මේක විප්ලවයට පසුව කියන විප්ලවයට පෙර රුසියාවේ කතාවක්. ඉතිං ඔය විප්ලවයට පෙර කාලයේ ගොඩක් දේවල් විප්ලවයට පසුව සිදු වූ තරම් සාධාරණ ලෙස සිදු නොවූ බව කවුරුත් දන්නවනේ. ඔය කාලයේදී ගුණාත්මක භාවයෙන් එතරම් ඉහළ නැති බඩු කොහොම හරි පාරිභෝගිකයන්ගේ ඇඟේ ගැසීම සඳහා සමාගම් විසින් විවිධ උපක්‍රම භාවිතා කරලා තියෙනවා. මේකත් ඒ වගේ උපක්‍රමයක් ගැන කතාවක්. වැඩේ පටන් ගන්නේ ජනප්‍රිය පුවත්පතක හෝ සඟරාවක පළ කෙරෙන පහත දැක්වෙන ආකාරයේ වෙළඳ දැන්වීමකින්.
රූබල් 10කට බයිසිකලයක්!
රූබල් 50ක් වටිනා බයිසිකලයක් රූබල් 10කට මිල දී ගැනීම සඳහා ලැබෙන දුලබ අවස්ථාවක්. වැඩි විස්තර දැනගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා අපට ලියන්න.
අනේ ඉතිං අහිංසක පාරිභෝගිකයෝ විශාල පිරිසක් මේ ඇමට අහුවෙනවා. විස්තර විමසා සමාගමට ලියන අයට විස්තර පත්‍රිකාවක් ලැබෙනවා. ඒ පත්‍රිකාවේ තිබෙන විස්තර අනුව, රූබල් 10ක් ගෙවන පාරිභෝගිකයෙක්ට එසැණින් බයිසිකලයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ කූපන් හතරක්. කරන්න තියෙන්නේ මේ කූපන් එකක් රූබල් 10 බැගින් හතර දෙනෙකුට විකුණලා රූබල් 40ක් හොයා ගන්න එකයි. ඊට පස්සේ ඒ රූබල් 40ත් අර සමාගමට යැවුවහම බයිසිකලේ ලැබෙනවා.
කොහොම වුනත් වැඩේ නරක නැහැනේ! අන්තිමට අතින් යන්නේ රූබල් 10යි. ඒ කියන්නේ ඇත්තටම රූබල් 10කට බයිසිකලයක් ලැබෙනවා.
දැන් මේ කූපන් එකක් කවුරු හෝ කෙනෙක් රූබල් 10ක් ගෙවා මිල දී ගත යුත්තේ ඇයි?
රූබල් 10ක් ගෙවා කූපන් එකක් මිල දී ගන්නා කෙනෙකුට ඒ කූපන් එක අර සමාගමට යවලා තව ඒ වගේම කූපන් හතරක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කූපන් හතර විකුණලා රූබල් 40ක් හොයාගෙන සමාගමට යවලා රූබල් 50ක් වටිනා බයිසිකලයක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න පුළුවන්.
අර මම කලින් කියපු පොතේ තිබුණේ ඔය වගේ කතා. කුඩා වයසකදී තර්ක ඥානය මුවහත් කළ හා ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කළ ඉතාම හොඳ පොතක් කියා කිවුවේ ඒ නිසා. දැන් මේ කතාව අහපු ගමන්ම එක පාරට කරකවලා අත ඇරියා වගේ ගතියක් එනවනේ. ඇයි ඔය ක්‍රමයට හැම කෙනෙකුටම රූබල් 10කට බයිසිකලයක් ලැබෙනවා. ඒ එක්කම බයිසිකලය විකුණන සමාගමට හැම බයිසිකලයටම රූබල් 50 ගානේ ලැබෙනවා. මේක වෙන්නේ කොහොමද?
ඔය පොතේ බොහොමයක් ගණිත ගැටළු වලින් කරන්නේ පාඨකයාව අවුල් කරලා, හිතන්න පොළඹවලා, ඉන් පසුව පැහැදිලි කිරීමක් කරලා අවුල ලිහන එකයි. ඉතා හොඳ ඉගැන්වීමේ උපක්‍රමයක්. පෙර ලිපියේ ලියූ පරිදි, මම මුලින්ම පිරමිඩ් ක්‍රම ගැන දැන ගත්තේ ඔය පොතෙන්.
ඊට පස්සේ අසූ හතේ අවුරුද්දේ පමණ ලංකාවේ ඔය පිරමිඩ් රැල්ලක් පටන් ගත්තා. අසූ අට පමණ වෙද්දී තරමක් ව්‍යාප්ත වුනා. මේවා විවිධ ආකර්ශනීය නම් වලින් හැඳින්වුනා. ඔය කාලයේ මම සේවය කළේ කොළඹ නගරයේ. තදාසන්න නගරයක ඉඳලා උදේ වැඩට යන බස් ඇගළුම් සේවිකාවන්ගෙන් පිරිලා. ඒ අය කලාපයට යන බස් එකකට මාරු වෙන්න මගින් බහිනවා. ඔය අතර කොටසේදී ඔවුන්ව ඉලක්ක කරලා පිරමිඩ් ක්‍රම ගැන අත් පත්‍රිකා බස් වල බෙදන එක ඒ දවස් වල නිතර සිදු වූ දෙයක්. මේවා "හෙළදිව සීට්ටු ක්‍රමය" "වාසනා ජයමග" ආදී විවිධ නම් වලින් හැඳින්වුනා. "පිරමිඩ් ක්‍රම" කියන වචනය ඒ කාලයේදී භාවිතා වුනේ නැහැ.
ටැබ්ලොයිඩ් කාන්තා පුවත්පත් ජනප්‍රිය වුනෙත් ඔය කාලයේ වගේනේ. මම හිතන විදිහට සන්නස්ගල මුලින්ම ජනප්‍රිය වුනෙත් ඔය කාන්තා පුවත්පතක මැද පිටුවේ උඩ තීරුවේ කොටස් වශයෙන් පළ කරපු කතාවක් ලියලා. ඔය පත්තර වැඩිපුර විකිණුනෙත් කලාපෙ පැත්තේ. අර මම කියපු අත් පත්‍රිකා ඔය පත්තර වල මැදට දමලත් බෙදා හැරියා. මට මතක විදිහට හෙළදිව සීට්ටු ක්‍රමය හදා තිබුණේ "ජාතියට ලක්ෂපතියන් බිහි කිරීමේ උදාර අරමුණින්". තව ඔය වගේ උදාර අරමුණු තිබුණා.
ඔය හෙළදිව සීට්ටු ක්‍රමය මේ වගේ එකක්. මුලින්ම මම කාට හෝ රුපියල් 50ක් ගෙවලා සීට්ටු ක්‍රමයට සම්බන්ධ වෙනවා. එවිට මට කොළයක් ලැබෙනවා. එහි අනුපිළිවෙළින් කොටු හතක ලිපින හතක් තිබෙනවා. ඊට පහළින් හිස් අටවන කොටුවක්ද තිබෙනවා. හත් වන කොටුවේ තිබෙන්නේ මට සීට්ටුව විකිණූ පුද්ගලයාගේ නම සහ ලිපිනය. උඩ ලිපින බොහොමයක් නොදන්නා අයගේ ලිපින.
දැන් මට කරන්න තියෙන්නේ අර හිස් කොටුවේ මගේ නම සහ ලිපිනය ලියලා තවත් රුපියල් 100ක් එක්ක අදාළ සමාගමට යවන එක. රුපියල් 100 යැවිය යුත්තේ රුපියල් 50 බැගින් වූ මුදල් ඇණවුම් දෙකක් ලෙසයි. එයින් එකක් ලියන්නේ අර කොළයේ පළමු කොටුවේ තිබෙන ලිපිනයට. දෙවැන්න සීට්ටු ක්‍රමය ක්‍රියාත්මක කරන ආයතනයේ ලිපිනයට.
මේ විදිහට රුපියල් 50ක් ගෙවා මිල දී ගන්නා සීට්ටු කොළය රුපියල් 50 බැගින් වූ මුදල් ඇණවුම් දෙකක්ද සමඟ අදාළ සමාගමට තැපැල් කළ විට මට ඒ වගේම සීට්ටු කොළ තුනක් ලැබෙනවා. ඒ සීට්ටු කොළ වල මගේ නම හා ලිපිනය හත් වන කොටුවේ මුද්‍රණය කරලා. මට සීට්ටුව විකිණූ තැනැත්තාගේ නම හා ලිපිනය හයවන කොටුවට ගිහින්. පළමු කොටුවේ නම හා ලිපිනය ඉවත් වෙලා. අනෙක් හැම ලිපිනයක්ම උඩට ගිහින්.
දැන් මට තියෙන්නේ මේ සීට්ටු කොළ තුන තුන් දෙනෙකුට විකුණලා වියදම් වූ රුපියල් 150 හොයා ගන්න එක පමණයි. ඊට පස්සේ තියෙන්නේ බලා ඉන්න. මාස කිහිපයක් යද්දී සල්ලි එන්න පටන් ගන්නවා. වැඩේ හරියටම වුනොත් මගේ නම පළමුවෙනි කොටුවට ගියාම රුපියල් පණහේ මුදල් ඇණවුම් වලින් රුපියල් 109,350ක්ම ලැබෙනවා. ඉන් පසුව, ලැයිස්තුවේ මට පිටුපසින් ඉන්න අයටත් මම වගේම ලක්ෂපතියෙකු වීමේ අවස්ථාව ලැබෙනවා.
සමාගම කියන විදිහට වියදම් වූ රුපියල් 150 කලින්ම ආපසු ලැබෙනවා වුනත්, මුදල් ඇණවුම් මිල දී ගනිද්දී තැපැල් කන්තෝරුව රුපියල් 50ට යම් කොමිස් මුදලක් එකතු කරනවා. ඒ කොමිස් මුදලනම් ආපසු ලැබෙන්නේ නැහැ.
මේ වගේ සීට්ටු ක්‍රම වලට මම කිසිම දවසක සම්බන්ධ වී නැහැ. සීට්ටු ගැන මුලින්ම දැන ගන්න ලැබුණු නිසාත්, ඒ වෙද්දී අපහසුවක් නැතිව සීට්ටු කොළ තුනක් විකුණගන්න පුළුවන්කම තිබුණු නිසාත්, මට ඇත්තටම ලක්ෂපතියෙකු වීමේ අවස්ථාවක් තිබුණා. අවුරුදු හත අටකට කලින් පෙරල්මාන්ගේ පොත කියවා තිබූ නිසා, සල්ලි එන විදිහ තේරුම් ගන්න එකත් අමාරු වුනේ නැහැ. කවුරු හෝ කෙනෙක් ලක්ෂපතියෙකු වන හැම වෙලාවකම සමාගමටද රුපියල් ලක්ෂයක් ලැබෙන බව පැහැදිලිව පෙනෙන්න තිබුණා.
හෘද සාක්ෂියට එකඟව මට මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මගෙන් සීට්ටු මිල දී ගන්නා මා දන්නා තුන් දෙනා කොහොම හරි ගොඩ ගියත් තව විශාල පිරිසක් අමාරුවේ වැටෙන බවත්, මම එකතු කර ගන්නේ ඒ අයගේ සල්ලි බවත්, පැහැදිලිව පෙනෙද්දී ලක්ෂපතියෙක් වෙලා හිතේ සතුටෙන් ඉන්නේ කොහොමද?
කොහොම වුනත්, මා දන්නා, ඔය කාලයේ ලඟින් ඇසුරු කළ ඇතැම් අය මේ සීට්ටු ක්‍රමයට සම්බන්ධ වුනා. මාස කිහිපයකට පසුව අදාළ සමාගම විසින් රුපියල් 50 මුදල් ඇණවුම් කොටස් වශයෙන් පාර්සල් කර ඔවුන්ට එවුවා. ලක්ෂය කෙසේ වුවත් හත අට දාහක මුදලක් හෝ ලැබුණා. පසුව ඔය වගේ සීට්ටු ක්‍රම වැහි වැහැලා ඉන් පසුව නැතිව ගියා.
ඊට පස්සේ නැවතත් පිරමිඩ් ක්‍රම ලංකාවේ නැගලා ගියේ දෙදාස් දෙකේදී පමණ. මේක සිදු වුනේ වෙනත්ම ආකෘතියකයි. සම්බන්ධ කර ගැනුණේ ඉංජිනේරුවෝ, දොස්තරලා වගේ වෘත්තිකයෝ. තරු හෝටල් වල සම්මන්ත්‍රණ පවා පැවැත්වුනා. මගේ ඇතැම් මිත්‍රයෝ රැකියාවෙන් ඉවත් වී වැඩේට බැස්සා. මේ එක්කම ක්‍රෙඩිට් කාඩ් හරහා විදේශ විණිමය රටෙන් එළියට ගලා යාමක්ද සිදුවුනා. මහ බැංකුවට මැදිහත් වීමට පොටක් පෑදුනා. මා දන්නා ඇතැම් අය ලක්ෂ ගණන් වලින් හොයා ගත්තා.
වෙනස් ආකෘති යටතේ පිරමිඩ් ක්‍රම දිගින් දිගටම මතු වෙනවා. ජාලගත අලෙවිකරණය එක ක්‍රමයක්. ඇමරිකාවේ හා යුරෝපයේ වෙසෙන දකුණු ආසියානු සම්භවයක් තිබෙන අය අතර මේ ක්‍රම දැනටත් ජනප්‍රියයි. ඇතැම් අය පූර්ණකාලීනව වැඩේට බැහැලා සල්ලි හොයනවා.
මේ පිරමිඩ් ක්‍රම හැඳින්වීම සඳහා ඇමරිකාවේ ප්‍රචලිතව යොදන්නේ පොන්සි ක්‍රීඩා කියන නමයි. නමේ සම්භවය පසුගිය සියවසේ මුල් භාගයේදී නිවුයෝර්ක් නගරයේ ජීවත් වූ ඉතාලි සංක්‍රමණිකයෙක් වූ චාර්ල්ස් පොන්සි. ලිපිය කෙටි කිරීම සඳහා මම පොන්සි ගැන ලියන්න යන්නේ නැහැ. විකිපීඩියාව බලන්න.
පොන්සි ක්‍රීඩාවකින් යම් පිරිසකට ඇත්තටම විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට මහන්සියක් නැතුව, කිසිවකු විසින් එකතු කරන දෙයක් නැතුව, නිකම්ම වටිනාකමක් නිර්මාණය වෙනවානම් ඒ ආකෘතියේ මොකක් හරි අවුලක් තියෙන්න ඕනැනේ. පෙනෙන්න නැතත් අදාළ මිල ගෙවන කවුරු හෝ කෙනෙක් සිටිය යුතුයි. හෙළදිව සීට්ටු ක්‍රමයට සම්බන්ධ වෙලා මම රුපියල් 109,350ක් උපයා ගනිද්දී, රුපියල් 50 බැගින් එයට දායක වන 2,187 දෙනෙක් ඉන්නවා (=3^7). ඒ අයට බොහෝ විට තමන් වැය කරන රුපියල් 150 නැති වෙනවා.
පිරමිඩ් ක්‍රමයකින් කෙනෙකුට ලැබෙන වාසිය ඇත්ත වාසියක්. එහි සංඛ්‍යාලේඛණ විජ්ජාවක් නැහැ. එහෙත්, අනාගතයේ දවසක යම් අයෙකුට මේ වාසිය වෙනුවෙන් අවාසියක් විඳින්න වෙනවා. ඒ නිසා, පද්ධතියක් ලෙස ගත් විට මෙවැන්නක් ස්ථායී නැහැ.
සාර්ව ආර්ථික ආකෘති හදද්දී මේ තත්ත්වය සැලකිල්ලට ගන්නවා. ඒ නිසා, බොහෝ ගතික සර්ව ආර්ථික ආකෘති වල සමතුලිත විසඳුම හොයද්දී පොන්සි-නොවන කොන්දේසිය (No-Ponzi condition) නම් වූ කොන්දේසියක් පරීක්ෂාවට ලක් කරනවා. ඔය කොන්දේසිය අමතක කර හදන ආර්ථික විද්‍යා ආකෘතියකින් පෙරල්මාන්ගේ පොතේ අනාවරණය කර තිබෙන විදිහේ අපූරු "මැජික්" පෙන්වන්න පුළුවන්.
ඉකොනෝ, ප්‍රායෝගික බුද්ධිය නැතිකම නිසා පිරමිඩ් ක්‍රමයට දායක වෙලා අනුන්වත් අමාරුවේ දාලා තමනුත් අමාරුවෙ වැටුණු විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පවා ඒ කාලෙ හිටියා....
ReplyDeleteඉතිං සාමාන්‍ය ජනතාව මේ උගුල්වලට අහු වීම පුදුමයක්ද?
'ලිපිය කෙටි කිරීම සඳහා මම පොන්සි ගැන ලියන්න යන්නේ නැහැ. '
ReplyDeleteඉකොනෝ මහත්තයා මේ පොන්සියා කියලා මඩ ගහලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට නේද? ඇයි දැන් හිරිකොතෙන් අයින් උනාද?
මොට්ට ඇනෝ, රනිල් වික්‍රමසිංහගේ කාලේ ඉවරයි, අපි දැන් පෑඩ් එකෙන් බවුන්ඩ්රී රැස් කොරන සජිත් ප්‍රේමදාස සරණ යමු.
Deleteරෙදි සෝසනවා...
ReplyDeleteවලං සෝසනවා....
හූ..........
මටත් අහන්න ලැබිල තියෙනවා ඔය පිරමිඩ් ක්‍රමය නිසා ගෙවල් වලින් පාරට වැටුන අය ගැන..
ReplyDeleteකැනඩාවේ ඔටාවා වලත් ඉන්නව ඔය වගේම !@#$ පුතාල සෙට් එකක්. AMWAY කියල පිරමිඩ් scheme එකක් ඇඟේ ගහන්න එන සත්තු වගේ සෙට් එකක්. හරි අමාරුයි බේරිලා ඉන්න, සම හරක්ට Peradeniya Engineering + Canadian PhD තියාගෙනත් මුන් කරන්නේ ඔය වගේ සක්කිලි වැඩ
ReplyDeleteමේක කියවලා මාස කීපයක් පරණ ස්ටෝරියක් සහ සති කීපයක් පරණ නිවුස් එකක් ඉරිවලින් යාවෙන හැටි මැවී පෙනුනා. දැන් මාස ගානාවක ඉඳලා ඔයි මධ්‍යම පලාතේ කාරියාල කීපෙක එකවුන්ට් සෙක්ෂන් වල අය ක්‍රියාශීලීව මුල්වෙලා කරගෙන මාසෙට 40ක විතර පොලියකුත් බෙදන අමුතු තාලේ මට නොතේරන ස්කීම් එකක් ගියා, ඕක මේමෙ මේම කඩා වැටෙනවා කීවත් ඒම නොවී දිගු කාලයක් ගියා, ඔයි ස්කීම් එක රන් කරන අය ලස්සන ලස්සන කාර්බාර් අරං හෝටල් කඩ සාප්පු හේම ගහනවා, වයිෆ්ගේ ලෝන් එක ඕකට දාන්න නොදී ඉඩමක් ගත්තා කියලා බෝම ලොකු අරියාදු නෝක්කාඩුවකුත් තියනවා, එක තමයි ස්ටොරිය. දැං ඊළඟට සති කීපයක් පරණ නිවුස් එක තමයි වලපනෙයි හඟුරන්කෙතයි අධ්‍යාපන කාර්යාල වල පඩි හදන එවුං පැන්ෂන් ගිය ගුරුවරුන්ගේ පැන්ෂන් සහ සැක කරන විදිහට තවත් සමහරුන්ගේ ඇරියස් හේමත් ව්‍යාජව හදපු බැංකු එකවුන්ට් වගයකට තල්ලු කරලා අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේ, ගේම දුන්න වුං ලස්සන ලස්සන කාර්බාර් අරං හෝටල් කඩ සාප්පු හේම ගහලාලු. තිත් ඉරි යාකිරීම තමයි අර ඉස්සෙල්ලා ස්ටොරියේ කියපු කාර්වාර් ඉඩ කඩම් ගැනම තමයි සති කීපයක් පරණ නිවුස් එකෙත් කියවෙන්නේ, ඔව් ඔව් ඒ අය තමයි දෙකම රන් කරේ, හෙට උදේට කොල් එකක් දාලා අහන්නට ඕනි පොන්සි ස්කීම් එකේ ආයෝජනය කරපු උන්ගෙන් අන්තිම මාසේ පොලිය වැටිලා තිබ්බාද කියලා.
ReplyDeleteමම හිතන්නේ පළවෙනි කොටස නම් මොකක් හරි හොඳ ව්‍යාපාරයක් හරි අපනයන කේස් එකකට හරි ආයෝජනය කර ඇති, සමහර වෙලාවට මේවගේ අසාමාන්‍ය කාලවල නොහිතන විදියට ලාභ එනවා. කාලයක් දකුණු පළාතේ හිටපු දඬුවම් මුදලාලි කියලා කෙනෙක් මේ වගේ ව්‍යාපාර වලට මුදල් ආයෝජන/ ණය විදියට ලබා දෙමින් විශාල වශයෙන් ලාභ ගෙවුවා දශක එක හමාරක් විතර. 1992 - 2007 අතර කාලයේදී ඔහු ළඟ ආයෝජනය කරපු අය සාපේක්ෂ වශයෙන් කුඩා ආයෝජන කරලා ඒ කාලේ ටොයෝටා ඇලියොන්/ ප්‍රිමියෝ වගේ වාහන හොඳ ගෙවල් දොරවල් හා වත්කම් සහිතව සාර්ථකව සිටියා. නමුත් 2008 දී පමණ සක්විති රණසිංහ මූල්‍ය වංචාව සහ ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී මහා මූල්‍ය වංචා නිසා මේ ව්‍යාපාරය ගැනත් සැක සිතී මුදල් දැමූ අය විශාල වශයෙන් තම මුදල් නැවත ඉල්ලීමත්, රජයේ මැදිහත්වීම සහ 2009 ආර්ථික අර්බුදය හමුවේ එම ව්‍යාපාරය 20010 පමණ වන විට කඩා බිඳ වැටී එම පුද්ගලයා මිය ගිය බවත් සඳහන් වුණා.
Deleteකෙසේ නමුත් මේ ව්‍යාපාරය කාලයක් තිස්සේ ඉතා සාර්ථකව ගෙන ගියා. ලංකාවේ මෙන්ම විදේශීය රටවලත් එවැනි අධික ලාභ ලබන ආයතන තියෙනවා උදාහරණයක් විදියට ටෙස්ලා සමාගම වගේ ඒවා ගන්න පුළුවන්.
ඊළඟට ඔය පඩි වංචා කතාව බොහෝ දුරට ඊර්ෂ්‍යාව නිසා ගොතන ලද මිත්‍යා කතාවක් කියන්න පුළුවන්. ඔහොම ලේසියෙන් රජයේ මුදල් වංචා කරන්න බෑ ඉතාමත් ඉක්මනින් අහු වෙනවා. ඕන නම් එක පුද්ගලයෙක් ගේ හෝ උපරිම දෙතුන් දෙනෙක්ගේ මුදල් ගන්න ඇති ඊට වඩා කළොත් මාට්ටු වෙනවා.
රජයේ මුදල් වංචා කරන්න නම් නිත්‍යානුකූල ආකාරයට ගෙවීම් සිදු කර එම සැපයුම් කරු/ කොන්ත්‍රාත්කරු ගෙන් අත යටින් වෙනමම මුදල් ලබා ගැනීමට (=කොමිස් ගහන්න/ 1% - 2% කමිෂන්) අවශ්‍යයි. වෙන ක්‍රම වලින් මුදල් වංචා කරන්න ලේසි නෑ ඉතාමත් අමාරුයි මූල්‍ය රෙගුලාසි නිසා.
Quotation තුනක් අවශ්‍ය නිසා සාමාන්‍ය වෙළඳ පොළේ රුපියල් 100 ක් විතර වෙන දෙයක් රූ 250/ 275/ 340 ආදී ඉහළ මිල ගණන් වැඩි quotation ලබා දී අඩුම bid price එක 250 කියා එය තෝරා ගෙන එම සැපයුම්කරුගෙන් මුදල් ලබා ගැනීමට පුළුවන් වුණත් එයත් සමහර වෙලාවට අහු වෙනවා, ඒ නිසා ඉතාමත් පරිස්සමින් ඔය වගේ දේවල් කරන්න වෙනවා. රජයේ සේවකයන් හා දේශපාලකයන් දූෂිත බව පොදුවේ ඇතැම් අය කියූවත් ඇත්ත කතාව ඒ විදියට රජයේ මුදල් දූෂණ වංචා ඇත්තටම කරන්න ඉතාමත් අමාරුයි, ඒකට වෙනම දක්ෂතාවයක් අවශ්‍යයි. අහු නොවෙන්න ඉතාමත් ස්මාට් විදියට කරන්න වෙනවා.
ඒ පැන්ෂන් / ඇරියස් වංචාව ඇත්තයි දැන් කස්ටිය අල්ලලා තියෙන්නේ, ලැබිය යුතු නියම මුදල ඔවුන් විසින් මැනේජ කරන බැංකු එකව්න්ට් කීපයකට යවලා එවායින් ලැබිය යුතු පුද්ගලයාගේ ගිණුමට ඊට අඩු මුදලක් බැර කිරීම, සහ ලැබිය යුතු පුද්ගලයාට ව්‍යාජ ලේඛන පෙන්වීම,බොහොම පිළවෙලට නූලට කරපු එකක් ස්පේරඩ්ශීට් පවා තිබිලා අහුවෙලා තියනවා, ඒ කළු සල්ලි සුදු කරන්න ආයෝජන ස්කීම් එකෙන් සෑහෙන පිටුවහලක් ලැබිලා තියනවා, නිදං/ මැණික් හම්බුනා කියන්නෙත් කළු සල්ලි සුදු කරන ක්‍රමනේ.
Deleteමූල්‍ය පරිපාලනය/ ගිණුමකරණය අධීක්ණෂයට දැණුමක් නැති දොස්තරවරු / අධ්‍යාපනවදෙීන් වගේ වෘත්තීය විශේෂඥයෝ ආයතන ප්‍රධානියෝ වුනාම වෙන අකරතැබ්බ,ඔවුන්ව නොමග යවා මෙම ආයතන වල පඩි හදන්න ලබා දී තිබූ සොෆ්ට්වෙයාර් අවුරුදු ගණනක් තිස්සේම භාවිත නොකර ස්ප්‍රෙඩ්ශීට් වලින් වැඩ කරලා තියෙන්නේ, එව්වායේ වෙන කාටවත් කරන්න බැරි නිසා මොවුන්ව අවුරුදුගාණනක් තිස්සේම ට්‍රාන්සර් කරලාවත් නෑ. පරිපාලන නිළධාරීන්, විගණනකයෝ සහ මීටරය වැඩ කරන විදුහල්පතියෝ පවා අර ආයෝජන ස්කීම් එකේ ප්‍රතිලාභියෝ අතර.
Deleteධනවාදය එනකොට ඉස්සෙල්ලම එන්නේ ඔය පිරමිඩ් ස්කීම් . සමහර දුප්පත් රුසියානුවෝ බටහිර තමන්ව රැවටුව කියල තවමත් යෙල්ට්සින් ට බනින්නෙත් , සෝවියට් සමාජවාදය හොඳයි කියන්නෙත් ඒවගේ දේ නිසා. උන්ට හිතුනේ මේක (සොවියට් දේශය) වැටිච්ච ගමන් ධනවාදය ඇවිල්ල උන් එකපාරට පෝසත් වෙයි කියල. එහෙම වුනා . මාෆියා කාරයෝ කිහිප දෙනෙකුට , පිරමිඩ් කාරයන්ට. මම දැනගෙන හිටි නිසා ඕකට අහුවුනේ නැහැ. අහුවෙච්ච අය හිටිය. මම ඒ අයගෙන් අහපු ප්‍රශ්නේ තමා ඕකේ අන්තිම කොනේ ඉන්න කෙනා මොකද කරන්නේ කියන එක. ලන්ඩන් ආපු කාලේ අමෙරිකාවෙන් ආපු හරබලයිෆ් ද මොකක්ද රෙද්දක් ඔය වගේම සීන් එකක් අරන් ගියා. ඊට පස්සේ දැන් අවුරුදු 10 කට වගේ කලින් ලන්ඩන් යාළුවෙක් මට කීවා එන්න කියල. මම එයාට පැහැදිලි කළා රුසියාවෙත් ඕක වුනා යන්න එපා කියල. මිනිහ කීව මම ඉරිසියාවට කියන්නේ. මචන් කෙනෙක් යමක් උපයන්න හදනව නම් සාධාරණ විධිහට ඇයි ඕවගේ එපා කියන්නේ කියල. මම කීව උඹ සල්ලි ගන්නේ අනිත් මිනිසුන් ගෙන් නිකම්ම. ලන්ඩන් වල ඉන්න සිංහල එවුන් අහුවෙන කෙළවරක් තියනවා කියල. විශ්වාස කලේ නැහැ. මාස තුන හතරකින් ලන්ඩන් ස්කීම් එක වැටුන. පිරමිඩ් එක මුදුනේ හිටපු උන් මාරු වුනා. පොලිසි ගියා. වලි ගියා. අර යාලුව කීව එයට කිසියම් මුදල් ප්‍රමාණයක් ලැබුන කියල. නමුත් එයා ඒක විකුනපු අය එයාව හොයන් ආව සල්ලි ඉල්ලලා. හොඳම කතාව ඒක නෙමෙයි . මෙහෙ ඉන්න සමාජවාදියෙක් ඔය වැඩේම කළා. ඒ අර මම කීව වගේ තමන් වඩා හොඳට දන්නවා කියන ජාතියේ කෙනෙක්. මම එයාටත් කීව ඕක කරන්න එපා. මොන නමකින් ආවත් (එයා මට කිවේ නෙට්වර්කින් චාන්ස් කියල) ඕක වැරදියි කියල. අන්තිමට කෙළවුණේ තමන්ගේම සමාජවාදී පොරවල් කිහිප දෙනෙකුට. කොපමණ කීවත් වැඩක් නැහැ. මිනිස්සු අහුවෙනවා.
ReplyDeleteඅජිත්
Deleteඔය කියන පිරමීඩ ක්‍රම වල මහ ගෙදර වෙන්නේ ඇමරිකානු එක්සත් ජනපදයයි. උදාහරණයක් විදියට Bernard (Bernie) Madoff වැනි අය මුදල් වලට කෑදල ඇමරිකානු තණ්හාධිකයන් රවටා ඩොලර් බිලියන 20 ක් විතර හොයාගෙන තියෙනවා. බටහිර ඉන්දීය කොදෙව් වල ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලි පැවැත්වූ Allan Stanford නමැති ඇමරිකානුවා ඔබට මතක ඇති ඔහු ඩොලර් බිලියන 7 කට වඩා වංචා කළා කියලා 2012 විතර හිරේ ගියා මතකයි නේද?
ඇමරිකානු ආර්ථික ක්‍රමය හුදෙක් මුදල් පසු පසම දුවන බල්ලෝ මරා හෝ සල්ලි හොයන්න ඕනම දෙයක් කරන්න මිනිස්සු පෙළඹී ඇති කුජීත ක්‍රමයක් නිසා මේ වගේ හොර ජාවාරම් ලේසියෙන්ම කරන්න පුළුවන් නමුත් නීති රීති වලින් යම් තරමකින් පාලනය කළත් අහු නොවෙන්න කරන අය එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල් වල ඕන තරම් ඉන්නවා.
මේකේ ඇමරිකානු පිරමීඩ ජාවාරම් කරුවන් ගැන කෙටි විස්තරයක් තියෙනවා
https://amp.cnn.com/cnn/2021/04/24/business/famous-ponzi-schemes-generation-hustle/index.html
ඇත්තටම 1920 ගණන් වල කුප්‍රකට පිරමීඩ ජාවාරම් ආරම්භ කළ කූපන් ක්‍රමය හඳුන්වා දුන් චාල්ස් පොංසී Charles Ponzi කියලා කියන්නේ ඉතාමත් අභිමානවත් ඇමරිකානු පුරවැසියෙක්. ලංකාවේ බැසිල් රාජපක්ෂ වගේම තමයි. කොහොම ද වැඩේ?
ඔබේ ලිපි හැමදාම ආසාවෙන් කියවනවා. මේ ලිපිය ගොඩක්ම ආකර්ශණීය එකක්. ආර්ථික විද්‍යාත්මක තොරතුරු සරලව ලියන එක ලේසි නැහැ. බොහෝ දෙනෙක් තණ්හාවට ගිහින් Crypto currency වල ආයෝජනය කරලා අමාරුවේ වැටිලා ඉන්නවා. ඉඩක් ඇත්නම් ඒ ගැනත් යමක් ලියන්න. ඔබේ මේ ලිපි විනාඩි 5 තරමේ කෙටි වීඩියෝ විදිහට යූ ටියුබ් අවකාශයට එක් කරන්න පුළුවන් නම් බොහෝ දෙනෙකු අතරට යාවි. හිතල බලන්න. අදහසක් විතරයි.
ReplyDeleteයෝජනාව පිළිබඳව ස්තුතියි! පොඩි අවුලකට තියෙන්නේ මට කෙටි කිරීම් අමාරු වීමයි.
Delete