වෙබ් ලිපිනය:

Friday, August 3, 2018

ඥාන දත් ගලවා නිදහස් වීම


පසුගිය දවසක මට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යන්න වුණා. ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරයෙක් දතක් ගලවා දමන්න කියන්නේ එය නොගලවා ගොඩ දාන්නම බැරිනම් වුවත්, මේ ප්‍රකාශනය කටේ දත් තිස්දෙකටම එකම අයුරින් බලපාන එකක් නෙමෙයි. ඥාන දත් හා සම්බන්ධව ඇමරිකානු ප්‍රතිපත්තිය වන්නේ එන කොටම ගලවා දමන එකයි.

සාමාන්‍යයෙන් ඇමරිකානු දරුවෙක්ගේ ඥාන දත් ගලවා දමන්නේ ඒවා එන කොටමයි. ඒ කියන්නේ අවුරුදු විස්සේදී වගේ. මම ඇමරිකාවට එනකොට මේ වයස පැනලා. ඒ නිසා, ඇමරිකාවට එනකොටත් මගේ ඥාන දත් පරිස්සම් වෙලා තිබුණා. මුල් දවස් වල දන්ත වෛද්‍ය වරයෙක් වෙත යන හැම වෙලාවෙම මුලින්ම අවධානය යොමුවුණේ මේ ඥාන දත් වලටයි. දන්ත සෞඛ්‍යය පවත්වා ගැනීම හා අදාළ නිර්දේශ වල උඩින්ම තියෙන්නේ ඥාන දත් ගලවා දැමීම.

ඥාන දත් ගලවා දැමීම කියන එක වචනාර්ථයෙන් වගේම සංකල්පීයවත් මට ටිකක් අවුලක් දැනවූ දෙයක්. මේවා ගැලවිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට මට ලැබුණු පිළිතුර ඉතාම සරල එකක්. ඒවා ගලවා දැමිය යුත්තේ ඒවා අවශ්‍ය නොවන නිසා. [මෙය අසම්පූර්ණ පිළිතුරක්. වඩා තර්කානුකූල පිළිතුරු පසුව වෙනත් දන්ත වෛද්‍යවරුන්ගෙන් ලැබුණා.]

මට තිබුණු මූලික ප්‍රශ්නය මිනිස්සුන්ගේ ශරීරයේ ස්වභාවික කොටසක් අනවශ්‍ය දෙයක් වෙන්නේ කොහොමද කියන එකයි. එහෙම වෙන අවස්ථා ඕනෑ තරම් තිබුණත් ඒ ව්‍යතිරේඛ ලෙස මිස සාමාන්‍ය තත්ත්වය ලෙස නොවන නිසා මම මගෙන්ම අසාගත් මේ ප්‍රශ්නය නොවැදගත් එකක් නෙමෙයි. කටේ ඥාන දත් තියෙන එක මට ප්‍රශ්නයක් නොවේනම්, වෙනත් අයෙකුට එයින් ඇති කරදරයකුත් නැත්නම් ඒවා ගලවා දැමිය යුත්තේ ඇයි?

ඇමරිකාවේදී වෛද්‍යවරයෙකු හෝ වෙනත් කිසියම් විශේෂඥයෙකුගේ නිර්දේශ අප පිළිගත යුතුම නැහැ. නමුත්, එසේ පිළි නොගන්නවානම් ඒ හේතුව නිසා ඇති විය හැකි ප්‍රශ්න වල අවදානමත් අප විසින්ම ගත යුතුයි. මේ කරුණේදී, මගේ දැනුමට සාපේක්ෂව එවැනි ලොකු අවදානමක් පෙනුණේ නැහැ.

අනෙක් අතට මේ ඥාන දත් ගලවා දැමීමේ ක්‍රියාපටිපාටියේත් අවදානම් තිබුණා. ඒ වගේම එහි බරපැනත් මා විසින්ම දැරිය යුතුයි. මගේම සල්ලි වලින්, අවදානමක් හා අපහසුතාවයක් දරමින් මා විසින් ඥාන දත් ගලවා දැමිය යුත්තේ මට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ නොවන කුමක් හෝ අවදානමක් අඩු කර ගැනීම වෙනුවෙනුයි.

මේ නිර්දේශය ලැබුණු මුල් කාලයේදී ඇමරිකාවේ කොයි තරම් කාලයක් ඉඳීද කියා ස්ථිර අදහසක් තිබුණේ නැහැ. නැවත ලංකාවට හෝ වෙනත් රටකට ගියානම් මේ ඥාන දත් ප්‍රශ්නයක් නොවිය හැකිව තිබුණා. නමුත්, එහෙම වුණේ නැහැ.

කාලයත් එක්ක පදිංචිය මාරු කරමින් ඇමරිකාව වටේ තැනින් තැනට යද්දී දන්ත වෛද්‍ය වරුනුත් මාරු වුණා. නමුත්, දන්ත වෛද්‍යවරුන් මාරු වුණා කියා ඥාන දත් ගලවා දැමිය යුතු බවට වූ නිර්දේශයනම් වෙනස් වුණේ නැහැ.

ගොඩක් අය දිගින් දිගටම එකම දේ කියන කොට එය වදයක් වෙනවා. ඇමරිකාවේ තවත් කලක් ඉන්නවානම්, මේ ඥාන දත් පළහිලවුවට හැමදාමත් දන්ත වෛද්‍යවරු එක්ක වාද විවාද කර කර ඉන්න වෙනවා. ඊට වඩා ලේසියි යන ක්‍රමේට යන එක. එහෙම නැත්නම් වෙන්නේ ඇමරිකාවේ ක්‍රමයට ලංකාවේ වාහන එළවන්න ගියාම වෙන විදියේ අවුලක්.

දන්ත වෛද්‍යවරුන් විසින් ඥාන දත් ගලවා දමන්න නිර්දේශ කරන්න හේතු කිහිපයක් තිබෙනවා. මේ දත් ගලවා දැමූ විට ඉතිරි දත් වලට නිසි පරතරයක් ඇතුව වැඩෙන්න ඉඩකඩ ලැබෙන නිසා ඒවා වඩා සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක් පවතින බවට ඇති අදහස එයින් එකක්. දත් අතර නිසි පරතරයක් ඇති විට දත් පිරිසිදු කිරීම පහසුයි. මේ අදහස පවුල් සංවිධානය ගැන නූතන අදහසට කිට්ටුවෙන් යන එකක්.

දෙවන කරුණ, කටේ මුල්ලට වෙන්න තිබෙන මේ දත් පරීක්ෂා කිරීම, පිරිසිදු කිරීම හෝ පිරවීම වැනි ප්‍රතිකර්මයක් කිරීම වඩා අපහසු වීමයි. එය මූලික වශයෙන්ම දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක්. නමුත්, අවසාන වශයෙන් දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් කියන්නේත් ඔවුන්ගෙන් ප්‍රතිකාර ගන්නා අයගේම ප්‍රශ්නයක්.

රජයට අයිති පාඩු ලබන ව්‍යවසායයක් ලාබ ලබන එකක් බවට පත් කරන්න මහන්සි වෙනවාට වඩා එහි අයිතිය බැහැර කර නිදහස් වීම පහසුයි. ඒ වගේම, ඔය ඥාන දත් සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගන්න උදවු කරනවාට වඩා ගලවා දාන්න නිර්දේශ කරන එක පහසුයි.

රජයට අයිති ව්‍යවසායයකින් ලාබ ඉපැයූවා කියා එහි වාසිය එය කළමනාකරණය කරන අයට ලැබෙන්නේ නැහැ. නමුත්, ඒ ව්‍යවසායයම පෞද්ගලික අයිතියට යටත් වුණාම තත්ත්වය වෙනස්. ලැබෙන ලාබය හෝ පාඩුව එහි අයිතිකරුවාටමයි. මේ වෙනස නිසා, ව්‍යවසායයක් හැකි තරම් කාර්යක්ෂම සේ කළමනාකරණය කර ලාබ ලබන එකක් බවට පත් කරන්න පෞද්ගලික ව්‍යවසායයෙකුට තිබෙන උනන්දුව රජයකට නැහැ.

ඔයාකාරයටම ඥාන දත් තිබෙන්නේ ප්‍රතිකාරලාභියාගේ කටේ මිසක් දන්ත වෛද්‍යවරයාගේ කටේ නොවන නිසා දන්ත වෛද්‍යවරයෙකු තමන්ගේ පහසුව ගැන වැඩිපුර හිතන එක සාමාන්‍ය දෙයක්. මේ ගැන යම් අවුලක් තිබෙන කෙනෙකුට අවශ්‍යනම් දන්ත වෛද්‍යවරයාව මාරු කරන්න පුළුවන්. නමුත්, ඒක මැතිවරණයකදී ආණ්ඩුව මාරු කරනවා වගේ වැඩක්.

රජය කියන යාන්ත්‍රනය ඇතුළේ තිබෙන ආකෘතිමය ප්‍රශ්නය ආණ්ඩුව මාරු කලා කියා විසඳෙන්නේ නැහැ. ආණ්ඩුව මාරු කළ අලුත යම් වෙනස්කම් පෙනුණත් මූලික දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දන්ත වෛද්‍යවරයා මාරු කර වෙනත් අයෙකු වෙත ගියත් බොහෝ විට ඥාන දත් හා සම්බන්ධ ප්‍රතිපත්තියේ වෙනසක් වෙන්නේ නැහැ.

තනි පුද්ගලයෙකුට කිසියම් රටක හෝ සමාජයක පවතින ක්‍රමයට කිසියම් බලපෑමක් කරන්න පුළුවන්. නමුත්, මෙහි සීමාවන් තිබෙනවා. එක්තරා සීමාවකදී ඒකීය පුද්ගලයෙකුට යන ක්‍රමයට අනුගත වෙන්න සිද්ධ වෙනවා. යන ක්‍රමය වෙනස් කරන්න වුවත්, පළමුව එම ක්‍රමයට අනුගත වී යන ප්‍රවාහයත් එක්කම යම් දුරක් යන්න වෙනවා. මුල ඉඳන්ම උඩු ගං පීනන්න උත්සාහ කළොත් බොහෝ විට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නැහැ.

ඥාන දත් අවශ්‍ය නෑ කියන එක ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරුන් බොහෝ දෙනෙකු පිළිගන්නා සම්මතයක්. මේ සම්මතය අනුව නිරෝගී, සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි පුද්ගලයෙකුගේ මුඛයේ තිබිය යුත්තේ දත් 28ක් පමණයි.

නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් කියන එකම කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක්. රෝග කියන ඒවා අර්ථ දක්වන්නේ මේ සම්මතයට සාපේක්ෂවයි. ඒ නිසා, එක සමාජයක එක කාලයක රෝගයක් සේ සැලකෙන දෙයක් වෙනත් කාලයක වෙනත් සමාජයක රෝගයක් නොවෙන්න පුළුවන්. එහි අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ඇතැම් කාල වල ඇතැම් සමාජ වල සුන්දර නාරි දේහයක ලක්ෂණ වූ නල දත් හා පෙති ගෝමර වෙනත් කාලයක වෙනත් සමාජයක රෝග ලෙස හඳුනා ගැනෙන්නේ ඒ විදිහටයි.

ශාරීරික රෝග වලටත් වඩා මේ කරුණ කැපී පෙනෙන්නේ මානසික රෝග හා අදාළවයි. නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක්ගේ භෞතික ශරීරය සම්බන්ධව වගේම හැසිරීම හා අදාළවත් සම්මතයක් තිබෙනවා. මේ සම්මතය කාලයට හා දේශයට සාපේක්ෂ එකක්. භෞතික ශරීරයේ වගේම හැසිරීමේත් සුළු වෙනසක් රෝගයක් ලෙස හඳුනා ගැනෙන්නේ නැතත්, එක්තරා සීමාවක් පැන්නට පස්සේ එය රෝගයක් වෙනවා. කෞමාර කාමය හෝ සමලිංගික සේවනය වැනි චර්යාවන් රෝග වන්නේ හෝ නොවන්නේ නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් පිළිබඳ අදාළ සමාජයේ අදාළ කාලයේ පවතින සම්මතයට සාපේක්ෂවයි. මේ පුද්ගල ප්‍රතිරූපය වෙනස් වෙන කොට රෝගීන් නිරෝගීන් වී නිරෝගීන් රෝගීන් වෙනවා.

රටක් විදිහට ලංකාව අද ඉන්නේ කොතැනද කියන එක ගත්තත් එය තීරණය වන්නේ රටක් තිබිය යුතු කොතැනද කියන එක ගැන එක් එක් පුද්ගලයා සිතන ආකාරය මතයි. සෞඛ්‍ය සම්පන්න, නිරෝගී රටක ප්‍රතිරූපය කුමක්ද? ඇමරිකාවද? සිංගප්පූරුවද? කියුබාවද? එහෙමත් නැත්නම් යුරෝපීයයන් එන්න කලින් තිබුණු ලංකාවද?

12 comments:

  1. ඉකොනොමැට්ටා,

    සාමාන්‍ය යෙන් “ඥාන දත්” (Wisdom Teeth) ලෙස තෙවන චාර්වක දත් (third molar) හැඳින්වෙන අතර අවසාන චාර්වක දත් 4 වැඩෙන්නේ වයස අවු. 17-24අතර කාලයේදී. ඒවා (සිව්වන සහ පස්වන චාර්වක දත් අමතර දත් (hyperdontia) හැඳින්වෙන්නේ hypodontia යනු සාමාන්‍ය දත් ගණනට වඩා වැඩි දත් ගණනක වර්ධනයක් සිදු වීම යි.

    /සෞඛ්‍ය සම්පන්න, නිරෝගී රටක ප්‍රතිරූපය කුමක්ද?/

    ශ්‍රී ලංකික අයකුට තම මවුරටේ ජීවත් වෙනවා සේ සියළුම අයිතිවාසිකම් භුක්ති විදිමින් නිදහසේ ජීවත් විය හැකි රටවල් අතරින් එකක් තමයි ජපාන ය.ජපාන රටට පැමිණෙන යම් අයකුට මුල් කාලය කොතරම් අසීරු කටුක දුක්ඛිත ජීවිතයක් වුනත් කල් යත්ම ජපානය හුරු වෙත්ම ජපානය කියන රට තමන්ට ගොඩක් දැනෙන්න, ජිවිතෙන් ජපානය ඈත් කරන්න බැරි තැනට පත් වෙනවා. ජපානය යම් ලංකික අයකුට අපායක් වෙන්නෙත් සුර පුරක් වෙන්නෙත් තම තමන්ගේ කැපවීම සහ උත්සහය මත.

    ජපානය කියන රට වැටුන තැනින් ගොඩ නගන්න ඔවුන් ජාතියක් විදිහට ගොඩක් මහන්සි උනා,ඒ කැපවීමේ ප්‍රතිඵලය අද වන විට පමණටත් වඩා ඔවුන් භුක්ති විදිනවා, ඒ නිදහස ඒ දියුණුව ඔවුන්ගේ කැපවීම යි. රටේ දියුණුව වගේම ඔවුන් ඔවුන්ගේ රට තුළ ඕනෑම අයකුට නිදහසේ ජිවත් වීමේ පරිසරයක්ද ගොඩ නැගුවා.

    ඒකයි ජපානයේ නීත්‍යනුකූලව ජීවත් වීමට හෝ සංචාරය කිරීමට හෝ සේවය කිරීමට හෝ අධ්‍යාපනය ලැබීමය සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාව කියන නමත් ඇතුලු වුනේ.

    ජපන් ජනයා තුළ ඇති මේ නිහතමනීකම හික්මීම සහ ඉවසීමේ ගුණය ප්‍රයෝජනයට ගනිමින් මේ වන කොට ජපානය තුළට ඇතුලු වන බොහෝ විදේශිකයන් ඔවුනගේ කුහක සහ ආත්මාර්ථකාමී ගති ඉස්මතු කරමින් මේ සුන්දර රට විනාශ කරන්න හදනවා.

    වීන, වියට්නාම්, ඉන්දුනීසියා, තායිවාන්, කම්බෝජියා, පකිස්තාන්, නේපාල්, ඉංදියා වැනි රටවල් ඉතිහාසයේ පටන් ජපානය තුළ වැරදි ක්‍රියාවන්ට හසු වී ඔවුන් පිළිබද ජපන් ජනයා තුළ කලු පැල්ලමක් තියා ගත්තා. නමුත් මේ හැම ජාතියක් ගැනම ජපන් ජනයා වැරදියට හිතද්දි ශ්‍රීලාංකික පුද්ගල කොට්ඨාසය ගැන ජපන් ජනයා වෙනස්ම මතයක් දැරුවා, ලාංකීකයන් අවංකයි, උත්සහවන්තයි, කැපවීමෙන් වැඩ කරන හිත හොද මිනිස්සු, විශ්වාස කල හැකි මිනිස්සු කියලා ඔවුන් තුළ විශ්වාසයක් තිබුණා.

    ඒක නිසා ජපානය තුළට වෙන ජාතීන්ට ඇතුලු වෙන තියෙන දොරවල් වැහෙද්දි ශ්‍රීලාංකිකයාට ජපානයට ඇතුලු වීමේ හැකියාව හැම අතකින්ම විවර වුණා, ඒ ජපානයට ඒ කාලේ ගිය මිනිස්සූ අපේ රටේ නම තියලා නම්බු පිටින් ජීවත් වුණ නිසා, ඔවුන් ඉවසුවා, ඔවුන් කැපවීමෙන් වැඩ කලා ඒක නිසා අපේ රටේ නම ගැන හොද විශ්වාසයක් අද වෙනකොටත් ජපන් ජනයගේ හද තුල තියෙන නමුත් අලුතින් ජපානයට යන මිනිස්සුන්ට අපේ පරන මිනිස්සු කල කැපකිරීම් මතක නැත, අපේ අය ජපානය තුළ හැදු නම ගැන වගක් නැත, ඔවුන් හැසිරෙන්නේ ඔවුනට ඕන විදිහට.

    ReplyDelete
    Replies
    1. හිතන්න ඔවුන් ජපානයට ගියා වගේ තවත් සහෝදර සහෝදරියෝ කී දෙනෙක්නම් ජපානයට එන්න කැමැත්තෙන් ඉන්නව ඇත්ද? ඔවුනුත් ආසයි ඔවුන් වගේ ජපානයට ඇවිල්ලා කට්ට කාල හරි ජිවීතේ ගොඩ දාගන්න, එදා අපේ පරන මිනිස්සු ජපානය ඇතුලේ අපේ රටේ නම හැදුවා වෙනස්ම විදිකට ඒක නිසා අදටත් අපිට ජපානයට යෑමේ හැකියාව තියෙනවා, නමුත් අද අපේ මිනිස්සු ජපානය තුළ හැසිරෙන විදිහට අනාගතේ අපේ සහෝදර සහෝදරියන්ට ජපන් එන එක සිහිනයක්ම වෙයි.

      ජාතියක් විදිහට තම ජාතියේ දියුණුව ගැන හිතන්න ඕන, ජාතියක පරිහානියට හේතුවා එම ජාතිය වෙන ජාතියක පරිහානියට වැඩ කිරීමත් තම ජාතියේ අනාගතය ගැන නොසිතීම. ත්අද වෙන්කොට ජපානයට කොහොමහරි රිංග ගන්න අපේඋන්;

      ▪️හොරකම් කරනවා
      ▪️අපෙඋන්ම ප්‍රසිද්ධියේ ගහගන්නවා
      ▪️ජපන් පොලිසියත් එක්ක රණ්ඩු කරනවා
      මිණී මරණවා
      ▪️අපෙඋන්ම පාවදෙනවා
      ▪️අපේ රට ජීවත් විය නොහැකි රටක් කියලා රට පාවදෙනවා
      ▪️හොර documents හදලා නොන්ඩි වෙනවා
      ▪️ජපානයේ නිති රිති වලට පටහැනි විදිහට හැසිරෙනවා
      ▪️වාහන Accident කර ගන්නවා
      ▪️ප්‍රසිද්ධියේ මත් පැන් පානය කරනවා
      ▪️ගංජා කුඩු වලට අහු වෙලා හිරේ යනවා
      ▪️මාර්ග නිතී කඩනවා
      ඇත්තම කිවුවොත් අපේ රටේ නම අමු අමුවේම දූෂණය කරනවා.

      අනාගතේදී ජපානෙත් ඇමරිකාවක් වෙයි, එදාට අපිට ගොඩක් දුක් වෙන්න වෙයි. ජපනෙට අපි තවත් එක් මිනිස්සු ටිකක් පමණයි. ඔවුනට අපි කරදරයක් නම් ඔවුන් අපිව ජපන් සිතියමෙන්ම හුරලා අයින් කරලා දායි.

      හිතන්න තම රටට සේවයට පැමිණෙන විදේශිකයන් ඔවුනගේ වහල්ලු විදිහට ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, කැනඩා, ඇමරිකා ආදී හැම රටක්ම හිතද්දි ජප්පො විතරක් ජපානයට සේවයට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව හිතන්නේ ඒක ආඩම්බර විය යුතු දෙයක් විදිහට,ඔවුන් ඒ ගැන පුදුම වෙනවා,සතුටක් කියලා හිතනවා,ඒ වගේ ජතියක් එක්ක වැඩ කරන්න ලැබෙන එකත් අපේ ජිවීතේට ලොකු අත්දැකීමක්.

      විනෝද වෙන්න ඕන තමයි,නිදහසේ ජීවත් වෙන්න ඕන තමයි හැබැයි මතක තියගන්න ඕන හැමදේටම සීමාවක් තියෙනවා කියලා, ඒ සීමාවේ ඉදන් තමන් ජපානෙට ආපු කරණය ඔලුවෙන් අයින් නොකර හොද ගමනක් යන්න ඕන, තමන් ගැන හිතන්න බැරි නම් අඩුම තරමේ ජපානෙට එන්න හීන දකින කට්ට කන අපෙ කොල්ලො කෙල්ලො ගැන වත් හිතලා රටේ නම්බුව තියලා වැඩ කරන්න ඕන.

      ස්තුතියි (යොරො ෂිකු ඔනෙගා-යිෂිම සු)

      Delete
    2. Here I refer to M3s, not hyperdontia. Thanks for the comments!

      Delete
    3. //ශ්‍රී ලාන්කික අයකු ට තම මවුරටේ ජීවත් වෙනසේම සියළු ම අයිතිවාසිකම් භුක්ති විදිමින් නිදහසේ ජීවත් විය හැකි එකම රට තමයි ජපානය.

      ++++++++++++

      ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, කැනඩා, ඇමරිකා ආදී හැම රටක්ම තම රටට සේවයට පැමිණෙන විදේශිකයන් ඔවුනගේ වහල්ලු විදිහට හිතද්දි ජපාන මිනිස්සු විතරක් ජපානයට සේවයට පැමිණෙන විදේශික පුද්ගලයන් පිළිබඳව හිතන්නේ ඒක ආඩම්බර විය යුතු දෙයක් විදිහට, ඔවුන් ඒ ගැන පුදුම වෙනවා,සතුටක් කියලා හිතනවා,ඒ වගේ ජතියක් එක්ක වැඩ කරන්න ලැබෙන එකත් අපේ ජිවීතේට ලොකු අත්දැකීමක්.

      ++++++++++++++++++++++++++++++

      Truth is out there. Well said !

      Delete
    4. //ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, කැනඩා, ඇමරිකා ආදී හැම රටක්ම තම රටට සේවයට පැමිණෙන විදේශිකයන් ඔවුනගේ වහල්ලු විදිහට හිතද්දි//
      මේ ප්‍රකාශයට එකඟ නැහැ. වැරදි අදහසක්.

      Delete
    5. //මේ ප්‍රකාශයට එකඟ නැහැ. වැරදි අදහසක්.//

      එකඟ නැතිවුණාට ඇත්ත ඒකනෙව. මොනා කරන්නද? ඇත්ත තිත්තයි.

      Delete
  2. A really interesting analogy Econ...Thanks for a very readable article as always...:)

    ReplyDelete
  3. පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවන රණ්ඩුවකි.

    එකෙක් අනෙකාට- මං ගහනවා තොගේ දත් හැට හතරම බඩට යන්න.

    මෙය ඇසුන තුන්වැන්නෙකු- කොහෙද බන් දත් 64 ක්. කටේ තියෙන්නෙ දත් තිස්දෙකයිනේ

    පළමුවෙනි පුද්ගලයා- මං දැනගත්තා උඹත් මේකට කට ගහයි කියලා!

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දුම්රිය සේවකයින් වැටුප් පිළිබද ගැටළු හේතුවෙන් වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

    මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් සිඩ්නි නුවර ආශ්‍රිත දුම්රිය ගමනාගමනය සීමාවන බව ප්‍රවෘත්ති අංශ වාර්තා කර තිබේ.

    නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන වෘත්තීය සමිති කීපයක් එක්ව ගත් තිරණයක ප්‍රථිපලයක් ලෙස මෙම වර්ජනය ක්‍රියත්මක වන බව සදහන්. මෙම වර්ජනය පැය 24ක වර්ජනයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි . දුම්රිය ගමන් සේවා 1,000ක් පමණ මෙම වර්ජනය හේතුවෙන් අවලංගු වනු ඇති බවත්, මේ හේතුවෙන් සිඩ්නි නුවර මාර්ග තද බදය උග්‍ර අතට හැරෙනු ඇති බවටත් මේ වන විටත් ජනතාවට අනතුරු අගවා තිබේ. ජනතාව මෙම වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වීම වලක්වාලීමට ප්‍රාන්ත රජය මගින් අමතර බස් සේවා සහ වාහන නැවැත්වීමේ පහසුකම් සැලසීමට කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි. මේ ගැන ඉකොනොමැට්ටා කියන්නේ කුමක්ද?

    ReplyDelete
  5. ඉකොනො,

    ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් රසිකයන්ට ස්ටීවන් ස්මිත් යනු සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙන් පසු ඔස්ට්‍රේලියාව බිහිකළ සුපිරිම ටෙස්ට් පිතිකරුවා ලෙස මීට මාස කිහිපයකට ඉහතදී වර්ණනා කල ක්‍රිකට් විචාරකයන්ම අද ස්ටීවන් ස්මිත් හඳුන්වන්නේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩාවට දරුණුම කළු පැල්ලමක් එකතු කල නායකයා ලෙසිනි.

    The Ashes (අළු බඳුන) ජය ගෙන සමස්ත ඕස්ට්‍රේලියා ක්‍රිකට් රසිකයන්ගේම වීරයා වූ ස්මිත් අද ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් රසිකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව එපා කල ඔවුන් වඩාත්ම රැවටීමට ලක් කල නායකයා වී ඇත, මේ සියල්ලට ගතවුනේ විනාඩි කිහිපයක කාලයක් පමණය.

    පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව වසරක ක්‍රිකට් තහනමකට ලක්වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් සිඩ්නි ගුවන් තොටුපොළේදී පැවැති මාධ්‍ය හමුවේදී හඩමින් සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බව.

    ස්මිත් මෙම මාධ්‍ය හමුවේදී කතා කළේ හඬමිනි. “මගේ කණ්ඩායම්.. ඉහි ඉහි.. සඟයන්ගෙන්, ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්, ඉහි ඉහි.. කනගාටුවෙන හා කේන්තියට පත් සෑම ඔස්ට්‍රේලියානු වෙකුටම…... ඉහි ඉහි... මට සමාවෙන්න. ඉහි ඉහි ...nමගේ වරද නිවැරදි කර ගැනීම වෙනුවෙන් කළ හැකි හැම දේම මම කරනවා... ඉහි ඉහි”

    “මම දන්නවා මේ හේතුවෙන් ඉදිරියේදී කාලය ගත වීමෙන් මට සමාව ලබා ගැනීමට හා ගෞරවක් ලබා ගැනීමට හැකි වේවි. මගේ රට නියෝජනය කිරීමට ලැබීමත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට ලැබීමත් ගෞරවයක්. ක්‍රිකට් කියන්නේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක්. ඒක මගේ ජීවිතය වුණා. මම බලාපොරොත්තුවෙනවා නැවතත් මට ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි කියා. හොඳ මිනිසුන් පවා වැරදි කරනවා. ඉහි ඉහි.. මමත් වැරැද්දක් කළා. මම කාටවත් දොස් කියන්නේ නෑ... ඉහි ඉහි..”

    මෙම සිදුවීමෙන් පසුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් පුහුණුකරු ඩැරල් ලීමන්ද කනස්සලකට පත්වී ඇති ආකාරය දැකගත හැකි වූ අතර ස්ටීවන් ස්මිත් හා කැමරන් බ‍්‍රැන්කොෆ්ට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අකාරයෙන් සිය මනස වෙනස් වූ බවත් පවසා ඇත.

    "අද මාධ්‍ය සාකච්ජාවේදි වුන දේ දැක්කට පස්සේ මම හැගීම් බර වුනා. ස්ටීව් අද මාධ්‍ය ඉස්සර හැසිරුණු විදිය ගොඩක් හැගීම්බරයි. සියලුම ක‍්‍රීඩකයින්ට ඒක ගොඩක් වේදනාකාරීයි.. මම ඒක ගැන කලින් දැනගෙන හිටියේ නෑ..වගේම ඒ වුනු දේවල් අනුමත කරන්නෙත් නෑ" ලීමන් පවසා ඇත. ඉකොනො කියන්නේ කුමක්ද මේ ගැන?

    ReplyDelete
  6. ඉකොනො,

    මේ තියෙන්නේ ලංකාවට ක්‍රිකට් ගහන්න එන ඩේල් ඉස්ටයින් කියන පර සුද්දා උන්ගේ බාසාවෙන් ලෝකෙටම පේන්න දාල තියෙන හරුපෙ;

    https://twitter.com/DaleSteyn62/status/1016202368059232256

    //Super impressed with Colombo. Streets are clean, roads are good, parks are well looked after. Massive difference to when I first toured here in 2006. Great to see//

    දකුණු අප්‍රිකාවෙන් ඇවිත් ඉන්න ඌ එහෙම කියද්දි මෙන්න ලංකාවෙ ඉන්න එකෙක් කමෙන්ට් කරන හැටි;

    Ashker Enoon @AshkerE 3h3 hours ago

    Replying to @DaleSteyn62

    Colombo was more cleaner under previous regime, 3 years back! The current regime doesn’t even want to maintain the good work which was done then, since they took over!
    All credit should go to @PresRajapaksa!

    ඉතින් හැබෑට ඒකෙත් හැටි?

    ReplyDelete
    Replies
    1. හයියෝ ශල්ලි!!������

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...