වෙබ් ලිපිනය:

Thursday, August 16, 2018

කැරලි, සිවිල් යුද්ධ හා ආර්ථික වර්ධනය


නිදහස ලබා ගැනීමෙන් පසුව ලංකාවේ කැරලි දෙකක් ඇති වුණා. සිවිල් යුද්ධයකුත් ඇති වුනා. ඒ වගේම ලංකාව පාලනය කරපු ඇතැම් ආණ්ඩු ලංකාව ජාතික සමාජවාදයකට දක්කන්න උත්සාහ කළා. ජාතික සමාජවාදය කියන වචනයේ කොටස් දෙකක් තිබෙනවා. ඔය කොටස් දෙක ගැන වෙන් වශයෙන් කතා කරන එක කෙටියෙන් කළ හැකි දෙයක් නොවන නිසා අපි දැනට ඒ වැඩේ අතාරිමු.

මෙහි පළ කළ පසුගිය ලිපි දෙකකින් මම විස්තර කළ පරිදි 1961-2005 අතර කාලයේදී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙලා තිබෙන්නේ 4.5%ක පමණ වේගයකින්. මේ වේගය අදාළ කාලයේ ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය සේ සැලකිය හැකි බව මම කිවුවා. නමුත්, මෙය ඉතාම දළ ඇස්තමේන්තුවක් පමණයි. ඒ වගේම, ඔය කාලය ඇතුළත ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය නොවෙනස්ව පැවති සේ සලකා සකස් කළ ඇස්තෙම්න්තුවක්.

පැහැදිලි කිරීම සඳහා මෙහෙම කිවුවත් රටක විභව ආර්ථික වර්ධන වේගය මේ විදිහට එක දිගට නොවෙනස්ව තියෙන්නේ නැහැ. එයත් වෙනස් වෙනවා. ඒ ගැන සලකමින් විභව දළ දේශීය නිෂ්පාදිතය කාලයත් එක්ක වෙනස් වන ආකාරය ගණිතමය ලෙස ආකෘතිගත කර වඩා ගැලපෙන නිර්රේඛීය ශ්‍රිතයක් හදාගැනීම සංකීර්ණ කටයුත්තක්. එවැන්නක් කරන ආකාරය හා අදාළ තාක්ෂණික කරුණු විස්තර කිරීම මේ වගේ බ්ලොග් ලිපියකට බර වැඩියි. මේ රේඛීය ආකෘතිය මෙය කියවන අයට තේරුම් ගැනීම පහසුයි.  ඒ නිසා, අපි මේ යන විදිහටම යමු.

කොහොම වුනත්, විභව ආර්ථික වර්ධනය නියතයක් සේ සැලකුවහම ප්‍රශ්න කිහිපයක්ම මතු වෙනවා. මම මේ ප්‍රශ්න අපේ පාඨකයෙකුගේ ප්‍රතිචාරයක තිබෙන වචන වලින්ම නැවත උපුටා දක්වන්නම්.

"ආර්ථිකය සංවෘත කරලා, විවෘත කරලා, සිවිල් කැරලි දෙකක් වෙලා, අවුරුදු 30ක යුද්දයක් තිබිල පොටෙන්ෂල් ලයින් එක වෙනස් වෙලා නැහැනේ."

ඔහු හෝ ඇය අහන ප්‍රශ්නය ඇසිය යුතුම ප්‍රශ්නයක්. ප්‍රශ්නයට කෙටි පිළිතුරනම් "ඔව්, වෙනස් වෙලා තියෙනවා!" කියන එකයි. එවිට දෙවනුව මතු වන ප්‍රශ්නය එහෙමනම් මේ ලිපි වල ඒ බව අමතක කරල තියෙන්නේ ඇයි කියන එක. එයට කෙටි පිළිතුර වන්නේ "මෙහි පෙන්වන්න හදන කරුණට එය එය එතරම් අදාළ නැහැ!" කියන එකයි.

ඒ වගේම, අනිත් පැත්තේ ලිපියකින් පැහැදිලි කර ඇති පරිදි දළ දේශීය නිෂ්පාදිතය හා එහි වර්ධන වේගය කියන්නේ කරුණු දෙකක්. දිගුකාලීනව වැදගත් වන්නේ වර්ධන වේගය වුවත්, කිසියම් මොහොතක රටක වැසියන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය පිළිබිඹු වන්නේ (ඒක පුද්ගල) දළ දේශීය නිෂ්පාදිතයෙන් මිස එහි වර්ධන වේගයෙන් නෙමෙයි.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 10%ක් වෙලා සිංගප්පූරුවේ හෝ ජපානයේ ආර්ථික වර්ධන වේගය -2%ක් වුවත් ලංකාවේ වැසියෙකුගේ (මේ මොහොතේ) ජීවන තත්ත්වය තිබෙන්නේ සිංගප්පූරුවේ හෝ ජපානයේ වැසියෙකුගේ ජීවන තත්ත්වයට වඩා ගොඩක් පහළින්. ආර්ථික වර්ධන වේගය වැදගත් වන්නේ දිගුකාලීනවයි.

ජපානයේ ඒක පුද්ගල ආදායම ලංකාවේ මෙන් දහ ගුණයකට වඩා වැඩියි. ලංකාවේ ජීවත් වන කෙනෙක් ජපානයට ගිහින් ගැලපෙන රැකියාවක් හොයාගත්තොත් දැන් ලංකාවේ උපයනවා මෙන් කිහිප ගුණයක වැටුපක් ඉපැයිය හැකියි. ඒ සඳහා, වහලෙක් වගේ වැඩ කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේදී මහන්සි වන ප්‍රමාණයම මහන්සි වුනත් වැඩි ආදායමක් ලැබෙනවා. ඒ ජපානයේදී පුද්ගලයෙකුගේ ශ්‍රමයේ ඵලදායීතාවය විශාල ලෙස ඉහළ යන නිසයි. නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය කියන්නේ මෙයටයි.

ආර්ථිකය දිගුකාලීනව මොනයම් හෝ වේගයකින් ප්‍රසාරණය වුනොත් කවදා හෝ දවසක ලංකාවට දැන් ජපානය සිටින තැනට පැමිණිය හැකියි. ඒ වේගය වැඩි වන තරමට මෙය වඩා ඉක්මණින් කළ හැකියි. වසරකට 4.5%ක සාමාන්‍ය වේගයෙන් ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණොත් වසර 50-55 ක පමණ කාලයකින් ලංකාවට අද ජපානය සිටින තැනට එන්න පුළුවන්.

කෙසේ වුවත්, ජපානයේ ආර්ථිකයත් එක තැන පල් වෙන්නේ නැහැ. අවුරුදු 50-55 යන විට ජපානය (බොහෝ විට) අද ඉන්න තැනින් තවත් ගොඩක් ඉදිරියට ගිහින්. ඒ නිසා, එපමණ කලකින් ලංකාව අද ජපානය සිටින තැනට ආවත් ඒ වන විටත් ලංකාව ජපානයට පසුපසිනුයි ඉන්නේ.

එහෙමනම්, ලංකාවට ජපානය අල්ලන්නම බැරිද? බැරි නෑ. ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ජපානයේ වේගයට වඩා වැඩිනම්, ඒ තත්ත්වය ප්‍රමාණවත් තරම් කාලයක් පැවතුනොත්, ලංකාවට ජපානය ඉන්න තැනටම එන්න පුළුවන්. ඒ නිසා, දැන් ආර්ථික වශයෙන් සංවර්ධිත රටවල් සේ සැලකෙන රටවල් සිටින තැනට කවදා හෝ ලඟා වීමේ සිහිනයක් ලංකාවට තිබෙනවනම් එය ළඟා කර ගැනීම සඳහා එවැනි රටවල දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ඉක්මවන වේගයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක්.

කිසිදු සංවර්ධිත රටක ආර්ථිකයක් දිගුකාලීනව 4.5%ක වේගයෙන් ප්‍රසාරණය වන්නේ නැහැ. ඒ නිසා, 4.5%ක වේගයෙන් ගියත් කවදා හෝ දවසක ඇමරිකාව, ජපානය වගේ රටවල මට්ටමට ලංකාවට එන්න පුළුවන්. එහෙම බැලුවහම 4.5%ක වේගය වුණත් නරකම නැහැ. හැබැයි ඕක වැඩි වන තරමට තවත් හොඳයි.

උද්ධමනය අඩු වුනා කියල කියන කොට සමහර අයට තියෙන ප්‍රශ්නය තමයි එහෙමනම් තවමත් බඩු ගණන් යන්නේ ඇයි කියන එක. උද්ධමනය කියන්නේ බඩු මිල වැඩි වන වේගය. වේගය අඩු වුනත් වාහනයක් ඉදිරියට යනවා වගේ උද්ධමනය අඩු වුනත් බඩු මිල වැඩි වෙනවා. වැඩි වන වේගය විතරයි අඩු වෙන්නේ. ඔය විදිහටම ආර්ථික වර්ධනය අඩු වුණත් රටේ ආර්ථිකය ඉදිරියට යනවා. රටේ ඒක පුද්ගල ආදායම තවදුරටත් ක්‍රමයෙන් ඉහළ යනවා. ප්‍රශ්නයක් වෙන්නේ ආර්ථිකය හැකිලුනොත් පමණයි. ඒ නිසා, රටක් දිගුකාලීනව උත්සාහ දැරිය යුත්තේ තමන්ට දරාගත හැකි වර්ධන වේගයක් පවත්වා ගන්නා අතර ඒ දරා ගැනීමේ හැකියාව වැඩි කර ගන්නයි.

ජවිපෙ විසින් ලංකාවේ කැරලි දෙකක් සිදු කළා. මේ අවස්ථා දෙකේදීම ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩු වුණා. නමුත් ආර්ථිකය හැකිළුනේ නැහැ. ජවිපෙ කැරලි නිසා ලංකාවේ ආර්ථිකයේ ධාරිතාව අඩු වුණාද? එවැන්නක් ලොකුවට සිදු වුණා කියා මම හිතන්නේ නැහැ.

ජවිපෙ කැරලි දෙකම සාපේක්ෂව කෙටි කාලයක් තුළ අවසන් වුණා. විශේෂයෙන්ම පළමු කැරැල්ල. මේ පළමු කැරැල්ල කාලයේ තාවකාලිකව ආර්ථික ක්‍රියාකාරකම් නැවතුණත් කැරැල්ලෙන් පසුව ඉතා කෙටි කලකින් මේ ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරන්න බැරිකමක් තිබුණේ නැහැ.

පළමු කැරැල්ලේදී රටේ විශාල දේපොළ හානියක් සිදු වුණේ නැහැ. ඒ නිසා, ප්‍රාග්ධන සංචිතයට ලොකු බලපෑමක් වුණේ නැහැ, ජීවිත හානි සිදු වුවත්, කැරැල්ලේදී මිය ගිය තරුණයින් බොහෝ දෙනෙක් සිසුන් හෝ රැකියා විරහිතව සිටි අයයි. ඒ නිසා ක්ෂණිකව සක්‍රිය ශ්‍රම සංචිතයට ලොකු බලපෑමක් වුණේ නැහැ.

මේ කාලයේ ලංකාවේ විරැකියාව ගොඩක් ඉහළ මට්ටමකයි තිබුණේ. ඒ නිසා, දිගුකාලීනව වුවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රමය හිඟකම නිසා අඩාල වීමක් සිදු වුනේ නැහැ. අවශ්‍ය පුරප්පාඩු පුරවන්න ප්‍රමාණවත් තරම් රැකියා විරහිත පුද්ගලයින් රටේ හිටියා. රටේ තිබුණු නිෂ්පාදන තාක්ෂනය නැති වී යාමක් කොහොමටත් සිදු වුනේ නැහැ. ඒ නිසා, මේ කැරැල්ල නිසා නිපැයුම් පරතරය මිසක් විභව දළ දේශීය නිෂ්පාදිතය හෝ විභව ආර්ථික වර්ධන වේගය අඩු වෙන්න හේතුවක් තිබුණේ නැහැ.

පළමු කැරැල්ලට සාපේක්ෂව ජවිපෙ දෙවන කැරැල්ල කාලයක් ඇදුනා. ජීවිත හානියත් වැඩියි. ඒ වගේම රටේ ප්‍රාග්ධන සංචිත වලිනුත් යම් ප්‍රමාණයක් විනාශ කෙරුණා. නමුත්, මේ වෙලාවේ වුනත් ලංකාවේ තිබුණු තාක්ෂණයක් අහිමි වී ලංකාවේ නිෂ්පාදන ශක්‍යතාවය නැති වී ගියේ නැහැ. තේ කම්හලක් ගිණි තියපු තැනක නිෂ්පාදන ක්‍රියාවලිය සමහර විට අවුරුදු දෙක තුනකට ඇන හිටින්න ඇති. නමුත්, කම්හල නැවත ගොඩ නැගීමෙන් හෝ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව නැවතත් කලින් වගේම වැඩ කරගෙන යන්න බාධාවක් තිබුණේ නැහැ.

ජර්මනිය, ජපානය වගේ රටවල් යුද්ධ වලින් නැත්තටම නැති වෙලා ගියත් ඒ රටවල් වලට ඉතා කෙටි කාලයකින් නැවතත් ඔලුව උස්සන්න පුළුවන් වුනේ ඔවුන්ගේ විභවය නැති වෙලා නොතිබුණු නිසයි. ඒ රටවල මිනිස්සු විශාල පිරිසක් යුද්ධයේදී මිය ගොස් සිටියත් මිය ගිය මිනිසුන්ගේ තැන ගත හැකි වෙනත් මිනිසුන් රටේ හිටියා. ඒ නිසා, ඒ රටවල් කැඩුණු බිඳුණු දේ හදාගෙන වේගයෙන් ඉදිරියට ගොස් කලින් හිටපු මාර්ගයටම නැවත අවතීර්ණ වුණා. ලංකාවේ දකුණේ කැරලි වලින් පසුව වුනෙත් මේ දෙයමයි. කැරලි අවසන් වෙලා කෙටි කාලයකින් කලින් ගමන් කළ මාර්ගයට ලංකාවේ ආර්ථිකය නැවත අවතීර්ණ වුණා.

මේ කිවුවේ ජවිපෙ කැරළි දෙක ගැන. අනෙක් කරුණ ආර්ථිකය කලින් කලට මාරුවෙන් මාරුවට විවෘත හා සංවෘත කිරීම. නිදහසේ පටන් හැත්තෑ හත දක්වාම වුනේ ඔය වැඩේ. ශ්‍රීලනිපය ඉදිරියට දමාගත් වමේ සභාග ආණ්ඩු ඔවුන්ට බලය තිබුණු කාලවල් වල ලංකාව සමාජවාදයට දක්කන්න උත්සාහ කළා. තට්ටුමාරුවට බලයට ආ එජාප ආණ්ඩු මේ ඇතැම් වෙනස්කම් නැවත ආපසු හැරෙවුවා.

හැත්තෑ හතට පෙර ශ්‍රීලනිප ආණ්ඩු යටතේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වුණේ අඩු වේගයකින්. නමුත්, ඒ කාලවල් වලදීත් ආර්ථිකය වර්ධනය වුනා මිස හැකිළුනේ නැහැ. එජාප ආණ්ඩු යටතේ ලංකාවේ ආර්ථිකය වඩා වැඩි වේගයකින් වර්ධනය වුණා. මේ ක්‍රමය වෙනස් වෙන්න හේතු වුණු සමගි පෙරමුණු ආණ්ඩුවේ ජාතික සමාජවාදී පරීක්ෂණය සැලකුවත් මෙය සිදු කෙරුණේ වසර හතකට නොවැඩි කාලයක් තුළයි. වසර හතක කාලයකදී සිදුවන මේ වගේ ආපසු යාමක් නිසා රටක දිගුකාලීන ගමන සම්පූර්ණයෙන් වෙනස් වන්නේ නැහැ. ආර්ථික ක්‍රියාකාරිත්වය කූඩුවක හිරකර තිබුණත් කලින් තිබුණු ධාරිතාව එසේම තිබුණු නිසා නිදහස ලැබුණු ගමන්ම නැවතත් තටු ගහල පියාඹන්න බැරිකමක් තිබුණේ නැහැ. ඒ නිසා මම සලකන්නේ සමගි පෙරමුණු පරීක්ෂණය වුවත් ලංකාවේ ආර්ථිකයේ තාවකාලික පසු බැසීමක් විදිහටයි. ඇතැම් විට එය එසේ සිදු නොවුණානම් ජේආර් ගෙන ආ ප්‍රතිසංස්කරණ සිදු කරන එක තවත් පමා විය හැකිව තිබුණා.

අනෙක් අතට, ආනයන සීමා ලිහිල් කරලා යම් යම් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කළත් ජේආර්ගේ කාලයේදීත් ලංකාවේ කලින් තිබුණු රාජ්‍යමූලික සමාජවාදී ආකෘතියේ ලොකු වෙනසක් වුනේ නැහැ වගේම මේ වනතුරුත් එය ඒ විදිහම තමයි. ඔය ආර්ථිකයේ විවෘත සංවෘත කතාව දිහා හැඟීම් හෝ අත්දැකීම් පාදක කරගෙන බලන්නේ නැතිව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව වැනි සම්මත නිර්ණායකයක් දිහා බැලුවොත් පෙනෙන්නේ අඩු වැඩි වීම් වලින් පසුව විවෘත භාවය අතින් ලංකාව දැනටත් ඉන්නේ සමඟි පෙරමුණු කාලයේ හිටපු හරියේම බවයි. මේ නිර්ණායකය අනුවම බැලුවොත් මේ කාලය ඇතුළත ලෝකයේ අනෙක් රටවල් (සමස්තයක් ලෙස) දෙගුණයකින් පමණ විවෘත භාවය වැඩි කරගෙන තිබෙනවා.

කොහොම වුනත්, හැත්තෑ හතෙන් පසු කාලය ලංකාවේ ආර්ථික වර්ධනය හා අදාළව අලුත් යුගයක් වූ බව නොසලකා හැරිය හැකි අදහසක් නෙමෙයි. හැත්තෑ හතේ වෙනසින් පසුව ඇඟලුම් කම්හල් වගේ වඩා කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමවේදයන් ලංකාවට ආවා. කලින් රටේ ආර්ථිකයට අඩු දායකත්වයක් සැපැයූ ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගිත්වය වේගයෙන් ඉහළ යන්න පටන් ගත්තා. වැදගත්ම වෙනස වුනේ අනූව දශකයේ මුල හරියේදී ශ්‍රීලනිපය ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමයි. මේ කරුණ හා අදාළ, කතා කිරීමට මේ වෙලාවේ කාලය වැය නොකරන, දේශපාලනික හේතු නිසා ආණ්ඩු මාරු එක්ක ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වල සිදුවන විචලනයන් සෑහෙන තරමින් අඩු වුණා. මේ වෙනස්කම නිසා ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි නොවෙන්න හේතුවක් නැහැ.

ඒ එක්කම තවත් දේවල් සිදු වුනා. ලංකාවේ ජනගහණ වර්ධන වේගය අඩු වෙද්දී ශ්‍රම බලකාය ඉහළ යන වේගයත් අඩු වෙලා ශ්‍රම සාධකය නිසා ආර්ථික වර්ධනයට ලැබෙන දායකත්වය සීමා වෙන්න පටන් ගත්තා. මානව ප්‍රාග්ධනය ක්‍රමයෙන් ඉහළ ගියත් එසේ ඉහළ යන වේගය වැඩි වුණේ නැහැ දේශීය ඉතිරි කිරීම් හෝ විදේශ ආයෝජන වැඩි වුණේ නැති නිසා ප්‍රාග්ධන සංචිත වැඩි වන වේගයේ වෙනසක් වුනෙත් නැහැ. දියුණු රටවලින් තාක්ෂනය අවශෝෂණය කරගැනීම දිගින් දිගටම සිදුවුණත් එහි වේගය වැඩිවුනා කියන්න බැහැ.

මේ ආදී කරුණු සියල්ලම සැලකීමෙන් පසුව හැත්තෑ හතෙන් පසු ලංකාවේ විභව ආර්ථික වර්ධන වේගය යම් තරමකින් වැඩි වුනේ නෑ කියා කියන්න බැහැ. 1961-2005 කාලය අතරතුර සාමාන්‍ය ආර්ථික වේගය 4.5%ක් බව පෙනුණත් මෙය හැත්තෑ හතට පෙර හා පසු ලෙස කොටස් දෙකකට කැඩුවොත් හැත්තෑ හතට පෙර වේගය තරමක් අඩුයි. හැත්තෑ හතට පසුව තරමක් වැඩියි. නමුත්, හැත්තෑ හතට පසුව වුවත් මේ මට්ටමට වඩා ගොඩක් වැඩි නැහැ. ඕනෑනම් 4.75%ක් පමණ කියා කිව හැකි බව මා කිවුවේ ඒ නිසයි.

ආර්ථිකය කාලයක් තට්ටුමාරුවට විවෘත හා සංවෘත කිරීම ගැනත්, ජවිපෙ කැරළි දෙකේ බලපෑම ගැනත් කතා කළත් සිවිල් යුද්ධය නිසා සිදු වූ බලපෑම ගැන මා මෙහි කතා කළේ නැහැ. ජවිපෙ කැරළි වලින් වෙනස්ව මේ සිවිල් යුද්ධය වසර 26ක පමණ කාලයක් එක දිගට ඇදුනා. එවැන්නක බලපෑම තාවකාලිකයි කියා කියන්න අමාරුයි. ඒ ගැන අපි වෙනම කතා කරමු.

3 comments:

  1. ජවිපෙට නම් දැන් මොළේ පෑදිලා වගේ. 87-89 කාලේ පොලොන්නරුව පැත්තෙ පුස්තකාල ගිනි තියපු උදවිය දැන් පොත්පත් කියවන්න ළමයි උනන්දු කරනවා.ඒ නිසා ඒ ගොල්ලන්ගෙන් ආර්ථිකයට වෙන හානියක් නෑ. උතුරෙන් යුද්ධයක් ඇවිත් ආර්ථිකයට කරපු ඩොලර් බිලියන 200ක විතර හානියත් නැවත බලාපොරොත්තු වෙන්න බෑ. මහින්දගෙ පවුල් වාදයට තිත තියලා යහපාලනයෙන් රට ගලවා ගත්තොත් රට ගොඩ.

    ReplyDelete
  2. වෙනම පොස්ට් එකක්ම ලියල පැහැදිලි කරාට බොහොම ස්තුතියි.
    බොහොම වැදගත් ලිපි පෙළක්.


    “දැනට අපේ ආර්ථිකය වර්ධනය වන්නේ වර්ෂයකට 5% ක වේගයෙන්. මේ වේගයෙන් ගියොත් ඒක පුද්ගල ආදායම දෙගුණ වන්නට 2033 දක්වා බලා සිටින්නට සිදුවෙනවා. අපිට වසරකට 7% ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම්, ඒක පුද්ගල ආදායම වර්ෂ 2025 වන විට දෙගුණ කර ගත හැකියි“ යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මහින්ද චින්තනයෙන් බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය පවත්වාගෙන යාම සඳහා 8% ක අඛණ්ඩ ආර්ථික වර්ධනයක අවශ්‍යතාව දක්වා තිබෙනවා.

    ඔබ කියන විදිහට ලංකාවේ ආර්ථික වර්ධන වේගේ 4.5 අවට අගයක් ගන්නවා. ඊට වඩා ලොකු අගයකට ගියොත් නැවත ස්වභාවිකව 4.5 ට එනවා.(productivity එක වැඩි කර නොගත්තොත්.) එතකොට මම උඩින් දාල තියන ප්‍රකාශ ප්‍රැක්ටිකල් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. "අපිට වසරකට x% ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම්.." කියන අසම්භාව්‍යාර්ථ ප්‍රකාශය පසුපස පසුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් පන්නන බව පේනවා. ගණිතමය වශයෙන් මේ ප්‍රකාශය නිවැරදියි. ඔය x වලට 12-15%ක් වගේ ගාණක් දා ගත්තොත් තවත් ඉක්මණින් ආදායම වැඩි කරගන්න පුළුවන්. නමුත්, ප්‍රශ්නය වන්නේ එසේ කළ නොහැකිකමයි. 8% ඉලක්කයට වඩා 7% ඉලක්කය හොඳ වුවත් එයත් කෙටිකාලීනව ළඟා කරගත හැකි ඉලක්කයක් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2018 අප්‍රේල් ඇස්තමේතු අනුව ඉදිරි අවුරුදු වල ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වෙන්නේ පහත අයුරිනුයි.

      2016- 3,819.164
      2017- 4,084.626
      2018- 4,309.090
      2019- 4,543.164
      2020- 4,792.676
      2021- 5,060.047
      2022- 5,348.767
      2023- 5,672.174

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...