වෙබ් ලිපිනය:

Sunday, August 2, 2020

බ්‍රේක් නැති සුබසාධනය


ලංකාවේ ධනවාදය වෙනුවෙන් බය නැතිව, සෘජුව පෙනී සිටින හෝ පෙනී සිට ඇති දේශපාලන පක්ෂ කිසිවක් නැති බව මම කලින් ලිපියේ කිවුවා. සමහර විට ජන පදනමක් නැති, අප නම් අසා නැති කුඩා කණ්ඩායම් සිටියාද කියා මම දන්නේ නැහැ. ජන පදනමක් සහිත ධනවාදී දේශපාලන පක්ෂනම් කවදාවත්ම ලංකාවේ තිබී නැහැ.

ධනවාදී දේශපාලන පක්ෂ කිසිවක් ලංකාවේ නොහැදුනේ එවැනි පක්ෂයකට ලංකාවේ ඉල්ලුමක් නොතිබුණු නිසයි. ඉල්ලුමක් නොතිබුණේ ධනවාදය කියා කියන්නේ කුමක්ද කියා දැන ගන්න අවස්ථාවක් ලාංකිකයින්ට නොතිබුණු නිසයි. එවැනි අවස්ථාවක් නැති වුනේ විධිමත් අධ්‍යාපනය, කලාව, විධිමත් මාධ්‍ය ආදියේ ආධිපත්‍යය හිමිව සිටි සමාජවාදීන් විසින් ඉතා සාර්ථකව සමාජවාදය හා ධනවාදය පිළිබඳ මිථ්‍යාවන් සමාජගත කරන්නට සමත් වීම නිසයි.

මේ තත්ත්වය මෙසේ පැවතීමට ලෝක තත්ත්වයන්ද බලපෑවා. විශේෂයෙන්ම සෝවියට් කඳවුරට ලෝකයම සමාජවාදී කර ගැනීමේ අධිරාජ්‍යවාදී අභිලාශයන් තිබුණා. ඔවුන් ඒ වෙනුවෙන් ලෝබ නැතුව මුදල් වැය කළා. සෝවියට් ක්‍රමය දිගුකාලීනව පවත්වා ගැනීම සඳහා ලෝකයම බැරිනම් ලෝකයෙන් වැඩි කොටසක් සමාජවාදයට හරවා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබුණු දෙයක්. ප්‍රායෝගිකව වගේම සෛද්ධාන්තිකවත් සමාජවාදයේ ඉලක්කය වුනේ එයයි. ලෝකයෙන් හයෙන් එකක පැතිරුණු සෝවියට් දේශය එක් අවස්ථාවක් වන විට ලෝකයෙන් තුනෙන් එකක් දක්වා සමාජවාදය ව්‍යාප්ත කරන්න සමත්ව සිටියා.

එහෙත්, බටහිර රටවලට ඒ ආකාරයේ උවමනාවක් තිබුණේ නැහැ. එම රට වලට අනෙකුත් රටවල් සෝවියට් කඳවුරේ සමාජවාදය වෙත තල්ලු වීම වලක්වන්න උවමනාවක් තිබුණත් එතැනින් එහාට ගොස් ධනවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ධනවාදය හරහා එම රටවල් ගොඩ දැමීමේ උවමනාවක් තිබුණේ නැහැ.

මේ වෙනසට ධනවාදයේ හා සමාජවාදයේ මූලධාර්මික වෙනස්කම් බලපෑවා. ධනවාදී විදිහට හිතුවොත් ලංකාව ගොඩ දමන එක එක්සත් රාජධානියේ හෝ ඇමරිකාවේ වැඩක් නෙමෙයි. එතැන තිබෙන්නේත් තරඟයක්. එහිදී තමන් ධනවාදය හරහා ලබා ගන්නා වාසිය අනෙක් අයත් ලබා ගැනීම ඇතැම් විට තමන්ට පාඩුවක් වෙන්නත් පුළුවන්. බොහෝ විට ධනවාදී රටක් විසින් වෙනත් රටකට උදවු කරන්නේ ධනවාදයේ මූලික නීති ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා පමණයි. ධනවාදී චින්තනය අනුව, ඒ නීති යටතේ ක්‍රීඩා කර ජය ගැනීම ඒ ඒ රටවල් විසින් කළ යුතු දෙයක්.

තවත් විදිහකින් කිවුවොත් එක් ධනවාදී රටකට තවත් ධනවාදී රටක් ගොඩ දමන්න බැහැ. කළ හැක්කේ පාර පෙන්වන එක පමණයි. ධනවාදය එතැනින් එහාට මැදිහත් වෙන්නේ නැහැ. ධනවාදී රටක ජීවත් වන ඒකීය පුද්ගලයින් හා සම්බන්ධව තත්ත්වයත් එහෙමයි. ධනවාදය විසින් කරන්නේ මාර්ගය එළි පෙහෙළි කිරීම පමණයි. ඉලක්කයක් ඇතිව අවශ්‍ය තැනට යන එක ඒකීය පුද්ගලයාගේ කාර්යයයක්. අවශ්‍ය කෙනෙකුට මාර්ගයේ යා හැකිවාක් මෙන්ම අනවශ්‍ය කෙනෙකුට මාර්ගයෙන් පිටතට පැන කැලෑ වදින්නත් නිදහස තිබෙනවා.

ලංකාවට සමාජවාදී අදහස් පැමිණියේ නිදහස ලැබෙන්න දශක එක හමාරකට පමණ පෙරයි. ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂ සමාජවාදය ඉලක්ක කළ පක්ෂ. එම පක්ෂ මුලින්ම රටේ ජනප්‍රිය වුනේ අධිරාජ්‍ය විරෝධය එක්කයි. ඒ වෙද්දී රටේ බහුතරයක් අධිරාජ්‍ය විරෝධීන්ව සිටියා.

තමන් රටින් පිටවීමෙන් පසුව වෙනස්ම නීති යටතේ ක්‍රීඩා කරන කණ්ඩායමක් බලයට පත් නොවී පරණ නීති යටතේම ක්‍රීඩා කරන කණ්ඩායමක් බලයට පත් වනු දකින්න බ්‍රිතාන්‍යය සතුටු වෙන්න ඇති. එහෙත්, එතැනින් එහාට ගොස් කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය ගැන හොයා බලන්න බ්‍රිතාන්‍යයට හෝ වෙනත් කිසිදු බටහිර රටකට අවශ්‍ය වුනේ නැහැ.

මූලධාර්මික ලෙස ගත්තොත් ධනවාදය සම්පත් සමව බෙදී යාම වැදගත් සේ සලකන්නේ නැහැ. සම්පත් සමව බෙදී යා යුතුය යන්න සමාජවාදී අදහසක්. ඒ අදහස සෝවියට් ආකෘතියෙන් පිටත වෙනත් ආකෘති ඇතුළේත් දිගටම තිබුණු හා දැනටත් තිබෙන අදහසක්. අදටත් ඇමරිකාව වැනි රටක පවා පිළිගැනීමක් තිබෙන අදහසක්. නමුත්, සෝවියට් අර්ථයෙන් නෙමෙයි. බොහෝ විට සදාචාරත්මක අර්ථයකින්. ඇතැම් විට ආගමික අර්ථයකින්.

සම්පත් බෙදී යාමේ විෂමතාවයන් අවම කිරීම ජන පදනමක් තිබුණු ලංකාවේ හැම දේශපාලන පක්ෂයකටම මුල සිටම තිබුණු ප්‍රකාශිත ඉලක්කයක්. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයට හා එයින් කැඩී ගිය ශ්‍රීලනිපයට මුල සිටම පැරණි සමාජවාදී පක්ෂ වලට වඩා ඉදිරියෙන් ඉන්න පුළුවන් වුනේ එම පක්ෂ වල ප්‍රධානම ජනප්‍රිය සටන් පාඨ සියල්ලටම එජාපය හා ශ්‍රීලනිපය විසින්ද අනුගත වීමයි. එවිට සමාජවාදය වෙනුවෙන්ම කැප වී සිටි පක්ෂ හා එසේ නොවූ පක්ෂ අතර වෙනස ආගම් විරෝධය වැනි සීමිත දේවල් ටිකකට ලඝු වෙනවා.

එජාපය හා ශ්‍රීලනිපය විසින් මුල සිටම රටට පෙන්නන්න උත්සාහ කළේ අපිත් සමාජවාදීන් තමයි කියන එකයි. එහෙම නැත්නම් සමාජවාදී පැකේජ් එකේ තිබෙන ඔබ කැමති දේවල් සියල්ල අපේ පැකේජ් එකේත් තියෙනවා කියන එකයි. මෙහිදී ශ්‍රීලනිපය එජාපයට වඩා සමාජවාදයට බර වුනා. එජාපය සමාජවාදය කියන වචනය භාවිතා කළේ ඉතා සැලකිල්ලෙන්. සමාජවාදයට එරෙහි බටහිර රටවල් අමනාප කර ගන්න බය වුනු එජාපය විසින් බොහෝ විට සමාජවාදී ඉල්ලීම් වලට සානුකම්පික වුනේ සමාජවාදය කියන වචනය නැතුවයි. නිදහස ලැබෙන විට යම් තරමකට ස්ථාපිත වී තිබුණු ධනවාදී ආචාරධාර්මික නීති රාමුව කඩා දමා බටහිර රටවල් අමනාප කරගන්න එජාපය මැලි වෙද්දී ශ්‍රීලනිපය සමාජවාදී කඳවුරේ හයිය අරගෙන ඒ මූලික නීති පවා කඩන්න මැලි වුනේ නැහැ.

එජාපයේ ධනවාදය වුනේ හැකි පමණ ඒ නීති නැවත ස්ථාපිත කරන එකයි. එහෙත්, එතැනින් එහාට ගිහින් එම නීති අනුව සෙල්ලම් කර තරඟය දිනන්න පුළුවන්කමක් එජාපයට තිබුණේ නැහැ. එජාපයට තරඟයේ නීති ගැන බටහිරින් උගන්වා තිබුණත් ක්‍රීඩා කරන ආකාරය බටහිරින් පුරුදු කර තිබුණේ නැහැ. දැනටත් බටහිර රටක් විසින් බොහෝ විට කරන්නේ තමන්ට අවශ්‍ය තරමට මැදිහත් වී පැත්තකට වෙන එකයි.

පුද්ගලයින්ට ලේබල් අලවන්න මම එතරම් කැමති නැහැ. මොකද පුද්ගලයින් වගේම ලේබලුත් වෙනස් වෙනවා. ඒ පදනමින් දේශපාලන පක්ෂයකට වුවත් ලේබල් ඇලවීම මා එතරම් කැමති දෙයක් නෙමෙයි. එවැනි ලේබලයක් අලවනවානම් එජාපය හැඳින්විය හැක්කේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් ලෙසයි. එය එසේ නොවනවානම් ඒ "ප්‍රජාතන්ත්‍රවාදී" කොටසේ අඩුවක් නිසා මිසක් "සමාජ" කොටසේ අඩුවක් ඇති නිසා නෙමෙයි.

ශ්‍රීලනිපය කියා කියන්නේ මුල් කාලයේදී සෘජුවම සමාජවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක්. එහෙත්, 1993 පමණ සිට ශ්‍රීලනිපයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. සමගි පෙරමුණු ආණ්ඩුවේ සමාජවාදී පරීක්ෂණය දරුණු ලෙස අසාර්ථක වී එජාප ශ්‍රීලනිප තට්ටුමාරු ආණ්ඩු කිරීමේ යුගය අවසන් වීමත්, සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ලෝක දේශපාලනයේ සිදු වූ වෙනස් වීමුත් එක්ක ශ්‍රීලනිපයට සමාජවාදය අත හරින්න වුනා. එසේ නොකළානම් එක්කෝ එජාපය තවත් කාලයක් ලංකාව ආණ්ඩු කරනවා. එසේ නැත්නම්, එජාපය දෙකඩ වී එජාපයේ කොටසක් විසින් පැරණි ශ්‍රීලනිපය සතු වූ තැන ලබා ගන්නවා. 1993න් පසුව ශ්‍රීලනිපයද එජාපය මෙන්ම තවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත් වුනා.

මා මේ කතා කරන්නේ මූලික වශයෙන්ම ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධවයි. 1993න් පසුව එජාපය හා ශ්‍රීලනිපය අතර ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධව විශාල මූලධාර්මික වෙනස්කම් නැහැ. පක්ෂ දෙකම නිදහස් වෙළඳපොළ ක්‍රමය පිළිගන්නවා. ඒ අතරම සම්පත් බෙදී යාමේ විෂමතාවයන් අවම කිරීම කෙරෙහිද බරක් තබනවා. ප්‍රායෝගිකව සිදු වන දේ කුමක් වුවත් 1993 සිට අවම වශයෙන් මේ පක්ෂ දෙකේම ප්‍රකාශිත ආර්ථික ප්‍රතිපත්තිය මෙවැන්නක්. මේ වන විට මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කැඩී ගොස් සිටින පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය සිටින්නේත් මේ මූලික රාමුව තුළයි. පක්ෂ හතරෙන් එකක්වත් නිදහස් වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන්නේ නැතුවාක් වගේම වෙළඳපොළට නිදහසේ හැසිරෙන්නට බාධා කරන්නට පැකිලෙන්නේත් නැහැ.

මහජන නියෝජිතයින් පක්ෂ මාරු කිරීම මහා අපරාධයක් සේ ඇතැම් අය පෙන්වා දුන්නත් එහිදී ඉහත සාධකය බැහැර කරන්න බැහැ. 1993ට පෙර යුගයට සාපේක්ෂව පක්ෂ මාරු කිරීම තව දුරටත් ප්‍රතිපත්ති මාරු කිරීමක් නෙමෙයි. පක්ෂ මාරු කරන පුද්ගලයින් මහජනතාව අතින් ප්‍රතික්ෂේප නොවීමට මෙයද එක් හේතුවක්.

මෙතෙක් මේ රාමුවෙන් පිටත සිටි, යම් ජන පදනමක් තිබුණු දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙ මුලින්ම 1971දී අවි බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී සමාජවාදී ලෝකය හිටියේ ජවිපෙට එරෙහිම සමගි පෙරමුණු ආණ්ඩුව සමඟයි. ඒ වෙද්දී ලෝක සමාජවාදී කඳවුරට අවශ්‍ය වූ තරමේ සමාජවාදයක් සමගි පෙරමුණු පැකේජය ඇතුළේ තිබුණා. පසුව දැඩි ලෙස අසාර්ථක වී තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වුනත්, සමගි පෙරමුණු රජයේ සමාජවාදී ක්‍රියාකාරකම් වලට ආරම්භයේදී අවශ්‍ය පමණ මහජන සහයෝගයද තිබුණා. එයට සාපේක්ෂව ජවිපෙ සමාජවාදයට කවදාවත් පුළුල් මහජන සහයෝගයක් තිබුණේ නැහැ. 1971දීත් සාමාන්‍ය මිනිස්සු ජවිපෙ කැරලිකරුවන්ව පොලීසියට අල්ලා දුන්නා. 1988/89දී එසේ නොකළානම් ඒ මරණ බයට මිසක් ජවිපෙ කෙරෙහි වූ ආදරයක් නිසා නෙමෙයි.

දිගින් දිගටම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙටත් මේ වෙද්දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙත පසු බහින්න වී තිබෙනවා. ප්‍රසිද්ධියේ මාක්ස්වාදය අතහැර නැතත් ඔවුන් මේ වෙද්දී වැඩිපුරම හදාරන්නේ විගණන මූලධර්ම. ඔවුන්ට ඉල්ලුමක් ඇත්නම් ඒ තිබෙන්නේ පවතින සමාජ ක්‍රමය එහි මූලධර්ම අනුව හරියට ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමේ කාර්ය භාරය වෙනුවෙනුයි.

කෙටියෙන් කියනවානම් මේ මොහොතේ ලංකාවේ ජන පදනමක් තිබෙන සියලුම දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික වැඩ පිළිවෙලක් වෙනුවෙන්. වෙනස්කම් තිබෙන්නේ භාවිතාවන්හි පමණයි. ලෝක මට්ටමෙන් ගත්තත් සංකල්පීය ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ජනප්‍රියයි. මෙහිදී ප්‍රාථමික මූලධර්මයක් විදිහට නිදහස් වෙළඳක්‍රමය පිළිගන්නා අතරම සමාජ සාධාරණත්වය වෙනුවෙන් සම්පත් බෙදී යාමේ විෂමතා යම් තරමකින් අවම කිරීම කියන කාරණයටත් බරක් තැබෙනවා. එහෙත්, ධනවාදයේ මූලික පදනම ආරක්ෂා කරනවා මිස සමාජ සාධාරණත්වය වෙනුවෙන් එම පදනම පුපුරවා හරින්නේ හෝ දුර්වල කරන්නේ නැහැ.

බටහිර රටවල ප්‍රධාන දේශපාලන පක්ෂ බොහොමයක්ම අඩු වැඩි වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ. හැම සුළු දෙයක්ම වෙළඳපොළට නිදහසේ තීරණය වෙන්න ඉඩ දිය යුතුයි කියන මනෝරාජික අදහසේ ඉන්නවානම් ඒ ඉතා සුළු පිරිසක්. වෙළඳපොළ නිවැරදි නොවන අවස්ථා තිබෙනවා. හැබැයි පූර්ව උපකල්පනයක් ලෙස අපිට පටන් ගන්න වෙන්නේ වෙළඳපොළ නිවැරදියි කියන තැන ඉඳලා මිසක් වෙළඳපොළ වැරදියි කියන තැන ඉඳලා නෙමෙයි. වෙළඳපොළ නිවැරදි කරන්න යාම ඉතාම පරිස්සමෙන් කළ යුතු දෙයක්.

ගොඩක් වෙලාවට ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අතර ගැටුමක් නැහැ. ධනවාදය විසින් පිළිගැනෙන්නේ සම්පත් වල අයිතිය ඒ සම්පත් නිපදවීමට දායක වන අයට ලැබිය යුතුයි කියන එකයි. එක් එක් පුද්ගලයා විසින් සම්පත් නිපදවීමට දක්වන දායකත්වය සමාන නොවන නිසා ධනවාදී බෙදීමකදී සම්පත් සමානව බෙදී යන්නේ නැහැ. එය ඉතා පැහැදිලියි. එහෙත්, තමන්ගේ දායකත්වයෙන් නිපදවන සම්පත් වලින් කොටසක් වෙනත් අයෙකුගේ පරිභෝජනය වෙනුවෙන් වෙන් කරන්න පුද්ගලයෙකුට තිබෙන අභිලාශ වලට ධනවාදය බාධාවක් නෙමෙයි.

ආගමික හෝ සදාචාරත්මක හේතු මත වෙනත් අයගේ පරිභෝජනය වෙනුවෙන් තමන් සතු සම්පත් වලින් කොටසක් වෙන් කිරීම බොහෝ දෙනෙකු විසින් කරන දෙයක්. සම්පත් බෙදී යාමේ විෂමතාවයන් අඩු විය යුතු බව සමාජයක් විසින් පොදුවේ කල්පනා කරන අවස්ථාවකදී ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දෙකක් නොවී එකක් වෙනවා. මොකද සමාජවාදයේදී මෙන් කාගේවත් දෙයක් බලෙන් උදුරා ගැනීමක් නැහැ.

බටහිර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එක්ක එක පැකේජ් එකක් විදිහට ලිබරල් ජාත්‍යන්තරවාදයත් යන එක පහුගිය කාලයේ දකින්න ලැබුණු දෙයක්. එහෙත්, එය එසේ සිදු විය යුතුම නැහැ. ලිබරල් ජාත්‍යන්තරවාදයෙන් වියුක්තව සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට පවතින්න පුළුවන්. ඇමරිකාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ප්‍රතිපත්ති අතර වෙනස ඩිමොක්‍රටික් පක්ෂයේ ලිබරල් ජාත්‍යන්තරවාදය රිපබ්ලිකන් පක්ෂයේ නැති වීමයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලේබලයක් නැතත් ඔය පක්ෂ දෙකේම ප්‍රතිපත්ති වල අනෙකා ගැන සිතීමක් තිබෙනවා. නමුත්, ඩිමොක්‍රටික් අනෙකා රිපබ්ලිකන් අනෙකාම නෙමෙයි. ඩිමොක්‍රටික් පාක්ෂිකයා ඇමරිකාවේ ශ්‍රමිකයා ගැන වගේම චීනයේ හා ලංකාවේ ශ්‍රමිකයා ගැනත් වක්‍ර ලෙස හෝ හිතුවත් රිපබ්ලිකන් පාක්ෂිකයා චීනයේ හෝ ලංකාවේ ශ්‍රමිකයෙකුව තමන්ගේ වියදමින් සුබසාධනය වනවාට කැමති නැහැ.

ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ලම ආර්ථික තලයේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වුවත් හැකි අය විසින් රැක බලාගත යුතු අනෙකා කවුද කියන කාරණයේදී මේ පක්ෂ එකිනෙකින් වෙනස් වෙනවා. මෙහිදී රනිල්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ අනෙකා පිළිබඳ නිර්වචනය රාජපක්ෂලාගේ නිර්වචනයට වඩා පුළුල් එකක්. මූලධාර්මික හේතු මත ජීවිත කාලයම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි වික්‍රමබාහු කරුණාරත්න වගේ කෙනෙක්ගේ නම එජාප ලැයිස්තුවක දැකිය හැක්කේ සමාජය විසින් රැක බලාගත යුතු අනෙකා පිළිබඳව රනිල්ගේ හා වික්‍රමබාහුගේ නිර්වචන සමපාත වී තිබීම නිසායි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ ධනවාදී තරඟය ජයගෙන සාර්ථක වන පිරිස් විසින් එම තරඟයට මුහුණ දී අසාර්ථක වන අයව යම් තරමකින් රැක බලා ගැනීමයි. මෙය විවිධ සමාජ සුබසාධන වැඩසටහන් හරහා ඇමරිකාව ඇතුළු සෑම බටහිර රටකම සිදු වනු දැකිය හැකියි. එහෙත්, මෙහිදී වෙනත් බටහිර රටවල් ඇමරිකාවට වඩා ඉදිරියෙන් ඉන්නවා. විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල්.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තිරසාරව පවත්වා ගත හැකි ක්‍රමයක්. සමාජයේ පහළ ස්ථර වල සිටින පිරිස් සුබසාධනය කළා කියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආර්ථිකයන් කඩා වැටෙන්නේ නැහැ. එහෙත්, ඒ සඳහා සුබසාධනය නියාමනය වන යාන්ත්‍රණයක් තිබිය යුතුයි. එයින් අදහස් වන්නේ නියාමකයෙක් ඉන්නවා කියන එක නෙමෙයි. ස්වභාවික යාන්ත්‍රණයක්.

අවප්‍රසාදිත කණ්ඩායම් විසින් දිනාගෙන තිබෙන දේවල් බොහොමයක් දිනාගෙන තිබෙන්නේ අරගල හරහා බව කාට හරි කියන්න පුළුවන්. එය බොරුවක් නෙමෙයි. ඒ වගේම ධනවාදියෙකුට මූලධාර්මික ලෙස අරගල වලට විරුද්ධ වෙන්න බැහැ. නිෂ්පාදනය කෙරෙහි තමන්ගේ දායකත්වය වෙනුවෙන් වන කොටස ලබා ගැනීමේදී යම් හෙට්ටු කිරීමක් කරන්න වෙනවා. ධනවාදය විසින් ඒ හෙට්ටු කිරීමේ නීති වලට මිසක් හෙට්ටු කිරීමට සීමා පනවන්නේ නැහැ. කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ  සාපේක්ෂ වටිනාකම් වෙනත් අයෙකුට සන්නිවේදනය කළ හැක්කේ හෙට්ටු කිරීම් හරහා. ඒ නිසා, නිදහස් ගනුදෙනුවක් ඇතුළේ නෛසර්ගික ලෙසම හෙට්ටු කිරීම් තිබෙනවා. ගනුදෙනුවක පාර්ශ්වයන් කිසි විටෙකත් කට වහගෙන අනෙක් පාර්ශ්වයට අනුගත විය යුතු නැහැ.

අවප්‍රසාදිත කණ්ඩායමකට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ හැකි වුවත් ඒ අයිතිවාසිකම් දිනා ගත හැකි වන්නේ එහි සාධාරණත්වය සාර්ථක ලෙස අනෙක් පාර්ශ්වයට ඒත්තු ගැන්විය හැකිනම් පමණයි. අරගල කළ පමණින් අයිතිවාසිකම් හිමි වෙන්නේ නැහැ. කිසියම් අරගලයක් සමාජයේ බොහෝ දෙනෙකුට සාපේක්ෂව සාධාරණද විය යුතුයි. අයිතිවාසිකම් හෝ ඉල්ලීම් ලැබෙන මොහොත කියන්නේ අදාළ ඉල්ලීම් වල සාධාරණත්වය බොහෝ දෙනෙකුට ඒත්තු යන මොහොතයි. එහිදී කිසියම් ඉල්ලීමක් කරන කණ්ඩායමක වගේම ඒ ඉල්ලීම් පිළිගන්නා අයගේද දායකත්වය අවතක්සේරු නොවිය යුතුයි. එවැන්නක් අවසානයේදී පොදු එකඟතාවක් මිසක් එක් පාර්ශ්වයක් විසින් සැමරිය යුතු අනෙක් පාර්ශ්වයට එරෙහි ජයග්‍රහණයක් නෙමෙයි.

ධනවාදී තරඟය තුළ අසාර්ථක වන කිසියම් පිරිසක් ඉන්නවා. ප්‍රායෝගිකව ධනවාදය ක්‍රියාත්මක වන හැම රටකම වගේ ඒ පිරිස වෙනුවෙන් විවිධ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩ සටහන් ක්‍රියාත්මක වෙන්නේ පොදු එකඟතාවයකින්. මේ වැඩ සටහන් වල මිල ගෙවන්නේ ධනවාදී තරඟය තුළ සාර්ථක වන අයයි. ඒ මිල ධනවාදී තරඟය තුළ අසාර්ථක වන අයවද ධනවාදී තරඟයේ මූලික කොන්දේසි වලට එකඟ කර ගැනීම සඳහා ගෙවන මිලක් කියා කියන්න පුළුවන්. ධනවාදී තරඟය තුළ අසාර්ථක වන අයට තරඟයේ මූලික කොන්දේසි ඉවත් කර ගැනීම වෙනුවෙන් මහන්සි වෙනවාට වඩා සුබසාධනයේ වාසිය අරගෙන පැත්තකට වෙන එක වාසියි. ඒ වගේම, සුබසාධනයේ මිල ගෙවන අයටත් මේ මූලික කොන්දේසි බිඳ වැටීමේ අවදානමට සාපේක්ෂව සුබසාධනයේ මිල ගෙවීම වාසියි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ සුබසාධනයේ වාසි ලබන කෙනෙකුට ධනවාදී තරඟය තුළ සාර්ථක වන අයට එරෙහි වීමේ හැකියාවක් නැහැ. සමාජයේ පහළ ස්ථර සුබසාධනය වන්නේ ඉහළ ස්ථර වල පිරිස් වල නිෂ්පාදන දායකත්වයෙන් නිසා තිරසාර සුබසාධනයක පැවැත්ම වෙනුවෙන් සම්පත් බෙදී යාමේ විෂමතාවයන්ගේ පැවැත්මද පිළිගන්න වෙනවා. සුබසාධනයේ බර දැරිය හැකි අවම පිරිසක් නැත්නම් සුබසාධනයට දිගුකාලීන පැවැත්මක් නැහැ. ඒ නිසා, සමාජයේ පහළ හා ඉහළ ස්ථර අතර තිරසාර සහජීවනයක් තිබෙනවා.

ලංකාවේ ප්‍රශ්නය සුබසාධනය නෙමෙයි. ප්‍රශ්නය තිබෙන්නේ ලංකාවේ සුබසාධන ආකෘතියේ. එක පැත්තකින් ලංකාවේ සුබසාධන ආකෘතිය නියාමනය වන යාන්ත්‍රණයක් නැහැ. අනෙක් පැත්තෙන් මේ සුබසාධන ආකෘතියේ වාසිය ලබන්නේ රජය කියන ආයතනික ව්‍යුහයට මොන ආකාරයෙන් හෝ බද්ධ වී සිටින පිරිස් මිසක් සමාජයේ පහළම ස්ථර වල ඉන්න අය හෝ අවවරප්‍රසාදිත කොටස් නෙමෙයි.

නිදහස ලැබූ ලංකාවේ මහා ලොකු "ධනපති පංතියක්" හිටියේ නැහැ. ඒ නිසා, සුබසාධනයේ බර දැරිය හැකිව තිබුණේ යම් සීමාවක් දක්වා පමණයි. සරල උදාහරණයක් ගත්තොත් සමාජ සාධාරණත්වය පැත්තෙන් හෝ මානුෂිකත්වය පැත්තෙන් බැලුවොත් අධ්‍යාපනය ලබන්න කැමති හා අධ්‍යාපනය හරහා ඉදිරියට යාමේ හැකියාවක් ඇති දරුවෙකුට ඒ අවස්ථාව අහිමි වීමේ වැරැද්දක් තිබෙනවා. නමුත්, ඒ වැරැද්ද හදන්නනම් එම දරුවාට අධ්‍යාපනය ලබා දීමේ මිල වෙනත් අයෙකුගෙන් අය කර ගන්න වෙනවා. මේ නිසා ඇති වන වෙළඳපොළ විකෘතිය එතැනින් අවසාන වෙන්නේ නැහැ. එකක් කඩතොළු මකා ගන්නට යාම අවසන් වෙන්නේ කඩතොළු ගොඩක් හැදිලා.

අධ්‍යාපනයේ මිල පෞද්ගලික ආයෝජනයක්නම් කෙනෙක් ඒ ආයෝජනය කරන්නේ එයින් තමන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන සිතීමෙන් පසුවයි. එහෙත්, මිල ගෙවන්නේ වෙනත් කෙනෙක්නම් මේ නිකම් ලැබෙන දේ ගන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා. ඒ හේතුව නිසා තවත් ප්‍රශ්න ඇති වෙනවා. නිකම් ලැබෙන නිසා දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තත් එසේ ලබා ගත් දැනුමට වෙළඳපොළ වටිනාකමක් නැහැ. ප්‍රශ්නය ඇති වුනේ රජය මැදිහත් වී අධ්‍යාපනය නොමිලේ ලබා දීම නිසා බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ද්වීතියික ප්‍රශ්නයටත් රජයටම විසඳුමක් දෙන්න වෙනවා. රජය මැදිහත් වී රැකියා විරහිතව සිටින තරුණයාට හෝ තරුණියට ගුරු පත්වීමක් ලබා දෙනවා. රජයේ මුදලින් වැටුප් ගෙවනවා. ඔහු හෝ ඇය කොහේ හෝ පාසැලක දේශපාලන විද්‍යාව උගන්වන්න පටන් ගන්නවා. තවත් පිරිසක් දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නවා. ඒ අයටත් රස්සා නැහැ.

දැන් මේ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරු නිකම් ඉඳලා පඩි ගන්නවා කියා මම කියන්නේ නැහැ. ඔවුන් ඉතා උනන්දුවෙන් මහන්සි වී වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත්, ඒ හේතුව නිසා ඔවුන් කරන සේවය කාර්යක්ෂම එකක් වෙන්නේ නැහැ. මැරීගෙන වැඩ කළත් කරන්නේ තේරුමක් නැති වැඩක්. අවසානයේදී ලැබෙන ප්‍රතිඵලයක් නැහැ.

සමහර විට වඩාත්ම අකාර්යක්ෂම පිරිස වඩාත්ම මහන්සි වී වැඩ කරන ගුරුවරුන් වෙන්න පුළුවන්. ඉතා හොඳින් හා කැප වීමෙන් වැඩ කරන ගුරුවරයෙකු විසින් වැඩි සිසුන් පිරිසක් ආකර්ෂණය කර ගන්නවා. එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ වැඩි සිසුන් පිරිසක් අමාරුවේ වැටෙන එකයි. ඒ සිසුන්ටත් අන්තිමට වෙන්නේ රජයෙන් පිං පඩි ගන්නයි. ගුරුවරයා ගුරු හොරෙක්නම්, හරියට උගන්වන්නේ නැති කෙනෙක්නම් සිසුන් මේ විෂය හදාරන්න මැලි වෙන්න පුළුවන්. එහිදී මතුපිටින් පෙනෙන ගුරුවරයාගේ අකාර්යක්ෂමතාවය අවසාන වශයෙන් සිසුන්ගේ යහපතට හේතු වෙන්න පුළුවන්.

රජයේ අකාර්යක්ෂමතාවය කියන එක නාස්තිය හා දූෂණය වැනි වචන වලින් සරලව විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නාස්තිය දූෂණය නැති කළ පමණින් රජයක් කාර්යක්ෂම වෙන්නේ නැහැ. අකාර්යක්ෂමතාවය තිබෙන්නේ මධ්‍යගත සැලසුමක මූලික ආකෘතිය ඇතුළේමයි. ඒ නිසා, ඔලු ගෙඩි මාරු කරලා ඒ අකාර්යක්ෂමතාවය නැති කරන්න බැහැ.

මම කියන්නේ ඔලු ගෙඩි මාරු කිරීම කිසිසේත්ම තේරුමක් නැති වැඩක් කියන එක නෙමෙයි. කොහොමටවත්ම තියා ගත නොයුතු ජාතියේ ඔලු ගෙඩිත් තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉන්නවානම් ඔළුගෙඩි මාරු කිරීමත් අඩු වශයෙන් කෙටිකාලීන විසඳුමක්.

නිදහසින් පසු ලංකාව අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර වල සැලකිය යුතු ආයෝජනයන් කළා. එයට හේතු වුනේ සමාජවාදී අදහස් වල බලපෑමයි. ඇත්තටම අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර වල ආයෝජනය කිරීම අනාගතවාදී අදහසක්. එහෙත්, අනාගතවාදී ආයෝජන ඕනෑවට වඩා කලින් කිරීමෙන් හොඳකට වඩා වෙන්නේ නරකක්.

ලංකාවේ මානව සම්පත වර්ධනය වූ වේගයෙන් භෞතික ප්‍රාග්ධනය වර්ධනය වී නැහැ. මානව ප්‍රාග්ධනය වෙනුවෙන් කළ ආයෝජන වලට සාපේක්ෂව ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමක් සිදු වී නැතුවාක් මෙන්ම ව්‍යවසායකත්වය අධෛර්යමත් කිරීමක් කාලයක් තිස්සේ සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වන මානව සම්පත අවශෝෂණය කරගත හැකි ආර්ථික ව්‍යුහයක් ලංකාවේ නැහැ. ඒ නිසා, සුබසාධනයේ ප්‍රතිඵලයක් වූ මානව සම්පත ඇත්තමට සම්පතක් නොවී රටට බරක් වී තිබෙනවා. සිදු විය යුත්තේ වැඩි අධ්‍යාපනයක් ලැබූ අය විසින් අඩු අධ්‍යාපනයක් ලැබූ අයව සුබසාධනය කිරීම වුවත් සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. මුලින් සුබසාධනයේ වාසිය ලැබූ අය දිගින් දිගටම සුබසාධනයේ වාසිය ලබනවා.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය හරහා මේ වන විට වැඩිපුරම සිදු වන්නේ ගුරුවරුන්ව සුබසාධනය කිරීමක්. රජයේ පාසැලක උගන්වන රැකියාව නොකරන්නේනම් ඔවුන් බොහෝ දෙනෙකුට වෙළඳපොළ වටිනාකමක් නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් මෙය අදාළයි. වෛද්‍යවරුන්ට පවා. ලංකාවේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුට විදේශ රටකට ගොස් හෝ පෞද්ගලික වෛද්‍ය සේවා සපයා වැඩි ආදායමක් ඉපැයිය හැකිය කියන කරුණ මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙත්, ලංකාවේ රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් සියලු දෙනාවම එම රැකියා වලින් මුදා හැර පෞද්ගලික වෛද්‍ය සේවා සපයා ආදායම් හොයා ගන්න ඉඩ ඇරියොත් ඔවුන්ට ඔවුන්ගේ වත්මන් ආදායමවත් හොයා ගන්න බැරි වෙනවා. එවැනි වියදමක් සමස්තයක් ලෙස ලංකාවේ මිනිස්සුන්ට දැරිය නොහැකියි.

සමාජයේ ඉහළ ස්ථර වල වියදමෙන් පහළ ස්ථර සුබසාධනය කරන විට එක්තරා සීමාවකදී ඉහළ ස්ථර වලින් ප්‍රතිරෝධයක් එනවා. ඒ නිසා, සුබසාධනය අනවශ්‍ය දුරක් යන්නේ නැහැ. එහෙත්, ණයට ගත් මුදලින් සුබසාධනය නඩත්තු කරන විට සුබසාධනයට බ්‍රේක් නැහැ. වියදම් කරන්නේ මගේ සල්ලි නෙමෙයිනම් මම විරුද්ධ වෙන්නේ මොන මගුලකටද?

කොහොමටත් ලංකාවේ වැඩිපුරම සුබසාධනය වෙන්නේ සමාජයේ පහළම ස්ථර නෙමෙයි. මොන ආකාරයෙන් හෝ රජයට සම්බන්ධව ඉන්න විශාල පිරිස. එක් අයෙකුගේ ආදායමෙන් කොටසක් තවත් අයට යන සාමාන්‍ය ක්‍රමය බදු වුවත් ලංකාවේ ක්‍රමය වෙනස්. විණිමය අනුපාතිකය පාලනය කිරීමත් එක් ක්‍රමයක්.

ඩොලරයක මිල රුපියල් පණහක් පහළින් තියා ගත්තොත් එහි වාසිය ලබන්නේ කවුද? පහළ ස්ථර වල ඉන්න අයට පොඩ්ඩක් අඩු මිලකට තිරිඟු පිටි, පරිප්පු වගේ ආහාර ද්‍රව්‍ය කිහිපයක් ලැබෙනවා තමයි. නමුත්, ඒ වාසිය කුඩා වාසියක්. විදේශ සංචාර වල නිරත වන්නේ, අධ්‍යාපනය සඳහා දරුවන් පිටරට යවන්නේ, ආනයනික භාණ්ඩ වැඩිපුර පරිභෝජනය කරන්නේ සමාජයේ පහළ ස්ථර වල ඉන්න අය නෙමෙයි.

ඩොලරයක මිල රුපියල් පණහක් පහළින් තියා ගන්නවා කියා කියන්නේ ඩොලර් 30,000ක වාහනයක ආනයන මිල රුපියල් ලක්ෂ 15කින් අඩු වෙනවා කියන එකයි. නමුත්, අනෙක් අතට වාහනයේ මිල මෙන් තෙගුණයක මෙන් මිලක් බදු සේ අය කරන නිසා මේ වාසිය බොහෝ දෙනෙකුට නොලැබෙතත් බදු සහන හිමි ටික දෙනෙක් අනෙක් අයගේ වියදමෙන් සුබසාධනය වෙනවා. අනෙක් පැත්තෙන් විදේශ ශ්‍රමිකයින්ගේ පවුල් වලට ලැබෙන ප්‍රේෂණ වලින් සෑම ඩොලරයකටම රුපියල් 50ක් බැගින් වාෂ්ප වෙනවා. එතකොට ඇඟලුම්, තේ ආදී කර්මාන්ත වල ශ්‍රමිකයන්ගේ වැටුප් වලට තිබෙන බලපෑම.

ගොවියන්වත් විශාල ලෙස සුබසාධනය කරනවා තමයි. නමුත්, කා වෙනුවෙන්ද? සහල් මිල අවශ්‍ය පමණ ඉහළ යන්න දෙනවානම් සුබසාධනය අවශ්‍ය වෙන්නේ නැහැ. එසේ නොකරන්නේ ගොවීන් වෙනුවෙන් නෙමෙයි. ආනයන තරඟයේ ප්‍රශ්නය තියෙනවා තමයි. නමුත්, විණිමය අනුපාතය අවශ්‍ය මට්ටමට ගියොත් ආනයන තරඟය තවදුරටත් ප්‍රශ්නයක් නෙමෙයි.

විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම කියන්නේ සමාජයේ පහළ ස්ථර වල වියදමින් ඉහළ මැදි ස්ථර සුබසාධනය කිරීමක්. ලංකාවේ දේශපාලන බලය තිබෙන්නේ ඒ ස්ථරය සතුවයි. දිගින් දිගටම විදේශ ණය ගනිමින් රුපියල පහළින් තියා ගන්නා ක්‍රමය මේ තරම් ජනප්‍රිය ඒ නිසයි. දැන් කෝවිඩ් හේතුවෙන් යටිබඩට වදින්නට නියමිතත් මේ පිරිසටයි.

නිහඬ කාලය ආරම්භ වෙන්න තව පැය කිහිපයක් තිබෙනවා. සුබ අනාගතයක්!

6 comments:

  1. 1.//විදේශ ශ්රමිකයින්ගේ පවුල් වලට ලැබෙන ප්රේෂණ වලින් සෑම ඩොලරයකටම රුපියල් 50ක් බැගින් වාෂ්ප වෙනවා//

    ආර්තික විද්‍යාවෙ ප්‍රේෂණ කියන්නෙ "මුදල්/ සල්ලී" කියන අර්තය ද නැත්නම් වෙනත් අර්තයක් ද ??

    ** දැන් නම් මේ වගේ දේශපාලනික/ආර්තික මධ්‍යස්ත විග්‍රහයක් ද්කිනකොට වෙනදා නොදැනුනු බයක් එනවා(මොකද කිසිම පක්ෂයක දැක්මක් හා තීන ප්‍රශ්න විසදන ආකාරය පිලිබදව පැහැදිලි කිරීමක් නැති නිසා) !!!!

    ReplyDelete
  2. ලංකාවේ තියන අවුල ලංකාවේ තියන අවිදිමත් ආර්ථිකය විසින් විදිමත් ආර්ථිකය නඩත්තු කරන එකයි. ඒ කියන්නේ මද්යම පන්තික රජයේ රැකියා ලබීන් නඩත්තු වෙන්නේ පහළ පන්ති වලින් උපයා ගන්න මුදල් වලින්. නමුත් රජය විසිනි මෙම අවිදිමත් ආර්ථිකය වෙත කිසිම recognition එකක් ලබා දෙන්නේ නැහැ.
    නිවාස ණය රජයේ රැකියා කරන යට පමණි. අඩුම තරමේ ව්‍යාපාරිකයන්ට වත් බැංකු ණය ලබා ගත නොහැක. වාහන බලපත්‍ර, සහ රුපියලේ අගය ඉහළින් පවත්වා ගැනීම නිසා බොහෝ විදේශ ආයෝජන (IT) වියට්නාමය වෙත ආකර්ෂණයවේ.
    ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ විසින් මෙම මද්යම පන්තිය ආරක්ෂා කරනවා මොකද දේශපාලන බලය ඔවුන් සතු නිසා. රාජ්‍යසේවය 70% අඩු කරන තුරු මේ ආර්ථික ප්‍රශ්ණය නිරාකරණය කර ගත නොහැක.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට මේ ප්‍රශ්නයේ චක්‍රීය ස්වභාවයක් තිබෙනවා. රටේ දේශපාලන බලය තීරණය කරන්නේ මේ කණ්ඩායම නිසා ජන බලයක් තිබෙන හැම දේශපාලන පක්ෂයකටම මේ චක්‍රය පෝෂණය කරන්න වෙනවා. එසේ නොකළොත් එසේ කරන දේශපාලන පක්ෂයක් ආදේශ වෙනවා. ඒ නිසා, බාහිර බලපෑමක් නැතිව මේ චක්‍රය කැඩෙන්නේ නැහැ. සමහර විට කෝවිඩ් වලින් ඒ වැඩේ වෙන්න පුළුවන්.

      Delete
  3. මේ කතාව ඇත්තද?

    https://www.facebook.com/reallamarodom/videos/311451909978559/

    ReplyDelete
  4. ඉකොනො බලන්න මේක, මාක් සකබර්ග් ඇමරිකානු නීතියට අනුව වැඩ කළාට ලංකාවේ නීතිය හා සාමය කඩා දමා ඇත. ඒ නීතියට අදාළව ඇතැම් අමන පුද්ගලයන් ප්‍රසිද්ධ කරන ජඩ වීඩියෝ වහාම තහනම් කර ඩිලීට් කළ යුතුයි. නමුත් ලංකාවේ ඒ නීතිය අදාළ නොවේද? එසේ නැතිනම් ලංකාවේ ජනයා එකතු වෙලා ෆේස්බුක් තහනම් කිරීමට කටයුතු කරාවි...

    https://m.youtube.com/watch?v=ujOv64XLEF8&feature=youtu.be

    මේ බලන්න දීප්ති කුමාරගේ විග්‍රහයක්. ඇමරිකානු එක්සත් ජනපදයේ මේ වගේ දේවල් වෙන්නේ නෑ නේද?

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...