වෙබ් ලිපිනය:

Tuesday, July 28, 2020

මුදල් මවන්නේ කොහොමද?


මේ ලිපිය පෙර ලිපියට සම්බන්ධයි. එහි දෙවන කොටසක් කියා කියන්න පුළුවන්. ඒ නිසා, කරුණාකර පෙර ලිපිය කියෙවුවේ නැත්නම් එය මුලින් කියවා එන්න නැත්නම් අගක් මුලක් නොතේරෙන්න පුළුවන්. 


මුලින්ම එම ලිපිය පළ  කිරීමෙන් පසුව පාඨකයෙකු විසින් ඇසූ ප්‍රශ්නයක් සහ එයට ලබා දුන් පිළිතුර මෙහි නැවත පළ කරන්නම්. මම හිතන්නේ ඉදිරියට යාම සඳහා එම ප්‍රශ්නය වගේම පිළිතුරත් වැදගත්.

"ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය මහජන බැංකුවේ නැතුව සම්පත් බැංකුවේ අර ලක්ශ දහය තැන්පත් කලා නම් මොකද වෙන්නෙ? එතකොට චන්ද්‍රානි ලක්ශ දහයක් ණය ඉල්ලං මහජන බැංකුවට එනකොට මහජන බැංකුව සම්පත් බැංකුවෙන් ඒක ණයක් හැටියට ගන්නවද?"

ඔබ අසා තිබෙන්නේ තර්කානුකූලව ඊළඟට ඇසිය යුතු ප්‍රශ්නයක්. කෙටි පිළිතුර, ඔව්.

පැහැදිලි කිරීමේ පහසුව සඳහා මහජන බැංකුව පමණක් යොදාගත්තත් ඇත්තටම මේ වැඩේට බැංකු පද්ධතියම සම්බන්ධයි. ඒ වගේම දවසකට මේ වගේ දේවල් වෙන්නේ එකක් නෙමෙයිනේ. විශාල ප්‍රමාණයක් ඔය වගේම සිද්ධි වෙනවා. එක සිද්ධියක් තනිව ගත්තහම මහජන බැංකුවට සම්පත් බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. වෙනත් සිද්ධියකදී සම්පත් බැංකුවට මහජන බැංකුවෙන් ණයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔය බැංකු දෙකටම ලංකා බැංකුවෙන් ණයක් ගන්න වෙනවා.

වැදගත් කරුණ වන්නේ කවර හෝ බැංකුවකින් ණය ලෙස එළියට යන මුදල් තව කවර හෝ බැංකුවකට තැන්පතු ලෙස ආපසු ලැබෙනවා. ඒ වගේම, කවර හෝ බැංකුවකින් ණයක් නිකුත් කළ විට වෙනත් කවර හෝ බැංකුවකට එම මුදල තැන්පතුවක් ලෙස ආපසු එනවා. ඒ නිසා, මහජන බැංකුව වගේ නිශ්චිත බැංකුවක් ගත්තොත් එම බැංකුවෙන් ආපසු ගන්නා තැන්පතු සම්පත් බැංකුවේ තැන්පත් කෙරෙනවා වගේම එහි අනික් පැත්තත් සිදු වී සෑහෙන තරමකින් සමතුලිත වීමක් වෙනවා. හරියටම සමතුලිත වෙන්නේ නැහැ තමයි.

අවසානයේදී මහජන බැංකුවේ මුදල් තැන්පතු කිරීම්, ආපසු ගැනීම්, ණය දීම්, ණය ආපසු ලැබීම් ආදිය හේතුවෙන් කිසියම් සුළු මුදලක් පමණක් ඉතිරි වුනොත් එය ඊළඟ දවස වෙනුවෙන් තියා ගන්න පුළුවන්. සුළු අඩුවක් වුනොත් එය බැංකුවේ තිබෙන අමතර අරමුදල් වලින් පියවා ගන්න පුළුවන්. නමුත්, එම හිඟය වැඩිනම් වෙනත් බැංකුවකින්, ඔබ කියන පරිදි සම්පත් බැංකුවෙන් දෛනික පදනම මත ණයක් ගන්න වෙනවා. ඒ වගේම, දවස අවසානයේදී සැලකිය යුතු මුදලක් ඉතිරි වුනොත් එය වෙනත් වාණිජ බැංකුවකට දෛනික පදනමින් ණයක් විදිහට දෙන්න පුළුවන්.

මේ වැඩේ වෙන්නේ බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණයට සමාන මුදලක් නැවතත් කවර හෝ බැංකුවකට ආවොත්නේ. එහෙම එනවා කියන්නේ රටේ මුදල් ඉල්ලුම හා සැපයුම සමතුලිතයි.

සිංහල අවුරුදු කාලය වගේ විශේෂ අවස්ථාවක් ගත්තොත් අදාළ සතියේ බැංකු වලින් එළියට යන මුදල් සතියක් පමණ යන තුරු බැංකු පද්ධතියට නැවත ආපහු එන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස බැංකු පද්ධතියට ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන්න වෙනවා. එක බැංකුවක අඩුව පියවන්න වෙනත් බැංකුවක් නැහැ. ඒ වගේ අවස්ථාවක මහ බැංකුවට තාවකාලිකව මුදල් සැපයුම වැඩි කරන්න වෙනවා.

කෝවිඩ් නිසා සිදු වී තිබෙන්නේ සිංහල අවුරුදු කාලයේ දින කිහිපයකට ඇති වනවා වගේ තත්ත්වයක් මාස ගණනක්ම අල්ලා සිටීමයි. මිනිස්සු සල්ලි ආපසු ගන්න තරමට සල්ලි නැවත බැංකු වල තැන්පත් කරන්නේ නැහැ. ඒ වගේම, ණය වාරික ගෙවීම කල් දැමීම නිසා මුදල් අපේක්ෂා කළ පරිදි බැංකු වලට එන්නේ නැහැ. මේ අඩුව පුරවන්න මුදල් සැපයුම වැඩි කළ යුතුයි.

හැබැයි දැන් වෙලා තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් සැපයුම වැඩි කිරීමක්. ඒ නිසා, බැංකු වල රුපියල් බිලියන ගණනක් ගොඩ ගැහිලා. ආණ්ඩුව විසින් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බල කිරීම මත හෝ මහ බැංකුව කැමැත්තෙන්ම එසේ කිරීම නිසා. පසුගිය සතිය අවසානයේ රුපියල් බිලියන 118ක අතිරික්තයක්. ඔය වගේ සමස්ත අතිරික්තයක් බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන විට එක් බැංකුවකට තවත් බැංකුවකින් ණය ගන්න අවශ්‍ය වෙන්න ඉතාම අඩු ඉඩකඩක් තියෙන්නේ. හැම බැංකුවක් සතුවම වගේ වැඩිපුර මුදල් තිබෙනවා. ඒ නිසා, බැංකු වලට ණය විදිහට ඔය සල්ලි කාට හෝ තල්ලු කරන්න වෙනවා. මේ වෙද්දී ලංකාවේ බැංකු විසින් කරමින් ඉන්නේ ඒකයි.

ඉහත ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර අවසන්. මේ ලිපිය පළ කරන්නේ පාඨකයින් විසින් අසා තිබෙන තවත් ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්නයි. ප්‍රශ්න අසා තිබෙන පාඨකයින් දෙදෙනා එක් අයෙකුම නොවේය යන්න මගේ උපකල්පනයයි. එම ප්‍රශ්න වලට වෙනම පිළිතුරු නොදී මෙසේ ලිපියකින් ප්‍රතිචාර දක්වන්නේ ප්‍රශ්න දෙකම එකිනෙකට සම්බන්ධ නිසයි. ප්‍රශ්න දෙකක් කියා කිවුවත් ප්‍රශ්න ගණනාවක් සහිත ප්‍රතිචාර දෙකක්.

"රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? කොහොමද ?
උදා. මහජන බැංකුව රත්නසේකරට දෙන දෙවෙනි ලක්ශ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?"

"ස්තුතියි ඉකොනෝ කොමෙන්ටුවට පොස්ටුවක් දමාම පැහැදිලි කරාට. ඒ වගේම මට තව ගැටළුවක් ආවා මේක කියවද්දී. ඒ තමයි දැන් බැංකුවට තැන්පතුවක් ලෙස තිබෙන්නේ ලක්ෂ 10 යි. එතකොට ඒක තව කෙනෙක්ට ණයක් විදියට දෙන්න පුළුවන්. ඒ උනාට ආයේ තවත් කෙනෙක්ට ලක්ෂ 10 ක ණයක් දෙන්නේ කොහොමද? මොකද එහෙම දෙන එක නිවැරදි නැහැනි. මොකද එහෙම දෙන්න පුළුවන් මුදලක් ඇත්තටම නැහැ. එහෙම කරන්න පුළුවන් තමයි ඉකොනෝ කියලා තියෙන විදියට ප්‍රායෝගිකව. ඒත් එහෙම කරන එක නිත්‍යානුකූල කරලා තියෙන්නේ ඇයි? මූල්‍ය ආයතනයටත් රිස්ක් එකක් නැද්ද ඒකෙන්?"

මේ වගේ ප්‍රශ්න මතු වීම ඉතාම සාධාරණයිනේ. හරිනම් මේවා පාසැල් වල ඉගැන්විය යුතු දේවල්. තේරුම් ගන්න උපාධි අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් බොහෝ දෙනෙක් නොදැන සිටීමෙන් ඒ ක්‍රියාවලීන් ගැන අවබෝධයක් තිබෙන අයට එසේ නොදන්නා අයව පාලනය කිරීමේ ඉඩක් ලැබෙනවා. මම මේ ප්‍රශ්න වලට ගැලපෙන පිළිවෙලට පිළිතුරු දෙන්නම්.

"මහජන බැංකුව රත්නසේකරට දෙන දෙවෙනි ලක්ෂ 10 එහෙම මවලා දෙන්න පුලුවන් කියලා තීරණය කරේ කොහොමද?"

මම මුල් ලිපියේ මේ ක්‍රියාදාමය පැහැදිලි කර තිබෙන ආකාරය නිවැරදි වුවත් එසේ පැහැදිලි කර තිබෙන්නේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක මේ ක්‍රියාවලිය පැහැදිලි කරන සම්මත ආකාරයට නෙමෙයි. මම පටන් ගත්තේ ප්‍රශ්නය ඇසූ පාඨකයා සිතන තැන සිටයි. මේ ප්‍රශ්න මේ ආකාරයට මතු වන්නේ මා මුල් ප්‍රශ්නය පැහැදිලි කළ ආකාරය හේතුවෙනුයි. සම්මත ක්‍රමයට පැහැදිලි කළානම් බොහෝ විට මෙවැනි ප්‍රශ්න මතු වන්නේ නැහැ. 

ඒ එම ප්‍රශ්න නැති නිසා නෙමෙයි. සාමාන්‍ය පැහැදිලි කිරීමේදී ඒ ප්‍රශ්න සැඟවෙන නිසා. ඒ නිසා, කවුරු හෝ අමතර ප්‍රශ්නයක් ඇහුවත් කෙනෙකුට ඉතා පහසුවෙන් ඇඟ බේරා ගන්නා ගිරා පිළිතුරක් දෙන්න පුළුවන්. නමුත්, මට අවශ්‍ය වුනේ එවැන්නක් නොකර මේ සිද්ධි දාමය ඇතුළේ තිබෙන මූලධර්ම මොනවාද කියා ඒත්තු ගන්නන්නයි. මේ ප්‍රශ්න මතු වී තිබීමෙන් පෙනෙන්නේ මේ කරුණේදී මා සාර්ථක බවයි.

මේ ප්‍රශ්න දෙකෙන්ම පැහැදිලි වෙන්නේ මහජන බැංකුව විසින් දෙවන ලක්ෂ දහය ණය ලෙස ලබා දීම මොකක් හෝ වැරැද්දක් සේ පෙනෙන බවයි. "ඒ තමයි සාමාන්‍යයෙන් බැංකු කටයුතු සිදු වෙන විදිහ" වැනි ඇඟ බේරාගත හැකි පහසු පිළිතුරක් දෙන්න මම කැමති නැහැ.

පළමුව, වාණිජ බැංකුවක ප්‍රධාන ව්‍යාපාරික කාර්යය වන්නේ තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් සේප්පුවක දමා ආරක්ෂා කර දීම නෙමෙයි. බැංකු විසින් ආදායම් උපයන්නේ පොලියක් අය කර ණය දීම මගිනුයි. තැන්පතු කියන්නේ එසේ ණය ලෙස ලබා දීම සඳහා අරමුදල් හොයා ගන්නා ක්‍රමයක්.

මගේ මුල් පැහැදිලි කිරීම අනුව මහජන බැංකුව විසින් දෙවන ලක්ෂ දහය ණය ලෙස ලබා දෙන අවස්ථාව දක්වාම රටේ සෑම මුදල් නෝට්ටුවකටම කිසියම් "අයිතිකාරයෙක්" ඉන්නවා. මේ තත්ත්වය අපිට පහසුවෙන් මනසින් මවා ගත හැකි තත්ත්වයක්. ඒ නිසා, බැංකුවේ තිබෙන තැන්පතු සමරදිවාකරගේ මුදල්, රාමලිංගම්ගේ මුදල්, ෆර්සානාගේ මුදල් ආදී ලෙස වෙන් කළ හැකියි. වැඩේ අවුල් වෙන්නේ දෙවන ලක්ෂ දහය ලබා දීමෙන් පසුවයි. 

නමුත්, ඇත්තටම වාණිජ බැංකුවක් ඔය විදිහට සල්ලි ලේබල් කරන්නේ නැහැනේ. ඔවුන් කරන්නේ තැන්පතු සේ ලැබෙන මුදල් සියල්ල එකම "පෙට්ටියකට" දමන එකයි. ඒ පෙට්ටියෙන් රුපියල් පන්දාහක් අරගෙන එය සමරදිවාකරගේද, රාමලිංගම්ගේද, නැත්නම් ෆර්සානාගේද කියා හොයන්න බැහැ. බැරි නැති වුනත් බැංකුවක් එසේ කරන්නේ නැහැ. එසේ නොකිරීම වැරැද්දක්ද කියන එක පසුව සාකච්ඡා කරමු.

නැවත ණය නිකුත් කරන කොටත් ඔය පෙට්ටියෙන් මුදල් අරගෙන දෙනවා මිසක් ඒ දෙන්නේ සමරදිවාකරගේ මුදල්ද, රාමලිංගම්ගේ මුදල්ද, ෆර්සානාගේ මුදල්ද කියා හොයන්න බැංකුව මහන්සි වෙන්නේ නැහැ. බැංකුවේ මුදල් තිබේනම් ණය ලෙස නිකුත් කරනවා. එපමණයි. ඒ නිසා, චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ සල්ලි කියා මම කිවුවත් බැංකුව කොහේවත් එහෙම සටහන් කරගෙන නැහැ. තමන්ට ලැබුනේ සමරදිවාකරගේ තැන්පතු මුදල් බව චන්ද්‍රානි නොදන්නවා වගේම චන්ද්‍රානිට ණයට දුන්නේ සමරදිවාකරගේ මුදල් බව අඩු ගානේ බැංකුවවත් දන්නේ නැහැ.

චන්ද්‍රානි විසින් රුපියල් ලක්ෂ දහයක ණය මුදල ලබාගෙන අනික් අතට ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කළ නිසා එසේ තැන්පත් කළේ ණයට ගත් සල්ලිම බව අපි දන්නවා. එහෙත්, බැංකුව ඒ බව කොහේවත් වාර්තා කර ගන්නේ නැහැ. ඒ වගේම, මේ අවස්ථාවේ අපට මේ ණය මුදල හා තැන්පතුව එකිනෙක හා පාහන්න හැකි වුවත් බොහෝ විට එවැන්නක් කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට චන්ද්‍රානි විසින් එවෙලේම මුදල් තැන්පත් නොකර ගෙදර යාමෙන් පසුව ඇගේ දරුවා විසින් මහජන බැංකුවේ වෙනත් ශාඛාවකින් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමට මුදල් බැර කළොත් ඒ සල්ලි බැංකුවෙන් ණයට දුන් සල්ලිම බව තහවුරු කරන්න අමාරුයි. මේ වැඩේට රටේ බැංකු පද්ධතියම සම්බන්ධ වන නිසා වැඩේ කරන්නම බැරි තරම්.

එයින් අදහස් වෙන්නේ කුමක්ද? මහජන බැංකුවේ පැත්තෙන් බැලූ විට මුලින් සමරදිවාකර විසින් තැන්පත් කළ රුපියල් ලක්ෂ දහයක මුදල වගේම දෙවනුව චන්ද්‍රානි විසින් ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කළ රුපියල් ලක්ෂ දහයක මුදලත් එක සමාන තැන්පතු දෙකක්. ඒ දෙක එකක්මද දෙකක්ද කියන එක බැංකුවට හොයා ගන්න බැහැ. බැංකුව විසින් කරන්නේ තැන්පතු ලෙස ලැබෙන මුදල් ණය සේ ලබා දෙන එක පමණයි. එසේ ලබා දෙන ණය නැවත තැන්පතු සේ බැංකු පද්ධතිය ඇතුළටම එන එක ස්වභාවිකවම වෙන දෙයක්. එහෙම නැතුව බැංකු විසින් කරන "වැරැද්දක්" නෙමෙයි.

වැරැද්දක් නෙමෙයි කියා මම කිවුවත් තර්කානුකූලව මෙහි අවුලක් තිබෙන බව පේනවනේ. ගොඩක් වෙලාවට කියවන කෙනෙකුට අවුලක් දැනුනත් අහන්න අවශ්‍ය ප්‍රශ්නය එක පාරටම ඔළුවට එන එකක් නැහැ. ඒ නිසා, මමම ප්‍රශ්නය පැහැදිලි කරන්නම්.

අපි අපේ මුල් උදාහරණයට ගියොත්, මම කියපු කතාව ඔය විදිහටම සිද්ධ වෙනවානම් බැංකුවකට එකම රුපියල් ලක්ෂ දහය අනන්ත වාරයක් ණය ලෙස නිකුත් කළ හැකියිනේ. එහෙම වෙනවානම් අනිවාර්යයෙන්ම එහි අවුලක් තිබිය යුතුයිනේ.

දැනට අපි මහ බැංකුව හා සියලුම බැංකු නියාමන නීති අමතක කරමු. ඒ කිසිවක් නැතත් ඉහත කී ආකාරයේ දෙයක් වෙන්නේ නැහැ. එයට හේතුව වෙනත් ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙක් වගේම බැංකු ව්‍යාපාරයක් කරන කෙනෙකුත් අවදානම් ගන්නවා වුවත් අසීමිත ලෙස අවදානම් ගන්නේ නැහැ. බැංකුවේ පැත්තෙන් ගත් විට අවදානම ආරම්භ වන්නේ දෙවන වරට රත්නසේකරට ලක්ෂ දහයක් ණයට දෙන අවස්ථාවේදී නෙමෙයි. පළමු වරට චන්ද්‍රානිට ලක්ෂ දහය ණයට දෙන විටත් ඒ අවදානමම තිබෙනවා.

මුදල් මැවීම අමතක කරමු. මහජන බැංකුව විසින් චන්ද්‍රානිට ණයට දෙන්නේ සමරදිවාකරගේ තැන්පතු මුදල්. එසේ එම මුදල් ණයට දුන් පසු සමරදිවාකර බැංකුවට පැමිණ තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලුවොත් මහජන බැංකුව මොකද කරන්නේ? සල්ලි නොදී ඉන්න බැහැනේ. බැහැ කිවුවොත් බැංකුව බංකොලොත් වෙනවා.

අනිවාර්යයයෙන්ම මෙහි අවදානමක් තිබෙනවා. ඒ අවදානම ගන්නේ නැත්නම් වාණිජ බැංකුවකට ණය දෙන්නම බැහැ. ඒ කියන්නේ වාණිජ බැංකු ව්‍යාපාරයට පවතින්නම බැහැ. වාණිජ බැංකු විසින් කරන්නේ දක්ෂ ලෙස මේ අවදානම කළමනාකරණය කරන එකයි. එසේ කර ගන්න බැරි බැංකු බංකොලොත් වී වැසී යනවා. 

වාණිජ බැංකු පවතින තාක් කල් මුදල් මැවීම කියන එකත් ස්වභාවිකවම සිදු වෙනවා. එය සැලසුම් කර කරන දෙයක් නෙමෙයි. නමුත්, මගේ මුල් උදාහරණයේදී මෙන් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් තැන්පතු සේ ලැබුණු විට බැංකුව විසින් එම මුළු මුදලම නැවත ණය සේ නිකුත් කරන්නේ නැහැ. එසේ නිකුත් කරන්නේ එම මුදල් වලින් යම් කොටසක් පමණයි. එම කොටස කොපමණද කියන එක එක් එක් බැංකුවේ තීරණයක්. එය තීරණය වන්නේ එක් එක් බැංකුව විසින් ගන්නා අවදානම මතයි.

බැංකුවක තැන්පතුකරුවන් විසින් ඕනෑම වෙලාවක තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටිය හැකි බවත්, එසේ ඉල්ලූ විට ආපසු දිය යුතු බවත් බැංකු දන්නවා. ඒ එක්කම හැම තැන්පතුකරුවෙක්ම එක වර තමන්ගේ මුදල් ආපසු ගන්නේ නැති බවත් බැංකු දන්නවා. 

කිසියම් නිශ්චිත දවසක තැන්පතු සේ ආපසු ඉල්ලන මුදල් ප්‍රමාණය ගැන දළ අදහසක් බැංකුවකට තිබෙනවා. ඒ නිසා, හැම විටම බැංකුවක් විසින් ණය සේ අරමුදල් නිකුත් කරන්නේ තැන්පතු ආපසු ගෙවීම සඳහා කිසියම් මුදල් ප්‍රමාණයක් අතේ තියාගෙනයි. මුල් උදාහරණයට නැවත පැමිණියහොත් මහජන බැංකුව විසින් කිසි විටකටත් සමරදිවාකරගේ රුපියල් ලක්ෂ දහයක මුදලම චන්ද්‍රානිට දෙන්නේ නැහැ. එසේ දෙන්නේ රුපියල් ලක්ෂ අටක් හෝ නවයක් වැනි අඩු මුදලක්. ඒ නිසා, චන්ද්‍රානි විසින් නැවත ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කරන්නේ රුපියල් ලක්ෂ අටක් හෝ නවයක් වැනි අඩු මුදලක්. අපි මේ මුදල ලක්ෂ අටක් කියා කියමු. සමරදිවාකර ඔහුගේ තැන්පතු ආපසු ගන්න ආවොත් දෙන්න මහජන බැංකුව විසින් ඉතුරු ලක්ෂ දෙක තියා ගන්නවා.

දැන් දෙවන වටයේදී රත්නසේකර ණය ඉල්ලාගෙන බැංකුවට එනවා. බැංකුවේ ලක්ෂ දහයක් තියෙනවා තමයි. නමුත්, එයින් ලක්ෂ දෙකක් තියාගෙන ඉන්නේ සමරදිවාකර ඔහුගේ තැන්පතු ආපසු ගන්න ආවොත් ආපසු දෙන්නයි. ඒ නිසා, ඒ සල්ලි රත්නසේකරට ණයට දෙන්න බැහැ. එහෙමනම්, ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තිබෙන ලක්ෂ අටක මුදල රත්නසේකරට දෙන්න පුළුවන්ද? 

එසේ කළත් කලින් ප්‍රශ්නයම එනවනේ. ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනය සල්ලි ආපහු ගන්න ආවොත් මොකද වෙන්නේ?

මහජන බැංකුවට ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තිබෙන ලක්ෂ අටක මුදල මුළුමනින්ම රත්නසේකරට දෙන්න පුළුවන්කමක් නැහැ. එහි අවදානමක් තිබෙනවා. ඒ නිසා, මහජන බැංකුව විසින් දෙවන වටයේදී ණය නිකුත් කරන්නේ ඒ අවදානම වෙනුවෙන්ද යම් මුදලක් ඉතිරි කර ගෙනයි. අපි කියමු මේ මුදලත් ලක්ෂ දෙකක් කියා. ඒ කියන්නේ, රත්නසේකරට ණය ලෙස දෙන්නේ රුපියල් ලක්ෂ හයක් පමණයි. ඔහු නැවත ඒබීසීඩී උසස් අධ්‍යාපන ආයතනයේ ගිණුමේ තැන්පත් කරන්නේත් ලක්ෂ හයක් පමණයි. 

මෙහිදීත් මුල් අවස්ථාවේදී වගේම මුදල් මැවීමක් සිදු වී තිබෙනවා. එය ඉතාම පැහැදිලියිනේ. නමුත්, එක් වටයකදී අලුතෙන් මැවෙන මුදල් ප්‍රමාණය ආරම්භක තැන්පතුවට සාපේක්ෂව අඩු මුදලක්. ඒ නිසා, වාණිජ බැංකුවකට එකම රුපියල් ලක්ෂ දහය අනන්ත වාරයක් ගුණනය කරන්න බැහැ. වාණිජ බැංකුවකට මැවිය හැකි මුදල් ප්‍රමාණය යම් නිශ්චිත සීමාවකට ඇවිත් නවතිනවා. මේ සීමාව තීරණය වෙන්නේ එක් එක් වාණිජ බැංකුව විසින් ගන්නා අවදානම මතයි.

දැන් ඔබට එක දෙයක් පැහැදිලි විය යුතුයි. කිසියම් බැංකුවක තැන්පතුකරුවන් සියලුම දෙනා එකවර තමන්ගේ තැන්පතු මුදල් ආපසු ඉල්ලා සිටියොත් එම මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් කිසිදු බැංකුවකට නැහැ. එසේ ඉල්ලා සිටියහොත් ඕනෑම ශක්තිමත් බැංකුවක් කඩා වැටෙනවා. 

හැබැයි මෙය පුදුම විය යුතු භයානක තත්ත්වයක් නෙමෙයි. මේ වගේ අවදානමක් ඕනෑම දෙයක තිබෙනවා. රෝහලක ඖෂධ ගබඩා කර තබා ගන්නේ සාමාන්‍යයෙන් පැමිනෙනු ඇතැයි සිතිය හැකි රෝගීන් ප්‍රමාණය ගැන සලකලයි. ඇඳන් ප්‍රමාණය, වාට්ටු ප්‍රමාණය, වෛද්‍යවරුන් හා හෙදියන් ප්‍රමාණය ආදිය තීරණය කරන්නේත් එවැනි පදනමක සිටයි. කෝවිඩ් වැනි තත්ත්වයක් නිසා එකවර විශාල රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත වුවහොත් ඖෂධ හා ඇඳන් හිඟයක් ඇති වීම නොවැලැක්විය හැකියි. ඒ හේතුව නිසා, රෝහල් පහසුකම් සාමාන්‍ය අවශ්‍යතාව මෙන් දහ ගුණයක් දක්වා පුළුල් කර දිගින් දිගටම පවත්වා ගැනීම කාර්යක්ෂමයි කියා කියන්න බැහැ. නමුත්, එසේ නොකිරීමේ අවදානමක් තිබෙනවා.

පාලමක් සැලසුම් කරද්දී ඒ මතින් එකවර ගමන් කරන්නට ඉඩ තිබෙන පුද්ගලයින් ප්‍රමාණය හා ඔවුන් පා තබන රටාව පිළිබඳව පූර්ව උපකල්පන කරනවා. ඒ පූර්ව උපකල්පන ඉක්මවා යන තත්ත්වයකදී පාලම ඔරොත්තු නොදෙන්න පුළුවන්.

අපි තවමත් බැංකු නියාමනය ගැන කතා කළේ නැහැනේ. මහ බැංකු හා බැංකු නියාමනය සාපේක්ෂව අලුත් සංකල්ප. වාණිජ බැංකු සංකල්පය ඊට වඩා ගොඩක් පරණයි. ජාතක කතා වල ඉන්න සිටුවරු කියන්නේත් යම් ආකාරයක බැංකුකරුවන් පිරිසක්. මහ බැංකු විසින් රටක සමස්ත බැංකු පද්ධතියේ අවදානම් ගැන හිතන්න පටන්ගන්න පෙර සිටම වාණිජ බැංකු තමන්ට තිබෙන අවදානම් ගැන සැලකිලිමත් වුනා. ඔවුන් ණය සේ  අරමුදල් නිකුත් කළේ තමන්ට ලැබෙන තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් හදිසි සංචිතයක් සේ තබා ගැනීමෙන් පසුවයි. ඒ, තැන්පතුකරුවන් තමන්ගේ අරමුදල් ඉල්ලගෙන පැමිණි විට එම මුදල් ආපසු දෙන්නයි. මේ ප්‍රතිශතය 1% ද, 5%ද 20%ද කියන එක එක් එක් බැංකුවේ තීරණයක්. එම ප්‍රතිශතය අනුව අදාළ බැංකුව විසින් කොයි තරම් දුරකට මුදල් මැවීමට දායක වෙනවාද කියන එකත් තීරණය වෙනවා.

මහ බැංකු කියන්නේ එක විදිහකින් බැලුවහම පසුකාලීනව ඇති වී බැංකු ක්‍රියාකාරිත්වයේ සුක්කානම තමන් අතට ගත් ව්‍යුහයක්. මහ බැංකු බිහි වෙන්න පෙර සිටම වාණිජ බැංකු තිබුණා. මුදල් මැවීමත් සිදු වුනා. ඒ විතරක් නෙමෙයි. මුල් කාලයේ අලුතින් මුදල් නෝට්ටු සංසරණයට එකතු කළේත් බැංකු විසින් හෝ බැංකු සේ සැලකිය හැකි ව්‍යුහයන් විසින්. නමුත්, මේ වන විට රටක සංසරණය වෙන මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ මහ බැංකු විසින්.

එසේ වුවත්, ඔබට එක් දෙයක් පැහැදිලි විය යුතුයි. රටක මහ බැංකුවකට මුදල් සැපයුම තීරණය කළ හැකි වුවත් එය එක්තරා විදිහක සාමූහික කටයුත්තක්ද වෙනවා. අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කර මුදා හැරීමේ ඒකාධිකාරය තිබෙන්න මහ බැංකු අතේ. එසේ වුවත්, එම මුදල් ප්‍රමාණය වාණිජ බැංකු විසින් ගුණනය කරනවා. ඒ වගේම, මේ ගුණනය වීම රටේ මුදල් හා ණය ඉල්ලුම මතද තීරණය වන්නක්.

මේ වගේ සංකීර්ණ තත්ත්වයක් යටතේ මහ බැංකුව විසින් රටේ මුදල් සැපයුම කොපමණ විය යුතුදැයි තීරණය කිරීමෙන් පසුව එම ඉලක්කය සැපිරෙන බවට වගබලා ගන්නේ කොහොමද?

පළමුව, වාණිජ බැංකු විසින් මුදල් මැවීමක් කළත් මෙහිදී වෙන්නේ මහ බැංකුව විසින් අලුතෙන් නිකුත් කරන මුදල් ගුණනය වීමක් නිසා ආරම්භක මුදල පාලනය කළ විට අවසන් මුදල් ප්‍රමාණයද පාලනය වෙනවා. දෙවනුව, වාණිජ බැංකු විසින් ණය නිකුත් කිරීමේදී තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් සංචිතයක් සේ තබා ගන්නා බව මම කිවුවනේ. මහ බැංකුව විසින් මේ සඳහා අවම සීමාවක් පනවා තිබෙනවා. ඒ නිසා, වාණිජ බැංකු වලට ණය නිකුත් කළ හැක්කේ එම අවම සංචිත ප්‍රමාණය මහ බැංකුවේ ගිණුමක තැන්පත් කිරීමෙන් පසුවයි. මේ අවම සීමාව වෙනස් කිරීමෙන් වාණිජ බැංකු වල මුදල් මැවීමේ හැකියාව පාලනය කළ හැකියි.

මේ කරුණු තවත් දීර්ඝ ලෙස විස්තර කළ හැකියි. ප්‍රශ්න මතු වුවහොත් පිළිතුරු සපයන්නම්. 

8 comments:

  1. තව-තවත් ප්‍රශ්න නැගේවා. එහෙම කියන්නේ දේව රහස් වගේ අදෘශ්‍යමානව තියෙන දේවල් මෙහෙම විවෘතව සාකච්ඡා කෙරෙන එක හරිම වටිනා නිසයි!

    ඉකොනෝ වගේ අයට ප්‍රශ්න විදිහට නොදැනෙන- ගණන් නොගත යුතු තරමේ දේවල් වුනත් අපට දන ගන්න වටිනවා.... මං වගේ මැට්ටන්ට වුනත්...

    හරවත් ප්‍රශ්න අහන යටත් ගොඩක් ස්තුතියි!

    ReplyDelete
  2. මම ජ'පුර වි.විද්‍යාලයේ කලමණාකාරණ පීඨයේ , උසස් පෙළ ආර්තික විද්‍යාව හදරා ඇතිමුත් ප්‍රායෝගිකව ආර්තික විද්‍යාව එදිනෙදා සිදිධිය සමග ගලපගන්න තරම් අවබෝධයක් තිබ්බේ නෑ, මේ බ්ලොග් එක ලියන මහත්මයා/මහත්මිය ඒ අඩුපාඩු සෑහෙන දුරට නැති කරා. සෑහෙන දැනුමක් අරගත්තා අහම්බෙන් කියවන්න ලැබුන මෙම බ්ලොග් එක හරහා. ලියුම්කරුට බොහොම ස්තූති සහා ඉදියට ඔබ සමග සම්බන්ධ වීමටත් ඉතා කැමති.

    ReplyDelete
    Replies
    1. //ප්‍රායෝගිකව ආර්තික විද්‍යාව එදිනෙදා සිදිධිය සමග ගලපගන්න තරම් අවබෝධයක් තිබ්බේ නෑ//

      මේක ඔබේ වැරැද්දක්ම නෙමෙයි. ධනවාදී රටකනම් ආර්ථික විද්‍යාව එදිනෙදා සිද්ධි සමඟ ගැලපෙන බව ඉතා පැහැදිලිව පේනවා. එහෙත්, ටික දෙනෙක් විසින් තමන්ට අවශ්‍ය පරිදි ආර්ථිකය පාලනය කරන සමාජවාදී රටක එදිනෙදා සිද්ධි ආර්ථික විද්‍යාව සමඟ ගලපන එක ගොඩක් අසීරු වැඩක්. මූලික ආර්ථික විද්‍යා ආකෘති ගොඩක් හදලා තියෙන්නේ වෙළඳපොළ නිදහස්ව හැසිරෙන විට තිබෙන තත්ත්වයන් පැහැදිලි කරන්නයි. සරසවි පාඨමාලා වල වුනත් උගන්වන්නේ එවැනි ආකෘති. නිදහස් වෙළඳපොළට කෘතීම ලෙස බාධා කළ විට ඇති වන තත්ත්වයන් තේරුම් ගැනීමට වඩා සංකීර්ණ විග්‍රහයක් කරන්න වෙනවා. සම්මත ආකෘති යොදාගෙන එවැනි තත්ත්වයක් සරල ලෙස විග්‍රහ කර ගන්න අමාරුයි. ලංකාවේ ආර්ථික විද්‍යාව හදාරන ගොඩක් අයට එළියට බැස්සහම ඒ ආකෘති එළෙසම වැඩ කරන බව පෙනෙන්නේ නැහැ. ඒ නිසා, ආකෘති අනුව එහෙම විය යුතු වුවත් සැබෑ ලෝකයේ එහෙම වෙන්නේ නැහැ කියා හිතන්න ලංකාවේ ආර්ථික විද්‍යාව හදාරන ගොඩක් අය පෙළඹෙනවා. නමුත්, ඇත්තටම වැරැද්ද ආකෘති වල නෙමෙයි. ඔබ ආකෘතිය ගැන මුලින් විශ්වාසය තියලා ඒ අනුව අපේක්ෂිත ප්‍රතිඵලය දකින්න නොලැබෙන්නේ ඇයි කියන ප්‍රශ්නය ඔබෙන්ම ඇහුවොත් ඔබට ගොඩක් වෙලාවට නිවැරදි පිළිතුර හමු වෙනවා. මම මෙයින් කියන්නේ ආකෘති කියන්නේ සර්ව සම්පූර්ණ දේවල් කියන එක හෝ "සැබෑ" දේවල් කියන එක නෙමෙයි. එහෙත්, ලංකාවේ සිදුවන එදිනෙදා දේවල් ඔබ හදාරා ඇති ආර්ථික විද්‍යාව සමඟ නොගැලපෙන සේ පෙනේනම් එසේ පෙනෙන්නේ ලංකාවේ පවතින සමාජවාදී ආර්ථික-දේශපාලන ක්‍රමයේ වැරැද්දක් නිසා.

      Delete
  3. ඉකොන් කියන විදියට අපි හිතමුකෝ වානිජ බැන්කු තමන්ට ලැබෙන සියලුම තැම්පතු ( අපි හිතමුකෝ ස්තාවර තැම්පතු සහ ලමා ගිනුම් වැනි ආපසු ලබා ගැනීමේ අඩු සම්බාවිතාවක් තියෙන තැම්පතු කියලා) වලින් 90% ක් නය විදියට දෙන්න සුදානමින් ඉන්නවා කියලා. ඒත් රටේ මිනිස්සුන්ගෙන් නය වලට ඉල්ලුමක් නැති නම් ඒ සල්ලි වලට බැන්කු මොනවද කරන්නෙ? අපි හිතමුකෝ ලක්ශ 100 ක් තැම්පතු තියෙනවා එකෙන් ලක්ශ 90 නය දෙන්න පුලුවන්. ඒත් නය ගන්නේ ලක්ශ 20 විතරයි නම් ඉතුරු ලක්ශ 70 ට බැන්කුව මොකද කරන්නේ? ( අනිත් වානිජ බැන්කු වලිනුත් මේ සල්ලි වලට ( ලක්ශ 70ට) ඉල්ලුමක් නැහැ කියලා හිතමු, තව රජයෙනුත් නය ගන්නෙ නෑ කියලා හිතමු. ඒ කියන්නෙ සිරි ලන්කාව නෙමෙ වෙන රටක් කියලා හිතමු)

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ ණය (හෝ වෙනත් ආයෝජන) විදිහට නොදෙන හැම රුපියලක්ම බැංකුවට බරක්. මොකද ඒ තැන්පත්කරුවන්ගේ සල්ලි, බැංකුව ඒවට පොලී ගෙවන්නම ඕන

      Delete
    2. මෙයත් ඉතාම හොඳ හා වැදගත් ප්‍රශ්නයක්. පිළිතුරක් ලෙස පෝස්ට් එකක්ම දමන්න වෙනවා. වෙලාවක් හොයා ගත හැකි වූ විට දමන්නම්.

      Delete
  4. මට නම් හිතෙන්නේ ණය (හෝ වෙනත් ආයෝජන) විදිහට නොදෙන හැම රුපියලක්ම බැංකුවට බරක්. මොකද ඒ තැන්පත්කරුවන්ගේ සල්ලි, බැංකුව ඒවට පොලී ගෙවන්නම ඕන.

    ReplyDelete
  5. ඉකෝන්..ඔබගේ දීර්‍ග පිලිතුරට ස්තූතියි....සුද්දගේ විද්‍යාවේ මූලධර්‍ම එකම නිසා වෙන්නැති...මේ හැම විද්‍යාවකම තර්‍කානුබව එකම විදිහකට ගලා යන්නේ...විශේෂයෙන් ගණිතය සම්භන්ධ වෙන තැන් වලදි

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...