වෙබ් ලිපිනය:

Wednesday, September 2, 2015

එහෙනං මං මේක ඔන් කරන්නෙයි?

පසුගිය සතියේ පුවත් මැවූ සිදුවීමක් වූයේ මොහොමඩ් අබාඩ්ගේ අළුත් බයෝනික් පුරුෂ ලිංගයයි. අබාඩ්ට මොනවා හරි කරගන්නට හිතුණුවිට දැන් කරන්නට ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂයේ ඇති ස්විච්චයක් ඔන් කිරීමයි. ඒ සමඟම ඔහුගේ අඟල් අටක් දිග බයෝනික් පුරුෂ ලිංගයේ ඇති නාල දෙකක් තුළින් රුධිරය ගලා විත් මේ බයෝනික් අවයවය ප්‍රාණවත් වනු ඇත. වැඩේ කර අවසන් වූ පසු ස්විච්චය ඕෆ් කළ යුතුය. එවිට කොල්ලා නැවත නිදා ගනු ඇත.

තෙසාලිස් වියැති අබාඩ් ස්කොට්ලන්තයේ, එඩින්බරෝහි පදිංචි කරුවෙකි. කුඩා කාලයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පුරුෂ ලිංගය අහිමි කරගත් අබාඩ් කසාදයක් කර ගන්නා විට මේ කතාව එළියට දැම්මේ නැත. මංගල රාත්‍රියේදී වැඩේ මාට්ටු විය.

පසුගිය වසර තුන තිස්සේ ශල්‍ය කර්ම 119කට මුහුණ දෙමින් අන්තිමේදී වැඩේ ගොඩදාගන්නා තුරු අබාඩ්ගේ බිරිඳ බලා සිටිනු ඇතැයි ඔහු සිතා සිටියත් ඇය පසුගිය වසරේ අබාඩ්ගෙන් දික්කසාද විය. දැන් මේ තනිකඩ ආරක්ෂක නිලධාරියා තමන්ගේ බ්‍රෑන්ඩ් නිවු අවයවය ටෙස්ට් රන් එකකට යැවීමට අවකාශයක් සොයමින් සිටී. ස්කොට්ලන්තයේ සීතල රාත්‍රියක මේ බයෝනික් අවයවයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්නට කැමති කෙනෙක් සිටීනම් දැන්මම අයදුම්පතක් යැවිය හැකිය.

බයෝනික් අත් සහ බයෝනික් ඇස් ගැන මා පෙරද කතා කර තිබේ. හෝමෝ සේපියන්ස්ලාට 'අමරණීයත්වය' කරා ලඟා වීම ගැන සිතිය හැකි එක් පාරක් වැටී ඇත්තේ මෙවැනි කෘතීම අවයව නිෂ්පාදනය හරහාය. මේ වන විටත් අපේ බොහෝ අවයව වෙනුවට මෙවැනි කඩෙන් ගත හැකි ස්පෙයා පාර්ට්ස් තිබේ. මේ ඇතැම් අවයව කාබනික නොවන ද්‍රව්‍ය උපකාරයෙන් නිෂ්පාදනය කෙරෙන අතර කෘතීම රුධිරය වැනි වෙනත් ස්පෙයා පාර්ට්ස් හදා ගන්නේ පියවි සෛල තාක්ෂණය (නොදැන සිටි මේ වචනය අල්ලාගත්තේ අපේ මධ්‍යස්ථ මතධාරියාගෙනි) උපයෝගී කර ගනිමිනි.

මා පෙර ලිපියක කතා කළ 'හරක් නැතුව හදන හරක් මස්' හදා ගන්නේද මේ පියවි සෛල තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. මේ සම්බන්ධව මධ්‍යස්ථ මතධාරියාත් ලියා තිබේ.

කෙසේ වුවද මේ පියවි සෛල තාක්ෂණ පර්යේෂණ මේ වන විට ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙන්නේ මස් හැදීම අරමුණු කරගෙන නොව මිනිස් අවයව සැදීම අරමුණු කරගෙනය. මේ තාක්ෂනය තවදුරටත් දියුණු වූ විට පියවි සෛල උපයෝගී කරගනිමින් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකින් අවශ්‍ය කරන මිනිස් අවයව මුද්‍රණය කර ගැනීමට හැකි වනු ඇත. ටූකෑන් කුරුල්ලෙකුගේ කැඩුණු හොටක් වෙනුවට බද්ධ කෙරුණු මෙවැනි කෘතීම හොටක් ගැන පසුගිය සතියේ අරුණි ශපිරෝද ලියා තිබුණි.

කෘතීම අවයව නිෂ්පාදන තාක්ෂණයේ මේ සාර්ථකත්වය මඟින් පෙන්නුම් කරන්නේ අපි පරිණාමයේ වෙනස්ම අදියරක් කරා ලඟා වෙමින් සිටින බවයි. මේ අළුත් අදියරේදී කාබනික ජීවියාගේ පරිණාමය සිදුවුණු පසුගිය වසර බිලියන තුනහමාර තුළ පැවති මූලික නීති පවා වෙනස් විය හැකිය. ස්වභාවික පරිණාමය වෙනුවට පැමිණීමට නියමිතව ඇත්තේ සැලසුම් කළ පරිණාමයක් සිදුවන යුගයකි.

සිතුවිලි වලින් ක්‍රියා කරන කෘතීම අත් ඇති ජෙසී සුලිවන් සහ එවාන් රෙනෝල්ඩ්ස්, කෘතීම ඇසකින් ලෝකය දකින ෂෙරී රොබට්සන් මෙන්ම ඔන්-ඕෆ් කළ හැකි පුරුෂ ලිංගයක් ඇති මොහොමඩ් අබාඩ්ද අපි වැනිම සාමාන්‍ය මිනිසුන් ලෙස සලකන්නට අපට අපහසුතාවයක් නොමැත. අද වන විට තමන්ට උපතින් නොලැබුණු මෙවැනි කිසියම් අවයවයක් භාවිතා කරන හෝමෝ සේපියන්ස්ලා ගණන සුළු ප්‍රමාණයක් නොවේ.

දැනට වසර දෙකකට පමණ පෙර පැවති විද්‍යා ප්‍රර්ශනයක් සඳහා මෙසේ මිනිසුන් දැනටත් භාවිතා කරන කෘතීම අවයව එකතු කර 'ෆ්‍රෑන්කන්ස්ටයින්' මාදිලියේ  බයෝනික් මිනිසෙකු නිර්මාණය කෙරිණි. මේ 'නිර්මාණයේ' විශේෂත්වය වනුයේ 'ෆ්‍රෑන්ක්' ලෙස නම් කෙරුණු මේ බයෝනික් මිනිසාගේ හෘදය වස්තුව, රුධිරය ඇතුළු සියළුම කොටස් පාහේ යම් මිනිසෙකු විසින් භාවිතා කෙරෙන ආකාරයේ ඒවා වීමයි. අඩුවකට තිබුණේ සම, ආහාර ජීර්ණ පද්ධතිය සහ මොළය වැනි අවයව කිහිපයක් පමණි.


'ෆ්‍රෑන්ක්' යනු මිනිසෙකුයැයි කිසිවකු නොසලකනු ඇත. එසේනම්, මිනිසාගේ මිනිස්කම ඇත්තේ කොහේද? මිනිස් මොළයේද?

මිනිස්කම ඇත්තේ මිනිස් මොළයේනම් මොළය ක්‍රියාකාරී නොවන කෙනෙක් මිනිසෙකු නොවේද? එතකොට මොළය පාවිච්චියට නොගෙන බ්‍රෑන්ඩ් නිවු ලෙසම තියාගෙන ඉන්න අය?

(මොහොමඩ් අබාඩ්ගේ ඡායාරූපය ගත්තේ: http://www.mirror.co.uk/news/uk-news/man-who-lost-penis-horrific-6330448 වෙබ් පිටුවෙනි. මගේ විෂය ක්ෂේත්‍රයට කෙළින්ම අදාළ දෙයක් නොවන නිසා මා මෙහි සියුම් විස්තර නොදන්නා නමුත් මගේ අදහස පරිදි මාධ්‍ය ප්‍රචාරයට සාපේක්ෂව අබාඩ්ගේ ශල්‍ය කර්මය තාක්ෂණයේ මහා ලොකු පිම්මක් නොවේ. මට අවශ්‍ය මෙහි හිතන්නට ඇති දේවලට අවධානය යොමු කරන්නටය.)

16 comments:

  1. මිනිසාගේ මිනිස් කම මොළයේ එක් කොනක සැගවී ඇත..

    ReplyDelete
    Replies
    1. අනිත් තැන් ටික ඉවත් කළාම ප්‍රශ්නය සරලයි. අපි හිමිහිට මොළයටත් එමු.

      Delete
  2. ඇත්තෙන්ම මේ මමත් ඉතාම ආශා කරන විශයක්.නමුත් සිංහලෙන් මේව ගැන කතා කෙරෙනව අඩුයි.
    මේ විශය නුදුරු අනාගතයෙදිම සමස්ත මානව සමාජයෙම ලොකු විප්ලවයක් සිදුකරයි . ඒ විප්ලවය තුලින් මිනිසා අමරණීය වෙයි. මෙය ඉදිරියට යන්නෙ ත්‍රිමාණ මුද්‍රණය , කෘතිම බුද්ධිය වගෙ කශේත්‍ර වලට සමගාමීවයි . ඒ නිසා මෙහි ගමනත් වේගවත් වගේම ප්‍රතිඵලදායකයි.

    මෙයින් සිදුවන සමාජ වෙනස්කම අද අපට හිතා ගන්නත් බැරිතරම්. ඇතැම් රැකියා අහෝසි වීමේ අවදානමකුත් අප නොඇසූ විරූ නව රැකියා නිර්මානය වීමටත් ඉඩ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් කතා කරනවා අඩු වෙන්න එක හේතුවක් මේ ක්ෂේත්‍රවල දැනුම හොඳටම අළුත් වීම. පසුගිය වසර හතර ඇතුළතත් අපේ දැනුම විශාල ලෙස වෙනස් වෙලයි තියෙන්නේ. දියුණු රටක වුණත් මේ වෙනසට හැමෝම සංවේදී නැහැ. මේ ක්ෂේත්‍රවල අළුතින් ලියවෙන පොත් ලියලා මුද්‍රණයෙන් පිටවෙනකොටත් පොතෙන් වැඩක් නැහැ. දැනුම වෙනස් වෙලා.

      මෙතැන තියෙන මම දකින වැදගත් දෙය රැකියා අහිමි වීම වැනි දේවල් වලට වඩා ගොඩක් සංකීර්ණ දෙයක්. දැන් අපි අපිවම ප්‍රතිනිර්මාණය කරගනිමින් සිටිනවා. වෙනත් විදිහකින් කියනවානම් දෙවියන් වහන්සේගේ හෝ කර්මය විසින් කරනවායි සිතූ මූලික දේවල් වලටත් දැන් අපි අත ගහන්නයි යන්නේ. අපි මේක කරන්නේ ස්වභාව ධර්මයේ නීති අනුවම නෙමෙයි. වඩා හොඳයි කියා අපි සිතන විදිහට. මේ හොඳ කියන දෙය පුද්ගලයාට සාපේක්ෂයි. පුද්ගලයෙක් සිතන ආකාරය ඔහුගේ ආගමට, සංස්කෘතියට වගේම උපතින් ලැබුණු ජාන සංයුතිය මතත් පදනම් වෙනවා. මෙහෙම තත්ත්වයක් තුළ ලෝකය ප්‍රතිනිර්මාණය වෙන්නේ මේ 'හොඳ විදිහ' මොකක්ද කියන සාකච්ඡාව ඇතුලෙ ඉන්න අයට අවශ්‍ය විදිහටයි. සාකච්ඡාවට සම්බන්ධ නැති අය අළුත් ලෝකයක් දකින කොට ආපහු හරවන්න බැරි විදිහට හැම දෙයක්ම වෙනස් වෙලා තියෙයි.

      Delete
  3. අද සමාජය දිහා බලපුවාම ඒ වගේ මිනිස්සු බිහිවෙන එක හොඳයි කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මොළයටත් ඔන්-ඕෆ් ස්විච් එකක් දාගත්තොත් කොහොමද, පොඩ්ඩි? දුරස්ථ පාලකයක් හදල ආණ්ඩුව අතේ තියාගත්තොත්?

      Delete
  4. තරමක් නුහුරු නුපුරුදු අංශයක් ගැන කතාවක්. ඒත් මේ තාක්ෂණය නිසා උපතින්ම ආබාධිත මෙන්ම පසුකලෙක ආබාධයන්ට ලක් වුණු ලක්ෂ ගණනක ජනතාවට සෙතක් වෙනවා. තාක්ෂණයේ උපරිම තලයේදී සිදුවන දේවල් අපට හිතාගන්නවත් බැරි තත්ත්වයකට පත් වෙලා තියන්නේ. එහෙත් මේවා කෙරෙහි ස්වභාවධර්මය කෙසේ ප්‍රතික්‍රියා දක්වාවිද කියන ගැටලුවත් අප ඉදිරියේම තියනවා. මිනිස් මොළය ඒවාටත් විසදුම් සොයාවි.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය, ආර්ථිකය, දේශපාලනය වගේම ආගමත් එකිනෙකට සම්බන්ධයි. මිනිස්සු කියන ප්‍රපංචය හැදෙන්න ඔය හැම දෙයක්ම දායක වෙනවා වගේම මිනිස්සු ඔය එක දෙයක් වෙනස් කළාම අනිත් දේවලුත් වෙනස් වෙලා අන්තිමට මිනිස්සුන්වම්ත් වෙනස් වෙනවා.

      Delete
  5. /එතකොට මොළය පාවිච්චියට නොගෙන බ්‍රෑන්ඩ් නිවු ලෙසම තියාගෙන ඉන්න අය?/

    මේං ප්‍රශ්න...

    2001 ආතර් සී ක්ලාක් පරිණාමයේ මේ අදියර ගැන අදයස් ලියලා තිබුණා. එයා හැබැයි කාබනික අවයව ගැන නෙවෙයි, ලෝහමය සිරුරු ගැනයි කිව්වෙ. අන්තිම අවස්ථාව විදිහට එයා දැකල තිබුණෙ පිරිසිදු ශක්තිය මත පමණක් පදනම් වෙච්ච ජීවී විශේෂයක් බවට පත් වීම. ඒ කියන්නෙ මනස විතරයි - ශරීරයක් නැතුව...

    ReplyDelete
    Replies
    1. ක්ලාක්ගේ ඔය පොත් තුන ඇතුළු පොත් වලට මමත් කාලයක් පිස්සු වැටිලා හිටියේ. මම හිතන හැටියට අවුරුදු නමය දහය කාලේ මට වැඩිම බලපෑමක් කළ පොත් අතර ක්ලාක්ගේ පොත් ගොඩම තියෙනවා. පස්සේ එපා වුනා නෙමෙයි. සිංහලට පරිවර්තනය කරලා තිබුණු පොත් ඔක්කොම ඒ දවස් වලම කියවලා ඉවර කළා. ඔය 'සිත මිස කය නැති බඹ ලොව' ගැන අළුත් ප්‍රවාදයකුත් මම පස්සේ ලියන්නම්.

      Delete
  6. දැනටම හදාගෙන යනවා BCI හෙවත් 'බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස්'... පර්යේෂණ කෙරෙන්නේ ඔයා කියල තියෙනවා වගේ ආබාධිත අයට යම් යම් කෘතීම ශරීර කොටස් සම්බන්ධ කරලා ඒවා සිතිවිලි මගින් පාලනය කෙරෙන හැටි බලන්න. හැබැයි ඩිෆෙන්ස් කට්ටිය හරි උනන්දුයි මේවට. හේතුව ඉතින් කියන්න ඕනේ නෑනේ! කොහොමද යුද්ධයක් පටන් ගන්න කලින්ම දිනන්න පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ηiRσ, BCI වගේම CBI වලිනුත් දැනටම ලබල තියෙන සාර්ථකත්වය පුදුම සහගතයි. හිමිහිට ලියන්න ඕනෑ. BCB දියුණු වුනාම මිනිස්සු අතර තියෙන තරඟයට මොකද වෙන්නේ?

      Delete
  7. අයිසැක් ඇසිමොෆ් ගේ විද්‍යා ප්‍රබන්ධයක තිබුන නේද ඕගැනික් කොටස් එන්න එන්න වැඩිකරමින් සාදන රොබෝලා සහ රොබොටික්/බයොනික් කෑලි ක්‍රමයෙන් වැඩි වැඩියෙන් මිනිසුන්ට බද්ධකිරීම?
    තව එකක් තිබුනද කොහෙද රොබෝලට මිනිස් හැඟීම් හා බුද්ධිය වැඩිවීම හා මිනිසුන්ගේ ශරීර කොටස් රොබොටික් කිරීම. අන්තිමටම වෙනස හොයා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඇසිමොෆ්ගේ රොබෝ කතාම මහා ගොඩක් නිසාත්, ගොඩක් ඒවා කෙටි නිසාත් මට ක්ලාක්ගේ දිග කතා වගේ එකින් එක හරියටම මතක නෑ. ඒත් මේ අදහසනම් මතකයි. විද්‍යාව දියුණු වෙන්නේ මිනිස්සු හිතන විදිහ නිසාත්, මිනිස්සු හිතන විදිහට ඒ අය කියවලා තියෙන පොත් හේතුවෙන නිසාත් මේ අළුත් පර්යේෂණ වලට ඇසිමොෆ් වගේ අයගේ දායකත්වය අමතක කරන්න බෑ. රොබෝ ෆෝර්මැට් එකෙන් වෙනස්, ඇසිමොෆ්ගේ මට මතක තියෙන එක කතාවක් තමයි පැපිරස් පත්‍ර ඉතිරි කරගන්න මිනිස් ඉතිහාසය සතියකට සංක්ෂිප්ත කරලා බයිබලයේ උත්පත්ති කතාව ලිවීම.

      Delete
    2. බයිබලයේ උප්පත්ි කතා දෙකක් තියෙනවා මුල් එක පීචං කතාවක්
      , දෙවෙනි එක ප්‍රබුද්දධ කතාවක්

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...