වෙබ් ලිපිනය:

Friday, February 12, 2021

දැය දියුණට පැද යන නැවියා


කලින් ලිපියක මම සංවර්ධන ආර්ථික විද්‍යාවේදී යොදා ගන්නා සොලෝ ආකෘතිය පිළිබඳව විස්තර කළා. වෙනත් ඕනෑම ආකෘතියකින් කරනවා වගේම මේ ආකෘතියෙන් කරන්නෙත් අපට විශ්ලේෂණය කරන්න අවශ්‍ය කරුණට අවධානය යොමු කිරීම පහසු කරමින් අවශේෂ දේවල් අයින් කරලා සරල ආකෘතියක් ඇසුරෙන් පවතින හෝ පැවතිය හැකි තත්ත්වය විග්‍රහ කරන එක. ඒ කියන්නේ ආකෘතිය ඇතුළේදී අවශේෂ කරුණු නොවෙනස්ව තිබෙන සේ සලකමින් හදාරන්න අවශ්‍ය ප්‍රධාන කරුණ හැදෑරීම.

සොලෝ ආකෘතිය රටක ආර්ථික වර්ධනයට ප්‍රාග්ධනය බලපාන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න උපයෝගී කර ගන්න පුළුවන්. මේ ආකෘතිය තවත් දේවල් පැහැදිලි කරන්නත් යොදා ගත හැකියි. එහෙත්, මම ප්‍රධාන වශයෙන්ම මෙය යොදා ගන්නේ ඉහත කරුණ පැහැදිලි කරන්න. මේ ආකෘතිය ඉදිරිපත් කිරීමේදී මම කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගත්තා. එය පැහැදිලි කිරීමේ පහසුවට කළ දෙයක්. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා නොගෙන වුවත් සොලෝ ආකෘතිය ඉදිරිපත් කරන්න පුළුවන්. 

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය හා නිෂ්පාදිතය අතර සම්බන්ධය පැහැදිලි කරන්න. නිෂ්පාදනදී බිහිවන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු සාධාරණ ක්‍රමය කුමක්ද කියන එක පිළිබඳ ධනවාදී අදහස ගැනත් මෙම මේ ශ්‍රිතය ආශ්‍රයෙන් පැහැදිලි කළා. එහෙත්, ඒ පැහැදිලි කිරීම කරන්නත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය අවශ්‍ය වන්නේ නැහැ. එය යොදා ගත්තේ පැහැදිලි කිරීමේ පහසුවට. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගෙන නිෂ්පාදනදී බිහිවන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු සාධාරණ ක්‍රමය කුමක්ද කියන එක පිළිබඳ සමාජවාදී අදහස වුවත් විස්තර කළ හැකියි. 

අතිරික්තය සාධාරණව බෙදිය යුතු ආකාරය පිළිබඳ ධනවාදී අදහස අනුව ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබා දෙන අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබා දෙන අයටත් හිමි විය යුතුයි. තරඟකාරී වෙළඳපොළක් ඇති විට කිසිවෙකුගේ මැදිහත්වීමක් නැතිවම ඒ බෙදීම නිවැරදිව සිදු වෙනවා. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගනිමින් මම ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් වෙන් විය යුතු කොටස් ගණනය කර පෙන්වූවා. 

ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය = ∂Y/∂L = (1-α)Y/L

ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය = ∂Y/∂K = αY/K  

මාක්ස්වාදී අදහස වන්නේ අතිරික්තයෙන් කොටසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස වෙන් කිරීම අසාධාරණ බවයි. ඒ අදහස අනුව අතිරික්තය මුළුමනින්ම ලැබෙන්නේ ශ්‍රමය ලබා දෙන අයටයි. මේ අනුව සමාජවාදී බෙදීමකදී ශ්‍රමිකයෙකුට Y/L කොටසක් හිමි වෙනවා. α<1 නිසා (1-α)Y/L < Y/L බව පැහැදිලියිනේ. මේ අනුව, සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ධනවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙනවාට වඩා ප්‍රතිලාභ හිමි විය යුතුයි. එහෙමනම් එය එසේ නොවන්නේ ඇයි? 

රටේ සමස්ත නිෂ්පාදිතය එකම මට්ටමේ තිබේනම් සමාජවාදී බෙදීමකදී ශ්‍රමිකයෙකුට වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. α = 1/3 ලෙස සැලකුවොත්, සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් Y/L ප්‍රතිලාභයක් ලැබෙන විට ධනවාදී රටක ශ්‍රමිකයෙකුට එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් ලැබෙන්නේ ඊට වඩා 33%ක් පමණ අඩුවෙන්. හැබැයි මේ කතාව හරියන්නේ රටවල් දෙකේම නිෂ්පාදිතය, එනම් Y අගය, සමාන මට්ටමක තිබුනොත් පමණයි. ධනවාදී ක්‍රමය යටතේ මොනයම් හෝ ආකාරයකින් Y අගය 50%කින් වැඩි වුනොත් ධනවාදී රටේ ශ්‍රමිකයාට සමාජවාදී රටේ ශ්‍රමිකයාට ලැබෙන ප්‍රතිලාභයම ලැබෙනවා.

ධනවාදී රට: w = (1 - 1/3)*1.5Y/L = Y/L

සමාජවාදී රට: w = Y/L

මේ තත්ත්වය යටතේදී ධනවාදී රටේ නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් ප්‍රාග්ධනය ලබා දෙන අය වෙනුවෙන් වෙන් කළාට පසුවත් ශ්‍රමිකයාට ලැබෙන කොටස සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙන කොටසට සමානයි. යම් ආකාරයකින් ධනවාදී රටේ නිෂ්පාදිතය 50%කට වඩා වැඩිනම් ධනවාදී රටේ ශ්‍රමිකයාට සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙනවාට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. 

අපි මේ 50% කියන එක හදාගත්තේ  α = 1/3 ලෙස සලකලානේ. සාධාරණ ප්‍රකාශනයක් ලෙස මෙය ඉදිරිපත් කළොත් ධනවාදී රටේ නිෂ්පාදිතය සමාජවාදී රටේ නිෂ්පාදිතයට වඩා අඩුම වශයෙන් 1/(1-α) ගුණයක් වුනොත් අපට මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. 

දැන් අපි නැවතත් සොලෝ ආකෘතියට යමු. සොලෝ ආකෘතිය අනුව ස්ථායී තත්ත්වයකදී යම් රටක එක් ශ්‍රමිකයෙකු විසින් සිදු කරන නිෂ්පාදිතය (y* අගය) තීරණය වන්නේ A, α, δ, s යන සාධක මතයි. මේ විචල්‍යයන් අතර සම්බන්ධතාවය පහත ආකාරයේ එකක්.

y* = Y*/L = (A)1/1-α(s/δ)α/1-α 

ධනවාදී රටක ශ්‍රමිකයෙකුට ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා වැඩි වෙන්නනම් ධනවාදී රටේ y* අගය සමාජවාදී රටේ එම අගය මෙන් අඩුම වශයෙන් 1/(1-α) ගුණයක් විය යුතුයි. මෙහි α අගය ධනවාදී රටේ α අගයයි. සමාජවාදී රටේ α අගය මේ සංසන්දනය සඳහා වැදගත් නැහැ. ඇමරිකාවේ මේ අගය කාලයක් තිබුණේ 0.33 මට්ටමේ. දැන් 0.38 මට්ටමට කිට්ටුයි. α වැඩි කර ගැනීම සාර්ථක ක්‍රමයක් වුවත් එයින් අතුරු ප්‍රශ්නද ඇති වෙනවා. විරැකියාව ඉහළ යාම එවැනි එක ප්‍රශ්නයක්. 

මෙය කළ හැක්කේ A, α, δ, s යන සාධක වලින් එකක් වෙනස් කිරීම මගිනුයි. α හෝ A වැඩි කරනවා කියා කියන්නේ නිෂ්පාදන තාක්ෂනය වඩා කාර්යක්ෂම ලෙස වෙනස් කරනවා කියන එක. δ අඩු කිරීම කියන්නේ ප්‍රාග්ධනය ක්ෂය වීම අඩු කර ගැනීම. s වැඩි කිරීම කියා කියන්නේ ඉතිරි කිරීමේ අනුපාතය වැඩි කිරීම.

ඕනෑම ආකාරයක ප්‍රාග්ධන ආයෝජනයක් ක්ෂය වෙනවා කියන එක සාමාන්‍ය කරුණක්. අවුරුදු තුන හතරක් යද්දී පරිගණයකින් තව දුරටත් වැඩක් නැහැ. පාලමක් හෝ අධිවේගී මාර්ගයක් වසර තිහක් හතලිහක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විය හැකි වුවත් ඒ අතරවාරයේ නඩත්තු කිරීම් කළ යුතුයි. ගොඩනැගිල්ලක්, වාහනයක් හෝ යන්ත්‍ර සූත්‍ර ගත්තත් ඒවාට ජීවිත කාලයක් තිබෙනවා. ඒ නිසා, මේ δ අගය අඩු කළ හැකි සීමාවක් තිබෙනවා. ඒ වගේම, තාක්ෂනය අලුත් කිරීම කියන ක්‍රියාවලිය ඇතුළේම පවතින ප්‍රාග්ධනය යම් තරමකින් විනාශ කිරීමක්ද අවශ්‍ය වෙනවා. 

ක්ෂය වීමේ අනුපාතය වැඩි වෙන්න වෙනත් හේතුද බලපානවා. යුද්ධ වගේම නාස්තිය හා දූෂණය හේතුවෙනුත් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා. ඒ වගේ හේතු මත ක්ෂය වන ප්‍රාග්ධනය ඉතුරු කරගෙන δ අගය යම් තරමකින් අඩු කරගන්න පුළුවන්. එසේ කිරීමෙන් ආර්ථිකය යම් තරමකින් ඉදිරියට තල්ලු කරන්න පුළුවන්. හැබැයි මෙය කළ හැකි සීමාවක් තිබෙනවා. දිගින් දිගටම කරන්න බැහැ. උතුරේ යුද්ධය අවසන් වී වසර කිහිපයක් යන තුරු ලංකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වුනේ  δ අගය අඩු වූ නිසා. ඇමරිකාවේ δ අගය 0.05 පමණ වෙනවා.

ඉතිරි කිරීමේ අනුපාතය වැඩි කර ගැනීමෙන්ද ආර්ථිකය ප්‍රසාරණය කර ගන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල් කාලයක් වේගයෙන් වර්ධනය වුනේ s විශාල ලෙස වැඩි කරගත් නිසා. දැනටත් එම රටවල වගේම ලංකාවේද ඉතිරි කිරීමේ අනුපාතය ඇමරිකාවේ එම අනුපාතයට වඩා වැඩියි. කෝවිඩ් නිසා ඇමරිකාවේ s විශාල ලෙස ඉහළ ගොස් තිබුණත් එය තාවකාලික තත්ත්වයක් පමණයි. නමුත්, s වැඩි කර ගැනීම හරහා ආර්ථිකය ප්‍රසාරණය කළ හැක්කේද යම් සීමාවක් දක්වා පමණයි. 

අවුලක් නැතුව ආර්ථිකයක් වේගයෙන් දිගින් දිගටම වර්ධනය කර ගත හැකි පහසුම ක්‍රමය A වැඩි කර ගැනීමයි. එයට සීමාවක් නැහැ. අද හොඳ මට්ටමක තිබෙන රටවල් ඒ තැන් වල තිබෙන්නේ එම රටවල A අගය ගොඩක් වැඩි නිසයි. රටක් දියුණුව කරා පැදවිය හැකි මාර්ගය වැටී තිබෙන්නේ A අගය වැඩි කර ගැනීම හරහා.

8 comments:

  1. 'දැය දියුණට පැද යන නැවියා '

    නාවිකයා හැමදාම තරුණයි
    නාවිකයා හැමදාම වතුරේ
    නාවිකයා කවදාවත් වයසට යන්නේ නැහැ
    නාවිකයා කාලය සමග වියැකී යනවා පමණයි..

    ReplyDelete
  2. ඇත්තටම ඉකොනොමැට්ටා මෙන්න මේ පහළ ලින්ක් එකේ කියැවෙන ඉකොනොමික් සංවර්ධන මොඩල් එක, නිදහස් වෙළඳ පොළ ක්‍රමය අලුතින් ප්‍රතිනිර්මාණය කිරීමේ අදහස් සමග ඔබ එකඟ නොවන බව සිතිය හැකියි. නමුත් මේ පිළිබඳව ඔබේ අදහස් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි නේද?


    https://youtu.be/qw-FLc7Z01Q

    ReplyDelete
    Replies
    1. //නිදහස් වෙළඳ පොළ ක්‍රමය අලුතින් ප්‍රතිනිර්මාණය කිරීමේ අදහස් සමග ඔබ එකඟ නොවන බව සිතිය හැකියි.//

      ඔය කියන "වෙනස්" ක්‍රමයේ එකඟ නොවෙන්න තරම් අමුතු දෙයක් නැහැ වගේම මෙහි ඔය කියන විදිහේ ධනවාදය ප්‍රතිනිර්මාණය කිරීමකුත් නැහැ. එහෙම කියන කෙනෙක් එසේ කියන්නේ මිල්ටන් ෆ්‍රීඩ්මාන්ව හෝ නිදහස් වෙළඳ පොළ ක්‍රමය හරියට තේරුම් නොගෙන. stakeholder capitalism වගේ අලුත් වචනයක් දැම්මත් ඕකේ තියෙන්නෙත් profit maximizationම තමයි. පොඩි උදාහරණයක් ගත්තොත් ලංකාවේ ඇඟලුම් කම්හලක බාලවයස්කාර දරුවන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන්නවා කියා ඇමරිකාවේ පාරිභෝගිකයෝ දැනගත්තොත් ඒ කම්හලේ හදන ඇඟලුම් වලට ඉල්ලුම අඩු වෙලා ලාභ අඩු වෙනවා. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් කම්හලට බාල වයස්කාර ශ්‍රමිකයින් බලහත්කාරයෙන් වැඩට යොදා ගෙන ලාබ වැඩි කරගන්න බැහැ. ඔය හේතුව නිසා සමාගමකට පරිසරය ගැන, සමාජය ගැන හිතන්න වෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ ලාභ වැඩි කර ගැනීමේ අරමුණ ඇතුළේ. ධනවාදයේ මූලික ස්වභාවය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. පාරිභෝගික රුචිකත්වත්වන් වෙනස් වෙද්දී ලාභ වැඩි කර ගැනීම සඳහා ඔවුන්ව සතුටු කිරීමට කළ යුතු දේවල් වෙනස් වෙනවා. නැත්නම් ලාබ අහිමි වෙනවා. කොටස්හිමිකරුවන්ට පාඩු සිදු වෙනවා. සමාගමක් අනෙක් ඕනෑම පාර්ශවයක් ගැන හිතන්නේ එසේ සිතීමෙන් කොටස්හිමිකරුවන්ගේ ලාබ වැඩි වන නිසා. එහෙම නැතුව කොටස්හිමිකරුවන්ගේ ලාබ අඩු කරගෙන පරිසරය ගැන හෝ සමාජය ගැන හිතීමක් නෙමෙයි. ධනවාදය කියන්නේ මිනිස්සුන්ව සතුටෙන් තැබිය හැකි ක්‍රම හොයන විදිහක්. මින්ස්සු සතුටු වන දේවල් වෙනස් වෙද්දී ධනවාදය තුළ ලැබෙන ප්‍රතිඵල ස්වභාවික ලෙසම වෙනස් වෙනවා. එය සිදු වන්නේ ලාබ වැඩිකර ගැනීමේ අරමුණ හා තරඟය නිසා. ඒ නිසා වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න ධනවාදය අලුතින් ප්‍රතිනිර්මාණය කරන්න දෙයක් නැහැ. හොඳ දේ කියා මිනිස්සු හිතන දේවල් ධනවාදය තුළදී විශේෂ සැලසුමක් නැතුවම ලැබෙනවා. ඒ "හොඳ" දේ පරිසරය රැකීම, ආදායම් විෂමතා අඩු කිරීම, ජාතිය රැකීම වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. හොඳ නරක තීරණය කරන්නේ මිනිස්සු. ධනවාදය නෙමෙයි.

      Delete
    2. බොහොම ස්තූතියි. ඔබේ අදහස් පැහැදිලියි. නිදහස් වෙළඳ පොළ ක්‍රමය තුළ ඇති අවුලක් තමයි ඉතාම ඉහළ ධනවත්තු ඉතාමත් සුළු පිරිසක් (1% විතර) අත අතිශයින්ම අධික ලෙස ධනය එක්රැස් වීම සහ මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභීන්ට නිසි පරිදි ප්‍රතිලාභ නොලැබෙන එක. නමුත් නෝර්ඩික් රටවල ආර්ථික සමෘද්ධිය තුළ මේ දේ දැඩිව පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා නේද? මෙම වීඩියෝ එකේ කතාකර තියෙන්නේත් ඒ ගැන තමයි. මේ ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න හැකි වෙයි වෙනත් පෝස්ට් එකක කාලය ලැබෙන පරිදි, නේද?

      Delete
    3. දැන් මම මේ ලිපියේ ගණිත ආකෘති අනුසාරයෙන් පැහැදිලි කරලා තියෙන්නෙත් හරියටම ඔය කරුණම තමයි. කාලයක් තිස්සේම මේ බ්ලොග් එක හරහා මේ කරුණ විස්තරාත්මකව පැහැදිලි කරලා තිබෙනවා.

      //ඔබේ අදහස් පැහැදිලියි. නිදහස් වෙළඳ පොළ ක්‍රමය තුළ ඇති අවුලක් තමයි ඉතාම ඉහළ ධනවත්තු ඉතාමත් සුළු පිරිසක් (1% විතර) අත අතිශයින්ම අධික ලෙස ධනය එක්රැස් වීම සහ මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභීන්ට නිසි පරිදි ප්‍රතිලාභ නොලැබෙන එක.//

      මේ ප්‍රතිචාරයේ උපුටා ඇති කොටසේ දෙවන කරුණ වැරදියි. "මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභීන්ට නිසි පරිදි ප්‍රතිලාභ නොලැබෙන" කියා ඔබට කියන්න පුළුවන් වෙන්නේ "නිසි ප්‍රතිලාභ" කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියන එක මතයි. මේ සම්බන්ධව ධනවාදී අදහස වන්නේ කවර හෝ මධ්‍යම පාන්තික සහ අඩුආදායම් ලාභියෙකු විසින් (හෝ වෙනත් ඕනෑම කෙනෙකු විසින්) නිෂ්පාදනය සඳහා ලබා එන ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට සමාන ප්‍රතිලාභයක් හා නිෂ්පාදනය සඳහා ලබා එන ශ්‍රමය වෙනුවෙන් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට සමාන ප්‍රතිලාභයක් ලැබේනම් එය නිසි ප්‍රතිලාභයක් බවයි. එසේ ප්‍රතිලාභ ලබා ගන්නා අයට තමන් කැමතිනම් තමන්ගේ අභිමතය පරිදි වෙනත් අය සමඟ එම ප්‍රතිලාභ බෙදා ගැනීමට කිසිදු බාධාවක් නැහැ. නමුත්, කාගෙවත් දෙයක් ඔවුන්ගේ අකැමැත්තෙන් ලබාගෙන වෙනත් අයට බෙදා දීම ධනවාදය විසින් පිළිගැනෙන දෙයක් නෙමෙයි.

      හැම බටහිර රටකම වගේ සුබසාධන වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. මේවා ආගමික ආයතන හරහා, අනාගමික සංස්ථාපානයන් හරහා වගේම රජය හරහාත් සිදු වෙනවා. මුල් ක්‍රම දෙකේදී වෙන්නේ සෘජු ලෙසම පෞද්ගලික කැමැත්ත ක්‍රියාත්මක වීම. තෙවන ක්‍රමයේදී වෙන්නේ රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත ක්‍රියාත්මක වීම. එය සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මත. මෙහිදී කිසියම් පිරිසක් අකැමැත්තෙන් සුබසාධනයට දායක වීමක් (බදු ගෙවීමක්) සිදු වෙනවා වගේම ධනවාදයේ මූලධර්ම අනුව අකාර්යක්ෂමතාවයක්ද තිබෙනවා. නමුත්, රටේ වැඩි දෙනෙක්ගේ කැමැත්ත මත සමානාත්මතාව වෙනුවෙන් යම් තරමකින් සෞභාග්‍යය කැප කිරීමක් මෙහිදී සිදු වෙනවා. මෙය වෙනස් ආකාරයක ධනවාදයක් නෙමෙයි. ධනවාදයෙන් යම් තරමකින් බැහැර වීමක්. කොයි තරමටද කියන එක තීරණය වෙන්නේ කිසියම් රටක වැඩි දෙනෙකුගේ කැමැත්ත මත.

      පළමු කරුණට ආවොත් ධනවාදය යටතේ ඉතාම ඉහළ ධනවත්තු ඉතාමත් සුළු පිරිසක් (1% විතර) අත අතිශයින්ම අධික ලෙස ධනය එක්රැස් වෙනවා කියන කරුණ නිවැරදියි. නමුත්, එය එසේ වූ පමණින් එය වැරැද්දක් වන්නේ නැහැ. මෙයත් මා මේ ලිපියෙන් ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කරන්නට උත්සාහ ගෙන තිබෙන දෙයක්. පෙර ලිපිවල විස්තරාත්මකව පැහැදිලි කර තිබෙන දෙයක්. අපි හිතමු සමාජයේ පහළම 10% හෝ 1% ආදායම් ස්ථරයට ලැබෙන ආදායම $ x කියා. වැදගත් ප්‍රශ්නය ධනවාදය යටතේ ඉතාම ඉහළ ධනවත්තු ඉතාමත් සුළු පිරිසක් (1% විතර) අත අතිශයින්ම අධික ලෙස ධනය එක්රැස් වීම නිසා මේ x අඩු වෙනවද වැඩි වෙනවද කියන එකයි. ආදායම් විෂමතාවය තිබුණත් x වැඩි වෙනවානම් ආදායම් විෂමතා නැති ක්‍රමයකට වඩා එය හොඳයි.

      Delete
    4. හැම බටහිර රටකම වගේ ස්වභාවිකවම වගේ ද්වි පක්ෂ ක්‍රමයක් බිහි වී තිබෙන බවත් පක්ෂ දෙක අතර බලය වරින් වර මාරු වන බවත් ඔබ නිරීක්ෂණය කර ඇති. එහෙම වෙන්නේ ඇයි? බොහෝ විට මේ පක්ෂ දෙකෙන් එකක් සුබසාධනවාදී, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අනෙක් පක්ෂය අඩුවෙන් සුබසාධනවාදී, කුඩා රජයක් ගැන විශ්වාස කරන පක්ෂයක්. මේ වගේ පක්ෂ දෙකක් අතර වරින් වර බලය මාරු වෙන්නේ ඇයි?

      ධනවාදය යටතේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. සමස්ත නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත් එහි වාසි ලැබෙන්නේ වඩා කාර්යක්ෂම අයටයි. කාලයක් යද්දී කාර්යක්ෂම හා අකාර්යක්ෂම අය අතර ආදායම් පරතරය ඉහළ යනවා. මේ පරතරය වැඩි දෙනෙකුට දැනෙන්න ගත් විට සුබසාධනය සඳහා ඉල්ලුම ඉහළ යනවා. බොහෝ විට ආණ්ඩුව මාරු වෙනවා. බදු ඉහළ යනවා. ආදායම් පරතරය අඩු වෙනවා. හැබැයි මේ ක්‍රමයට කාලයක් යන කොට අකාර්යක්ෂමතාවය ඉහළ ගිහින් සමස්ත නිෂ්පාදනය අඩු වෙනවා. සුබසාධනය බරක් වෙනවා. එවිට නැවත ආණ්ඩුව අනිත් පැත්ත ගහනවා. මේ වැඩේ මාරුවෙන් මාරුවට සිදු වෙනවා.

      ඇමරිකාවේ වුවත් සෑහෙන තරමක සුබසාධනයක් ක්‍රියාත්මක වෙනවා. මේ ගැන මම වරින් වර ලියා තිබෙනවා. ස්කැන්ඩිනේවියන් රටවල මෙය ඇමරිකාවට වඩා වැඩියි. එහෙත්, මෙහි මිනිස්සුන්ගේ රුචි අරුචිකම් වල වෙනස්කම් මිසක් ධනවාද වර්ග දෙකක් නැහැ. ස්කැන්ඩිනේවියන් රටවල ඉතිහාසය බැලුවොත් මේ සුබසාධන ආකෘතිය සාපේක්ෂව අලුත් දෙයක්. එම රටවල් වල සුබසාධනය ජනප්‍රිය වුනේ සෑහෙන තරමකින් ධනවත් වීමෙන් පසුවයි. ඒ නිසා, තවමත් සුබසාධනවාදය මේ රටවල් වලට ලොකු බරක් වී නැහැ. එම රටවල ජීවත්වන්නේ එකම ජාතියක මිනිසුන් වීමත් මෙයට හේතුවක්. "තමන්ගේම මිනිස්සුන්" වෙනුවෙන් යමක් කරන්න මිනිස්සු පැකිලෙන්නේ නැහැ. ඒ වගේම මේ රටවල් සාපේක්ෂව කුඩා රටවල් වීමත් (ජනගහණය අනුව), එම රටවල නිෂ්පාදිතයේ ස්වභාවයත් (විශාල සමාගම් සුළු ප්‍රමාණයක ආධිපත්‍යය හා විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබීම) සැලකිය යුතු තරමේ සුබසාධනවාදයකට පැවතීමට ඉඩ සලසනවා. මේ සුවිශේෂී තත්ත්වයන් හැම රටකම නැති නිසා වෙනත් රටවලට මෙවැනි ආකෘතියක් පවත්වාගෙන යන්න අසීරුයි.

      ඒ වගේම ස්කැන්ඩිනේවියන් රටවල සුබසාධනය ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වුනත් ඔබ කියන ආකාරයෙන් මිනිස්සු ධනවත් වෙන එක පාලනය කරලා නැහැ. ඇත්තටම කියනවානම් මේ රටවල ඇමරිකාව වැනි රටකට සාපේක්ෂව ධනවතුන් සම්බන්ධව තිබෙන්නේ ශුභවාදී ආකල්පයක්. හැකිනම් පහත ලිපිය කියවන්න.

      "Sweden has one billionaire for every 250,000 people, one of the highest rates in the world. It is also one of the world’s most unequal countries in terms of the distribution of wealth. An estimate from The Economist finds that the value of Swedish billionaires’ fortunes is equivalent to a quarter of the country’s annual gdp. Only in tax havens such as Cyprus or Monaco, or captured economies such as Russia or Georgia, are plutocrats more dominant."

      https://www.economist.com/briefing/2019/11/28/in-sweden-billionaires-are-surprisingly-popular

      2020 ෆෝර්බ්ස් ලැයිස්තුව අනුව මිලියන 330ක ජනගහණයක් සිටින ඇමරිකාවේ බිලියනපතියන් ඉන්නේ 614ක් පමණයි. මිලියන 25ක පමණ ජනගහණයක් ඉන්න ස්කැන්ඩිනේවියන් රටවල් පහේ බිලියනපතියන් 58ක් ඉන්නවා. අනුපාතයක් ලෙස ගත්තොත් ස්කැන්ඩිනේවියන් රටවල් වල සිටින බිලියනපතියන් ගණන ඇමරිකාවටත් වඩා වැඩියි.

      Delete
    5. බොහොම ස්තූතියි ඔබට. නමුත් ඒ
      සංඛ්‍යා අනුපාතය අතින් වැඩි වගේ පෙනුනත් ධනය බෙදීයාමේ ක්‍රමය අනුව මම හිතන්නේ ස්කැන්ඩිනේවියානු රටවල වඩාත් හොඳින් ධනය බෙදී යන බව සහ ඇමරිකානු එක්සත් ජනපදයේ ඒ තත්ත්වය ඒ තරමටම හොඳ මදි වගේ බවයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
    6. එය තීරණය වන්නේ වඩාත් හොඳින් කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියන එක මතයි. සමහර විට වඩා අසමාන ධනය බෙදී යාමක් වඩා කාර්යක්ෂම බව හා ඒ නිසා වඩා හොඳ බව ඔබ හිතනවා වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් ස්වීඩනය හා රුසියාව ඇමරිකාවට වඩා ඉදිරියෙන් සිටිනවා. නමුත් ඔබ අදහස් කරන්නේ වඩා සමාන ලෙස ධනය බෙදී යාමක්නම් ඔබ වැරදියි. ජනගහණය අතින් විශාලම ස්කැන්ඩිනේවියානු රට වන ස්වීඩනය හැර අනෙක් රටවල් ධනය බෙදී යාම අතින් ඇමරිකාවට වඩා පහලින් හිටියත් ගොඩක් පහළින් නැහැ. ධනය බෙදී යාමේ අසමානතාවය අතින් ලෝකයේ 4 වන තැන සිටින රට ඇමරිකාවයි (2019 දත්ත). ස්වීඩනය සිටින්නේ 3 වන තැන. රුසියාව දෙවන තැන. ඩෙන්මාර්කය 8 වන තැන.

      ඇමරිකාවේ උඩම 1% සතුව රටේ ධනයෙන් 35.4%ක් තිබෙනවා. ස්වීඩනයේ උඩම 1% සතුව රටේ ධනයෙන් 37.4%ක් තිබෙනවා. ඉන්දියාවේ උඩම 1% සතුව රටේ ධනයෙන් 42.5%ක් තිබෙනවා. රුසියාවේ උඩම 1% සතුව රටේ ධනයෙන් 58.2%ක් තිබෙනවා. Credit Suisse 2019 වාර්තාව ගූගල් කර 168-169 පිටු බලන්න. මේ දත්ත 100%ක් නිවැරදියි කියා මම කියන්නේ නැහැ. එහෙත් ධනය බෙදීයාමේ විෂමතාවය අතින් ඇමරිකාව, ස්වීඩනය හා ඩෙන්මාර්කය අතර ලොකු වෙනසක් නැහැ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...