වෙබ් ලිපිනය:

Showing posts with label මහ බැංකුව. Show all posts
Showing posts with label මහ බැංකුව. Show all posts

Wednesday, March 23, 2022

දෙසිය අනූවේ සිට...


සල්ලි කියන්නේ මොනවාද කියලා විස්තර කරලා ලිපියක් ලියන්න හිටියත් එය පොඩ්ඩක් කල් දැම්මා. එය පසුව ලියන්නම්. අද වන විට ප්‍රධාන පෞද්ගලික බැංකු වල ඩොලරයක මිල රුපියල් 290 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනෙකුත් බැංකු බොහොමයකත් රුපියල් 285 දක්වා ඉහළ ගිහින්. මෙය කොතැනින් නවතියිද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා.

මහ බැංකුව හා රජය විසින් ඩොලරයක මිල රුපියල් 300 මට්ටම ඉක්මවන්න නොදී නවත්වාගන්න විශාල ඉඩක් තිබෙන නමුත් ඒ මට්ටමේදී රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන එකනම් සිදු වෙන එකක් නැහැ. මෙයට ප්‍රධානම හේතුව රට තුළ දැවැන්ත සමුච්ඡිත ආනයන ඉල්ලුමක් (accumulated import demand) තිබීමයි.

මේ වන විට දෙවසරක පමණ කාලයක් තිස්සේ රටේ ආනයන පාලනය කෙරෙමින් තිබෙනවා. ආනයන පාලනය නිසා, ආනයනය කිරීම් අඩු වුනත් ආනයන ඉල්ලුම අඩු වන්නේ නැහැ. ආරම්භයේදී මේ ඉල්ලුම සැපිරෙන්නේ සමුච්ඡිත තොග (accumulated inventories) වලින්. ගමේ සිල්ලර වෙළඳසැලෙන් පාරිභෝගිකයා වෙත ආනයන භාණ්ඩ ලැබෙන්නට පෙර සිදුවන ක්‍රියාවලියක් තිබෙනවා. ඒ ක්‍රියාවලිය තුළ අදියර ගණනාවකදී තොග පවත්වා ගැනීමක් සිදු වෙනවා. අවසානයේදී පාරිභෝගිකයාගේ මට්ටමේදීත් තොග නඩත්තු වෙනවා. මගුල් ගෙදරක යන්න තියෙන කෙනෙක් හැම විටම සපත්තු දෙකක් ගන්න කලින් දවස දක්වා ඉන්නේ නැහැ. හැමදාම ගන්න බෙහෙත් ටික මාසයකටවත් කලින් ගන්නවා.

පාරිභෝගිකයාගේ සිට ඉහළට යද්දී, ගමේ සිල්ලර වෙළෙන්දා, ආසන්න නගරයේ තොග වෙළෙන්දා, පිටකොටුවේ තොග වෙළෙන්දා, වරායේ බහලුම් තිබෙන ආනයනකරු, නැවේ ආනයනය කෙරෙමින් තිබෙන බඩු, ඇණවුම් කර ලැබෙන්නට නියමිත බඩු ආදී වශයෙන් තොග එකතු වන ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ නිසා, ආනයන තහනම් කිරීමෙන් පසුව පාරිභෝගිකයාට එකවර භාණ්ඩ හිඟයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මේ දාමයේ ඉහළ සිට පහළ දක්වා තිබෙන තොග ක්‍රමයෙන් හිස් වෙද්දී අවශ්‍ය පාරිභෝගික ඉල්ලුම සැපිරෙනවා. හැබැයි අවුරුදු දෙකක් යද්දී ඔය සමස්ත දාමයේම තොග අවසන් වෙලා. 

දැන් නැවත ආනයන සඳහා නිදහසේ ඩොලර් නිකුත් කළොත් පාරිභෝගිකයාගේ සාමාන්‍ය ආනයන ඉල්ලුම පමණක් සම්පූර්ණ වෙලා වැඩේ නවතින්නේ නැහැ. කාලයක් තිස්සේ හිස් වූ තොග එකතු නැවත පිරෙන්න ඕනෑ. මිල ඉහළ යාම නිසා පාරිභෝගික මට්ටමේදී ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන නමුත් තොග එකතු පිරෙන තුරු (backlog) එක වර ඇති වන (one-off) විශාල ආනයන ඉල්ලුමක් තිබෙනවා. නමුත්, අනෙක් පැත්තෙන් එවැනි තත්ත්වයක් නැහැ. ලංකාවේ අපනයන වෙනුවෙන් එසේ සමුච්ඡිත ඉල්ලුමක් ගොඩ නැගී නැහැ. ශ්‍රමික ප්‍රේෂණ වලින් පමණක් එසේ සමුච්ඡනය වූ ඩොලර් ප්‍රමාණයක් එකවර රටට ලැබෙයි. 

ඩොලරයට නිදහසේ පාවෙන්න දුන්නොත් යම් මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙයි. ඒක කොහොමටත් වෙන දෙයක්. හැබැයි ඒ මිල කීයටවත් රුපියල් 300 වැනි පහළ මට්ටමක් නෙමෙයි. 

ඩොලරය රුපියල් 300 වැනි මට්ටමක ස්ථාවර කර ගැනීම අසීරු වෙන්න තවත් නිශ්චිත හා පැහැදිලි හේතුවක් තිබෙනවා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය මුළු සංචිත මුදල් ප්‍රමාණයට සමාන වන තුරු ඩොලරයේ මිල ඉහළ යනවා. එහෙම නැතුව අවුරුද්දක් දෙකක් තියෙන්න පුළුවන්. නමුත් ලංකාවේ රුපියලේ දිගුකාලීන ස්ථායීතාවය තීරණය වෙන්නේ ඔය මූලධර්මය අනුවයි. 

මේ වෙද්දී (මාර්තු 16) සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370ක්. ඔය ගණන 300න් බෙදුවොත්, ඩොලර් බිලියන 4.5ක් පමණ. ඒ කියන්නේ, දිගුකාලීනව ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5ක මට්ටමට යා යුතුයි. නමුත් දැන් කලක සිටම ලංකාවේ මහ බැංකුව බංකොලොත්. මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය බිලියන 2ක පමණ හිඟයක්. 

පහත තිබෙන්නේ පසුගිය වසර මැද පළ කළ ලිපියක්. 

මහ බැංකුව බංකොලොත්ද?

ඒ කියන්නේ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කර ගැනීම සඳහා මහ බැංකුව විසින් තවත් ඩොලර් බිලියන 6.5ක් පමණ එකතු කර ගන්න වෙනවා කියන එකයි. ඩොලරය රුපියල් 400 මට්ටමේ ස්ථාවර කර ගැනීම සඳහා වුවත් මහ බැංකුව විසින් තවත් ඩොලර් බිලියන 5.4ක් පමණ එකතු කර ගත යුතුයි. දැනට තිබෙන තත්ත්වය අනුව, මේ වගේ දෙයක් හදිසියේ සිදු විය හැකි එකම ක්‍රමය IMF එකෙන් ඩොලර් බිලියන 5ක පමණ ණයක් ලැබෙන එක පමණයි. 

පොලී අනුපාතික අනිවාර්යයයෙන්ම ඉහළ දැමිය යුතුයි වගේම එයින් සැලකිය යුතු වාසියක් ලැබෙයි. එහෙත්, පොලී අනුපාතික 30-40% මට්ටමකට ඉහළ දමන එක ප්‍රායෝගිකව වෙන දෙයක් නෙමෙයිනේ. එසේ කිරීමෙන් සිදුවන අතුරු ප්‍රශ්න වලට මුහුණ දීමේ ශක්තියක් මේ වෙලාවේ ආණ්ඩුවට නැහැ. පොලී අනුපාතික යම් තරමකින් හෝ වැඩි කිරීමෙන් (15% පමණ මට්ටමකට) කිසියම් සහනයක් ලැබෙනු ඇති නමුත් එවැනි වැඩි කිරීමකින් ඩොලරය ස්ථාවර වෙන එකනම් සිදුවන එකක් නැහැ. එසේ වුවත්, මෙය අනිවාර්යයෙන්ම කරන්න සිදු වන දෙයක් නිසා එකවර වෙළඳපොළ කම්පනය නොකර දැන්ම වැඩේ පටන් ගන්න එකයි කළ යුත්තේ. 

දැන් ඩොලරය ස්ථාවර කළ හැකි එකම දෙය IMF එකෙන් ලැබෙන මුදල, ලැබෙන දිනය හා අදාළ වැඩපිළිවෙළ පිළිබඳ නිශ්චිත නිවේදනයක් පමණයි. එය IMF එක පැත්තෙන් හෝ එකවර දෙපැත්තෙන්ම පැමිණිය යුතුයි. එය සිදු වන තුරු ඩොලරය ඉහළ යන එක නැවැත්තුවොත් මිසක් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී නවතින්නේ නැහැ. ඩොලරයේ මිල ස්ථාවර වීම කෙසේ වුවත් ස්ථාවර කිරීමක් මේ සතිය අවසාන වෙද්දී වෙයි කියා මට හිතෙනවා. ඇතැම් විට ලබන සතියේ. 

Monday, March 21, 2022

අච්චු ගහන අච්චු නොගහන සල්ලි


මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යද්දී ගොඩක් අය සල්ලි අච්චු ගහනවා කියලා කෑ ගහනවා. නමුත්, මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා හැම විටෙකම සල්ලි අච්චු ගැසීමක් හෙවත් සංචිත මුදල් ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ බව කලින් ලිපියෙන් පැහැදිලි කළා.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යද්දී කෙසේ වෙතත් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යද්දී සංසරණයේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වී, රුපියලේ සැබෑ අගය පහළ යනවා. බඩු මිල ඉහළ යාමේදී හා විණිමය අනුපාතය අවප්‍රමාණය වීමේදී වෙන්නේ එසේ පහළ ගිය රුපියලේ සැබෑ අගය බඩු වල හා ඩොලරයේ මිලෙන් නිවැරදිව නිරූපණය වීමයි.

පසුගිය මාර්තු 16 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370.0ක්. වසර ආරම්භයේදී මෙම ප්‍රමාණය රුපියල් බිලියන 1,305.8ක්. පෙර වසර ආරම්භයේදී රුපියල් බිලියන 964.4ක්.

ඉහත සංඛ්‍යා දෙස බැලූ විට 2021 වසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 35.4%කින් වැඩි වී තිබෙන බව පේනවා. පසුගිය මාස දෙක හමාරක කාලය තුළ සංචිත මුදල් ඉහළ ගොස් තිබෙන්නේ 5.0%කින් පමණයි.

කෙසේ වුවත්, මේ සංඛ්‍යාලේඛණ වලින් නොපෙනෙන දෙයක් තිබෙනවා. ඒ, මෙහි සඳහන්ව ඇති මුදල් ප්‍රමාණයට අමතරව තවත් විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින් දෛනික පදනම මත බැංකු පද්ධතිය වෙත මුදා හරිමින් සිටින බවයි. මාර්තු 16 දින මෙසේ මුදා හළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 562.8ක්. 

මෙය කලක සිටම සිදුවන දෙයක්. එහෙත්, මෙම මුදල ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. පසුගිය දෙසැම්බර් 31 දින මෙසේ මුදා හළ මුදල රුපියල් බිලියන 366.2ක් පමණයි. මේ අයුරින් මහ බැංකුවට දෛනික පදනම මත රුපියල් මුදා හරින්න සිදු වී තිබෙන්නේ මේ වන විට බැංකු පද්ධතියේ විශාල රුපියල් හිඟයක් තිබෙන නිසයි.

පෙර වසර අවසානයේ තිබුණේ වෙනස් තත්ත්වයක්. ඒ වන විට බැංකු පද්ධතියේ රුපියල් අතිරික්තයක් තිබුණා. 2020 දෙසැම්බර් 31 වන දින වාණිජ බැංකු විසින් දෛනික පදනම මත රුපියල් බිලියන 206.8ක් මහ බැංකුවේ තැන්පත් කළා. ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 964.4ක් වුවත්, ඇත්තටම සංසරණයට එකතු වුනේ එයින් රුපියල් බිලියන 757.6ක් පමණයි.

දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,370.0ක් පමණක් වුවත්, ඊට අමතරව තවත් රුපියල් බිලියන 562.8ක් දෛනික පදනම මත සංසරණයට එකතු වීම සැලකූ විට මුළු ප්‍රමාණය රුපියල් බිලියන 1932.8ක්. මේ ආකාරයෙන්ම වසර මුල රුපියල් බිලියන 1,305.8ක් වූ සංචිත ප්‍රමාණයට රුපියල් බිලියන 366.2ක ද්‍රවශීලතා හිඟය එකතු කළ විට එකතුව රුපියල් බිලියන 1,672.0ක්.

බැංකු පද්ධතිය තුළ මෙපමණ විශාල ද්‍රවශීලතා හිඟයක් ඇති වීමට හේතුව මුදල් වෙළඳපොළේ රුපියල් ඉල්ලුම හා රුපියල් සැපයුම අතර තිබෙන අසමතුලිතතාවයි. දැනට වඩා විශාල ප්‍රශ්නය වන ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයට හැමෝගෙම අවධානය යොමු වී තිබෙන නිසා යටපත්ව තිබුණත් මෙයත් විශාල ප්‍රශ්නයක්. 

මේ අසමතුලිතතාවය දුරු කර ආර්ථික හා මිල ස්ථායීතාවය ඇති කිරීම මුදල් නීති පණත අනුව මහ බැංකුවේ නීතිමය වගකීමක්. පොලී අනුපාතික ඉහළ දැමීම මගින් එය කළ හැකි වුවත්, පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ නොදැමීම නිසා ප්‍රශ්නය ඔඩු දුවමින් තිබෙනවා. 

බැංකු වලට රුපියල් ලැබෙන්නේ කවුරු හෝ විසින් බැංකු වල මුදල් තැන්පත් කළ විටයි. එසේ නැත්නම් ගත් ණය ආපසු ගෙවන විටයි. තැන්පතුහිමියන් මුදල් ආපසු ගැනීමේදීත්, ණය ලබා ගැනීමේදීත් බැංකු වල තිබෙන රුපියල් එළියට යනවා. මේ විදිහට එළියට යන රුපියල් හා බැංකුවට එන රුපියල් ප්‍රමාණය සමතුලිත නොවුනහොත් බැංකුවට රුපියල් හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එසේ නැත්නම් රුපියල් අතිරික්තයක් ඇති වෙනවා. රුපියල් හිඟයක් ඇති වූ විට පොලී අනුපාතික ඉහළ දමා රුපියල් ආකර්ශනය කර ගන්න වෙනවා. එහිදී ණය ඉල්ලුමද අඩු වෙනවා. ඒ නිසා රුපියල් බැංකුවේ ඉතිරි වෙනවා.

මේ වෙලාවේ බැංකු වල විශාල රුපියල් හිඟයක් ඇති වීමට හේතුව රජය විසින් බැංකු වලට එකතු වන රුපියල් සියල්ලම මෙන් ණයට ගැනීමයි. බැංකු වල තිබෙන රුපියල් ප්‍රමාණයට අමතරව රජය විසින් බැංකු වල නැති රුපියල්ද ණයට ගෙන තිබෙනවා. එම නැති රුපියල් ප්‍රමාණය මහ බැංකුව විසින් දෛනික පදනම මත බැංකු වලට සපයමින් සිටිනවා. 

බැංකු වලට 7.5% පොලියට මහ බැංකුවෙන් "ඕනෑ තරම්" ණය ගත හැකියි. හවසට ගන්න සල්ලි පසුදා උදේ නැවත ආපසු ගෙවිය යුතුයි. ඉන් පසුව, පසුදා හවස නැවතත් ණය ගන්න පුළුවන්. මේ ණය වෙනුවෙන් වසරකට 7.5% පොලියෙන් දිනකට ගෙවිය යුතු කොටස මහ බැංකුවට ගෙවිය යුතුයි. 

වාණිජ බැංකු වලට ලාබෙට අරමුදල් සපයා ගැනීම සඳහා මේ විකල්පය තිබෙන නිසා ඔවුන් මීට වඩා වැඩි තැන්පතු පොලියක් ගෙවා රුපියල් එකතු කර ගන්න පෙළඹෙන්නේ නැහැ. දැන් ගෙවන පොලිය යටතේ මීට වඩා රුපියල් ප්‍රමාණයක් බැංකු වලට එකතු වෙන්නෙත් නැහැ. 

මහ බැංකුවෙන් 7.5% පොලියට ගන්න සල්ලි ඉතා පහසුවෙන් වැඩි පොලියකට ණයට දෙන්න පුළුවන්. මාර්තු 15 පැවති වෙන්දේසියේදී දින-91 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වුනේ 11.35%ක පොලියකට. ඒ කියන්නේ 11.35%ක පොලියකට රජයටම ණය දෙන්න පුළුවන්. එක පැත්තකින් 7.5%ක පොලියකට මහ බැංකුවෙන් ණය අරගෙන අනෙක් පැත්තෙන් 11.35%ක පොලියකට ඒ සල්ලි ටිකම ණයට දෙන්න පුළුවන්නම් කවුද ඔය වැඩේ නොකරන්නේ?

රුපියල් 562.8ක් වන වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ඇති වී තියෙන්නේ ඔය හේතුව නිසයි. මේ සල්ලි වලින් මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නැති නිසා මෙම මුදල සංචිත මුදල් වලට එකතු වෙන්නේ නැහැ. භාණ්ඩාගාර බිල්පත් මිල දී අරගෙන තියෙන්නේ වාණිජ බැංකු. ඔවුන්ට රජය විසින් 11.35%ක පොලියක් ගෙවනවා. 

හැබැයි මේ සල්ලි වාණිජ බැංකු විසින් තැන්පතුකරුවන්ගෙන් එකතු කරගත් සල්ලි නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන්ම ගන්න සල්ලි. ඒ වෙනුවෙන් වාණිජ බැංකු විසින් මහ බැංකුවට 7.5%ක පොලියක් ගෙවනවා. 3.85%ක පොලී වෙනස ලාබය. වක්‍ර විදිහට වෙන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමක්ම තමයි. දවල්ට මේ භාණ්ඩාගාර බිල්පත් එළියට ගිහින් රෑට ආපහු මහ බැංකුවට එනවා. සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගැහීමක් වෙලා නැහැ.

උද්ධමනය ඉහළ යද්දී මේ වගේ තත්ත්වයක් නඩත්තු කිරීම තවත් ප්‍රශ්න ගණනාවකට පාර කැපීමක්. වියදම් ඉහළ යද්දී මිනිස්සු බැංකු වල තිබෙන සල්ලි අදිනවා. ණය කාඩ්පත් වලින් එහෙමත් සල්ලි අදිනවා. එය වලක්වා ගත හැකි ක්‍රමය විශාල ලෙස පොලී අනුපාතික ඉහළ දැමීමයි. අවම වශයෙන් මේ විශාල ද්‍රවශීලතා හිඟය නැති වන තුරු මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමිය යුතුයි. 

අනෙක් පැත්තෙන් අද වන විට ඩොලරයක මිල රුපියල් 285 දක්වා ඉහළ ගිහින්. IMF යනවා කියලා කිවුවට ඩොලරය ඉහළ යන එක පාලනය වෙන්නේ නැහැ. IMF උපදෙස් යටතේ ආර්ථිකය ස්ථාවර කරන ආකාරය ගැන පැහැදිලිව කියන්න පොඩි ඉඩක් ලැබෙනවා පමණයි. ඒ ඉඩෙන් ප්‍රයෝජන නොගත්තොත් ආපහු හිටපු තැනටම වැටෙනවා.

විණිමය අනුපාතය කියන්නේ ඩොලරයේ හා රුපියලේ සාපේක්ෂ වටිනාකම් අතර අනුපාතය. මේ වෙලාවේ ඩොලරයේ නිරපේක්ෂ වටිනාකම ගොඩක් වැඩියි. ඒක අඩු කරන්න අමාරුයි. නමුත්, රුපියලේ වටිනාකමද වැඩි කිරීම මගින් ඩොලරයේ සාපේක්ෂ වටිනාකම අඩු කරලා මිල ස්ථාවර කර ගන්න පුළුවන්. එය කළ හැක්කේ බැංකු පද්ධතියේ දැන් තිබෙන රුපියල් හිඟය වෙනුවට රුපියල් අතිරික්තයක් ඇති කිරීමෙන්. 

රුපියල් අතේ තිබෙන අයට ඒ රුපියල් බැංකුවක තැන්පත් කර විශාල ප්‍රතිලාභයක් ලැබිය හැකි වූ විට රුපියල් වල වටිනාකම ඉහළ යනවා. මිල ඉහළ යාමේ වාසිය තකා ඩොලර් හොයන අයට පහසුවෙන් වැඩි ලාබයක් ලැබිය හැකි විකල්පයක් ලැබෙනවා. ඒ හරහා, ඩොලර් වලට තිබෙන සමපේක්ෂණ ඉල්ලුම පහළ යනවා.

Sunday, March 20, 2022

තාමත් සල්ලි අච්චු ගහනවද?

 


දෙරණට අනුව පසුගිය අඟහරුවාදා (මාර්තු 15) මහ බැංකුව විසින් අලුතෙන් රුපියල් කෝටි 8,300ක් සල්ලි අච්චු ගහලා තිබෙනවා. මගෙන් එක් හිතවතෙක් මේ ගැන විමසීමක් කරමින් මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රුපියල පාවෙන්න ඇරපු එකේ තේරුමක් තියෙනවද කියලා අහනවා.

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ සඳහා වැඩි මුදලක් ගෙවන එක නවත්වා තියෙනවා. එය හොඳ තීරණයක්. එකම ඩොලරය සඳහා තෝරාගත් පිරිසකට පමණක් වැඩි මිලක් ගෙවීමෙන් වෙන්නේ ඩොලරය පිළිබඳ මිල අපේක්ෂාවන් සීමා කර ගැනීම වඩා අපහසු වීමයි. මේ වෙද්දී ඩොලරය එහි නියම අගය දක්වා අවප්‍රමාණය වී අවසන් නිසා අපේක්ෂාවන් ඉහළ නොයන්නේනම් ඩොලරයේ මිල මේ සතිය තුළ ස්ථායී විය යුතුයි. ඒ සමඟම, තාවකාලිකව වුවත්, ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳෙනවා.

කෙසේ වුවත්, වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ ඩොලරයේ නියම අගය තව තවත් ඉහළ යනවා කියන එකයි. එවිට ඩොලරයේ මිලෙන් එම අගය පිළිබිඹු වීමට ඉඩ හරින්න වෙනවා. මෙය වලක්වා ගත හැක්කේ සල්ලි අච්චු ගහන එක පාලනය කිරීමෙන් පමණයි.

දැන් අපි දෙරණ පුවත වෙත යමු. 

"ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627.00 ක් බව ඊයේ අඟහරුවාදා (15) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඊට පෙර දින එනම් සඳුදා (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ක් බව මීට පෙර සටහන්ව තිබීමයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඊයේ දිනය තුළ දී රු. බිලියන 83.03 කින් වැඩි වී ඇත.

එනම් රු. බිලියන 83.03 ක හෙවත් රු. කෝටි 8,303 ක නව මුදල් ප්‍රමාණයක් ඊයේ දින රටට මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවයි.

මෙලෙස නව මුදල් නිකුත් කිරීම සඳහා මුදල් අච්චු ගැසීම යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ."

මෙහි මුල් කොටසේ සඳහන් සංඛ්‍යාලේඛණ සියල්ල නිවැරදි වුවත් අවසන් වාක්‍ය දෙකෙහි සඳහන් කරුණු නිවැරදි නැහැ. මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක්. පෙර දින එම අගය රුපියල් බිලියන 1,543.97ක්. ඒ අනුව, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 83.03කින් හෙවත් රුපියල් කෝටි 8,303කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා මුදල් ගෙවද්දී අලුත් මුදල් සංසරණයට එකතු වී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යාම සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් එහි මුහුණත වටිනාකම ගෙවන්නේ නැහැ. මුහුණත වටිනාකම කියන්නේ බිල්පත්/ බැඳුම්කර කල් පිරීමේදී ගෙවන මුදලයි. මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් ගෙවන්නේ එහි වෙළඳපොළ වටිනාකමයි.

වැඩිපුර තොරතුරු අවශ්‍යනම් පහත ලිපි කියවන්න.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක් වුවත් එම බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,567,26ක් පමණයි. පෙර දින එම අගය රුපියල් බිලියන 1,492,42ක්. මේ අනුව, මහ බැංකුව සතු වූ බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 74.85කින් හෙවත් රුපියල් කෝටි 7,485කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ කියන්නේ, දවසක් ඇතුළත එපමණ මුදලක් සල්ලි අච්චු ගහලද?

මහ බැංකුව විසින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගත් පමණින්ම සංචිත මුදල් සැපයුම ඉහළ යාමක්, එනම් සල්ලි අච්චු ගැසීමක්, සිදු වන්නේ නැහැ. මහ බැංකුවෙන් එළියට යන සල්ලි නැවත මහ බැංකුව වෙතම එන ක්‍රම ගණනාවක් තිබෙනවා. වත්මන් සන්දර්භය තුළ මේ සඳහා හොඳම උදාහරණය සංචිත විකිණීමයි. 

මහ බැංකුව විසින් ඩොලරයක් විකුණන හැම විටෙකම එහි රුපියල් වටිනාකම මහ බැංකුවට ලැබෙන නිසා යම් මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් වී නැවත මහ බැංකුව වෙත එනවා. එහිදී සංචිත මුදල් සැපයුම පහළ යනවා. සංචිත මුදල් විකුණා උපයන රුපියල් බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා යෙදෙවුවොත්, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඉහළ යන නමුත් සංචිත මුදල් වැඩි වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායක ගණනාවක් අතරින් එකක් පමණයි.

මාර්තු 9 දින සිට මාර්තු 16 දක්වා සතියක කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,357.10 සිට රුපියල් බිලියන 1,370.50 දක්වා රුපියල් බිලියන 13.40 කින් හෙවත් රුපියල් කෝටි 1,340කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අදාළ සතියේ එක් දිනක් තුළ රුපියල් කෝටි 8,303ක් සල්ලි අච්චු ගසා තිබීම විය නොහැක්කක්. එහෙත්, සල්ලි අච්චු ගැසීමේ ප්‍රශ්නයක් තිබෙනවා. 

Tuesday, March 15, 2022

දෙසිය හැත්තෑ පහේ සිට...


මේ වන විට ඩොලරයක මිල රුපියල් 275 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මම හිතන්නේ ඩොලරයේ මිල කීයට යයිද කියන එක ගැන ගොඩක් අය විමතියට පත් වෙලා. විපක්ෂයේ සජබ වගේම ජාජබත් ආණ්ඩුව ගෙදර යවා බලය ලබා ගැනීම සඳහා මේ අවස්ථාව උපයෝගී කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා.

පිටින් බැලූ විට පෙන්නේ ඩොලරය "පා කිරීමෙන්" පසුව පාලනයක් නැතිව දවසින් දවස ඩොලරයක මිල ඉහළ යන බවයි. එහෙත්, ඇත්තටම ඩොලරය තවමත් නිදහසේ පාවෙන්න පටන් අරගෙන නැහැ. 

පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ ඩොලරයේ මිල තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මතයි. 2020 අගෝස්තු පමණ වන තුරු ලංකාවේ තිබුණේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියා වැඩි අපහසුවකින් තොරව නම් කළ හැකි හැකි ක්‍රමයක්. ඒ වන විට මිලියන 7,430.1ක නිල සංචිත ප්‍රමාණයක් මහ බැංකුව හා රජය සතුව තිබුණා.

ඉන් පසුවද, මහ බැංකුව විසින් සංචිත විකුණමින්, වෙළඳපොළ ඩොලර් සැපයුම වැඩි කර ඒ හරහා වක්‍ර ලෙස මිල පාලනය කළ නමුත් වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනා. ඒ නිසා, එම කාලය තුළද පාලිත (managed), එසේත් නැත්නම් අපිරිසිදු (dirty), පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් පැවති සේ සැලකිය හැකියි. 

සංචිත විකුණා දමමින් වෙළඳපොළ ඩොලර් සැපයුම ඉහළ දමා ඩොලරයේ මිල පාලනය කිරීම නිසා 2021 මාර්තු වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,055.2 දක්වා පහත වැටී තව දුරටත් ඩොලරයේ මිල පාලනය කිරීම අසීරු තත්ත්වයක් ඇති වුනා. ඒ වන විට වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත කළ ඩොලරයක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබුණා. 

ඩොලරයක වෙළඳපොළ මිල රුපියල් 200 දක්වා යාමෙන් පසුව ගත වූ වසරක පමණ කාලය තුළ ඩොලර් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වුනේ නැහැ. 2021 මාර්තු මාසයේ සිට මහ බැංකුව විසින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමෙහි රඳවා ගෙන සිටියද. එම මිල යටතේ ඇති වන ඩොලර් ඉල්ලුම සමතුලිත කළ හැකි තරමට සංචිත මුදා හැරීමට මහ බැංකුවට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, නිල වශයෙන් මහ බැංකුව මොනවා කිවුවත් පසුගිය වසරක කාලය තුළ ලංකාවේ තිබුණේ ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක්. 

මේ මොහොත වන විටද ඉහත තත්ත්වය වෙනස් වී නැහැ. ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ වෙළඳපොළ ඉල්ලුම පෙන්නුම් කරන මිල සංඥාව නොපෙනී යනවා. ඉන් පසුව, ඩොලරයක නියම මිල ගැන කිසිවෙකුට හරියටම කියන්න බැහැ. මේ මොහොත වන තුරුම මහ බැංකුව විසින් එම මිල සංඥාව අල්ලා ගැනීමට උත්සාහ දරමින් සිටින බව පේනවා.

මගේ නිරීක්ෂණය අනුව, මහ බැංකුව විසින් කරමින් සිටින්නේ රාජ්‍ය බැංකු වල උදවුවෙන් විණිමය අනුපාතය මාර්ගෝපදේශනය කරන එකයි. තවත් පැහැදිලිව කිවුවොත් සැලසුම් කළ ආකාරයකට ක්‍රමයෙන් විණිමය අවප්‍රමාණය කිරීමයි (crawling the rate along a guided path). මගේ පෞද්ගලික අදහස අනුව මේ වෙලාවේ කළ යුත්තේද මෙයයි. ඒ නිගමනයට හේතු එකින් එක විස්තර කිරීමට මම ඉඩ ගන්නේ නැහැ.

මේ වන විටද අපනයනකරුවන් විසින් උපයන ඩොලර් බලෙන් රුපියල් කෙරෙමින් පවතිනවා. එසේ එම ඩොලර් බලෙන් රුපියල් කිරීමට අවශ්‍යව තිබෙන්නේ දැනට පවතින මිල යටතේ වුවද මෙම අපනයනකරුවන් ඩොලර් විකිණීමට කැමැත්තක් නොදැක්වීමයි. මේ වන තුරුද පවතින්නේ පාවෙන විණිමය අනුපාතයක් නොවන බව පෙන්වීමට මේ කරුණ පමණක් වුවද ප්‍රමාණවත්. ඩොලරයේ නියම මිල හමු වන තුරු මේ අයුරින් දිනපතා ටිකෙන් ටික විණිමය අනුපාතය මාර්ගෝපදේශනය කර ඉන් පසුව පාවෙන්නට හැරීම මහ බැංකුවේ ඉලක්කය වෙන්න පුළුවන්. එහෙත්, ඩොලරය රුපියල් 300 මට්ටම පමණ දක්වා ඉහළ යාමෙන් පසුවද මිල සංඥාව අහු නොවුනොත් මහ බැංකුව විසින් මේ වැඩේ අතහැර දමන්න පුළුවන්. 

මේ වෙලාවේ ඩොලරයේ මිල තීරණය වන්නේ අන්තර්-බැංකු වෙළඳපොළ තුළයි. ඩොලරයේ මිල එකවර විශාල ලෙස ඉහළ යාම නිසා බැංකු පද්ධතිය වෙත ලැබෙන ප්‍රේෂණ විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. විණිමය අනුපාතය රුපියල් 200 මට්ටමේ හිර කර ගැනීම නිසා සාමාන්‍යයෙන් රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන දෙකක් පමණවත් නොලැබී ගියා. මේ ඩොලර් සියල්ල උන්ඩියල් වුනා කියා හිතනවානම් එය වැරදි අදහසක්. එයින් යම් කොටසක් පමණක් උන්ඩියල් වෙන්න ඇති.

ඒ වගේම, මේ වෙලාවේ ඩොලරයේ මිල ඉහළ දමා උන්ඩියල් වෙළඳපොළ බිඳ දැමිය හැකියැයි හිතනවානම් එය විශාල මුලාවක්. රටේ ඩොලර් ඉල්ලුම තිබෙන තුරු, බැංකු වල ඩොලරයේ මිල ඉහළ යන වේගයෙන්ම උන්ඩියල් වෙළඳපොළෙහි ඩොලරයක මිලද ඉහළ යනවා. ඒ නිසා, මෙය චලනය වන ඉලක්කයක් පසුපස හඹා යාමට දරන අසාර්ථක උත්සාහයක්. කළ යුත්තේ ඩොලර් ඉල්ලුම අඩු කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි. මෙය කළ හැකි පහසුම ක්‍රමය පොලී අනුපාතික විශාල ලෙස ඉහළ දැමීමයි. එය කළත්, නොකළත්, ආර්ථික වර්ධනය අඩාල වන නිසා ආර්ථික වර්ධනය ගැන වද වන එකේ තේරුමක් නැහැ. දිග ලිපි කියවන්න ගොඩක් අය අකැමැති නිසා පොලී අනුපාතික ඉහළ දැමීමේ වාසි ගැන වෙනම ලිපියකින් විස්තර කරන්නම්.

ඩොලරයේ මිල ඉහළ දමා උන්ඩියල් වෙළඳපොළ බිඳ දැමිය හැකි නොවෙතත්, උන්ඩියල් නොවුණු, ඩොලරයේ මිල ඉහළ යන තුරු බලා සිටි අය හිර කරගෙන සිටි ඩොලර් ප්‍රමාණය මේ වෙලාවේ රටට එයි. මේ හේතුව නිසා සිදුවන ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාම එක වර සිදුවන දෙයක් පමණයි. ඒ වැඩි වීම එලෙසම දිගටම පවතිනු ඇතිය යන මුලාවේ නොවැටිය යුතුයි. මෙසේ කෙටි කලක් තුළ රටට පැමිණිය හැකි මුදල ඩොලර් මිලියන 500ක් පමණ විය හැකියි. ඉදිරි මාස කිහිපයක් සැලකූ විට, ඇතැම් විට බිලියනයක් පමණ වුවත් විය හැකියි. ඩොලරයේ මිල දිගින් දිගටම මඳ වේගයකින් ඉහළ යන්නේනම් එකවර ලැබෙන ඩොලර් ප්‍රමාණයට අමතරව දිගටම ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලද යම් වැඩි වීමක් සිදු වෙයි.

මෙසේ එකවර රටට එන ඩොලර් ප්‍රමාණය නිසා හරිනම් ඩොලරයක මිලෙහි යම් පහත වැටීමක් සිදු විය යුතුයි. එහෙත්, වෙනත් හේතුවක් නිසා එය සිදු වන්නේ නැහැ. ඒ බැංකු පද්ධතිය තුළ තිබෙන විශාල ඩොලර් ද්‍රවශීලතා හිඟයයි. මේ වන විට පසුගිය කාලය මුළුල්ලේ බැංකු පද්ධතිය විසින් බිලියන දෙකක පමණ නැති ඩොලර් විකුණලා. ඒ නිසා, වැඩියෙන් ඩොලර් බිලියනයක් රටට ආවත් ඒ ඩොලර් බිලියනය බැංකු පද්ධතිය විසින් අවශෝෂණය කර ගන්නවා මිසක් බැංකු වලින් එළියට එන්නේ නැහැ. මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගත නොහැකි නිසා වාණිජ බැංකු වලට වෙන විකල්පයක් නැහැ. 

ඉහත කරුණු දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය විදිහට සාමාන්‍ය ඩොලර් හිඟයට අමතරව සමුච්ඡනය වූ ඩොලර් හිඟයක් (accumulated shortage) මේ වෙලාවේ රටේ තිබෙනවා. ඒ නිසා, ඩොලරයට නිදහසේ පාවෙන්න ඇරියොත් එය දිගුකාලීනව ස්ථාවර විය හැකි මිලට වඩා වැඩියෙන් තවත් 20%ක් පමණ උඩට ගිහින් (overshoot වී) නවතින්න පුළුවන්.

ජූලි 25 ඩොලර් බිලියනයක බැඳුම්කරය ගෙවන්න කලින් මැයි 5 වනදා ඉන්දියාවට ආසියානු නිෂ්කාශන සංගමය යටතේ කළ යුතු දැනට දෙවරක් කල් දමාගත් ගෙවීම් කරන්න වෙනවා. ඒ වන විට මෙම මුදල ඩොලර් බිලියන 1.2-1.3 පමණ වෙලා තියෙයි. මේ දෙකටම අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගන්න වෙනවා. එය කළ හැක්කේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමෙන් පසුවයි. 

ඩොලරයට සාපේක්ෂ නිදහසක් ලබා දීමෙන් පසුව සංවර්ධන බැඳුම්කර වලට පෙර නොවූ ඉල්ලුමක් ඇති වී තිබෙනවා. ඩොලර් මිලියන 50ක් පමණක් විකිණීමට දැම්මත් 9.48% පොලියට ඩොලර් මිලියන 152.54කම සංවර්ධන බැඳුම්කර විකුණන්න හැකි වී තිබෙනවා. පුදුමයක් වෙන්න දෙයක් නැහැනේ. මාස හයකට 4.74%ක් කෙළින්ම පොලිය ලෙස ලැබෙද්දී ඩොලරයේ මිල ඉහළ යාම නිසා තව 30-35%ක වාසියක් මේ වෙලාවේ සංවර්ධන බැඳුම්කර මිල දී ගන්න අයට ලැබෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට 100%කට කිට්ටු ප්‍රතිලාභයක්. මේ වෙද්දී ස්වෛරිත්ව බැඳුම්කර වල ඵලදා අනුපාතිකය 231% දක්වා ඉහළ ගොස් තිබීම එක්ක බැලුවහමනම් මේකත් ලොකු වාසියක් නෙමෙයි.

ඔය තත්ත්වය යටතේ 11-12% පොලියට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අවශ්‍ය පමණ විකුණන්න බැහැ. ඒ නිසා, අඩුව පුරවන්න සල්ලි අච්චු ගහන්න වෙනවා. එය වලක්වා ගන්න පුළුවන් වෙන්නෙත් පොලී අනුපාතික වැඩි කිරීමෙන් පමණයි. තව කියන්න දේවල්නම් තියෙනවා. කමක් නෑ. දැනට ඔය ඇති!

Sunday, March 13, 2022

දෙසිය හැටෙන් පසු ජීවිතය

ආර්ථික අර්බුදය ගැන ලියා ගෙන ආ ලිපි මාලාවේ දැනට ලියා තිබෙන අවසන් කොටසේදී මම ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය ගැන මේ විදිහේ ප්‍රකාශයක් කළා.

"ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න වෙනවා. දැන් තත්ත්වය අනුව වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ එක්කම විණිමය අනුපාතය පාවෙන්න අරින්න වෙනවා. එහිදී ඩොලරයක මිල රුපියල් 275 පමණ මට්ට්මකටවත් යා හැකියි. ඒ එක්කම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිහින් උද්ධමනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය තවත් ඉහළ යනවා. අවසානයේදී ඩොලරයක මිල රුපියල් 300 පමණ මට්ටමකට යා හැකියි. එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යන එකත් නොවැලැක්විය හැකියි."

ඉහත ප්‍රකාශය සඳහන් ලිපිය වියුණුවේ පළ කළේ මාර්තු තුන් වෙනිදා. දවස් හතරක් යද්දී ඔය කියපු දේවල් වලින් සෑහෙන කොටසක් වෙලා. ආණ්ඩුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් නැහැ. එය දවසකින් දෙකකින් කළ හැකි දෙයක් නෙමෙයි. මාධ්‍ය වාර්තා අනුව මේ වැඩේ සිදු වෙමින් පවතිනවා. කොහොම වුනත්, විණිමය අනුපාතය මේ වෙද්දී පාවෙන්න ඇරලා. දින දෙකකට පසුව ඩොලරය රුපියල් 260 සීමාවේ නැවතී තියෙනවා. ආනයනික භාණ්ඩ වල මිල දැනටමත් ඉහළ ගිහින්, ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයද වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඔය ලිපිය අවසන් කරමින් "විසඳුම් ගැන තෙවන ලිපි මාලාවෙන් කතා කරමු" කියා සටහන් කරද්දී මම බලාපොරොත්තු වුනේ රටේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන්න නෙමෙයි. ඒ ප්‍රශ්න මොන විදිහකින් හෝ විසඳුනාට පස්සේත් ඉතිරි වන දිගුකාලීන ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන්න. ඊට පැහැදිලි හේතුවක් තිබුණා.

රටේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කළත් ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබුණේ මේ ආණ්ඩුවට පමණයි. නමුත්, අපට යෝජනා කළ හැකිව තිබුණු විසඳුම් හා මේ ආණ්ඩුව විසින් අනුගමනය කළ ආර්ථික වැඩ පිළිවෙළ අතර තිබුණු මූලික මට්ටමේ ප්‍රශ්න නිසා ඒ වැඩේට මහන්සි වෙන එකේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. හැබැයි ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා.

ආණ්ඩුව ඇතුළේ හිටපු ජාතික සමාජවාදීන් හා වෙනත් ඇතැම් "වියතුන්" මේ වන විට ආණ්ඩුවේ බල කේන්ද්‍රයෙන් එළියට විසි වෙලා බව පේනවා. අනෙක් දේවල් කොහොම වෙතත් ඩොලරයට සාපේක්ෂ නිදහසක් ලබා දී තිබෙනවා. ආණ්ඩුව විසින් එතැනින් එහාට කළ යුතු අනෙක් වෙනස්කම් කරයිද කියන එක ගැන කිසිදු සහතිකයන් නැතත්, අඩු වශයෙන් අප විසින් යෝජනා කළ පළමු පියවර ක්‍රියාත්මක කර තිබෙන මේ මොහොතේ ප්‍රශ්නයෙන් ගොඩයාමට ගත යුතු ඊළඟ පියවර ගැනත් සටහන් නොකළොත් එය අප කරන වැරැද්දක්. 

ඩොලරය පා කරන්න කියා කියපු අය දැන් පැත්ත පළාතක නෑ කියලා සමහර අය චෝදනා කරනවා. අපි නම් මෙහේ ඉන්නවා. ඒ වගේම, ආණ්ඩුව හා අප අතර කිසිම සම්බන්ධයක් නැතත් මේ කළ දෙය සම්බන්ධව කාට හෝ ප්‍රශ්න තිබේනම් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් අපි සූදානම්. අපි විවේචන කරන්නෙත්, යෝජනා කරන්නෙත් පුද්ගලයින් දිහා බලාගෙන නෙමෙයි. අපේ යෝජනා හා විවේචන සම්බන්ධව අප වගකීම ගන්නවා. 

ඩොලරය ඇත්තටම පා කරලද කියන එක තවමත් පැහැදිලි නැහැ. දැන් ඩොලරයේ මිල නැවතී තිබෙන රුපියල් 260, මට පෙනෙන හැටියට, මාර්ගෝපදේශිත සීමාවක්. ඩොලරයට නිදහසේ ඔහේ ඉහළ යන්න දුන්නත් මේ වෙලාවේ බොහෝ විට රුපියල් 300 ඉක්මවන එකක් නැහැ කියා මම හිතනවා. ඒ මට්ටමට වඩා ඉහළ යාම ආණ්ඩුව විසින් දරා ගනීද කියන එකත් සැක සහිතයි.

කෙසේ වුවත්, කිව යුතු වැදගත්ම කරුණ ඒක නෙමෙයි. ඩොලරය මේ මොහොතේ කවර හෝ මට්ටමකට ඉහළ ගොස් නැවතුනා කියලා එය ඒ මට්ටමේ දිගටම නවතින්නේ නැහැ. ඒ වගේම, ඒ කවර හෝ මට්ටමේ ඩොලරය තියා ගන්න උත්සාහ කළොත් නැවත ප්‍රශ්නයේ මුලට එනවා. ප්‍රශ්නය විසඳිය හැක්කේ ඩොලරයේ මිල ඉහළ යාමට හේතුවන සාධක ඉවත් කිරීමෙන් පමණයි.

ඩොලරය ඉහළ යද්දී බඩු මිල වැඩි වී උද්ධමනය ඉහළ යනවා. උද්ධමනය ඉහළ යද්දී ඩොලරයේ මිල මත වන පීඩනය වැඩි වෙනවා. මෙය චක්‍රීය ලෙස සිදු වන දෙයක්. හරි තැනින් අල්ල ගත්තේ නැත්නම් මේ චක්‍රය කඩන්න බැහැ. මේ සියල්ලට සමාන්තරව විශාල විනාශයකින් අවසන් විය හැකි සමාජ-දේශපාලන අර්බුදයක් අත වනමින් ඉන්නවා. 

මෙය කාටවත් බොර දියේ මාළු බාන්න අවශ්‍ය නැති, බොර වූ දියේ ඉන්න මාළු පීනාගෙන වැල්ලට එන වෙලාවක්. ඒ වගේ වෙලාවක වග කිවයුතු අයෙකු විසින් කළ යුත්තේ ගොඩට එන මාළු අල්ලා නැවත වතුරට වීසි කරන එක වුවත්, තුනපහ දමපු වතුර හට්ටියට ගින්දර දමමින් හට්ටියට මාළු ඇවිද ගෙන එන තුරු බලා සිටින අය මිසක් මාළුන්ව නැවත වතුරට දමන අය අඩුයි. ඒකට කාටවත් වරදක් කියන්නත් බැහැ.

මෙය විසඳිය හැකි ප්‍රශ්නයක්. මේ විෂම චක්‍රය කැඩිය හැකියි. එහෙත්, ඒ සඳහා ගෙවිය යුතු මිල මේ මොහොතේ ගෙවන්න වෙනවා. නිවැරදි වැඩ පිළිවෙලක් නැතිව ආණ්ඩුව එලවලා ගෙදර යැවුවා කියලා මෙහි වෙනසක් වෙන්නේ නැහැ. විස්තරාත්මකව ලිවිය හැකි හා ලිවිය යුතු දිගුකාලීන විසඳුම හා එකඟ වන, මේ මොහොතේ අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ පිළිබඳ කෙටි සාරාංශයක් මේ ලිපියෙන් අප ඉදිරිපත් කරනවා.

එජාපය ආණ්ඩුව හා එක් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කසුකුසුවක්ද ඇහෙනවා. මෙය එජාපය විසින් රේල් පාර දිගේ දුවගෙන ගොස් බ්‍රේක් නැතුව අපායට යන කෝච්චියක ගාඩ් පෙට්ටියේ එල්ලීමක් වුවත් මේ වෙලාවේ රට ගැන හිතනවානම් කළ හැකි හොඳ වැඩක්. එවැනි ආණ්ඩුවකට අප යෝජනා කරන ආකාරයේ විසඳුමකට එකඟ වීම අපහසු නොවෙන්න පුළුවන්.

දළ වශයෙන් ගත්තොත් එජාපය විණිමය අනුපාතය පා කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. දිගින් දිගටම විණිමය අනුපාතය පා කිරීම වෙනුවෙන් පෙනී සිට ඇති අයෙකු වුවත්, මේ මොහොතේ ඕනෑම කොන්දේසියක් යටතේ ඕනෑම තරමකට ඩොලරයේ මිල ඉහළ යන්න ඉඩ ඇරීම වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැහැ. ලේන්නු හිටිය යුත්තේ කැලේ මිසක් කූඩු වල නෙමෙයි. එහෙත්, කූඩුවක කාලයක් තිස්සේ හැදූ ලේන් පැටියෙක් එකවර කැලේට අත ඇරියොත් වෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

මේ වෙලාවේ විණිමය අනුපාතය කීයට ගියත් උන්ඩියල් නවත්තන්න බැහැ. උන්ඩියල් ගනුදෙනු කියන්නේ තනිකරම නිදහස් ගනුදෙනු. ඊට සාපේක්ෂව නියාමනය කියන්නේ කෘතීම දෙයක්. මිනිස්සු උන්ඩියල් ක්‍රම භාවිතා නොකර බැංකු පද්ධතිය භාවිතා කරන්න ප්‍රධානම හේතුවක් වුනේ අතිශයෝක්තියට නංවා තිබුණු උන්ඩියල් ක්‍රම වල අවදානම නිසා ඇතිව තිබුණු බොරු බියයි. මහ බැංකුව විසින් මේ වන විට මිනිසුන් තුළ වූ ඒ බිය පහ කර තිබෙනවා.

ටවුමේ බාර් එකෙන් වැඩි මිලට සීල් බෝතලයක් බොන හැමෝම ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු බොන්න යන්නේ නැහැ. ඒ අය කොලිටියක් නැති කසිප්පු බොන්න බය නිසා වැඩි මිලක් ගෙවලා, ආණ්ඩුවට බදු ගෙවලා සීල් බොනවා. සීල් විතරක්ම බොන, නීති විරෝධී මත්පැන් කවදාවත් නොබීපු කෙනෙක් දංකොටුව ස්පෙෂල් ගැන හිතන්නෙත් ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු වගේ දෙයක් කියලා. 

ආණ්ඩුව හිටපු ගමන් බාර් වහනවා. දැන් කොහෙන් හෝ නීති විරෝධී මත්පැන් බෝතලයක් හොයා ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. ඔහොම හොයා ගෙන යද්දී දංකොටුව ස්පෙෂල් බෝතලයක් හම්බ වෙනවා. ඒක ඇළ ලඟ ගෙදර ගුණේ පෙරන කසිප්පු වගේ දෙයක් නෙමෙයි. කලින් බීපු සීල් බෝතලේ එක්ක බැලුවහම පේන්න කිසිම වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ ගෙවිය යුතු මිලේ විතරයි. මෙච්චර දවස් ආණ්ඩුවට බදු ගෙවලා තියෙන්නේ නිස්කාරණේ!

පහුගිය කාලයේ උන්ඩියල් වලට පුරුදු වුනු මිනිස්සු දැන් උන්ඩියල් අත අරින්නේ නැහැ. එය බලෙන් නවත්වන්නත් කිසිම පුළුවන්කමක් නැහැ. උන්ඩියල් නැති වෙන්නේ ලංකාවේ ඕනෑම කෙනෙකුට ළඟ බැංකුවට ගිහින්, ලියකියවිලි කිසිවක් නොපෙන්වා, රුපියල් ගෙවා ඩොලර් හෝ වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදලක් මිල දී ගන්න හැකි වූ දවසටයි. පොළෙන් වට්ටක්කා ගන්නවා වගේ ඕනෑම කෙනෙක්ට ඒ විදිහට ඩොලර් ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ කවදාවත් තිබුණේ නැහැ. කවදාවත් නොතිබුණු එවැනි තත්ත්වයක් මේ වගේ වෙලාවක ඇති කරන්න බැහැ. 

රට ඇතුළේ ඩොලර් අවශ්‍ය හැමෝටම නිදහසේ ඩොලර් මිල දී ගන්න නොහැකි තාක් කල් උන්ඩියල් ඩොලර් වලට ඉල්ලුමක් තිබෙනවා. ඒ ඉල්ලුම තිබෙන තුරු උන්ඩියල් සැපයුමද නවතින්නේ නැහැ. බැංකු වල මිල කීයට ගියත් උන්ඩියල් කරුවෝ ඊට වඩා රුපියලක් හරි ගෙවනවා. එහෙම තියෙද්දී මෙතෙක් කල් ගොඩක් අය අඩුවට ලංකාවට ඩොලර් එවුවේ උන්ඩියල් වලට තිබුණු බය නිසා. දැන් ගොඩක් අය ඒ බය ඇරගෙන. වැඩි අවදානමක් නැත්නම් එක රුපියලක් හෝ අඩුවෙන් ලබා ගන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ.

හැබැයි එයින් අදහස් වෙන්නේ රුපියල අවප්‍රමාණය කරපු එකේ කිසිම තේරුමක් නැහැ කියන එක නෙමෙයි. මම මීට පෙර ලිපියකත් කිවුවා වගේ, ඩොලරයේ මිල ඉහළ යන්න නොදීම නිසා ලංකාවට එන එක නැවතුණු ඩොලර් ප්‍රමාණයක් තියෙනවා. මේ විදිහට ඩොලර් එවන එක නැවැත්වූ හෝ පමා කළ අය නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. කීයට හෝ ගිහින් ඉදිරි සතිය තුළ ඩොලරයේ මිල ස්ථාවර වීමෙන් පසුව ඔවුන් නැවත ලංකාවට ඩොලර් එවයි. මෙය විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමේ ක්ෂණික හා සෘජු වාසියක්. ඒ ඩොලර් ටික රටට අද්ද ගන්න මේ වෙද්දී සිදු වුනු අවප්‍රමාණය වීම හොඳටම ප්‍රමාණවත්. 

ඉදිරි සතිය තුළ ඩොලරයේ මිල ස්ථාවර වීමෙන් පසුව කළ යුත්තේ, සැලසුමක් ඇතිව, අවම වශයෙන් මසකට 2-3% අතර ප්‍රමාණයකින් ඩොලරයේ මිල ඉහළ යන්නට සැලැස්වීමයි. එසේ ඉඩ හරිමින්, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතුයි. ඉදිරි වසර තුළ උද්ධමනය 24-36% මට්ටමකට යාම නොවැලැක්විය හැකියි. ඒ කියන්නේ මාසයකට 2-3%කින් රුපියලේ දේශීය අගය පිරිහීමක්. රුපියලේ විදේශ අගය තුළද ඒ වෙනස පිළිබිඹු විය යුතුයි. යම් හෙයකින් උද්ධමනය මීට වඩා වැඩි වන්නේනම් ඩොලරයේ මිලද අනුරූපී ලෙස ඉහළ යාමට සැලැස්විය යුතුයි. මෙය අවම අවශ්‍යතාවයක්. ඩොලරය මීට වඩා වැඩියෙන් අවප්‍රමාණය වන්නේනම් එය වඩා සුදුසුයි. 

අවම වශයෙන් 2023 මාර්තු මාසය දක්වා උද්ධමනය ඉහළ මට්ටමක පැවතෙනු ඇති බැවින් ඒ කාලය තුළ මේ අයුරින් ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ හැරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉන් පසුව, එන හැටියට මේ පරාමිතීන් සීරුමාරු කර ගත හැකියි. වෙළඳපොළට අවශ්‍ය වන්නේ ස්ථාවරත්වයයි. ඩොලරය කීයක් වෙයිද යන අවිනිශ්චිතතාවයට සාපේක්ෂව මසකට 2-3% අතර ප්‍රමාණයකින් ඉහළ යාම ස්ථාවර තත්ත්වයක්. 1997-2006 පමණ දක්වා මෙන්ම 2015-2019 අතරද තිබුණේ අඩු වැඩි වශයෙන් එවැනි ස්ථාවරත්වයක්.

ගෙවුම් ශේෂ ප්‍රශ්න වලින් ස්ථිර ලෙසම මිදෙන්නටමනම් ලංකාව ඩොලර් බිලියන 50ක පමණ විදේශ සංචිතයක් ගොඩ නගා ගත යුතුයි. මේ වෙලාවේ සිහිනයක් සේ පෙනුණත්, විණිමය අනුපාතය හිර කර ගෙන රට ගොඩ නැගිය හැකිය යන "වියත් බාගයේ" ප්‍රඥාව ඉවත ලීමෙන් පසුව මෙය පැහැදිලි ලෙසම කළ හැක්කක්. නිසි මාර්ගයේ යන්නේනම්, කැට හොලවා විදේශික ශ්‍රී ලාංකිකයින්ගෙන් සල්ලි එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩොලර් ඉතිරි කරන්න ඇපල් මිදි තහනම් කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. 

මහ බැංකුව විසින් වසර පහක කාලයක් පුරා මසකට ඩොලර් මිලියන 500 බැගින් වෙළඳපොළෙන් මිල දී ගත්තොත් වසර පහක් යද්දී ඩොලර් බිලියන 30ක් එකතු වෙලා. ඩොලර් බිලියන 30ක සංචිතයක් හදාගත්තොත් ඉතුරු ඩොලර්බිලියන 20 රටට එන්නේ පියඹාගෙනයි. ඔය වැඩේ කළොත් රටේ ආනයන අපනයන පරතරය නිකම්ම නැති වෙලා යනවා. 

මාසයකට ඩොලර් මිලියන මිලියන 500ක් කියා කියන්නේ සාමාන්‍යයෙන් රටට මාසයකට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා, මෙය කළ හැක්කක්. ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර් ටික වෙළඳපොළෙන් ඉවත් කර ගත් විට වෙළඳ ගිණුමට හා සේවා ගිණුමට සමතුලිත වෙන්න සිදු වෙනවා. ආනයනික භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී, අපනයන ආදායම් වැඩි නොවුනත්, ආනයන වියදම් පහළ යාම නිසා ඔය වැඩේ වෙයි. ආනයන තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින අයට මේ ක්‍රමයට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. පරපෝෂිත මධ්‍යම පංතියට ටිකක් නෙමෙයි ගොඩක් රිදෙයි!

සංචිත ගොඩ නගා ගැනීම පැත්තකින්ම තිබ්බත් ඉදිරි වසර වල වසරකට ඩොලර් බිලියන පහ හයක ණය ගෙවන්න තිබෙන නිසා ඔය ඩොලර් ප්‍රමාණය කොහොමටත් වෙළඳපොළෙන් ඉවත් කර ගන්නම වෙනවා. ණය ගෙවන්න තිබෙන දවස් දන්න නිසා මහ බැංකුවට මේ වැඩේ කලින් සැලසුම් කරන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල වෙන්නෙත්, නිදන් අරමුදල් ක්‍රමය අහෝසි කරන තුරු ලංකාවේ වුනෙත් ඔය වගේ වැඩක්.

ඩොලරයේ මිල ඉහළ යද්දී මිනිස්සු ආයෝජනයක් විදිහට වැඩි වැඩියෙන් ඩොලර් මිල දී ගන්න පෙළඹෙනවා. ඒ නිසා, ඩොලරයේ මිල කීයට ගියත් රටේ ඩොලර් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය නොවිසඳා කොහොමටවත්ම ඉදිරියට යන්න බැහැ. අනෙක් ප්‍රශ්න වගේම මේ ප්‍රශ්නයත් විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. 

ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ දෙන්න සිදු වී තිබෙන මේ මොහොතේ අනිවාර්යයෙන්ම කරන්නට සිදු වන ඊළඟ දෙය පොලී අනුපාතික 28-40% පමණ මට්ටමකට හෝ ඊට වඩා වැඩි මට්ටමකට ඉහළ දැමීමයි. මෙම පොලී අනුපාතික අවම වශයෙන් වසරක කාලයක් දක්වා එම මට්ටමේ පවත්වා ගන්න වෙනවා. රටේ ඩොලර් ඉල්ලුම පාලනය කර, උන්ඩියල් ක්‍රම අධෛර්යමත් කර, ඩොලරයේ මිල දිගින් දිගටම පාලනයකින් තොරව ඉහළ යාම වලක්වා ගත හැකි එකම ක්‍රමය එයයි. ආණ්ඩුව හෝ මහ බැංකුව විසින් කීයටවත් පොලී අනුපාතික මෙවැනි මට්ටමකට වහාම ඉහළ දමයි කියා මම හිතන්නේ නැහැ. හැබැයි එසේ නොකළොත්, අන්තිමට හිර වෙලා ඩොලරය අත ඇරියා වගේම, පොලී අනුපාතිකත් ඉහළ දමන්නම වෙනවා. ඥානක්කා පල්ලා සහතිකයි!

පොලී අනුපාතික එලෙස ඉහළ දැමිය යුත්තේ ඇයි?

මේ වෙලාවේ රටේ ඩොලර් වලට ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් තියෙන්නේ ඩොලරයේ මිල ඉදිරි කාලයේදී දිගින් දිගටම ඉහළ යාම අනිවාර්ය බව කාට වුවත් පැහැදිලිව පේන නිසයි. පළමුව මේ වෙළඳපොළ අපේක්ෂාවන් නිශ්චිත සීමාවක බැඳ තැබිය යුතු බව මම කිවුවා. මා යෝජනා කළ සීමාව මසකට 2-3%කින් ඩොලරයේ මිල ඉහළ යාමට ඉඩ හැරීමක්. වසරකට 24-36%ක වැඩි වීමක්. මෙහිදී රුපියල් ගෙවා ඩොලර් මිල දී ගෙන ඩොලර් අතේ තියා ගන්නා අයෙකුට වසරකට 24-36%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. නමුත්, පොලී අනුපාතික 28-40% මට්ටමේ ඇත්නම්, මේ රුපියල් රුපියල් ලෙස බැංකුවක තියා ගැනීමෙන් ඊට වඩා 4%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ නිසා, ඩොලර් මිල දී ගැනීම පාඩුයි. මේ පරතරය මීටත් වඩා වැඩි කළ හැකිනම් ප්‍රතිඵල තවත් ඉක්මන් වෙයි.

ඩොලරයක මිල ස්ථාවර කර ගැනීම සඳහා මේ මොහොතේ ක්ෂණිකව ගත යුතු, අවශ්‍යම හා වැදගත්ම දෙවන ක්‍රියාමාර්ගය පොලී අනුපාතික විශාල ලෙස වැඩි කිරීමයි. ඒ හරහා, විණිමය අනුපාතය පාලනය කිරීමට අමතරව මුදල් සැපයුම පාලනය කිරීම හරහා උද්ධමනයද පාලනය කළ හැකියි. මේ දේවල් කරද්දී මතු වන අතුරු ප්‍රශ්න තිබෙනවා. ඒ අතුරු ප්‍රශ්න ගැන අප දැනුවත්. ඒ අතුරු ප්‍රශ්න වලටද විසඳුම් තිබෙනවා. 

Thursday, March 10, 2022

දෙසිය තිහට දෙසිය හැටක් රුපියල් බෝ වේවා!


මහ බැංකුව විසින් රුපියල අවප්‍රමාණය කරන්න තීරණය කරලා දවසක් යද්දී ඩොලරය රුපියල් 260 දක්වා ගිහින්. මෙයින් පෙනෙන්නේ එක පැත්තකින් හතර අතේ නෙලනවා ඇරෙන්න ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නැති බව. අනෙක් පැත්තෙන් මහ බැංකුව හා ආණ්ඩුව අතර නිසි සම්බන්ධීකරණයක් නැති බව. 

ඊයේ මහ බැංකුව විසින් කරන්න අදහස් කර තිබුණේ ඩොලරය රුපියල් 230 දක්වා යන්න ඉඩ අරින එක මිසක් රුපියල පා කිරීම නොවන බව ඉතා පැහැදිලියි. මහ බැංකු නිවේදනයේ ඒ බව සංඥා කර තිබුණා. එහි කියා තිබුණේ ඩොලරය රුපියල් 230 සීමාවේ රඳවා ගන්නා බව නෙමෙයි කියා දැන් ඕනෑනම් තර්ක කරන්න පුළුවන්. මමනම් හිතන්නේ ඊයේ අපේක්ෂා කළේ ඒකම තමයි.

සාමාන්‍යයෙන් වාණිජ බැංකු හා මහ බැංකුව අතර හොඳ සන්නිවේදනයක් සිදු වෙනවා. මහ බැංකුව කියන දේ පැහැදිලි නැත්නම් ඉතා පහසුවෙන්ම දුරකථන ඇමතුමක් දීලා අදහස් කළ දේ පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම, ලංකාවේ අන්තර්-බැංකු වෙළඳපොළ කෙරෙහි රාජ්‍ය බැංකු වලට විශාල බලපෑමක් කළ හැකියි. මහ බැංකුව විසින් ඩොලරය නිදහස් කිරීමෙන් පසුව වුවත් රාජ්‍ය බැංකු හරහා වක්‍ර ලෙස ඩොලරයේ මිල පාලනය කරන්න පුළුවන්.

ඊයේ සහ අද රාජ්‍ය බැංකු වල හා අනෙකුත් ප්‍රධාන වාණිජ බැංකු වල හැසිරීමෙන් පෙනෙන්නේ ඩොලරයේ මිල ඊයේ දවස තුළ රුපියල් 230 දක්වා යන්න ඉඩ ඇරලා, අද ඒ සීමාව රුපියල් 260 දක්වා උස්සා ඇති බවයි. හෙට වන දෙය බලන්න වෙන්නේ හෙටයි. 

මහ බැංකුවට අනුව අද දිනයේ වාණිජ බැංකු වල ඩොලරයක බරිත සාමාන්‍ය විකිණුම් මිල රුපියල් 259.9999යි. ගැනුම් මිල 249.9603යි. මේවා මාර්ගෝපදේශිත අනුපාතික (guided rates) බව බැලූ බැල්මටම පේනවා. අද දිනයේ උත්සාහ ගෙන තියෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 සීමාවේ හා විකිණුම් මිල රුපියල් 260 සීමාවේ තියා ගන්නයි. ඇතැම් වාණිජ බැංකු වල විකිණුම් මිල මීටත් වඩා වැඩියි. ගැණුම් මිල මීට වඩා අඩුයි. නමුත්, වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වය මේකයි. 

ඉකොනොමැට්ටා වසර ගණනාවක සිටම විණිමය අනුපාතය අවප්‍රමාණය කළ යුතු බව දිගින් දිගටම කියූ අයෙක් බව මෙය කියවන බොහෝ දෙනෙක් දන්නවා. එසේ කිවුවේ ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම්වයි. ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම්ව බැලුවොත් ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 සීමාවේ හා විකිණුම් මිල රුපියල් 260 සීමාවේ තිබීම යෝග්‍ය තත්ත්වයක්. මේ තීරණය කලින් ගත්තානම් විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිව තිබුණා. 

ඒ නැති වුනු ඩොලර් දැන් නැවත ලැබෙන්නේ නැහැ. ගිය නුවණ ආපහු අද්දගන්න දැන් නැදුන්ගමුවේ ඇතාත් නැහැ. එසේ වුවත්, පමා වී හෝ ගත් මේ තීරණය හොඳ තීරණයක්. 

ලංකාවේ රුපියල එක වර වැඩියෙන්ම අවප්‍රමාණය වුනේ 1977 නොවැම්බර් 15 වනදා ඒ වන තුරු පැවති ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කළ විටයි. එවර ඩොලරයක නිල මිල ආසන්න වශයෙන් දෙගුණ වුනා. ඒ වන විට නිල විණිමය අනුපාතය ඩොලරයකට රුපියල් 7.89ක් වුවත්, ඒ මිලට ඩොලර් ලබා ගත හැකි වූයේ අත්‍යාවශ්‍ය ආනයන සඳහා පමණයි. අනෙකුත් කටයුතු සඳහා ඩොලර් මිල දී ගැනීමේදී 65%ක අධිභාරයක් ගෙවිය යුතු වුනා. කළු කඩ මිල ඊටත් වඩා වැඩි වුනා. 

ද්විත්ව විණිමය අනුපාත ක්‍රමය අහෝසි කර ඩොලරයක මිල රුපියල් 16.00 දක්වා අවප්‍රමාණය කිරීමෙන් පසුව පාලිත තත්ත්වයන් යටතේ  ඩොලරය පා කිරීමෙන් පසුව 1977 වසර අවසාන වන විට ඩොලරයක විකිණුම් මිල රුපියල් 15.59 දක්වාත්, ගැණුම් මිල රුපියල් 15.33 දක්වාත් ඉහළ ගියා. අධිභාරයද සමඟ රුපියල් 13.02ක් වූ ඩොලරයක මිල සැලකුවහොත් එම මිල රුපියල් 16.00 වීමේදී රුපියල අවප්‍රමාණය වුනේ 20%කට වඩා අඩුවෙන්.

ඉන් පසුව ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ ගියේ 2001 ජනවාරි 23 දින ඩොලරය පා කිරීමෙන් පසුවයි. රුපියල් 80 පමණ මට්ටමක තිබුණු ඩොලරය පා කිරීමෙන් පසුව රුපියල් 96 පමණ මට්ටමකට ඉහළ ගොස් පසුව රුපියල් 88ක පමණ මට්ටමක ස්ථාවර වුනා. මේ ගණන් මට හරියටම මතක නැතත් එවර රුපියල අවප්‍රමාණය වුනේ 10%කට මඳක් වැඩි ප්‍රමාණයකින් පමණයි.

මගේ විශ්වාසය වන්නේ ඊයේ ඩොලරය නිදහස් කරන්නට පෙර මහ බැංකුව විසින් 1977දී හා 2001දී සිදු වූ දෙය පූර්වාදර්ශ සේ සලකමින් ඩොලරයේ මිල 15%කට වඩා ඉහළ නොයවා පාලනය කර ගන්නට හැකි වනු ඇතැයි සිතන්නට ඇති බවයි. එහෙත්, අද රටේ තත්ත්වය 1977 තත්ත්වයට වගේම 2001 තත්ත්වයටද වඩා බොහෝ දරුණු තත්ත්වයක්. 

ඩොලරය පා කිරීමට හේතු වූ 2001 ගෙවුම් ශේෂ අර්බුදයට ලංකාවට මුහුණ දීමට සිදු වුනේ ලංකාවේ හා ඇමරිකාවේ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා දෙකක ප්‍රතිඵලයක් ලෙසයි. එම වසරේ පළමු කාර්තු දෙක තුළ ආර්ථිකය සාමාන්‍ය පරිදි වර්ධනය වුවත්, ජූලි මාසයේදී කටුනායක ගුවන් තොටුපොළට හා ගුවන් හමුදා කඳවුරු වලට එල්ල වූ ප්‍රහාර වලින් පසුව රක්ෂණ හා ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් ආනයන හා අපනයන වෙළඳාමට මෙන්ම සේවා වෙළඳාමටද විශාල බලපෑමක් සිදු වුනා. එහි හානියෙන් යාන්තමින් ගොඩ එමින් සිටියදී කොරේ පිටට මරේ කීවාක් මෙන් සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ ලෝක වෙළඳ සංකීර්ණයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුනා. ගුවන් ගමන් රෙගුලාසි දැඩි වී ප්‍රවාහන පිරිවැය ඉහළ ගියා. ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකාවේ හා යුරෝපයේ වූ ඉල්ලුම අඩුවුනා.

නිදහසින් පසු පළමු වරට ආර්ථිකය සංකෝචනය වූ 2001 වසරේදී එය එසේ සිදු වීමට ප්‍රධානම හේතුව වසරේ දෙවන අර්ධය තුළ ආනයන අපනයන වෙළඳාම පහත වැටීමයි. ආනයන අපනයන වෙළඳාමේ වූ අඩුවීම නොවන්නට එම වසරේදීද ආර්ථික වර්ධනය ධන අගයක්. ගෙවුම් ශේෂ අර්බුදයට හේතු වූයේ මේ නිසා රටේ ඇති වූ තාවකාලික ඩොලර් හිඟයයි. විණිමය අනුපාතය පා කිරීමෙන් පසුව රටට ඩොලර් ගලා විත් ප්‍රශ්නය විසඳුනා.

දැන් රටේ ප්‍රශ්නය 2001දී පැවති ආකාරයේ තාවකාලික ප්‍රශ්නයක් නෙමෙයි. මෙය කාලයක් තිස්සේ ගොඩ නැගුණු ආකෘතිමය ප්‍රශ්නයක්. ප්‍රශ්නය විසඳීම සඳහා විණිමය අනුපාතය පා කළ යුතු වුවත්, එය අනිවාර්ය අවශ්‍යතාවයක් මිසක් කිසිසේත්ම ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. අර්බුදයෙන් ගොඩ යාම සඳහා විණිමය අනුපාතය පා කිරීමෙන් අනතුරුව තවත් බොහෝ දේ කළ යුතුයි.

දින දෙකක කාලයක් තුළ මුදල් ඒකකයක වටිනාකම 25%කින් පමණ අඩු වීම ලංකා ඉතිහාසය වගේම ලෝක ඉතිහාසය දිහා බැලුවත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මුදලක වටිනාකම එකවර එපමණ අඩු වීම දුලබ සිදුවීමක්. ඩොලරයේ මිල 260 මට්ටමේ නවතියි කියන එක පිළිබඳවත් කිසිම සහතිකයක් නැහැ. කොහොම වුනත්, ඩොලරයේ මිල රුපියල් 230 මට්ටමේ රඳවා නොගෙන රුපියල් 260 දක්වා යන්න ඉඩ දුන්නා කියන එකෙන් පෙනෙන්නේ රුපියලට පාවෙන්න ඉඩ දෙන තැනට ආණ්ඩුව හා මහ බැංකුව පත් වී සිටින බවයි.

මේ තීරණයෙන් පසුව ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළේත් ක්ෂණික හැරවුමක් පෙනෙන්න තිබෙනවා. නැවත බැඳුම්කර වෙළඳපොළ වෙත යා හැකි තත්ත්වයක් ඇති බව එයින් කෙසේවත් අදහස් නොවෙතත් යාන්තමින් හෝ විශ්වාසය ගොඩ නැගීමක් මෙයින් ප්‍රදර්ශනය වෙනවා.

ඩොලර් එක පා කළා කියන්නේ ලෝක විනාසයද? ඊයේ සහ අද මිල ඉහළ ගිය සෑම්පලේට දවසට රුපියල් 30 ගාණේ ඉහළ ගිහින් ඩොලරයක මිල රුපියල් පන්සීයට විතර යයිද? 

නෑ. එහෙම වෙන්නේ නැහැ. ඔය මිල තව ටිකක් ඉහළ ගිහින් ස්ථාවර වෙයි. බොහෝ විට තුන් සීය පනින එකක් නැහැ. හැබැයි ඩොලර් එක පා කළා කියලා ආර්ථිකයේ තියෙන අට අනූවක් නිදන්ගත රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු ආන්තරා සියල්ල එක රැයින් සමනය වෙන්නේ නැහැ. දැන් ඒවා ගැන හිත යොමු කළ යුතුයි. 

ඊට කලින් හෙට වෙන්නේ මොකක්ද කියලා බලා ඉඳිමු. දෙසිය හැටේ නැවතිලා තියෙන්නේ මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේනම් හෙට තව ටිකක් මිල ඉහළ යයි. එහෙම නැත්නම් හෙට වෙද්දී මිල ස්ථාවර වෙන්න පුළුවන්.

Tuesday, March 8, 2022

තිස් අටක් ගෙවා ඉල්ලං කයිද?


ලංකාවේ වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිල මේ වන විට රුපියල් 230 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව විසින් දැනුම් දුන්නේ ඩොලරය නිදහස් කරන බව හා එසේ වුවද ඩොලරයක මිල රුපියල් 230 ඉක්මවනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි. මහ බැංකුව විසින් සෘජුව වාණිජ බැංකු වලට කතා කර හෝ සංඥාත්මක ලෙස රුපියල් 230ක උපරිම මිලක් පනවා ඇති බව පැහැදිලියි. 

පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් (clean float) යටතේ විණිමය අනුපාතය (ඩොලරයක මිල) තනිකරම තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මතයි. බටහිර රටවල තිබෙන්නේ මෙවැනි ක්‍රමයක්. පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ කිසිදු විටෙක රටේ ඩොලර් හිඟයක් හෝ ඩොලර් අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ. නිල සංචිත විශාල ලෙස එකතු වීමක් වෙන්නෙත් නැහැ. එසේ සංචිත නොතිබීම ඒ හේතුව නිසාම රටේ ආර්ථිකයට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. එහෙත්, මෙවැනි ක්‍රමයක් යටතේ ලංකාව වැනි කුඩා හා පටු ආර්ථිකයක් ඇති රටක විණිමය අනුපාතය කෙටි කාලාන්තර තුළ රටට ඔරොත්තු නොදෙන සේ විචලනය විය හැකියි.

පිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් ලංකාවේ කවදාවත්ම ක්‍රියාත්මක වී නැහැ. ඉතා කෙටි කාලාන්තර තුළ ලංකාවේ  විණිමය අනුපාතය තනිකරම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වී ඇතත්, යම් සීමාවකින් ඔබ්බෙහිදී හැම විටම වගේ මහ බැංකුවේ මැදිහත්වීම් දැකිය හැකි වුනා. 

අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයකදීද (dirty float) විණිමය අනුපාතය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වුවත්, මහ බැංකුව විසින් විටෙක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම හා තවත් විටෙක එම සංචිත විකුණා වෙළඳපොළට ඩොලර් මුදා හැරීම හරහා වෙළඳපොළ සැපයුම පාලනය කරනවා. ඒ හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාව වෙනස් කර වක්‍ර ලෙස ඩොලරයක මිල පාලනය කරනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසය පමණ දක්වා ලංකාවේ ක්‍රියාත්මක වූ විණිමය ප්‍රතිපත්තිය හැඳින්විය හැක්කේ අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් ලෙසයි. 

අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ සංචිත එකතු කර ගනිමින් රුපියල (හෝ වෙනත් රටකනම් එම රටේ ව්‍යවහාර මුදල) එහි නියම වටිනාකමට වඩා අඩු මට්ටමක පවත්වා ගත හැකියි. ජපානය, චීනය වැනි රටවල් කාලයක සිට කරන්නේ මෙයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපනයන ඉහළ ගොස් ආනයන අඩු වෙනවා. රට තුළ ඩොලර් (හා වෙනත් විදේශ විණිමය) ගොඩ ගැසෙනවා. ඒ වගේම, අවශ්‍ය අවස්ථා වලදී මේ සංචිත විකුණා මුදලේ අගය අධිප්‍රමාණය කළ හැකියි. 

සාමාන්‍යයෙන් අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් අනුගමනය කරන රටවල් එසේ කරන්නේ දිගුකාලීනව වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය තීරණය වීමට ඉඩ දෙන අතරම ඉතා කෙටි කාලාන්තර තුළ විණිමය අනුපාතයේ සිදු විය හැකි උච්ඡාවචනයන් පාලනය කිරීමටයි. 

උදාහරණයක් ලෙස ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවෙන් මාස තුනක කාලයකට  ඩොලර් බිලියනයක ණයක් අරගෙන ඒ ඩොලර් ප්‍රමාණය එක වර විකිණුවොත් ක්ෂණිකව රට ඇතුළේ ඩොලර් සැපයුම විශාල ලෙස ඉහළ යනවා. ඊට අනුරූපව ඉල්ලුම ඉහළ නොයන නිසා ඩොලරයේ මිල විශාල ලෙස පහත බසිනවා. ඉන් පසු, තෙමසකින් පසුව ණය ගෙවීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් බිලියනයක් මිල දී ගැනීමේදී මෙහි අනෙක් පැත්ත සිදු වී ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යනවා.

මහ බැංකුව මැදිහත් වී මුල් අවස්ථාවේදී ඩොලර් බිලියනය මිල දී ගෙන මාස තුනකට පසුව එම ඩොලර් ප්‍රමාණය නැවත විකිණීම මගින් විණිමය අනුපාතයෙහි ඉහත කී උච්ඡාවචනය වීම නවත්වා ගත හැකියි. එයින් දිගුකාලීන සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. මේ ක්‍රමය පාලිත විණිමය අනුපාත ක්‍රමය ලෙසද (managed float) හැඳින්වෙනවා. මා හිතන විදිහට එජාප/සජබ පෙනී සිටින්නේ මෙවැනි අපිරිසිදු පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් වෙනුවෙන්. 43 බලකායද එවැනි ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටිනවා විය හැකියි. 

අපිරිසිදු විණිමය අනුපාතික ක්‍රමයක් අනුගමනය කිරීමේදී විණිමය පාලකයින් (මහ බැංකුව) විසින් වෙළඳපොළ සමතුලිතතාවය හා තාවකාලික උච්ඡාව්ඡාවචනයන් අතර වෙනස නිවැරදිව හඳුනා ගත යුතුයි. එහෙත්, බොහෝ විට ලංකාවේදී ප්‍රායෝගිකව දැකිය හැක්කේ උච්ඡාව්ඡාවචනයන් පාලනය කිරීමෙන් ඔබ්බට ගොස්, වෙළඳපොළට එරෙහිව, විණිමය අනුපාතය හිතුමනාපයට පාලනය කිරීම සඳහා සංචිත භාවිතා කිරීමේ උත්සාහයක්. මෙවැනි තත්ත්වයක් යටතේ ලංකාවේ ක්‍රමය අපිරිසිදු විණිමය අනුපාතික ක්‍රමයක් ලෙස නොපැවතී යම් තරමකින් ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් බවට පත් වෙනවා.

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයකදී මාර්ගෝපදේශන මූලධර්මය (guiding principle) වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම නෙමෙයි. මෙහිදී කිසියම් බලධාරියෙකු විසින් "තිබිය යුතු" විණිමය අනුපාතය තීරණය කරනවා. මෙය හරියටම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන විණිමය අනුපාතය වීම සිදු නොවිය හැකි තරමේ අහම්බයක් පමණක් නිසා, මෙහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස රට තුළ ඩොලර් අතිරික්තයක් හෝ හිඟයක් ඇති වෙනවා. 

ඩොලර් අතිරික්තයක් ඇති වූ විට එම ඩොලර් ප්‍රමාණය සංචිත වලට එකතු කරගෙන පහසුවෙන් ප්‍රශ්නය විසඳා ගත හැකියි. එහෙත්, ඩොලර් හිඟයක් ඇති වූ විට ප්‍රශ්නය පාලනය කර ගත හැක්කේ සංචිත තිබෙන සීමාව දක්වා පමණයි. ඉන් පසුව, ආනයන පාලනය වැනි දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදු වෙනවා. 

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ, විණිමය අනුපාතය විණිමය පාලකයින් විසින් සිතන පරිදි "තිබිය යුතු" මට්ටමේ පවත්වා ගැනීම සඳහා විශාල සංචිත ප්‍රමාණයක් නාස්ති කිරීමෙන් හා ආනයන සීමා ආදිය පැනවීමෙන්ද පසුව තව දුරටත් මේ කාර්යය අපහසු වෙද්දී ඔවුන්ට විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීමට සිදු වෙනවා. මෙහිදී මා සිංහලෙන් අවප්‍රමාණය යන වචනය යොදා ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ devaluation යන අර්ථයෙන්.

මේ වන විට සිංහලෙන් අවප්‍රමාණය යන වචනය භාවිතා වෙන්නේ ඉංග්‍රීසියෙන් depreciate යන අර්ථයෙන්. එමෙන්ම, appreciate යන අර්ථය දීමට අධිප්‍රමාණය යන වචනය භාවිතා වෙනවා. විණිමය අනුපාතය appreciate හෝ depreciate විය හැක්කේ පාවෙන විණිමය අනුපාතික ක්‍රමයක් යටතේ පමණයි. ඒ නිසා, appreciate හෝ depreciate වීමක් මිස appreciate හෝ depreciate කිරීමක් කියා දෙයක් නැහැ. මේ අර්ථයෙන් සිංහල වචන යොදා ගත්තොත් අවප්‍රමාණය හෝ අධිප්‍රමාණය වීමක් මිසක් අවප්‍රමාණය හෝ අධිප්‍රමාණය කිරීමක් ගැන අපට කතා කළ නොහැකියි. එය වෙළඳපොළ අදිසි හස්තය විසින් තීරණය කරන දෙයක්.

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ පාලකයෙකු විසින් හිතා මතා විණිමය අනුපාතය වෙනස් කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් යොදා ගැනෙන්නේ devalue හා revalue යන වචනයි. මා හිතන හැටියට සිංහලෙන් අවප්‍රමාණය හා අධිප්‍රමාණය යන වචන මුලින්ම නිර්මාණය වී තිබෙන්නේ devalue හා revalue යන අර්ථ සැපයීමටයි. 2001 වසරේදී පාවෙන විණිමය අනුපාත ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව appreciate හා depreciate යන වචන සඳහා අලුතෙන් සිංහල වචන හදා නොගෙන අවප්‍රමාණය හා අධිප්‍රමාණය යන වචනම ඒ වෙනුවෙන්ද භාවිතා කළා විය හැකියි.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ලංකාවේ ක්‍රියාත්මකව තිබෙන්නේ අපිරිසිදු විණිමය අනුපාතික ක්‍රමයකට වඩා ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි ක්‍රමයක්. නිල හැඳින්වීම එලෙස නොවිය හැකියි. ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ විණිමය අනුපාතය අවප්‍රමාණය (devalue) කරනවා මිස අවප්‍රමාණය වීමක් (depreciate) වෙන්නේ නැහැ. දැන් සිදුව තිබෙන්නේ ඩොලරයක මිල රුපියල් 200 සිට රුපියල් 230 දක්වා වෙනස් කිරීමක් මිස වෙනස් වීමක් නෙමෙයි. මේ 200 හා 230 යන මිල ගණන් දෙකම "තිබිය යුතු" මිල ලෙස පාලකයින් විසින් තීරණය කළ මිල ගණන් මිසක් වෙළඳපොළ ඉල්ලුම හා සැපයුමට සම්බන්ධ මිලක් නෙමෙයි.

ස්ථිර විණිමය අනුපාත ක්‍රමයක් යටතේ මුදල් ඒකකයක් අවප්‍රමාණය (devalue) කර තිබීම හරහා කිසියම් රටක් විසින් ප්‍රදර්ශනය කරන්නේ වෙළඳපොළට එරෙහිව යාමට උත්සාහ කර, එය කර ගත නොහැකිව ඇණ ගැනීමෙන් පසුව, නොකර බැරි නිසා මුදලේ අගය අවප්‍රමාණය කිරීමට සිදු වී ඇති බව මිස ප්‍රතිපත්තියක් ලෙස වෙළඳපොළ පිළිගෙන ඇති බව නෙමෙයි. 

මම හිතන විදිහට ජවිපෙ/ජාජබ මෙන්ම "හරිමග" කණ්ඩායම විසින්ද ඩොලරයේ මිල ඉහළ දැමිය යුතු බව කියා සිටියේ මෙවැනි අර්ථයකින්. ඒ කියන්නේ, ඔවුන්ට අනුව ඩොලරයක මිල "තිබිය යුතු" තැන රුපියල් 200 නෙමෙයි. මේ මිල රුපියල් 200 වුවත්, රුපියල් 400 වුනත්, මේ ආර්ථික දෘෂ්ඨිවාදය එකක් මිස දෙකක් නෙමෙයි. මේ සියල්ලන්නම හිතන්නේ ඩොලරයක "හරි මිල" තමන්ට තීරණය කළ හැකි බවයි. ඔවුන් එකඟ නොවන්නේ ඒ "හරි මිල" කීයද කියන එකටයි.

ඇතැම් අය මේ ප්‍රශ්නයම අපෙන්ද අසනවා. 

"එහෙනම් ඉකොනෝ කියන්නේ ඩොලරයේ මිල කීයක් කරන්න කියලද?"

මේ ප්‍රශ්නයම වෙළඳපොළ විරෝධී, වැරදි ප්‍රශ්නයක්. ඩොලරයේ මිල කීයක් කළ යුතුද කියා මට හරියටම කියන්න පුළුවන්නම් මම ඉන්නේත් වෙළඳපොළ විරෝධී ගොඩේ. එවැනි හරි මිලක් ගැන කාටවත්ම කියන්න බැහැ. පාවෙන විනිමය අනුපාත ක්‍රමයේ මූලධර්මය වන්නේම කාටවත්ම හරියටම නිගමනය කළ නොහැකි ඩොලරයක නියම මිල වෙළඳපොල ඉල්ලුම හා සැපයුම මත පදනම්ව සොයා ගැනීමයි.

පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් යටතේ විණිමය වෙළඳපොළක් ක්‍රියාත්මක වන්නේ වෙනත් ඕනෑම නිදහස් වෙළඳපොළක් ක්‍රියාත්මක වන ආකාරයටයි. වෙළඳපොලේ ඩොලර් හිඟයක් ඇත්නම් එයින් පෙනෙන්නේ මිල ඉහළ යා යුතු බවයි. මෙය නිරීක්ෂණය කරන සැපයුම්කරුවන් විසින් තමන් විකුණන ඩොලර් සඳහා ඉල්ලන මිල ඉහළ දමනවා. මිල ඉහළ යනවා. මිල ඉහළ යද්දී ඩොලර් ඉල්ලුම අඩු වී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. විකුණාගන්න බැරි තරම් ඩොලර් අතිරික්තයක් ඇත්නම් එහි අනෙක් පැත්ත වී මිල පහළ යනවා. 

හරි ප්‍රශ්නය "ඩොලරයක මිල කීයක් කළ යුතුද?" කියන එක නෙමෙයි. "ඩොලරයක මිල කීයක් වෙයිද?" කියන එකයි. ප්‍රශ්නයට හරිම පිළිතුර හොයා ගන්න පුළුවන් වෙන්නේ කිසිදු බාධාවකින් තොරව වෙළඳපොළ බලවේග වලට ඩොලරයේ මිල තීරණය කිරීමට ඉඩ හැරීමෙන් පසුව පමණයි.

එක දෙයක් පැහැදිලියි. මේ මිල රුපියල් 230ට වඩා වැඩි මිලක්! 

මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ උපරිම මිල වූ රුපියල් 200 මට්ටමේදී රටේ ඩොලර් හිඟයක් තිබුණා. එයින් අදහස් වුනේ රුපියල් 200 මට්ටමේදී ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවූ බවයි. සමතුලිත මිල රුපියල් 200ට වඩා වැඩි වූ බව මිස එය කොපමණද කියා අප දැන සිටියේ නැහැ. මිල පාලනය කළ විට වෙළඳපොළ සංඥාව නැතිව යනවා. 

මේ සමතුලිත මිල රුපියල් 200-230 අතර මිලක් වුනානම් මහ බැංකුව ඩොලරයට සාපේක්ෂ නිදහසක් දීමෙන් පසුව ඩොලරයේ මිල රුපියල් 230 දක්වා නොගොස් එහි නියම මිලෙහි නවතිනවා. එහෙත්, එසේ වුනේ නැහැ. මිල ක්ෂණිකව රුපියල් 230 දක්වා වැඩි වුනා. එයින් අදහස් වන්නේ නියම මිල රුපියල් 230ට වඩා වැඩි බවයි. එය කීයද කියා අපි හරියටම දන්නේ නැහැ. අපට කළ හැක්කේ පුරෝකථන හෝ අනුමාන කිරීම පමණයි.

මහ බැංකුව විසින් කළ යුතුව තිබුණේ හෝ කළ යුත්තේ වහාම ඩොලරය පා කිරීමද?

දිගුකාලීන ස්ථිර විසඳුම ඩොලරය පා කිරීමයි. එහෙත්, එය මේ වෙලාවේ ක්ෂණිකව කරන්නට යාම භයානක දෙයක්. දැන් එක වර ඩොලරය පා කළොත් එය කොහෙන් නවතීද කියා කියන්න බැහැ. 

වැරැද්ද සිදු වී අවසානයි. එහි හානියද සිදු වී අවසානයි. දැන් කළ හැක්කේ අනාගතයේ සිදු වීමට නියමිත හානි අවම කර ගැනීම පමණයි. ඩොලරය රුපියල් 230 සීමාව දක්වා ඉහළ යන්න ඉඩ දීම මහ බැංකුව පැත්තෙන් ගත් හොඳ තීරණයක්. මෙයින් කිසිසේත්ම ප්‍රශ්නය විසඳෙන්නේ නැති වුනත් මෙය නිවැරදි දිශාවට තැබූ පියවරක්.

ඒ එක්කම පසුගිය මාස හයක කාලය තුළ මහ බැංකුව සිටි ස්ථාවරය කොයි තරම් වැරදිද කියන එකත් මෙයින් තහවුරු වෙනවා. සාමාන්‍ය මිනිසුන් මහ බැංකුවට වඩා ගොඩක් ඉදිරියෙන් සිටියා. පසුගිය සතියේ කොහෙන් හෝ ඩොලර් ටිකක් මිල දී ගත් අයෙකුට දැන් දින දෙකක් ඇතුළත 15%ක ප්‍රතිලාභයක් ලැබිලා!

රුපියල 15%කින් එකවර අවප්‍රමාණය කිරීම සැලකිය යුතු වෙළඳපොළ කම්පනයක්. මෙවැනි තීරණයක් මා විසින් ගත යුතු වූවානම්, මම වුවත් උපරිම වශයෙන් ඩොලරයට ඉහළ යන්න දෙන්නේ රුපියල් 240 දක්වා පමණයි. එය 20%ක අවප්‍රමාණය වීමක්. 15%කින් අවප්‍රමාණය වීමට ඉඩ ඇරීම හොඳ තීරණයක්.

ඉදිරියේදී අනිවාර්යයයෙන්ම කරන්නට සිදුවන දෙයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සිදු වන තුරු රුපියලට උපරිම මිලෙහි පාලනයකින් තොරව පාවෙන්නට ඉඩ නොහැරිය යුතුයි. දැන් තත්ත්වය යටතේ රුපියල පා කිරීම කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සමාන්තරව පමණයි. එසේ නැත්නම් ඩොලරයේ මිල හිතාගත නොහැකි තරම් ඉහළ මට්ටමකට යා හැකියි. එය සිදු වන තුරු කළ යුත්තේ මේ අයුරින් ඩොලරයේ මිල වරින් වර ටිකෙන් ටික ඉහළ දැමීමයි. එසේ වරක් මිල ඉහළ යාමට ඉඩ දීමෙන් පසුව මාස හයක්වත් අල්ලාගෙන සිටීම ඉලක්කය විය යුතුයි. "crawling peg" ක්‍රමය මේ වෙලාවේ හොඳ විසඳුමක් විය හැකියි.

මේ හොඳ තීරණයත් එක්කම කැබිනට් මණ්ඩලය විසින් අඥාන තීරණයක්ද ගෙන තිබෙනවා. ඒ විදේශ ප්‍රේෂණ වෙනුවෙන් ගෙවන දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩි කිරීමයි. කළ යුතුව තිබුණේ ඩොලරය රුපියල් 240 පමණ දක්වා යාමට ඉඩ හැර මේ දිරි දීමනාව ගෙවීම අහෝසි කිරීමයි. දිරි දීමනාව නිසා සිදු වන්නේ තත්ත්වය තවත් නරක අතට හැරෙන එකයි. 

දිරි දීමනාවද සමඟ විදේශ ශ්‍රමිකයෙකුට ඩොලරයකට රුපියල් 268කට ආසන්න, ප්‍රායෝගිකව රුපියල් 265ක පමණ මුදලක් ලබා ගත හැකි වෙනවා. මා හිතන විට මේ වෙද්දී කළු කඩ මිල මීට ආසන්නයි. මෙහි අරමුණ කළු කඩ ඩොලර් නියම ක්‍රමයට ගෙන්වා ගැනීම බව පැහැදිලියි. ලිබියාව වැනි රටවල් විසින්ද අනුගමනය කළ මේ ද්විත්ව විණිමය අනුපාත ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණ ඉටු වෙයිද?

මේ හරහා ලංකාවේ විණිමය පාලකයින් විසින් (ආණ්ඩුව, මහ බැංකුව හෝ දෙකම) ඉතා පැහැදිලි ලෙස වෙළඳපොළට සංඥා කර තිබෙන්නේ ඩොලරයක නියම මිල රුපියල් 268ක් බව ඔවුන් පිළිගන්නා බවයි. මේ සමඟම ඩොලර් රුපියල් කිරීම ගැන හිතන ඕනෑම කෙනෙකු ක්ෂණිකව එළැඹෙන නිගමනය වන්නේ ඩොලරයකට රුපියල් 268කට අඩු ඕනෑම මිලක් තමන්ට පාඩු ලබා දෙන අසාධාරණ මිලක් බවයි. ඒ නිසා, කිසිවෙකු රුපියල් 268කට අඩුවෙන් ඩොලර් විකිණීමට පෙළඹෙන්නේ නැහැ.  

ලංකාවට සල්ලි එවන්න අවශ්‍ය අයෙකුට, සෛද්ධාන්තික ලෙස, ශ්‍රමිකයෙකු හරහා වක්‍ර ලෙස මුදල් එවා ඩොලරයකට රුපියල් 268ක් ලබා ගත හැකියි. ඒ කියන්නේ, උන්ඩියල් ක්‍රම ක්‍රියාත්මක කරන අයට අඩුම වශයෙන් ඩොලරයකට රුපියල් 268ක් ගෙවන්න සිදු වෙනවා කියන එකයි. උන්ඩියල් ක්‍රමයේ අවදානම් සැලකූ විට මේ මිල රුපියල් 280-300 පමණ මිලක් විය හැකියි. 

ශ්‍රමිකයෙකුට ඩොලරයකට රුපියල් 268ක් ලැබුණත්, එයින් රුපියල් 38ක්ම ගෙවන්නේ මහ බැංකුව හෝ රජය විසින් නිසා වානිජ බැංකු වලට රුපියල් 230ක මුදලකට ඩොලර් විකිණීය හැකියි. මෙහිදී වක්‍ර ලෙස වෙන්නේ කුමක්ද? වැඩි මිලට මිල දී ගන්නා තෙල් අඩු මිලට විකුණනවාක් මෙන් ආණ්ඩුව විසින් රුපියල් 268 බැගින් වාණිජ බැංකු වලින් ඩොලර් මිල දී ගෙන එම ඩොලර් රුපියල් 230 බැගින් ආපසු විකිණීමයි. වෙනත් විදිහකින් කිවුවොත් ඩොලර් මිල දී ගන්නා අයට පොදු අරමුදල් වැය කර රුපියල් 38ක සහනාධාරයක් ලබා දීමයි.

ඕනෑම දෙයක් සහන මිලකට ලැබෙන විට සිදු වන්නේ ඉල්ලුම ඉහළ යාමයි. මේ වැඩේ නිසා වෙන්නේත්, ඩොලර් ඉල්ලුම ඉහළ යාමයි. රුපියල් 268ක් වටිනා දෙයක් රුපියල් 230කට නොගන්නේ කවුද? ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් මිල වැඩි වීමට ඉඩ ලැබීම නිසා සමතුලිත ලක්ෂ්‍යය සැපයුම් වක්‍රය දිගේ ඉහළට යනු මිස සැපයුම් වක්‍රය විතැන් නොවන නමුත් ඉල්ලුම් වක්‍රය විතැන් වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර පරතරය තවත් වැඩි වී ඩොලර් හිඟය ඉහළ යාමයි. 

අනිවාර්යයෙන්ම දිගටම පවතින හා බොහෝ විට ඉහළ යා හැකි ඩොලර් හිඟය නිසා ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ ගියද ලංකාවේ බොහෝ දෙනෙකුට ඒ මිලට ඩොලර් මිල දී ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ ආණ්ඩුව විසින් ඒ අවස්ථාව ලබා දෙන අයට පමණයි. අනෙක් අයට තව දුරටත් කළු කඩෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් විකුණන අයට රුපියල් 268ක් ලැබෙන බව දන්නා නිසා තමන්ට ඩොලර් එකකට ඊට වඩා මිලක් ගෙවන්න වන බව ඒ අය දන්නවා. ඒ නිසා, මේ වැඩෙන් පස්සේ උන්ඩියල් ඩොලර් මිල දී ගන්නා අය ඒ වෙනුවෙන් රුපියල් 280-300ක් ගෙවන්න සූදානම් වෙයි. අවසාන ප්‍රතිඵලය වන්නේ කළු කඩ මිල රුපියල් 280-300 වැනි මට්ටමකට යන එකයි.

වෙළඳපොළ ගැන මූලික අවබෝධයක් නැති අය ආර්ථිකය මෙහෙයවන්න ගිය විට මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. කළු කඩ මිල කියන්නේ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක් තමයි. එහෙත්, ඉල්ලුම් හා සැපයුම් සාධක වෙනස් වූ විට කළුකඩ මිලද වෙනස් වෙනවා. විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීම හොඳ තීරණයක්. නමුත්, ඔය රුපියල් තිස් අට ගෙවීම ඉල්ලං කෑමක්!

Monday, March 7, 2022

ඩොලරය 15%කින් ඉහළ යයි!


මහ බැංකුව විසින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තබා ගැනීමේ උත්සාහය අතහැර තිබෙනවා. අද නිකුත් කර ඇති මහ බැංකු නිවේදනයෙන් අදහස් වෙන්නේ ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ යාමට ඉඩ හැර ඉන්පසුව තවත් කාලයක් රුපියල් 230 මට්ටමෙහි තබා ගැනීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

මහ බැංකුවේ මේ නිවේදනයත් සමඟම ඩොලරයක මිල ඉතා ඉක්මණින් රුපියල් 230 මට්ටම දක්වා ඉහළ යාමට නියමිතයි. මෙය අවශ්‍ය අවස්ථාවේදී නොකිරීම නිසා සිදුව ඇති හානිය මේ තීරණය නිසා ආපසු හැරවිය නොහැකි වුවත්, දැන් හෝ මේ අයුරින් යම් තරමකින් ඩොලරයේ මිල ඉහළ යන්නට ඉඩ හැරීම තුළ ඩොලර් අර්බුදයෙන් බැට කන ආර්ථිකයට කිසියම් තාවකාලික සහනයක් ලැබේයයි සිතිය හැකියි. 

මේ අවස්ථාව වන විට ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමට ඉඩ ඇති මිල රුපියල් 230 නොවෙතත්, රුපියල් 200 මට්ටම හා සැලකූ විට මෙය හොඳ මිලක්. මේ තීරණයත් සමඟ යම් ඩොලර් ප්‍රමාණයක් රට තුළට සම්ප්‍රේෂණය වේයැයි සිතිය හැකියි. එසේ වුවද, ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ දමා අර්බුදය විසඳා ගත හැකිව තිබුණු අදියර මේ වන විට පහු වී හමාරයි.

එක පැත්තකින් රුපියල් 230 නරක මිලක් නොවීමත්, අනෙක් පැත්තෙන් මහ බැංකුව විසින් අවම වශයෙන් තවත් මාස තුනක්වත් ඩොලරයේ මිල 230 මට්ටමේ තබා ගැනීමට උත්සාහ කරනු ඇති නිසාත්, ඉදිරි මාස තුනක පමණ කාලය ඇතුළත ලංකාවට ඩොලර් යවන්නට හෝ අතේ තිබෙන ඩොලර් රුපියල් කරන්නට අවශ්‍ය අයෙකුට එය කිරීමට මෙය හොඳ අවස්ථාවක්. 

ආණ්ඩුව තුළ දේශපාලනික බෙදීමක් ඇති වී තිබෙන මේ අවස්ථාවේදී මහ බැංකුව විසින් ඩොලරය මේ අයුරින් සැලකිය යුතු තරමකින් අවප්‍රමාණය වීමට ඉඩ හැරීම හරහා පිළිබිඹු වන්නේ ආණ්ඩුවේ ලිබරල් බලවේග වලට ක්‍රියාත්මක වීමට තිබුණු බාධා යම් තරමකින් හෝ අඩු වී ඇති බවයි. 

Saturday, February 26, 2022

අච්චු ගහපු සල්ලි මා ළඟයි!


උද්ධමනයට හේතු වෙන්නේ මුදල් සැපයුම ඉහළ යාම බව මේ වන විට ලංකාවේ බොහෝ දෙනෙක් න්‍යායාත්මකව පමණක් නෙමෙයි අත්දැකීමෙන්ම දන්නවා. පසුගිය ජනවාරි මාසයේදී ලංකාවේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 14.2% දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 16.8% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. මේ විදිහට උද්ධමනය ඉහළ යාම කොතැනකින් නවතියිද?

ඊට පෙර ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් ලෙස, පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ මුදල් සැපයුම කොපමණ ඉහළ ගිහින්ද?

ලංකාවේ මුදල් සැපයුම මනින නිර්ණායක කිහිපයක්ම තිබෙනවා. කෙසේ වුවත්, ලංකාවේ හෝ වෙනත් රටක මුදල් සැපයුම ගැන කරන කතාබහක් ආරම්භ කළ යුත්තේ සංචිත මුදල් වලින්. සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුවේ වගකීම්. මහ බැංකුව විසින් අච්චු ගසා කෙළින්ම සංසරණයට එකතු කරන මුදල්. සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යාමයි. මුදල් පදනම, පාදක මුදල්, M0 ආදී නම් වලින් හැඳින්වෙන්නේත් මේ සංචිත මුදල්මයි.

පසුගිය දෙවසර තුළ, එනම් 2019 අවසානයේ සිට 2021 අවසානය දක්වා කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 932.6 සිට රුපියල් බිලියන 1,305.8 දක්වා 40.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටක මහ බැංකුව විසින් "අච්චු ගහන" මුදල් ප්‍රමාණය එම රටේ වාණිජ බැංකු පද්ධතිය විසින් ගුණනය කිරීමක් කරනවා. එකම රුපියල නැවත නැවත කිහිප දෙනෙකුට ණයට දීම හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළ මහ බැංකුව විසින් අච්චු ගහන එක රුපියලක් රුපියල් කිහිපයක් බවට පත් වෙනවා. මෙය හැඳින්වෙන්නේ මුදල් මැවීම ලෙසයි. මුදල් සැපයුම ලෙස හැඳින්වෙන්නේ මේ අයුරින් ගුණනය වූ සංචිත මුදල් ප්‍රමාණයයි. එයට මහ බැංකුවේ වගකීම් මෙන්ම වාණිජ බැංකු වල වගකීම්ද ඇතුළත් වෙනවා.

ලංකාවේ මුදල් සැපයුම මනින M1, M2 හා M2b ලෙස හැඳින්වෙන නිර්ණායක තුනක් තිබෙනවා. M1 යන්න පටු මුදල් සැපයුම ලෙසද හැඳින්වෙනවා. එයට සංසරණයේ ඇති නෝට්ටු හා කාසිත්, වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ජංගම ගිණුම් තැන්පතුත් ඇතුළත්. පුළුල් මුදල් සැපයුම ලෙස හැඳින්වෙන M2 හා M2b නිර්ණායක වලට මීට අමතරව පුද්ගලයින් විසින් වාණිජ බැංකු වල පවත්වා ගෙන යන ඉතිරි කිරීම් ගිණුම් වල හා ස්ථිර තැන්පතු වල තිබෙන මුදල්ද ඇතුළත් වෙනවා. 

විශාල වෙනසක් නැති, M2 හා M2b අතර තිබෙන වෙනස වන්නේ M2 වලට රුපියල් තැන්පතු පමණක් ඇතුළත් වන නමුත් M2b වලට විදේශ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යන ගිණුම් වල තිබෙන තැන්පතුද ඇතුළත් වීමයි. ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ නිර්ණායක අතරින් හොඳම නිර්ණායකය ලෙස සැලකෙන්නේ M2b පුළුල් මුදල් සැපයුමයි. මීට අමතරව, වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන තැන්පතුද ඇතුළත් වඩාත් පුළුල් M4 නම් නිර්ණායකයක්ද ඇතත් එය භාවිතා කෙරෙන්නේ අඩුවෙන්. 

පසුගිය දෙවසර තුළ සංචිත මුදල් ප්‍රමාණය 40.0%කින් වැඩි වීමට අනුරූපව M1, M2 හා M2b යන මුදල් සැපයුම් නිර්ණායක තුනමද ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළ M1 මුදල් සැපයුම රුපියල් බිලියන 865.5 සිට රුපියල් බිලියන 1,459.9 දක්වා 68.7%කින්ද, M2 මුදල් සැපයුම රුපියල් බිලියන 6,912.7 සිට රුපියල් බිලියන 9,638.9 දක්වා 39.4%කින්ද ඉහළ ගොස් තිබෙනවා. වඩා වැදගත් M2b මුදල් සැපයුම රුපියල් බිලියන 7,624.1 සිට රුපියල් බිලියන 10,647.3 දක්වා 39.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

කවර නිර්ණායකය අනුව බැලුවත් දෙවසරක් තුළ මුදල් සැපයුම 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මේ අයුරින් මුදල් සැපයුම ඉහළ ගියත් රටේ මුදල් ඉල්ලුමද නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් අනුරූපී ලෙස ඉහළ ගොස් ඇත්නම් මුදල් සැපයුමේ ඉහළ යාම උද්ධමනයට හේතු වන්නේ නැහැ. 2020 වසර තුළ රටේ ආර්ථිකය 3.6%කින් හැකිළුනා. 2021 වසර තුළ ආර්ථිකය 3.6%කින් වර්ධනය වීයැයි උපකල්පනය කළද සමස්තයක් ලෙස දෙවසරක කාලය තුළ රටේ නිෂ්පාදනයෙහි වෙනසක් වී නැහැ. ඒ නිසා, මේ අයුරින් 40%කින් පමණ මුදල් සැපයුම ප්‍රසාරණය වීමේ උද්ධමනකාරී බලපෑම වැළැක්විය නොහැකියි. 

පසුගිය දෙවසරක කාලය තුළ (2021 දෙසැම්බර් දක්වා) කොළඹ පාරිභෝගික මිල දර්ශකය 16.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය 19.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, මුදල් සැපයුමේ ඉහළ යාමට අනුරූපව මිල මට්ටම් තව දුරටත් 20-25% පමණ ප්‍රමාණයකින් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. තවත් මාස තුන හතරක් යද්දී උද්ධමනය 20% මට්ටම ඉක්මවිය හැකියි. ඒ සමඟම, එයට අනුරූපව විණිමය අනුපාතය මත පීඩනය ඉහළ යාමද නොවැලැක්විය හැකියි.

වඩාත්ම වැදගත් ප්‍රශ්නය මේ වසර තුළ හා ඉදිරි වසර කිහිපය තුළ මුදල් සැපයුම කොයි තරම් දුරකට පාලනය කර ගත හැකිද කියන එකයි. තව දුරටත් මුදල් සැපයුම විශාල ලෙස ඉහළ නොගියහොත් උද්ධමනය 25% පමණ මට්ටමකට ඉහළ ගොස් ඉන් පසු ක්‍රමයෙන් අඩු වෙයි. එහෙත්, සල්ලි අච්චු ගැහිල්ල තව දුරටත් ඉහළ ගියොත් ලංකාවත් වැටෙන්නේ සිම්බාබ්වේ පාරටයි.

බදු වැඩි කර රජයේ ආදායම් වැඩි කර නොගන්නේනම් හා රජයේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර නොගන්නේනම් විශාල අයවැය පරතරයක් පියවීමේ ප්‍රශ්නයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා. ආණ්ඩුව මේ වෙද්දී ආදායම් වැඩි කර ගැනීමට හා වියදම් සීමා කිරීමට යම් උත්සාහයන් දරමින් සිටින නමුත් ඒ අතරම එම අරමුණු වලට හාත්පසින්ම එරෙහි දේවල්ද කරනවා. පොලී අනුපාතික දැනට පවතින සීමාවේ නඩත්තු කරමින්, සල්ලි අච්චු නොගසා රජයේ අයවැය හිඟය පියවා ගත හැක්කේ සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක්ද රජයට ලැබෙන්නේනම් පමණයි. ඒ නිසා, ඉදිරි කාලයේදී රටේ උද්ධමනය පාලනය කිරීම සඳහාද විදේශ ණය නැතුවම බැහැ. 

Wednesday, January 26, 2022

බැඳුම්කරේ ගෙවුවේ යාළුවන් නිසාද?


ජනවාරි මාසයේදී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කරය පියෙවුවේ එහි ආයෝජනය කර තිබුණු බොහෝ දෙනෙක් ආණ්ඩුවේ හිතවතුන් වූ නිසා කියා කතාවක් පැතිර තිබෙනවා. ඇතැම් අය මේ ගැන අපෙන් අදහස් විමසලත් තිබෙනවා. මේ වගේ දෙයක් ගැන අපට කතා කළ හැක්කේ එවැන්නක් සිදු වීමට සෛද්ධාන්තික හැකියාවක් තිබුණේද යන පදනමින් පමණයි. 

මම ආණ්ඩුවේ හිතවතෙක් වුනානම්, මේ වගේ දෙයකට වැය කළ හැකි තරමේ සැලකිය යුතු මුදලක් අතේ තිබුනානම්, මම පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණ මේ බැඳුම්කරය වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒ නිසා, සල්ලි අතේ තිබුණු ආණ්ඩුවේ හිතවතුන් එසේ නොකළා වෙන්න බැහැ. ඒ වගේම, මම ආණ්ඩුවේ හිතවතෙක් නොවුනත්, මේ වගේ දෙයකට වැය කළ හැකි තරමේ සැලකිය යුතු මුදලක් අතේ තිබුනානම්, ඒත් මම ඔය වැඩේම කරනවා.

ගෙවපු බැඳුම්කරය පැත්තකින් තියමු. තව හය මාසයකින් ගෙවන්න නියමිත බැඳුම්කරකුත් තියෙනවනේ. ඔය බැඳුම්කරයත් ආණ්ඩුව නියමිත පරිදි ගෙවයි කියන එක මගේ විශ්වාසයයි.

ජූලි 25 කල් පිරෙන මේ බැඳුම්කරයේ ඩොලර් 200,000ක මුහුණත අගයක් ගන්න අද ගෙවිය යුත්තේ ඩොලර් 154,500ක් පමණයි.  මාස හයකින් ඩොලර් 205,875ක් අතේ. ලාබය කෙළින්ම ඩොලර් 51,375ක්!

අතේ සල්ලි නැත්නම් ගෙයක් ඇපයට තියලා ඔය ගාන ගත්තත් ඕනෑනම් ඩොලර් 1000ක් පොලිය ගෙවන්න වෙයි. ඒත් ඩොලර් 50,000කට වඩා අතේ. ඩොලර් මිලියන 3ක් පමණ ආයෝජනය කළොත් කෙළින්ම ඩොලර් මිලියනයක් ගොඩ දාගන්න පුළුවන්. ඉතිං මම හිතන්නේ අතේ සල්ලි තියෙනවානම් ආණ්ඩුවේ හිතවතුන්ට වගේම ආණ්ඩුවේ තරහ කාරයින්ට වුනත් හොඳ අවස්ථාවක් තවමත් තිබෙනවා. 

ඇතැම් අය අහන්නේ මේ වෙලාවේ මහ බැංකුව විසින් සංචිත මුදල් යොදවා මේ බැඳුම්කර මිල දී නොගන්නේ ඇයි කියලා. මුළු බැඳුම්කරයම මිල දී ගන්නනම් බැහැ. මොකද තමන්ගේ බැඳුම්කර කොටස් විකුණන්නේ සීමිත පිරිසක්. හැබැයි ඩොලර් මිලියන 30ක වගේ මුදලකට බැඳුම්කර කොටස් මිල දී ගන්න බැරි වෙන්න විදිහක් නැහැ. බැඳුම්කරය කොහොමටත් ගෙවනවානම් සංචිත මුදල් යොදවා ඩොලර් මිලියන 40ක මුහුණත අගයක් ඩොලර් මිලියන 30කට පමණ මිල දී ගත්තොත් මාස හයෙන් ඩොලර් මිලියන දහයක් බේරිලා. ලූණු බිකත් බඩට කිවුවා වගේ වෙලාවේ හැටියට ඩොලර් මිලියන දහයක් වුනත් වටිනවනේ. මම හිතන්නේ වාණිජ බැංකු කොහොමටත් ඔය වැඩේ කරනවා ඇති. 

බැඳුම්කර කොටස් යම් ප්‍රමාණයක් මිල දී ගත් වහාම කොටසක මිල ඉහළ යනවා. ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් කළ යුතු නැහැ. සමහර විට ඩොලර් මිලියන පණහක් හැටක් වුනත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ජනවාරි බැඳුම්කරයේ මිල හදිසියේ ඉහළ ගියේ එවැනි දෙයක් කළ නිසා වෙන්නත් පුළුවන්. ඒ ගැන, දැනගෙන සිටි කෙනෙකුට ඉතාම කෙටි කාලයකින්, සමහර විට දවස් ගාණකින්, විශාල ලාබයක් ලබන්න පුළුවන්කමකුත් තිබුණා. හැබැයි යමක් වෙන්න පුළුවන් කියන එකෙන් වුනා කියන එක අදහස් වෙන්නේ නැහැ.

ජූලි බැඳුම්කරය ගැන උනන්දු ආණ්ඩුවේ හිතවතෙකුට මේ වෙලාවේ පවා තිබෙන විශේෂ වාසිය සල්ලි ආපසු ලැබෙන බවට තිබෙන සහතිකය. ලංකාවට විශේෂ සම්බන්ධයක් නැති විදේශ ආයෝජකයෙකුට මේ සහතිකය නැහැ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ආණ්ඩුවේ හිතවතුන් සල්ලි හම්බ කරනවානම් එහි පෙන්විය හැකි වැරැද්දක් නැහැ. ඒ වගේම, එයින් ආණ්ඩුවට අමුතු පාඩුවක් වෙන්නෙත් නැහැ.

කිහිප දෙනෙක් අහපු තවත් ප්‍රශ්නයක්නම් ඩොලරය 200 මට්ටමේ තියාගෙන ඉන්නේ කළු සල්ලි රටින් එළියට පන්නන්නද කියන එක. මේ වගේ දෙයක් වුනත් සිදු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. සිදුවනවාද නැද්ද කියා මම දන්නේ නැහැ.

මා සතු විශාල කළු සල්ලි ප්‍රමාණයක් රුපියල් වලින් ලංකාවේ තිබෙනවා කියා කියමු. දැන් මට මේ සල්ලි ඩොලර් කර රටින් පිට කර ගන්න ඕනෑ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඔය දෙකෙන් එකක්වත් ලේසි නැහැනේ. රුපියල් ඩොලර් කරන එක වගේම රටින් පන්නන එකත් ගොඩක් අමාරුයි. හැබැයි දැන් තියෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. 

ලංකාවට සල්ලි යවන්න ඕනෑ අය ලෝකය පුරාම ඉන්නවනේ. අපි හිතමු ඇමරිකාවේ, කැනඩාවේ ඉන්න එහෙම අයට ඩොලරයට රුපියල් 220 ගානේ දෙන්න පොරොන්දු වුනා කියලා. දැන් මට ඉතා පහසුවෙන් ඩොලර් එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ තිබෙන රුපියල් වලින් ගෙවන්න පුළුවන්. අන්තිමට ලංකාවේ හිර වෙලා තිබුණු රුපියල් ටික ඩොලර් වෙලා රටෙනුත් එළියට ඇවිත්. මම හිතන විදිහට රටට එන ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමට මේ වගේ දේවල් සිදු වීමත් එක් හේතුවක්.

Saturday, January 22, 2022

සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගහන හැටි...


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 14% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 21.5%ක් දක්වා ඉහළ ගිහින්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 12.1% මට්ටමට ගොස් තිබුණා. මහ බැංකුව කියන විදිහට මේ විදිහට මිල මට්ටම ඉහළ යන්නේ "සැපයුම් සාධක" නිසා මිසක් සල්ලි අච්චු ගැසීම නිසා නෙමෙයි. 

සැපයුම් සාධක නිසා මිල මට්ටම් ඉහළ යද්දී මුදල් වලට තිබෙන ඉල්ලුමද ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන සේ මුදල් සැපයුම වැඩි නොකළොත්, සැපයුම් සාධක නිසා ඉහළ ගිය මිල නැවත පහත වැටී උද්ධමනය සෘණ පැත්තට යා යුතුයි. එහෙත්, ඉහළ යන මුදල් ඉල්ලුම හා ගලපමින් මුදල් සැපයුම වැඩි කළොත් ඉහළ ගිය මිල ඒ මට්ටමේම නවතිනවා. ඒ නිසා, උද්ධමනය පහළ ගියත් සෘණ පැත්තට යන්නේ නැහැ. 

මහ බැංකුව කියන විදිහට, මිල මට්ටම ඉහළ යන්නේ සැපයුම් සාධක නිසානම්, ඔය දෙකෙන් කොයි එක වුනත් ඉතා ඉක්මණින් උද්ධමනය අඩු විය යුතුයි. මොකද උද්ධමනය අඩු වීමෙන් අදහස් වෙන්නේ මිල මට්ටම ඉහළ යන වේගය අඩුවීම මිසක් මිල අඩු වීම නොවන බැවින්. ඒ නිසා, මහ බැංකුව කියන්නේ ඇත්තද කියලා බලා ගන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

ආණ්ඩුව විසින් අළුතෙන්ම රුපියල් බිලියන 227ක සහන පැකේජයක් ඉදිරිපත් කළා. කියන විදිහට මේ අමතර වියදම් නිසා සමස්තයක් ලෙස රජයේ වියදම් වැඩි වෙන්නේ නැහැ. වියදම් කරන බව කියන්නේ අයවැයෙන් වෙන් කළ වෙනත් ප්‍රතිපාදන කපලා ඒ හරහා ඉතිරි වන සල්ලි වලින්. කපන්නේ මොන වියදම්ද කියන එක පැහැදිලි නැහැ. කියන විදිහටම කෙරුණත් නැතත් අයවැය හිඟය තව දුරටත් ඉහළ නොදැමිය යුතුය යන ස්ථාවරයට එන්න ආණ්ඩුවට සිදු වී තිබෙනවා. මේ බතල කොළ කටින් හිටවන ඒවා පමණක්ද? 

පසුගිය 2021 වසරේ පළමු මාස දහය තුළ රජය විසින් උපයාගෙන තිබෙන ආදායම රුපියල් බිලියන 1,156.5ක් පමණයි. අයවැය සම්මත කර ගනිද්දී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව වසර තුළ ලැබීමට තිබුණු ආදායම රුපියල් බිලියන 2,029ක්. මේ අනුව, මාස දහයක් අවසාන වෙද්දී උපයාගෙන තිබෙන්නේ ඇස්තමේන්තු කළ අදායමෙන් 57%ක් පමණයි. ඇස්තමේන්තු නිවැරදිනම් අවසන් දෙමස තුළ රුපියල් බිලියන 872.5ක් ලැබී තිබිය යුතුයි.

අයවැය ඇස්තමේන්තු අනුව, 2021 වසරේ රජයේ වර්තන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,534ක්. පළමු මාස දහය තුළ වර්තන වියදම් සේ වැය කර තිබෙන මුදල රුපියල් බිලියන 2,319.0ක්. ඒ කියන්නේ ඇස්තමේන්තු කළ වියදම් වලින් 91.5%ක්ම පළමු මාස දහය තුළ වියදම් කරලා. වර්තන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ වියදම්. අවසන් මාස දෙක තුළ වියදම් කළේ රුපියල් බිලියන 215ක් පමණක්ද?

ආදායම් වැඩියෙනුත්, වර්තන වියදම් අඩුවෙනුත් ඇස්තමේන්තු කිරීම ලංකාවේ රජය (මුදල් අමාත්‍යංශයේ අදාළ නිලධාරීන්) විසින් කාලයක් තිස්සේම කරන දෙයක්. කවදාවත්ම මේ ඇස්තමේන්තු හරියට හදාගන්න බැරිනම් "අපට මේවා කළ හැකි දක්ෂ නිලධාරීන් ඉන්නවා" කියන කතාව හිස් වචන ටිකක් පමණක් වෙනවා. සමහර විට නිලධාරීන් දක්ෂ ඇති. ඒ දක්ෂතාවය යෙදෙවෙන්නේ මොන විදිහටද? 

රජයේ ප්‍රාග්ධන වියදම් කියා කියන්නේ රජය නඩත්තු කිරීමේ දැවැන්ත වියදම වසා ගැනීමට යොදා ගන්නා ආවරණයක් පමණයි. අයවැයෙන් ලොකුවට පෙන්වා සම්මත කර ගන්නා ප්‍රාග්ධන ආයෝජන ඇත්තමට ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් සැලකිය යුතු කොටසක්ද අවසාන වශයෙන් යොදා ගැනෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනුයි. ඉතිං කොහොමද වත්කම් හැදෙන්නේ? 

අයවැයෙන් යෝජිත රාජ්‍ය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 1,070ක් වුවත් පළමු මාස දහය තුළ සිදු කර තිබෙන රාජ්‍ය ආයෝජන ප්‍රමාණය එයින් 38.6%ක් හෙවත් රුපියල් බිලියන 412.8ක් පමණයි. ඇස්තමේන්තු කර තිබුණු ඉතිරි ආයෝජන අවසන් මාස දෙක තුළ සිදු වුනා කියා හිතන අයෙකු ඉන්නවාද?

ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා රාජ්‍ය අයවැය කියා කියන්නේම සංදර්ශනාත්මක බොරුවක් පමණයි. අයවැය ඇස්තමේන්තු අනුව, වසර තුළ ලබා ගැනීමට අපේක්ෂා කළ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,563ක් පමණයි. එහෙත්, සාමන්‍යයෙන් සිදු වන පරිදි, ආදායම් ඇස්තමේන්තු වැඩි කර පෙන්වන නිසා ආයෝජන වියදම් සේ වෙන් කරන ප්‍රතිපාදන කපා හැරීමෙන් පසුවද රජය නඩත්තු කිරීම සඳහා ඇස්තමේන්තු කරනවාට වඩා ණය ගන්න වෙනවා. ඇස්තමේන්තුව අනුව, ණය ගැනීමට නියමිතව තිබුණේ පහත ආකාරයෙනුයි.

ශුද්ධ විදේශ ණය - රුපියල් බිලියන 99ක් (විදේශ ණය ආපසු ගෙවීම සඳහා තවත් රුපියල් බිලියන 507ක් අවශ්‍ය නිසා මුළු එකතුව රුපියල් බිලියන 606ක්).

දේශීය ණය රුපියල් බිලියන 1,466ක්. මෙයින් බැංකු අංශයෙන් ගන්නා ණය ප්‍රමාණය රුපියල් බිලියන 310ක්. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් තවත් රුපියල් බිලියන 60ක්. ඉතිරි රුපියල් බිලියන 1,086 බැංකු නොවන අංශ වලින් ගන්නා ණයයි.

ඇත්තටම සිදු වී තියෙන්නේ කුමක්ද?

පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 2,226.7කින් රාජ්‍ය ණය ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර තුළ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබුණු රුපියල් බිලියන 1,563ක ණය ප්‍රමාණයට වඩා 14.7%කින් වැඩියි. අවසන් මාස දෙක තුළ, මේ වැඩිපුර ගත් ණය ආපසු ගෙවලාද?

පළමු මාස දහය තුළ පමණක් විදේශ ණය ඉහළ යාම රුපියල් බිලියන 464.20ක්. එම කාලය තුළ දේශීය ණය ඉහළ යාම රුපියල් බිලියන 1,762.40ක්. 

පළමු මාස 11 තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක්. එයින් රුපියල් බිලියන 1,124.80ක් කෙළින්ම මහ බැංකුවෙන් ගත් ණයයි. 

රජයට ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විදේශිකයන්ට විකිණූ විට රජයට ලැබෙන්නේ රුපියල් වුවත් රටට ඩොලර් ලැබෙනවා. එහෙත්, පසුගිය වසර තුළ සිදු වී තිබෙන්නේ විදේශිකයන් සතු වූ රුපියල් බිලියන 6.9ක පමණ වූ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින්ද රුපියල් බිලියන 5.1ක ප්‍රමාණයක් විකුණා දමා එම මුදල් ආපසු රැගෙන යාමයි. සංවර්ධන බැඳුම්කර විකිණීමෙන් රජයට කෙළින්ම ඩොලර් ලැබෙනවා. එහෙත්, වසර තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර වලින්ද සැලකිය යුතු කොටසක් නැවත විකුණාගත නොහැකි වීම නිසා රජයට අයවැය ඇස්තමේන්තුව අනුව අමතර රුපියල් බිලියන 60ක් හොයා ගැනීම කෙසේ වුවත් රුපියල් බිලියන 34.6ක් ආපසු ගෙවන්න සිදු වී තිබෙනවා.

ඩොලර් වලින් ණය ගැනීම කළ නොහැකි තරමට අසීරු වී ඇති පසුබිමක රජය විසින් ප්‍රධාන වශයෙන්ම අයවැය හිඟය පියවාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 1,879ක පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙනුයි. මෙයින් රුපියල් බිලියන 330ක් පමණ ණය අරගෙන තිබෙන්නේ දෙසැම්බර් මාසය තුළයි. ඒ අනුව, පළමු මාස දහය තුළ පමණක් රුපියල් බිලියන 1,548ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුනා ණය අරගෙන තිබෙනවා. එම කාලය තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1526.20ක් බව කලින් කිවුවනේ. ඒ කියන්නේ රජයට ඩොලර් ණය ගන්න බැරි වී තිබෙනවාක් මෙන්ම උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමටද හැකි වී නැහැ. 

පවතින වාතාවරණය යටතේ විණිමය අනුපාතය ඉහළ නොයවා වෙළඳපොළෙන් ඩොලර් වලින් ණය ගැනීමේ හැකියාවක් රජයට නැහැ. ඒ වගේම, පොලී අනුපාතික ඉහළ නොදමා උද්ධමනාත්මක නොවන දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමේ හැකියාවද මේ වන විට ගිලිහෙමින් තිබෙනවා. විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි නොකරන්නේනම් හා අයවැය හිඟය පාලනය කර නොගන්නේනම් මේ වන විට රජය සතු එකම විකල්පය උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ණය ගැනීම පමණයි. 

විණිමය අනුපාතය හා පොලී අනුපාතික නිවැරදි කළහොත් ඒ හේතුව නිසාම අයවැය හිඟය ඉහළ යාමද නොවැලැක්විය හැකියි. එහෙත්, එසේ නොකළා කියා ප්‍රශ්නයෙන් ගැලවී සිටින්න පුළුවන් වෙන්නේ උද්ධමනය විශාල ප්‍රශ්නයක් බවට පත් වන තුරු පමණයි. උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් තව තවත් ණය ගනිමින් උද්ධමනය පාලනය කිරීමේ හැකියාවක් නැහැ. 

පසුගිය සතියේ රජය ඩොලර් මිලියන 100ක සංවර්ධන බැඳුම්කර වෙළඳපොළට ඉදිරිපත් කළත් 8%ක පමණ විශාල පොලී අනුපාතයක් ගෙවීමේ පොරොන්දුව යටතේ වුවත් විකුණා ගත හැකි වූයේ ඩොලර් මිලියන 11ක පමණ ප්‍රමාණයක් පමණයි. ඩොලර් වලින් පොලී ගෙවන්නට රට ඇතුළේ ඩොලර් හැදෙන්නේ නැති නිසා මේ වෙලාවේ කිසිවෙකු පොන්සි ක්‍රීඩාවකට එළැඹී අවදානමක් ගන්න බයයි.

මේ වන විට රජයට භාණ්ඩාගාර බිල්පත් විකුණා දේශීය වෙළඳපොළෙන් මාස තුනකට රුපියල් ණය ගත හැක්කේත් 8.5% පමණ පොලියකටයි. මහ බැංකුව විසින් මේ භාණ්ඩාගාර බිල්පත් මිල දී නොගෙන වාණිජ බැංකු වලට හා ප්‍රාථමික අලෙවිකරුවන්ට විකුණන විට මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. එහෙත්, ඇත්තටම මෙහිදී වෙන්නේ සංඛ්‍යාලේඛණ වලට වංගු ගසා සල්ලි අච්චු ගැසීමක්ම තමයි.

මාස තුනකට රජයට 8.5% පොලියට ණය දෙන වාණිජ බැංකු විසින් ඔවුන් මිල දී ගන්නා භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියා  දිනපතා මහ බැංකුවෙන් 6.5% පොලියට ණය ගන්නවා. මේ වැඩෙන් වාණිජ බැංකු වලට (හා අනුබද්ධ ප්‍රාථමික ගැනුම්කාර සමාගම් වලට) කෙළින්ම 2%ක "කොමිස් මුදලක්" ලැබෙනවා. අන්තිමට වක්‍ර ලෙස රජයට ණය දෙන්නේ මහ බැංකුවම තමයි. ඒ කියන්නේ අච්චු ගහන සල්ලි!

ඔය විදිහටනම් දේශීය වෙළඳපොළෙන් ඕනෑ තරම් ණය ගන්න පුළුවන්. ඇයි සල්ලි තමන්ගේ සල්ලිත් නෙමෙයිනම්, 2%ක ලාබයකුත් ලැබෙනවානම් කවුද වැඩේට අත නොගහන්නේ. හැබැයි ඔය අවස්ථාව සාමාන්‍ය මිනිහෙකුට ලැබෙන අවස්ථාවක් නෙමෙයි.

පසුගිය සතියේ පමණක් ඔය ක්‍රමයට රුපියල් බිලියන 97ක භාණ්ඩාගාර බිල්පත් විකිණුවා. ඕකෙන් 2%ක් කියා කියන්නේ රුපියල් බිලියන දෙකක්. කෝටි දෙසීයක්!

දැන් රජය 8.5% පොලියට ණය ගන්නවා. මහ බැංකුව 6.5% පොලියට ණය දෙනවා. ඒ ණය ගන්න අය 8.5% පොලියට රජයට ණය දෙනවා. ලැබෙන එකම වාසිය, මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වලට අනුව සල්ලි අච්චු ගහලා නැහැ!

ඔය භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් කෙළින්ම මිල දී ගත්තානම් 8.5% පොලිය ලැබෙන්නේ මහ බැංකුවට. ඒ පොලිය මහ බැංකුවේ ලාබ වලට එකතු වෙලා, ඒ ලාබ භාණ්ඩාගාරයට යවද්දී නැවත රජයටම ලැබෙනවා. ඒ කියන්නේ රජය ඇත්තටම පොලියක් ගෙවන්නේ නැහැ. දැන් වෙන්නේ එයින් 2%ක් අඩු වෙන එක පමණයි. 

මේ අඩුවත් එකතු වෙන්නේ අයවැය හිඟයටයි. උද්ධමනයට තිබෙන බලපෑම කොහොමටත් ඒ විදිහටම තියෙනවා. මොකද සංඛ්‍යාලේඛණ කොහොම වුවත් අච්චු ගහපු සල්ලි සංසරණයට එකතු වෙලා. ඒ කියන්නේ උද්ධමන බද්දක් ලෙස ඔය 2%ත් ගෙවන්න වෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට.

ආර්ථිකය වැඩ කරන්නේ ගිණුම්කරණ මූලධර්ම අනුව නෙමෙයි. හොඳ ගණකාධිකාරීවරයෙකුට ගිණුම් නැවත සකස් කරලා පාඩු ලබා ඇති බව පෙනෙන ආයතනයක් ලාබ ලබා ඇති බව පෙන්වන්න පුළුවන්. අනෙක් පැත්ත කරන්නත් පුළුවන්. එහෙම කරලා රජයට ගෙවන බදු අඩු කරගන්නත් පුළුවන්. හැබැයි එහෙම කළා කියලා සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.  සංඛ්‍යාලේඛණ කියන්නේ ඇත්ත තත්ත්වය බලා ගන්න යොදාගත හැකි දර්ශක මිසක් ඇත්ත තත්ත්වය නොවන නිසා සංඛ්‍යාලේඛණ මොන විදිහෙන් හෝ වෙනස් කළත් ඇත්ත තත්ත්වය එලෙසමයි.

නිල සංඛ්‍යාලේඛණ අනුව සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,343ක් පමණයි. සංඛ්‍යාලේඛණ වලට එකතු නොවන කොටස රුපියල් බිලියන 543ක්. ඒවත් අච්චු ගහපු සල්ලිම තමයි! 

පළමු මාස එකොළහ තුළ බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,526ක් බවත් එයින් රුපියල් බිලියන 1,125ක්ම අරගෙන තියෙන්නේ මහ බැංකුවෙන් බවත් කලින් කිවුවනේ. එතකොට අනෙක් බැංකු වලින් අරන් තියෙන්නේ රුපියල් බිලියන 401ක් පමණයි. මේ වෙද්දී වාණිජ බැංකු විසින් දෛනිකව මහ බැංකුවෙන් 6.5% පොලියට ණයට ගන්න මුදල රුපියල් බිලියන 543ක්. 

ඒ කියන්නේ, සෘජුව හෝ වක්‍රව රජයේ අයවැය හිඟය මුළුමනින්ම වාගේ පියැවෙන්නේ මහ බැංකුවේ සල්ලි වලින්. සංඛ්‍යාලේඛණ වලට වංගු ගහන්න පුළුවන් වුනත් වංගු ගහලා උද්ධමනය වලක්වන්න බැහැ. 

රුපියල් බිලියන 543න් 2%ක් අරගෙන 365න් බෙදලා බලන්න. දවසකට රුපියල් කෝටි තුනක්! මිලියන 30ක්!! මහ බැංකුවෙන් 6.5% පොලියට ගන්න සල්ලි රජයට 8.5% පොලියට දෙන එකෙන් යම් පිරිසකට දවසකට ලැබෙන ලාබය! ඕකේ අරමුණ සංඛ්‍යාලේඛන වලට වංගු ගහන එක පමණක්මද?

එක්තරා පුද්ගලයෙක් මහ බැංකුව ඇරෙන වෙලාවට මහ බැංකුව ඉදිරිපිටට ඇවිදින් මහ බැංකුවේ නිලධාරීන්ට හා පවුල් වල අයට හෙණ ඉල්ලනවා. සාප කරනවා. මේක රූපවාහිණි නාලිකාවක මාධ්‍ය සංදර්ශනයක් හෝ කාගේ හෝ සැලසුමක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි ඔයිට වඩා පිරිසක් ඔය වැඩේම කරන දවසක් වුනත් එන්න පුළුවන්!

https://www.facebook.com/hirunews/videos/226901726198633/

Saturday, November 6, 2021

සංචිත තවත් පහළට!


ඔක්තෝබර් අවසානය වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,267.5 දක්වා තව දුරටත් පහත බැස තිබෙනවා. මෙම ප්‍රමාණයට රන් සංචිත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති සංචිතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෑතකදී ලැබුණු ඩොලර් මිලියන 787ක් පමණ වටිනා එස්ඩීආර් ප්‍රදානයෙන් නොවිකුණා ඉතිරිව ඇති එස්ඩීආර් ප්‍රමාණයද ඇතුළත්. 

පසුගිය සැප්තැම්බර් අවසානය වන විට ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,704.2ක් වූ අතර, අගෝස්තු අවසානය වෙද්දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 3,543.5ක්ව පැවතුනා. මේ අනුව, පසුගිය දෙමසක කාලය තුළ පමණක් ඩොලර් මිලියන 1,276කින් සංචිත පහළ බැස ඇති බව පැහැදිලියි. සැප්තැම්බර් මැදදී සිදු වූ අධිපති මාරුවෙන් පසුව විදේශ අංශයෙහි කිසිදු යහපත් වර්ධනයක් සිදුව ඇති බවක් තවමත් පෙනෙන්නට නැහැ. 

ඉහත සංචිත ප්‍රමාණය වුවද මහ බැංකුවේම විදේශ වගකීම් පියවීමටත් ප්‍රමාණවත් නැහැ. අගෝස්තු මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය ඩොලර් මිලියන 400ක් පමණ වූ අතර, සැප්තැම්බර් අවසානය වෙද්දී එම හිඟය ඩොලර් මිලියන 794ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඔක්තෝබර් මාසයේදී නිල සංචිත පහළ ගොස් ඇති ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, මේ වෙද්දී මෙම හිඟය ඩොලර් බිලියනය ඉක්මවා ඇතැයි සිතිය හැකියි. 

ඉදිරි මාස දෙක තුළ ආනයන වියදම් පියවා ගැනීමට අමතරව ශ්‍රී ලංකාව විසින් ජනවාරි 18 දින ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කරයක්ද පියවිය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් ද්‍රවශීල විදේශ සංචිත මහ බැංකුව සතුව ඇතත්, ජනවාරි මාසයේදී මෙම වාරිකය ගෙවීමෙන් පසුව ලංකාවේ විදේශ අංශයේ තත්ත්වය තවත් නරක අතට හැරීම නොවැලැක්විය හැකියි. 

ලංකාවේ විදේශ අංශය මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට පත් වීමේ මූලාරම්භය 2010 ආසන්න කාලය ලෙස සැලකිය හැකියි. එම කාලයේදී ඩොලරයේ මිල කෘතිමව පහළින් තබා ගැනීම හරහා රටේ පුද්ගලයින් හා ආයතන ලෝකයට ණය වී ඩොලර් ලබාගෙන එම ණය රුපියල් කර රජයට ණය ලබා දීම ප්‍රවර්ධනය කරමින් විදේශ ණය පිරමිඩයක් ගොඩ නගනු ලැබුවා. කෝවිඩ් හමුවේ කඩා වැටීමේ අවදානමට ලක්වුනේ කොහොමටත් කොයි වෙලාවක හෝ කඩා වැටෙන්නට නියමිතව තිබුණු මෙම විදේශ ණය පිරමිඩයයි. 

මහ බැංකුවේ වත්මන් විදේශ විණිමය ප්‍රතිපත්තිය වී තිබෙන්නේ නැවත කෙසේ හෝ මේ ණය පිරමිඩයට මුක්කු ගසා තවත් කාලයක් පවත්වා ගෙන යාමයි. ඒ සඳහා, ඩොලරයක මිල නාමිකව හෝ රුපියල් 200 මට්ටමේ පවත්වා ගැනීමේ කාර්යයෙහි මහ බැංකුව නිරතව සිටිනවා. එහෙත්, මේ වෙද්දී ලංකාවේ සැබෑ තත්ත්වය ලෝකයට සඟවා තවතවත් ණය ගැනීම ඉතාම අසීරුයි.

Thursday, October 28, 2021

මූඩීස් ලංකාව තවත් පහළට දමයි!


මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ ණය අවදානම Caa1 ශ්‍රේණියේ සිට Caa2 ශ්‍රේණිය දක්වා තවත් කට්ටයකින් පහළට දමා තිබෙනවා. මේ අනුව පෙනෙන්නේ මහ බැංකුවේ නව අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කෙටිකාලීන මාර්ග සිතියම මූඩීස් ආයතනය විසින් සාධනීය ලෙස දැක නැතුවාට අමතරව, තවත් නිශේධනීය ලෙස දැක ඇති බවයි. 

විදේශ සංචිත ඉතාම පහළ මට්ටමකට වැටී තිබියදී, ඉදිරි කාලයේදී ගෙවිය යුතු ණය ආපසු ගෙවීම සඳහා මුදල් සොයා ගත හැකි ක්‍රමයක් පැහැදිලිව පෙනෙන්නට නැති පසුබිමක, මූඩීස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ තක්සේරුව අනුව ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම තව දුරටත් ඉහළ යාම මෙම තීරණයට හේතු වූ බව එම ආයතනය විසින් පවසනවා. ඒ වගේම, ඉතා කෙටි කාලයක් තුළ ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වීමේ දැවැන්ත අවදානම අඩු කර ගැනීම සඳහා රටේ ආයතන විසින් තීරණාත්මක පියවර ගෙන නැති බව මේ නිගමනය තුළින් පිළිබිඹු වන බවද ඔවුන් පවසනවා.

ද්‍රවශීල විදේශ වත්කම් නැති වීමේ අවදානම විශාල ලෙස ඉහළ යාම, මෑතකාලීනව ණය නොවන විදේශ මුදල් යම් ප්‍රමාණයක් හොයා ගෙන තිබුණත් එදාවේල ක්‍රමයට ද්විපාර්ශ්වික ණය හා විණිමය හුවමාරු ගිවිසුම් හරහා මුදල් හොයා ගැනීම කෙරෙහි රජය විශ්වාසය තැබීම, දිගින් දිගටම විශාල අයවැය හිඟයක් නඩත්තු කිරීම හා රජයේ ආදායම් විශාල ලෙස පහත වැටී තිබීම හමුවේ අලුතින් ණය ලබා ගැනීම වඩා වඩා අසීරු වෙමින් තිබෙන බවද මූඩීස් ආයතනය සඳහන් කරනවා.

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අයවැය ඔන්න මෙන්න කියා තියෙද්දී, මූඩීස් ආයතනය විසින් මෙසේ ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීම පිළිගත නොහැකි බවයි.

Friday, October 15, 2021

රුපියල බලු නොවටීයැයි මහ බැංකුවම හිතනවද?


මහ බැංකුව පැත්තෙන් තවත් "පෙට්ටියෙන් පිට" යෝජනාවක් ඉදිරිපත් වෙලා. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඩොලර් වලින් බදු ගෙවන්න සූදානම් අයට වාහන ආනයනය කළ හැකියි. වැදගත්ම කරුණ මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ මහ බැංකුව පැත්තෙන් වීමයි. යම් හෙයකින් මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය රුපියල අත හැර ලංකාවේ ගනුදෙනු සඳහා ඇමරිකන් ඩොලර් යොදා ගැනීම (dollarization) කරා තබන මූලික පියවරක්. 

කිසියම් රටක් තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න පටන් ගැනීම ඩොලර්කරණය (dollarization) ලෙස හැඳින්වෙනවා. ඇතැම් රටවල් නිල වශයෙන්ම තමන්ගේ මුදල් ඒකකය අතහැර විදේශ මුදල් රට තුළ භාවිතා කරන්න පටන් ගන්නවා. සිම්බාබ්වේ රාජ්‍යය මෑතකදී එසේ කළ රටක්. මෙය හැඳින්වෙන්නේ නිල ඩොලර්කරණය (de jure dollarization) ලෙසයි. රටක් එවැනි තීරණයක් ගන්නේ තමන්ගේ මුදල් ඒකකයේ කිසිම වටිනාකමක් නැති වී වෙන කරන්නම දෙයක් නැති වූ විටයි. එහෙම වෙන්නේ අසීමිත ලෙස සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ මිනිස්සු රටේ ජාතික මුදල් ඒකකය අත හැර දමන තැනට වැටුණු විටයි.

රටක් නිල ඩොලර්කරණය තෝරා ගැනීම නිතර සිදු වන දෙයක් නොවුනත් අවිධිමත්, නිල නොවන ඩොලර්කරණය (de facto dollarization) ඊට වඩා ප්‍රචලිතයි. මෙහිදී නිල වශයෙන් ගනුදෙනු සිදු විය යුත්තේ රටේ ජාතික මුදල් ඒකකයෙන් වුනත්, රට ඇතුළේ සිටින ඇතැම් කණ්ඩායම් විසින් හෝ ඇතැම් ප්‍රදේශ වල නොනිල ලෙස විදේශ ව්‍යවහාර මුදලින් ගනුදෙනු සිදු වෙනවා. මෙය බොහෝ විට සිදු වන්නේ සංචාරක කලාප වල. 

උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් රටේ ජාතික මුදල් ඒකකය බලු නොවටින තැනට වැටුණු විට, නිල වශයෙන් රජය හෝ මහ බැංකුව විසින් ඩොලර්කරණය විදේශ විණිමය ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන්න කලින්ම, සමස්තයක් ලෙස රටේ මිනිස්සු තමන්ගේ ජාතික මුදල් ඒකකය අතහැර විදේශ මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. රටක් නිල වශයෙන්ම ඩොලර්කරණය තෝරා ගන්නේ ඒ වගේ අඩියටකට වැටුණාට පසුවයි. 

මිනිස්සු කිසියම් දෙයක් මුදල් ලෙස භාර ගන්නේ ඒ පිළිබඳ විශ්වාසය මත පදනම්ව. මෙහිදී විශ්වාසය කියා කියන්නේ වෙනත් අයත් අදාළ දෙය මුදල් සේ භාර ගනු ඇතැයි යන විශ්වාසය. මෙහිදී රන්, රිදී, ධාන්‍ය වැනි දෙයක් පිළිබඳ ඒ විශ්වාසය ඇති වන්නේ එම ද්‍රව්‍ය වල තිබෙන නෛසර්ගික වටිනාකම නිසා. ආඥාප්ති ව්‍යවහාර මුදල්, එහෙමත් නැත්නම් ෆියට් මුදල් වලට එවැනි නෛසර්ගික වටිනාකමක් නැහැ. මිනිසුන්ගේ විශ්වාසය නැත්නම් ඒවා නිකම්ම නිකම් කොළ කෑලි පමණයි. ඒ නිසා, ආඥාප්ති ව්‍යවහාර මුදලක් මිනිසුන් අතර ප්‍රචලිත කරන එක පහසු වැඩක් නෙමෙයි.

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි එක ක්‍රමයක් වන්නේ වටිනාකමක් තිබෙන යම් දෙයක් ආශ්‍රයෙන් එවැනි මුදල් ඒකකයකට කෘතීම වටිනාකමක් ආරෝපණය කිරීමයි. මහ බැංකු වල පවත්වා ගන්නා රන් ඇතුළු සංචිත වලින් කරන්නේ අදාළ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් ඒකකයට මේ ආකාරයෙන් වටිනාකමක් ආරෝපණය කරන එකයි. රන් සම්මතයකදී මෙන් නිකුත් කළ මුදල් වල වටිනාකමට රත්තරන් මහ බැංකුවේ නැතත්, යම් රන් ප්‍රමාණයක් මහ බැංකුවේ තිබෙන නිසා විශ්වාසය මතම ලැබෙන වටිනාකමට අමතරව පොඩි හරි නෛසර්ගික වටිනාකමක් මේ සල්ලි කොළ වල තියෙනවා. 

ආඥාප්ති ව්‍යවහාර මුදලක් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගිය හැකි තවත් ක්‍රමයක් වන්නේ රාජ්‍යාධිකාරය හරහා වටිනාකමක් කෘතීම ලෙස ආරෝපණය කිරීමයි. රජයකට මිනිසුන්ගෙන් බදු අය කිරීමට හා එම බදු නොගෙවන අයට දඬුවම් කිරීමට ඒකාධිකාරී හෝ ඊට ආසන්න බලයක් තිබෙනවා. (කප්පම්කාරයෝ වගේ අයත් ඔය වැඩේ කරනවා තමයි!) මේ ඒකාධිකාරී බලය යොදාගෙන රජයකට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැති කඩදාසි කෑල්ලකට වටිනාකමක් දිය හැකියි. ආරම්භයේදී ගොඩක් මුදල් ඒකක ප්‍රචලිත කර තිබෙන්නේ ඔය ක්‍රමයටයි.

ඉතිහාසයට ගියොත් රජයක් බදු අය කර තිබෙන්නේ එක්කෝ සෘජු ශ්‍රමය විදිහට. රාජකාරි ක්‍රමයේදී වගේ. නැත්නම් රන්, ධාන්‍ය වැනි දෙයකින්. ඔහොම තියෙද්දී එක පාරටම බදු ගෙවිය යුතු මුදල් ඒකකය ලෙස මොකක් හරි එකක් රජය විසින් දැනුම් දුන්නට පස්සේ රටේ මිනිස්සුන්ට කොහෙන් හරි ඒ දේ හොයා ගන්න වෙනවා. ඒ එක්කම ඒ මොකක් හරි දෙයට, නෛසර්ගික වටිනාකමක් තිබුණත් නැතත්, ආරෝපිත වටිනාකමක් ලැබෙනවා. අදාළ මුදල් ඒකකය රටේ ප්‍රචලිත වෙනවා.

මේ විදිහට රටේ ප්‍රචලිත වෙන්නේ නෛසර්ගික වටිනාකමක් නැති දෙයක් වූ විට රජයට ඒ දේ වැඩි වැඩියෙන් සපයලා වක්‍ර ලෙසත් බද්දක් අය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ෆියට් මුදල් එහෙමත් නැත්නම් ආඥාප්ති ව්‍යවහාර මුදල් කියා කියන්නේ ඔය වගේ දෙයකටයි. හැබැයි ඔය වටිනාකම එන ක්‍රමයේ පාදමේ තියෙන්නේ රජයට බදු ගෙවිය යුත්තේ අදාළ මුදලින් වීමයි. නෛසර්ගික වටිනාකමක් නැති බව කවුරුත් දන්නා මේ සල්ලි වෙන කාටවත්ම එපා කිවුවත්, අඩු ගණනේ රජයට බදු ගෙවන්න හෝ ගන්න පුළුවන් නිසා සල්ලි බලු නොවටිනා ගානට වැටෙන්නේ නැහැ. 

දැන් මහ බැංකුව විසින් (හෝ එහි අධිපතිවරයා විසින්) ඉදිරිපත් කරන යෝජනාව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ලංකාවට වාහන ආනයනය කරන කෙනෙකුට ඩොලර් වලින් බදු ගෙවන්න වෙනවා කියන එකයි. ඒ කියන්නේ මහ බැංකුවේ සල්ලි අඩු ගණනේ ලංකාවේ රජය විසින්වත් පිළිගන්නේ නැහැ කියන එකයි. 

කොහොමටත් මේ වෙද්දී මහ බැංකුවේ විදේශ ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිහින්. අගෝස්තු අන්තිම වෙද්දී මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත ප්‍රමාණයෙන් මහ බැංකුවේම විදේශ වගකීම් පියවන්නත් ඩොලර් මිලියන 400ක් මදි. සැප්තැම්බර් අවසාන වෙද්දී අනිවාර්යයෙන්ම මේ හිඟය තවත් විශාල ලෙස වැඩි වී තිබිය යුතුයි. එහෙම තියෙද්දී මහ බැංකුවට මෙතෙක් කාලයක් කළා වගේ රුපියල් වලට නෛසර්ගික වටිනාකමක් ආරෝපණය කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. රුපියල එල්ලිලා තියෙන්නේ තනිකරම මිනිස්සු රුපියල් භාර ගැනීම මත පමණයි. එහෙම තියෙද්දේ තමයි බදු විදිහට රුපියල් භාර ගැනීම ලංකාවේ රජය විසින්ම අත හරින්න යන්නේ.

මෙය අවිධිමත් ඩොලර්කරණයක් ලොකුවට වෙන්නත් කලින්ම, නිල ඩොලර්කරණය ස්වේච්ඡාවෙන් තෝරා ගැනීමකට ආසන්න දෙයක්. 

ඩොලර්කරණය නරක දෙයක්ම නෙමෙයි. ලංකාවේ මුදල් ඒකකය ඩොලර් බවට පත් වෙනවා කියා කියන්නේ ලංකාවේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට සීමා වෙනවා කියන එක. ඇමරිකාව උද්ධමනය 2% මට්ටමේ පාලනය කර ගන්නා රටක්. බොහෝ රටවල් නිල ඩොලර්කරණය තෝරා ගන්නේ උද්ධමනය පාලනය කරන්න වෙන ක්‍රමයක් පේන්න නැති වූ විට. මෙහි තිබෙන අවාසිය වන්නේ මහ බැංකුව අවලංගු කාසියක් වී, සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවීමේ හැකියාව නැතිව යාමයි. හරියටම කිවුවොත් සල්ලි අච්චු ගැසීමේ ලාබය ඩොලර් අච්චු ගහන ඇමරිකාවට ලැබෙන එකයි.

දැන් මේ වැඩෙන් ලංකාවේ රජයට ලැබෙන වාසියක් ඇත්තෙම නැද්ද? වාසියක් නැත්තේ නැහැ. දැන් වාහන ආනයන නවත්වා ඇති නිසා රජයට අහිමි වන ආනයන බදු නැවතත් රජයට ලැබෙන්න පටන් ගන්නවා. ඒ හරහා රජයේ අයවැය හිඟය අඩු කර ගන්න පුළුවන්. සල්ලි අච්චු ගහන එක සීමා කරන්න පුළුවන්. එය රජයට වගේම රටටත් හොඳයි. 

හැබැයි මේ වැඩේ කළා කියලා අමුතුවෙන් රටට ඩොලර් එන්නේනම් නැහැ. වාහනයක් ආනයනය කරන කෙනෙක්ට ඒ වෙනුවෙන් ගෙවන්න වගේම රජයට බදු ගෙවන්නත් ඩොලර් හොයා ගන්න වෙන්නේ කොහොමටත් රටට එන ඩොලර් ටිකෙන්ම තමයි. අපනයනකරුවන් විසින් රටට නොගෙනවිත් තියාගෙන එන්න ඩොලර් ටිකක් වාහන විදිහට රටට එන්නනම්  පුළුවන්. 

උදාහරණයක් විදිහට කවුරු හෝ ආනයනකරුවෙක් ඩොලරයකට රුපියල් 250ක් බලාගෙන ඩොලර් රටින් එළියේ තියාගෙන ඉන්නවා කියා හිතමු. දැන් මේ සල්ලි ඩොලර් විදිහට ගෙනාවොත් ලැබෙන්නේ ඩොලරයකට රුපියල් 200ක් පමණයි. ඔය ඩොලර් වලින් රජයට බදුද ගෙවා වාහනයක් ආනයනය කළොත් වාහනය විකුණන මිලෙන් වක්‍ර ලෙස ඩොලරයකට රුපියල් 250ක් හොයා ගන්න පුළුවන්. මේ වෙලාවේ රටේ වාහන මිල ඉහළ ගොස් තිබෙන තත්ත්වයත් එක්ක වැඩි මිලකට වාහනයක් විකුණන එක අමාරු වැඩක් නෙමෙයි. වෙනත් විදිහකට කිවුවොත් මේ වෙලාවේ නැවත වාහන ආනයනය කරන්න ඉඩ දුන්නොත් රටින් පිටත ඩොලර් තියාගෙන ඉන්න අයට වක්‍ර ලෙස ඩොලරයක "නියම මිල" ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. 

Tuesday, October 12, 2021

මහ බැංකුව නැවතත් රෝදය සොයා ගනී!

 


මහ බැංකුව විසින් තවත් වරක් රෝදය අලුතෙන් හොයා ගෙන තිබෙනවා. ලංකාවේ ආර්ථික හා මූල්‍ය කේෂේත්‍ර වල පමණක් නොව සෞඛ්‍ය, කෘෂිකර්ම ආදී විවිධ කේෂේත්‍ර වල ප්‍රශ්න වලට විසඳුම් සොයන්නන් විසින් නැවත නැවතත් රෝදය අලුතෙන් සොයා ගනිමින් සිටිනවා. අත්දැකීම් අඩුකම නිසා වෙන්න ඇති!

අධිපති කබ්රාල් බලයට පත් වීමෙන් පසුව සයමසක මාර්ග සිතියමක් ඉදිරිපත් කරද්දී සඳහන් කළ එක් කරුණක් වුනේ ලංකාවේ රජය විසින් නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර අඩු මිලට ආපසු මිල දී ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. මේ වන විට මහ බැංකුව විසින් "අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා" මෙය පිළිබඳව සොයා බලා තිබෙනවා. ඔය වැඩේට කොයි තරම් වියදමක් ගියාද කියලානම් කියා නැහැ. 

මෙසේ මහන්සි වී, වියදම් දරා, සොයා බැලීමෙන් පසුව 2022 ජනවාරි මස පරිණත වීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර සමස්ත වටිනාකමෙන් අවම වශයෙන් සියයට 5ක ප්‍රමාණයක් හෝ ප්‍රකාශ කළ වට්ටම් සහිත මිල ගණන් යටතේ විකිණීමට නැති බවත්, මෙම තත්ත්වය යටතේ ආපසු මිලට ගැනීමේ ක්‍රියාවලියක් මඟින් රජයට සැලකිය යුතු මට්ටමක මිල හෝ පොලී ප්‍රතිලාභයක් නොලැබෙන බවත් "අලුතෙන්" හොයා ගෙන තිබෙනවා.

ආර්ථික විද්‍යාවේ අයනු ආයනු දන්නා කෙනෙක් වුවත් ඔය ටික දන්නවා. ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ආර්ථික විද්‍යාවේ හෝඩිය කියා කිව හැකියි. මහ බැංකුවේ ඉන්න විශාල පිරිසක් ආර්ථික විද්‍යාවේ අයනු ආයනු වලට වඩා බොහෝ දේ දන්නා අයයි. එහෙත්, ඉල්ලුම් සැපයුම් වක්‍ර හැදෙන ආකාරය ගැන නිසි අවබෝධයක් නැති හෝ විශ්වාසයක් නැති අයත් මහ බැංකුවේ සිටින බව මේ විදිහට රෝදය අලුතෙන් සොයා ගන්න මහන්සි වීමෙන් පෙනී යනවා.

පාඨකයෙකු විසින් "කබ්රාල් කරන්න යන්නේ කුමක්ද?" ලිපියට දැමූ ප්‍රතිචාරයකට අප ලබා දුන් පිළිතුරෙහි කොටසක් පහත තිබෙනවා.

"ඩොලර් 100ක මුහුණත අගයක් දැන් විකිණෙන්නේ ඩොලර් 60ට නම් බැඳුම්කර යම් ප්‍රමාණයක් මිල දී ගනිද්දී මේ මිල ඩොලර් 90 පමණ දක්වා ඉහළ යා හැකියි (උදාහරණයක් ලෙස). එහිදී නැවත ඩොලර් 90 බැගින් මෙම බැඳුම්කර විකිණුවොත් ඩොලර් 30ක ලාබයක් ලංකා බැංකුවට ලැබෙනවා. එහෙත්, එසේ විකුණන්න යද්දී නැවතත් ඩොලර් 60 දක්වා මිල අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව අහම්බයෙන් සිදු වුනොත් මිසක් මේ විදිහට සැලකිය යුතු වාසියක් ලබන්න බැහැ."

නිදහස් වෙළඳපොලක මිල කියා කියන්නේ ආන්තික සැපයුම්කරු විසින් විකුණන්න කැමති මිල (marginal seller's valuation) මිසක් සැපයුම්කරුවෙකු විකුණන්න කැමති සාමාන්‍ය මිල (average seller's valuation) නෙමෙයි. ඕක තේරුම් ගන්න ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් තෑග්ග ගන්න අවශ්‍ය නැහැ. 

ස්වෛරිත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ වෙත පැමිණියහොත් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් දැන් ඩොලර් 60කට විකිණෙනවා කියා කියන එකෙන් අදහස් වෙන්නේ ඩොලර් 100ක මුහුණත අගයක් ඩොලර් 60කට විකුණන්න කැමැති එක් ආන්තික සැපයුම්කරුවෙක් සිටින බව මිසක් හැම කෙනෙක්ම ඒ මිලට විකුණන්න සූදානම්ව සිටින බව නෙමෙයි. මේ ආන්තික සැපයුම්කරුවා හැරුණු විට අනෙක් හැම කෙනෙක්ම තමන් සතු ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් ඊට වඩා මිලක් අපේක්ෂා කරන අයයි. මෙය ආර්ථික විද්‍යාවේ ඉතාම මූලික මට්ටමේ හා වැදගත්ම  මූලධර්මයක්.

ඒ වගේම අනෙක් පැත්තෙන් මෙයින් කියැවෙන්නේ කිසිදු ගැනුම්කරුවෙකු විසින් ජනවාරි කල් පිරෙන බැඳුම්කරයක ඩොලර් 100ක මුහුණත අගයක් සඳහා ඩොලර් 60 ඉක්මවන මිලක් ගෙවන්න සූදානම් නැති බවයි. ඩොලර් 60 කියා කියන්නේ ගැනුම්කරුවෙකු විසින් මේ වෙලාවේ ගෙවන්න කැමති උපරිම මිල. ඒ මිල වුවත් ගෙවන්න කැමැත්තෙන් ඉන්නේ එකම එක ආන්තික ගැණුම්කරුවෙකු පමණයි. ඉතිරි ගැණුම්කරුවන් සියලු දෙනාම ගෙවන්නට කැමතිව සිටින්නේ මීට වඩා අඩු මිලක්. 

මහ බැංකුව විසින් කළ යුත්තේ ගේමක් ගසා වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කරන ආකාරය ගැන හිතන්න මහන්සි නොවී මිල සංඥාව නිවැරදිව ග්‍රහණය කර ගැනීමයි. මිල සංඥාව මගින් පෙන්නුම් කරන්නේ ලංකාව අලුතෙන් නිකුත් කරන ඩොලර් 100ක බැඳුම්කරයක් මේ වෙලාවේ ඩොලර් 60කට විකුණන්නත් අමාරු බවයි. ඒ තත්ත්වය වෙනස් කරන්නම් එහෙම වෙලා තියෙන්නේ ඇයි කියන එක තේරුම් ගෙන අදාළ ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුතුයි. එහෙම නැතුව ටින්කරින් කරලා සාර්ව ආර්ථික ප්‍රශ්න විසඳන්න බැහැ. 

මහ බැංකුව විසින් කවුරු හෝ නියෝජිතයෙකු හරහා ඩොලර් 60 බැගින් ඩොලර් 100ක මුහුණත අගයක් මිල දී ගත් වහාම ඩොලර් 60ට බැඳුම්කර විකුණන්න කැමති විකුණුම්කරුවන් වෙළඳපොළේ නැතිව යනවා. එවිට ඉතිරිවන ආන්තික විකිණුම්කරුවා අවම වශයෙන් ඩොලර් 65ක් වැනි මිලක් බලාපොරොත්තු වෙනවා. ඒ මිලට විකිණෙන බැඳුම්කර ටිකත් මිල දී ගත්තොත් ද්වීතියික වෙළදපොළ මිල ඩොලර් 70ට නගිනවා. ඔය විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගන්නා තරමට මිලද ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. නමුත්, ඔය වැඩෙන් සිදු වන වාසියක් තියෙනවද?

මේ විදිහට අලුතෙන් හදපු කෘතීම ගැනුම්කරුවා බැඳුම්කර වලට වැඩි මිලක් ගෙවුවත් අනෙකුත් බාහිර ගැණුම්කරුවන් විසින් ගෙවන්න කැමති උපරිම මිල වෙනස් වෙන්නේ නැහැ. එම මිල ඩොලර් 60ක් හෝ ඊට අඩු මිලක්. ඒ නිසා මේ විදිහට ඩොලර් 60, 65, 70 හෝ 90 වැනි මිලකට මිල දී ගත් බැඳුම්කර නැවත විකුණනවානම් විකුණන්න වෙන්නේ ඩොලර් 60කට හෝ අඩු මිලකටයි. මිල කියන්නේ ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී වෙනස් වෙන දෙයක් මිසක් නොවෙනස් වන ස්ථිර දෙයක් නෙමෙයි. 

වත්මන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ සිට විගණකාධිපති දක්වා බොහෝ අය "බැඳුම්කර මගඩියේ" පාඩුව ගණන් හැදුවේත් ඔය ක්‍රමයටයි. ඒ කියන්නේ, ඩොලර් බිලියනයක් විකිණිය හැකිව තිබුණු මිලටම ඩොලර් බිලියන 10ක් හෝ ඊට වැඩි ඕනෑම බැඳුම්කර ප්‍රමාණයක් විකිණිය හැකිව තිබුණේයැයි උපකල්පනය කරලා. එහෙම කරන්න බැරි බව ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය පිළිබඳ මූලික අදහසක් තිබෙන කෙනෙක් වුවත් දන්නවා. විකුණන බැඳුම්කර ප්‍රමාණය ඉහළ යද්දී ගෙවිය යුතු පොලී අනුපාතිකයත් ඉහළ යනවා. මිල එක තැන තියාගෙන සැපයුම අසීමිත ලෙස වැඩි කරන්න බැහැ. 

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සෘජු නිකුතු ක්‍රමය පදනම් වී තිබුණේ ඔය විදිහට මිල එසේම තිබියදී බැඳුම්කර ඕනෑ තරම් විකිණිය හැකියි කියන වැරදි උපකල්පනය මතයි. මහ බැංකුවට බලපෑම් කළ හැකි සේවක අර්ථසාධක අරමුදලට හෝ රාජ්‍ය බැංකුවකට ඔය විදිහට තමන්ට අවශ්‍ය මිලකට බැඳුම්කර විකිණිය හැකිව තිබුණත් නිදහස් වෙළඳපොළක එවැන්නක් කළ නොහැකියි. වෝහාරික විගණන වාර්තාවේ ගණන් හදා පෙන්වා දෙන්නේ මෙසේ කළ නොහැකි වූ අවස්ථා වලදී සිදු වූ "පාඩුවයි".

මේ වැරැද්ද මහ බැංකුවේ පමණක් සිදුවන හෝ ලංකාවේ පමණක් සිදු වන වැරැද්දක් නෙමෙයි. ලෝකයේ ලොකුම ධනපතියන්ගේ වත්කම් දුප්පත් රටවල ජාතික ආදායම් සමඟ සසඳන ඇතැම් අයත් මේ වැරැද්දම කරනවා. මේ මොහොත වන විට ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 203.5ක්. ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 189.5ක්. සමහර "දාර්ශනිකයෝ" යෝජනා කරන විදිහට මේ අයගේ වත්කම් වලින් කොටසක් ලෝකයේ දුප්පත් මිනිස්සු අතර බෙදා දෙන්න බැරිද?

මේ වෙද්දී ටෙස්ලා කොටසක මිල ඩොලර් 800ක් පමණ වෙනවා. ඇමසන් කොටසක මිල ඩොලර් 3,246ක්. ඊලෝන් මස්ක්, ජෙෆ් බෙසෝස් වගේ ධනවතුන්ගේ වත්කම් කියා කියන්නේ ඔවුන් සතු මෙවැනි කොටස් හිමිකම්. 

ටෙස්ලා සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය බිලියනයක්. එහෙත් එම කොටස් වලින් වෙළඳපොළේ හුවමාරු කළ හැක්කේ කොටස් මිලියන 800කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එයින් පසුගිය තෙමස තුළ වෙළඳපොළේ ඇත්තටම හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 18ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 1.8%ක් පමණයි. 

ඇමසන් සමාගම විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රමාණය මිලියන 510ක් පමණ වෙනවා. එයින් කොටස් මිලියන 455ක් පමණ වෙළඳපොළේ හුවමාරු කළ හැකි කොටස් වුවත් පසුගිය තෙමස තුළ ඇත්තටම වෙළඳපොළේ හුවමාරු වී තිබෙන්නේ කොටස් මිලියන 3ක් පමණයි. එනම් මුළු කොටස් ප්‍රමාණයෙන් 0.6%ක් පමණ.

වෙනත් ඕනෑම මූල්‍ය වත්කමක් සැලකුවත් දැකිය හැක්කේ ඔය වගේ තත්ත්වයක්. අදාළ වත්කම හිමි අයගෙන් විශාල පිරිසක් එය වෙළඳපොළේ විකුණන්නේ නැහැ. වෙළඳපොළ මිල තීරණය කරන්නේ ඉතා සීමිත ආන්තික සැපයුම්කරුවන් හා මිල දී ගන්නන් පිරිසක් විසින්. ඊලෝන් මස්ක් හෝ ජෙෆ් බෙසෝස් විසින් ඔවුන්ගේ වත්කම් වලින් 1%ක් දුප්පත් මිනිසුන් අතර බෙදා හැරියොත් ඔවුන් මේ කොටස් හිමිකම් මුදල් කරන්න යද්දී ක්ෂණිකවම මේ කොටස් වල මිල කඩා වැටෙනවා. ඊලෝන් මස්ක්ගේ හා ජෙෆ් බෙසෝස්ගේ වත්කම්ද විශාල ලෙස පහත වැටෙනවා. ඔවුන්ගේ වත්කම් වලින් 10%ක් පමණ මේ විදිහට බෙදා හැරියොත් කොටස් මිල හොඳටම පහත වැටී ඔවුන් තව දුරටත් ලොකු ධනවතුන් නොවිය හැකියි. ජනහිතකාමය වෙනුවෙන් පෙනී සිටින බිල් ගේට්ස් හා මාක් සකර්බර්ග් වැනි එය එක වරකට තමන්ගේ වත්කම් වලින් ඉතා කුඩා කොටසක් පමණක් නිදහස් කරන්නේ මේ හේතුව නිසයි.

මේ කතාව අදාළ වන්නේ මූල්‍ය වත්කම් වලට පමණක් නෙමෙයි. ලංකාවේ නිවාස වෙළඳපොළ සලකන්න. ලංකාවේ බොහෝ දෙනෙක් තමන් දුක් මහන්සියෙන් හදාගන්නා හෝ උරුමයෙන් ලැබුණු නිවස ලේසියකට විකුණන්නේ නැහැ. එහෙත් එසේ කරන සුළු පිරිසක් ඉන්නවා. වෙළඳපොළේ නොවිකිණෙන නිවාස හා ඉඩම් විශාල ප්‍රමාණයක මිල තීරණය කරන්නේ එම සුළු පිරිසයි. මෙය නිදහස් වෙළඳපොලක මූලික ස්වභාවයයි. වෙනත් ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකටද මේ කරුණ අදාළයි.

මේ හේතුව නිසාම විණිමය අනුපාතය කෘතිමව පාලනය කරමින් ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ හෝ විදේශ විණිමය ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඩොලරයක මිල තීරණය කරනවානම් රටට එන ඩොලර් සැපයුම වැඩි කළ නොහැකියි. ඩොලර් සැපයුම වැඩි කරන්න අවශ්‍යනම් මිල එක තැන තියා ගෙන එය කළ නොහැකියි.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...