වෙබ් ලිපිනය:

Monday, February 15, 2021

ආනයන පාලනයෙන් ආණ්ඩුව ඇණ ගනියිද?



ලංකාව මුහුණ දී සිටින ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ ආණ්ඩුව ටික කලක සිට විවිධ ආකාර වලින් ආනයන පාලනය කරමින් සිටිනවා. පසුගිය වසර තුළ ලංකාවේ ආනයන වියදම් වල අඩු වීමක් හා එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ ශේෂය කුඩා වීමක්ද දැකිය හැකියි. මේ අනුව, මම හිතන විදිහට පළමු වරට, ලංකාවේ වෙළඳ ශේෂය ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණයට වඩා අඩු වී තිබෙනවා. 

තවත් පැහැදිලිව කිවුවොත් ලංකාව හැමදාම කරනවා වගේ ආනයන සඳහා අපනයන ආදායමට වඩා වැඩියෙන් වියදම් කර තිබුණත්, පසුගිය වසර තුළ එසේ වැඩියෙන් වියදම් කර තිබෙන මුදල ශ්‍රමික ප්‍රේෂණ වලින් රටට ලැබුණු මුදලට වඩා අඩු මුදලක්. කාලයක් තිස්සේම සිදු වුනු ආකාරයට ලංකාව ණයට ගත් ඩොලර් වියදම් කර භාණ්ඩ ආනයනය කරලා නැහැ. ඒ නිසා, කලින් ගත් ණය හා පොලී ගෙවන්න මිසක් ඊට අමතරව තවත් විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවයක් මතු වී නැහැ.

පළමු ප්‍රශ්නය මේ විදිහට ආනයන වියදම් පහළ ගියේ කොහොමද කියන එකයි. 2019 වසරට සාපේක්ෂව 2020 වසර තුළ ලංකාවේ ආනයන වියදම් ඩොලර් මිලියන 3,882කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,349ක් අඩු වෙලා තියෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. එය කෝවිඩ් නිසා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීමේ හා දේශීය ඉන්ධන ඉල්ලුම අඩු වීමේ ප්‍රතිඵලයක්. ආනයන සීමා කිරීමක සෘජු ප්‍රතිඵලයක් නෙමෙයි. තවත් ඩොලර් මිලියන 574ක් අඩු වෙලා තිබෙන්නේ රෙදිපිළි හා ඇඟලුම් කාණ්ඩයෙන්. එයට හේතුව ඇඟලුම් අපනයන ඉල්ලුම පහත වැටීම නිසා එම කර්මාන්තයට අමුද්‍රව්‍ය අඩුවෙන් අවශ්‍ය වීමයි. එයත් වසංගතය නිසා ඇති වූ තත්ත්වයක්. මේ අනුව ආනයන වියදම් අඩු වීමෙන් බාගයකටම, එනම් ඩොලර් මිලියන 1,923කටම හේතුව වසංගත තත්ත්වය මිසක් ආනයන පාලනය කිරීම නෙමෙයි.

තවත් විශාල වශයෙන් පහළ ගොස් තිබෙන ආනයන කාණ්ඩ වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍යයි. ගොඩනැගිලි ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ආනයන වියදම් ඩොලර් මිලියන 473කින්ද, මූල ලෝහ ආනයනය ඩොලර් මිලියන 103කින්ද, යන්ත්‍රසූත්‍ර හා උපකරණ ආනයනය ඩොලර් මිලියන 317කින්ද අඩු වී තිබෙනවා. මේ අඩුවීම් වලට හේතුව ආනයන තහනමකට වඩා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් පහත වැටීමයි. 

ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට රාජ්‍ය අංශයේ බලපෑම ඉතා විශාලයි. පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ රජය මුල් වී, විදේශ ණය වැය කරමින්, මහා පරිමාණ ඉදිකිරීම් කරද්දී එම කර්මාන්තය සඳහා අවශ්‍ය ආනයනද අනුරූපී ලෙස ඉහළ ගියා. මේ වෙද්දී ලංකාවේ රජයට තවදුරටත් මේ රෝල ගහන්න අමාරු වී තිබෙන නිසා රජය මුල් වී සිදු කළ ඉදිකිරීම් කටයුතු යම් තරමකින් සීමා වී තිබෙනවා. මෙයට වසංගතයේ බලපෑම යම් තරමකින් තිබුනත්, ප්‍රධාන වශයෙන්ම මෙය ව්‍යුහමය හිර වීමක් (structural bottleneck). 

මීට අමතරව පෞද්ගලික රථවාහන ආනයන වියදම් ඩොලර් මිලියන 533කින්ද, ප්‍රවාහන උපකරණ ආනයනය ඩොලර් මිලියන 248කින් අඩු වී තිබෙනවා. ආනයන පාලනයේ වැඩිම බලපෑමක් තිබෙන්නේ මේ කොටසේ. ඒ හැර කහ ආනයන තහනම වගේ සිල්ලර දේවල් ආර්ථිකයට දැනෙන දේවල් නෙමෙයි. මුළු කතාවම සාරාංශ ගත කළොත් ආනයන වියදම් අඩු වීමෙන් තුනෙන් දෙකකට පමණ හේතු වී තිබෙන්නේ වසංගතයේ බලපෑම හා ලංකාවේ රජය මුහුණ දී සිටින රාජ්‍ය මූල්‍ය අර්බුදය මිසක් විදේශ වෙළඳ ප්‍රතිපත්තිය නෙමෙයි. රටේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය ආනයන සීමා කිරීමට හේතු වී තිබෙනවානම් එම දායකත්වය මුළු අඩු වීමෙන් 30-35% පමණ ප්‍රමාණයක් පමණයි.

අප හැම විටම පෙනී සිටින්නේ නිදහස් වෙළඳාම වෙනුවෙන්. නිදහස් වෙළඳාම වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුට ආනයන පාලනය වෙනුවෙන් පෙනී සිටින්න බැහැ. එසේ වුවත්, යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ආනයන පාලනය වුවත් හිතකර වෙන්න පුළුවන්. ව්‍යායාම නොකිරීම හෘදයාබාධ හැදීමේ සම්භාවිතාව ඉහළ දමන නමුත් හෘදයාබාධයක් හැදී සිටින අයෙකු ව්‍යායාම කරන්නට යාමෙන් වෙන්නේ මරණය තවත් ඉක්මන් වීම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නරක දේවල් වුවත් හොඳ වෙන වෙලාවල් තිබෙනවා.

ජාත්‍යන්තර වෙළඳාම සඳහා බාධා අවම වීම කාර්යක්ෂමයි. එහි ප්‍රතිඵල හැම රටකටම ලැබෙනවා. එහෙත්, හැම රටක්ම බාධා ඉවත් කර තිබියදී එක රටක් පමණක් ආනයන වලට බාධා සිදු කළහොත් අනෙක් රටවලට පාඩුවක් වී එසේ බාධා කළ රටට වාසියක් ලැබෙනවා. ඒ නිසා, එක රටක් ආනයන වලට බාධා කළ විට අනෙක් රටවල්ද ඒ දෙයම කරන්න පෙළඹෙනවා. අවසානයේදී හැමෝම පරදිනවා. රටවල් සාමූහිකව ජාත්‍යන්තර වෙළඳාම සඳහා තිබෙන බාධා ඉවත් කිරීමෙන් හැමෝටම වාසියක් වෙනවා. ඒ හැර තමාගේ දේවල් ලෝකයටම අපනයනය කරමින්, කිසිම දෙයක් ආනයනය නොකර ඉන්න ප්‍රතිපත්තියක් කොයි තරම් වාසිදායක වුවත් දිගටම ක්‍රියාත්මක කළ නොහැකියි.

ලංකාවේ පැත්තෙන් ගත්තොත් අපනයන ප්‍රවර්ධනය කරන අතරම ආනයන පාලනය කිරීම රටට වාසියි. වෙන ඕනෑම රටකට වුවත් එය එහෙමයි. ආරක්ෂණවාදය රටවල් අතර ජනප්‍රිය ඒ නිසයි. එහෙත්, කිසියම් රටක් ආරක්ෂණවාදය කරා යොමු වන විටම අනෙක් පැත්තෙන් ප්‍රතිචාර එනවා. වත්මන් ලෝකයේ බොහෝ රටවල් විසින් අපනයන ප්‍රවර්ධනය කරන අතරම ආනයන පාලනය කිරීම කරන "කපටි" ක්‍රමය විණිමය අනුපාතිකය නියම මට්ටමට වඩා පහළින් තියා ගැනීමයි. චීනය මේ වැඩේට කප් ගසා සිටින රටක්. 

ලංකාව කාලයක් තිස්සේ කළේ මෙහි අනෙක් පැත්තයි. එනම් ණයට ගන්නා ඩොලර් වල උදවුවෙන් රුපියල එහි නියම වටිනාකමටත් වඩා උඩින් තබා ගැනීමයි. මෙයට පාදක වී තිබෙන දේශපාලනික හේතු මා සාකච්ඡා කර තිබෙනවා. රටට අහිතකර විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා කාලයක් තිස්සේ ලංකාවට එන අපනයන වැඩි වී ආනයන අඩු වී තිබෙනවා. ලංකාවේ නිෂ්පාදකයින්ට අසාධාරණ තරඟයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මෙහි වාසිය ඉන්දියානු හා චීන නිෂ්පාදකයින් විසින් කාලයක් තිස්සේ ලබාගෙන තිබෙනවා.

ලංකාව ආනයන පාලනය සඳහා යොමු වන්නේ මෙවැනි පසුබිමකයි. මේ වැඩේ දිගටම කළොත් ලංකාවට අනෙක් පැත්තෙන් ප්‍රතිරෝධයක් එන එකක් නැද්ද?

මගේ පිළිතුර වන්නේ අඩු වශයෙන් කෙටිකාලීනව මෙවැනි අවදානමක් නැති බවයි. ලංකාව කිසියම් රටකින් එන ආනයන වලට බාධා කරන විට එම රටටත් ලංකාවේ අපනයන වලට බාධා කළ හැකියි. ලංකාවේ අපනයන වැඩිපුරම යන්නේ ඇමරිකාවට හා යුරෝපයටයි. නමුත්, ලංකාව ඒ රටවල් වලින් මහා ලොකු දෙයක් ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ ආනයන පාලන ප්‍රතිපත්ති වලින් ඇමරිකාවට හෝ යුරෝපයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා, ඒ රටවල් වලට මේ හේතුව මත පදනම්ව ලංකාවේ අපනයන වලට බාධා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. මානව හිම්කම් චෝදනා මත සිදු කළ හැකි බාධා කිරීම් ආදිය මෙයට අදාළ කරුණක් නෙමෙයි. එය මෙයට සම්බන්ධයක් නැති වෙනම කරුණක්.

ලංකාව වැඩිපුරම ආනයන සිදු කරන්නේ චීනයෙන් හා ඉන්දියාවෙන්. ඒ නිසා ලංකාවේ ආනයන සීමා කිරීම් වැඩිපුරම දැනෙන්නේ චීනයට හා ඉන්දියාවටයි. එහෙත්, එහෙම කළා කියලා එකට එක කරන්න තරම් දෙයක් ඉන්දියාව හෝ චීනය ලංකාවෙන් ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, මේ රටවල් වලට ලංකාවේ අපනයන වලට ප්‍රතිඵලදායක බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. මේ සුවිශේෂී තත්ත්වය නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, ලංකාවට සෘජුව හෝ වක්‍රව ආනයන පාලනය කරන්න වගේම එයින් වාසියක් ලබා ගන්නත් පුළුවන්. එහිදී පවතින තත්ත්වය තේරුම් ගෙන එය මැනවින් කළමණාකරණය කර ගැනීම වැදගත්.

15 comments:

  1. ඉකොනො මේ ආනයන අපනයන දත්ත අරගන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද? මට හොයාගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා ලංකාවට කෙරෙන කෘෂි ආනයන සහ මෙහෙන් කෙරෙන අපනයන ගැන අලුත් විස්තර. කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් සයිට් වල දැක්කේ ඉතා පරණ දත්ත විතරයි.
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. හැම මාසයක් අවසානයේදීම මහ බැංකුව විසින් ආනයන අපනයන දත්ත නිවේදනය කරනවා. මහ බැංකු වාර්ෂික වාර්තා වල වාර්ෂික දත්ත තිබෙනවා. තරමක කාල පමාවක් සහිතව ලෝකයේ හැම රටවල් යුගලයක් හා අදාළ වඩා විස්තරාත්මක දත්ත WTO එකේ තිබෙනවා. MIT එක මඟින් නඩත්තු කරන the observatory of economic complexity වෙබ් අඩවියේ මේ දත්ත ඉතා හොඳින් visualize කර තිබෙනවා. කෘෂි නිෂ්පාදන හා අදාළ දත්ත FAOstatහි තිබෙනවා.

      Delete
    2. Thanks a lot. Very helpful info.

      Delete
  2. පරණ ලිපියකට සම්බන්ධ විස්තරයක්, ඒ ගැන උනන්දු අය සිටි බවක් දැක්ක නිසා -

    The computers rejecting your job application

    ...The Reuters news agency said that Amazon's AI system had "taught itself that male candidates were preferable" because they more often had greater tech industry experience on their resume....

    ReplyDelete
    Replies
    1. මේ විස්තරය නම් ඉතාම interesting. ඇනෝට ස්තුතියි.

      මේකෙ caption එක 'The computers rejecting your job application' කියන එක අපි නිකමට හිතමුකො 'Humans rejecting your job application' කියලා වෙනස් කලා කියලා, නමුත් ලොකු වෙනසක් නැහැනෙ. උදාහරනයකට ලන්කාවෙ කෙනෙක්ගෙ දිග නමක් දැකපු ගමන් මනුශ්ය job agent කෙනෙක් 'අය්යෝ මේ කියවන්නවත් බැරි නම් මොනවද කියලා' reject කරන්න පුලුවන්. එහෙම නැත්නම් රැකියා අපේක්ශකයෙක් interview එකේදි දැකපු ගමන් interview board එකේ කෙනෙක් හිතෙන්න පුලුවන් අය්යො මේ මනුස්සයව මට අල්ලන්නෙ නැහැ කියලා (stereotyping, subconcious bias). ලිපියේ තියෙන විදිහට ඒ වගේ bias එකක් නැහැනෙ AI වල, බොහෝ දුරට. (I remember Econ too talked about this (un)biasedness a few times). අනිත් එක AI නිසා රැකියා නැති වෙනවා කියලා සමහරු බය වුනාට වෙනත් පැති වලින් රැකියා වැඩි වෙන්නෙ නැද්ද. දැන් මේකෙම තියෙන උදාහරනය, transcribe කිරීමෙදි human intervention/expertise අවශ්ය වෙනවා නේද. ඒ නිසා හොඳම දේ මිනිස්සුත් වැඩියෙන් 'smart' වෙලා මේවට අවශ්ය skills තමනුත් වැඩි දියුනු කරගැනීම. (මේව ගැන හොඳට දැනුම තියෙන ඇනො වගේ අයටනම් අපි අහන දේවලට හිනායනව ඇති. මොනව කරන්නද, අහන්නෙ නැතුව දෙයක් දැනගන්න විදිහක් නැහැනෙ).

      Delete
    2. //ලිපියේ තියෙන විදිහට ඒ වගේ bias එකක් නැහැනෙ AI වල, බොහෝ දුරට.//

      ඇත්තටම කියනවනම් bias එකක් කියන එකේ ස්වභාවයම වෙනස් වීමක් වගේ දෙයක් වෙන්නේ. සමහර bias පවත්වාගෙන යන්න scientific basis එකක් හැදෙනවා වගේ වැඩක්. කොහොම වුනත් අවසන් ප්‍රතිඵලය කාර්යක්ෂමතාවය.

      //අනිත් එක AI නිසා රැකියා නැති වෙනවා කියලා සමහරු බය වුනාට වෙනත් පැති වලින් රැකියා වැඩි වෙන්නෙ නැද්ද.//

      මේක ටිකක් සංකීර්ණ කාරණයක්. ඇත්තටම අපිට අනාගතය ගැන කිසිවක් හරියටම කියන්න බැහැ. කාර්මීකරණය නිසා හෝ පරිගණක නිසා රැකියා නැති වුනේ නැහැ. අලුත් රැකියා හැදුනු එකයි වුනේ. දැනුත් ඒ වගේ දෙයක් වෙන්න බැරිකමක් නැහැ. ඒ වගේම මෙතෙක් සිදුවුණු දේ මෙවර සිදු නොවෙන්නත් පුළුවන්. කිසිම සහතිකයක් නැහැ.

      අනෙක් අතට තාක්ෂනය දියුණු වන හැම වටයකදීම අලුතෙන් රැකියා හැදුනේ වුවත් හැමෝටම අලුත් තත්ත්වයට හැඩ ගැහෙන්න බැරි නිසා කට්ටියක් හැලෙනවා. ඒ නිසා, රටවල් අතර වගේම රටවල මිනිස්සු අතර පරතරය පුළුල් වෙනවා. පෙනෙන්න තිබෙන රටාව අනුව මිනිස්සු හැමෝම සමාන වීමක් වෙන්නේ නැහැ. ඉක්මණින් වෙනස් විය හැකි මිනිස්සු හා එසේ කළ නොහැකි මිනිස්සු ( වගේම සමාජ හා රටවල්) අතර පරතරය වැඩි වෙන එකයි වෙන්නේ. ඉක්මණින් වෙනස් විය හැකි මිනිස්සු ඇල්ගොරිදම් පාලනය කරද්දී අනෙක් මිනිස්සුන්ට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙනවා.

      Delete
    3. 'රටවල් අතර වගේම රටවල මිනිස්සු අතර පරතරය පුළුල් වෙනවා' කලින් පොස්ට් එකක ඇනෝ කෙනෙක් දාපු විස්තරයකත් තිබුනා lower socio-economic classes වලට වැඩිපුර බලපෑමක් වෙනවා කියල. හැබැයි ඉතින් ඒ නිසානෙ ඒ වගේ අය අසාදරනයෙන් නිදහස්කරගැනිම (emancipatory process) ගැන කවුරුත් කතා කරන්නෙ. සමහරවිට ඒ පැත්තෙන් රැකියා වැඩි වෙන්නත් පුලුවන්.

      'හැමෝටම අලුත් තත්ත්වයට හැඩ ගැහෙන්න බැරි නිසා කට්ටියක් හැලෙනවා' මගේ colleagues කීප දෙනෙකුත් ඉන්නවා data analytics ගැන එහෙම කතා කරනකොට 'just another fad' කියලා කියන. අලුත් දෙයක් ඉගෙන ගන්න physical and emotional investment කරන්න බැරි අය කොහොමත් හැලිලා යයි.
      පැහැදිලි කිරීම් වලට ස්තුතියි ඉකෝන්.

      Delete
    4. //සමහරවිට ඒ පැත්තෙන් රැකියා වැඩි වෙන්නත් පුලුවන්.//
      ඔබ කියන සාධකය මත රැකියා වැඩි වීම සිදු විය හැක්කේ සුබසාධන ක්‍රමවේදයක් ලෙස පමණයි. ඒ කියන්නේ අනෙක් අයගේ අනුකම්පාව මත. ප්‍රේමදාසගේ කාලයේදී ජනසවිලාභීන්ට දුම්රිය ගේට්ටු වල උණ ගස් උස්සන්න වුනා වගේ. (ලංකාවේ රජයේ රැකියා සමස්තයක් ලෙස ගත්තහමත් මේ වගේ තමයි. ජනසවි පත්වීම් වඩා දෘශ්‍යමාන උදාහරණයක්.)

      Delete
  3. ඔබේ අදහස් සමග එකඟයි ඉකොනොමැට්ටා ඒත් ඔය සාධක වලට අමතරව ලෝක දේශපාලනික බල තුලනය සහ ආර්ථික දේශපාලනික ගේම් වල බලපෑම අමතක නොකළ යුතුයි නේද? මොකද මට පේන විදියට නම් මේ ආණ්ඩුවටත් කෙළවෙන්නේ 1977 - 94 ජේ ආර් ජේ ගේ එජාපය සහ 2010 - 15 මහින්ද ගේ රාජාණ්ඩුවට උනා වගේ ඉන්දියන් රජය තරහ කරගෙන තියෙන එක නිසා. මෝදිගේ බලගතු රජය හිතනවාට වඩා භයානකයි වගේ නේද?

    මොකද ලංකාවට වැඩියෙන්ම භාණ්ඩ ආනයනය කරන රට ඉන්දියාව, ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 4.5 - 5 ක් විතර භාණ්ඩ අපනයන වශයෙන් එවනවා. කාර් වලට ඩොලර් මිලියන 300 ක් විතර, මෝටර් බයිසිකල් ඩොලර් මිලියන 200 ක් විතර, තව බොහොමයක් යන්ත්‍ර සූත්‍ර සහ වෙනත් භාණ්ඩ. නමුත් මේ ආනයන තහනම නිසා වගේම කොළඹ නැගෙනහිර ටර්මිනල් එක (මෝදිගේ දකුණු අත වන් ගෞතම් ආදානීගේ) ඉන්දීය සමාගමකට නොදීම නිසා ඔවුන් ඉන්නේ දැඩි වෛරයකින්.

    ඒ වගේම අනිත් පැත්තෙන් ලංකාවේ දෙවන විශාලම අපනයන ඩොලර් මිලියන අටසීයක් විතර ගන්නේ ඉන්දියන් කාරයෝ. ලංකාවේ ගම්මමිරිස් ඇතුළු කුළු බඩු ගොඩක් සහ තවත් අමුද්‍රව්‍ය වගේ දේවල් ඉතාමත් අඩු මිලට අරන් විශාල ලාභයක් තියාන ලෝකප්‍රකට ඉන්දියන් බ්රෑන්ඩ් වලින් අස්ප ගණන් වලට මාකට් කරලා ලාභ ලබනවා. ලංකාවේ මිනිරන්, ටයිටේනියම්, තෝරියම් ඇතුළු වටිනා ඛනිජ නිධි වල අයිතිය තියෙන්නේ ඉන්දීය සමාගම් යටතේ ඒ වගේම ඒ නිධි වල ලෝපස් නැව් පිටින් ඉන්දියාවට ඉතාමත් අඩු මිලට අපනයනය කරන අතර ඔවුන් ඒවායින් ලෝහ සහ වෙනත් නිෂ්පාදන සාදා අධික ලාභ ලබන අතර සේවා අංශය උනත් තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඇමරිකානු හෝ යුරෝපයේ ආයතන උනත් සෑහෙන දුරට ලංකාවට දෙන්නේ ඉන්දියන් සමාගම් යටතේ අපට උප කොන්ත්‍රාත්. ඔන්න ඔය වගේ සීන් හින්ද ඒ අනුව දැන් අපි ඉන්න තත්ත්වය භයානකයි වගේ නේද?

    මේක බලන්න ඉකොනොමැට්ටා;

    https://oec.world/en/profile/country/lka/

    ඔය සේරම දේවල් අතරේ උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් සඳහන් කරල තියෙන්නෙ එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බව ද පවසමින්.

    ඒ වගේම යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටී.

    උතුරේ දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර වල බලවතුන් වන විග්නේශ්වරන් සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ද ඉන්දීය රෝ සංවිධානය බවද ඔහු පවසයි. නමුත් උතුරේ දෙමළ ජනතාව නැවත යුද්ධයක් බලාපොරොත්තු නැති නමුත් ඔවුන් මෙම සිදුවීම් නිසා බයෙන් ජීවත් වන බව ද ඔහු කියා සිටියේය. (අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත. - https://youtu.be/A6UuOCsDSqw)

    ඒ නිසා ලංකාවේ වගේම පිට රටවල් වලත් සිටින පක්ෂ, විපක්ෂ සියලු දෙනා ට අවබෝධ වියයුතුයි ජාතියක් වශයෙන් අපේ රට සමගිව සිටින තාක් හැමෝටම දේශපාලනේ කරන්න පුළුවන් බවත් නැති වුනොත් ඇමෙරිකාව, ඉන්දියාව , යුරෝපය කැස කවන මේ ලෝක දේශපාලනික බලපෑම් නිසා වන බෙදීම් හරහා රට නැවත වියවුලකට යන බව.

    ආත්මාර්ථය පමණක් මුල්කරගෙන රට ගැන කැක්කුම නැතිව යන ගමන නිසා සහ සෑහෙන මුදල් ප්‍රමාණයක් යෙදවීම හරහා අපටත් නොදනිම රෝ, CIA වැනි ලෝක දේශපාලන බල අධිකාරිය සඳහා තරග වදින අමන ආයතන වල ගොදුරක් විය හැකි බව පේනවා නේද ඉකෝන්? මොකද මේ ගැන හිතන්නේ?

    ReplyDelete
  4. අපෙ රුපියල් දීලා ඩොලර් අරන් ණය ගෙවන්න බැරිද? එහෙම ගෙව්වොත් ඩොලර් එක කොච්චරකින් වැඩිවෙයිද? (ඩොලර් බිලිනයක් ගත්තොත් ඩොලරය කීයක් වෙයිද?)
    ඒ ඔප්ශන් එකට යන්නෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. තනි තනි නෝට්ු විදහට ප්‍රින්ට් නොකර රෝල් වශයෙන් ප්‍රින්ට් කරානං මාර්කට් කරන්න බැරිවෙන එකකුත් නෑ, වොල් පේපර් වලට හේම.

      Delete
    2. මේ වගේ ප්‍රශ්නයකට ඉකෝන් ඉස්සර පෝස්ට් එකකදි පැහැදිලි කරලා තිබුනා ඉල්ලුම තියෙන්නෙ hard currencies වලට කියලා, උදා USD, GBP වගේ වඩා ස්ථාවර මුදල්.

      Delete
    3. ඊළඟ පෝස්ට් එකේ මේ ගැන තව දුරටත් පැහැදිලි කරලා තියෙනවා.

      Delete
  5. අපි හැමෝටම වැරදුනා 2019 ඡන්දෙ දි ඉකෝන් අපි ඉතිහාසය ගැන දැනගෙන හිටියේ නෑ, අපරාදේ

    මෙන්න මේ වීඩියෝ එකේ පැහැදිලි කරල තියෙන්නෙ හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතා ඒ කාලේ කොච්චර දක්ෂ බුද්ධිමත් සහ කාර්යක්ෂම අයුරින් රට පාලනය කළාද කියලා. ඒ තරම් අතිදක්ෂ කාර්ය ශූර බුද්ධියෙන් හිතන අය ලංකාවේ පාලකයන් වෙලා හිටියා කියලා කවුරුවත් දන්නෙ නෑ නේද?

    මේ බලන්න;

    https://www.facebook.com/112035193550571/videos/435496607783718/

    අද සජිත් ප්‍රේමදාස මහතාත් ඒ හා සමානවම ශ්‍රේෂ්ඨ ආකාරයකට රට පාලනය කරන්න දන්න දක්ෂ බුද්ධිමත් කෙනෙක්. මේක බලලා ඔබේ අදහස් අපට කියන්න. අනිවාර්යයෙන්ම ඔබේ අදහස් වෙනස් කරන්න පුළුවන් මේ පුංචි වීඩියෝ එකේ කරුණු කාරණා වලින්...

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...