වෙබ් ලිපිනය:

Tuesday, July 14, 2020

වත්කම්, බැරකම්, බැරිකම් හා පුළුවන්කම්


ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වගේ හිරු නාලිකාවේ ගිය, අනුර කුමාර දිසානායක සහභාගී වූ දේශපාලන සංවාදයක කොටසක් නරඹන්න ලැබුණා. එහිදී අනුර කුමාර විසින් ලංකාවේ ණය අර්බුදයට ඔවුන්ගේ විසඳුම ගැන අදහස් ප්‍රකාශ කළා. තවත් දේවලුත් කතා කළා. අනුර කුමාරගේ අදහස්, මම හිතන විදිහට මේ මොහොතේ ජවිපෙ නිල මතය, කෙටියෙන් මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන්.

- ණය ගැනීම අපරාධයක් හෝ පවක් නෙමෙයි.
- ප්‍රශ්නය ණය ගැනීම නෙමෙයි. ගත් ණය වලට සරිලන වත්කම් හැදී නැති එකයි.
- ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නෙත් ණය අරගෙනම තමයි.

සති තුනකින් පසුව පැවැත්වෙන්නට නියමිත මහ මැතිවරණය පිළිබඳව තවමත් අවිනිශ්චිතතා තිබෙනවා. මහ මැතිවරණය බාධාවකින් තොරව දින නියම කර ඇති ආකාරයට පවත්වන්නට ඉඩ ලැබෙනු ඇතැයි අපි දැනට හිතමු.

පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව පැහැදිලි කරුණක්. මගේ පෞද්ගලික මතය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ යම් තරමකින් හෝ ඉදිරියට පැමිණෙනු ඇති බවයි. එහෙත්, ජවිපෙ මේ මැතිවරණය ජයග්‍රහණය නොකරන බව ඉතාම පැහැදිලියි.

මැතිවරණයක් ජයග්‍රහණය නොකරන බව පැහැදිලිව පෙනෙන පසුබිමක දේශපාලන පක්ෂයකට තමන් බලයට ආ පසු කරන දේවල් ගැන ඕනෑ තරම් කතන්දර කියන්න පුළුවන්. නමුත්, ණය අර්බුදය හා අදාළව ජවිපෙ එවැනි මනඃකල්පිත කතන්දරයක් කියන්නේ නැහැ. මම හිතන විදිහට ජවිපෙ විසින් යෝජනා කරන්නේ බලයට පත් වන කවර ආණ්ඩුවකට වුවත් ප්‍රායෝගිකව කළ හැකි දේ.

මොනවා වුනත් ජවිපෙහි මේ ස්ථාවරය අගය කළ යුතුයි. එහි වටිනාකම කැපී පෙනෙන්නේ බලයට පැමිණීමට වැඩි ශක්‍යතාවයක් තිබුණු දේශපාලන පක්ෂ මැතිවරණ වලට පෙර ප්‍රකාශ කර සිටි ස්ථාවරයන් හා සංසන්දනය කළ විටයි.

වසරින් වසර අලුත් වන අර්බුදයක් වුවත් ලංකාවේ ණය අර්බුදය අලුත් එකක් නෙමෙයි. මෑත කාලය ගත්තොත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ණය අර්බුදය ගැන ලොකුවට කතා කළා. එහෙත්, අර්බුදයෙන් ගොඩ යන ආකාරය පිළිබඳ පැහැදිලි වැඩ පිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට අනුව ණය අර්බුදයට හේතුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වූ නිසා ඒ වංචා හා දූෂණ නැවැත්වූ පසු පහසුවෙන්ම අර්බුදයෙන් ගොඩ යා හැකිව තිබුණා. මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ආකර්ශනීය ප්‍රකාශයක් වුවත් ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. බලයට පත් වූ පසු ඔවුන්ට වෙනත් විකල්ප වලට යන්න වුනා.

මෙවර ජනාධිපතිවරණයට කලින් ප්‍රචාරය කෙරුණු යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වගේම තවත් කතාවක්. ඒ කතාවට අනුව, රනිල්ට බැරි වුනත් රාජපක්ෂලාට පුළුවන්. මේ හැම කතාවක්ම සිල්ලර කතා. ටිකක් බර විදිහට කියනවානම් ඡන්දදායකයින්ගේ බුද්ධියට නිගා කරන කතා. මම මේ කරන්නේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාව හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. මා අවධානය යොමු කරන්නේ ලංකාවේ ණය අර්බුදය ඒ වගේ දේවල් වලට ලඝු කිරීමේ තිබෙන රැවටිල්ල පිළිබඳවයි.

ඒ අතින් බැලුවහම ජවිපෙ අවංකයි. ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නේත් තවත් ණය ගනිමින්ම තමයි. එහෙම නැතුව මැජික් විසඳුමක් නැහැ. ඉක්මන් විසඳුමකුත් නැහැ. ආණ්ඩු බලය ලබා ගැනීමේ වැඩි ශක්‍යතාවයක් තිබෙන පක්ෂ විසින් නොකියන මේ ඇත්ත ජවිපෙ විසින් කියනවා.

ණය හා වත්කම් පිළිබඳ ජවිපෙ විග්‍රහයත් පදනමක් තිබෙන එකක්. ණය ගැනීම වැරැද්දක් හෝ නොකළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි එය එසේ වෙන්නේ ණය ගැනීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට ශුද්ධ වත්කමක් හැදෙනවානම් පමණයි.

ණයක් කියන්නේ බැරකමක්. ඒ නිසා, ණයක් ගන්න හැම විටකම ක්ෂණිකව හා අනිවාර්යයයෙන්ම බැරකමක් හැදෙනවා. එහි හානිය වලක්වාගන්නනම් අදාළ ණය මුදල යොදවා කිසියම් වත්කමක් හදාගත යුතුයි. ඒ විදිහට හදා ගන්නා වත්කම නිසා ඇති වන ධනාත්මක බලපෑම ණය නිසා ඇති වූ සෘණාත්මක බලපෑමට වඩා වැඩිනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුද්ධ වත්කමක් ලෙස සලකන්න පුළුවන්.

අපි උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. කවුරු හෝ කෙනෙක් ණයක් අරගෙන ත්‍රිරෝද රථයක් මිල දී ගන්නවා. කල්බදු ක්‍රමයට කියමු. දැන් මේ ණය වෙනුවෙන් මාස්පතා වියදමක් දරන්න වෙනවා. පොලී මුදල් හා ණය වාරික කියමු. තව ආදායම් බලපත්‍ර, රක්ෂණ වාරික වගේ වියදමුත් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිරෝද රථය බැරකමක්. නමුත්, ත්‍රිරෝද රථය කුලියට දීලා මාස්පතා යන වියදමට වඩා ආදායමක් හොයා ගන්න පුලුවන්නම් ඒ බැරකම ඉක්මවන වත්කමක් හැදිලා. ඒ නිසා ත්‍රිරෝද රථය ශුද්ධ වත්කමක් කියා කියන්න පුළුවන්. රටකට වුනත් මේ කතාව අදාළයි.

ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ප්‍රශ්නය ගත් ණය වියදම් කරන්නේ කොහොමද කියන එකයි. ණය මුදල් යොදවා හදාගත් වත්කම් වල ආදායමින් ණය ගෙවාගෙන යන්න පුලුවන්නම් ගත්ත ණය රටට බරක් වෙන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ ණය ඉහළ යන්නේ ඒ විදිහට ලංකාව විසින් ගත් ණයට සරිලන වත්කම් හැදී නැති නිසයි.

ලංකාවේ රජය විසින් මේ වන විට රුපියල් ට්‍රිලියන 14 ඉක්මවන ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව අපි දන්නවා. එම ණය ප්‍රමාණය ලංකාවේ රජයේ බැරකමක්. රජයට ණය දුන් අයගේ වත්කමක්. මේ ණය වලින් රුපියල් ට්‍රිලියන 7.2ක් දේශීය ණය. ඒ කියන්නේ රජයේ බැරකම් වලට සරිලන වත්කම් රට ඇතුළේ කවුරු හෝ සතුව තිබෙනවා. එහෙත්, ඉතිරි රුපියල් ට්‍රිලියන 6.8ට සරිලන වත්කම් ඒ අයුරින් රට ඇතුළේ නැහැ. ඒ නිසා, ඒ කොටස ලංකාවේ රජයේ බැරකමක් වනවාට අමතරව රටේ බැරකමක්ද වෙනවා.

ලංකාවේ බැරකම් වෙන්නේ ලංකාවේ රජයේ බැරකම් පමණක් නෙමෙයි. පෞද්ගලික අංශය විසින් විදේශ ණය ලබාගෙන ඇත්නම් ඒවාද ලංකාවේ බැරකම්. වත්කම්ද එසේයි. ඒ වගේම රටේ බැරකම් වෙන්නේ ණය පමණක්ම නෙමෙයි. සෘජු විදේශ ආයෝජන වගේ දේවලුත් රටේ බැරකම්. මොකද කවුරු හෝ විදේශිකයෙක් විසින් ලංකාවේ කරන ආයෝජනයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ දිගින් දිගටම රටෙන් එළියට යනවා. කල්පනාකාරී වුනේ නැත්නම් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම උගුලක අහුවීමක් වෙන්න පුළුවන්.

සමාගමක ශේෂ පත්‍රය හදනවා වගේ රටක ශේෂ පත්‍රයත් හදන්න පුළුවන්. එහි රටේ වත්කම් හා බැරකම් සටහන් වෙනවා. මේ වත්කම් හා බැරකම් සැසඳීමෙන් රටේ ශුද්ධ වත්කම් හෝ බැරකම් තත්ත්වය පරීක්ෂා කර බලන්න පුළුවන්.

කිසියම් රටක වත්කම් හා බැරකම් පහත පරිදි ලැයිස්තුගත කරන්න පුළුවන්.

1. සෘජු විදේශ ආයෝජන: විදේශිකයින් විසින් ලංකාවේ කර ඇති සෘජු ආයෝජන බැරකම් වන අතර ලාංකිකයින් විසින් විදේශ වල කර තිබෙන ආයෝජන ලංකාවේ වත්කම්.

2. කළඹ ආයෝජන: රාජ්‍ය හෝ පෞද්ගලික සුරැකුම්පත් ආදියෙහි, එසේ නැත්නම් කොටස් වෙළඳපොළෙහි කර ඇති ආයෝජන. ලාංකිකයින් විසින් වෙනත් රටවල කර තිබෙන ආයෝජන වත්කම් වන අතර විදේශිකයින් විසින් ලංකාවේ කර තිබෙන කළඹ ආයෝජන ලංකාවේ බැරකම්.

3. මූල්‍ය ව්‍යුත්පන්න: ලංකාවේ මූල්‍ය ව්‍යුත්පන්න ආයෝජන නැති තරම්.

4. වෙනත් ආයෝජන: රජය හෝ මහ බැංකුව විසින් සෘජුව ලබා ගන්නා ණය, දේශීය ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා හෝ ලබා දෙන වානිජ ණය හෝ අත්තිකාරම් ආදිය මේ යටතට වැටෙනවා. වත්කම් මෙන්ම බැරකම්ද තිබිය හැකියි.

5. නිල සංචිත: රටක නිල සංචිත එම රටේ වත්කම් වලින් කොටසක්. ඉහත අනෙකුත් අයිතමයන් මෙන් මෙයට අනුරූප බැරකමක් නැහැ.

පහත තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ලංකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-  1,504
කළඹ ආයෝජන-                  0.1
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-         4,239
නිල සංචිත-                     7,534
එකතුව-                         13,277

බැරකම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-   12,455
කළඹ ආයෝජන-               9,946
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-          35,860
එකතුව-                            58,211

මේ අනුව ලංකාවේ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 58,211ක් වුවත්, වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 13,277ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 44,985ක ශුද්ධ බැරකමක්. ඉහත එක් එක් අයිතමය වෙන වෙනම ගත්තත් හැම විටම වත්කම් මෙන් කිහිප ගුණයක බැරකම් ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඉහත ශුද්ධ බැරකම් රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට ඇමරිකන් ඩොලර් 2,102 ක්.

ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ රටවල් අතරින් ශුද්ධ බැරකම් වැඩිම රටයි. පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ඇමරිකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  6.982.0
කළඹ ආයෝජන-         10,987.4
මූල්‍ය ව්‍යුත්පන්න-           3,000.5
වෙනත් ආයෝජන-        5,259.7
නිල සංචිත-                       537.5
එකතුව-                        26,767.1

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-   8,789.8
කළඹ ආයෝජන-          19,778.4
මූල්‍ය ව්‍යුත්පන්න-            2,965.2
වෙනත් ආයෝජන-         7,311.2
එකතුව-                         38,824.6

ඇමරිකාවේ වත්කම් ප්‍රමාණය වන ඩොලර් බිලියන 26,767.1 ට සම්මුඛව ඩොලර් බිලියන 38,824.6 ක බැරකම් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12,057.5ක ශුද්ධ බැරකමක්. ඒ කියන්නේ එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක් පමණ. එක් ලාංකිකයෙකුට ඇමරිකන් ඩොලර් 2,100ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක්නම් එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක් නොවන්නේ කොහොමද?

ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 12,057.5ක් බව ඇත්ත. එහෙත් එය හැදී තිබෙන්නේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් හා ඩොලර් බිලියන 38,824.6 බැරකම් වල එකතුවක් ලෙසයි. ඇමරිකාවේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් වලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 38,824.6 බැරකම් වෙනුවෙන් වැය කළ යුතු වියදමට වඩා වැඩියි. ඒ නිසා, ශුද්ධ වශයෙන් ඇමරිකාවේ බැරකම් වැඩි වුනත් වත්කම් හා බැරකම් වලින් ශුද්ධ ලෙස ඇමරිකාවට ආදායමක් ලැබෙනවා. මෙය ඇමරිකාවට සුවිශේෂී තත්ත්වයක්.

ඇමරිකාවේ වත්කම් හා බැරකම් වල සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ පැහැදිලි වෙනවා. වත්කම් හා බැරකම් අතර වෙනසට ප්‍රධානම හේතුව කළඹ ආයෝජන වල වෙනසයි. අනෙක් කොටස් සෑහෙන දුරට සමතුලිතයි. ඇමරිකාවේ බැරකම් වලින් අඩකටත් වඩා කළඹ ආයෝජන. මෙයින් සැලකිය යුතු කොටසක් විදේශිකයින් විසින් ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල කර තිබෙන ආයෝජන. ඒ වෙනුවෙන් ඇමරිකන් රජය විසින් ගෙවන්නේ ඉතා අඩු පොලියක්.

බොහෝ රටවල් හා අදාළව බැරකම් වලින් පිළිබිඹු වෙන්නේ බැරිකම්. බැරකම් ඉහළ ගොස් තිබෙන්නේ බැරිකම් වසා ගැනීමට ණය ඉල්ලාගෙන විදේශිකයින් වෙත යාම නිසයි. එවැනි තත්ත්වයක් යටතේ ණය ලබා ගන්න වෙන්නේ අවදානමට සරිලන විශාල පොලී අනුපාතිකයක් යටතේ.

නමුත්, ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකන් රජය ණය ඉල්ලාගෙන වෙනත් රටවල් වෙත ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ වෙනත් රටවල් විසින් සුරක්ෂිත ආයෝජනයක් සේ සලකමින් ඇමරිකන් රජය විසින් නිකුත් කරන ණය සුරැකුම්පත් ඉල්ලාගෙන පැමිණීමයි. ඇමරිකාව එහි වාසිය ලබමින් ඉතා අඩු පොලියකට ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව හා අදාළව බැරකම් කියා කියන්නේ බැරිකම් නෙමෙයි. පුළුවන්කම්.

ඇමරිකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 69%ක් පමණයි. එසේ වුවත්, බැරකම් වෙනුවෙන් ඇමරිකාව වැය කරන මුදල වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු මට්ටමක තිබෙන්නේ මේ පොලී අනුපාතික වෙනස නිසයි.

ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 22.8%ක් පමණයි. එයින් වැඩි කොටසක් නිල සංචිත. නිල සංචිත ආයෝජනය කරන්නේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාවය දෙමින් නිසා එයින් විශාල පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉතිරි කොටස වාණිජ බැංකු වල සංචිත හා සමාගම් විසින් ලබා දී ඇති වාණිජ අත්තිකාරම්. ඒවායින්ද සැලකිය යුතු පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, බැරකම් වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ලබාගෙන තිබෙන ණය. ඒ වෙනුවෙන් සැලකිය යුතු පොලී වියදමක් දරන්න වෙනවා. ලංකාවේ බැරකම් ප්‍රමාණය වත්කම් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් වීමට අමතරව බැරකම් වෙනුවෙන් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්න සිදු වීමේ අවාසියද ලංකාවට තිබෙනවා.

කවුරු ආණ්ඩු කළත් ලංකාව පැටලී සිටින ණය උගුලෙන් අවුරුදු හතර පහකින් ගොඩ යන්න බැහැ. ගොඩ යන තුරු තව තවත් ණය ගන්න වෙනවා. උගුලෙන් ගොඩ යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ කොහොමද කියන එක මතයි.

3 comments:

  1. බලය නොගත්තත් ජෙප්පෝ
    ඉන්න ඕනැ මැති සබයේ
    මෙහෙම හිතෙන නෝනලාට
    කතිරෙ ගහන මහතුන් හට
    ඔන්න ඇවිත් හොඳ වෙලාව

    ReplyDelete
  2. ඇත්ත තිත්තයි- හිත නොදිනයි; නීරසයි
    බොරුවෙ රස වෑහෙයි- දනිතත් සදා රැවටෙයි
    වෙනස හරි ඈතයි- අඳෝමැයි
    එහෙව් අයටම 'ශිල්ප සෑදෙයි!'

    ReplyDelete
  3. මහත්තයා දැන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයේද වැඩ කරන්නේ?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...