ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.
කිසිවෙකු විසින් මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන තුරු මාක්ස්වාදය පිළිබඳ මගේ විවේචනය දිගින් දිගටම ඇදගෙන යන එකේ තේරුමක් නැතත්, තවදුරටත් පැහැදිලි කළ යුතුම කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පසුව, අනෙක් "වාද" ගැනත් එකින් එක හෙමිහිට කතා කරමු.
ආර්ථික තලයේදී මාක්ස්වාදය ධනවාදයෙන් වෙනස් වන ප්‍රධානම කරුණ මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. මාක්ස් ජිවත් වූ කාලයේ ඔහු නිරීක්ෂණය කළ දේවල් මත පදනම්ව ඔහු තමන්ගේ න්‍යාය හරහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ඉතාම ස්වභාවික දෙයක්. ඔහු ජිවත් වූ යුගයේ මා ජීවත් වූවානම් "ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද?" කියා මා අසන එකක් නැහැ. මාක්ස්වාදයට විසඳුම් දිය හැකි, එහෙත් ධනවාදයට විසඳුම් දිය නොහැකි සේ පෙනුණු ප්‍රශ්න ඒ යුගයේදී පෙනෙන්නට තිබුණා.
එතැන් සිට අද දක්වා කැපී පෙනෙන ලෙස කාලය තුළ වෙනස් වී තිබෙන්නේ නිෂ්පාදන තාක්ෂනය මිස ධනවාදය නෙමෙයි. එයින් කියන්නේ ධනවාදයේ ස්වරූපය වෙනස් වී නැති බව නෙමෙයි. ධනවාදය කියා කියන්නේම නිෂ්පාදන තාක්ෂනය සමග නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. නිෂ්පාදන තාක්ෂනයේ ප්‍රගමනය කෙරෙහි ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය බලපෑමක් කරනවා. ප්‍රාග්ධන හිමිකාරිත්වයේ සංයුතිය කෙරෙහි පවතින ධනවාදයේ ස්වරූපය බලපෑමක් කරනවා. ධනවාදයේ ස්වරූපය නැවත නිෂ්පාදන තාක්ෂනය මත තීරණය වෙනවා. මෙය චක්‍රීය සම්බන්ධයක්.
මෙයින් වෙනස්ව මාක්ස් ඇතුළු බොහෝ සමාජවාදීන් විසින් දකින්නේ රේඛීය සමාජ ප්‍රගමනයක්. එහි අවසානයේ මනෝරාජික කොමියුනිස්ට් සමාජයක් තිබෙනවා. මේ අදහස මට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් මෙය අනිවාර්යතාවක් සේ දකින්න හේතු කිසිවක් මට පෙනෙන්නේ නැහැ. වෙනත් විකල්ප අනාගතයන් ගණනාවක්ද මට පෙනෙනවා. උදාහරණයක් විදිහට රොබෝලා විසින් මිනිසුන්ව මුළුමනින්ම විනාශ කර දමන හෝ සුරතල් සතුන් සේ නඩත්තු කරන අනාගතයක් හැදෙන්න බැරිකමක් නැහැ. අනාගතය නිශ්චිත ලෙස තීරණය වී ඇතැයි මම සිතන්නේ නැහැ. එය තීරණය වනු ඇත්තේ අද අප කරන දේවල් මතයි. ඇතැම් විට ගොඩක් පොඩි, සරල දේවල් නිසා වෙන්න පුළුවන්.
ධනවාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධන හිමියන්ට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හිමිවියයුතු බවයි. මේ හේතුව මත ප්‍රාග්ධන හිමියන් අනිවාර්යයෙන්ම එන්න එන්නම පෝසත් වෙනවාද? පැහැදිලිවම නැහැ.
ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රාග්ධන හිමියා විසින් පරිභෝජනය කරන කොටස අපි පැත්තකින්ම තියමු. ඒ කියන්නේ එම ප්‍රතිලාභ වලින් කිසිවක්ම පරිභෝජනය නොකරනවා කියා සිතමු. එසේ වුවද, ප්‍රාග්ධන හිමියකු විසින් උපයන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ හේතුවෙන් ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වන්නේ නැහැ. එයට හේතුව නිෂ්පාදනයේදී ප්‍රාග්ධනය වැය වී අවසන් නොවන නමුත් යම් තරමකින් ක්ෂය වීමයි. කාලයක් මිරිස් අඹරද්දී මිරිස් ගලක් වුවත් ගෙවෙනවා. කාලයක් වී කොටද්දී ගල් වංගෙඩියක් වුනත් හෑරෙනවා. පරිගණක, ගොඩනැගිලි, මහා මාර්ග, රථ වාහන, පාලම්, යන්ත්‍ර සූත්‍ර යම් කාලයක් යද්දී තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි තරමට ක්ෂය වී යනවා. දිගින් දිගටම වගා කරද්දී ඉඩම් නිසරු වෙනවා.
මෙසේ ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලින් ප්‍රතිපූරණය නොවුනොත් වෙන්නේ ප්‍රාග්ධන හිමියාගේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම වෙනුවට ක්ෂය වීමයි. මේ කාරණයේදී ධනවාදය ප්‍රාග්ධන හිමියාගේ පැත්ත ගන්නේ නැහැ. ක්ෂය වී යන තමන්ගේ ප්‍රාග්ධන සංචිත නඩත්තු කළ හැකි හෝ වර්ධනය කරගත හැකි තරම් ප්‍රතිලාභ ලැබෙන තැන් සොයමින් ඒවා ආයෝජනය කිරීම ප්‍රාග්ධන හිමියෙකු විසින් නිරන්තරයෙන් කළ යුතු වැඩක්. එහිදී ප්‍රාග්ධන හිමියෙකුට තරඟ කරන්න වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අනෙකුත් ප්‍රාග්ධන හිමියන් සමඟයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර තරඟයක් ඇති වන්නේත්, හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේත්, වෙළඳපොළ තරඟය දුර්වල වී ඒකාධිකාර හැදුනු විටයි.
මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් ප්‍රාග්ධනය ක්ෂය වීම කියන කාරණයේදී ඇත්තටම කරන්නේ ප්‍රාග්ධනයේ පැත්ත ගන්න එකයි. මාක්ස්වාදී බෙදීමකදී අතිරික්තය ගණන් බලන්නේම ප්‍රාග්ධනය ක්ෂය වීම ප්‍රතිපූරණය කිරීමෙන් පසුවයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම නඩත්තු කිරීම වැනි අවස්ථා වලදී වෙන්නේ ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනයේ පැත්ත ගැනීමක්. ශ්‍රමයේ කොටස අඩු වෙලා ප්‍රාග්ධනයේ කොටස වැඩි වෙනවානම් ප්‍රාග්ධන හිමියා ඒකීය පුද්ගලයෙකු නොවී රජය වුනා කියලා ශ්‍රමිකයාට යහපතක් වෙන්නේ නැහැ.
ධනවාදී ක්‍රමයකදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ක්ෂය වන ප්‍රාග්ධනය පමණක්ද? ඇතැම් ප්‍රාග්ධන හිමියන්ට ධනවාදී ක්‍රමයකදී ක්ෂය වන ප්‍රාග්ධනය හෝ නොලැබෙන නමුත් සමස්තයක් ලෙස ප්‍රාග්ධන හිමියන්ට බොහෝ විට ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි යමක් ලැබෙනවා. ඒ වගේම ධනවාදී ක්‍රමයකදී සාමාන්‍යයෙන් කාලයත් සමඟ රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වීමක්ද සිදු වෙනවා. ඒ නිසා, ධනවාදී ක්‍රමයකදී ශ්‍රමිකයන්ට සාපේක්ෂ අවාසියක් සිදු වෙනවද?
සමාජවාදී ක්‍රමයකදී වුවත් ප්‍රායෝගිකව අතිරික්තයෙන් ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්. ඕනෑම සමාජවාදී රටක් තමන්ගේ ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමටත්, අනාගතය ඉලක්ක කර ආයෝජනය කිරීමටත් පෙළඹෙනවා. මුලින්ම අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ඇමරිකාවටත් වඩා විශාල ආයෝජන කළේ සෝවියට් දේශයයි. දැන් චීනය ගත්තත් ඔවුන්ගේ ප්‍රාග්ධන ආයෝජන ගොඩක් වැඩියි. සෑම වසරකම චීනය ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කරන කොටස ක්ෂය වන ප්‍රාග්ධනයට වඩා වැඩි කොටසක්.
මෙයින් පැහැදිලි වනු ඇත්තේ ධනවාදය හා සමාජවාදය අතර මූලධාර්මික වෙනස්කම් කෙතෙක් වුවත් අවසාන වශයෙන් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය ප්‍රායෝගිකව බෙදී යන ආකාරය පිළිබඳ වෙනස්කම් ඉතා සියුම් බවයි. ඒ නිසා, ධනවාදය යටතේ ප්‍රාග්ධනයට වාසි සැලසෙන බව හා සමාජවාදය යටතේ ශ්‍රමයට වාසි සැලසෙන බව වැනි කරුණු නිශ්චිතව ප්‍රකාශ කළ හැකි තර්කානුකූල පදනමක් අපට නැහැ. එවැනි වෙනස්කම් ඇත්දැයි අපට පරීක්ෂා කර බැලිය හැක්කේ අනුභූතික කරුණු මත පදනම්වයි.
අපි නැවතත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වෙත යමු.
Y = F(K,L) = AKαLß
මෙහි α හා ß පරාමිතීන්ගෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදනයක් සඳහා ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ දායකත්වය. ධනවාදී ක්‍රමයකදී ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර නිෂ්පාදන අතිරික්තය බෙදී යා හැකි සේ සැලකෙන්නේ α හා ß අතර අනුපාතයටයි. එහෙත්, ඇමරිකාව හෝ ජර්මනිය වැනි, සෛද්ධාන්තික පූර්ණ ධනවාදයන් නොවන එහෙත් ධනවාදයට වඩා බර රටක් ගත්තොත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර මේ අනුපාතයටම බෙදී නොයනවා විය හැකියි. විශේෂයෙන්ම ප්‍රාග්ධන හිමියන් සතුව යම් ඒකාධිකාරයක් තිබීම හා ඒ මත පදනම්ව ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභ වලට වඩා වැඩි යමක් ලබා ගැනීම අපට එකවර බැහැර කරන්න බැහැ.
මේ α හා ß කර්මාන්තය අනුව වෙනස් වෙනවා. සංචාරක සේවා සැපයීම වැනි කර්මාන්තයකට ශ්‍රමයේ දායකත්වය වැඩියි. දුම්රිය ප්‍රවාහනය වැනි කර්මාන්තයකට ප්‍රාග්ධනයේ දායකත්වය වැඩියි. ස්වයංකරණය වැඩි වන තරමට ශ්‍රමයේ දායකත්වයද අඩු වෙනවා. කෙසේ වුවත්, කිසියම් රටක් හා අදාළව අපට මේ පරාමිතීන්ගේ සාමාන්‍ය අගයක් රටේ එම අගයයන් සේ සලකන්න පුළුවන්. ලෝකයේ රටවල් අතර නිෂ්පාදන තාක්ෂනයන්හි මේ කරුණ හා අදාළ වන විශාල වෙනස්කම් නොමැති නිසා පුළුල් ආර්ථිකයන් ඇති රටවල් අතර α හා ß අගයයන්හි විශාල වෙනස්කම් තිබිය නොහැකියි.
ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි රටක් ඉතාම පහසුවෙන් පුළුල් ආර්ථිකයක් ඇති රටක් සේ හඳුනාගත හැකියි. එහෙත්, තෙල් මත රැඳුණු මැද පෙරදිග රටවල් හා සංචාරක කර්මාන්තය මත රැඳුනු ඇතැම් කුඩා දූපත් රාජ්‍ය එසේ සැලකිය නොහැකියි. එවැනි රටවල α හා ß අගයයන් ආර්ථිකයේ ප්‍රමුඛ කර්මාන්තයේ එම අගයයන්ට සමීප වෙනවා. රටක නිෂ්පාදන ශ්‍රිතයේ α හා ß අගයයන් අපට හරියටම නිශ්චිතව මැන ගැනීම අසීරු වුවත්, නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ඇත්තටම බෙදී යන විදිහ අපිට හරියටම හොයා ගන්න පුළුවන්. ධනවාදී රටවල් සමාජවාදී රටවල් වලට වඩා කොපමණ ශ්‍රමය සූරාකනවද කියා පරික්ෂා කර බලන්න පුළුවන් හොඳම විදිහ මේ සංඛ්‍යාලේඛණ පරීක්ෂා කරන එකයි. මතක තියා ගන්න අපි මේ පරික්ෂා කරන්නේ සමාජවාදීන්ට ගොඩක් වැදගත් දෙයක් මිසක් ධනවාදීන්ට එතරම් වැදගත් දෙයක් නෙමෙයි.
ලෝකයේ එක් එක් රටවල සමස්ත නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ආකාරය පහත වගුවේ තිබෙනවා. අවසන් තීරුවේ තිබෙන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය.
බොහෝ බටහිර රටවල ශ්‍රමය වෙනුවෙන් වෙන් කෙරෙන පංගුව ජාතික ආදායමෙන් 60%කට ආසන්නයි. ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් වන කොටස 40%ක් පමණ.
ඇමරිකා එක්සත් ජනපදය - 59.4%
එක්සත් රාජධානිය - 59.1%
ප්‍රංශය - 62.2%
ජර්මනිය - 63.0%
ඕස්ට්‍රේලියාව - 58.2%
කැනඩාව - 65.3%
ඩෙන්මාර්කය - 62.5%
ෆින්ලන්තය - 59.2%
ස්වීඩනය - 54.9%
පෘතුගාලය - 58.8%
නවසීලන්තය - 55.7%
ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන ප්‍රතිශතය අනුව බැලුවොත්, අපේ පාඨකයන් අතර සිටින ඇතැම් අයගේ පරමාදර්ශී රාජ්‍ය ආකෘතිය ක්‍රියාත්මක වන ස්කැන්ඩිනේවියන් රටවල් හා අනෙකුත් බටහිර රටවල් අතර වෙනසක් නැහැ. ඒ වගේම, රුසියාව, චීනය වගේ රටවල් වලත් ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස 60%කට ආසන්නයි.
රුසියාව - 56.0%
චීනය - 57.4%
එහෙත්, ලංකාවේ දැකිය හැක්කේ මේ අනුපාතය කණපිට හැරී ඇති තත්ත්වයක්.
ශ්‍රමය - 38.8%
ප්‍රාග්ධනය - 62.2%
මෙහෙම වෙන්නේ ලංකාවේ නිෂ්පාදන ශ්‍රිතය වෙනස් නිසාද? ප්‍රාග්ධනය වෙනුවෙන් මේ තරම් ඉහළ ප්‍රතිලාභ ලැබෙන වෙනත් රටවල් නැද්ද?
නැත්තේ නැහැ. එවැනි තවත් රටවල් තිබෙනවා. මේ මැද පෙරදිග රටවල ශ්‍රමයේ පංගුව.
ඉරානය - 32.3%
ඉරාකය - 29.6%
කුවේට් - 24.5%
ඕමාන් - 30.3%
කටාර් - 17.3%
සවුදි අරාබිය - 28.1%
මේ රටවල පුළුල් ආර්ථිකයක් නැහැ. ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම දුවන්නේ තෙල් මත. ශ්‍රමය සපයන බොහෝ දෙනෙක් විදේශිකයෝ. ඒ අයට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ප්‍රාග්ධනය සමඟ සටන් කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා අඩු දෙයක් වුවත් තමන්ගේ රටවල රැකියා කර ඔවුන්ට ඒ මුදලවත් උපයන්න බැහැ. ඒ නිසා දෙන දෙයක් බාර ගන්න වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රමය වෙනුවෙන් අඩු කොටසක් වෙන් කෙරුණත් මේ රටවල් වල ස්වදේශිකයන්ට එයින් වාසියක් මිස පාඩුවක් නැහැ.
එහෙත් ලංකාවේ මෙවැනි තත්ත්වයක් නැහැ. ලංකාව ප්‍රාග්ධන මූලික නිෂ්පාදනයක යෙදෙන රටක් නෙමෙයි. එහෙමනම් ලංකාවේ ශ්‍රමයේ පංගුව මෙතරම් අඩු ඇයි? මේ තමයි අවුරුදු 73ක ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති වල අවසන් ප්‍රතිඵලය!
මැද පෙරදිග රටවල් තෙල් මත දුවන, පුළුල් පදනමක් නැති ආර්ථිකයන් වනවාට අමතරව බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍ය ඒකාධිකාරයන්ද වෙනවා. මේ රටවල ප්‍රාග්ධන හිමිකාරිත්වය සම්බන්ධව තිබෙන්නේ සමාජවාදයෙන් යෝජනා කරන ආකාරයේ ඒකාධිකාරයක්. මැද පෙරදිග රටවල වගේම කවුරුවත් සමාජවාදී රටක් සේ හඳුන්වන්නේ නැති, එහෙත් සමාජවාදී ආකෘතියේම රටක් වන සිංගප්පූරුවේ ජාතික ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදෙන්නේත් වෙනිසියුලාව වැනි සමාජවාදී රටක ජාතික ආදායම බෙදී යන විදිහටමයි. මේ රටවල් මේ කාරණයෙන් ලංකාවෙන් වෙනස් නැහැ. එම රටවල ශ්‍රමයේ පංගුව පහත දැක්වෙනවා.
වෙනිසියුලාව - 41.7%
සිංගප්පූරුව - 44.0%
විවිධ රටවල ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාත දිහා බැලුවත් ලංකාවේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි කියන කරුණ කැපී පෙනෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය - 7.4%
එක්සත් රාජධානිය - 8.7%
ප්‍රංශය - 4.6%
ජර්මනිය - 5.0%
ඕස්ට්‍රේලියාව - 4.7%
කැනඩාව - 5.0%
ඩෙන්මාර්කය - 5.5%
ෆින්ලන්තය - 6.0%
ස්වීඩනය - 5.9%
පෘතුගාලය - 5.5%
නවසීලන්තය - 8.3%
රුසියාව - 2.3%
චීනය - 8.5%
වෙනිසියුලාව - 5.6%
සිංගප්පූරුව - 15.9%
ඉරානය - 8.0%
ඉරාකය - 12.5%
කුවේට් - 12.8%
ඕමාන් - 11.8%
කටාර් - 20.7%
සවුදි අරාබිය - 11.7%
ලංකාව - 22.7%
ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ මානව ප්‍රාග්ධන සංචිත වැඩි කරන්න කාලයක් තිස්සේ කරපු දේවල් වලින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් වී ඇති බවයි. එහෙත් ඇත්තටම එයින් සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් පවතින්නේත් එහි අනෙක් පැත්තයි. මානව ප්‍රාග්ධනය සුලභ වී ශ්‍රමය අතර තරඟය වැඩි වන තරමට එහි වාසිය ලැබෙන්නේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසටයි. ශ්‍රමය "සූරාකෑම" නැති වෙන්නේ ප්‍රාග්ධන හිමියන් වැඩි වී ඔවුන් අතර තරඟය තියුණු වන තරමටයි.
කොමියුනිස්ට් පක්ෂ පාලනයක් යටතේ වුවත් චීනය මේ පාඩම ඉගෙන ගෙන හොඳින් ක්‍රියාත්මක කරනවා. එහෙත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම වගේ දැන හෝ නොදැන කාලයක් තිස්සේ කරලා තියෙන්නේත්, තවමත් කරමින් ඉන්නේත්, ශ්‍රමයට එරෙහිව ප්‍රාග්ධනය වෙනුවෙන් සේවය කරන එකයි.
මේ Cobb Douglas production function එක ධනවාදයේ අර්බුදය පිළිබඳ හෝ එහි ඇති අඩුපාඩු වසාගැනීමට භාවිතා කරන එක විසුළු සහගතයි. CDPF සමීකරණ ආශ්‍රිතව ගොඩ නැගෙන සංකල්ප මගින් පැහැදිලි කරන්නේ ප්‍රදානයන් (inputs) දෙකක් හෝ කිහිපයක් මගින් ලබාගන්නට පුළුවන් වන ප්‍රතිදාන ප්‍රමාණය පිළිබඳව ඇති තාක්ෂණික සම්බන්ධතාවය පමණයි. නමුත් මීට අමතරව ආදායම් මත අයකෙරෙන බදු, වෙනත් බදු, භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදී මිල ගණන් වල බලපෑම ආදී වශයෙන් බොහෝ දේ ගැන සෑහෙන දුරට හොඳින් විශ්ලේෂණයන් කිරීමෙන් පමණක් රටක ප්‍රාග්ධන ආයෝජකයන් සහ ශ්‍රමිකයන් ලබන ආදායම තුල ඇති "සාධාරණ" හෝ "සදාචාරසම්පන්න" ආදී සංකල්ප පිළිබඳ අවශ්‍ය නම් සාකච්ඡා කරන්නපුළුවන් වෙයි.
ReplyDeleteමේ පිළිබඳව ප්‍රවේශයක් ලෙස ප්‍රසිද්ධ සත්‍ය කතාවක් ඇසුරින් පැහැදිලි කිරීමක් කරන්නම්, කතාව අනුව දෙවන ලෝක යුධ සමයේදී ජර්මානු හමුදා නිලධාරියෙක් පිකාසෝගේ පැරිසියේවූ චිත්‍ර කලාගාරය නැරඹීමට පැමිණි අතර එහිදී Guernica නම් පිකාසෝගේ නුතනවාදී සිතුවමක් ඔහුගේ ඇස ගැටුනා. මේ ව්‍යාකූල සිතුවම නිර්මාණය කර තිබුනේ, මිනිස් මුහුණු, සත්ත්ව මුහුණු ආදී විවිධ විකාරරූපී හැඩතල වලින්. එහි ව්‍යාකූලත්වයෙන් කැළඹීමට පත්වූ හමුදා නිලධාරියා පිකාසෝ ගෙන් ඇසුවා "ඔබද මේ චිත්‍රය කළේ?" කියා.
පිකාසෝ බොහොම සාවධානව ජර්මන් නිලධාරියාට උත්තර දුන්නා "නෑ! නෑ! මම නෙමේ මේක කළේ ඔබලාම තමයි" කියා.
මේ වගේම ලෝකයේ ඉතිහාසය පුරාම මහා පරිමාණ විරෝධතා ඇති වී ඇත. ඉන්දියානු ගොවි අරගල, LGBTQ විරෝධතා, හැටේ දශකයේ පැරිස් විරෝධතා, වියට්නාම් යුද විරෝධී අරගල මෙන්ම මෑතකදී Black Lives Matters, ගෝලීය පාරිසරික විසඳුම් සඳහා සටන් ආදිය ලෝකයේ මෙතෙක් ඇති වූ විශාල ප්‍රමාණයේ විරෝධතාවයන්. එපමණක් නොව, කුඩා ප්‍රමාණයේ විරෝධතාද වර්තමාන මොහොත වන විටත් සිදුවෙමින් පවතී.
කුඩා හෝ විශාල වේවා, ජීවත්වීමේ නිදහස, සමාන අවස්ථා, ජාතිවාදයට එරෙහිව, කාන්තාවන්ගේ නිදහස උදෙසා, දේශපාලන ආගමික හිංසනයට එරෙහිව ආදී එකී මෙකී සමානාත්මතාවය දිනාගැනීමේ සටන් කරන්නාවූ මිනිසුන් පෙළපාලි පවත්වයි. අරගල සිදු කරයි. එවැනි අරගල වල ප්‍රතිඵල ලෙස දේපල අලාභ හානි සිදුවී ව්‍යාකූලත්වය නගරයට පැමිණෙයි.
අරගලකරුවන් පොලිස් කඳුළුගෑස් ප්‍රහාරයට ලක්වෙයි. අවසානයේදි ඔවුන් යටත් වී පසු බසියි. එසේ අරගල කළ, ඉතිරිව සිටින විරෝධතා කරුවන් කීපදෙනෙකු අල්ලා ගැටගසා උඹලා නේද මේවා කළේ කියා ඇසූවිට දිය යුතු පිළිතුර වන්නේ අනෙකක් නොව පිකාසෝගේම පිළිතුරයි.
"නෑ අපි නෙමේ මේවා කළේ නුබලා. මේ නුබලාගේ දේශපාලනයෙහි මහඟු ප්‍රතිඵලයයි. විරෝධතා ඇතිවන තත්ත්වයට පත්වූයේ, නුඹලාගේ අදුරදර්ශී මුළාවූ දේශපාලනයේම ප්‍රතිඵලයක් වශයෙන්මයි."
තව දුරටත් අප අසා ඇති පැරණි විහිළුවක් මෙසේ වෙයි. දිනක් ස්වාමියා වෙනදාට වඩා කලින් ගෙදර එයි. තමන්ගේ බිරිඳ වෙන මිනිසකු සමඟ ඇඳේ යහන්ගත වී සිටිනු ඔහු දකී. කලින් ගෙදර පැමිණි ස්වාමියා දැක වික්ෂිප්ත වන බිරිඳ "අද ඔහේ කලින් ගෙදර ආවේ මොකද? " දැයි ඔහුගෙන් අසයි. මින් තවත් කෝපයට පත් ස්වාමියා, "මිනිහෙක් එක්ක මගේ ඇඳේ ඔහේ මොකද කරන්නේ යැයි, ඇයගෙන් පෙරළා අසයි."
Deleteඑවිට බිරිඳ කියන්නේ මෙවැන්නකි. "මමනේ මුලින්ම ප්‍රශ්නයක් ඇහුවේ නේද?. ඒකට උත්තර දීලා ඉන්න ඔයා මුලින්ම."
එලෙසින්ම අපට පෙනී යන්නේ, වර්තමානයේදී විෂමකාරී දේශපාලන, සමාජීය, ආර්ථික ප්‍රශ්න කතා කරනා, ඒවාට විරුද්ධ වන අයව ප්‍රශ්න කරනවා විනා ඒවා තුඩු දීමට මූලික වූ කරුණු වෙතින්, ඇස් ඉවත් කිරීමට වර්තමාන දේශපාලන, සමාජීය දෘෂ්ටිවාදයන් ක්‍රියා කරනා බවයි. මිනිසුන්ගේ රියැක්ෂන් මැඩලීමට වහා ක්‍රියාත්මක වුණත්, රියැක්ෂන් ඇතිවීමට බලපෑ හේතු ගැන බහුතරයකට වගක් නැත.
මෙවැනි වූ සමාජයීය ආර්ථික හා දේශපාලන ගැටලු ගැන න්‍යායාත්මක විග්‍රහයක් සිදු කරන පොත්පත් වලින් ලෝකයේ පොත් රාක්ක පිරී ඇත. කරුණු ගැන ගැඹුරට හැදෑරීමට ඒවා යෝග්‍ය වන අතර බ්ලොග් හහ ෆේස්බුක් වැනි සමාජ ජාලා වලින් කළ හැකි යමක් වේ නම් මේ ප්‍රශ්න ගැන කෙටි හැඳින්වීම් දීම පමණි. පසුගිය අවුරුදු 20 හෝ 30 ඇතුලත ලෝකයට බලපාන එවැනි වූ විශේෂිත ප්‍රශ්නයක් වන්නේ උග්‍ර ආර්ථික අසමානතාවයි.
ලෝකයේ ප්‍රචණ්ඩත්වය විවිධාකාර ස්වරූප ගනී. එකක් Subjective Violence ය. එනම් පුද්ගල මූලික ප්‍රරචණ්ඩත්වයයි. එය පුද්ගල ප්‍රචණ්ඩත්වයේ සිට යුධ ප්‍රචණ්ඩත්වය දක්වාද, ජාතිවාදී වන දෘෂ්ටිවාදී ප්‍රචණ්ඩත්වයන් දක්වාත් විහිදෙයි. එම ප්‍රචණ්ඩත්වය අපට දෘශ්‍යමානය. නමුත් දෘශ්‍යමාන නොවන Symbolic Realm එක හෙවත් සන්කේත තලයේ වන ප්‍රචණ්ඩත්වයක් ඇත. මෙයට Systemic Violence එකක් යැයි කියමු. මෙම ප්‍රචණ්ඩත්වය කුමක්දැයි දල අදහසක් ගැනීමට, වසර 50ක, ලෝකයේ ඇති නැති පරතරය පිළිබද දත්ත සලකා බැලීම යෝග්‍යය. පසුගිය වසර 50 තුළ ලෝකයේ ප්‍රාග්ධනය කිහිප දෙනෙකු අතර බරපතළ ලෙස එකතු වී ඇත. එම ප්‍රාග්ධනය ඔවුනට ලබා දීමට මිනිසුන් නොවිදිනා දුක් විඳියි. සොව්චම් මුදලට අතිකාල සේවා කරයි. උදාහරණයට ඇමසොන් ආයතනයේ බඩු බෙදා හරින ඩිලිවරි කරුවන්, ඔවුන්ගේ දිනක ටාගට් එක ළඟා කර ගැනීමට නොහැකි වූ නිසා, වැසිකිලි සොයා යෑමට ගතවන කාලය අඩු කිරීමට, බෝතල් වලට මුත්‍රා කර, බෝතල් විසි කිරීමට පුරුදු වී සිටි බව ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වල ළඟදී පළ වුණා අපි හැමෝම දැක්කා. මෙය කිහිපදෙනකුට ප්‍රාග්ධනය අසීමිතව ලබා ගැනීම සඳහා වන ප්‍රචණ්ඩත්වය නොවේද? සත්‍ය වශයෙන්ම ප්‍රාග්ධනය එකතු වන්නේ සේවකයාගේ අතිරික්ත ශ්‍රමය බලෙන් ලබා ගැනීමේ ප්‍රචණ්ඩ ක්‍රියාවකින්. නමුත් එය දැනටමත් තේරුනු පරිදි අදෘශ්‍යමානය. සේවකයා පවා එය සිදුවන බව දන්නේ නැත.
අද ලෝකයෙහි ජීවත් වන සියයට එකක් වන බිලියනපතියන් සතුව ඇති වත්කම, ලෝකයේ ජනගහනයෙන් බිලියන 7ක් සතු වත්කම මෙන් දෙගුණයකි. ඔවුන්ගේ වත්කම පසුගිය වසර 50 තුළ දෙගුණවී ඇත. ඔවුන්ගේ ආදායම මෙලෙස දිනෙන් දින වැඩි වන විට ලෝකයේ සෙසු ජනතාවගේ ආදායම වැඩි වී ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකිනි. ලෝකයේ සුපිරි ධනවතුන් විසි දෙදෙනාගේ වත්කම මුළු අප්‍රිකා මහද්දිපයෙහිම කාන්තා ජනගහනයේ වත්කමට වඩා වැඩිය. උදාහරණයට ලෝකයේ දෙවන සුපිරි බිලියනපතියා වන Amazon අයිතිකරු Jeff Bezos පැයකට ඇමරිකානු ඩොලර් මිලියන 13.5 කි උපයයි. මෙය බොහෝ රටවල සමාන කාල පරතරයක් තුළ ලබන ආදායමට වඩා වැඩිය.
ලෝකයේ දිනක් තුළ දහ දාහකට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයක් මිය යන්නේ ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටවත් මුදල් නොමැති හෙයිනි. අන්ත දුගී යයි නම් කරන්නේ දිනකට මිනිසෙකුගේ ආදායම ඩොලර් 1.9කට අඩු නම්ය. 2015 දත්ත වලට අනුව ලෝකයේ එවැනි පුද්ගලයන් ගණන මිලියන 730 කි. දැන් කෙනෙකුට නැගිය හැකි ප්‍රශ්නය වන්නේ ලෝකයේ අන්ත දුගී බව ටිකෙන් ටික අඩුවීගෙන යන බව පෙන්වා දෙන දත්තද අපසතු නොවේද යන්නයි. නවතම දත්ත පෙන්වා දෙන්නේ අන්ත දුගී බව අඩු වන වේගය අවුරුද්දෙන් අවුරුද්දට අඩු වන බවයි. එලෙසම සුපිරි බිලියනපතියන් ගේ ආදායම පෙර නො වූ විරූ ලෙස වැඩි වන බවයි.
මෙම සුපිරි බිලියනපතියන් ඔවුන්ගේ ආදායමෙන් සියයට තිහක් දක්වා බදු නොගෙවා පැහැර හරියි. ඒවා නොගෙවීමට ඔවුන් නීත්‍යානුකූලව හේතු සකසාගෙන ඇති නිසා කිසිවෙකුට ලෙහෙසියෙන් ඔවුන්ව වැරදිකරුවන් කළ නොහැක. ඩොනල්ඩ් ට්‍රම්ප්ව එවැනිවූ බදු පැහැර හැරීම් සඳහා කොටුකරගැනීමට ඔහුගේ විරුද්ධ පාර්ශවය දැරූ අසාර්ථක උත්සාහය මතකයට ගන්න.
කරුණු මෙසේ වන විට සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයට ප්‍රශ්නයක් නොවන්නේ නම්, ලෝකයේ කවුරු හෝ සුපිරි ධනපතියන් වූවාට අපට ඇති ප්‍රශ්නය කුමක්දැයි කෙනෙකුට නැවත ඇසිය හැක. සත්‍ය වශයෙන්ම එහි ප්‍රශ්නයක් ඇත. නමුත් ප්‍රශ්නය කුමක්දැයි ඉහත උදාහරණයක මතු කළාක් මෙන් මතුපිටට දෘශ්‍යමාන නොවේ.
Deleteෆෙඩ්රික් හේයක් (Friedrich Hayek), මිල්ටන් ෆීඩ්මන් (Milton Friedman) යන ආර්ථික විශේෂඥයන් 70 දශකයේ ලෝකයේ ආර්ථිකයට විශාල බලපෑමක් ගෙන ආවෝය. රොනල්ඩ් රේගන් ඇමරිකානු ජනාධිපතිවරයාත්, මාග්‍රට් ටැචර් බ්‍රිතාන්‍ය අගමැතිවරියත් ඔවුන්ගේ ආර්ථික න්‍යායන් ලෝකයේ ස්ථාපිත කිරීමට මුල පිරූහ. රොනල්ඩ් රේගන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, ආණ්ඩුව යනු ප්‍රශ්නවලට විසඳුම නොව, ආණ්ඩුව යනු ප්‍රශ්නවලට හේතුව බවයි. මාග්‍රට් තැචර්ද ඊට නොදෙවෙනි රැඩිකල් ප්‍රකාශයක් කළාය. ඇය කීවේ සමාජය කියා දෙයක් නැති බවයි, සිටින්නේ සම්බන්ධතා ඇති කර ගනිමින් ජීවත් වන පුද්ගලයින් පමණක් බවයි. ඇය Individualism හෙවත් පුද්ගල වාදයට විශාල තැනක් දෙනු ලැබීය.
දැන් මේ ප්‍රකාශ මිල්ටන් ෆීඩ්මන් න්‍යායන්ට ඇති සම්බන්ධකම කුමක්ද? මිල්ටන් ෆීඩ්මන් ලෝකයෙහි ස්ථාපිත කරන්නට දායක වන්නේ නව ලිබරල් වාදයයි. සම්භාව්‍ය ලිබරල් වාදයේ මනුෂ්‍යයාගේ නිදහස සනිටුහන් කිරීමට දායකවන දේශපාලන දර්ශනය, ආර්ථික නිදහස, වෙළෙඳපොළ මත පදනම්ව රැඩිකල්කරණය කරන්නේ නව ලිබරල් වාදයෙනි. එනම් නිදහස් වෙළඳපල ආර්ථිකය මත පදනම්ව රජයේ ආයතන පෞද්ගලිකකරණය කළ යුතු බව නව ලිබරල් වාදය අවධාරණය කරයි. ආණ්ඩුවෙහි ආර්ථිකය සඳහාවූ බලපෑම දියවී යෑම ප්‍රවර්ධනය කරයි. ආණ්ඩුව රටේ ආර්ථික කටයුතුවලින් හැකි තරම් ඉවත් වන අතර ඒවා පෞද්ගලික අංශ මඟින් පාලනය කිරීමට කටයුතු සලසයි. ආණ්ඩුව මැදිහත් වන Protectionism (ආරක්ෂණ වාද) අහෝසි කිරීමට කටයුතු සලසයි. අධ්‍යාපනය, සෞඛ්‍යය පමණක් නොව හැකිනම් බන්ධනාගාර පවා පෞද්ගලීකරණය කිරීමට අවශ්‍යයයි මිල්ටන් ෆීඩ්මන් කියා සිටියේය.
විටකදී ණය උගුල්, ආර්ථික අවපාතද, යුද්ධ, භූමි කම්පා, සුනාමි වැනි ස්වාභාවික ව්‍යසනයන්ද සිදුවී රටවල් ආර්ථික වශයෙන් දනින් වැටෙයි. එවැනි සුවිශේෂී මොහොතවල් වලදී, අලුතින් හඳුන්වා දෙන්නට ප්‍රයෝජනයට ගන්නේ, ඒ වනවිටත් ක්‍රියාත්මක කිරීමට නොහැකිව සැරිසැරූ අදහස් මතිමතාන්තර වෙයි. නව ලිබරල්වාදය ස්ථාපිත කිරීමට මෙම මොහොතවල් කදිම යැයි මිල්ටන් ෆීඩ්මන් කියා සිටියේය. උදාහරණයක් අවශ්‍ය නම් අපට සිතිය හැකි වන්නේ, යුද්ධයෙන් ආර්ථික වශයෙන් අංගවිකල බවට පත් කරන ලද ඉරාකයයි.
පෞද්ගලිකකරණයේ ආරම්භය එතනින් පටන් ගත්තද මහා ආර්ථික අවපාතයට එරෙහිව ඉරාක වැසියෝ විශාල උද්ඝෝෂණ දියත් කලේ එය අසාර්ථක වූ නිසාය.
නව ලිබරල් වාදයේ ක්‍රියාකලාපය සාර්ථක යැයි කියනා ජන කොට්ඨාශයට පවා අමතක කළ නොහැකි එක කරුණක් නම් ලෝක ආදායම අසමානතාවය 70 දශකයේ සිට මේ දක්වා අධික ලෙස වැඩි වී ඇති බවයි. ලෝකයේ සුපිරි ධනපතීන් බිහිවීමටත්, ඔවුන්ගේ ව්‍යාපාර කිහිපයක් මගින් මුළු ලෝකයම පාලනය කිරීමටත් නව ලිබරල් වාදය දුන් තල්ලුව අපගේ මාතෘකාවට අදාල වීම මෙලෙස සිදු වෙයි.
මෙම අලුත් සුපිරි ධනපතියන් ගෙන් බොහොමයක් ලිබරල් කොමියුනිස්ට් වේ. ඔවුන් කවුද? ඉලොන් මස්ක් (දැනට ලෝකයේ පළවැනි ධනපති) බිල් ගේට්ස් (ලෝකයේ තෙවැනි ධනපති) ජොජ් සොරොස්, ගූගල්, අයි බී එම්, ඉන්ටෙල්, eBay, Uber, Airbnb, Facebook ආදියෙහි අයිතිකරුවන් හා CEO ලා වෙති. මෙතුමන්ලාගේ චරිත විටෙක ගෝලීය ධනවාදයට විරුද්ධ වන වමේ චරිතවලින් වෙන්කර ගැනීමට පවා නොහැකිය. ඔවුන්ගේ පරිත්‍යාගශීලීත්වය, පුණ්‍ය කටයුතු අගය කළ යුතුය. ඔවුනට අවශ්‍ය වන්නේ තම අසීමිත ධනය උපයෝගී කරගෙන කිසිදු රජයක බලපෑමකට යටත් නොවී ලෝකය සුබදායී තැනක් කිරිමටය. ලෝකයේ ප්‍රශ්න ඇතිවීමට හේතු වූ කරුණු සොයා කාලය නාස්ති කිරීමට අවශ්‍ය නැත. වහාම ක්‍රියාත්මකවී සමාජ සුභසාධනය තහවුරු කළ යුතුය.
Deleteනමුත් මෙහිදී ප්‍රධාන ගැටලු කිහිපයක් පැන නගී. අප්‍රිකාවට විදුලි බලය දෙනවාද, තෝරාගත් රටක මන්දපෝෂණය දුරු ලනවාද, තවත් තුන්වැනි ලෝකයේ රටකට Vaccine ගැනීමට මුදල් ආධාර දෙනවාද තීරණය කරන්නේ ඔවුන්ය. මේවා තීරණය කරන්නේ ඔවුන්ගේ එවෙලෙහි ඇති හොදම ජජ්මන්ට් එක අනුවය. තමන් කැමති නම්, යම් රටකට මන්දපෝෂණය දුරුලීමට උදව් නොදී වෙනත් රටකට දිය හැක. ඉලොන් මස්ක්ට අවශ්‍ය නම්, ආර්ථික වාසිය සලකා අඟහරු වල නොව සඳෙහි ජනාවාස ඇතිකළ හැක. මින් පෙනී යන්නේ මනුෂ්‍ය වර්ගයාගේ සාමූහික සුබදායි තීරණ ගැනීමේ අයිතිය ලෝකයේ සුපිරි ධනපතියන් කිහිප දෙනෙකුට පැවරී ඇති බවය.
විටෙක ෆේස්බුක් ගූගල් යනු සම්පූර්ණ රටවල් ලෙස සැලකිය හැක. ඒවා අනිත් රටවල් වලට කරන බලපෑම නොසලකා හැරිය නොහැකි මට්ටමට දැන් පැමිණ ඇත. උදාහරණයට පුවත් ආදිය, ෆේස්බුක්හි පලකරන්නේ නම්ද, ඒමගින් වෙළඳ දැන්වීම් සඳහා ලැබෙනා ආදායම ෆේස්බුක් ලබාගන්නේ නම්, පුවත් නිෂ්පාදනය කරනා ආයතන සඳහා ඉන් කොටසක් ගෙවීමක් වශයෙන් කරන ලෙස, ඔස්ට්‍රේලියානු රජය නීතියක් සම්මත කළේය. ඊට එකඟ නොවුණ ෆේස්බුක් ආයතනය සිදු කළේ කුමක්ද?. ගිනි නිවීම, ගංවතුර, චැරිටි ආදී රජයේ තොරතුරු අඩංගු ෆේස්බුක් පිටු සියල්ලෙහිම ක්‍රියාකාරිත්වය එකවිට අහෝසි කිරීමයි. ඒවා අහෝසි කළේ රජයට තම නොකමැත්ත ප්‍රකාශ කිරීමටය. ෆේස්බුක් මත යැපුණු රජය මහත් අකරතැබ්බයකට මුහුණ පෑවේය. ෆේස්බුක්, ගූගල් වැනි ආයතනවලින් රටවල් සඳහා කළ හැකි බලපෑම කොතෙක් දැයි තේරුම් ගැනීමට මෙය හොඳ නිදසුනකි.
තෙවැන්න නම් තේරුම් ගැනීමට ඉතාමත් ලේසි කරුණකි. ඔබට දකුණු අතින් යමක් දීමට අවශ්‍ය නම් වම් අතින් එය මේ වන විටත් රැගෙන තිබිය යුතුය. එනම් විශාලවූ ධන සම්භාරයක් ජනතාවට පරිත්‍යාග කිරීමට නම් එම ධනය මේ වන විටත් ජනතාවගෙන්ම ලබාගෙන තිබිය යුතුය. දවල් මිගෙල් රෑ දැනියෙල් චරිතය අපට සිහියට නැගේ. උදයවරුවේ අන්තිම සතය දක්වා ලාභ ලබන ආර්ථික ක්‍රම උපාය ක්‍රියාවේ යොදවා සූරාකෑමේ කාර්යක්ෂමතාව ඉහළම අඩියකට ගෙන, හවස් වරුවේ එම මුදල්ම සුදු වතින් සැරසී ලෝකයට බෙදාදෙයි.
විසි එක් වෙනි ශත වර්ෂයේ දී ඉතාමත්ම ඉක්මනින් තීව්‍ර වන, නව ලිබරල් වාදයේ අලුත්ම ප්‍රශ්නවලට පිළියමක් ලෙස නැවතත් ස්ටාලින්වාදී රුසියාවටත්, මාවෝවාදී සමාජවාදී චීනයටත් යායුතුයැයි යෝජනා කරන්නේ නැත. යෝජනා කරනා එකම දෙය නම් ප්‍රශ්නයක් ඇති බවත් ඒ දෙස විමසිල්ලෙන් බැලිය යුතු බවත්ය. ප්‍රශ්නයක් තිබෙනා බවට වටහා ගන්නේ නම් යහපති. මෙහි දී අපට Don't just act. Just Think rationally! කියා කියන්නට සිදුවේ.
පළමුව, දිගු ප්‍රතිචාරයට ස්තුතියි!
Delete//මේ Cobb Douglas production function එක ධනවාදයේ අර්බුදය පිළිබඳ හෝ එහි ඇති අඩුපාඩු වසාගැනීමට භාවිතා කරන එක විසුළු සහගතයි.//
ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද? ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට බැරිනම් වෙනත් කවර හෝ වාදයකට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද? ධනවාදය තුළ එම ප්‍රශ්න ඇති වන්නේත් ඔබ යෝජනා කරන විකල්පය තුළ එම ප්‍රශ්න ඇති නොවන්නේත් කොහොමද?
//CDPF සමීකරණ ආශ්‍රිතව ගොඩ නැගෙන සංකල්ප මගින් පැහැදිලි කරන්නේ ප්‍රදානයන් (inputs) දෙකක් හෝ කිහිපයක් මගින් ලබාගන්නට පුළුවන් වන ප්‍රතිදාන ප්‍රමාණය පිළිබඳව ඇති තාක්ෂණික සම්බන්ධතාවය පමණයි.//
ඒ බව ලිපි කිහිපයකම පැහැදිලිව කියා තිබෙනවා.
//නමුත් මීට අමතරව ආදායම් මත අයකෙරෙන බදු, වෙනත් බදු, භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදී මිල ගණන් වල බලපෑම ආදී වශයෙන් බොහෝ දේ ගැන සෑහෙන දුරට හොඳින් විශ්ලේෂණයන් කිරීමෙන් පමණක් රටක ප්‍රාග්ධන ආයෝජකයන් සහ ශ්‍රමිකයන් ලබන ආදායම තුල ඇති "සාධාරණ" හෝ "සදාචාරසම්පන්න" ආදී සංකල්ප පිළිබඳ අවශ්‍ය නම් සාකච්ඡා කරන්නපුළුවන් වෙයි.//
නරක යෝජනාවක් නෙමෙයි. ඔබ කියන පරිදිම කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ බදු නැහැ. බදු අය කිරීම සිදු වන්නේ ආදායම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යාමෙන් පසුවයි. රජය විසින් ඇතැම් විට කලින්ම බදු අය කරනවා විය හැකි නමුත් එය කරන්නේ යම් ආදායමක් ඉදිරි කාලයේදී උපයනවා කියන පදනමින්. ඒ නිසා සංකල්පීය වශයෙන් බදු අය කිරීම ද්වීතියික ක්‍රියාවලියක්. නිෂ්පාදන අතිරික්තය බෙදී යන ආකාරය තීරණය වෙන්නේ ඊට කලින්. ඒ නිසා, වෙළඳපොළ විකල්පය හා මාක්ස්වාදී විකල්පය අතර නිවැරදි සංසන්දනයක් කළ හැක්කේ බදු වල බලපෑම නැති විටයි.
ඒ වගේම බදු කියන්නේ සමාජවාදී අදහසක් මිසක් ධනවාදී අදහසක් නෙමෙයි. බදු නිසා වෙන්නේ නිදහස් වෙළඳපොළක කාර්යක්ෂමතාවය අඩු වීමයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ජාතික ආදායම බෙදී යාමෙන් පසු රජය විසින් ඔය ගොඩවල් දෙකෙන්ම කොටස බැගින් ගන්නවා. මෙහිදී එක ගොඩකින් වැඩියෙන් ගත්තොත් සැබෑවටම පුද්ගලයින් අතට ලැබෙන ආදායම් කොටස් වල අනුපාතය මෙහි ඇති අනුපාතයෙන් වෙනස් වෙන්න පුළුවන්. හැම රටක් හා අදාළවම බදු ඉවත් කර මේ අනුපාත හදා ඇති තැනක් ගැන මම දන්නේ නැහැ. එවැනි ගණනය කිරීමක් කිරීම විශාල කාලයක් වැය කළ යුතු වැඩක්.
ඇමරිකාවේ ශ්‍රමය මත අය කරන ඵලදායි බදු අනුපාතය (2019දී) 29.8%ක්. ප්‍රාග්ධනය මත අය කරන බදු අනුපාතය ඊට ටිකක් වැඩි වුවත් ගොඩක් විශාල නැහැ. ඒ නිසා, බදු වලින් මේ අනුපාතයේ දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ ගොඩක්ම අය කරන්නේ වක්‍ර බදු නිසා ප්‍රාග්ධනයට වඩා ශ්‍රමය මත බදු අය කෙරෙනවා වෙන්න පුළුවන්. එය එසේනම්, එයින් වෙන්නේ මා කියන කරුණ වඩාත් තහවුරු වන එක පමණයි. වෙනත් කවර හෝ පරමාදර්ශී රටක් ගැන ඔබට යෝජනා කළ හැකිනම් බදු බලපෑම ඉවත් කර සංසන්දනය කිරීමක් කළ හැකියි.
//"නෑ අපි නෙමේ මේවා කළේ නුබලා. මේ නුබලාගේ දේශපාලනයෙහි මහඟු ප්‍රතිඵලයයි. විරෝධතා ඇතිවන තත්ත්වයට පත්වූයේ, නුඹලාගේ අදුරදර්ශී මුළාවූ දේශපාලනයේම ප්‍රතිඵලයක් වශයෙන්මයි."//
මම කියන්නෙත් මේ වගේම දෙයක්.
"මේවා කළේ නුඹලා. මේ නුඹලාගේ දේශපාලනයෙහි මහඟු ප්‍රතිඵලයයි. ලංකාවේ ආර්ථිකය හා මිනිසුන්ගේ ජීවන තත්ත්වය අද තිබෙන තත්ත්වයට පත්වූයේ, නුඹලාගේ අදුරදර්ශී මුළාවූ දේශපාලනයේම ප්‍රතිඵලයක් වශයෙන්මයි."
//මිනිසුන්ගේ රියැක්ෂන් මැඩලීමට වහා ක්‍රියාත්මක වුණත්, රියැක්ෂන් ඇතිවීමට බලපෑ හේතු ගැන බහුතරයකට වගක් නැත.//
Deleteමේ කරන්නේ එම හේතු ගැන පැහැදිලි කර දීමක්.
//පසුගිය අවුරුදු 20 හෝ 30 ඇතුලත ලෝකයට බලපාන එවැනි වූ විශේෂිත ප්‍රශ්නයක් වන්නේ උග්‍ර ආර්ථික අසමානතාවයි.//
ඇතැම් සමාජ/රටවල් පසුගාමී අදහස් වල දිගින් දිගටම එල්බ එක තැන සිටිද්දී වෙළඳපොළට ඉඩ දෙන රටවල් ඉදිරියට යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආදායම් විෂමතා වැඩි වෙනවා. ආදායම් විෂමතා අඩු කර ගැනීමටනම් කළ යුත්තේ පසුගාමී සමාජවාදී අදහස් අත හැර වෙළඳපොළට ක්‍රියාත්මක වීමට ඉඩ දීමයි.
//පසුගිය වසර 50 තුළ ලෝකයේ ප්‍රාග්ධනය කිහිප දෙනෙකු අතර බරපතළ ලෙස එකතු වී ඇත. එම ප්‍රාග්ධනය ඔවුනට ලබා දීමට මිනිසුන් නොවිදිනා දුක් විඳියි. සොව්චම් මුදලට අතිකාල සේවා කරයි.//
මෙය මාක්ස්වාදීන්ට පොට පැටලී තිබෙන ප්‍රධානම තැනයි. එක් අයෙකුට සැප විඳින්නට තවත් අයෙකු දුක් විඳිය යුත්තේ සම්පත් ප්‍රමාණය වෙනස් නොවන නියතයක්නම් පමණයි. ධනවාදය පෙනී සිටින්නේ සම්පත් වැඩි වැඩියෙන් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් මිස අනෙකාගේ දේ පැහැර ගැනීම වෙනුවෙන් නෙමෙයි. ශ්‍රමයේ ආන්තික ඵලදායිතාව ශ්‍රමය සැපයූ අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාව ප්‍රාග්ධනය සැපයූ අයටත් දෙනවා කියන්නේ එයටයි.
//සත්‍ය වශයෙන්ම ප්‍රාග්ධනය එකතු වන්නේ සේවකයාගේ අතිරික්ත ශ්‍රමය බලෙන් ලබා ගැනීමේ ප්‍රචණ්ඩ ක්‍රියාවකින්. නමුත් එය දැනටමත් තේරුනු පරිදි අදෘශ්‍යමානය. සේවකයා පවා එය සිදුවන බව දන්නේ නැත.//
එවැන්නක් සිදු නොවන බවත් සේවකයාගේ අතිරික්ත ශ්‍රමය බලෙන් ලබා ගැනීම කියන එක මාක්ස්ගේ යල් පැන ගිය ප්‍රවාද මත පදනම් වූ ආගමික අදහසක් පමණක් බවත් මේ ලිපි මාලාව තුළ ඉතා විස්තරාත්මකව පැහැදිලි කර අවසන් බැවින් එම කරුණු වල වැරැද්දක් පෙන්වා දෙන තුරු මේ ගැන නැවත නැවත කිව යුතුයැයි මා සිතන්නේ නැහැ. ඇත්තටම සිදුවන දේ ගැන අවබෝධයක් සේවකයන්ට බොහෝ විට තිබෙනවා. එම අවබෝධය නැත්තේ මාක්ස්වාදියාටයි.
//අද ලෝකයෙහි ජීවත් වන සියයට එකක් වන බිලියනපතියන් සතුව ඇති වත්කම, ලෝකයේ ජනගහනයෙන් බිලියන 7ක් සතු වත්කම මෙන් දෙගුණයකි. ඔවුන්ගේ වත්කම පසුගිය වසර 50 තුළ දෙගුණවී ඇත. ඔවුන්ගේ ආදායම මෙලෙස දිනෙන් දින වැඩි වන විට ලෝකයේ සෙසු ජනතාවගේ ආදායම වැඩි වී ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකිනි. ලෝකයේ සුපිරි ධනවතුන් විසි දෙදෙනාගේ වත්කම මුළු අප්‍රිකා මහද්දිපයෙහිම කාන්තා ජනගහනයේ වත්කමට වඩා වැඩිය. උදාහරණයට ලෝකයේ දෙවන සුපිරි බිලියනපතියා වන Amazon අයිතිකරු Jeff Bezos පැයකට ඇමරිකානු ඩොලර් මිලියන 13.5 කි උපයයි. මෙය බොහෝ රටවල සමාන කාල පරතරයක් තුළ ලබන ආදායමට වඩා වැඩිය.//
හොඳම විහිළුව මේ වගේ කතා මාක්ස්වාදීන් විසින් කියන එකයි. Amazon අයිතිකරු Jeff Bezos පැයකට ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක් උපයනවා කියා අපි කියමු. මෙහිදී වෙන්නේ ධනවාදී සංකල්පීය රාමුවක සිදුවන වටිනාකම් වැඩි වීමක්. මාක්ස්වාදී පදනමකින් ගණන් බැලුවොත් Jeff Bezosගේ වත්කම් සියල්ල ඔය කියන වටිනාකමට සාපේක්ෂව සොච්චමක්. ඔය හැම ලොකු බිලියනපතියෙක්ටම වගේ තිබෙන වත්කම් අනෙක් අය විසින් දෙන වටිනාකම් මත තීරණය වන සාපේක්ෂ අගයයන් පමණයි. භෞතික සම්පත් කියා දෙයක් ඇත්තේම නැති තරම්. වැඩේ කියන්නේ ආදායම් විෂමතාවය ගැන කතා කරන්න අවශ්‍ය වූ විට පමණක් මාක්ස්වාදීන් මාක්ස්වාදය පැත්තකට දමලා ධනවාදී වටිනාකම් ගැන කතා කරන එකයි. ඔබ Jeff Bezos වත්කම් නිර්ණය කරන ධනවාදී වටිනාකම් ආකෘතිය පිළි ගන්නවද?
//ලෝකයේ දිනක් තුළ දහ දාහකට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයක් මිය යන්නේ ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමටවත් මුදල් නොමැති හෙයිනි. අන්ත දුගී යයි නම් කරන්නේ දිනකට මිනිසෙකුගේ ආදායම ඩොලර් 1.9කට අඩු නම්ය. 2015 දත්ත වලට අනුව ලෝකයේ එවැනි පුද්ගලයන් ගණන මිලියන 730 කි. //
ඔවුන්ගේ දුප්පත්කමට හේතු වී තිබෙන දෘෂ්ඨිවාදයෙන් ඔවුන්ව මුදවා ගත යුත්තේ ඒ නිසා.
//නමුත් මෙහිදී ප්‍රධාන ගැටලු කිහිපයක් පැන නගී. අප්‍රිකාවට විදුලි බලය දෙනවාද, තෝරාගත් රටක මන්දපෝෂණය දුරු ලනවාද, තවත් තුන්වැනි ලෝකයේ රටකට Vaccine ගැනීමට මුදල් ආධාර දෙනවාද තීරණය කරන්නේ ඔවුන්ය. මේවා තීරණය කරන්නේ ඔවුන්ගේ එවෙලෙහි ඇති හොදම ජජ්මන්ට් එක අනුවය. තමන් කැමති නම්, යම් රටකට මන්දපෝෂණය දුරුලීමට උදව් නොදී වෙනත් රටකට දිය හැක. ඉලොන් මස්ක්ට අවශ්‍ය නම්, ආර්ථික වාසිය සලකා අඟහරු වල නොව සඳෙහි ජනාවාස ඇතිකළ හැක. මින් පෙනී යන්නේ මනුෂ්‍ය වර්ගයාගේ සාමූහික සුබදායි තීරණ ගැනීමේ අයිතිය ලෝකයේ සුපිරි ධනපතියන් කිහිප දෙනෙකුට පැවරී ඇති බවය.//
Deleteමේ කොටස සමඟ එකඟයි. නමුත් විකල්පය ඔවුන් ඉවත් කර කොහේවත් සිටින හාල්පාරුවන් ටිකකට එම තීරණ ගැනීමේ බලය ලබා දීම නෙමෙයි. දෙවන කරුණ මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා කළ හැක්කේ කුමක්ද?
//එනම් විශාලවූ ධන සම්භාරයක් ජනතාවට පරිත්‍යාග කිරීමට නම් එම ධනය මේ වන විටත් ජනතාවගෙන්ම ලබාගෙන තිබිය යුතුය. //
මෙය වැරදි අදහසක් බව මීට පෙරද සටහන් කළා. මේ තර්කය නිවැරදිනම් ලෝකය හැමදාම එක තැන තිබිය යුතුයි.
//යෝජනා කරනා එකම දෙය නම් ප්‍රශ්නයක් ඇති බවත් ඒ දෙස විමසිල්ලෙන් බැලිය යුතු බවත්ය. ප්‍රශ්නයක් තිබෙනා බවට වටහා ගන්නේ නම් යහපති.//
ප්‍රශ්නය කුමක්ද? මම හිතන විදිහට ලංකාව හා අදාළවනම් ලොකුම ප්‍රශ්නය තිබෙන්නේ දෘෂ්ඨිවාදයේ.
Hmm.. Interesting. I think, Econ finally met his match. A worthy opponent - Not your typical text-book anti-Capitalist.��
DeleteFollowing very closely. Thank you
සෑහෙන්න උනන්දුවෙන් කියෙව්වා.. අමාරුවෙන් ටිකක් තේරුම් ගත්තත් එක්ක. ඇනෝ මහත්තයාගේ ප්‍රතිතර්ක ටිකත් සෑහෙන්න හොඳයි.
ReplyDeleteමට හිතෙන්නේ හැමෝම කතාවෙන 'සිස්ටම් චේන්ජ්' කියන එකට හොඳ බේස් එකක් තියෙනවා මෙතන. තේරෙන බාසාවෙන් කියුවොත් ලංකාවේ මිනිස්සුන්ට ලැබන පඩිය කරන රාජකාරියට දරන වගකීමට සාපේක්ෂව බොහොම අඩුයි. නමුත් ප්‍රාග්ධනය යොදවන මිනිහා සාපේක්ෂව ඉහල ප්‍රතිලාභ ලැබෙනවා. මේකට පොඩි ඇටිටියුඩ් ප්‍රශ්නෙකුත් තියෙනවා. මල්ටි නැෂනල් එන්වයර්මන්ට් එකකදී උනත් ලංකාවේදී නම් ලංකාවේ මිනිහට ගෙවන්නේ 'ලෝකල්' සැලරියක්.. එකම ජොබ් එක කරන විදේශිකයෙකුට ඒ වගේ හතර පස් ගුණයක් ගෙවද්දී.. ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙනවා නම් මම හිතන්නේ ලංකාවේ මිනිස්සු නිෂ්පාදන ක්‍රියාවලියට මිට වඩා සක්‍රියව දායක වෙයි. එතනින් මේ සිස්ටම් එක වෙනස් කරන්න පොටක් පාදගන්නත් පුළුවන් වෙයි.
අයිසේ කල්යාන්,
Deleteතමුන්ගේ නමේ තේරුම හැටියට වැඩ කල් යන කන් බලන් ඉන්න එපා අයිසේ නියම වෙලාවට ක්ෂණිකව ක්‍රියාත්මකවී වැඩ කරන්න අවශ්‍යයි.
දැන් බලන්න පහුගිය යහපාල රෙජීමය විසින් ලංකාවේ ක්‍රියාත්මක කරපු සුවිසැරිය ගිලන් රථ සේවය? ඒකට පලු යන්න බැනපු විවේචකයෝ දැන් රෙදි නැතුව ඒකම පාවිච්චි කරනවා මේ දවස්වල කොවිඩ් පැතිරීම උත්සන්න වෙලා තියෙන වෙලාවක රටපුරා සිටින අසාධ්‍ය රෝගීන් වෙනුවෙන්. හනුමන්තා රට ගිනි තියුවාද ඒ කියපු දේවල් වල හැටියට?
ඒ වගේම ඊටත් කලින් මැදමුලන නාකි මයිනා පර්සිගේ පවුල් රෙජීමය විසින් ආරම්භ කරපු අධිවේගී මාර්ග ව්‍යාපෘති සෙට් එක තමයි මේ රටේ වැඩියෙන්ම විවේචනය වූ ව්‍යාපෘති සෙට් එක. මතක ඇති නේද ලංකාවේ සමාජවාදී පක්ෂ මැදමුලන ඉඳල කොළඹට ඇඹුල් තියල් ගේන්න හදපු කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි කාබාසිනියා කරන වාහනවල ගැටී මැරෙන අසරණ වනසත්ව මස් බිස්නස් එකට හදන බව නිකමටවත් පේනවා ද දැන්?
හැබැයි එදා ඒ විවේචනය කරපු උදවියම පස්සේ අධිවේගී මාර්ගවල සුව පහසුව විඳිමින් එහාට මෙහාට ගිහින් දවසට රැස්වීම් ගණනින් පවත්වපු හැටි මතක ඇති නේද? මොකද ඒ අධිවේගී මාර්ගයෙම ගිහිං ඒ අධිවේගී මාර්ගයෙම ආවා.
බරපතල ලෙස කොවිඩ් පැතිරීම උත්සන්න වෙලා දවසට රෝගීන් දෙදාස් හයසීයක් විතර වාර්තා වෙලා දවසට මරණ 25 ක් විතර වාර්තා වන මේ මොහොත වනවිටත් ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙනවා. මීරිගම සිට පොතුහැර දක්වා කොටස ළගඳීම ජනතා අයිතියට පත්කරන්න ආර්ඩීඒ එක බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ආණ්ඩුවේ නායකත්වය ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසත් මග නැගුමෙන් වැඩ ආරම්භ කරලා තියෙනවා.
ලංකාවේ දුප්පත් ජනතාව 2006 වර්ෂයේ දි ලංකාවේ පළමුවැනි අධිවේගී මාර්ගය විධියට දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල පුරන්නෙ රටේ යුද්ධයක් තියාගෙන. අද ලංකාවේ රුවන්පුර අධිවේගී මාර්ගයට මුල පුරන්නෙ රට පමණක් නෙමෙයි මුළු ලෝකයම කොව්ඩ් වසංගතයෙන් වෙලා ගත් අභියෝගාත්මක අවස්ථාවක.
විදෙස් ණය සතයක් වත් නැතුව හදන මේ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 24ක පළමු කොටසට දේශීය අරමුදල් රුපියල් බිලියන 54.7 ක් වැය වනමුත් මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන්නෙත් දේශීය කොන්ත්‍රාත් සමාගමක් වන මගා ද මොකක්ද මගුලක්.
මේකේ පළමු අදියරේ කටයුතු අවසන් වෙමින් යන විටම දෙවැනි අදියර ඉංගිරිය සිට රත්නපුරයටත්, තුන්වැනි අදියර රත්නපුර සිට පැල්මඩුල්ල දක්වාත් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න අවස්ථාව ලැබෙනු ඇත. මේ අතරම මේ දවස් වල ඉතාමත් බරපතල තත්වයක් ඇති කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට ලංකාවට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නත් වෙනවා.
ඒ වගේම දුෂ්කරතා හමුවේ වුවත් රට සංවර්ධනය කිරීමේ මාවතෙන් ලංකාවේ ජනයා බැහැරවෙලා නැහැ බැහැර වෙන්නෙත් නැහැ කියලා මම හිතනවා ඉතින්. මොකද යහපත් මාර්ග පද්ධතියක් කියන්නෙ රටක දියුණුව මනින සාධකයක් කියලයි මම විශ්වාස කරන්නේ. මේ වන විට මුළු ලෝකයම කොවිඩ් වසංගයට එරෙහිව සටන් කරනවා. කොවිඩ් කියල සම්පූර්ණයෙන්ම රට වහගෙන ඉන්න ලංකාව වගේ ෆේල් රටකට හැකියාවක් නැහැ. වෛරසයට එරෙහිව සටන් කරන ගමන් රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ගැනත් අපි හිතන්න ඕන. ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් අපිට මේ තත්ත්වය පාලනය කිරීම එතරම් අපහසු වන්නේ නැහැ කියන එක ඔබ දන්නවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු හැකි හැම විටම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින්න කියලා.
මොකද ඇත්තටම අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු. ඒක තමයි අපි ලංකාවේ හැමෝටම කියන්නේ. රාජපක්ෂ පවුල, වික්‍රමසිංහ ඇතුළු පිරිස, සමාජවාදීන් දේශපාලනය කරලා කෝටි ගණන් මුදල් හම්බ කරල ෂේප් එකේ මාරු වෙලා යයි. ඒත් ඉතින් දුප්පත් ජනතාවට ඉන්න හිතෙන රටක් හදා ගන්න උත්සාහ කරමු හැමෝම එකතු වෙලා ඒක තමයි මම කල්පනා කලේ.
කල්‍යාණ මිත්‍ර,
Deleteමේ ලිපිය මේ හා අදාළව ලියපු පෙර ලිපි වලට සම්බන්ධයි. ඔබ තේරුම් අරගෙන තිබෙන දේවල් වල වැරැද්දක් නැතත් මම පෙන්වා දෙන මූලික කරුණ ඔබ මෙහි දකින තත්ත්වය නොව එම තත්ත්වය ඇති වීමට හේතුපාදක වී තිබෙන දෙයයි.
//තේරෙන බාසාවෙන් කියුවොත් ලංකාවේ මිනිස්සුන්ට ලැබන පඩිය කරන රාජකාරියට දරන වගකීමට සාපේක්ෂව බොහොම අඩුයි. නමුත් ප්‍රාග්ධනය යොදවන මිනිහා සාපේක්ෂව ඉහල ප්‍රතිලාභ ලැබෙනවා.//
//ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙනවා නම් මම හිතන්නේ ලංකාවේ මිනිස්සු නිෂ්පාදන ක්‍රියාවලියට මිට වඩා සක්‍රියව දායක වෙයි.//
මම පෙන්වා දෙන්නේ මේ යන ක්‍රමයට (මෙතෙක් ගිය ක්‍රමයට) ඔය වැඩේ කවදාවත් වෙන්නේ නැහැ කියන එකයි. පවතින තත්ත්වය යටතේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මිනිස්සු මීට වඩා සක්‍රියව දායක කර ගත්තා කියලා නිෂ්පාදිතය ගොඩක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම කරලා වැඩි පඩියක් ගෙවනවාට වඩා දැන් ගෙවන පඩිය ගෙවලා පවතින තත්ත්වය නඩත්තු කරන එක ලාබයි. මිනිස්සු මීට වඩා සක්‍රියව දායක කරගෙන නිෂ්පාදිතය වැඩි කර ගත හැක්කේ මීට වඩා වැඩි ප්‍රාග්ධන සංචිතයක් තිබේනම් පමණයි. ලංකාවේ "සිස්ටම් චේන්ජ්" යෝජනා කරන අය පෙනී සිටින්නේ තව තවත් ප්‍රාග්ධනයට එරෙහි වීම වෙනුවෙන්. එයින් වෙන්නේ තත්ත්වය දැන් තිබෙනවාටත් වඩා නරක අතට හැරෙන එකයි. ප්‍රාග්ධනය වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ප්‍රාග්ධන හිමියන්ගේ පැත්තෙන් සිදුවන වැරැද්දක් හෝ අසාධාරණයක් නෙමෙයි. එවැනි විශාල ප්‍රතිලාභ නැත්නම් ඔය ඉන්න ප්‍රාග්ධන හිමියන් ටිකත් නැති වෙනවා කියන එකයි. එවිට වෙන්නේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන දේ තවත් අඩු වෙන එක. සිදුවිය යුතු "සිස්ටම් චේන්ජ්" එක වන්නේ පුළුවන් තරම් අය ශ්‍රමයේ පැත්තේ සිට ප්‍රාග්ධනය පැත්තට මාරු වෙන එකයි. එවිට ප්‍රාග්ධනය සපයන අය අතර තරඟය නිසා ප්‍රතිලාභද ටිකෙන් ටික අඩු වෙනවා. එහෙත් රටේ වැඩි පිරිසකට ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලැබෙනවා. ශ්‍රමය සපයන අයට ඔබ කියන පරිදි "නිෂ්පාදන ක්‍රියාවලියට මීට වඩා සක්‍රියව දායක වී" පඩි වැඩි කරගන්න අවස්ථාද ලැබෙනවා.
කුකුල් මස්සෙක්ක බත්ටිකක් කාලා බුදියගමු.
ReplyDeleteකුකුළු මස් වෙනුවට හරක් මාළු එක්ක කමු නේද? ඒත් නැත්නම් හලාල් කරන ලද ගම් ඌරා සහ වල් ඌරු මස් 43:57 අනුපාතයෙන් මිශ්‍ර කර මැටි හට්ටියේ හදපු ඌරු මාළු ඉස්ටුවක් සහ මීහරක්/ කුළු හරක් මස් කරියක් සමග පිඟානෙන් 20% ක් පමණක් බත් අනුභව කරන්නට සුදුසු බව අපට සෞඛ්‍ය හා පෝෂණ විද්‍යාත්මකව අනුමත කළ හැකි බව ප්‍රකාශ කරමි. නමුත් වෙනත් රෝගාබාධ සහිත හෝ යම් යම් ඖෂධ ලබා ගන්නා අයට මේ ආහාරය මගින් සංකූලතා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් විය යුතු බවත් සැලකිල්ලට ගත යුතු බවත් ප්‍රකාශ කරමි. ස්තූතියි.
Deleteපිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? ඔබේ දරුවනුත් මේ වගේ දක්ෂයන් කරන්න ආසයි නේද. එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.
Deleteඋදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.
ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස් එකට.
ඊට පස්සේ ඔපිස් එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.
පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?
'ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ මානව ප්‍රාග්ධන සංචිත වැඩි කරන්න කාලයක් තිස්සේ කරපු දේවල් වලින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් වී ඇති බවයි. '
ReplyDeleteඑහෙම කාලයක් තිස්සේ මේ ගැන කරපු දේවල් නොකර හිටියා නං ශ්‍රමිකයන්ගේ තත්වය මීටත් වඩා අහයපත් වෙන්න බැරිද?
මේ වගේ ප්‍රශ්නයකට සියයට සියයක් නිවැරදි නිශ්චිත පිළිතුරක් දෙන්න බැහැ. මොකද අපට ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කිරිමේ හැකියාවක් නැහැ. සරලව කියනවානම් නැවත අතීතයට ගිහින් තත්ත්වය වෙනස් කරලා ප්‍රතිඵලය කුමක්ද කියා නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ.
Deleteඒ නිසා, මෙවැනි ප්‍රශ්නයකට සෘජු අනුභූතික පිළිතුරක් තිබීමේ හැකියාවක් නැහැ. තිබිය හැක්කේ තාර්කික පිළිතුරක් පමණයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස මට "එහෙම වෙන්න බැහැ" කියා කියන්න පුළුවන් වගේම ඒ පිළිතුර සාධාරණීකරණය කරන්න තර්ක ගොඩ නගන්නත් පුළුවන්. එහෙත් එසේ කිරීම "මේ ගැන කරපු දේවල් නොකර හිටියා නං ශ්‍රමිකයන්ගේ තත්වය මීටත් වඩා අහයපත් වෙනවා කියා" කියනවා වගේම නිවැරදි බව නිශ්චිත ලෙස තහවුරු කළ නොහැකි ප්‍රවේශයක්.
ඔබ යෝජනා කරන මේ දෙවන අදහස ජනප්‍රිය අදහසයි. මම කරන්නේ එම ජනප්‍රිය (හෙජමොනික) අදහස හමුවේ යටපත්ව යන කතාවේ අනෙක් පැත්ත පෙන්වා දීමයි. මම කියන්නේ කරපු දේවල් වල කිසිම තේරුමක් නැහැ කියන එක නෙමෙයි. කරපු දේවල් ඕනෑවට වඩා වැඩියි කියන එකයි. එය අනුභූතික දත්ත ඇසුරෙන් පැහැදිලි කළ හැකියි.
අක්කර පණහේ නීති, පෞද්ගලික ව්‍යවසාය රජය සතු කිරීම් වැනි දේවල් සිදු නොවුනානම් මීට වඩා විශාල දේශීය ධනවතුන් ප්‍රමාණයක් රටේ බිහි වෙනවා. ඔවුන් අතර තරඟය නිසා ශ්‍රමිකයන්ගේ තත්ත්වයත් වඩා යහපත් වෙනවා. ශ්‍රමිකයන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ඔවුන්ටම පෞද්ගලික ආයෝජන කරගත හැකි තත්ත්වයක් ඇති වෙනවා.
ඉංග්‍රීසීන් විසින් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කළේ නිෂ්පාදනය සඳහා මානව සම්පත් අවශ්‍ය වන ප්‍රමාණයට. එම ආයෝජන ප්‍රාග්ධන ආයෝජන සමඟ සුසර වුනා. නිදහසින් පසුව මානව සම්පත් වෙනුවෙන් ආයෝජන කෙරුණේ එවැනි කිසිම ඉලක්කයක් හෝ සැලසුමක් නැතුව. සමාජවාදී අදහස් මත පදනම්ව ඔහේ කරන්නන් වාලේ කළ දෙයක්. ඒ නිසා ඇත්තටම ලංකාවට වුනේ එහි මානව සම්පත් තවදුරටත් සම්පත් නොවී බරක් වීමයි.
මේ වගේ තත්ත්වයක් යටතේ බුද්ධි ගලනය වගේ දෙයකින් වුවත් හානියකට වඩා සිදුවන්නේ යහපතක්. රටේ හිටියානම් නිෂ්පාදනයට කාර්යක්ෂම සේ දායක වීමේ අවස්ථාවක් නැති කෙනෙක් රටෙන් ගිය පසු රට වෙනුවෙන් කිසිම දායකත්වයක් නොසපයන්නේ වුවත් එයින් රටේ මානව සම්පත් වැඩි වීමේ බර අඩු වෙනවා. ඉතිරි වන ශ්‍රමිකයන්ගේ තත්ත්වය හොඳ වෙනවා. ශ්‍රමය රටින් පිටට යාමෙන් රටට ශුද්ධ ලෙස සිදු වන්නේ වාසියක්.
මා එසේ කියන්නේ මානව සම්පත් වෙනුවෙන් කළ ආයෝජන සමඟ ගලපා නෙමෙයි. රටින් පිටව යන අය රටේ හිටියානම් ඇති වන ප්‍රතිපරිසිද්ධික තත්ත්වය ගැන හිතලා. මානව සම්පත් වෙනුවෙන් කළ ආයෝජන කොහොමටත් ගිලුණු පිරිවැයක්. පවතින තත්ත්වය හමුවේ මානව සම්පත් වෙනුවෙන් (නිසි සැලසුමක් නැතුව) වැඩි වැඩියෙන් ආයෝජනය කළා කියලා රට දියුණු වෙන්නේ නැහැ. එයින් ශ්‍රමිකයන්ගේ තත්ත්වය වඩා හොඳ වෙන්නේත් නැහැ. පොඩි උදාහරණයක් ගත්තොත් අපොස (සාපෙ) අසමත් ඇඟලුම් සේවිකාවක් විසින් උපයන වැටුප බොහෝ විට එම ඇඟලුම් කම්හලේම ලිපිකරු මට්ටමේ රැකියාවක් කරන අපොස (උපෙ) සමත් සේවිකාවක් විසින් උපයන්නේ නැහැ කියා මම හිතනවා. සමහර උපාධිධාරිනියක් විසින් වුවත් උපයන්නේ නැහැ.
මේවා රටේ සමස්ත ආර්ථික-දේශපාලන ආකෘතියේ, වඩාත් නිවැරදිව දෘෂ්ඨිවාදයේ ප්‍රශ්න. එහෙම නැතුව ආණ්ඩුව කරන අයගේ වැරදි නිසා සිදුවන දේවල් නෙමෙයි. ඔවුන් වරදක් කරනවානම් ඒ වරද වන්නේ රටට අවශ්‍ය නිවැරදි දෘෂ්ඨිවාදය සැපයීම සඳහා නායකත්වය නොගැනීමයි.
මගේ අම්මෝ. පොස්ට් එකෙයි, කමෙන්ටුවලයි නැති දෙයක් නැහැනෙ!
ReplyDelete