වෙබ් ලිපිනය:

Friday, January 25, 2019

උපන් හැටියෙම ගලේ ගහපිය!

වයස්ගත වැඩිහිටියන්ට නොසලකා හැරීම හා අමානුෂික ලෙස හැසිරීම පිළිබඳ පුවත් තවමත් ඉඳහිට ලංකාවෙන් වාර්තා වෙනවා. දැන් මම කියන්න හදන්නේ මේ වගේ දේවල් වෙන්නේ ලංකාවේ විතරක් කියන එක නෙමෙයි. ඒ නිසා, කවුරුවත් ඇමරිකාවේ හරි වෙනත් බටහිර රටක හරි වාර්තා වුනු ඔය වගේ දේවල් හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ තවමත් ඔය වගේ දේවල් ලංකාවේ වෙන බව පමණයි.

පහුගිය ලිපියෙන් පෙන්වා දුන් පරිදි දෙසිය වසකට පමණ පෙර ඔය වගේ සිද්ධි අදට වඩා සුලභව සිදු වෙලා තියෙනවා. මේ දේවල් මේ විදිහට වුනේ ලංකාවේ එවකට තිබුණු බෞද්ධ සංස්කෘතියේ අවුලක් නිසා කියා මම කියන්නේ නැහැ. නමුත්, රටේ තිබුණේ බෞද්ධ සංස්කෘතියක් වූ පමණින් හැම දෙයක්ම වෙන්නේ ආගමේ උපදෙස් දෙන හැටියට නෙමෙයි. ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න සත්තු මැරුවේ වැද්දෝ විතරක් නෙමෙයි. මාළු ඇල්ලුවේ රෝමානු කතෝලිකයෝ විතරක් නෙමෙයි.


තමන්ගේ වයස්ගත අම්මව හරි අප්පච්චිව හ‍රි මැරෙන්න ඉඩ හරිමින් කැලේට ගිහින් දාන එක දරුවෙක් විසින් කරන්නේ දරුවාගේ තියෙන නපුරු කමටම නෙමෙයි. බොහෝ විට වෙන කරන්න දෙයක් නැති නිසා. ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය කැලරි ප්‍රමාණය හොයා ගන්න එකත් අසීරු වැඩක් වුණාම වෙරළු ගෙඩිය හත් දෙනෙක් එක්ක කන එක ප්‍රායෝගිකව හරියන වැඩක් නෙමෙයි.

ලොකුවට මුදල් භාවිතයක් නොවුණත් සුද්දෝ එන්න කලින් ඉඳලම ලංකාවේ නිදහස් ගනුදෙනු සිදුවුනා. ගොඩක් වෙලාවට මේ ගනුදෙනු සිදු වුනේ භාණ්ඩ හෝ සේවා (ශ්‍රමය) හුවමාරු කරගැනීම් විදිහටයි. කුල ක්‍රමය හරහා කිසියම් ආකාරයක ශ්‍රම විභජනයක් හා විශේෂිත ශ්‍රමය ජනනය වීමක් සිදුවුනා. මේ දේවල් කාර්යක්ෂමතාවය ඉහළ නංවන නමුත් ඔය කියපු ගණුදෙනු බොහොමයක්ම සිදු වුණේ ගම් ඒකක ඇතුළේ. ඒ හැර රටේ විවිධ ප්‍රදේශ අතර ආර්ථික ගනුදෙනු සිදුවුනේ ගොඩක් අඩුවෙන්.

මෙහි ප්‍රතිඵලයක් විදිහට වී ගොවිතැන වඩා කාර්යක්ෂම ලෙස කළ හැකිව තිබුණු අම්පාර මාතර වගේ පැතිවල වගේම එහෙම කරන්න බැරි පැති වල මිනිස්සුත් එල්ලිලා හිටියේ වී ගොවිතැනේ. අවුල තිබුණේ මොකක් හරි හේතුවකින් එක දිගට කන්න දෙක තුනක් පාළු වුණු වෙලාවටයි. ඒ වගේ වෙලාවක ඒ වගේ පැත්තකට ආහාර අතිරික්තයක් තිබුණු රටේ වෙන පැත්තකින් ආහාර එන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. වයස්ගත දෙමවුපියන්ව කැලේ ගහන්න සිදු වුනේ ඔය වගේ කාල වලදීයි.

මිනිස් සමාජයක ඉන්න වයස්ගත අය කියන්නේ අනෙක් අයගේ උදවු අවශ්‍ය දුර්වල කණ්ඩායමක්. එහෙම අයට ඔය වගේ ඉරණමක් අත් වුනානම් ඊටත් වඩා දුර්වල කොටසක් වූ බිළින්දන්ට අත් වුනේ මොන වගේ ඉරණමක්ද? බිළින්දන්ව උපන් අළුතම මරා දැමීම හෝ මැරෙන්නට ඉඩ හැර අත් හැර දමනු ලැබීම ලෝකයේ ගොඩක් සංස්කෘතීන් වල ජනගහණ පාලන උපක්‍රමයක් ලෙස සිදු වී තිබෙන දෙයක්. ලංකාව කියලත් වෙනසක් තිබිලා නැති බව ඉතාම පැහැදිලි කරුණක්. උපන් අලුත දරුවන් කුණු ගොඩවල් වලට නැත්නම් වැසිකිලි වලවල් වලට විසිකර දමන අවස්ථා අදටත් වාර්තා වෙනවනේ.

"පිරිමි ජාතිය උතුම් ජාතිය උපන් හැටියෙම මල් පුදාපිය
ගෑණු ජාතිය ජරා ජාතිය උපන් හැටියෙම ගලේ ගහපිය"

ඔය අපි පොඩි කාලේ ඉගෙන ගත්ත කවියක්. මමත් ඔය කවිය මගේ සොහොයුරියට හා වෙනත් ඥාති සොහොයුරියන්ට කියල තියෙනවා. මම හිතන්නේ ඕකත් පරම්පරා ගාණක් තිස්සේ පහළට සම්ප්‍රේෂණය වූ කවියක් කියලයි. උපන් අළුත පිරිමි දරුවන් ඉතිරි කරගෙන දැරිවියන් මරා දැමීම ගොඩක් රටවල සිදුවී තිබෙන දෙයක්. පැරණි ලංකාවේ උපන් අළුතම දරුවන් මරා දමන එක කොයි තරම් දුරකට සිදු වුනාද?

මේ පිළිබඳ මූලාශ්‍ර ගණනාවක්ම තියෙනවා. මම වඩා විශ්වාසනීය මූලාශ්‍රයක් වන රොබට් නොක්ස්ගේ එදා හෙළදිව උපුටා දක්වන්නම්.

"දරුවෙකු මෙලොව එළිය දුටු කෙණෙහි, දරුවාගේ පියා හෝ සෙසු ආසන්න ඥාතියෙක් නැකැත්කරු වෙත ගොස්, දරුවා යහපත් ග්‍රහබල සහිතව හොඳ වෙලාවක උපන්නේද නැතහොත් අයහපත් ග්‍රහබල සහිතව නරක වේලාවක උපන්නේද, යන බව දන්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්නේය. ඉදින් උපත ලද දරුවා නරක ග්‍රහබල ඇතිව නරක වෙලාවක උපන් බව ප්‍රකාශ වුවහොත් ඔහුගේ පැවැත්මෙන් පවුලට අවුල වන හෙයින්, දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින් මැරෙන්නට ඉඩ හරිති. ... එසේ වුවද, කුළුඳුලෙන් උපන් දරුවෙකුට එසේ කරනු ලබන්නේ කලාතුරකිනි."

නිල් පාටින් තිබෙන කොටස් ඩේවිඩ් කරුණාරත්නගේ අනුවර්තනයේ (පිටු 295-296) ඇතත්, රතු පැහැයෙන් ඇති කොටස් එහි නැහැ. රොබට් නොක්ස්ගේ පොතේ තිබෙන පැරණි සිංහලයාගේ කුරිරුකම මතු කර පෙන්වන ඒ කොටස් ඔහු සිංහල පාඨකයාට පෙන්වන්නේ නැත්තේ හිතාමතාම විය යුතුයි. ඉතිහාසය කියා අප දන්නා දෙය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරයට මෙයත් එක් නිදසුනක්.

බිළිඳු දරුවන් මරා දැමීමට හේතුව ලෙස මෙහි පෙන්වන්නේ ග්‍රහඅපලයි. එවැනි දේ ඉතිහාසයේ බොහෝ කල් සිටම සිදුවූ බවට පණ්ඩුකාභය කතාවත් සාක්ෂි සපයනවා. කෙසේ වුවත්, පළමු දරුවා එසේ මරා දැමීම කලාතුරකින් සිදුවන්නක් බව කීමෙන් මෙහි තිබෙන ආර්ථික සාධක වල බලපෑම පැහැදිලිව පෙනෙනවා. ගැහැණු දරුවන්ව වැඩිපුර මරා දමනු ලැබූ බවක් රොබට් නොක්ස් විසින් සඳහන් කර නැහැ. එහෙත් එවැන්නක්ද සිදුවී ඇති බවත්, දරුවා ගැහැණුනම් පළමු දරුවන්ගෙන් පවා සැලකිය යුතු කොටසක් මරා දමනු ලැබ ඇති බවත් වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු වෙනවා. ඒ කරුණු ඉදිරි ලිපියකට ඉතිරි කරමු.

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නොදන්න බොහෝ දේ දැනගත්ත. මම පෘතුගීසීන්ට හා ලන්දේසීන්ගෙ ආක්‍රමන හෙලා දැක්කත් ඉංග්‍රීසීන්ගෙ ආක්‍රමනය හෙලා නොදකින්නෙ නොදැනුවත්වම අපට එයින් ලැබුන වාසි වැඩි නිසයි. රාජාණ්ඩුව අහෝසිවීම ප්‍රධානම එක. ඒ හැර මෙවැනි කුරිරුකම් ද නතරවුනා.

    ReplyDelete
  3. අපි පුංචිකාලයේ කලක් අම්පාරේ බයිගමක් (ගොවිජනපද ඇතිකිරීමට පෙරසිට එහි සිටි පැරණි ජනයාට කිව්වේ බයියෝ කියා) අසල කදවුරක සිටි නිසා එම බයිගමේ වයසක මිනිසුන් මැරෙන්නට අතහැර ගිය කතන්දර අසා තියෙනවා, එහි සිදුවුනේ අළුතෙන් හේන කපන කාලයට වැඩ කරන්න ඇවිදින්න අපහසු වයසක හෝ ආබාධිත අය පමණක් ගමේ රඳවා පවුලේ අන් අය ඈත කැලේ හෙන් වලට යෑමයි, ඔවුන් හෙන් අතහැර ආපසු එන්නේ මාස 6කට පමණ පසුව, ඒ වන කොට ගමේ රඳවා ගිය වයසක බොහොමයක් මලවුන් අතර, සාගින්න, ලෙඩ දුක් වලට අමතරව බොහෝ දෙනෙකු අවුල් මනසින් තනිව ඇවිදින්න ගොස් වනමුර්ගයන්ට ගොදුරුවුනා.

    ReplyDelete
    Replies
    1. මේ පුරුද්ද ඇතැම් පැති වල මෑතක් වන තුරුම තිබී ඇති බව එයින් පේනවා.

      Delete
  4. දැන් මෙව්වා කියන්නේ ඒ කාලේ අනික් රටවල් ආක්‍රමණය කරලා, ඒවායේ මිනිස්සු මරලා, ඒ ඒ රටවල් යාටත් කරගත්තු බ්‍රිතාන්‍යන්. ඒ අය තමුන්ට කිසි වරදක් නොකරපු රටවල් ආක්‍රමණය කරලා, ඒවායේ මිනිස්සු මරලා, බවබෝග ගිනි තියලා, රටේ මිනිසුන්ගේ සතුන් මරලා විනාශ කරපු එක හරිද එතකොට? එහෙම අපරාධ කරපු ඈයෝ,තමුන්ගේ යාටත් විජිත වල මිනිස්සු සත්තු මරණ හැටි ගැන දුක් උනා කියව්වම නිකන් මොකක්ද වගේ නේද?

    ReplyDelete
    Replies
    1. //ඒ අය තමුන්ට කිසි වරදක් නොකරපු රටවල් ආක්‍රමණය කරලා, ඒවායේ මිනිස්සු මරලා, බවබෝග ගිනි තියලා, රටේ මිනිසුන්ගේ සතුන් මරලා විනාශ කරපු එක හරිද එතකොට?//
      වැරදියි. නමුත්, මේ දේවල් බොහෝ විට සිදු වුනේ යුදමය හෝ කැරළි තත්ත්වයන් යටතේ බවත් අමතක කළ යුතු නැහැ. යුද්ධ හෝ කැරළි ඇති ඕනෑම තැනක හරි දේවල් වලට ඉතුරු වෙන්නේ බොහොම පොඩි ඉඩක්. අද පවා එය එහෙමයි.

      //එහෙම අපරාධ කරපු ඈයෝ,තමුන්ගේ යාටත් විජිත වල මිනිස්සු සත්තු මරණ හැටි ගැන දුක් උනා කියව්වම නිකන් මොකක්ද වගේ නේද?//
      ඕක හරියට 1983දී දෙමළ පවුලක් බේරගත්ත සිංහලයෙක් ගැන කියද්දී, එහෙම නැත්නම් සිංහල හමුදා සෙබලෙක් විසින් දෙමළ පවුලක් ගං වතුරෙන් බේරා ගැනීම ගැන කියද්දී, "අපේ ගම් බිම් වලට උඩින් බෝම්බ දමපු, ෂෙල් ගහලා දරුවන් ලෙඩුන් පවා මරා දාපු සිංහලයින් අපි ගැන දුක් වුනා කියව්වම නිකන් මොකක්ද වගේ නේද?" කියල දෙමළෙක් අහනවා වගේ ප්‍රශ්නයක්. මේ වගේ පොත් ලියූ ගොඩක් අය ඔබ කියන ආකාරයේ දේවල් වලට සෘජුව සම්බන්ධ වූ අය නෙමෙයි. එවැනි දේ වලට සෘජුව විරුද්ධ වූ අයත් මුල් කාලයේ සිටම යුරෝපීයයන් අතරම සිටි බව අමතක නොකළ යුතුයි. ඒ වගේම මෙවැනි පොත් වල බොහෝ දුරට දැකිය හැක්කේ දුක් වීම් හෝ සතුටු වීම් වලට වඩා තමන් නිරීක්ෂනය කළ දේ වාර්තා කර තැබීමයි.

      Delete
    2. ඉංගී‍්‍රසින් ගිහිං තමුන්ට වරදක් නොකරපු රටක් යටත් කරගන්න යුද්ධ කරලා ඒ රටේ මිනිස්සු මරලා දාන එකයි, රටක් ඇතුලේ තියෙන සිවිල් යුද්ධයක් කියන්නෙයි කරනා දෙකක් ඉකොනෝ.

      Delete
    3. රටක් යටත් කර ගැනීමක්ද සිවිල් යුද්ධයක්ද කියන එක ගැටුමට සහභාගී වන (හෝ නොවන) එක් එක් පාර්ශ්වය ගැටුම දිහා බලන ආකාරය අනුව වෙනස් වෙනවා. ඉංග්‍රීසින් විසින් ආණ්ඩුවක් පිහිටුවා රට පාලනය කරද්දී එයට එරෙහිව රට ඇතුළේ ඇති වන අවිගත් විරෝධතාවක් රජයේ පාර්ශ්වයෙන් ගත්තහම රාජ්‍ය විරෝධී කැරැල්ලක්. කැරළිකරුවන්ගේ පැත්තෙන් නිදහස් අරගලයක්. ඔය විදිහටම පහළ මට්ටමේ එල්ටීටීඊ සාමාජිකයින් දැන සිටි පරිදි ඔවුන් නිරතව සිටියේ සිංහල ආක්‍රමණික හමුදා වලින් සිය මවුබිම බේරා ගැනීමේ අරගලයකයි. ගැටුම් වලට බොහෝ විට හේතු වන්නේම අදාළ පාර්ශ්ව අතර තිබෙන මේ විසම්මුතියයි. එකම විදිහට හිතනවානම් බොහෝ විට ගැටුමකට හේතුවක් නැහැ. නමුත්, මෙවැනි ගැටුමකදී බොහෝවිට දෙපාර්ශ්වයම හිතන්නේ තමන් කරන්නේ සාධාරණ යුද්ධයක් බව. අරමුණ කුමක් වුවත් යුද්ධයක ඉලක්කය අනෙක් පාර්ශ්වයට පුළුවන් තරම් ලොකු විනාශයක් කර ඒ වෙලාවේ යුද්ධය නවත්වා ගැනීම හා පසුව නැවතත් එවැනිම තත්ත්වයක් ඇති වීමට තිබෙන ඉඩකඩ ඇහිරීමයි. බවබෝග විනාශ කිරීම ආදිය කරලා තියෙන්නේ දෙවන අරමුණින්. (මම කිසිසේත්ම එවැනි දේවල් අනුමත කරන්නේ හෝ හරියි කියන්නේ නැහැ. එය වෙනම කරුණක්.)

      Delete
    4. ඉකොනොමැට්ටා !ඉංග්‍රීසි ආක්‍රමනයේ සාපේක්ශ වාසි තිබුනා වුනත් බවබෝග විනාශය සහ දහ අටට වැඩි අය මැරීම ආදියෙන් සාමාන්‍ය ජනයා ඝාතනය අනුමත කරන්න බෑ නේද. ඉංග්‍රීසීන්ට වෙන රටවල ගිහින් ආන්ඩු පිහිටුවන්න බලපත්‍රයක් ලැබුනෙ කොහොමද
      1818 දි 10000 ක් මැරුව කියනවා. එම ප්‍රමානය එකල ජනගහනයෙන් දහයෙන් එකක් පමන.

      Delete
  5. //වයස්ගත වැඩිහිටියන්ට නොසලකා හැරීම හා අමානුෂික ලෙස හැසිරීම පිළිබඳ පුවත් තවමත් ඉඳහිට ලංකාවෙන් වාර්තා වෙනවා. දැන් මම ...ඒ නිසා, කවුරුවත් ඇමරිකාවේ හරි වෙනත් බටහිර රටක හරි වාර්තා වුනු ඔය වගේ දේවල් හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ...//

    ඉකනෝ මේ වෝර්නින් එක කලින්ම දුන්නත්, මෙහෙම හොම්බට ඇන්නා වගේ කියන්න එපා , අප්පා. එතකොට අපිට රිදෙනවා :)

    මෙතන ප්‍රශ්ණෙ ඇත්ත ඇති හැටියට දකින්න තියන අකමැත්ත. අවුරුදු ගාණකට පස්සෙ, උග්‍ර ජාති හිතෙයිෂියෙක් වු මගේ මස්සිනා සමග ලඟදි කල කතාව අවසන් කලේ ආයෙ කාලෙකට කතා නොකර ඉන්න එක හොඳයි කියා හිතාගෙන. මම කිව්වා අදටත් ලංකාවෙ වැඩිහිටියන්නට සලකන්නෙ අතපල්ලෙන් වැ‍ටුණු ගාණට කියලා. බස් එකක්වත් නවත්වන්නෙ නෑ, "ඔන්න චමින්ද කෙනෙක්, අද්දපිය" කියලා ඇරලා යනවා. අද චූදිතයාම , ඊළඟට පීඩිතයා වෙනවා. මේක විශම චක්‍රයෙන් ගැලවෙන්න නම් , අඩුම ගණනේ අපි මේවා ගැන එලිපිට කතා කරන්නවත් ඕනෙ.

    බොහොම ස්තූතියි ඉකනො, මේ ගන්න උත්සහායට.

    ReplyDelete
    Replies
    1. //අද චූදිතයාම , ඊළඟට පීඩිතයා වෙනවා.//
      හරියටම ඔන්න ඕක තමයි වෙන්නේ!

      Delete
    2. අපි මේකෙ අනිත් පැත්තත් කරනව . (අද පීඩිතයා හෙට චූදිතයා )
      අද නවක වදේට අහුවෙලා හොටු කඳුළු පෙරාගෙන අඬන උන් , ඊළඟ අවුරුද්දෙ අලුතෙන් එන උන්ට ඒකම කරනව .
      :-(

      Delete
  6. මට හිතෙන්නේ මේවාට මුල අපේ අයගේ දැක්මේ, චින්තනයේ පටු බව කියලයි!

    ReplyDelete
  7. අනිච්චේ දුක්ඛේ. මිස්ට ක්නොක්ස් වරදවා වටහා ගැනීමක් වෙන්න බැරිය?

    ReplyDelete
  8. බෞද්ධාගමේ ස්වභාවය නිසාම ඒක මිනිස්සු මත ඇතිකරන බලපෑම සාමාන්‍යයෙන් මතුපිට එකක් පමණයි. මෑත කාලයේදී වුණත් තලේබාන් ආකාරයේ බෞද්ධයෝ ඉන්නේ ඉස්ලාම් ආගමට ප්‍රතිචාර දැක්වීමක් විදිහට කියලයි මම හිතන්නෙ. පව් පින් සංකල්පය බොහොම ප්‍රචලිතව අපේ සමාජයේ තිබ්බත්, ඒක බොහෝ විට පාවිච්චි වෙන්නේ මානසික සහනයක් අරමුණු කරගෙන, සිදුවීමකින් පසුවයි.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...