වසරකට දෙකකට පෙර හදිසියේ මාධ්‍ය අවධානය දිනාගත් එක් පුද්ගලයෙකු විසින් මෑතකදී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස යෝජනා කර තිබුණේ ලංකාව රුපියලට සමාන්තරව තවත් මුදල් ඒකකයක් නිකුත් කිරීමෙන් ප්‍රශ්නයෙන් ගොඩ යා හැකි බවයි. මේ ගැන අපේ ඇතැම් පාඨකයින් විසින් අපෙන්ද අදහස් විමසා සිටියා.
ගඟේ ගහගෙන යන වෙලාවක පිදුරු ගස් ගැන වුවත් බොහෝ දෙනෙකු විමසිලිමත් වීම තේරුම් ගැනීමට අපහසු නැතත්, කිසිදු තාර්කික හෝ මූලධාර්මික පදනමක් නොතිබුණු, වැරදි තොරතුරු මත පදනම් වූ, ඉහත කතාවේ හදිසියේ හීනෙන් නැගිට කියවන දෙයකට වඩා ගත යුත්තක් තිබුණේ නැහැ. එහෙත්, ඒ ප්‍රකාශය ජනගත කර වැඩි කලක් යාමට පෙර ලංකාවේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්නම් බිහි වී තිබෙනවා. වඩාත් නිවැරදිව ත්‍රිත්ව විණිමය අනුපාත ක්‍රමයක් කියා කියන්නත් පුළුවන්.
මහ බැංකුවට අනුව, මේ වන විට ඩොලරයක විකිණුම් මිල රුපියල් 203කට වඩා අඩුයි. එහෙත්, ඒ මිලට වාණිජ බැංකු වල ඩොලර් තිබෙනවාද?
සම්පත් බැංකුව - රුපියල් 226.75යි
කොමර්ෂල් බැංකුව - රුපියල් 226යි
සෙලාන් බැංකුව - රුපියල් 227යි
හැටන් නැෂනල් බැංකුව - රුපියල් 226යි
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රුපියල් 229යි
ඩීඑෆ්සීසී බැංකුව - රුපියල් 227.25යි.
අමානා බැංකුව - රුපියල් 232යි.
එන්ඩීබී බැංකුව - රුපියල් 228යි
වාණිජ බැංකු වලින් පිටත, ඩොලරයේ කළු කඩ මිල රුපියල් 250-260 අතර බව පැවසෙනවා.
මහ බැංකුව විසින් කාලයක් තිස්සේම ඩොලරයක මිල එය තිබිය යුතු අගයට වඩා පහළින් තියා ගත්තා. පසුගිය රාජපක්ෂ දශකය තුළ පෙනෙන්නට තිබුණු ආශ්චර්යයේ රහසිගත වට්ටෝරුව වූයේ මෙයයි. මේ විදිහට වසර ගණනක් තිස්සේ හැදූ මාලිගාවට අත්තිවාරමක් තිබුණේ නැහැ. අත්තිවාරම් නොදමා හදන තට්ටු ගෙවල් කොයි වෙලාවක හෝ කඩා වැටෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ කළ මුක්කු ගැසීම් නිසාත්, ඒ කාලය තුළ ගොඩනැගිල්ල තව තවත් උසට නොහැදූ නිසාත් එය කඩා නොවැටී තිබුණා. ඒ හැර, ඒ කාලයේ අත්තිවාරම් ශක්තිමත් කිරීමක් සිදු වුනේ නැහැ.
රාජපක්ෂ ණය ගැන කාලයක් තිස්සේ ගොඩක් අය කතා කළා. එසේ වුවත්, මා ඒ දවස් වලම පැහැදිලි කළ පරිදි, ලංකාව ණය උගුලක පැටලුවේ රාජපක්ෂලා නෙමෙයි. ඔවුන් ආණ්ඩුව භාර ගන්නා විට ලංකාව ණය උගුලක පැටලී අවසන්. රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ණය උගුලක කොහොමටත් පැටලී සිටි ලංකාව විශාල ගෙවුම් ශේෂ උගුලකද පැටලවීමයි. දැන් ගැලවෙන්න අසීරු වී තිබෙන්නේ මේ දෙවන උගුලෙන්.
වසර තුනකට පෙර ලියූ පහත ලිපිය නැවත කියවන්න.
මහ බැංකුවට ඩොලරයක මිල එය තිබිය යුතු මිලට වඩා ඉහළින් හෝ පහළින් තියා ගන්න පුළුවන්. මෑතකාලයේදී සීඝ්‍ර ආර්ථික වර්ධනයක් පෙන්වූ චීනය වැනි රටවල සිදු වුනේ පළමුවැන්න වුවත් ලංකාවේ සිදු වුනේ දෙවැන්නයි. ඩොලරයක මිල එය තිබිය යුතු මිලට වඩා පහළින් තියා ගන්නනම්, සාමාන්‍ය ක්‍රමයට උපයන ඩොලර් වලට අමතරව ඩොලර් සැපයුමක් සිදු විය යුතුයි. වාණිජ බැංකු වලට සංචිත විකිණීම හරහා මහ බැංකුවට මෙය කළ හැකියි.
කෙටිකාලීනව මහ බැංකුවට සංචිත විකුණා ඩොලරය පහළින් තබා ගත හැකි වුවත් එහිදී සංචිත පහළ වැටෙන නිසා මේ වැඩේ කළ හැකි සීමාවක් තිබෙනවා. එයට පිළියමක් ලෙස රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ඉහළ පොලියකට ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරමින් ඒ හරහා ණයට ගන්නා ඩොලර් මහ බැංකුවට විකිණීමයි. මේ ක්‍රමයට දිගින් දිගටම ඩොලරයක මිල පහළින් තියා ගන්න පුළුවන් වුනා.
ඩොලරයේ මිල පහළින් තියා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන ලාබ වී ආනයන විශාල ලෙස ඉහළ ගියා. අපනයනකරුවන්ගේ ආදායම් පහළ ගොස් අපනයන කඩා වැටුනා. ආනයන අපනයන පරතරය විශාල ලෙස වැඩි වුනා. රාජපක්ෂ දශකය තුළ ලංකාවේ ජාතික ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් විනාශ වූ ආකාරය වසර පහකට පෙර මා පහත ලිපියේ විස්තර කළා.
ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)
ඩොලරයේ මිල පහළින් තියා ගැනීම නිසා ආනයන අපනයන පරතරය ඉහළ යද්දී, ඩොලරය පහළින් තියා ගැනීම සඳහා තව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය අරගෙන රටේ ඩොලර් සැපයුම වැඩි කරන්න සිදු වුනා. වත්මන් ආර්ථික අර්බුදයට මූල හේතුව වන, ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාම රාජපක්ෂ දශකය තුළ කොයි තරම් දරුණු විදිහට සිදු වුනාද කියා මා පහත ලිපියේ විස්තර කර තිබෙනවා. ලිපිය අවසානයේ තිබෙන වගුව බලන්න.
යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව යම් තරමකින් ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. එහෙත්, විපක්ෂයේ ඝෝෂාවන් ඇතුළු වෙනත් හේතු නිසා මේ වැඩේ වුනත් හරියකට කරගන්න ඉඩ ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින්ද වඩා ලේසි රාජපක්ෂ ක්‍රමය වෙතම හැරුණා. ණය සේ ලබාගත් ඩොලර් මහ බැංකුව හරහා තවතවත් වෙළඳපොළට මුදා හැරුණා. හිර වී සිටි ගෙවුම් ශේෂ උගුල තුළ ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් තිබුණේත් නැහැ. පහත ලිපිය ලිවුවේ යහපාලන ආණ්ඩුවේ අන්තිම කාලයේදී.
ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල
යහපාලන ආණ්ඩුව කාලයේදී හෝ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනානම් අද තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. අප මේ ගැන දිගින් දිගටම අවවාද කළා. එහෙත්, රටේ දේශපාලන බලය තිබෙන, හඬක් තිබෙන, බොහෝ දෙනෙකුට ඩොලරයක මිල ඉහළ යාම දරාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා, විකල්පය වුනේ ස්වෛරිත්ව බැඳුම්කර හරහා තවතවත් ණය ගැනීමයි.
රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?
ඩොලරයක අගය රුපියල් 230ක් පමණ විය යුතුව තිබුණේ වසර තුනකට පමණ පෙරයි. එසේ වූවානම් මේ වෙද්දී ආනයන අපනයන පරතරය සැලකිය යුතු ලෙස අඩු වෙලා. දැන් පරක්කු වැඩියි.
මේ වෙද්දී ඩොලරයක මිල මහ බැංකු පාලනයෙන් ගිලිහී පාලනයක් නැතිව ඉහළ යමින් තිබෙනවා. එහෙත්, මේ විදිහට ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස වසංගත කාලයේ එය සිදු වුනා කියා කලින් ලබා ගත හැකිව තිබුණු වාසි ලැබෙන්නේ නැහැ.
මේකෙදි ඉකොනොමැට්ටා ලංකාවේ ආර්ථිකය සහ දේශපාලනය ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා මේ වගේ දේවල් කියල තියෙනවා කියලා තමයි පේන්නේ. මොකද රුපියල අවප්‍රමාණ වීම සමග ලංකාවේ පැත්තෙන් අපනයන සේවා වැඩි ප්‍රමාණයක් විදෙස් රටවලට අඩු මුදලකට ලබාගැනීමට හැකිවීම හරහා අපේ අපනයනය වර්ධනය විමක් සිද්ධවෙන කතාව ප්‍රායෝගිකව ඉතාමත් බරපතල විදිහට මිථ්‍යාවක් බව ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් අනුව ලේසියෙන්ම පැහැදිලි කළ හැකියි. ඒ අනුව රුපියල අවප්‍රමාණයවීමෙන් ලංකාවෙ භාණ්ඩ ලාභදායීවීම නිසා විදෙස් රටවලින් ලංකාවෙ භාණ්ඩවලට වැඩි ඉල්ලුමක් ඇතිවෙයි කියන කතාව න්‍යායාත්මක තලයෙදි පමණක් සත්‍ය වෙන දෙයක්. උදාහරණයක් විදියට 1977 ඩොලර් ගන්න ලංකාවට ගෙවන්න වුණේ රුපියල් 8.00යි. ඒත් එවකට මහබැංකුව සාපේක්ෂව වඩා විවෘත ආර්ථික ප්‍රතිපත්තිමය පියවරක් ලෙස රුපියලේ අගය පහත හෙළා ඩොලර් එකට රුපියල් ප්‍රමාණය 16ක් කළා. එලෙස ආරම්භ වුණ තත්ත්වය අද වෙද්දි රුපියල් 200 දක්වා ඉහළ ගිහින් තියෙනව. ඔබ කියූ කාරණය ප්‍රායෝගිකව සිදුවුණා නම්, මේ වෙද්දි ලංකාවේ අපනයනයන්ගෙ විශාල ප්‍රවර්ධනයක් තියෙන්න ඕන. නමුත් එහෙම වෙලා නෑ. ඒ නිසා මතක තබාගත යුත්තෙ රුපියල පහළ හෙළීම නිසා අපේ අපනයන වර්ධනය වෙන්නෙ නෑ කියන එක වගේම, ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ කිසිදු හැකියාවක් ලංකාවට නෑ කියන එක.
ReplyDeleteමේක තවත් ලේසියෙන්ම උදාහරණ කීපයක් ඇසුරින් පෙන්වා දිය හැකියි.
ඔබ කියන දේ ලංකාවේ ජනප්‍රිය මතයනේ. මේ විවේචනයට මම නොයෙක් වර පිළිතුරු දී තිබෙනවා. ඩොලරය රුපියල් 200 නොව රුපියල් 2000 වුනත්, විණිමය අනුපාතය අවප්‍රමාණය වන වේගයට වඩා වැඩියෙන් රුපියලේ දේශීය වටිනාකම අඩු වුනොත් අපනයන ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඔබ දකින්නේ ඩොලරය ඉහළ යාම කියන දෙය පමණයි. ඊට සාපේක්ෂව රුපියලේ දේශීය අගයට වෙන්නේ කුමක්ද කියන එක ඔබ මග හැර යනවා. රුපියලේ දේශීය අගය ශක්තිමත් වෙනවානම් විණිමය අනුපාතය අවප්‍රමාණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්, රජය අයවැය හිඟය නඩත්තු කරන තුරු, එය පියවීමට මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගසන තුරු, රුපියලේ දේශීය අගය පිරිහෙනවා. රුපියලේ දේශීය අගය 20%කින් පිරිහෙද්දී ඩොලරය 10%කින් පිරිහෙන්න ඉඩ ඇරියා කියලා ලංකාවේ භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඔබ හැමදාම දැක තිබෙන්නේ එම තත්ත්වයයි. පසුගිය කාලයේ සල්ලි අච්චු ගැසූ හැටියට ඩොලරයක මිල රුපියල් 300ක් වුනත් අපනයන ඉල්ලුම වැඩි වෙන එකක් නැහැ. එය න්‍යායාත්මකව සිදු විය යුතු දෙයක් ප්‍රායෝගිකව සිදු නොවීමක් නෙමෙයි. න්‍යායාත්මකව වුවත් අපනයන වර්ධනය වන්නේ අවශ්‍ය පමණ ඩොලරයක අගය ඉහළ යාමෙන් පසුවයි. මේ "අවශ්‍ය අගය" නියතයක් නෙමෙයි. සල්ලි අච්චු ගහන අනුපාතයට එම අගයද ඉහළ යනවා.
Deleteතව උදාහරන දෙන්න
Deleteමුල් ඇනෝට කිව්වෙ තව උදාහරන දෙන්න කියල. මේ වෙන ඇනෝ කෙනෙක්
Delete@ Ano 11.27 & 11.31
Deleteඋදාහරණයක් විදියට ලංකාවේ ප්‍රධානතම භාණ්ඩ අපනයනය වන ලාංකීය ඇඟලුම් ගැන බලමු. ඩොලර් එකක් රුපියල් 200 ට තියෙද්දි ලංකාවේ කම්හලක Tommy Hilfiger කොට කලිසමක් හදනවා කියමුකෝ. මෙහි වෙළඳ පොළ සිල්ලර මිල ඩොලර් 499.90 නම් රුපියල් 10,000 ක් විතර. නමුත් ලංකාවේ උප කොන්ත්‍රාත් සමාගමක් මේක ඔවුන්ට තොග වශයෙන් සපයන්නේ (සාමාන්‍යයෙන් 10% කට වඩා අඩුවෙන්) එකක් ඩොලර් 5 ක් විතර (රුපියල් 1,000). මේකට අවශ්‍ය කපු රෙදි සහ නුල්, බොත්තම් ආදිය චීනයෙන් ආනයනය කිරීමට ඩොලර් තුනක් විතර යනවා කියමු. එතකොට ලාංකීය සමස්ත අගය එකතු කිරීම ඩොලර් දෙකක් (රුපියල් 400ක්) විතර.
දැන් ඩොලර් එකක් රුපියල් 300 ක් වුවොත් ක්ෂණිකව කෙටි කාලීනව අපට කලින් ඩොලර් 5ට දීපු ඇඳුමක් 4.33 ට විතර දෙන්න පුළුවන්. නමුත් එකපාරටම එහෙම අඩු කරන්නේ නැති නිසා අපි ඩොලර් 4.75 කරා කියමු. නමුත් මේ නිසා මේක අපනයනය කරපු ගමන් මෙක්සිකෝවේ/ පෝලන්තයේ තියෙන තොග ගබඩා වලින් එක්සත් ජනපදයේ/ යුරෝපීය ෂෝරූම් වලට ගිහින් එකපාරටම 499.90 සිල්ලර මිල 499.65 වෙන්නේ නෑ. අපි හිතමු මේක 499.20 ට දුන්නා කියලා. ඒත් මේකේ අලෙවියේ දැනෙන තරමට වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මිල වෙනස් නොකර රුපියල් ප්‍රමාණය වැඩි කර ගැනීම විතරයි වෙන්නේ. නමුත් ඒ සමගම ඩොලරයේ අගය සමග ලංකාවේ සියලු ආනයන වියදම් ඉහළ යෑමත් සමඟ ඉන්ධන මිල/ ප්‍රවාහන සේවා ගාස්තු, විදුලි බිල, නැව් ගාස්තු, ඉන්ෂුවරන්ස් සේරම ඉහළ යනවා. ඒ සමගම ආනයනික පාන් පිටි ආශ්‍රිත ආහාර, ටින් මාළු, පරිප්පු, කඩල කිරිපිටි, කඩවල ආහාර වර්ග, ප්‍රවාහන වියදම් ආදී සියල්ල ඉහළ යාම නිසා ඇතිවන ගැටලු සමග පඩි වැඩි කරන්න සිදු වෙනවා. ඒ සමගම අර රුපියල් වල වාසියට කෙළවිලා යනවා.
මේ වගේම තමයි තේ අපනයනය. ලෝක වෙළඳ පොළේ තේ මිල පාලනය කරන ජර්මන් තේ වෙළඳුන් Pure Ceylon tea හදන්නේ 70% - 80% ලංකාවේ තේ සහ ඉතිරි කොටස කෙන්යාවේ/ ටැන්සානියාවේ හෝ චීන උසස් තේ වර්ග මිශ්‍ර කරලා. අපි මිල අඩු කළත් ඔවුන්ගේ මිල ගණන් වෙනස් කරන්නේ නෑ. ඒ වෙනස් කළත් තේ බොන ප්‍රමාණය ලොකුවට වැඩි වෙන්නේ නෑ. ඒ වැඩි වුණත් අපේ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා ක්‍රමානුකූලව විශාල කාලයක් යනවා. ඒ වගේම පාන් පිටි, උඳු, පරිප්පු, කඩල කවුපි, ටින් මාළු භූමිතෙල් ලිප් වගේ ආනයනික භාණ්ඩ වල මිල අධික ලෙස ඉහළ යාම සමග කම්කරු වැටුප් වැඩි වීම සමග ඊට වඩා බෙහෙවින් පාඩුයි. මේ වගේමයි රබර්, පොල්, කුරුඳු වගේ දේවල් හැම දෙයක්ම.
සේවා අංශයේ තත්ත්වය ඒත් ඒ වගේම තමයි. පරිගණක සහ උපාංග වගේම මෘදුකාංග වල මිල ගණන්, Subscription fees, විදේශීය සේවා ගාස්තු ආදිය වැඩි නිසා payoneer එකෙන් අපි දේශීය බැංකු වලට රුපියල් කර ගන්නේ වැටුප් සහ දේශීය වියදම් වලට පමණයි. නමුත් හැම වියදමක්ම වැඩි වෙනවා පසුගිය යහපාලන රජය සමයේ රුපියල් අවප්‍රමාණ වීම සමග ඩොලරයේ අගය වැඩි වීම සමග අපට නම් කෙළවිලා ගියා. දැනුත් අමාරුයි ඒත් විදේශ වෙළඳ පොළේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවා වලට ඉහළ මට්ටමක ඉල්ලුමක් ඇති නිසා යන්තම් ෂේප්.
@ Ano 11.27 & 11.31
Deleteඒ විතරක් නෙමෙයි තේ පොල් රබර් එතකොට කුළු බඩු වගේ වගාවන්ට පාවිච්චි කරන පොහොර, වල් නාශක, කෘෂි රසායන, එතකොට ඇසුරුම් (packaging) වගේ හැම දෙයක්ම ආනයනය කරන හෝ ආනයනික අමුද්‍රව්‍ය යොදා හදපුවා. ඒක නිසා වෙන හානිය වැඩියි. සේවා අංශයේ වුණත් සේවක සේවිකාවන්ට ආහාර පාන, අමතර සේවා, ප්‍රවාහන පහසුකම් ඇතුළත්ව වියදම් වැඩි වෙනවා.
තව දෙයක් මෝඩ නන්දසේන අන්දලා බීස්නස්කාරයෝ බදු අඩු කර ගත්ත නිසා යන්තම් මේ දවස්වල ඔලුව උස්සල ඉන්නවා. මොකද පහුගිය යහපාලන රජය කාලේ අධික ලෙස බදු අය කිරීම, සේවක වැටුප් වලින් PAYE tax සහ WHT වැනි අධික බදු අය කිරීම නිසා අතට ලැබෙන ගණන අඩු නිසාත් වැටුප් වැඩි කරන්න වුණා. ඊට අමතරව ආයතන වලට අධික ලෙස බදු අය කිරීම නිසා විශාල වශයෙන් ලාභ අඩු වීම නිසා විදේශීය සමාගම් ආයෝජන අත්හිටුවීමට තීරණය කලා. 2017/ 2018 තමයි එපාම කරපු කාලෙ. ඒ කාලේ අපට අවුරුද්ද මුල වසර අවසානයේදී එන Turnover එක predict කරල කලින්ම බදු ගෙවන්න ආණ්ඩුව බල කළා. ඒ නිසා ගොඩක් ව්‍යාපාර නන්නත්තාර වුණා විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම ඒවා සෑහෙන වැහිල ගියා. මේ නිසා මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහ ඡන්දෙන් පැරදෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුණා. ඒ වගේම තමයි ඩොලර් අවප්‍රමාණ වීම නිසා විදේශීය ආයෝජන අඩු වීම සහ රටේ ණය ප්‍රමාණය වැඩි වෙලා ව්‍යාපෘති වල ණය ගෙවීමට ඉතාමත්ම අමාරු වෙනවා. මේකත් මම සරල බසින් ඉදිරිපත් කරන්නම්.
//උදාහරණයක් විදියට 1977 ඩොලර් ගන්න ලංකාවට ගෙවන්න වුණේ රුපියල් 8.00යි. ඒත් එවකට මහබැංකුව සාපේක්ෂව වඩා විවෘත ආර්ථික ප්‍රතිපත්තිමය පියවරක් ලෙස රුපියලේ අගය පහත හෙළා ඩොලර් එකට රුපියල් ප්‍රමාණය 16ක් කළා.//
Deleteලිපියේ ප්‍රධාන මාතෘකාවටද අදාළ නිසා මුලින්ම මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. 1977දී ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගියා කියන එක ජනප්‍රිය අර්ධ සත්‍යයක්. 1968 මැයි මාසයේ සිට 1977 නොවැම්බර් දක්වා කාලය තුළ ලංකාවේ තිබුණේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්. යම් ආකාරකින් දැන් තත්ත්වයට සමානයි. ඔබ කියන රුපියල් 8කට ආසන්න මිල ගෙවා ඩොලර් මිල දී ගත හැකි වූයේ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු සීමිත අයිතමයන් ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා පමණයි. අනෙකුත් අවශ්‍යතා සඳහා ඩොලර් මිල දී ගත යුතු වූයේ එමෙන් දෙගුණයකට කිට්ටු මිලකටයි. එසේ නිල වශයෙන්ම බැංකු පද්ධතියෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා FEECS (Foreign Exchange Entitlement Certificate Scheme) හා CRA (Convertible Rupee Account) යනුවෙන් වෙනම ක්‍රම දෙකක් තිබුණා. එම විණිමය අනුපාත තීරණය වුනේ බොහෝ දුරට ඉල්ලුම හා සැපයුම මතයි. ඊටත් වඩා වැඩි කළු කඩ මිලක්ද තිබුණා. ඩොලරයක නියම මිල ලෙස සැලකිය හැකි වූයේ ඉහත දෙවනු කී FEECS විණිමය අනුපාතය මිස අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පමණක් වලංගු වූ මිල නෙමෙයි. 1977දී කළේ මේ ද්විත්ව (හෝ ත්‍රිත්ව) විණිමය අනුපාත ක්‍රමය අහෝසි කර ඩොලරයක වෙළඳපොළ මිල නිල විණිමය අනුපාතය සේ සැලකීමයි.
1975දී ඩොලරය මිල තිබුණේ පහත පරිදියි.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා- රුපියල් 7.20යි.
FEECS/CRA මිල - රුපියල් 11.60යි.
කළු කඩ මිල - රුපියල් 14.80යි.
1977දී මෙම ක්‍රමය අවසන් කරන විට තත්ත්වය:
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා- රුපියල් 8.87යි.
FEECS/CRA මිල - රුපියල් 14.81යි.
කළු කඩ මිල - රුපියල් 17.75යි.
(Reference: Athukorala, P., & Jayasuriya, S. (1994). Macroeconomic policies, crises, and growth in Sri Lanka, 1969-90. The World Bank. pp. 58, 149.)
ද්විත්ව විණිමය අනුපාතික ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව ඩොලරයක මිල රුපියල් 16ට පහළ මට්ටමක ස්ථාවර වුනා. මෙහිදී වුනේ ඩොලරයක නියම මිල නිල විණිමය අනුපාතයෙහි නිරූපණය වීමක්.
//ඒ නිසා මතක තබාගත යුත්තෙ රුපියල පහළ හෙළීම නිසා අපේ අපනයන වර්ධනය වෙන්නෙ නෑ කියන එක වගේම, ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ කිසිදු හැකියාවක් ලංකාවට නෑ කියන එක.//
ඉහත ප්‍රතිසංස්කරණයෙන් පසුව, එතෙක් කාලයක් තිස්සේ හිඟයක්ව පැවති ලංකාවේ ජංගම ගිණුම් ශේෂය පමණක් නොව වෙළඳ ශේෂයද ක්ෂණිකවම අතිරික්තයක් බවට පත් වුනා. (මේ තත්ත්වය දිගටම එලෙසම නොතිබීම වෙනම කරුණක්)
1977දී අපනයන ආදායම් ඩොලර් මිලියන 767.1 ක් වූ අතර ආනයන වියදම් ලෙස වැය වුනේ එයින් ඩොලර් මිලියන 726.2ක් පමණයි. ඉන් පෙර 1956 සිටම තිබුණේ වෙළඳ ශේෂ හිඟයක්. සැලකිය යුතු ලෙස රුපියල අවප්‍රමාණය වේනම් ලබා ගත හැකි ප්‍රතිඵලය ගැන අඩු වශයෙන් එක් පැහැදිලි ඓතිහාසික නිදර්ශයක් මෙහි තිබෙනවා.
ඔබ පසුව ලියා තිබෙන දේවල් ගැන මම වරින් වර විස්තරාත්මක පැහැදිලි කිරීම් කර තිබෙනවා. ප්‍රශ්නයක් නැහැ. නැවතත් පැහැදිලි කරන්නම්.
පළමු තර්කය: "ඩොලර් එකක් රුපියල් 300 ක් වුවොත් ක්ෂණිකව කෙටි කාලීනව අපට කලින් ඩොලර් 5ට දීපු ඇඳුමක් 4.33 ට විතර දෙන්න පුළුවන්. නමුත් එකපාරටම එහෙම අඩු කරන්නේ නැති නිසා අපි ඩොලර් 4.75 කරා කියමු. නමුත් මේ නිසා මේක අපනයනය කරපු ගමන් මෙක්සිකෝවේ/ පෝලන්තයේ තියෙන තොග ගබඩා වලින් එක්සත් ජනපදයේ/ යුරෝපීය ෂෝරූම් වලට ගිහින් එකපාරටම 499.90 සිල්ලර මිල 499.65 වෙන්නේ නෑ. අපි හිතමු මේක 499.20 ට දුන්නා කියලා. ඒත් මේකේ අලෙවියේ දැනෙන තරමට වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මිල වෙනස් නොකර රුපියල් ප්‍රමාණය වැඩි කර ගැනීම විතරයි වෙන්නේ."
Deleteමේ තර්කයේ තිබෙන වැරැද්ද ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයෙකුගේ පාරිභෝගිකයා ඇමරිකාවේ සිල්ලර පාරිභෝගිකයෙකු සේ සැලකීමයි. ඩොලර් එකක් රුපියල් 300 ක් වුවොත් ක්ෂණිකව කෙටි කාලීනව අපට කලින් ඩොලර් 5ට දීපු ඇඳුමක් 4.33 ට විතර දෙන්න පුළුවන් කියා ඔබ පිළිගන්නවා. කෙටියෙන් කිවුවොත් ඔබ කියන්නේ ඒ හේතුව නිසා ඇමරිකාවේ සිල්ලර මිල එතරම් අඩු නොවන බව හා ඒ හේතුව නිසා ඉල්ලුමේ ලොකු වෙනසක් නොවන බවයි. බොහෝ විට ඩොලර් එකක් රුපියල් 300 වුනා කියා ඇමරිකාවේ ඔය ඇඳුමක් විකිණෙන මිල වෙනස් වෙන්නේම නැහැ. ඒ වගේම, ඇඳුම් වලට තිබෙන ඉල්ලුම ලොකුවට වෙනස් වෙන්නේත් නැහැ. නමුත්, ඔබේ විශ්ලේෂණයේදී ඔබට මග හැරෙන කරුණ වන්නේ ඔබේ පාරිභෝගිකයා ඇමරිකාවේ සිල්ලර පාරිභෝගිකයා නොවන බවයි. ඔබේ පාරිභෝගිකයා වන්නේ ඔබට ඇණවුම දෙන ඇමරිකානු සමාගමයි. එම වෙළඳපොළ තුළ ඔබට වෙනත් රටවල සැපයුම්කරුවන් සමඟ තරඟ කරන්න සිදු වෙනවා. දැන් චීනය, වියට්නාමය, බංග්ලාදේශය වැනි අනෙක් රටවල සැපයුම්කරුවන් ඩොලර් 5ට ඇඳුම් සපයද්දී ලංකාවේ නිෂ්පාදකයින් ඩොලර් 4.75ට එයම සපයනවා කියන්නේ ලංකාවේ නිෂ්පාදකයින්ට ක්ෂණිකව ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබෙනවා කියන එකයි. සිල්ලර මිල හෝ සිල්ලර වෙළඳපොළේ ඉල්ලුම වෙනස් නොවීම මෙයට බාධාවක් වන්නේ නැහැ.
දෙවන තර්කය: විශාල වාර ගණනක් පිළිතුරු සපයා තිබෙන දෙයක් නිසා නැවත ලියන්නත් කම්මැලියි. සරලව කිවුවොත් මෙයින් කියන්නේ ඩොලරයකට මිල ඉහළ ගිය විට ආදායම වැඩිවනවාට වඩා වියදම වැඩි වෙනවා කියන එකයි. ඩොලරයක මිල ඉහළ ගිය විට වියදම් වැඩි වන ආකාර ගණනාවක් මෙහි විස්තර කර තිබෙන නිසා මම ඒවා නැවත ලියන්නේ නැහැ. ඒ සියල්ල ඇත්ත.
Deleteදැන් අපි කවර හෝ අපනයනකරුවෙකුගේ ආදායම් හා වියදම් දෙස බලමු. මෙය උදාහරණයක්.
ආදායම = ඩොලර් 1 = රුපියල් 200යි.
වියදම = රුපියල් 180යි.
ලාබය = රුපියල් 20යි.
ඩොලරය රුපියල් 300 වූ විට ආදායම රුපියල් 100කින් වැඩි වනවා. ඉහත තර්කයේ පදනම මෙහිදී වියදමත් රුපියල් 100කින් හෝ වැඩියෙන් වැඩි වනවා යන්නයි.
වියදම් වලින් යම් කොටසක්ද ආනයන නිසා වියදම් වැඩි වන බව ඇත්ත. යම් හෙයකින් වියදම් 100%ක්ම ආනයනනම් ඩොලරය 50%කින් වැඩි වෙද්දී වියදම්ද 50%කින් වැඩි වන නිසා වියදම රුපියල් 270ක් වෙනවා. ඊට වඩා වියදම් වැඩි වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ අනුව, ලාබය රුපියල් 30ට වඩා අඩු වෙන්න කිසිම හේතුවක් නැහැ.
නමුත් වියදම් 100%ක්ම ආනයන වියදම් නෙමෙයි. වියදම් කොටසේ දේශීය අගය එකතු කිරීම් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. ආනයන සංරචකය 50%ක්නම්, ඩොලරය 50%කින් වැඩිවෙද්දී ආදායම් 50%කින් වැඩි වන නමුත් වියදම් වැඩි වෙන්නේ 25%කින් පමණයි. ඒ කියන්නේ ලාබය රුපියල් 30කට වඩා වැඩියෙන් ඉහළ යනවා. මේ තර්කය කිසිම පදනමක් නැති පුහු තර්කයක්.
මෙහි නැති කරුණ:
Deleteවඩාත්ම වැදගත් මෙහි කියා නැති දෙයයි. කලින් උදාහරණයම ගනිමු.
ආදායම = ඩොලර් 1 = රුපියල් 200යි.
වියදම = රුපියල් 180යි.
ලාබය = රුපියල් 20යි.
දැන් විණිමය අනුපාතය එලෙසම තිබියදී රජය අයවැය හිඟය පියවා ගැනීම සඳහ සල්ලි අච්චු ගහනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 10%ක උද්ධමනයක් ඇති වෙනවා. ඒ නිසා, වියදම් 10%කින් වැඩි වන නමුත් ඩොලරය වෙනස් වී නැති නිසා ආදායම් වැඩි වෙන්නේ නැහැ. දැන් තත්ත්වය කුමක්ද?
ආදායම = ඩොලර් 1 = රුපියල් 200යි.
වියදම = රුපියල් 198යි.
ලාබය = රුපියල් 2යි.
උද්ධමනය තව පොඩ්ඩක් ඉහළ ගිය වහාම, ඩොලරය ඉහළ නොගියොත්, අපනයනකරුට පාඩු ලැබෙන්න පටන් ගන්නවා. ඔය තත්ත්වය වෙනස් නොවුනොත් අපනයන නිෂ්පාදන නවතිනවා. රාජපක්ෂ දශකය තුළ දිගින් දිගටම සිදු වුනේ මෙයයි.
//මොකද පහුගිය යහපාලන රජය කාලේ අධික ලෙස බදු අය කිරීම, සේවක වැටුප් වලින් PAYE tax සහ WHT වැනි අධික බදු අය කිරීම නිසා අතට ලැබෙන ගණන අඩු නිසාත් වැටුප් වැඩි කරන්න වුණා. //
Deleteමේ කෑල්ල ඇත්ත නේද හැබැයි
තර්කානුකූලව එය එසේ විය හැකියි. උපයන ආදායම මත අය කරන බදු වල බරෙන් කොටසක් සේව්‍යයා මත පැටවෙන්න පුළුවන්. වක්‍ර බදු නිසාද ශ්‍රම සැපයුම පහළ ගොස් වැටුප් ඉහළ යාමේ ඉඩක් තිබෙනවා. අනෙක් අතට මෙයින් අදහස් වන්නේ බදු වැඩි වෙද්දී සේවක වැටුප් වැඩි කළ හැකි තරම් ඉහළ ලාබ සේව්‍යයන්ට තිබුණා කියන එකයි. ඒ වගේම රටේ විරැකියා අනුපාතිකය අඩු මට්ටමක තිබුණා කියන එකයි. සේවකයින්ට රැකියා නැතිව ජීවත් විය නොහැකි තත්ත්වයක් තිබුණානම් ඔවුන්ට බදු වැඩි වුනා කියා වැඩි වැටුප් ඉල්ලා සිටීමේ ඉඩක් ලැබෙන්නේ නැහැ. රැකියාව බේරා ගන්න ලැබෙන වැටුපට වැඩ කරන්න වෙනවා. එහෙත් රටේ විරැකියා අනුපාතය අඩුනම් ඔවුන්ට රැකියා අහිමි වීමේ අවදානමක් නැහැ. ඒ වගේම, සේව්‍යයන්ට සැලකිය යුතු තරම් ලාබ නොතිබුණානම් ඔවුන් වැටුප් වැඩි කරන්න යොමු වෙන්නේ නැහැ. වැටුප් වැඩි කළානම් එයින් අදහස් වන්නේ වැටුප් සේ ගෙවිය හැකි අතිරික්තයක් තිබුණා කියන එකයි. පහසුවෙන් අලුතෙන් සේවකයින් බඳවා ගත හැකිව තිබුණානම් ඒත් මෙවැන්නක් වෙන්නේ නැහැ. අලුත් සේවකයින් බඳවා ගැනීම අසීරු වෙන්නේ විරැකියා අනුපාතය අඩු මට්ටමක ඇති විටයි. මෙවැනි තත්ත්වයක් රටේ තිබුණානම් එයින් අදහස් වන්නේ රටේ නිෂ්පාදනය නිෂ්පාදන ධාරිතාවට වඩා ඉහළින් තිබුණා කියන එකයි. එවැනි අවස්ථාවක ස්ථායීතාවය වෙනුවෙන් ආර්ථික වර්ධනය අඩාල කළ යුතුයි. ඒ වගේ තත්ත්වයක් තිබුනනම් බදු වැඩි කිරීම කළ යුතුව තිබුණු නිවැරදිම දෙයයි.
Delete//එහෙත්, මේ විදිහට ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස වසංගත කාලයේ එය සිදු වුනා කියා කලින් ලබා ගත හැකිව තිබුණු වාසි ලැබෙන්නේ නැහැ.//
ReplyDeleteමේ කොටස පැහැදිලි මදි
ආර්ථිකයක් කඩා වැටෙනවා කියන්නේ නරක දෙයක්ම නෙමෙයි. මෙහිදී වෙන්නේ කිසියම් ආකාරයකින් ගොඩ නැගී තිබෙන අසමතුලිතතාවයන් සමතුලිතවීමක්. එය එකවර සිදු වීම වේදනාකාරීයි. IMF වැඩ සටහන් ආදියේදී කරන්නේ මෙවැනි අසමතුලිතතාවයක් සැලසුම්සහගත ලෙස හා පාලනයක් සහිතව නිවැරදි වෙන්න සැලැස්වීම. විණිමය අනුපාතිකයේ සිදු වන විශාල කඩා වැටීමකදී වෙන්නෙත් මෙවැනි අවශ්‍ය නිවැරදි වීමක් නිසා එවැනි කඩා වැටීමකින් පසුව ප්‍රශ්නය විසඳීමක්ද සිදු වෙනවා. සැරව බුබුලක් පිපිරීමක් වැනි දෙයකදී මෙන්. නමුත්, මේ වගේ වසංගත අවස්ථාවක ආර්ථිකය කඩා වැටුණොත් එය එලෙසම වෙන්නේ නැහැ. එහිදී වෙන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනි දෙයක් පමණයි.
Delete//2017/ 2018 තමයි එපාම කරපු කාලෙ. ඒ කාලේ අපට අවුරුද්ද මුල වසර අවසානයේදී එන Turnover එක predict කරල කලින්ම බදු ගෙවන්න ආණ්ඩුව බල කළා. //
ReplyDeleteමෙහෙම දෙයක් ආණ්ඩුවකට කරන්න පුලුවන්ද?
මෙය බොහෝ රටවල බදු අය කිරීමේදී සිදුවන සාමාන්‍ය දෙයක්. රඳවා ගැනීමේ බද්දක් කියන්නෙත් මේ වගේ එකක්. වැඩිපුර ගෙවා තිබෙන බදු වසර අවසානයේදී ආපසු ගෙවනවා.
Deleteලන්කාවට මේ ක්‍රමය හඳුන්වා දුන්නෙ 2017/2018දිද ඒ කියන්නෙ.
Deleteමම ලංකාවේ බදු ගැන ගොඩක් හදාරා නැහැ. මේ බද්ද ඒ වෙලාවේ හඳුන්වා දුන් එකක් වෙන්න ඇති. නමුත්, මේ ආකෘතියේ බදු ලංකාවේ තිබුණා.
Deletehttps://www.irs.gov/businesses/small-businesses-self-employed/estimated-taxes
Deleteමේකද?
https://www.irs.gov/businesses/small-businesses-self-employed/estimated-taxes
ReplyDeleteමේකද?
ඔව්. මෙය නිදර්ශනයක්.
Deleteමං වගෙ ගොන්නු වැඩියෙන් ඉන්නා කාලේ
ReplyDeleteකවුන්සලේටත් යවනව උන් රාලේ
නොදන්නාකමට උන් කරනා ලීලේ
පාචනේට අමුඩේ තද කරති බොලේ!
ජිවිතේ දුකයි අප්පච්චි. ඉක්මනින් මරණය එනතෙක් බලා ඉදිමු මෙයින් නිදහස් වන්නට.
ReplyDeleteමම හැමදාම මැට්ටගෙ ලිපි කියවනව. ඒකෙන් යමක් උකහ ගන්නව. කොමෙන්ට් නොකරන්නෙ අපිට කියන්න දෙයක් නැති හිංද..
ReplyDeleteමේ ලිපිය කියව්වම නං හිතුනෙ කටේ කෙලත් නැති වෙයි මේ යන විදිහට කියල.
වේගෙන් බඩු මිල යන එකට හැමේකාගෙම උත්තරේ ඩොලර් එකේ ප්‍රයිස් එක.
ලෙව කන්නත් බැරි තරමට බඩු ගණං
කාට කියන්නද
ඕක ඇත්ත ප්‍රශ්නය වහන්න කියන ජනප්‍රිය කතාව. සල්ලි අච්චු ගැහුවම බඩු ගණන් යන ආකාරය මිනිස්සුන්ට පේන්නේ හෝ තේරෙන්නේ නැහැ. නමුත් ඩොලර් එක වැඩි වෙද්දී බඩු ගණන් යන ආකාරය පේනවා සහ තේරෙනවා. ඒ නිසා ඔය කතාව ජනප්‍රියයි.
Deleteඩොලර් එක ඉහළ යන එක පාලනය කළ යුතුයි තමයි. නමුත් එය සැබෑවටම කළ හැක්කේ සල්ලි අච්චු ගැසීම නැවැත්වීමෙන් පමණයි. සංචිත හෝ ණය යොදාගෙන ඩොලරය පාලනය කිරීම රබර් බෝලයක් වතුරේ ඔබා ගෙන සිටීමක් පමණයි. සල්ලි අච්චු ගහන තරමට රුපියල බාල්දු වෙනවා. රුපියල බාල්දු වන තරමට ඩොලරය වැඩි වුනේ නැත්නම් අපනයන අඩු වී ආනයන ඉහළ යනවා. හිඟය පියවන්න ඩොලර් වලින් ණය ගන්න වෙනවා. ඒ ණය ගෙවන්න තව ණය ගන්න වෙනවා. ඔය රෝල ගහගන්න බැරි වූ විට ඩොලරය කොහොමටත් ඉහළ යනවා. එවිට හානිය වී අවසන්.
ඩොලරය රජයේ පාලනයෙන් ගිලිහිලා පිට් පාලන මිල තියෙද්දී මිල වැඩිවෙලා සිමෙන්ති මිල වැඩි වීමට ආසන්නයි රජය ඔහේ තියෙනවා මෙහෙම කි දවසක් යන්නද
ReplyDelete