වෙබ් ලිපිනය:

Monday, July 26, 2021

ලංකාවේ රජය පැහැර හැරි ණය


මේ දවස් වල ලංකාවේ ජනප්‍රිය මාතෘකා දෙකකින් පළමුවැන්න ඩොලර් හිඟය සහ ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම. දෙවැන්න කොතලාවල ප්‍රශ්නය සහ ගුරු වර්ජනය. පළමු කාරණාව සම්බන්ධව කොහොම වෙතත් දෙවැන්න සම්බන්ධව අපේ පෞද්ගලික හිත මිතුරන් හා පාඨකයින් දෙපිල බෙදී සිටීමක් දැකිය හැකියි. මේ බෙදීම සාමාන්‍ය පක්ෂ දේශපාලන බෙදීමම නොවන බවත් මට නිරීක්ෂණය වූ දෙයක්.

මීට පෙර සයිටම් ප්‍රශ්නය වෙලාවේදී මා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටි බව ඔබට මතක ඇති. නිදහස් අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කරන්නේ කවර හෝ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය අයෙකුට එම අධ්‍යාපනය ලබා ගැනීමට  තිබෙන අයිතිය. අධ්‍යාපනය ලබා දීමේ පිරිවැයක් තිබෙන නිසා එම පිරිවැය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාට හෝ වෙනත් අයෙකුට ගෙවන්නත් සිදු වෙනවා. තෙවන පාර්ශ්වයක් විසින් එය වැලැක්වීමෙන් සිදු වන්නේ නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කිරීමක්. 

මේ අර්ථයෙන් මම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය හරහා මුදල් අය කර සිවිල් වැසියන්ට උපාධි පිරිනැමීම ගැන විරුද්ධ නැහැ. එහෙත් මේ විරෝධය තුළ කතා වන හැම දෙයක් ගැනම මට අවබෝධයක් නැහැ. අදාළ පණත මා විසින් අධ්‍යයනය කර නැහැ. ඒ නිසා, ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ.

පළමු මාතෘකාවට ආවොත්, බාහිර ලෝකයේ ඇසින් ලංකාවේ රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලංකාව තුළ වුවත් එය එසේ නොවන බව කියන පිරිස ඉතාම සීමිතයි. 

ලංකාවේ රජය බොහෝ විට ආඩම්බරයෙන් කියන දෙයක් වන්නේ මෙතෙක් කිසි විටෙකත් ලංකාවේ රජය විසින් ලබා ගත් ණය පැහැර හැර නැති බවයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියා කියන්නේ යාළුවෙක්ගෙන් ණයට ලබා ගන්නා රුපියල් පන්දාහක් ආපසු නොගෙවා මග හරිමින් සිටීම වැනි සරල දෙයක් නෙමෙයි. රාජ්‍ය ණය පැහැර හැරීම කියන එකට තිබෙන්නේ පුළුල් අර්ථකතනයක්. ණය ලබා ගැනීමේදී එකඟ වූ කොන්දේසි යාන්තමින් ඉටු නොවීම ණය පැහැර හැරීමක් ලෙස වාර්තා විය හැකියි.

රජයක් හෝ පෞද්ගලික සමාගමක් විසින් බැඳුම්කරයක් නිකුත් කිරීමේදී එහි කූපන් පොලී මුදල් හා මුල් මුදල ආපසු ගෙවන දින වකවානු පිළිබඳ නිශ්චිත එකඟතාවයක් තිබෙනවා. හරියටම ඒ කියපු දවසට මුදල් ගෙවන්න නොහැකි වී සුළු හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය ණය පැහැර හැරීමක් සේ සැලකෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මුදල් හුවමාරු සිදු වන්නේ දෙල්කඳ පොළෙන් පොළොස් ගෙඩියක් මිල දී ගන්න විදිහට නෙමෙයි. මුදල් ගෙවන්නා සහ මුදල් ලබන්නා එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ වෙනත් අතරමැදියන් ගණනාවක් හරහා. මේ වැඩේට කිසියම් ගෙවුම් පද්ධතියක් හෝ ගෙවුම් පද්ධති කිහිපයක් යොදා ගැනෙනවා. ඇතැම් විට මුදල් ගෙවූ අවස්ථාවේ සිට මුදල් ලැබෙන අවස්ථාව දක්වා දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ තොරතුරු සන්නිවේදනය කිරීමේදී සිදු වන සුළු තාක්ෂනික අත් වැරැද්දක් නිසා වෙලාවට සල්ලි නොයන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුවත් එකඟතාවය කඩවීමක් සිදු වන නිසා එය ණය පැහැර හැරීමක් සේ සටහන් විය හැකියි. 

යම් හෙයකින් තාක්ෂණික බිඳ වැටීමක් නිසා ලැබිය යුතු මුදලක් පැයක් පරක්කු වුනත් එයින් ණය දුන් අයෙකුට දැනෙන පාඩුවක් සිදු වන්නේ නැහැ. ලංකාවේ රජය ණය ආපසු ගෙවීමේදී මෙතෙක් කවදාවත් මෙවැනි අත් වැරැද්දක් කරගෙන නැහැ කියා කියන එකෙන් පෙනෙන්නේ අදාළ කටයුත්ත කොයි තරම් බැරෑරුම් ලෙස සලකා තියෙනවද කියන එකයි. 

මේ දවස් වල ඇහෙන තවත් වචනයක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක. ඉතාම කෙටියෙන් කිවුවොත් මෙහිදී වෙන්නේ මුලින් එකඟ වූ ආකාරයට ණය නොගෙවා සිටීමක්. නමුත් එය කරන්නේ කිසියම් පූර්ව එකඟතාවයකින් පසුවයි. කිසිවක්ම නොලැබී යාමේ අවදානම හමුවේ තමන්ට ලැබිය යුතු මුදලට වඩා අඩු මුදලක් ලබා ගැනීමට, නියම මුදල පසු දිනක ලබා ගැනීමට හෝ ඔය දෙකටම ණය දුන් පාර්ශ්වය එකඟ වෙන්න පුළුවන්. මෙහිදී ගිවිසුම් කඩවීමක් සිදු නොවන නිසා තාක්ෂනිකව ණය පැහැර හැරීමක් සිදු වන්නේ නැහැ. එහෙත් සුළු තාක්ෂනික ප්‍රමාදයක් නිසා සිදු වන තාක්ෂනික ණය පැහැර හැරීමක (technical default) අලාභයට සාපේක්ෂව මෙවැනි එකඟතාවයක අලාභය බොහෝ වැඩි විය හැකියි. ඒ නිසා, පූර්ව එකඟතා මත සිදු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වුවත් ණය පැහැර හැරීම් සේ සැලකෙනවා. ඔය කාණ්ඩ දෙකටම නොවැටෙන, "ගෙවන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න!" මාදිලියේ ණය පැහැර හැරීම් ඉතාම දුලබයි.

බොහෝ ආර්ථික දැවැන්තයින් විසින්ද ණය පැහැර හැරි අවස්ථා ඉතිහාසයේ තිබුණත් මෑත ඉතිහාසය තුළ ණය පැහැර හැර ඇති සේ සැලකෙන බොහොමයක් රටවල් අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම් කාණ්ඩයේ රටවල්. එහෙත් ආර්ථික විද්‍යා දෘෂ්ඨි කෝණයකින් පුළුල් ලෙස බැලුවොත් ලෝකයේ හැම රජයක්ම වගේ දිගින් දිගටම අඛණ්ඩව එක්තරා ආකාරයක ණය පැහැර හැරීමක් කරමින් සිටිනවා.

ගුරු වර්ජනය වෙත නැවත පැමිණියහොත්, වෙනත් ඉල්ලීම් ගණනාවක් පෙනෙන්නට තිබුනත්, මේ වර්ජනය පසුපස ගුරු වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්ද තිබෙනවා. මේ ආකාරයෙන්ම වරින් වර වෛද්‍යවරුන් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, සරසවි ඇදුරන් හා අනධ්‍යයන සේවකයින් වැනි වෙනත් රජයේ සේවකයින්ද වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි කරමින් අවසන් වූ 1980 ජූලි වර්ජනය පිළිබඳ මතක තවමත් බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ආකාරයට රජයේ සේවකයින් විසින් වරින් වර වැඩි වැටුප් ඉල්ලා සිටීම එක්තරා ආකාරයකින් රජය විසින් සිදු කරන ණය පැහැර හැරීමකට ප්‍රතිචාරයක් ලෙසද අර්ථ දැක්විය හැකියි.

කිසියම් අයෙකු රජයේ රැකියාවක් භාර ගැනීමේදී එම තැනැත්තා විසින් ලබා දෙන සේවය වෙනුවෙන් යම් නිශ්චිත වැටුපක් ලබා ගැනීමේ එකඟතාවයක් ඇති වෙනවා. පළමු පඩි දිනය දක්වා, මාසයකට ආසන්න කාලයක්, ශ්‍රමිකයා වැඩ කරන්නේ ණයටයි. මාසය අවසානයේදී රජය විසින් ණය ගෙවනවා. යම් හෙයකින් නියමිත දිනයේදී කලින් පොරොන්දු වූ වැටුප ලබා නොදුන්නොත් එය සැලකිය හැක්කේ ණය පැහැර හැරීමක් ලෙසයි.

ලංකාවේ රජය හා රාජ්‍ය සේවකයෙකු අතර ඇති වන සේවා ගිවිසුම තුළ එකඟතාවයක් ඇති වන්නේ නිශ්චිත ශ්‍රම කාලයක්  නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමටයි. මෙහිදී රාජ්‍ය සේවකයා තමන්ගේ ශ්‍රමයේ වටිනාකම රුපියල් වලින් ලබා ගන්නේ රුපියල් පරිභෝජනය කළ හැකි නිසා නෙමෙයි. රුපියල් සත කන්න බැරි බව ත්‍රිරෝද රථ වලට ස්ටිකර් විකුණන අය වගේම ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරන අයත් දන්නවා. රුපියල් ලබා ගන්නේ රුපියල් සමඟ හුවමාරු කර ලබා ගත හැකි පරිභෝජනය කළ හැකි දේවල් නිසා. එහෙත් ඒ බව බොහෝ විට සේවා ගිවිසුමේ නැහැ. එය යම් ආකාරයක අලිඛිත එකඟතාවයක්.

මාසය අවසානයේදී පොරොන්දු වූ වැටුප ලැබෙනවානම්, මුල් මාස වලදී ගැටලුවක් ඇති වන්නේ නැහැ. එහෙත් කාලයත් එක්ක ලැබෙන නිශ්චිත රුපියල් ප්‍රමාණයෙන් මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වන බව ශ්‍රමිකයාට තේරෙනවා. එහෙත්, ගිවිසුමේ ඔහුගේ කොටස ඒ විදිහටම සිදු වෙනවා. ලබා දෙන ශ්‍රම කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. ගිවිසුම අනුව රජය වැරැද්දක් කර නැහැ. පොරොන්දු වූ රුපියල් ප්‍රමාණය මාසය අන්තිමට අඩු නැතුව ලැබෙනවා. නමුත් එම රුපියල් ප්‍රමාණය තුළ අපේක්ෂා කළ වටිනාකම නැහැ. ඒ පදනම මත බැලුවොත් ලැබෙන්නේ පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක්. 

මේ කතාව පෞද්ගලික ආයතනයක ශ්‍රමිකයන් හා අදාළව වුවත් කිව හැකියි. එහෙත්, මේ දෙකේ වෙනසක් තිබෙනවා. උද්ධමනය නිසා නාමික වැටුප් වල මූර්ත වටිනාකම අඩු වීම පෞද්ගලික ආයතනයක් විසින් හිතාමතා කරන දෙයක් නෙමෙයි. එය බාහිර කරුණක්. හැමවිටම නොවුනත්, ඇතැම් පෞද්ගලික ආයතන වල සේවා ගිවිසුම් තුළ සේවක වැටුප් උද්ධමනය හා ගැලපීමක්ද දකින්නට පුළුවන්.

මෙයින් වෙනස්ව, උද්ධමනය කියන්නේ රජය විසින් සැලසුම්සහගතව නිෂ්පාදනය කරන දෙයක්. එය බාහිර කරුණක් නෙමෙයි. රජයේ ආදායමට වඩා වියදම් වැඩිනම්, කවර හෝ හේතුවක් නිසා බදු හරහා ආදායම් වැඩි කර ගැනීම අසීරුනම්, සේවා ගිවිසුම් අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප් අඩු කරන්නත් බැරිනම්, උද්ධමනය තෝරා ගැනීම රජයකට හොඳ විකල්පයක්. 

උද්ධමනය ඉහළ යද්දී බොහෝ විට බදු අය කෙරෙන පදනම්ද නාමිකව ඉහළ ගොස් රජයේ ආදායම් ඉහළ යන නමුත් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු රජයේ වියදම් ඉහළ යන්නේ නැහැ. එය සිදු වන්නේ රජයේ සේවකයින් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහා වැටුප් වැඩි කරගැනීම වැනි දෙයක් සිදු වීමෙන් පසුවයි. එම කාලය තුළ රජයට ආදායම් හා වියදම් අතර පරතරය යම් තරමකින් අඩු කර ගන්න පුළුවන්, වෙනත් විදිහකින් කිවුවොත් නාමිකව ඉහළ ගියත්, මූර්ත පදනමකින් අයවැය හිඟය පහළ දමා ගන්න පුළුවන්. 

මේ විදිහට උද්ධමනය ඉහළ යද්දී රජයට වාසියක් වෙන්නේ මූර්ත පදනමින් රාජ්‍ය සේවක වැටුප් අඩුවීම නිසා පමණක් නෙමෙයි. සැපයුම්කරුවන්ට කරන ගෙවීම් වගේ දේවල් හා අදාළවත් ඔය වැඩේම වෙනවා. පොරොන්දු වූ මුදලක් මාස කිහිපයක් ප්‍රමාද කර ගෙවනවා කියා කියන්නේ මූර්ත පදනමින් අඩුවෙන් ගෙවීමක්. 

බැංකු ණයක් ගෙන රජය වෙනුවෙන් යම් භාණ්ඩ හෝ සේවා සැපයුමක් කරන කොන්ත්‍රාත්කරුවෙක් ගැන හිතන්න. දැන් මේ සැපයුම වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම ප්‍රමාද වන තරමට බැංකු ණය වෙනුවෙන් අමතර පොලී මුදලක් ගෙවන්න සිදු වෙනවා. එය කොන්ත්‍රාත්කරුට සිදු වන අවාසියක්. මෙහි ඇති සැඟවුණු කරුණ වන්නේ ඇත්තටම එම අවාසිය රජයට සිදුවන වාසියක් බවයි. වෙනත් ආකාරයකින් කිවුවොත් මෙහිදී සිදුවන්නේ රජය විසින් පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ගෙවීමක් හෙවත් ණය පැහැර හැරීමක් වැනි දෙයක්.

රජයේ සියලු වියදම් ආවරණය කරගත හැකි තරමට බදු ගෙවන්න රටක මිනිස්සු සූදානම් නැත්නම් එයින් අදහස් වන්නේ රජය විසින් සලසන සේවයේ වටිනාකම පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව අඩු බවයි. වෙනත් අයුරකින් කිවුවොත් රාජ්‍ය සේවකයින් විසින් සලසන සේවය වෙනුවෙන් රටේ බදු ගෙවන ජනතාව ගෙවන්න සූදානම් මුදල ඔවුන් වැටුප් සේ ලබා ගන්නා මුදලට වඩා අඩු බවයි. එසේනම් කළ යුත්තේ රාජ්‍ය සේවක වැටුප් අඩු කරන එකයි. එහෙත් විවිධ නෛතික හා ප්‍රායෝගික බාධාවන් නිසා රජයකට එය කිරීම අසීරුයි. නාමික වැටුප් එලෙසම තිබියදී උද්ධමනයට ඉඩ හැර මූර්ත වැටුප් අඩු කිරීම මෙය වක්‍ර ලෙස කළ හැකි ක්‍රමයක්. ලංකාවේ රජය කාලයක සිට මේ උපක්‍රමය භාවිතා කරනවා.

ජේආර්ගේ ආණ්ඩුවට හැත්තෑ හතේදී පෙනී ගිය කරුණක් වුනේ විශාල හා අකාර්යක්ෂම රාජ්‍ය සේවය රජයේ අයවැයට දරාගත නොහැකි බරක් බවයි. එහෙත්, රාජ්‍ය සේවයේ නාමික වියදම් අඩු කිරීම පහසුවෙන් කළ හැක්කක් වුනේ නැහැ. සල්ලි අච්චු ගසා උද්ධමනය ඉහළ යන්න සැලැස්වීමෙන් මේ කාර්යය වක්‍ර ලෙස කළ හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් ජීවත් වීම අසීරු වුනා. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා පෙළඹුණා. කෙසේ වුවත්, මෙහිදී සිදු වුනේ රාජ්‍ය සේවක ශ්‍රමයේ සැබෑ වටිනාකම හා ගැලපෙන පරිදි මූර්ත වැටුප් අඩු වීමක් නිසා ඔවුන්ට හෙට්ටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. වර්ජකයින් විශාල පිරිසකට තිබුණු ආදායමද අහිමි වුනා.

ජේආර් උපක්‍රමය අද දක්වාම සාර්ථකව නැවත නැවත ක්‍රියාත්මක වෙනවා.

20 comments:

  1. බටකොළ කන තත්වෙට නොගිහින් මේ තියෙන අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා සාමාන්‍ය ජනතාව අතර (විශේෂයෙන්ම daily wage earners ලා අතර) ලොකු විස්වාසයක් තියෙනවා කියලා ඔවුන් හා කරපු කතා බහ වලදී මට තේරුණා. මේ ගැන ඔබේ තක්සේරුව කොහොමද?

    ReplyDelete
    Replies
    1. මම හිතන විදිහට තවමත් එම හැකියාව තිබෙනවා. වඩා නරක තැනකට වැටීමේ අවදානමකුයි තියෙන්නේ.

      Delete
    2. විශේෂයෙන්ම ආනයන සීමා කිරීම කියන කරුණ ගත්තොත්, මා කිසිසේත්ම සාමාන්‍ය තත්ත්වයක් යටතේ ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින අයෙකු නොවූවත්, ඒ හේතුවෙන් මේ අවස්ථාවේදී daily wage earnersලාට මුහුණ දෙන්න වන ප්‍රශ්න සාපේක්ෂව අඩුයි. වැඩි අවාසියක් සිදුවන්නේ මධ්‍යම පාන්තිකයින්ටයි.

      Delete
    3. ඇත්තටම මේ පුද්ගල කණ්ඩායමට මෙවැනි විශ්වාසයක් ඇතිවෙන්න මූලිකම හේතුව ආර්ථික අර්බුදයේ දිග පළල පිළිබඳ හෝ ඒ සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග වල efectiveness එක පිළිබද ඇති අවබෝධයකට වඩා, ආණ්ඩුවේ ඉහල පුටුවල ඉන්න කට්ටියගේ purported capabilities ගැන මෙම ජන කණ්ඩායම තුළ ඇති කර තිබෙන අධිතක්සේරුව යි. කොහොම වුණත් මේ trajectory එකේ දිගටම ගියොත් අනිවාර්යෙන්ම ඇතිවන ඉන්ධන/බලශක්ති හා ආහාර අර්බුදයේ මුල්ම ගොදුරු වනු ඇත්තේ මැද පන්තිය නොව ඔවුන්මයි.

      Delete
    4. //ආණ්ඩුවේ ඉහල පුටුවල ඉන්න කට්ටියගේ purported capabilities ගැන මෙම ජන කණ්ඩායම තුළ ඇති කර තිබෙන අධිතක්සේරුව යි.//

      මා ලංකාවේ ප්‍රශ්නය දකින්නේ ඔබ දකින ආකාරයටම නෙමෙයි. මා දකින විදිහට ලංකාවේ ප්‍රශ්නය "ආණ්ඩුවක" ඉහළ පුටුවල ඉන්න කට්ටියගේ purported capabilities ගැන මෙම ජන කණ්ඩායම ඇතුළු ලංකාවේ අනෙකුත් බොහෝ ජන කණ්ඩායම් තුළ තිබෙන අධිතක්සේරුව පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුවකට කළ නොහැකි දේ ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති කම නිසා ඇතිව තිබෙන ප්‍රශ්නයක්.

      //කොහොම වුණත් මේ trajectory එකේ දිගටම ගියොත්...//
      ඔබේ අදහස පරිදි කළ යුත්තේ කුමක්ද?

      Delete
    5. //ආණ්ඩුවකට කළ නොහැකි දේ ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති කම නිසා ඇතිව තිබෙන ප්‍රශ්නයක්.//
      බොහෝ අය කියන කුලකයට ආණ්ඩුව කරවන අයත් අයිතියි කියලා තමයි මම නම් දකින්නේ

      //ඔබේ අදහස පරිදි කළ යුත්තේ කුමක්ද?//
      ප්‍රශ්නය අනාගත ආණ්ඩුවට තල්ලු කරන මානසිකත්වයෙන් මිදිලා ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි කියන concensus එකට ආණ්ඩුව ජනතාව හා රාජ්‍ය සේවකයන් පැමිණිය යුතුයි. කරන්න ඕනෙ මොකක්ද කියලා ඊට පස්සේ තමා බලන්න වෙන්නේ.

      Delete
    6. මම මෙය මේ තරම්ම සරල ලෙස ගන්නේ නැහැ. ඔබ කියා ඇති පරිදිම "ආණ්ඩුවකට" කළ හැකි දේ පිළිබඳ වැරදි විශ්වාසයක් රටේ බොහෝ දෙනෙකු තුළ තිබෙනවා. ආණ්ඩුව තේරී පත් වෙන්නේම එම විශ්වාසයේ උදවුවෙන්. ඒ නිසා, තේරී පත් වීමෙන් පසුවද ජනතාව ආණ්ඩුවකට කළ හැකියැයි සිතන එහෙත් ඇත්තටම කළ නොහැකි දේ කළ නොහැකි දේ බව සෘජුව ප්‍රකාශ කිරීමේ දේශපාලන ශක්‍යතාවය අහෝසි වී යනවා. ඒ නිසා, යම් හෙයකින් ඉහත කුලකයට ආණ්ඩුව කරවන අය අයිති නොවූවත් ඔවුන්ට හැසිරෙන්න වෙන්නේ හරියටම එම කුලකයට අයිති අය හැසිරෙන ආකාරයටමයි. මෙම ව්‍යුහමය ප්‍රශ්නය එලෙසම තිබෙන තුරු ආණ්ඩුව කරවන අය ඉහත කුලකයට අයිතිද නැද්ද කියන එකේ ප්‍රායෝගික වැදගත්කමක් නැහැ. තත්ත්වයන් දෙකේදීම ආණ්ඩුවට තමන්ට කළ හැකි දේ ජනතාවට පෙන්වන්න සිදු වෙනවා. එහිදී බොහෝ විට ආණ්ඩුව පෙළඹෙන්නේ දිගුකාලීනව රටේ ජනතාවට අවාසිදායක, එහෙත් කෙටිකාලීනව වාසිදායක දේවල් කරන්නයි. ප්‍රශ්නය අනාගත ආණ්ඩුවට තල්ලු කිරීමක් ලෙස ඔබ නිවැරදිව දකින්නේ එයයි. මේ තත්ත්වය තුළ ආණ්ඩු මාරුවක් සිදු වන්නේ "ආණ්ඩුවකට" කළ හැකි දේ පිළිබඳ වැරදි විශ්වාස එලෙසම තිබියදී පවතින "ආණ්ඩුවට" කළ හැකි දේ පිළිබඳ විශ්වාසය පමණක් පළුදු වීමෙන්. ඒ නිසා, ආණ්ඩු මාරුවකදී සිදුවන්නේ ඉහත චක්‍රය පුනරාවර්ත වීමක් පමණයි. ඇති වන බාහිර පීඩනයක් නිසා නොවේනම්, ප්‍රශ්නය අනාගත ආණ්ඩුවට තල්ලු කරන මානසිකත්වයෙන් මිදිලා ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි කියන concensus එකට ලේසියකට ආණ්ඩුව හා රාජ්‍ය සේවකයන් තල්ලු වෙන්නේ නැහැ. ඒ සඳහා එක්කෝ දැන් සිදුව තිබෙනවා වගේ කිසියම් අනපේක්ෂිත බාහිර කම්පනයක් ඇති විය යුතුයි. එසේ වී ප්‍රශ්නය කවර ආකාරයකින් හෝ තව දුරටත් අනාගතයට තල්ලු කළ නොහැකි තැනකටම වැටිය යුතුයි. එසේ නැත්නම්, සෘජුව ආණ්ඩු බලය ඉලක්ක කර නොගත් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ජනතාව අතරින් බිහි විය යුතුයි. ඇතැම් විට හොඳ සන්නිවේදන හැකියාවක් හා කැපවීමක් තිබෙන, අවංක, දක්ෂ, එහෙත් ආණ්ඩු බලය පිළිබඳ පෞද්ගලික අපේක්ෂාවන් නැති තනි පුද්ගලයෙක්ට වුවත් ලොකු වෙනසක් කරන්න පුළුවන් විය හැකියි. මේ ක්‍රම දෙකට අමතරව පවතින දේශපාලන ආකෘතිය තුළම තත්ත්වය වෙනස් කර ගත හැකි තෙවන ආකාරය වන්නේ "ආණ්ඩුවකට" කළ නොහැකි දේ ගැන සෘජුව ජනතාවට කතා කර බලයට පත් වීමයි. දැනට පෙනෙන පරිදි කිසිවෙකුට මේ ක්‍රමය පිළිබඳ විශ්වාසයක් නැහැ. සහතිකයක් නැතත්, එවැනි මතවාදයක් මත පදනම් වූ, බලය ඉලක්ක කරගත් දේශපාලන අවකාශයකට යම් ඉඩක් මේ මොහොතේ විවර වී තිබෙනවා කියා මම හිතනවා. ප්‍රතිඵලයක් ලැබෙන්නනම්, අවසන් ඉලක්කය ආණ්ඩු බලය ලබා ගැනීමම වුවත්, කෙතරම් අසාර්ථක වුවත් ආණ්ඩු බලය ලබාගැනීම වෙනුවෙන් තමන්ගේම මතවාදයට එරෙහිව පෙනී නොසිටිය යුතුයි. මොකද මතවාදය ජනප්‍රිය නොකර ආණ්ඩු බලය ගත්තා කියා තත්ත්වය වෙනස් නොවන නිසා.

      Delete
    7. ඔබගේ දිගු පිලිතුර මේ ප්‍රශ්නය දෙස ගැඹුරින්බැ ලිය හැකි තවත් viewpoint එකක් ලබාදුන්නා. නමුත් මේ ප්‍රශ්නය යාන්තම් ගොඩ දාගන්න හැම අවස්ථාවක්ම අපි අවසානයේ නවතින වලේ ගැඹූර වැඩිකර ගැනීමක් විතරයි කියන එක තමයි මගේ හැගීම.

      Delete
    8. //නමුත් මේ ප්‍රශ්නය යාන්තම් ගොඩ දාගන්න හැම අවස්ථාවක්ම අපි අවසානයේ නවතින වලේ ගැඹූර වැඩිකර ගැනීමක් විතරයි කියන එක තමයි මගේ හැගීම.//

      ඉතාම පැහැදිලිවම. සියලු ප්‍රශ්න වලට මූලික හේතුව රටේ මුල් බස්වා තිබෙන සමාජවාදී මතවාදය කියා මම හැම විටම කියන්නේ ඒ නිසයි. දිගින් දිගටම හිර වී සිටින ප්‍රශ්න කිසිවක් විසඳුම් නැති ප්‍රශ්න නෙමෙයි. මාක්ස්වාදයට හා සෝවියට් කඳවුරට ප්‍රතිවිරුද්ධ පැත්තේ හිටියත් ජේආර් විශ්වාසය තැබූ ක්‍රමයද රජය මූලිකව ආර්ථිකය මෙහෙයවන ක්‍රමයක්. හැත්තෑ හතේ සිට නොව නිදහස් ලංකාවේ පළමු මුදල් ඇමති ලෙස ඊට වසර තිහකට පෙර සිට. වලෙන් ස්ථිර ලෙස ගොඩ යන්නනම් මා ඉහත කී දේවල් තුනෙන් එකක් සිදුවිය යුතුයි. පළමුවැන්න ඉතාම වේදනාකාරී ක්‍රමයක්.

      Delete
    9. ඉකොන් හා ඇනෝ අතර මේ සංවාදය වැදගත්. ඉකෝන් පෙන්වා දෙන ආණ්ඩුවකට කළ හැකි දේ පිළිබඳ 'නිවැරදි' විශ්වාසයක් ඇතිකරගන්න අවශ්‍ය බුද්ධිය හා දැනුවත් කම ඇති කිරීම පරම්පරා ගානක් ගතවෙන දෙයක් වෙයි. අපේ මිනිස්සු facts විශ්ලේශනය කරන්නෙ අඩුවෙන් (හෝ නැහැම වගේ), උගත් නූගත් කියලා වෙනසක් නැහැ එතෙන්දි. වැඩි දෙනෙක්ගෙ මතය හසුරුවන්නෙ ආගමික ස්ථාන වලින් කියන එකම (ඒකනෙ මේගොල්ලන් ආපු වෙලේ කිව්වෙ) මිනිස්සුන්ගෙ විචාර බුද්ධිය හොඳින් පෙන්නුම් කිරීමක්.

      Delete
    10. ලංකාවේ බහුතරයක් ජනතාව තුළ ඇති ආකල්පමය හා බුද්ධිමය හැකියාවත් එක්ක පළවෙනි ක්‍රමය හැර අනිත් ක්‍රම දෙකෙන් ගොඩගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.

      //Anonymous 27, 2021 at 2:00 PM
      To be honest,it's high time we failed as a system, lest we fail as a country.//
      මේ ඇනෝත් අදහස් කරලා තියෙන්නේ (මට තේරෙන විදිහට) මේ අවස්ථාවේ ක්‍රමය කඩාවැටෙන්න නුදුන්නොත් ඉදිරියේදී රටක් විදිහට කඩාවැටෙනවා කියන එක.

      Delete
    11. යහපාලන ආන්ඩුව කලේ ආන්ඩු ලන්කාවෙ ආන්ඩුවකට කරන්න පුලුවන් උපරිමය නෙමෙයිද? උදාහරනයක් විදියට බදුරහිත වාහන අහෝසි කෙරුවා දේශපාලකයන් සහ රාජ්‍ය සේවක දෙපිරිසටම. නමුත් ඒකට විරුද්දව මරාගෙන මැරෙන්න ආවෙත් ඔය 225ම එපා කියන සෙටෙක නේද?

      Delete
  2. "කිසියම් අයෙකු රජයේ රැකියාවක් භාර ගැනීමේදී එම තැනැත්තා විසින් ලබා දෙන සේවය වෙනුවෙන් යම් නිශ්චිත වැටුපක් ලබා ගැනීමේ එකඟතාවයක් ඇති වෙනවා. පළමු පඩි දිනය දක්වා, මාසයකට ආසන්න කාලයක්, ශ්‍රමිකයා වැඩ කරන්නේ ණයටයි. මාසය අවසානයේදී රජය විසින් ණය ගෙවනවා. යම් හෙයකින් නියමිත දිනයේදී කලින් පොරොන්දු වූ වැටුප ලබා නොදුන්නොත් එය සැලකිය හැක්කේ ණය පැහැර හැරීමක් ලෙසයි.

    ලංකාවේ රජය හා රාජ්‍ය සේවකයෙකු අතර ඇති වන සේවා ගිවිසුම තුළ එකඟතාවයක් ඇති වන්නේ නිශ්චිත ශ්‍රම කාලයක් නිශ්චිත රුපියල් ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමටයි. මෙහිදී රාජ්‍ය සේවකයා තමන්ගේ ශ්‍රමයේ වටිනාකම රුපියල් වලින් ලබා ගන්නේ රුපියල් පරිභෝජනය කළ හැකි නිසා නෙමෙයි. රුපියල් සත කන්න බැරි බව ත්‍රිරෝද රථ වලට ස්ටිකර් විකුණන අය වගේම ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරන අයත් දන්නවා. රුපියල් ලබා ගන්නේ රුපියල් සමඟ හුවමාරු කර ලබා ගත හැකි පරිභෝජනය කළ හැකි දේවල් නිසා. එහෙත් ඒ බව බොහෝ විට සේවා ගිවිසුමේ නැහැ. එය යම් ආකාරයක අලිඛිත එකඟතාවයක්."


    පසුගිය සතියේ දිනෙක ගුරු මිතුරියක සමග සංවාදයට ඉඩ ලැබුණා, එහිදී ඈට උක්ත කරුණ ඒත්තු ගැන්වීමට උත්සාහ කළත් එය සාර්ථක වී යැයි මා සිතන්නේ නෑ. මා ගුරුවරුන්ගේ (සහ වෙනත් ඕනෑම අයෙකුගේ) වර්ජනය කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින නමුත් කිසිවෙකුගේවත් වැටුපක් මේ අවස්ථාවේ වැඩි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. ආණ්ඩුව වැරැද්ද කළේ බටහිර වෙදුන්ට අනවශ්‍ය දීමනා දීමට යෑමෙන්. දැන් මෙය රැල්ලක් වී තිබෙනවා. කාවිද රෝගය වැදගැම්මකට ඇති දෙයක් ලෙස නොසිතන මා වෙදුන්ට දීමනා දීමට විරුද්ධ වීම ඔබට පුදුමයක් නොවේය කියා සිතනවා.

    නමුත් මාගේ විරෝධය එය නොවේ. වෙදුන්ට දුන්නාට පසු හෙදුන්ටත්, ගුරුන්ටත්, ඉන් පසු හෙණ වඩුවන් (electrical engineer) ඈ මෙකී නොකී ඈයින්ට ඉල්ලීම් දුන්නාට පසු ඒ අයගේ ප්‍රශ්නය විසඳේවි. නමුත් මේ පිං පඩි වලින් වන්නේ නැවත වටයකින් උද්ධමනය ඉහල ගොස් (2015 පිං පඩි මෙන්) රජයේ නොවන අය (අපත් මීට අයත්ය) කබලෙන් ලිපට වැටීමයි. රජය විසින් කාවිද රෝගය පාලනය කිරීමේ නාමයෙන් ආදායම් අහිමි කර තිබෙන අසරණයින්ට සිදු වන්නේ කුමක්ද? ස්වයං රැකියා තහනම් කිරීමත් පෞද්ගලික අංශයේ වැටුප් කප්පාදුවත් රජයේම තීන්දු ය.

    එවැනි තත්වයක මෙහි උත්ප්‍රාසය නම් ගුරුවරුන්ට වැටුප් වැඩි කළ යුතු යැයි fbහි කෑ මොර දෙන පරාර්ථකාමී ප්‍රජා සේවකයන් වැඩිමනක් (මා දුටු සෑම කෙනෙක්ම පාහේ) අර කුලක දෙකෙන් එකකට අයත් වීමයි. සමහර විට ඔවුන්ගේ කලත්‍රයා නැතිනම් සහෝදර සහෝදරියන් රජයේ සේවකයන් වීම ඊට හේතුව විය හැක.

    ReplyDelete
    Replies
    1. ලියා තිබෙන හැම දෙයකටම වගේ එකඟයි. රජයට සම්පත් මැවීමක් කරන්න බැහැ. දෙන ඕනෑම දෙයක් සෘජුව හෝ වක්‍රව වෙනත් අයෙකුගෙන් ගන්නම වෙනවා. ඔබ කියනවාක් වගේම වසංගත පාලන ක්‍රියාමාර්ග තුළ බොහෝ දුරට සිදු වන්නේ රජයට පිටින් සිටින අයගේ තත්ත්වය වඩා නරක අතට හැරෙන එකයි. රජය තුළ සිටින අයටත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. එහෙත් එය විසඳන්න යාමේදී වෙන්නේ රජයෙන් පිට ඊටත් වඩා ප්‍රශ්න වලට මුහුණ දී සිටින අය කබලෙන් ලිපට තල්ලු කිරීමක්.

      Delete

  3. ප්‍රතිපත්තියක්; පැහැදිලි ඇති රජයකට-
    රටකට ඇහැකි ගැටලුවලින් ගොඩ යන්ට
    වමතින් කරන දේ දකුණත නොදත් විට
    වෙන්නේ මොකද- ඕනිද කියලා දෙන්ට!

    ReplyDelete
  4. මහ බැංකුව විසින් ලංකාවේ සියලුම බැංකුවලට ඔවුන්ගේ මූල්‍ය වාර්තා බාහිර විගණනය අවසන් වනතුරු ප්‍රසිද්ධ කිරීම වළක්වාලමින් පසුගිය සතියේ නිකුත් කළ නියෝගය ගැන ඔබගේ අදහස කුමක්ද

    ReplyDelete
    Replies
    1. මෙයින් සිදු වන්නේ මහ බැංකුවේ ඇසින් බැලූ විට බැංකු පද්ධතියේ කිසියම් අස්ථාවරත්වයක් දැකිය හැකි බව ප්‍රදර්ශනය කිරීමක් කියා එක පැත්තකින් කියන්න පුළුවන්. අනෙක් පැත්තෙන්, බැංකු ක්‍රමය ක්‍රියාත්මක වන මූලධර්ම අනුව, කිසියම් නිවැරදි හෝ වැරදි තොරතුරක් මත බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මහජනතාව (ගනුදෙනුකරුවන්) තුළ යම් සැකයක් ඇති වුවහොත්, ඒ හේතුව නිසාම බැංකු පද්ධතිය බිඳ වැටෙන්න පුළුවන්. බාහිර විගණනය අවසන් වීමට කොපමණ කලක් යනවාද කියා මම හරියටම දන්නේ නැහැ. එම කාලය මාස දෙක තුනක්නම් මම මේ තීරණයේ වැරැද්දක් දකින්නේ නැහැ. නිවැරදි මූල්‍ය වාර්තා සේ සැලකිය හැක්කේ විගණනය කළ මූල්‍ය වාර්තා. යම් හෙයකින් විගණනය නොකළ මූල්‍ය වාර්තා වලින් පෙන්වන තත්ත්වය සැබෑ තත්ත්වයට වඩා නරකනම් එම වාර්තා ප්‍රකාශයට පත් කිරීමෙන් තේරුමක් නැති, අනවශ්‍ය හානියක් බැංකු පද්ධතියට සිදු විය හැකියි. එහෙත්, බාහිර විගණනය සඳහා විශාල කාලයක් ගත වෙනවානම්, එම කාලය අතරතුර පවතිනවාටත් වඩා නරක තත්ත්වයක් සමපේක්ෂණය කිරීමක් සිදු විය හැකියි. මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙම තත්ත්වයන් කිරා මැන අදාළ තීරණය ගන්නට ඇතැයි මම හිතනවා.

      Delete
  5. To be honest,it's high time we failed as a system, lest we fail as a country.

    ReplyDelete
  6. චීනය හෝ IMF එකෙන් නායක දී ආණ්ඩුව බේරා ගනීවි

    ReplyDelete
  7. @ අජිත් සහ ඉකොන්,

    ඔබ කියන දේට වඩා වෙනස් දෙයක් ලංකාවේ වෙනවා මේ දවස්වල. මොකද ඊයේ ලංකාවට ගෙවන්න සිදු වුණ කල්පිරීමට නියමිතව තිබු ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) July 27 Sovereign Bond සඳහා ගෙවීම සිදුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය වලට කී පරිදි මෙම ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත ගොඩ නැගීමට ඉඩ සැලසෙනු ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි. මේක ඇත්ත ද? මම හිතන්නේ ලංකාවේ මීට වඩා බරපතල ආර්ථික ප්‍රශ්ණයක් තියෙන බව, මේ ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ පාඨලී චම්පික ඉතාමත් බැරෑරුම් ලෙස විස්තර කළේ ලංකාවේ තත්ත්වය බරපතළ බවත් ඉතාමත් ඉක්මනින් ලංකාව බංකොලොත් වී බැංකු සියල්ල කඩා වැටී බහුතර ජනයා හැම අතින්ම අනාථ වීමට විශාල ඉඩක් තිබෙන බවයි.

    නමුත් ආණ්ඩුවේ අදහස අනුව මේ බැඳුම්කර (ණය) ගෙවීමත් සමග ලක් රජයේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන තුනකටත් වඩා අඩු මට්ටමකට වැටී ඇති අතරම ආණ්ඩුවේ අදහස අනුව ලංකාවේ ඩොලර් සංචිත ඉදිරි මාස තුන ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි මුදල් අමාත්යංශය කියුවේ.

    ඒ කියපු දේවල් මට මතක හැටියට ඩොලර් සංචිත ලැබීමට නියමිතව ඇත්තේ මෙහෙමයි;

    A. ඉන්දීය SWAP පහසුකම: US$ 400 million

    B. බංග්ලාදේශ්‍ SWAP පහසුකම: US$ 250 million

    C. චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය: US$ 300 million

    D. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට Special Drawing Rights (විශේෂ අයිතිවාසිකම් ප්‍රදානය): US$ 800 million

    (මේ SDR මුදල් කරන්න ඇමරිකානු එක්සත් ජනපදයට විකිණීමට අවශ්‍යයි නේද?)

    E. විදේශ විනිමය වෙළෙඳපොළෙන් මහ බැංකුව මගින් නියමිත මිලදී ගැනීම්: US$ Mn 200

    F. දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) වලින් ලැබෙන මුදල්: US$ Mn 300

    G. කොළඹ නගරයේ වටිනා රජයේ ඉඩම් කොල්ලකමින් ඒවා 'ඌන උපයෝජිත වත්කම් උපයෝගීකර ගැනීම' ලෙස විදේශ සමාගම් වලට විකුණා ලබාගැනීමට අපේක්ෂිත මූල්‍ය ගලා ඒම්: US$ 400 Mn

    H. මේ අතර පහුගිය යහපාලන රජයේ සැලසුමක් වූ ඩොලර් මිලියන 480 ක ඇමරිකානු මිලේනියම් ගිවිසුම් ණය අවලංගු වූ නමුත් එයින් 1/3 ක් විතර වන, එතෙක් මෙතෙක් ලංකාවේ ඉතිහාසයේ ඇමරිකානු එක්සත් ජනපදයෙන් ලබා ගන්නා විශාලතම ණය ආධාර මුදල ලබා ගැනීමට ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින් හසුරුවන්න ලංකාවේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර ඇමරිකානු පුරවැසි ලංකාවේ මුදල් ඇමති බැසිල් විසින් දමන ලද කුප්‍රකට ඩීල් වලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 150 ක ණයක් මූල්‍යාධාරයක් ලෙස ලබා දීලා තියෙනවා.

    පහුගිය වසර 73 පුරා ඩොලර් ලක්ෂයක් පමණ හෝ ඊට අඩු ඉතාමත් කුඩා ආධාර ලබා දුන් ඇමරිකානු එක්සත් ජනපදය ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් සංවර්ධනය, පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ට සහාය දීමේ අරමුණෙන් ඩොලර් මිලියන 150 ක් විතර අතිශයින් විශාල වූ ණයක් ලබා දෙන මරා වාදීන් මහ ඉහළින් අනවශ්‍ය ලෙස වර්ණනා කිරීම ජවිපෙ සහ සජබ පක්ෂ වල දැඩි විරෝධයට ලක් වුණේ ආණ්ඩුව ණය ගැනීමෙන් සුරතාන්තයට පත් වූ බවට දැඩි විවේචනයට බඳුන් කරමින්.

    කෙසේ නමුත් එම මිලියන 150 ලංකාවේ පෞද්ගලික බැංකුවක් හරහා ලබා දෙන අතර ඇමරිකන් ජාත්‍යනතර සංවර්ධන මූල්‍ය සංස්ථාව මෙතෙක් ඇමරිකන් එක්සත් ජනපදයෙන් ලංකාවට ලබා දුන් විශාලතම මුදල ලෙස වාර්තාවක් පිහිටුවීමට යන ගමන් ලංකාවේ මහ බැංකු වාර්තා අනුව 2021 අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 16.28 ක් ලෙසින් සටහන්ව තිබුණු බවත් එයින් ඩොලර් බිලියන 6.57 ක් විදෙස් ණය ලෙසින් වාර්තා වී තිබුණ බව තවත් එක මාධ්‍යක මම දැක්කා. මේක බොරු නේද? ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන 32 ක් විතර තියෙනවා නේද? කරුණාකර මේ ගැන පැහැදිලි කරන්න.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...