වෙබ් ලිපිනය:

Thursday, July 30, 2020

මැතිවරණයෙන් ඔබ්බට...

මැතිවරණයට තිබෙන්නේ තවත් දවස් කිහිපයක් පමණයි. මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණ වලින් එකක් කියා ඒ පිළිබඳව බරපතල ලෙස සිතන කිසිවකු සලකන එකක් නැහැ. ප්‍රතිඵල වල අනපේක්ෂිත දේ තිබිය හැකි වුවත්, පවතින ආණ්ඩුවට මැතිවරණය ජය ගැනීම විශාල අභියෝගයක් වෙන එකක් නැහැ. සැබෑ අභියෝගය තිබෙන්නේ ඉන් අනතුරුවයි.

ලංකාවේ ආර්ථිකය අද වන විට පත් වී තිබෙන අවදානම් තත්ත්වය එක් ආණ්ඩුවක වැරැද්දකින් සිදු වූ දෙයක් නෙමෙයි. ඒ තත්ත්වයට ආර්ථිකය පත් වුනේ ක්‍රමක්‍රමයෙන්. නිදහසින් පසුව බලයේ සිටි සෑම ආණ්ඩුවක් යටතේම ක්‍රමක්‍රමයෙන් මේ පරිහානිය සිදු වුනා. 

එයින් කියන්නේ මේ පරිහානියට වගකිව යුත්තේ බලයේ සිටි ආණ්ඩු පමණක් බව නෙමෙයි. බලයේ සිටින ආණ්ඩු වල තීරණ වලට විපක්ෂ දේශපාලන පක්ෂ වල ස්ථාවරයන්ගෙන්ද විශාල බලපෑමක් ඇති වෙනවා. ආණ්ඩුවක පාර්ශ්වයක්ව කිසිදා නොසිටි දේශපාලන පක්ෂ වල ස්ථාවරයන් වගේම දේශපාලන පක්ෂ නොවන ආයතනික ව්‍යුහයන්ද මේ ව්‍යසනයට දායක වී තිබෙනවා. ඒ නිසා, වැරැද්ද කාගේද කියා හොයනවාට වඩා වැරැද්ද හදා ගත හැක්කේ කොහොමද කියා සාමූහිකව හිතන එකයි වඩා වැදගත්.

අවශේෂ කරුණු කෙසේ වුවත්, රටේ ආර්ථිකයේ මූලික ව්‍යාධීන් හා අදාළව මේ වෙද්දී ජන පදනමක් තිබෙන සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. එය යහපත් වර්ධනයක්. එයින් අදහස් කෙරෙන්නේ මේ සියලු දේශපාලන පක්ෂ එකම ආකාරයේ ආර්ථික වැඩ පිළිවෙලකට එකඟ වීමට ඉඩකඩ ඇති බව නෙමෙයි. විපක්ෂයේ සිටින අය බලයේ සිටින ආණ්ඩුවට උදැල්ල දමන එක දිගටම සිදු වෙයි. නමුත්, කවර දේශපාලන පක්ෂ බලයට ආවත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික කරුණු අනුව බැලුවොත් එකම ආකාරයක ප්‍රතිපත්ති. 

ලංකාවේ ආර්ථිකය අද පත් වී තිබෙන තත්ත්වයට මූලික හේතුව ඉතා සරලව කියනවානම් ආණ්ඩු විසින් දිගින් දිගටම නිදහස් වෙළඳපොළට මැදිහත් වෙමින් නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය කිරීමයි. මා මේ වෙලාවේ වඩා විස්තරාත්මක පුළුල් විග්‍රහයක් කරන්න යන්නේ නැහැ.

ලංකාවේ කවදාවත් ධනවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ තිබී නැහැ. අදටත් නැහැ. එහෙත්, හැම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් සමාජවාදය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. එය අහම්බයක් නෙමෙයි. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර විසින් නිදහසට පෙර සිටම උපක්‍රමශීලීව හා සැලසුම් සහගතව ඇති කළ කෘතීම තත්ත්වයක්. මේ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේ සෝවියට් දේශය බිඳ වැටෙන්න ආසන්නව තිබූ අසූව දශකයේ මැද සිටයි. එහෙත්, මේ සැලසුම් වල බලපෑම තවමත් තිබෙනවා. අද තරුණ පරම්පරාව අපේ වයසට ඇවිත් රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් වන තුරු මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන එකක් නැහැ.

සමාජවාදී කඳවුරේ ප්‍රමුඛ උපක්‍රමය වුනේ රටේ උගතුන්, බුද්ධිමතුන් හා කලාකරුවන් සේ සැලකෙන සීමිත පුද්ගලයින් පිරිසකගේ මොළ සේදීමයි. ඉන් පසුව, ඒ පිරිස තමන්වත් නොදැනම ඊළඟ පරම්පරාවේ මොළ සෝදනවා. රටේ පවතින ආණ්ඩුව කුමක් වුවත් රටේ විධිමත් අධ්‍යාපනය සකස් වන්නේ දැන හෝ නොදැන ඔය උගුලට අහු කරගෙන සිටින පිරිසක් අතින්. සමාජවාදීන්ට "නිදහස් අධ්‍යාපනය" ඔය තරම්ම වටින්නේ ඒ නිසයි. 

අපේ තරුණ කාලයේදී මොනවා හෝ ගන්න දෙයක් තියෙන මිනිහෙක් හිටියානම් ඒ මිනිහා සමාජවාදියෙක්. ආණ්ඩු බලය තිබුණත් නැතත් මතවාදී තලයේදී බලය තිබුණේ සමාජවාදීන්ටයි. ඒ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වී මේ වෙද්දී සමාජවාදීන්ට තමන්ගේ මතවාදී ආධිපත්‍යය සෑහෙන තරමකට අත හරින්න සිදු වී තිබෙනවා. එය සාපේක්ෂව මෑතකාලීන ප්‍රවණතාවක්. 

ඇමරිකාව වගේ රටක දේශපාලනඥයින් සෘජුවම ධනවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඇමරිකාවේ දේශපානඥයෙකු වෙත වෙනත් දේශපානඥයෙකු විසින් ඇඟිල්ල දික් කර සමාජවාදියෙකු කියා කියන්නේ ඔහුට හෝ ඇයට හානියක් කිරීමේ අරමුණින්. දේශපාලන පක්ෂයක් සමාජවාදී බව කියන්නේ චෝදනාවක් ලෙසයි. බොහෝ විට ප්‍රතිචාරය වන්නේ එය එසේ නොවන බව පෙන්වීමයි.

ලංකාවේ දිගින් දිගටම දැකිය හැකිව තිබුණේ එහි අනික් පැත්තයි. හැම දේශපාලන පක්ෂයක් වගේම පෙන්නන්න හදන්නේ තමන් ටිකක් හරි සමාජවාදීන් බවයි. ධනපති පක්ෂ හෝ සුළු ධනේශ්වර පක්ෂ ලෙස ඇතැම් දේශපාලන පක්ෂ ලේබල් කරන්නේ වෙනත් අයයි. මේ ලේබල් වරින් වර ප්‍රධාන දේශපාලන පක්ෂ වලට වගේම වාමාංශික දේශපාලන පක්ෂ වලටත් වැදී තිබෙනවා.

ධනපති, සුළු ධනේශ්වර ලේබල් වල තව දුරටත් ආර්ථික වටිනාකමක් නැහැ. ඒ වෙනුවට දැන් ආදේශ වී තිබෙන චෝදනාව ප්‍රධාන පක්ෂයක අතකොළුවක් හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමක් කියන එකයි. ඒ අතරම ජාතික, විජාතික ලේබල් වලට මේ වෙද්දී විශාල ආර්ථික වටිනාකමක් ලැබී තිබෙනවා. 

පෞද්ගලික අංශය සතු වූ සම්පත් රජය සතු කරගැනීම හා සුබසාධනවාදය නිදහසින් පසු ලංකාවේ ආර්ථික සැලසුම් වල මුල සිටම දැකිය හැකි වූ ලක්ෂණයි. එයට එම ආණ්ඩු වලටම වරද පටවන්න බැහැ. ආණ්ඩු විසින් ගත් ක්‍රියාමාර්ග වලින් පිළිබිඹු වුනේ රටේ මිනිස්සුන්ට අවශ්‍යව තිබුණු දෙයයි. මේ තත්ත්වය අදටත් වලංගුයි. 

සමස්තයක් ලෙස ගත් විට ලංකාවේ කිසිදු ආණ්ඩුවකට මහජන මතයට පිටින් යාමට මෙතෙක් හැකි වී නැහැ. එසේ නොවූ අවස්ථා සැලකිය හැක්කේ හුදෙකලා සිදුවීම් ලෙසයි. 1956, 1970, 1977, 1994, 2010, 2015, 2018, 2019 ආදී සෑම අවස්ථාවකම මහජන මතය ප්‍රබල ලෙස මතු වුනා. ඉදිරියේදීත් රටට ගොඩ යන්නනම් වෙනස් විය යුත්තේ මහජන මතයයි. මහජන මතය අවශ්‍ය සේ වෙනස් වේනම් ආණ්ඩුව කරන්නේ කවුද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

රටක් ණයෙන් දුවවන එක තිරසාර නැහැ. එහෙත්, කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම, මේ ආකෘතියට මහජන සහයෝගය ලබා ගැනීම පහසුයි. සුබසාධනයේ වාසිය මිනිස්සුන්ට සෘජුවම ලැබෙනවා. ඒ නිසා, තමන් උපයන දෙයට වඩා වැඩියෙන් පරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. 

සාමාන්‍යයෙන් සුබසාධනයේ මූලධර්මය වන්නේ එක් අයෙකුගෙන් අරගෙන තවත් අයෙකුට දෙන එකයි. මේ ක්‍රමය තිරසාරයි. හැබැයි ජනප්‍රිය නැහැ. ප්‍රතිලාභ ලබන අය කැමති වුනත් එහි වියදම දරන අයට සුබසාධනය බරක්. ඒ හේතුව නිසාම සුබසාධනය සීමාව පනින්නේ නැහැ. යම් සමතුලනය වීමක් වෙනවා. සුබසාධනය අඩු වෙද්දී පහළ ස්ථර හඬ නගනවා. සුබසාධනය බරක් සේ දැනෙන්න ගත් විට ඉහළ ස්ථර හඬ නගනවා. ලෝකයේ බොහෝ රටවල සුබසාධන ආකෘතිය ඔය වගේ එකක්.

ලංකාව හොයාගෙන තිබෙන ක්‍රමයේ හොඳ මිසක් නරක නැහැ. සුබසාධනයේ වාසිය ලබන අය හිටියත් එහි මිල ගෙවන කෙනෙක් නැහැ. ඒ නිසා, සුබසාධනය ඉහළ ස්ථර වලට බරක් නෙමෙයි. ඇත්තටම කියනවානම් මා මේ ලිපියේ විස්තර කරන්න නොයන හේතු ගණනාවක් නිසා මේ ක්‍රමයට ලංකාවේ ඉහළ ආදායම් ස්ථර වල ඉන්න අයත් කැමතියි. 

නමුත්, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව එහෙම මිලක් නැති වෙන්න බැහැනේ. සුබසාධනයේ මිල කා මත හෝ පැටවෙන්න ඕනෑ. ලංකාවේ "නිර්මාණාත්මක" ආර්ථික ආකෘතිය අනුව මිල පැටවෙන්නේ අනාගත පරම්පරාවටයි. හඬක් නගන්න ඒ අය තවම ඉපදිලා නැහැ. ඉපදිලා හිටියත් ඡන්ද බලය නැහැ.

ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වෙනුවෙන් පොළේ බඩු විකුණන වයසක ආච්චි අම්මා, මුට්ට කර ගහන නාට්ටාමි ඇතුළු හැමෝම දායක වෙලා තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. පට්ට පල් බොරු! ඔය කවුරුවත් එක සතපහක් ගෙවලා නැහැ. 

අද මිලක් නොගෙවා ඉගෙන ගන්න දරුවෙක්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අද ජීවත් වන කිසිම කෙනෙක් එක සත පහක් ගෙවන්නේ නැහැ. දරුවා වෙනුවෙන් වියදම් කරලා ලොකු වුණාම පොලියත් එක්ක ගෙවන්න බිල හදල තියන එකයි කරන්නේ. 

ඌ ලොකු වෙලා බිල ගෙවනවද? නෑ. ඌ ගෙවන්නෙත් නැහැ. ඌ කරන්නේ උගේ දරුවා වෙනුවෙන් වියදම් කරලා ඌට ගෙවන්න ඉතුරු කරන බිලට උගේ පරණ බිලත් එකතු කරන එකයි. අමුවෙන්ම ඔන්න ඕකයි කතාව.

ලංකාවට නිදහස ලැබුණු දවසේ ඉඳලම වුනේ ඕකයි. ඒ වෙද්දී ඉපදී සිටි හතළිස් ගණන් වල ඉපදුනු පරම්පරාව වෙනුවෙන් කළ වියදම් ලොකු වෙලා ගෙවන්න ඒ අයටම ඉතිරි කරලා තියෙනවා. ඉන් පසුව හැට ගණන් වල ඉපදුණු පරම්පරාව වෙනුවෙන් කළ වියදම් ඒ අයට ඉතිරි කරද්දී කලින් පරම්පරාවේ නොපියවූ බිලත් ඒ බිලටම එකතු කරලා තියෙනවා. අනූ ගණන් වල ඉපදුණු අයගේ බිල් හදද්දී ඒ අයගේ දෙමවුපියන්ගේ වියදම් වගේම සීයලා ආච්චිලාගේ වියදමුත් එකතු වෙලා. එහෙම නැතුව ඒ අය වෙනුවෙන් රජය විසින් මහජන මුදල් වියදම් කරලා නැහැ. රජය විසින් එකතු කරගත් මහජන මුදලක් ඇත්නම් ඒවා රජය විසින්ම පරිභෝජනය කර අවසන් කරලා ඉවරයි.

නිදහසෙන් පස්සේ මුල් කාලයේදී ඉපදුනු අය සමාජවාදය භුක්ති විඳලා අනාගත පරම්පරාවේ වියදමින් ආතල් එක අරගෙන මැරිල ගියත් අනූ ගණන් වලින් පස්සේ ඉපදුනු පරම්පරාවට ඒ ආතල් එක ගන්න ලැබෙන එකක් නැහැ. තමන්ගේ ජීවිත කාලය තුළ කොයි වෙලාවක හෝ මේ අයට අර පරණ ණය ගෙවන්න වෙනවා. තමන් වෙනුවෙන් කලින් පරම්පරාව වියදම් කරපුවා විතරක් නෙමෙයි. ඒ පරම්පරාව වෙනුවෙන් ඊටත් කලින් පරම්පරාව වියදම් කරපුවා හා ඊටත් කලින් පරම්පරාවේ වියදමුත් එක්කම.

ආණ්ඩු වලට ආවොත් මෙතෙක් කල්ම ලංකාවේ ආණ්ඩු විසින් කරගෙන ආවේ අවුරුදු පහකින් පස්සේ ඊළඟ ආණ්ඩුවට ගෙවන්න ණය ඉතිරි කරමින් සිත් සේ වියදම් කරන එකයි. හැබැයි මේ ආණ්ඩුවට ඒ විදිහට ප්‍රශ්නය තවත් අවුරුදු පහක් පස්සට තල්ලු කරන එක ලේසි වැඩක් නෙමෙයි. හැම ආණ්ඩුවක්ම මේ වැඩේ කරගෙන ආවත් එසේ කළේ යම් පාලනයක් ඇතිවයි. හැබැයි පහුගිය රාජපක්ෂ ආණ්ඩුවේ දෙවන අදියරේදී ගිය දුර ඕනෑවට වඩා වැඩියි. ඒ පවු වලට මේ ආණ්ඩුවට කර ගහන්නම වෙනවා.

මහින්ද රාජපක්ෂ බලයට පත් වෙන්න පෙර 2000-2004 කාලයේ ලංකාවේ විදේශ ණය හා බැරකම් 26.4%කින් ඉහළ ගියා. 2005-2019 කාලයේදීත් 24.4%කින් ඉහළ ගියා. මේ විදිහට විදේශ ණය හා බැරකම් ඉහළ යාම ලංකාවේ හැම ආණ්ඩුවක් යටතේදීම සිදු වුනු දෙයක්. එහෙත්, 2004-2015 කාලයේ ලංකාවේ විදේශ ණය හා බැරකම් ඉහළ යාම 251.8%ක්.

මේ ආකාරයට විදේශ ණය හා බැරකම් විශාල ලෙස ඉහළ යාමේ ප්‍රශ්නය ඒ වෙනුවෙන් පොලී හෝ ප්‍රතිලාභ සේ ගෙවිය යුතු මුදල රට ඇතුළෙන් උපයා ගත නොහැකි වීමයි. මෙය රටේ ආර්ථිකය දුර්වලව තිබීමෙන් ඔබ්බට යන වඩා ප්‍රාථමික ප්‍රශ්නයක්. රටේ ආර්ථික වර්ධනය හොඳ මට්ටමක තිබේනම් රජයට මේ ණය හා පොලී ගෙවීම සඳහා අරමුදල් හොයා ගන්න පුළුවන්. එහෙත්, එසේ වූ පමණින් ඒ මුදල් ඩොලර් කිරීමේ හැකියාවක් ඇති වන්නේ නැහැ. රට ඇතුළේ ප්‍රමාණවත් විදේශ සංචිත නැහැ කියන්නේ අරමුදල් තිබුණත් රුපියල් ඩොලර් කළ නොහැකි නිසා ණය ගෙවන්න විදිහක් නැහැ.


විදේශ ණය හා බැරකම් බරක් වන ප්‍රධාන ආකාරයක් වන්නේ ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියයි. 2000-2004 කාලයේදී ලංකාවේ සමස්ත ණය හා බැරකම් 26.4%කින් ඉහළ ගියත් අදාළ කාලය තුළ ලංකාවේ විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික පොලී වියදම් 25%කින් පහළ ගියා. එහෙත්, 2005 වසරේ සිට දැක ගත හැකි වුනේ වාර්ෂික පොලී වියදම් එන්න එන්නම ඉහළ යාමක්. 2005 වසරේදී විදේශ ණය වෙනුවෙන් පොලී සේ වැය කළේ ඩොලර් මිලියන 204ක් පමණක් වුවත්, 2015 වන විට එම වියදම ඩොලර් මිලියන 1,192ක්. එනම්, පස් ගුණය ඉක්මවන වැඩි වීමක්. 2019 වන විට ඩොලර් මිලියන 1,653ක්.

මෙයින් අදහස් වන්නේ ඉදිරියේදී ලංකාව අලුතෙන් තවත් එක් ඩොලරයක හෝ විදේශ ණය ලබා නොගත්තත් දැනට තිබෙන විදේශ ණය වෙනුවෙන් පොලී ගෙවීම සඳහා පමණක් සෑම වසරකදීම ඩොලර් බිලියන 1.7ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් සොයා ගත යුතු බවයි.

මෙය දරුණු තත්ත්වයක් බව වත්මන් ආණ්ඩුව විසින් හඳුනාගෙන ඇති බවට කිසිදු සැකයක් නැහැ. ප්‍රශ්නයට සෘජුව මුහුණ දෙන්න වෙන්නේ වත්මන් ආණ්ඩුවටයි. මේ වෙද්දී දෙපිලකට බෙදී සිටින පරණ ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටත් මේ තත්ත්වය අලුත් දෙයක් නෙමෙයි. ඊට අමතරව ලංකාවේ දකුණේ ජනපදනමක් තිබෙන දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. එම පක්ෂය විසින්ද මේ අර්බුදය ගැන සෘජුවම කතා කරනවා. 

ඔවුන්ගේ පොදු භාවිතාව කවර එකක් වුවත්, මේ වෙලාවේ ජවිපෙ විසින් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ මාක්ස්වාදී මූලධර්ම මත පදනම්ව කියා මම හිතන්නේ නැහැ. ඔවුන් කතා කරන්නේත් සම්මත ආර්ථික විද්‍යා න්‍යාය මත පදනම්ව විය යුතුයි. ඒ අනුව, වරද එකිනෙකා විසින් අනෙකා මත පටවනවා වුවත්, මේ වෙලාවේ රටේ ආර්ථික අර්බුදයේ ස්වභාවය පිළිබඳව රටේ ජන පදනමක් තිබෙන දේශපාලන පක්ෂ සියල්ලටම පොදු විග්‍රහයක් තිබෙනවා. 

අවශ්‍ය වන්නේ ප්‍රශ්නයට විසඳුම පිළිබඳවත් මෙවැනි පොදු එකඟතාවයක් ඇති වීමයි. ඒ එකඟතාවය ස්වාධීනව වෙන වෙනම කරන විග්‍රහ මත ඇති වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි.

මේ අවස්ථාව ලංකාවට නැත්තටම නැති වෙන්න වගේම ගොඩ යන්නත් අවස්ථාවක්. එය තීරණය වන්නේ සියලු ලාංකිකයින්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය මතයි. කවුරු හෝ පුද්ගලයෙක් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුළේද නැත්නම් එළියේද, ආණ්ඩු පක්ෂයේද නැත්නම් විපක්ෂයේද කියන එකට වඩා වැදගත් වෙන්නේ රට මුහුණ දී සිටින අර්බුදය නිවැරදිව තේරුම් ගත හැකිද කියන කාරණයයි. එහෙත්, පාර්ලිමේන්තුව ඇතුළේ රට මුහුණ දී සිටින අර්බුදයේ ගැඹුර ස්වාධීනව විග්‍රහ කර ගැනීමේ හෝ එසේ විග්‍රහ කළ හැකි අයව තේරුම් ගැනීමේ කුසලතාවයක් ඇති, එම කුසලතාවය තමන්ගේ පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් වෛශ්‍යා වෘත්තියේ නොයොදවන පුද්ගලයින් කිහිප දෙනෙකු හෝ සිටීම වැදගත්. එවැනි අය ඉන්නවානම් ඒ මොන කණ්ඩායමේද කියන එක වැදගත් නැහැ.

36 comments:

  1. //සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර විසින් නිදහසට පෙර සිටම උපක්‍රමශීලීව හා සැලසුම් සහගතව ඇති කළ කෘතීම තත්ත්වයක්. මේ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේ සෝවියට් දේශය බිඳ වැටෙන්න ආසන්නව තිබූ අසූව දශකයේ මැද සිටයි// මුළු ලිපියම වගේ හොඳට ලියල ඔය වාක්‍යයට එකඟ වෙන්න අමාරුයි. සමාජවාදී අදහස සෝවියට් දේශය හැදෙන්නට පෙර තිබූ දෙයක්. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමාජවාදය ගැන කතා කරන්නේ සෝවියට් සමාජවාදය ගැන නොවේ. ලංකාව අර්ධ සමාජවාදී වෙන්න ගත්තේ සේනානායක ලගේ ඉඳන්

    ReplyDelete
    Replies
    1. මුල් යුගයේ සමාජවාදින් වෙලා තියෙන්නේ ගම්පෙරලියේ තිස්සලා වගේ අය නේ.

      Delete
  2. //එහෙත්, එසේ වූ පමණින් ඒ මුදල් ඩොලර් කිරීමේ හැකියාවක් ඇති වන්නේ නැහැ. රට ඇතුළේ ප්‍රමාණවත් විදේශ සංචිත නැහැ කියන්නේ අරමුදල් තිබුණත් රුපියල් ඩොලර් කළ නොහැකි නිසා ණය ගෙවන්න විදිහක් නැහැ//
    ඉකොනො , එතකොට විදේශ සංචිත තියා ගන්නේ
    ගන්නේ මූලිකවම රුපියල් ඩොලර් කරලා විදේශ ණය ගෙවීම හා ආනයනික භාණ්ඩ වලට මිල ගෙවීම කියන දේවල් වලට ද??

    ReplyDelete
    Replies
    1. කෙටි පිළිතුරක් ලෙස ඔව් කියා කියන්න පුළුවන්. නමුත්, තවත් වාසි/ ප්‍රයෝජන ගණනාවක් තිබෙනවා. විදේශ වත්කම් කියන වචනයෙන් රටේ කා ළඟ හෝ තිබෙන ඩොලර් (හෝ වෙනත් විදේශ විණිමය වත්කම්) හඳුන්වන්න පුළුවන්. නමුත් ලංකාව ගත් විට රටේ විදේශ වත්කම් වලින් වැඩි කොටස මහ බැංකුවේ තිබෙන නිල සංචිත. "රුපියල් ඩොලර් කරලා විදේශ ණය ගෙවීම හා ආනයනික භාණ්ඩ වලට මිල ගෙවීම" සඳහා අවශ්‍ය පමණ ඩොලර් මහ බැංකුවෙන් පිටත රටේ කා ලඟ හෝ තිබෙනවානම් නිල සංචිත වලට අත තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිල සංචිත තියා ගන්නේ හදිසියකදී ප්‍රයෝජනයකට ගන්නයි. සංචිත කියන වචනයේ තේරුමම එයයි.

      නිල සංචිත තියෙන තරමට රටේ ඩොලර් හිඟයක් ඇති නොවන බවට විශ්වාසයක් ඇති වෙනවා. නිල සංචිත අඩු වෙනකොට ඒ විශ්වාසය අඩු වෙනවා. බැංකුවක් පිළිබඳ විශ්වාසය අඩු වූ විට මිනිස්සු තමන්ගේ තැන්පතු ආපසු ගන්න පෙළඹෙනවා වගේ. එවිට ආපසු ඩොලර් කරගන්න බැරි වෙයි කියන බයට කවුරුවත් ඩොලර් රුපියල් කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස රටට එන ඩොලර් ප්‍රවාහ අඩු වෙනවා. රටේ තිබෙන සීමිත ඩොලර් ප්‍රමාණය මත පීඩනය වැඩි වෙනවා. ආනයන සීමා ආදිය දමන්න වෙනවා.

      ලංකාවේ මෑතකාලීන ආර්ථික ප්‍රතිපත්තිය වී තිබෙන්නේ හැකි හැම විටකම වගේ ඩොලරය අවශ්‍ය පමණ අවප්‍රමාණය වෙන්න ඉඩ නොදීම නිසා ලංකාවේ කෙනෙකුට ඩොලර් තියා ගන්නවාට වඩා රුපියල් තියා ගන්න එක ලාබයි. ඒ නිසා, අවශ්‍යනම් රටට එන ඩොලර් මහ බැංකුවේ නිල සංචිත වලට පහසුවෙන් එකතු කර ගන්න පුළුවන්. මහ බැංකුවෙන් පිටත ඩොලර් රැඳෙන්නේ ඉතා අඩුවෙන්.

      Delete
    2. සංචිත එකතු කර ගන්නේ කොහොමද ?

      අපනයන කරුවන් භාණ්ඩ අපනය කරල වාණිජ බැංකු වලට ලැබෙන(අපනයන ආදායම ) ඩොලර් රුපියල් කරල අපනයනය කරුවාට දෙනවා. පස්සේ මහ බැංකුව රුපියල් ,ඒ වාණිජ බැංකු වලට දීල ඩොලර් අරන් සංචිත වලට දානවා ද?

      ඒවගේම ගෘහ සේවයට ගියා කාන්තාවන්ගෙන් ලංකාවට ලැබෙන පිටරට සල්ලී , වාණිජ බැංකු මගින් මාරු කරල රුපියල් දෙනවා ,ඒ ගෘහ සෙවකයන්ගේ පවුල් වලට, වාණිජ බැංකු වල පිටර සල්ලී මහ බැංකු ගන්නවා සංචිත වලට ??

      ඒ විදියට ද??

      Delete
    3. එත්කොට අපනයනය කරුවන්ගේ ආදායම / ගෘහ සේවිකාවන්ග්ගගේ ආදායම, ලංකාවට එවන්කොට, රුපියල් වලට මරූ නොකර ඒ රටේ( එ විදේශයේ ) මුදල් ඒකකයෙන්ම ලංකාවේ බැංකුව තියන්න බැරිද ?

      උදා : ඩොලර් 100 සම්පත් බැංකුවේ ආදාල පුද්ගලයන්ගේ ගිනුමට දානවා , ඇමරිකාවේ ඉදන්. ලංකාවේ එක්කෙනාට එ ඩොලර් 100 එ විදියටම ගන්න හෝ ගිනුමේ ඩොලර් 100 විදියටම තියන්න බැරිද ?
      (ගෘහ සේවිකාවන්ට්ට පවා,)

      Delete
    4. USD, GBP, AUD, JPY වැනි ප්‍රධාන මුදල් වර්ගයකින් ගිනුමක මුදල් තියා ගන්න පුළුවන්. ඒ සඳහා නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් (Resident Foreign Currency Account) විවෘත කළ යුතුයි.

      Delete
  3. ආගම් වල මිත්‍යා විශ්වාස කරන්න බැරිවුනු හිතහොඳ (?) මිනිසුන්ට සමාජවාදී සාහිත්‍ය ඇඟට අල්ලලා ගියා. කූටත්වය පිරුනු සමාජයක වෙළෙන්දා / ව්‍යවසායකයා පමණක් කූටයෙකු ලෙස බවුස්තීම කරේ වෙළදාමට යොමුවුනේ නම්බුකාර කුල වල මිනිසුන් නොවන නිසා වෙන්නැති නේද? සාර්ථක වෙන්න අවශ්තාව ලැබෙන්නේ ගමේ නෑදෑ සනුහරේට අයිති නොවන කෙනෙකුට වීමත් හේතුවෙන්න ඇති.

    කොහොමටත් සාහිත්‍ය සහ ව්‍යවසායකත්වය අන්ත දෙකක්නේ. අපේ වගේ පුංචි රටක සාහිත්‍යකරුවන්ට ජීවිතය සාර්තක කරගන්න නම් වන්දිබට්ටයකු වෙන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. කුල වල බලපෑම ගැන මම හිතල තිබුණේ නැහැ. ඒකත් එක් සාධකයක් වෙන්න පුළුවන්.

      Delete
    2. ඔය සාහිත්‍ය වන්දිභට්ට කම සෝවියට් දේශයේ දරුනුවටම තිබ්බ. ආණ්ඩුවට කොහොම වෙතත් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු නොවී නම් වැද්ද ගත්තේ නැහැ ,පොතක් ගහන්න බහ. රෝනියෝ කොළ තමා . මාත් කියවල තියනවා එහෙම ඒවා. එකොන් දන්නවද මහජන බැංකුව සහ සෝවියට් බැංකු අතර සම්බන්ධය

      Delete
    3. පුංචිකාලේ අපේ ගෙදර විද්වත් විවාද වල නිතර කියවෙන දෙයක් තමා පැරිස් කොමියුනේ අසාර්ථකවුනේ බැංකුවලට අත නොතියපු නිසා කියා. මහජන බැංකුව සුභසිංහගේ නිර්මාණයක් නේද? අර මිතිෂිවල මීයංගේ (සම්පකාර) ඉස්කොලෙට බැංකුවල අයටත් සිස්සත්ත හම්බුනාද?

      Delete
    4. //එකොන් දන්නවද මහජන බැංකුව සහ සෝවියට් බැංකු අතර සම්බන්ධය//
      නෑ. කරුණාකර ඔබ දන්නා දේ ලියන්න. එවිට මට ඒ ඔස්සේ හොයා බලන්න පුළුවන්. ලංකාවේ බැංකු ඉතිහාසය ගැන නිසා මම දැන ගන්න කැමතියි.

      Delete
    5. සෝවියට් දේශයේ ඉගෙනගත් යහළුවෙක් හිටිය වෙන්ඩෙල් සොලමන් කියල. මඑයා තානාපති ආර්ථික විද්‍යාව පශ්චාත් උපාදියක් කරන්න ආවේ. එයාගේ තාත්තා ලන්ඩන් යුනි ඉගෙන ගත්ත කෙනෙක්. ඒ දවස්වල සිරිමාවෝ ගේ භාග සමාජවාදී ආණ්ඩුව සොලමන් (පියා) යැව්වා සෝවියට් දේශයට එහෙ බැන්කින් සිස්ටම් එක ඉගෙන ගන්න . ප්‍රතිඵලය තමයි මහජන බැංකුව. එයා තමා ඒකෙ පලවෙනි ජෙනරල් මැනේජර්

      Delete
    6. මේකේ තියෙන ලින්ක් එකට යන්න , නිමල් සිරිපාල ලුමුම්බා ඉගෙන ගත් යාළුවෙක්.
      imal Siripala wrote:


      The first time, I met him in Moscow when he came for his post-graduate studies and stayed in the same block where I stayed. To me, I find some uniqueness in his character. Before coming to Moscow, he was attached to the commerce department and had training in international trade in Switzerland. Then he was posted to the Sri Lankan embassy in Baghdad as the trade secretary.

      He just resigned from his rewarding career and came back for his studies. He did not ask for study leave or any other benefits entitled to him. It was a strange thing for me as I know how people are worried about their positions, vehicles or perks they can get by being a top-level bureaucrat in the country.

      He always looked for new ideas and wanted us to read them. If we ask about anything related to our studies, he digs deep into it and tries to explain it from the basics. When the internet became a popular mode of communication, I think he might have sent more than several thousands of mails with some new ideas.

      He had a very humanistic approach and always talked about the hardship, ordinary Sri Lankan faced and very much worried about it. He used to get very sensitive to those issues and during those discussions, I can remember his facial expression which tells a lot.

      However, he was a descendant of Colombo high social echelon and his father was the first general manager of the Peoples Bank. He was a B.Sc economic graduate of London University and surprisingly he may be the first banker who went to USSR to learn banking when all others went to European countries.

      These things might have shaped the Solla’s thinking. I am not sure, but I heard that he was studying in the medicine stream in Royal College before he came to do Economics. Someone has to confirm it

      There are some articles written about Solomon’s father and I attached some of them here to get some understanding about another side of Solla. You may have many emails from Solla and I had a separate folder for him in my inbox.


      http://archives.dailynews.lk/2010/07/02/fea07.asp

      Delete
    7. පොඩ්ඩක් හිනා යන දේ තමා සෝවියට් දේශයේ තබ්බා ස්බෙරෙගතෙල්නයා කස්සා - හෙවත් ඉතිරි කිරීමේ මුලදී පොලී දුන්නේ නැහැ. අර ඉස්ලාමිය බැංකු වගේ. සමුහ ගොවිපලවල හා කම්හල්වල සල්ලි දාල හදල මිනිසුන්ට සල්ලි න්න කීව . පොලි වෙනුවට වෙන වෙන දිරි ගැන්වීම් තිබ්බේ. නමුත් මොලේ තියෙන මිනිස්සු සල්ලිවලින් ඩොලර් අරන් තියා ගත්ත. ඔය සෝවියට් බැංකු විධිහට තමාලු මහජන බැංකුවයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි මුලදී හැදුවේ රාජ්‍ය බැංකු වශයෙන් ( මම අහල තියෙන විධිහ )

      Delete
    8. //ආණ්ඩුවට කොහොම වෙතත් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු නොවී නම් වැද්ද ගත්තේ නැහැ//
      මම මේ ලගදි Road to the Stars කියෙව්වා, Yuri Gagarin ගේ පලවෙනි අභ්‍යවකාශ ගමන. ඒක කියෙව්වම තේරුනා කොමියුනිස්ට් පක්ෂේ සාමාජිකයෙක් වීම ඉස්සරහට යන්න කොච්චර වැදගත් ද කියලා.
      පොතේ අන්තිම වාක්‍ය,
      "We are peace-loving people and our whole life, down to the last drop of blood, down to the last breath, belongs to our wonderful socialist Motherland"

      Delete
    9. ඔතන අවංකවම ඕක විශ්වාස කරපු අය හිටියා, මුලදී හොඳ වුනත් , හරි අධ්‍යාපනයක් නැති පක්ෂය හරහා උඩට ගිය හොරුත් හිටියා. අපි ගිය කාලේ කොමියුනිස්ට් පක්ෂයට තියන ලැදියාව හුඟක් අඩුවෙල තිබ්බේ මිනිස්සු අතර. ඒ නිසාම පක්ෂ සාමාජිකත්වය තියනවනම් උඩට යන්න පුළුවන්කම වඩාත් ඇති කළා ඔය නිලධාරින්ම. වුනේ මිනිසුන් වැඩිපුර පක්ෂයට යෑම ප්‍රතික්ෂේප කරපුඑක

      Delete
    10. බැංකු පිළිබඳ විස්තරයට ස්තුතියි, අජිත්!

      Delete
  4. ඉකොනො

    1. විදේශීය සංචිත විකුන්නේ නැතුව රුපියල් ඩොලර් කරන්න බැරිද ?(විදේශ ණය ගන්නෙත් නැතුව) ,

    එහෙමත් නැත්නම් ණය නොගෙන රුපියල් ඩොලර් කරන්න විදේශ සංචිත විකුණන්නම ඕන ද??

    2. සංචිත බාවිතා නොකර , පිටරට ණය ගෙවන්නේ කොහොමද (ණය නොගෙන) ?

    ReplyDelete
    Replies
    1. ඔබ අසා තිබෙන ප්‍රශ්න කිහිපයම එකිනෙකට සම්බන්ධයි. උඩ AnonymousJuly 30, 2020 at 10:59 PM වෙත දුන් ප්‍රතිචාරය බලන්න. එම ප්‍රශ්නයත් බොහෝ දුරට මීට සමානයි.

      රට ඇතුළේ කොහේ හෝ ඩොලර් තිබෙනවානම් සංචිත විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහේ හෝ කිවුවත් ප්‍රායෝගිකව තියෙන්න පුළුවන් වාණිජ බැංකුවකයි. ඒ සඳහා, අපනයනකරුවන්, විදේශ සංචාරකයින්, විදේශ රැකියා කරන අය ආදීන් හරහා රටට පැමිණ රුපියල් වලට මාරු වෙන ඩොලර් බැංකු වල එකතු වී තිබිය යුතුයි.

      Delete
  5. පහුගිය ලිපි සහ අදහස් තීරු අකන්ඩව කියවුවෙමි. ඔබේ ඇතැම් අදහස්වල පරස්පරතා ඇත.

    ඔබ කියන ආකාරයට ලංකාවට ලැබෙන විදේශ මුදල් වාණිජ බැංකු හරහා මහ බැංකුවේ සංචිත සදහා යොමු වේ. රජයට විදේශ ණය පියවන්න(ණය නොවී) විදියක් නැත්නම් සංචිත විකිණීමට යොමු වේ, සහ එය බරපතල තත්ත්වයක්.
    ලංකාවට එන හැම විදේශ මුදලක්ම මහ බැංකුවේ සංචිත වලට යනවා නම් විදේශ ණය පියවන්න වෙන්නෙත් සංචිත විකුණනලනේ, නැත්නම් වෙන කොහෙද හරි මවල ගෙවන්න ද? මේක බරපතල කියන්නේ බේගයක් නේ.


    /// කොහේ හෝ කිවුවත් ප්‍රායෝගිකව තියෙන්න පුළුවන් වාණිජ බැංකුවකයි. ඒ සඳහා, අපනයනකරුවන්, විදේශ සංචාරකයින්, විදේශ රැකියා කරන අය ආදීන් හරහා රටට පැමිණ රුපියල් වලට මාරු වෙන ඩොලර් බැංකු වල එකතු වී තිබිය යුතුයි.///

    දැන් ඉතින් ඔය වාණිජ බැංකු වල තීන සල්ලිත් සංචිත වලට ගන්නවා නේ, ඉතින් සංචිත වලින්ම්මමයි ගෙවන්න වෙන්නේ කියන එකයි මම කියන්නේ

    ReplyDelete
    Replies
    1. කරුණාකර පරස්පර විරෝධතා තිබෙන සේ පෙනෙන තැන් ඇත්නම් විමසා පැහැදිලි කර ගන්න. ප්‍රශ්න එන ආකාරය හා ලියන මාතෘකාව අනුව සමහර වෙලාවට අලියාගේ දළ ගැනත්, සමහර වෙලාවට අලියාගේ වලිගය ගැනත් ලියන්න වෙනවා. නැත්නම් හැමදාම අලියා ගැන විස්තර කර කර ඉන්නවා මිස ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුර ලියන්න වෙන්නේ නැහැ. කියවන අයට පරස්පර සේ පෙනෙන දේ ඇත්නම් පෙන්වා දීම මට කරන උදවුවක්. සරලව පැහැදිලි කරන්න උත්සාහ කළත් මෙය සංකීර්ණ විෂයයක් නිසා එසේ අපැහැදිලි තැන් පැහැදිලි කර නොගෙන මතුපිටින් කියවාගෙන ගියොත් වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන්.

      //ලංකාවට එන හැම විදේශ මුදලක්ම මහ බැංකුවේ සංචිත වලට යනවා නම්//

      කිසිසේත්ම ලංකාවට එන හැම විදේශ මුදලක්ම මහ බැංකුවේ සංචිත වලට යන්නේ නැහැ. ඒ සඳහා මහ බැංකුව මැදිහත් වී විදේශ මුදල් මිල දී ගත යුතුයි. ඒ වගේම බැංකු විසින් තමන් සතු විදේශ මුදල් මහ බැංකුවට විකුණන්න කැමති විය යුතුයි. එසේ නැත්නම් බලහත්කාරයෙන් ගන්න බැහැ. රටට එන හැම විදේශ මුදලක්ම මහ බැංකුවට ගියානම් රටේ විදේශ වත්කම් හා බැරකම් අතර දැන් තිබෙන ආකාරයේ පරතරයක් ඇති වෙන්නේ නැහැනේ. ඒ වගේම රටට එන හැම විදේශ මුදලක්ම බැංකු පද්ධතිය ඇතුළට යන්නෙත් නැහැ. ඔබ ජීවත් වන්නේ ලංකාවේනම් පිටරට ගොස් පැමිණි අවස්ථාවක ඉතිරි වූ යම් මුදලක් ඔබ ඔබේ අතේ තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම කොටුව පැත්තේ කැරකුනොත් ඔබට ලංකාවේ අවිධිමත් විදේශ මුදල් වෙළඳපොළක් හමු වෙනවා.

      පොඩ්ඩක් කල්පනා කළොත් ඔබට මතක් කර ගන්න පුළුවන් වෙයි කාලයෙන් කාලයට එකවර රුපියල කඩා වැටෙන අවස්ථා තිබෙන බව. ඒ වගේ කාලයක දවසින් දවස ඩොලරයේ අගය ඉහළ යනවා. එහෙම වෙන්නේ මහ බැංකුව විසින් විණිමය අනුපාතිකය තදකරගෙන ඉඳලා බැරිම තැන අත හරින අවස්ථා වලදී. මේ වගේ කාලයක කිසිවෙක් තමන් සතු විදේශ මුදල් විකුණන්න පෙළඹෙන්නේ නැහැ. සතියකින් ඩොලරයක මිල රුපියල් 10කින් වැඩි වන බව පේනවානම් විකුනන්නේ මොන මෝඩයාද? ඒ වගේ අවස්ථාවක කවුරු වුනත් බලන්නේ හැකියාවක් ඇත්නම් ඩොලර් මිල දී ගන්නයි.

      මේ හා අදාළව තවත් ලියන්න බොහෝ දේවල් තිබෙනවා. මේ ප්‍රතිචාරයේ නැති ඒ දේවල් ඔබ ප්‍රශ්නයක් මතු කළොත් පමණක් අවශ්‍ය පරිදි ලියන්නම්. අපැහැදිලි කොටස් උපුටා දක්වමින් ප්‍රශ්න කළ හැකිනම් වඩා පහසුයි.

      Delete
    2. ඒ වගේම මහ බැංකුව විසින් සංචිත විකුණනවා කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ ශුද්ධ ලෙස සංචිත විකුණනවා කියන එකයි. උදාහරණයක් ලෙස මේ මාසයේ අපනයන වලින් රටට ආ ඩොලර් මිලියන 200ක් මහ බැංකුවේ සංචිත වලට එකතු වෙද්දී ආනයන වෙනුවෙන් හෝ ණය ගෙවීම වෙනුවෙන් මහ බැංකුව විසින් සංචිත වලින් ඩොලර් මිලියන 200ක් නිදහස් කළොත් (විකිණුවොත්) මාසය මුලදී තිබුණු සංචිත ටික එලෙසම තිබෙනවා.

      Delete
    3. 1992-4 කාලේ කොළඹ ඇන්ටික් කඩවල බැංකුවට වඩා චුට්ටක් අඩුවට ඩොලර් ගන්න තිබුනා, එයාපොට් එකේදී මිළදීගත හැකි සීමාවත් බොහොම පහළ තිබ්බා වගේ මතකයි. ඒකාලේ ලංකාවට විදේශ විනිමය හිඟයක් තිබුනේ නෑ නේද? බැංකු ක්‍රම පහසු නොවුන නිසා පිටරට අය ගෙවල් වලට ඩොලර්ම එවපු නිසා හැදුනු වෙළඳපොලක් වෙන්නැති නේද?

      Delete
    4. ඇත්තටම මෙවැනි තත්ත්වයක් තිබීමෙන් පෙනෙන්නේ මහ බැංකුවට සංචිත එකතු කර ගැනීමට පුළුල් අවස්ථාවන් තියෙද්දී එය කර නැති බව. දැන් ගෙවන්න සිදු වී තියෙන්නේ එහි වන්දියයි. ඔය කාලය ටිකක් ලොකුවට රාජ්‍ය ව්‍යවසායයන් විදේශිකයින්ට විකිණූ කාලයක් නිසා ඒ සල්ලිත් ආවා. මම හිතන්නේ සෘජු විදේශ ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන එහෙමත් ආවා.

      Delete
  6. අවශ්‍ය උත්තරය ලැබුනා එකොනෝ , මම හිතුවේ ප්‍රශ්න අහල අහලම එකොනෝට එපා වෙලා උත්තර නොදී ඉදී කියල. එකට බොහෝම බොහෝම ස්තූති .
    // මෙය සංකීර්ණ විෂයයක් නිසා //

    මම ආර්තික විද්‍යාව හදාරලා නෑ. Prof.ඩැනී අතපත්තුගේ උ.පෙ. ආර්තික විද්‍යා ප්‍රවේශය කියවලා පොඩ්ක් හරි තෙරුම් ගත්තෙ නමුත් එකෙ ප්‍රශ්න අහන්න බෑනේ. එකයි ප්‍රශ්න අහල ඒ ප්‍රශ්න්නනෙම වවාගෙන අහුවේ අපහු ආපහු. ඒකට ඔබ නිහතමානීව උත්තර දුන්නට ස්තූති එකොනො !!!

    ආසවක් ආව ආර්තික විද්‍යාව Msc එක්ක් කරා නම් වටිනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පිළිතුරක බලාපොරොත්තුවක් නැතිව, අපහසුතාවයට කිරීම සඳහා හිතා මතා බොරු ප්‍රශ්න අහන අවස්ථා වලදී හැර ලිපියේ අපැහැදිලි හෝ පිළිගත නොහැකි දේ ගැන කොයි තරම් ප්‍රශ්න ඇහුවත් එපා වෙන්නේ නැහැ. මොකද මම ලියන දේ ගැන මට විශ්වාසයක් තියෙනවා. එය යමෙකුට අවබෝධ වී නැත්නම් එය මගේ සන්නිවේදනයේ ප්‍රශ්නයක්.

      ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියක් කරන එක නරක අදහසක් නෙමෙයි. නමුත්, ඔබ එය කරන්නේ ඉගෙනීමට තිබෙන උනන්දුව නිසා පමණක්නම් දැනුම ලබා ගත හැකි විකල්ප ක්‍රම ඕනෑ තරම් තිබෙනවා. පශ්චාත් උපාධි පාඨමාලා කියන්නේත් යම් තරමකින් වට්ටෝරු අධ්‍යාපනයක් නිසා ඇතැම් විට ඔබේ මුල් අරමුණ ඉටු නොවෙන්න වුනත් පුළුවන්. දැනුම වෙනස් වන ඉක්මනින් පාඨ ග්‍රන්ථ වෙනස් වෙන්නේ නැහැ.

      Delete
  7. අපේ රටේ ඔය කියන මහජන මතය ඇත්තම මහජන මතයද කියන එක ප්‍රශ්ණයක්. බොහෝ වෙලාවට මහජන මතය කූට දේශපාලකයෙකුගේ අවස්ථාවාදී කම තමයි මහජන මතය විධියට එලියට එන්නෙ. ඉකොනො කියන අවුරුදු වල හොඳට බලන්න කුවුද පිටිපස්සෙ ඉන්නෙ කියලා. අනික ඔය කියන මහජන මතය අපේ රටේ සාර්ථක සමාජ ආර්ථික දියුණුවකට අඩිතාලමක් උනාද?? බොහෝදේවල් අසාර්ථක උනා මිසක්.

    ReplyDelete
    Replies
    1. //අනික ඔය කියන මහජන මතය අපේ රටේ සාර්ථක සමාජ ආර්ථික දියුණුවකට අඩිතාලමක් උනාද?? බොහෝදේවල් අසාර්ථක උනා මිසක්.//

      මම කියන දෙය මේ කරුණට සම්බන්ධයි. ඔබ කියන පරිදි මහජන මතය අපේ රටේ සාර්ථක සමාජ ආර්ථික දියුණුවකට අඩිතාලමක් වී නැහැ. එයින් අදහස් වෙන්නේ මහජන මතයේ අඩුපාඩුවක් තිබෙන බව. ඒ වගේම එයින් ව්‍යංගයෙන් අදහස් වෙන්නේ මේ අඩුපාඩු සහගත මහජන මතය මෙතෙක් ක්‍රියාත්මක වී ඇති බව හා තවදුරටත් ක්‍රියාත්මක වන බව. එසේනම් වෙනස් විය යුත්තේත් ඒ මහජන මතයයි. එවිට ඉතිරි සියල්ල ඉබේටම හරියයි.

      Delete
  8. සමාජවාදයේ නරකම එක තමයි වාර්ගික සමාජවාදය.
    ආර්ථික සමාජවාදයටනම් මේ වනවිට බහින කලාව.

    නමුත් වාර්ගික සමාජවාදය ඇමරිකාවෙත් තියෙනවා.

    ReplyDelete
  9. //ලංකාව හොයාගෙන තිබෙන ක්‍රමයේ හොඳ මිසක් නරක නැහැ.//
    ඇයි මේ ක්‍රමය අනිත් රටවල් ක්‍රියාත්මක නොකරන්නෙ?
    බැලූ බැල්මට වින් වින් සොලුශන් එකක්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබට මා කියා ඇති දේ පැහැදිලි වී නැහැ. කරුණාකර පෙර ලිපිද ඇතුළුව ලිපි මාලාවේ පැහැදිලි කර තිබෙන කරුණු ඇසුරෙන් මේ වාක්‍යය තේරුම් ගන්න. එසේ නැත්නම් පිරමිඩ් ක්‍රමයක් කියන එක කුමක්ද කියා පොඩ්ඩක් හදාරන්න. පිරමිඩ් ක්‍රමයකදී එයට මුලින් සහභාගී වන හැම දෙනෙකුටම තමන් මුලින් ආයෝජනය කරන සුළු මුදලට සාපේක්ෂව විශාල මුදලක් ලබා ගන්න පුළුවන්. එය ගෙවන කෙනෙක් නැහැ. වින් වින් තත්ත්වයක්. හැබැයි එවැනි ක්‍රමයක් සදාකාලිකව පැවතිය නොහැකි බව විමසිල්ලෙන් බැලූ විට පැහැදිලි විය යුතුයි. කොයි වෙලාවක හෝ පිරමිඩය කැඩුණු විට වන්දිය ගෙවන්න වෙනවා. මේ වන විට පිරමිඩය කඩා වැටීමේ අවදානම ඉතා විශාලයි.

      Delete
    2. ඔබ කියන දේ පැහැදිලියි. දීර්ඝ කාලීනව අසාර්ථක වුවත් මේ ක්‍රමය දෙශපාලනිකව වාසියිනේ.අනිත් රටවල් මේ දෙයම නොකරන්නේ ඒ රටවල නීතියෙන් තහනම්ද?/ජනතාව මේ ගැන දැනුවත් වීමෙන්ද?
      ඇයි ලංකාවට විතරක් ණය උගුල සෙට් වුනේ? අපිට ඊලගට වෙන්න තියනදේ වෙච්චි රටවල් තියනවද?

      Delete
    3. නිශ්චිත තනි පිළිතුරක් දෙන්න අමාරුයි. මම හිතන්නේ මෙවැන්නක් වලක්වන ප්‍රධාන කරුණ ජනතාව සබුද්ධික වීමයි. නීති හැදෙන්නෙත් එසේ ජනතාව සබුද්ධික වීම මතයි. එහෙම නැත්නම් නීති තිබුණත් එක්කෝ ඒ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැත්නම් ආණ්ඩු වලට අවශ්‍ය පරිදි නීති වෙනස් කර ගන්නවා. මෙය වෙන කිසිම රටක් විසින් නොකළ දෙයක් කියන්න බැහැ. ඇමරිකාව වගේ රටක් ගත්තත් යම් තරමකින් එන්න එන්න ණය වැඩි කර ගැනීමක් තිබෙනවා. වෙනස තිබෙන්නේ මිනිස්සු ඒ ගැන දැනුවත්ව ප්‍රතිරෝධයක් දැක්වීමයි. ඒ ප්‍රතිරෝධය එක්ක යම් පාලනය වීමක් වෙනවා. ණය අර්බුද හා ගෙවුම් ශේෂ ප්‍රශ්න නිසා කඩා වැටුණු රටවල් පිළිබඳ උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. ග්‍රීක ණය අර්බුදය, 1997 ආසියානු මූල්‍ය අර්බුදය, සිම්බාබ්වේ වලට සිදු වූ දෙය උදාහරණ කිහිපයක්.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...