වෙබ් ලිපිනය:

Thursday, February 4, 2021

රටවල් දියුණු වෙන්නේ කොහොමද?


අද ලංකාවේ හැත්තෑ තුන් වන නිදහස් දිනය. ඔය නිදහස් දිනය දවසේ සාමාන්‍යයෙන් කියන කතා කිහිපයක් තියෙනවා. නිදහසින් පස්සේ ලංකාව එන්න එන්නම පස්සට ගිහින් කියන එක මේ කතා වලින් එකක්. එහෙම වෙන්න හේතු විදිහට ඉදිරිපත් කෙරෙන ජනප්‍රිය කතා තිබෙනවා. මේ කතා බොහොමයක් ඇත්ත නොවන බව මේ වියුණුව හරහා වරින් වර පෙන්වා දී තිබෙනවා. එසේ වුවත්, පසුගිය වසර හැත්තෑ තුන තුළ ලෝකයේ වෙනත් බොහෝ රටවල් ලංකාවට වඩා වේගයෙන් දියුණු වී තිබෙන බවනම් බොරුවක් නෙමෙයි.

සමහර රටවල් වෙනත් රටවල් වලට වඩා වේගයෙන් දියුණු වෙන්නේ ඇයි? රටවල් අතර ඒක පුද්ගල ආදායමේ වෙනස්කම් දිගින් දිගටම පවතින්නේ ඇයි? මේ වෙනස්කම් අඩු කර ගත හැක්කේ කොහොමද? මේ වගේ දේවල් ගැන අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාවේ අනු ක්ෂේත්‍රය සංවර්ධන ආර්ථික විද්‍යාව ලෙස හැඳින්වෙනවා. 

රොබර්ට් සොලෝ විසින් ඉදිරිපත් කළ සොලෝ ආකෘතිය සංවර්ධන ආර්ථික විද්‍යාවේ භාවිතා කරන ප්‍රචලිත ආකෘතියක්. මෙය ඉදිරිපත් කිරීම ඇතුළුව ඔහු විසින්  සංවර්ධන ආර්ථික විද්‍යාවට සිදු කළ සේවය වෙනුවෙන් රොබර්ට් සොලෝට 1987 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි වුනා.

සොලෝ ආකෘතිය හැකි තරම් සරලව පැහැදිලි කිරීම සඳහා අපි කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් පටන් ගනිමු. පෙර ලිපි වල මේ ශ්‍රිතය පිළිබඳව විස්තර කරලා තියෙනවනේ.

ඇත්තටම මෙය පැහැදිලි කරන්න කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වැනි නිශ්චිත ශ්‍රිතයක් අවශ්‍ය වන්නේ නැහැ. එය යොදා ගන්නේත්, කලින් ලිපි වල ඒ ගැන පැහැදිලි කළේත්, මෙවැනි නිශ්චිත ශ්‍රිතයක් යොදා නොගෙන වඩා වියුක්ත ලෙස විස්තර කළොත් බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අසීරු නිසයි. මේ පැහැදිලි කිරීම වුනත්, කියවන ගොඩක් අයට වියුක්ත වැඩි බවයි පෙනෙන්නේ.

Y = F(K,L) = AKαL1-α 

Y - නිෂ්පාදිතය 

K - ප්‍රාග්ධනය 

L -  ශ්‍රමය 

මේ නිෂ්පාදිතයට වෙන්නේ කුමක්ද?

Y = C + S

C - පරිභෝජනය 

S - ඉතිරි කිරීම් 

අපි හිතමු රටේ සමස්ත ආදායමෙන් ඉතිරි කරන අනුපාතය s කියලා. 

ඒ කියන්නේ, 

S = sY = sF(K,L).

දැන් අපි එක් ශ්‍රමිකයෙකු සඳහා පහත අනුපාත අර්ථදක්වමු.

K/L = k

Y/L = y = F(K,L)/ L = AKαL-α = A(K/L)α = Akα

S/L = sY/L = sy = sAkα

ප්‍රාග්ධනය ක්ෂය වන අනුපාතය δ ලෙස සලකමු. ඒ කියන්නේ δ = 0.05නම් සෑම වසරකදීම තිබෙන ප්‍රාග්ධන සංචිතයෙන් 5%ක් ක්ෂය වෙනවා. හැබැයි ඒ එක්කම ඉතිරි කිරීම් ප්‍රාග්ධන සංචිතයට එකතු වෙනවා. 

එහෙමනම්, එක් ශ්‍රම ඒකකයකට ප්‍රාග්ධන ඒකක ගණන කාලයත් සමඟ වෙනස් වෙන්නේ කොහොමද?

∆k = sAkα − δk 

ඉහත ගතික සමීකරණයේ ∆k කියන්නේ යම් කාලයක් තුළ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අනුපාතයේ වෙනස්වීම. එසේ නැත්නම් කාලය විෂයයෙහි අවකල සංගුණකය (dk/dt). මෙහි 0<α<1 නිසා, k වැඩි වෙද්දී sAkα වැඩි වන නමුත් එසේ වැඩි වන වේගය එන්න එන්නම අඩු වෙනවා. එසේ අඩු වෙමින් ගොස් sAkα = δk වූ පසු k තව දුරටත් වැඩි වෙන්නේ නැහැ.

ඒ කියන්නේ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අනුපාතය වෙනස් නොවන ස්ථායී සමතුලිතතාවයකට එනවා. මේ අනුපාතය කුමක්ද? 

ස්ථායී තත්ත්වයේදී ∆k = 0 නිසා,

sAkα = δk

sA = δk1-α

k1-α = As/δ

k* = (As/δ)1/1-α 

මෙයට අනුරූප y අගය:

y* = A(k*)α = (A)1/1-α(s/δ)α/1-α 

මෙම y* අගය ස්ථායී සමතුලිතාවයකදී කිසියම් රටක එක් ශ්‍රමිකයෙකුගේ මධ්‍යන්‍ය ආදායමයි.

සොලෝ ආකෘතියෙන් පෙන්වා දෙන වැදගත්ම කාරණයක් වන්නේ දීර්ඝකාලීනව රටක ඒක පුද්ගල ආදායම තීරණය වන්නේ ප්‍රාග්ධන සංචිත ප්‍රමාණය අනුව නොවන බවයි. ඉහත y* අගය A, α, δ, s යන සාධක මත මිස k අගය මත වෙනස් වන්නේ නැහැ. මේ අනුව,  A, α, δ, s යන සාධක වෙනස් නැත්නම් ආරම්භක ප්‍රාග්ධන සංචිත ප්‍රමාණ කොයි තරම් අසමාන වුවත්, ස්ථායී සමතුලිතාවයකට පැමිණෙද්දී රටවල් අතර ආදායම් මට්ටම් වල විෂමතා නැති වී යා යුතුයි. 

වෙනස් විදිහකට කිවුවොත් රටවල් අතර ආදායම් විෂමතා වලට හේතුව A, α, δ, s යන සාධක මිස ප්‍රාග්ධනයේ අඩු වැඩිකම් නෙමෙයි.

මේ පරාමිතීන් හතරෙන් α, δ, s යන තුනටම සෛද්ධාන්තික සීමාවන් තිබෙනවා. මේ අගයයන් හැම විටම 0 හා 1 අතර තිබිය යුතුයි. α =1 කියන්නේ නිෂ්පාදනය සඳහා ශ්‍රමයේ කිසිම දායකත්වයක් නැහැ කියන එකයි. හැම දෙයක්ම ස්වයංක්‍රීය ලෙස සිදු වෙනවා. δ = 0 කියන්නේ කොයි තරම් කල් ගියත් ප්‍රාග්ධනය ක්ෂය වෙන්නේ නැහැ කියන එකයි. s = 1 කියා කියන්නේ මිනිස්සු කිසිම දෙයක් පරිභෝජනය නොකර රටේ ආදායම මුළුමනින්ම ඉතුරු කරනවා කියන එකයි. මේ තුනෙන් එකක්වත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා, මේ විචල්‍යයන් වෙනස් වීම හරහා රටක ඒක පුද්ගල ආදායම වැඩි වෙන්න පුළුවන් යම් සීමාවක් දක්වා පමණයි. 

මෙවැනි සීමාවක් නැත්තේ A වලට පමණයි. A කියන්නේ ඵලදායීතාවය. ලෝකයේ දියුණුම රටවල් දිගින් දිගටම තව තවත් දියුණු වෙන්නේ දිගින් දිගටම ඵලදායීතාවය වැඩි කර ගැනීම මගින්.

16 comments:

  1. මේ සමීකරනයේ K කියන්නෙ physical capital විතරක්ද. intangibles (අලුතෙන් සිතීම, පර්යේශන, intellectual capital) අපේ රටවල සාපේක්ශව අඩුවීම මෙයින් පෙන්වනවද. ඵලදායීතාවය වැඩි කර ගැනීම ඒ හා සම්බන්ධයිනෙ.

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. මේක සරලම ආකාරයේ නිෂ්පාදන ශ්‍රිතයක්. මේකේ හැම සාධකයක්ම A, K හා L වලට වෙන් කරලයි තිබෙන්නේ. අලුතෙන් සිතීම, පර්යේෂණ වගේ දේවල් තිබෙන්නේ A ඇතුළේ. intellectual capital තිබෙන්නේ L ඇතුළේ. බොහෝ විට මෙයට මානව ප්‍රාග්ධනය වෙනම සාධකයක් ලෙස එකතු කරලා H එකකුත් එකතු කරනවා. එවිට, intellectual capital කොටස H වලට යනවා. මම ඒ දක්වා ගියේ නැහැ. සමහර වෙලාවට ස්වභාවික සම්පත් වෙනම සාධකයක් ලෙස සලකනවා. මූලික ශ්‍රිතය වඩා සංකීර්ණ කරගන්න අවශ්‍ය වෙන්නේ විශ්ලේෂණය කරන ගැටළුව සඳහා එය අවශ්‍ය වන විටකදී පමණයි. පොදු වශයෙන් භෞතික ප්‍රාග්ධනයේ බලපෑම හදාරන්න මේ ශ්‍රිතය ප්‍රමාණවත්. මානව ප්‍රාග්ධනයේ බලපෑම ගැන කතා කරන කොට මෙය වඩා පුළුල් කරගන්න වෙනවා. ඔබ අනුමාන කලා වගේම ඵලදායීතාවයට බලපාන සාධක තිබෙන්නේ A ඇතුළේ.

      Delete
    2. ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි.

      Delete
  2. ඉකොනොමැට්ටා ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා අදට අවුරුදු 73 කට පස්සෙ මේ වෙනකොට අපි ඇත්තටම ඉන්න තත්ත්වය ටිකක් බැලුවොත් මෙහෙමයි.

    ලංකා ඉතිහාසයේ දරුණුම විදේශ විනිමය අර්බුදයට ලංකාව 2021 අවුරුද්දෙ දී මුහුණ දෙන්න නියමිතයි.මේ අර්බුදය සහ මේ වෙනකොට ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදය කොච්චර දරුණු ද කියලා පෙන්නන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා.

    1.ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය වාරිකයක් මේ අවුරුද්දෙ දී ගෙවන්න තියෙනවා.

    2.ලංකාව සතුව මේ වෙද්දී තියෙන සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක් විතර. ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ණය වාරිකය ගෙවාගන්න තරම් විදේශ විනිමය ලංකාව ළඟ නෑ.

    3. කිසිම රටක් තමන්ගේ විදේශ සංචිත ටික අන්තිම රුපියල වෙනකම්ම ණය ගෙවන්න පාවිච්චි කරන්නෙ නෑ. හදිසියේ කරන්න වෙන ආනයන වලට සල්ලි ඉතුරු කර ගන්න අවශ්‍යයි.

    4. ඒ නිසා ඉදිරියෙදී ලංකාවට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ "ණය ගෙවීම වෙනුවෙන් ණය ගන්න."ඒක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි.අපි කාලයක් තිස්සෙ බොහෝ ණය ගෙව්වෙ අලුතෙන් ණය අරගෙන.

    5. දැන් එතකොට අපිට අලුතෙන් ණය ගන්න වෙනවනෙ. ඒකට පොඩි බාධාවක් තියෙනවා. ඒ තමයි යුරෝපීය සහ ඇමරිකානු බලපෑම් මත ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ ණය ශ්‍රේණිය ඒ කිව්වෙ credit rating එක C මට්ටම වෙනකම් පහළ දාලා තියෙනවා. ඒ කියන්නෙ ලංකාවට ණය දෙන එක "සැළකිය යුතු අවදානම් සහගත" වැඩක් බව අනිත් රටවල් වලට අනතුරු අඟවලා තියෙනවා.

    6. ඒ නිසා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වගේ සම්ප්‍රදායික ණය දෙන ආයතන වලින් ණය ගන්න ටිකක් අපහසු වෙලා තියෙනවා. ඒ කියන්නෙ අඩු පොළියකට, දීර්ඝ ආපසු ගෙවීමේ කාලයක් එක්ක ණය ගන්න අමාරු වෙලා තියෙනවා.

    7. ඉදිරි මාස වල දී ලංකාවට විරුද්ධව ජිනීවා වල දී දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර සහ ඔවුන්ට හිතවාදී යුරෝපීය රටවල් සහ ඇමරිකානු ඩිමොක්‍රටික් රජයේ සහය ඇතුව නැවතත් මානව හිමිකම් චෝදනා වඩාත් බරපතල ලෙස එල්ල කරන්නට නියමිතයි. ඒ චෝදනා එතනින් එහාට ගිහින් ආර්ථික වශයෙන් ලංකාව හුදෙකලා කිරීමේ වෑයමක් දක්වා මේ පාර වැඩේ ඉස්සරහට යන්න පුළුවන් නේද?

    8.සුපුරුදු පරිදි අපේ උදව්වට එන්න නියමිත වෙන්නේ ලංකාවේ සිංහල ජාතිවාදීන්ට හිතවත්ට චීනය සහ දමිළ විරෝධී මෝදිගේ ඉන්දියාව ප්‍රමුඛ රටවල්. එයාලා අපිට ණය දෙන එක සහ ජාත්‍යන්තර වේදිකා වල දී අපි වෙනුවෙන් පෙනී ඉන්න එක කළොත් ඒ වෙනුවෙන් හිලව්වට අපෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා පහුගිය දවස් වල වරාය සම්බන්ධව ඇති වුණ අර්බුදයෙන් තේරුම් ගන්න පුළුවන්.

    9. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල ඉතා වේගයෙන් කඩා වැටෙමින් තියෙන නිසා අපිට ආපසු ගෙවන්න තියෙන ණය වල රුපියල් වටිනාකම සීඝ්‍රයෙන් වැඩි වෙමින් තියෙනවා. සරලව කිව්වොත් ඩොලර් 1 = රු.100 වෙනකොට අපි ඩොලර් දාහක ණයක් ගත්තොත් අපිට ලැබෙන්නෙ රු.100,000 යි.හැබැයි අපි ආයෙත් ඒ ණය ගෙවන්න යන කොට ඩොලර් 1 = රු.200 වෙලා තිබ්බොත් අපිට රු.200,000 ක් ආයෙත් ගෙවන්න වෙනවා.අමතර රු.100,000 ක් (සහ පොළිය) ගෙවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. 10. ඉතාම සරලව කිව්වොත් රුපියල කඩාගෙන වැටෙන එක නවත්තන්න පුළුවන් ක්‍රම 2 යි තියෙන්නේ.

      i. ලංකාවට පිට රටවල් වලින් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කිරීම.

      ii. ලංකාවෙන් පිට රටවල් වලට ගලාගෙන යන විදේශ විනිමය ප්‍රමාණය ප්‍රමාණය අඩු කිරීම.

      11.උඩින් කියපු (i) ළඟා කර ගන්න ලංකාවට මේ දවස් වල වැඩ පිළිවෙලක් තියෙනව උනත් ඒකේ ප්‍රතිඵල ඉක්මනට එන බවක් පේන්නෙ නෑ. ඒ නිසා ලංකාව මේ මොහොතේ කරන්නෙ (ii) වෙනි එක.ඒ කියන්නෙ කිසිම සොයා බැලීමක් නැතුව ක්ෂේත්‍ර ගණනාවක ආනයන නවත්තලා තියෙන එක.

      12. මේ ආනයන තහනම ඉතාම දරුණුවට ලංකාවට දැනෙමින් තියෙනවා. මේ මොහොතේ අපේ එදිනෙදා ජීවිතයට සෘජු බලපෑමක් නෑ වගේ දැනුනට ඉතාම ඉක්මණට ඒ බලපෑම දැනෙන්නෙ ගන්නවා. දැනට තත්ත්වය ගත්තොත්,

      i. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සියළුම අමුද්‍රව්‍ය වල මිල,

      ii. ඔන්ලයින් අධ්‍යාපනය අත්‍යවශ්‍යය වෙලා තියෙන කාලයක ජංගම දුරකථන සහ ලැප්ටොප්ස් මිල,

      iii. වාහන මිල සහ සියළුම වාහන අමතර කොටස් මිල,

      iv. ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල,

      සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක භාණ්ඩ හා සේවා මිල කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් තියෙනවා.

      13. ආනයන තහනම භයානක වෙන හේතු දෙකක් තියෙනවා.

      i.මේ භාණ්ඩ මිල ඉහළ යාම අවසානයේ දරාගන්න වෙන්නෙ පාරිභෝගිකයන්ට.ඒ කියන්නෙ රට ඇතුළේ උද්ධමනය ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙන කොට මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව බොහොම ඉක්මණට පනිනවා.

      ii. කාලයක් පුරා ආනයන තහනම් කරගෙන ඉඳලා එක වර ආනයන තහනම ඉවත් කළොත් අපේ රුපියල ඉතා වේගයෙන් කඩාගෙන වැටෙන්න පුළුවන්. අද අපි ඩොලර් එකක් රු.200 ක් විදියට දකින එක බොහොම ලේසියෙන් රු.220-230 පරාසයට "දින කීපයක් ඇතුළත" යන්න පුළුවන්. මුදල් ඒකකයක් හෙමින් හෙමින් කඩා වැටීමට වඩා එක වර කඩා වැටීම භයානක වෙන්නෙ ව්‍යාපාර වලට ඒ කඩා වැටීමට හැඩ ගැහෙන්න තියෙන කාලය ඉතා අඩු නිසා.

      14.ආර්ථික විද්‍යාව නොදන්න කෙනෙක්ට වුණත් තේරෙනවා අපි හිර වෙන්න පුළුවන් හැම පැත්තකින්ම හිර වෙලා ඉවරයි කියලා. ඉතිං මේ මොහොතේ ඉකොනොමැට්ටා වගේ පොතේ ගුරාලගේ ආර්ථික විද්‍යා තියරි වලින් එළියට ගිහින් "නීත්‍යානුකූල ක්‍රම වලින්" රට ඇතුළට විදේශ විනිමය අරගෙන එන්නෙ කොහොමද කියලා හිතන්න වෙනවා. එහෙම නොවුණොත් අපි ඉතාම දරුණු ආර්ථික ආගාධයකට වැටෙන එක නවත්තන්න බැරි වෙයි. මේ ගැටලුවලට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් නේද ඉකොනොමැට්ටා?

      Delete
    2. //මේ ගැටලුවලට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් නේද ඉකොනොමැට්ටා?//

      ඉකොනොමැට්ටා වගේ පොතේ ගුරාලගේ ආර්ථික විද්‍යා තියරි වලින් එළියට ගිහින් විසඳුමක් හොයා ගන්න බලන්න. වැරදුනොත් පස්සේ ඉන්දියාව වගේ රටකින් නොමිලේ ලැබෙන පොතේ ගුරු විසඳුමක් භාර ගන්න පුළුවන් වෙයි.

      Delete
  3. I cannot understand how did you get these equations.
    ∆k = sAkα − δk
    and what are k* and y*. Can you please explain a little bit

    ReplyDelete
    Replies
    1. This is an equation of motion which explains how the stock of capital (per labor) changes dynamically over time. ∆k is the increase in capital during a given period. Let's say during a year to understand this easily. The first term in RHS is the amount of savings per labor which increases capital. The second term is the depreciation of capital which decreases capital, So, ∆k is the net change. Over time, this net change decreases and finally becomes zero. Then the capital does not change anymore and k* is that level of capital. y* is the output at that level.

      Delete
  4. ඉකොනො හැමෝම කියනවනේ අපි ඩොලර් නය කන්අදකට යටවෙලා කියලා ඉන්නෙ. මේ ඩොලර් නය ගෙවන්න අපිට ඩොලර්ම හම්බ කරන්න ඕනැද. අපේ තියන රුපියල් ඩොලර් කරගන්න බැරිද. පුලුවන්නම් කොපමන සීමාවකට යටත්වද

    ReplyDelete
    Replies
    1. //ඩොලර් නය ගෙවන්න අපිට ඩොලර්ම හම්බ කරන්න ඕනැද. අපේ තියන රුපියල් ඩොලර් කරගන්න බැරිද.//

      ඕක තමයි අවුරුදු ගාණක් තිස්සේ මෙහි ලියපු ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නය. ඩොලර් හම්බ කරන්නේ නැතුව, ඩොලර් ණය ගන්නේත් නැතුව ලංකාවට රුපියල් ඩොලර් කරන්න බැහැ. මොකද ලංකාවෙන් පිට වෙන කිසිම රටකට රුපියල් අවශ්‍ය නැහැ. ඒ නිසා, කවුරුවත් ලංකාවේ රුපියල් වලට මාරු කරලා ඩොලර් දෙන්නේ නැහැ. කවුරුවත් රුපියල් අරගෙන ඩොලර් දෙන්නේ නැත්තේ ඇයි? ලංකාවෙන් පිටට රුපියල් දෙසීයක් ඩොලර් එකක් තරම් වටින්නේ නැති නිසා. ලංකාවට කවදා හරි රුපියල් ඩොලර් කරන්න පුළුවන් වුනොත් එසේ වෙන්නේ රුපියලේ නියම වටිනාකම දක්වා විණිමය අනුපාතිකය පිරිහුණාට පසුව පමණයි. කාලයක් තිස්සේ කෘතීම ලෙස රුපියල ශක්තිමත්ව තියා ගෙන ලබාගත් සෞභාග්‍යය අර්බුදයක් වෙලාවක එක පාරටම නැති වෙන්න පුළුවන්. සංඛ්‍යාලේඛණ එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වුනාට ආර්ථිකයේ සැබෑ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ.

      Delete
    2. // එසේ වෙන්නේ රුපියලේ නියම වටිනාකම දක්වා විණිමය අනුපාතිකය පිරිහුණාට පසුව පමණයි //

      එතකොට පිට රටකට පුලුවන් නේද ලංකාවේ ආර්තිකය පාලනය කරන්න ??


      මේ වගේ ආර්තික අර්බුද වල හිටපු( තාමත් ඉන්නවද දන්නේ නෑ) සිම්බාබ්වේ , ග්‍රීසිය වගේ රටවල් වල වර්තමාන ආර්තික තත්ත්වය කෙබදුද ? පොඩ්ඩක් හරි ඒ රටවල ගොඩ ගිහින් ද ? එහෙම ගියා නම් මොන වගේ උපක්‍රම යොදා ගත්තද ?

      Delete
    3. //එතකොට පිට රටකට පුලුවන් නේද ලංකාවේ ආර්තිකය පාලනය කරන්න ??//

      මේක හරිම සරල දෙයක්. වෙන රටවල් වලින් ගන්න ණය, ආධාර හෝ ප්‍රාග්ධන ආයෝජන පරිභෝජනය සඳහා වියදම් කරමින්, ඒ හරහා පරිභෝජනය වැඩි කර ගනිමින්, ඇති කරගන්නා කෘතීම සෞභාග්‍යයක් මත දුවන ආර්ථිකයකට ඒ කෘතීම තත්ත්වය පවත්වාගෙන යන තුරු ස්වාධීන වෙන්න බැහැ. හරි ආදායමක් නැතුව ලීස් කරලා වාහනයක් ගත් කෙනෙකුට ලීසිං සමාගමට බයේ ජීවත් වෙන්න වෙනවා වගේ වැඩක්.

      //මේ වගේ ආර්තික අර්බුද වල හිටපු( තාමත් ඉන්නවද දන්නේ නෑ) සිම්බාබ්වේ , ග්‍රීසිය වගේ රටවල් වල වර්තමාන ආර්තික තත්ත්වය කෙබදුද ? පොඩ්ඩක් හරි ඒ රටවල ගොඩ ගිහින් ද ? එහෙම ගියා නම් මොන වගේ උපක්‍රම යොදා ගත්තද ?//

      ඉහත ලීසිං සමාගමේ උදාහරණය ගත්තොත් වාහනය උස්සන තුරුම හැංගි හැංගී බයේ ඉන්න සිදු වුනත් වාහනය ඉස්සුවට පස්සේ ප්‍රශ්නය විසඳෙනවා. ඒ විදිහටම ණය හරහා කෘතිමව පුම්බා තිබෙන ආර්ථිකයක් කඩා වැටිලා එය තිබිය යුතු නියම තැනට වැටුනහම ප්‍රශ්නය විසඳෙනවා. හැමදාම දිගින් දිගටම වැටෙන්නේ නැහැ. වාහනේ නැතත් බස් එකේ ගිහින් ජීවත් වෙන්න පුළුවන්. ඒකට පුරුදු වුනාම හරි. පස්සේ ආදායම වැඩි කරගෙන වාහනයක් ගන්නත් පුළුවන්. නිකමට හිතන්න ඩොලර් එක රුපියල් හාරසීයට ගියා කියලා. ආනයනික බඩු හැම එකෙක්ම දෙගුණයකින් ගණන් යනවා. එතකොට ආනයන තහනම් නොකළත් මිනිස්සු ආනයනික බඩු මිල දී ගැනීම නවතිනවා. දේශීය නිෂ්පාදන ඉහළ යනවා. දැන් තිබෙන ඩොලර් අවශ්‍යතාවයත් නැති වෙලා යනවා.

      Delete
    4. රුපියලේ නියම වටිනාකම දක්වා විනිමය අනුපාතිකය පිරිහුනාද කියලා දැනගන්නේ කොහොමද?. එහෙම වුනාට පස්සේ රුපියල් ඩොලර් කරන්න පුලුවන් ක්‍රම වේදය මොකක්ද?

      Delete
    5. රුපියල් ඩොලර් කර ගන්න අවශ්‍ය තරමටම ඩොලර් රුපියල් කර ගන්නත් අවශ්‍ය වෙනවනම් ඒ කියන්නේ රුපියලේ නියම වටිනාකම දක්වා විණිමය අනුපාතිකය පහළට ඇවිත්. ඒ වගේ තත්ත්වයකදී ඩොලර් රුපියල් කර ගන්න අවශ්‍ය කෙනෙක් ගාවට ගියහම පහසුවෙන්ම රුපියල් ඩොලර් කර ගන්න පුළුවන්. සමහර විට එහෙම කෙනෙක් ඩොලර් අරගෙන ගෙදරටම හොයාගෙන එන්න වුනත් පුළුවන්. ඔය විදේශ රැකියාවක් කරන කෙනෙක් ඉන්න ගෙදරක අසල්වැසියෙක් වගේ. දැන් එහෙම නොවෙන්නේ රුපියල එහි සැබෑ මට්ටමට වඩා උඩින් තබා තියෙන නිසා. කවුරුවත් ඩොලර් මිල දී ගන්න මිසක් විකුණන්න කැමති නැහැ. විකිණුවොත් ආපහු ඩොලර් හොයා ගන්න අමාරු බව දන්න නිසා. නමුත් රුපියල් අතේ තියෙන කෙනෙක් බලන්නේ හැකි ඉක්මනින් රුපියල් ටික විකුණලා දමන්න. අවශ්‍ය වුනොත් ඕනෑම වෙලාවක රුපියල් මිල දී ගන්න පුළුවන් නිසා.

      Delete
  5. 'සමහර රටවල් වෙනත් රටවල් වලට වඩා වේගයෙන් දියුණු වෙන්නේ ඇයි? රටවල් අතර ඒක පුද්ගල ආදායමේ වෙනස්කම් දිගින් දිගටම පවතින්නේ ඇයි? '

    ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඉතිං අපි ඒ ගැන වද වෙලා වැඩක් නැහැ. අපි දෙවියන්වහන්සේගේ ගුණයහපත්කමත්, බලයත් ගැන සිතේ තබාගන්නට ඕනි. මේ දැන් පැමිණ ඇත්තේ එවැනි කාලයක් ඉකොනෝ මහත්තයා.

    ReplyDelete
    Replies
    1. //ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත.//

      කොයි දෙවියන් වහන්සේගේ කැමැත්තද ඇනෝ?

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...