපතිවරයා වූ වත්මන් අගමැතිවරයා එදා මුදල් අමැතිවරයායි. එතුමා වෙනුවෙන් රජය නියෝජනය කරමින් IMF සමඟ ණය ලබාගැනීමට වැඩිම දායකත්වයක් ලබාදුන්නේ මමයි. වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතායි. ඒ නිසා අපට IMF වෙත යෑමට බණ කියන පිරිසට වඩා අප ඔවුන් සමඟ කරුණු කතිකා කරගෙන තිබෙනවා. ඒ සියලු අත්දැකීම් යොදාගෙන තමයි අපි මෙවැනි තීරණයකට එළැඹ තිබෙන්නේ. අපේ අරමුණ දැනට පවතින විදේශ ණය 60% දේශීය ණය 40% අනුපාතය ඉක්මනින්ම විදේශීය ණය 50% දේශීය ණය 50% මට්ටමට ගෙන ඒමටයි. ඉදිරියේදී එය විදේශීය ණය 40% සහ දේශීය ණය 60% දක්වා ඉහළ නංවාගැනීමේ දීර්ඝකාලීන අරමුණක් ආණ්ඩුවට තිබෙන බව කිව යුතුයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ මංගල අය වැය කතාවෙන් මේ බව ඉතා පැහැදිලිව රටටත් ජනතාවටත් ප්‍රකාශ කළා."

    මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? මේ වැඩේ හරි යාවිද?

    ReplyDelete
    Replies
    1. //"විපක්ෂයේ සමහරු අද IMF වෙත අපට යන්නට කියනවා. ඔවුන් එදා එහි ගොස් අමාරුවේ වැටුණා. ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දමන්නයි.//

      පසුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කළ එවක විපක්ෂය වූ වත්මන් ආණ්ඩුව ජනතාවට වඩා හොඳ විකල්පයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළා. ඒ නිසා, පසුගිය ආණ්ඩුව අමාරුවේ වැටුණා. දැන් මේ ආණ්ඩුව IMF ගොස්, පසුගිය ආණ්ඩුව කළ දේවල්ම කරන්න ගියොත් මේ ආණ්ඩුව ඔවුන් විසින්ම කාලයක් තිස්සේ කපා ඇති වලේ වැටෙනවා. ඒ නිසා "ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දමන්නයි" කියන ප්‍රකාශය මේ ආණ්ඩුව හා අදාළව නිවැරදි ප්‍රකාශයක්.

      Delete
  18. මේ කතාව මට තේරුම් ගන්න අමාරුයි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? ඔබගේ ඊළඟ පෝස්ට් එකට මේ කතාව ඇසුරින් ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් වෙයි නේද?

    https://economynext.com/why-sri-lankas-rupee-is-in-crisis-dragging-the-economy-down-bellwether-87690/#modal-one

    ReplyDelete
    Replies
    1. දිගු ලිපියක්නේ, ඇනෝ. හොඳ ලිපියක් වුවත් ඔය හැම දෙයක් ගැනම පුළුල්ව කතා කරන්න ඉතා දිගු ලිපියක් හෝ ලිපි මාලාවක් ලියන්න වෙනවා.

      Delete
  19. ලංකාව දැනට සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ‌මේ අවස්ථාවේ දී අනවශ්‍ය බවත්, ලංකාව යම් විදියකින් මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වුවොතින් එයින් ගැලවීමට තවත් වසර 10ක පමණ කාලයක් මීට වඩා අමු කට්ටක් කන්න වෙන බවත් CBSL ගවනර් අජිත් නිවාඩ් කබ්රාල් මෑතකදී ලංකාවේ ආර්ථික මූල්‍ය විශ්ලේෂකයන් සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවක දී ප්‍රකාශ කළා. මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද?

    අ.නි.ක: "මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට ලංකාවට මුහුණ දෙන්න පුළුවන්. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ",

    අ.නි.ක. මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ;

    "IMF එක අපේ තරහාකාරයෙක් නෙමෙයි. IMF එකත් එක්ක අපිට කිසි ගැටළුවක් නැහැ. අපි යම් අවස්ථාවක දී තාක්ෂණික සහායන් ඒ අය‌ගෙන් ලබා ගන්නවා. ඒ වුණාට අපි ඒ අයගේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕන නැහැ කියලා තමයි අපි කියන්නේ. අපි දැනට අපේ රටේ ඕන තරම් සාක්ෂරතා දියුණුවක් වෙලා තියෙනවා. අපිට තොරතූරු තියෙනවා. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ."

    "අපේ රට ගැන වොෂිංටන් නගරයෙන් කෙනෙක් ඇවිල්ලා සති දෙකක් ඒ දිහා බලලා, ඒ පිළිබඳ තීරණයක් ගන්න එකද අපිට වැඩිය සුදුසු, නැත්නම් මේ රටේම, මේ රටට වගකියන අය කරන එකද සුදුසු කියලා අපි මුලින්ම තීරණය කරන්න ඕන. මම මීට පෙර IMF සහ ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරද්දී කියලා තියෙනවා, "For you this is a case study", ඔබට ශ්‍රී ලංකාව කියන්නේ ඔබ ලියන රිපෝර්ට් එකක්. ඒ රිපෝර්ට් එක සාර්ථක වුණොත් එහෙමයි, අසාර්ථක වුණොත් ඒත් එහෙමයි. ඔබතුමා ඒ රිපොර්ට් එක ලියලා. පස්සේ කාලෙක ඔබතුමාගේ CV එක ලියද්දී මේ රිපෝර්ට් එක ලිව්වා කියලා කියයි. අපිට එහෙම නෙමෙයි. මේක අපේ රට. මේක අපේ ආර්ථිකය, මේක අපේ මිනිස්සු. කාටද වැඩි කැක්කුමක් තියෙන්නේ. මහ බැංකුවේ වැඩ කරනවා ආර්ථික විශේෂඥයන්, විශ්ලේෂකයන් ගණනාවක්. ඉතාමත් හොඳින් විෂයය දන්න අය. ඒ මේ රට ගැන හොඳ අවබෝධයක් තියෙන අයගෙන් සැලැස්මක් හදන එකද වැඩිය හොඳ, සති දෙකකට කවුරු හරි ඇවිල්ලා වෙන prescription එකකුත් අරගෙන එන අයගෙන් ගන්න එකද වැඩිය හොඳ කියන එක තමයි පළවෙනි කතාව."

    "දෙවෙනි එක අපි දේශපාලනිකවත් මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. රට කැළඹෙන්න දෙන්න බැහැ. රටේ කීර්තිනාමය හානිවෙන්න දෙන්න බැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ, ණය පැහැර හැරියාම ඒකෙන් වෙන විපාක කොච්චර දරුණු ද කියලා. IMF එකට ගිහිල්ලා debt restructuring කියලා කිව්වාට පස්සේ එතනින් ගැලවෙන්න තව අවුරුදු 10 ක් යනවා. ඒ අවුරුදු 10 දී අපේ තරුණයන්ට අපි මොනවාද කියන්නේ? රුකියාවන් නැතුව ඉන්න කියලාද කියන්නේ? ඒ නිසා credibility කියන එක එන්නේ අපේ කරන ක්‍රියාවන්වලින්. IMF ආවා කියලා credibility එකක් එන්නේ නැහැ. දවස් දෙකකට පස්සේ මේ රටේ කැළඹීමක් ඇති වෙනවා නම් මොන credibility එකක් තිබුණත් එතනින් වැඩක් වෙන්නේ නැහැ. අපිට මේවා පුරුදුයි. මේවා ගැන සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවට යන්න පුළුවන්. ඉස්පිරිතාලෙට අපි යන්නේ අපිට අමාරුවක් තියෙනවා නම්. ගෙදර කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතන දී අපි මේ ගැන හොඳට සාකච්ඡා කරලා බලලා, අපි මේ ගැන හොඳට විග්‍රහ කරලා බලලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්."

    මේ අදහස් ගැන ආර්ථික විද්‍යාත්මකව ඔබට එකඟ විය හැකිද? නැත්නම් මේ අදහස් වල ඇති වැරැදි අඩුපාඩු මොනවාද? මේ ගැන පෝස්ට් එකක් දමා කරුණු සහිතව විස්තර කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. //ලංකාව යම් විදියකින් මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වුවොතින් එයින් ගැලවීමට තවත් වසර 10ක පමණ කාලයක් මීට වඩා අමු කට්ටක් කන්න වෙන බවත් CBSL ගවනර් අජිත් නිවාඩ් කබ්රාල් මෑතකදී ලංකාවේ ආර්ථික මූල්‍ය විශ්ලේෂකයන් සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවක දී ප්‍රකාශ කළා. මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද?//

      තවත් වසර 10ක පමණ කාලයක් කට්ටක් කන්න වෙනවා කියන එක ඇත්ත. මොකද දැන් IMF ගියත් වැඩේ අනලා තිබෙන තරමේ හැටියට ගොඩ දාන්න අවුරුදු 10ක්වත් යනවා. IMF වැඩ සටහනෙන් ගැලවී නැවත පෙර මෙන් පිස්සු කෙලින්න පුළුවන්කමක් ලැබෙනු ඇත්තේ ඉන් පසුවයි.

      //"මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට ලංකාවට මුහුණ දෙන්න පුළුවන්. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ"//

      පුළුවන්නම් ඉතාම හොඳයි. හැබැයි ඔහොම පුළුවන් කියලා අත ගහලා වැඩේ අනාගත්තට පස්සේ IMFම යන එකයි බොහෝ විට සිදු වී ඇත්තේත්, සිදු විය හැක්කේත්. "අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්" කිවුවට වැඩක් නැහැනේ. මොකක්ද ඔය කියන වැඩසටහන? හදන්නේ කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නය වැඩසටහන මොකක්ද කියන එකයි.

      //මහ බැංකුවේ වැඩ කරනවා ආර්ථික විශේෂඥයන්, විශ්ලේෂකයන් ගණනාවක්. ඉතාමත් හොඳින් විෂයය දන්න අය. ඒ මේ රට ගැන හොඳ අවබෝධයක් තියෙන අයගෙන් සැලැස්මක් හදන එකද වැඩිය හොඳ, සති දෙකකට කවුරු හරි ඇවිල්ලා වෙන prescription එකකුත් අරගෙන එන අයගෙන් ගන්න එකද වැඩිය හොඳ කියන එක තමයි පළවෙනි කතාව.//

      මේක ඇත්ත. ලංකාවට සුදුසු ආර්ථික වැඩපිළිවෙලක් හැදිය හැකි අය ලංකාවේ ඉන්නවා. වැඩපිළිවෙලෙහි අඩුපාඩු නැත්නම් IMF එකට වුවත් එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.

      //IMF එකට ගිහිල්ලා debt restructuring කියලා කිව්වාට පස්සේ එතනින් ගැලවෙන්න තව අවුරුදු 10 ක් යනවා.//
      මේ ප්‍රකාශය සමඟ එකඟයි.

      //ඉස්පිරිතාලෙට අපි යන්නේ අපිට අමාරුවක් තියෙනවා නම්. ගෙදර කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතන දී අපි මේ ගැන හොඳට සාකච්ඡා කරලා බලලා, අපි මේ ගැන හොඳට විග්‍රහ කරලා බලලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්.//

      අමාරුවක් නැත්නම් ඉස්පිරිතාලේ යා යුතු නැහැ. කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන් කියන ප්‍රකාශය අගයා බලන්න වෙන්නේ අනාගතයේදී.

      Delete
  20. Econ, I am helping a stranded American Women in SL tehse day. This is what her Aunt sent to me. (Only a part of an email)
    //
    It is true how the world views people who live in the United States without realizing the abject poverty and violence that many (possibly the majority) live here especially women and children who are still without complete protections and human rights. People actually starve to death here, die frozen on door steps, and suffer homelessness. Women pay for any mistake more harshly than men. These things have always been here but hidden behind a fairy story which the world believes. More disturbing is a certain class of people here believe the fairy tale or knowingly hide behind the lie or deny what is in front of their eyes.//

    It is true that there are those that live a seemingly affluent material life but they pay for it through heavy debt and often low wages. Those who are a economic level above that do truly have privileged lives just like other places in the world.

    ReplyDelete
    Replies
    1. In any "free" country a citizen can enjoy a better life than they can afford with their current income by borrowing. In a country like the US, where the financial markets are well developed, this is obviously the case. Many individuals buy a house on a 30-year loan and a car on a 5-6 year loan and start "consuming" the good before they earn enough to purchase the good. I think, UK also is not different from the US in that respect. However, low income earners cannot live a better life than high income earners through debt because one's ability to get a loan depends on the income. I am not sure what you mean by "seemingly affluent" but most Americans, not just low income earners, are net debtors during their young ages and become net creditors later towards the retirement age. Also, most Americans enjoy a better material life during young ages unlike in a country like Sri Lanka where people start enjoying a similar material life when they are in 40s or 50s.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...