වෙබ් ලිපිනය:

Wednesday, June 17, 2020

රෑටත් පත්තුවෙන මහ බැංකුවේ (රතු?) ලයිට්


ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට තමන් කියන දේ වහාම කරන මෙන් කළ අණ කිරීම අනුව මේ වන විටද මහ බැංකුව විසින් ජනාධිපතිවරයාට අවශ්‍යව තිබූ පරිදි මුදල් ප්‍රතිපත්ති තීරණ වහාම ගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. මා හිතන හැටියට මෙය ලංකාවේ ජනාධිපතිවරයෙකු විසින් ලංකාවේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව මෙවැනි සෘජු බලපෑමක් කළ පළමු අවස්ථාවයි. මේ අවස්ථාව හා අදාළව බලපෑමක් යන වචනයට වඩා ගැලපෙන්නේ අණ කිරීමක් යන යෙදුමයි. ඒ අණ කිරීමේ තිබෙන තර්ජනාත්මක ස්වරූපය ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැකියි.

"මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ සැලසුම හෙට උදේ වෙනකොට මට දෙන්න."

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට ලබා දී තිබෙන්නේ විකල්ප දෙකක් පමණයි. පළමුවැන්න ඔහුට අවශ්‍ය පරිදි වහාම මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම. දෙවැන්න පැය 24කට අඩු කාලයක් තුළ විකල්පයක් ඉදිරිපත් කිරීම. ඒ විදිහට විකල්පයක් ඉදිරිපත් කළත් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හරියන එකක් විය යුතුයි.

"මහබැංකුවත් භාණ්ඩාගාරයත් තමයි Monitory & fiscal Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕන රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න."

පැය 24කට අඩු කාලයක් ඇතුළත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හරියන වෙනත් විකල්පයක් දෙන එක ප්‍රායෝගිකව මහ බැංකුවට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, ඉතිරිව තිබෙන එකම විකල්පය ජනාධිපතිවරයා කියන විදිහට කටයුතු කරන එකයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කියන දේ කරන්න බැරිනම් නිලධාරියෙකුට පෞද්ගලිකව තිබෙන අනෙක් විකල්පය තමන්ගේ ආත්ම ගරුත්වය තියාගෙන මහ බැංකුවෙන් අස්වෙලා යන එකයි. ලංකාව වගේ රටක මේ වගේ වෙලාවක ඒ වගේ තීරණයක් ගැනීමෙන් මහ බැංකුවේ රැකියාව හා ඒ ආශ්‍රිත වරප්‍රසාද වලට වඩා තවත් බොහෝ දේවල් අහිමි වෙන්න බැරිකමක් නැහැ.

රෑ තිස්සේ වැඩ කිරීමෙන් පසුව මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති තීරණ මේ වන විට දැනුම් දී තිබෙනවා. රෑ තිස්සේ වැඩ කර තිබෙන්නේ විකල්ප හොයන්න නොවන බව ඉතා පැහැදිලියි. අවසාන වශයෙන් මේ තීරණ වලින් පිළිබිඹු වෙන්නේ ජනාධිපතිවරයාට අවශ්‍යව තිබූ දේ මහ බැංකුව විසින් ඉටු කර ඇති බවයි. කියන දේ එළෙසම කරන්න වුනත් තාක්ෂණික පියවර ගණනාවක් අනුගමනය කරන්න සිදු වෙනවා. මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයත්, මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව කටයුතු කරන දෙපාර්තමේන්තු වල නිලධාරීනුත් රෑ තිස්සේ මේ තාක්ෂණික කටයුතු කර ඇති බව පෙනෙනවා.

මහ බැංකුවේ ක්‍රියා කලාපය අනුව පහත කරුණු දෙකෙන් එකක් තහවුරු වෙනවා. සිදු වී තිබෙන්නේ මේ දෙකෙන් කවර හෝ එකක් විය යුතුයි.
- ඉතා අකාර්යක්ෂම ආයතනයක් වූ මහ බැංකුවට හා එහි අකාර්යක්ෂම නිලධාරීන්ට රටේ ප්‍රධාන විධායකයාගේ සෘජු මැදිහත්වීම හමුවේ කාර්යක්ෂම වන්නට සිදු වී තිබීම.
- ජනාධිපතිවරයාගේ තර්ජනාත්මක බලපෑම හමුවේ මහ බැංකුව විසින් අනුමත කර ක්‍රියාත්මක කළ යුතුව නොතිබුණු මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට සිදු වීම.

ඇත්තටම සිදු වුනේ කුමක්ද කියා පිළිතුරු දෙන එක මහ බැංකුවේ නිලධාරීන්ගේ වැඩක්.

"සෞඛ්‍ය අර්බුදය ඒක ආර්ථික අර්බුදයක් වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල පවා මහ බැංකු විශාල පියවර ගන්නවා. ඇමරිකාවේ FED (සන්ධීය සංචිත බැංකුව) එක අමෙරිකානු ඩොලර් බිලියන 600 මේ ප්‍රෝගෑම් හදලා. අද නිවේදනය කළා. ඕස්ට්‍රේලියාව සහ ජපානය. ඒ වගේම මේ අපේ රට අවට තියෙන පොඩි රටවල්වල මහබැංකු මේ වැඩසටහන පටන් අරන්. දැන් මේ බලන්න FED Commits to use full range of Tools to help the Economy through unprecedented time."

මෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් "ලොකු රටවල්" හා "පොඩි රටවල්" ලෙස රටවල් වර්ග කරනවා. මේ වර්ගීකරණය අනුව ඇමරිකාව ලොකු රටක්. ඇමරිකාව මුල සිටම සෞඛ්‍ය අර්බුදය හා ආර්ථික අර්බුදය කළමණාකරණය කළේ එක් තනි අර්බුදයක් ලෙස සලකමින් නිශ්චිත සැලසුමක් හා ඉලක්ක ඇතිවයි. ඇමරිකාවේ සෞඛ්‍ය අර්බුදය පාලනය නොකළත් ආර්ථික අර්බුදයක් ඇති විය හැකිව තිබුණා. එහෙත්, ජීවිත බේරාගැනීම සඳහා සෞඛ්‍ය අර්බුදය පාලනය කළ යුතුව තිබුණා. සෞඛ්‍ය අර්බුදය පාලනය කරන තරමට ආර්ථික අර්බුදය උග්‍ර වන නිසා සෞඛ්‍ය අර්බුදය පාලනය කළ යුතු වූයේ එසේ කිරීමේ වාසිය ආර්ථික අර්බුදය උග්‍ර වීම නිසා සිදුවන හානියට වඩා වැඩි වන මට්ටමට පමණයි.

ඇමරිකාව රටක් විදිහට හැකි ඉක්මණින් රට කොරෝනා වලින් තොර කිරීම ඉලක්ක කර ඉන්පසු ආර්ථිකය ගැන හිතන සැලසුමක හිටියේ නැහැ. එවැනි ඉලක්කයක් ඵලදායී නොවන බව මුල සිටම පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් තවමත් කොරෝනා වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ. දැඩි පාලනයක් යටතේ කොරෝනා පාලනය කළ චීනයේ පසුගිය දින හතර ඇතුළත 44(33), 40(32), 49(39), 57(38) ලෙස අළුත් රෝගීන් හමු වී තිබෙනවා. මේ අලුත් රෝගීන්ගෙන් වැඩි දෙනෙක් රට ඇතුළෙන් හමු වූ අයයි. වරහන් තුළ තිබෙන්නේ රට ඇතුළෙන් හමු වූ රෝගීන්. දූපත් රාජ්‍යයක් වීමේ වාසිය හමුවේ රට කොරෝනා වලින් තොර කළ නවසීලන්තයෙන්ද ඊයේ දිනයේ නැවතත් රෝගීන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. ආර්ථිකය ගැන අඩු අවධානයක් යොදවා පළමුව කොරෝනා අවසන් කිරීම ඉලක්ක කළ රටවල් ගණනාවකටද අවසාන වශයෙන් ඇමරිකාව වැනි රටවල් අනුගමනය කරමින් කොරෝනා සමඟ ජීවත් වීමට සිදු වී තිබෙනවා.

කොරෝනා හමුවේ රටේ සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම ආර්ථික අර්බුදයක්ද ඇති වීම නොවැලැක්විය හැකි බව ඇමරිකාව මුල සිටම අවබෝධ කර ගෙන සිටියා. සෞඛ්‍ය අර්බුදයට මුහුණ දෙන අතරම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත්තා. බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින් මේ අවස්ථාව හඳුනා ගත්තේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් ප්‍රයෝජනයක් ලැබිය හැකි විශේෂ අවස්ථාවක් ලෙසයි. මේ කාරණයේදී ඇමරිකානු රජය ඇතුළු රජයයන් විසින් සාමාන්‍යයෙන් කරන කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති අපහරණය කිරීමට විරුද්ධ වන අය පවා මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුනා ගත්තා.

කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් දිගුකාලීනව රටක ආර්ථික වර්ධනය වැඩි කරන්න බැහැ. ඒ සඳහා, රටේ "සැබෑ" ආර්ථික වර්ධනයක් සිදු විය යුතුයි. කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වලින් කළ හැක්කේ ව්‍යාපාර චක්‍ර හේතුවෙන් ආර්ථික වර්ධනයේ සිදුවන විචල්‍යතාව අවම කිරීම පමණයි. රටේ නිෂ්පාදන හා සේවා කර්මාන්ත වලට නිෂ්පාදන විභවයක් තියෙද්දී හදන භාණ්ඩ හෝ සේවා විකුණාගත හැකි තරමේ ඉල්ලුමක් නැති කමින් නිෂ්පාදනය සීමා කිරීමට සිදුවී තිබෙන අවස්ථා වලදී රජයට හෝ මහ බැංකුවට මැදිහත් වී ඉල්ලුම ඉහළ දමන්න පුළුවන්. එවිට නිෂ්පාදනය ඉහළ යනවා.

පසුගිය දවස් වල තෙල් මිල විශාල ලෙස පහත වැටුනා. එයට හේතු වුනේ ඉන්ධන සඳහා ඉල්ලුම විශාල ලෙස අඩු වීමයි. ඒ වෙලාවේ ඇමරිකාවේ රජය මැදිහත් වෙලා වෙළඳපොළෙන් තෙල් මිල දී ගත්තා. මේ වගේ දෙයක් කළ විට ඉල්ලුම යම් තරමකින් හෝ ඉහළ යනවා. කර්මාන්තය බිඳ වැටෙන එක යම් තරමකින් හෝ සීමා වෙනවා.

මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම වැඩි කළ විට රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එවිට භාණ්ඩ හා සේවා මිල ඉහළ යන නිසා නිෂ්පාදකයින් වැඩියෙන් වෙළඳපොළට භාණ්ඩ සපයන්න පෙළඹෙනවා. නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත්, මේ වෙලාවේ තත්ත්වය වෙනස්. මිනිස්සු භාණ්ඩ හා සේවා මිල දී නොගෙන ගෙවල් වලට වී ඉන්නේ කෝවිඩ් නිසා මිසක් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අවශ්‍ය නැති නිසා නෙමෙයි. ඒ නිසා, මුදල් සැපයුම වැඩි කළා කියා ඉල්ලුම වැඩි වන්නේ නැහැ. නිෂ්පාදනය වැඩි වන්නේත් නැහැ. එහෙමනම් ඇමරිකාව මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ කවර අරමුණකින්ද?

රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු වීම ඇතැම් අංශ වලට වැඩියෙන් බලපානවා. උදාහරණයක් විදිහට සංචාරක සේවා හා ගුවන් ගමන්. මේ අංශ වල සමාගම් පාඩු ලබන විට සේවකයින්ගේ රැකියා අහිමි වෙනවා. එවිට ඔවුන්ට තමන්ගේ ණය වාරික ගෙවා ගන්න බැරි වෙනවා. එය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට බලපානවා. එම අංශයේ සමාගම් පාඩු ලබන විට තවත් පිරිසකට රැකියා අහිමි වෙනවා.

මේ අවදානම අඩු කර ගන්න ඇමරිකාව විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත්තා. නිවාස ඒකක වලට සෘජුවම මුදල් ලබා දීම ඇමරිකාව කළ එක් දෙයක්. දරු දෙදෙනෙකු සිටින විවාහක පවුලකට ඩොලර් 3,400ක මුදලක් රජය විසින් ලබා දුන්නා. ඒ මුදල ඇමරිකාවට සාපේක්ෂව වුවත් විශාල මුදලක්. මෙහි අරමුණ වුනේ ඇමරිකානු වැසියන් තමන්ගේ නිවාස ණය, වාහන ණය, ජල විදුලි දුරකථන ආදී බිල්පත්, ක්‍රෙඩිට් කාඩ් බිල් ආදිය කලට වෙලාවට ගෙවනු ඇති බවට වග බලා ගැනීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික අර්බුදයක් ඇති වීම වැළකෙන්නේ නැතත් ඇමරිකාවේ රැකියා යම් ප්‍රමාණයක් ආරක්ෂා වුනා. ඒ නිසා, නැවත රට විවෘත කරන විට මේ සමාගම් විසින් නැවත අලුතින්ම සේවකයින් බඳවාගත යුතු නැහැ. සේවකයින් විසින් නැවත අලුතින් රැකියා සොයාගත යුතු නැහැ.

මේ ආකාරයේ වියදමක් ඇමරිකාවේ ෆෙඩරල් රජයට දරන්න සිදු වෙන්නේ බදු මුදල් වැය කරමිනුයි. එහෙත්, මේ වෙලාව බදු ආදායම් අඩු වී තිබෙන වෙලාවක් මිසක් වැඩි වී තිබෙන වෙලාවක් නෙමෙයි. ඒ නිසා, ෆෙඩරල් රජයට භාණ්ඩාගාර සුරැකුම්පත් විකුණා මුදල් හොයා ගන්න වෙනවා. ඇමරිකාවේ ෆෙඩරල් රජයට මේ වෙලාවේ ඉතා අඩු පොලී අනුපාතිකයකට භාණ්ඩාගාර සුරැකුම්පත් විකිණීමේ හැකියාව තිබෙනවා. අඩු පොලියකට ලබා ගත්තත් මේවා ණය. පසුව මේ ණය පියවන්න වෙනවා. ඒ බදු මුදල් වලින්.

කෝවිඩ් අර්බුදය හමුවේ ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් රාජ්‍යමූල්‍ය උත්තේජනයක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් රටේ ආර්ථිකයට පොම්ප කර තිබෙනවා. ඇමරිකාව වගේ රටක රජයකට එසේ කිරීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් මුදල් සැපයුමද වැඩි කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ උද්ධමන අවදානම ගැන සැලකිලිමත්ව ඉතා පරිස්සමෙන්. ඇමරිකාවේ වගේම ලෝකයේ වෙනත් සංවර්ධිත රටවල් හා ආර්ථික ශක්තියෙන් පොහොසත් රටවල් බොහෝ ගණනක් මේ වෙලාවේ පෙර නොවූ විරූ තරමේ රාජ්‍යමූල්‍ය උත්තේජන හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්න පෙළඹී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලොකු රටවල් ලෙස හඳුන්වන්නේ මේ රටවල් විය යුතුයි.

ඉහත කී "ලොකු රටවල්" විසින් කරන හැම දෙයක්ම "පොඩි රටවල්" වලට කරන්න අමාරුයි. මගේ අදහස අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් "අපේ රට අවට තියෙන පොඩි රටවල්" ලෙස හඳුන්වන්නේ භූමි ප්‍රමාණය හෝ ජනගහණය අනුව කුඩා රටවල් වෙන්න බැහැ. බොහෝ විට ඔහු "පොඩි රටවල්" ලෙස හඳුන්වන රටවල් අතරට ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල්ද අයත් වෙනවා වෙන්න පුළුවන්. මේ "පොඩි රටවල්" විසින්ද සැලකිය යුතු දේ කර ඇතත් ඒ රටවලට "ලොකු රටවල්" කරන හැම දෙයක්ම කරන්න පුළුවන්කමක් නැහැ. ලොකුපොඩිකම් කොහොම වුනත් කාලයක් තිස්සේ තමන්ගේ රටේ ආර්ථිකය යම් තරමකින් හෝ සමතුලිතව පවත්වාගත් රටවල් මේ තත්ත්වයට සාර්ථකව මුහුණ දෙද්දී එසේ පවත්වා නොගත් රටවල් දෙකොණ පූට්ටු වී ඉන්නවා. ලංකාවට වෙලා තියෙන්නේත් වතුර රත් වෙද්දී හැලියේ කකුළුවාට වුනු දෙයයි.

"දැන් අපි මොකක්ද පාවිච්චි කරලා තියෙන Tool එක. කිසි දෙයක් නෑ. කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහ බැංකුව කරලා නෑ."

"ඔයගොල්ලො ලඟ විවිධ tools තියෙනවා මේකට. ඒ tools පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහබැංකුව කිසිම tool එකක් පාවිච්චි කරන්නේ නෑ. නිකන් නිදාගන්නවා."

මේ කතාව අසාධාරණ හා අසත්‍ය කතාවක්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෝවිඩ් අර්බුදය හමුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තිබෙනවා. ඒ ක්‍රියාමාර්ග වල යෝග්‍යතාවය හා ප්‍රමාණාත්මක භාවය විෂයමූලික කරුණක්. ඇත්තටම ප්‍රශ්නය මහ බැංකුව විසින් ජනාධිපතිවරයාට අවශ්‍ය වූ මුදල් ප්‍රතිපත්ති තීරණ ගෙන නොතිබීමයි.

"අපි කිව්වේ රුපියල් බිලියන 150 ක් බැංකුවලට දෙන්න. මේ Business වල වැරැද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට Security එකක් හැටියට තියාගෙන බැංකුවලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ආර්ථිකය දුවවන්න. මේ Money Circulation එකනේ. මේක සිම්පල් දෙයක්."

සැබෑ ප්‍රශ්නය මෙහි පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. කෝවිඩ් අර්බුදය හමුවේ ලංකාවේ රජයට ප්‍රායෝගිකව කිසිදු රාජ්‍යමූල්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් නැහැ. මම හිතන්නේ රජය විසින් ලබා දුන් එකම රාජ්‍යමූල්‍ය උත්තේජනය තෝරාගත් අඩුආදායම්ලාභීන් පිරිසකට රුපියල් 5000 බැගින් ලබා දීමයි. එය ලබාදුන් ආකාරය පිළිබඳවත් විවිධ විවේචන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය අනුව රටේ විවිධ සමාගම් වලට රජය විසින් විශාල මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒ මුදල කොපමණ මුදලක්ද කියා නිශ්චිතව සඳහන්ව නැහැ. කෙසේ වුවත්, ගෝඨාභය රාජපක්ෂ විසින්ම කියන විදිහට කේන්සියානු උත්තේජනයක් අවශ්‍ය වෙලා තිබෙන මේ වෙලාවේ ලංකාවේ රජය විසින් රටේ සමාගම් වලින් ලබා ගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් මුදල් ගෙවන්නේ නැහැ. මෙසේ මුදල් නොගෙවා සිටීම සමාන කළ හැක්කේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් ආර්ථිකය තවත් සංකෝචනය කිරීමකටයි. ඒ කියන්නේ පවතින ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියකටයි.

ගෝඨාභය රාජපක්ෂට ආර්ථික අර්බුදය තවත් උග්‍ර වනු දකින්න හෝ රටේ ආර්ථිකය කඩා වැටෙනු දකින්න කිසිදු උවමනාවක් නැති බව ඉතාම පැහැදිලියි. ඒ කියන්නේ ලංකාවේ රජය මේ ආකාරයට පියවිය යුතු බැරකම් නොපියවා ඉන්නේ එය කළ හැකි වෙනත් ආකාරයක් නැති නිසයි. මෙය රජයක් බංකොලොත් වී කඩා වැටීමේ ආරම්භක සංඥාවක්.

පවතින තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ මේ ආණ්ඩුව නෙමෙයි. නිදහසින් පසුව අනුගමනය කළ සමාජවාදී ප්‍රතිපත්ති නිසා හැදුණු තුවාලයට ජේආර් දුන් බෙහෙත් නිසා තුවාලය තවත් උග්‍ර වුනා. දැන් ආණ්ඩුව වටා ඉන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ අය තුවාලය වණයක් කළා. යහපාලන ආණ්ඩුව කකුල නොකපා බේරාගන්න උත්සාහ කළත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබුණේ නැති නිසා ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ලෙස භාර ගන්න වුනේත් කපන්න තිබෙන කකුලක්. නමුත්, ඒ හේතුව නිසා ඔහුට දැන් පවතින ප්‍රශ්නයේ වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඔහු විසින් යෝජනා කළ හා බලයට පැමිණි වහාම ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හරහා කළේත් කකුල නොකපාම බැරි වෙන තැනකට රට තල්ලු කිරීමයි. කෝවිඩ් නිසා වුනේ එය තරමක් ඉක්මන් වීම පමණයි.

දැන් ලංකාවේ රජයට රජය බංකොලොත් වීම වලක්වා ගන්න කළ හැකි දෙයක් නැති තැනටම වැටිලා. මහ බැංකුවට දුන් "අවවාද" මේ නොහැකියාව මහ බැංකුව පිට පැටවීමේ උත්සාහයක්. මුදල් ප්‍රතිපත්ති වලින් මේ වෙලාවේ විශාල දෙයක් කරන්න බැරි වුනත් යම් කිසි කාලයකට පොඩි "රැවටීමක්" කරන්න පුළුවන්. සති හයකින් මහ මැතිවරණයක් තිබෙන පසුබිමක ඒ වගේ රැවටීමකින් පවතින ආණ්ඩුවට යම් දේශපාලන වාසියක් ලබා ගන්න පුළුවන්.

රජයෙන් මුදල් ලැබිය යුතු අයට ඒ මුදල් නොලැබීම රජයේ නොහැකියාව වුවත්, ඒ මුදල් ඒ අයට අයිති මුදල්. මේ සමාගම් රජයට මොනවා හෝ භාණ්ඩ හෝ සේවා සම්පාදනය කළ සමාගම්. ඒ නිසා, රජය විසින් තමන්ගේ යුතුකම ඉටු නොකරනවානම් හෝ කිරීමේ නොහැකියාවකින් ඉන්නවානම් මහ බැංකුව විසින් යම් මැදිහත් කිරීමක් කිරීම සාධාරණයි. මෙය වෙනත් රටවල සිදු වනවා වගේ ආර්ථික අර්බුදය හමුවේ බංකොළොත් වෙන්න යන සමාගම් වලට මහ බැංකුව විසින් ඇප දීමක් (bail out) නෙමෙයි. මෙහිදී මහ බැංකුව විසින් ඇප දෙන්නේ ආර්ථික අර්බුදය හමුවේ බංකොළොත් වෙන්න යන ලංකාවේ රජයටයි.

මේ සමාගම් වලට රජයෙන් ලැබිය යුතු ගෙවීම් සිදු කර නැහැ. රජය බංකොලොත් නොවුනොත් මේ මුදල් කොයි වෙලාවක හෝ එම සමාගම් වලට ලැබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර තිබෙන්නේ මෙසේ ලැබෙන්න තිබෙන මුදල් ඇපයට තබා ගෙන එම සමාගම් වලට ණය දෙන්න වාණිජ බැංකු වලට ඉඩ සලසන ලෙසයි.

මේ ආකාරයෙන් මහ බැංකුවට "අවවාද" කරන්න සිදු වී තිබෙන්නේ කවර හේතුවක් නිසා හෝ දැනට මේ ලැබෙන්න තිබෙන මුදල් ඇපයට තබා ගෙන වාණිජ බැංකු විසින් ණය නොදෙන නිසයි. එයට මහ බැංකුවේ නියාමන කොන්දේසිද හේතු වනවා විය හැකි වුවත්, වෙනත් හේතුද තිබෙන බව පැහැදිලියි. රජයෙන් මුදල් ලැබිය යුතු අයට අවශ්‍ය වන්නේ තමන්ට ලැබෙන්න නියමිත මුදල් මිසක්, බැංකු ණයක් නෙමෙයි. ඒ නිසා, ඔවුන් මේ වෙනුවෙන් පොලියක් ගෙවන්න කැමති වෙන්නේ නැහැ. ඔවුන්ට එසේ පොලියක් ගෙවන්න සිදු වීම සාධාරණත් නැහැ. නමුත්, වාණිජ බැංකු විසින් මේ අනාගත ලැබීම් ඇපයට තියාගෙන වුවත් ණය දෙනවානම් ඒ සඳහා ගැලපෙන පොලියක් අය කළ යුතුයි. වෙන කෙනෙකුට වැඩි පොලියකට ණය දෙන්න පුළුවන්කම තිබියදී අඩු පොලියට මේ අයට ණය දෙන්න වාණිජ බැංකු ඉදිරිපත් වෙන්නේ නැහැ. කතාවේ නැතත් ගෝඨාභය රාජපක්ෂ විසින් මහ බැංකුවට බලපෑම් කරන්නේ වාණිජ බැංකු වලට මේ අයට අඩු පොලියකට ණය ලබා දීමට ඉඩ සලසන ක්‍රමයක් හදන්න කියලයි.

දැන් මහ බැංකුව විසින් කියපු දේ කරලා තියෙනවා. වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් 1% බැගින් ණය අරගෙන 4% බැගින් ඒ ණය නිකුත් කරන්න පුළුවන්. මීට පෙර මහ බැංකුව විසින් වෙන් කළ රුපියල් බිලියන 27.5ක මුදලද ඇතුළත්ව රුපියල් බිලියන 150ක මුදලක්. ඒ කියන්නේ අලුතෙන්ම තවත්  රුපියල් බිලියන 122.5ක මුදලක් මහ බැංකුව විසින් එළියට දමනවා. පාරිභෝගිකයින්ට මේ ණය ගන්න පුළුවන් වෙන්නේ රජයෙන් ලැබිය යුතු ගෙවීම් ඇපයට තබා පමණක් වෙන්න බැහැ. වැඩි විස්තර අද හෙටම එළියට එයි.

මේ වැඩෙන් වාණිජ බැංකු වලට 3%ක පොලී ආන්තිකයක් ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ වාණිජ බැංකු විසින් තියා ගන්නේ ඔය වගේ පොලී ආන්තිකයක් නිසා මෙහි වාණිජ බැංකු වලට විශාල හොඳක් හෝ නරකක් නැහැ. ඔවුන්ට කරන්න තියෙන්නේ මහ බැංකුවෙන් සල්ලි අරගෙන පාරිභෝගිකයින්ට නිකුත් කරන එකයි. ඒ වෙනුවෙන් වැය වෙන පිරිවැය ආවරණය කරගන්න 3% ආන්තිකය ප්‍රමාණවත්.

රජයෙන් මුදල් ලැබෙන්න තිබෙන අයට මේ වැඩෙන් වාසියක් වෙන්නේ නැහැ. තමන්ට අයිති, තමන්ට ලැබෙන්න තිබෙන මුදල් වෙනුවට දැන් ඔවුන්ට සිදු වී තිබෙන්නේ 4%ක පොලියට ණය ගන්නයි. රජය විසින් පහුවෙලා හරි මුදල් ගෙවන කොට පොලියක් එක්ක ගෙවනවානම් ප්‍රශ්නයක් නැහැ. එවැනි දෙයක් වන බවක් මම හරියටම දන්නේ නැහැ. මගේ උපකල්පනය පොලියක් නොගෙවන බවයි. මෙය වැරදි උපකල්පනයක්නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න. එවිට ලිපියේ අදාළ කොටස  සංශෝධනය කරන්නම්.

මේ වැඩේ වාසිය තනිකරම රජයටයි. මේ වෙලාවේ රාජ්‍ය සුරැකුම්පත් විකුණලා මුදල් හොයාගෙන මේ ගෙවීම් කළොත් 7%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. දැන් ඒ වෙනුවට වාණිජ බැංකු වලින් ණයක් ලබා ගන්න අවස්ථාව දීලා පොලියක් නොගෙවා මුදල් ගෙවන එක ප්‍රමාද කරන්න පුළුවන්. මහ බැංකුව අය කරන 1% පොලියත් අවසාන වශයෙන් මහා භාණ්ඩාගාරයටම ලැබෙන නිසා 8%කම වාසියක් තිබෙනවා.

මීට අමතරව මහ බැංකුව විසින් වාණිජ බැංකු වල සංචිත පොලී අනුපාතික 2% දක්වා අඩු කරලා තිබෙනවා. මෙය මහ බැංකුවේ අධිප්‍රතික්‍රියාවක් ලෙස හිතනවාට වඩා මෙයත් "රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට" අවශ්‍ය පරිදි ගත් ක්‍රියාමාර්ගයක් කියා හිතන්න පුළුවන්. මේ හරහා රුපියල් බිලියන 115ක මුදලක් ආර්ථිකයට මුදා හැරෙනවා. මෙය මේ වන විට රටේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් බිලියන 64ක අතිරික්ත ද්‍රවශීලතාවයට එකතු වෙනවා. එවිට එකතුව රුපියල් බිලියන 180ක් පමණ. 4% පොලියට ණය ලබා දීම සඳහා අලුතෙන් නිකුත් කර තිබෙන රුපියල් බිලියන 122.5ක මුදලෙන් සැලකිය යුතු කොටසක්ද අතිරික්ත ද්‍රවශීලතාවය ලෙස එකතු විය හැකි නිසා මේ ගත්තු (හෝ ගන්න සිදු වුනු) හදිස්සි තීරණයෙන් රටේ අතිරික්ත ද්‍රවශීලතාවය රුපියල් බිලියන 250ක් පමණ දක්වා ඉහළ යන්න පුළුවන්.

මේ මුදල් කන්දරාව බැංකු වලට වහාම ණය ලෙස නිකුත් කරන්න බැහැ. ඒ නිසා, වාණිජ බැංකු විසින් කරන්නේ නැවත මේ මුදල් මහ බැංකුවේම තැන්පත් කරන එකයි. ඒ වෙනුවෙන් මහ බැංකුවට 5.5%ක පොලී අනුපාතිකයක් ගෙවන්න වෙනවා. එක පැත්තකින් පාරිභෝගිකයින්ට 4% බැගින් බැංකු වලින් ණය ගන්න අවස්ථාව ලැබෙද්දී අනෙක් පැත්තෙන් 7%ක පොලී අනුපාතිකයකට බැංකු වලම හෝ භාණ්ඩාගාර සුරැකුම්පත් වල මුදල් තැන්පත් කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම, එක පැත්තකින් වාණිජ බැංකු වලට 1% පොලියට මහ බැංකුවෙන් ණය ගන්න ගමන්ම 5.5% පොලියට මහ බැංකුවට ණය දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ වෙළඳපොළවල් දෙකක් වුනත් මේ දෙක එකිනෙකට සම්බන්ධයි. මේ තත්ත්වය යටතේ මහ බැංකුවට ඉදිරියේදී අනිවාර්යයෙන්ම ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරන්න සිදු වෙනවා. ඒ නිසා, මේ වෙලාව අතේ සල්ලි තිබෙන අයට දිගුකාලීන බැඳුම්කර මිල දී ගන්න හොඳ අවස්ථාවක්.

මහ බැංකුවේ රාජකාරිය දිගුකාලීනව රටේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීම මිසක් "රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එකට හරියන්න" වැඩ කිරීම නෙමෙයි. එයින් අදහස් කරන්නේ ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර ගත යුතු බව නෙමෙයි.

මහ බැංකුවේ හා රජයේ රාජකාරි දෙක එකක්ම නෙමෙයි. මුදල් ප්‍රතිපත්ති හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති එකට යන වෙලාවල් වගේම නොයන වෙලාවලුත් තියෙනවා. බොහෝ රටවල් වල මහ බැංකු ස්වාධීන ආයතන ලෙස පවත්වා ගැනීම කෙරෙහි ලොකු බරක් තබා තිබෙන්නේ ඒ නිසයි.

රටේ ජනාධිපතිතුමාගේ Economic Policy එක අසාර්ථකනම් මිනිස්සුන්ට එය ප්‍රතික්ෂේප කරන්න අවස්ථාව තිබෙනවා. එවිට වෙන ජනාධිපති කෙනෙක් පත් වෙයි. එහෙත්, රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගියොත් ප්‍රතික්ෂේප වෙන්නේ මහ බැංකුව කියන ආයතනය මිසක් එහි වත්මන් පාලකයින් නෙමෙයි. එහෙම වුනොත් මහ බැංකුවේ රෑටත් පත්තු වෙන ලයිට් සදහටම නිමිලා යන්න පුළුවන්.

මහ බැංකුව විසින් හදිස්සියේ තීරණ ගත්තේ දේශපාලන බලපෑම් වල පීඩනයට යටත් වෙලා නෙමෙයිනම්, හැම පැත්තක් ගැනම හොයා බලලා රටේ යහපත වෙනුවෙන්නම්, එහෙම වෙන එකක් නැහැ. ඒක එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රසිද්ධියේම කියපු විදියට "ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ රාජකාරිය" නොකර "නිකන් නිදාගන්න" එකයි මෙච්චර කල් කරලා තියෙන්නේ.

32 comments:

  1. Replies
    1. ’ජනාධිපති හරි මහ බැංකුව කරපු කෙහෙල් මලක් නැහැ’’ - රවී (VIDEO)
      18 June 2020 06:52 pm
      78
      Shares
      facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonlinkedin sharing button
      මහ බැංකුවට සක්‍රිය වීමට ජනධිපතිවරයා විසින් ඔවුන්ට කරුණු අවධාරණය කරන තෙක් සිටි අතර මහ බැංකුව ක්‍රියාත්මක විය යුත්තේ එලෙසදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේය.

      ඔහු මේ බව සඳහන් කළේ අද (18) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

      ජනධිපතිවරයා කියූ සැණින් පැය 7ක් තුළ කළ දේ වසර පහක් තිස්සේ මහ බැංකුව පැහැර හරිමින් සිටි බවයි රවී කරුණානායක මහතා කියා සිටියේ.

      මාස 31 ක් තිස්සේ තමන් පොළී අනුපාත අඩු කරන ලෙස මහ බැංකුවට පැවසුවද එය සිදු නොකළ අතර හේතුව ලෙස උද්ධමනය ඉහළ යාම,රුපියල ශක්තිමත් කළ යුතු බවට ආදී කතා කියමින් ජනතාවට අත්විය යුතු සහන ලබා නොදුන් බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

      අවසානයේදී මහ බැංකුව කළ දෙයක් නැති බවයි රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

      Delete
  2. ද්‍රවශීලතාවය කියන්නෙ මොකක් ද???


    /// මෙය මේ වන විට රටේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් බිලියන 64ක අතිරික්ත ද්‍රවශීලතාවයට එකතු වෙනවා////

    ReplyDelete
    Replies
    1. බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන මුදල් වලින් කිසියම් අවස්ථාවක රටේ පවතින මුදල් ඉල්ලුමට වඩා වැඩියෙන් තිබෙන ප්‍රමාණය. වෙන විදිහකින් කිවුවොත් බැංකු වලට "කරන්න දෙයක් නැති" මුදල් ප්‍රමාණය.

      Delete
  3. රජයෙන් ලැබෙන්න තියෙන මුදල්, ඒ කියන්නේ බිල්පත් වලට විශේෂයෙන්ම ඉදිකිරීම් බිල් පත් වල ගිවිසුමේම සඳහන් වෙනවා ගෙවීම් ප්‍රමාද වන විට කොන්ත්‍රාත්කරුට ඒකට පොළියක් අය කරන්න හැකියි කියා. ඒ වගේම ද්‍රවශීලතා ගැටළුව වෙන්නේ මට පේන විදිහට නම් මේ බිලියන ගණන් එන්න තියෙන්නේ මහා පරිමාණ සමාගම්වලට. ඒවට මේ ලොකු ණය ඇවිල්ලා සේවක පඩි නඩි, එදිනෙදා සැපයීම් වගේ දේවල් ගෙව්වා නම් බිම් මට්ටමට සල්ලි යනවා. ඒත් ඒක එහෙමම වෙයිද නැත්නම් ලොක්කො තමන්ගේ බෝනස් එක ගනීද?

    ReplyDelete
    Replies
    1. //රජයෙන් ලැබෙන්න තියෙන මුදල්, ඒ කියන්නේ බිල්පත් වලට විශේෂයෙන්ම ඉදිකිරීම් බිල් පත් වල ගිවිසුමේම සඳහන් වෙනවා ගෙවීම් ප්‍රමාද වන විට කොන්ත්‍රාත්කරුට ඒකට පොළියක් අය කරන්න හැකියි කියා. //

      ප්‍රායෝගිකව එවැනි පොලියක් අය කරනවාද? කොපමණ පොලියක්ද?

      Delete
    2. //ඒ වගේම ද්‍රවශීලතා ගැටළුව වෙන්නේ මට පේන විදිහට නම් මේ බිලියන ගණන් එන්න තියෙන්නේ මහා පරිමාණ සමාගම්වලට.//

      ඒ මුදල් ගෙවිය යුතු බව පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත්, මුදල් ගෙවිය යුත්තේ බැංකු විසින් හෝ මහ බැංකුව විසින් නෙමෙයි. වැඩ කර ගත්තේ මහ බැංකුව නෙමෙයිනේ. රජයේ අයවැය කළමනාකරණය කර ගන්න බැරිකම රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතාවයක්. එවැන්නක් රටක වෙන්නේ කලාතුරකින්. මෙය කෝවිඩ් හා අදාළ කරුණක් නෙමෙයි. රජයට ආදායම් වියදම් පාලනය කරගත නොහැකි වීමේ වැරැද්ද මහ බැංකුව පිට පටවන්න බැහැ.

      Delete
    3. Actually this was a issue this government inherited from previous government. They have not paid for many companies (from fertilizer importers to road constructors) for the goods and services government has obtain. This government is not in a position to pay for same until new budget is produced and approved in parliament.

      Delete
    4. This had always been the case. When the previous regime was in power most of the Road sector projects remained unpaid. I assume this has been the practice for quite some time.

      Delete
  4. 1.බැංකුවලට අතිරික්ත ද්‍රවශීලතාවයක් එකතු වන විට උද්ධමනය වැඩි වෙන්නෙ නැද්ද ඉකෝ??


    2.මහ බැංකුව සංචිත පො.අ. අඩු කරාම, බැංකු පද්ද්තියට එන මුදල් , කෙලින්ම ණය විදියටම දෙන්න බැරි ඇයි?????

    ReplyDelete
    Replies
    1. 1. අනිවාර්යයෙන්ම වෙනවා. අතිරික්ත ද්‍රවශීලතාවයක් ඇති විට සාමාන්‍යයෙන් කරන්නේ එය අඩු කළ හැකි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එකයි. එසේ නොකරන්නේ අවධමන අවදානමක් ඇති විටකයි. එනම් අවශ්‍ය තරමට වඩා මිල මට්ටම් අඩු වීමේ අවදානමක් ඇති විට. ලංකාවේ එවැනි තත්ත්වයක් කවදාවත් තිබිලා නැහැ කීවොත් නිවැරදියි.

      2. දෙන්න පුළුවන්. නමුත් 4% බැගින් දෙන්න බැහැ. රජයේ භාණ්ඩාගාර බිල්පත් වල මුදල් ආයෝජනය කිරීමෙන් 7%ක පමණ පොලී අනුපාතයක් ලබා ගත හැකිව තියෙද්දී අවදානම් ආයෝජනයකට අනිවාර්යයයෙන්ම 10%ක පමණවත් පොලියක් ගන්න වෙනවා.

      Delete
    2. //රජයේ භාණ්ඩාගාර බිල්පත් වල මුදල් ආයෝජනය//
      කියලා කියන්නෙත් මහ බැංකුවේ ,වාණිජ බැංකු තියන්න අවශ්‍ය ස්තිර මුදල් ද ?
      නැත්නම් වෙනමම එ සදහා මුදල් තැම්පත් කල යුතුද වාණිජ බැංකු ????????

      Delete
    3. නැහැ. එය සාමාන්‍ය ගනුදෙනුවක්. භාණ්ඩාගාර බිල්පතක් අයිති ඕනෑම කෙනෙක්ගෙන් මුදල් ගෙවා මිල දී ගන්න පුළුවන්. නැත්නම් අලුතින් නිකුත් කරන එකක් මිල දී ගන්න පුළුවන්.

      මහ බැංකුවේ වාණිජ බැංකු තියන්න අවශ්‍ය ස්ථිර මුදල් වලට කියන්නේ ව්‍යවස්ථාපීත සංචිත. එසේ තියන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය එක පාරටම අඩු කර ඇති නිසා තමයි ඒ මුදල් වෙන දෙයකට යොදවන්න වෙන්නේ.

      Delete
    4. ද්‍රවශීලතාවය උද්ධමනයට අනුලෝමව සමානුපාතිකවනේ,
      නමුත් ජපානයේ ද්‍රවශීලතාවය හා උද්ධමනය අතර ප්‍රතිලෝම සමානුපාතිකව නේද විචලන වෙලා තීන්නේ???????????

      Delete
    5. ද්‍රවශීලතාවය හා උද්ධමනය ප්‍රතිලෝමව සමානුපාතිකනම් ද්‍රවශීලතාවය අඩු කර උද්ධමනය වැඩි කරන්න පුළුවන් විය යුතුයි. ජපානයේ එසේ වී නැහැ. උද්ධමනය වැඩි කිරීමේ අරමුණින් ද්‍රවශීලතාවය වැඩි කරන එකයි සිදු වී තියෙන්නේ. වැඩිපුර වෛද්‍යවරුන් හමු වෙන්නේ රෝගී පුද්ගලයින් මිස නිරෝගී පුද්ගලයින් නෙමෙයි. ඒ නිසා, වෛද්‍යවරයෙකු හමු වන වාර ගණන හා රෝගී වීම අතර සම්බන්ධයක් තිබුණත් රෝගී වීමට හේතුව (කලාතුරකින් මිස) වෛද්‍යවරයා හමු වීම නෙමෙයි. හේතු ඵල සම්බන්ධතා විස්තර කෙරෙන සමාජ විද්‍යා සමීකරණ සාමාන්‍ය ගණිත සමීකරණ තේරුම් ගන්නා පරිදි තේරුම් ගන්න බැහැ. x = y වූ පමණින් y = x වෙන්නේ නැහැ. විචල්‍ය අතර සම්බන්ධය ඇති වන නිශ්චිත දිශාවක් තිබෙනවා.

      Delete
    6. මේ ලිපි කියෙවුවොත් තේරුම් ගන්න පහසු වෙයි.

      https://economatta.blogspot.com/2020/02/blog-post_29.html

      https://economatta.blogspot.com/2020/03/blog-post.html

      Delete
  5. cut and paste. written by Damith Kethaka...

    ණය වැඩිපුර දීම තාවකාළික විසඳුමක් වන අතර, සියල්ල රඳා පවතින්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ හා සේවා මිළට ගනු ලබන ගැණුම්කරුවන්ගේ ක්‍රය ශක්තිය මතය.....එවැනි ව්‍යාපාර වල පාරිභෝගික පදනම සතුව මුදල් නොමැති නම්, අදාළ සමාගම් ලබාගන්නා ණය මුදල් වලින් කරනු ලබන භාණ්ඩ හා සේවා නිෂ්පාදන නොවිකිණීම හේතුවෙන් අර්බුදය තවත් උඝ්‍ර වනු ඇත.....එවිට එම ව්‍යාපාර වල ණය බර වැඩිවීම, ඒවා සහ ඒවායේ හිමිකරුවන් ( සීමාසහිත වගකීම් නොමැති තැන්වල ) බුන්වත් බව ප්‍රකාශ කිරීම, ණය අය කර ගැනීමේ හැකියාව නොමැතිවීම නිසා ණය ලබාදුන් මූල්‍ය ආයතන අර්බුදයකට යෑම සිදුවිය හැක.....

    මෙබඳු තත්වයකදී බැංකු සහ මූල්‍ය ආයතන අර්බුදයකට යන්නේ ( විශේෂයෙන්ම බැංකු වැනි මූල්‍ය සහ වෙනත් වාණිජමය වටිනාකම් තැන්පතු වශයෙන් ලබාගෙන, පවත්වාගන්නා ආයතන ) මෙහෙමයි..

    1. ණයකරුවන්ට නිසි වේලාවට ණය ගෙවීමට නොහැකි වුවහොත් බැංකු සතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ( ස්ටැටියුටරි රෙසර්ව් රේෂියෝ ) හැර, හදිසි ඉල්ලුමකදී ඔවුන් සමඟ වාණිජමය වටිනාකම් තැන්පත් කළ අයට එම වටිනාකම් නැවත ලබා දීමට බැංකු සහ මූල්‍ය ආයතන සතු හැකියාව බරපතළ ලෙස පහත වැටේ.....ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයද සංශෝධනය කර වඩා පහළ තැනකට ගෙනවුත් තිබෙන්නේ නම්, එහි අවදානම තවත් වැඩිවේ....

    2. සමාජයේ මුදල් සංසරණය හෝ මුදල සතු ක්‍රය ශක්තිය අඩු නම්, එවිට තැන්පතු කරුවන් උත්සාහ කරන්නේ තමන් කළින් තැන්පත් කර තිබූ වාණිජමය වටිනාකම් සහිත තැන්පතු ආපසු ලබාගැනීමය.....තමන්ගේ යැපීම පවා අර්බුදයකට ගොස් තිබෙන විටක මිනිස්සුන්ට නිතැනින්ම අවශ්‍ය වන්නේ කළින් තැන්පත් කර තිබෙන මුදල් සහ වටිනාකම් නැවත ලබාගෙන තමන්ගේ එදිනෙදා විය පැහැදම් වලට ඒවා එකතු කිරීමටය.....මෙවිට ඒවා ආපසු ගෙවීමට, ඒ තැන්පතු පවත්වා ගත් බැංකු සහ මූල්‍ය ආයතන වලට එල්ලවන පීඩනය වැඩිවේ....

    3. දෙපැත්තකින් මේ දෙකම සිදුවනවිට, අදාළ බැංකු සහ මූල්‍ය ආයතන වල ද්‍රවශීලතාවය අනතුරු දායක ලෙස පහත වැටීම පිළිබඳව පුවත සමාජගත වීම නොවැලැක්විය හැක.....පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කරනු ලබන පරිසරය තුළ ජීවත්වන සෙසු තැන්පතු කරුවන්ද, තමන් හට අවසාන පිළිසරණ වශයෙන් පවතින එකී තැන්පතු තමන්ට හදිස්සියක් වුවහොත් ඉක්මණින් ලබාගත හැකිද යන්න ගැන සැකයක් ඇති කර ගනිති....එයින් නිර්මාණය වන්නේ අනවශ්‍ය කලබලයකි.....මේ කලබලයේ ප්‍රතිඵල වන්නේ, අර්බුදය තවත් උත්සන්න වීමට පෙර සිය තැන්පතු ඉවත් කරගැනීමට තැන්පතු හිමියන් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දිව යෑමය.....මෙය ඉංග්‍රීසි බසින් කියන්නේ "බෑන්ක් රන්" කියාය....ලෝක ඉතිහාසයේ අප දුටු දරුණුතම "බෑන්ක් රන්" එක වන්නේ 1933 වසරේ ඇමරිකානු මහා ආර්ථික අවපාතය සමඟ පැමිණි "බෑන්ක් රන්" එක සහ පළමු ලෝක යුද්දයෙන් පරාජය වී වාර්ථාගත ආර්ථික අවපාතයකට ගිය ජර්මනියේ 1929 වසරේ සිදුවූ බෑන්ක් රන් එකයි....

    4. යම් රටක සමාජය මෙකී අවස්ථාවට පැමිණි පසු, එම රාජ්‍යයේ වාණිජමය ආයෝජන දරුණු ලෙස අඩුවීම, මූල්‍ය ආයතන එකින් එක කඩා වැටීම, සෙසු ආයතනවල අක්‍රමවත් වියදම් කිරීම, පාලනයකින් තොරව මුදල් සමාජයේ සංසරණය වීම ඇරඹීමත් සමඟ උද්ධමනය ඉහළ යෑම යන කරුණු "කැස්කේඩින් ඉෆෙක්ට්" එකක් ලෙස සිදුවිය හැක...

    මේ නිසා සුවිශාල ආර්ථික අර්බුදයක් ඇතිවෙමින් පවතින විට තවත් ව්‍යාපාරික ණය ලබාදීම කළ යුත්තේ තමන්ගේ ජනතාවට භාණ්ඩ හා සේවා මිළට ගන්නට වියපැහැදම් කිරීමට අතිරික්ත මුදල් යහමින් තිබෙන රටවලය.....නො-එසේ නම් ඒ ජනතාවට එබඳු මූල්‍ය ශක්තියක් රජය පාර්ශවයෙන් මැදිහත් වී ලබා දෙන්නට තරම් අතිරික්ත මුදලක් රාජ්‍ය සංචිත වල තැන්පත් කරගෙන තබාගෙන සිටින රටවලය.... ( සැ.යු. : ආර්ථික අර්බුදය උඝ්‍ර අතට දැනටමත් හැරී තිබෙන්නේ නම් මෙබඳු තත්වයක් ඇතිවීමට තිබෙන අවස්ථාවට වඩා, අර්බුදය මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් කරළියට එන මුල් අවස්ථාවේ පවතින්නේ නම්, මෙබඳු තත්වයක් ඇතිවීමට ඇති අවස්ථාව බෙහෙවින්ම විශාලය....."රියුමර්ස්" හෙවත් "හාහෝවන්" ට සමාජයේ බොහෝ දෙනාගේ තීරණ තීන්දු වලට බලපෑම් කළ හැක්කේ අර්බුදයක ආරම්භක අවස්ථාවේදීය....දැනට අප සිටින්නේ මෙතෙක් මෙලොව වාර්ථා වූ දැවැන්තම ආර්ථික අර්බුදය විය හැකි අර්බුදයක ආරම්භක අවස්ථාවේය.... )

    එසේ කිරීමට හැකියාවක් නොමැති රටවල් කළ යුත්තේ කෙසේ හෝ සමාජයේ පැත්තෙන්, ජනතාවගේ පැත්තෙන් ස්වභාවිකව සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් වැඩිකර, ජනතාවගේ පැත්තෙන් මුදල් සංසරණයට ප්‍රමාණවත් විනිමය වටිනාකම් රටට පරිබාහිරයෙන් ලැබෙන බවට වගබලා ගැනීමත්, දැනට ජනතාවගේ අතේ තිබෙන මුදල් වලට කළ හැකි දේ, හෙවත් ක්‍රය ශක්තිය වැඩි කිරීම සඳහා බදු සහන ආදිය ලබාදෙමින්, භාණ්ඩ හා සේවා මිළ පහළ දැමීමට සමාගම් දිරි ගැන්වීමත්ය....

    ReplyDelete
  6. Another US$140 Mn loan from China

    http://www.dailymirror.lk/breaking_news/Another-US-140-Mn-loan-from-China/108-190202

    ReplyDelete
  7. Replies
    1. ප්‍රියන්ත, මොකද නිමල් ලන්සාට ඔබගේ බ්ලොග් එකෙන් ගහන්නේ? ඔබගේ ලිපි වලින් වාසි ගන්නේ ලන්සා සමග මනාප පොරයේ ඉන්නා රණවීර. (මිරිස් කුඩු ගැහුවේ.) රණවීර කිතුණුවෙක් නෙමෙයි. ලන්සා කියන්නේ මොනා උනත් අපේ කෙනෙක්.

      Delete
    2. ලෝකයේ අධීප තියා වන්නේ සාතන්.
      එමනිසා කිතුනුවා ලෝකාකාර නොවිය යුතුයි.

      Delete
  8. ඉකොනෝ,

    මේක පහුගිය සතියේ ලංකාවේ ට්‍රෙන්ඩ් උන, මේ සතියේ ලාංකිකයන් එතරම් උනන්දුව නොදක්වන දෙයක්. ඒත් මා මෙයට අවධානයෙන් සිටින්නේ.

    ඔබ ලියු 'ජෝජ් ෆ්ලොයිඩ් හා ගොනා කෝවිලේ රාජා' ලිපියේ මෙන්ම ඊට පෙර ලිපි වලද ඔබ කියා තිබෙනවා ඇමරිකානු පොලිස් දෙපාර්තමේන්තුව කියා මාධ්‍ය ගත දෙයක් නැතිබව. එහෙත් බිබිසි සිංහල අඩවියේ පුවතක මෙවැන්නක් දැක්වෙනවා.

    'මහජන බලපෑම් ඉදිරියේ පොලිසියේ වෙනසකට ජනාධිපති ට්‍රම්ප් එකඟ වෙයි'

    'ධවල මන්දිර කතාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, විරෝධතා ව්‍යාපාර සමඟ උද්ගතව පැවති "අරාජික තත්ත්වය" සහ කොල්ලකෑම් හෙලාදකින අතරවාරයේ පොලිස් බලකාය යුක්ති සහගත කිරීමක් ද සිදු කළේය.

    "අපි පොදු එකඟතාවකට පැමිණීම අවශ්‍යයි," ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.

    "ඒ වුනත් අපේ පොලිස් දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට සහ කැබලිකර දමනු ලැබීමට, ඊට සපයනු ලබන අරමුදල් නතර කිරීමට ගන්නා සටන්කාමී සහ අනතුරුදායක ප්‍රයත්නයට මම සහමුලින්ම විරුද්ධයි'' ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේය.

    "පොලිසිය නැතිවුනොත්,එතැන ව්‍යාකූල තත්වයක්!" ඔහු කියා සිටියේය.'

    එතකොට පොලිස් දෙපාර්තමේන්තුව කියා ඇමරිකාවේ සියලුම පොලිසි පාලනය වන ආයතනයක් තිබෙනවද? මා ඔබගෙන් මීට කලිනුත් ඔබගෙන් එය ඇසුවිට ඔබ කිවේ 'ලංකාවේ විදිහට ඇමරිකාව ගැන හිතන එක බොහෝ විට නිවැරදි නැත්තේ මේ කරුණු නිසා. ලංකාවේ ගොඩක් අය ඇමරිකාව ලෙස හිතේ මවා ගන්නේ ලංකාවේ තිබෙන ආකාරයේ මධ්‍යගත සමාජවාදී ආකෘතියක්. ඇමරිකාව එවැනි රටක් නෙමෙයි. දැන් ඔය කුමාර් ගුණරත්නම්ලා ඇමරිකාවේ රාජ්‍ය ත්‍රස්තවාදයක් ගැන කතා කරනවා. ඇමරිකාවේ පොලීසියක් කියන්නේ සාපේක්ෂව ඉතා කුඩා ප්‍රාදේශීය ආයතනයක්. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ මිනියාපොලිස් නගරාධිපති ය‍ටතේ. පොලිස් නිලධාරියෙක් වැරැද්දක් කළොත් ඔහුට නඩු පවරා වන්දි අය කර ගන්න පුළුවන්. පොලිස් දෙපාර්තමේන්තුව වැරැද්දක් කළොත් පොලිස් දෙපාර්තමේන්තුවට නඩු පවරන්න පුළුවන්. පොලීසිය කරන වරදක් ලංකාවේ වගේ රාජ්‍ය ත්‍රස්තවාදයක් වෙන්නේ නැහැ. ' කියා.

    ඉතිං ඉකොනෝ ඔබ කියනවා වගේ රටේ තිබෙනා නගරයක කුඩා අයතයනක යම්දෙයක් උනා කියලා රටේ ජනාධිපති එහෙනම් අර වගේ නිවේදන නිකුත් කරන්නේ ඇයි? මට වැටහෙන විදියට ඒක අපේ නගරේ තිබෙන සුපර්මාර්කට් එකේ ආරක්ෂක නිලධාරීන් අතින් මොකක් හරි දෙයක් සිදු උනාම රටේ ජනාධිපති ඒකට මැදිහත් වෙනවා වගේ දෙයක්නි. ඉකොනෝමැට්ටාද ට්‍රම්ප්ද ඇත්ත කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මහජන බලපෑම් ඉදිරියේ පොලිසියේ වෙනසකට ජනාධිපති ට්‍රම්ප් එකඟ වෙයි

      https://www.bbc.com/sinhala/world-53084195

      Delete
    2. //ඉකොනෝමැට්ටාද ට්‍රම්ප්ද ඇත්ත කියන්නේ?//

      මෙහි ඉකොනොමැට්ටා විසින් කියා තිබෙන දේවල් නිවැරදියි. ඇමරිකාවේ සියලුම පොලීසි මධ්‍යගත ලෙස පාලනය කරන තනි ආයතනයක් නැති බව නැවතත් අවධාරණය කර කියන්න පුළුවන්. අළුතින් පොලීසියක් හැදීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ වැනි දේවල් තිබෙනවා. ඒවාත් මාර්ගෝපදේශ මිස නීති නෙමෙයි.

      https://cops.usdoj.gov/RIC/Publications/cops-p109-pub.pdf

      එසේ වුවත් පොලීසිය රටේ නීතියට යටත්. මෙහි රටේ නීතිය කියන එකත් තැනින් තැනට වෙනස් වෙනවා. මුළු ඇමරිකාවම යටත් වෙන්නේ ෆෙඩරල් නීති වලට පමණයි. පොලීසි වලට බලපාන බොහෝ නීති ප්‍රාන්ත මට්ටමේ. ඇතැම් නීති ඊටත් පහළ මට්ටමේ.

      රටක ජනාධිපති විසින් කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. ජනාධිපති කියන්නෙත් තනි පුද්ගලයෙක්. තනි පුද්ගලයෙක්ට අවශ්‍ය විදිහට වැඩ කරන්න ගියොත් රටකට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. ඇමරිකාවේ එහෙම වෙන්නේ නැහැ.

      "කෝවිඩ් වලින් දිනපතා ඇමරිකානුවන් විසිදාහක් පමණ මැරෙනවා. අපි කියන්නේ සියළුම ඇමරිකානුවන්ට ශරීරයට විෂබීජනාශක එන්නත් කරන වැඩ පිළිවෙලක් වහාම සකස් කරන්න කියලා. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ සැලසුම හෙට උදේ වෙනකොට මට දෙන්න." වගේ කතාවක් ට්‍රම්ප්ට කියන්න බැරිකමක් නැහැ. එහෙත්, ඒ වගේ කතාවක් ඊට වඩා දුරදිග යන්නේ නැහැ. CDC එක ජනාධිපති කියන දේ කරන්නේ නැතුවා වගේම එහි වැරැද්ද ගැන වහාම ජනතාව දැනුවත් කරනවා. වෙන කරන්න දෙයක් නැති කමට කටයි xxයි වහගෙන පාඩුවේ කියන දේ කරන මහ බැංකුවේ නිලධාරීන් වගේ තමන් දෙවන පංතියේ පුරවැසියන් සේ හිතාගෙන ඉන්න ලංකාවෙන් ආපු සමහර අය ඇමරිකාවේත් ඉන්න පුළුවන් වුනත්, ඇමරිකානුවෝ සාමාන්‍යයෙන් තමන් ට්‍රම්ප් යටතේ ඉන්න දෙවන පංතියේ පුරවැසියෝ කියා හිතන්නේ නැහැ.

      හැබැයි මේ කාරණයේදී ට්‍රම්ප් බොරු කියලා නැහැ. ඔබ නිසි පරිදි කරුණු අවබෝධ කරගෙන නැති වීමයි මෙහිදී වෙලා තියෙන්නේ. එය ඔබේ වැරැද්දක් නෙමෙයි. මෙහි BBC වාර්තාකරුගේ ඔලුවේ තියෙන්නෙත් බ්‍රිතාන්‍ය පොලීසිය වගේ එකක් වෙන්න පුළුවන්.

      Delete
    3. //ඉතිං ඉකොනෝ ඔබ කියනවා වගේ රටේ තිබෙනා නගරයක කුඩා අයතයනක යම්දෙයක් උනා කියලා රටේ ජනාධිපති එහෙනම් අර වගේ නිවේදන නිකුත් කරන්නේ ඇයි? මට වැටහෙන විදියට ඒක අපේ නගරේ තිබෙන සුපර්මාර්කට් එකේ ආරක්ෂක නිලධාරීන් අතින් මොකක් හරි දෙයක් සිදු උනාම රටේ ජනාධිපති ඒකට මැදිහත් වෙනවා වගේ දෙයක්නි.//

      ඔබේ උදාහරණයටම එමු. ඔබේ නගරයේ සුපර් මාර්කට් එකක සේවය කරන ආරක්ෂක නිලධාරියෙක් මුස්ලිම් කාන්තාවකගේ බුර්කාව ගලවනවා. නමුත්, අදාළ සුපර් මාර්කට් එක එසේ කරන්න උපදෙස් දී නැහැ. මෙය රටේ ජනාධිපති මැදිහත් විය යුතු ප්‍රශ්නයක් නෙමෙයි.

      නමුත්, මේ ප්‍රශ්නය මුල් කරගෙන රටපුරාම මුස්ලිම් අයගේ විරෝධතාවක් ඇති වෙනවා. එයට මුස්ලිම් නොවන පිරිසකගේද සහයෝගය ලැබෙනවා. ඔවුන් රටේ මුස්ලිම් අයට සුපර් මාර්කට් වල ආරක්ෂක නිලධාරීන්ගෙන් සිදුවෙන අකටයුතුකම් ගැන පොදුවේ කතා කරමින් විරෝධය දක්වනවා. ඔය වගේ වෙලාවක රටේ ජනාධිපතිට පැත්තකට වී කට වහගෙන ඉන්න බැහැ. දේශපාලනඥයෙක් විදිහට තමන්ගේ මතය රටට කියන්න වෙනවා. කළ හැකි දෙයක් ඇත්නම් කරන්න වෙනවා.

      ෆ්ලොයිඩ්ගේ මරණයට හේතු වුනු ක්‍රියාවලිය අහම්බයක් නෙමෙයි. පොලිස් පුහුණුවේ කොටසක්. ගෙල සිර කිරීමේ අරමුණ වන්නේ මොළයට යන ඔක්සිජන් සැපයුම සීමා කර අත් අඩංගුවේ සිටින පුද්ගලයා සිහි විසංඥ කිරීමයි. මිය නොගොස් සිහි විසංඥ වන තරමට පමණක් පීඩනය යොදන්න ඔවුන්ව පුහුණු කර තිබෙනවා. නමුත්, මේ වැඩේ කරන්න යාමේදී බොහෝ දෙනෙක් මිය ගොස් ඇති බව පෙනෙන්නට තිබෙනවා.

      ටික දවසකට කලින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරුවෙක් ඇතුළු කිහිප දෙනෙක් විසින් එසේ පොලීසිය අතින් ගෙල සිර වී මිය ගිය 32 දෙනෙකු (ගණන හරියටම මතක නැහැ. ඔය වගේ ගානක්) පිළිබඳ තොරතුරු හොයා ගෙන ඇමරිකාවේ පළමු පෙළේ මාධ්‍යයක ලිපියක් පළ කර තිබුණා. වැඩි දෙනෙක් කළු ජාතිකයින් වුවත් සුදු, හිස්පැනික් ආදී වෙනත් අයත් ඒ අතර ඉන්නවා. මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව අහෝසි කළත් වෙන තැන් වල මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ පොලිස් දෙපාර්තමේන්තු වලට තනි තනිව ක්‍රමවේදයක් ලෙස ගෙල සිර කිරීම තහනම් කරන්න පුළුවන්. එක් එක් ප්‍රාන්තයට එවැනි නීති දමන්නත් පුළුවන්. මුළු රටටටම බලපාන පරිදි ෆෙඩරල් නීති දමන්නත් පුළුවන්.

      මුළු රටටටම බලපාන පරිදි ෆෙඩරල් නීතියක් සම්මත කරන්නනම් කොංග්‍රසයේ මන්ත්‍රණ සභා දෙකෙන්ම වෙන වෙනම එය සම්මත වෙන්න ඕනෑ. ඉන් පසුව ජනාධිපති විසින් අත්සන් කළ යුතුයි. ජනාධිපති විසින් අත්සන් නොකළොත් කොංග්‍රසයේ 2/3ක් අවශ්‍ය වන නිසා නීතියක් සම්මත කිරීම අපහසුයි. මේ අවස්ථාවේ කොංග්‍රසයේ විවිධ යෝජනා සාකච්ඡා වෙමින් තිබෙනවා. මේ යෝජනා ගැන මුලින් ට්‍රම්ප් එතරම් කැමැත්තෙන් සිටියේ නැතත් මෙහි කියන්නේ තමන් සහයෝගය දෙන්න සූදානම් බවයි. ජනාධිපතිට හිතුමතේට වැඩ කරන්න බැරි වුනත් කිසියම් නීතියක් පැනවීමේදී ජනාධිපතිගේ සහයෝගය වටිනවා. ඊට අමතරව ජනාධිපතිගේ පාලනය යටතේ තිබෙන අරමුදල් වලින් කොටසක් කිසියම් කටයුත්තක් වෙනුවෙන් වෙන් කිරීමේ හැකියාවත් ඔහුට තිබෙනවා. ලියන්න ගියොත් තව ගොඩක් දේවල් තිබෙනවා. කරුණාකර මේ කරුණු ඔලුවේ තියාගෙන නැවත BBC වාර්තාව කියවන්න. ඉන් පසුවත් අවුල් වගේනම් තව දුරටත් පැහැදිලි කරන්නම්.

      Delete
  9. ඉකොනො මැට්ට දන්නවාද වජිර ලියනගේ කියලා මගේ මිත්‍රයෙක්ගේ මිත්‍රයෙක් හිටියා මහින්ද රණවීර කියලා. අවසාන කාලයේ ඔහු තලවාකලේ නිවසක හිටියේ. ඔහු සන් පත්‍රයේ වැඩකරපු කෙනෙක්. ලංකාවෙන් වියට්නාම් යුද්ධය වාර්තාකරන්න ගිය කෙනා කිව්වා. පොත් කිහිපයක් ලියා තියෙනවා. 2005 විතර කාලේ මිය ගියා.

    දිනක් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කෝඩිනේටර් කෙනෙක් ඔහුට දුරකතන ඇමතුමක් දීලා දිනයක් වෙලාවක් කියලා මාලිගාවිලට එන්න කියලා කිව්වා. ඔහු ඉතා දුෂ්කර ගමනකින් පසු අදාල දිනයේ මාලිගාවිලට ගියා. පලාතේ දිසාපතිවරයා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් හැමෝම එතනට ඇවිත් හිටියා. කලේ මැදින් යාන්තන් යා හැකි ලෙස පාරක් සුද්ද කරලා තිබුණා. පොරොන්දු වූ වෙලාව පසුවී වුවත් අදුර වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී හෙලිකොප්ටරයෙන් ප්‍රේමදාස මහතා එතනට ආවා. කට්ටියම කැලේ මැදින් ගියේ මාලිගාවිල පිලිමයේ නටබුන් තිබුණු තැනට. පිළිමයේ කොටස් පාදාගෙන බැලු ජනාධිපතිවරයා මහින්ද රණවීර ඉන්නවාද ඇහුවා. ඔහු ඉදිරියට ආවාම ෆයිල් එකක තිබුණු පැරණි පුවත්පත් වාර්තාවක් අතට අරන් එහි තිබුණු මාලිගාවිල පිළිමයේ නටබුන් පෙන්වා, ඔයා එදා දකිනකොට තිබුණු සියලූ කොටස් මෙතන අඩුවක් නැතුව තියෙනවාද බලන්න කීවා. දසක ගානකට කලින් ලියපු ඒ ලිපිය දැකපු රණවීර මහත්තයා පුදුම වුනා. එයා කිව්වා ඔව් ඔක්කෝම තියෙනවා කියලා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන්ට දිනයක් කියලා කිව්ව, අවශ්‍ය පහසුකම් කියන්න, මට අහවල් දිනේ වෙන කොට පිළිමේ පිළිසකර වෙලා තියෙන්න ඕනේ කියලා.

    නමුත් පිළිසකර කිරීමට කාලය ප්‍රමාණවත් නැති නිසත් වැඩේ බැරෑරුම් නිසාත් රාජ්‍ය නිලධාරීන්ට මේ ස`දහා ඉන්ජිනේරුවෙක් කැමතිකරගන්න බැරි වුනා. පස්සේ කුලියාපිටියේ මේසන් බාස් කෙනෙක් වැඩේ බාර අරන් කළා කියනවා.
    කොහොම වුනත් පිළිමය පිළිසකර කරලා ඉවර වෙලා ප්‍රේමදාස ජනාධිපතිවරයා එතනට පැමිනිලා පිළිමය දිහා බලලා, බිම දිගා වෙලා වැන්දලා, මගේ ඔලූවේ තිබුණු මහා බරක් නිදහස් වුනා කිව්ව. සමහර විට එයා වුනු බාරයක් ඔප්පු දුන්නා වෙන්න පුලූවන්.

    මේ තොරතුරු මහින්ද රණවීර මහතා බැලීමට තලවාකැලේ ගියපු අපට කියපු තොරතුරු ටික. අර මේසන් බාස්ගේ කතාව මම වෙනත් තැනකින් අහපු එකක්.

    ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

    ReplyDelete
    Replies
    1. මේ රට දුයුණු කිරීමට ප්‍රේමදස වැනි ප්‍රැක්ටිකල් නායකයෙක් අවශ්‍යයි ඔහු අවදානම අරන් සුළු වියපාරිකයින්ට බැංකු නය දීම නිසා ඇති වුනු ගාර්මන්ට් සංකල්පය නොවන්නට අපි තවත් ආගාදෙක ඉන්න තිබ්බ ඔහු අගමැති වී කල වැඩ කොටස ඉතිහාසයේ නව විය්ස්වාස්තව යටතේ බිහිවූ කිසිම අගමැතිවරයෙක් කලේ නැහැ හෝ කරන්න ඉඩ දුන්නේ නැහැ ඔහු ගේ වැරදි ඇතත් කල සේවය එය යටපත් කරනු ඇත කෙසේ වුවත් මාගේ ඇගයීම අනුව සජිත්ට ඇත්තේ පියාගෙන් ජාන 10% කි

      Delete
  10. super post ඔබට හිතෙන්නේ නැද්ද වසර දෙකක කාලයකට විශේෂ අපනයන සහන පැකේජයක් සාදා සියලුම අපනයන කරුවන් හට උපරිම පහසුකම් ලබාදී විදේශ මුදල් ගලා ඒමට මගක් සාදා දීම හොද දෙයක් කියල රට තුල මුදල් හිගයට විදෙස් නය ගැනීම මෙන්ම මෙවන් ක්‍රියාවක් තුලින් කෙටි සහ දීර්ග කාලීනව හොදයි කියල විශේෂයෙන් වසංගතය අන්රටවලට සාපේක්ෂව පාලනය කරලා ඇති අවස්ථාවක කලාපයේ ඇනවුම් අපිට ලබාගැනීමට ඇති අවස්ථා වැඩි කරගැනීමටත් ඇමෙරිකාව චීනයට දැමු තහංචි නිසා අපට තවත් වාසියක් ඇති නිසාත් ඒවගේම ඇමෙරිකාව අපහට භාණ්ඩ 200 ට වැඩි ගානකට බදු නිදහසක් දී ඇති නිසාත්. දුකයි කියන්න ප්‍රේමදාස ගෙන් පසු කිසිම රජයක් මෙම කේෂ්ත්‍රය දෙස හැරිලාවත් බැලුවේ නැහැ සුලු උද: හෝමාගම සෝන් එකේ පාරවල් වල වලවල් ටික වහගන්න බැරිවුනා අපේ බැංකු ඕනවට වඩා risk factor eka බලනවා ප්‍රොජෙක්ට් නොකෙරෙන තැනට අදයිරමත් කරනවා ලංකාවේ බැලුවොත් හැම බන්කුවක්ම බිලිය අච්චරක් මෙච්චරක් ලාබ ලැබූ බව උදම් අනනවා ඇමෙරිකාවේ බැංකුවක් කරනවට වඩා මෙහෙ බැංකුවක් විශාල ලාබ ලබන බව මාගේ හැගීමයි

    ReplyDelete
  11. ඉකොනො මොකද හිතන්නේ ඉස්සර Made in Sr lanka විදියට කවුරුත් දන්න ඩෙල්ටා ටොෆි, කැන්ඩොස් චොක්ලට් නිෂ්පාදන සමාගම්වල අයිතිකරු වෙන උපාලි විජේවර්ධන මහත්මයා ගැන?

    මම අහල තියෙන විදියට එයාගේ ආරම්භක බිස්නස් එක වෙන්නෙ සීනි බෝල හදන එක, අතඇරල දාපු සීනි බෝල හදන මැශින් එකක් ගෙනත් සීනි බෝල හදන්න පටන් ගන්නවා. මුලින්ම අතින් හදන්නේ. ඊළඟට ඩෙල්ටා ටොෆී.

    උපාලි විජේවර්ධන ශ්‍රී ලංකාවේදී ඔරලෝසු, රේඩියෝ සහ TV එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ විදිහට බෙදා හැරපු භාණ්ඩ වලට තමයි “UNIC” කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය වුණේ.

    ඔහු තමයි දකුණු හා අග්නිදිග ආසියාවේ මුලින්ම වාහන සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ එකලස් කිරීමේ කර්මාන්තශාලා ඉදිකලේ. ඒ කාලෙ ආසියාවෙ අනිත් රටවල් ඒව කරන්න හිතලවත් නැහැලු. මේක ඇත්තද?

    "උපාලි ෆියට්" "උපාලි මැස්ඩා" කියන්නෙ ලංකාවේ හදපු කාර්. පොඩි ආඩම්බරයක් ආව නේද හිතට?

    පළමු එකලස් කරපු කාර් දෙක දීල තියෙන්නෙත් එකක් එවකට එක්සත් ජාතික පක්ෂයේ නායක අතිගරු ඩඩ්ලි සේනානායක මැතිතුමාට හා අනෙක කැළණිය පන්සලට.

    ලංකාවේ උපාලි ෆියට් කාර් 500ක් එකලස් කරල තියෙනවා. ඒවායින් 499කම මුල් පාට සුදු අනිත් එකම ඒකේ ගොල්ඩ් කලර් එකට හේතුව තමයි උපාලි විජේවර්ධන මහත්තයා එය තමන්ගෙම පාවිච්චියට තමයි ඒක හදාගත්තෙ.

    උපාලි මැස්ඩා රථය ඒ කලේ සුඛෝපභෝගි රථයක්. එකක මිළ රු.90,000/=යි. ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වූ ඒ රථ අපනයනය කරන්නත් එයාල සැළසුම් කරලා තිබිල තියනව.

    ඒ වගේම ඔහු “උපාලි ඒවියේෂන්” ආයතනය ආරම්භ කළා. මේ තමයි ශ්‍රී ලංකාවේ මුල්ම දේශීය ගුවන් සේවා සහ හෙලිකොප්ටර් සේවා සමාගම.

    කැන්ඩොස් චොක්ලට් සාර්තක වනවාත් සමගම උපාලි සමූහය “පාරිභෝගික භාණ්ඩ” නිෂ්පාදනයට පටන්ගන්නව. “සිකුරු”, “ක්‍රිස්ටල්” සහ “ටිංගල්” කියන සබන් වර්ග තුන බිහි වෙන්නේ ඒ තුලින්.

    ඒ වගේම 1981 අවුරුද්දේ බිහි වුණු උපාලි පුවත්පත් සමාගම "දිවයින" සහ "අයිලන්ඩ්" පුවත්පත් මුද්‍රණය කරමින් පුවත්පත් කලාවට ප්‍රවේශ වෙනවා.

    ඒත් ඔය අතරේ 1970 දී ශ්‍රී.ලං.නි.පක්ෂය සමසමාජ කොමියුනිස්ට් පක්ෂ සමග බලයට ආ සැණින්ම ධනපතියන්ට අපේ කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමට ඉඩනොදිය යුතුයි යන රට ගොං තේමාව යටතේ ඒ සියලුම කර්මාන්ත ශාලා වහලා සේවකයොත් අනාථ කලා.

    ලංකාවෙ ලබ්බේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඔහු අන්තර්ජාතික ව්‍යාපාර වලට පිවිසිලා වැඩි කාලයක් යන්න කලින් ඔහුට මැලේසියාවේ කොකෝවා වගාවක්, නිව් යෝක් නුවර මූල්‍ය සමාගමක් සහ සිංගප්පූරුව පුරා ව්‍යාපාර ගණනාවක හිමිකරු වෙන්න පුළුවන් වෙනවා.

    උපාලි සමූහ ව්‍යාපාරය වඩාත්ම සාර්ථකව පැතිරිලා තිබුණු කාලයේ ලෝකය පුරා සේවකයන් 33,000 කටත් වඩා ඔහුට අයත් සමාගම් වල සේවය කරමින් සිටියා. මේ සේවක සංඛ්‍යාව අද තියෙන විශාලම ආයතන එක්ක බැලුවත් කරට කර තියෙන අගයක්.

    1983 අවුරුද්දේ පෙබරවාරි 13 වැනිදා, ඔහු ගමන් කරමින් හිටපු ඔහුගේ සුප්‍රසිද්ධ Learjet ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත තැනකදී අතුරුදහන් වෙලාලු. අදටත් එය නොවිසඳුණු අභිරහසක්!

    ඔහු විදේශ රටක අදටත් ජීවත් වෙන බවට පවා කටකතා ඇති වෙලා තියෙනවා. තවත් සමහරු කියන විදිහට ඔහු සිරගත කරල කියාලත් කතාවක් තියනව. කොහොම උනත් ඒ කාලේ ඉඳලම කුමන්ත්‍රණ වලට ප්‍රසිද්ධ රාජපක්ෂ හොර මැර පවුල්වාදී කල්ලියේ මිනීමරුවන් ඒ සඳහා වගකිව යුත්තන් බව හිතන්න පුළුවන්.

    කොහොම උනත්, උපාලි විජේවර්ධන අද ජීවත්ව සිටියානම්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්ට වඩා ඉහලින් සිටින ධනවතෙකු වන බව නොවනුමානයි. මේ ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙයි කියල හිතනවා.

    - රංජන් ප්‍රසාද් ජයසේකර -

    ReplyDelete
  12. මහ බැංකුවෙ නිලධාරීන් වගේම ඩඩ්ලි සිරිසේනත් බය උනාද?

    ReplyDelete
  13. හරි මේ වෙලාවෙ ඇත්තටම අපිට රටක් වශයෙන් කරන්න පුලුවන් මොකද්ද ?? මේ සදහා ඉකොනොගෙ යෝජනාව මොකද්ද....මේ කරපු දෙයින් ප්‍රතිඵලයක් ඇත්තෙම නැති වෙයිද ?

    ReplyDelete
  14. මේ යෝජනාවල, රජයෙන් ගෙවිය යුතුබිල්පත් ඇපකරයක් ලෙස තබා ඉදිකිරීම් ක්ශේෂත්‍රය ඇතුලු සැපයුම් කරුවන්ට ණය ලබා දීම නම් පැසසිය යුතු සංකල්පයකි. මා නියොජනය කරන මාර් ග ඉදිකිරීම් අංශයේ බිලියන ගණනක රජයෙන් අයවිය යුතු බිල්පත් මාස ගණණක් තිස්සෙ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා නෑ..මේ කොන්ත්‍රාත්කරුවන්ගෙන් යැපෙන්නේ ඒවායේ සේවය කරන අයම පමනක් නොවේ...ඒ ඉදිකිරීම් වලට සේවය සපයන උප කොන්ත්‍රාත්කරුවන්, වාහන හයර් කරන්නන්, වැනි නොයෙකුත් උප සේවා සපයන්නටද මේ තත්වය අහිතකරව බලපා තියෙනවා...මේ තත්වය කොරොනාව පැමිණීමට පෙරද , තත්වය දළුළා තිබුනද, කොරොනාව සමග තත්වය දරුණු වී තිබුනා...එබැවින් මේ ක්ශේත්‍රය කඩා වැටීම වැලැක්වීමට මේ ආකාරයේ නවමු යෝජනාවක් ගෙන ඒම ඉතා හොදයි...තාවකාලිකව තුවාලයේ වේදනාවට වේදනා නාශකයක් දී, පසුව තුවාලය හොද කිරීමට උත්සහක් දිය හැකියි.....ලේඩා වේදනාවෙන් කෑ ගහපු පලියට කකුල කපලා දාන්නේ නෑ නේ හොද දොස්තර කෙනෙක්...

    අතිරික්ත ද්‍රවශීලතාවය වැඩි කිරීමට මහබැංකුව ගෙන ඇති පියවර ගැන නම් මටත් සැකයක් තියෙනවා...මන්ද දැනටම රුපියල් බිලියන 100 ක් අද්‍රවශීලතාවයක් දේශීය බැංකුවල පවතින බැවින්, තවතවත් සල්ලි පොම්ප කිරීම මගින් ප්‍රස්න ඇතිවිය හැකියි...අනෙක දේශීය බංකු මේ මුදල් ණය වශයෙන් ලබා දෙන විදිහ පරණ පුරුදු විදිහම නම් ගොඩක් දෙනෙකුට මේ ණය ලබා ගන්න බෑ...ක්‍රිබ් එක බලලා ණය දෙන ක්‍රමය වෙනුවට, පොයින්ට් ස්කීම් එකක් අනුව ණය ලබා දීමට බැංකු කරුවන් තම ණය දෙන යාන්ත්‍රණය යාවත්කාලින කර ගතයුතු බව හිටපු මහබැංකු නියෝජ්‍ය අධ්‍යක්ශකවරයෙකි උන විජේවර්ධන මහත්තයත් ප්‍රකාශ කරලා තියෙනවා..

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...