ඔය වගේ සරල ප්‍රශ්න වලට සරල උත්තර දෙන්න යන කොට ආර්ථික විද්‍යාව ගැන යම් දැනුමක් තිබෙන අය සංකීර්ණ ප්‍රශ්න මතු කරනවා. එවිට ඒ අය ඉලක්ක කර සංකීර්ණ පිළිතුරු සපයන්න වෙනවා. මේ වැඩේ දිගින් දිගටම සිදු වීම නිසා සමහර විට දැන් බ්ලොග් එක ඕනෑවට වඩා බරපතල වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. වඩා වැදගත් වෙන්නේ ආර්ථික විද්‍යා විෂය දැනුමක් තිබෙන, මෙහි ලියන දේවල් සමඟ පහසුවෙන් එකඟ වෙන අය මෙය කියවන එක නෙමෙයි. එවැනි දැනුමක් නැති ටික දෙනෙක් හෝ ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප අවබෝධ කර ගැනීමයි.
රටේ මුදල් හා මූල්‍ය පාලනය භාරව ඉන්න ටික දෙනෙකුට ලංකාවේ හැමෝගෙම ජීවිත පාලනය කරන්න හැකි වී තිබෙන්නේ එවැනි දැනුමක් රටේ බොහෝ දෙනෙකුට නැති නිසයි. එය මිනිස්සුන්ගේ වැරැද්දක් නෙමෙයි. ලංකාවේ සමාජවාදී ආණ්ඩු විසින් සමාජවාදී අධ්‍යාපන ක්‍රමය හරහා දිගින් දිගටම පවත්වා ගෙන යන තත්ත්වයක්. ලංකාවේ ධනවාදී දේශපාලන පක්ෂ නැති නිසා මේ උගුලෙන් ගැලවෙන්න වෙන්නේ රටේ මිනිස්සු කවර හෝ විකල්ප ක්‍රමයකින් අවශ්‍ය දැනුම ලබා ගත්තොත් විතරයි. හැමදේම අතැඹුලක් සේ දන්න විවිධ නිකාය වල භක්තිවාදී මාක්ස්වාදී ආගමිකයින්ට දැනුම පොවන්න බැරි වුනත්, භක්තිවාදීන් නොවන විවෘත මනසක් තිබෙන අයට නොදන්නා විෂයයක් තේරුම් ගැනීම නොකළ හැක්කක් නෙමෙයි.
"ඉතිං බැංකුවට ගිහිං අපි ගන්නේ අපේ ගිණුමේ ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකනේ. එතකොට කොහොමද රටේ මුදල් හිගයක් ඇති වෙන්නේ ඉකොනෝ. මොකද අපිට ගන්න පුළුවන් ගිණුමේ තියෙන මුදල මිසක් ඊට වඩා වැඩි ගානක් නෙමේ. ඒ කියන්නේ රටක සියලුම ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය ඉලක්කම් වලින් පෙන්නවට වඩා අඩු මුදල් නෝට්ටු ගණනක්ද මුද්‍රණයේ පවතින්නේ. ප්‍රශ්නේ තේරුනාද දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මගේ ඔලුවට ආවට මෙහෙම ලියලා තේරුම් කරන්න මටත් තේරෙන්නේ නැහැ."
මේ ප්‍රශ්නය ඇතුළේ ආර්ථික විද්‍යාවේ මූලික කරුණු ගණනාවක් තිබෙනවා. මම හිතන්නේ මම මේ ගොඩක් දේවල් වරින් වර පැහැදිලි කරලත් තිබෙනවා. අපි මේ පාඨකයාගේ ගැටලුව හැකි තරමින් පැහැදිලි කරන්න උත්සාහ කරමු. එය ඔහු හෝ ඇය වැනි තවත් අයටත් උපකාරයක් වෙයි කියා මම හිතනවා.
මුදල් කියා කිවුවහම බොහෝ දෙනෙක්ගේ සිහියට එන්නේ මුදල් නෝට්ටු. රුපියල් සීයේ කොළයක් නැත්නම් රුපියල් පන්දාහේ කොළයක් වගේ දෙයක්. ඔවු. ඒවා මුදල් තමයි. එය ඉතාම පැහැදිලි කරුණක්නේ.
අපිට මේ මුදල් ලැබෙන්නේ කොහොමද? බොහෝ දෙනෙක් හා අදාළව සරලම පිළිතුර වැඩ කරලා උපයන ආදායමක් ලෙස කියන එකයි. සමහර විට මොනවා හෝ කෘෂිකාර්මික හෝ ධීවර නිෂ්පාදනයක් විකුණලා ලබා ගන්න සල්ලි. සමහර විට වඩු වැඩක්, මේසන් වැඩක්, කරණවෑමි රැකියාවක් වගේ දෙයක් කරලා ලබා ගන්න සල්ලි. මේ වගේ වැඩක් කළාම කෙළින්ම අතට සල්ලි එනවා. රුපියල් නෝට්ටු වලින්. වැඩේ සරලයි.
ඔය විදිහට කවුරු හෝ කෙනෙක් විසින් උපයන මුදල් වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කරනවා. එවිට තවත් පිරිසක් අතට මේ සල්ලි යනවා. අවසානයේ යම් ඉතිරියක් ඇතොත් බැංකු ගිණුමක තැන්පත් කරනවා. දැන් බැංකුවේ තියෙන්නේ කාගේ සල්ලිද? අර පාඨකයා නිවැරදිව කියනවා වගේ අපේ සල්ලි. අපිට අවශ්‍ය වෙලාවට බැංකුවට ගිහින් ඔය සල්ලි ආපහු ගන්න පුළුවන්.
සමහර අය ආදායම් උපයන්නේ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා. එවැනි රැකියා කළ අයට කාලයකට පෙර පඩි පැකට් එකක් ලැබුණා. හරියට සතේටම ලියුම් කවරයක දමපු නෝට්ටු හා කාසි ගොඩක්. පඩි පැකට් එක ගත්තට පස්සේ කතාව කලින් වගේමයි. ණය තුරුස් ඇත්නම් ගෙවලා ඉතිරිය වියදම් කරනවා. යම් විදිහකින් ඉතිරියක් ඇත්නම් බැංකු ගිනුමේ තැන්පත් කරනවා.
දැන් මම හිතන්නේ ඔය පඩි පැකට් ක්‍රමය එතරම් දකින්න නැහැ. නැත්තේමත් නැහැ තමයි. පඩි දවසේ සල්ලි අරගෙන යන වාහනය මංකොල්ල කෑ පුවත් දැනුත් කලාතුරකින් හෝ ඇහෙනවා. හැබැයි බොහෝ විට පඩිය කෙළින්ම බැංකු ගිණුමකට යනවා. ඊට පස්සේ බැංකුවෙන් අවශ්‍ය තරමට මුදල් අරගෙන වියදම් කරන එකයි කරන්න තියෙන්නේ. මුළු වැටුපම වියදම් කර අවසන් කළේ නැත්නම් ඔය සල්ලි බැංකුවේ ඉතිරි වෙනවා.
මේ ක්‍රමය කලින් ක්‍රමයට වඩා වෙනස් වෙන්නේ එක් කරුණකින් පමණයි. කලින් ක්‍රමයට අතට එන සල්ලි වලින් කොටසක් බැංකුවේ දමනවා. දැන් ක්‍රමයට බැංකුවට කෙළින්ම එන සල්ලි වලින් කොටසක් එහි ඉතිරි වෙනවා. ඒ වෙනස හැරුණු විට අවසාන වශයෙන් බැංකුවේ තිබෙන්නේ පාඨකයා විසින් නිවැරදිව තේරුම් අරන් තිබෙන විදිහටම අපේ සල්ලි.
අතේ තිබුණත් බැංකුවේ තිබුණත් සල්ලි අපේනේ. සල්ලි අතට ආවේ වෙන කෙනෙකුගෙන්. මේ වෙන කෙනා තවත් අපි වගේම වැටුපක් සඳහා වැඩ කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ පුද්ගලයාගේ අතට සල්ලි ඇවිත් තියෙන්නේත් අපිට සල්ලි ලැබුණු විදිහටමයි. එහෙම නැත්නම් පෞද්ගලික සමාගමකින් වෙන්න පුළුවන්. පෞද්ගලික සමාගමක් සල්ලි හොයන්නේ මොනවා හෝ විකුණලානේ. ඒ කියන්නේ, අපි වගේ කාගේ හරි අතේ තිබුණු සල්ලි.
සල්ලි ලැබුණේ රජයෙන් වෙන්නත් පුළුවන්. ලංකාවේ ගොඩක් අය කරන්නේ රජයේ රැකියානේ. රජයට සල්ලි කොහෙන්ද? අපි දැනට හිතමු රජය සල්ලි හොයන්නේ බදු හා වෙනත් ආදායම් වලින් කියලා. වෙනත් ආදායම් කිවුවේ ඔය වාහන ලියාපදිංචි ගාස්තු වගේ දේවල්. ඔය විදිහට බැලුවොත් රජයෙන් ලැබෙන්නේත් අපි වගේ කාගෙන් හෝ එකතු කර ගන්නා සල්ලි.
දැන් මේ කතාවේ පොඩි අවුලක් පෙනෙන්නේ නැද්ද? සල්ලි අතින් අතට යන බව පැහැදිලියි. අපේ අතේ තිබෙන රුපියල් පන්සීයක නෝට්ටුවක අතීතය මොනයම් විදිහකින් හෝ හාරා ඇවිස්සුවොත් එහි පරණ අයිතිකාරයින් හොයා ගන්න පුළුවන්. එහෙත් ප්‍රශ්නය මුලින්ම මේ රුපියල් පන්සීයේ නෝට්ටුව කාගේ හරි අතට ලැබුණේ කොහොමද?
ඒ ප්‍රශ්නය එහෙම්මම තියෙද්දී අපි දැන් බැංකුවට යමු. අපි මොන ආකාරයකින් හෝ සල්ලි හොයනවා. ඒ සල්ලි වලින් කොටසක් බැංකුවට යනවා. අර පාඨකයා කියපු විදිහටම දැන් බැංකුවේ තියෙන්නේ අපේ සල්ලි මිසක් බැංකුවේ සල්ලි නෙමෙයිනේ. නමුත්, බැංකුව අපි කවදා හරි ආපහු ගන්නකම් මේ සල්ලි සේප්පුවේ තියාගෙන ඉන්නවද?
බැංකුවකට රත්තරන් බඩුවක් උගස් කළාමනම් එය ආපහු ගන්නකම් බැංකුව සේප්පුවක දමලා තියාගෙන ඉන්නවා. නමුත්, බැංකුවක සල්ලි දැම්මහම බැංකුව ඒ විදිහට ඒ සල්ලි තියාගෙන ඉන්නේ නැහැ. ණය විදිහට කාට හරි දෙනවා. දැන් ඒ දෙන්නේ බැංකුවේ සල්ලිද අපේ සල්ලිද? අපේ සල්ලිනේ. ඒ කියන්නේ දැන් ගිහින් බැලුවොත් අපි බැංකුවේ දමපු සල්ලි සියල්ල බැංකුවේ නැහැ.
දැන් අපි අර මුලින් කතාවට තවත් කොටසක් එකතු කරමු. අපි මොනවා හෝ විකුණලා එහෙම නැත්නම් රස්සාවක් කරලා සල්ලි හොයනවා. ඒ සල්ලි වියදම් කරනවා. ඊට අමතරව අපිට බැංකුවකින් ණයක් අරගෙන ඒ සල්ලිත් වියදම් කරන්න පුළුවන්. හැබැයි මේ සල්ලි කාගේ හරි සල්ලිනේ. හදිසියකට අසල්වැසියාගෙන් රුපියල් දාහක් ණයට ඉල්ලගත්තහම අසල්වැසියාගේ අතේ තිබෙන සල්ලි වලින් රුපියල් දාහක් අඩු වෙනවා වගේ බැංකුවෙන් ණයක් ගත්තහම බැංකුවේ තිබෙන අපේ සල්ලි වලින් කොටසක් අඩු වෙනවා. නමුත්, සල්ලි වෙන තැනකට ගිහින් මිසක් සල්ලි ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. ඒ නිසා, මේ විදිහට බැලුවොත් හැම මුදල් නෝට්ටුවකටම කවුරු හරි අයිතිකාරයෙක් ඉන්නවා. මම බැංකුවෙන් ණයට ගත් රුපියල් පන්දාහේ නෝට්ටුවේ සැබෑ අයිතිකාරයා ඒ රුපියල් පන්දාහ බැංකුවේ තැන්පත් කළ පුද්ගලයා.
තවමත් කතාව සරලයි. ඒ වගේම, මුදල් නෝට්ටු මුලින්ම සංසරණයට ආවේ කොහොමද කියන ප්‍රශ්නය විසඳිලා නැහැ.
පුද්ගලයෙකුට හෝ සමාගමකට වියදම් කළ හැක්කේ තමන් උපයන ආදායම හෝ ණයට ගන්නා මුදලක් පමණයි. ණයට ගන්නා මුදල් කියා කියන්නේත් වෙනත් පුද්ගලයෙකුගේ හෝ සමාගමක ආදායමයි. නමුත්, රජයට ආදායම ඉක්මවා වියදම් කළ හැකි තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ මහ බැංකුව සමඟ හවුල් වී සල්ලි අච්චු ගැසීමයි. උදාහරණයක් විදිහට රජයට අළුතෙන්ම මුද්‍රණය කළ මුදල් නෝට්ටු වලින් රජයේ සේවකයෙකුගේ වැටුප් ගෙවන්න පුළුවන්කම තිබෙනවා. ඒ මුදල් රජය විසින් බදු හෝ ආදායම් ලෙස එකතු කරගත් මුදල් විය යුතුම නැහැ. අලුතින්ම මුදල් නෝට්ටු සංසරණයට එන්නේ ඔය විදිහටයි. මෙය ඉතාම සරල පැහැදිලි කිරීමක්.
දැන් කතාව ටිකක් සම්පූර්ණයි. රජය මහ බැංකුව හා හවුල්ව සල්ලි අච්චු ගසා වියදම් කරනවා. ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙනවා. ඉන් පසු, සල්ලි අතින් අත යනවා. කොටසක් බැංකු වලට යනවා. නැවත ණය ලෙස බැංකු වලින් එළියට එනවා. හැබැයි මොන ආකාරයට හෝ සංසරණය වෙන්නේ රජය විසින් මහ බැංකුව සමඟ එකතු වී සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණයයි. සල්ලි තිබෙන්නේ බැංකුවේද අතේද කියන එක අදාළ කරුණක් නෙමෙයි. අර පාඨකයා තේරුම් ගෙන තිබෙන ආකාරය තවමත් නිවැරදියි.
කතාවේ තේරුම් ගන්න අමාරු කොටස ඉන් පසු කොටසයි. අපි හිතමු කවුරු හෝ කෙනෙක් බැංකුවෙන් ණයක් අරගෙන දරුවෙකුගේ පෞද්ගලික උපාධි පාඨමාලාවක් සඳහා වැය කළා කියලා. අපි කියමු රුපියල් ලක්ෂ දහයක්. දැන් බැංකුවට මේ විදිහට දෙන්න වෙන්නේ කාගේ හරි සල්ලිනේ.
මෙහෙම හිතමු. සමරදිවාකර විශ්‍රාමිකයෙක්. ඔහු රුපියල් ලක්ෂ දහයක් මහජන බැංකුවේ විශ්‍රාමික ගිණුමක තියලා එහි පොලියෙන් ජීවත් වෙනවා. ඔහු මේ ආදායම උපයා තියෙන්නේ රජයේ රැකියාවක් කරලා. රජය ඔහුට වැටුප් ගෙවා තියෙන්නේ සල්ලි අච්චු ගහලා. ඒ කියන්නේ, සමරදිවාකර තමයි මේ සල්ලි වල මුල් අයිතිකරුවා හා වත්මන් සැබෑ අයිතිකරුවා. මහජන බැංකුව සමරදිවාකරගේ සල්ලි වල භාරකරුවා.
සමරදිවාකර මේ සල්ලි හදිස්සියේ ආපහු නොගන්න බව බැංකුව දන්නවා. චන්ද්‍රානි ඇගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් මහජන බැංකුවෙන් ලක්ෂ දහයක ණයක් ඉල්ලනවා. මහජන බැංකුව සමරදිවාකාරගේ සල්ලි චන්ද්‍රානිට දෙනවා. හැබැයි ඒ සල්ලි සමරදිවාකරගේ බව චන්ද්‍රානි දන්නේ නැහැ. තමන්ගේ සල්ලි ණයක් සේ චන්ද්‍රානිට දුන් බව සමරදිවාකර දන්නේත් නැහැ. මහජන බැංකුව චන්ද්‍රානිට දුන් ණය වෙනුවෙන් 10%ක පොලියක් අය කර ගන්නවා. සමරදිවාකරට පොලිය ලෙස 8%ක් ගෙවනවා. ඉතරි 2% බැංකුවේ වියහියදම් වෙනුවෙන් යොදවනවා. තවමත් මුදල් සැපයුම වෙනස් වෙලා නැහැ. සමරදිවාකරගේ සල්ලි චන්ද්‍රානි අතට යාම හා මහජන බැංකුව අතරමැදියෙකු සේ කටයුතු කර ලාබයක් ලැබීම පමණයි සිදු වී තිබෙන්නේ.
චන්ද්‍රානි මේ සල්ලි ගත්තේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නනේ. ඇය අනෙක් අතට ඒ සල්ලි "ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ" ගිණුම් අංකයකට බැර කරනවා. මේ ගිණුම පවත්වාගෙන යන්නෙත් මහජන බැංකුවේ. ඒ කියන්නේ, චන්ද්‍රානි රුපියල් ලක්ෂ දහයක ණයක් ගත්තත් ඒ සල්ලි බැංකුවෙන් එළියට ගිහින් නැහැ. ඒ විදිහටම තිබෙනවා.
චන්ද්‍රානි තමන්ගේ දරුවාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ණයක් ගත් බව දැන ගන්නා රත්නසේකරටත් ඔහුගේ දරුවා වෙනුවෙන් ණයක් ගන්න අවශ්‍ය වී මහජන බැංකුවට එනවා. චන්ද්‍රානි විසින් ලබාගත් ණය මුදල බැංකුවෙන් එළියට ගියේ නැතුවා සේම රත්නසේකර විසින් ගන්නා ණය මුදලත් එළියට නොයන බව මහජන බැංකුව දන්නවා. මහජන බැංකුව ඒ ලක්ෂ දහයම නැවතත් රත්නසේකරට ණයට දෙනවා. රත්නසේකර විසින් එම මුදල ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුම් අංකයට බැර කරනවා. දැන් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ රුපියල් ලක්ෂ දෙකක් තියෙනවා.
මහජන බැංකුව විසින් චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ සල්ලිනේ. එහෙමනම්, රත්නසේකරට ණයට දුන්නේ කාගේ සල්ලිද? සමරදිවාකරගේ සල්ලි කියා කියන්න බැහැනේ. සමරදිවාකරගේ ගිණුමේ ලක්ෂ දහයක් මිසක් ලක්ෂ විස්සක් තිබුණේ නැහැනේ. ඒ වගේම, මේ වෙලාවේ අලුතෙන් සල්ලි අච්චු ගැසීමක් වුනෙත් නැහැ. ඒ කියන්නේ රටේ තිබුණු මුදල් නෝට්ටු ප්‍රමාණය වෙනස් වුනේ නැහැ. එහෙමනම්, මේ අමතර රුපියල් ලක්ෂ දහය ආවේ කොහෙන්ද?
බැංකු විසින් කරන මුදල් මැවීම කියා කියන්නේ ඕකටයි. මෙය මහ බැංකුව හා රජය එකතු වී කරන සල්ලි අච්චු ගැසීමට වඩා වෙනස් දෙයක්. සල්ලි අච්චු ගහන විට රටේ භෞතික ලෙස සංසරණය වන මුදල් නෝට්ටු ප්‍රමාණය වැඩි වෙනවා වුනත් (පැහැදිලි කිරීම සඳහා කියන සරල කතාවක් පමණයි. ඇත්තටම එහෙමම වෙන්නේත් නැහැ) වාණිජ බැංකු විසින් මුදල් මවන විට එවැනි දෙයක් වෙන්නේ නැහැ. මෙහිදී වෙන්නේ එකම රුපියල් පන්දාහේ නෝට්ටුව වාර ගණනාවක්ම නැවත නැවත ණය ලෙස ලබා දෙන එකයි. ණය ලෙස ලබා ගන්නා මුදල් නැවත නැවත බැංකුවට ආපසු එන තුරු මේ වැඩේ දිගින් දිගටම කරන්න පුළුවන්.
වාණිජ බැංකු විසින් මේ ආකාරයට මුදල් මැවීමක් කිරීමේ එහෙමත් නැත්නම් රටේ මුදල් ප්‍රමාණය ගුණනය කිරීමේ මූලධර්මය බැංකුවේ තැන්පත් කර තිබෙන මුදල් සියල්ල එම ගිණුම් අයිතිකරුවන් විසින් එක වර ලබා නොගන්නා බවට වන විශ්වාසයයි. එවැනි විශ්වාසයක් නැත්නම් බැංකුවකට ණය දෙන්නම බැහැනේ. අනෙක් අතට එවැනි විශ්වාසයක් තිබේනම් එකම රුපියල් පන්දාහ හතර පස් දෙනෙකුටම ණයට දුන්නා කියලා මොකද වෙන්නේ?
මම හිතන්නේ රටේ මුදල් සැපයුම සංසරණයේ තිබෙන නෝට්ටු ප්‍රමාණයට වඩා වැඩි වෙන්නේ කොහොමද කියන එක දැන් පැහැදිලි ඇති කියලා. අපේ උදාහරණයට ගියොත් එකම රුපියල් ලක්ෂ දහයට දැන් අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. මුල් අයිතිකාරයා වූ සමරදිවාකර හා දෙවන අයිතිකරුවා වූ ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය. සමරදිවාකරගේ ගිණුමේ රුපියල් ලක්ෂ 10ක් තිබෙනවා. ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ රුපියල් ලක්ෂ 20ක් තිබෙනවා. හැබැයි බැංකුවේ මුදල් නෝට්ටු ලෙස තියෙන්නේ රුපියල් ලක්ෂ 10ක් පමණයි. මේ ගිණුම් දෙකේම මුදල් එකවර ගන්න ආවොත් බැංකුව අර්බුදයකට යනවා. එහෙම අර්බුදයකට ගිය බැංකු පිළිබඳ උදාහරණ ලංකාවේම තියෙනවනේ.
මම හිතන්නේ දැනට මේ ඇති. ප්‍රශ්න තිබේනම් තවත් අමතර පැහැදිලි කිරීම් කළ හැකියි.
ස්තුතියි.මේතරම් සරලව පැහැදිලි කරන එකට....
ReplyDeleteස්තුතියි!
Deleteඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය මහජන බැංකුවේ නැතුව සම්පත් බැංකුවේ අර ලක්ශ දහය තැන්පත් කලා නම් මොකද වෙන්නෙ? එතකොට චන්ද්‍රානි ලක්ශ දහයක් ණය ඉල්ලං මහජන බැංකුවට එනකොට මහජන බැංකුව සම්පත් බැංකුවෙන් ඒක් ණයක් හැටියට ගන්නවද?
ReplyDeleteඔබ අසා තිබෙන්නේ තර්කානුකූලව ඊළඟට ඇසිය යුතු ප්‍රශ්නයක්. කෙටි පිළිතුර, ඔව්.
Deleteපැහැදිලි කිරීමේ පහසුව සඳහා මහජන බැංකුව පමණක් යොදාගත්තත් ඇත්තටම මේ වැඩේට බැංකු පද්ධතියම සම්බන්ධයි. ඒ වගේම දවසකට මේ වගේ දේවල් වෙන්නේ එකක් නෙමෙයිනේ. විශාල ප්‍රමාණයක් ඔය වගේම සිද්ධි වෙනවා. එක සිද්ධියක් තනිව ගත්තහම මහජන බැංකුවට සම්පත් බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. වෙනත් සිද්ධියකදී සම්පත් බැංකුවට මහජන බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔය බැංකු දෙකටම ලංකා බැංකුවෙන් ණයක් ගන්න වෙනවා.
වැදගත් කරුණ වන්නේ කවර හෝ බැංකුවකින් ණය ලෙස එළියට යන මුදල් තව කවර හෝ බැංකුවකට තැන්පතු ලෙස ආපසු ලැබෙනවා. ඒ වගේම, කවර හෝ බැංකුවකින් ණයක් නිකුත් කළ විට වෙනත් කවර හෝ බැංකුවකට එම මුදල තැන්පතුවක් ලෙස ආපසු එනවා. ඒ නිසා, මහජන බැංකුව වගේ නිශ්චිත බැංකුවක් ගත්තොත් එම බැංකුවෙන් ආපසු ගන්නා තැන්පතු සම්පත් බැංකුවේ තැන්පත් කෙරෙනවා වගේම එහි අනික් පැත්තත් සිදු වී සෑහෙන තරමකින් සමතුලිත වීමක් වෙනවා. හරියටම සමතුලිත වෙන්නේ නැහැ තමයි.
අවසානයේදී මහජන බැංකුවේ මුදල් තැන්පතු කිරීම්, ආපසු ගැනීම්, ණය දීම්, ණය ආපසු ලැබීම් ආදිය හේතුවෙන් කිසියම් සුළු මුදලක් පමණක් ඉතිරි වුනොත් එය ඊළඟ දවස වෙනුවෙන් තියා ගන්න පුළුවන්. සුළු අඩුවක් වුනොත් එය බැංකුවේ තිබෙන අමතර අරමුදල් වලින් පියවා ගන්න පුළුවන්. නමුත්, එම හිඟය වැඩිනම් වෙනත් බැංකුවකින්, ඔබ කියන පරිදි සම්පත් බැංකුවෙන් දෛනික පදනම මත ණයක් ගන්න වෙනවා. ඒ වගේම, දවස අවසානයේදී සැලකිය යුතු මුදලක් ඉතිරි වුනොත් එය වෙනත් වාණිජ බැංකුවකට දෛනික පදනමින් ණයක් විදිහට දෙන්න පුළුවන්.
මේ වැඩේ වෙන්නේ බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණයට සමාන මුදලක් නැවතත් කවර හෝ බැංකුවකට ආවොත්නේ. එහෙම එනවා කියන්නේ රටේ මුදල් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.
සිංහල අවුරුදු කාලය වගේ විශේෂ අවස්ථාවක් ගත්තොත් අදාළ සතියේ බැංකු වලින් එළියට යන මුදල් සතියක් පමණ යන තුරු බැංකු පද්ධතියට නැවත ආපහු එන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස බැංකු පද්ධතියට ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එක බැංකුවක අඩුව පියවන්න වෙනත් බැංකුවක් නැහැ. ඒ වගේ අවස්ථාවක මහ බැංකුවට තාවකාලිකව මුදල් සැපයුම වැඩි කරන්න වෙනවා.
කෝවිඩ් නිසා සිදු වී තිබෙන්නේ සිංහල අවුරුදු කාලයේ දින කිහිපයකට ඇති වනවා වගේ තත්ත්වයක් මාස ගණනක්ම අල්ලා සිටීමයි. මිනිස්සු සල්ලි ආපසු ගන්න තරමට සල්ලි නැවත බැංකු වල තැන්පත් කරන්නේ නැහැ. ඒ වගේම, ණය වාරික ගෙවීම කල් දැමීම නිසා මුදල් අපේක්ෂා කළ පරිදි බැංකු වලට එන්නේ නැහැ. මේ අඩුව පුරවන්න මුදල් සැපයුම වැඩි කළ යුතුයි.
හැබැයි දැන් වෙලා තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් සැපයුම වැඩි කිරීමක්. ඒ නිසා, බැංකු වල රුපියල් බිලියන ගණනක් ගොඩ ගැහිලා. ආණ්ඩුව විසින් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බල කිරීම මත හෝ මහ බැංකුව කැමැත්තෙන්ම එසේ කිරීම නිසා. පසුගිය සතිය අවසානයේ රුපියල් බිලියන 118ක අතිරික්තයක්. ඔය වගේ සමස්ත අතිරික්තයක් බැංකු පද්ධතිය ඇතුලෙ තිබෙන විට එක් බැංකුවකට තවත් බැංකුවකින් ණය ගන්න අවශ්‍ය වෙන්න ඉතාම අඩු ඉඩකඩක් තියෙන්නේ. හැම බැංකුවක් සතුවම වගේ වැඩිපුර මුදල් තිබෙනවා. ඒ නිසා, බැංකු වලට ණය විදිහට ඔය සල්ලි කාට හෝ තල්ලු කරන්න වෙනවා. මේ වෙද්දී ලංකාවේ බැංකු විසින් කරමින් ඉන්නේ ඒකයි.
ස්තූතියි....ඉතාම සරලව පැහැදිලි කරලා තියෙනවා
ReplyDeleteස්තුතියි!
Deleteඇත්තමයි, ඉතා සරලව ගැඹුරු කරුණක් පැහැදිලි කරලා. වැදගත්ම දේ කියවීමට රුචිවෙන විදියට තියෙන එකයි.
ReplyDeleteස්තුතියි!
Deleteරටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? කොහොමද ?
ReplyDeleteඋදා. මහජන බැංකුව රත්නසෙකරට දෙන දෙවෙනි ලක්ශ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?
ඊළඟ ලිපියෙන් පැහැදිලි කර තිබෙනවා. ප්‍රශ්න ඇහුවාට ස්තුතියි!
Deletehttp://economatta.blogspot.com/2020/07/blog-post_28.html
ඉකොනො ඉතා සුන්දර කඳු වළල්ලකින් වට වී ඇතත් කන්ද උඩරට මහනුවරට වර්ෂා කාලයේ දී අධික ජල ධාරිතාවක් පැමිණෙන බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.
ReplyDeleteඑහෙත් කිසි දිනෙක මේ මහනුවර නගරයේ,
කිසිදු වීදියක්, ස්ථානයක්, කොළඹ වාගේ ජලයෙන් යටවන්නේ නැත.
ඇයි ඒ?
හාස්කමක් හින්ද ද?
නැත!
ඒ, ඒ නගරයට
ඉතා දියුණු උමං
ජල මාර්ගයක්
තිබෙන නිසාය....
මෙම භූගත, 'ජලාපවහන පද්ධතිය' මගින්
නගරයට එකතු වන අතිරික්ත ජලය රැගෙන ගොස් මහවැලි ගගට මුදා හරිනු ලැබේ.
සැබැවින්ම මෙය, අති විශිෂ්ට "විශ්වකර්ම" නිර්මාණයකි.
මේ ආකාරයේ, ජල මාර්ග පද්ධතියක්
නගරයේ තිබුණේ නැනිනම් සුන්දර මහනුවර නගරය ජලයෙන් යටවී හෝ මේ වන විට ගිලා-බැස අවසන් ය.
හරි එතකොට කවුද ඔය කියන උමං මාර්ග
නිර්මාණය කළේ....???
නිල් ආණ්ඩුවක් ද ?
කොළ ආණ්ඩුවක් ද ?
ඒත් නැත්නම් සුද්දෝ වෙන්න ඇති?
නෑ ඒ කවුරුත්ම නෙවෙයි, මේ නිර්මාණය තනිකරම අපේ රජ දරුවන් කළ තවත් සුපිරි රජ වැඩක්!
ඔවුන් එදවස මහනුවර නිර්මාණය කිරිමේ දී ඔවුහු භූගත "උමං පද්ධතියක් ද" නිර්මාණය කළේ අනාගතය ගැන තිබු දුරදක්නාකම නිසා ය.
එයින් පෙනෙනුයේ....
අදටත් වඩා
බොහෝ සියුම්ව
සහ විද්‍යාත්මකව
සංවර්ධන ව්‍යාපෘති
එකල ඉටු කළ බව ය.
එය කිසිසේත් හුදු රජ අණක්
පමණක් ඉටු කිරීමක් නොවීය.
දන්නවද මේ උමං මාර්ගය අපේ මිනිස්සු හදන්නේ සිමෙන්ති බින්දුවක් වත්
Deleteයොදාගන් නැතිව!
ඔව්, බටහිරකයින් සිමෙන්ති සොයාගෙන ඇත්තේ 1840 ගණන් වලදී.
(ඔවුන් අපවහන පද්ධති
ගඩොල් තට්ටු තුනකින් යුතුව සිමෙන්ති යොදා තම රටෙහි හා ඇතැම් යටත්විජිත වල ඉදිකොට තිබෙනු දැකිය හැකිය. එසේ ගඩොල් ලේයර් තුනක් ඔවුන් යොදා ඇත්තේ උමගට ඇකිලෙන්නේ හෝ වෙනස් වෙන්නේ නැති විමට ය.)
පුදුමය කියන්නේ, අපේ සිංහල රජ දරුවන් මේ උමං මාර්ග සාදා ඇත්තේ
"සිමෙන්ති භාවිතා නොකර" තනිකර හුණු වැනි ද්‍රව්‍යයක් මැදට යොදාගෙන.
තාක්ෂණය අතින්, ඉතා සියුම්ව සාදා තිබීම ගැන එකල එය දුටු සුදු ඉංජිනේරුවෝ පවා පුදුම වී ඇත.
ඊට අමතරව එකල සිංහල ශිල්පීන් එය තැනීමට යොදා ගෙන ඇත්තේ, 'තනි ගඩොල් ලෙයරයක්' පමණි.
ඒවා අද තිබෙන ගඩොල් මෙන් නොව
තරමක් විශාල ඒවාය. එය උමං සඳහා ම නිර්මාණය කරන ලද "විශේෂ ගඩොලක්" බව පෙනේ.
ඒ අනුව, කාර්යෙයෙන් කාර්යය
ප්‍රකාරව ගොඩොල් පිළිස්සීමේ විද්‍යාත්මක ක්‍රම වේදයක් මෙහි පැවති බව ද පෙනේ.
එපමණක් ද නොව, එම ගඩොල් උමග ඇතුළත ආරුක්කුවක් ආකාරයට බැඳ තිබෙන්නේ ද ක්‍රම කිහිපයකට ය. එනම් පතුලේ අතුරා ඇති ආකාරයට වෙනස් අයුරින් දෙපැත්තේ යොදා ගැනීමෙනි.
මෙම උමං මාර්ග පද්ධතිය 1895 දී සුදු ඉංජිනේරුවරයෙකු වන හෙන්රිබඩ් විසින් අළුත්වැඩියා කර තිබෙන බව ඔවුගේ ම ලේඛනවලින් සනාථ වේ.
ඉන් මනාව පැහැදිලි වන්නේ ඊටත් වසර සිය ගණනකට පෙර මෙය සාදන ලද්දක් බවයි. එම නිසා ඉංග්‍රීසීන් ගේ කාලයේ සාදපු උමං පද්ධතියක් නොවන බව නම් සහතික කළ හැකියි. ඒ නිසා මෙය තනිකරම හෙළ වාරී ඉංජිනේරු නිපැයුමකි.
මෙම උමං මාර්ගයෙන් රජ දරුවන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ වර්ෂා කාලයේ දී භූගත ජල මට්ටම පහත දමා පොළොව මට්ටම වියළිව තබා ගැනීමට යි.
පැරණි වාර්තාවලට අනුව නුවර මාලිගාවේ තිබෙන දිය අගල අද
විෂ්ණු දේවාලය ළගින් අවසන් වුවද ඊට පෙර මහයියාව තෙක් එය විහිදී ඇත.
මහනුවර නගරයේ, සෑම මාර්ගයක් යටම ගඩොලින් සාදා ඇති උමං කාණු පද්ධතියක් දක්නට ලැබේ.
දළදා මාළිගයේ, විෂ්ණු දේවාලය ළග දී ද තවත් උමං මාර්ගයක් ගවේෂණය විය. එය කොහාට යනවද කියා
සොයා ගන්න බැරි වුවත්, එයද විශාල උමගකි.
(ඇතැම් විට හදිසි අවස්ථාවලදී රජතුමාට නගරයෙන් පලා යාමට සාදා ඇති උමගක් විය හැකි ය. එය තවදුරටත් පරික්ෂා කළ යුත්තකි.)
ආරුක්කු හැඩයෙන් සාදා ඇති,
මෙම උමං පද්ධතිය රජ දවස භාවිතා කර ඇත්තේ ජලය රැගෙන යාම සඳහා පමණක් ම නොවේ.
එහෙනම්....
ඔව්.එම පද්ධතිය එකල කුණු රැගෙන යාම සඳහාත් භාවිතා කර තිබෙන බව පෙනේ. එදා වලව්වල කුණු ඉවත් කර තිබෙන්නේ අඩු කුළවල මිනිසුන් විසිනි.
ඔවුන් ඒවා අනෙක් මිනිසුන්ට නොපෙනෙන ආකාරයට රැගෙන යාම සඳහා රාත්‍රීකාලයේ භාවිතාකර තිබෙන්නේ මෙම භූගත උමං
පද්ධතිය මය.
ඒ අනුව නුවර නගරයේ වලව් 27ක් තිබුණ බවත්, ඒ සෑම වලව්වක සිටම මෙම උමං මාර්ගයට, තවත් උමගක් සාදා තිබෙන බවත් දක්නට ලැබේ.
එහෙත් කිසිවිටෙක රජ දවස වැසිකිළි අපද්‍රව්‍ය මෙම උමං මාර්ග වෙත බැහැර කර නැති අතර 1896 වසරේ දී පමණ ඒවා එයට බැහැර කර ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ය.
ඇතැම් විට ඒ මේ විශිෂ්ට නිර්මාණය විනාශ කිරිමේ පවිටු චේතනාවෙන් විය යුතුය.
සුද්දා ගල විදීම උත්කර්ෂයට නගන
බොහෝ දෙනා මේ කාරණා නොදනිති. සිංහල රාජධානිය කිසිසේත් යුදයෙන් යුරෝපා ජාතීන්ට යටත් කර ගැනීමට නොහැකි වූයේ මේ උපාය-ශීලි දේශීය චින්තනය නිසා ය.
සාගර දියගම
ස්තුතියි ඉකොනෝ කොමෙන්ටුවට පොස්ටුවක් දමාම පැහැදිලි කරාට. ඒ වගේම මට තව ගැටළුවක් ආවා මේක කියවද්දී.
ReplyDeleteඒ තමයි දැන් බැංකුවට තැන්පතුවක් ලෙස තිබෙන්නේ ලක්ෂ 10 යි. එතකොට ඒක තව කෙනෙක්ට ණයක් විදියට දෙන්න පුළුවන්. ඒ උනාට ආයේ තවත් කෙනෙක්ට ලක්ෂ 10 ක ණයක් දෙන්නේ කොහොමද? මොකද එහෙම දෙන එක නිවැරදි නැහැනි. මොකද එහෙම දෙන්න පුළුවන් මුදලක් ඇත්තටම නැහැ. එහෙම කරන්න පුළුවන් තමයි ඉකොනෝ කියලා තියෙන විදියට ප්‍රායෝගිකව. ඒත් එහෙම කරන එක නිත්‍යානුකූල කරලා තියෙන්නේ ඇයි? මුල්‍ය ආයතනයටත් රිසක් එකක් නැද්ද එකෙන්?
ඊළඟ ලිපියෙන් පැහැදිලි කර තිබෙනවා. ප්‍රශ්න ඇහුවාට ස්තුතියි!
Deletehttp://economatta.blogspot.com/2020/07/blog-post_28.html