වෙබ් ලිපිනය:

Saturday, June 11, 2022

නන්දලාල්ට තව සති තුනයි!


රටේ ආර්ථික අර්බුදය පෙර නොවූ විරූ මට්ටමකට උග්‍ර වී ඒ තුළින් දේශපාලන හා සමාජ අර්බුදයක්ද මතු වීමෙන් පසුව මහ බැංකු අධිපති ධුරයේද වෙනසක් සිදු වුනා. අධිපති ධුරය භාරගත්තේ සැලකිය යුතු කාලයක් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති දක්වා තනතුරු හොබවා විශ්‍රාම ගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට වී සිටි, ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරියෙක්ද වන, නන්දලාල් වීරසිංහයි. 

ආර්ථිකයේ ප්‍රශ්න තවමත් විසඳී නැහැ. වසර දහයක් පමණවත් යන තුරු ප්‍රශ්න සියල්ල විසඳෙන එකකුත් නැහැ. අවුරුදු 74ක ප්‍රශ්න ඊට වඩා අඩු කාලයකින් විසඳිය නොහැකියි. එහෙත් නිවැරදි මාර්ගෝපදේශනයක් ඇත්නම් ආර්ථිකය තවතවත් අගාධයට යාම වලක්වා ගත හැකියි. එය සිදු නොවන්නේනම් විනාශයේ කෙළවර කුමක් වේදැයි කාටවත් කියන්න බැහැ.

නන්දලාල් වීරසිංහ විසින් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමෙන් පසුව ඉතා ඉක්මණින් සාධනීය වෙනස්කම් රැසක් කිරීමට පියවර ගත්තා. මේවා වරින් වර ලියා තිබෙන නිසා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. ඒ කර තිබෙන දේවල් වුවත් පැලැස්තර තමයි. නමුත් මේ වෙලාවේ පැලැස්තර දමනවාට වඩා දෙයක් ක්ෂණිකව කළ නොහැකියි. නන්දලාල් වීරසිංහ විසින් ක්ෂණික ප්‍රශ්න වලට පැලැස්තර දමන අතරම වරින් වර ඔහුගේ දිගුකාලීන දැක්ම ගැන අදහස් ප්‍රකාශ කිරීමටද පැකිලී නැහැ.

අඩුපාඩු තිබිය හැකි වුවත්, තවමත් නන්දලාල්ගේ ක්ෂණික පිළියම් කිසිවක් අතේ පත්තු වී නැහැ. ඒ වගේම, දිගුකාලීන වෙනසක් වෙනුවෙන් යමක් කිරීමට ඔහුට තවමත් අවස්ථාවක් ලැබීත් නැහැ. එවැනි වෙනස්කම් කළ හැකි වාතාවරණයක් තවමත් රටේ නැහැ. නන්දලාල්ගේ අනාගත සාර්ථකත්වය ගලේ කෙටී නැතත්, ඔහු තවමත් අසාර්ථක වී නැහැ. 

කෙසේ වුවත්, නන්දලාල් වීරසිංහගේ අධිපති පත්වීම වලංගු වන්නේ ජූනි 30 දක්වා පමණයි. මීට පෙර වරක් මාධ්‍ය ඉදිරියේ පැවසූ පරිදි ඔහු ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් නොවුනත්, එසේම දේශපාලන අධිකාරිය විසින් ඉල්ලා අස්වෙන සේ බල කරනු නොලැබුවත්, ඔහුගේ අධිපති ධුරය තව තෙසතියකින් ඉබේටම අහෝසි වී යනවා.

මුදල් නීති පණත අනුව මහ බැංකු අධිපති වරයෙකු හෝ වෙනත් මුදල් මණ්ඩල සාමාජිකයෙකු පත් කිරීමෙන් අනතුරුව වසර හයක කාලයක් යන තුරු එම පත්වීම වලංගුයි. එම කාලය නිම වන තුරු මුදල් මණ්ඩල සාමාජිකයින් ඉවත් කළ නොහැකියි. මෙය නීතියෙන් මහ බැංකු ස්වාධීනත්වය ස්ථාපිත කර ඇති ආකාරයයි. එහෙමනම්, නන්දලාල් වීරසිංහගේ පත්වීම මේ තරම් ඉක්මනින් කල් ඉකුත් වන්නේ ඇයි?

මහ බැංකු අධිපති ධුරය පිළිබඳ මෑත ඉතිහාසයට එබී බැලුවොත්, 2004 ජූනි 1 වෙනිදා එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් හේලීස් සභාපති වූ සුනිල් මෙන්ඩිස්ව වසර හයක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කළා. එය මහ බැංකු අධිපති ධුරයට පෞද්ගලික අංශයේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු පත් කරනු ලැබූ මුල්ම අවස්ථාවයි. ඊට පෙර, එක් අවස්ථාවක හැර, දිගින් දිගටම මහ බැංකු අධිපති සේ පත් කරනු ලැබුවේ මහ බැංකුවේම කාලයක් සේවය කර පළපුරුද්දක් තිබුණු නිලධාරීන්වයි.

සුනිල් මෙන්ඩිස්ගේ ධුර කාලය 2010 ජූනි 30 දක්වා වලංගුව තිබුණත්, දෙවසරක් ධුරයේ කටයුතු කිරීමෙන් පසුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. මෙවැනි අවස්ථාවක කරන්නේ ඔහුගේ ඉතිරි වී ඇති ධුර කාලය තුළ අධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා වෙනත් අයෙකු පත් කිරීමයි. ඒ අනුව, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සුනිල් මෙන්ඩිස්ගේ ඉතිරිව ඇති වසර හතරක කාලය සඳහා අජිත් නිවාඩ් කබ්රාල්ව පත් කළා. 

ඉන් පසුව, 2010 ජූනි 30 දින එම ධුර කාලය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපපක්ෂ විසින් නැවතත් වසර 6කට අජිත් නිවාඩ් කබ්රාල්වම එම ධුරයට පත් කළා. මේ අනුව, අජිත් නිවාඩ් කබ්රාල්ගේ ධුර කාලය 2016 ජූනි 30 දින දක්වා වලංගුව පැවතුණා. එතෙක් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ.

කෙසේ වුවද, 2015 ආණ්ඩු මාරුවෙන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් ස්ව කැමැත්තෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කෙරුනේ කබ්රාල්ගේ පුරප්පාඩුව පිරවීමටයි. ඒ අනුව, කබ්රාල්ගේ දෙවන ධුර කාලය අවසාන වීමට නියමිතව තිබුණු 2016 ජූනි 30 දින අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වුනා. ඒ දින වල ඇතැම් තැන් වල වාර්තා වී තිබුණු පරිදි බැඳුම්කර වංචා චෝදනා එල්ල වීමෙන් පසුව ඔහු ධුරයෙන් ඉල්ලා අස් වුනේ හෝ ඉවත් කරනු ලැබුවේ නැහැ. 

අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව වසර 6ක කාලයකට මහ බැංකු අධිපති සේ පත් කෙරුණා. මේ අනුව, ඔහුගේ ධුර කාලය අවසන් විය යුතුව තිබුණේ 2022 ජූනි 30 දිනයි. එසේ වුවත්, කබ්රාල් විසින්ද දුන් වැරදි පූර්වාදර්ශයම අනුගමනය කරමින්, 2019 ආණ්ඩු මාරුවෙන් පසුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා.

මේ වන තුරුද ගෙවී යන්නේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ඉතිරිව ඇති ධුර කාලයයි. මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ තවත් අධිපතිවරුන් තිදෙනෙකු එම ධුරයේ කටයුතු කර තිබෙනවා. ඉතිරිව ඇති ධුර කාලය සඳහා පත් කරනු ලැබූ ඩබ්ලියු ඩී ලක්ෂමන් මෙන්ම අජිත් නිවාඩ් කබ්රාල්ද කලින්ම ඉල්ලා අස්වීම (හෝ එසේ කිරීමට බල කරනු ලැබීම) නිසා නන්දලාල් වීරසිංහට ධුරය භාර ගැනීමට සිදු වුනේ මාස තුනකටත් අඩු කාලයක් සඳහා පමණයි. ඔහුගේ පත්වීම ජූනි 30 දින කල් ඉකුත් වෙනවා. 

මීළඟට මහ බැංකු අධිපති සේ පත් කරනු ලබන කවර හෝ පුද්ගලයෙකුට 2028 ජූනි 30 දක්වා වසර හයක් ධුරයේ කටයුතු කළ හැකියි. මහ බැංකු අධිපති ලෙස නන්දලාල් වීරසිංහවම නැවත පත් කරයිද එසේ නැත්නම් වෙනත් අයෙකුව පත් කරයිද යන්න තවමත් අවිනිශ්චිතයි. මෙම අවිනිශ්චිතතාව නන්දලාල් වීරසිංහට මෙන්ම මහ බැංකුවේ නිලධාරීන්ටද ප්‍රශ්නයක්ව නොතිබෙන්නට හේතුවක් නැහැ. පසුගිය කාලයේ රටේ ආර්ථිකය සම්බන්ධව ගනු ලැබූ බොහෝ තීරණ වලට මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළ පුද්ගලයාගේ පෞද්ගලික රුචි අරුචිකම් බලපෑ බව රහසක් නෙමෙයි.

No comments:

Post a Comment

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...