වෙබ් ලිපිනය:

Showing posts with label රාජ්‍ය ණය. Show all posts
Showing posts with label රාජ්‍ය ණය. Show all posts

Sunday, February 13, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (පස්වන කොටස)

විණිමය අනුපාතය නිදහසේ තීරණය වෙනවානම් ආනයන වෙනුවෙන් කොයි තරම් විදේශ විණිමය වැය කළත් රටකට ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. මොකද ආනයන ඉල්ලුමට සරිලන ඩොලර් සැපයුමක් නැත්නම් ඩොලරයේ මිල ඉහළ යනවා. එවිට, ආනයන ස්වභාවිකවම සීමා වෙනවා. 2001දී විණිමය අනුපාතය පාවෙන්න ඉඩ දීමෙන් පසුව, 2001-2003 කාලයේදීත්, ඉන් පසුව 2015-2019 කාලයේදීත් භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් ලංකාව වැය කළ හැම ඩොලරයක්ම භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ලෙස හෝ ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට පැමිණි ඩොලර්. 

රාජපක්ෂ දශකය තුළ ලංකාවේ විදේශ බැරකම් ඉතා විශාල ලෙස ඉහළ යාමට හේතු වුනේ ණයට ගත් ඩොලර් වලින් විණිමය අනුපාතය පාලනය කිරීමයි. මෙහිදී විණිමය අනුපාතය පාලනය කිරීම තුළ ණයට ගත් ඩොලර් වලට අමතරව තවත් ඩොලර් රටට ආවා. ඒ ඩොලර් නිසා විණිමය අනුපාතය තව දුරටත් පහළ ගියා. තව තවත් ඩොලර් ණය ලෙස රටට ආවා. ණය ඉහළ ගියා.

එහෙමනම් 2015-2019 අතර කාලයේදීත් ඩොලර් ප්‍රශ්න මතු වුනේ කොහොමද? 

භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් අවශ්‍ය වූ ඩොලර් ප්‍රමාණය රටට ආවත්, 2015 වන විට එකතු වී තිබුණු විදේශ ණය වල වාරික ගෙවීමට හා පොලී ගෙවීමට තවත් ඩොලර් අවශ්‍ය වුනා. විණිමය අනුපාතය තවත් ඉහළ යාමට ඉඩ දුන්නානම් පරණ ණය වල පොලී ගෙවන්න අවශ්‍ය ඩොලර් වුවත් මිල දී ගන්න තිබුණා. එහෙත්, යහපාලන ආණ්ඩුව එසේ කළේ නැහැ. මම හිතන්නේ පැවති දේශපාලන වාතාවරණය එයට හේතු වෙන්න ඇති. එයට අමතරව එසේ කිරීමේදී මතුවන සාධාරණත්වය පිළිබඳ ගැටළුවක් ඇතුළු වෙනත් අතුරු ප්‍රශ්නද තිබෙනවා. 

කෝවිඩ් වසංගතය හා ආණ්ඩුවේ අසාර්ථක කෝවිඩ් මර්දන ක්‍රියාමාර්ග නිසා ආර්ථිකයට සිදු වූ හානිය හමුවේ වුවත් 2020 වසරේදීද මේ තත්ත්වය එළෙසම තිබුණා. එම වසරේදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,047කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 3,035කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 7,104කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 20,186ක්. භාණ්ඩ හා සේවා ආනයන වෙනුවෙන් රටින් පිටට ගියේ ඩොලර් මිලියන 18,271ක් පමණයි. වාහන ආනයනය පාලනය කිරීම නිසා ඩොලර් මිලියන 500කින් හෝ 600කින් පමණ ආනයන වියදම් අඩු වූ සේ සැලකුවත්, ආනයන පාලනයක් නැති තත්ත්වයක් යටතේ ආනයන වියදම් සඳහා අවශ්‍ය විය හැකිව තිබුණු මුළු ඩොලර් ප්‍රමාණයම රටට ඇවිත්. 

කෝවිඩ් නිසා රටේ ඩොලර් හිඟයක් ඇති නොවූ බව ඉහත සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට ඉතාම පැහැදිලියි. ඩොලර් මදි වුනේ ණය වාරික හා පොලී ආපසු ගෙවන්නයි. ඒ ණය 2004-2014 කාලයේ හෝ ඊටත් පෙර කාලයක ගත් ණය. කෙසේ වුවත්, 2021 වසරේදී විණිමය අනුපාතය පාලනය කිරීමට පටන් ගැනීම නිසා, දැඩි ආනයන පාලනය හමුවේ වුවත්, 2004-2014 කාලයේදී මෙන්ම, භාණ්ඩ හා සේවා ආනයන වියදම, භාණ්ඩ හා සේවා අපනයන වලින් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ඉපැයූ මුදල ඉක්මවා තිබෙනවා. 

පසුගිය 2021 වසර තුළ ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 20,637ක් වැය වී තිබෙනවා. සේවා ආනයන වෙනුවෙන් වැය වූ මුදලද මෙයට එකතු කළ විට එකතුව ඩොලර් මිලියන 24,000 ඉක්මවනවා විය හැකියි. මහ බැංකු අධිපති කබ්රාල් විසින් විමසන්නේ රටේ ඩොලර් නැත්නම් මෙපමණ මුදලක් වියදම් කළේ කොහොමද කියලයි. මේ කතාව බොරුවක්ම නෙමෙයි. 

ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් විසින් රටේ ඉතිරිව තිබෙන නිල සංචිත ප්‍රමාණය අනාගත ආනයන වියදම් සමඟ සසඳමින් ආනයන සඳහා ඩොලර් නැති වන දවස ගණන් හදනවා. එහෙත්, සෑම මසකම භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ලෙසත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙසත් රටට ඩොලර් එනවා. ඒ නිසා, සංචිත පහළට වැටී තිබීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ. කබ්රාල් කියන්නේ මේ කතාවයි. 

සෑම මසකම රටට කොහොමටත් ඩොලර් යම් ප්‍රමාණයක් පැමිණෙන නිසා වියදමට ඩොලර් මදිනම් ආනයන පාලනය හරහා රටට එන ඩොලර් රටින් යන එක සීමා කළ විට ප්‍රශ්නය විසඳෙන බව කබ්රාල්ගේ ප්‍රකාශය තුළ ගැබ්ව තිබෙන අදහසයි. ඇතැම් වාමාංශික ආර්ථික විද්‍යාඥයින් මේ අදහසෙහි සෘජු ප්‍රකාශකයින් වී සිටිනවා. උදාහරණයක් ලෙස රටට එන්නේ ඩොලර් මිලියන 20,000ක් පමණක්නම්, ආනයන සීමා කර රටින් පිටට යන ඩොලර් ප්‍රමාණයද ඒ මට්ටමටම සීමා කර ගත් විට සංචිත නැතිකම තව දුරටත් ප්‍රශ්නයක් වන්නේ නැහැ.

මේ විසඳුම තුළ නොදකින දෙය හෝ නොකියන දෙය වන්නේ විණිමය අනුපාතය වෙනස් වන්නට ඉඩ නොදී රට තුළ මුදල් සැපයුම වැඩි කරද්දී රටට එන ඩොලර් ක්‍රමයෙන් අඩු විය හැකි බවයි. ඒ වගේම, ආනයන පාලනය කළද ආනයන ඉල්ලුම ඉහළ යාම නිසා අවසාන වශයෙන් ඩොලර් රටින් යාම වැළැක්වීම අසීරු බවයි. 2021 සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණ තහවුරු කරනවා.

පසුගිය වසරේ රටට ආ සහ රටින් ගිය ඩොලර් ප්‍රමාණ පිළිබඳ සම්පූර්ණ දත්ත තිබෙන්නේ සැප්තැම්බර් අවසානය දක්වා පමණයි. එම නව මස තුළ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 8,934ක්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 1,833ක් හා ශ්‍රමික ප්‍රේෂණ හරහා තවත් ඩොලර් මිලියන 4,577ක් ලෙස ඩොලර් මිලියන 15,345ක් රටට ලැබී තිබෙනවා. ඒ අතර, දැඩි ආනයන පාලන හමුවේ වුවද, භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් 15,885ක් රටින් එළියට ගොස් තිබෙනවා. මේ අයුරින්, රටවැසියන් විසින් නූපයූ ඩොලර් වියදම් කිරීම 2015 වසරේ සිට 2020 වසර දක්වාම සිදු නොවූ දෙයක්. 

මුළු වසරම සැලකූ විට, භාණ්ඩ අපනයනයෙන් ඩොලර් 12,502ක් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් ලෙස, සේවා අපනයන ආදායම් හැර, ඩොලර් මිලියන 17,993ක් රටට පැමිණ ඇති අතර භාණ්ඩ අපනයනය වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 20,637ක් රටින් එළියට ගොස් තිබෙනවා. මේ අනුව, ඩොලර් මිලියන 2,644ක හිඟයක් තිබෙනවා. පළමු මාස නවය තුළ සේවා ගිණුමෙහි ඩොලර් මිලියන 886ක අතිරික්තයක් තිබීම සැලකූ විට වසර අවසාන වන විට මේ හිඟය පියවිය හැකි තරමේ අතිරික්තයක් සේවා ගිණුමෙන් ලැබෙන්න ඉඩක් නැහැ. සමානුපාතිකව සලකා එහි ඩොලර් මිලියන 1,181ක අතිරික්තයක් තිබුණේයැයි සැලකුවොත් තවත් ඩොලර් මිලියන 1,463ක හිඟයක් තිබෙනවා. වසර අවසානයේ සංචාරක කර්මාන්තයේ යම් පිබිදීමක් ඇති වූ නිසා මෙය මීට වඩා තරමක් අඩු විය හැකියි.

අධිපති කබ්රාල් කියන විදිහටම ආනයන වියදම් හා ණය ගෙවීම සඳහා යොදා ගත හැක්කේ දැනට රටේ තිබෙන සංචිත පමණක් නෙමෙයි. කවුරු හෝ එහෙම කියනවානම් එය විහිළු කතාවක් තමයි. සෑම මසකම රටට එන ඩොලර් ආනයන වෙනුවෙන් වගේම පරණ ණය ගෙවන්නත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. 2015-2020 අතර කාලයේදී ලංකාවේ රටවැසියන් විසින් "පරිභෝජනය කළ" ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් රටට ගෙනාවා. ඒ නිසා, පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගන්න හෝ සංචිත වැය කරන්න කිසිසේත්ම අවශ්‍ය වුනේ නැහැ. එසේ තිබියදීත් රටේ ඩොලර් හිඟයක් ඇති වුනේ 2015ට පෙර ලබාගත් ණය වල පොලී හා වාරික ගෙවන්න 2015-2020 කාලයේ රටවැසියන් විසින් ඉපැයූ ඩොලර් වලින් පරිභෝජන වියදම් වලින් පසු ඉතිරි වූ කොටස ප්‍රමාණවත් නොවූ නිසයි.

දැන්, 2021දී, නැවතත් පරිභෝජන වියදම් වෙනුවෙන් ණය ගන්න තැනට රට වැටී තිබෙනවා. එයට හේතුව අලුත් විදේශ විණිමය ප්‍රතිපත්තියයි. රටවැසියන් විසින් උපයන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් ආනයන වෙනුවෙන් රටෙන් එළියට යනවා කියන්නේ විදේශ ණය නොගන්නේනම් සංචිත වැය කරන්න වෙනවා කියන එකයි. සංචිත පහළ බැසීම ප්‍රශ්නයක් වන්නේ මේ සන්දර්භය තුළයි. දැඩි ආනයන පාලන රෙගුලාසි හමුවේ වුවද ආනයන වියදම් ඉහළ ගොස් තිබීමෙන් පෙනෙන්නේ මිල (විණිමය අනුපාතය) ඉහළ දමා ආනයන ඉල්ලුම අඩු නොකර පැලැස්තර අලවන්න යාම සාර්ථක වී නැති බවයි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා සිදුව තිබෙන්නේ එකක් කඩතොළු මකා ගන්නට ගොස් දෙකක් කඩතොළු හදාගත් ඉඳුරුවේ ආචාරියට වූ දෙයයි. ගත් ණය හා වාරික ගෙවන්නට විදේශ විණිමය නැතිව රට අර්බුදයට ගොස් තිබියදී දැන් සිදුව ඇත්තේ එදිනෙදා පරිභෝජන වියදම් වෙනුවෙන්ද විදේශ විණිමය සොයන්නට සිදු වන තත්ත්වයක් ඇති වී තිබීමයි. 

බොහෝ විට මේ වසරේ මැද භාගය වෙද්දී කෝවිඩ් වසංගතය අවසන් වෙයි. එයින් අදහස් වන්නේ කෝවිඩ් ලෝකයෙන් තුරන් වන බව නෙමෙයි. බටහිර රටවල කටයුතු බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි. ඒ එක්කම ලංකාවට නැවතත් සංචාරකයින් පැමිණීම ඉහළ ගොස් සේවා ගිණුමේ අතිරික්තය ඉහළ යයි. එහෙත්, එසේ වූ පමණින්, පවතින විණිමය අනුපාතය පවත්වා ගනිමින් ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ යාමේ හැකියාවක් නැහැ. 

Thursday, February 10, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (සිවුවන කොටස)


ප්‍රශ්නයක ස්වභාවය හා ගැඹුර ගැන අවබෝධයක් නැති අයෙකුට විසඳුම් යෝජනා කරන එක පහසුයි. එසේ කරන අයද සුලබයි. බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්‍රශ්නය ඩොලර් නැතිකම. මෙයට හේතු ලෙස අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී විවිධ හේතු ඉදිරිපත් වෙනවා. යමෙක් ප්‍රශ්නයකට ඉදිරිපත් කරන විසඳුම් ප්‍රශ්නයට හේතුව ලෙස හඳුනා ගැනෙන කරුණු මත තීරණය වෙනවා. 

ඩොලර් හිඟයට හේතු සේ ඉදිරිපත් කරන අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී කරුණු හරහා කෙරෙන්නේ ප්‍රශ්නය රටේ සාමාන්‍ය මිනිස්සු වෙත තල්ලු කිරීම. මේ වගේ දේවල් නිතර ඇහෙද්දී රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වන හැඟීම මෙහෙම වෙලා තියෙන්නේ රජයේ වැරැද්දකින් නෙමෙයි අපේ වැරැද්දකින් කියන එකයි. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි.

ලංකාවේ වත්මන් ඩොලර් හිඟය තනිකරම රාජපක්ෂ දශකය තුළ පටන් ගත් පොන්සි ක්‍රීඩාව නිසා ඇති වූ ප්‍රශ්නයක්. එය රටේ විදේශ විනිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් මිසක් සාමාන්‍ය ජනතාවගේ වැරැද්දකින් ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය හමුවේ අපට කළ හැක්කේ කුමක්ද කියා විමසන අය ඉන්නවා. නමුත්, ඇත්තටම මේ ප්‍රශ්නය හමුවේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. කළ යුතු දෙය කළ යුත්තේ රජය හා මහ බැංකුව විසිනුයි. ඇත්තටම රටේ තිබෙන ප්‍රශ්නය වගකීමක් නැති සල්ලි අච්චු ගැසීම හමුවේ රුපියලේ වටිනාකම වේගයෙන් පහළ යාම හා එයට අනුරූපව විණිමය අනුපාතය සකස්වීම වලක්වා තිබීම මිසක් රටේ මිනිස්සු ආනයන වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීම නෙමෙයි.

කවුරු හෝ තමන්ගේ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා කියලා වෙනත් අයෙකුට එය අධිපරිභෝජනයක් කියා කියන්න බැහැ. සල්ලි තමන්ගේනම් වියදම් කරද්දී තමන්ට ඕනෑ හැටියකට වියදම් කරනවා මිසක් වෙන අයට අවශ්‍ය විදිහට වියදම් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ආප්ප අරන් නොදී ඉතාලියෙන් පීසා ගෙනත් බල්ලන්ට දුන්නත් කතාව එච්චරයි. ඔය වගේ වැඩකින් වෙනත් අයට වගේම රටටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. සල්ලි තියෙන කෙනෙක් මිල අධික මෝටර් රථයක් ආනයනය කළ විට රටේ තවත් බොහෝ දෙනෙකුටත් කීයක් හෝ හොයා ගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙන එකයි වෙන්නේ.

රුපියල් වේවා, ඩොලර් වේවා, තමන් විසින් උපයා ගත් සල්ලි කවුරු හෝ වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් නෙමෙයි. සල්ලි තමන්ගේනම් ඒ සල්ලි ගඟේ මූදේ දැම්මත් වෙන කාටවත් එයින් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. රටට ප්‍රශ්නයක් වෙන්න විදිහකුත් නැහැ, හැබැයි වියදම් කරන්නේ අනුන්ගේ සල්ලිනම් එතැන ප්‍රශ්නයක් තිබෙනවා. වියදම් කරන්නේ නැති සල්ලිනම් ඊටත් වඩා ප්‍රශ්නයක් තිබෙනවා.

කවුරු හෝ විසින් තමන් විසින් උපයා නොගත්, නැති සල්ලි වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් කියා කියන්න පුළුවන්. ලංකාව නිදහස ලැබූ තැන් පටන් බලයේ සිටි හැම ආණ්ඩුවක්ම නැති රුපියල් වියදම් කළා. සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවීමේදී වෙන්නේ නැති රුපියල් අලුතින් මවා වියදම් කිරීමක්. නැති රුපියල් වියදම් කරන තරමට රුපියලේ අගය පහළ යනවා. එවිට ඒ පහළ යාම විණිමය අනුපාතය තුළද නිරූපනය විය යුතුයි. එසේ නොවුනහොත් රුපියල් වලට ලංකාවෙන් පිටදී ඉල්ලුමක් නැතිව යනවා. රුපියල් ගෙවා ඩොලර් වැනි විදේශ මුදල් මිල දී ගන්න බැරි වෙනවා. ඩොලර් හිඟයක් ඇති වෙනවා.

නැති රුපියල් වියදම් කිරීම රාජපක්ෂලා පටන් ගත් සෙල්ලමක් නෙමෙයි. එය පරණ සෙල්ලමක්. රාජපක්ෂලා පටන් ගත් අලුත් සෙල්ලම නැති රුපියල් වලට අමතරව නැති ඩොලර්ද වියදම් කිරීමයි. අද ලංකාව මුහුණ දෙන අර්බුදයට හේතුව මේ විදිහට නැති ඩොලර් වියදම් කිරීමයි. එහෙම නැතුව හැම දෙයක්ම ආනයනය කිරීම නෙමෙයි.

රාජපක්ෂ දශකයට පෙර 2001-2003 කාලයේදී ශ්‍රී ලාංකිකයින් විසින් නැති ඩොලර් වියදම් කළේ නැහැ. ආනයන සඳහා වියදම් කළ හැම ඩොලරයක්ම කවර හෝ ආකාරයකින් ඉපැයූ ඩොලර්. රාජපක්ෂ දශකය තුළ විණිමය අනුපාතය හිර කර ගෙන සිටීම නිසා මේ තත්ත්වය වෙනස් වුනත්, සමස්තයක් ලෙස 2015-2019 අතර පැවතියේත් මෙවැනිම තත්ත්වයක්. 2014 අවසානයේදී ඩොලරයක මිල 131.05ක් පමණයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2015 වසර අවසාන වෙද්දී ඩොලරයේ මිල රුපියල් 144.06 දක්වා ඉහළ ගියා. එසේ කිරීම නිසා, එම වසර තුළ ආනයන වෙනුවෙන් වැය කළ යුතු වූ විදේශ විණිමය මුළු ප්‍රමාණයම පහසුවෙන් උපයා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකි වුනා.

ආනයන පාලනයක් නොතිබුණු 2015 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 18,935ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,072ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,007ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,546කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 6,397කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,980කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 23,923ක්. එහෙමනම්, ලංකාවේ මිනිස්සු හැම දේම පිටරටින් ගෙන්වීම නිසා ඩොලර් හිඟ වුනා කියන කතාවේ ඇත්තක් තියෙනවද?

ඊළඟ අවුරුද්ද ගත්තත් කතාව මේ විදිහමයි. 2016 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 19,400ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,259ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,659ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,310කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,138කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,242කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 24,690ක්

ඩොලර් ආදායම් රටට එනවානම්, ඒ ඩොලර් මොන විදිහට වියදම් කළත් රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. 2017 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 20,980ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,421ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 25,401ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,360කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,724කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,164කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,248ක්. ඔය තියෙන්නෙ ඩොලර්!

ලංකා ඉතිහාසයේ ආනයන වෙනුවෙන් වැඩිම වියදමක් ගිය වසර 2018 වසරයි. 2018 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 22,233ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,608ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 26,841ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,890කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 8,374කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,015කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 27,279ක්. මෙම වසර තුළ, ඩොලරයක මිල රුපියල් 152.85 සිට රුපියල් 182.75 දක්වා ඉහළ ගියා. ඒ නිසාම, ඉහළ ගිය ආනයන ඉල්ලුමට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් රටට ආවා. ඩොලර් හිඟ වී ආනයන පාලනය කරන්න වුනේ නැහැ. 

යහපාලන ආණ්ඩුවේ අවසන් අවුරුද්ද වූ 2019දීත් ආනයන පාලනයක් සිදු වුනේ නැහැ. එහෙත්, පෙර වසරේ විණිමය අනුපාතය විශාල ලෙස අවප්‍රමාණය වීම ඇතුළු හේතු නිසා නිසා ස්වභාවික ලෙසම ආනයන සීමාවීමක් සිදු වුනා. 2019 වසරේදී භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 19,937ක් දක්වා අඩු වුනා. සේවා ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 4,625ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 24,562ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,940කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,474කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,717කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,131ක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් 2019 වසර තුළ ආනයන වියදමට වඩා ඩොලර් මිලියන 1,569ක් රටට ගෙනත්. මේ අවුරුද්ද තුළ ඩොලරයක මිල රුපියල් 182.75 සිට රුපියල් 181.63 දක්වා පහළ ගියා. 

පිටරටින් හැමදේම ගේන නිසා රටේ ඩොලර් හිඟ වෙනවා කියන එක පට්ටපල් බොරු කතාවක්. ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ ඒ වෙනුවෙන් මුදල් උපයනවා. ඔවුන් වියදම් කරන්නේ තමන් උපයන සල්ලි. ආනයනික හෝ ආනයනික නොවන භාණ්ඩ හෝ සේවා වෙනුවෙන් සල්ලි වියදම් කරනවා කියා කියන්නේ ඒ සල්ලි මොන විදිහකින් හෝ උපයලා කියන එකයි. භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා කියන එකයි. එය හොඳ දෙයක් මිසක් නරක දෙයක් නෙමෙයි. ආනයනික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ ඊට අමතරව රටේ මිනිස්සුන්ගේ විදේශ විණිමය ආදායම්ද වැඩි වෙලා කියන එකයි. එහෙමනම් වැඩි වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කිරීමේ තියෙන වැරැද්ද මොකක්ද?

ලංකාවේ ඩොලර් හිඟයට හේතුව රාජපක්ෂලා විසින් අලුතෙන් හොයාගත්, දැනටත් භාවිතයේ තිබෙන අපූරු දේශීය විසඳුමයි. මේ අපූරු දේශීය විසඳුම තුළ ලංකාවේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් මැවීමක් සිදු වෙනවා. මේවා ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල නැති දේවල්.

සාමාන්‍යයෙන් රටක බැංකු පද්ධතිය විසින් මුදල් මැවීමක් කළත් ඒ විදිහට මවන්නේ රටේ ජාතික මුදල් මිසක් වෙන රටක මුදල් නෙමෙයි. ලංකාවේනම් රුපියල්. මහ බැංකුව පිටවූ දා සිට ලංකාවේ වාණිජ බැංකු රුපියල් මවනවා. එසේ නැත්නම් ගුණනය කරනවා. රාජපක්ෂ දශකයේ සිට, ඊට අමතරව, ලංකාවේ වානිජ බැංකු විසින් ඩොලර් ගුණනය කිරීමක්ද කරනවා. හැබැයි මේ වැඩේට ආරම්භයක් දෙන්න මහ බැංකුවක් නැහැ. මොකද ලංකාවේ මහ බැංකුවට ඩොලර් අච්චු ගහන්න බැහැ. ඇමරිකාවේ අච්චු ගහන ඩොලර් ලංකාවට නිකම්ම දෙන්නේත් නැහැ. වාණිජ බැංකු වලට ගුණනය කරන්න ඩොලර් සපයන්නේ ලංකාවේ රජයයි. අවසාන වශයෙන් නැති රුපියල් වගේම නැති ඩොලර්ද පරිභෝජනය වෙනුවෙන් වැය වෙනවා. 

ලංකාවේ වාණිජ බැංකු විසින් කරන ඩොලර් මැවීමේ ක්‍රියාවලිය ඇතුළේ රජය විසින් ණයට ගන්න එක ඩොලර් එකක් දෙක තුනක් හෝ ඩොලර් කිහිපයක් බවට පත් වෙනවා. ඒ නිසා, ණයට ගත් ඩොලර් එකට වඩා වැඩිපුර වියදම් කරන්න පුළුවන්. ප්‍රශ්නය මතු වන්නේ කවදා හෝ ගත් ණය ගෙවන්න යන වෙලාවකයි. මොකද රජයේ විදේශ ණය වලින් ඩොලර් එකක් ගෙවද්දී වෙළඳපොළේ ඩොලර් දෙක තුනක් හෝ කිහිපයක්ම හිඟ වෙනවා. ඒ නිසා, මොන විදිහෙන් හෝ මේ ණය රෝල ගහගෙන යන්නම වෙනවා. පේන විදිහට ආණ්ඩුව ගේම අත අරින්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්දියාව ගේම අතට අරන්.

Wednesday, February 9, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (තෙවන කොටස)

තමන්ට නිෂ්පාදනය කර ගත හැකි හැම දෙයක්ම තමන් විසින්ම හදා ගන්නවා කියන එක ඉතාම අකාර්යක්ෂම වැඩක් වගේම ඉතාම පසුගාමී අදහසක්. මේ වගේ දෙයක් ගැන කවුරු හෝ හිතනවානම් එය ශිෂ්ඨාචාරයේ ආරම්භයට ආපසු යාමක්. මෙය ධනවාදී අදහසක් නොවනවාක් මෙන්ම අඩු වශයෙන් මාක්ස්වාදී හෝ සමාජවාදී අදහසක්වත් නෙමෙයි. ධනවාදය වගේම මාක්ස්වාදය පදනම් වන්නේත් විශේෂීකරණය මත පදනම් වූ සාමූහික නිෂ්පාදනය මතයි.

ගෙවතු වගාව නරක දෙයක් නෙමෙයි. විනෝදාංශයක් ලෙස ගෙවතු වගාවට කැමති අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ විනෝදාංශයේ ප්‍රතිඵලයක් විදිහට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර බෝග වලින් යම් ප්‍රමාණයක් ලැබෙන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා ආර්ථික ප්‍රතිපත්තියක් විදිහට හැමෝම තම තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර බෝග ගෙදරම හදා ගන්න එක ප්‍රවර්ධනය කිරීම අන්තිම පසුගාමී වැඩක්. මොකද ගෙවතු වගාවේ වාසි තිබුනත්, එහි ආවස්ථික පිරිවැයක්ද තිබෙනවා. 

අපි හිතමු කාට හෝ කෙනෙකුට කිසියම් අත්කම් භාණ්ඩයක් හැදීමේ කුසලතාවයක් තිබෙනවා කියලා. එවැනි කෙනෙක් ගෙවතු වගාව සඳහා යොදවන කාලය ඒ අත්කම් භාණ්ඩය හැදීම වෙනුවෙන් යොදවලා, අත්කම් භාණ්ඩය විකුණා ලැබෙන මුදලින් තමන්ට අවශ්‍ය ආහාර මිල දී ගන්න එක ගෙවතු වගාව වෙනුවෙන් කාලය වැය කරන එකට වඩා වාසිදායක වෙන්න පුළුවන්. 

මේ කරුණ රටකටත් අදාළයි. කිසියම් භාණ්ඩයක් රට ඇතුළේ නිෂ්පාදනය කළ හැකි වූ පමණින්ම එසේ කිරීම කළ යුතු හොඳම දෙය වන්නේ නැහැ. ඇමරිකාව ලංකාවෙන් ඇඟලුම් ආනයනය කරන්නේ මේ ඇඟලුම් ඇමරිකාව ඇතුළේ හදාගන්න බැරි නිසා නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය ශ්‍රමය, ප්‍රාග්ධනය වගේම තාක්ෂණයත් ඇමරිකාවේ තිබෙනවා. හැබැයි ඇමරිකාවේ තිබෙන ශ්‍රමය හා ප්‍රාග්ධනය ඇඟලුම් හදන්න නොයොදවා ඊට වඩා ඵලදායී දෙයක් වෙනුවෙන් යොදවා, ඇඟලුම් ලංකාවෙන් ආනයනය කරන එක ඇමරිකාවට වාසියි.

මේ කරුණ ලංකාවටත් අදාළයි. ලංකාවේ හදාගත යුතු හැම දෙයක්ම ලංකාවේම හදා ගැනීම ලංකාවේ පැත්තෙන් හොඳම දෙය නෙමෙයි. ලාබෙට මිල දී ගත හැකි දේ ආනයනය කිරීම රට ඇතුළේ ඒ දේවල් හදන්න ශ්‍රමය හා ප්‍රාග්ධනය නාස්ති කරනවාට වඩා වාසියි. එහෙම කළ පමණින් ලංකාවට විදේශ විණිමය හිඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද විදේශ විණිමය රටට එන එකම ක්‍රමය භාණ්ඩ අපනයනයනම්, ආනයන වෙනුවෙන් වැය කළ හැක්කේ අපනයන කර උපයන විදේශ විණිමය පමණයි. 

හැබැයි ඉහත කරුණ සත්‍ය වන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වනවානම් පමණයි. මොකද රටට ඩොලර් එන තරමට ඩොලර් රටින් යන්නේ නැත්නම් රට ඇතුළේ ඩොලර් ඉතුරු වෙනවා. ඩොලර් වලට ඉල්ලුම අඩු වෙනවා. ඩොලරයේ මිල පහළ යනවා. ආනයන ලාබ වී ආනයන ඉහළ ගොස් ඉතුරු වූ ඩොලර් රටෙන් එළියට යනවා. අනෙක් අතට ආනයන ඉල්ලුම වැඩිනම් ඩොලරයේ මිල ඉහළ ගිහින් ආනයනික බඩු වල මිල ඉහළ යනවා. ආනයනික බඩු තව දුරටත් ලාබ නැති නිසා ඉල්ලුම අඩු වී ඩොලර් රටෙන් එළියට යන එක පාලනය වෙනවා. 

රටකට ඩොලර් එන්නේ භාණ්ඩ අපනයනය කිරීමෙන් පමණක් නෙමෙයි. සේවා වෙළඳාමෙන්ද රටට ඩොලර් එනවා. ඒ වගේම, ඩොලර් එළියටත් යනවා. භාණ්ඩ අපනයනය කිරීමෙන් ලැබුණත්, සේවා අපනයනය කිරීමෙන් ලැබුණත් ලැබෙන ඩොලර් වල වෙනසක් නැහැ. ඒ නිසා, විණිමය අනුපාතය පාවෙන්න ඉඩ දී ඇති විටක ඔය වෙළඳපොළවල් දෙකම එකට සමතුලිත වෙනවා මිසක් වෙන වෙනම සමතුලිත වෙන්නේ නැහැ. ඒ නිසා, සේවා ගිණුමේ ඩොලර් අතිරික්තයක් තිබේනම් වෙළඳ ගිණුමේ ඊට සමාන හිඟයක් තිබීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ගිණුම් දෙක එකට ගත් විට සමතුලිත වෙනවානම් මේ එක් එක් ගිණුම සමතුලිත කරන්න උත්සාහ කළ යුතු නැහැ. 

ලංකාවට සාමාන්‍යයෙන් සේවා වෙළඳාමේදී සාපේක්ෂ වාසියක් තිබෙනවා. ලාංකිකයින් සේවා නිෂ්පාදනයේදී වඩා කාර්යක්ෂමයි. භාණ්ඩ නිෂ්පාදනයේදී ඒ කාර්යක්ෂමතාවය නැහැ. ඒ නිසා, දිගින් දිගටම ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් තිබුණත් සේවා ගිණුමේ තිබෙන්නේ අතිරික්තයක්.

රටකට විදේශ විණිමය එන්නෙත්, රටෙන් විදේශ විණිමය එළියට යන්නේත් භාණ්ඩ හෝ සේවා වෙළඳාම් හරහා පමණක් නොවෙයි. රටට විදේශ විණිමය එන හා රටෙන් පිටට විදේශ විණිමය යන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. මේ විදිහට රටට එන හා රටෙන් යන විදේශ විණිමය ජංගම ගිණුමේ හෝ මූල්‍ය ගිණුමේ සටහන් වෙනවා. ජංගම ගිණුමේ සටහන් වන්නේ ආපසු නොයන සේ රටට එන විදේශ විණිමය. එසේ නැත්නම් ආපසු නොඑන සේ රටින් යන විදේශ විණිමය. භාණ්ඩ හා සේවා වෙළඳාමෙන් ලැබෙන හෝ අහිමි වන විදේශ විණිමය සටහන් වෙන්නේ ජංගම ගිණුමේ. මෙයින් වෙනස්ව, මූල්‍ය ගිණුමේ සටහන් වන්නේ පසුව ආපසු යාමට නියමිත හෝ පසුව ආපසු ඒමට නියමිත විදේශ විණිමය. උදාහරණයක් විදිහට විදේශ ණය හා ආයෝජන. 

රටක ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවානම් ඒ රටට තමන්ගේ විදේශ විණිමය අතිරික්තය රටින් පිට ආයෝජනය කර අනාගතයේදී ආදායම් උපදවන්න පුළුවන්. ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවානම් සිදු වෙන්නේ ඒ හිඟය පියවෙන තරමට විදේශ ණය ගන්න. විදේශ ණය වැඩි වන තරමට අනාගතයට විදේශ විණිමය වියදම්ද වැඩි වැඩියෙන් එකතු වෙනවා.

කාලයක සිටම ලංකාවේ ජංගම ගිණුමේ තිබෙන්නේ හිඟයක්. ජංගම ගිණුමේ හිඟයක් නොතිබුනානම් ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩි වීම ලංකාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හිඟය පියැවීමට අවශ්‍ය පමණ විදේශ විණිමය රටට එන මාර්ගයක් තිබෙනවා. එසේ රටට එන විදේශ විණිමය නැවත රටින් එළියට යන්නේ නැහැ. ශ්‍රමික ප්‍රේෂණ උදාහරණයක්.

අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වීමේ කිසිම ප්‍රශ්නයක් නැතත්, සමස්තයක් ලෙස රටට එන ඩොලර් වලට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටෙන් එළියට යනවානම් එතැන පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මේකයි.

දිගින් දිගටම රටට එන ඩොලර් වලට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටෙන් එළියට යනවා කියන එක වෙන්න බැරි දෙයක්නේ. මොකද එළියට යන්නනම් ඩොලර් රටට ඇවිත් තියෙන්න ඕනෑ. එහෙම නැතුව ඩොලර් මහ පොළොවෙන් මතු වෙන්නේ නැහැනේ. ඒ නිසාම, ඩොලර් රටට එන යම් ක්‍රමයක් නැතුව දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් තියෙන්නත් බැහැ. දිගින් දිගටම ලංකාවේ ජංගම ගිණුමේ හිඟයක් තියෙන්නේ දිගින් දිගටම විදේශ ණය ලෙස රටට ඩොලර් එන නිසයි. එහෙම නැත්නම් ප්‍රාග්ධන ආයෝජන ලෙස හෝ වෙන ක්‍රමයකට මූල්‍ය ගිණුමට ඩොලර් එන නිසයි. මූල්‍ය ගිණුමට ඩොලර් එන්නේ නැත්නම්, ජංගම ගිණුමේ හිඟයත් නැති වෙලා යනවා. ඒ එක්කම ඩොලර් ප්‍රශ්නයත් නැති වෙනවා. 

මූල්‍ය ගිණුමට දිගින් දිගටම ඩොලර් එනවානම්, එසේ එන තාක් කල්, ජංගම ගිණුමේ හිඟයක් නඩත්තු කරන්න පුළුවන්. හැබැයි මෙය ජංගම ගිණුම සමතුලිතව තියාගෙන වෙළඳ ගිණුමේ හිඟයක් නඩත්තු කරනවා වගේ වැඩක් නෙමෙයි. මූල්‍ය ගිණුමට එන ඩොලර් කවදා හෝ ආපසු යනවා. ඒ විතරක් නෙමෙයි. මූල්‍ය ගිණුමට එන හැම ඩොලරයක්ම රටේ බැරකමක් වෙනවා. රටේ බැරකම් ඉහළ යද්දී ඊට අනුපාතිකව වාර්ෂිකව ගෙවිය යුතු පොලී වියදම්ද ඉහළ යනවා. මේ පොලී වියදම් රටින් එළියට යන්නේ නැවත ආපසු එන්න නෙමෙයි. ඒ නිසා, ඒවා සටහන් වෙන්නේ ජංගම ගිණුමේ. අවසාන ප්‍රතිඵලය ජංගම ගිණුමේ හිඟය ඉහළ යාමයි. 

කලින් ලිපියක කතා කළ පරිදි, 1956 සිටම ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරමින් සිටිනවා. ඒ නිසා, අයවැය හිඟය පියවන්න ණය ගන්න වෙනවා. මේ වැඩේට විදේශ ණය අරගන්නවා කියන්නේ මූල්‍ය ගිණුමට සල්ලි එනවා කියන එක. මූල්‍ය ගිණුමට සල්ලි එද්දී අනික් පැත්තෙන් ජංගම ගිණුමේ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම, රටේ බැරකම් ඉහළ යාම නිසා අනාගතයේ ජංගම ගිණුම මත පීඩනයක්ද ඇති වෙනවා. එහිදී ඩොලරයේ මිල ඉහළ දමන්න වෙනවා. 1956න් පසුව ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් තිබී ඇත්තේ 1965 හා 1977 වසර වලදී පමණයි. එම වකවානු වල ඩොලරයේ මිල එකවර විශාල ලෙස ඉහළ ගිය බවත් මතක තබා ගත යුතුයි. පහත පළමු රූප සටහනේ තිබෙන්නේ මෑත වසර වලදී ලංකාවේ ජංගම ගිණුමේ ශේෂයයි. ශේෂයක් කිවුවට හිඟයන්ම තමයි!


ජංගම ගිණුමේ මේ හිඟය හැදෙන්නේ කොහොමද? 

පළමුව, ලංකාවේ ආනයන අපනයන අතර පරතරයක් තිබෙනවා. වෙළඳ හිඟය කියන්නේ එයට. මේ විදිහට වෙළඳ හිඟයක් තිබීම ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් නොවන බව මම කිවුවනේ. හැබැයි ප්‍රශ්නයක් නොවෙන්නනම් ඩොලර් රටට එන වෙන මාර්ගයක් තිබිය යුතුයි. ලංකාවේ වෙළඳ ගිණුමේ හිඟයක් තිබුණත් සේවා ගිණුමේ අතිරික්තයක් තිබෙනවා. එයින්ද නොපියැවෙන කොටස ශ්‍රමික ප්‍රේෂණ වලින්ද පියැවෙනවා. හැබැයි මේ සියල්ලටම අමතරව ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ලෙස විශාල මුදලක් රටින් එළියට යනවා. ඒ කොටස වසරින් වසර ඉහළ යනවා. රටේ ඩොලර් හිඟයට මේ හේතුව කොයි තරම් දුරට බලපානවාද කියන එක සාකච්ඡා වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. ඇත්තටම කියනවානම් සාකච්ඡා වී නැති තරම්!

පහත දෙවන රූප සටහනෙහි පෙනෙන්නේ රටේ විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වාර්ෂිකව රටින් පිටට යන ඩොලර් ප්‍රමාණයයි.


මේ ආකාරයෙන් රටේ විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වාර්ෂිකව රටින් පිටට ගිය ඩොලර් ප්‍රමාණය රටේ ඉතිරි වුනානම් ජංගම ගිණුමේ ශේෂය මොන වගේ වෙයිද? 

පහත තෙවන රූප සටහනින් පෙනෙන්නේ බැරකම් සඳහා ප්‍රතිලාභ ලෙස වැය වුනු කොටස ඉවත් කිරීමෙන් පසු ජංගම ගිණුමේ ශේෂයයි.  2001-2003 කාලයේදීත්, 2018දී හැර 2015-2019 අතර කාලයේදීත් මෙම කොටස අතිරික්තයක්. ඒ කියන්නේ, එකතු වී තිබුණු පැරණි බැරකම් වෙනුවෙන් ප්‍රතිලාභ ගෙවන්නට සිදු නොවුනානම් මෙම වසර වලදී විදේශයන්ට ණය වනවා වෙනුවට තිබෙන ණය වලින් කොටසක්ද ගෙවා දැමිය හැකිව තිබුණු බවයි.


මෙයින් කරුණු කිහිපයක්ම පැහැදිලි වෙනවා. පළමුව, රජයේ අයවැය හිඟය පාලනය වී ඇති හා විණිමය අනුපාතය නිදහසේ තීරණය වී ඇති වකවානු වල පැරණි විදේශ බැරකම් සඳහා ප්‍රතිලාභ ගෙවීම හැර අනෙකුත් සියළු විදේශ විණිමය අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් ඩොලර් රටට පැමිණ තිබෙනවා. ඒ නිසා, පැරණි ණය හා පොලී ගෙවීමට හැර අළුතින් විදේශ ණය ගන්න අවශ්‍ය වී නැහැ. 

දෙවනුව, එම තත්ත්වය යටතේ වුවද, පැරණි විදේශ බැරකම් වලට පොලී එකතු වීම නිසා විදේශ බැරකම් තව දුරටත් සැලකිය යුතු තරමින් ඉහළ ගොස් තිබෙනවා. විණිමය අනුපාතය තව දුරටත් අවප්‍රමාණය වීමට ඉඩ හැරියේනම් ජංගම ගිණුම සමතුලනය කර ගත හැකිව තිබුණු බවද මෙයින් ගම්‍ය වෙනවා. එසේ වුනානම්, ණය ගැනීමේ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

ඩොලර් හිඟය කියා කියන්නේම වැරදි විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා හදාගත් ප්‍රශ්නයක්! ඔඩොක්කුවේ දමාගත් අහක යන නයෙක්!!

Sunday, February 6, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (දෙවන කොටස)

මෙම දෙවන ලිපි මාලාවේ පළමු කොටස අවසානයේදී අපි කතා කළේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාම හා එය වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ ආකාරයයි. මේ කොටසින් අපි මේ ගැන අපි තව දුරටත් පැහැදිලි කර ගනිමු.

ශුද්ධ විදේශ බැරකම් යනු විදේශ වත්කම් හා විදේශ බැරකම් අතර වෙනසයි. විදේශ වත්කම් ඉක්මවා විදේශ බැරකම් ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ එම බැරකම් වෙනුවෙන් දිගින් දිගටම වාර්ෂිකව විදේශ විණිමය වැය කිරීමට සිදු වීමයි. ඉතා අඩු පොලියකට විදේශ ණය ලබාගත හැකි ඇමරිකාව වැනි රටක විදේශ වත්කම් විදේශ බැරකම් වලට වඩා අඩු වුවත් තම විදේශ වත්කම් වලින් විදේශ බැරකම් වල මුළු වියදමම පියවා ගත හැකියි. හැබැයි එසේ කරන්න ඇමරිකාවට වුවද හැකි වී තිබෙන්නේ අඩු පොලී අනුපාතික වලට ණය ගැනීමේ හැකියාව මත මෙන්ම සැලකිය යුතු විදේශ වත්කම් ප්‍රමාණයක් තිබීමද හේතුවෙනුයි.

ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ඉතා වැඩි වීම විශාල ප්‍රශ්නයක්. ඊටත් වඩා ප්‍රශ්නයක් වන්නේ ලංකාවේ විදේශ බැරකම් වල අනුපාතයක් ලෙස විදේශ වත්කම් ඉතා පහළ මට්ටමක තිබීමයි. ශුද්ධ විදේශ බැරකම් බොහෝ වැඩි වෙනත් ඇතැම් රටවලට මෙවැනි ප්‍රශ්නයක් නැහැ.

පහත වගුවෙහි පෙන්වා ඇති පරිදි ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණයක් තිබෙන රටවල් හයකම විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් වලින් 70% ඉක්මවනවා. අසල්වැසි ඉන්දියාව ගත්තත් දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්. ණය අර්බුදයක සිර වී සිටින රටක් සේ හඳුනා ගැනෙන ග්‍රීසිය සතුව පවා ඔවුන්ගේ විදේශ බැරකම් ප්‍රමාණයෙන් 47% ක විදේශ වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. එහෙත්, ලංකාව සතුව තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය රටේ විදේශ බැරකම් වලින් 13%ක් පමණයි!


අතේ රුපියල් 70ක් තිබෙන කෙනෙකුට හිර නොවී රුපියල් 100ක රෝලක් ගහගන්න පුළුවන්. එහෙත්, අතේ රුපියල් 13ක් තියාගෙන රුපියල් 100ක රෝලක් ගහන කෙනෙක් කොයි වෙලාවක හෝ හිරවෙනවා. හිරවෙන්නේ කොයි වෙලාවෙද කියන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. වසංගතය නිසා සංචාරකයින් පැමිණීම අඩු වෙද්දී ලංකාවට වුනෙත් මේකයි.

යම් ස්ථාවර මට්ටමක තිබුණු ලංකාවේ විදේශ බැරකම් ප්‍රමාණය 2007 පමණ සිට වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. එහෙත්, 2010න් පසුව විදේශ වත්කම් ඉහළ ගියේ නැහැ. මෙය පහත රූප සටහනෙහි පැහැදිලිව දැකගත හැකියි.



විදේශ බැරකම් ඉහළ යද්දී ඒ වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රතිලාභද ඉහළ යනවා. එහෙත්, විදේශ වත්කම්ද ඉහළ නොයන්නේනම් එම වත්කම් වලින් ලැබෙන ආදායම් ඉහළ යන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම මේ හිඟය පියවීම සඳහා අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය උපයා ගත හැකි වෙනත් ක්‍රමයක් නැත්නම් ඒ වෙනුවෙන් තවත් විදේශ ණය ගන්න සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊළඟ වසරේදී අවශ්‍ය වන අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණය තවත් ඉහළ යනවා. දිගුකාලීන සැලසුමක් ඇතිව විදේශ වත්කම් හා බැරකම් අතර වෙනස ක්‍රමයෙන් අඩු කර නොගෙන මේ විදේශ ණය උගුලෙන් ගැලවෙන්න බැරුවා වගේම උගුල යම් මොහොතක ගැස්සෙන එකත් වලක්වන්න බැහැ.


යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 අවසානයේදී) සමස්ත ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 42,914ක්. 2019 අවසාන වෙද්දී එම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 54,812ක්. මේ අනුව එම වසර පහ තුළ විදේශ ණය වැඩි වීම ඩොලර් මිලියන 11,897ක්. එම වසර පහ තුළ ලංකාවේ විදේශ බැරකම් වෙනුවෙන් ගෙවා ඇති ප්‍රතිලාභ මුදල ඩොලර් මිලියන 11,834ක්. මේ අනුව, විදේශ ණය ඉහළ යාමෙන් 99.5%ක්ම පරණ ණය වල පොලියයි. එසේ නැත්නම් පැරණි ආයෝජන වෙනුවෙන් ගෙවූ ප්‍රතිලාභයි. විදේශ බැරකම් ඩොලර් මිලියන 11,897කින් ඉහළ ගියත් ණය ලෙස ඇත්තටම රටට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 63ක් පමණයි. 

මෙම කාලය තුළ ලංකාවේ විදේශ වත්කම් වල ආදායම් ලෙස ඩොලර් මිලියන 814ක් උපයා ඇති නමුත් සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 518කින් පමණයි. එහි ඩොලර් මිලියන 296ක අඩුවක් තිබෙනවා. මේ ගණනද ඇතුළුව රටට ශුද්ධ විදේශ බැරකම් ලෙස 2014-2019 කාලය තුළ පැමිණ තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 359ක් පමණයි. සංචිත ඉහළ යාම අඩු කළ විට අදාළ කාලය තුළ ශුද්ධ විදේශ බැරකම් ඉහළ යාම ඩොලර් මිලියන 11,389ක්. ඒ අනුව, 2014-2019 අතර කාලය තුළ ඉහළ ගිය ශුද්ධ විදේශ බැරකම් වලින් 97%කටම හේතු වී තිබෙන්නේ පරණ ණයට වලට පොලී එකතු වීමයි. 

මේ කරුණ පැහැදිලි කළ යුත්තේ පසුගිය ආණ්ඩු වල ක්‍රියාකාරකම් වල හොඳ නරක සංසන්දනය කිරීම සඳහාම නෙමෙයි. ලංකාවේ වත්මන් තත්ත්වය නිවැරදිව තේරුම් ගැනීම සඳහා. ඉදිරි වසර වල ලංකාව එක ඩොලරයක හෝ විදේශ ණය අලුතින් නොගත්තත් තිබෙන ණය වල පොලිය ලෙස වාර්ෂිකව ඩොලර් බිලියන 2 ඉක්මවන මුදලක් එකතු වෙනවා. ඉන් පසුව, ඒ පොලියටද පොලිය එකතු වී වැල් පොලී වෙනවා. ඉදිරි සාර්ව-ආර්ථික වැඩ පිළිවෙලක මුඛ්‍ය ඉලක්කය විය යුත්තේ කෙසේ හෝ මේ චක්‍රයෙන් ගැලවීමයි.

මෙහිදී අප කතා කරන්නේ රටේ සමස්ත විදේශ ණය ගැනයි. රජයේ විදේශ ණය එයින් කොටසක් පමණයි. 2010 වන තුරු රටේ විදේශ ණය වලින් විශාල ප්‍රමාණයක් රජයේ විදේශ ණය වුවත්, 2010දී ආරම්භ කළ පොන්සි ක්‍රීඩාව හරහා රජය විසින් සෘජුව විදේශ ණය ලබා නොගෙන වක්‍ර ලෙස විදේශ ණය ලබා ගන්නා ක්‍රමයක් ආරම්භ වුනා. ඒ නිසා, රාජ්‍ය ණය අතර තිබෙන විදේශ ණය ප්‍රමාණය දෙස බැලූ විට රට සිරවී සිටින විදේශ ණය උගුලේ බරපතලකම පැහැදිලිව පෙනෙන්නේ නැහැ. විදේශ ණය ගැන කතා කරන හැම දෙනෙකුම මෙන් රාජ්‍ය ණය ගැන කතා කළත්, විනිමය අනුපාතය පාලනය කරමින් ආරම්භ කර පවත්වා ගෙන යන පොන්සි ක්‍රීඩාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැති තරම්. පහත රූප සටහන දෙස බැලූ විට මේ පොන්සි ක්‍රීඩාවේ ආරම්භය පැහැදිලිව හඳුනා ගත හැකියි.



Saturday, January 22, 2022

සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගහන හැටි...


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 14% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 21.5%ක් දක්වා ඉහළ ගිහින්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 12.1% මට්ටමට ගොස් තිබුණා. මහ බැංකුව කියන විදිහට මේ විදිහට මිල මට්ටම ඉහළ යන්නේ "සැපයුම් සාධක" නිසා මිසක් සල්ලි අච්චු ගැසීම නිසා නෙමෙයි. 

සැපයුම් සාධක නිසා මිල මට්ටම් ඉහළ යද්දී මුදල් වලට තිබෙන ඉල්ලුමද ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන සේ මුදල් සැපයුම වැඩි නොකළොත්, සැපයුම් සාධක නිසා ඉහළ ගිය මිල නැවත පහත වැටී උද්ධමනය සෘණ පැත්තට යා යුතුයි. එහෙත්, ඉහළ යන මුදල් ඉල්ලුම හා ගලපමින් මුදල් සැපයුම වැඩි කළොත් ඉහළ ගිය මිල ඒ මට්ටමේම නවතිනවා. ඒ නිසා, උද්ධමනය පහළ ගියත් සෘණ පැත්තට යන්නේ නැහැ. 

මහ බැංකුව කියන විදිහට, මිල මට්ටම ඉහළ යන්නේ සැපයුම් සාධක නිසානම්, ඔය දෙකෙන් කොයි එක වුනත් ඉතා ඉක්මණින් උද්ධමනය අඩු විය යුතුයි. මොකද උද්ධමනය අඩු වීමෙන් අදහස් වෙන්නේ මිල මට්ටම ඉහළ යන වේගය අඩුවීම මිසක් මිල අඩු වීම නොවන බැවින්. ඒ නිසා, මහ බැංකුව කියන්නේ ඇත්තද කියලා බලා ගන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

ආණ්ඩුව විසින් අළුතෙන්ම රුපියල් බිලියන 227ක සහන පැකේජයක් ඉදිරිපත් කළා. කියන විදිහට මේ අමතර වියදම් නිසා සමස්තයක් ලෙස රජයේ වියදම් වැඩි වෙන්නේ නැහැ. වියදම් කරන බව කියන්නේ අයවැයෙන් වෙන් කළ වෙනත් ප්‍රතිපාදන කපලා ඒ හරහා ඉතිරි වන සල්ලි වලින්. කපන්නේ මොන වියදම්ද කියන එක පැහැදිලි නැහැ. කියන විදිහටම කෙරුණත් නැතත් අයවැය හිඟය තව දුරටත් ඉහළ නොදැමිය යුතුය යන ස්ථාවරයට එන්න ආණ්ඩුවට සිදු වී තිබෙනවා. මේ බතල කොළ කටින් හිටවන ඒවා පමණක්ද? 

පසුගිය 2021 වසරේ පළමු මාස දහය තුළ රජය විසින් උපයාගෙන තිබෙන ආදායම රුපියල් බිලියන 1,156.5ක් පමණයි. අයවැය සම්මත කර ගනිද්දී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව වසර තුළ ලැබීමට තිබුණු ආදායම රුපියල් බිලියන 2,029ක්. මේ අනුව, මාස දහයක් අවසාන වෙද්දී උපයාගෙන තිබෙන්නේ ඇස්තමේන්තු කළ අදායමෙන් 57%ක් පමණයි. ඇස්තමේන්තු නිවැරදිනම් අවසන් දෙමස තුළ රුපියල් බිලියන 872.5ක් ලැබී තිබිය යුතුයි.

අයවැය ඇස්තමේන්තු අනුව, 2021 වසරේ රජයේ වර්තන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,534ක්. පළමු මාස දහය තුළ වර්තන වියදම් සේ වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 2,319.0ක්. ඒ කියන්නේ ඇස්තමේන්තු කළ වියදම් වලින් 91.5%ක්ම පළමු මාස දහය තුළ වියදම් කරලා. වර්තන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ වියදම්. අවසන් මාස දෙක තුළ වියදම් කළේ රුපියල් බිලියන 215ක් පමණක්ද?

ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද? 

රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ? 

අයවැයෙන් යෝජිත රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 1,070ක් වුවත් පළමු මාස දහය තුළ සිදු කර තිබෙන රාජ්‍ය ආයෝජන ප්‍රමාණය එයින් 38.6%ක් හෙවත් රුපියල් බිලියන 412.8ක් පමණයි. ඇස්තමේන්තු කර තිබුණු ඉතිරි ආයෝජන අවසන් මාස දෙක තුළ සිදු වුනා කියා හිතන අයෙකු ඉන්නවාද?

ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා රාජ්‍ය අයවැය කියා කියන්නේම සංදර්ශනාත්මක බොරුවක් පමණයි. අයවැය ඇස්තමේන්තු අනුව, වසර තුළ ලබා ගැනීමට අපේක්ෂා කළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,563ක් පමණයි. එහෙත්, සාමන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් ඇස්තමේන්තු වැඩි කර පෙන්වන නිසා ආයෝජන වියදම් සේ වෙන් කරන ප්‍රතිපාදන කපා හැරීමෙන් පසුවද රජය නඩත්තු කිරීම සඳහා ඇස්තමේන්තු කරනවාට වඩා ණය ගන්න වෙනවා. ඇස්තමේන්තුව අනුව, ණය ගැනීමට නියමිතව තිබුණේ පහත ආකාරයෙනුයි.

ශුද්ධ විදේශ ණය - රුපියල් බිලියන 99ක් (විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 507ක් අවශ්‍ය නිසා මුළු එකතුව රුපියල් බිලියන 606ක්).

දේශීය ණය රුපියල් බිලියන 1,466ක්. මෙයින් බැංකු අංශයෙන් ගන්නා ණය ප්‍රමාණය රුපියල් බිලියන 310ක්. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් තවත් රුපියල් බිලියන 60ක්. ඉතිරි රුපියල් බිලියන 1,086 බැංකු නොවන අංශ වලින් ගන්නා ණයයි.

ඇත්තටම සිදු වී තියෙන්නේ කුමක්ද?

පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 2,226.7කින් රාජ්‍ය ණය ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තුළ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබුණු රුපියල් බිලියන 1,563ක ණය ප්‍රමාණයට වඩා 14.7%කින් වැඩියි. අවසන් මාස දෙක තුළ, මේ වැඩිපුර ගත් ණය ආපසු ගෙවලාද?

පළමු මාස දහය තුළ පමණක් විදේශ ණය ඉහළ යාම රුපියල් බිලියන 464.20ක්. එම කාලය තුළ දේශීය ණය ඉහළ යාම රුපියල් බිලියන 1,762.40ක්. 

පළමු මාස 11 තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක්. එයින් රුපියල් බිලියන 1,124.80ක් කෙළින්ම මහ බැංකුවෙන් ගත් ණයයි. 

රජයට ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශිකයන්ට විකිණූ විට රජයට ලැබෙන්නේ රුපියල් වුවත් රටට ඩොලර් ලැබෙනවා. එහෙත්, පසුගිය වසර තුළ සිදු වී තිබෙන්නේ විදේශිකයන් සතු වූ රුපියල් බිලියන 6.9ක පමණ වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින්ද රුපියල් බිලියන 5.1ක ප්‍රමාණයක් විකුණා දමා එම මුදල් ආපසු රැගෙන යාමයි. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් රජයට කෙළින්ම ඩොලර් ලැබෙනවා. එහෙත්, වසර තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර වලින්ද සැලකිය යුතු කොටසක් නැවත විකුණාගත නොහැකි වීම නිසා රජයට අයවැය ඇස්තමේන්තුව අනුව අමතර රුපියල් බිලියන 60ක් හොයා ගැනීම කෙසේ වුවත් රුපියල් බිලියන 34.6ක් ආපසු ගෙවන්න සිදු වී තිබෙනවා.

ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී ඇති පසුබිමක රජය විසින් ප්‍රධාන වශයෙන්ම අයවැය හිඟය පියවාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 1,879ක පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙනුයි. මෙයින් රුපියල් බිලියන 330ක් පමණ ණය අරගෙන තිබෙන්නේ දෙසැම්බර් මාසය තුළයි. ඒ අනුව, පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 1,548ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුනා ණය අරගෙන තිබෙනවා. එම කාලය තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක් බව කලින් කිවුවනේ. ඒ කියන්නේ රජයට ඩොලර් ණය ගන්න බැරි වී තිබෙනවාක් මෙන්ම උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමටද හැකි වී නැහැ. 

පවතින වාතාවරණය යටතේ විණිමය අනුපාතය ඉහළ නොයවා වෙළඳපොළෙන් ඩොලර් වලින් ණය ගැනීමේ හැකියාවක් රජයට නැහැ. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ නොදමා උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමේ හැකියාවද මේ වන විට ගිලිහෙමින් තිබෙනවා. විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි නොකරන්නේනම් හා අයවැය හිඟය පාලනය කර නොගන්නේනම් මේ වන විට රජය සතු එකම විකල්පය උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ණය ගැනීම පමණයි. 

විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි කළහොත් ඒ හේතුව නිසාම අයවැය හිඟය ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එහෙත්, එසේ නොකළා කියා ප්‍රශ්නයෙන් ගැලවී සිටින්න පුළුවන් වෙන්නේ උද්ධමනය විශාල ප්‍රශ්නයක් බවට පත් වන තුරු පමණයි. උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් තව තවත් ණය ගනිමින් උද්ධමනය පාලනය කිරීමේ හැකියාවක් නැහැ. 

පසුගිය සතියේ රජය ඩොලර් මිලියන 100ක සංවර්ධන බැඳුම්කර වෙළඳපොළට ඉදිරිපත් කළත් 8%ක පමණ විශාල පොලී අනුපාතයක් ගෙවීමේ පොරොන්දුව යටතේ වුවත් විකුණා ගත හැකි වූයේ ඩොලර් මිලියන 11ක පමණ ප්‍රමාණයක් පමණයි. ඩොලර් වලින් පොලී ගෙවන්නට රට ඇතුළේ ඩොලර් හැදෙන්නේ නැති නිසා මේ වෙලාවේ කිසිවෙකු පොන්සි ක්‍රීඩාවකට එළැඹී අවදානමක් ගන්න බයයි.

මේ වන විට රජයට භාණ්ඩාගාර බිල්පත් විකුණා දේශීය වෙළඳපොළෙන් මාස තුනකට රුපියල් ණය ගත හැක්කේත් 8.5% පමණ පොලියකටයි. මහ බැංකුව විසින් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන වාණිජ බැංකු වලට හා ප්‍රාථමික අලෙවිකරුවන්ට විකුණන විට මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. එහෙත්, ඇත්තටම මෙහිදී වෙන්නේ සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගැසීමක්ම තමයි.

මාස තුනකට රජයට 8.5% පොලියට ණය දෙන වාණිජ බැංකු විසින් ඔවුන් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියා  දිනපතා මහ බැංකුවෙන් 6.5% පොලියට ණය ගන්නවා. මේ වැඩෙන් වාණිජ බැංකු වලට (හා අනුබද්ධ ප්‍රාථමික ගැනුම්කාර සමාගම් වලට) කෙළින්ම 2%ක "කොමිස් මුදලක්" ලැබෙනවා. අන්තිමට වක්‍ර ලෙස රජයට ණය දෙන්නේ මහ බැංකුවම තමයි. ඒ කියන්නේ අච්චු ගහන සල්ලි!

ඔය විදිහටනම් දේශීය වෙළඳපොළෙන් ඕනෑ තරම් ණය ගන්න පුළුවන්. ඇයි සල්ලි තමන්ගේ සල්ලිත් නෙමෙයිනම්, 2%ක ලාබයකුත් ලැබෙනවානම් කවුද වැඩේට අත නොගහන්නේ. හැබැයි ඔය අවස්ථාව සාමාන්‍ය මිනිහෙකුට ලැබෙන අවස්ථාවක් නෙමෙයි.

පසුගිය සතියේ පමණක් ඔය ක්‍රමයට රුපියල් බිලියන 97ක භාණ්ඩාගාර බිල්පත් විකිණුවා. ඕකෙන් 2%ක් කියා කියන්නේ රුපියල් බිලියන දෙකක්. කෝටි දෙසීයක්!

දැන් රජය 8.5% පොලියට ණය ගන්නවා. මහ බැංකුව 6.5% පොලියට ණය දෙනවා. ඒ ණය ගන්න අය 8.5% පොලියට රජයට ණය දෙනවා. ලැබෙන එකම වාසිය, මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගහලා නැහැ!

ඔය භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් කෙළින්ම මිල දී ගත්තානම් 8.5% පොලිය ලැබෙන්නේ මහ බැංකුවට. ඒ පොලිය මහ බැංකුවේ ලාබ වලට එකතු වෙලා, ඒ ලාබ භාණ්ඩාගාරයට යවද්දී නැවත රජයටම ලැබෙනවා. ඒ කියන්නේ රජය ඇත්තටම පොලියක් ගෙවන්නේ නැහැ. දැන් වෙන්නේ එයින් 2%ක් අඩු වෙන එක පමණයි. 

මේ අඩුවත් එකතු වෙන්නේ අයවැය හිඟයටයි. උද්ධමනයට තිබෙන බලපෑම කොහොමටත් ඒ විදිහටම තියෙනවා. මොකද සංඛ්‍යාලේඛණ කොහොම වුවත් අච්චු ගහපු සල්ලි සංසරණයට එකතු වෙලා. ඒ කියන්නේ උද්ධමන බද්දක් ලෙස ඔය 2%ත් ගෙවන්න වෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට.

ආර්ථිකය වැඩ කරන්නේ ගිණුම්කරණ මූලධර්ම අනුව නෙමෙයි. හොඳ ගණකාධිකාරීවරයෙකුට ගිණුම් නැවත සකස් කරලා පාඩු ලබා ඇති බව පෙනෙන ආයතනයක් ලාබ ලබා ඇති බව පෙන්වන්න පුළුවන්. අනෙක් පැත්ත කරන්නත් පුළුවන්. එහෙම කරලා රජයට ගෙවන බදු අඩු කරගන්නත් පුළුවන්. හැබැයි එහෙම කළා කියලා සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.  සංඛ්‍යාලේඛණ කියන්නේ ඇත්ත තත්ත්වය බලා ගන්න යොදාගත හැකි දර්ශක මිසක් ඇත්ත තත්ත්වය නොවන නිසා සංඛ්‍යාලේඛණ මොන විදිහෙන් හෝ වෙනස් කළත් ඇත්ත තත්ත්වය එලෙසමයි.

නිල සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,343ක් පමණයි. සංඛ්‍යාලේඛණ වලට එකතු නොවන කොටස රුපියල් බිලියන 543ක්. ඒවත් අච්චු ගහපු සල්ලිම තමයි! 

පළමු මාස එකොළහ තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,526ක් බවත් එයින් රුපියල් බිලියන 1,125ක්ම අරගෙන තියෙන්නේ මහ බැංකුවෙන් බවත් කලින් කිවුවනේ. එතකොට අනෙක් බැංකු වලින් අරන් තියෙන්නේ රුපියල් බිලියන 401ක් පමණයි. මේ වෙද්දී වාණිජ බැංකු විසින් දෛනිකව මහ බැංකුවෙන් 6.5% පොලියට ණයට ගන්න මුදල රුපියල් බිලියන 543ක්. 

ඒ කියන්නේ, සෘජුව හෝ වක්‍රව රජයේ අයවැය හිඟය මුළුමනින්ම වාගේ පියැවෙන්නේ මහ බැංකුවේ සල්ලි වලින්. සංඛ්‍යාලේඛණ වලට වංගු ගහන්න පුළුවන් වුනත් වංගු ගහලා උද්ධමනය වලක්වන්න බැහැ. 

රුපියල් බිලියන 543න් 2%ක් අරගෙන 365න් බෙදලා බලන්න. දවසකට රුපියල් කෝටි තුනක්! මිලියන 30ක්!! මහ බැංකුවෙන් 6.5% පොලියට ගන්න සල්ලි රජයට 8.5% පොලියට දෙන එකෙන් යම් පිරිසකට දවසකට ලැබෙන ලාබය! ඕකේ අරමුණ සංඛ්‍යාලේඛන වලට වංගු ගහන එක පමණක්මද?

එක්තරා පුද්ගලයෙක් මහ බැංකුව ඇරෙන වෙලාවට මහ බැංකුව ඉදිරිපිටට ඇවිදින් මහ බැංකුවේ නිලධාරීන්ට හා පවුල් වල අයට හෙණ ඉල්ලනවා. සාප කරනවා. මේක රූපවාහිණි නාලිකාවක මාධ්‍ය සංදර්ශනයක් හෝ කාගේ හෝ සැලසුමක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි ඔයිට වඩා පිරිසක් ඔය වැඩේම කරන දවසක් වුනත් එන්න පුළුවන්!

https://www.facebook.com/hirunews/videos/226901726198633/

Saturday, November 13, 2021

අයවැය අභියෝගය


තවත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. තවත් අයවැයක් කියා කිවුවත් මෙය තවත් අයවැයක්ම නෙමෙයි. ලංකාව තීරණාත්මක මංසන්ධියකට එළැඹ සිටින අවස්ථාවක ඉදිරිපත් කෙරෙන අයවැයක්. ලෝකය පුරා විසිරී සිටින, ලංකාව ගැන කවර ආකාරයක හෝ උනන්දුවක් තිබෙන බොහෝ දෙනෙක් දෑස් දල්වා බලා සිටි අයවැයක්.

රාජ්‍ය අයවැයක් කියා කියන්නේ රජයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් පිළිබඳ ලියවිල්ලක් මිසක් එය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන පුද්ගලයාගේ ලොකු තාත්තා, තාත්තා හා අයියා ඇතුළු පරම්පරාව ගැන පුරාජේරු ගහන්න හදන ලියවිල්ලක් නොවන නිසා අපි කෙළින්ම අවශ්‍ය තැනට යමු. 

ඉදිරි වසර සඳහා යෝජිත රජයේ ආදායම් හා වියදම් මෙහෙමයි.

මුළු ආදායම - රුපියල් බිලියන 2,284යි.

මුළු වියදම - රුපියල් බිලියන 3,912යි.

අයවැය හිඟය - රුපියල් බිලියන 1,628යි.

රුපියල් බිලියන 1,628ක අයවැය හිඟයක් පවත්වා ගන්න සැලසුම් කරනවා කියන්නේ ඒ අඩුව ණය වලින් පුරවා ගත යුතුයි කියන එකයි. ඊට අමතරව, ඉදිරි වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා. නමුත්, දැන් ලංකාව ඉන්නේ ලේසියකට විදේශ ණය ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒ නිසා, අයවැය හිඟය පියවන්න වෙන්නේ දේශීය ණය වලින්.

රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 508ක විදේශ ණය ලබා ගන්න සැලසුම් කර තිබෙනවා. එහෙත්, වසර තුළ ආපසු ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 687ක්. ඒ නිසා, අයවැය හිඟය වන රුපියල් බිලියන 1,628ට අමතරව විදේශ ණය වලින් කොටසක් පියවීම සඳහාද රුපියල් බිලියන 179ක දේශීය ණය ලබා ගන්න අවශ්‍ය වෙනවා.

මේ අනුව, දේශීය ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 1,807ක්. එයින් රුපියල් බිලියන 501ක් බැංකු අංශයෙන්ද ඉතිරිය බැංකු නොවන අංශ වලින්ද ලබා ගැනීම සැලසුමයි.

රුපියල් බිලියන 508ක විදේශ ණය කියා කියන්නේ ඩොලරය රුපියල් 200 ගණනේ ගණන් හැදුවොත් ඩොලර් බිලියන 2.54ක්. මේ ප්‍රමාණයෙන් රුපියල් බිලියන 150ක් (ඉහත විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 750ක්) වාණිජ ණය ලෙසත්, ඉතිරි මුදල ව්‍යාපෘති ණය ලෙසත් ලබා ගන්නට යන බවයි සඳහන්ව තිබෙන්නේ.

ව්‍යාපෘති ණය සාමාන්‍යයෙන් හදිසියේ ලබා ගන්න බැහැ. මේ ඇස්තමේන්තුව පදනම් වෙනවා ඇත්තේ දැනට යෝජනා ඉදිරිපත් කර ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු සිදු වෙමින් තිබෙන (pipeline එකේ තිබෙන) ව්‍යාපෘති මත පදනම්ව විය යුතුයි. එසේ වුවත්, එවැනි ව්‍යාපෘති ණය අපේක්ෂා කළ පරිදිම ලැබෙන බවට සියයට සියයක සහතිකයක් නැහැ. මිලියන 750ක් කියා කියන්නේ ලංකාව අරගෙන තිබෙන ණය වල හැටියට ලොකු ණයක් නොවුණත්, මේ වෙලාවේ එවැනි මුදලක් වුවත් වාණිජ ණය ලෙස ලබා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්.

මේ ණය සියල්ල ගත්තත් ලබන වසරේ ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් ඩොලර් මිලියන 900ක් පමණ දේශීය වෙළඳපොළෙන් මිල දී ගන්න සිදු වෙනවා. පසුගිය වසර ගණනාවක් තුළ ලංකාවේ දේශීය වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ ඩොලර් බිලියන දෙකක හෝ තුනක ණය වෙළඳපොළට සැපයීමෙන් පසුවයි. ඒ වැඩේ කරන්න බැරි වීමෙන් පසුව සංචිත ක්ෂය වෙන්න පටන් ගත්තා. ඉන් පසුව, ආනයන පාලනය කරන්න සිදුවුණා.

දැන් සංචිත ඩොලර් මිලියන 2,268 දක්වා පහත වැටිලා. ඒ, විශාල ලෙස ආනයන පාලනය කරන පසුබිමක. මේ වගේ තත්ත්වයක් තුළ රටට එන ඩොලර් වලින් ඩොලර් මිලියන 900ක් ණය ගෙවන්න ගන්නවා කියන්නේ එම අඩුව හා ගැලපෙන පරිදි තව දුරටත් ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. එසේ නැත්නම්, සංචිත තවත් අඩු වෙනවා කියන එකයි.

මේ විදිහට ඩොලර් මිලියන 900ක් දේශීය වෙළඳපොළෙන් හොයා ගෙන ගොඩ දාගන්න පුළුවන් වෙන්නේත් අපේක්ෂිත පරිදි ඩොලර් බිලියන 2.54ක් ණය ගන්න පුළුවන් වුනොත්. වාණිජ ණය ලෙස ඩොලර් මිලියන 750ක් ලබා ගැනීම බොහෝ විට සිදු නොවෙන්න පුළුවන්. ව්‍යාපෘති ණය වුවත්, ඇස්තමේන්තුවේ තිබෙන තරමටම නොලැබෙන්න වැඩි ඉඩක් තිබෙනවා. බොහෝ විට සිදු විය හැකි පරිදි, විදේශ ණය ගෙවීම සඳහා මිල දී ගත යුතු ඩොලර් අවශ්‍යතාවය ඩොලර් මිලියන 900ක් නොවී ඩොලර් බිලියන 2ක් පමණ වුවහොත්, එය ඉතාම දරුණු තත්ත්වයක්.

සංචාරක කර්මාන්තය යම් තරමකින් හිස ඉසෙවුවොත් එයින් සහනයක් ලැබෙයි. එහෙත්, ඉදිරි වසරේදී එසේ සංචාරක කර්මාන්තය හිස එසෙවුවත්, වසංගතයට පෙර පැවති මට්ටමට නැවත යාමේ ඉඩක් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට සංචාරකයෝ රටට ගෙන්නන එකත්, ආනයන සීමා දිගටම පවත්වා ගැනීමත් දෙකම එකට කිරීම අසීරු වැඩක්.

එක දෙයක් පැහැදිලියි. ඒ, ඉදිරි වසර තුළද දැඩි ආනයන සීමා පවත්වා ගන්න සිදු වෙනවා කියන එක. එහි අහිතකර ප්‍රතිඵල ගණනාවක් තිබෙනවා. රට තුළ භාණ්ඩ හිඟය, ආර්ථික වර්ධනය අඩාල වීම හා මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස මිල ගණන් ඉහළ යාම එයින් ප්‍රධාන දේවල්. 

මේ වගේ තත්ත්වයක් යටතේ අපේක්ෂිත පරිදි බදු ආදායම් වැඩි කර ගත හැකි වෙයිද? 

භාණ්ඩ හා සේවා බදු ආදායම වසර තුළ 58.6%කින්ද, ආදායම් බදු ආදායම 68.1%කින්ද, ආනයන බදු ආදායම 21.1%කින්ද, බදු නොවන ආදායම්  32.9කින්ද වැඩි කර ගැනීම සැලසුමයි. වැඩිම මුදලක් උපයා ගන්න සැලසුම් කර තිබෙන්නේ භාණ්ඩ හා සේවා බදු වලින්. මේ බදු  නිසා සෘජු ලෙසම භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ආනයන බදු නිසා වෙන්නේත් බඩු මිල ඉහළ යාමයි. සමාගම් වල ආදායම් මත අය කරන බදු වලින් විශාල කොටසක්ද එම සමාගම් විසින් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනෙන නිසා එයින්ද බඩු මිල ඉහළ යනවා.

පසුගිය ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම දේශපාලන සටන් පාඨයක් කර ගනිමින් බලයට පත් වූ මේ ආණ්ඩුවටද අවසන් වශයෙන් ඒ දේම කරන්නට සිදු වීමෙන් පෙනෙන්නේ මේ ආණ්ඩුවටද ඊට වඩා වෙනස් විකල්පයක් නැති බවයි. විශාල රජයක් නඩත්තු කරන්න අවශ්‍යනම් එහි මිලද සෘජුව හෝ වක්‍රව අය කර ගන්නම වෙනවා.

ලංකාවේ ආණ්ඩු විසින් කාලයක් තිස්සේ රාජ්‍ය අයවැය හරහා ජනතාවට විවිධ සහන ලබා දෙමින් එහි බර ඉදිරි ආණ්ඩුවකට තල්ලු කළා. දැන් එය තව දුරටත් කළ නොහැකියි. මේ යථාර්තයට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනේ යහපාලන ආණ්ඩුවටයි. එම ආණ්ඩුව 2015දී මැතිවරණය ඉලක්ක කර විවිධ සහන දුන්නා. එහෙත්, ඔවුන්ට එවැනි සහන නඩත්තු කරමින් වසර හතරක් ඇද ගන්න පුළුවන්කමක් ඒ වන විට තිබුණේ නැහැ. ඒ නිසා, අන්තිමට දුන්නාටත් වැඩියෙන් ආපසු ගන්න සිදු වුනා. මෙය කරන්න යාමේදී ආණ්ඩුවේ ජනප්‍රියත්වය හොඳටම ගිලිහුණා.

මේ ආණ්ඩුවද බලයට පත් වූ වහාම, මැතිවරණ ඉලක්ක කර, ඊටත් වඩා විශාල සහන දුන්නා. එහෙත්, මේ ආණ්ඩුවට එවැනි සහන නඩත්තු කරමින් ඊළඟ මැතිවරණය දක්වා රාජ්‍යමූල කළමනාකරණය කළ නොහැකියි. මේ ආණ්ඩුවටත් දැන් යථාර්තයට මුහුණ දෙන්න සිදු වෙලා. වෙනත් අයෙකු බලයට පැමිණියා කියලාත් මේ යථාර්තය වෙනස් වෙන්නේ නැහැ. මැතිවරණ පොරොන්දු, අයවැය සහන ගැන බලාපොරොත්තු තැබිය හැකි වූ යුගය දැන් ඉවරයි. අලුතින් බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් එවැනි පොරොන්දු දී එම පොරොන්දු ඉටු කළහොත්, ඊළඟ වසරේ සිටම එසේ ලබා දුන් සහන සියල්ල පොලියත් සමඟ ආපහු ගන්නම වෙනවා.

යහපාලන ආණ්ඩුව දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත්තේ රාජපක්ෂලාගේ "හොරකම්". බැඳුම්කර "හොරකම" එක්ක ඔවුන්ගේ සටන් පාඨය ඔවුන්ටම පාරාවළල්ලක් වුනා. යහපාලන බදු දේශපාලනික සටන් පාඨයක් ලෙස ප්‍රයෝජනයට ගත් මේ ආණ්ඩුවටද ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ එවැනිම අභියෝගයකටයි. 

බදු නිසා බඩු මිල ඉහළ යනු ඇතත් ඒ එක්කම ඉල්ලුම පහළ යන නිසා ඇස්තමේන්තු වල තිබෙන තරමට ආදායම් ලැබේයයි සිතිය නොහැකියි. එසේ වුවහොත්, වියදම්ද සීමා කරන්න වෙනවා. අයවැය ඇස්තමේන්තු වල තිබෙන ප්‍රාග්ධන වියදම් වලින් වැඩි කොටසක් කපා හැරෙනු ඇති බවනම් සහතික කර කිව හැකියි. පුනරාවර්තන වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව ඉතාම අසීරු කටයුත්තක්.

දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 1,807ක් ණය ලබා ගැනීමද පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා පොලී අනුපාතික වැඩි කරන්න සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී රජයේ වියදම්ද ඉහළ යනවා. ඒ නිසා, බැංකු අංශයෙන් ණය ගැනීම් අයවැය ඇස්තමේන්තු වල තිබෙන ගණන් ඉක්මවයි කියන එක කියන්න මහ ලොකු විශ්ලේෂණයක් කළ යුතු නැහැ. බොහෝ විට සිදු විය හැකි පරිදි, ඇස්තමේන්තු වල ඇති තරමට විදේශ ණය නොලැබුණොත් ඒ අඩුව පුරවන්න වෙන්නෙත් දේශීය ණය වලින්. ඒ කියන්නේ තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා කියන එකයි.

මේ වගේ තත්ත්වයක් යටතේ ඩොලරයේ මිල ස්ථාවරව තියා ගෙන ඉන්න එක කරන්න පුළුවන් වෙයිද?

එක දෙයක්නම් පැහැදිලියි. ඒ බඩු මිල විශාල ලෙස ඉහළ යාමට නියමිත බවයි. ගිය වසරේ අයවැය ඇස්තමේන්තු වල ආදායම් අයිතමයන් සැබෑ ආදායම් හා සැසඳූ විට හැම අයිතමයකම වගේ දැකිය හැක්කේ සැබෑ ආදායම ඇස්තමේන්තුවට වඩා අඩු බවයි. හැබැයි ඇස්තමේන්තුව ඉක්මවා අදායම් ලැබී ඇති අයිතමයක්ද තිබෙනවා. ඒ පාස්පෝට් ගාස්තු ආදායම!


Thursday, October 28, 2021

මූඩීස් ලංකාව තවත් පහළට දමයි!


මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ ණය අවදානම Caa1 ශ්‍රේණියේ සිට Caa2 ශ්‍රේණිය දක්වා තවත් කට්ටයකින් පහළට දමා තිබෙනවා. මේ අනුව පෙනෙන්නේ මහ බැංකුවේ නව අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කෙටිකාලීන මාර්ග සිතියම මූඩීස් ආයතනය විසින් සාධනීය ලෙස දැක නැතුවාට අමතරව, තවත් නිශේධනීය ලෙස දැක ඇති බවයි. 

විදේශ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටී තිබියදී, ඉදිරි කාලයේදී ගෙවිය යුතු ණය ආපසු ගෙවීම සඳහා මුදල් සොයා ගත හැකි ක්‍රමයක් පැහැදිලිව පෙනෙන්නට නැති පසුබිමක, මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ තක්සේරුව අනුව ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම තව දුරටත් ඉහළ යාම මෙම තීරණයට හේතු වූ බව එම ආයතනය විසින් පවසනවා. ඒ වගේම, ඉතා කෙටි කාලයක් තුළ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වීමේ දැවැන්ත අවදානම අඩු කර ගැනීම සඳහා රටේ ආයතන විසින් තීරණාත්මක පියවර ගෙන නැති බව මේ නිගමනය තුළින් පිළිබිඹු වන බවද ඔවුන් පවසනවා.

ද්‍රවශීල විදේශ වත්කම් නැති වීමේ අවදානම විශාල ලෙස ඉහළ යාම, මෑතකාලීනව ණය නොවන විදේශ මුදල් යම් ප්‍රමාණයක් හොයා ගෙන තිබුණත් එදාවේල ක්‍රමයට ද්විපාර්ශ්වික ණය හා විණිමය හුවමාරු ගිවිසුම් හරහා මුදල් හොයා ගැනීම කෙරෙහි රජය විශ්වාසය තැබීම, දිගින් දිගටම විශාල අයවැය හිඟයක් නඩත්තු කිරීම හා රජයේ ආදායම් විශාල ලෙස පහත වැටී තිබීම හමුවේ අලුතින් ණය ලබා ගැනීම වඩා වඩා අසීරු වෙමින් තිබෙන බවද මූඩීස් ආයතනය සඳහන් කරනවා.

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අයවැය ඔන්න මෙන්න කියා තියෙද්දී, මූඩීස් ආයතනය විසින් මෙසේ ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීම පිළිගත නොහැකි බවයි.

Saturday, September 25, 2021

යහපාලන ණය හා රාජපක්ෂ ණය


යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,487ක් පමණයි. යහපාලන ආණ්ඩුවේ පාලන කාලය අවසන් වෙද්දී (2019 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,032ක් වෙලා. ඒ කියන්නේ රුපියල් බිලියන 5,545කින් වැඩි වෙලා. 

ඉහත සංඛ්‍යා ගැන ටිකක් වැඩිපුර කතා වෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට සම්බන්ධ අය මේ ණය වැඩි වීම උලුප්පා පෙන්වනවා. අද මහ බැංකු අධිපති කබ්රාල් සහභාගී වූ සාකච්ඡාවකදීත් ඔහු මේ ණය වැඩි වීම ගැන කතා කළා. සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛණ ගැන වැඩි අවබෝධයක් නැති, පක්ෂයක් බදා ගෙන නැති අයට පවා මේ සංඛ්‍යාලේඛණ ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ තරම් ණය අරගෙන යහපාලන ආණ්ඩුව කළේ මොනවද? ඇරත් ඔය තරම් බදු වැඩි කිරීමෙනුත් පසුව?

යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටි ඇතැම් දේශපාලනඥයින්ට අනුව එම ආණ්ඩුව ණය අරගෙන තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවන්න. එහෙම ණය ගෙවුවානම් ණය අඩු නොවී වැඩි වුනේ කොහොමද?

රජයේ ආදායමට වඩා වියදම වැඩි වූ විට අඩුව පියවන්න සිදු වන්නේ ණය වලින්. ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එකයි. 1955 වසරෙන් පසුව මේ තත්ත්වයේ යම් වෙනසක් ඇති වුනේ 2017 හා 2018 දෙවසර තුළ පමණයි. එම දෙවසර තුළ ණය පොලී වියදම් හැරුණු විට රජයේ අනෙකුත් වියදම් ආදායමට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට ආණ්ඩුව සමත් වුනා. මෙය හැඳින්වෙන්නේ ප්‍රාථමික අයවැය පරතරය ලෙසයි. මේ දෙවසර තුළ ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත්, 1955න් පසුව අනෙකුත් සෑම වසරකදීම ලංකාවේ දැකිය හැකි වුනේ ප්‍රාථමික අයවැය හිඟයක්.

යහපාලන ආණ්ඩු කාලය ගත්තත් 2017 හා 2018 දෙවසර තුළ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත් 2015දී හා 2019දී ඊට වඩා විශාල ප්‍රාථමික අයවැය හිඟයක් පැවති නිසා යහපාලන ආණ්ඩුවද සමස්තයක් ලෙස ලංකාවේ ණය මල්ල ලොකු කිරීමට මිස කුඩා කිරීමට දායක වුනේ නැහැ. අදාළ කාලය තුළ සමස්තයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා රුපියල් බිලියන 371ක් වියදම් කළා.

යහපාලන ආණ්ඩුව අවුරුදු හතරටම ආදායම ඉක්මවා වියදම් කළේ රුපියල් බිලියන 371ක් පමණක්නම් රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,545කින් වැඩි වුනේ කොහොමද?

ප්‍රාථමික අයවැය හිඟය හැරුණු විට මේ වැඩි වීමට හේතු දෙකක් තිබෙනවා. එකක් පරණ ණය වල පොලිය එකතු වීම. දෙවැන්න පරණ ණය වල වෙළඳපොළ අගය වෙනස් වීම. මෙසේ වෙළඳපොළ අගය වෙනස් වීමට බොහෝ දුරට හේතු වන්නේ විණිමය අනුපාතය වෙනස් වීමයි. එහෙත් එය එකම හේතුව නෙමෙයි.

උදාහරණයක් විදිහට 2015 වසර තුළ පමණක් රුපියල් බිලියන 7,487 සිට රුපියල් බිලියන 8,599 දක්වා රුපියල් බිලියන 1,112කින් රාජ්‍ය ණය ඉහළ ගියා. එහෙත් එම වසරේ රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 320ක් පමණයි. (මෙයත් විශාල මුදලක්.) ඉතිරි මුදල වැඩි වුනේ රුපියල් බිලියන 510ක පොලී එකතු වීමෙන් හා රුපියල් බිලියන 283කින් ණය වල අගය වෙනස් වීමෙන්.

යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 අතර සිදු වූ රුපියල් බිලියන 5,545ක ණය වැඩි වීමෙන් රුපියල් බිලියන 3,610ක්ම පොලී එකතු වීම්. තවත් රුපියල් බිලියන 1,564ක් ණය වල අගය වෙනස් වීම්. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව ඇත්තටම ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන 371ක් පමණක් වුවත් තවත් රුපියල් බිලියන 5,174කින් ණය ඉහළ ගොස් තිබෙන්නේ පරණ ණය වලට පොලී එකතු වීමෙන් හා අගය වෙනස් වීමෙන්. මෙයින් යහපාලන ආණ්ඩුව කාලයේම ගත් ණය වල පොලිය එකතු වීම හා අගය වෙනස් වීම රුපියල් බිලියන 167ක් පමණයි. ඉතිරි කොටස තනිකරම පරණ ණය. 


යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 537

පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 12,494

මුළු ණය - රුපියල් බිලියන 13,032


මේ පරණ ණය රාජපක්ෂ ණයද?

රාජපක්ෂ දශකය තුළ රුපියල් බිලියන 2,144 සිට (2004 වසර අවසානයේදී) රුපියල් බිලියන 7,487 දක්වා (2014 වසර අවසානයේදී) රුපියල් බිලියන 5,343කින් රාජ්‍ය ණය ඉහළ ගියා. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදී වගේම රාජපක්ෂ දශකය තුළත් ඔය තරමින් ණය ඉහළ ගියේ ආදායම ඉක්මවා වියදම් කළ නිසාම නෙමෙයි. එම කොටස රුපියල් බිලියන 966ක් පමණයි. රුපියල් බිලියන 3,094ක්ම ණය පොලී. තවත් රුපියල් බිලියන 1,440ක් ණය වල අගය වෙනස් වීමේ ප්‍රතිඵල. ඒ අතර රාජපක්ෂ ණය වලම පොලිය හා අගය වෙනස් වීමේ ප්‍රතිඵලද තිබුණත් වැඩි කොටස පරණ ණය. 

මේ අනුව, 2019 අවසානය වන විට වාර්තා වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයෙන් රාජපක්ෂ ණය ප්‍රමාණය කොපමණද?


යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 537

රාජපක්ෂ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 2,449

පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම - රුපියල් බිලියන 10,046

මුළු ණය - රුපියල් බිලියන 13,032


ඔය විදිහට ගණන් හදාගෙන ආපස්සට ගියොත් ලංකාවේ රාජ්‍ය ණය කියා කියන්නේ නිදහසින් පසු හැම ආණ්ඩුවක් විසින්ම ආදායම ඉක්මවා වියදම් කිරීමේ ප්‍රතිඵලයක් මිසක් එක ආණ්ඩුවක වරදකින් සිදු වූ දෙයක් නෙමෙයි. මේ ණය උගුලෙන් ගැලවෙන්නනම් අයවැය හිඟය අඩු කර ගැනීම මිස වෙනත් විකල්පයක් නැහැ. 

Saturday, September 4, 2021

එක රටක් විණිමය අනුපාත දෙකක්


වසරකට දෙකකට පෙර හදිසියේ මාධ්‍ය අවධානය දිනාගත් එක් පුද්ගලයෙකු විසින් මෑතකදී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස යෝජනා කර තිබුණේ ලංකාව රුපියලට සමාන්තරව තවත් මුදල් ඒකකයක් නිකුත් කිරීමෙන් ප්‍රශ්නයෙන් ගොඩ යා හැකි බවයි. මේ ගැන අපේ ඇතැම් පාඨකයින් විසින් අපෙන්ද අදහස් විමසා සිටියා. 

ගඟේ ගහගෙන යන වෙලාවක පිදුරු ගස් ගැන වුවත් බොහෝ දෙනෙකු විමසිලිමත් වීම තේරුම් ගැනීමට අපහසු නැතත්, කිසිදු තාර්කික හෝ මූලධාර්මික පදනමක් නොතිබුණු, වැරදි තොරතුරු මත පදනම් වූ, ඉහත කතාවේ හදිසියේ හීනෙන් නැගිට කියවන දෙයකට වඩා ගත යුත්තක් තිබුණේ නැහැ. එහෙත්, ඒ ප්‍රකාශය ජනගත කර වැඩි කලක් යාමට පෙර ලංකාවේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයක්නම් බිහි වී තිබෙනවා. වඩාත් නිවැරදිව ත්‍රිත්ව විණිමය අනුපාත ක්‍රමයක් කියා කියන්නත් පුළුවන්.

මහ බැංකුවට අනුව, මේ වන විට ඩොලරයක විකිණුම් මිල රුපියල් 203කට වඩා අඩුයි. එහෙත්, ඒ මිලට වාණිජ බැංකු වල ඩොලර් තිබෙනවාද?

සම්පත් බැංකුව - රුපියල් 226.75යි 

කොමර්ෂල් බැංකුව - රුපියල් 226යි 

සෙලාන් බැංකුව - රුපියල් 227යි 

හැටන් නැෂනල් බැංකුව - රුපියල් 226යි 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - රුපියල් 229යි 

ඩීඑෆ්සීසී බැංකුව - රුපියල් 227.25යි.

අමානා බැංකුව - රුපියල් 232යි.

එන්ඩීබී බැංකුව - රුපියල් 228යි 

වාණිජ බැංකු වලින් පිටත, ඩොලරයේ කළු කඩ මිල රුපියල් 250-260 අතර බව පැවසෙනවා. 

මහ බැංකුව විසින් කාලයක් තිස්සේම ඩොලරයක මිල එය තිබිය යුතු අගයට වඩා පහළින් තියා ගත්තා. පසුගිය රාජපක්ෂ දශකය තුළ පෙනෙන්නට තිබුණු ආශ්චර්යයේ රහසිගත වට්ටෝරුව වූයේ මෙයයි. මේ විදිහට වසර ගණනක් තිස්සේ හැදූ මාලිගාවට අත්තිවාරමක් තිබුණේ නැහැ. අත්තිවාරම් නොදමා හදන තට්ටු ගෙවල් කොයි වෙලාවක හෝ කඩා වැටෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ කළ මුක්කු ගැසීම් නිසාත්, ඒ කාලය තුළ ගොඩනැගිල්ල තව තවත් උසට නොහැදූ නිසාත් එය කඩා නොවැටී තිබුණා. ඒ හැර, ඒ කාලයේ අත්තිවාරම් ශක්තිමත් කිරීමක් සිදු වුනේ නැහැ.

රාජපක්ෂ ණය ගැන කාලයක් තිස්සේ ගොඩක් අය කතා කළා. එසේ වුවත්, මා ඒ දවස් වලම පැහැදිලි කළ පරිදි, ලංකාව ණය උගුලක පැටලුවේ රාජපක්ෂලා නෙමෙයි. ඔවුන් ආණ්ඩුව භාර ගන්නා විට ලංකාව ණය උගුලක පැටලී අවසන්. රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ණය උගුලක කොහොමටත් පැටලී සිටි ලංකාව විශාල ගෙවුම් ශේෂ උගුලකද පැටලවීමයි. දැන් ගැලවෙන්න අසීරු වී තිබෙන්නේ මේ දෙවන උගුලෙන්.

වසර තුනකට පෙර ලියූ පහත ලිපිය නැවත කියවන්න.

රාජපක්ෂ ණය

මහ බැංකුවට ඩොලරයක මිල එය තිබිය යුතු මිලට වඩා ඉහළින් හෝ පහළින් තියා ගන්න පුළුවන්. මෑතකාලයේදී සීඝ්‍ර ආර්ථික වර්ධනයක් පෙන්වූ චීනය වැනි රටවල සිදු වුනේ පළමුවැන්න වුවත් ලංකාවේ සිදු වුනේ දෙවැන්නයි. ඩොලරයක මිල එය තිබිය යුතු මිලට වඩා පහළින් තියා ගන්නනම්, සාමාන්‍ය ක්‍රමයට උපයන ඩොලර් වලට අමතරව ඩොලර් සැපයුමක් සිදු විය යුතුයි. වාණිජ බැංකු වලට සංචිත විකිණීම හරහා මහ බැංකුවට මෙය කළ හැකියි. 

කෙටිකාලීනව මහ බැංකුවට සංචිත විකුණා ඩොලරය පහළින් තබා ගත හැකි වුවත් එහිදී සංචිත පහළ වැටෙන නිසා මේ වැඩේ කළ හැකි සීමාවක් තිබෙනවා. එයට පිළියමක් ලෙස රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ඉහළ පොලියකට ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරමින් ඒ හරහා ණයට ගන්නා ඩොලර් මහ බැංකුවට විකිණීමයි. මේ ක්‍රමයට දිගින් දිගටම ඩොලරයක මිල පහළින් තියා ගන්න පුළුවන් වුනා. 

ඩොලරයේ මිල පහළින් තියා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන ලාබ වී ආනයන විශාල ලෙස ඉහළ ගියා. අපනයනකරුවන්ගේ ආදායම් පහළ ගොස් අපනයන කඩා වැටුනා. ආනයන අපනයන පරතරය විශාල ලෙස වැඩි වුනා. රාජපක්ෂ දශකය තුළ ලංකාවේ ජාතික ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් විනාශ වූ ආකාරය වසර පහකට පෙර මා පහත ලිපියේ විස්තර කළා.

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (දෙවන කොටස)

ඩොලරයේ මිල පහළින් තියා ගැනීම නිසා ආනයන අපනයන පරතරය ඉහළ යද්දී, ඩොලරය පහළින් තියා ගැනීම සඳහා තව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය අරගෙන රටේ ඩොලර් සැපයුම වැඩි කරන්න සිදු වුනා. වත්මන් ආර්ථික අර්බුදයට මූල හේතුව වන, ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාම රාජපක්ෂ දශකය තුළ කොයි තරම් දරුණු විදිහට සිදු වුනාද කියා මා පහත ලිපියේ විස්තර කර තිබෙනවා. ලිපිය අවසානයේ තිබෙන වගුව බලන්න.

රටේ ණය හා රජයේ විදේශ ණය

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව යම් තරමකින් ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. එහෙත්, විපක්ෂයේ ඝෝෂාවන් ඇතුළු වෙනත් හේතු නිසා මේ වැඩේ වුනත් හරියකට කරගන්න ඉඩ ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින්ද වඩා ලේසි රාජපක්ෂ ක්‍රමය වෙතම හැරුණා. ණය සේ ලබාගත් ඩොලර් මහ බැංකුව හරහා තවතවත් වෙළඳපොළට මුදා හැරුණා. හිර වී සිටි ගෙවුම් ශේෂ උගුල තුළ ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් තිබුණේත් නැහැ. පහත ලිපිය ලිවුවේ යහපාලන ආණ්ඩුවේ අන්තිම කාලයේදී.

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල

යහපාලන ආණ්ඩුව කාලයේදී හෝ රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනානම් අද තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. අප මේ ගැන දිගින් දිගටම අවවාද කළා. එහෙත්, රටේ දේශපාලන බලය තිබෙන, හඬක් තිබෙන, බොහෝ දෙනෙකුට ඩොලරයක මිල ඉහළ යාම දරාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා, විකල්පය වුනේ ස්වෛරිත්ව බැඳුම්කර හරහා තවතවත් ණය ගැනීමයි.

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?

එකසිය හැටයි! ලාබයි!!

ඩොලරයක අගය රුපියල් 230ක් පමණ විය යුතුව තිබුණේ වසර තුනකට පමණ පෙරයි. එසේ වූවානම් මේ වෙද්දී ආනයන අපනයන පරතරය සැලකිය යුතු ලෙස අඩු වෙලා. දැන් පරක්කු වැඩියි.

මේ වෙද්දී ඩොලරයක මිල මහ බැංකු පාලනයෙන් ගිලිහී පාලනයක් නැතිව ඉහළ යමින් තිබෙනවා. එහෙත්, මේ විදිහට ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස වසංගත කාලයේ එය සිදු වුනා කියා කලින් ලබා ගත හැකිව තිබුණු වාසි ලැබෙන්නේ නැහැ.

Saturday, July 31, 2021

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත්


මේ වියුණුව හරහා මා පෙර ලිපි ගණනාවකින් රාජ්‍ය ණය සහ විදේශ ණය අතර වෙනස පැහැදිලි කර තිබෙනවා. සියලුම රාජ්‍ය ණය විදේශ ණය නොවනවාක් මෙන්ම සියලුම විදේශ ණය රාජ්‍ය ණයද නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය ණය අඩු වෙද්දී විදේශ ණය ඉහළ යා හැකියි. ඒ වගේම විදේශ ණය අඩු වෙද්දී රාජ්‍ය ණය ඉහළ යා හැකියි. මේ වෙද්දී, අඩු වශයෙන් අපේ වියුණුවෙහි පාඨකයින්ට, රාජ්‍ය ණය සහ විදේශ ණය අතර සම්බන්ධය පිළිබඳ ලොකු ගැටළු නැතැයි මා සිතනවා.

මහ බැංකුව සහ භාණ්ඩාගාර බිල්පත් අතර සම්බන්ධයද මෙවැනිම පැටලිලි සහගත දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙකුට මේ සම්බන්ධය පිළිබඳව විවිධ ගැටළු මතු වෙනවා.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම කිසියම් රටක රජය විසින් ණය ලබා ගන්නා ක්‍රමයක්. එම ණය දේශීය ණය හෝ විදේශීය ණය විය හැකියි. එය තීරණය වන්නේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ රට වැසියෙක්ද නැත්නම් විදේශිකයෙක්ද යන්න මතයි. රජයක් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලින් යම් කොටසක් එම රටේ මහ බැංකුව විසින්ද මිල දී ගන්නට ඉඩ තිබෙනවා. එහිදී මහ බැංකුව විසින් රජයට ගෙවන්නේ අලුතෙන් මුද්‍රණය කළ මුදල්. ඒ නිසා රටේ මුදල් සැපයුම ඉහළ යනවා. 

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී රටේ මුදල් සැපයුම ඉහළ ගියත්, එම බිල්පත් කල් පිරෙද්දී රජය විසින් ණය ලෙස ලබාගත් මුදල පොලියද සමඟ ආපසු මහ බැංකුවට ගෙවන නිසා කලින් සංසරණයට එකතු වූ මුදල් සංසරණයෙන් ඉවත් වී නැවතත් මහ බැංකුව කරාම පැමිණෙනවා. මෙහිදී මුදල් සැපයුමෙහි අඩු වීමක් සිදු වෙනවා. 

ඉහත පරිදි මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංසරණයට එකතු වන මුදල් නැවතත් කෙටි කලකින් මහ බැංකුව වෙතම ආපසු පැමිණියහොත් එයින් රටේ උද්ධමනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු වන්නේ නැහැ. උද්ධමනයට හේතු වන්නේ මුදල් සැපයුම ඉහළ ගොස් දිගු කලක් එම ඉහළ මට්ටමෙහිම පැවති විටයි. මහ බැංකුව සතු රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය මහ බැංකුවේ වත්කමක් වන අතර රජයේ ණයක් හෙවත් බැරකමක්.

මේ ආකාරයෙන් මහ බැංකුව විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇතැම් විට මහ බැංකුව විසින් කල් පිරෙන තුරු තබා ගන්නා නමුත් හැම විටම එසේ කරන්නේ නැහැ. කල් පිරෙන්නට පෙර ඒවා බොහෝ විට ද්වීතියික වෙළඳපොළේ විකුණනවා. එවිට මහ බැංකුවට කල් පිරෙන්නට පෙරම මුදල් නැවත ලැබෙනවා. කල් පිරීමේදී රජය විසින් බිල්පතෙහි ඒ වන විට අයිතිකරුට මුදල් ගෙවනවා. මේ ආකාරයෙන්ම මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන කලින් මිල දී ගත් අයෙකුගෙන් මිල දී ගැනීමද කරනවා. 

මහ බැංකුව විසින් සෘජුව රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තත්, වෙනත් අයෙකුගෙන් ද්වීතියක වෙළඳපොළෙන් මිල දී ගත්තත් ඒ වෙනුවෙන් ගෙවන්නේ අලුතින් මුද්‍රණය කළ මුදල් නිසා මුදල් සැපයුම ඉහළ යනවා. බිල්පත් කල් පිරීමේදී හෝ ඊට පෙර ද්වීතියක වෙළඳපොළෙහි විකිණීමේදී මුදල් සැපයුම අඩු වෙනවා.

මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් හා අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන තවත් කාර්යයක් තිබෙනවා. ඒ රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කර වෙන්දේසි කිරීමයි. මෙය ඉහත කී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් හා විකිණීමෙන් වෙනස් වෙනම වැඩක්. පළමු කාර්යය ලෝකයේ බොහෝ මහ බැංකු විසින් කරන දෙයක් වුවත් දෙවැන්න එසේ ලෝකයේ අනෙකුත් රටවල සිදුවන සාමාන්‍ය දෙයක් නෙමෙයි. එය තනිකරම රජයේ නියෝජිතයෙකු ලෙස රජය වෙනුවෙන් කරන කාර්යයක්.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන විට රාජ්‍ය ණය ඉහළ යනවා. එම බිල්පත් කල් පිරුණු විට රාජ්‍ය ණය පහළ යනවා. මෙසේ රජය වෙනුවෙන් මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන බිල්පත් මහ බැංකුව විසින්ම මිල දී ගත්තොත් හැර එයින් රටේ මුදල් සැපයුමට බලපෑමක් සිදු වන්නේ නැහැ.

මහ බැංකුව වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින්. මෙහි අරමුණ රටේ මුදල් සැපයුම නිසි මට්ටමෙහි ස්ථාවරව තබා ගැනීමයි. එහිදී මහ බැංකුව විසින් ලාබ ඉපැයීම වැනි ඉලක්ක පසුපස යන්නේ නැහැ. මුදල් සැපයුම පාලනය කිරීම හරහා අවසාන වශයෙන් ඉලක්ක කරන්නේ උද්ධමනය පාලනය කිරීමයි.

රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සහ කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින්. වසර කිහිපයකට පෙර බොහෝ කතා බහට ලක්වූ බැඳුම්කර වෙන්දේසිය වැනි වෙන්දේසි පැවැත්වෙන්නේ මෙම දෙපාර්තමේන්තුවේ. එම වෙන්දේසි සහ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අතර කිසිදු සෘජු සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ වෙන්දේසියේදී වෙන්දේසි කෙරෙන්නේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් නෙමෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ බැංකුකරු ලෙසද කටයුතු කරනවා. ඒ අනුව, රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මහ බැංකුව රජයට ණය දෙනවා. දැන්නම් පළමුවැන්න සිදුවන්නේ ඉතා අඩුවෙන්. බොහෝ විට සිදු වන්නේ දෙවැන්නයි. මෙහිදී රජයට දෙන ණය ලෙස හැඳින්වූයේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් රජයට එසේ නැතිවත් ණය දෙනවා. මහ බැංකුව විසින් කවර ආකාරයකින් රජයට ණය දුන්නත් එයින් මුදල් සැපයුම ඉහළ යනවා. 

පසුගිය ජූලි 28 දින වන විට රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 8,216ක්. එයින් රුපියල් බිලියන 1,136ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල හිමිකරු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මෙය පෙර නොවූ විරූ මට්ටමක් වුවත්, ඒ වගේම යම් තරමක සල්ලි අච්චු ගැසීමක්ද සිදුව තිබුණත්, මෙය බොහෝ දුරට මහ බැංකුව සතු වූ විදේශ සංචිත විකිණීමේ අතුරු ප්‍රතිඵලයක් මිසක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. 

Monday, July 26, 2021

ලංකාවේ රජය පැහැර හැරි ණය


මේ දවස් වල ලංකාවේ ජනප්‍රිය මාතෘකා දෙකකින් පළමුවැන්න ඩොලර් හිඟය සහ ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම. දෙවැන්න කොතලාවල ප්‍රශ්නය සහ ගුරු වර්ජනය. පළමු කාරණාව සම්බන්ධව කොහොම වෙතත් දෙවැන්න සම්බන්ධව අපේ පෞද්ගලික හිත මිතුරන් හා පාඨකයින් දෙපිල බෙදී සිටීමක් දැකිය හැකියි. මේ බෙදීම සාමාන්‍ය පක්ෂ දේශපාලන බෙදීමම නොවන බවත් මට නිරීක්ෂණය වූ දෙයක්.

මීට පෙර සයිටම් ප්‍රශ්නය වෙලාවේදී මා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි බව ඔබට මතක ඇති. නිදහස් අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කරන්නේ කවර හෝ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය අයෙකුට එම අධ්‍යාපනය ලබා ගැනීමට  තිබෙන අයිතිය. අධ්‍යාපනය ලබා දීමේ පිරිවැයක් තිබෙන නිසා එම පිරිවැය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාට හෝ වෙනත් අයෙකුට ගෙවන්නත් සිදු වෙනවා. තෙවන පාර්ශ්වයක් විසින් එය වැලැක්වීමෙන් සිදු වන්නේ නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කිරීමක්. 

මේ අර්ථයෙන් මම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා මුදල් අය කර සිවිල් වැසියන්ට උපාධි පිරිනැමීම ගැන විරුද්ධ නැහැ. එහෙත් මේ විරෝධය තුළ කතා වන හැම දෙයක් ගැනම මට අවබෝධයක් නැහැ. අදාළ පණත මා විසින් අධ්‍යයනය කර නැහැ. ඒ නිසා, ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ.

පළමු මාතෘකාවට ආවොත්, බාහිර ලෝකයේ ඇසින් ලංකාවේ රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලංකාව තුළ වුවත් එය එසේ නොවන බව කියන පිරිස ඉතාම සීමිතයි. 

ලංකාවේ රජය බොහෝ විට ආඩම්බරයෙන් කියන දෙයක් වන්නේ මෙතෙක් කිසි විටෙකත් ලංකාවේ රජය විසින් ලබා ගත් ණය පැහැර හැර නැති බවයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියා කියන්නේ යාළුවෙක්ගෙන් ණයට ලබා ගන්නා රුපියල් පන්දාහක් ආපසු නොගෙවා මග හරිමින් සිටීම වැනි සරල දෙයක් නෙමෙයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියන එකට තිබෙන්නේ පුළුල් අර්ථකතනයක්. ණය ලබා ගැනීමේදී එකඟ වූ කොන්දේසි යාන්තමින් ඉටු නොවීම ණය පැහැර හැරීමක් ලෙස වාර්තා විය හැකියි.

රජයක් හෝ පෞද්ගලික සමාගමක් විසින් බැඳුම්කරයක් නිකුත් කිරීමේදී එහි කූපන් පොලී මුදල් හා මුල් මුදල ආපසු ගෙවන දින වකවානු පිළිබඳ නිශ්චිත එකඟතාවයක් තිබෙනවා. හරියටම ඒ කියපු දවසට මුදල් ගෙවන්න නොහැකි වී සුළු හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය ණය පැහැර හැරීමක් සේ සැලකෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මුදල් හුවමාරු සිදු වන්නේ දෙල්කඳ පොළෙන් පොළොස් ගෙඩියක් මිල දී ගන්න විදිහට නෙමෙයි. මුදල් ගෙවන්නා සහ මුදල් ලබන්නා එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ වෙනත් අතරමැදියන් ගණනාවක් හරහා. මේ වැඩේට කිසියම් ගෙවුම් පද්ධතියක් හෝ ගෙවුම් පද්ධති කිහිපයක් යොදා ගැනෙනවා. ඇතැම් විට මුදල් ගෙවූ අවස්ථාවේ සිට මුදල් ලැබෙන අවස්ථාව දක්වා දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ තොරතුරු සන්නිවේදනය කිරීමේදී සිදු වන සුළු තාක්ෂනික අත් වැරැද්දක් නිසා වෙලාවට සල්ලි නොයන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුවත් එකඟතාවය කඩවීමක් සිදු වන නිසා එය ණය පැහැර හැරීමක් සේ සටහන් විය හැකියි. 

යම් හෙයකින් තාක්ෂණික බිඳ වැටීමක් නිසා ලැබිය යුතු මුදලක් පැයක් පරක්කු වුනත් එයින් ණය දුන් අයෙකුට දැනෙන පාඩුවක් සිදු වන්නේ නැහැ. ලංකාවේ රජය ණය ආපසු ගෙවීමේදී මෙතෙක් කවදාවත් මෙවැනි අත් වැරැද්දක් කරගෙන නැහැ කියා කියන එකෙන් පෙනෙන්නේ අදාළ කටයුත්ත කොයි තරම් බැරෑරුම් ලෙස සලකා තියෙනවද කියන එකයි. 

මේ දවස් වල ඇහෙන තවත් වචනයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක. ඉතාම කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ මුලින් එකඟ වූ ආකාරයට ණය නොගෙවා සිටීමක්. නමුත් එය කරන්නේ කිසියම් පූර්ව එකඟතාවයකින් පසුවයි. කිසිවක්ම නොලැබී යාමේ අවදානම හමුවේ තමන්ට ලැබිය යුතු මුදලට වඩා අඩු මුදලක් ලබා ගැනීමට, නියම මුදල පසු දිනක ලබා ගැනීමට හෝ ඔය දෙකටම ණය දුන් පාර්ශ්වය එකඟ වෙන්න පුළුවන්. මෙහිදී ගිවිසුම් කඩවීමක් සිදු නොවන නිසා තාක්ෂනිකව ණය පැහැර හැරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් සුළු තාක්ෂනික ප්‍රමාදයක් නිසා සිදු වන තාක්ෂනික ණය පැහැර හැරීමක (technical default) අලාභයට සාපේක්ෂව මෙවැනි එකඟතාවයක අලාභය බොහෝ වැඩි විය හැකියි. ඒ නිසා, පූර්ව එකඟතා මත සිදු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වුවත් ණය පැහැර හැරීම් සේ සැලකෙනවා. ඔය කාණ්ඩ දෙකටම නොවැටෙන, "ගෙවන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න!" මාදිලියේ ණය පැහැර හැරීම් ඉතාම දුලබයි.

බොහෝ ආර්ථික දැවැන්තයින් විසින්ද ණය පැහැර හැරි අවස්ථා ඉතිහාසයේ තිබුණත් මෑත ඉතිහාසය තුළ ණය පැහැර හැර ඇති සේ සැලකෙන බොහොමයක් රටවල් අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම් කාණ්ඩයේ රටවල්. එහෙත් ආර්ථික විද්‍යා දෘෂ්ඨි කෝණයකින් පුළුල් ලෙස බැලුවොත් ලෝකයේ හැම රජයක්ම වගේ දිගින් දිගටම අඛණ්ඩව එක්තරා ආකාරයක ණය පැහැර හැරීමක් කරමින් සිටිනවා.

ගුරු වර්ජනය වෙත නැවත පැමිණියහොත්, වෙනත් ඉල්ලීම් ගණනාවක් පෙනෙන්නට තිබුනත්, මේ වර්ජනය පසුපස ගුරු වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්ද තිබෙනවා. මේ ආකාරයෙන්ම වරින් වර වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, සරසවි ඇදුරන් හා අනධ්‍යයන සේවකයින් වැනි වෙනත් රජයේ සේවකයින්ද වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි කරමින් අවසන් වූ 1980 ජූලි වර්ජනය පිළිබඳ මතක තවමත් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ආකාරයට රජයේ සේවකයින් විසින් වරින් වර වැඩි වැටුප් ඉල්ලා සිටීම එක්තරා ආකාරයකින් රජය විසින් සිදු කරන ණය පැහැර හැරීමකට ප්‍රතිචාරයක් ලෙසද අර්ථ දැක්විය හැකියි.

කිසියම් අයෙකු රජයේ රැකියාවක් භාර ගැනීමේදී එම තැනැත්තා විසින් ලබා දෙන සේවය වෙනුවෙන් යම් නිශ්චිත වැටුපක් ලබා ගැනීමේ එකඟතාවයක් ඇති වෙනවා. පළමු පඩි දිනය දක්වා, මාසයකට ආසන්න කාලයක්, ශ්‍රමිකයා වැඩ කරන්නේ ණයටයි. මාසය අවසානයේදී රජය විසින් ණය ගෙවනවා. යම් හෙයකින් නියමිත දිනයේදී කලින් පොරොන්දු වූ වැටුප ලබා නොදුන්නොත් එය සැලකිය හැක්කේ ණය පැහැර හැරීමක් ලෙසයි.

ලංකාවේ රජය හා රාජ්‍ය සේවකයෙකු අතර ඇති වන සේවා ගිවිසුම තුළ එකඟතාවයක් ඇති වන්නේ නිශ්චිත ශ්‍රම කාලයක්  නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමටයි. මෙහිදී රාජ්‍ය සේවකයා තමන්ගේ ශ්‍රමයේ වටිනාකම රුපියල් වලින් ලබා ගන්නේ රුපියල් පරිභෝජනය කළ හැකි නිසා නෙමෙයි. රුපියල් සත කන්න බැරි බව ත්‍රිරෝද රථ වලට ස්ටිකර් විකුණන අය වගේම ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරන අයත් දන්නවා. රුපියල් ලබා ගන්නේ රුපියල් සමඟ හුවමාරු කර ලබා ගත හැකි පරිභෝජනය කළ හැකි දේවල් නිසා. එහෙත් ඒ බව බොහෝ විට සේවා ගිවිසුමේ නැහැ. එය යම් ආකාරයක අලිඛිත එකඟතාවයක්.

මාසය අවසානයේදී පොරොන්දු වූ වැටුප ලැබෙනවානම්, මුල් මාස වලදී ගැටලුවක් ඇති වන්නේ නැහැ. එහෙත් කාලයත් එක්ක ලැබෙන නිශ්චිත රුපියල් ප්‍රමාණයෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වන බව ශ්‍රමිකයාට තේරෙනවා. එහෙත්, ගිවිසුමේ ඔහුගේ කොටස ඒ විදිහටම සිදු වෙනවා. ලබා දෙන ශ්‍රම කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. ගිවිසුම අනුව රජය වැරැද්දක් කර නැහැ. පොරොන්දු වූ රුපියල් ප්‍රමාණය මාසය අන්තිමට අඩු නැතුව ලැබෙනවා. නමුත් එම රුපියල් ප්‍රමාණය තුළ අපේක්ෂා කළ වටිනාකම නැහැ. ඒ පදනම මත බැලුවොත් ලැබෙන්නේ පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක්. 

මේ කතාව පෞද්ගලික ආයතනයක ශ්‍රමිකයන් හා අදාළව වුවත් කිව හැකියි. එහෙත්, මේ දෙකේ වෙනසක් තිබෙනවා. උද්ධමනය නිසා නාමික වැටුප් වල මූර්ත වටිනාකම අඩු වීම පෞද්ගලික ආයතනයක් විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි. එය බාහිර කරුණක්. හැමවිටම නොවුනත්, ඇතැම් පෞද්ගලික ආයතන වල සේවා ගිවිසුම් තුළ සේවක වැටුප් උද්ධමනය හා ගැලපීමක්ද දකින්නට පුළුවන්.

මෙයින් වෙනස්ව, උද්ධමනය කියන්නේ රජය විසින් සැලසුම්සහගතව නිෂ්පාදනය කරන දෙයක්. එය බාහිර කරුණක් නෙමෙයි. රජයේ ආදායමට වඩා වියදම් වැඩිනම්, කවර හෝ හේතුවක් නිසා බදු හරහා ආදායම් වැඩි කර ගැනීම අසීරුනම්, සේවා ගිවිසුම් අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප් අඩු කරන්නත් බැරිනම්, උද්ධමනය තෝරා ගැනීම රජයකට හොඳ විකල්පයක්. 

උද්ධමනය ඉහළ යද්දී බොහෝ විට බදු අය කෙරෙන පදනම්ද නාමිකව ඉහළ ගොස් රජයේ ආදායම් ඉහළ යන නමුත් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු රජයේ වියදම් ඉහළ යන්නේ නැහැ. එය සිදු වන්නේ රජයේ සේවකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහා වැටුප් වැඩි කරගැනීම වැනි දෙයක් සිදු වීමෙන් පසුවයි. එම කාලය තුළ රජයට ආදායම් හා වියදම් අතර පරතරය යම් තරමකින් අඩු කර ගන්න පුළුවන්, වෙනත් විදිහකින් කිවුවොත් නාමිකව ඉහළ ගියත්, මූර්ත පදනමකින් අයවැය හිඟය පහළ දමා ගන්න පුළුවන්. 

මේ විදිහට උද්ධමනය ඉහළ යද්දී රජයට වාසියක් වෙන්නේ මූර්ත පදනමින් රාජ්‍ය සේවක වැටුප් අඩුවීම නිසා පමණක් නෙමෙයි. සැපයුම්කරුවන්ට කරන ගෙවීම් වගේ දේවල් හා අදාළවත් ඔය වැඩේම වෙනවා. පොරොන්දු වූ මුදලක් මාස කිහිපයක් ප්‍රමාද කර ගෙවනවා කියා කියන්නේ මූර්ත පදනමින් අඩුවෙන් ගෙවීමක්. 

බැංකු ණයක් ගෙන රජය වෙනුවෙන් යම් භාණ්ඩ හෝ සේවා සැපයුමක් කරන කොන්ත්‍රාත්කරුවෙක් ගැන හිතන්න. දැන් මේ සැපයුම වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම ප්‍රමාද වන තරමට බැංකු ණය වෙනුවෙන් අමතර පොලී මුදලක් ගෙවන්න සිදු වෙනවා. එය කොන්ත්‍රාත්කරුට සිදු වන අවාසියක්. මෙහි ඇති සැඟවුණු කරුණ වන්නේ ඇත්තටම එම අවාසිය රජයට සිදුවන වාසියක් බවයි. වෙනත් ආකාරයකින් කිවුවොත් මෙහිදී සිදුවන්නේ රජය විසින් පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ගෙවීමක් හෙවත් ණය පැහැර හැරීමක් වැනි දෙයක්.

රජයේ සියලු වියදම් ආවරණය කරගත හැකි තරමට බදු ගෙවන්න රටක මිනිස්සු සූදානම් නැත්නම් එයින් අදහස් වන්නේ රජය විසින් සලසන සේවයේ වටිනාකම පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව අඩු බවයි. වෙනත් අයුරකින් කිවුවොත් රාජ්‍ය සේවකයින් විසින් සලසන සේවය වෙනුවෙන් රටේ බදු ගෙවන ජනතාව ගෙවන්න සූදානම් මුදල ඔවුන් වැටුප් සේ ලබා ගන්නා මුදලට වඩා අඩු බවයි. එසේනම් කළ යුත්තේ රාජ්‍ය සේවක වැටුප් අඩු කරන එකයි. එහෙත් විවිධ නෛතික හා ප්‍රායෝගික බාධාවන් නිසා රජයකට එය කිරීම අසීරුයි. නාමික වැටුප් එලෙසම තිබියදී උද්ධමනයට ඉඩ හැර මූර්ත වැටුප් අඩු කිරීම මෙය වක්‍ර ලෙස කළ හැකි ක්‍රමයක්. ලංකාවේ රජය කාලයක සිට මේ උපක්‍රමය භාවිතා කරනවා.

ජේආර්ගේ ආණ්ඩුවට හැත්තෑ හතේදී පෙනී ගිය කරුණක් වුනේ විශාල හා අකාර්යක්ෂම රාජ්‍ය සේවය රජයේ අයවැයට දරාගත නොහැකි බරක් බවයි. එහෙත්, රාජ්‍ය සේවයේ නාමික වියදම් අඩු කිරීම පහසුවෙන් කළ හැක්කක් වුනේ නැහැ. සල්ලි අච්චු ගසා උද්ධමනය ඉහළ යන්න සැලැස්වීමෙන් මේ කාර්යය වක්‍ර ලෙස කළ හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වීම අසීරු වුනා. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පෙළඹුණා. කෙසේ වුවත්, මෙහිදී සිදු වුනේ රාජ්‍ය සේවක ශ්‍රමයේ සැබෑ වටිනාකම හා ගැලපෙන පරිදි මූර්ත වැටුප් අඩු වීමක් නිසා ඔවුන්ට හෙට්ටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. වර්ජකයින් විශාල පිරිසකට තිබුණු ආදායමද අහිමි වුනා.

ජේආර් උපක්‍රමය අද දක්වාම සාර්ථකව නැවත නැවත ක්‍රියාත්මක වෙනවා.

Friday, July 23, 2021

රුපියලේ අනාගතය කුමක්ද?

අලුත් වැඩක්! ඉදිරියට යනවද කියන එක තීරණය වෙන්නේ ප්‍රතිචාර අනුවයි.




කිසියම් හේතුවක් නිසා ජංගම දුරකථන වලින් පිවිසෙන අයට වීඩියෝව පෙනෙන්නේ නැහැ. පහත ලින්ක් එක හරහා වීඩියෝවට යා හැකියි: https://www.youtube.com/watch?v=echr-J7HYhQ

Saturday, July 10, 2021

දැන් රාජ්‍ය ණය කොපමණද?


අප්‍රේල් අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,288 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිලියන ගණන් ඇඟට නොදැනෙන නිසා මේ ණය ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට රුපියල් ලක්ෂ හත හමාරක පමණ ප්‍රමාණයක්. ඒ වගේම, පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම මෙන් දොළොස් ගුණයකට ආසන්න මුදලක්. 2019 අවසානයේ පැවති මට්ටමට සාපේක්ෂව, මාස 16ක කාලයක් තුළ, දේශීය ණය 46%කින්ද විදේශීය ණය වල රුපියල් අගය 3%කින්ද සමස්ත ණය 25%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය ණය ප්‍රශ්නය හා විදේශ ණය ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. විදේශ ණය වලින් කොටසක් රාජ්‍ය ණය වන අතර රාජ්‍ය ණය වලින් කොටසක් විදේශ ණයයි. විදේශ ණය ප්‍රශ්නයටද හේතු වී තිබෙන්නේ රාජ්‍ය ණය ප්‍රශ්නය වුවත් එය එකම හේතුව නෙමෙයි. ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියත් විදේශ ණය ප්‍රශ්නයට හේතුවක්. 

සල්ලි අච්චු ගසා රාජ්‍ය ණය ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගත හැකි වුවත් විදේශ ණය ප්‍රශ්නය එසේ විසඳා ගන්න බැහැ. මේ මොහොතේ ලංකාවේ රජය මුහුණ දී සිටින ගැටලුව එයයි. 

(Image: dailymirror.lk)

Tuesday, July 6, 2021

ලංකාවට ආසියාවෙන් පළමු තැනක්!

පයිසර් එන්නත මිල දී ගත් පළමු දකුණු ආසියානු රට ලංකාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් හරහා ප්‍රචාරය කර අනෙක් පැත්ත හැරෙද්දී එය එසේ නොවන බව වෙනත් අය පෙන්වා දී තිබෙනවා. මාල දිවයින් රජය එරට වැසියන්ට ලබා දී ඇත්තේ නොමිලේ ලැබුණු පයිසර් එන්නත් පමණක්නම් ජනාධිපති රාජපක්ෂගේ ප්‍රකාශය නිවැරදි විය හැකියි. කොහොම වුනත් මේ ප්‍රකාශයෙන්ද පෙනෙන්නේ "අපි තමයි ඉහළින්ම ඉන්නේ" උන්මාදයයි.  

මේ වන විට ඒක පුද්ගල ආදායම වගේම ආයු අපේක්ෂාව අතින්ද දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට මාල දිවයින නිසා ලංකාවට දකුණු ආසියාවේ හෝ පළමු වැනියා වීමට තිබෙන අවස්ථා අඩු වෙමින් තිබුණත් බ්ලූම්බර්ග් විසින් වාර්තා කරන පරිදි ණය ආපසු නොගෙවීමේ අවදානම අතින් මේ වන විට ලංකාව ආසියා-ශාන්තිකර කලාපයේම පළමු තැනට පැමිණ තිබෙනවා. මේ බව සඳහන් කරමින් ඊයේ පළ වූ බ්ලූම්බර්ග් විශ්ලේෂණ වාර්තාව වොෂින්ටන් පෝස්ට් ඇතුළු වෙනත් මාධ්‍ය වලද ප්‍රචාරය වී තිබෙනවා.

දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට තම ආයෝජනය අහිමි වීමේ අවදානමක් තිබෙනවා. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් ලංකාවට සිදු වූ පාඩුවයි. මෙසේ තම ආයෝජනය ආපසු නොලැබීමේ අවදානම අවම කර ගැනීම සඳහා ආයෝජකයෙකුට ස්වොප් ගිවිසුමක් අත්සන් කළ හැකියි. මෙවැනි ගිවිසුමක් ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් (credit default swap) ලෙස හැඳින්වෙනවා. මෙය එක්තරා ආකාරයක රක්ෂණ ගිවිසුමක් ලෙසද හැඳින්විය හැකියි. 

ණය අවදානම අඩු රටක බැඳුම්කරයක් සඳහා ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුත්තේ බැඳුම්කරයේ මුහුණත වටිනාකමෙන් 0.1% නොඉක්මවන සුළු මුදලක් වුවත් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල පස් අවුරුදු ණය අවදානමට එරෙහිව ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල මේ වන විට 15.53% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරම බ්ලූම්බර්ග් ගණන් බැලීම් අනුව ඉදිරි වසර තුළ ලංකාවට ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානම 27.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය 1.5% ඉක්මවීම අධි අවදානමක් ලෙස ඔවුන් සලකනවා. ඒ අනුව, ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අතින් මේ වන විට ආසියා-ශාන්තිකර කලාපයෙන්ම පළමු තැනට පැමිණ සිටිනවා. 

Sri Lanka's 1-year default probability is the highest in the Asia-Pacific

Source: Bloomberg

Note: Bloomberg's debt default probability scale lists any score above 1.5% as an indication of high risk of failure to pay


Sunday, March 28, 2021

වාර්ෂික යුවාන් කප්පම හා රුපියල පදවන අත


ලංකාව අළුතෙන්ම අරගෙන තිබෙන ණය යුවාන් ණයක්. ඩොලර් වලින් නැතුව යුවාන් වලින් මේ ණය අරගෙන තියෙන්නේ ඇයි? ඇත්තටම කියනවානම් අහන්න තියෙන්නේ ලංකාව යුවාන් වලින් නැතුව ඩොලර් වලින් ණය ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයයි. මොකද ඇත්තටම ලංකාවට හිඟ යුවාන් මිසක් ඩොලර් නෙමෙයි.

මේ ලංකාව යුවාන් වලින් ණය ගත්ත පළමු අවස්ථාව නෙමෙයි. කාලයක් තිස්සේම ලංකාව යුවාන් වලින් ණය ගන්නවා. ඒ වගේම ඩොලර් නොවන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වලින්ද ණය ගන්නවා. බොහෝ විට කතාබහට ලක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය SDR ණය (special drawing rights). SDR කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුදල් ඒකකයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු කරන්නේ SDR වලින්.

ණය ගන්නේ කවර විදේශ ව්‍යවහාර මුදලකින් වුවත්, ණය ගැන කතා කරද්දී බොහෝ විට එවැනි ණය මුදලක් ඩොලර් වලට පරිවර්තය කරලා ඩොලර් වලින් ප්‍රකාශ කරන එක රජය, මහ බැංකුව වගේම මාධ්‍ය විසින්ද කරන දෙයක්. එය සංසන්දනය කිරීමේ පහසුවට කරන දෙයක්. මෙවර වුනත් යුවාන් බිලියන 10 සමහර වෙලාවට ඩොලර් බිලියන 1.5ක් විදිහට හැඳින්වෙන්නේ මේ සම්ප්‍රදාය අනුවයි.

කොහොම වුනත්, ණයක් කියා කිවුවට මේ ගණුදෙනුව විණිමය හුවමාරු ගිවිසුමක්. විණිමය හුවමාරු ගිවිසුමක් කියන්නේ කුමක්ද කියා මම කලින් පැහැදිලි කරලා තිබෙනවා. මෙවැනි ගිවිසුමකට එළැඹෙන්නේ රටවල් දෙකක මහ බැංකු. සාමාන්‍ය ණයකදී මෙන් අදාළ ව්‍යවහාර මුදල් ඒකක ගැන කතා නොකර විණිමය හුවමාරු ගිවිසුමක් ගැන කතා කරන්න බැහැ. ඒ නිසා, මෙවර ණය ගත්තේ යුවාන් වලින් කියන එකට මහ බැංකුවේ පුවත්පත් නිවේදනයෙහි වෙනදාට නැති අවධානයක් යොදවා තිබෙනවා. 

මම කලින් කිවුවා වගේම සාමාන්‍යයෙන් මෙහි ලියන ලිපිද ඇතුළු බොහෝ ලිපිවල ලංකාවට ඩොලර් හිඟයක් තිබෙන බව බොහෝ වර කියා ඇති නමුත් මෙහිදී ඩොලර් කියන එකෙන් අදහස් වන්නේ පොදුවේ රුපියල් නොවන විදේශ මුදල් කියන එකයි. හරියටම බැලුවොත් යුවාන් හිඟයක් හා ඉන්දියානු රුපියල් හිඟයක් මිසක් ඩොලර් හිඟයක් නැහැ. 

චීන ආනයන වෙනුවෙන් 2019 වසරේදී ලංකාව ඩොලර් බිලියන 4.08ක් වැය කර තිබෙනවා. එහෙත් චීනය ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා තිබෙන්නේ ඩොලර් මිලියන 391ක් පමණයි. මේ අනුව මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් තිබෙනවා. සෑම වසරකම වගේ තත්ත්වය මෙවැන්නක්. 

දැන් මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් කියා කිවුවත් ඇත්තටම මෙය ඩොලර් වලට පරිවර්තනය කර ඉදිරිපත් කරන යුවාන් බිලියන 24ක හිඟයක්. ලංකාවට චීනයෙන්ම යුවාන් නොලැබුනොත් යුවාන් හොයා ගන්න වෙන ක්‍රමයක් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ යුවාන් වෙනුවට ඇමරිකාවට ඇඟලුම් ඇතුළු භාණ්ඩ අපනයනය කර හා වෙනත් විවිධ ක්‍රම වලින් රටට ලැබෙන ඩොලර් චීනයට ගෙවන එකයි. 

චීනයට ඇත්තටම ඩොලර් වලින් වැඩක් නැහැ. ලංකාව සමඟ කරන වෙළඳාමෙන් වගේම ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙනුත් චීනයට කාලයක් තිස්සේ ඩොලර් ලැබෙනවා. වෙනත් තෙවන රටවල් වලින්ද ඩොලර් ලැබෙනවා. මේ ඩොලර් වලින් ආදායමක් උපයන්නනම් චීනයට එම ඩොලර් නැවත ණය සේ කාට හෝ දෙන්න වෙනවා. ඇමරිකාව ණය ගන්නේ ඉතාම අඩු පොලියකට. පොලිය ශුන්‍ය මට්ටමට ආසන්නයි. ඒ නිසා චීනයට ඇත්තටම මේ ඩොලර් බරක්. 

චීනය සතුව තිබෙන ඩොලර් චීනයට බරක් වුවත් මේ ඩොලර් එළියට දමන එකේ පාඩුවත් අන්තිමට චීනයටමයි. එසේ කළොත් ඇමරිකන් ඩොලරය විශාල ලෙස බාල්දු වෙයි. නමුත් ඒ එක්කම ඇමරිකන් නිෂ්පාදන විශාල ලෙස ලාබ වෙනවා. ඇමරිකාවට චීනය සතු නිෂ්පාදන වෙළඳපොළවල් අල්ලගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම චීනයට ඇමරිකන් වෙළඳපොළ අහිමි වෙනවා. ඒ නිසා චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ චීනයට කොටි වලිගයක්. එක පාරට කොටි වලිගය අතාරින්න බැරි වුනත් උපක්‍රමික ලෙස කොටියාගෙන් නිදහස් වෙන්න චීනය සැලසුම් කරන බවයි ඔවුන්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්මෙන් පෙනෙන්නේ.

චීනයට චීනයේ හදන බඩු විකුණන්න මිසක් ඩොලර් එකතු කරගෙන ගොඩ ගහගන්න අවශ්‍ය නැහැ. චීන බඩු රටින් පිට විකුණන්න පුළුවන් වෙන්නේ චීන යුවානය අවප්‍රමාණය වී තිබෙන තරමටයි. ඒ කියන්නේ අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය වී තිබෙන තරමටයි. අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය කරන්නනම් එම මුදල් මිල දී ගෙන ඉල්ලුම කෘතීම ලෙස වැඩි කළ යුතුයි. වක්‍ර විදිහට චීනය කාලයක් තිස්සේම ඇමරිකාවට කළේ ඒකයි.

චීනය විසින් යුවාන් ගෙවා ඇමරිකාවෙන් ඩොලර් මිල දී ගන්නවා. මේ වැඩෙන් ඩොලරය අධිප්‍රමාණය වෙලා ඇමරිකන් බඩු වලට සාපේක්ෂව චීන බඩු ලාබ වෙනවා. ඇමරිකාවේ නිෂ්පාදන කර්මාන්ත වැහෙනවා. ඇමරිකානුවන්ගේ රස්සා චීනයට යනවා. ඇමරිකාවට මේ යුවාන් වලින් වැඩක් නැති නිසා ඇමරිකාව ඒ යුවාන් නැවත චීනයටම දීලා චීනයෙන් භාණ්ඩ මිල දී ගන්නවා. නමුත් චීනය එකතු කර ගන්න ඩොලර් වලින් ඇමරිකන් භාණ්ඩ මිල දී නොගෙන ඒ විදිහටම තියා ගන්නවා. නිකම්ම තියාගෙන ඉන්න එක පාඩු නිසා සුළු පොලියකට ඇමරිකාවේම ආයෝජනය කරනවා. ඇමරිකාවට චීනය සමඟ වෙළඳාමෙන් පාඩුවක් වුනත් එහි හිලවුවට අඩු පොලියට අරමුදල් ලැබෙනවා. සල්ලි චීනයෙන් වුනත් ගෙවන පොලිය තීරණය කරන්නේ ඇමරිකාව.

මෙතෙක් කල් ලංකාව ඇමරිකාවෙන් හෝ වෙනත් රටකින් උපයාගත් ඩොලර් චීනයට ගෙවමින් හිටියා. උපයන ඩොලර් ප්‍රමාණවත් නොවෙද්දී ගිණි පොලියට ණයට අරගෙන චීනයට ගෙවුවා. දැන් ලංකාව ණය ගන්න බැරුව හිර වෙලා. ඩොලරය කඩා වැටෙන එක නවත්වාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් බවත්, ඉදිරියේදී රුපියල විශාල ලෙස අවප්‍රමාණය විය හැකි බවත් ළඟදී ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කියල තිබුණේ. 

රුපියල කඩා වැටුණොත් චීනයට මොකද වෙන්නේ? චීන බඩු වල මිල ලංකාවේ රුපියල් වලින් විශාල ලෙස ගණන් යනවා. ලංකාවේ චීන බඩු විකිණෙන එක නවතිනවා. ලංකාවෙන් චීනයට ලැබෙන යුවාන් බිලියන 24ක වාර්ෂික "කප්පම" චීනයට අහිමි වෙනවා. ඒ නිසා දැන් චීනයට අවශ්‍ය මොන ජාතියෙන් හරි රුපියල අවප්‍රමාණය වන එක වළක්වන්නයි. ඒ වෙනුවෙන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින්ම කටයුතු කරන නිසා චීනයට මේ වැඩේ හරිම පහසුයි. ඇමරිකාව එක්ක කරන ගනුදෙනු වලදී වගේ කිසිම ආතතියක් නැහැ. චීනයට අවශ්‍ය රුපියල ශක්තිමත් කරන්න. ලංකාවට අවශ්‍යත් ඒකමයි.

චීන යුවාන් ගෙවා ඇමරිකන් ඩොලර් මිල දී ගෙන කාලයක් තිස්සේ ඇමරිකන් ඩොලරයේ අගය අවප්‍රමාණය වීම වැළැක්වුවා වගේම දැන් චීනය ලංකාවේ රුපියලටත් අත ගහලා තිබෙනවා. කාටවත් වැඩක් නැති ලංකාවේ රුපියල් අරගෙන චීනය ලංකාවට යුවාන් බිලියන 10ක් දීලා. ඔය ගත්ත රුපියල් වලින් චීනය ලංකාවේ භාණ්ඩ මිල දී ගන්නේ නැහැ. අවුරුදු තුනක් ඒ ගත්ත විදිහටම සේප්පුවක දාලා තියා ගන්නවා පමණයි. අවුරුදු තුනකින් පස්සේ ලංකාව ණයට ගත්ත යුවාන් බිලියන 10ට පොලියත් එකතු කරලා ආපසු චීනයට දීලා රුපියල් ටික බේරාගත යුතුයි. එහෙම කරන්න ලංකාවට අවුරුදු තුනකින් පස්සේ යුවාන් ලැබෙන ක්‍රමයක් තියෙනවද? සමහර විට චීනයට වටින මොනවා හරි දෙයක් ණයේ හිලවුවට චීනය බාර ගනියි.

දැන් මේ යුවාන් බිලියන දහය ඇත්තටම ලංකාවට ලැබෙනවද? එහෙම ලැබෙන්නෙත් නැහැ. ඇත්තටම වෙන්නේ ලංකාව වාර්ෂිකව චීනයට ගෙවන යුවාන් බිලියන 24ක කප්පම යුවාන් බිලියන 14 දක්වා අඩු වෙන එක විතරයි. ඒ කියන්නේ මේ සල්ලි ලංකාවට එන්නෙවත් නැහැ.

දැන් පවතින තත්ත්වය අනුව කොහොමටත් ලංකාවට යුවාන් බිලියන 24ක කප්පමක් චීනයට ගෙවන්න විදිහක් නැහැ. ගෙවන්න ඩොලර් කොහෙන්ද? ඒ නිසා ඔය කප්පම කොහොමටත් යුවාන් බිලියන 14 පමණ මට්ටමකට අඩු වෙනවා. දැන් චීනය කරන වැඩෙන් චීනයට වෙනදා වගේම යුවාන් බිලියන 24ක් ම ලැබෙනවා. එයින් යුවාන් බිලියන 10ක් ලැබෙන්නේ රුපියල් වලින්. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් බිලියන 300කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ මහ බැංකුවෙන් චීන මහ බැංකුවට යනවා. 

ලංකාවේ මුදල් සැපයුම පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්නේ. ඒ හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියලේ අගය තීරණය කරනවා. වෙන රටක මහ බැංකුවකට ලංකාවේ රුපියල් මුද්‍රණය කරන්න බැහැ. ඒ අයිතිය තියෙන්නේ ලංකාවේ මහ බැංකුවට පමණයි.

හැබැයි දැන් චීන මහ බැංකුව සතුවත් ලංකාවේ රුපියල් බිලියන 300ක් තිබෙනවා. රුපියල් අච්චු ගහන්න බැරි වුනත්, ඔය විදිහට රුපියල් එකතු කර ගත් විට ඒ සල්ලි වෙළඳපොළට දමලා රුපියලේ අගය පාලනය කරන්න චීන මහ බැංකුවටත් පුළුවන් වෙනවා. ඔය විදිහට ලංකාවේ මුදල් ප්‍රතිපත්ති හදන එකත් චීනයටම ගිහින් රුපියල් යුපියල් වෙයිද? 

Wednesday, March 17, 2021

ශ්‍රී ලංකා ආර්ථිකය 3.6%කින් පල්ලම් බසී!

 

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව 2020 වසර තුළ ලංකාවේ ආර්ථිකය 3.6%කින් සංකෝචනය වී තිබෙනවා. නිදහසින් පසුව මීට පෙර මෙසේ ලංකාවේ ආර්ථිකය සංකෝචනය වී තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපොළට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ 2001 වසරේදී පමණයි. එම වසරේදී ලංකාවේ ආර්ථිකය 1.5%කින් හැකිළුනා. මෙවර ආර්ථිකය එමෙන් දෙගුණයකටත් වඩා වැඩියෙන් පල්ලම් බැස තිබෙනවා.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015 වසරේ සිට ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුනා. 2019 වසරේදී ලංකාවේ ආර්ථිකය වර්ධනය වුනේ 2.2%කින් පමණයි. මේ අනුව, 2019 වර්ධනය වූ ප්‍රමාණයටත් වැඩියෙන් ආපස්සට ගොස් ලංකාවේ ආර්ථිකය නැවත 2018දී සිටි තැනට වැටී තිබෙනවා. 

වසරේ පළමු කාර්තුවේදී ලංකාවේ ආර්ථිකය 1.8කින් හැකිළුණු අතර දෙවන කාර්තුවේදී 16.4%කින් හැකිළුනා. අවසන් කාර්තු දෙක තුළදී 1.3% බැගින් වර්ධනය වී ඇතත් සමස්තයක් ලෙස වසර තුළදී ආර්ථිකය 3.6%කින් හැකිලී තිබෙනවා. මේ අනුව, 2020 වසරේදී ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය රුපියල් බිලියන 14,973 දක්වා අඩු වී තිබෙනවා. නොවැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,818ක්. වසර අවසාන වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය හා දළ ජාතික නිෂ්පාදිතය ආසන්නව සමාන මට්ටමක තිබෙන්නට ඉඩ තිබෙනවා.

දෙවසරකට පෙර ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 මට්ටම ඉක්මවා සිටි ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙස නම් කෙරුණා. 2017 වසරේදී ඇමරිකන් ඩොලර් 4,077ක් වූ ලංකාවේ ඒක පුද්ගල ආදායම මේ වෙද්දී ඩොලර් 3,682 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. මෙය 2014 සිටි තැනින්ද පහළට නැවත ආපසු යාමක්.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...