වෙබ් ලිපිනය:

Monday, January 10, 2022

දැනුම් කළමනාකරණයේ දේශපාලනය


පිරමිඩ් ක්‍රම ගැන මම මුලින්ම ඉගෙන ගත්තේ ඉතාම කුඩා වයසකදී. මේ දැනුම මට ලැබුණේ "ගණිත විනෝදය" ලෙස සිංහලට පරිවර්තනය කර තිබුණු යාකොව් පෙරල්මාන්ගේ පොතකින්. පසුව රාදුගා ප්‍රකාශකයෝ වුනු, ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් මුද්‍රණය කර අඩු මිලකට විකිණූ පොතක්.

කුඩා වයසකදී තර්ක ඥානය මුවහත් කළ හා ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කළ ඉතාම හොඳ පොතක්. එහෙත් මේ වගේ "අහිංසක" සේ පෙනෙන පොතක් හරහා වුවත්, කොයි තරම් මොළ ශෝධනයක් කර තිබෙනවාද කියන එක තේරෙන්නේ දැනුයි. මේ පොතෙන් වුවත් අවසාන වශයෙන් කර තිබෙන්නේ ඉතා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔළුවට වෙළඳපොළ විරෝධී අදහස් දමා වෙළඳපොළ යකෙක් සේ පෙන්වීම බව පැහැදිලි වන්නේ අදාළ ගණිත ගැටළු ඉදිරිපත් කර තිබෙන ආකාරය දෙස දැන් බැලූ විටයි.

මේ ආකාරයෙන් විධිමත් අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, පොත්පත් ආදිය හරහා කුඩා කාලයේදීම කරන මොළ ශෝධනයන් එක්ක ලංකාවේ දරුවෙක් වැඩිහිටියෙක් වෙන්නේම වෙළඳපොළ විරෝධී, සමාජවාදියෙක් ලෙසයි. ධනවාදය යකෙක්, රකුසෙක් සේ දකින අයෙක් ලෙසයි. ඇමරිකන් හා බටහිර විරෝධියෙක් ලෙසයි. ලංකාවේ දිගටම ජීවත් වුනානම් පෞද්ගලිකව මට වුනත් මේ උගුලෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි ඒ එක්කම මතු වෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෙයට විකල්පය වන්නේ කුඩා කාලයේ සිටම වෙළඳපොළ හිතවාදී, ධනවාදී අදහස් වලින් ඔළු පුරවන එකද? එක විදිහක මොළ ශෝධනයක් නරක වෙන්නත්, වෙනත් විදිහක මොළ ශෝධනයක් හොඳ වෙන්නත් පුළුවන්ද?

ලංකාවේ ඉතා සුළු පිරිසක් සමස්තයක් ලෙස දැනුම ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක ඉන්නවා. ලංකාවේ කියා කිවුවේ ලංකාව කේන්ද්‍ර කරගත් කියන අදහසින් මිසක් ලංකාවේ පදිංචිව සිටින කියන අදහසින් නෙමෙයි. ඒ වගේම සුළු පිරිසක් කියා කිවුවේ අවතක්සේරු කිරීමක්, බාල කිරීමක් ලෙසත් නෙමෙයි. ඕනෑම නැවුම් අදහසක් ආරම්භයේදී තනි පුද්ගලයෙක්ගේ අදහසක්. ඉන් පසුව, සුළු පිරිසකගේ අදහසක්.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. එසේ කළොත්, වැටෙන්නේ මොන වගේ තැනකටද? ගල් යුගයට ආපහු ගියත් මූලික මට්ටමේ හෝ දැනුමක් කියා දෙයක් තිබෙනවා. මට අනුව, පුද්ගලයෙක් කියා කියන්නේම ඒ පුද්ගලයා විසින් සංස්කරණය කර ගෙන ගොඩ ගසා ගන්නා දැනුම. දැනුම එකතු කර ගැනීමක් නැත්නම් පුද්ගලයෙක්ද නැහැ.

දැනුම ප්‍රතික්ෂේප කිරීම කියන අදහස බිහි වන්නේ දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප කිරීම කියන අදහසේ දිගුවක් ලෙසයි. දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප කිරීම කියන අදහස ලංකාව තුළ ජනප්‍රිය කරන්නේ නලින් ද සිල්වා විසින්. එහෙත් ඔහු සමස්තයක් ලෙස දැනුම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහුගේ මතවාදය තුළ, මට තේරෙන විදිහට, දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප වෙන්නේත් නැහැ. ඔහු ලංකාව තුළ "බටහිර දැනුම් ආධිපත්‍යයට" එරෙහිව සිංහල බෞද්ධ දැනුම් පද්ධතියක ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. ලෝකය තුළ විවිධ දැනුම් පද්ධති වල "ප්‍රාදේශීය ආධිපත්‍යයන්" තිබීම වෙනුවෙන් (මගේ වචන වලින්) පෙනී සිටිමින් එක් දැනුම් පද්ධතියක් විසින් අනෙකුත් දැනුම් පද්ධති ගිල ගෙන ඒකාධිකාරයක් හදා ගැනීමට එරෙහි වෙනවා.

මට අනුව නලින් ද සිල්වා විසින් මෙතෙක් ඉදිරිපත් කර තිබෙන හොඳම ප්‍රවාදය නිවන පිළිබඳ ඔහුගේ අර්ථදැක්වීමයි. එය ථෙරවාද ත්‍රිපිටකය හා ගැලපේද යන්න මම ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ කර ගැනීම තුළ සියළුම දැනුම් ප්‍රතික්ෂේප කිරීමක් තිබෙනවා. හැබැයි එයින් පසුවත්, අනුපාදිශේෂ නිර්වාණය දක්වාම, එසේ ප්‍රතික්ෂේප කළ දැනුම ප්‍රයෝජනයට ගැනීමක් සිදු වෙනවා. පුද්ගලයෙකු නැති බව තේරුම් ගෙන ජීවත් වන "පුද්ගලයෙක්" ඉන්නවා. මනසක් නැති බව තේරුම් ගත් "මනසක්" තිබෙනවා. 

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ලෞකික වූ කිසිවක් ඉතිරි විය නොහැකියි. දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප නොකරන තාක්, හැම මොහොතකම දැනුම එකතු කරන පුද්ගලයෙක්ද ඉන්නවා. මොහොතින් මොහොත වෙනස් වන පුද්ගලයා යනු මොහොතින් මොහොත සංස්කරණය කර ගන්නා දැනුමයි. දැනුම සංස්කරණය කර ගැනීමට එකතු කර ගැනීම මෙන්ම අත හැර දැමීමද ඇතුළත්. එහෙත් දැනුමේ සංරචක මිස සමස්තයක් ලෙස දැනුම අතහැර දැමීමක් සිදු වන්නේ නැහැ.

මරණය සේ අප හඳුනා ගන්නා දෙයින් පසුව දැනුම එක්රැස් කර තබාගත් අසුරණයක් ඒ දැනුමද සමඟ විනාශ වී යනවා. එය භෞතික සීමාවක්. මේ භෞතික සීමාව විසින් දැනුම එක් රැස් විය හැකි සීමාවක් සලකුණු වෙනවා. එහෙත්, දැනුම මෙවැනි අසුරණයකින් පිටතට සම්ප්‍රේෂණය කිරීම මගින් ඉහත ස්වභාවික සීමාව අතික්‍රමණය කළ හැකියි. එසේ එක් තැනක එක් රැස් කර තිබෙන දැනුමකින් අසුරණය පුරවා ගැනීම ටිකෙන් ටික සතෙන් සතේ එකතු කරනවාට වඩා කාර්යක්ෂමයි. මේ ක්‍රියාවලිය තුළ ස්වභාවිකවම දැනුම් ආධිපත්‍යයන් ඇති වෙනවා. හැම විටම වාගේ වැඩිහිටි පුද්ගලයෙකුව බිහි කරන්නේ කවර හෝ දැනුම් ආධිපත්‍යයක් විසින්.

නලින් ද සිල්වාගේ මතවාද බිහි වන්නේ සමාජවාදී අවකාශයක මාක්ස්වාදයට හා සමාජවාදයට එරෙහි විවේචනයක් ලෙසයි. මාක්ස්වාදය තුළ දැකිය හැක්කේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීමක්. දැනුම් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහස මතු වන්නේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහසේ දිගුවක් ලෙසයි.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම විකාර අදහසක් වුවත්, දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම හෝ  ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම නරක අදහස් දෙකක් නෙමෙයි. ප්‍රශ්න මතු වන්නේ එයින් පසුවයි. මේ ප්‍රතික්ෂේප කිරීම් කළ යුත්තේ ඇයි? මේ ප්‍රතික්ෂේප කිරීම් කළ හැක්කේ කොහොමද? 

දේශපාලනිකව ගත්තොත්, කොන්දේසි විරහිතව නොවූවත්, මා පෙනී සිටින්නේ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා (බටහිර) විද්‍යාව යන පැකේජය වෙනුවෙනුයි. ඔය තුනටම බරපතල විවේචන තිබෙනවා. ඒ විවේචන ගැන මා නොදන්නවා නොවෙයි. ඒ වගේම ඒ විවේචන නොසලකා හරිනවාත් නෙමෙයි. ඒ විවේචන සියල්ල එලෙසම තිබියදී වුවද මගේ හේතු සහගත තෝරා ගැනීම ඉහත පැකේජයයි. එහෙත්, මේ කිසිවක් වෙනුවෙන් අනුරාගයක් මට නැහැ. හේතු ඇත්නම් ඔය තුනෙන් ඕනෑම එකක් අත හැර දමන්න මම පැකිලෙන්නේ නැහැ. 

ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා (බටහිර) විද්‍යාව යන පැකේජයෙන් වඩාත්ම අර්බුදයට ගොස් තිබෙන්නේ විද්‍යාව කියා කියන්න පුළුවන්. විද්‍යාව හරහා අප ඇත්තටම ඉදිරියට යනවාද කියන එක කෙනෙකුට පහසුවෙන් ප්‍රශ්න කළ හැකි දෙයක්. මා පෞද්ගලිකව එසේ විශ්වාස කරනවා. එහෙත්, එය හුදෙක් විශ්වාසයක් පමණයි. එහෙත්, එම විශ්වාසයට පදනමක් තිබෙනවා. ඒ මගේ අනුභූතික නිරීක්ෂණ. 

මගේ අනුභූතික නිරීක්ෂණ හා වෙනත් අයෙකුගේ අනුභූතික නිරීක්ෂණ සමාන විය යුතු නැහැ. ඒ නිසාම, වෙනත් අය විද්‍යාව හරහා අප ඇත්තටම ඉදිරියට නොව පසුපසට යනවා කියා හිතනවානම් මට ඒ අදහසට අභියෝග කළ හැකි පදනමක් නැහැ. බටහිර විද්‍යාවට එරෙහි ඇතැම් අය වෙනත් විකල්ප දැනුම් වෙනුවෙන් පෙනී සිටිනවා. මා මෙවැනි විකල්ප දැනුම් අහේතුකව ප්‍රතික්ෂේප කරන්නේ නැතත්, සාමාන්‍ය මූලධර්මයක් ලෙස අහේතුකව පිළිගන්නේද නැහැ. බටහිර විද්‍යාවේ ක්‍රමවේදය මගේ තේරීම වන්නේ එම ක්‍රමවේදය තුළ වෙනත් විකල්ප ක්‍රමවේද හා දැනුම් පහසුවෙන් අවශෝෂණය කර ගැනීමේ පුළුල් හැකියාවක් තිබෙන නිසයි. අනෙක් විකල්ප දැනුම් කිසිවකට මේ හැකියාව මෙපමණකට නැහැ. 

ලෝකය ප්‍රගතිය කරා ගමන් කරන්නේය යන අදහස කෙනෙකු ප්‍රතික්ෂේප නොකරන්නේනම්, එම ප්‍රගතිය සිදු වන්නේ විද්‍යාවේ දියුණුව සමඟ කියන කරුණද පැහැදිලිව පෙනෙන දෙයක්. ධනවාදය වගේම මාක්ස්වාදී සමාජවාදයද විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. මාක්ස්වාදය ඉදිරියට ගියේම විද්‍යාවේ කොටසක් ලෙසයි. විද්‍යාව යනු සත්‍යයය යන අදහස අභියෝගයට ලක් වන තුරු මාක්ස්වාදය ප්‍රශ්න කෙරුණේ විද්‍යාවට සාපේක්ෂවයි. විද්‍යාවට ප්‍රමුඛතාවය ලැබුණු ලෝකයක ආගම් මිථ්‍යාවන් සේ ප්‍රතික්ෂේප කෙරුණා. 

කවර සීමාවන් තිබුණත්, අද පවා, විද්‍යාවේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන අය විසින් වුවද විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එසේ කරනවානම් කරන්නේ සියළු දැනුම් ප්‍රතික්ෂේප කරන අතළොස්සක් පමණයි. මේ හේතුව නිසා ලෝකයේ සියළු රාජ්‍යයන් අඩු වැඩි වශයෙන් විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා.

මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදියෙකුට කෙසේවත් විද්‍යාව අත හරින්න බැහැ. මාක්ස්වාදී රාජ්‍යයන් බොහෝ විට විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිනවා වගේම බොහෝ අවස්ථා වලදී ආගම් වලට එරෙහිවද සෘජුව පෙනී සිටිනවා. ඒ නිසා, සමාජවාදී ඒකාධිපතිත්වයක් තුළ බොහෝ විට විද්‍යාවේ ආධිපත්‍යයද නඩත්තු වෙනවා. විකල්ප දැනුම් විනාශ වීමක් හෝ විද්‍යාව තුළට අවශෝෂණය කර ගැනීමක් සිදු වෙනවා.

ධනවාදය තුළ යෝජනා කෙරෙන ප්‍රගතිය සඳහාද විද්‍යාව නැතුවම බැහැ. ඒ නිසා, ධනවාදී රාජ්‍යයකටද විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටින්න සිදු වෙනවා. එහෙත් එය සිදු වන්නේ ප්‍රගතිය සඳහා විද්‍යාව ඉවහල් වීම හේතුවෙනුයි. එය එසේ වන්නේද යන්න පරීක්ෂාවට ලක් කෙරෙන යාන්ත්‍රනය ප්‍රජාතන්ත්‍රවාදයයි. රටේ බොහෝ දෙනෙකු විසින් විද්‍යාව ප්‍රතික්ෂේප කරන සන්දර්භයක, ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිය නොහැකියි. එසේ නොවීම තුළින් ගම්‍ය වන්නේ ධනවාදී රටවල බොහෝ දෙනෙකු විද්‍යාව ප්‍රගතිය සඳහා ඉවහල් වන බව පිළිගන්නා බවයි.

මෙයින් වෙනස්ව බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ නැහැ. එහෙත්, ප්‍රජාත්නත්‍රවාදය තුළම, කිසියම් රටක බහුතර කැමැත්ත අනුව, රාජ්‍යයක් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින තත්ත්වයක් ඇති විය හැකියි. විද්‍යාව එකම හෝ පරම සත්‍යය සේ නොපෙනෙන සන්දර්භයක එවැනි අවකාශයක් ඉතිරිව තිබීමේ කිසිදු වරදක් නැහැ. 

අප පුද්ගලයින් සේ ගොඩ නැගීමම දැනුම එකතු කර ගැනීමක් නිසා අප හැදෙන වැඩෙන දැනුම් ආධිපත්‍යයෙන් ස්වායත්තව අපට ගොඩ නැගිය නොහැකියි. දැනුම් එකතු කර නොගත්තොත් අප පුද්ගලයන් සේ පවතින්නේම නැහැ. දැනුම් තිබෙන තුරු, නොවැලැක්විය හැකි ලෙස, දැනුම් ආධිපත්‍යයන්ද තිබෙනවා. දැනුම් ආධිපත්‍යයක් තුළ ගොඩ නැගෙන පුද්ගලයෙක්ට ඒ දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න හෝ සවිඥානිකව ඒ තුළම රැදී සිටින්න තමන් සමඟම යම් අරගලයක් කරන්න සිදු වෙනවා. මේ සඳහා යම් පෙළඹවීමක් හෝ ඇති වන්නේ තමන් රැඳී සිටින දැනුම් ආධිපත්‍යය තුළම එම දැනුම් ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන යම් පිරිසක්ද සිටීනම් පමණයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කියා කියන්නේ මෙවැනි කැරළිකරුවන්ගේ හඬටද ඉඩක් ලැබෙන තැනක්.

පරම වූ දැනුමක් පිළිබඳ සහතිකයක් නැති සන්දර්භයක, රජය විසින් කිසියම් දැනුම් ආධිපත්‍යයක් නඩත්තු කිරීම ප්‍රශ්නයක් නොවන්නේ එම දැනුම් ආධිපත්‍යය පහසුවෙන් බිඳ දැමිය හැකි කවර හෝ යාන්ත්‍රණයක් ඇත්නම් පමණයි. එසේ නැත්නම්, ප්‍රගතියේ දිශාව මග හැරී ආපසු ගමන් කරන අවස්ථාවක, ඒ බව පහසුවෙන් දැනගන්න නොලැබෙන නිසා, බොහෝ දුර ආපසු යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකාධිපතිත්වයන්ගේ තිබෙන ප්‍රශ්නය මෙයයි. 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් මාක්ස්වාදීන් විසින්ද අගය කරන අදහසක්. කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ, අතරමැදි සමාජවාදී රාජ්‍යයක් යෝජනා කරන්නේම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ අරමුණින්. එහෙත්, සමාජවාදීන් විසින් යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයම නෙමෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදු වන්නේ අලුත්, වෙනස් අදහස් වලට මතු වන්නට හා සමාජය පුරා පැතිරෙන්නට ඉඩ දීමයි. ඒ හරහා, හොඳම අදහස බහුතර අදහස බවට පත් වනු දැකීමයි. මෙයින් වෙනස්ව, මාක්ස්වාදය විසින් යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් ඉලක්කය වන්නේ ඔවුන් දකින "හොඳම" අදහස බහුතර අදහස බවට පත් වන තුරු දැනුම් ආධිපත්‍යය හරහා මොළ ශෝධනය කිරීමයි. අධ්‍යාපනයේ හා මාධ්‍ය වල රාජ්‍ය ඒකාධිකාරය මාක්ස්වාදීන්ට ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි.

දැන් චීනය ප්‍රජාතන්ත්‍රවාදය සේ සලකන්නේත්, ජවිපෙ වැනි පක්ෂ විසින් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදය සේ සැලකුවේත්, පෙසපෙ ඉතා පැහැදිලිව හා සෘජුව පෙනී සිටින්නේත් මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන්. මෙහිදී "නිවැරදි දෙය" යම් වූ දෙයක් තිබෙනවා. එය දන්නේ පක්ෂයයි. නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමේ මිනුම් දණ්ඩ මාක්ස්වාදී න්‍යායයි. පක්ෂය තුළ සිටින සියලු දෙනාටම (අඩු වශයෙන් සෛද්ධාන්තිකව) අධ්‍යාපනය හරහා මේ නිවැරදි දෙය පිළිබඳව දැන ගන්න ලැබෙනවා. ඒ අනුව, අධ්‍යාපනය හරහා පාක්ෂිකයන් නම් වූ පිරිසක් ගොඩනැගෙනවා.

සමාජවාදී පක්ෂයක පවතින ප්‍රජාතන්ත්‍රවාදය අනුව බිම් මට්ටමේ සාමාජිකයෙකුට එහි නායකත්වය කරා යන්න පුළුවන්. ඒ අතින් සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට සමානයි. (ලංකාවේ දැන් පවතින ප්‍රජාතන්ත්‍රවාදයනම් වැඩවසම් ක්‍රමයට වඩා ලොකු වෙනසක් නැති ක්‍රමයක්! මැතිවරණ කියා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් සුළු කොටසක් පමණයි.) හැබැයි මේ දෙකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂයක හෝ වෙනත් ආයතනික ව්‍යුහයක පහළ මට්ටමේ සාමාජිකයෙක් නායකත්වය කරා එන්නේ ඔහුගේ අදහස්ද සමඟයි. බොහෝ විට පුද්ගලයා එතැනම සිටියදී අදහස් නායකත්වය කරා එනවා. ඒ නිසා, නායකත්වයේ සිටින පුද්ගලයා කවුද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නායකත්වයේ මුහුණ එකම වුනත් අදහස් වෙනස් වෙලා.

මෙයින් වෙනස්ව, සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහළ මට්ටමේ සාමාජිකයෙක් නායකත්වය කරා ආවත් ඔහු හෝ ඇය විසින් අලුත් අදහස් නායකත්වය කරා අරගෙන එන්නේ නැහැ. ඒ වෙනුවට, න්‍යාය සමඟ හොඳින්ම ගැලපෙන අදහස් තිබෙන පුද්ගලයා නායකත්වය කරා එන එකයි වෙන්නේ. නායකත්වයේ මුහුණ වෙනස් වුනත් අදහස් වෙනස් වෙලා නැහැ. (චීනය පවා මෑත කාලයේදී මේ ආකෘතියෙන් විතැන් වීමට උත්සාහ කරමින් සිටිනු දැකිය හැකියි.)

සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂ සාමාජිකයින් විසින් අධ්‍යාපනය ලැබීම ඉතාම වැදගත්. (ජවිපෙට අනෙක් මාක්ස්වාදීන් විසින් කළ බරපතල විවේචනයක් වුනේ ඔවුන්ගේ මේ අධ්‍යාපනය පංති පහකට සීමා වූ බවයි.) මෙහිදී පක්ෂ සාමාජිකයින් සියලු දෙනාම එකම ආකාරයට සිතන පිරිසක් බවට පත් කෙරෙනවා. නායකත්වය කරා යාම වැනි කරුණු වලදී ඔවුන්ට සමාන අවස්ථා ලැබෙන්න පුළුවන්. එහෙත්, පක්ෂයෙන් පිට සිටින, වෙනත් අදහස් දරන අයෙකුට ඒ සමාන අවස්ථාව එලෙසම ලැබෙන්නේ නැහැ. සමාජවාදී රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීම කියා කියන්නේ පක්ෂයෙන් පිටත සිටින සියලු දෙනාටද, රාජ්‍ය බලයේ උදවුවෙන්, අවශ්‍ය "අධ්‍යාපනය" ලබා දීමයි. සියල්ලන්ටම එම අධ්‍යාපනය ලැබුණු පසු සියල්ලන්ටම සමාන අවස්ථා ලබා දීම ගැටලුවක් වන්නේ නැහැ. කියන්නේ එකම දෙයනම් කියන කට කාගෙ වුනත් වෙනස කුමක්ද?

මාක්ස්වාදය මත පදනම්ව, සන්නද්ධ විප්ලවයක් මගින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හැදූ දේශපාලන පක්ෂයක් මැතිවරණ දේශපාලනයට පැමිණි විට ඔවුන්ට උභතෝකෝටිකයකට මුහුණ දෙන්න සිදුවනවා. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ඔවුන්ට බහුතර සහයෝගය අවශ්‍යයි. එහෙත්, පක්ෂ සාමාජිකයින් ප්‍රමාණය රටේ කුඩා සුළුතරයක්. පක්ෂයට පිටතින් සිටින අය පක්ෂ සාමාජිකයින් විසින් ලබා තිබෙන "අධ්‍යාපනය" ලබා නැහැ. (ඔවුන් ප්‍රමාණවත් තරමට මොළ ශෝධනය වී නැහැ.) ඔවුන් හිතන්නේ පක්ෂයේ රාමුව ඇතුළේ සිට නෙමෙයි. රාජ්‍ය බලය නැතිව පක්ෂයෙන් පිටත සිටින අයට අවශ්‍ය "අධ්‍යාපනය" ලබා දෙන එක කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. ඔවුන්ගේ සහයෝගය ගන්නනම් පක්ෂයට ඔවුන්ට ගැලපෙන සේ වෙනස් වෙන්නම සිදු වෙනවා. 

වටෙන් ගොඩෙන් නැතුව කෙළින්ම කතා කළොත් ජවිපෙ කියන්නෙත් සන්නද්ධ විප්ලවයක් මගින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හැදූ දේශපාලන පක්ෂයක්. මැතිවරණ දේශපාලනයට පැමිණීමෙන් පසුවද බොහෝ කාලයක් ඔවුන් මේ අරමුණ අත හැර තිබුණේ නැහැ. ඒ වගේම, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැම විටම දැක්කේ මා ඉහත විස්තර කළ මාක්ස්වාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මිසක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඔවුන්ට තිබුණේ මාක්ස්වාදී සමාජවාදය මත පදනම් වූ ප්‍රතිපත්ති.

එක්තරා අවස්ථාවකදී, මැතිවරණ දේශපාලනය තුළ, විශාල ජයග්‍රහණයක් ලබන්නට ජවිපෙ සමත් වුනා (චන්ද්‍රිකා සමඟ සභාගය). එහෙත්, එයට හේතුව වූයේ ලංකාවේ මිනිස්සු හදිසියේම ජවිපෙ ප්‍රතිපත්ති පිළිගැනීම නෙමෙයි. ඔවුන්ට ප්‍රධාන පක්ෂ දෙකම එපා වීමයි. 

මේ අවස්ථාවේ වුවද ජවිපෙ කටයුතු කළේ සාමාන්‍ය මාක්ස්වාදී සමාජවාදී පක්ෂයක් ලෙසයි. ඔවුන්ව තෝරාගත් මිනිස්සුන්ට අවශ්‍ය පරිදි ජවිපෙ වෙනස් වුනේ නැහැ. ඒ නිසා, මැතිවරණ දේශපාලනය තුළ ඉදිරියට පැමිණීමට තිබුණු අවස්ථාව ජවිපෙට අහිමි වී ගියා. කෙසේ වුවද, මේ අවස්ථාවේදී මහජන නියෝජිතයින් සේ පත් වුනු ඇතැම් පුද්ගලයින් මේ උභතෝකෝටිකය තේරුම් ගත්තා. පක්ෂය වෙනස් කර ගන්න බැරි නිසා විමල් වීරවංශ වැනි ඇතැම් අය පක්ෂය අත හැර රැල්ල හමන පැත්තට පාවෙලා ගියා. තවත් අය මේ විදිහටම රැල්ල එක්ක පාවී ගොස් පක්ෂය දිය වීමේ අවදානම හමුවේ ජවිපෙ ටිකක් වෙනස් වුනා. ඒ වෙනස් වීම මුල් ස්ථාවරයට නොගැලපුණු නිසා පක්ෂයේ සිටි මූලධර්මවාදීන් ටික පෙසප ලෙස ඉවත් වී ගියා. ජවිපෙ රුවල් බිඳුණු ඔරුවක් වගේ දෙපැත්තට වැනෙන්න ගත්තා. මැතිවරණ කිට්ටු වෙද්දී ජනමතය පැත්තට නැමුනා. අනපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵල හමුවේ ආපහු න්‍යාය පැත්තට නැමුනා.

ඔහොම දෙපැත්තට වැනි වැනී හිටපු ජවිපෙ දැන් නැවතත් ජනමතය ගැන හිතන්න පටන් අරගෙන තිබෙනවා. මේ වෙනස වෙන්නේ හරිනි ජවිපෙ සමඟ සම්බන්ධ වීමෙන් පසුවයි. පසුගිය කාලය පුරාම ජවිපෙ පක්ෂයට පිටින් සිටි විවිධ උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් පක්ෂය සමඟ සම්බන්ධ කර ගත්තත් ඒ කාටවත් ජවිපෙන් වෙනස් වූ ස්වාධීන දේශපාලන අනන්‍යතාවයක් තිබුණේ නැහැ. හරිනිට ඒ අනන්‍යතාවය වගේම අවශ්‍ය පෞරුෂයද තිබෙනවා. මම පෞද්ගලිකව හරිනිව ජවිපෙ මතවාදය සමඟ අනන්‍ය කර දකින්නේ නැහැ. ඇගෙන් නියෝජනය වන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්. අඩු වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කරා වෙනස් වීම මේ වෙලාවේ ජවිපෙ හමුවේ තිබෙන තෝරා ගැනීමක්.

සමාජවාදී පක්ෂයක් විදිහට ජවිපෙ/ජාජබ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම, උගතුන් විසින් රට පාලනය කිරීම වෙනුවෙන්ද පෙනී සිටිනවා. තවත් විදිහකින් කිවුවොත් ජවිපෙ/ජාජබ පෙනී සිටින්නේ රජය මුල් වී (බටහිර) විද්‍යාවේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන්. මේ කාරණයේදීත් ජවිපෙ/ජාජබට උභතෝකෝටිකයකට මුහුණ දෙන්න වෙනවා. ඒ, මේ පැකේජ් එක ගනිද්දී එහි කොටසක් ලෙස එන නූතන ආර්ථික විද්‍යාව අත හරින්න බැරි වීමයි. නූතන ආර්ථික විද්‍යාව හා මාක්ස්වාදය එකට පැකේජ් කරන්න බැහැ. සුනිල් හඳුන්නෙත්ති වැනි අයට ධනවාදය ගැන කතා නොකර වෙළඳපොළ ගැන කතා කරන්න සිදු වී තියෙන්නේ මෙවැනි පසුබිමක. 

මම මේ ටික ලියන්නේ සමච්චලයට නෙමෙයි. මෙය මම දකින හොඳ හැරවුමක්. හැබැයි ඒ එක්කම ජවිපෙ සාමාජිකයින් මෙන්ම නායකයින් බොහෝ දෙනෙකුට තවමත් සම්ප්‍රදායික ජවිපෙ මානසිකත්වයෙන් මිදෙන්න හැකි වී නැහැ. ජවිපෙ විසින් මුලින්ම කළ යුත්තේ තමන්ගේ සාමාජිකයින්ව යාවත්කාලීන කර ගැනීමයි. ජවිපෙ/ජාජබ විසින්ම හඳුනා ගන්නා පරිදි ඉදිරි මැතිවරණයකදී මුඛ්‍ය නිර්ණායකය වන්නේ රටේ ආර්ථිකය නිසා මෙය සෑහෙන බරක් තැබිය යුතු කරුණක්.

ධනවාදය වුවත් රජය මුල් වී ආධිපත්‍යවාදී ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මම පෙනී සිටින්නේ නැහැ. රජය විසින් සැලසුම්සහගතව ක්‍රියාත්මක කරන්න යන දෙයක් ධනවාදය වෙන්නෙත් නැහැ. හැබැයි රාජ්‍යමූලික සමාජවාදී ක්‍රමයක් ඇතුළේම වුනත්, වෙළඳපොළට ඉඩක් දීම එසේ නොදෙනවාට වඩා ගොඩක් සාර්ථක ක්‍රමයක්. චීනය කරන්නේ ඒකයි. 

ජවිපෙ/ජාජබට ප්‍රතිමුඛ වී සිටින චම්පිකගේ 43 බලකාය විසින්ද ජවිපෙ මෙන්ම උගතුන් විසින් රට පාලනය කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. මේ කණ්ඩායම් දෙකම පෙනී සිටින්නේ බටහිර විද්‍යාව වෙනුවෙන්. උගතුන් සේ සැලකෙන්නේ විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයයි. නූතන ආර්ථික විද්‍යාව වෙනුවෙන් පෙනී සිටීමේදී ජවිපෙ/ජාජබට මුහුණ දෙන්න වන ගැටළුවට මුහුණ දෙන්න නොවීම 43 බලකායට තිබෙන සාපේක්ෂ වාසියක්. 

නලින් ද සිල්වාගේ මතවාද අනුව යමින් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධ වූ පිරිස් සිටියේ මේ ආණ්ඩුව සමඟයි. ඔවුන් ඇතැම් විට බටහිර විද්‍යා ආධිපත්‍ය විරෝධය බටහිර විද්‍යා විරෝධයක් දක්වා දිගු කළ අවස්ථා තිබුණා. මේ වෙද්දී මේ බලවේග ආණ්ඩුව සමඟ විරසක වී ඇති බවක් පේනවා. ඇත්තටම මේ ආණ්ඩුව බලයට ගෙනාවේම එක් සංවිධානයක් තුළ ගොනු නොවී විසිරී සිටි මේ මතවාදය සමඟ සිටි පිරිසකගේ උදවුවෙන්. මේ මැතිවරණ සන්දර්භය තුළ මේ පිරිස යම් අවස්ථාවක කවුරු හෝ වටා එකතු වෙයි. මේ කණ්ඩායමට තිබුණු හා තිබෙන ලොකුම අඩුපාඩුව ආර්ථිකය කළමනාකරණය සම්බන්ධව කිසිදු විකල්ප මතවාදයක් නැති වීමයි. 

නලින් ද සිල්වාට ආර්ථිකය සම්බන්ධව විකල්ප මතවාදයක් හදා ගන්න නොහැකි වී තියෙන්නේ ඔහු ආර්ථික විද්‍යාව නොදැන සිටීම නිසාම නෙමෙයි. විධිමත් ලෙස හදාරා නැති වෙනත් විෂයයන් ගැනද ඔහුට විකල්ප අදහස් තිබෙනවා. ඔහුගේ ප්‍රශ්නය ඔහු මාක්ස්වාදය පිළිබඳ කොයි තරම් දරුණු විවේචකයෙකු වුවත් ආර්ථිකය තේරුම් ගැනීමේදී මාක්ස්වාදයේ රාමුව තුළම හිර වී සිටීමයි. දැනුමේ ආධිපත්‍යය පිළිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදයත් මාක්ස්වාදී රාමුවේම තිබෙන ප්‍රාග්ධනයේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රවාදයේම දිගුවක්. ඔහු දැනුමේ ආධිපත්‍යය දකින්නේ මාක්ස්වාදීන් ප්‍රාග්ධනයේ ආධිපත්‍යය දකින රාමුවේම සිටයි. ඒ නිසා, මේ ආධිපත්‍යයට එරෙහි විය හැකි ප්‍රායෝගික ක්‍රමයක් ගැන සිතන එක ඔහුට අසීරු වී තිබෙනවා.

දැනුම් කළමනාකරණය ලංකාවේ සන්දර්භයේදී විශාල දේශපාලනික වැදගත්කමක් තිබෙන කරුණක්. ලිපිය පටන් ගත්තේ පිරමිඩ් ක්‍රම ගැන ලියන්න හිතාගෙනයි. එය වෙන ලිපියකට තියමු.

32 comments:

  1. ඉතා හොඳ ලිපියක්. පිළිතුරක් ලිවීමට පසුව එන්නම්.

    ReplyDelete
  2. ඉකොනෝ, මගේ ළඟ ගණිත විනෝදය පොත් දෙකම තවම තියෙනවා. ඒත් ඒවායින් වෙළෙඳපොල යකෙක් කියන දෘෂ්ටිය මට නං ඇති වුණේ නැහැ. ගණිතයේ අරුම-පුදුමකම ගැන අවබෝධයක් ඇති වනා මිස......

    ReplyDelete
    Replies
    1. පොත් දෙකක් තියනවද? මටත් වෙළඳපොල ගැන වරදක් කියලා තියනවා මතක නැහැ. රූබල් හතරකට බයිසිකලයක් ගන්න පිරමීඩ කතාවක්
      තිබ්බා වගේ මතකයි.

      Delete
    2. නිමල්, එය එතරම් සූක්ෂ්ම ලෙස ලියූ පොතක් විය හැකියි.

      Delete
    3. සාමාන්‍යයෙන් මාධ්‍ය, කලාව, පොත්පත් හරහා කරන මොළ ශෝධනය ඉතාම සියුම්. සිරස ජනප්‍රිය ටෙලි නාට්‍ය වල චරිත ගැන පොඩ්ඩක් හිතල බලන්න.

      Delete
    4. ඇත්තටම මම හිතන්නේ ඉකොනොමැට්ටා මේ යාකොෆ්ව් ඉසිදෝහ්‍රෝවිස්ච් පෙරෙල්මාන්ගේ පොත් කියවලා නැහැ, මොකෙක් හරි නාකි ඇමරිකන් අමු ගොබ්බ ගෝතයෙක් ඒ කාලේ සෝවියට් ප්‍රොපගැන්ඩා ගැන ලියපු බහුබූත ලිපියක් හරි පෝස්ට් එකක් ඇසුරින් මේ අදහස් ඔහුට පහළ වෙන්න ඇති කියලා හිතෙනවා.

      පෙරෙල්මාන්ගේ පොත් මීර්/ රාදුගා හරහා ලංකාවේ පබ්ලිශ් කරපු පලියටම යාකෝෆ්ව් පෙරෙල්මාන් කොමියුනිස්ට් වාදියෙක් හෝ මාක්ස්වාදියෙක් කියලා හිතන්න අමාරුයි, අනෙක ඔහුගේ පොත් ගොඩක් ලියවිලා තියෙන්නේ ඔක්තෝබර් විප්ලවය කලින්, උදාහරණයක් විදිහට 1882 උපන් යාකෝෆ්ව් පෙරෙල්මාන් ඔහුගේ ඉතාම ජනප්‍රිය භෞතික විද්‍යා විනෝදය පොත පවා මුලින්ම කරපු රුසියන් මුද්‍රණය 1913 දී කරපු එකක්

      අපි පුංචි කාලේ 1990 ගණන් වල මැද වගේ තමයි ගණිත විනෝදය (Lively Mathematics) සිංහල පරිවර්තනය ලැබුණේ, ඒක නිසා මාර විදිහට මැත ගැන අමුතුම ගැම්මක් ආවා, ඒ වගේම ඔහුගේ භෞතික විද්‍යා විනෝදය (Physics Everywhere) පොඩි කාලේ තෙරුණේ ටිකයි හරියට තෙරුම් ගන්න 2002 විතර විද්‍යාව තව දුරටත් ඉගෙන ගනිද්දි පුළුවන් වුණා.

      ඔහුගේ පොත් වලින් විනෝදය සඳහා අංක ගණිතය, විනෝදය සඳහා යාන්ත්‍ර විද්‍යාව, විනෝදය සඳහා ජ්‍යාමිතය (Arithmetic for entertainment, Mechanics for entertainment, Geometry for Entertainment, Tricks and Amusements, Astronomy for entertainment), වැනි කෘතීන්ගේ අන්තර්ගත වූයේ විද්‍යාව පමණක් නොව සියලු පාඨකයන්ට මූලික විද්‍යාත්මක ක්‍රමය සහ විද්‍යාඥයෙක් හිතන විදිහ ගැන අවබෝධයක් ලබා දීම වගේම ග්‍රහලෝකාන්තර ගමන් සහ රොකට්ටුවකින් තරු අතරට වැනි කෘතීන් එකළ පුංචි අපේ ආදරය දිනා ගන්නට සමත් වුනා. යූල් වර්න් (Jules Gabriel Verne) වැනි ලේඛකයන්ගේ කෘතීන් ආභාසය කරගැනීමට යාකොව් දැක්වූ දක්ෂතාවය හේතුවෙන් ඔහුගේ කෘතීන් ද අභිබවා එම නිර්මාණ ලොව පුරා විවිධ බසින් ප්‍රචලිත වුනා.

      සාමාන්‍ය මතය හොඳ විද්‍යාඥයෝ හොඳ ලේඛකයෝ නොවන බව නමුත් සැබෑ කරුණ නම් විද්‍යාඥයා සහ සාමාන්‍ය පාඨකයා එකෙිනෙකට සම්බන්ධ කෙරෙන පාලම තැනීම කළ හැක්කේ විද්‍යා ලේඛකයන්ට පමණක් බව පේනවා.

      මට මතක හැටියට ගණිත විනෝදය සිංහල පොතේ තිබුණ එකක් තමයි ළමයෙක් එක්තරා ගණිතඥයකුගෙන් ”ඔබේ වයස කීයද?” කියල ඇහුවා. ඔහු දුන්නේ පුදුම උත්තරයක්ලු,

      ”තව අවුරුදු තුනකට පස්සෙ මගේ වයසින් තුන් ගුණයක් ගන්න. එයින්, අවුරුදු තුනකට පෙර වයසේ තුන් ගුණයක් අඩු කරන්න. එවිට ඔබට ලැබෙන්නේ මගේ වයසයි” ගණිතඥයා කීවා. ඔහුගේ දැන් වයස කීයදැයි කියන්න ඔබට පුලූවන්ද?

      මේ වගේ දේවල් වල තියෙන කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩා එක හොයන්න ඉතින් ඇමරිකන් මාධ්‍ය ඒ කාලේ බ්‍රේන් වොශ් කරලා හදාපු සෝවියට් ඇලජික් ලෙඩේ තියෙන පිස්සු ඇමරිකන් නාකි හෝතඹුවෙක් වෙන්න ඕන ඔය වගේ කතාවක් ලියන්න, මොකෝ නැත්ද ඉකොනොමැට්ටා? ඉකොනොමැට්ටා මෙහෙම කිව්වට කේන්ති ගන්න එපා, මම හිතන්නේ මේක වැරදි අවබෝධයක් වන්නට පුළුවන් ඒකයි.

      Delete
    5. මේ ඇනෝ කියන කතාවට නම් මමත් එකඟයි එකොන්. ඒ පොතේ කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩ ලියල තියෙනවා කියන එකනම් විකාරයක්. මා ළඟත් පොත තියෙනවා. ඔහුගේ පොත් සියල්ලම වගේ සෝවියට් දේශය මගින් මුද්‍රණය කරා. පසුව පොයින්කෙයර් conjecture එකට සහ soul conjecture in Riemannian geometry ඔප්පු කරපු ග්‍රේගොරි පෙරෙල්මාන් (සම්බන්ධයක් නැත කියල තිබ්බ ඔහු ගණන් ස විද්‍යවට කැමති වුනේ එයාගේ පියා යාකොව් ගේ පොත් ගෙනල්ල් දුන්නහම කියල. ඔය දෙවැන්නා නම් සෝවියට් හිතවාදී. මිලියන් ඩොලර් තෑග්ගක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඇමෙරිකාව ඔහුට වැඩිය කැමති නැහැ. මොකද අමෙරිකාවේ බහුතරයක් හිතන්නේ ඕනේ කෙනක් සල්ලි වලට ගන්න පුළුවන් කියලනේ.

      Delete
    6. අජිත්, මගේ ලිපියේ මම ලියා තිබෙන්නේ "එහෙත් මේ වගේ "අහිංසක" සේ පෙනෙන පොතක් හරහා වුවත්, කොයි තරම් මොළ ශෝධනයක් කර තිබෙනවාද කියන එක තේරෙන්නේ දැනුයි. මේ පොතෙන් වුවත් අවසාන වශයෙන් කර තිබෙන්නේ ඉතා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔළුවට වෙළඳපොළ විරෝධී අදහස් දමා වෙළඳපොළ යකෙක් සේ පෙන්වීම බව පැහැදිලි වන්නේ අදාළ ගණිත ගැටළු ඉදිරිපත් කර තිබෙන ආකාරය දෙස දැන් බැලූ විටයි." කියලයි. "කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩ ලියල තියෙනවා" කියල මම කොහේවත් කියල නැහැ.

      මම ඔය පොත ගැන වෙනත් ඇමරිකානුවෙකු හෝ වෙනත් අයෙකු විසින් ලියූ කිසිවක් කියවලා නැහැ. ඇත්තටම කියනවානම් මේ ලිපිය ලියපු ලිපියකට වඩා ලියැවුණු ලිපියක්. මට අවශ්‍ය වුනේ "ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දහවන කොටස)" ලියන්න. ඒ සඳහා පූර්විකාවක් ලෙස පිරමිඩ් ක්‍රම ගැන පොඩ්ඩක් කතා කරන්න අවශ්‍ය වුනා. එහිදී පෙරල්මාන්ගේ නිදර්ශනය සිහියට ආවා.

      සාමාන්‍යයෙන් මතක තිබෙන දේවල් ලියද්දී, අතේ ඇත්නම් හෝ සොයා ගත හැකිනම්, මම හැම විටම අදාළ මූලාශ්‍ර පරිශීලනය කර නිරවද්‍යභාවය තහවුරු කර ගන්නවා. පෙරල්මාන්ගේ පොතේ සිංහල පරිවර්තනයක් දැන් මා ළඟ නැති නිසා ඉංග්‍රීසි පරිවර්තනය පරිශීලනය කළා. එසේ කරද්දී මා ඉහත ලියූ මොළ ශෝධනය සිදු කෙරෙන තැන් ගණනාවක් හමු වුනා. මේ ලිපිය මේ ආකාරයෙන් ලියන්න පෙළඹුමක් ඇති කළේ ඒ දේවල්. මේ තැන් එකින් එක අරගෙන විස්තර කර ලිපියක් ලියන්න පුළුවන්කම තිබුණත් එවැන්නක් කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් නැති සෝවියට් දේශයක එක් පොතක් ගැන කතා කරනවාට වඩා වැදගත් දේවල් ඕනෑ තරම් තිබෙනවා.

      ඔය වගේ පොතක කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩා ලිවුවොත් එය විහිළුවක් වන බව ඕනෑම මෝඩයෙකුට තේරෙනවා. එහෙම ලිවුවානම් ඔය පොත ඔය තරම් පිරිසක් අතට යන්නේ නැහැ. මේ වගේ කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩා වලට කිසිම සම්බන්ධයක් නැති, කුඩා දරුවන් වෙත යන, ගණිත පොතක පේලි අතර ලියැවෙන පොඩි දේවල් කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩා වලට වඩා ගොඩක් බලගතුයි. මොළ ශෝධනය කියන්නේ සියුම් දෙයක්.

      මේ පොත ඉතා හොඳ පොතක්. පෙරල්මාන් පොත ලියන්න ඇත්තේ කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩාවක් ලෙස නෙමෙයි. නමුත් ඒ පොත මගේ අතට එන්නේ සෝවියට් රජය විසින් ඒ පොත සිංහලට පරිවර්තනය කර ඉතා අඩු මුදලකට ලංකාවේ වෙළඳපොළේ විකිණූ නිසා. ඒ වගේම එවැනි අඩු මිලකට හෝ නොමිලේ දෙන සෘජුව කොමියුනිස්ට් ප්‍රොපගැන්ඩා ලියා ඇති පොතක් බොහෝ විට මම කියවන්නේ නැහැ. මම එය කියවන්නේම එය ගණිත පොතක් නිසා.

      සෝවියට් දේශයේ හා/හෝ රුසියාවේ ලියැවෙන හැම පොතක්ම සෝවියට් රජය විසින් පරිවර්තනය කරවා අඩු මිලට ලංකාවේ විකිනුවේ නැහැ. එම පොත් තෝරා ගන්නා කවර හෝ ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදය ඉතා අවංක, අහිංසක එකක් කියා මම පිළිගන්නේ නැහැ. ඔවුන් අඩුවට විකිණූ හැම පොතක්ම ඔවුන්ගේ "අධ්‍යාපනය ලබා දීමේ" අරමුණු සමඟ ගැලපුණු පොත්.

      බැලු බැල්මට නොපෙනුනත් මේ පොත හරහා පවා ඒ අරමුණ ඔවුන් ඉටු කරගෙන තිබෙනවා. ඔබ මේ පිළිබඳව එකඟ නොවන්නේනම්, ඒ බව තහවුරු කිරීම සඳහා කාලය යෙදවීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. මේ තැන් පෙන්වා දුන්නත් ඔබට මා සමඟ එකඟ නොවී තව දුරටත් තර්ක කිරීමේ හැකියාව බැහැර වන්නේ නැහැ. ඒ නිසා, අනවශ්‍ය වාදයක් දිගින් දිගට ඇදගෙන ගොස් තේරුමක් නැති දෙයකට සෑහෙන වෙලාවක් නාස්ති කරන්න වෙනවා.

      පොදුවේ මාධ්‍ය, කලාව හරහා සිදුවන මොළ ශෝධනය පිළිබඳව ඔබ එකඟ නිසා මට අවශ්‍ය කරුණ වූ "දැනුම් කළමනාකරණය" ගැන කතා කිරීමට මේ පොත එතරම් වැදගත් නැහැ. සෝවියට් දේශයම වුවත් පැත්තකින් තියා වත්මන් සන්දර්භය තුළ මේ ගැන කතා කළ හැකියි. එකම ප්‍රශ්නය චීන මාධ්‍ය හා කලාව ගැන මට එතරම් දැනුමක් නැති වීමයි. ඒ නිසා, බටහිර සමඟ පහසුවෙන් සංසන්දනයක් කළ හැක්කේ සෝවියට් මාධ්‍ය හා කලාවයි.

      Delete
    7. තණකොළ නැහැ ගහ මුදුනේ

      ඉකොනොමැට්ටා ගහපු පෙරෙල්මාන් පචය අතේ කෝට් නේද? එම් සී සී ගැන මොළ හෝදන්න ගිහින් කුජීත වුණ කෙනෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

      ඉකොනොමැට්ටා මේකේ ලියන අනිත් දේවල් පවා මේ වගේ කෙබර සහ ගජබින්න කියලා මට හිතෙනවා දැන් නම් ��

      Delete
    8. //තණකොළ නැහැ ගහ මුදුනේ//

      තිබුණු ටික කපලා බිමට දැම්මා. බැහැලා බලද්දී බිමත් තණකොල නැහැ. තණකොල වලට මොකද වුනේ කියලා හොයද්දියි ඇනෝ කමෙන්ට් එකක් දාල තියෙනවා දැක්කේ!

      Delete
    9. //මේ පොතෙන් වුවත් අවසාන වශයෙන් කර තිබෙන්නේ ඉතා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔළුවට වෙළඳපොළ විරෝධී අදහස් දමා වෙළඳපොළ යකෙක් සේ පෙන්වීම බව පැහැදිලි වන්නේ අදාළ ගණිත ගැටළු ඉදිරිපත් කර තිබෙන ආකාරය දෙස දැන් බැලූ විටයි.// මේ වාක්‍යයෙන් අදහස් වන්නේ එහෙම දෙයක්. මේක කොමියුනිස්ට්වාදී අදහස ඔලුවට දැමීමක් කරනවා කියන අදහස් තමා එන්නේ. ඔබට වෙලාවක් තිබෙනවා නම් එවැනි තැනක් (පිටුව) කියන්න මටත් බලන්න. මා ළඟ පොත තිබෙනවා. මම බලන්නේ වෙනස් විධිහකට වෙන්න පුළුවන්. අනික් කරනවා යාකොව් පෙරෙල්මන් යුදෙව් ජාතිකයෙක්. ඔබ දන්නවා ඇති ඔක්තිබර් විප්ලවයට නායකත්වය දුන් බොහෝ අය යුදෙව්. (ස්ටාලින් පසුව මරා දැමූ -ඔය නලින්ද සිල්වා යුදෙව් චින්තනය කියල කියන්නේ) . ඔවුන් බොහෝ අය යුදෙව් කිබුට්ස් ක්‍රමය අත් හදා බැලු හෝ ඒවා දන්නා අය . සෝවියට් සමාජවාදය විශේෂයන් මුලික සමුහ ගොවිපල ලෙනින්ලා සැකසුවෙත් කිබුට්ස් ක්‍රමය හරහා. (පස්සේ ස්ටාලින් ඒකට කෙලෙව්වට) ,ඉතින් පෙරෙල්මන් මුදල් ගැන අඩු තක්සේරුවකින් කතා කිරීම පුදුමයක් නෙමෙයි. ඔහු ඉපදුන පෝලන්තයේ අශ්කෙනට්සි යුදෙව්වන් අතර ඒ ක්‍රමය පැතිරිලා තිබුන. (හිට්ලර් ගොඩක්ම මැරුවේ ඔවුන්ව) දැනුත් ඇමෙරිකාවේ සිටිනවා එවැනි මුදල් වැඩිය අත නොගහන සාමුහික විධිහට ජිවත් වෙන යුදෙව් කට්ටිය. (මට නම මතක නැහැ) ඉතින් ඔතන සෝවියට් මොළ සේදීමකට වඩා එහෙම එකක් තියෙන්න ඇත්තේ. මොළ සේදුවේ කවුද කියන්නම්. හොලිවුඩ් - රම්බෝ වගේ චිත්‍රපට තුලින්. ඕනෑම චිත්‍රපටයක බොන්ඩ් ඒවලත් ත් දුෂ්ටය සෝවියට් දේශය. පස්සේ රුසියාව . දැන් චීනය., හැමදාම කවුරු හරි දුෂ්ටයෙක් හිටිය. ඇමෙරිකන් වීරයා දිනනවා. (හොඳ චිත්‍රපට තිබෙනවා) . මම පොඩි කාලේ කැමති වෙලා හිටිය ලෝන් රේන්ජර් වගේ කව්බෝයි කතා වලට. ඒ කාලේ මතකද දන්නේ නැහැ ටීවී එකේ ගියා. ලන්ඩන් වලදීත් කාලයක් බලල එකපාරටම ඔළුවට ආවා මේවල කියන්නෙම සුද්ද කරපු වැඩේ හොඳයි කියල,ඇමෙරිකන් නේටිව් මිනිස්සු දරුණු අශිලාචාර උන් කියල. අන්න මොළ සේදීම්. හැබැයි ඩාන්සින් විත් ද වොල්ෆ් වගේ චිත්‍රපටත් තියනවා. මගේ ළමයින්ට ඔය කතාව කීවට පස්සේ දෙන්නම් කව්බෝයි කතා බලන්නේ නැහැ. අන්තිමට මගේ බිරින්දෑ පවා ඒක පිලි ගත්ත. හෙන කව්බෝයි චිත්‍රපට ෆෑන් කෙනෙක්.
      @ඇනෝ - මම එම් සී සී එකට නම් පක්ෂයි. හේතුව ඒකෙ කිසිම දෙයක් තිබ්බේ නැහැ රට බෙදන කතා. සල්ලි දෙන්න හිටියේ ඉඩම් කටයුතු පරිගණක ගත කිරීමට. අර තිස්ස පිස්සා තමා බොරු කියල රට මුලා කලේ. මෙහෙ මම දන්නා සජබ හෙවත් සජී ගේ ලොකු අනුගාමිකයෙක් පවා ඕක විශ්වාස

      Delete
  3. මේ මිනිහට දැන් නං හොදටම පිස්සු. බෙහෙත් අරං දීපල්ලා.

    ReplyDelete
  4. very good reading. thank you very much for this beautiful reading.

    IS Harini used with similar intentions how Ranil Used Sirisena then

    ReplyDelete
    Replies
    1. Interesting point. I never thought about this comparison. When I think now, I can see some similarities. However, I prefer to wait before making any conclusions.

      Delete
    2. I agree. that's a pretty good observation.

      Delete
  5. ඔය පෙරල්මාන්ගේ පොත ගැන මෙන්ම ගුරු ගීතය නම් පොතක් ගැන ද බොහෝ දෙනෙකු කියනවා. පරිවර්තිත රුසියානු නවකතා සහ කෙටිකතා සිය ගණනක් කියවා තිබුණත් වාසනාවට මා නම් ඒ පොත් දෙකෙන් එකක්වත් කියවා නෑ.

    ReplyDelete
    Replies
    1. ගුරු ගීතය මටනම් දැන් සම්පුර්නයෙන්ම එපා වෙලා තියෙන්නේ. ලියපු එක්කෙනාටත් එපා වෙලා කිව්වහම.ඒක එච්චරට උඩ දාල නාස්ති කළා

      Delete
  6. රසික. නොකියවාම පොතක් ගැන තීරණය කරන්නට හැකි වීම වාසනාවක් තමයි. ගුරු ගීතය පුංචි පොතක්. හැකි නං කියවලා ඉවර වෙලා ඔබෙ අදහස කියන්න.

    ReplyDelete
    Replies
    1. @ Nimal D,

      You might heard of the world famous English idiom "don't judge a book by its cover" is a metaphorical phrase that means one should not judge the worth or value of something by its outward appearance or illogical and baseless rumors about the same alone.

      අනිත් පැත්තෙන් නිමල් මිනිස්සුන්ට උපතින්ම ලැබෙන මානසික අවවර්ධිත තත්ත්වය හෝ හීනමානය ඉන්ෆීරියෝරිටි කම්ප්ලෙක්ස් තත්ත්වයක් නිසා (කිසිම දෙයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බව එසේම ඕනෑම දෙයක අසුබවාදී බව හෝ වැරදි ලෙස විවේචනය කිරීම සහ කිසිම දෙයක් වගකීමක් නොගැනීම ආදී) රෝගී තත්වයන් පොත් පත් කියවීමෙන් සනීප කරගත නොහැකි අතර ඒ සඳහා මනෝ චිකිත්සක සහ චර්යා ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ.

      සාමාන්‍යයෙන් සමාජය තුළ වැදගත් ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍ය කරුණක් වන ආත්ම-අභිමානය (සෙල්ෆ් එස්ටීම්) ගොඩ නැගෙන්නේ කෙනෙකු තුළ තමන් ගැන තම හැකියාවන් ගැන සැලකිය යුතු තරමක විශ්වාසයක් ගොඩ නැගුණු විට සහ තමන් අනුන් විසින් නොව තමන් විසින් පාලනය කරනු ලැබේ යයි දැනුණු විටයි. ඒ සඳහා කෙනෙකුට පළල් දැනුමක් ද කුසළතා ද ඒවා නිසා ලබා ගත් සාර්ථකත්වයක් ද තිබිය යුතුය. සාමාන්‍ය නිරෝගී කෙනෙකු සතුටට පත්වන්නේ අනුන්ගෙන් ලැබෙන පිළිගැනීම නිසා නොව තමන් තුළ තිබෙන කෙනෙකුට උදුරා ගත නොහැකි චරිත ලක්ෂණ කුසලතා හා දැනුම නිසාත් එයින් තමන් අත් කර ගෙන ඇති දෑ නිසායි.

      මේ නිසා එවන් අභිමානයක් (Self-esteem) ඇති මානසිකව නිරෝගී කෙනෙක් කිසි දිනෙක පිටතට පකුම් දාන්නේ නැත. පුස්පාට් දාන්නේ නැත. රැස්පොට් පෙන්වන්නේ නැත. එවන් අභිමානවත් මිනිසුන්ගෙන් ප‍්‍රදර්ශනය වන්නේ නිහතමානය බවත් පොදුවේ සමාජය තුළ නිසි පිළිගැනීමක් ලැබෙන බවත් ඔවුන්ට ප‍්‍රසිද්ධිය හෝ පිළිගැනීම බලෙන් ලබා ගන්නට අවශ්‍ය නැති බවත් ඒවා ඔවුන් පසුපස ඔවුන් සොයා එන නිසා බවත් ඔබ පිළිගන්නවා ඇති.

      නමුත් මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සමහර මිනිස්සු අභිමානය වෙනුවට හීනමානයෙන් පෙළෙති. ඔවුන් ඇතුළතින් හිස් වන අතර තමන්ගේ කියා දස්කමක් ලෝකයට පෙන්වීමට ඔවුන්ට නැති අතර ඇත්තටම ඔවුන් තමන් ඉන්නා ස්ථාන ලබා ගෙන ඇත්තේ එක්කෝ නිසි සුදුස්සන් කපා ගෙන පන්දම් පෙළපාලියේ ගිහින් නැත්නම් හුදෙක් අහම්බයකින් / වාසනාවට වගේ පිනා චාන්ස් එකකින් බව මගේ අවුරුදු තිහක් ඉක්මවා ඇති ජීවන අත්දැකීම් සහ වසර හතක් පමන වන පෝට් ග්‍රැජුඒට් වෘත්තීය අත්දැකීම් අනුව අනුව ඔබට තිර කොට පැවසිය හැකියි.

      මගේ නිරීක්ෂණ අනුව මෙම හීනමාන කාරයින් තමන්ගේ තනතුරු කිසිවෙකු විසින් ඩැහැ ගනී කියා හෝ තමන් දැනට සිටින තැනින් එලවා නැවත මුල් පිහිටුමට එලවනු ඇති කියා නිරන්තර බියකින් හා සැකයකින් පසු වන අතර ඒ නිසා ඇතුළත නැති යමක් ඔවුන් ලෝකයට පෙන්විය යුතු නිසාම ඔවුහු මවාගත් පුහු අධිමානයක් ලොවට පෙන්වති. සිංහලෙන් කියන්නේ නම් පුස්පාට් දමති/ රැස්පොට් පෙන්වති. ඒ තමන් බලෙන් ගත්තොත් මිසක පහසුවෙන් ළඟා වෙන පිළිගැනීමක් නැති නිසාත් ඇතුළතින් හීන-මානයෙන් පෙළෙන අය මවාගත් බොරු අධිමානයත්/ ඇතුළත අභිමානයෙන් පෙළෙන අය නිහතමානයත් පෙන්වනු මිනිසුන් පිරික්සන විට අපට දැකිය හැකි අතර සාමාන්‍ය නිරෝගී අප කැමති පොදුවේ ජාතියක් හැටියට අපගේ උපන් රට වන ලංකාව සහ දැනට සිටින රටත් එකසේ අභිමානවත් වනු දැකීමට වන අතරම එය හුදෙක් අනෙක් ජාතීන්ට පුස්පාට් දමා නොව අපගේ සැබෑ ශක්තීන් මත ගොඩනගා ගත යුතු ස්ථාවර හැකියාවකි. එනිසා ඔවැනි ගොන්පාට් නොසලකා හැරීම වඩාත් සුදුසු බව අපේ අදහසයි.

      Delete
  7. පෙරෙල්මාන් ගැන අමතක කලොත් (ඔහුගේ පොත සෝවියට් ප්‍රචාරණයට මොළ සෝදන්න භාවිතා කරනවා කියන එක ප්‍රතික්ෂේප කරන ගමන්.) දැන්නම් ඇත්තටම මොළ සෝදන්නේ බටහිර මාධ්‍ය, මුස්ලිම් ප්‍රචාරණ මාධ්‍ය, සිංහල බෞද්ධ ප්‍රචාරණ මාධ්‍ය . මේ ලිපිය මම හොඳයි කීවේ ජවිපෙ සහ පෙසපේ ගැන ලියපුව කියල. මම පෙසපේ සහෝදරවරු කාලයක් ලඟින් ඇසුරු කළා. ඔවුන් විද්‍යාත්මක දේ ඉගෙන ගන්න හුඟක් ලැදියි. හැබැයි අර ඔබ කිව පක්ෂයේ යාන්ත්‍රනය තදින් බලපානවා ඕනෑම දෙයකදී. ඉන් පිට නිදහස්ව හිතන්නේ නැහැ. ජවිපෙ වලත් වදී වෙනසක් නැහැ කතා කරන්න ගියහම. ඔවුන් හැම විටම නිවැරදියි කියන මතයක ඉන්නේ.
    අනික මම බටහිර විද්‍යාවට පක්ෂපාති නැහැ. මම විද්‍යාවට පක්ෂපාතියි. සමහර අභ්‍යවකශ විද්‍යා නියම හොයාගෙන යනකොට ඒ සමහරු (නීල්ස් බෝර් , ශ්රුදින්ගෙර්, ඇමෙරිකන් බෞද්ධයෙකු වන ගෙල්මන් ) හුඟක් පෙරදිගවිද්‍යාවන් හදාරලා තිබෙනවා. චීනය සහ ඉන්දියාව බොහොම ඉදිරියෙන් සිටි තැන තියනව. මහායාන දර්ශනයේ විද්‍යාත්මක තර්කන ක්‍රම තියෙනවා. එනිසා විද්‍යාවට පක්ෂ වීම තමා හොඳ.
    ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වෙනවනම් මමත් කැමතියි

    ReplyDelete
    Replies
    1. //මම පෙසපේ සහෝදරවරු කාලයක් ලඟින් ඇසුරු කළා. ඔවුන් විද්‍යාත්මක දේ ඉගෙන ගන්න හුඟක් ලැදියි. හැබැයි අර ඔබ කිව පක්ෂයේ යාන්ත්‍රනය තදින් බලපානවා ඕනෑම දෙයකදී. ඉන් පිට නිදහස්ව හිතන්නේ නැහැ. ජවිපෙ වලත් වදී වෙනසක් නැහැ කතා කරන්න ගියහම. ඔවුන් හැම විටම නිවැරදියි කියන මතයක ඉන්නේ.//

      මේක තමයි මා දකින ප්‍රශ්නය. මෙය තමන්ට තමාගෙන් නිදහස් විය නොහැකිව අතීතයේ සිරකරුවන් වෙන්න වීම පිළිබඳ ප්‍රශ්නයක්. පෞද්ගලිකව ගත්තොත් මෙය මම ඉතාම බය දෙයක්. හැම විටම මගේ අදහස් වලට වඩා වෙනස් හා විවිධ අදහස් තිබෙන අය ලියන දේවල් කියවන්නේත්, මා ලියන දේවල් පරීක්ෂාවට ලක් වෙන්න හරින්නේත් ඒ නිසා. මම වැඩිපුරම බය මගේම දැනුමට හා අදහස් වලට. මොකද බේරෙන්න අමාරුම ආකාරයෙන් මාව සිර කරන්නේ මගේ දැනුම හා මගේ අදහස්. හැබැයි ඒවා අත හැරියොත් මා කියා කෙනෙක් නැහැ. මම කියන්නේම මගේ දැනුම හා අදහස්. මේ බ්ලොග් එක වුනත් මගේ දැනුමේ හා අදහස් වල වැරදි හා අඩුපාඩු හොයා ගන්න මා විසින් මා සමඟම කරන නිරන්තර අරගලයේ කොටසක්.

      //අනික මම බටහිර විද්‍යාවට පක්ෂපාති නැහැ. මම විද්‍යාවට පක්ෂපාතියි. සමහර අභ්‍යවකශ විද්‍යා නියම හොයාගෙන යනකොට ඒ සමහරු (නීල්ස් බෝර් , ශ්රුදින්ගෙර්, ඇමෙරිකන් බෞද්ධයෙකු වන ගෙල්මන් ) හුඟක් පෙරදිගවිද්‍යාවන් හදාරලා තිබෙනවා. චීනය සහ ඉන්දියාව බොහොම ඉදිරියෙන් සිටි තැන තියනව. මහායාන දර්ශනයේ විද්‍යාත්මක තර්කන ක්‍රම තියෙනවා. එනිසා විද්‍යාවට පක්ෂ වීම තමා හොඳ.//

      මම අදහස් කරන්නෙත් ඔය දෙයම තමයි. ලංකාවේ බටහිර විද්‍යාව සේ හඳුන්වන්නේ ඔබ මෙහි විද්‍යාව කියා කියන දෙයනේ. ඔය විද්‍යාවට අනෙකුත් දැනුම් අවශෝෂණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ විස්තර කරන්නේ එයයි. ඒ නිසා, ධනවාදය ඇතුළේ ප්‍රාග්ධනය එක්රැස් වෙද්දී එයට එරෙහි බලයද අභ්‍යන්තරයෙන්ම ගොඩ නැගෙන ආකාරයෙන්, විද්‍යාව තුළ දැනුම එක්රැස් වෙද්දී එම දැනුමට අභියෝග කළ හැකි බලයද ඒ තුළින්ම හැදෙනවා. අවසානයේදී උචිතතම දෙය ඉතිරි වෙනවා.

      //ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වෙනවනම් මමත් කැමතියි//

      මේ සඳහා ඔවුන්ට ලැබුණු එක් අවස්ථාවක් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළා. එහිදී බාධාව වුනේ ජවිපෙ තුළ සිටි දැන් පෙසපෙ. සැබෑ ජවිපෙ කියන්න වුනත් පුළුවන්. නැවත ජවිපෙ හා පෙසපෙ එකතු වුනොත් මේ වැඩේ වෙන්නේ නැහැ. ජවිපෙ පෙසපෙ සමඟ එකතු නොවී නැවතත් ජවිපෙට 10-15%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලැබුණොත් මේ පරිවර්තනය සිදු විය හැකියි. සම්ප්‍රදායික මාක්ස්වාදී සමාජවාදී පක්ෂයකටත් ලංකාවේ දේශපාලන අවකාශයේ යම් ඉඩක් තිබෙනවා. එය පොඩි ඉඩක් වුවත් නිශ්චිත ඉඩක්. වෙනම හිටියොත් පෙසපෙට එම ඉඩ තුළ රැඳී ඉන්න පුළුවන්. ජවිපෙට දැන් ආපසු හැරී පෙසපෙ වෙන්න හෝ පරණ ජවිපෙ වෙන්න බැහැ. එක වගේම පක්ෂ දෙකකට දිගුකාලීනව එකම අවකාශයක පවතින්නත් බැහැ. ඒ නිසා, ජවිපෙ සතු හොඳම විකල්පය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස රූපාන්තරණය වීමයි.

      Delete
    2. //දැන්නම් ඇත්තටම මොළ සෝදන්නේ බටහිර මාධ්‍ය, මුස්ලිම් ප්‍රචාරණ මාධ්‍ය, සිංහල බෞද්ධ ප්‍රචාරණ මාධ්‍ය//

      කලින් දමපු දිගු ප්‍රතිචාරය කුමක් හෝ හේතුවකින් පළ වී නැහැ. නැවත ටයිප් කරද්දී ඒ දෙයම නොලියවෙන්න පුළුවන්. සියල්ල නැවත ටයිප් කරන්න කම්මැලියි. මොළ ශෝධනය කියන එක හැම තැනකම තිබෙනවා. පොදුවේ අධ්‍යාපනය කියා කියන්නේම මොළ ශෝධනයක්. ඔබේ හා මගේ බ්ලොග් හරහා සිදු වන්නේත් මොළ ශෝධනය කිරීමක්. ඒ වගේම අපි හැමෝම මොළ ශෝධනයට ලක් වූ මිනිස්සු. සමහර අය ඒ බව දන්නේ නැහැ. දන්නා අය තමන් සමඟම නිරන්තර අරගලයක් කරමින් ඉන්නවා. මම මොළ ශෝධනය ප්‍රශ්නයක් සේ දකින්නේ නැහැ. ප්‍රශ්නයක් සේ දකින්නේ මොළ ශෝධනය කිරීමේ ඒකාධිකාරයන් නඩත්තු වීමයි. ශිෂ්ඨාචාරය ඉදිරියට යාම කියන එකෙන් අදහස් වෙන්නේ ප්‍රාග්ධනය, දැනුම හා මතවාද එක්රැස් වීමයි. මෙහිදී නොවැලැක්විය හැකි ලෙස ප්‍රාග්ධන ඒකාධිකාර, දැනුම් ඒකාධිකාර හා මතවාද පිළිබඳ ඒකාධිකාර හැදෙනවා. මේ ඒකාධිකාර ශිෂ්ඨාචාරයේ ප්‍රගතියට (පරිණාමයට) බාධා කරනවා. මෙයට විසඳුම සේ මා දකින්නේ ධනවාදය, බටහිර විද්‍යාව මත පදනම් වූ දැනුම හා ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙහි මා බටහිර විද්‍යාව කියා කියන්නේ ඔබ විද්‍යාව කියා කියන අර්ථයෙන්. ප්‍රාග්ධන ඒකාධිකාර බිඳ හෙළිය හැක්කේ ප්‍රාග්ධනය අතර තරඟයක් ඇති කිරීමෙන්. එය හොඳින්ම සිදු වන්නේ ධනවාදය තුළයි. දැනුම් ඒකාධිකාර බිඳ හෙළිය හැක්කේ දැනුම් අතර තරඟයක් ඇති කිරීමෙන්. එය හොඳින්ම සිදු වන්නේ බටහිර විද්‍යාව තුළයි. මතවාද පිළිබඳ ඒකාධිකාර බිඳ හෙළිය හැක්කේ මතවාද අතර තරඟයක් ඇති කිරීමෙන්. එය හොඳින්ම සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළයි. මෙයින් ප්‍රතිපක්ෂව ඇති සමාජවාදී නිෂ්පාදන ආකෘතිය, පරීක්ෂාවට ලක් නොවන විශ්වාස මත පදනම් වූ දැනුම් පද්ධති හා ඒකාධිපතිත්ව විසින් කරන්නේ සමාජ ප්‍රගමනයට බාධා කිරීමයි.

      පහළ ප්‍රතිචාරයට පසුව පිළිතුරක් ලියන්නම්.

      Delete
    3. එක බොරුවක් කියුවාම ඒක වහ ගන්න බොරු දාහක් කියුවත් බැරිලු. ඉකොනොමැට්ටා බොරු කියලා තව වතාවක් මාට්ටු වුණාම මේ වගේ මෝඩ උත්තර දෙන එක හරි කුජීතයි නේද? ලැජ්ජයි මට නම්.

      පෙරෙල්මාන්ගේ ගණිත විනෝදය පොත සිංහලෙන් තියෙනවා, ඒ කාලේ ඉංග්රීසි පරිවර්තනයක් තිබුණත් ඒක එච්චර ප්රචලිත නෑ. මේ ඉකොනොමැට්ටා ඉංග්රීසි පොත බැලුවා කියන්නේ තව බොරුවක්. එහෙම පී ඩී එෆ් එකක් තියෙනවා නම් ලින්ක් එකක් දාන්න බලන්න. කට උත්තර නැතුව කුජීත උනාම ආහ් උත්තර දෙන්න කම්මැලි අනේ.. ටයිප් කරපු එක මැකිලා... උත්තර දීල වැඩක් නෑ සෝවියට් සංගමය දැන් නැති නිසා ... මේ වගේ වැල් බයිලා කියවන්න එපා හරිම කුජීතයි නේද?

      Delete
    4. //ඉකොනොමැට්ටා EconomattaJanuary 12, 2022 at 10:22 AM// මම හිතන්නේ ධනවාදය වෙනුවෙනුත් මොළ සේදීමක් පාසැල් වල කරනවා කියල. මේක වරදක් හැටියට මම දකින්නේ නැහැ. මගේ දුවරු දෙන්නම ව්‍යාපාර කරන්නේ කොහොමද කියන එක, රස්සාවක් කර මුදල් ඉපයීමේ වැදගත්කම පොඩි කාලේ ඉඳම දැනන් හිටිය. ඒ ඉස්කෝලෙන් උගන්වන දේවල් නිසා. ලොකු එක්කෙනා අවුරුදු 18 දීම පොඩි කම්පැනි එකක් දැම්ම එයා හදන ටී ෂර්ට් විකුනන්න එයා තමන්ම මහන්න ඉගෙනෙ ගෙන එයාගෙම ක්ලොත් ලයින් එකක් කළා. දැන් යුනි නිසා නවත්වල ඊයේ පෙරේද මට කීව යුනි ගිහින් වැඩක් නැහැ. බිස්නස් එකකට ජොයින් වෙන්න ඕනෙලු . මම අකමැති වේය කියල යුනි එකෙන් අයින් වෙන්නේ නැත්තේ. මම කීව ඔයාට අවශ්‍යනම් මට ප්‍රශ්නයක් නැහැ කියල. එයාලා එහෙම හිතන්නෙම මේ ක්‍රමය ගැන මොළ ශෝධ්නයකට ලක්වෙන නිසා. ඒ ලෙවල් කරනකොටම (ඇමෙරිකාවෙත් මේ වගේ ඇති ) එයාල පොඩි ජොබ් වලට ගියා. පොඩි දුව අම්ම වගේම ජර්මන් උගන්වනවා. එයාලගේ වියදම් හදා ගන්න. මේ වගේ දේවල් පුරුදු කලේ මේ රටේ අධ්‍යාපනය විසින්. සෝවියට් දේශයේ ඔකේ තනිකරම අනිත් පැත්ත තිබුනේ. ඉගෙන ගෙන සරසවි ගිය ගමන් රස්සාව සහ ගේ ආණ්ඩුවෙන් දෙන නිසා එහෙම දේවල් ගැනකවුරුත් හිතුවේ නැහැ.

      Delete
    5. ඔව්. මෙය ඇමරිකාවේ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඔබ විස්තර කරන පරිදි එයම එංගලන්තයේත් වෙනවා. නමුත් ලංකාවේ අධ්‍යාපනය තුළ එය සිදු වෙන්නේ නැහැ.

      Delete
  8. //මෙයින් වෙනස්ව බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ නැහැ.//- US ඩොලරයේ IN GOD WE TRUST කියා තිබීම ඔබ හඳුන්වන්නේ කොහොමද? මා වගේ අදේවවාදියෙකුට මරු පහරක්. 😆 ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වශයෙන් නම් කිරම වරදියි කියා එක්තරා ඇමෙරිකානු කාන්තාවක් මට කීව. මම කීව සිංහල බෞද්ධ රටක් කීම වැරදියි නමුත් බෞද්ධ රටක් කීම නිවැරදියි කියල. බහුතරය බෞද්ධ. දෙමල හෝ වෙනත් ජාතියක බෞද්ධ ඉන්න පුළුවන් කියල. පිළිතුරක් විධිහට මම ඩොලරයේ ඔය වදන ගැන ඇහැව්වා. ඇය වාදයෙන් ඉවත්වී ගියා. එකොන් දන්නවද ඇන්ග්ලිකන් පල්ලියේ නායකයා රැජින බව.

    ReplyDelete
    Replies
    1. ඔය කියන සෝ කෝල්ඩ් ප්රජාතන්ත්රවාදී/ නිදහස් වෙළඳපොල ධනවාදී රටවල් සෑහෙන ගෝත්රික ආගම්වාදී රටවල්, සමාජවාදී රටවල් වගේ නෙවෙයි.

      ගොඩක් ඩිමොක්රටික ලටවල දේශපාලන පක්ෂ පවා එහෙමයි. උදාහරණයක් විදීහට ජර්මනියේ ප්රධාන පක්ෂ නමින් පවා ක්රිස්තියානි පක්ෂ එක්සත් ජනපදය, එංගලන්තය වගේ රටවල් තනිකර තදටම ඇංග්ලිකන් ආගමික සංස්කෘතිය මත පදනම් වූ රටවල්... බොරුවට පස්සේ කාලේක ලිබරල් නිරාගමික මතවාද ජනප්රිය වීමත් සමග බොරුවට කියන ප්රෝඩාකාරී ව්යාජ තොරතුරු පමණයි ඇත්තටම උඩින් ඔහොම කියුවාට යටින් පට්ටම ගෝත්රික දෙබිඩි රටවල්. ඒ අතින් සැබෑ සමාජවාදී රාජ්යයන් සෑහෙන දුරට අවංකයි. ව්යාජ සමාජවාදී රටවල් නෙමෙයි.

      Delete
    2. //US ඩොලරයේ IN GOD WE TRUST කියා තිබීම ඔබ හඳුන්වන්නේ කොහොමද? මා වගේ අදේවවාදියෙකුට මරු පහරක්.//

      අජිත්, මේ IN GOD WE TRUST ප්‍රශ්නයට මම මීට පෙරත් පිළිතුරු සපයා තිබෙනවා. ඇතැම් විට ඔබටම වෙන්නත් පුළුවන්. ප්‍රතිචාර කොටසේ ලියන දේවල් පසුව හොයා ගන්න අමාරුයි. මේ වගේ දෙයක් ගැන පෝස්ට් එකක්ම ලිවුවනම් හොඳයි. කමක් නැහැ. මෙවරද ප්‍රතිචාර කොටසේම පිළිතුර ලියන්නම්.

      මෙසේ ඇමරිකානු මුදල් වල IN GOD WE TRUST ලෙස සඳහන්ව තිබූ පමණින් ඇමරිකානු රජය හෝ ෆෙඩරල් සංචිත බැංකුව කිසියම් ආගමක් වෙනුවෙන් පෙනී සිටින බවක් කෙසේවත්ම අදහස් වන්නේ නැහැ. මෙය සංදර්ශනාත්මක ප්‍රදර්ශනයක් පමණයි (ceremonial display). ඒ බව නඩු තීන්දු ගණනාවකින්ම තීරණය වී තිබෙනවා. මොකද කිසිම අවස්ථාවක ඇමරිකාවේ ෆෙඩරල් රජය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් විසින් පුද්ගලයෙකුට දෙවියන් අදහන සේ බලපෑම් කර නැහැ. ආගමික නිදහසට (කිසිම ආගමක් නොඇදහීමේ නිදහසද ඇතුළත්ව) ප්‍රශ්නයක් වන්නේ එසේ කළොත් පමණයි.

      හැබැයි ඇමරිකාව කියන්නේ දේවවාදීන් බහුතරයක් සිටින, එයින්ද වැඩි ප්‍රමාණයක් ක්‍රිස්තියානින් වන රටක්. ඒ නිසා, ඇමරිකාව ක්‍රිස්තියානි රටක් කියා කියන්න පුළුවන්. ඇමරිකාව කිසිසේත්ම අදේවවාදී හෝ බෞද්ධ රටක් නෙමෙයි. රටේ මිනිස්සු බහුතරය ක්‍රිස්තියානින් වූ විට, ප්‍රජාතන්ත්‍රවාදය තුළ, රජය තුළද එම ආගමේ යම් යම් අංග පිළිබිඹු වීම නොවැලැක්විය හැකි දෙයක්. ඔය මුදල් නෝට්ටු වලට වඩා අදේවවාදියෙකුට ප්‍රශ්නයක් විය හැකි වෙනත් දේවල් ගණනාවක් තිබෙනවා.

      ආගම යුරෝපයට සාපේක්ෂව ඇමරිකාවට වැදගත් සාධකයක්. ඇමරිකාවට යුරෝපයෙන් බොහෝ දෙනෙකු සංක්‍රමණය වීමත්, ඇමරිකාව බ්‍රිතාන්‍යය සමඟ සටන් කර නිදහස් රටක් වීමත් පසුපස ආගමික නිදහස කියන කාරණය තිබෙනවා. ඔබ සඳහන් කරන එංගලන්ත රජු එංගලන්ත සභාවේ ප්‍රධානියා වීමත් මෙයටම සම්බන්ධ කරුණක්. හැබැයි ඔය කාලයේ ආගමික නිදහස කියන එකෙන් අදහස් වුනේ තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස. ඒ වගේම මේ ආගම් සියල්ලම වගේ දේවවාදී ආගම්. මෙහි GOD කියන්නේ නිශ්චිත දෙවි කෙනෙක් ගැන නෙමෙයි. ඒ නිසා, ඓතිහාසිකව මේ පාඨයේ කිසිම ප්‍රශ්නයක් තිබී නැහැ. දැන් මෙය ප්‍රශ්නයක් වෙනවානම් වෙන්නේ නිරාගමිකයන්ට හා බෞද්ධයින්ට.

      Delete
    3. ඒ වගේම, ශීතල යුද්ධ සමයේ ඇමරිකානුවන් තුළ කොමියුනිස්ට් විරෝධය මතු වෙද්දී කොමියුනිස්ට්වාදීන්ගේ ආගම් විරෝධයට විරෝධයක් ලෙස වඩ වඩා ආගම පැත්තට බර වීමක්ද සිදු වී තිබෙනවා. ඒ අනුව, කොමියුනිස්ට් විරෝධය ඉහළ යන තරමට ආගම් විරෝධය අඩු වෙනවා. මොකද ආගම් විරෝධියෙක්ව කොමියුනිස්ට්වාදියෙක් සේ පෙනෙන්න පුළුවන්. මේ හේතු නිසා ඇමරිකාවේ අදේවවාදය යුරෝපයේ තරම් ජනප්‍රිය නැහැ.

      අනෙක් පැත්තෙන්, ඇමරිකානු ඩොලරයට බ්‍රිතාන්‍ය පවුමට තිබෙන ආකාරයේ දීර්ඝ ඉතිහාසයක් නැහැ. 1864 දක්වා කාලය හැඳින්වෙන්නේ ඇමරිකාවේ නිදහස් බැංකුකරණ යුගය ලෙසයි. ඒ කාලයේ ඇමරිකාවට ජාතික මුදල් ඒකකයක් තිබුණේ නැහැ. එක් එක් බැංකුව විසින් වගේම ප්‍රාන්ත විසින්ද විවිධ මුදල් ඒකක නිකුත් කළා. ජාතික මුදල් ඒකකයක් බිහි වන්නේ එයින් පසුවයි. එය අනෙක් ප්‍රාදේශීය මුදල් වර්ග සමඟ තරඟ කර ජය ගන්නවා. ෆෙඩරල් සංචිත බැංකු පිහිටුවන්නේ එයින්ද පසුව 1913දී. (මේ ෆෙඩරල් සංචිත බැංකු වල කොටස් හිමියන් වන්නේත් අදාළ ප්‍රදේශයේ වාණිජ බැංකු. වෙනත් රටවල මෙන් රජය නෙමෙයි.) ඩොලරය ලෝකයේ ප්‍රධාන මුදල් ඒකකය බවට පත් වී තිබෙන්නේ මේ කෙටි ඉතිහාසය තුළයි. ඒ තත්ත්වය ළඟා කර ගන්නේ ලෝක මුදල් ඒකකයක් වූ බ්‍රිතාන්‍ය පවුම සමඟ තරඟ කරලා. ඇමරිකාවට මෙහිදී ලෝකය පුරා පැතිරුණු අධිරාජ්‍යයක වාසිය තිබුණේ නැහැ. එහිදී මුදල් ඒකකයේ බාහිර පෙනුමේත් යම් බලපෑමක් තියෙනවා.

      මම දේවවාදියෙක් නොවන බව ඔබ දන්නවා. එසේ වුනානම් ඇතැම් විට ඇමරිකානු මුදල් වල IN GOD WE TRUST ලෙස සඳහන්ව තිබීම ප්‍රශ්නයක් සේ දකින්න වුවත් ඉඩ තිබුණා. කිසිම නෛසර්ගික වටිනාකමක් නැති, නිකම්ම නිකම් කඩදාසි කෑලි වන, උද්ධමනය නිසා දවසින් දවස බාල්දු වන, මේ සල්ලි වලට දෙවි කෙනෙකු පැටලවීම මට අනුව දෙවි කෙනෙකුට කළ හැකි අපහාසයක් පමණයි. අනෙක් අතට නෛසර්ගික වටිනාකමක් නැති මේ සල්ලි භාවිතයේ තියෙන්නෙම විශ්වාසය මත පදනම්ව නිසා ඔය වගේ පාඨයක් නොගැලපෙන්නෙත් නැහැ.

      ඇමරිකානු මුදල් වල බාහිර පෙනුම 1864 පමණ සිට අද දක්වාම එතරම් වෙනස් වී නැහැ. එය වෙනස් වීම හොඳ දෙයක් කියා මම හිතන්නේත් නැහැ. මොකද මුදල් ඒකකයට ලෝකය පුරා තිබෙන පිළිගැනීමට එයින් බලපෑමක් වෙන්න පුළුවන්. ඇමරිකන් මුදල් නෝට්ටු ඇමරිකාවෙන් පිටත භාවිතා වන තරමට ඇමරිකාව ඇතුළේ භාවිතා වෙන්නේ නැහැ. මමනම් පෞද්ගලිකව මුදල් නෝට්ටු භාවිතා කරන්නේ ඉතාම කලාතුරකින්. බොහෝ විට ලංකාවට යන අවස්ථාවක. එංගලන්තය වැනි රටකට එන වෙලාවක වුවත් පාවිච්චි කරන්නේ කාඩ්පත්. ඉතිං මට මේ පාඨය ප්‍රශ්නයක්නම් මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුහුණත "නමෝ බුද්ධාය" කියලා හරි "Пролетарии всех стран, соединяйтесь!" කියල හරි "IN GOVERNMENT WE TRUST" කියලා හරි මුද්‍රණය කරගෙන මුදල් භාවිතා නොකරම ඉන්න පුළුවන්.

      තවත් ඕනෑනම්, ඔය වගේ පාඨයක් එක්ක, මට කැමති විදිහක මුදල් නෝට්ටු වර්ගයක් මුද්‍රණය කරලා සංසරණයට එකතු කරන්නත් පුළුවන්. ලංකාවේ වගේ ඇමරිකාවේ වෙනත් මුදල් වර්ග නිකුත් කරන්න තහනමක් නැහැ. ඇමරිකන් ඩොලර් වගේ පේනවානම් පමණක් ප්‍රශ්නයක්. අනෙක් අය පිළිගන්න කැමතිනම් මට මගේම මුදල් ඒකකයක් නිකුත් කරන්න පුළුවන්. එවැනි මුදල් වර්ග විශාල ගණනක් ඩොලරයට සමාන්තරව තිබෙනවා (එංගලන්තයේත් එය කළ හැකියි) . මේ හේතුව නිසාත් ඩොලරය එකම විදිහකට තියෙන එක වැදගත්. ඒකෙන් IN GOD WE TRUST ඉවත් කළොත් එය ඩොලරයක් සේ නොපෙනෙන්න පුළුවන්. මටනම් ඩොලර් නෝට්ටු වල ඔය පාඨය තිබීමේ ප්‍රශ්නයක් නැහැ. මොකද මට GOD ගැන වගේම ඩොලරය ගැන වුවත් ලොකු TRUST එකක් නැහැ!

      Delete
    4. ඇනෝ - මට මතකයි ටෝනි බ්ලෙයාර් අගමැති වෙනකන් ඇන්ග්ලිකන් ආගමේ හිටියා. (එංගලන්තයේ ප්‍රධාන ආගම ) . අගමැති වුනාට පස්සේ හීන් සීරුවේ බිරිඳගේ ආගම කතෝලික පල්ලියට මාස් එකාට් ගියා. අයර්ලන්ත ප්‍රශ්නය් එයාට තරමක් දුරට විසඳන්න පුළුවන් වුනෙත් ඒ නිසා. (සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය අගමැතිලා ඔක්කොම වගේ ඇන්ග්ලිකන්)
      එකොන් ඔබ එසේ කීවට (ඔබට ඒක එතරම් වැදගත් නැතිව ඇති, මම වුනත් කාඩ් තමා වැඩිපුරම භාවිතා කරන්නේ ) සාමාන්‍ය ඇමෙරිකානුවන්ට "IN GOD WE TRUST " කියන එක වැදගත් කමක් තියනවා මම හිතන්නේ. ටෙක්සාස් වැනි ප්‍රාන්තවල වැඩියෙන්ම. ඔවුන් කාඩ් භාවිතා කලත්. මම කියවල තියනවා හැබයි ඕක වැඩිපුරම ඕනේ රිපබ්ලිකන් ලට කියල.A law passed in July 1955 by a joint resolution of the 84th Congress ( Pub.L. 84–140) and approved by President Dwight Eisenhower requires that "In God We Trust" appear on all American currency. ...

      Delete
    5. //ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වශයෙන් නම් කිරම වරදියි කියා එක්තරා ඇමෙරිකානු කාන්තාවක් මට කීව. මම කීව සිංහල බෞද්ධ රටක් කීම වැරදියි නමුත් බෞද්ධ රටක් කීම නිවැරදියි කියල. බහුතරය බෞද්ධ. දෙමල හෝ වෙනත් ජාතියක බෞද්ධ ඉන්න පුළුවන් කියල.//

      ඔබේ තර්කය සමඟ මම එකඟ නැහැ. බෞද්ධ රටක් කීම නිවැරදියිනම් සිංහල රටක් කියා කීම ඊට වඩා නිවැරදි විය යුතුයි. දෙමළ බෞද්ධයන් ඉන්නේ ඉතාම සුළු පිරිසක්. මුස්ලිම් බෞද්ධයන් නැහැ. නමුත්, බෞද්ධ නොවන සිංහල කතෝලිකයන් හා ක්‍රිස්තියානින් විශාල පිරිසක් ඉන්නවා. මේ වෙද්දී ඉස්ලාම් භක්තිකයින් වැඩි පිරිසක්ද, සැලකිය යුතු දෙමළ පිරිසක්ද හොඳින් සිංහල වහරනවා.

      ඇත්තටම කියනවානම් ආගම් සම්බන්ධව ජවිපෙ/ජාජබ ස්ථාවරය සමඟ මම මුළුමනින්ම වගේ එකඟයි. ඒ වගේම, ජවිපෙ එම ස්ථාවරය වෙනුවෙන් සෘජුව පෙනී සිටිනවා. ආගම් ඔවුන් සලකන්නේ පෞද්ගලික කටයුත්තක් ලෙසයි. ඒ වගේම ඔවුන් කතා කරන්නේ සියලුම ආගම් වල අයිතිවාසිකම් ආරක්ෂා කරන secular රජයක් ගැන. ඒ එක්කම රටේ සංස්කෘතියට ගරු කරමින් මහනායක හිමිවරුන් බැහැ දකින්නත් යනවා. මේ ප්‍රවේශය පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ආර්ථිකය සම්බන්ධව. එයත් අවංකකම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන්ගේ ස්ථාවරය ඔවුන්වත් නොදැන සිටීම පිළිබඳ ප්‍රශ්නයක්.

      Delete
    6. බෞද්ධ රටක් කියලා ඇය අදහස් කරන්නේ මොකක්ද කියලා ඇහුවේ නැද්ද?
      එහෙමත් නැත්නම් රටක් බෞද්ධ රටක් කියලා හඳුන්වන්න අවශ්‍ය අවම තත්ව මොනවද කියලා ඇයගෙන් ඇහුවද?

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...