රුපියල් විස්සක් ගෙවා ක්ෂණික ලොතරැයියක් මිල දී ගන්නා කෙනෙක් එසේ කරන්නේ ඇයි? එවැන්නෙකු මේ ලොතරැයියේ ජයග්‍රාහකයෙකු වී රුපියල් මිලියන ගණනක ත්‍යාගයක් හිමි වීමේ යම් ඉඩක් තිබෙන නිසා. එහෙත්, බොහෝ විට සිදු වන්නේ තමන්ගේ අතේ තිබුණු රුපියල් විස්සත් නැති වෙන එකයි.
ලොතරැයියක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ මේ බව නොදැන නෙමෙයි. පළමු ලොතරැයියෙන් කිසිදු දිනුමක් නොලබන අයෙකු ඇතැම් විට තවත් ලොතරැයියක් මිල දී ගන්නවා. එයින්ද දිනුමක් නොලැබුණොත් ඇතැම් විට තෙවන ලොතරැයියක්ද මිල දී ගන්නවා. මෙසේ කරන්නේ නොඇදුනු දිනුම දෙවන, තෙවන වර හෝ ඇදෙයි කියා හිතාගෙනයි.
කවුරු හරි අතේ විශාල ධනයක් තිබෙනවානම්, ඔය විදිහට එකින් එක ලොතරැයි සියල්ල සූරා ගෙන ගියොත් අනිවාර්යයෙන්ම දිනුම් සියල්ල ඔහුට හෝ ඇයට ලැබෙනවා. මේ ගැන කිසිදු සැකයක් නැහැ. එහෙමනම්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් වෙළඳපොළේ තිබෙන ලොතරැයි සියල්ල එක වර මිල දී නොගන්නේ ඇයි?
රත්නපුර පැත්තේ ඇතැම් මැණික් ව්‍යාපාරිකයින් ඔය වගේ වැඩ කරන අවස්ථා තිබුණත්, ධම්මික පෙරේරා වගේ කෙනෙක් කවදාවත් ඔය වගේ දෙයක් කරන්නේ නැහැ. මොකද ඔය වැඩේ කළොත්, එසේ කරන තැනැත්තාට දිනුම් සියල්ලම අනිවාර්යයෙන්ම හිමි වන නමුත් ඒ සියලුම දිනුම් මුදල් මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක් ඒ වෙද්දී වැය වෙලා.
ධම්මික පෙරේරා ව්‍යාපාරික ලෝකයට ඔළුව දාගත්තේ රට පුරා ජැක්පොට් මැෂින් හයි කරමින්. ඒ දවස් වල පිස්සුවෙන් වගේ ජැක්පොට් ගැසූ අය රට පුරාම හිටියා. ජැක්පොට් ක්‍රීඩකයින්ගෙන් දෙකේ කාසි වලට සෑහෙන ඉල්ලුමක් තිබුණා. ජැක්පොට් ක්‍රීඩාවෙන් දිනුම් සේ ලැබෙන්නේ ජැක්පොට් යන්ත්‍රයක් ඇතුළට යන දෙකේ කාසි වලින්ම යම් ප්‍රමාණයක් පමණයි. ඊට අමතරව, යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි හැදෙන්නේ නැහැ. හැබැයි ඇතුළට යන දෙකේ කාසි සියල්ල නැවත එළියට එන්නේ නැහැ. යන්ත්‍රය ඇතුළේ දෙකේ කාසි පිරෙන්න කලින් ධම්මික පෙරේරා ඇවිදින් යන්ත්‍රය හිස් කරනවා. ඉතිරි වන දෙකේ කාසි ඔහුගේ සාක්කුවට යනවා.
ජැක්පොට් ක්‍රීඩාවේ යෙදුනු ක්‍රීඩකයෝ මේ බව නොදැන හිටියා නෙමෙයි. ජැක්පොට් ක්‍රීඩාව තහනම් නොකළේනම් මිනිස්සු දිගින් දිගටම ජැක්පොට් ගහනවා. අද ලොතරැයි ගන්න අයත් කරන්නේ මෙයමයි.
සමාගමක කොටස් මිල දී ගන්නා අයෙකු කරන්නෙත් යම් තරමකින් ජැක්පොට් ගහනවා වගේ වැඩක්. මේ ක්‍රීඩාවෙන් දිනන්න හෝ පරදින්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම සමාගමක කොටස් වෙනුවෙන් මුදල් ආයෝජනය කරන අයෙක් බොහෝ විට දිනනවා මිසක් පරදින්නේ නැහැ. මොකද කෙටිකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යාම අහඹු ලෙස සිදු වුවත්, එය තනිකරම අහඹු ලෙස සිදු වන්නේ නැහැ. දිගුකාලීනව සමාගමක කොටස් මිල ඉහළ පහළ යන්නේනම් එම සමාගම් කොටස් වල වටිනාකම ඇත්තටම අඩු වැඩි වන ආකාරය පිළිබිඹු කරමින්.
සමාගමක කොටස් වල සැබෑ වටිනාකම ඇත්තටම ඉහළ නොගියත්, කවර හෝ හේතුවක් නිසා කෙටිකාලීනව මිල ඉහළ යන අවස්ථා තිබෙනවා. මේ වගේ වෙලාවක එම කොටස් මිල දී ගන්නා අයෙකුට දිගුකාලීනව පාඩුවක් සිදු වෙනවා. ඒ පාඩුව සිදු වන්නේ යම් මොහොතක කොටස් මිල එහි සැබෑ වටිනාකම දක්වා එක වර ක්ෂණිකව පහත වැටීමෙනුයි. එසේ වුවත්, ඒ කඩා වැටීම සිදු වන තුරු යම් කාලයක් කොටස් මිල ඉහළ යා හැකියි. අවදානමක් ගන්න කැමති අයෙකුට මේ කාලය තුළ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් සාමාන්‍ය ලාබය ඉක්මවන විශාල ලාබයක් උපයන්න පුළුවන්. හැබැයි මෙය සැබෑ ආයෝජනයකට වඩා සූදුවක්!
කොටස් වෙළඳපොළේ වගේම වෙනත් ඕනෑම වෙළඳපොළක මිල බුබුළු හැදෙන්න පුළුවන්. එය ධනවාදී ක්‍රමයක් ඇතුළේ සිදු වන දුලබ නොවන සිදු වීමක්. බොහෝ විට වගේ මිල බුබුලක් හදන්න දායක වෙන්නේ අතරමැදියෝ. ඒ නිසාම, බොහෝ විට මිල බුබුල කඩා වැටුණු විට පාඩුව විඳින්න වෙන්නේත් ඔවුන්ටයි.
මිල බුබුලක් හැදී ඇති විට එය මිල බුබුලක් බව දන්න, එය කොයි මොහොතක හෝ කඩා වැටෙන බවත් දන්න, බොහෝ දෙනෙක් නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නවා. එසේ නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නේම මිල බුබුල කඩා වැටෙන්න කලින් වෙනත් අයෙකුට අදාළ භාණ්ඩය හෝ වත්කම විකුණා ලාබයක් ලැබීමේ අරමුණින්. වෙනත් වචන වලින් කිවුවොත් තමන්ට පාඩුවක් වෙන්න කලින් අදාළ භාණ්ඩය හෝ වත්කම කාගේ හෝ ඇඟේ ගැසිය හැකිය යන විශ්වාසයෙන්.
මිල බුබුළු කියන්නේ ධනවාදී වෙළඳපොළක ස්වභාවික ලෙසම බිහි වන පොන්සි ක්‍රීඩාවක් වැනි දෙයක්. බුබුල හැදෙන කාලය තුළ ක්‍රීඩා කරන ඕනෑම කෙනෙකුට ජයග්‍රාහකයෙකු සේ තරඟයෙන් ඉවත් විය හැකියි. පරාජිතයින් නැහැ. එහෙත්, ජැක්පොට් යන්ත්‍රයක් තුළ දෙකේ කාසි හැදෙන්නේ නැතුවාක් මෙන්ම, අදාළ වත්කමේ මිල ඉහළ යාමට සාපේක්ෂව එහි සැබෑ වටිනාකම ඉහළ යන්නේ නැති නිසා යම් මොහොතක මිල බුබුල පුපුරා යනවා. ඒ වන විට තරඟය තුළ රැඳී සිටින සියල්ලන්ම පරාජිතයින් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් පොන්සි ක්‍රීඩාවක් අවසන් වන්නේත් මේ ක්‍රමයටමයි.
ධනවාදී ක්‍රමයක් තුළ පොන්සි ක්‍රීඩා බිහි වීම ධනවාදී ක්‍රමයට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ විදිහට හැදෙන හෝ හදන පොන්සි ක්‍රීඩාවක් අවසන් වන යාන්ත්‍රනයද ධනවාදය තුළම තිබෙනවා. ආර්ථික අවපාත වලදී බොහෝ විට වෙන්නේත්, ධනවාදී ක්‍රමයක් තුළ බිහි වන පොන්සි ක්‍රීඩා කෙළවර වීමක් වැනි දෙයක්.
ධනවාදී බටහිර ලෝකයේ ආර්ථික අවපාතයක් ඇති වෙන හැම වෙලාවකම වගේ මෙය ධනවාදයේ කඩා වැටීමක් සේ සලකමින් සතුටු වන පිරිසක් ඉන්නවා. මේ පිරිස අතර සිටින හැමෝම සමාජවාදීන් නොවුනත්, සමාජවාදීන් සාමාන්‍යයෙන් ඉන්නේත් මේ කණ්ඩායමේ. එහෙත්, ආර්ථික අවපාතයක් කියා කියන්නේ ඇත්තටම ධනවාදය ස්ථාවර වෙමින් ඉදිරියට යන ක්‍රියාවලියේම කොටසක්.
ධනවාදයේ පාදක මූලධර්මයක් වන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක මිල තුළින් එහි සැබෑ වටිනාකම නිරූපණය විය යුතු බවයි. මිල බුබුලක් පවතින විට මෙය සිදු වන්නේ නැහැ. මිල බුබුලක් පිපිරෙද්දී වෙන්නේ අදාළ භාණ්ඩයේ මිල එහි සැබෑ වටිනාකම නිරූපණය වන පරිදි නිවැරදි වීමක්. ආර්ථික අවපාත හරහා වෙන්නේ කිසියම් ආර්ථිකයක සමස්තයක් ලෙස මිල මට්ටමේ තිබෙන වැරැද්දක් නිවැරදි වීමක්. එයට සමාන්තරව සාර්ව-ආර්ථික නිර්ණායක ගණනාවක තිබෙන "වැරදි" ආර්ථික අවපාතයකදී නිවැරදි වෙනවා. ආර්ථිකයක් "කඩා වැටීමේදී" වෙන්නෙත් මේ වගේම දෙයක්. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක සැබෑ තත්ත්වය සාර්ව-ආර්ථික නිර්ණායක වලින් පිළිබිඹු වීමක්.
වරින් වර ආර්ථික අවපාත පැමිණියත් ධනවාදී ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය වෙනවා. මේ වර්ධනය සිදු වන්නේ විද්‍යාවේ දියුණුවට සමාන්තරව කියා කියන්නත් පුළුවන්. විද්‍යාව කියා කියන්නේ බටහිර විද්‍යාව. ආර්ථිකයක් තුළ බුබුලක් හැදෙද්දී සිදු වෙන්නේ මේ විදිහට විද්‍යාවේ දියුණුවට සමාන්තරව "සැබෑ" වටිනාකම් ඉහළ යාම ඉක්මවා ආර්ථිකය වර්ධනය වීමක්. මේ වගේ දෙයක් සිදු වන අවස්ථාවක වර්ධනය සිදු වන්නේ සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් නිසාද නැත්නම් බුබුලක් හැදීම නිසාද කියන එක ඇතැම් විට ප්‍රායෝගිකව මතු වන ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථා වලදී, සැබෑවටම වටිනාකම් ඉහළ යාමක් ලෙස රජයක් විසින් පෙන්වන තත්ත්වයක් බුබුලක් බව පැහැදිලි වන්නේ බුබුල පිපිරුනාට පසුවයි.
ධනවාදී ආර්ථිකයක බුබුළු ඇති වීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක් වගේම ධනවාදී ක්‍රමය පිළිබඳව කනස්සළු වීමට කාරණයක් නෙමෙයි. එහෙත්, ධනවාදී ක්‍රමයක් තුළ බොහෝ දෙනෙකු විසින් අපේක්ෂා කරන දිගුකාලීන ආර්ථික වර්ධනය යම් හේතුවක් නිසා නවතිනවානම් හෝ කඩා වැටෙනවානම් එහි කනස්සළු විය යුතු කාරණයක් තිබෙනවා. බටහිර විද්‍යාවේ වර්ධනය යම් හේතුවක් නිසා නැවතුනොත් හෝ කඩා වැටුනොත් එය ධනවාදී ආර්ථිකයන්හි වර්ධනයට සෘජු බලපෑමක් කළ හැකියි.
බටහිර විද්‍යාව දිගින් දිගටම වර්ධනය වනු ඇති බවට අපට සහතිකයක් තිබේද? මෙය ප්‍රශ්න කරන විවිධ කණ්ඩායම් සිටිනවා. බටහිර විද්‍යාව දිනෙන් දින දියුණු වන බව අප බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරනවා. එහෙත් එය විශ්වාසයක් පමණයි. විද්‍යාව විසින් විසඳන ප්‍රශ්න වලට වඩා ඒ නිසා ඇති කරන ප්‍රශ්න වැඩි බව විශ්වාස කරන කණ්ඩායම්ද සිටිනවා. ඇතැම් පරිසරවාදීන් සිටින්නේ මේ ගොඩේ. මේ දවස් වල ඇතැම් එන්නත් විරෝධීන්ද මේ ගොඩට එකතු වී සිටිනවා.
විද්‍යාව විසින් අප පරම සත්‍යයක් කරා ගෙන යන බවට දාර්ශනික සහතිකයක් නැහැ. ඒ හේතුව නිසාම, ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන බව විශ්වාස කරන අයෙකුගේ එම විශ්වාසයට අභියෝග කළ හැකි දාර්ශනික පදනමක්ද නැහැ. එහෙත්, ඒ තත්ත්වය යටතේ වුවත් ධනවාදය හා සමාජවාදය කියන විකල්ප දෙක අතරින් ධනවාදය පහසු තෝරා ගැනීමක්. මොකද සමාජවාදයේ ඉලක්කය වන්නේද ධනවාදය ඉලක්ක කරන දිගුකාලීන සංවර්ධනයයි. ඒ ඉලක්කය කරා යාමේදී ධනවාදය වඩා කාර්යක්ෂමයි.
ලංකාව වෙත හැරුනොත්, ලංකාවේ ආර්ථිකයේ සිදු විය හැකි කඩා වැටීමකදී සිදු වන්නේ, හදා හෝ හැදී තිබෙන බුබුළු පුපුරා යාමක් පමණයි. එයින් දිගුකාලීනව රටට හෝ රටේ ජීවත් වන මිනිසුන්ට අයහපතක් වෙන්නේ නැහැ. කඩා වැටීමකින් පසුව සිදු විය හැක්කේ රට ඇත්තටම තිබෙන තැන සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිවැරදිව නිරූපනය වීමක් පමණයි.
පසුගිය කාලයේ ලංකාවේ සාර්ව-ආර්ථික නිර්ණායක වලින් නිරූපණය වූ ප්‍රගතිය සැබෑ ප්‍රගතියක්ද?
මා මේ ප්‍රශ්නය අසන්නේ ධනවාදය හරහා ලඟා කරගත හැකි දිගුකාලීන සංවර්ධනය සැබෑ ප්‍රගතියක් නොවන්නේය යන සංවර්ධන විරෝධී ආස්ථානයක සිටිමින් නෙමෙයි. මෙය එවැනි සැබෑ ප්‍රගතියක් ධනවාදය හරහා (මෙන්ම අඩු කාර්යක්ෂමතාවයකින් වුවත් සමාජවාදය හරහාද) ලඟා කර ගත හැකිය යන විශ්වාසය මත පදනම්ව අසන ප්‍රශ්නයක්. එසේනම්, මේ ප්‍රගතිය එවැනි සැබෑ ප්‍රගතියක්ද? සැබෑ ප්‍රගතිය ඉක්මවූ මායාවක් පෙන්වන බුබ්බුලයක්ද? එවැනි බුබ්බුලයක් ඇත්නම්, බුබ්බුලයට යටින් සැඟවී තිබෙන සැබෑ ප්‍රගතිය කොපමණද?
පහත පළමු වගුවේ ඔබට දැකිය හැක්කේ ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ වසර-1, වසර-5 හා වසර-10 බැඳුම්කර ඵලදා අනුපාතික සංසන්දනයක්.
සාමාන්‍යයෙන් ලංකාවේ රජය බැඳුම්කර වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික ඇමරිකාවේ එම අනුපාතික වලට වඩා 7-8% පමණ වැඩියි. එසේනම්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන බැඳුම්කර ඇමරිකාව විසින් නිකුත් කරන බැඳුම්කර වලට වඩා ආකර්ශනීය විය යුතුයි. එහෙත්, එය එසේ වන්නේ ඩොලරයක මිල ස්ථිරව තිබේනම් පමණයි. ඩොලරයක මිල සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යන නිසා ඇත්තටම ලැබෙන්නේ මීට වඩා අඩු ප්‍රතිලාභයක්. දෙවන වගුවෙහි ඔබට එම ඩොලර් ප්‍රතිලාභ දැකගත හැකියි.
විණිමය වෙනස්වීම් සැලකීමෙන් පසුවද ඇමරිකානුවෙකුට ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් ඇමරිකාවේදී ලබනවාට වඩා 2-3%ක පමණ ප්‍රතිලාභයක් ලැබිය හැකියි. මෙය ලංකාවේ ආයෝජනය කිරීමේ ඇති වැඩි අවදානම වෙනුවෙන් ඇමරිකානුවෙකු විසින් අපේක්ෂා කරන අධිභාරයයි. එම අවදානමේ කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස ශ්‍රී ලංකා රජය විසින් ණය පැහැර හැරීමේ අවදානමයි. දෙවැනි කොටස විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමයි.
සංකීර්ණ ආර්ථික ගැටළුවක් ඉතාම සරලව පැහැදිලි තිබෙනවා. තමගේ කාලය වැය කරගෙන මේසදහා වෙහෙස වීමට ස්තුත්යි.
ReplyDelete1997 Asian currency crisis එක ගැනත් ලිපියක් ඔබට පලකල හැකිද?
යෝජනාව පිළිබඳව ස්තුතියි! මේ අවස්ථාවේදී ලිවිය යුතු ප්‍රමුඛ කරුණු ගණනාවක් තිබෙන නිසා ඒ ගැන පසු අවස්ථාවක බලමු.
Deleteරා අරක්කු බිලා ගහ බැනගෙන ප්‍රශ්න විසදන්න බැහැ ඉකොනෝ මල්ලි.
Deleteරිදෙන්නේ නැතිවෙන්න වට්ටගන්න බැරිද?
ReplyDeleteIMF යාමේදී වෙන්නේ එවැනි දෙයක්. රිදෙන එක කොහොමටත් රිදෙනවා. IMF යාමේදී වැටෙන්නේ වැටෙන බව දැනගෙන. කඩා වැටීමකදී එය සිදු වන්නේ අනපේක්ෂිත මොහොතක.
Deleteසරල බසින් හා සරල උදාහරණ වලින් සංකීර්න කරුණු පැහැදිලි කිරීමට ඔබට ඇති හැකියාව විශිෂ්ඨයි.ඔබේ උත්සාහය අපතේ නොයනු ඇති.
ReplyDeleteචමින්ද මේක බලන්න
Deletehttps://www.facebook.com/newsrilankanews/videos/230423789275174/?app=fbl
මේකෙන් ඔබට මීට වඩා ගොඩාක් වටින දේවල් රැසක් තේරුම් ගන්න පුළුවන් වෙයි.
ක්‍රිප්ටෝ ගැන ඔබේ මතයත් එසේ නොවටිනා මිලක් ගෙවා යම් භාණ්ඩයක් හෝ වත්කමක් මිල දී ගන්නේම මිල බුබුල කඩා වැටෙන්න කලින් වෙනත් අයෙකුට අදාළ භාණ්ඩය හෝ වත්කම විකුණා ලාබයක් ලැබීමේ අරමුණින් කියන එක ද?
ReplyDeleteක්‍රිප්ටෝ බිහිවන හා ජනප්‍රිය වන සන්දර්භයක් තිබෙනවා. ඒ සන්දර්භය තුළ ක්‍රිප්ටෝ ජනප්‍රිය වෙන්නේ සමපේක්ෂණ අරමුණකින් නෙමෙයි. නමුත්, අද වෙද්දී මා දන්නා 99%ක්ම ක්‍රිප්ටෝ ගන්නේ ඉක්මණින් පෝසත් වෙන්න. එහි තිබෙන්නේ සමපේක්ෂණ අරමුණක්. කිසියම් දෙයක මිල වැඩි වෙන්නේ සමපේක්ෂණය නිසාමනම් යම් මොහොතක එය කඩා වැටෙනවා. නමුත් ක්‍රිප්ටෝ ඩොලර්, පවුම්, රුපියල් වැනි ෆියට් මුදල් වලට ආදේශකයක් ලෙසද කටයුතු කරනවා. මුදල් වලට තිබෙන ඉල්ලුම සැබෑ ඉල්ලුමක්. ලොව පුරා ආණ්ඩු වගකීමක් නැතිව ඩොලර්, පවුම්, රුපියල් අච්චු ගහද්දී නිරපේක්ෂ වටිනාකමක් නැති ක්‍රිප්ටෝ වල සාපේක්ෂ වටිනාකම ඉහළ යනවා. මේ කොටස ඉක්මණින් කඩා වැටෙන්න හේතුවක් නැහැ. ඒ නිසා ක්‍රිප්ටෝ වලින් යම් සීමාවක් දක්වා සල්ලි හොයන්න පුළුවන්. නමුත්, දිගුකාලීනව වෙනත් තරඟකාරී ආයෝජනයකින් හොයනවාට වඩා විශාල ප්‍රතිලාභයක් ලබන්න බැහැ. ක්‍රිප්ටෝ නිකුත් කළ අයට හා මුලින්ම සම්බන්ධ වූ අයට පමණක් කිසිවෙකු නොදැනම විශාල ධනවතුන් විය හැකියි. සාමාන්‍ය පොන්සි ක්‍රීඩාවක සිදුවන දෙයමයි.
Delete//
ReplyDeleteමේ ක්‍රීඩාව ආරම්භ කළ රාජපක්ෂලා තවමත් උත්සාහ කරන්නේ කවුරු හෝ අලුත් ක්‍රීඩකයින් පිරිසක් බඳවා ගෙන පොන්සි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න//
මේ game එකේ ක්‍රීඩකයන් කියන්නේ විදෙස් ආයෝජකයන්ට ද? එසේ නම් ඔවුන් ලංකාවට dollars ගේන්නේ මේක කොයි වෙලේ හරි කඩන් වැටෙනවා කියල නොදැන වෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි නේද?
ඉතා පැහැදිලිවම. මා විස්තර කරන්න උත්සාහ කළේ මෙයයි. ලංකාවට සල්ලි ගේන විදේශ ආයෝජකයින් එසේ කරන්නේම මෙය කොයි වෙලේ හෝ කඩා වැටෙන බව දැනගෙන, අවදානම අරගෙනයි. කඩා වැටීම යනුවෙන් මා අදහස් කරන්නේ විණිමය අනුපාතය ස්ථිරව තබා ගැනීමට කෙසේවත් නොහැකි වීම. ලංකාවට සල්ලි ගේන්නේ ආයෝජකයන් අතර සිටින සුදූකරුවෝ. කඩා වැටීමේ අවදානම ඉහළ යද්දී ඔවුන් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ක්ෂණිකව ආයෝජන ඉවත් කර ගන්නවා. ඉතා කෙටි කාලයක් තුළ ඩොලරයේ මිල විශාල ලෙස ඉහළ යන්නේ ඒ වගේ අවස්ථා වලදී. පාඩුව වෙන්න කලින් සල්ලි ඉවත් කරගෙන නිසා ආයෝජකයින්ට මෙයින් පාඩුවක් වෙන්නේ නැහැ. පාඩුව තනිකරම ලංකාවේ රජයට. ඉන් පසුව, යම් කාලයකට නැවත ඩොලරය වෙනත් මට්ටමක ස්ථාවර වෙනවා. අර ආයෝජකයෝ නැවතත් සල්ලි දානවා. අවදානම ගත්තත් මේ සෙල්ලමෙන් ඔවුන් දිගින් දිගටම දිනනවා. දිගින් දිගටම පරදින්නේ ලංකාවයි. මොකද කාලයක් තිස්සේ ටිකෙන් ටික ඩොලරයේ මිල ඉහළ යාම වලක්වා ගෙන හිටියත් ඉහළ යා හැකිව තිබුණු ප්‍රමාණය එකවර ඉහළ යනවා. අන්තිමේදී ඩොලරය කොහොමටත් ඉහළ ගිහින්. එහිදී එළුවාගේ හිසත්, මුට්ටියත් දෙකම නැති වෙනවා. ඒ වගේම ඉන්දියාව හා චීනය පැත්තක සිට මෙහි වාසිය ගනිමින් බඩු විකුණා ගන්නවා. ඔවුන් මේ ක්‍රමය නඩත්තු කරන්න උදවු කරන්නේ ඒ නිසා. මේ වැඩෙන් බටහිර ආයෝජකයන්ට වගේම ලංකාවට බඩු විකුණන ඉන්දියාව හා චීනය වැනි රටවලුත් වාසි ගන්නවා. දෙපැත්තෙන්ම පාඩුව ලංකාවටයි.
Deleteබටහිර ආයෝජකයො බටහිරම අයද?
Deleteප්‍රශ්නය පැහැදිලි මදි. ආයෝජකයින් ලොව පුරාම විසිරී සිටින පිරිසක්. මේ කතාව බටහිර නොවන ආයෝජකයන්ටත් වලංගුයි.
Deleteජෝර්ජ් සෝරෝ කළේ ඔය වැඩේ නේද? (බ්‍රිතාන්‍යය ට සහ සමස්තයක් වශයෙන් යුරෝපයට )පවුමට කෙලියේ
Deleteමෙය සිදු වුනේ බ්‍රිතාන්‍යය විසින් ලංකාව දැන් කරන වැරැද්දම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස. ඒ වන විට බ්‍රිතාන්‍යයේ උද්ධමනය යුරෝපීය සංගමයට වඩා ඉහළ මට්ටමක තිබුණේ. ඒ කියන්නේ පවුම ඇත්තටම බාල්දු වෙලා. නමුත්, බ්‍රිතාන්‍යය යුරෝ එකට පැරදී පසුබසින්න කැමති නැති නිසා කෘතීම ලෙස පවුම උඩින් තියා ගෙන සිටියා. ඒ වගේම මෙසේ කිරීමෙන් යුරෝපීය සංගමයෙන් අඩු මිලට ආනයනය කරලා බ්‍රිතාන්‍යයේ උද්ධමනය කෘතීම ලෙස පහළින් තියා ගත හැකි වීමේ වාසියත් තිබුණා. නමුත් මේ වැඩෙන් වුනේ බ්‍රිතාන්‍යයේ අපනයන තරඟකාරීත්වය නැති වී පවුම තවත් දුර්වල වෙන එක. සෝරෝස් කළේ මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්න එක. මේ සඳහා සෝරෝස් වැනි අයෙකු අවශ්‍ය වුනේ බ්‍රිතාන්‍ය පවුම ඉතා ශක්තිමත් නිසා. එසේ නැත්නම් ස්වභාවිකව වුනත් පවුම වැටෙනවා. රුපියල වට්ටන්න ඒ තරම් ලොකු සල්ලියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එය මේ වගේ තත්ත්වයක් යටතේ නිකම්ම වැටෙනවා.
Deleteඅපි සොරෝස් කතාව ලංකාවට ආදේශ කරමු. කවුරු හෝ කෙනෙක් ලංකාවේ බැංකු වලින් විශාල ලෙස රුපියල් ණය ගන්නවා. අපි කියමු රුපියල් බිලියන 200ක් කියලා. පොලිය 10%ක් කියා කියමු. ඊට වඩා වැඩි වුනත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒ රුපියල් ගෙවා ඩොලර් බිලියනයක් ගන්නවා. (මෙය ලංකාවේ වත්මන් සන්දර්භයේ එලෙසම කළ නොහැකියි) දැන් එක පාරටම වෙළඳපොළේ විශාල ඩොලර් හිඟයක් ඇති වෙනවා. මහ බැංකුවට ඩොලර් එකේ මිල ආරක්ෂා කරන්න තරම් සංචිත නැති නිසා ඩොලර් එක 250 කරන්න වෙනවා. එවිට ඩොලර් වලින් මිලියන 800ක් විකුණා අර ණය ගෙවන්න පුළුවන්. පොලිය විදිහටත් තව පොඩි ගාණක් ගෙව්වට පස්සේ ඉතිරි ඩොලර් ටික ලාබ. වැඩේට අතින් සතයක්වත් ගිහින් නැහැ. පුළුවන්කම තිබෙන ලංකාවේ බොහෝ දෙනෙකුත් ණයට ඩොලර් අරගෙන තියෙන්නේ ඔය වාසිය බලාගෙන. රජයේ නොවන විදේශ ණය ඉහළ යන්නේ (වෙනත් හේතුද සමඟ) මේ හේතුව නිසා. ලංකාවේ සන්දර්භයේ විදේශිකයන් කරන්නේ ඕකේම අනෙක් පැත්ත. ඔවුන් රුපියල් තියාගෙන ඉඳලා ඩොලරය වැඩි වෙන්න ඔන්න මෙන්න තියෙද්දී විකුණනවා.
//ඔවුන් රුපියල් තියාගෙන ඉඳලා ඩොලරය වැඩි වෙන්න ඔන්න මෙන්න තියෙද්දී විකුණනවා.//
Deleteවිදේශිකයො රුපියල් ගන්නෙ කොහොමද?
ඉහත ප්‍රශනයටම එකතුවක්.
Deleteවිදෙශිකයින්ගෙ ඩොලර් -> ලන්කාවෙ බැන්කුවකින් රුපියල් වලට කන්වර්ට් -> ලන්කාවෙ රුපියල් බැඳුම්කර මිලට ගැනීම -> රුපියල් පොලිය ඩොලර් වලට කන්වර්ට් (ලාබය) -> ඩොලර් එක ඉහලයනව වගේනම් බැඳුම්කරේ විකුනල දාල මුලු මුදලම ඩොලර් වලට කන්වර්ට්.
ප්‍රතිචාර දෙක දෙදෙනෙකුගේ කියා හිතනවා. උඩ ප්‍රශ්නයට පිළිතුර යට තිබෙනවා.
Deleteතවත් පොඩි එකතුවක් විදිහට, ඩොලර් එක එක තැනනම් කරන්නේ දිගින් දිගටම මුල් මුදල හා පොලිය රුපියල් බැඳුම්කර වල නැවත නැවත ආයෝජනය කරමින් පොලිය එකතු කරන එක. කවදා හෝ නැවත බැඳුම්කර විකුණලා රුපියල් සියල්ල ඩොලර් කර ආපහු ගෙනියන්නේ ඩොලර් එක ඉහළ යන බව පේන කොට. ඩොලර් එක ඉහළ ගියාට පස්සේ නැවත ඩොලර් රුපියල් කරලා පරණ සෙල්ලමම කරගෙන යන්න පුළුවන්.
Deleteනෑ. එකම ඇනෝගෙ. මට පැහදිලි කරගන්න ඕන උනේ මේක මෙහෙමද වෙන්නෙ කියන එක
Deleteසිතුති
ඔව්. ඔබ හරි!
Deleteලන්කාවට ඩොලර් එවනල රුපියල් කරගන්න පුකුවන් උනාට , ලාබය රුපියල් වලින් ඩොලර් කරගන්න අමාරුයි නේද? අනික ඩොලර් රටින් පිට කරන්න දෙන්නෙ නෑ නේද?
Deleteමම දන්නා තරමින් රාජ්‍ය සුරැකුම්පත් වල හෝ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන විදේශිකයන්ට රුපියල් නැවත ඩොලර් කර ආපහු ගෙනියන්න පුළුවන්. එයට ඉඩ නොදෙන්නේනම් කිසිවකු මේ ආයෝජන කරන්නේ නැහැ. විදේශිකයන්ට මේ වෙළඳපොළවල් විවෘත කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ආයෝජන ආපසු ගෙනයාමේ අවස්ථාවද ලබාදීමක්.
Deleteපිටරටින් ගේන ඩොලර් මෙරට බැන්කුවකින් මාරු කරල ඒව රුපියල් බැඳුම්කරවල ආයෝජනය කරන මොහොතේ ඒව සැලකෙන්නෙ දේශීය ආයෝජනයක් ලෙස නෙමෙයිද? කොහොමද එකම රුපියල් බැඳුම්කර වල ආයෝජනය කරන කොටසක් විතරක් විදේශිකයන් ලෙස හඳුනාගන්නෙ?
Deleteලංකාවේ මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය ගැන මෑතකදී සොයා බලා නැති නිසාත්, ලංකාවේ මේ රෙගුලාසි නිතර වෙනස් වන නිසාත් මගේ පිළිතුර හරියටම නිවැරදි නොවිය හැකියි. දළ වශයෙන් වෙන්නේ මේ වගේ දෙයක්. ලංකාවේ ආයෝජනය කරන්න කැමති විදේශිකයෙක් ඒ සඳහා විශේෂ ගිණුමක් ආරම්භ කළ යුතුයි. රුපියල් වෙන්නේ ඒ ගිණුමට විදේශයක සිට එවන ඩොලර්. සුරැකුම්පත් කල් පිරුණු පසු මුල් මුදල හා පොලියද ඒ ගිණුමටම එනවා. එසේ ලැබෙන රුපියල් හා විදේශයක සිට එවන ඩොලර් විකුණා ලැබෙන රුපියල් හැර වෙනත් රුපියල් ගිණුමට දමන්න බැහැ. ඒ නිසා, ගිණුමේ රුපියල් වලින් තිබෙන්නේ රටට ගෙන ආ ඩොලර් හා ඒ ඩොලර් සඳහා ප්‍රතිලාභ. මේ විශේෂ ගිණුමේ තිබෙන රුපියල් ඩොලර් කළ හැකියි. (ඩොලර් කර ආපසු ගෙන යා හැකියි) එමෙන්ම එම ආයෝජනද වෙනම හඳුනා ගත හැකියි. කොහොමටත් විදේශ ආයෝජන හඳුනා ගන්න එකනම් ඉතාම පහසුයි. රාජ්‍ය සුරැකුම්පත් ගන්න වගේම කොටස් මිල දී ගන්න ගිණුමක් අරිද්දීත් ඉල්ලුම්පත්‍රයේ විදේශිකයින් වෙනම හඳුනා ගැනෙනවා.
Deleteකඩන් වැටෙන්න කලින් අල්ලගමු.
ReplyDeleteසීල් භාගයක්, පාර දෙපැත්තේ.
//ධනවාදී බටහිර ලෝකයේ ආර්ථික අවපාතයක් ඇති වෙන හැම වෙලාවකම වගේ මෙය ධනවාදයේ කඩා වැටීමක් සේ සලකමින් සතුටු වන පිරිසක් ඉන්නවා// ඔය කතාව අපේ සමාජවාදියෝ නිතර කියන එකක් නේ. ඊයේ පෙරේදත් දැක්ක. දැන් එන ආර්ථික අවපාතයට ධනවාදයේ විසඳුමක් නැත. කඩා වැටෙන්නට ආසන්නය කියල. මම නම් හිතන්නේ අවපාතයන් ඇතිවෙන ගමන් ධනවාදය ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙනවා කියල. අනාගතයේ කිසයම් අවස්ථාවක එය සමාජවාදය වෙතට එහෙම නැත්නම් එවන් සමාජ ක්‍රමයකට දෝලනය වෙන්න පුළුවන් අතිශයින් දියුණු තත්වයකදී. මම හිතන්නේ එහෙමයි.
ReplyDeleteමේ කතාවට තවත් එකතු කරනවානම් මම එංගලන්තයට මුලින්ම ආවේ 1984. දැන් ඔය කාලය තුර ජවිපෙ , පෙසපේ යහළුවෝ සෑහෙන ප්‍රමාණයකුත් අඳුන ගත්ත. ඉන් කෙනෙකු දෙදෙනෙකු හැරෙන්න අනික් අය හැමෝගෙම ජිවිත හොඳයි. ධනවාදය දියුණු වනකොට මධ්‍යම පන්තිය දියුණු වෙන්ව. අද වෙනුවට 60% මධ්‍යම පන්තියේ කියත හැකි. ඉතින් ඊයේ පෙරේද මගේ පෙසපේ යාළුවෙක් ගෙන් ඇහුවා ඔයාගේ පෞද්ගලික දියුණුව එක්කත් බැලුවහම ධනවාදය කඩා වැටිලද ඔයා දියුණු වෙලාද කියල. පෞද්ගලික ඒවා ගැන කතා කරන එක ඔට්ටු නැහැ කීව. ධනවාදය වැටෙන්න ඔන්න මෙන්න ලු. මමත් සමාජවාදියෙක් හැබැයි. මම කැමතියි මිනිස්සු වැඩි ප්‍රමාණයකට සශ්‍රිකත්වය බෙදිලා යනවනම්.
Deleteහත්තික්කේ පොන්සි වැඩේ යනෙන දුර
ReplyDeleteමෙතරම් කියල හැඟුනෙම නෑ කිසිම වර
ලෙඩා මළත් බඩ සුද්දයි කියා පුර-
සාරම් දොඩන දවස නැතේ වාගෙ දුර!
Economatta,
ReplyDeleteWhat do you think about this fake propaganda stuff seems to be emphasised by stupid brainless bayya morons?
//University of Moratuwa and Dhammika & Priscilla Perera Foundation take first steps in building a skilled ICT workforce
Article Link - https://www.ft.lk/it-telecom-tech/University-of-Moratuwa-and-Dhammika-Priscilla-Perera-Foundation-take-first-steps-in-building-a-skilled-ICT-workforce/50-729224//
It seems like fake show off isn't it? I don't think SL could do anything on IT sector compared with global giants like India etc.?
No matter whatever the intentions and outcomes, this is a good initiative. DP spends a part of his wealth voluntarily on a project which can potentially be beneficial to many others.
Deleteඅවුරුදු කිහිපයකට පසු මං ඊයේ දුරකථන ඇප් එකක් මගින් ලංකාවේ ගුවන් විදුලි නාලිකා කීපයකට සවන් දුන්නා. ඉන් එක් නාලිකාවක් වෙළඳ දැන්වීම් සහිත එකක්. ඒ අවස්ථාවේ දී තමයි මං දැන ගත්තේ ඉස්සර සෙනසුරාදා දිනුම් ඇදපු, පසුව සෙනසුරාදාට අමතරව බදාදාත් දිනුම් ඇදපු "ශනිදා වාසනාව" දැන් සතියේ දවස් හතම දිනුම් අදින බව. ඊට අමතරව තවත් ලොතරැයි ගණනාවක් ගැනත් දැන්වීම් ප්‍රචාරය වුණා.
ReplyDeleteඑම වැඩසටහන ඉදිරිපත් කළ නිවේදිකාව ම ඇඩ්වටෝරියල් එකක් ලෙස රඟපාමින් කියූ දෙයකින් මට තේරුණේ මුං මේ ලොතරැයි මාකට් කරන්නේ මිනිස්සුන්ගේ නැතිබැරිකමට ඇති එක් පිළියමක් ලෙසට බව.
ඕක. මුල සිටම කරපු සෙල්ලමක්. ලොතරැයි වලින් සිදු වන දේ ගැන අවබෝධයක් නැති සහ මාධ්‍ය හරහා හිතන්න ඉගෙන ගන්න දුප්පත් මිනිස්සු අහුවෙනවා.
Deleteමම හිතන්නේ දැන් ලංකාවේ ලොතරැයි 20ත් වඩා තියෙනවා. සමහරු ඒවා මිලදී ගන්නේ විකුනන්න එන මනුස්සයා ගැන තියෙන දුකට. එක්කෝ අබාදිතයෙක්, එහෙම නැත්නම් ළමයෙක් වඩන් යන ගැහැණු කෙනෙක්. ඒ මිනිස්සුන්ගේ දුප්පත් කම වෙළද නියෝජිතයෝ ඉල්ලමක් කරගෙන. මමනම් කරන්නේ පුළුවන් වෙලාවට ටිකට් ගන්නේ නැතුව ඒ මිනිස්සුන්ට කීයක්හරි දෙන එක.
Deleteඕවට ආණ්ඩුවෙන්/අයවැයෙන් සල්ලි වෙන් කරන්නෙත් නැති එකේ, ඕව ඔක්කොම නඩත්තු වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන් ගන්න ටිකට් වල සල්ලි වලින් නේද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි.