වෙබ් ලිපිනය:

Saturday, July 11, 2020

දෙවන පොකුර


ලංකාවෙන් නැවතත් කොරෝනා "පොකුරක්" මතු වෙලා. මීට පෙර මේ විදිහට කොරෝනා පොකුරක් මතු වුනේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්. මේ වන විට එම පොකුර පාලනය වී තිබෙනවා.

මා කොරෝනා ගැන මෙහි ලියන්නේ කොරෝනා කෝවිඩ් නමින් බෞතීස්ම කරන්නත් පෙර සිටයි. මගේ ලිපි දිගටම කියවූ අය දන්නා පරිදි හා නොකියවූ අයට දැනටත් කියවා තහවුරු කර ගත හැකි පරිදි මා කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පිළිගත් ආකෘති, කොරෝනා පරීක්ෂාවන් ගැන හා කොරෝනා එන්නත් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහි විස්තර කර තිබෙනවා. බොහෝ විට එසේ කර තිබෙන්නේ තාක්ෂණික කරුණු මත හා දත්ත මත පදනම්වයි.

මෙහි මා වරින් වර ලෝකයේ විවිධ රටවල කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පුරෝකථනයන් සිදු කර තිබෙනවා. පුරෝකථනයන් හැම විටම නිවැරදි වෙන්නේ නැහැ. එහෙත්, අහඹු අනුමාන වලට වඩා නිසි ආකෘතියක් යොදාගෙන කරන පුරෝකථන නිවැරදියි. ඇමරිකාව කොරෝනා ආසාදිතයින් වැඩිම රටක් වන බව මා සටහන් කළේ එසේ වීමට ගොඩක් කලිනුයි. දැන් ඇමරිකාවට පසුපසින් සිටින බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව ගැන ලිවුවේත් ගොඩක් කලින්. ඒ ආකාරයටම මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව වේගයෙන් ලැයිස්තුවේ උඩට එමින් සිටින බව දැන් අපහසුවකින් තොරව කියන්න පුළුවන්.

ලෝකයේ විවිධ රටවල් ගැන මෙවැනි පුරෝකථන කළත් මා ලංකාව ගැන මෙවැනි පුරෝකථන කර නැහැ. එහෙත්, වෙනත් අය වරින් වර එවැනි පුරෝකථන සිදු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. මා ලංකාව ගැන පුරෝකථන සිදු නොකළේ පැහැදිලි හේතුවක් ඇතුවයි.

ලංකාවේ කොරෝනා ගැන මා සිංහල අවුරුදු දින ලියූ ලිපියක් මෙහි පහත තිබෙනවා.

ලංකාවේ කොරෝනා

එම ලිපියේ මා ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය අදියර තුනකට වෙන් කළා. තෙවන අදියර ලෙස මා සැලකුවේ කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු කාලයයි. එම ලිපිය අවසන් වුනේ මේ විදිහටයි.

"මේ කරුණු අනුව පෙනෙන්නේ දිනකට හමුවන රෝගීන් ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමටනම් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් එළෙසම පවත්වා ගත යුතු බවයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රම ලිහිල් කළහොත් ඉතා ඉක්මනින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් හෙයකින් කටුනායක ඇරියොත්නම් වහාම ප්‍රශ්නය උග්‍ර වන බව පැහැදිලියි. ඒ වගේම දැනට කරන සියලු කටයුතු එක දිගටම එළෙසම කළත් ආසන්න දිනයකදී අලුත් රෝගීන් හමු වීම මුළුමනින්ම අවසන් වේයැයි හිතන්න අමාරුයි."

නාවික හමුදා පොකුර මතු වුනේ මේ ලිපිය ලිවීමෙන් අනතුරුවයි. ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් කලබල වුනත් මා ඒ ගැන එතරම්ම කලබල වුනේ නැහැ. දැන් අලුතෙන් තවත් පොකුරක් හමු වී තිබියදීත් මා එතරම් කලබල වෙන්නේ නැහැ. මගේ විග්‍රහය අනුව ලංකාව තවමත් තිබෙන්නේ ඉහත ලිපියේ සඳහන් කළ තෙවන අදියරේ.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ විවෘත කර ඇතත් තවමත් කොරෝනා ව්‍යාප්තිය හා අදාළ පාලකය රජයේ හස්තයෙන් ගිලිහී නැහැ. මානුෂිකව ඉතා සංවේදී කරුණක් වුවත් මැද පෙරදිග හිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ලංකාවේ රජයේ ස්ථාවරය තේරුම් ගන්න වෙන්නේත් මේ සන්දර්භය ඇතුළේ සිටයි. ලංකාවේ රජයේ උපක්‍රමය වී තිබෙන්නේ කෝවිඩ් ආසාදිතයින් සේ සැක කළ හැකි පිරිස රජයට සමීපව නිරීක්ෂණය කළ හැකි තරමට සීමා කර ගැනීමයි.

මුල සිටම කෙසේ වෙතත් අඩු වශයෙන් කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ලංකාවේ රජයේ කෝවිඩ් මර්දන උපක්‍රමය වුනේ කෝවිඩ් ආසාදිතයින් වීමේ විභවයක් ඇති අය කලින් හඳුනා ගැනීමයි. ලංකාවේ පැවති හා තවමත් පවතින තත්ත්වයන් යටතේ මෙය සාර්ථක උපක්‍රමයක්. මෙය සාර්ථක උපක්‍රමයක් කියා මා කියන්නේ හේතු කිහිපයක් මත පදනම්වයි.

පළමුව, ලංකාවට කෝවිඩ් පරීක්ෂාවන් සිදු කළ හැකි සීමාවක් තිබෙනවා. මහා පරිමාණයෙන් අහඹු පරීක්ෂා සිදු කිරීමේ ආර්ථික ශක්තියක්, තාක්ෂනය හෝ මානව සම්පත් ලංකාවට නැහැ.

දෙවනුව, ලංකාවේ රජයේ මධ්‍යගත පාලනය යටතේ පුළුල් හා සංවිධානාත්මක නිරීක්ෂණ යාන්ත්‍රණයක් තිබෙනවා. මෙයට මහජන සෞඛ්‍ය විෂයද ඇතුළත්. මේ යාන්ත්‍රනය පොදු අරමුදලින් කොහොමටත් නඩත්තු කෙරෙන නිසා මේ වෙලාවේ ඒ වෙනුවෙන් අමුතු වියදමක් දරන්න වෙන්නේ නැහැ. මහජන සෞඛ්‍යය හා අදාළව කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස් වලට අමතරව ලංකාවේ රජයට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක සේවා නිලධාරීන්ද අමතර වියදමක් නොදරා මේ කටයුත්ත වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ වන විට ලංකාවේ සිදු කර තිබෙන කෝවිඩ් පරීක්ෂා ප්‍රමාණය 114,765ක් පමණයි. එම පරීක්ෂා හරහා කෝවිඩ් ආසාදිතයින් 2,464 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 2.15%ක්. වෙනත් විදිහකින් කිවුවොත් පරීක්ෂාවට ලක් වූ 47 දෙනෙකුගෙන් අයෙක් කෝවිඩ් ආසාදිතයෙක්.

ලංකාවේ ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් කෝවිඩ් ආසාදිතයින් හමු වී තිබෙන්නේ 0.01%ක් පමණයි. එහෙමත් නැත්නම් 8,691කට අයෙක් පමණයි. ලංකාවේ බුද්ධි අංශ හා මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම විසින් සිදු කර ඇති පූර්ව විශ්ලේෂණ හරහා කෝවිඩ් ආසාදිතයෙකු වීමේ ඉඩකඩක් ඇති අයෙකු පරීක්ෂා කර හඳුනා ගැනීමේ ඉඩකඩ 186 ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.

මා හිතන පරිදි ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදයේ වඩාත්ම සාර්ථක තැන මේ අයුරින් පීසීආර් පරීක්ෂාවක් කිරීමට පෙර පරීක්ෂණ ප්‍රතිඵලය ධන වීමේ ඉඩකඩ වැඩි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් යුතුව කලින්ම හඳුනා ගැනීමට හැකි වීමයි. ඒ නිසා, ලංකාවේ දැනට පවතින පරාමිතීන් අනුව පීසීආර් පරීක්ෂාවන් මීට වඩා පුළුල් කිරීම අවශ්‍ය දෙයක් කියා මා හිතන්නේ නැහැ. එය සම්පත් නාස්තියක් පමණයි.

එසේනම් මේ ක්‍රමවේදය යටතේ රජයේ "දැලට" අහු නොවන අයට මොකද වෙන්නේ?

අනිවාර්යයෙන්ම මේ ක්‍රමය හරහා රටේ සිටින සියලුම කෝවිඩ් ආසාදිතයින් රජයේ දැල ඇතුළෙන්ම හමු වන බව සහතික කරන්න බැහැ. දැලට අහු නොවන අය අහුවෙන්නේ රෝග ලක්ෂණ මතු වූ පසුවයි. ඒ වන විට එවැනි අයෙක් තවත් බොහෝ දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කර තියෙන්න පුළුවන්. වැලිසර හා කන්දකාඩුව උදාහරණයි. එසේ වුවත්, මේ සම්භාවිතාව එතරම් විශාල නොවන බව පැහැදිලියි.

ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 0.45%ක් පමණයි. මා හිතන පරිදි මෙය සැබෑ කෝවිඩ් මරණ අනුපාතයයි. ඇමරිකාව වැනි රටවල මරණ අනුපාතය වඩා විශාල ලෙස පෙනෙන්නේ කෝවිඩ් ආසාදිතයින්ගෙන් 90%ක් පමණම හඳුනාගෙන නැති නිසයි. ඇමරිකාවේ පරීක්ෂා ඉහළ යද්දී මරණ අනුපාතය පහළ යනවා. ලංකාවේ මරණ ප්‍රමාණ හා ආසාදිතයින් ප්‍රමාණ සියයට සියයක්ම නිවැරදියි කියා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, සමස්ත චිත්‍රය වෙනස් කළ හැකි තරමේ වැරැද්දක් නිල සංඛ්‍යාලේඛණ වල නැති බව මගේ අදහසයි. ලංකාවේ මරණ අනුපාතයෙන් පෙන්වන්නේ රජයේ දැලට පසුව හෝ අහු නොවුණු කෝවිඩ් ආසාදිතයින් ඇත්නම් ඉතාම සුළු ගණනක් බවයි.

දැනට රටේ ජනගහණයෙන් කෝවිඩ් ආසාදිතයින් සිටින්නේ 0.01%ක් පමණක් වන තත්ත්වයක් යටතේදී මුළු රටේම සියල්ලන්ම පීසීආර් පරීක්ෂාවන්ට ලක් කළත් එම පරීක්ෂාවන්හි ඇති මිනුම් වරද නිසා රජයේ දැලට අහු නොවනවාට වඩා ප්‍රතිශතයක් අහු නොවී බේරෙන්න පුළුවන්.

දැනට රජයේ උපක්‍රමය වන්නේ දැලට මුලින් යමෙක් අහු නොවුණු අවස්ථාවන් වලදී පසුව අවශ්‍ය පරිදි දැල පුළුල් කිරීමයි. වැලිසර සිද්ධියෙන් පසුව රජය කළේ මෙයයි. මේ දෙවන පොකුර හමුවීමෙන් පසුවද රජය එය කරමින් සිටිනවා. එයද සාර්ථක වනු ඇතැයි අපි සිතමු. එසේ වුවත්, ඉදිරියේදී මෙවැනි පොකුරු වරින් වර මතුවීම වලක්වන්න බැහැ. ඒ වගේම කිසියම් මොහොතක කෝවිඩ් ව්‍යාප්තිය රජයේ පාලනයෙන් ගිලිහීමේ අවදානමක්ද තිබෙනවා. හැබැයි ඒ අවදානම් තිබුණා කියා වෙනත් වඩා හොඳ විකල්පයක් නැහැ.

කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ සම්මත ආකෘති හා ආර්-නෝට් අගය වැනි දේ අදාළ වන්නේ වසංගතයක් ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණීමෙන් පසුවයි. අනාගතය ගැන කිසිවක් කිව නොහැකි වුවත් ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මේ වන තුරුත් ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට ගොස් ඇති බවක් පෙනෙන්නට නැහැ. මගේ විග්‍රහය අනුව ලංකාව තවමත් ඉන්නේ තෙවන අදියරේ. ඒ නිසා පුරෝකථන කිරීමට සම්මත ආකෘති යොදා ගැනීම තේරුමක් නැති වැඩක්.

පහසු ඉලක්කයක් නොවුනත්, එන්නතක් වැඩි දියුණු කෙරෙන තුරු ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට යා නොදී ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත හැකි වුවහොත් එය විශාල ජයග්‍රහණයක්. අවම වශයෙන් මහ මැතිවරණය අවසන් වන තුරු එවැන්නක් සිදු නොවුනොත් එයත් විශාල ජයග්‍රහණයක්. රටේ මානව සම්පතේ, ආර්ථිකයේ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේත් වැදගත්කම අවතක්සේරු කළ යුතු නැහැ.

(Image: Florence Weis  https://www.theartblog.org/2020/04/artists-in-the-time-of-coronavirus-an-ongoing-virtual-exhibition-part-13/)

2 comments:

  1. ණය බරද වැඩි කරගෙන
    කෝවිඩ්ද යලි වැළඳගෙන
    චන්දෙකුත් තියාගෙන
    සැකයි සිරි ලක යන ගමන ගැන

    ReplyDelete
  2. ඇත්තටම ඉකොනො ඇමෙරිකාවේ සිවිල් යුද්ධය තීරණාත්මකව අවසන් වුවත් උතුරු-දකුණු ගැටුම අවසන් වුනේ නැහැ. දකුණු ජනපදවල දේශපාලන බලය තිබුණේ ඩිමොක්‍රටික් පක්ෂයට. ඔවුන් කළු මිනිසුන්ට විරුද්ධව වහල් ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි පිරිස. උතුරු ජනපදවල දේශපාලන බලය තිබුණේ රිපබ්ලිකන් පක්ෂයට. ඇමරිකානු දකුණු ජනපදවල ජීවත් වූ කළු මිනිසුන් ගේ මනාපය ඇත්තේ වහල් ක්‍රමය අහෝසි කළ තමන්ට බැවින් ඔවුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම තම පක්ෂයට වාසි සහගත බව රිපබ්ලිකන් පක්ෂය, විශේෂයෙන් එහි උලිසස් ග්‍රාන්ට් වැනි නායකයෝ, තේරුම් ගත්තා. මේ අනුව ඔවුන් කෙසේ හෝ 15 වන ආණ්ඩුරකම ව්‍යවස්ථා සංශෝධනය ගෙන විත් කළු මිනිසුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කළා.

    මට නම් තේරෙන්නේ මේක මානුෂික කාරණාවකට වඩා දේශපාලන බලය පිළිබඳ කාරණාවක් කියලා. (අද ලංකාවේ එක්සත් ජාතික පක්ෂය දෙමළ, මුස්ලිම් ප්‍රජාවන්ට බොරු හිතවත් බවක් පෙන්වන්නේ ඔවුන්ගේ ඡන්ද කුට්ටිය තමන්ට ලැබෙන නිසා). අද දකුණු ජනපදවල බලය රිපබ්ලිකන් පක්ෂයටත්, උතුරු ජනපදවල බලය ඩිමොක්‍රටික් පක්ෂයටත් ලෙස මේ ධ්‍රැවීකරණය උඩු යටි කුරු වී තිබීම එක අතකින් උත්ප්‍රාසජනක කාරණයක්.

    ඇමෙරිකාවේ ඒ වහල් යුගයේදී කළු මිනිසුන් නෛතිකව සැලකුණේ දේපළ වශයෙන්. ඒ අනුව වහලෙක් යනු වහල් හිමියාට තමන්ගේ සෙසු ඉඩම් කඩම්, වතු පිටි, හරක බාන වගේම තවත් එක දේපළක්. වහළා සම්බන්ධයෙන් සියළු තීරණ ගැනීමේ අයිතිය තිබුනේ ඒ වහල් හිමියාට. ඒ අනුව ඉඩම් කඩම් හරක්, බැටළුවන් වැනි තමන්ට අයත් සතුන් විකුණා දමන ආකාරයෙන් වහල් හිමියන්ට වහලුන් විකුණා දැමීමට හැකියාව තිබුණා. වහල් ක්‍රමය අහෝසි කිරීමත් සමඟම කළු මිනිස්සු නිදහස් මිනිසුන් බවට පත් වුනා.

    ඉතිහාසයේදී යුද්ධයෙන් පරාජය වුවත්, වහල් ක්‍රමය අහෝසි කරනු ලැබුවත්, කළු මිනිසුන්ට ඡන්දය අයිතිය දෙනු ලැබුවත් දකුණු ජනපදවල දේශපාලන සංස්ථාපනය තම ගමන අවසන් කළේ නැහැ. ඇමෙරිකානු ඉතිහාසයේ සිවිල් යුද්ධයෙන් පසු යුගය හැඳින් වුනේ ප්‍රතිසංස්කරණ (Reconstruction Era) අවධිය කියලා.

    එබැවින් මෙම ප්‍රතිසංස්කරණ අවධියේ පටන් දකුණු ජනපද වල සුදු දේශපාලන අධිකාරිය නොයෙක් නීති රීති තම ජනපද ආණ්ඩුවල සම්මත කර ගනිමින් කළු මිනිසුන්ට විරුද්ධව වාර්ගික විසංගනයක් (Racial Segregation) ක්‍රියාත්මක කළා. එය නොයෙක් අයුරින් ක්‍රියාත්මක වුනා.

    එහිදී සිදු කළ ප්‍රධාන දෙයක් නම් හැකිතරම් කළු මිනිසුන් ඡන්ද පොළෙන් ඈත් කිරීම. ඡන්ද ලියා පදිංචිය සඳහා යොදවනු ලැබූ සුදු මිනිස්සු කළු මිනිසුන්ගේ ඡන්ද ලියා පදිංචිය ක්‍රමානුකුලව කප්පාදු කළා. දෙවනුව Klu Klux Klan වැනි ත්‍රස්තවාදී පැරා මිලිටරි සංවිධාන යොදවා භීෂණය වපුරා කළු මිනිසුන් ඡන්ද පොළට පැමිණීම වළකනු ලැබුනා. (ලංකාවේ එක්සත් ජාතික පක්ෂය තමන්ට අවාසිදායක යාපනයේ දෙමළ ඡන්ද ඡන්ද පොළෙන් ඈත් කිරීමට 80 දශකය මුලදී ක්‍රියාත්මක කළේත් මේ ආකාරයේම ක්‍රියාදාමයක්)

    කොහොම උනත් ඇමෙරිකාවේ මේ ක්‍රියාදාමය සුළු කාලයක් නොව වසර 100ක් පමණ විශාල කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුනා. දකුණු ජනපදවල කළු මිනිසුන්ගේ පූර්ණ ඡන්ද අයිතිය තහවුරු වුනේ 1965දීයි. ඒත් කළු නිදහස් අරගලවල ප්‍රතිඵලයක් ලෙස. එපමණක් නොව දකුණු ජනපදවල වාර්ගික විසංගනයෙන් කළු මිනිසුන්ගේ මානුෂික සහ සමාජීය අයිතීන්ට සිදු වුනේ මීටත් වඩා බරපතළ තත්වයක්. මේ ගැනත් සාකච්ඡා කිරීම පටන් ගනිමු.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...