වෙබ් ලිපිනය:

Tuesday, August 21, 2018

ලෙචියකගෙන් ලියුමක්...


පහත උපුටා දක්වන්නේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ රසායන සහ සැකසුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන මහේෂි දන්තුරේබණ්ඩාර විසින් ඇගේ වත්පොත් පිටුව හරහා පොදු අවකාශයට මුදාහැර ඇති සටහනක්. කියවීමේ පහසුව සඳහා ඇතැම් තැන් වලින් එහි ඡේද වෙන් කිරීම හැර වෙනත් කිසිදු වෙනසක් නොකර ඇගේ සටහන එලෙසින්ම මෙහි පළ කරන්නේ තමන්ගේ සිසුන් සමඟ සංවාදයක යෙදෙන්නට ඇය දක්වන උනන්දුව අගය කිරීමක් වශයෙනුයි. මෙය මෙහි පළ කිරීමෙන් ඇය ලියා ඇති හැම දෙයක් ගැනම මා එකඟ වන බවක් අදහස් වන්නේ නැහැ. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය ගැන ඇය ලියා ඇති අදහස් සමඟ මම එකඟ නැහැ. 

මහේෂි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව වගේම ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳවත් ආචාර්ය උපාධියක් ලබා තිබෙන තැනැත්තියක්. මේ ලිපියේ ලියා තිබෙන ඇගේ කණස්සල්ලට හේතු වී ඇති කරුණු ගැන කණගාටු වනවා වෙනුවට ඈ හදාරා තිබෙන ව්‍යවහාරික ආර්ථික විද්‍යාව භාවිතයේ යෙදෙව්වානම් සිසුන් මේ විදිහට ක්‍රියා කරන්නේ ඇයි කියන එකත් ඇයට තේරුම් ගත හැකිව තිබුණා.

ආචාර්ය මණ්ඩලයේ දෘෂ්ඨි කෝණයෙන් පෙනෙන දෙය ඇය ලියා ඇති දෙයට බොහෝ සමාන ඇති. එහෙත්, සිසුන් සේ සිටියදී අප ක්‍රියා කළ ආකාරයත් දැන් සිසුන් ක්‍රියා කරන ආකාරයට වඩා ගොඩක් වෙනස් නැහැ. ඒ කාලේ ආචාර්ය මණ්ඩලයේ සිටි අයටත් මහේෂිට වගේම කණස්සල්ලක් ඇති වෙන්න ඇති. සිසුන් එසේ ක්‍රියා කරන්න හේතුවන බාහිර තත්ත්වයන් වෙනස් නොවුනොත් අනාගතයේදී වුවත් සිසුන් හැසිරෙනු ඇත්තේ ඔය විදිහටම තමයි. මෙතැන තිබෙන්නේ ලංකාවේ අධ්‍යාපන ආකෘතියේ මූලික ප්‍රශ්නයක් මිසක් ආචාර්ය මණ්ඩලයේ ඉන්න පිරිසකගේ වැරැද්දක් නිසා ඇති වුනු ප්‍රශ්නයක් නෙමෙයි.

වැඩිපුර දේවල් ලියන්න ගියොත් ලියුමට යන්න වෙන්නේ නැහැ. ඔන්න එහෙමනං මහේෂි දන්තුරේබණ්ඩාරගේ විවෘත ලිපිය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ දරුවන් වෙත ලියමි....

මාස දෙකකට ආසන්න නිහැඬියාවකට පසු පේරාදෙණිය ඉංජිනේරු පීඨය දැන් යළිත් අවදිවෙමින් සිටියි. අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර යමක් ලියා තබන්නට සිතුවේ සිදුවූ සියල්ල පිලිබඳ සිතේ තවමත් පවතින වේදනාව, කලකිරීම සහ එහෙත් මගේ රැකියාව කෙරෙහි තවමත් නොනැසී පවතින ආදරය සහ කැපවීම යනාදි මිශ්‍ර සිතුවිලි නිසාය.

අරගල කිරීම ශිෂ්‍ය ප්‍රජාව සතු අයිතියකි. නිදහස් අධ්‍යාපනයේ පැවැත්මටත්, උන්නතියටත්, ආරක්ෂාවටත් ශිෂ්‍ය අරගල සෘජුව සහ වක්‍ර ලෙස දායක වූ බව කාටත් නොරහසකි. නමුත් අරගල කරන්නේ කුමක් සඳහාද, කවුරුන් දිනවීමටද සහ එම අරගල කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලීම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේම වගකීමකි. එසේත් නොමැතිව අන්ධයන්, ගොලුවන් සහ බිහිරන් ලෙස ඒවාට සෘජුව හෝ වක්‍රව හෝ සහය දීම අනාගත පරම්පරාවල් කිහිපයකටම වල කැපීමක් වනු ඇත.

මා මේ දීර්ඝ සටහන තබන්නේ වසර ගනනාවකට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ම ශිෂ්‍යාවක ලෙසත් ඉන් ඉවත්ව වසර 10 ට පසු නැවත එම පීඨයේම කථිකාචාර්ය වරියක් ලෙසත් මගේ ඇති කෙටි අත්දැකිම් සමූහය පදනම් කරගෙනයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකව ස්ව කැමැත්තෙන්, සාධාරණ යැයි සිතා සහභාගී වූ අරගලත් ශිෂ්‍ය සංගමය විසින් අකමැත්තෙන්, බලෙන් දක්කාගෙන ගොස් සහභාගී වූ අරගලත් මගේ ශිෂ්‍ය ජීවිතයේ මම අත් දැක ඇත්තෙමි. ශිෂ්‍ය සංගම් වල ක්‍රියා පටිපාටියට පිටින් කතා කරන විට, බහුතර වැරදි මතය නොව හරි මතය දිනවන්න ක්‍රියාකරන විට, ප්‍රශ්න කරන විට ශිෂ්‍ය සංගම් වල නායකයින්ටත් වඩා ඔවුන්ට වන්දි බට්ටකම් කරන අයවලුන්ගෙන් අනන්ත මානසික තාඩන පීඩන වලට ගොදුරු වූ අවස්තා මගේ ශිෂ්‍ය ජීවිතයේ ඇත. විශ්ව විද්‍යාලයයේ පළමු වසර ඉතා නීරස එකක් වී විෂයයන් තුනක් අසමත් වීමට තරම් ඒ මානසික බිඳවැටීම ප්‍රභල වුණි. නමුත් මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ ඒ අසමත්වීම නිසාත්, ඒ අසමත් වීමත්, මා අසමත් කලවුනුත් පසුකර මා මට අවැසි තැනට පැමිණ ඇති නිසාත් ඒ ගැන තවත් විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි. නමුත් මා මේ ස්වල්පය පැවසුවේ අප පීඨයේ ඇති වූ තත්වය පිළිබඳව ආචාර්යවරු ලෙස අපේ අදහස් විමසූ සමහරු, අප ආචාර්‍යවරු වූ පසු අපට ශිෂ්‍ය සමය අමතක වී ඇති බවට කල චෝදනාව නිසායි. උද්ගත වූ තත්වය ගැන මා පමණක් නොව, අප පීඨයේ ආචාර්‍යවරු වැඩි පිරිසක් කනගාටුවට, කලකිරීමට සහ නොසන්සුන් බාවයට පත්වූයේ ඒ ශිෂ්‍ය සමය හොඳින් මතක ඇති නිසාත් ඒ නිසාම අද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ ලඟ සබඳතාවක් පවත්වාගෙන යාමට අප නිරන්තරයෙන් කැප වන නිසාත් ය. 

දැන් අපි 80% විශයය සහභාගීත්වය ට අදාලව පීඨයේ ඇතිවූ ප්‍රශ්නය ගනිමු. 80% විශයය සහභාගීත්වය සම්පූර්ණ නොකල 48 (1600 කින් 48) වෙනුවෙන් සහ ඒ හා ඈඳාගත් තවත් ප්‍රාථමික මට්ටමේ කරුණු කිහිපයක් මුල් කරගෙන, තවත් පීඨ නවයක්ම ආපස්සට ගෙනයන්නට යෙදුනු කලබගෑනියට දැන් පිළිතුරක් ලැබී ඇත. ඒ නිසා ඒ කලබගෑනිය ගැන කතා නොකරමි. මා කතාකරන්නේ ඒ සම්බන්දයෙන් අප ඉංජිනේරු ශිෂ්‍යන් හැසිරුන ආකාරයත්, ඒ නිසා පීඨයේ කීර්ති නාමයට, වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම යහපත්, කීර්තිමත් මිනිසුන් බිහිකල ඉතිහාසයට සහ තවත් සිසුන් විශාල ප්‍රමානයකට ඇතිවූ හානියත්, දැන් අපි ඒ හානිය ඉවත් කරන්නේ කෙසේද යන්නත් විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් දේශන වලදී සහ ප්‍රායෝගික පරික්ශන වලදී ඔබ ඔබගේ වගකීම සහ යුතුකම නිවැරදිව ඉටුකලාද යන්නත් ආචාර්‍යවරු ලෙස අප අපේ සේවය නිසිලෙස ඔබට ලබාදුන්නාද යන්නත් ය. 

මම මවක් නොවෙමි. නමුත් මවු ගුණය ඇතිවීමට මවක් විය යුතුම නැත. ඔබ සියල්ලෝම මට මගේ දරුවන් ලෙස හැඟෙන්නේ ඒ නිසාය. තව බොහෝමයක් ආචාර්‍යවරු සිතන්නේ එසේය. කතිකාචාර්‍ය රස්සාව 8-5 රස්සාවක් නොවී පැය 24ක රස්සාවක් වන්නේ එහි ඇති රාජකාරිමය බන්ධනයටත් වඩා මේ මව්-පිය ගුණය නිසාය. අප පීඨයේ 90% වඩා වැඩි ආචාර්‍යවරු පිරිසක් හුදෙක් දේශකයෝ (lecturers) පමණක් නොවෙති. දේශකයෙක් නම් වෙලාවට දේශනයට පැමිණ වෙලාවට බැහැර විය යුතුය. නමුත් බහුතරයක් කරන්නේ බහු කාර්‍යය රස්සාවකි. ඔවුන් පැමිණෙන්නේ දේශනය කිරීමට පමණක් ම නොවේ. උදෑසන සිට සවස් වනතුරු පීඨයේ සිට, ඔවුහු විටෙක ගුරුවරු වෙති. විටෙක පර්‍යෙශකයෝ වෙති. විටෙක පරිපාලන කටයුතු වල යෙදෙති. විටෙක ශිෂ්‍ය උපදේශන සේවාවේ යෙදෙති. අනධ්‍යයන කාර්‍යය මණ්ඩලයේ කටයුතු වල යෙදෙති. විටක කම්කරු රස්සාවේ නියලෙන්නටද සිදුවන අවස්තා ද නැතුවාම නොවේ. සෑම දෙපාර්තමේන්තුවකම ආචාර්‍යවරු අඩු වැඩි වශයෙන් මේ කාර්‍යයන්හි යෙදෙති. ගෙදර ගිය පසු ඔවුහු කරන්නේ කුමක්ද? බහුතරය සිය සැමියා/ බිරිඳ හා දරුවන් සමග ගත කරන්නට ඇති කාලය යලිත් යොදවන්නේ දේශන සටහන්, නිබන්ධන සහ පර්‍යේශන පත්‍රිකා සකසන්නටය. කුඩා දරුවන් සිටින තරුණ ආචාර්‍යවරු බහුතරයක් නිදන්නේ පැය 4 ටත් වඩා අඩු කාලයක් බව මම නිතර අසා ඇත්තෙමි. 

ඉතින් දරුවනි! එවන් පසුබිමක් තිබියදී ඔබේ අරගලය පටන් ගත් දින ඔබ ඉංජිනේරු සහ ඉංජිනේරු නොවන සිසුන් සමඟ පීඨ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අප ඔබට උගන්වන්නේ නැති බවත් අප උගන්වන්නට දන්නේ නැති බවත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් හඬ ගා කීවෝය. සේවා කාලය අවුරුදු 15 පමණ වන මහත් කැපවීමෙකින් ඉගැන්වීමේ යෙදෙන ආචාර්‍යවරයෙක් පැවසුවේ එය ඇසුණ පසු ඔහුට කලකිරීමකටත් වඩා ඉසිලිය නොහැකි වේදනාවක් දැනුන බවයි. ඔබ පීඨ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන, යන එන කොරිඩෝවේ ඉතා නූගත් මිනිසුන් හැසිරෙන ආකාරයටත් වඩා අන්ත ලෙස වැතිර සිටියහ. අප එවන් තරුණ දරුවන්ගේ දෙපා උඩින් පැන පැන ගොස් ඒත් ඔබ වෙනුවෙන් කලයුතු විබාග ප්‍රශ්න පත්තර මුද්‍රනය කිරීමේ කටයුතු වල නියැලුනෙමු. ඔබ ඔබේ අරගලයට දක්කාගෙන ආ වෙනත් පීඨ සිසුන් අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ තරුණ මහත්මීන්ට විශ්ව විද්‍යාල සිසුන්ට තරම් නොවන අන්දමේ උසුලු විසුලු කල බව ඔවුන් පැවසුවේ කලකිරීමකටත් වඩා මහත් පුදුමයකිනි. එදා මෙදා තුර ඔබ අප මහත් ගෞරවයකින් සහ අභිමානයකින් සැලකූ පීඨ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ලිප් බැඳ, උයා පිහා, කා බී, එතැනම වැටී යාචකයන් සේ සැතපී සිටිනු අප බලා සිටියේ මහත් කම්පනයකිනි. 

එයිනිදු නොනැවතුනු ඔබ විවිධාකාර පෝස්ටර් එල්ලා අප මහත් කැපවීමෙන් ඔබට සැපයූ සේවය හෑල්ලු කරනු අප දුටුවෙමු. ඒ පෝස්ටර් වලිනුත් "සිසු ජීවිත තොපේ බූදලේද" යන පෝස්ටරය පෞද්ගලිකවම මගේ හිතට තදින් කාවැදුණකි. දරුවනි! ඒවා දුටුපසුව සැබවින්ම මට නම් සිතුනේ ඔබ වන් ගුණමකුවන්ට උගන්වනවාට වඩා නින්දට යාම යහපත් බවයි. නමුත් අර මව්-පිය ගුණය අපව ඒ පාප කර්මයෙන් වලකාලන්නේය. සැබැවින්ම ඔබ කවරක් කලත් ඔබ අපේ බූදල බවට සලකා ඔබව දැනුමින් පෝශනය කරන්නට අපව පොලඹවන්නේ ඒ ගුණයයි. මෙයිනිදු නොනැවතුනු ඔබ, සමාජ ජාල හරහා ඔබේ කාර්‍ය රිසි පරිදි කරගෙන ගියාහුය. ඒ මගින් අප සිසුන් තලා පෙලා දමන, මර්ධනය කරන කුරිරු ගෝත්‍රිකයන් පිරිසක් බව ජාතියටත්, ජාත්‍යන්තරයටත් පැවසූහ. අප යල් පැන ගිය තාක්ශණික කරුණු ඉතා යල් පැන ගිය ක්‍රම මගින් උගන්වන බවට සමාජ ජාල වල සඳහන් කර ඇති බව මම දුටුවෙමි. වරෙක ශිෂ්‍ය සංගම් සමග පැවති සාකච්චාවකදී නිෂ්පාදන හා කර්මාන්ත ඉංජිනේරු ගොඩනැගිල්ල සහ අනිකුත් ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කල නොහැක්කේ ආචාර්‍යවරු ඒවාගෙන් කොමිස් ගහන නිසා බව එක් දරුවෙක් චෝදනා කර තිබිණි. 

එම සාකච්චාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ ආචාර්ය තුමෙක් පැවසුවේ අධ්‍යයන කටයුතු වලදී ඉතා නිහඬ සහ අලස පිළිවෙතක් අනුගමනය කරන ඒ දරුවා කෙසේ එසේ පැවසුවාදැයි තමන් පුදුමයට පත්වූ බවයි. මෙහිදී පැවසිය යුතු දෙයක් ඇත. මෙතන කොමිස් ගහ ගහ ඉන්නවට වඩා ලොව පිලිගත් විශ්ව විද්‍යාලයයක හෝ ආයතනයක ඉහළ වැටුපකට සේවය කිරීමට අවශ්‍ය වන සුදුසුකම් අප සතුව තිබේ. නමුත් එසේ නොකර උසස් අධ්‍යාපනයෙන් පසුව අප මෙහි සේවයට පැමිණියේ අප දෙමාපියන්, හිතවතුන්, මේ රට සහ එහි අනාගත පරපුර ගැන කැක්කුමක් අපට තවමත් ඇති නිසාය. තවද ඔබ කොමිස් ගහනවා යැයි කියූ ආචාර්‍යවරු ම තමන්ගේ පෞද්ගලික වත්කමින් අප්‍රසිද්ධ ලෙස බොහෝ ශිෂ්‍යන්ට උදවු උපකාර කරන බව කාටත් රහසක් නොවේ. 

සිසුන්ගේ මේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට, දැනට පීඨයෙන් ඉවත්ව විවිධ ක්ෂේත්‍රයන්හි සේවයේ නියැලෙන ළපටි මෙන්ම පරිණත ඉංජිනේරුවරුන්ගේ පක්ශ සහ විපක්ශ අදහස් මම සමාජ ජාල වෙබ් අඩවි තුලින් කියෙව්වෙමි. ඉන් එක් අයෙක් පවසා තිබුනේ පරිපාලනය සැමවිටම සිසුන් දරුවන් ලෙස නොසලකා කුරිරු තීරණ ගන්නා බවයි. ඒ සම්බන්ධව යමක් පැවසුවහොත් ශිෂ්‍යාවක සමයේ පරිපාලනය ගැන මා නොදුටු නොදත් බොහෝ දේ දැන් මම ආචාර්‍යවරියක ලෙස ඉගෙනගනිමින් සිටිමි. එවකට මා ඉතා දුශ්ට යැයි සිතා සිටි සමහර ජ්‍යෙෂ්ඨ ආචාර්‍යවරු පීඨ සභාවේදී ඉතා මානුෂික ලෙස සිසු දරුවන්ගේ ප්‍රශ්න වලට සම්බන්ද වෙනු දැක ඇත්තෙමි. බොහෝ විට ලාබාල, අත්දැකීම් අඩු ආචාර්‍යවරු ආවේගශීලි ලෙස ගන්නා තීරණ මැඩ පවත්වන්නේ මේ අප දුශ්ට යැයි සිතා සිටි වියපත් පරිණත ආචාර්ය මහාචාර්‍ය වරු විසිනි. අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ වර්ජනයට පසුව සමාසිකය සම්පීඩනය කර ඉගැන්වීම, හවස පන්ති පැවත්වීම යනාදියේත් අවංක පරමාර්ථය වූයේ අවසන් වසර සිසුන් නිසි කලට උපාධිදරයන් ලෙස පිටත් කිරීමත්, අනික් සිසුන් නිසි කලට කාර්මික පුහුණුවට යැවීමත් සහ අලුත් කණ්ඩායම ඉක්මණින් බඳවා ගැනීමත් මිස ඔබව හිතා මතා තලා පෙලා මර්ධනය කිරීමට නම් නොවේ. මේ තීරණයට ශිෂ්‍ය නියෝජිතයන් එකඟ වූ බවද කියනු කැමැත්තෙමි.

අප යල්පැනගිය දේ යල්පැනගිය ක්‍රම මගින් උගන්වන බව කියූ ඔබටත්, එයට පොහොර, වතුර දමා සමාජ ජාල වෙබ් අඩ්වි ඔස්සේ ප්‍රචාරය කරන ඉන්ඩස්ට්‍රියේ ඇතමුන්ටත් මට කිවයුතු යමක් ඇත. වොශින්ටන් නියාමනය යටතේ අප විශය නිර්දේශ කාලානුරූපව නිතර වෙනස් කරමු. මෙහිදී ඉතා මෑතකදී බිහිවූ මෙන්ම ඉතා පරිණත, අත්දැකීම් බහුල ඉංජිනේරුවරුන්ගේ අදහස් ද අප සැලකිල්ලට ගන්නේ විශයය නිර්දේශය ඉන්ඩස්ට්‍රියේ ඉල්ලුමට ගැලපිය යුතු නිසාය. මේ සඳහා සෑම දෙපාර්තමේන්තුවකටම industry consultative committee එකක් ඇත. මේ කොමිටි වලට ඉන්ඩස්ට්‍රියේ වැඩි දෙනා ඉතා කැමත්තෙන් සහභාගි වෙති. නමුත් බොහෝවිට සමාජ ජාල වෙබ් අඩවි වල කටමැත දොඩවන අයවලුන් නම් මේවාට කැමති නැත. ඔවුන් කැමති සැමවිටම වැරදි නිවැරදි කර ගැනීමට උදවු කරනවාට වඩා අරක වැරදි මේක වැරදි යැයි කියව කියවා සිටීමටය. 

මා ශිෂ්‍යාවකව සිටි සමයේ උගත් විශයයන්ට වඩා අද බොහෝ සෙයින් අලුත් තාක්ශනික කරුණු විශයය නිර්දේශයට ඇතුලත් කර තිබේ. එම වෙනස මම හොඳින් දකිමි. ආචාර්‍ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් අද නැවුම්, නිර්මාණශීලී අදහස් ඇතිව තරුණ දරුවන් සමඟ ඉතා සුහදව කටයුතු කරන්නට උත්සාහ දරති. ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙති. දැන් මේ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමට බහුතර ශිෂ්‍යා වූ ඔබ ප්‍රතිචාර දක්වන අයුරු මම විස්තර කරන්නම්. මා සේවයට පැමිණි මුල් අවධියේ මම ඉතා කැපවීමෙන් විවිධ ඉගැන්නුම් ක්‍රම අත් හදා බැලුවෙමි. ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම එක් ක්‍රමයකි. 

මෙහිදී අප දේශකෙයක්ට වඩා පහසුකම් සලසන්නෙකුගේ (facilitator) භූමිකාව කරමු. පාසැල් සහ ටියුශන් අධ්‍යාපනයේ මෙන් හැන්දෙන් පොවන (spoon feeding) ක්‍රමය වෙනුවට මෙහිදී අප ශිෂ්‍යාටම ස්වයං පාලනයක් සහ නිදහසක් සහිතව විශයය කරුණු සොයා යෑමට, ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමට මග පෙන්වන්නෙමු. කෙසේ වෙතත් මේ ක්‍රමයට යහපත් ප්‍රතිචාර දක්වන්නේ ඉතා සුලු පිරිසකි. මගේ පලමු ඉගැන්වීම් සමාසිකය අවසානයේ ශිෂ්‍ය ප්‍රතිචාර පෝරම 100 න් 80 ම සඳහන් වී තිබ්බේ බෝඩ් එකේ උගන්වනවානම් , සටහනක් මුද්‍රනය කර දුන්නානම් හොඳ බවයි. එයිනුත් සමහරු ලියා තිබුනේ මා විශයය හරි හැටි නොදන්නා නිසා එවැනි සටහන් නොදෙන බවයි. බෝඩ් එකේ උගන්නන්නේ නැති බවයි. ඉන් පසු වසරේ මම යලිත් සාම්ප්‍රදායික ක්‍රමයට උගන්වන්නට පටන් ගතිමි. නමුත් මා පමණක් නොව බහුතරයක් ආචාර්යවරු හැකිවිටම උත්සහ කරන්නේ ශිෂ්‍යා සමඟ සංවාදයක් ගොඩ නගා ගැනීමටය. ඔවුන්ව සාකච්චාවට සහභාගී කර ගැනීමටයි. 

නමුත් දරුවනි ඔබ කීදෙනෙක් එසේ ක්‍රියාකාරි ලෙස දේශන වලට සහභාගී උනාද? කීදෙනෙක් අප උගන්වන දේ ප්‍රශ්න කලාද? ඔබේ සඟයන් යමක් ඉදිරිපත් කරන විට කෙතරම් දුරට ඒවා විවේචනය කලාද? ප්‍රශ්න කලාද? නිවසේදි කරගෙන ඒමට නිබන්ධනයක් දුන් විට කීදෙනෙක් කරගෙන ආවාද? අප කතා කරන විශයයේ අලුත් දේවල් මේවා යැයි කියා කී දෙනෙක් යමක් සොයාගෙන ආවාද? ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි කියා ඔබ අපට අභියෝග කලාද? ඔබ බහුතරය එසේ කලේ නැහැ නේද? ඔබ බිල්ලන් සේ අප කියන්නක් අන්ධව පිළිගෙන දේශන ශාලාවෙන් නික්මුණ අය නේද? විශ්ව විද්‍යාල ශිෂ්‍යයා එසේ විය යුතුද? ඔහු දැනුම පිපාසාවෙන් පෙලෙන අයෙක් විය යුතුයි නේද?

ඔබ පිලිකුල් කරන 80% විශයය සහභාගීත්වය ගැන බලමු. 80% විශයය සහබාගීත්වය අද ඊයේ පැමිනි දෙයක් නොවේ. මා ශිෂ්‍යාවකව සිටි සමයේත් 80% ගන්නට මම නීරස දේශන වලට සහභාගී වී ඇත්තෙමි. නිදි කිරා වැටී ඇත්තෙමි. අප සියලුම දෙනා ජීවිතේ එක්වරක්වත් එවැනි දේශන වලට ගොස් ඇති බව මම විශ්වාස කරමි. නමුත් ඒ අතිශය නීරස දේශන වලිනුත් මා ජීවිතයට යමක් උකහා ගෙන ඇති බව මම දැන් තේරුම් ගනිමින් සිටිමි. කෙසේ වෙතත් අද මගේ ඉගැන්නුම් ක්‍රියාවලියේදී එදා මට නින්ද ගිය ඉගැන්නුම් ක්‍රම කිසිවකුත් පාවිච්චි නොකිරීමට මම හැකිතාක් උත්සාහ ගනිමි. ඔබ කියන්නේ නීරස දේශන වල හිඳ සිටිනවාට වඩා ඒ කාලය වෙනත් ප්‍රයෝජනවත් යමකට යෙදවිය හැකි බවයි. ප්‍රශ්නය වන්නේ ඔබ ඒ කාලය ප්‍රයෝජනවත් යමකට යොදවනවාද කියායි. බහුතරය නැහැ නේද? අනිත් අතට බලන විට නීරස දේශනයක් රසවත් කිරීමට ඔබට බැරි ඇයි? ආචාර්‍යවරයාට අභියෝග කරන්නට ඔබට බැරි ඇයි? ඔහුගෙන් පෙරලා ප්‍රශ්න කරන්නට ඔබට බැරි ඇයි? ඔහු උගන්වන්නේ යල් පැන ගිය දෙයක් නම් කියවන්නේ එකම සටහන නම් මෙන්න මේවයි අලුත්, මෙන්න මේව මම හොයාගත්තුවායි කියා ඔබට කියන්න බැරි ඇයි? දරුවනි ඒ පෙළඹවීම ඔබෙන් අපට අවශ්‍යයයි. ආචාර්‍යවරු ලෙස අපේ ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ, අපේ හැකියාවන් ඔප මට්ටම් වෙන්නේ ඔබ විසින් අපට කරන අභියෝග මතයි. 

මගේ මේ නරක අත්දැකීම් සමඟ ස්වල්ප වූ හොඳ අත්දැකීමුත් නැතිවාම නොවේ. දේශන වලදී ඉතා ක්‍රියාකාරී ලෙස සහභාගි වන කුඩා කණ්ඩායම් දෙකක් දැනට මට හමුවී ඇත. දිනක් තරල විද්‍යාවෙහි (advanced fluid mechanics) මූලික සිද්ධාන්තයක් උගන්වන අවස්තාවේදී මා ඒ ඉගැන්වූ දෙයට මුලු කණ්ඩායම ම අභියෝග කල හැටි මට මතකය. ඔවුන් කෙතරම් ක්‍රියකාරීව අවධානයෙන් සිටියාද යත් මට පන්තිය ඒ දවසට නවතා ඒ මූලික සිද්ධාන්තය යළි අධ්‍යයනය කිරීමට සිදුවිය. ඊලඟ දවසේ මම ඔවුන්ට මහත් සේ ස්තුතිවන්ත වූයෙමි. එවන් විචක්ශනශීලී දරුවන් පිරිසක් නිසා මම මදකට ආපස්සට ගොස් මගේ ක්‍රමය හරිදැයි තහවුරු කර ගතිමි. 

අප ඔබට දැනුම, කුසලතා, ආකල්ප යන අංශ තුනම බෙදාදෙන්නෙමු. ඔබට පොතක් කියවා දැනුම ලබාගත හැකිය. නමුත් කුසලතා හා ආකල්ප එසේ නොවේ. ඉන්ඩස්ට්‍රියෙන් අපට නිතර එන පැමිණිල්ලක් වනුයේ අපේ දරුවන් දැනුමෙන් පරිපූර්ණ නමුත් කුසලතා සහ ආකල්ප වලින් දුර්වල බවයි. වරක් සමාසිකය පටන් ගන්නා දින පලමු දේශනයේදී මම සිසුන්ට පැවසුවේ මගේ දේශනයෙන් විනාඩි පහක කාලයක් මම ඔවුන්ගේ මෘදු කුසලතා (soft skills) වර්ධනය කර ගැනීම සඳහා ලබා දෙන බවයි. දිනකට එක සිසුවෙක් බැගින් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී විශයය සම්බන්ධ හෝ ඉන් භාහිර තමන් කැමති දෙයක් ඉදිරිපත් කිරීමට අවස්තාව ලබා දුන්නෙමි. සිසුන් 24 න් 7 දෙනෙක් පමණක් මෙයට ඉතා උවමනාවෙන් ඉදිරිපත් වුණි. 

කණගාටුවට කරුණ නම් ඔවුන්ගේ මෘදු කුසලතා ඉතා උසස් මට්ටමේ තිබීමත් සැබවින්ම එය ඔප මට්ටම් කරගතයුතු අය ඉමහත් අලසව, ඔතෑනිව ඒ අවස්තාව සමච්චලයකට ගෙන සිටිනු දක්නට ලැබීමත්‍ ය. ආකල්ප වර්ධනය ගැන යමක් කිව්වොත්, මගේ තිරසාර සංවර්ධනය (sustainable development) දේශනයකදී මම විමසා සිටියේ පරිසර දූශනය අවම කිරීමට සහ සම්පත් ක්ශය වීම අවම කිරීමට අපට කල හැක්කේ කුමක්ද යන්නයි. මම නිකමට විමසා සිටියේ නොමිලේ පාපැදි ලබා දුන්නොත් අක්බාර් පාලමේ එහා මෙහා යාමට මෝටර් බයිසිකල් වෙනුවට ඒවා පාවිච්චි කිරීමට කැමතිද යන්නයි. එක් අයෙක්වත් කැමති වූයේ නැත. එසේ අකමැති වූ සිසුන් බහුතරය යෝජිත ජල තාක්ෂණය සඳහා වන චීන - ශ්‍රී ලංකා පර්යේෂණ සහයෝගිතා මධ්‍යස්ථානය (China - Sri Lanka Joint Research and Demonstration Centre for Water Technology) ගොඩ නැගීමට නියමිත භූමියේ වැට මායිමේ ගස් කැපීම සම්බන්දව සමාජ ජාලා වල සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරනු දුටුවෙමි. තවද තිරසාර සංවර්ධනය ඉගෙනීමට පැමිණි සමහර සිසුන්, 80% සඳහා වංචනික ලෙස හොර අත්සන් ගසා ඇති බව දුටිමි. ඒ අතර ශිෂ්‍ය සංගම් නායකයෝද වූහ. 

දරුවනි, ඔබ බහුතරය මෙසේ අලසව උදාසීනව හැසිරෙමින්, අප මහත් කැපවීමෙන් ඔබට සපයන සේවය හරිහැටි ලබා නොගෙන, විවිධ දේශපාලන කණ්ඩායම් වල අතකොලු වෙමින් පීඨය තුළ විසඳා ගත යුතුව තිබූ ප්‍රශ්නයක් මුලු විශ්ව විද්‍යාලයයටම ගෙනගොස් විනාශ කලේ පීඨයේ ගරුත්වය පමණක් නොවේ. ඔබ විනාශ කලේ, තවත් පරම්පරා කිහිපයක කාලයයි. නිදහස් අධ්‍යපනය ඔබට නොමිලේ වුවද එය ඔබට නොමිලේ ලැබෙන්නේ තවත් අයෙක් ඒ වෙනුවෙන් බදු ගෙවන නිසාය. ඔබ හෑල්ලු කලේ ඔබ වෙනුවෙන් බදු ගෙවන ඒ මිනිසුන්ගේ ශ්‍රමයයි. ඔබ උගන්නා ඔබේ පීඨයේ ආචාර්‍යවරු සිසුන් තලා පෙලා මර්ධනය කරන ගෝත්‍රිකයන් පිරිසක් බව ඔබ ලොවට කියා හමාරය. ඔවුන් උගන්වන්නේ නැති බව උගන්වන්නට නොදන්නා බව ඔබ ලොවට කියා හමාරය. ඔවුන් කොමිස් ගසන බව ඔබ ලොවට පවසා හමාරය. ඔබ පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා IESL හෝ වොශින්ටන් නියාමනය නොදෙන ලෙස බල කරයි. අනිත අතට අප පාඨමාලාවේ වොශින්ටන් නියාමනයට අත්‍යාවශ්‍ය සාධකයක් වූ පූර්ණ කාලීන පාඨමාලාවක් බව පෙන්වන 80% ඉවත් කරන්නැයි බල කරයි. ඔබේ දෙබිඩි පිළිවෙත මෙලෙස ඔබ ලොවට පවසා හමාරය. ඔබ කලේ ඇත්තෙන්ම හුන් තැනම පහරා එයා හත්පොළේ ගා ගත්තාක් වැනි වැඩකි. නොඑසේනම් උඩ බලාගෙන කෙළ ගසා ගැනීමකි.

මේ සිදුවූ විනාශය අවම වශයෙන්වත් ඔබට පිළිසකර කළ හැකිද? 

දරුවනි! ඔබ තවමත් ප්‍රමාද වැඩි නැත. ඔබ ඔබේ යුතුකම හරියට ඉටු කරන්න. අපි අපේ යුතුකම ඉටුකරන්නම්! අප එසේ නොකරන්නේ නම් අපිව ප්‍රශ්න කරන්න. අභියෝග කරන්න. යමක් ඔඩු දුවන තුරු නොසිට නිසි තැන පිළියම් යෙදීමට ඉදිරිපත් වන්න. නිහඬ බහුතරයටයි මේ ඉල්ලීම. යම් වරදක විශාලතම කොටස් කරුවන් වන්නේ නිහඬ බහුතරය බව මතක තබා ගන්න. දරුවනි! ඔනෑවටත් වඩා පහසුකම්, අවස්තා ඔබ ඉදිරියේ ඇත. ඒවාගෙන් ඵල නෙලාගන්න. මේ වරප්‍රසාද අහිමි පිරිසක් පීඨයෙන් එළියේ සිටිනබව මතක තබාගන්න. අන්ධයන්, ගොලුවන්, බිහිරන් සේ අවිඥානිකව වැරදි මාවතක නොයා විචක්ශනශීලී වන්න. ඔබ තව තවත් අරගල කරන්න. නමුත් ඒ අසාධරණයට එරෙහිව මිස පටු අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට හෝ තවත් කෙනෙකුගේ දේශපාලන අතකොලු වීමට හෝ නොවිය යුතුය. ඔබේ හැකියාවන් සහ කාලය කෙනෙක් රිදවීමට නොව සැනසීමට යොදවන්න. ඔබ ලොව මහා ප්‍රාඥයා වූවත් ඔබ මිනිසත් බවින් හීනයෙක්නම් කුමටද ඔබ ලබාගන්නා ප්‍රඥාව? ඔබ විනාශ කල ගරුත්වය පසු පරම්පරාවලට නැවත ලබාදීමට කටයුතු කර යන්න. ණයකාරයන් නොවී පෞර්ශවත් මිනිසුන් ලෙස යම් දිනක මින් පිටවී යන්න!!!


මහේෂි දන්තුරේබණ්ඩාර
රසායන සහ සැකසුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

9 comments:

  1. කියව්වා ඉංජිනේරු පීඨයේ මුහුණු පොතේ මුල් පළකිරීම. ආචාර්ය වරැන්ට අභූත චෝදනා නැගීම හිතාමතාම ඔවුන්ට දෙන මානසික ප්‍රහාරයක් කියල මම හිතනවා. ඒවා ඔය ශිෂ්‍ය සංගම් වල නිර්මාණ. ඔවුන්ගේ විරෝධතා සාරධර්ම මත පදනම් වෙලා කරන ඒවා නෙවෙයි. පාරේ විරෝධතාවලට ආවාම බලන්න කාටවත් යන්න බැරි වෙන්න පාරෙ ඉදගන්න විදිය .සනාතන මන්දිරයේ සේවිකාවන්ට අපහාස කිරීමත් එක සටන් ක්‍රමයක් විය හැකියි.

    ReplyDelete
  2. ෆේස්බුක් එකේ මා මෙහි අඩක් කියෙව්වා. මේ ලිපියේ ඇති කරුණු මීට වඩා සරලව කෙටියෙන් ඉදිරිපත් කරන්න බැරි ඇයි දැයි කියායි මට හිතුණේ. මෙය දේශණයක් නම් මා මග දී නිදි කිරා වැටෙනවා.

    (ඇගේ ලිපියේ දිග ගැන සිතන කොට මේ ඉකොනොමැට්ටාගේ බැචියෙකු ද කියාත් හිතෙනවා?)

    ReplyDelete
    Replies
    1. //ඇගේ ලිපියේ දිග ගැන සිතන කොට මේ ඉකොනොමැට්ටාගේ බැචියෙකු ද කියාත් හිතෙනවා?//
      මා ඇයව පෞද්ගලිකව දන්නේ නැහැ. ඇය මට වඩා දශකයකට පමණ පසු කාලයකදී පේරාදෙණියේ අධ්‍යාපනය හැදෑරු කෙනෙක්. කොහොම වුණත් ඔබ කියන කරුණනම් පැහැදිලියි. :)

      Delete
  3. ඉකොනො,

    පේරාදෙණි ඉංජිනේරු පීඨය ගැන මම වැඩිය දන්නෙ නැහැ, හැබැයි පේරාදෙණි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක කිව්ව විදිහට අදාළ පිඨයේ සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව රැසක් නිසා (පේරාදෙණි විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයට පැමිණීමේ 80% සම්පුර්ණ කර නොමැති සිසුන් 3%ක් පමන සිටින අතර එක් දිනයක්වත් විශ්ව විද්‍යාලයට නොපැමිනි සිසුන් සිව් දෙනෙකු (04) සිටින බවද ඔහු පෙන්වූවා) ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කරබවක් තමයි නිව්ස් වලින් තේරුණේ. එනම් 80% ක් වන පැමිණීම සනාථ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම සිසුන්ට විභාගය සඳහා පෙනී සිටීමේ අවස්ථාව ලබා නොදීමට පාලනාධිකාරිය තීරණය කරල, එම තීරණයට එරෙහිව සිසුන් දින කිහිපයක සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වීම නිසා මේ පෝස්ට් එක වැටෙන්න ඇති.

    කොහොම වුණත් පැමිණීම 80% කියන එක ලංකාවෙ අගනුවර සරසවි වල කම්පල්සරි කරල තිබ්බෙ මීට දශක ගාණකට කලින්. හැබැයි පේරාදෙණිය, රුහුණ වැනි අන්තරය වැනි දේශපාලන කල්ලි කණ්ඩායම් නිසා පේරාදෙණියේත් ඇතැම් පීඨ වලත් මේ ප්‍රශ්නය තාම මේ 2018 දීත් තිබෙන එක කණගාටුදායකයි.

    මට මතක විදිහට මොරටු සරසවි සිසුවෙකු වූ මගේ මිතුරෙක් 2005 දී තෙවන වසර විශය්කට ඇටෙන්ඩන්ස් 79% ක් තිබිලත් විඩ්භාගයට මුහුණදෙන්න නොදී එම විශයෙන් ඔහු රිපීට් කරල තිබ්බ. ඇටෙන්ඩන්ස් වයිව එකේදි ඔහු තම මෙඩිකල් රිපෝට් සහ සොහොයුරාගේ වෙඩින් එකේ විස්තර ඉදිරිපත් කලත් වෙඩින් එකට ගත් නිවාඩු වලට එක්ස්කියුස් හම්බ නොවූ නිසා විශයම රිපීට් වුණ බවක් මතකයි. එය ඔහු කැමති පහසු විශයක් බව මතකයි.

    මේ ඇටෙන්ඩන්ස් 80% කියන එක ඉතාම වැදගත් වෙන්නෙ ජොබ් එකකට යනකාලෙදි, ගොඩක් විට පේරාදෙණිය රුහුණ වගේ කැම්පස් වල ලෙක්චර්ස් කට් කරකර මෙහෙම අල වෙන පොරවල් ජොබ් එකකදිත් වෙලාවට වැඩට නොගිහින්/ වැඩට නෑවිත් නිවාඩු ගැනීම/ කිසි වගකීමක් නැතුව පොලුතැබීම ආදිය බහුලව දැකිය හැකියි. විෂශයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තාක්ෂණික නිලධාරියකු වන මගේ මිතුරෙක් වරක් කීවේ පේරාදෙණි සිවිල් ඉන්ජිනේරුවන් පහ්සුවෙන් දැක්ක ගමන් හඳුනාගත හැකි බවයි, ඇඳුම් වලින් අපිළිවෙල ගතියෙන්, රැවුල් කොණ්ඩා ආදියෙන්. ඔහු කිවූ පරිදි මොරටුවේ අය සහ හපුගල අය ඊට වඩා පිළිවෙල සහ කැපවීමෙන් වැඩකරනවාලු. ඉතින් මෙහෙම දුර්මත ඇතිවීමටත් පේරාදෙණි සිසුන්ගේ මේ පසුගාමෙ වැඩ හේතුවනවා ඇති, මම හිතන්නෙ. ආදි පේරාදෙණියෙකු වශයෙන් ඔබ මීට විරුද්ධ විය හැකි වුණත් මේ ගැන වඩා පුළුල්ව සංවාදයක් කරන එක නූතන පේරාදිණි සිසුන්ට හොඳයි.

    ReplyDelete
    Replies
    1. 80% අවශ්‍යතාවය ගැන හා එයට ඇති විරුද්ධත්වය ගැන මගේ අදහස ඉදිරියේදී වෙනම ලියන්නම්.

      Delete
  4. මේ කථිකාචාර්යවරිය ලියා ඇති දේවලින් ඇතැම් කාරණා ගැන මට යම් විවේචන තිබේ. ඇය මෙහිදී ඉංජිනේරු/ විද්‍යාත්මක ක්‍රමයකට ලොජිකල් බේසිස් එකකින් පොයින්ට්ස් මතු නොකර කතන්දර ලියන ආකාරයෙන් හැඟීම්බරව මෙම ලිපිය ලියා ඇති නිසා අදාළ පොයින්ට්ස් මතුකරගැනීමට කියවන්නා මහත් ආයසයක් දැරිය යුතුය.

    ඇය මුලින්ම "ඉංජිනේරු පීඨයේ දරුවන්" ලෙස සෙන්ටිමෙන්ටල් සහ ඇය සිසුවියක වශයෙන් සිටි කාලයේ නොස්ටැල්ජික් කතන්දර රැසක් කියා තිබේ.

    //විශ්ව විද්‍යාලයයේ පළමු වසර ඉතා නීරස එකක් වී විෂයයන් තුනක් අසමත් වීමට තරම් ඒ මානසික බිඳවැටීම ප්‍රභල වුණි. //

    පළමු වසරේ විෂයයන් 3කින්ම අසමත් අයෙක් ආචාර්ය මණ්ඩලයේ සේවය කිරීම තරමක් ගැටලුකාරීයි. මා මොරටුව කටුබැද්ද ඉංජිනේරු පීඨයේ අයෙක්ගෙන් අසා ඇති පරිදි නම් යම් විෂයක් රිපීට් වුණොත් එම තැනැත්තාට පන්ති සාමාර්ථ්යක් රහිත "ගෙනරල් පාස්" එකක් ලැබෙන අතර ඔවුන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කළත් ආචාර්ය මණ්ඩලයට එක්වීම අසීරුය. මම හිතන පරිදි මෙතුමිය මෙන් කිසිදා පාස් අවුට් වූ අලුත්ම General Pass උපාධිධාරීන් ස්ටාෆ් එකට බඳවා ගන්නේ නැති බවත් ඇතැම් විට ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පර්ට් කෙනෙක් වී වෙනත් ස්පෙශලිටි එකක් තිබේනම් "විසිටින්" ලෙස හෝ විශේශ ක්‍රමයකින් ජොඉන් වීමට හැකිවනු ඇති කියා සිතිය හැකියි. අනෙක කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් වගේ ඒරියා වල ආචාර්ය මණ්ඩලයට බැඳීමට කැමති පිරිස සාපේක්ෂව වැඩි බැවින් මෙය මෙය තරමක් ගැටලුකාරීයි නේද?

    //පලමු ඉගැන්වීම් සමාසිකය අවසානයේ ශිෂ්‍ය ප්‍රතිචාර පෝරම 100 න් 80 ම සඳහන් වී තිබ්බේ බෝඩ් එකේ උගන්වනවානම් , සටහනක් මුද්‍රනය කර දුන්නානම් හොඳ බවයි. එයිනුත් සමහරු ලියා තිබුනේ මා විශයය හරි හැටි නොදන්නා නිසා එවැනි සටහන් නොදෙන බවයි. //

    //දිනක් තරල විද්‍යාවෙහි (Advanced Fluid Mechanics) මූලික සිද්ධාන්තයක් උගන්වන අවස්තාවේදී මා ඒ ඉගැන්වූ දෙයට මුලු කණ්ඩායම ම අභියෝග කල හැටි මට මතකය. ඔවුන් කෙතරම් ක්‍රියකාරීව අවධානයෙන් සිටියාද යත් මට පන්තිය ඒ දවසට නවතා ඒ මූලික සිද්ධාන්තය යළි අධ්‍යයනය කිරීමට සිදුවිය. //

    වැනි කතා වලින් මටනම් පෙනෙන්නේ ඇය අවශ්‍ය බේසික් මූලධර්මවත් හරිහැටි ග්‍රහණය කර නොගෙන යන්තම් උඩින් පල්ලෙන් සූදානම් වී දේශන පවත්වන්නියක වූ බවයි.

    ඉංජිනේරු පාඨමාලාව ෆුල් ටයිම් සිව්-වස් කොලිටි පාඨමාලාවක් ලෙස වොශින්ටන් ඇකෝඩ් එක සහ අයි.ඊ.එස්.එල්. වැනි වුත්තීය (Professional) ඉංජිනේරු ආයනවලින් පිළිගැනීමට 80% පැමිණීම වැනි දෑ වැදගත් වුවත්;

    //ඔබ පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා IESL හෝ වොශින්ටන් නියාමනය නොදෙන ලෙස බල කරයි. අනිත අතට අප පාඨමාලාවේ වොශින්ටන් නියාමනයට අත්‍යාවශ්‍ය සාධකයක් වූ පූර්ණ කාලීන පාඨමාලාවක් බව පෙන්වන 80% ඉවත් කරන්නැයි බල කරයි. ඔබේ දෙබිඩි පිළිවෙත මෙලෙස ඔබ ලොවට පවසා හමාරය. ඔබ කලේ ඇත්තෙන්ම හුන් තැනම පහරා එයා හත්පොළේ ගා ගත්තාක් වැනි වැඩකි. නොඑසේනම් උඩ බලාගෙන කෙළ ගසා ගැනීමකි.//

    වැනි කතාවලින් මෙන්ම

    //වෙනත් පීඨ සිසුන් අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ තරුණ මහත්මීන්ට විශ්ව විද්‍යාල සිසුන්ට තරම් නොවන අන්දමේ උසුලු විසුලු කල බව ඔවුන් පැවසුවේ කලකිරීමකටත් වඩා මහත් පුදුමයකිනි. එදා මෙදා තුර ඔබ අප මහත් ගෞරවයකින් සහ අභිමානයකින් සැලකූ පීඨ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ලිප් බැඳ, උයා පිහා, කා බී, එතැනම වැටී යාචකයන් සේ සැතපී සිටිනු අප බලා සිටියේ මහත් කම්පනයකිනි. //

    //එයිනිදු නොනැවතුනු ඔබ විවිධාකාර පෝස්ටර් එල්ලා අප මහත් කැපවීමෙන් ඔබට සැපයූ සේවය හෑල්ලු කරනු අප දුටුවෙමු. ඒ පෝස්ටර් වලිනුත් "සිසු ජීවිත තොපේ බූදලේද" යන පෝස්ටරය //

    //පරිසර දූශනය අවම කිරීමට සහ සම්පත් ක්ශය වීම අවම කිරීමට අපට කල හැක්කේ කුමක්ද යන්නයි. මම නිකමට විමසා සිටියේ නොමිලේ පාපැදි ලබා දුන්නොත් අක්බාර් පාලමේ එහා මෙහා යාමට මෝටර් බයිසිකල් වෙනුවට ඒවා පාවිච්චි කිරීමට කැමතිද යන්නයි. එක් අයෙක්වත් කැමති වූයේ නැත. එසේ අකමැති වූ සිසුන් බහුතරය යෝජිත ජල තාක්ෂණය සඳහා වන චීන - ශ්‍රී ලංකා පර්යේෂණ සහයෝගිතා මධ්‍යස්ථානය China - Sri Lanka Joint Research and Demonstration Centre for Water Technology) ගොඩ නැගීමට නියමිත භූමියේ වැට මායිමේ ගස් කැපීම සම්බන්දව සමාජ ජාලා වල සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරනු දුටුවෙමි. තවද තිරසාර සංවර්ධනය ඉගෙනීමට පැමිණි සමහර සිසුන්, 80% සඳහා වංචනික ලෙස හොර අත්සන් ගසා ඇති බව දුටිමි. ඒ අතර ශිෂ්‍ය සංගම් නායකයෝද වූහ. //

    වැනි කතා ඉතා පුදුම සහගතයි. මෙතුමිය කියන දේ 80%ක් වත් සත්‍ය යැයි මම සිතමි. කෙසේ නමුත් මෙවැනි කාලකණ්ණින් පිරිසක්ට මහජන මුදල් නාස්ති කරමින් මෙබඳු පාඨමාලා පවත්වනවාට වඩා මෙම අමනයින් සරසවිවලින් එලවා දමා වඩා අඩුලකුණු ගෙන සරසවි යාමට බැරිව සිටින ඩුප්පත් අසරණ නමුත් උත්සාහවන්ත සිසුන් පිර්සකට මේ පාඨමාලාව ලබා දෙන්නේ නම් ඉතාම වටින බව මෙබඳු දේ කියවන විට නම් සිතේ.

    >>>>

    ReplyDelete
    Replies
    1. //කණගාටුවට කරුණ නම් ඔවුන්ගේ මෘදු කුසලතා ඉතා උසස් මට්ටමේ තිබීමත් සැබවින්ම එය ඔප මට්ටම් කරගතයුතු අය ඉමහත් අලසව, ඔතෑනිව ඒ අවස්තාව සමච්චලයකට ගෙන සිටිනු දක්නට ලැබීමත්‍ ය. //

      ඉතින් මම නම් හිතන්නේ මෙම ආචාර්යවරිය ඇතුලු සරසවි ඇදුරන් සිසු සිත් දිනාගැනීමට ද අපොහොසත් ඔවුන්ට නිසි මග කියාදීමට අපොහොසත්ව ඇති බවකුයි. මෙබඳු ඉංජිනේරු වැනි වෘත්තීය පාඨමාලා රැකියා වෙත නම්නීකරණය වූ, රැකියා පිළිබඳ දැක්මක් ඇති කරන ලෙස ඉන්ඩස්ට්‍රි එක සමග සංහිඳියාවකින් අප්ඩේට් කළ යුතුයි. ඉනොවේශන්ස්/ නව- නිර්මාණශීලිත්වය හා සමාජ වෙනස්කම් ඇති කිරීම අවධාරණය කරමින් ව්‍යවසායකත්ව අධ්‍යාපනය (ඔන්ට්‍රප්‍රනෝශිප් - Entrepreneurship) ශක්තිමත් කළ යුතු නේද? මෙබඳු තෘතීයක / විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටමේදී සිසුන් සමස්ත දේශයෙහි ශ්‍ර‍ම බලකාය තුළ වෘත්තිකභාවය ප්‍රවර්ධනය කිරීම පිණිස මෘදු කුසලතා (සොෆ්ට් ස්කිල්ස් - Soft Skills) සංවර්ධනය කිරීම / විස්තීර්ණ ප්‍ර‍ජනන සෞඛය දැනුම වර්ධනය කර ජීවන අධ්‍යාපන වැඩසටහන් හරහා ජාතික වටිනාකම් අධ්‍යාපනය මෙම සරසවි විෂයමාලාවේ ප්‍රධාන කොටසක් බවට පත් කර තක්සේරුවක් මත පදනම්ව ජීවන අධ්‍යාපන විෂයමාලාව ප්‍ර‍තිසංස්කරණය කිරීම, කර්මාන්ත අංශයේ සේවයෙ නියුතු අය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අමාත්‍යාංශ හා ආයතන අතර සම්බන්ධීකරණ යාන්ත්‍ර‍ණයක් ගොඩනැගීමද ඉතා වැදගත්, නූතන ලෝකයේ වේගයෙන් බිහිවන තාක්ෂණික/ සොෆ්ට්වෙයාර් සහ අලුත් තාක්ෂණික ක්‍රම මෙන්ම දිකුකලක් කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවයෙන් තෙම්පරාදු වූ ඉතා පරිණත, අත්දැකීම් බහුල ඉංජිනේරුවරුන්ගේ අදහස්ද සැලකිල්ලට ගත යුතු වන්නේ විෂයය නිර්දේශය ඉන්ඩස්ට්‍රියේ ඉල්ලුමට ගැලපිය යුතු නිසාය. කෙසේ නමුත් සිසුන් සමග සොෆ්ට් ස්කිල්ස් යොදාගෙන ඔවුන්ගේ සිත් දිනා සාකච්ඡාවෙන් සම්මුතියෙන් ගැටලු නිරාකරණය කරගැනීමට නොහැකි විසුලු සහගත පාලනාධිකාරියකින් මේ මොන මගුලක්වත් වෙයිද යන්න සැක සහිතය.

      Delete
    2. //පළමු වසරේ විෂයයන් 3කින්ම අසමත් අයෙක් ආචාර්ය මණ්ඩලයේ සේවය කිරීම තරමක් ගැටලුකාරීයි. මා මොරටුව කටුබැද්ද ඉංජිනේරු පීඨයේ අයෙක්ගෙන් අසා ඇති පරිදි නම් යම් විෂයක් රිපීට් වුණොත් එම තැනැත්තාට පන්ති සාමාර්ථ්යක් රහිත "ගෙනරල් පාස්" එකක් ලැබෙන අතර ඔවුන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කළත් ආචාර්ය මණ්ඩලයට එක්වීම අසීරුය.//

      මේ හා අදාළව අප උගත් කාලයේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ පැවති තත්ත්වය ගැන කියන්නම්. මහේෂි දන්තුරේබණ්ඩාර ඉගෙනගත් කාලය වෙද්දීත් මෙහි ලොකු වෙනසක් වී තිබුණා කියා මම හිතන්නේ නැහැ.පන්ති සාමාර්ථයක් රහිතව ආචාර්ය මණ්ඩලයට එක් වීම ඔබ කියන ආකාරයෙන්ම කළ නොහැකි තරම් අසීරු කරුණක්. නමුත්, පළමු වසරේදී කිසියම් විෂයයක් අසමත් වීම අවසන් වසරේදී පන්ති සාමාර්ථයක් ලබා ගැනීමට බාධාවක් නෙමෙයි. මහේෂි බොහෝ විට අවසන් වසරේදී ඉහළ පන්ති සාමාර්ථයක් ලබාගන්න ඇති.

      පේරාදෙණිය ඉංජිනේරු පීඨයෙන් පන්ති සාමාර්ථයක් ලබා පිටවීමට අවශ්‍ය වන මූලික කොන්දේසිය අවසන් විභාගයේ සාමාන්‍ය ලකුණු මට්ටම අවශ්‍ය තරම් ඉහළින් තිබීමයි. ඊට අමතරව, අධ්‍යයන වසර හතරක කාලයක් ඇතුළත ඉංජිනේරු පාඨමාලාව සම්පූර්ණ කිරීමට අනිවාර්යයෙන් අවශ්‍ය වන සියළුම විෂයයන් මෙන්ම අනිවාර්ය නොවන තෝරාගත හැකි විෂයයන් කිහිපයක් අතරින් දෙකක්ද ඉංග්‍රීසි භාෂා විෂයයද මේ වන විට සමත්ව තිබිය යුතුයි.

      අප උගත් කාලයේ පළමු වසර විභාගයට මූලික ඉංජිනේරු විද්‍යා විෂයයන් හතක් හා ඉංග්‍රීසි භාෂා විෂයය ඇතුළත් වුණා. දෙවන වසරට යාමටනම් අවස්ථා දෙකක් ඇතුළත මේ මූලික ඉංජිනේරු විද්‍යා විෂයයන් හතෙන් අවම වශයෙන් විෂයයන් පහක් සමත් විය යුතුව තිබුණා. පළමු වසර විභාගයේ විෂයයක් මුල් වර අසමත් වූ අයෙකුට අවසන් විභාග ප්‍රතිඵල පිටවීමට පෙර එය සමත් වීමට අවස්ථා අටක්ම ලැබෙන නිසා මෙය පන්ති සාමාර්ථයක් ගැනීමට බාධාවක් වුණේ නැහැ. පළමු විභාගයේ ඇතැම් විෂයයන් මුල් වර අසමත් වී අවසන් විභාගයේදී පළමු පන්තියේ සාමාර්ථ ගත් අයත් හිටියා. නමුත්, යම් හෙයකින් අවසන් වසරේදී විෂයයක් අසමත් වුනොත්නම් පන්ති සාමාර්ථයක් ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වන විට සියළුම විභාග ඉහළින්ම සමත්වී අවසන් විභාගයේ අනෙක් සියළු විෂයයන්ද ඉහළින්ම සමත්ව හිටියත් එවිට ලැබුණේ සාමාන්‍ය සාමාර්ථයක් පමණයි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...