වෙනත් බොහෝ රටවල වගේම ඇමරිකාවේත් දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා දීම අනිවාර්යයි. එහෙත්, එය කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා.
දෙමවුපියන්ගේ රුචිකත්වය පරිදි අවශ්‍යනම් දරුවන් පාසැලකට නොයවා ගෙදරදී අධ්‍යාපනය ලබා දිය හැකියි. පසුගිය වසරේදීනම් ඇමරිකානු දරුවන් හැමෝම වගේ අධ්‍යාපනය ලැබුවේ මේ ක්‍රමයට වුවත් සාමාන්‍ය වසරකදී නිවසේ සිට අධ්‍යාපනය ලබන්නේ ඇමරිකානු දරුවන්ගෙන් 3-4% පමණ පිරිසක් පමණයි. ඉතිරි දරුවන් අධ්‍යාපනය ලැබීම සඳහා කවර හෝ පාසැලකට යනවා.
ඇමරිකාවේ පාසැල් වලින් 25%ක් පමණ පෞද්ගලික පාසැල්. එහෙත් එම පාසැල් වල ඉගෙනුම ලබන්නේ පාසැල් යන සිසුන්ගෙන් 10-11% පමණ පිරිසක් පමණයි. ඔවුන් වැඩි දෙනෙක් ඉහළ ආදායම් ලබන පවුල් වල දරුවන්. පාසැල් යන සිසුන්ගෙන් 90%කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන්නේ පොදු පාසැලකයි.
සාමාන්‍ය පාසැල් සහ වරලත් පාසැල් ලෙස පොදු පාසැල් වර්ග දෙකක් තිබෙනවා. මේ පාසැල් වර්ග දෙකම නඩත්තු වන්නේ බදු මුදල් වලින් වුවත් වරලත් පාසැල් සාමාන්‍ය පාසැල් වලට වඩා ස්වාධීන, රජයෙන් පාලනය නොවන, ඉල්ලුම අනුව සිසුන් බඳවා ගන්නා ආයතනයි. බොහෝ විට අවවරප්‍රසාදිත සිසුන් ඉලක්ක කර හෝ වෙනත් විශේෂ ඉලක්ක ඇතිව පිහිටුවා තිබෙන මෙම පාසැල් වල සමස්ත සිසුගහණයෙන් 5-6% පමණ ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. රටේ මුළු පාසැල් ප්‍රමාණයෙන්ද ආසන්න වශයෙන් එපමණ ප්‍රමාණයක් වරලත් පාසැල්.
මූල්‍යනය සහ පාලනය සිදුවන ආකාරය අනුව ඇමරිකාවේ පෞද්ගලික පාසැල් ලංකාවේ ජාත්‍යන්තර පාසැල් සමඟත්, වරලත් පාසැල් ශාන්ත තෝමස් විදුහල වැනි සම්ප්‍රදායික පෞද්ගලික පාසැල් සමඟත් සංසන්දනය කළ හැකියි. මේ පාසැල් වලට යම් සිසු පිරිසක් ගියත්, ලංකාවේ මෙන්ම ඇමරිකාවේද සිසුන්ගෙන් බහුතරය ඉගෙනුම ලබන්නේ බදු මුදලින් නඩත්තු වන සාමාන්‍ය පාසැල් වලයි. එහෙත් ලංකාවේ හා ඇමරිකාවේ මෙම පාසැල් ආකෘති අතර සැලකිය යුතු වෙනස්කම් තිබෙනවා.
ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතියේ තිබෙන ප්‍රධානම වෙනස්කම වන්නේ ඕනෑම සිසුවෙකුට නියමිත නිශ්චිත පාසැලක් තිබීමයි. නිවසේ සිට ඉගෙනුම ලැබීම, පෞද්ගලික පාසැලකට යාම හා වරලත් පාසැලකට යාම යන විකල්ප තිබුණත්, පොදු පාසැල් පද්ධතිය තුළ ඉගෙනුම ලබන්නේනම් තමන්ට නියමිත පාසල වෙනස් කිරීමේ හැකියාවක් සාමාන්‍යයෙන් නැහැ. එය කළ හැක්කේ පදිංචිය මාරු කිරීමෙන් පමණයි. ඒ වගේම, පෞද්ගලික පාසැල් හා වරලත් පාසැල් බොහෝ විට පිහිටා තිබෙන්නේ නාගරික ප්‍රදේශ වල නිසා බොහෝ තැන් වල ජීවත් වන ඇමරිකානුවන්ට ඔවුන්ගේ දරුවන්ට විධිමත් ආයතන පද්ධතියක් තුළ අධ්‍යාපනය ලබා දීම සඳහා පොදු පාසැල් පද්ධතිය හැර වෙනත් විකල්පයක් නැහැ.
ඇමරිකාවේ පොදු පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වෙන්නේ ප්‍රාදේශීය හා ප්‍රාන්ත අරමුදල් වලින්. ඇමරිකානු ෆෙඩරල් රජයෙන්ද යම් ප්‍රමාණයක අරමුදල් ලැබෙනවා. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ ආදායම් වලින් 57%ක් උපයාගෙන තිබුණේ ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින්. ප්‍රාන්ත අරමුදල් වලින් 42%ක් ලැබී තිබුණු අතර ෆෙඩරල් අරමුදල් ඇතුළු අනෙකුත් ප්‍රභව වලින් ලැබී තිබුණේ 1%ට අඩු කොටසක්.
ඇමරිකාවේ පාසැල් දිස්ත්‍රික්කයක් ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් සමඟ සංසන්දනය කළ හැකියි. අපේ පාසැල් දිස්ත්‍රික්කයට පාසැල් 24ක් අයත් වන අතර එම පාසැල් වල සිසුසිසුවියන් 21,500ක් පමණ ඉගෙනුම ලබනවා. ඔවුන්ට උගන්වන ගුරුවරු ප්‍රමාණය 1,400ක් පමණ. මේ පාසැල් පාලනය වන්නේ ඡන්දයෙන් තේරී පත් වන පාලක මණ්ඩලයක් මගින්. ඔවුන්ට පාලක මණ්ඩල රැස්වීමකට සහභාගී වීම වෙනුවෙන් සුළු දීමනාවක් ලබා ගත හැකි වුවත් ඒ හැර වෙනත් වැටුප් හෝ වරප්‍රසාද කිසිවක් ලැබෙන්නේ නැහැ. මෙය සැලකිය හැක්කේ ස්වේච්ඡා සේවාවක් ලෙසයි.
පාලක මණ්ඩල සාමාජිකයින්ගෙන් කොටසක් මුළු පාසැල් දිස්ත්‍රික්කයම නියෝජනය කරන අතර ඔවුන්ව පාසැල් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් විසින් තෝරා පත් කර ගන්නවා. ඉතිරි සාමාජිකයින්ව පත් කර ගන්නේ පාසැල් දිස්ත්‍රික්කය තුළ යම් කුඩා ප්‍රදේශයක් නියෝජනය කිරීමටයි. ඔවුන්ව අදාළ ප්‍රදේශයේ ඡන්දදායකයින් විසින් තෝරා පත් කර ගන්නවා. පාලක මණ්ඩල සාමාජිකයෙකු තේරී පත් වන්නේ වසර හතරක කාලයක් සඳහා වුවත් වරකදී අලුතෙන් පත් කර ගන්නේ සාමාජිකයින්ගෙන් අඩක් පමණයි. ඒ නිසා, සෑම දෙවසරකටම වරක් පාලක මණ්ඩලය අලුත් වෙනවා.
පාසැල් ප්‍රධාන වශයෙන්ම නඩත්තු වන්නේ පාසැල් දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන්ම අය කරන දේපොළ බදු වලින් (property tax) සහ විකුණන භාණ්ඩ වලින් අය කරන ප්‍රාදේශීය බදු වලින් (local sales tax). නිවාස වල වාර්ෂික තක්සේරු වටිනාකම වැඩි වන විට සමානුපාතිකව බදු ආදායම්ද ඉහළ යනවා. තවත් ප්‍රාදේශීය බදු වර්ග කිහිපයකින් ලැබෙන ආදායම් හා විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු වැනි ඇතැම් ගාස්තුද යන්නේ අධ්‍යාපන අරමුදලටයි. මේ අනුව, පොදු පාසැල් පද්ධතිය තුළ සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්තා හිමිවන නමුත් ඒ වෙනුවෙන් පිරිවැය දරන්න වෙන්නේද බොහෝ දුරට අදාළ ප්‍රදේශයේ වැසියන්ටමයි.
ප්‍රාදේශීය බදු වලට අමතරව ප්‍රාන්තයෙන් අය කරන බදු වලින් කොටසක්ද පාසැල් දිස්ත්‍රික්ක වලට බෙදා දෙනවා. එය කරන්නේ නිශ්චිත සමීකරණ අනුවයි. පාසැල් දිස්ත්‍රික්කයක සිසුන් ගණන වැඩි වෙද්දී වගේම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩිවෙද්දීත්, විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සලසන පහසුකම් වැඩි වෙද්දීත් ප්‍රාන්තයෙන් ලැබෙන අරමුදල් ප්‍රමාණය ඉහළ යනවා. ප්‍රාන්ත අරමුදල් වෙන් කිරීමේදී සලකා බලන නිර්ණායක ගණනාවක් තිබෙනවා. අරමුදල් වැඩියෙන් ලබා ගැනීමටනම් අවශ්‍ය ඉලක්ක සපුරාලිය යුතුයි.
ෆෙඩරල් රජයෙන් ලබා දෙන අරමුදල් වලින් කොටසක් තරඟකාරී පදනමකින් ලබා ගත යුතු ප්‍රදාන. එම අරමුදල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා (grant proposals) ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා, එවැනි අරමුදල් හැම පාසැලකටම ලැබෙන්නේ නැහැ. වෙනත් ඇතැම් අරමුදල් හිමි වන්නේ නිශ්චිත කාර්යයන් සඳහා වියදම් කිරීමටයි.
පාසැල් දිස්ත්‍රික්කයක සියලු වියදම් ඉහත ආකාර වලින් ලැබෙන ආදායම් වලින් පියවා ගත යුතුයි. ඉතිරියක් වේනම් අනාගතයට ඉතිරි කළ හැකියි. ලැබෙන ආදායම් වලින් යම් කොටසක් හදිසියකදී ගැනීම සඳහා ඉතිරි කිරීම ඇමරිකාවේ ඕනෑම ආයතනයක සාමාන්‍ය ක්‍රමයයි. එතරම් විශාල නැතත්, එවැනි ඉතිරි කිරීම් වෙනුවෙන් ලැබෙන පොලී මුදල්ද නිත්‍ය ආදායම් ප්‍රභවයක්. යම් හෙයකින් වියදම් තරමට ආදායම් නැත්නම් ඉතිරි කිරීම් ප්‍රයෝජනයට ගන්න වෙනවා. නැත්නම් ණය ලබා ගන්න සිදු වෙනවා. ගත් ණය ආපසු ගෙවන තුරු පොලිය වියදම් වලට එකතු වෙනවා.
පාසැල් දිස්ත්‍රික්කයක ප්‍රධානම වියදම ගුරු වැටුප්. ගුරුවරයෙකුව බඳවා ගන්නේ කිසියම් නිශ්චිත පාසැලකටයි. එය බොහෝ විට කරන්නේ පාසල් දිස්ත්‍රික් පරිපාලනයේ අනුමැතියට යටත්ව විදුහල්පතිවරයා විසිනුයි. එසේ නැත්නම් පාසල් දිස්ත්‍රික් පරිපාලනය හා විදුහල්පතිවරයා එකතුවයි. ගුරුවරු බඳවා ගැනීම මෙන්ම ඉවත් කිරීමද, ගුරු වැටුප් තීරණය කිරීමද ඔවුන්ට කළ හැකියි. ගුරුවරයෙකු එක් පාසැලකින් අස් වී වැඩි වැටුපක් වෙනුවෙන් වෙනත් පාසැලකට යාම සාමාන්‍ය දෙයක්.
පාසැල් දිස්ත්‍රික්කය තුළ මෙන්ම පාසැල් තුළද ආදායම් හා වියදම් කළමනාකරණය කර ගත යුතු නිසා ගුරු වැටුප් ඕනෑවට වඩා වැඩි කළොත් බඳවා ගත හැකි ගුරුවරු ගණන පහළ යනවා. එය ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කෙරෙහි නරක ලෙස බලපාන නිසා විභාග ප්‍රතිඵල වැනි නිර්ණායක මත පදනම්ව ප්‍රාන්තයෙන් ලැබෙන ප්‍රතිපාදන පහළ යාමේ අවදානමක් තිබෙනවා.
පාසැල් වල වියදම් බොහෝ දුරට අදාළ ප්‍රදේශයෙන්ම එකතු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පොහොසතුන් සිටින ප්‍රදේශ වල පාසැල් දිස්ත්‍රික්ක වලට වැඩි බදු ආදායමක් ලැබෙනවා. එහෙයින් එම පාසැල් දිස්ත්‍රික්ක වලට වැඩි වැටුප් ගෙවා හොඳ ගුරුවරුන් බඳවා ගැනීම පහසුයි. එවිට අධ්‍යාපනයේ ගුණාත්මක භාවයද ඉහළ යනවා. දුප්පතුන් වැඩිපුර සිටින පෙදෙස් වල සිසුන්ට මෙයින් යම් අසාධාරණයක් වෙනවා. ප්‍රාන්ත හා ෆෙඩරල් ප්‍රතිපාදන වෙන් කිරීම සිදු වන්නේ මේ විෂමතා අවම වන පරිදියි. අපේ පාසැල් දිස්ත්‍රික්කයට සාපේක්ෂව, ප්‍රමාණවත් තරම් ප්‍රාදේශීය බදු ආදායම් උපයා ගත නොහැකි වෙනත් පාසැල් දිස්ත්‍රික්ක වලට ප්‍රාන්ත අරමුදල් හා ෆෙඩරල් අරමුදල් වැඩිපුර ලැබෙනවා.
නිවුයෝර්ක් සහ කැලිෆෝර්නියා වැනි නාගරික ජනගහණයක් සිටින ප්‍රාන්ත වල දේපොළ වල වටිනාකම් ඉතා වැඩි නිසා දේපොළ බදු සේ අය කෙරෙන ආදායම්ද ඉහළ මට්ටමක තිබෙනවා. ඒ නිසා, එවැනි ප්‍රදේශ වල ගුරුවරුන්ට වැඩි වැටුපක් ගෙවිය හැකියි. අනෙක් අතට එවැනි නාගරික ප්‍රදේශ වල නිවාස මිල දී ගැනීම හෝ කුලියට ගැනීම සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු නිසා ජීවන වියදම වැඩියි. ඒ නිසා, ගුරුවරුන් ආකර්ශනය කර ගැනීම සඳහා වැඩි වැටුපක් ගෙවන්නම වෙනවා. මිසිසිපි ප්‍රාන්තය වැනි ග්‍රාමීය, කෘෂිකාර්මික ප්‍රාන්තයක තත්ත්වය මෙහි අනෙක් පැත්තයි.
පසුගිය වසරේදී මිසිසිපි ප්‍රාන්තයේ ගුරුවරයෙකුගේ මධ්‍යන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 45,105ක් පමණක් වුවත්, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම අගය ඩොලර් 83,059ක්ද, නිවුයෝර්ක් ප්‍රාන්තයේ ඩොලර් 85,889ක්ද වුනා. ප්‍රාන්ත අතර වගේම ප්‍රාන්ත වල පාසැල් දිස්ත්‍රික් අතරත්, පාසැල් දිස්ත්‍රික්ක වල පාසැල් අතරත්, පාසැල් වල ගුරුවරුන් අතරත් මෙවැනි වෙනස්කම් දැකිය හැකියි. වෙනම පාලනය වන වරලත් පාසැල් වල සහ පෞද්ගලික පාසැල් වල ගුරු වැටුප් කොහොමටත් වෙනස්. පෞද්ගලික පාසැලක උගන්වන ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුප පවතින්නේ පොදු පාසැල් පද්ධතියේ ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුපෙන් 80%ක පමණ මට්ටමේයි.
ඇමරිකාවේ ගුරුවරු වෙනත් දෙවන රැකියාවක් කිරීමද දුලබ දෙයක් නෙමෙයි. පාසැල් නිවාඩු කාල වල ඔවුන් බොහෝ විට වෙනත් රැකියාවක් කරනවා. ඇතැම් අය පාසැල් වාරය තුළද දෙවන රැකියාවක් කරනවා. දෙවන රැකියාව අදාළ පාසැල් දිස්ත්‍රික්කය වෙනුවෙන්ම සපයන සේවාවක් විය හැකියි. ඇතැම් ප්‍රදේශ වල වැටුපට අමතරව කුසලතා මත පාරිතෝෂික මුදලක්ද ගුරුවරුන්ට හිමි වෙනවා. සිසුන්ගේ විභාග ප්‍රතිඵල හරහා ගුරුවරයෙකුට කුසලතා පෙන්විය හැකියි. මෙවැනි ද්වීතියික ආදායම්ද එකතු වන නිසා ගුරුවරයෙකුගේ වාර්ෂික ආදායම බොහෝ විට ගුරු වැටුපට වඩා තරමක් වැඩියි.
පොදු පාසැල් පද්ධතියේ ගුරුවරු බොහෝ විට වෘත්තීය සමිති ලෙස සංවිධානය වී සිටිනු දැකිය හැකියි. ඒ නිසා, ඇමරිකාවේ ගුරුවරුන් විසින්ද වෘත්තීය අරගල කිරීමත් නිරීක්ෂණය කළ හැකියි. බොහෝ විට මෙවැනි ගුරු අරගල වල ඉලක්කය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රාන්ත ප්‍රතිපාදන වැඩි කර ගැනීම හෝ එම ප්‍රතිපාදන කපා හැරීමට ප්‍රතිරෝධය දැක්වීමයි. කවර ආකාරයකින් හෝ පාසැල් දිස්ත්‍රික්කයේ ආදායම් වැඩි කර නොගෙන ගුරු වැටුප් වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.
ඇමරිකාවේ කළු/දුබුරු සිසුන්ට පාසල් වලදී තාඩන පීඩන එල්ල වන බවට අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුනා. එය ඇත්තද?
ReplyDeleteනැහැ.
DeleteYou should also discuss about how Filipino teachers are brought to rural america to educate kids and undercut teachers unions.
ReplyDeleteForeigners can do most US jobs, not just teaching. It is a usual thing to allow foreign workers, when there is a temporary shortage of people for a job. There are 3.7 million K-12 teachers in the US and a few hundred or thousand foreign teachers will not make any measurable shift in domestic supply of teaching jobs. When teachers cannot be attracted to fill vacancies without paying a higher salary and taxpayers are not willing to pay more, hiring foreign workers is advantageous for all three parties. Any potential US worker will earn a higher salary by doing a different job, taxpayers will save their dollars and the foreign worker will earn a much higher salary, typically 10 times what they earn back home.
Deleteඅළු යට සැඟවී සැඟවී තිබිලා
ReplyDeleteගිනි පුපුරක් දැන් කලඑළි බැහැලා
යළි සඟවනු බැහැ ගුරු හොරු කියලා
ගුරු සටනින් යයි සිරිලක දෙදරා
අපේ රටේ තියෙන ලොකුම වැරැද්ද විදිහට මට පෙනෙන්නේ මේකයි. කිසිම තැනකින් සිදුවෙන සේවය අගය කිරීමක්- ගණන් බැලීමක් කෙරෙන්නේ නැතිකම. එහෙම කරලා අකාර්යක්ෂම නිලධාරීන්- පාලකයන් ගෙදර යවනවා නං මොනවා වෙයිද?
ReplyDeleteහැබැයි ඒක කෙරෙන්නේ මොළේ ඇති අය ප්‍රතිපත්ති හදන දවසක තමා.
මෙය පොදුවේ ලංකාවේ දෘෂ්ඨිවාදයේ තිබෙන මූලික ප්‍රශ්නයක්. ඕනෑම දෙයකට නියම මිලක් තිබෙනවා කියන ධනවාදී අදහස කවදා හෝ රටේ වැඩි දෙනෙක් තේරුම් ගත් දවසට රටේ ආර්ථික ප්‍රශ්න බොහොමයක් අවසන් වෙනවා. "විශාල සේවයක් කරන" "අපමණ සේවයක් කරන" "හරියකට වැඩක් නොකරන" වගේ ගුණාත්මක කියමන් වලින් ප්‍රායෝගිකව වැඩක් නැහැ. භාණ්ඩයකට වගේම සේවාවකටත් යම් කිසි අසීමිත නොවන වටිනාකමක් තිබෙනවා. ඒ වෙනුවෙන් එම මිල ගෙවිය යුතුවා වගේම ඊට වඩා වැඩි මිලක් ගෙවිය යුතු නැහැ. ධනවාදය විසින් මෙය ස්වභාවිකවම සිදු වන බවට වග බලා ගන්නවා. ධනවාදයට එරෙහි වී ඒ වැඩේ කරන්න කිසියම් පිරිසකට පැවරූ පසු හැමදාමත් දැන් ඇති වී තිබෙන ආකාරයේ ප්‍රශ්න ඇති වීම වැළැක්විය නොහැකියි. සේවය සපයන අය හැම විටම හිතන්නේ තමන්ට වැඩි වැටුප් හිමි විය යුතු බවයි. එහෙත් සේවය සෘජුව හෝ වක්‍රව ලබා ගන්නා අය බොහෝ විට එසේ හිතන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ නිදහස් වෙළඳපොලකට පමණයි. නිදහස් වෙළඳපොල මූලධර්ම ක්‍රියාත්මක වීම සඳහා හැම දෙයක්ම විකුණන්න අවශ්‍යත් නැහැ. නිදහස් කැමැත්තට ඉඩදීම තුළ වුවත් බොහෝ දුරට ඒ වැඩේ සිදු වෙනවා. ඇමරිකාවේ පොදු පාසැල් පද්ධතිය තුළ ගුරු වැටුප් තීරණය වන්නේ ඒ විදිහටයි.
Deleteලංකාවටත් පිලිපීන නැත්නම් ඉතියෝපියාවෙන් හරි ගුරුවරුන් ගෙනත් ලංකාවේ ගුරු මාෆියාව පාලනය කරන්න පුළුවන් වෙයි ද?
ReplyDeleteබදු ගෙවන්නෙ කොහෙටද?
ReplyDeleteමම හිතන්නේ ඔබ අහන්නේ ප්‍රාදේශීය බදු ගැන විය යුතුයි. එම බදු ගෙවන්නේ කවුන්ටියට. මෙය ප්‍රාන්තයක් ඇතුළේ තිබෙන ලංකාවේ ප්‍රාදේශීය සභාවකට සමාන කළ හැකි ප්‍රදේශයක්.
Deleteබදු වර්ග කීයක් තියෙනවද? පඩියෙන් නෙමෙයිද කැපෙන්නෙ?
Deleteබදු වර්ගනම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. සාමාන්‍යයෙන් එක් එක් වියදම් වෙනුවෙන් යෙදවෙන්නේ වෙන වෙන බදු. ප්‍රාදේශීයව අය කරන බදු වලින් ලොකුම එක (උපයන බදු ආදායම අනුව) දේපොළ බද්ද. එය ලංකාවේ වරිපනම් බදු වලට සමානයි. දේපොළ හිමියා විසින් බද්ද ගෙවිය යුතු වුවත් වැඩි දෙනෙකු දේපොළ මිල දී ගෙන තිබෙන්නේ බැංකු ණය අරගෙන නිසා බැංකුව මාස්පතා ණය වාරිකය අය කරද්දී එයට යම් මුදලක් එකතු කර එම අමතර මුදල වෙනම ගිණුමක තියාගෙන එයින් දේපොළ බදු ගෙවනවා. ඊළඟට ලොකුම එක sales tax එක. එය ලංකාවේ වැට් බද්ද වැනි භාණ්ඩ මිල දී ගැනීමේදී බිලට එකතු කර වෙළඳසැල හිමිකරු විසින් කවුන්ටියට ගෙවන බද්දක්. වැටුපෙන් කපා ගන්නා බදුත් ගණනාවක් තිබෙනවා. ඒ අතර ප්‍රාදේශීය බදුත් තිබෙනවා.
Deleteමසකට ඩොලර් 5000 ගන්න කෙනෙකුගෙයි ඩොලර් 10000 ගන්න කෙනෙකුගෙයි අවසානෙ අතට එන ගාන කොයිවගෙද? කැපෙන බදුතෙක්ක උදාහරනයක් දෙන්න බැරිද? දේපල නැහැයි කියල සලකන්නකො
ReplyDeleteදරුවො දෙන්නයි කපල් එකයි
ReplyDeleteහොඳ ප්‍රශ්නයක් වුවත් ගොඩක් මහන්සි නොවී හොඳම පිළිතුරක් දෙන්න අමාරුයි. වසරෙන් වසර වගේම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට බදු විශාල ලෙස වෙනස් වෙනවා. ඒ වගේම බදු ගණනය කෙරෙන ක්‍රමවේදය ගොඩක් සංකීර්ණයි. හොඳම පිළිතුරක් දිය හැක්කේ බදු උපදේශකයෙකු ලෙස රැකියාව කරන අයෙකුටයි. දළ අදහසක් ගැනීම සඳහා පමණක් ලියන්නම්.
Deleteපවුලේ මාසික ආදායම - $ 10,000
පවුලේ වාර්ෂික ආදායම - $ 120,000
ෆෙඩරල් ආදායම් බද්ද:
අවම බදු සහන සීමාව - $ 25,100
ආදායම් බදු අය කරන ආදායම - $ 94,900
පළමු $19,900 @ 10% = $ 199
$19,901 සිට $81,050 දක්වා @ 12% = $ 7,338
ඉතිරි කොටස @ 22% = $ 3,047
එකතුව = $ 10,584
දරුවන් වෙනුවෙන් ආපසු ගෙවන මුදල $2,000 x 2 = $ 4000
ෆෙඩරල් ආදායම් බදු ලෙස ගෙවිය යුතු මුදල = $ 6,584
(බදු අඩු වන වෙනත් ආකාර ගණනාවක් තිබෙනවා)
සමාජ සංරක්ෂණ බද්ද @ 6.2% = $ 7,440
සෞඛ්‍ය රක්ෂණ බද්ද @ 1.45% = $ 1,740
ෆෙඩරල් බදු එකතුව = $ 15,764
ප්‍රාන්ත ආදායම් බදු ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. ඇතැම් ප්‍රාන්ත ආදායම් බදු අය කරන්නේම නැහැ. අපි චිකාගෝ නගරය සැලකුවොත් එහි ප්‍රාදේශීය ආදායම් බද්දක් නැහැ. එහෙත් ඉලිනෝයි ප්‍රාන්තය ආදායම් බද්දක් අය කරනවා.
ප්‍රාන්ත ආදායම් බද්ද @ 4.95% = $ 5,940
මේ අනුව, $ 21,694 ක් ෆෙඩරල් හා ප්‍රාන්ත බදු ලෙස ගෙවන්න වෙනවා. එය වැටුපෙන් 18.1%ක්. බොහෝ විට මාසික හෝ ද්වි-මාසික වැටුපෙන් ඊට වඩා වැඩි මුදලක් රඳවා ගැනීමේ බද්දක් සේ කපා ගන්නවා. වසර අවසානයේදී බදු ගොනු කිරීමෙන් පසුව වැඩිපුර ගෙවා තිබෙන මුදල ආපසු ලැබෙනවා.
ඇමරිකාවේ සමාජ සංරක්ෂණ බද්ද හා සෞඛ්‍ය රක්ෂණ (Medicare) බද්ද ලංකාවේ සේ.අ.අ./සේ.භා.අ. වෙනුවෙන් කපන මුදල් වගේ. සේවකයාගෙන් කපන ප්‍රමාණයට සමාන මුදලක් සේව්‍යයා විසින්ද ගෙවනවා. ඉහත කී අඩු කිරීම් අනිවාර්ය අඩු කිරීම්. මීට අමතරව බොහෝ ආයතන විසින් වැටුපෙන් යම් ප්‍රතිශතයක් දක්වා සේවකයින් විසින් විශ්‍රාම වැටුප් වෙනුවෙන් එකතු කරන මුදල් ප්‍රමාණයට සමාන මුදලක් ගෙවනවා. ඒ වගේම, සෞඛ්‍ය රක්ෂණය හා අනෙකුත් රක්ෂණ වෙනුවෙන්ද වැටුපෙන් කොටසක් කැපෙනවා. මේ සියල්ල සැලකූ විට මසකට $ 10,000ක් ගන්න කෙනෙකුට $ 7,000ක් පමණ අතට ලැබෙනවා කියා මම හිතනවා.
Deleteමසකට ඩොලර් 5,000ක් උපයන පවුලක් හා අදාළව ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ ෆෙඩරල් ආදායම් බද්දයි. බද්දක් කියා කිවුවත් අඩු ආදායම්ලාභීන් හා අදාළව සිදු වන්නේ ඉපැයූ ආදායමට අමතරව තවත් මුදලක් අතට ලැබෙන එකයි.
පවුලේ මාසික ආදායම - $ 5,000
පවුලේ වාර්ෂික ආදායම - $ 60,000
ෆෙඩරල් ආදායම් බද්ද:
අවම බදු සහන සීමාව - $ 25,100
ආදායම් බදු අය කරන ආදායම - $ 34,900
පළමු $19,900 @ 10% = $ 199
ඉතිරි කොටස @ 12% = $ 1,800
එකතුව = $ 1,999
දරුවන් වෙනුවෙන් ආපසු ගෙවන මුදල $2,000 x 2 = $ 4000
ෆෙඩරල් ආදායම් බදු ලෙස ගෙවිය යුතු මුදල = $ -2,001
අනෙකුත් බදු ආදායමට සමානුපාතිකව ගෙවන්න වෙනවා.
සමාජ සංරක්ෂණ බද්ද @ 6.2% = $ 3,720
සෞඛ්‍ය රක්ෂණ බද්ද @ 1.45% = $ 870
ෆෙඩරල් බදු එකතුව = $ 2,591
ප්‍රාන්ත ආදායම් බද්ද @ 4.95% = $ 2,970
මේ අනුව, $ 5,661 ක් ෆෙඩරල් හා ප්‍රාන්ත බදු ලෙස ගෙවන්න වෙනවා. එය වැටුපෙන් 9.3%ක්. මාසයකට $ 5,000ක් උපයන අයෙකුට $ 4,000ක් පමණ අතට ලැබෙනවා කියා මම හිතනවා.
පිලිතුරෙ මහන්සියට් ස්තුති. මේ පිලිතුර ඕනවටත් වඩා ප්‍රමානවත්.
Deleteසෞක්‍ය ආවරනය වෙනම ගෙවන්න ඕනද. ඒකට කීයක් විතර යනවද මුලු පව්ලම ආවරනය කරන්න? ආදායම අනුව වෙනස් වෙන්නෙ නෑ නේද ප්‍රෛවට් ඉන්සුරන්ස් දාන්න ඕනනම්?
සෞඛ්‍ය රක්ෂණය සඳහා යන වියදම බොහෝ කරුණු අනුව වෙනස් වන නිසා හරියට ගාණක් කියන එක ගොඩක්ම අමාරුයි. ආදායම අඩු අයට නොමිලේ රක්ෂණ ආවරණයක් ලැබෙනවා. (ඒ වගේම දරුවන් සිටිනවානම් ආදායම අඩු අයට බොහෝ විට බදු ගෙවනවාට වඩා බදු ගොනු කළ විට අතට මුදලක් ලැබෙන්න ඉඩ තිබෙනවා.) වයස 65 ඉක්මවූ සියලු දෙනාටමත් නොමිලේ රක්ෂණ ආවරණයක් ලැබෙනවා. සෞඛ්‍ය රක්ෂණ බද්ද අය කරන්නේ ඒ වෙනුවෙන්. සේවා ආයතනයෙන් බොහෝ විට කරන්නේ පෞද්ගලික රක්ෂණයක වාරික මුදලෙන් කොටසක් ගෙවන එකයි. ඉතිරි කොටස සේවකයාට ගෙවන්න වෙනවා. රක්ෂණ සමාගම විසින් අය කරන වාරිකය සමාන වුවත්, ආයතනය විසින් ගෙවන කොටස වැටුප් මට්ටම අනුව වෙනස් විය හැකි නිසා අඩු ආදායම් ලබන අයෙකුට ගෙවන්න වෙන ප්‍රමාණය අඩු විය හැකියි. රක්ෂණ සමාගම විසින් අය කරන වාරිකය (අතින් ගෙවන ගණනේ සහ ආයතනය ගෙවන ගණනේ එකතුව) රක්ෂණ ගිවිසුමේ ස්වභාවය අනුව වෙනවා. සාමාන්‍යයෙන් රක්ෂණ සමාගම විසින් මුදල් ගෙවන්නේ වසරේ සෞඛ්‍ය වියදම් කලින් එකඟ වූ අවම මට්ටමක් (deductible) ඉක්මවීමෙන් පසුවයි. මෙම ප්‍රමාණය $ 2,500-3,000 වැනි ඉහළ මුදලක්නම් රක්ෂණ වාරිකය අඩුයි. එහෙත්, එපමණ මුදලක් දක්වා වියදම් අතින් ගෙවන්න වෙනවා. මෙවැනි රක්ෂණ high deductible ලෙස හැඳින්වෙනවා. එසේ නොවන රක්ෂණ ගිවිසුමක මෙම මුදල $ 500ක් පමණ වෙනවා. මෙම අවම මට්ටම ඉක්මවූ පසුද යම් ප්‍රතිශතයක් (උදාහරණයක් ලෙස 20%ක්) අතින් ගෙවිය යුතුයි. එම ප්‍රතිශතය වෙනස් වන ආකාරය අනුවද වාරිකය වෙනස් වෙනවා. ඒ වගේම, ඕනෑම තැනකින් ප්‍රතිකාර ගන්න අවශ්‍යනම් වාරිකය වැඩියි. යම් නිශ්චිත රෝහල් පද්ධතියකින් පමණක් ප්‍රතිකාර ගන්නවානම් වාරිකය අඩුයි. බොහෝ විට ආයතනයක් විසින් සේවකයෙකුට තෝරා ගැනීමට විකල්ප කිහිපයක් දෙනවා. තමන් වෙනුවෙන් පමණක් රක්ෂණය ලබා ගන්නවානම් වියදමෙන් වැඩි කොටසක් ආයතනය විසින් දරනවා. දරුවන්ගේ රක්ෂණය වෙනුවෙන් ආයතනය ගෙවන්නේ සාපේක්ෂව ඊට වඩා ටිකක් අඩු කොටසක්. සහකරු/සහකාරියගේ වාරිකයෙන් ඊටත් වඩා අඩු කොටසක්. මේවා ආයතනයෙන් ආයතනයට වෙනස් වන දේවල් නිසා මම හැම තැනක් ගැනම දන්නේ නැහැ. දෙදෙනාම රැකියාව කරනවානම් තමතමන් සේවය කරන තැනින් රක්ෂණය ලබා ගැනීම හා වැඩි වාසි ඇති තැනින් දරුවන්ට රක්ෂණය ගැනීම හොඳම ක්‍රමයයි. බොහෝ විට high deductible එකකට මාසයකට $ 200 පමණත් සාමාන්‍ය රක්ෂණයකට මාසයකට $500ක් පමණත් අතින් යනවා. සංඛ්‍යාලේඛණ අනුව තනි පුද්ගල රක්ෂණයක සාමාන්‍ය මිල මාසයකට $ 600 පමණ වන අතර එයින් $ 500ක් පමණ ආයතනය විසින් ගෙවනවා. පවුල් රක්ෂණයක සාමාන්‍ය මිල මාසයකට $ 1,750 පමණ වන අතර එයින් $ 1,250ක් පමණ ආයතනය විසින් ගෙවනවා.
Deleteබොහොම කම්ප්ලිකේටඩ් සිස්ටම් එකක්. මම හිතන්නෙ රක්ශන සමාගම් වල් බිස්නස් වලටම හදපු සිස්ටම් එකක්. එන්ගලන්තෙ වගෙ ලේසි සිස්ටම් එකකට යන්න මිනිස්සු කැමති නැත්තෙ ඇයි?
Deleteක්‍රමය සංකීර්ණයි තමයි. මෙහි තිබෙන්නේ ඉතා සරල විස්තරයක්. මෙය කවුරුවත් හදපු ක්‍රමයක් නෙමෙයි. කාලයක් තිස්සේ ස්වභාවිකව පරිණාමය වී තිබෙන ක්‍රමයක්. ඒ තුළ, පුද්ගලයෙකුට තමන් කැමති ආකාරයේ තෝරා ගැනීමක් කළ හැකියි. ඕනෑම ස්වභාවික ක්‍රමයක් පිරිසක් එකතු වී සැලසුම් කරන ක්‍රමයකට වඩා සංකීර්ණයි. එයින් රජයකට විසඳිය නොහැකි ප්‍රශ්න ගණනාවක් ස්වභාවිකවම විසඳෙනවා. මෙය මගේ විෂයයටද ඇතුළත් දෙයක් නිසා අවශ්‍යනම් මේ හැම දෙයක් ගැනම දීර්ඝ ලෙස විස්තර කළ හැකියි. මට අහන්න තිබෙන ප්‍රශ්නය "එන්ගලන්තෙ වගෙ ලේසි සිස්ටම් එකකට යන්න ඇමරිකාවේ මිනිස්සු කැමති විය යුත්තේ ඇයි?" කියන එකයි. මෙවැන්නකින් ඇමරිකාවේ දැනට නැති ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. නිතර දැක පුරුදු සෞඛ්‍ය පද්ධති ගැන නොසිතා ඔබට තේරීමක් තිබෙන වෙනත් දෙයක් ගැන හිතුවොත් මෙය පැහැදිලි වෙයි. අප කන කෑම කොයි තරම් සංකීර්ණද? අපි හැමදාම එකම දේ කන්නේ නැහැ. රටේ හැමෝම එකම දේ කන්නෙත් නැහැ. අඳින ඇඳුම් වුනත් එහෙමයි. විවිධ ඇඳුම් වර්ග, ඒවායේත් විවිධ මෝස්‌තර, විවිධ රෙදි වර්ග. වාහන වුනත් එහෙමයි. හැමෝම හැමදාම එකම රෙසිපි එකකට කෑම කනවානම්, එකම වර්ගයේ ඇඳුම් අඳිනවානම් ක්‍රමය ඉතා සරලයි. ලංකාවේ පාසැල් නිල ඇඳුම් වගේ. නමුත් මිනිස්සු එවැනි ක්‍රම වලට කැමති නැහැ. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා, රුචිකත්වයන් වෙනස්.
Deleteඅනෙක් කරුණ මේ ගොඩක් දේවල් රක්ෂණ ගිවිසුම් වලට පොදු දේවල්. වාහන රක්ෂණ, නිවාස රක්ෂණ ඇතුළු අනෙකුත් කුදු මහත් රක්ෂණ වලත් මේ වෙනස්කම් තිබෙනවා.
Deleteඇමෙරිකාවෙ මිනිස්සු ලෙඩ වලට ප්‍රතිකාර ගන්න ගිහින් බන්කොලොත් වෙනව කියන කතා නිතර ඇහෙන නිසා හිතට ආව අදහසක්. කෑම රුචිය නිසා විවිද කෑම කනව කියන එක ගැලපෙන උදාහරනයක් නෙමෙයි නේද? වඩාත් සාමාන වෙන්නෙ හැමෝටම කෑම ලැබිය යුතු ක්‍රමයක් තිබිය යුතුයි කියන එකට නේද?
Deleteවෙලාවක දිගට ලියන්න මේ ගැන.
Deleteකැම බීම, නිවාස, වාහන, අධ්‍යාපනය ආදී ඕනෑම දෙයක් වෙනුවෙන් ආදායමට වඩා වියදම් කරන අයෙකු බංකොලොත් විය හැකියි. මෙය පුද්ගලයෙකුට මෙන්ම රටකට වුවත් අදාලයි. ඇමරිකානු ක්‍රමය තුළ තමන්ගේ ආදායමෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය තමන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කීරීමේ නිදහස තිබෙනවා. හැමෝටම කෑම ලැබෙන ක්‍රමයක් කියා කියපු ගමන්ම ඇති වන ප්‍රශ්නය හැමෝටම ලැබිය යුතු කෑම මොනවාද එය තීරණය කළ යුත්තේ කවුද කියන එකයි. හැමෝටම පාන් පෙති දෙකක් දවසකට වරක් ලැබුනත්, කුකුළු මස් බුරියානි ලැබුනත්, බුෆේ එකකින් කැමැති දෙයක් තෝරා ගන්න ලැබුණත් එය හැමෝටම කෑම ලැබෙන ක්‍රමයක්.
Deleteහෝම්ලස් අයට සෞක්‍ය සේවයට ඇක්සස් තියෙනවද? ඔවුන්ට උන හෙම්බිරිස්සාව වගෙ ලෙඩක් නෙමෙයි, හාර්ට් ප්‍රොබ්ලම් වගේ එකක් ආවොත් ප්‍රතිකාර ලැබෙනවද?
Deleteඅසාධ්‍ය රෝගියෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වන තුරු මුදල් ගෙවීමේ හැකියාව හෝ රක්ෂණය වැනි දේ නොබලා ප්‍රතිකාර කරනවා.
Deleteඒ සඳහා ගිය වියදම් පසුව අය කරගන්නවද? ඉහත අවස්තාවට සාමන්‍ය රැකියාවක් කරන රක්ශනයක් නැති කෙනෙක් පත් උනොත් මොකද වෙන්නෙ?
Deleteසාමාන්‍ය වැටුපක් ලැබෙන රැකියාවක් කරන බොහෝ දෙනෙකුට සේවා ස්ථානය හරහා රක්ෂණයක් ලැබෙනවා. රක්ෂණ වරප්‍රසාද නැති රැකියාවක් කරන අයෙකුට සාමාන්‍යයෙන් ලැබෙන්නේ අඩු වැටුපක් නිසා රජයෙන් නොමිලේ ලබා දෙන සෞඛ්‍ය රක්ෂණයක් ලබාගත හැකියි. රෝහලක් හැම විටම වගේ බිලක් එවනවා. බිල ගෙවිය නොහැකිනම් කළ හැකි දේවල් ගණනාවක් තිබෙනවා. බිල ගෙවන්න ආදායමක් නැති බව කියූ විට ගෙවිය හැකි ප්‍රමාණය අය කරගෙන බිලෙන් සැලකිය යුතු කොටසක් කපා හරින එක බොහෝ විට සිදු වෙනවා. මෙවැනි පාඩු පියවා ගැනීම වෙනුවෙන් රෝහල් වල පුණ්‍ය කටයුතු (charity) අරමුදලක් පවත්වා ගෙන යනවා. ඒ වගේම අදාළ මුදල තමන්ගේ ආදායම අනුව කොටස් වශයෙන් ගෙවිය හැකියි.
Deleteහරි තේරුනා. මේක නේද හැමෝටම සෞක්‍ය පහසුකම් දෙනව කියන්නෙ? මේ කියන විදියටනම් බන්කොලොත් වෙන කතා බොරු කියල තමයි හිතෙන්නෙ.
Deleteබංකොලොත් වීමත් පුද්ගලයෙකුට තිබෙන තේරීමක්. තමන් බංකොලොත් බව දැනුම් දීමෙන් (මේ සඳහා නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතුයි) පුද්ගලයෙකුට තමන්ගේ මූල්‍ය වගකීම් වලින් නිදහස් විය හැකියි. ණය වුනේ මොන විදිහට වුනත් මේ විකල්පය තිබෙනවා. ඇත්තටම බංකොලොත් නැති පුද්ගලයෙකුට වුවත් මෙසේ කළ හැකි වුවත් එහි අවාසි බොහෝ විට ණය පැහැර හැරීමේ තාවකාලික වාසියට වඩා වැඩියි. තමන් බංකොලොත් බව දැනුම් දුන් අයෙකුට ඉන් පසුව ණයක් ලබා ගැනීම ඉතාම අසීරු වීම මෙහි අවාසියයි. ඇමරිකාවේදී එය විශාල අවාසියක්. ගෙදරට ජලය, විදුලිය ලබා ගන්නා තැන සිට මෙය බලපානවා. ඒ නිසා, බොහෝ දෙනෙකුගේ තේරීම වන්නේ එක වර ගෙවිය නොහැකි මුදලක් කල් ඉල්ලාගෙන ටිකෙන් ටික වාරික සේ ගෙවීමයි. ණය නොලැබී යනවාට වඩා මෙය වාසිදායක නිසා ණය හිමියෙකුව මෙවැන්නකට කැමති කර ගැනීම අපහසු නැහැ. සෞඛ්‍ය වියදම් වැඩිම ප්‍රශ්නයක් වන්නේ අඩුම ආදායම් ලබන අයට වඩා ටිකක් ඉහළ ආදායම් ලබන අයටයි. ඔවුන්ට නොමිලේ ලැබෙන රක්ෂණය නොලැබෙන නිසා වෙනත් රක්ෂණයක් තිබුණත් ලොකු අසනීපයකදී ඇතැම් විට තමන් අතින් ගෙවිය යුතු කොටස දරාගත නොහැකි මට්ටමකට යා හැකියි.
Deleteඒ කියන්නෙ රක්ශනයකින් විය යුතු දේ වෙන්නෙ නැති බව නේද? රක්ශනයකුත් තියාගෙන බන්කොලොත් වෙනසිස්ටම් එකක් කියන්නෙ
Deleteමම ලිවුවේ කරුණු දෙකක්. මුලින් ලියූ පරිදි බංකොලොත් වීම පුද්ගල තේරීමක්. ණය ආපසු ගෙවීමේ වගකීමෙන් බේරෙන්න කෙනෙකුට තමන් බංකොලොත් බව ප්‍රකාශයට පත් කළ හැකියි. එවිට කාටවත් ණය ආපසු ඉල්ලන්න බැහැ.
Deleteදෙවනුව ලීවේ ලොකු අසනීපයකදී ඇතැම් විට තමන් අතින් ගෙවිය යුතු කොටස දරාගත නොහැකි මට්ටමකට යා හැකි වීමේ සම්භාවිතාව ගැන. ඒ ගැන හිතා අවශ්‍ය මුදල අතේ තබා ගත යුතුයි. මා කලින් ලියූ පරිදි රක්ෂණ ගිවිසුමක අනිවාර්යයෙන් අතින් ගෙවිය යුතු සීමාවක්, හවුලේ ගෙවිය යුතු සීමාවක් වගේම, මුළු වියදමම රක්ෂණයෙන් ගෙවන සීමාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස,
අනිවාර්යයෙන් අතින් ගෙවිය යුතු සීමාව - $ 500
20%ක් ගෙවිය යුතු සීමාව - $ 500ට වැඩි
මුළු වියදමම රක්ෂණයෙන් ගෙවන සීමාව - $ 5,000ට වැඩි, ලෙස සිතමු.
කලාතුරකින් සිදු වන දෙයක් වුවත්, ලොකු බිලක් ආවොත් $ 5,000ක දක්වා මුදලක් අතින් ගෙවන්න සිදු විය හැකියි. තමන් අරගෙන තිබෙන රක්ෂණය අනුව මේ මුදල මීට වඩා වැඩි විය හැකියි. දරිද්‍රතා සීමාවට වැඩි ආදායමක් ඇතත්, $ 5,000ක් වැනි මුදලක් එක වර ගෙවිය නොහැකි බොහෝ අය ඉන්නවා. ඇමරිකානුවන් අතේ මුදල් තියා ගන්නේ අඩුවෙන්. එහෙත් මෙහිදී බංකොලොත් බව ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. පෙර මා කියූ විකල්ප තිබෙනවා. හෙට්ටු කර බිල අඩු කරගෙන ඉතිරි කොටස කොටස් වශයෙන් ගෙවිය හැකියි. ඒ වගේම, මෙවැනි හදිසියකදී සෞඛ්‍ය වියදම් වෙනුවෙන් ගැනීම සඳහා මුදල් එකතු කිරීමට වෙනම ගිණුම් වර්ගද තිබෙනවා. එවැනි ගිනුමක ඉතිරි කරන මුදල් බදු වලින්ද නිදහස්.
මම නෙට් එකෙත් ටිකක් සර්ච් කරල බැලුව. බන්කොලොත් වෙන අයගෙන් 60% විතර මෙඩිකල් එක්ස්පෙන්සස් නිසාලු නේද? ඒවයෙ තිබ්බ විදියටනම් ඩොලර් 5000 වගේ ගෙවන්න බැරි නිසා නෙමෙයි. ඩොලර් 100000 ට වඩා බිල් ඇවිල්ල ගෙවන්න බැරි වුන කේසස් තමා වැඩි. රක්ශනයක් තියාගෙනත් ඒ තරම් බිල් එන්නෙ කොහොමද?
Deleteඅතුරු ප්‍රශ්නයක්,
ඉතුරුම් වලටත් බදු ගහනවද?
මාධ්‍ය වල දැකිය හැකි, දේශපාලනඥයෙකු නිසා මාධ්‍ය අවධානයට ලක් වූ, ඔය කතාවේ මූලාශ්‍රය බංකොලොත් බව ප්‍රකාශයට පත් කළ අයගේ නියැදියක් ඇසුරෙන් සිදු කළ සමීක්ෂණයක්. එහිදී අහන ප්‍රශ්නය වන්නේ තමන් බංකොලොත් වීමට හේතු වූ සාධක මොනවාද කියන එකයි. පිළිතුරු සැපයීම සඳහා සෞඛ්‍ය වියදම් ඇතුළු කරුණු ගණනාවක් තිබෙනවා. මේ හැම කරුණකටම එහි බලපෑමක් තිබෙනවාද එය කොපමණද කියා පිළිතුරු දිය යුතුයි. එහිදී 60-65%ක් පමණ තමන් බංකොලොත් වීමට සෞඛ්‍ය වියදම්ද යම් තරමකින් හෝ (somewhat) බලපා තිබෙන බව කියා තිබෙනවා. සෞඛ්‍ය වියදම් වල කිසිම බලපෑමක් නැති බව කියා තිබෙන්නේ 30-35% පමණ පිරිසක්. මට හරියටම ගණන් මතක නැහැ. මෙයින් අදහස් වන්නේ ලොකු මුදලක් ණය වීමට ප්‍රධානම හේතුව හෝ එකම හේතුව සෞඛ්‍ය වියදම් කියන එක නෙමෙයි. බංකොලොත් බව ප්‍රකාශයට පත් කළ අයට නොපියවූ සෞඛ්‍ය වියදම්ද යම් තරමකින් හෝ තිබෙන බව පමණයි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ණය ගොඩ ගැසෙන්නේ කාලයක් තිස්සේ කරුණු ගණනාවක් නිසා. බංකොලොත් බව ප්‍රකාශ කරන මට්ටමට වැටෙන කෙනෙක් බොහෝ විට කලින්ම තමන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් වූ බිල් නොගෙවා හරිනවා. සෞඛ්‍ය වියදම් වෙනුවෙන් වූ බිල් නොගෙවා පැහැර හැරීම සාපේක්ෂව පහසුයි. ඒ නිසා, බංකොලොත් බව ප්‍රකාශ කරන අයෙකුගේ ණය අතර බොහෝ විට සෞඛ්‍ය වියදම් වෙනුවෙන් වූ බිල්ද තියෙනවා. කෙසේ වුවත් විවිධ හේතු මත ඇතැම් අයෙකුට ලොකු රෝහල් බිලක් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට රක්ෂණ ගිවිසුමකින් හැම ප්‍රතිකාරයක්ම ආවරණය කරන්නේ නැහැ. බොහෝ විට ප්‍රතිකාර ගන්න ගිය විට රක්ෂණයෙන් ආවරණය නොවන දේවල් අපට යෝජනා කරනවා. එවැනි දේ තෝරා ගන්නවානම් ඒ වෙනුවෙන් අතින් ගෙවිය යුතුයි. රක්ෂණයක් තිබියදීත් ලොකු බිල් එන්න ප්‍රධාන හේතුවක් වන්නේ අදාළ රෝහල විසින් ඉල්ලා සිටින ගාස්තුව රක්ෂණ සමාගම විසින් අදාළ කාර්යය සඳහා ඕනෑවට වඩා වැඩි මුදලක් සේ සලකා නොගෙවා සිටීමයි. මෙහිදී බොහෝ විට රෝහල රක්ෂණ සමාගම ගෙවන මුදලට එකඟ වී අඩුපාඩු මුදල රෝගියාගෙන්ද අය නොකර කපා හරින නමුත් හැම විටම එසේ කරන්නේ නැහැ. බිල ගෙවන එක හැම විටම රෝගියාගේ වගකීමක්. තමන්ගේ රක්ෂණ සමාගම විසින් නොගෙවුවොත් අඩුපාඩුව ගෙවන්න අප එකඟ විය යුතුයි. තමන්ගේ රක්ෂණ සමාගම සමඟ ගිවිසුමක් ඇති රෝහල් වලින් හා වෛද්‍යවරුන්ගෙන් පමණක් ප්‍රතිකාර ගැනීමෙන් මෙවැනි අවුල් වලකා ගත හැකියි. එසේ නොවන තැනකින් හදිසි නොවන ප්‍රතිකාර ගත් විට ලොකු බිලක් එන්න පුළුවන්.
Delete//ඉතුරුම් වලටත් බදු ගහනවද?//
බදු ගහන්නේ ආදායමට. එහෙත් බදු ගැසීම සඳහා ආදායම ගණන් බැලීමට පෙර දළ ආදායමෙන් ඇතැම් වියදම් අඩු කරනවා. සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම් හා ඉතිරි කිරීම්, විශ්‍රාම වැටුප් ආදිය වෙනුවෙන් කරන ඉතිරි කිරීම් උදාහරණයි. මේ වගේ ගිණුමක $1000ක් ඉතිරි කිරීම සඳහා ඇත්තටම වැය වන්නේ $800ක් වැනි මුදලක්. (20%ක ආදායම් බදු ඉතිරියක් වන බව සැලකුවොත්)
ඩෑම් ලෙෆ්ටිස්ට්ස්..
Deleteමෙහෙ තියෙන්නෙ ඇමෙරිකන් සිස්ටම් එකේම කොපියක්. හැබැයි හැමෝම අනිවාර්‍යෙන් ඉන්සුරන්ස් එකට එන්ර්රරොල් වෙන්න ඕන.
ඇමෙරිකාවෙ එහෙම බල කිරීමක් නැතිද?
උදාහර්ද්නයක් විදියට ස්තිර රැකියාවක් කරන කෙනෙකුට හෙල්ත් ඉන්සුරන්ස් එකට ආතුලු නොවී ඉන්න පුලුවන්ද?
2010දී "ඔබාමාකෙයා" පණත (ACA) යටතේ සෞඛ්‍ය රක්ෂණය බොහෝ දෙනෙකුට (මුදා හැරීමට හේතුවක් නැති) අනිවාර්ය කළා. පසුගිය රජය මෙය ඉවත් කළා. 2018න් පසුව ෆෙඩරල් නීතිය යටතේ සෞඛ්‍ය රක්ෂණයක් මිල දී ගැනීම අනිවාර්ය නැහැ. එහෙත් ඇතැම් ප්‍රාන්ත වල ප්‍රාන්ත නීතිය යටතේ අනිවාර්යයි. මෙහිදී අනිවාර්ය කිරීම කියන එකෙන් අදහස් වන්නේ සෞඛ්‍ය රක්ෂණයක් නැති අයගෙන් බදු ගොනු කරන අවස්ථාවේදී සැලකිය යුතු බදු මුදලක් අය කිරීමයි. සෞඛ්‍ය රක්ෂණයක් නොගෙන ඉන්නවානම් එම මුදල ගෙවන්න වෙනවා. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන අයට හැම විටම වගේ සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගැනීම වාසිදායකයි. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අයට මෙය පාඩුයි. ඒ නිසා, සෞඛ්‍ය රක්ෂණයක් නොගැනීමට පෙළඹෙන්නේ තමන් හිතන ආකාරය අනුව සෞඛ්‍ය සම්පන්න අයයි. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන අය පමණක් වැඩි වශයෙන් රක්ෂණ ලබා ගැනීමේදී රක්ෂණ සමාගම් වල සාමාන්‍ය වියදම ඉහළ යන නිසා රක්ෂණ ගිවිසුමක මිලද ඉහළ යනවා. එහිදී සෞඛ්‍ය සම්පන්න අය විසින් රක්ෂණයක් ලබා ගැනීම තව දුරටත් අධෛර්ය කෙරෙනවා. සෞඛ්‍ය රක්ෂණයක් මිල දී ගැනීම අනිවාර්ය කිරීමේ අරමුණ වුනේ ලෙඩ නොවන අයද පූල් එකට එකතු කිරීමෙන් රක්ෂණ සමාගම් වල සාමාන්‍ය වියදම පහළ දමා රක්ෂණ ගිවිසුමක මිල අඩු කිරීමයි. සෞඛ්‍ය රක්ෂණය අනිවාර්ය පසුබිමක වුවත් ඇමරිකාව වැනි රටක ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කිරීමේ සීමා තිබෙනවා. යම් පිරිසක් රක්ෂණයක් නොගෙන සිටීම නොවැලැක්විය හැකියි.
Deleteමම ඊලඟට අහන්න හිටපු ප්‍රශ්නෙටත් ඔබ පිලිතුර දීල තියෙනව.
Deleteමම ඇමෙරිකාවෙ හිටියනම් ඔය සිස්ටම් එකෙදි අවුරුදු 40 පනිනකම් ඉන්ශුරන්ස් එකක් ගන්නෙ නෑ.
සමස්තයක් ලෙස මගේ හා පවුලේ සාමාජිකයින්ගේ රක්ෂණයෙන් ආවරණය වන සෞඛ්‍ය වියදම් තවමත් රක්ෂණය වෙනුවෙන් ගෙවන මුදලට වඩා ගොඩක් අඩුයි. බොහෝ විට ඇත්තේම නැති තරම්. අපේක්ෂිත සෞඛ්‍ය වියදම් ඉතා අඩුනම් හෝ ඇත්තේම නැති තරම්නම් සෞඛ්‍ය රක්ෂණයක් වෙනුවෙන් මුදල් ගෙවීමෙන් ලැබිය හැකි වාසිය වන්නේ අනපේක්ෂිත ලෙස රෝග තත්ත්වයක් ඇති වීමේ අවදානමට මුහුණ දීම පහසු වීමයි. තරුණ හා සෞඛ්‍ය සම්පන්න අයෙකුට වුවත් හිටිවනම බරපතල රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. එහෙත් එම සම්භාවිතාව විශාල නැහැ. රක්ෂණයක් මිල දී නොගෙන බංකොලොත් වීමේ අවදානම ගැනීමද (2010-2018 කාලයේදී හැර) ඇමරිකාවේදී පුද්ගලයෙකු සතු එක් විකල්පයක්. මම හිතන හැටියට එය පුද්ගල තේරීමක්. හැබැයි ඒ තේරීම සවිඥානකව කරන අයෙකු එහි ප්‍රතිඵල කුමක් වුවත් භාර ගත යුතුයි. හදිසියේ ලෙඩ වූ පසු රජයට හෝ පවතින සමාජ-ආර්ථික ක්‍රමයට දොස් කීම නිවැරදි නැහැ. මම පෞද්ගලිකව මිල දී ගන්නේ high deductible රක්ෂණයක්. ඒ නිසා ප්‍රායෝගිකව මගේ හා පවුලේ සෞඛ්‍ය වියදම් සියල්ල අපි ගෙවන්නේ අතින්. රක්ෂණය ක්‍රියාත්මක වන සීමාවට කවදාවත් ගිහින් නැහැ. මෙවැනි high deductible රක්ෂණයක වාරික මුදල සාපේක්ෂව ගොඩක් අඩු නිසා සාමාන්‍ය රක්ෂණයක් මිල දී ගැනීමට සාපේක්ෂව මට මාසිකව සැලකිය යුතු ඉතිරියක් වෙනවා. එම මුදල මම සෞඛ්‍ය ඉතුරුම් ගිණුමක ඉතිරි කරනවා. එයින් බදු අඩුවීමේ වාසියද ලැබෙනවා. එසේ ඉතිරි වන මුදලින් සෞඛ්‍ය වියදම් පියවා ගත හැකියි. යම් හෙයකින් ලොකු ලෙඩක් හැදී විශාල මුදලක් ගෙවන්න වුනොත් රක්ෂණය ක්‍රියාත්මක වන නිසා බංකොලොත් වීමේ අවදානමද අඩුයි. හැබැයි ඒ වගේ තත්ත්වයක් යටතේ රැකියාවක් කර ගත නොහැකි වීම ආදී වෙනත් හේතු නිසා සෞඛ්‍ය වියදම් රක්ෂණයෙන් ලැබුනත් බංකොලොත් වෙන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වයක් යටතේ රක්ෂණයක් මිල දී ගැනීමෙන් අපට තිබෙන ප්‍රධානම වාසිය සෞඛ්‍ය සේවා සඳහා වියදම් විශාල ලෙස අඩු වීමයි. මුදල් ගෙවන්නේ රක්ෂණ සමාගම විසින් නොවුනත් ඔවුන් අප වෙනුවෙන් සේවා සපයන්නන් සමඟ හෙට්ටු කර මිල විශාල ලෙස අඩු කරනවා. එවිට අපට ගෙවන්න වෙන්නේ එසේ අඩු වූ මිලයි. මෙවැන්නක් අපට තනිව කළ නොහැකියි.
Deleteඔව්. හැමෝටම අනිවාර්‍ය නොවන තත්වයක් යටතේ ලෙඩ වීමෙ සම්භාවිතවය ගිඩක් අඩු අය රක්ශනයකට ඇතුල් වෙන එක ඒ අයගෙ පැත්තෙන් අවාසියක්. අනික අපි වගේ වෙන රටවලින් ගිය අයට ලන්කාවට යෑමේ විකල්පයත් තියෙනවනෙ.
Delete5000 9.3% නිසා 4500 වගෙ අතට එනව නේද? නැතිනම් ඉතිරි ඩොලර් 500 වෙන වෙන එවට කැපෙනවද?
ReplyDeleteමේ වගේ දෙයක් ගැන නිශ්චිතව කියන්න බැහැ. 9.3% හැදුනේ ඉලිනෝයි ප්‍රාන්තයේ ප්‍රාන්ත බදු නිසා. බදු නැති ප්‍රාන්තයක්නම් මෙය 4.3% දක්වා අඩු වෙනවා. කවුන්ටි බදු තිබේනම් එය එකතු වෙනවා. ඇත්තටම ගෙවිය යුත්තේ මෙම මුදල වුවත් සාමාන්‍යයෙන් ඊට වඩා වැඩි මුදලක් රඳවා ගැනීමේ බද්ද ලෙස වැටුපෙන් අඩු වෙනවා. නියම ගාණ අඩු කරගෙන ඉතිරිය ආපසු දෙන්නේ වසර අවසානයේදී බදු වාර්තා ගොනු කිරීමෙන් පසුවයි. මීට අමතරව වෛද්‍ය රක්ෂණය, දන්ත වෛද්‍ය රක්ෂණය ආදිය වෙනුවෙන් ගෙවන මුදල් අඩු වෙනවා. ඒ නිසා බොහෝ විට අතට ලැබෙන්න ඉඩ තියෙන්නේ $ 4000 පමණ මුදලක්.
DeleteAnother classic example for that there is no 100% capitalism even in USA.
ReplyDeleteIf true capitalism is there,All school should charge a fee for their service from everystudent.
State or Federal govt's role should only be a facilitator or guarantor between the needy students and financial institutions that offer student loans.
As you correctly say, there is no 100% capitalism even in the US. However, the issue under discussion is more complicated. Theoretically, it is not possible for a school to claim the cost of basic education from the students. They attend school not by their own choice but because their parents/caregivers and other adults, a third party, want them to. The parents/caregivers and other adults want their kids and the other kids to attend school and have some basic education they want. Therefore, the parents/caregivers and other adults need to bear the cost. The next issue is, to what extent you benefit (enjoy) from the education of your kid. The parents who enjoy more from the education of their kids spend more on them while others spend less. An outsider, in general, does not enjoy more from the education received by a kid than her parents. When an outsider is satisfied with the level of education investments by the parents of a kid, she has no reason to intervene. However, when parents or caregivers do not spend enough on the education of a kid from the point of view of an outsider and the outsider expects that kid to receive more education than the level provided by the parents/caregivers, the additional cost should come from the outsider. What all this means is that the basic education is a joint responsibility of parents/caregivers and other adults and the ratio is determined by the benefits (utility/enjoyment) they receive.
Delete