වෙබ් ලිපිනය:

Friday, February 26, 2021

සල්ලි උඩ පීනා ගොඩයයිද ගිලී මැරෙයිද?


කිසියම් අයෙකු විසින් මෙහි අප ලිවිය යුතු දේවල් ගැන අපට උපදෙස් දෙමින්, එසේ නොකරන්නේනම් කළ හැකි දේ ගැන මෘදු තර්ජනයක්ද කර තිබෙනවා. ඔහු (හෝ ඇය) කියන විදිහට ඔහු අපේ ෆේස්බුක් පිටුව රිපෝර්ට් කර තිබෙන කණ්ඩායමේ කෙනෙක්. අපට දෙන උපදෙස හෝ තර්ජනය වන්නේ ලංකාව ගැන ලිවීමෙන් වැලකී සිටිය යුතු බවයි.

මේ වගේ තර්ජන වලින් පෙනෙන්නේ අප ලියන දේවල් වලින් සිදු වන පොඩි බලපෑම වුවත් මේ අයට දරා ගැනීමට අමාරු මට්ටමට පැමිණ ඇති බවයි. පෙර ලිපිය හා අදාලවනම් මුඛ්‍ය කාරණාව ලංකාව මේ දවස් වල කරන මහා පරිමාණ සල්ලි අච්චු ගැසීමයි. අප ලිවුවත්, නොලිවුවත් සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵල ඇස් පනාපිට පෙනෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ලංකාවේ විදේශ ණය අර්බුදය අද තත්ත්වයට පත් වීමට නියමිත බව අප වසර පහකට වැඩි කාලයක සිට කියනවා. ඒ කියූ දේවල් මේ වෙද්දී සැබෑ වී තිබෙනවා. සල්ලි අච්චු ගැහීම ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.

අප පෞද්ගලිකව ලංකාව දෙස බලා සිටියත් නැතත් ලෝකය ලංකාව දෙස බලා සිටින එක වලක්වන්න අමාරුයි. කොරෝනා හැදී මිය යන අයගේ මළ සිරුරු වලින් වෛරසය පැතිරීමේ හැකියාව පිළිබඳ ලංකාවේ විද්‍යාත්මක මතය පවා තීරණය වෙන්නේ ලංකාව දෙස ලංකාවට පිටත සිට බලා සිටින අය මතයි. කාලයක් තිස්සේ ලංකාවේ පනවා තිබෙන වාහන ආනයන සීමා කිරීමත් ඒ විදිහටම දිගටම තියෙනවාද නැද්ද කියන එක තව ටික දවසකින් ලංකාවට වාහන එවන ලොකු අයියා තීරණය කරයි.

තොරතුරු හා අදහස් වාරණය කර වර්තමානය හා අතීතය යම් තරමකින් වෙනස් කළ හැකි වුවත් එසේ වෙනස් කළ හැක්කේ සීමිත අවකාශයක් ඇතුළේ පමණයි. ගෙදරට දාන චන්ඩිපාට් ගෙදරින් පිටට ඔට්ටු නැහැ. මාධ්‍ය ප්‍රචාරණ හා මාධ්‍ය වාරණ හරහා තොරතුරු හා අදහස් සැඟවීම හෝ වෙනස් කිරීම රබර් බෝලයක් යට ඔබාගෙන ඉන්නවා වගේ වැඩක්. රබර් බෝලය නොහිතන වෙලාවක නොහිතන තැනකින් උඩ එන්න පුළුවන්. 

අපේ ෆේස්බුක් පිටු අප පටන්ගත්තේ අපට අවශ්‍ය තැනට යාමට අවශ්‍ය පහුරක් ලෙස පමණයි. දැන් අපට මේ ෆේස්බුක් පිටු එතරම්ම වැදගත් නැහැ. අවශ්‍ය වුවහොත්, අවශ්‍ය අවස්ථාවක නැවත ෆේස්බුක් හරහා අපට අවශ්‍ය පිරිස වෙත ලඟා වෙන්න බැරිකමකුත් නැහැ.

මේ වියුණුව ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. මේ වෙද්දී ඉකොනොමැට්ටා සන්නාමයක් වී අවසන්. වියුණුව දැන්ම අත හැර දමන්නට අපට අදහසක් නැතත්, කිසියම් ආකාරයකින් වියුණුව අහිමි වුවහොත් එය කිසිසේත්ම ලෝක විනාශය වෙන එකක් නැහැ. 

සමහර දේවල් තීරණය කරන්නේ ඇල්ගොරිදම් වලින් නිසා මේ ඇල්ගොරිදම් ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට හෝ කණ්ඩායමකට ඒවා නොමඟ යවා අපේ වියුණුව වාරණයකට ලක් කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් ඇති වුවහොත් ඔබට www.economatta.com හරහා තවදුරටත් ඉකොනොමැට්ටා වියුණුව කියවීමේ අවස්ථාව ඉතිරි වෙයි. දැන් ඔබ මේ ලිපිනය භාවිතා කළ විට ඔබව http://economatta.blogspot.com/ වෙත යොමු කෙරෙන නමුත් බ්ලොගර් භාවිතා කිරීම ප්‍රශ්නයක් වූ අවස්ථාවක අපට ඔබව වෙනත් සත්කාරක පරිගණකයක් වෙත යොමු කරවිය හැකියි.

ලංකාව දිහාම බලා ගෙන ඉන්න, ඇමරිකාවේ කොන් වෙලා ඉන්න අපි වගේ අයට පේන විදිහට ලංකාවේ ණය අර්බුදය මේ මොහොත වෙද්දී ඉතාම උග්‍ර වී තිබෙන්නේ කෝවිඩ් නිසා නෙමෙයි. ආණ්ඩුව මාරු වූ වහාම සිදු කළ තේරුමක් නැති බදු කප්පාදුව අර්බුදයට එක් ප්‍රධාන හේතුවක්. පසුගිය වස‍රේ පළමු මාස 11 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,128.9ක් පමණයි. මෙය පෙර වසරට සාපේක්ෂව 30% ඉක්මවන අඩු වීමක්. බදු ආදායම රුපියල් බිලියන 484.10කින් පහළ යද්දී පුනරාවර්තන වියදම් රුපියල් 259.50කින් වැඩි වෙලා තිබෙනවා.

ආදායම් අඩු වී වියදම් වැඩි වෙද්දී පරතරය පියවාගන්න වෙන්නේ ණය වලින් කියන එක ඉතාම පැහැදිලියිනේ. මේ කියන්නේ පරණ ණය ගැන නෙමෙයි. පසුගිය වසරේ පළමු මාස එකොළහේ පමණක් ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා අලුතෙන්ම ගත යුතු වූ ණය ගැන. කාලයක සිටම ලංකාව පරණ ණය හා පොලී කොහොමටත් ගෙවන්නේ අලුත් ණය වලින්නේ. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ සෑහෙන කාලයකට පසුව ප්‍රාථමික හිඟය ලෙස හඳුන්වන, පරණ ණය හැර අලුත් ආදායම් හා වියදම් අතර පරතරය අතිරික්තයක් වූ බවත් මතක් කළ යුතුයි.

ණය අවශ්‍යතාවය කොයි තරම් වැඩි වුවත් මේ වෙලාවේ විදේශ ණය ගැනීම ලංකාවට සිහිනයක්. ජනවාරි 18 කල් පිරෙන ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරය ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්නා අයෙක් මේ වෙද්දී එසේ කරන්නේ 44.24%ක පොලියක් (ඩොලර් වලින්) ලැබෙනවානම් පමණයි. මේ වෙලාවේ විදේශ ණය වාණිජ පදනමකින් ගන්නවානම් ගන්න වෙන්නේ ඔය වගේ පොලියකටයි. ඒ නිසා තිබෙන එකම විකල්පය දේශීය වෙළඳපොළෙන් ණය ගන්න එකයි.

දේශීය වෙළඳපොළේ විශාල මුදල් අතිරික්තයක් මේ වෙද්දී තිබුණත් ආණ්ඩුවට අවශ්‍ය තරම් අඩු පොලියකට ණය දෙන්න කවුරුවත් කැමති නැහැ. වාණිජ බැංකු විසින් වැඩිපුර සල්ලි රුපියල් බිලියන 170කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවට ණයට නොදී දවසේ පොලියට ආපහු මහ බැංකුවේම තැන්පත් කරනවා. මහ බැංකුව මේ සල්ලි වලට 4.5%ක පොලියක් ගෙවනවා. අවුරුද්දක ණයකට ආණ්ඩුව ගෙවන්න කැමති උපරිම පොලිය 5%ක් පමණ වුවත් ඒ පොලියට ආණ්ඩුවට දේශීය වෙළඳපොළෙන් ණය ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම සල්ලි අච්චු ගහන එකයි. 

නොවැම්බර් අවසානය වෙද්දී රජයේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,424.1ක්. 2019 අවසානයේදී සිට ගතවුණු මාස 11 තුළ 27%ක වැඩි වීමක්. මෙයින් සැලකිය යුතු කොටසක් පියවාගෙන තිබෙන්නේ සල්ලි අච්චු ගහලා. සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් කරන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණා මුදල් ලබා ගැනීම. අවුරුද්දකට කලින්, 2020 පෙබරවාරි අවසානයේදී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 78ක් පමණයි. 2021 පෙබරවාරි අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 810ක්. කොහොමද සල්ලි අච්චු ගැහිල්ල?

අර කතාවට කියන්නේ සල්ලි උඩ පීනනවා කියලා. අපි වගේ ඇමරිකාවේ ඉන්න කොන් වෙච්ච අයට ඔය වගේ සල්ලි උඩ පීනිල්ලක් බලා ගන්න ලේසියකට ඉඩක් නොලැබෙන නිසා මේ දවස්වල අපි ලංකාව දිහාම බලාගෙන ඉන්නවා. අපිට ලංකාව ගැන ලියන්න එපා කියන අයනම් සමහර විට සල්ලි එක්ක කොහේට හරි පීනයි. හැබැයි ලංකාවේ පහළ ස්ථර වල ගොඩක් මිනිස්සුන්ටනම් වෙන්නේ ඔය සල්ලි ගංවතුරේ ගිලිලා මැරෙන්නයි.

48 comments:

  1. // අපිට ලංකාව ගැන ලියන්න එපා කියන අයනම් සමහර විට සල්ලි එක්ක කොහේට හරි පීනයි. හැබැයි ලංකාවේ පහළ ස්ථර වල ගොඩක් මිනිස්සුන්ටනම් වෙන්නේ ඔය සල්ලි ගංවතුරේ ගිලිලා මැරෙන්නයි//

    ඉකනෝගෙ උපහාස හැකියාව එන්න එන්නම දියුණු වෙනවා:) මේ ක්‍රමේ හොඳයි, ආක්‍රමණශීලී වෙනවට වඩා.

    ReplyDelete
  2. // බැංකුව මේ සල්ලි වලට 4.5%ක පොලියක් ගෙවනවා. අවුරුද්දක ණයකට ආණ්ඩුව ගෙවන්න කැමති උපරිම පොලිය 5%ක් පමණ වුවත් ඒ පොලියට ආණ්ඩුවට දේශීය වෙළඳපොළෙන් ණය ලැබෙන්නේ නැහැ //

    බැංකු .5% වැඩියෙන් පොලියක් ලැබෙන විදියට රජයට ණ්‍ය දෙන්නේ නැත්තේ, එතන ලොකු අවධානමක් තියෙන නිසා ද ??

    මේ වෙලාවේ රජයක් මේ ප්‍රශ්නෙන් අඩුම ගනේ හරි පාරටවත් එන්න ගන්න අවශ්‍ය මූලිකම ,නිවරදිම තීරණය මොකක්ද ??

    , හිතන්නකෝ රටේ ඩොලර් දැන් සෑහෙනම සෑහෙනම් අඩුයි කියල, එතකොට ලංකාවට ඒක සෑහෙන ප්‍රශ්නයක් නේ. මේ වෙලාවට අතේ සල්ලී නැති නමුත් තරම ඉඩම් ඇති මනුස්සයෙක් හිටියොත්,ඒ වගේ කෙනෙක්ට ඉඩම් විකිණලවත් පිට රටකට යන්න බැරිද ? ඉඩම් මිලෙත් රුපියල් වටිනාකම ඒ හා සමානව වැඩි වෙනව ද??

    ReplyDelete
    Replies
    1. //බැංකු .5% වැඩියෙන් පොලියක් ලැබෙන විදියට රජයට ණ්‍ය දෙන්නේ නැත්තේ, එතන ලොකු අවධානමක් තියෙන නිසා ද ??//

      වාණිජ බැංකු වලට 4.5% පොලියට දෛනික පදනම මත මහ බැංකුවේ මුදල් තැන්පත් කළ හැකියි. ඒ කියන්නේ දවසකට 4.5% කියන එක නෙමෙයි. 4.5% වාර්ෂික පොලියේ දවසක කොටස දිනපතා ලැබෙනවා. මෙහිදී සල්ලි හිරවීමක් වෙන්නේ නැහැ. 5% පොලියට අවුරුද්දක කාලයකට රජයට ණය දුන්නොත් වසරක කාලයකට සල්ලි හිර වෙනවා. වාණිජ බැංකු එහෙම සල්ලි හිර නොකරන්නේ පවතින පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු බවටත්, වැඩි කල් නොයා අනිවාර්යයෙන්ම වැඩි කරන්න සිදු වෙන බවටත් දැඩි විශ්වාසයක් තියෙන නිසයි.

      //මේ වෙලාවේ රජයක් මේ ප්‍රශ්නෙන් අඩුම ගනේ හරි පාරටවත් එන්න ගන්න අවශ්‍ය මූලිකම ,නිවරදිම තීරණය මොකක්ද ??//

      අවංකවම කියනවානම් රජයට ලොකු දෙයක් කරන්න බැහැ. ප්‍රශ්නය එහෙම පුළුවන් කියා කියන හා පෙන්වන එකයි. රටේ නිෂ්පාදිතය ඉහළ නොයවා සල්ලි අච්චු ගැසීමෙන් හෝ වැඩි වැඩියෙන් ණය ගැනීමෙන් රටවල් ගොඩ දාන්න බැහැ.

      //හිතන්නකෝ රටේ ඩොලර් දැන් සෑහෙනම සෑහෙනම් අඩුයි කියල, එතකොට ලංකාවට ඒක සෑහෙන ප්‍රශ්නයක් නේ. මේ වෙලාවට අතේ සල්ලී නැති නමුත් තරම ඉඩම් ඇති මනුස්සයෙක් හිටියොත්,ඒ වගේ කෙනෙක්ට ඉඩම් විකිණලවත් පිට රටකට යන්න බැරිද ? ඉඩම් මිලෙත් රුපියල් වටිනාකම ඒ හා සමානව වැඩි වෙනව ද??//

      සල්ලි වල වටිනාකම අඩු වෙද්දී ඉඩම්, රත්තරන් වගේ දෙයක ආයෝජනය කර තිබීම සාපේක්ෂව සුරක්ෂිතයි. රටේ ආර්ථිකය කඩා වැටුනොත් ඉඩම් මිල වුවත් පහත වැටෙනවා. නමුත් සාපේක්ෂව සිදු වන්නේ අඩු හානියක්.

      Delete
  3. /පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ සෑහෙන කාලයකට පසුව ප්‍රාථමික හිඟය ලෙස හඳුන්වන, පරණ ණය හැර අලුත් ආදායම් හා වියදම් අතර පරතරය අතිරික්තයක් වූ බවත් මතක් කළ යුතුයි.//

    එකොනෝ, ඉහත ඡේදය මඟින් ඔබ අදහස් කලේ කුමක්ද? පරණ ණය යනු යහපාලන ආණ්ඩුවට පෙර ආණ්ඩු විසින් ගත් ණයද? යහපාලන ආණ්ඩුවේ ආදායම , වියදමට වඩා වුණු බවද ඔබ මේ කියන්නේ?

    //අවුරුද්දකට කලින්, 2020 පෙබරවාරි අවසානයේදී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 78ක් පමණයි. 2021 පෙබරවාරි අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 810ක්. කොහොමද සල්ලි අච්චු ගැහිල්ල?//

    මෙන්න මේ ඡේදයත් තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? මේ පැහැදිලි කිරීම ඇතුලේ treasry bond කියන්නේ කුමක්ද, එහි objective  එක කුමක්ද, යන අති මූලික කාරණාත් විස්තර කරන්න පුලුවන්ද?

    දැන් මේ යන තත්ත්වය අනුව ලංකාවේ ආර්ථිකය එහි 'ආර්ථික එන්ට්‍රොෆිය " වැඩි කරගෙන ඉවරද? තාප ගති විද්‍යාවේදී වෙන්නේ විශ්වය තාප සොහොනක් බවට පත් වන එකයා. Gibbs Free energy ඉවරවෙලා වැඩකට නැති තාපය තමයි එතකොට තියෙන්නේ. ඔබ කියනවා ලංකාවේ වාණිජ බැංකුවල රුපියල් බිලියන 170 තියෙනවා.මේ සල්ලි දැන් වැඩක් නැද්ද? බංකු සහ වෙළඳපොල අතර වෝල්ටීයතාවය ඉතාම සමාන නිසා ධාරාවක් ගලන්න සලස්වලා , ප්‍රයෝජනවත් කාර්යයක්/work done by the system කර ගන්න බැරි වෙලාද? රටේ නිශ්පාදනය වැඩි වෙන්නේ නැත්තේ ඒක නිසාද?

    ඔබ ඉදිරිපත් කරන මේ macro economic theory වලට සමාන උදාහරණ භෞතික හෝ රසායන විද්‍යාවෙන් ගෙන හැර දක්වන්න පුලුවන් නම් එය අපට ඔබ කියන එක  තේරුම් ගන්න ලොකු රුකුලක් වේවි.

    සල්ලිවල පීනනවා කියන එක අභිබවමින් සල්ලිවල ගිලිලා මැරෙනවා කියන එක නම් අලුත්ම පට්ට අදහසක්! බස්සා  කියනවා සේ මේක නම් දරුණු උපහාසයක්..කොපමණ වටිනා දෙයක් වුනත් සමතුලිතතාවය බිඳගෙන ආවොත් වෙන්නේ මහා විනාශයක්.

    CP-C

    ReplyDelete
    Replies
    1. //යහපාලන ආණ්ඩුවේ ආදායම , වියදමට වඩා වුණු බවද ඔබ මේ කියන්නේ?//

      සමස්තයක් ලෙස කෙසේ වුවත් අඩු වශයෙන් වසර දෙකකදීම, ඔව්. ලංකාව තිබුණු තත්ත්වය යටතේ ඒ තත්ත්වයට ගැනීම ඉතාමත්ම අපහසු දෙයක්. යහපාලන ආණ්ඩුව තමන් කළ දේ මාර්කට් කර ගත නොහැකි වූ හා එසේ කිරීමට උවමනාවක් නොතිබුණු ආණ්ඩුවක්. රනිල් කියන්නේ තමන් හරි දේ කිරීම මිසක් එය පෙන්වීම වැදගත් නැති ලෙස සැලකූ එක්තරා ආකාරයක මූලධර්මවාදියෙක් හා ඒකාධිපතියෙක්. එසේ කටයුතු කිරීමේ මිල ඔහු ගෙවුවා. නමුත්, ඔහු කළ දේවල් නොවන්නට අද තිබෙන අර්බුදය එන්නේ මීට අවුරුදු කිහිපයකට කලින්. අප ඒ දවස් වල යහපාලන ආණ්ඩුවේ අපට නිවැරදි සේ පෙනෙන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටියේ කිසිදු පෞද්ගලික පක්ෂපාතීත්වයක් නිසා නෙමෙයි. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ කෙටිකාලීනව කළ යුතුව තිබුණු හොඳම දෙය එය වූ නිසයි. ඟගේ ගහගෙන යද්දී පළමුවෙන් කළ යුත්තේ ගොඩට එන එකයි. ලොකු දේවල් කරන්න වෙන්නේ ඊට පස්සේ. ආණ්ඩු බලය කාගේ අතේ තිබුණත් අවම වශයෙන් කෙටිකාලීනව ඒ පාර මිස වෙනත් පාරක් නැහැ. පහත ලිපියේ මෙය විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා.

      ප්‍රාථමික හිඟය

      Delete
    2. //මේ පැහැදිලි කිරීම ඇතුලේ treasry bond කියන්නේ කුමක්ද, එහි objective එක කුමක්ද, යන අති මූලික කාරණාත් විස්තර කරන්න පුලුවන්ද?//

      පහත ලිපියේ මූලික කරුණු තිබෙනවා. ඊළඟ කොටස් වල වැඩි විස්තර තිබෙනවා.

      භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පළමු කොටස)

      Delete
    3. ඉතිරි ප්‍රශ්න වලට පසුව පිළිතුරු ලියන්නම්.

      Delete
    4. ඉකොනො, පහුගිය 2015 මහමැතිවරණයේදී රනිල්ගේ ආන්ඩුව බලයට ආවේ රක්ශා ලක්ශ 10 ක් අළුතින් නිර්මානය කරනවා, හැමෝටම කාර් ගන්න පුළුවන් ගානට ඉන්දීය ආනයනික යතුරු පැදි සහ කුඩා කාර්, ට්‍රක්රථ ආදියට වාහන බදු විශාල ලෙස අඩු කරනවා කියලා පොරොන්දු දෙමින්... ඒත් ඒ වෙනුවට සිද්ධ උනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අධික ලෙස බදු අය කිරීමෙන් මධ්‍යම පාංතියේ ව්‍යාපාර කඩා වැටී, තිබ්බ ‍රැකියා අවස්ථාවනුත් නැති උන එක. රජයේ ප්‍රාග්ධන වියදම් විශාල ප්‍රමාණයක් කපා හැරපු එක නිසාත් ඒ හා සම්බන්ධව කටයුතු කළ විශාල පිරිසකට ආදායම් මාර්ග අහිමි උනා.

      අනිත් එක ඉකොනොමැට්ටා පුන පුනා හොරකමක් හෝ වංචාවක් නෙවෙයි කියලා දිගටම කියපු රනිල් වසර කීපයක් තිස්සේ කීප වතාවක් කරපු මහ බැංකු බැඳුම්කර සංසිද්ධිය (මූල්‍ය වංචාව?) හින්දා රාජ්‍ය ආයතන කීපයක්ම අමාරුවෙ වැ‍ටුණා. උදාහරණයක් ලෙස ඊපීඑෆ් එක 2018 දී කොටස් වෙලද පොලෙන් අයින් වෙන්න සිද්ධ උනා. ඒ සමගම වෙළඳපොළ ක්‍රියාකාරම් වල සැලකිය යුතු මට්ටමක විශාල අඩුවක් වෙන්න, ඉකොන් කියන විදිහට නම් ආර්ථිකය බ්‍රේක් ගස්සන්න, මේවා හේතු උනා.

      ඔය වගේම තවත් දෙයක් තියෙනවා, සිංගප්පුරූ ටම්සෙක් මොඩල් එකේ අයෝජන ඊපීඑෆ් / ඊටීඑෆ් දාලා කරනවා කිව්ව රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමේ සිටි සාමාජිකයන් අන්තිමට කරපු රෙද්දක් නෑ... අර වොක්ස්වැගන් ව්‍යාපෘතිය වගේ අමු බොරුවක් කියල මිනිස්සු හිතන්න පෙළඹුණා.

      රනිල් රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කරලා ඒවාට දැඩි ලෙස බලපෑම් කල බව ලංකාවෙ හැමෝම හොඳින් දන්නා කරුණක්. බොන්ඩ් කේස් එකේදී එන් එස් බී එකට බලපෑම් කලා ඇලෝයිසියස් ට සල්ලි දෙන්න.. මේවා නිදහස් වෙළද පොළ මත සිද්ධ උන ගණුදෙණු වලට වඩා යටි කූට්ටු වැඩ බවයි බොහෝ දෙනා හිතන්නේ ඉකොනො. හැබැයි මට මතක හැටියට ඉකෝන් මේ ගනුදෙණුවත් ඉතාමත් සර්ව සාධාරණ සත් ගුණවත් සිරා වැඩක් කියලා සධාරණිකරණය කරලා ඒ කාලේ පෝස්ට් දෑම්මා. මම වැරදි නම් කියන්න.

      අනිත් එක තමයි ඉකොනො යූඑන්පී ආර්ථික ප්‍රතිපත්ති වලට අනුව පැහැදිලි ලෙස 2017 - 2018/ 2019 කාලයේ පවා 2020 රාජපක්ෂ රජයට වුණු දේ වගේම අන්තර්ජාතිකව පිලිගත් මුඩීස් ඇතුලත් රේටින් වෙලින් ලංකාව තවත් පහලට බැස්සා. දැන් ඔය කියන තරම් පට්ටම සිරා විදිහට රනිල් ආර්ථිකය කලමණාකරණය කලා නම් එහෙම රේටීන් වැටෙන්න විදිහක් නෑ නේද?

      එවගේම රනීල් බලයට ආපු ගමන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ වෙන කොට සිදුකරමින් පැවති මහා පරිමාණ ව්‍යාපෘති නැවැත්තුවා.. පෝට් සිටි එක උදාහරණයක්... අන්තිමට පච වෙලා ඒ ව්‍යාපෘති නැවත ආරම්බ කරන්න සිද්ධ වුණා... හැබැයි ඒ වෙනුවට ලොකු ක්ලේම් එකක් චීන සමාගමට ගෙවන්න සිද්ධ උනා.... මේව මහ මෝඩ වැඩ කියලා මිනිස්සු හිතන්න පෙළඹුණේ.

      සිංගා තාලෙට රසීන් සාලී ඉස්සරාට දාගෙන රනිල් ගෙනපු ආර්ථික කමි‍ටුව වැඩ බැරි දාස එකක් උන බවයි පැවසෙන්නේ... මේවා ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද ඉකොනො?

      Delete
    5. මම මෙතැන කරන්නේ එජාපය වෙනුවෙන් හෝ රනිල් කියපු කරපු හැම දෙයක් වෙනුවෙන්ම පෙනී සිටීමක් නෙමෙයි. මම කතා කරන්නේ ආණ්ඩුවේ ආදායම් වියදම් සමතුලනය කර ගැනීම කියන නිශ්චිත කාරණය ගැන. මේ ඇතැම් විවේචන වලට පිළිතුරු දිය හැකි වුවත් මට එසේ කිරීම සඳහා කාලය යෙදවීමේ අවශ්‍යතාවයක් නැහැ. එය එජාපයේ වැඩක්.

      සමස්තයක් ලෙස මෙහි විවේචනය ආර්ථික වර්ධනය අඩු වුනා කියන එකනේ. පසුගිය ආණ්ඩුවේ නායකයෝ මුලදී හා පසුව මොනවා කිවුවත් යහපාලන ආණ්ඩුව බලයට පත් වන වෙලාවේ තිබුණු තත්ත්වය අනුව කළ යුතුව තිබුණු දෙය කෙටිකාලීනව ආර්ථික වර්ධනය පාලනයක් සහිතව අඩු වෙන්න ඉඩ හරිමින් අස්ථාවරව තිබුණු රාජ්‍යමූල්‍ය තත්ත්වය ස්ථාවර කර ගැනීමයි . එසේ නොකළානම් එක වර කඩා වැටීමක් වෙනවා. crash landing එකක් වලක්වන්න soft landing එකකුයි අවශ්‍ය වෙලා තිබුණේ. යහපාලන ආණ්ඩුව කාලයේ එය සිදු වුනා. රජයේ වියදම් අඩු කරන එකත් ආර්ථිකය වර්ධනය කරන එකත් දෙකම එක වර කළ නොහැකියි. ආර්ථිකය වර්ධනය ගැන රජයකට හිතන්න පුළුවන් වෙන්නේ ආදායම් හා වියදම් අතර පරතරය ස්ථායී කර ගත්තට පසුවයි. නැත්නම් දැන් කරනවා වගේ මුළු කාලයම යොදවන්න වෙන්නේ ණය හොයන්න.

      ඊළඟට ඔබ කියන්නේ රනිල් රාජ්‍ය ආයතන වලට බලපෑම් කළා කියන එකනේ. වාණිජ බැංකු, ඊපීඑෆ් / ඊටීඑෆ් වැනි අරමුදල් රජය භාරයේ තියෙන තුරු ඔය වගේ ප්‍රශ්න වලක්වන්න බැහැ. දැන් ඔය ඊටත් වඩා ලොකුවට ඔය බලපෑම් වෙන්නේ. තමන්ගේ සල්ලි නොවන නිසා ඕනෑ කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවන්. දැන් ආණ්ඩුව වෙනුවට අලුත් ආණ්ඩුවක් ආවත් ඔය වැඩේ ඔය විදිහටම වෙයි.

      ස්ථාවරව තිබුණු ශ්‍රේණිගත කිරීම් පහළ ගියේ සිරිසේන/රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය නිසා කියන එක ඉතාම පැහැදිලි හා නිශ්චිත කරුණක්නේ.

      "The decision to downgrade the rating to B2 is driven by Moody's view that ongoing tightening in external and domestic financing conditions and low reserve adequacy, exacerbated most recently by a political crisis which seems likely to have a lasting impact on policy even if ostensibly resolved quickly"

      Delete
    6. //සමස්තයක් ලෙස මෙහි විවේචනය ආර්ථික වර්ධනය අඩු වුනා කියන එකනේ. //

      නැහැ ඒක නෙමෙයි 2015 - 2018 කාලයේ සමස්තයක් වශයෙන් ලංකාවෙ ආර්ථිකය බොහෝ ක්ෂේත්‍රවල දැඩි පසුබෑමක් ඇති කළා. මේ ගැන විස්තර පැරණි 2016/ 17 සහ 18 මැද භාගයේ පත්වූ පුවත් පත් වාර්තා බැලුවාම ඉතාමත් පැහැදිලි කරුණක්. ආර්ථික වර්ධනය අඩු වුණාට කමක් නැහැ රජයේ වියදම් අඩුකර විවිධ මූල්‍ය අර්බුද හමුවේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි වුණා නම්. නමුත් එහෙම දෙයක් වුණේ නෑ.


      ///ස්ථාවරව තිබුණු ශ්‍රේණිගත කිරීම් පහළ ගියේ සිරිසේන/රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය නිසා කියන එක ඉතාම පැහැදිලි හා නිශ්චිත කරුණක්නේ.///

      මේක ඉතාමත් විසුලු සහගත කතාවකි. ඔය රේටින් නම් දේශපාලනික ඒවා කියමු. එතකොට ඔවුන් අකමැති කණ්ඩායමක් බලය අත්පත් කරගෙන නිසා එහි ශ්‍රේණිගත කිරීම් පහළ දැම්මා කියමුකො.

      ඒත් බලන්න මේ ආචාර්ය ඩබ් ඒ වීරවර්ධන 2018 මැද රාජපක්ෂ කුමන්ත්‍රණ වලට ගොඩක් කලින් කියපු මේ කතා?

      https://www.bbc.com/sinhala/sri-lanka-44395920.amp

      එතකොට මේ බලන්න

      https://www.bbc.com/sinhala/sri-lanka-43072970

      මේවා 2018 මුල සහ මැද.

      ඒ වගේම 2016 ලංකාවෙ ආර්ථිකය ගැන ඔබට අදහසක් නැහැ වගේ කියලා කියන්න පුළුවන්.

      මේ ගැන 'ඉකොනොමි නෙක්ස්ට්' මූල්‍ය සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න වාර්තා කළ පරිදි

      'පහුගිය 2015 වසරේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව බලයට පත් වීමත් සමග ලබා දුන් ආනයනික භාණ්ඩ සඳහා වූ විශාල පාරිභෝගික සහන (බදු සහන සහ රජයේ සහනාධාර) සහ රාජ්‍ය සේවයේ ලක්ෂ විස්සක් පමණ සේවකයන්ට රුපියල් දස දහසේ වැටුප් වර්ධකය සඳහා දැරීමට සිදු වූ අධික වැය වැට් බදු ඉහළ නැංවීම කෙරෙහි බලපෑ එක් ප්‍රධාන සාධකයක් බව පෙන්වා දෙමින් 'ඒක ප්‍රධාන හේතුවක්. තමාගේ වියදම් සහ ආදායම් කළමනාකරණය කරන්න බැරි වීම. ඒ සමග අයවැය හිඟය ඉතාමත් සීග්‍ර වශයෙන් වැඩි වුනා' යයි සඳහන් කළා.

      එසේ ජනතාවට සහන ලබා දීමෙන් අනතුරුව බදු හරහා රජයේ වියදම් සපයා ගත නොහැකි වූ බැවින් පසුගිය 2015 සහ 2016 වසරවලදී ආණ්ඩුවට විශාල ප්‍රමාණයක් මුදල් අච්චු ගැසීමට සිදු වූ බවයි මාධ්‍යවේදී අසන්ත සිරිමාන්න පෙන්වා දෙන්නේ.

      2015 සහ 2016 අවුරුදු වල රාජ්‍ය වියදම් ඉතාමත් සීග්‍ර ලෙස වැඩි කළා. වැටුප් , විශ්‍රාම වැටුප් , සමෘද්ධිය ආදිය වැඩි කළා. නමුත් ඒ සඳහා වියදම් කරන්න බදු මුදල් නැහැ. ඒ නිසා 2015 සහ 2016 වසරවල සෑහෙන කාලෙකින් මුදල් අච්චු ගැහුවා. ඒ නිසා රුපියල ඉතා වේගයෙන් කඩා වැටුණා' යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.

      කෙසේ වෙතත් පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ ලබා ගත් අධික ණය හේතුවෙන් වැට් බද්ද 11% සිට 15% දක්වා වැඩි කිරීමට සිදුවූ කතාව වක්‍ර සිදුවීමක් විය හැකි වුවත් ඍජු සිදුවීමක් නොවන බව ඔහු පැවසූවේ.

      Delete
    7. //නැහැ ඒක නෙමෙයි 2015 - 2018 කාලයේ සමස්තයක් වශයෙන් ලංකාවෙ ආර්ථිකය බොහෝ ක්ෂේත්‍රවල දැඩි පසුබෑමක් ඇති කළා//

      ඉතිං ඕක තමයි ආර්ථික වර්ධනය අඩු වීම කියන්නේ.

      //ආර්ථික වර්ධනය අඩු වුණාට කමක් නැහැ රජයේ වියදම් අඩුකර විවිධ මූල්‍ය අර්බුද හමුවේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි වුණා නම්. නමුත් එහෙම දෙයක් වුණේ නෑ.//

      වුනාද නැද්ද කියන්න පදනමක් තිබිය යුතුයි. වසර ගණනාවක් එක දිගට තිබුණු ප්‍රාථමික හිඟය ප්‍රාථමික අතිරික්තයක් කිරීම කියන්නේ රාජ්‍යමූල්‍ය කළමනාකරණය ස්ථාවර කිරීමක්.

      //https://www.bbc.com/sinhala/sri-lanka-44395920.amp

      එතකොට මේ බලන්න

      https://www.bbc.com/sinhala/sri-lanka-43072970//

      ඔය ලිපි වල තිබෙන මම කියන දේවල් හා එකඟ නැති කරුණු මොනවාද කියලා කියන්න. එවිට පිළිතුරු දෙන්නම්.

      //2015 සහ 2016 අවුරුදු වල රාජ්‍ය වියදම් ඉතාමත් සීග්‍ර ලෙස වැඩි කළා.//

      ඔය ගැන මම ඕනෑ තරම් කතා කරලා තියෙනවා. මම හිතන්නේ එකම දේ ගැන නැවත නැවත කතා කරන්න කාලය යොදවන එක තේරුමක් නැහැ. කරුණාකර ඉහත ලින්ක් එකක් දමා තිබෙන "ප්‍රාථමික හිඟය" ලිපිය කියවන්න. මේ එයින් උපුටා ගත් කොටස් කිහිපයක්.

      "පසුගිය කාලය රජයේ ආදායම් වලට සාපේක්ෂව වියදම් අඩු වූ කාලයක්. එවැනි කාලයක් ලංකා ඉතිහාසයේ මෑතකදී තිබුණේම නැහැ. 1956 සිට 2016 දක්වාම ලංකාවේ රජයේ ප්‍රාථමික අයවැය ශේෂය ධන අතට හැරුණේ එකම එක වසරකදී පමණයි. ඒත් යාන්තමින්. එහෙත්, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික ශේෂය ධන අතට හැරවීමට පසුගිය ආණ්ඩුව සමත් වුණා. අප පසුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි හා පෙනී සිටින ප්‍රධානම හේතු අතරින් එකක් වන්නේ මේ වෙනසයි. පසුගිය ආණ්ඩුව විසින් කළ කැප කිරීම් නිසා මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම දැන් ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. විය යුත්තේද එයයි."

      "යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම දේශපාලන උපාය මාර්ගයක් ලෙස රාජ්‍ය සේවක වැටුප් විශාල සේ වැඩි කළ බවත් කවුරුත් දන්නා දෙයක්. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී රජයේ ප්‍රාථමික අයවැය ශේෂය පෙර නොවූ විරූ තරම් (නාමික රුපියල් අගය අනුව) ඉහළ ගියා. එසේ වුවත්, ඉන් පසුව එම ආණ්ඩුව රජයේ ආදායම් වියදම් නිසි සේ කළමනාකරණය කළා. පසුගිය 2018 වසරේදී රජය ඉපැයූ ආදායමෙන් රුපියල් මිලියන 91,421ක් ඉතිරි කළා."

      Delete
    8. CP-C

      //දැන් මේ යන තත්ත්වය අනුව ලංකාවේ ආර්ථිකය එහි 'ආර්ථික එන්ට්‍රොෆිය " වැඩි කරගෙන ඉවරද?//

      පැහැදිලිවම නැහැ. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 60,000ක් පමණ. ලංකාවේ ඩොලර් 4,000කට අඩුයි. ඒ දෙක සංසන්දනය කළත් ආදායම 15 ගුණයකින් වැඩි කර ගැනීමේ විභවයක් තියෙනවා. නමුත්, සල්ලි අච්චු ගහලා එය කරන්න බැහැ. මුදල් සැපයුම දෙගුණ කළ විට බඩු මිලද දෙගුණ වෙනවා. නාමික ආදායමද දෙගුණ වෙනවා. නමුත්, සැබෑ (මූර්ත) ආදායම වැඩි වෙන්නේ නැහැ. සැබෑ ආදායම වැඩි වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වී මූර්ත නිෂ්පාදිතය වැඩි වීමෙන්. පොල් ගෙඩි ගණන වෙනස් නොවී පොල් ගොඩේ නාමික වටිනාකම පමණක් වැඩි වීමෙන් වැඩක් වෙන්නේ නැහැ.

      Delete
  4. දැන් පේන විදියට ඉස්සර 1970 විතර පටන් ගත්ත සිරිමවෝගෙ ක්‍රමය හොදයි වගේ නේද? ජේ ආර් සහ රාජපක්ෂ කල්ලිය ගෙනා ක්‍රම වලට වඩා? සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලය තුළ එකපාරට ආනයන සේරම නවත්තලා ගොවිතැන් කරලා රට සරුකරන්න කියලා හාල් පොලු මිරිස් පොලු නොදා හිටියනම්.... ක්‍රමවත්ව ආනයන පාලනය කරලා කෘෂිකර්මය දියුණු කරානම්.. ඔබට උනත් ඉකොනො ඇමරිකානු එක්සත් ජනපදයට යන්න අවශ්‍ය නෑ ලංකාවෙ ඉතා ඉහළ මට්ටමක ඉන්න තිබුනා නේද? ජේ ආර් හොදයි කියනවා නෙවෙයි.... ඔහු හදුන්වාදුන්නෙ ආනයන වලට වල්බූරු නිදහසක් තියන economy of scale එක අතින් ඉතාමත් දුර්වල ලංකාවෙ දේශීය ව්‍යාපාර වලට කෙළවෙන ආනයනය වලට වාසි සහගත අපනයන දුර්වල වූ වෙළද ආර්ථික ක්‍රමයක්.... ඒකෙ හොද නරක දෙකම 50% බැගින් තියෙනවා.... හරියට අන්තර්ජාලය වගේ.... වඩා හොදදේ වටහාගෙන වැඩ කලොත් හොද ප්‍රතිපල තියෙයි... මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?

    ReplyDelete
    Replies
    1. සමගි පෙරමුණු ක්‍රමය කිසිසේත්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. චීනයේ සිට කියුබාව දක්වා රටවල් වලට පහු වී හෝ මේ ක්‍රමය අසාර්ථක බව පැහැදිලි වී තිබෙනවා. ජේආර් ආර්ථිකය විවෘත කිරීම ඉතා නිවැරදියි. වැරැද්ද විවෘත කළ ආර්ථිකය සමතුලිතව තබා නොගැනීමයි.

      Delete
  5. ඉකොනෝමැට්ටා බ්ලොක් අඩවිය පේස්බුක් එකෙන් දොට්ට දමා, උන්නාන්සේට අරියාදු කිරීම ගැන අපගේ අමනාපය ඒ කාට හරි මෙසේ දක්වා සිටිමු. ඉදිරියේදී නැවත මේක පේස්බුක් එකට එක්කාසු කරගන්නා මෙන් දක්වා සිටිමු. එසේ නොකරන්නේ නං අපගේ පේස්බුක් ගිණුම් අතහැර දැමීමට පවා සුදානම්ය.

    -ඉකොනොමට්ටා පාඨකරැල-

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඔබ වැනි අයගේ සහයෝගය ගැන ස්තුතියි. කිසියම් ප්‍රශ්නයක් වුවහොත් www.economatta.com වෙබ් ලිපිනය හරහා ඔබට අප සමඟ සම්බන්ධ වනු හැකි වෙයි. ඒ වගේම, අපේ වත්පොත් පිටු තහනම් වී නැහැ. එම පිටු වල පළ කළ ලින්ක් සහිත පෝස්ට් ඉවත් කිරීමයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා අවශ්‍ය කෙනෙකුට වත්පොත් පිටු හරහා අප සමඟ සම්බන්ධ වීමට බාධාවක් නැහැ.

      Delete
  6. "inflation is taxation without legislation"

    ඉකොනො මේ ප්‍රකාශය පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි වැඩේ ආණ්ඩුව විසින් රටේ ආර්ථිකය දියුණුවට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හෝ වෙනත් කිසිම ප්‍රයෝජනවත් දෙයක් නොකරන අවස්ථාවක Taxation කියලා කියන්නේ මංකොල්ල කෑමක්. ඔය බදු ආදායම් වලින් රටටත් ජනතාවටත් ප්‍රයෝජනවත් ආයෝජනාත්මක සහ සුභසාධන වැඩ කරනවා නම් අවුලක් නෑ. නමුත් නාස්තිකාර වැඩ වලට සහ ආණ්ඩුවේ පැවැත්ම උදෙසා යොදාගන්නා උපක්‍රමයන් වලට වියදම් කරනවානම් ඒක අවුලක්. ලංකාවේ 2015 - 2019 කාලේ පැවති යහපාලන රජයට එරෙහිව ආපු ප්‍රබල චෝදනාවක් තමයි ඒක.

      Inflation හෙවත් උද්ධමනය මගින් ජනිත කරන්නේ ඊට ආසන්න වශයෙන් සමාන ප්‍රතිඵලයක්. එනම් බදු වැඩි කරනවා නම් මිනිස්සුන්ට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව (ශක්තිය) අඩු වෙනවා. උද්ධමනය ඉහළ මට්ටමක යන එකෙන් වෙන්නේ ඒත් ඒකම තමයි.

      එනම් මහජනයා රජයට භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත් උද්ධමනය නොපෙනෙන වක්‍ර බද්දක් ලෙස ක්‍රියා කරන බව තමයි මට හිතෙන්නෙ. ඉකොනොමැට්ටා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
    2. මූලධර්මයක් ලෙස රටේ මුදල් සැපයුම දෙගුණ කළොත් කාලයක් යද්දී එහි ප්‍රතිඵලයක් ලෙස බඩු මිල දෙගුණ වෙනවා. 100%ක බද්දක් හැම භාණ්ඩයකින්ම අය කළොත් වෙන්නෙත් මීට සමාන දෙයක්. (මේ කතා දෙකම ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ලබා දෙන සරල පිළිතුරු මිසක් 100%ක් නිවැරදි ප්‍රකාශ නෙමෙයි.) ඒ නිසා, මුදල් සැපයුම 20%කින් වැඩි කිරීම 20%ක බද්දක් ගැහීමට සමානයි. බදු හරහා ආදායම් ලබාගැනීම පාරදෘශ්‍ය ක්‍රමයක්. බදු වැඩි වෙද්දී මිනිස්සු විරෝධය දක්වනවා. ඒ නිසා මේ වැඩේ සීමාවක් නැතුව කරන්න බැහැ. සල්ලි අච්චු ගැහීම ඒ වැඩේම කරන කපටි ක්‍රමයක්. බදු ගැහීම පිහියක් පෙන්නලා මංකොල්ල කනවා වගේ වැඩක් (ඇමරිකාව වැනි රටකටනම් මේ කතාවත් අදාළ නැහැ. බොහෝ විට බදු ගෙවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මිනිස්සු) . සල්ලි අච්චු ගැහීම පොකට් ගහනවා වගේ වැඩක්. පොකට් ගහන සූක්ෂ්ම ආකාරය අනුව පොකට් ගහලා කියලා ඔබ දැන ගන්නේ අවුරුදු දෙක තුනකට පසුව.

      Delete
    3. // සල්ලි අච්චු ගැහීම පොකට් ගහනවා වගේ වැඩක්. පොකට් ගහන සූක්ෂ්ම ආකාරය අනුව පොකට් ගහලා කියලා ඔබ දැන ගන්නේ අවුරුදු දෙක තුනකට පසුව.//

      සල්ලි අච්චු ගැහීම ඒ වැඩේම කරන කපටි ක්‍රමයක්//

      මෙන්න මේ ප්‍රකාශ දෙක පොඩ්ඩක් පැහැදිලි ක්‍රන්නකෝ?

      මම කල්පනාකලේ මහ බැංකුවේ මුදල් මණ්ඩලේ ඉන්නෙත් මහාචාර්ය ,අචාර්ය අදී ආර්තික විද්‍යාවේ කෙලපැමිනි අය. නමුත් මේ සල්ලී අච්චු ගැහිල්ල නිසා වෙන බලපෑම එයාලා නොදන්නේ නෑනේ. එයාල ඊට වඩ සෑහෙන දැනුමක් තියෙන පුද්ගලයන් නේ. නමුත් සල්ලී අච්චු ගහනවා. ඒ නිසා ඕබේ ඉහත ප්‍රකශ පොඩි පැහැදිලි කිරීමක් කරන්න
      //

      Delete
    4. පසුගිය වසර මුල මහ බැංකුවටම ගිහින් ඔය ආර්ථික විද්‍යාවේ කෙළ පැමිණි අය වැඩ කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් දුන් අයත් හිටපු බව මතක ඇතිනේ. RMV එකේ සේවකයෝ ඔය වගේ උපදෙස් පිළිපැද්දේ නැති වුනාට මහ බැංකුවේ ඉන්න ආර්ථික විද්‍යාවේ කෙළ පැමිණි අය සාමාන්‍යයෙන් ඉහළින් එන උපදෙස් පිළිපදිනවා.

      Delete
    5. // සල්ලි අච්චු ගැහීම පොකට් ගහනවා වගේ වැඩක්. පොකට් ගහන සූක්ෂ්ම ආකාරය අනුව පොකට් ගහලා කියලා ඔබ දැන ගන්නේ අවුරුදු දෙක තුනකට පසුව.//

      සල්ලි අච්චු ගැහීම ඒ වැඩේම කරන කපටි ක්‍රමයක්//


      මෙනන මේ ප්‍රකාශ දෙක තරමක් පැහැදිලි කරන්න පුලුවන් ද කියල ඇහුවේ ?

      Delete
    6. මෙය විස්තරාත්මකව පැහැදිලි කිරීමට වෙලාවක් නැහැ. පහත ලිපි වල ආසන්න පිළිතුරක් ඇතැයි සිතනවා. පැහැදිලි නැති තැන් තිබේනම් අහන්න.

      රටකට ඕනෑ කොපමණ මුදලක්?

      මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි!

      හාල් මිල, ජීවන වියදම හා උද්ධමනය

      Delete
  7. 'අපි වගේ ඇමරිකාවේ ඉන්න කොන් වෙච්ච අයට ඔය වගේ සල්ලි උඩ පීනිල්ලක් බලා ගන්න ලේසියකට ඉඩක් නොලැබෙන නිසා"

    මහත්තයා, ඇමරිකන් සුද්දෝ ඇයි කල්ලොන්ට ගහන්නේ? ට්‍රම්ප් ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුම අවහිර උනේ ඇයි?

    ReplyDelete
  8. බදු වැඩි කරනවා කියල කියෙන්නේ තනිකර පුද්ගලික ව්‍යාවසායකයන්, ව්‍යාපාර සහ සාමාන්‍ය රැකියා කරන මිනිසුන්ගේ ආදායම් වලින් රජයට බලහත්කාරයෙන් මුදල් කොල්ලකෑම වගේ දෙයක්. බදු ගහන්නේ නැතුව ඒ සල්ලි ව්‍යාවසායකයන් හරි මිනිස්සු අතේ තියෙන තරමට පුද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා හිතකර බැවින් බොහෝවිට රටේ ආර්ථිකය දියුණුවට පත් වෙනවා කියලා හිතනවා.

    පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ අධික බදු බර නිසා 2017, 2018 සහ 2019 වසරවල විශාල ප්‍රමාණයක් ව්‍යාපාර කඩාගෙන වැටුනා. 2018 මුලදිම අපට කිව්වා 2018 අග වෙනකොට ලැබිය යුතු ආදායම් කලින්ම predict කරලා ඊට අදාළ බදු අවුරුද්දේ මුලදී ගෙවන්න ඕන කියලා. එතකොට ව්‍යාපාර කටයුතු කරන්නේ කොහොමද? අනෙක බැංකු ගිණුම් වල පොළී ආදායම්, ණය පොළී සහ ලීසින් වාරික මේ හැම දේකටම අධික ලෙස බදු අය කිරීම නිසා ලංකාවේ ජනයා අධික ලෙස කෝප වූ අයුරු ඔබ දන්නේ නැතුව ඇති. බදු නිසා මිනිස් ශිෂ්ටාචාරය පුරාම විශාල අරගල, විප්ලව, ආණ්ඩු පෙරලි ලොව පුරා සිදුවී තිබෙනබව හැමෝම දන්නවානේ.

    පහුගිය යහපාලන ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය කොච්චර හොඳද කියල කියන්න පුලුවන් ඒ කාලේ හිටපු අගමැතිට, හිටපු මුදල් ඇමතිවරු දෙදෙනාටම මැතිවරණයේදී සිදු වූ දේ බැලූ විට. (ඒ වුනාට සජිත් ප්‍රේමදාස සමග සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා වගේ අය ආර්ථිකය ගැන වඩාත් සාධනීය හැදෑරීමක් කරලා තියෙන බවත් රවී කරුණානායක වගේ අය සෑහෙන විනාශකාරී තීන්දු තීරණ ගෙන තිබෙන බව තමයි ගොඩක් අය මේ ගැන විශ්වාස කරන්නේ)

    ඉකොනොමැට්ටා ආර්ථිකමිතිය දන්න එකේ බදු පිට බදු ගහන්න කියලා මේ ආණ්ඩුවටත් කෙළවෙන්නේ නැතුව බදු වැඩි නොකර මේ ප්‍රශ්න විසඳා ගැනීමට වඩාත් නිර්මාණශීලී ක්‍රමවේදයක් යෝජනා කරන එකයි කරන්න ඕන.

    මට තේරෙන විදිහට නම් 2014 අග භාගය වන විට ලංකාවෙ දළ දේශිය නිෂ්පාදනය (nominal GDP එක) අමෙරිකානු ඩොලර් බිලියන 79ක් සහ එම කාලයේදී විදේශ බැඳුම්කර ණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් බැඳුම්කර ණය 6% වගේ තිබ්බ.

    ඒ වගේම පසුගිය යහපාලන රජය සමයේදී දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 83ක් වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 15ක් එනම් 10%ක් ඉක්මවූ වූ බවත් වාර්තා වලින් පේනවා.

    ඔය සේරම දේවල් හින්දා විදේශ ණය ලබා නොගෙන දේශීය ණය වලින් පමණක් ලංකාවේ ම ආර්ථික කටයුතු කරගෙන යාමට රජය තීරණය කරනු ලැබුව කියල තමයි වත්මන් රාජ පක්ෂ ආණ්ඩුවේ සට්ටැඹිරාළලා බයිල ගහන්නේ.

    කොහොම හරි මහ බැංකුවේ මාධ්‍ය වාර්තා වල හැටියට ගෙවිය යුතු ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් මෑතකදී ගෙවා ඇති බවත් ඒ අනුව ගෙවිය යුතු වන්නේ ඩොලර් බිලියන 14ක් පමණ බව තමයි මට මතක මේ මාසේ මුල වගේ මහ බැංකුවේ මාධ්‍ය නිවේදනයක දැක්ක විදිහට.

    ඒ වගේම ලංකාවේ ණය වලින් විදේශ ණය බැඳුම්කර ඇත්තේ 17%ක් පමණක් බවත් වාර්තා වල දැක්වෙනවා, මහ බැංකුවේ නිලධාරීන් පවා බොහෝ මත ඉදිරිපත් කරන්නේ මේ 17% සම්බන්ධයෙන් පමණයි. ඒ වගේම ද්වී පාර්ශවික ණය, වෙනත් රටවල්වලින් ලැබුණු ණය, බැදුම්කර ණය, බිල්පත් ණය යන දේවල් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. //ඉකොනොමැට්ටා ආර්ථිකමිතිය දන්න එකේ බදු පිට බදු ගහන්න කියලා මේ ආණ්ඩුවටත් කෙළවෙන්නේ නැතුව බදු වැඩි නොකර මේ ප්‍රශ්න විසඳා ගැනීමට වඩාත් නිර්මාණශීලී ක්‍රමවේදයක් යෝජනා කරන එකයි කරන්න ඕන.//

      මම බදු පිට බදු ගහන්න කියලා කිසිසේත්ම යෝජනා කරන්නේ නැහැ. බදු ගැහීමට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධනම් කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. බදු ආදායමට වඩා වැඩියෙන් වියදම් නොකිරීම. දරාගත හැකි මට්ටමට රජය කුඩා කිරීම. රජය විශාල කරන තරමට වැඩිවන වියදම වෙනුවෙන් බදු පිට බදු ගහන්න වෙනවා. සල්ලි අච්චු ගහනවා කියන්නේත් බදු ගැහීමක්ම තමයි.

      Delete
    2. //මහ බැංකුවේ නිලධාරීන් පවා බොහෝ මත ඉදිරිපත් කරන්නේ මේ 17% සම්බන්ධයෙන් පමණයි.//

      ලංකාවේ රජය විසින් ලබා ගෙන තිබෙන විදේශ ණය සම්බන්ධ සැබෑ අවදානම නිරූපණය වෙන්නේ ස්වෛරීත්ව බැඳුම්කර පොලියෙන්. ඒ ගැන වැඩියෙන් කතා කරන්නේ ඒ නිසයි. ඊට වඩා අඩු පොලියකට ණය දෙන කෙනෙක් එසේ කරන්නේ වෙනත් පරමාර්ථ ඇතුව. එවැනි අඩු පොලී ණය වල සැඟවුණු අවදානමක් හෙවත් "සැඟවුණු මිලක්" තිබෙනවා. උදාහරණයක් විදිහට දේශපාලනික බලපෑමක්. එය මූල්‍යමය මිලක් නෙමෙයි. ස්වෛරීත්ව බැඳුම්කර පොලියෙන් නිරූපණය වෙන්නේ මූල්‍යමය මිල. එය පැහැදිලි දර්ශකයක්.

      Delete
  9. 'අප ලිවුවත්, නොලිවුවත් සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵල ඇස් පනාපිට පෙනෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ'.
    බොහෝ අය තේරුම් ගන්නෙ නැති දෙයක් තමයි Real friends tell you the ugly truth, not pretty lies කියන දෙය.

    ReplyDelete
  10. "2020 පෙබරවාරි අවසානයේදී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 78ක් පමණයි. 2021 පෙබරවාරි අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 810ක්."
    මේකෙ තේරුම රුපියල් භාවිතා කරන්න පටන්ගත්තු දවසේ ඉදන් 2020 පෙබරවාරි වෙනකම් ලංකාවේ සංසරණයවන මුදල් ප්‍රමානය බිලියන 78යි කියන එකද?

    ReplyDelete
    Replies
    1. නැහැ. මෙයින් අදහස් වෙන්නේ පසුගිය වසර තුළ රජය විසින් අලුතෙන් මහ බැංකුවෙන් රුපියල් බිලියන 730ක පමණ ණය අරගෙන තියෙනවා කියන එකයි.

      මුදල් සැපයුම පිලිබඳ අර්ථදැක්වීම් කිහිපයක් තිබෙනවා. කොයි එක ගත්තත් සංසරණය වන කාසි හා නෝට්ටු කියා කියන්නේ එක් කොටසක් පමණයි. ඒ වගේම, මහ බැංකුව සංසරණයට මුදල් එකතු කරන එකම ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම නෙමෙයි. ඩොලර් මිල දී ගත් විටත් රුපියල් එළියට එනවා. නමුත්, එවිට එළියට දැමූ රුපියල් වලට ගැලපෙන වටිනාකමක ඩොලර් මහ බැංකුවේ තිබෙන නිසා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට සාපේක්ෂව උද්ධමන අවදානමක් නැහැ. රුපියල් එළියට දමන්නේ ඩොලර් අරගෙන පමණක්නම්, මූලධර්මයක් විදිහට, ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි වෙන්නේ නැහැ.ඒ වගේම මහ බැංකුව සංචිත වල තිබෙන ඩොලර් විකුණන විට රුපියල් ඇතුළට ගැනීමක් සිදු වෙනවා. එයින් මුදල් සැපයුම අඩු වෙනවා. රජයට ලබා දී තිබෙන මුදල් වලින් කොටසක් එසේ ඇතුළට ආ රුපියල්. වෙනත් විදිහකින් කිවුවොත් රජය ණය ගෙවන්න මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගෙන තිබෙනවා. ඒ ඩොලර් වෙනුවෙන් රුපියල් වලින් ගෙවා තිබෙනවා. ඒ ගෙවපු රුපියල් නැවත රජය විසින්ම ලබා ගෙන තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ගත්තහම සංචිත වල ඩොලර් අඩු වී තිබුණත් ඊට සමානුපාතිකව මුදල් සැපයුම අඩු වී නැහැ. හරියටම ප්‍රමාණය දන්නේ නැතත් මේ විදිහට ඩොලර් විකුණා ලබාගත් රුපියල් වලට අමතරව තවත් අමතර රුපියල් මුද්‍රණය කර රජයට ලබා දී තිබෙන බව පැහැදිලියි. රුපියල් බිලියන 730 මේ කොටස් දෙකේම එකතුවයි. පසුගිය වසරේ ඩොලර් බිලියන 2.5ක් පමණ සංචිත විකුණා තිබෙන සේ සැලකුවොත් රුපියල් වලින් බිලියන 500ක් පමණ. ඉතිරි කොටස අලුතින්ම අච්චු ගැසූ මුදල්.

      Delete
    2. //
      ඒ ඩොලර් වෙනුවෙන් රුපියල් වලින් ගෙවා තිබෙනවා. ඒ ගෙවපු රුපියල් නැවත රජය විසින්ම ලබා ගෙන තිබෙනවා.//

      // ඒ ගෙවපු රුපියල් නැවත රජය විසින්ම ලබා ගෙන තිබෙනවා. //

      ඒ කියන්නේ රජය බැංකුවෙන් ඩොලර් මිලදී අරන් නෑ කියන එක නේ??


      අනිත් ප්‍රශ්නේ තමා ,රජය සහ මහ බැංකුව කියන්නේ එකක් ද ? එඑහෙම නැත්නම් දෙකක් ද?

      Delete
    3. //ඒ කියන්නේ රජය බැංකුවෙන් ඩොලර් මිලදී අරන් නෑ කියන එක නේ??//

      ඒ වගේ දෙයක් තමයි. නැති වූ ඩොලර් වෙනුවෙන් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් ලැබී තිබෙනවා. ඩොලර් සංචිත ආයෝජනය කර ලැබිය හැකිව තිබුණු ඩොලර් පොලී ආදායම රටට (මහ බැංකුවට) අහිමි වී තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් වල පොලිය රජය විසින් මහ බැංකුවට ගෙවිය යුතුයි. එවිට මහ බැංකුවේ රුපියල් ආදායම් වැඩි වී ලාබ වැඩි වෙනවා. ඒ ලාබ අවසානයේදී මහා භාණ්ඩාගාරයට යනවා. ඒ කියන්නේ රජය ඇත්තටම පොලියක් ගෙවන්නේත් නැහැ කියන එකයි.


      //අනිත් ප්‍රශ්නේ තමා ,රජය සහ මහ බැංකුව කියන්නේ එකක් ද ? එඑහෙම නැත්නම් දෙකක් ද?//

      දෙකක්. රජයක් නඩත්තු වෙන්නේ බදු ආදායම් වලින්. රජයකට සම්පත් මැවීමක් කරන්න බැහැ. රජයක් හැම විටම කරන්නේ එක් අයෙකුගේ දෙයක් අරගෙන වෙනත් අයෙකුට දෙන එක පමණයි. ඒ අතර ඔය වැඩේ කරන එක වෙනුවෙන් ගානක් තියා ගන්නවා.

      කිසියම් රටක සල්ලි අච්චු ගැහීම මහ බැංකුවක් විසින් කරන වැඩක්. එහෙත් ලංකාව වගේ රටවල මහ බැංකුවකට එතරම් ස්වාධීනත්වයක් නැහැ. ඒ නිසා රජයේ උවමනාවට ඕනෑවට වඩා සල්ලි අච්චු ගසා රජයට දෙන්න වෙනවා. උද්ධමනයට හේතුව එයයි. අවශ්‍ය පමණට පමණක් සල්ලි අච්චු ගහනවානම් උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ.

      Delete
  11. ඊකෝනො,

    ඔබ මේ පෝස්ට් එක සහ කලින් පෝස්ට් එකේත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හරහා මේ දවස් ටිකේ දිගින් දිගටම දක්වපු කරුණු කාරණා තමයි:

    මේ ගැන සිංහලෙන් හොඳින්ම ලියා ඇත්තේ ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා නේද? මොකද ඔහු මීට වඩා හොඳින් මේ ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ මේක බලන්න;

    https://bit.ly/2ZSFKFW


    කොහොම උනත් මම නම් හිතන්නේ අප 1970 සිරිමාවෝ ගේ පම්පෝරිය, ප්‍රේමදාස පම්පෝරි, 2010 රාජපක්ෂ පම්පෝරි හෝ රනිල්ගේ 2017 සහ දහ අටේ කයිවාරු ගසන එකට වඩා මේ අවස්ථාවේ හැටියට රට ගොඩ ගැනීමට උත්සහ කරන එක ගැන සහ ඒ සඳහා කළ හැකි දේ ගැන අදහස් යෝජනා ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා ගේ පාලනය 2017 සහ 18 අග වන විට ලංකාවෙ කොයිතරම් නම් පිරිසකට එපා වී පිරිහීමකට ලක් වුණාද කිව්වොත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවා ඔහුගේ ජන්මාන්තර සතුරා වූ මහින්ද රාජපක්ෂ නමැත්තාව අගමැති කර හෝ රනිල් එළවීමට කටයුතු කළා. ඒ කාලයේ ඡන්ද ප්‍රතිඵල වලින් ඒක ඉතාමත්ම පැහැදිලියි.

    අනිත් එක ඔබ කියනවා නම් ඒක උනේ එක්සත් ජාතික පක්ෂයේ මාකටින් වල අවුලක් කියා, ඒක ලොකු විහිළුවක්.

    එක්සත් ජාතීක පක්ෂයේ මාධ්‍ය මේ ගැන ඉතා බලසම්පන්නව දීප ව්‍යාප්තව දැවැන්ත ප්‍රචාරණය ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළා. ඊට අමතරව Vision 2025, ගම්පෙරළිය ඇතුළු ව්‍යාපෘති හරහා මේ ගැන ඔබ දක්වන අදහස් එලෙසම බොහෝ දුරට ප්‍රචාරණය කළා. හරියට ඔබ ලියූ බැඳුම්කර සීරීස් එක සහ ඒ දවස්වල ලංකාවෙ මැතිවරණ ගැන කළ පුරෝකථනයන් වගේ කවුරුත් පිළිගන්න සූදානම් වුණේ නෑ නිකම් විහිළුවක් බවට පත්ව නිමා වී ගියා. ඒ සඳහා ජාතික රූපවාහිනියෙන්, අයි ටී එන් එකේ, ලක්හඬ රේඩියෝවේ, ගුවන් විදුලි සංස්ථාවේ පැය ගණන් දවස් ගණන් පැහැදිලි කිරීම් සහ ලේක් හවුස් පුවත් පත් රැසක් පිටු ගණන් ආටිකල් පළ කළා. ටී එන් එල්, සිරස ඇතුළු සියලු ටීවී එෆ්එම් නාලීකා රජයේ මුදල් අති විශාල මුදලක් වියදම් කරලා පෞද්ගලික නාලීකා හරහාද දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියා. නමුත් ජනතාව ඒවා පිළි ගත්තේ නෑ කුමක් හෝ හේතුවක් නිසා. ඊට පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂයේ මාකටින් වල අවුලක් කියා එජාපයේ අයම මාධ්‍ය හරහා ඔය කතාව කිව්වෙ. මට තේරෙන විදිහට ජනතාව තුළ ඇති ආර්ථික විද්යා අදහස් අනුව තාර්කික පදනමකින් මේ කතාව පැතිරුණේ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. //මට තේරෙන විදිහට ජනතාව තුළ ඇති ආර්ථික විද්යා අදහස් අනුව තාර්කික පදනමකින් මේ කතාව පැතිරුණේ නෑ වගේ.//

      වෙන්න පුළුවන්. බැඳුම්කර සිදුවීම හා අදාළව ප්‍රචාරය කෙරුණු කතා වලින් පසුව එජාපය විසින් කියන දේවල් වලට රටේ පිළිගැනීමක් තිබුණේ නැහැ.

      Delete
  12. සල්ලී අච්චු නොගහ ,අදායම් උපද්දනවා කියන්නේ අර මුදල් මැවීම කියන වැඩේ නේද? එතකොට නේද උද්ධමනය වැඩි නොවෙන්නේ ??

    ReplyDelete
  13. මේ දිනවල රුපියල් 29000 ට තිබු වැසිකිලි කොමඩ් එක 45000 ට ගිහින්. ටයිල් ගණන් ගිහින්. ගොඩනැගිල, ගෙවල් හදන්න ගන්න හැම දේම වගේ ගණන් . ඇණයක් ගන්න තැනක් නැහැලු. (මේ එළවලු ආදී අනිත් ඒවා ගණන් යන එක ගැන නොකියනවා නමෙයි. ආණ්ඩුව කියනවලු සිය රටදේ සිරි සැප දේ කියල ලංකාවේ නිපදවන්නලු. එහෙම කෙනෙක් දෙන්නෙක් ඉන්නවලු. ආනයනය නැවැත්වුවේ ඒකලු . නමුත් ඇත්ත තත්වය නම් ණය සර්විස් කරන්න තිබ්බ විදේශ විනිමය සංචිතය ඉවර වෙලා බඩු ආනයන කරන්න සල්ලි නැතිවීම නේද . ඉහත ඇනෝ ලා වගේ අය සිරිමාවෝ ගැන කතා කරන්නේ එනිසා වෙන්න ඇති නේද .

    ReplyDelete
    Replies
    1. //නමුත් ඇත්ත තත්වය නම් ණය සර්විස් කරන්න තිබ්බ විදේශ විනිමය සංචිතය ඉවර වෙලා බඩු ආනයන කරන්න සල්ලි නැතිවීම නේද//

      ආනයනය කරන්න ඩොලර් නැති වුනාම කොහොමටත් සියරටේ දේ සිරිසැප දේ තමා. ඔය විදිහටම සල්ලි අච්චු ගහන එකත් හිරවෙන තැනක් එනවා.

      Delete
    2. @ Ajith Dharma,

      //දිනවල රුපියල් 29000 ට තිබු වැසිකිලි කොමඩ් එක 45000 ට ගිහින්//

      ඔබ ඔය කියන්නේ වෝටර් ක්ලෝසට් ගැනද ස්ක්වොටිං පෑඩ් ගැනද?

      අප water closet ගැන බලමු. මේ දවස් වල සාමාන්‍යයෙන් හොඳ water closet එකක් රුපියල් දහදහසක විතර සිට ඉහළට මිලදී ගැනීමට පුළුවන්. ඔබට Rocell වැනි brand එකකින් හොඳ තත්ත්වයේ water closet එකක් රුපියල් 22,900 ක මිලට ගන්න පුළුවන් මේ බලන්න;

      https://rocell.com/en/bathware-product/efi-water-closet

      ඔබ ඔය කියන සිද්ධියේදී මම හිතන්නේ අදාළ වෙළෙන්දා සතු stock ඉවර වෙලා වෙන brand එකක මිල අධික එකක් ඔබව අන්දලා විකුණන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. සමහර විට යුරෝපීය නිෂ්පාදනයක් වෙන්න ඇති මිල අධික වීමට හේතුව.

      ඒ වගේම ආනයනය කරන භාණ්ඩ වල යම් හිඟයක් සහ මිලේ යම් ඉහළ යාමක් තියෙනවා. විශේෂයෙන් පහුගිය වසරේ මැද භාගය වන විට. නමුත් එහෙම ලොකු හිඟයක් නෑ බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල නම්. දුර පළාත් ගැන හරියටම දන්නෙ නෑ. ආනයනය කරන ලද භාණ්ඩ වෙනුවට ලෝකල් භාණ්ඩ (උදාහරණයක් ලෙස ටයිල් සඳහා ලංකා ටයිල්ස්, රොසෙල් වැනි) මිලදී ගැනීමට පුළුවන්. ඇණ හිඟය ඇති වී තිබෙන්නේ කුමන පළාතකද?

      ඔබට මහා පරිමාණයෙන් ඇණ අවශ්‍යයි නම් මේ බලන්න;

      A. ජපානයේ සිට ආනයනය කරන ලද Japanese nuts & bolts/jack, wheel bracers

      ඇණ 3mm to 18mm wholesale - වතුපිටිවල, නිට්ටඹුව

      Wholesale Islandwide delivery available with courier service
      As well (charges depend on service)

      Contact number - +94718482152
      3mm to 18mm

      B. ඒ වගේම සියලුම ඇණ වර්ග තොග ගැනුම්කරුවන් සදහා ආනයනය කිරීම, දුරකථන - +94719049005

      Standard and Non standard , Stainless steel , Galvanized , carbon steel , Bolts , nuts and Screw. විශේෂිත ඇණ වර්ග drawings අනූව නිර්මාණය කිරීම

      C. concreate nails එනම් කොන්ක්‍රීට් ඇණ තොග විකිණීමට;

      1" 1.5" 2" 2.5" 3" 4"

      අංකය: +94703295244

      D. සියලු ඇණ වර්ග 25% සිට 50% දක්වා discount සමග අවශ්‍ය තරම් තොග වශයෙන් ලබා ගන්න

      අංක 65, second lane, රත්මලාන

      දු.අංකය: 0777557410

      මේවායින් මහා පරිමාණයෙන් තොග ඇති තරම් ලබා ගන්න පුළුවන්.

      Delete
    3. ඇනෝ තුමා , බොහොම ස්තූතියි. මිනිස්සු ඕනෑකමින් බොරු කියනවද මන්ද? මම මේ විස්තර මට ඕක කිව්ව කෙනාට යැව්වා. එය තමයි හදන වැඩ කරන්නේ. මම ඔය කතාව තව කෙනෙකුගෙන් ඇහුවම ගොඩනැගිලි හදන්න අවශ්‍ය ද්‍රව්‍ය (ගෙවල් හදන්න) හිඟ බව සනාථ කළා . කොමෙන්ට් එක දැම්මේ ඊට පස්සේ.

      Delete
    4. මෙහෙමයි අජිත් ලංකාවේ මිනිස්සු දේශපාලනය නිසා ඉතාමත් දූෂිත ස්වභාවයකින් තමයි කටයුතු කරන්නේ. මම ලබපු අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියන්න පුළුවන්.

      මම 2011/ 12 කාලයේ ඇමරිකානු එක්සත් ජනපදයේ සිට ලංකාවේ පුනර්ජනනීය බලශක්ති බලාගාරයකට ආයෝජනය කරන්න ආයෝජකයන් සොයා ගත්තා. නමුත් මේ පිළිබඳව ඔවුන් ලංකාවේ තත්ත්වය තවත් සොයා දැන ගැනීමට එහි සිටි ලාංකීය සම්භවයක් ඇති අයගෙන් අසා ඇති අතර ඒ අය එක්සත් ජාතික පක්ෂයට හිතවත් අය. ඔවුන් එහිදී ලංකාවේ දේශපාලකයන් ඉතා දැඩි ලෙස කොමිෂන් ඉල්ලා සිටින බවට බොරු කියා එම ආයෝජනය ව්‍යර්ථ කළ අතර මේ නිසා අපට චීන ආයෝජකයන් සොයා ගන්න සිදු වුණා. ඕක තමයි ලංකාවේ විපක්ෂ වල කුජීත දේශපාලනය.

      ඒ වගේම 2015 - 2019 යහපාලන රජයේ සැලසුම් අතර පවා හොඳ යෝජනා තියෙනවා. නමුත් ඒ ආණ්ඩුව ජනතාවට සහන සලසන අවස්ථා වලදී විපක්ෂ හිතවාදී මිනිසුන් විවිධ අසත්ය ප්චාර ඇති කලා. ජාතිවාදී දේවල් වගේම ආර්ථික කරුණු කාරණා ගැනත්.

      දැන් නැවත රාජපක්ෂ රජයක් යටතේදී විපක්ෂ කණ්ඩායම් කටයුතු කරන්නේත් එම ආකාරයෙන් තමයි. ඔන්න ඕක තමයි ලංකාවේ අවුල තියෙන්නෙ.

      Delete
    5. ඒ වගේම මාගේ පුද්ගලික අත්දැකීම් වලින් තේරෙනව වරලත් වාස්තු විද්‍යාඥ්ඥයෙක් ඉදිකිරීමට සම්බන්ධ කර ගැනීමේ වාසිය. ඇතැම් අය සුලු මුදල් වාසියක් තකා කාට හරි කියල Drawing එකක් අන්ද ගන්නවා. ඒත් සමස්ත ඉදිකිරීම තුල ඔහුට වන අවාසිය විශාලයි. ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති හෝ නැතත් දක්ෂ පළපුරුදු කලින් ඉතා සාර්ථක අන්දමින් නිවාස සැලසුම් කර ඇති අය තෝරා ගැනීම අත්‍යවශ්‍ය වන අතර ගෙයක් හැදුවම අවුරුදු දහයකින් වයසට යනවය කියල කතාවක් (එනම් වසර දහයකින් මැචුවර් වන බවක්) ලංකාවේ තියෙනවානේ.

      ඒත් මගේ අත්දැකීම නම් නිසි වෘත්තීය උපදෙස් ලබා ගත්තම ගෙයක් හැදීම ඉතාම ප්‍රියමනාප අත්දැකීමක් වෙන බවයි.

      ඒ වගේම තමයි ඔබ ලියන කොළඹ ගමයා ලිපි පෙල අනර්ඝ සේම රසවත්.

      Delete
    6. //මෙහෙමයි අජිත් ලංකාවේ මිනිස්සු දේශපාලනය නිසා ඉතාමත් දූෂිත ස්වභාවයකින් තමයි කටයුතු කරන්නේ// ඇනෝතුමා පළමුවෙනි ප්‍රතිචාරයට එකඟයි.// ඔවුන් එහිදී ලංකාවේ දේශපාලකයන් ඉතා දැඩි ලෙස කොමිෂන් ඉල්ලා සිටින බවට බොරු කියා එම ආයෝජනය ව්‍යර්ථ කළ// හැබැයි එහෙම ප්‍රශ්නයක් ඇත්තටම මගේ මිතුරෙකුට ඇතිවුනා කියල එයා කියනවා. එක ආණ්ඩුවකට කරපු යෝජනාවක් කොමිෂන් ප්‍රශ්නයක් නිසා යට ගියා. ඊළඟ ආණ්ඩුව එනකන් ඉඳල ඒකට දැම්මම එතනත් ඒකම වුනා. ඉතින් ඇත්තම කියනවනම් ඔය දෙපැත්තම අගතිගාමී විධිහට කටයුතු කරනවා කියා හිතෙනවා. දෙවෙනි අදහසටත් ස්තූතියි.වස්තු විද්‍යාඥයන්ගේ උපදෙස් ගැනීම හොඳ දෙයක්. මම අදාල පුද්ගලයට කතා කලහම ඔබ කි දෙය සනාථ කළා. එතන ඒ ගණන් වැඩි කර කපටි කමක් කරනවා කියා ඔහුටත් හිතුනලු. නමුත් ධනවාදී රටක වෙන තැනකින් බඩු ගන්න පුළුවන් බව නොවැටහීම මටනම් ප්‍රශ්නයක්. ස්තූතියි ඔත්තුවට. ලිපි වලට කල පැසසුමට ස්තූතියි

      Delete
  14. "ලංකාව බැංකු පොලී අනුපාතය අඩු මට්ටමක පවත්වාගෙන යන්නේ සල්ලි අච්චු ගැසීම මගින්"

    ඉහත ප්‍රකාශය හරිද?

    මේ ප්‍රකාශයට අනූව සල්ලි අච්චු ගසන එක නැවත්තුවොත් පොලිය වැඩිවෙන්නේ කොහොමද?

    ඉදිරියේදී ඇතිවීමට යන්නේ අධික උද්ධමන කාලයක්නම් ජනතාව ලෙස අප ගතයුතු පියවර මොනවද? (බැංකුවේ සල්ලි රත්තරන් වලට මාරු කිරීම වගේ දේවල්)

    ReplyDelete
    Replies
    1. //මේ ප්‍රකාශයට අනූව සල්ලි අච්චු ගසන එක නැවත්තුවොත් පොලිය වැඩිවෙන්නේ කොහොමද?//

      රජයට කොහොමටත් ණය අවශ්‍යයි. සල්ලි අච්චු නොගහනවානම් ණය ගන්න වෙන්නේ වෙළඳපොළෙන්. නමුත් පවතින පොලියට අවශ්‍ය පමණ ණය ගන්න බැහැ. ඒ නිසා පොලිය වැඩි කරන්න වෙනවා.

      විවාදයට තුඩු දුන් බැඳුම්කර වෙන්දේසියේදී වුනෙත් මෙයයි. බිලියනයක ණය බිලියන 10 දක්වා වැඩි කළ විට පොලිය ඉහළ ගියා. (සිද්ධියට අදාළ වෙනත් අක්‍රමිකතා මේ කතාවට අදාළ නැහැ) මේ සම්බන්ධව ඇතැම් අයගේ තර්කය වුනේ සෘජු නිකුතු ක්‍රමයට බිලියන 10ක් ගන්න තිබුණා කියන එකයි. බිලියනයක් ගන්න මුදලට බිලියන 10ක් ගන්න බැහැ. එහෙම පුළුවන්නම් ඇයි දැන් සල්ලි අච්චු ගහන්නේ? වැඩි වැඩියෙන් ණය ගනිද්දී ගෙවන පොලියත් වැඩි කරන්න වෙනවා.

      //ඉදිරියේදී ඇතිවීමට යන්නේ අධික උද්ධමන කාලයක්නම් ජනතාව ලෙස අප ගතයුතු පියවර මොනවද? (බැංකුවේ සල්ලි රත්තරන් වලට මාරු කිරීම වගේ දේවල්)//

      සමාවෙන්න. මම බ්ලොග් එක හරහා පෞද්ගලික මූල්‍ය උපදේශන කරන්න කැමති නැහැ. උද්ධමන ප්‍රශ්නයක් ඇති වීමට විශාල ඉඩක් තිබුණත් එවැන්නක් ටිකෙන් ටික මිස එකවර වෙන්නේ නැහැ. ඊට පෙර විදේශ අංශයේ විශාල කඩා වැටීමක් විය හැකියි. මුලින්ම මිල ඉහළ යනු ඇත්තේ ආනයනික භාණ්ඩ වල.

      Delete
    2. එකොන් ඩෙවිල්ස් බැලුවද , ඔබ පවසන නිත්‍යානුකුල සහ න්‍යායගත ධනවාදය නොව බලය සමග එන බැංකු ආර්ථිකය හැන්ඩ්ල් කිරීම වැනි ධනවාදී ලෝකයේ සිදුවන දේ ගැන. මේවාත් විග්‍රහ කරන්න වෙනවා නේද //A worldwide financial conspiracy is discovered by a group of traders of a large investment bank.//මේක ප්‍රබන්ධයක් වුනාට සමහර දේවල හරියටම අරන් තියනවා.
      https://www.imdb.com/title/tt7939218/

      Delete
    3. අජිත් බැංකු බේල් අවුට් කිරීම ගැන කලිනුත් ප්‍රතිචාරයක් දමා තිබුණා. මම එයට පිළිතුරක් දුන්නේ නැහැ. නැවතත් මේ ගැන සඳහන් කර තිබෙන නිසා කෙටි පිළිතුරක් දෙන්නම්. (ඔය චිත්‍රපටයනම් බලලා නැහැ. මම හිතන්නේ බැලිය යුතු එකක්).

      ලංකාවේ මම කුඩා කාලයේ සිට ලබා තිබුණු අත්දැකීම් අනුව බැංකුවක රස්සාවක් ගැන දැනගෙන හිටියේ ඉතා හොඳ රස්සාවක් විදිහටයි. ලංකාව හා අදාළව මෙය බොරුවකුත් නෙමෙයි. ඇමරිකාව ලංකාවට වඩා පෝසත් රටක් නිසා මම ඇමරිකාවට එන්න පෙර ඇමරිකාවේ බැංකුවක පහළ මට්ටමක හෝ රැකියාවක් ඉතා හොඳ රැකියාවක් කියා හිතාගෙන හිටියා. නමුත්, ඇත්ත තත්ත්වය එහි අනෙක් පැත්ත.

      ඇමරිකාවේ බැංකුවක ටෙලර් කෙනෙකුට (කවුන්ටරයේ ඉන්න බැංකු සේවකයෙකුට) ලැබෙන්නේ වෝල්මාර්ට් වැනි තැනක ලැබෙන මට්ටමේ අවම වැටුපක්. මධ්‍යස්ථ වැටුප පැයකට ඩොලර් 15ක් පමණ. ඇමරිකාවේ බැංකු ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ ඉතාම අසීරුවෙන්. සමහර විට අනෙක් ධනවාදී සේ සැලකෙන රටවල තත්ත්වය වෙනස් ඇති.

      ඇමරිකාවේ හැම හන්දියකම වගේ බැංකු ශාඛා කිහිපයක් තිබෙනවා. බැංකු අතර විශාල තරඟයක් තියෙන්නේ. එංගලන්තයේදී මට බැංකු ගිණුමක් විවෘත කර ගන්න ලිය කියවිලි විශාල ප්‍රමාණයක් දෙන්න වුනා. යම් කාලයක් බලා ඉන්නත් වුනා. මම හිතුවේ ඇමරිකාවෙත් ඒ වගේ කියලා. එහෙත් ඇමරිකාවේ බැංකු අපේ පස්සෙන් එන්නේ. ගිණුම් විවෘත කරන අයට සල්ලිත් දෙනවා. තරඟය ඒ තරම්ම වැඩියි.

      දැනට ඇමරිකාවේ බැංකු 4.375ක් තිබෙනවා. කලකට පෙර 15,000ක් පමණ තිබුණා. ඇත්තටම මම හිතාගෙන හිටියේ 6,000-6,500 අතර කියලා. දැන් පරීක්ෂා කර බලද්දී තවත් 2000ක් පමණ අඩු වෙලා. තරඟය නිසා බොහෝ බැංකු වලට වෙළඳපොළේ රැඳී සිටීම අමාරුයි. වසරින් වසර බැංකු ගණන වේගයෙන් අඩු වෙන්නේ ඒ නිසා. ඒ වගේම, සමස්තයක් ලෙස ඇමරිකාවේ මූල්‍ය අතරමැදිකරණයේ බැංකු වල පංගුව ගොඩක් අඩුයි. අනෙක් හැම සංවර්ධිත රටකම වගේ බැංකු වල පංගුව ඉතාම විශාලයි. තරමක් පැරණි දත්ත අනුව ජර්මනියේ මූල්‍ය වෙළඳපොළෙන් 76%ක් හා ජපානයේ 78%ක් පාලනය කරන්නේ බැංකු. ඇමරිකාවේ 18%ක් පමණයි. දැන් තවත් අඩු ඇති.

      ලෝකයේ හැම රටකම තනි මහ බැංකුවක් හදද්දී ඒකාධිකාර වලට කැමති නැති නිසා ෆෙඩරල් සංචිත බැංකු පවා 12ක් වෙන වෙනම ස්ථාපනය කරපු රටක් ඇමරිකාව. ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය කියා කියන්නේ ඒකයි.

      බැංකු බේල් අවුට් කරන්නේ බැංකු අයිතිකරුවන් බේරගන්න නෙමෙයි. ධනවාදයේ මූලධර්ම අනුව අකාර්යක්ෂම ව්‍යාපාර වැසී යන්න ඉඩ දිය යුතුයි. ඕනෑම ව්‍යාපාරයක් බංකොලොත් වී වැසී ගියහම පාඩුව අයිතිකාරයින්ටයි. එහෙන් බැංකු හා අදාළව තත්ත්වය වෙනස්. බැංකු වල වත්කම් කියා කියන්නේ අනෙක් ව්‍යාපාර වල මෙන් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය නෙමෙයි. එම ප්‍රමාණය බොහෝ විට 5-10% අතර ප්‍රමාණයක්. ඉතිරි කොටස මිනිස්සුන්ගේ සල්ලි. බොහෝ විට දුප්පත් මිනිස්සුන්ගේ. බැංකු හරහා වැඩි වශයෙන්ම කෙරෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා ව්‍යාපාර වලට දෙන එකයි. බේල් අවුට් කරන්න අවශ්‍ය මට්ටමට එන කොට කොහොමටත් අයිතිකරුවන්ගේ වත්කම් නැති වෙලා. බැංකුව වහලා අයින් වෙන එක අයිතිකරුවන්ට වාසියි. බැංකු බේල් අවුට් කරන්නේ සල්ලි තැන්පත් කළ මිනිස්සු වෙනුවෙන් මිසක් අයිතිකරුවන් වෙනුවෙන් නෙමෙයි. ඒ වගේම මෙය ධනවාදයේ මූලධර්ම අනුව සිදුවන දෙයකුත් නෙමෙයි. තව ගොඩක් විස්තර ලියන්න පුළුවන්. මෙය ඉතාම කෙටි පිළිතුරක්.

      Delete
    4. // ඒ වගේම මෙය ධනවාදයේ මූලධර්ම අනුව සිදුවන දෙයකුත් නෙමෙයි// ඒක හරි. නමුත් මේකේ වෙන්නේ සහ වෙන්නේ ඉඩ තියෙන්නෙත් ධනවදයේම තමයි . නමුත් හරියට රෙගියුලේට් කරන්නේ නැති නිසා ස්ටොක් එක්ස්චේන්ජ් වල වෙන ප්‍රශ්න එක්කම එන දෙයක්. චිත්‍රපටිය වෙලාවක් තියනවනම් බලන්න

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...