පහතින් තියෙන්නේ දින කීපයකට කලින් අපේ පාඨක හිතවතෙකු විසින් කළ ඉල්ලීමක්.
"ඉකොනො - මේක අතුරු කතාවක් - පසුගියදා බුකියේ විවාදයකදී මගේ මිත්‍රයෙක් පැවසුව සංඛ්‍යාලේඛන අනුව සමඟි පෙරමුණු 70 -1977 යුගයේ දි current USD වලින් ගත්තම GDP වැඩිවීම ජේ අාර් ගේ මුළු කාලයටම එනම් 1977 -1988 current USD GDP වැඩිවීමට වඩා වැඩි බවත් ඒ නිසා ජේ ආර්ගේ ආර්ථ්ක පිබිදීම overblown බවත් - මේ ගැන ඔබගේ අදහස කුමක්ද ? (constant USD හෝ constant රුපියල් රේට් එක ගත්තම මේ අගයන් වෙනස් වනවා - 1977 දෙවැනි භාගයේ සිටම රුපියල සීඝ්‍ර ලෙස අවප්‍රමාණ වීම සැලකිල්ලට ගන්න ඕන )"
ඔහුගේ මේ ප්‍රශ්නය පසුගිය කාලයේ සිදුවූ සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනය හා ඉන් අනතුරුව සිදු වූ පසුබෑම ගැන කතා කිරීමේදී සාකච්ඡාවට ගත යුතු එක් කරුණකට හොඳ ප්‍රවේශයක්.
මුලින්ම අප බැලිය යුත්තේ මේ කියන කතාවේ පදනම කුමක්ද කියන එකයි. ප්‍රතිචාරයට අනුව 1970-77 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඇමරිකන් ඩොලර් වටිනාකම ඉහළ යාම, එසේ නැත්නම් මෙහි ඇති වචන වලින් "current USD වලින් ගත්තම GDP වැඩි වීම", 1977-1988 අතර සිදු වූ එම වැඩි වීමට වඩා වැඩියි. අපි මහ බැංකු වාර්තාවේ තිබෙන අදාළ සංඛ්‍යාලේඛන දෙස බලමු.
ඇමරිකන් ඩොලර් මිලියන වලින් අදාළ ගණන් පහත පරිදියි.
1970: 2,296
1977: 4,105
1988: 6,978
මේ අනුව, 1970-77 කාලයේ වැඩිවීම ඇමරිකන් ඩොලර් මිලියන 1,809 ක්. 1977-1988 කාලයේ වැඩිවීම ඇමරිකන් ඩොලර් මිලියන 2,873ක්. ඒ අනුව, උඩින් තිබෙන ප්‍රකාශය ඒ අයුරින්ම ගත්තොත් පැහැදිලිවම එය වැරදි ප්‍රකාශයක්.
නමුත්, මෙහිදී 1970-77 අතර කාලය වසර 7ක් බවත් 1977-1988 අතර කාලය වසර 11ක් බවත් අපට නොසලකා හරින්න බැහැ,
ඒ ගැන සලකා 1977-77 අතර වසරක සාමාන්‍ය වැඩි වීම බැලුවොත් එය ඇමරිකන් ඩොලර් මිලියන 258.4ක්. ඒ වගේම, 1977-1988 අතර වසරක සාමාන්‍ය වැඩි වීම ඇමරිකන් ඩොලර් මිලියන 261.2ක්. සාමාන්‍ය අගයක් සේ ගත්තොත්, ඉතා සුළුවෙන් වුවත් ජේආර්ගේ කාලයේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයට වාර්ෂිකව වැඩි මුදලක් එකතු වී තිබෙනවා.
ඒ වුනත්, මේ විදිහට වැඩි වන ඩොලර් ගණන දෙස නොබලා දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයෙහි සාමාන්‍ය වර්ධන වේගය දිහා බැලුවොත් හාත්පසින්ම වෙනස් උත්තරයක් අපට ලැබෙනවා. එවිට පෙනෙන්නේ 1977-1988 අතර සාමාන්‍ය වර්ධන වේගය 4.94%ක් පමණක් වුවත් 1970-1977 අතර එය 8.65%ක වේගයක්ව පැවතී ඇති බවයි. කතාවේ පදනම මෙය වෙන්න ඇති.
මෙතැනින් ඉදිරියට යන්න කලින් අපි නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන සංකල්ප නිරවුල්ව පැහැදිලි කර ගත යුතුයි.
දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් වසරක් තුළ (එසේ නැත්නම් කාර්තුවක් තුළ) රටක (නැත්නම් රටේ කොටසක) නිපදවූ සියලු භාන්ඩ හා සේවා වල වටිනාකමයි. භාණ්ඩයකට හෝ සේවාවකට වටිනාකමක් ලැබෙන්නේ එය වෙනත් අයෙකු විසින් මිල දී ගත් විටයි.
අපි පළමුව පහසුව සඳහා සංවෘත ආර්ථිකයක් තිබෙන මනඃකල්පිත රටක් ගැන හිතුවොත් වසරක් තුළ ඒ රටේ නිපදවූ භාණ්ඩ හා සේවා වල මුළු වටිනාකම අදාළ වසරේ රටේ කවුරු හෝ විසින් මිල දී ගත් භාණ්ඩ හා සේවා සියල්ලේ වටිනාකමට ආසන්න වශයෙන් සමාන විය යුතුයි.
ආසන්න වශයෙන් කියා කියන්න එක් හේතුවක් වුනේ තමන් නිපදවූ දෙයක් තමන් විසින්ම පරිභෝජනය කළොත් එය මේ අර්ථකථනයට නොවැටෙන නිසයි. මෙයට විසඳුමක් ලෙස එවැනි භාණ්ඩ හා සේවා වල වෙළඳපොළ මිල අනුව වටිනාකම ඇස්තමේන්තු කළ විට ප්‍රශ්නය විසඳෙනවා.
දෙවන හේතුව වන්නේ වසර තුළ නිපදවන ඇතැම් භාණ්ඩ නොවිකිණී ගබඩා වල ඉතිරි වෙන්න ඉඩ තිබීමයි. ඔය විදිහටම පසුගිය වසරේ නිපදවූ භාණ්ඩ මේ වසරේ විකිණෙන්න පුළුවන්. මේ බව සැලකිල්ලට ගෙන ගබඩා වල තොග වෙනස්වීම් වල වටිනාකම එකතු (හෝ අඩු) කළාම ඒ ප්‍රශ්නයත් ඉවරයි.
මේ විදිහට ගැලපීමෙන් පසුව රටේ සමස්ත නිෂ්පාදිතයේ වටිනාකම රටේ සමස්ත වියදමට සමානයි. ගණුදෙනුවක හැමවිටම දෙපැත්තක් තිබෙන නිසා එක් අයෙකුගේ වියදමක් කියන්නේ වෙනත් කාගේ හෝ ආදායමක්. ඒ නිසා, රටේ සියල්ලන්ගේම සමස්ත ආදායමත් මෙයටම සමානයි.
කොහොම වුනත් ආර්ථිකය විවෘතනම්, රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් මිල දී ගන්නේ රටේ සිටින අය නෙමෙයි. ඒ වගේම රටේ සිටින අය මිල දී ගන්නා භාණ්ඩ හා සේවා වලින් කොටසක් රටේ නිපදපුවාත් නෙමෙයි. ඒ නිසා, රටේ සමස්ත වියදම් වලට අපනයන වල වටිනාකම එකතු කරලා ආනයන වල වටිනාකම අඩු කළ විටයි දළ දේශීය නිෂ්පාදිතයට සමාන වෙන්නේ.
එය මේ විදිහට ලියන්න පුළුවන්.
ද.දේ.නි. = දේශීය වියදම් වල මුළු එකතුව + අපනයන ආදායම - ආනයන වියදම
වෙනත් අයුරකින් ලිවුවොත්,
ද.දේ.නි. = දේශීය වියදම් වල මුළු එකතුව + වෙළඳ ශේෂය
සාමාන්‍යයෙන් රටකට ආනයන වෙනුවෙන් වැය කරන්න වෙන්නේ අපනයන ආදායම නිසා දිගුකාලීනව වෙළඳ ශේෂය ශුන්‍යයට ආසන්න විය යුතුයි. එය දිගටම ධන පැත්තේ තිබුණොත් වසරින් වසර විදෙස් සංචිත ගොඩ ගැහෙනවා. දිගටම සෘණ පැත්තේ තිබුණොත් වසරින් වසර විදෙස් ණය ගොඩ ගැහෙනවා. මේ දෙකම සැලකිය හැක්කේ අසමතුලිතතාවන් ලෙසයි.
ආනයන අපනයන සමතුලිතව තිබුනොත්, විවෘත ආර්ථිකයක් ඇති රටක වුවත් ද.දේ.නි. රටේ සමස්ත වියදම් වල එකතුවට සමානයි. ඒ කියන්නේ රටේ ද.දේ.නි. විකිණෙන්නේ රටේ ජාතික ව්‍යවහාර මුදලිනුයි. යම් විදිහකින් වෙළඳ ශේෂයේ හිඟයක් හෝ අතිරික්තයක් තිබුණත් දේශීය ව්‍යවහාර මුදලින් අලෙවි වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ද.දේ.නි.ට බොහෝ ආසන්නයි. එහෙමනම් ද.දේ.නි. ගණනය කළ යුතේ රටේ දේශීය ව්‍යවහාර මුදලිනුයි.
අපි හිතමු ලංකාවේ නිපදවන එකම භාණ්ඩය පොල් කියලා. කිසියම් අවුරුද්දකදී රටේ පොල් ගෙඩි 100ක් හැදුනොත්, පොල් ගෙඩියක මිල රුපියල් 80නම්, ඒ අවුරුද්දේදී ද.දේ.නි. ලෙස සැලකෙන්නේ රුපියල් 8,000ක අගයක්. ද.දේ.නි. ගණනය කරද්දී පැවතුණු නියම මිලම උපයෝගී කරගන්න නිසා මෙය හැඳින්වෙන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතය වශයෙනුයි.
අපි හිතමු ඊළඟ අවුරුද්ද වෙද්දී පොල් නිෂ්පාදනය ගෙඩි 120 දක්වාත්, මිල රුපියල් 100 දක්වාත් ඉහළ යනව කියල. එවිට නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 12,000ක් දක්වා ඉහළ යනවා. මෙය 50%ක වර්ධනයක්.
නමුත්, මේ අවුරුදු දෙක ඇතුළත රටේ නිෂ්පාදනය 50%කින් වර්ධනය වෙලා නැහැ. පොල් නිෂ්පාදනය ඉහළ ගිහින් තිබෙන්නේ 20%කින් පමණයි. 50%ක වර්ධනයක් පෙනෙන්නේ පොල් වල මිල 25%කින් ඉහළ ගොස් තිබෙන නිසයි.
අපි හිතමු පොල් නිෂ්පාදනය ගෙඩි 80 දක්වා 20%කින් පහත වැටිලා මිල රුපියල් 150 දක්වා 87.5%කින් වැඩි වුනා කියා. එවිටත් අපට පෙනෙන්නේ නාමික ද.දේ.නි. 50%කින් ඉහළ ගොස් රුපියල් 12,000ක් වී ඇති බවයි. ඒ නිසා, වසර දෙකක් ඇතුළත සිදුවූ සැබෑ වර්ධනය දැනගන්නනම් මේ දෙවසර ඇතුළත මිල වෙනස් වීම නිසා සිදු වූ බලපෑම ඉවත් කරන්න වෙනවා.
මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් මේ විදිහට මිල වෙනස් වීම නිසා සිදු වූ බලපෑම් ඉවත් කර හදන සංඛ්‍යාලේඛණයකටයි. මේ වැඩේ කරන්නේ කොහොමද?
මෙය කරන්නේ අවුරුද්දෙන් අවුරුද්ද රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඒ වන විට පැවති මිල ගණන් අනුව තක්සේරු කරනවා වෙනුවට කිසියම් නිශ්චිත වර්ෂයකදී පැවති මිල ගණන් එසේම නොවෙනස්ව පැවති සේ සලකමින් තක්සේරු කිරීම මඟිනුයි. ඒ නිශ්චිත වර්ෂය පාදක වර්ෂය ලෙස හැඳින්වෙනවා.
ඉහත උදාහරණයේ පාදක වර්ෂය පළමු අවුරුද්ද සේ සැලකුවොත් ඒ අවුරුද්දේදී පොල් ගෙඩියක මිල රුපියල් 80ක් වූ නිසා අනෙක් අවුරුදු වලදී හැදුනු පොල් වල වටිනාකම ඇස්තමේන්තු කරන්නෙත් පොල් ගෙඩියක් රුපියල් 80 මට්ටමේම තිබුණු බව සලකමිනුයි.
මේ විදිහට හදන මූර්ත දළ දේශීය නිෂ්පාදිතය යොදාගන්නා පාදක වර්ෂය අනුව වෙනස් වන්නක් බව පැහැදිලියිනේ. ඒ නිසා, මූර්ත දළ නිෂ්පාදිතය ගැන කියද්දී නාමික ද.දේ.නි. ගැන කතා කරන විට මෙන් "රුපියල්" කියා කීම ප්‍රමාණවත් නැහැ. මේ රුපියල් 2010 රුපියල්ද නැත්නම් 2012 රුපියල්ද කියා අදාළ වර්ෂයත් සඳහන් කළ යුතුයි. පාදක වර්ෂයේදී පමණක් නාමික ද.දේ.නි. හා මූර්ත ද.දේ.නි. සමානයි. එහෙත් අනෙක් අවුරුදු වලදී මේ සංඛ්‍යාලේඛණ සමාන නැහැ.
නාමික ද.දේ.නි. වර්ධනය හා මූර්ත ද.දේ.නි. වර්ධනය අතර සම්බන්ධය ආසන්න වශයෙන් මේ වගේ එකක්. (හරියටම නෙමෙයි.)
නාමික ද.දේ.නි. වර්ධනය = මූර්ත ද.දේ.නි. වර්ධනය + උද්ධමනය
දැන් අපි ලෝක බැංකු දත්ත අරගෙන 1970-77 හා 1977-88 කාල වකවානු අතර නාමික ද.දේ.නි. හා මූර්ත දදේනි වෙනස් වුනේ කොහොමද කියා බලමු.
නාමික ද.දේ.නි. (රුපියල් මිලියන)
1970: 13,664
1977: 36,407
1988: 221,982
මූර්ත ද.දේ.නි. (2010 රුපියල් බිලියන)
1970: 1004.9
1977: 1299.1
1988: 2141.1
මේ අනුව නාමික ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම මේ විදිහටයි.
1970-77: 15.03%
1977-88: 17.66%
කොහොම වුනත් මේ කාල වකවානු දෙකේදීම නාමික ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීමට ප්‍රධානම හේතුව උද්ධමනය නිසා සිදු වූ මිල ඉහළ යාම මිසක් මූර්ත ද.දේ.නි. ඉහළ යාම නෙමෙයි. සැබෑ ආර්ථික වර්ධනය, එහෙමත් නැත්නම් මූර්ත ද.දේ.නි. වැඩි වීම හොයාගන්න උද්ධමනය නිසා සිදු වූ බලපෑම ඉවත් කළ යුතුයි.
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය (ද.දේ.නි. අවධමනකය):
1970-77: 10.88%
1977-88: 12.63%
මූර්ත ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම:
1970-77: 3.74%
1977-88: 4.65%
මේ අනුව පෙනෙන පරිදි, 1977-88 කාලයේදී නාමික ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම වගේම සාමාන්‍ය උද්ධමනයත් වැඩියි. හැබැයි උද්ධමනයේ බලපෑම ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන මූර්ත ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීමත් කලින් කාල පරිච්ඡේදයේදී තිබුණාට වඩා වැඩියි.
හරි. එහෙමනං අර ඩොලර් කතාව මොකක්ද?
දළ දේශීය නිෂ්පාදිතය මනින්නේ කිසියම් රටක ජාතික ව්‍යවහාර මුදලින් වුවත් එසේ විවිධ ව්‍යවහාර මුදල් භාවිතා කළ විට රටවල් අතර ද.දේ.නි. සංසන්දනය කිරීම අපහසුයි. ඒ නිසා, විවිධ ව්‍යවහාර මුදල් වලින් මනින දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් වලට පරිවර්තනය කිරීම බොහෝ විට සිදුවන්නක්.
මෙය කරන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැනි ක්‍රමය වන්නේ අදාළ වර්ෂයේ පැවති නාමික විණිමය අනුපාතිකය යොදාගෙන දේශීය ව්‍යවහාර මුදල් (රුපියල්) ඩොලර් වලට පරිවර්තනය කිරීමයි. දෙවැනි ක්‍රමය අදාළ මුදල් ඒකක වල භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව මත නිර්ණය කෙරෙන ක්‍රයශක්ති සාම්‍ය විණිමය අනුපාතිකය යොදා ගැනීමයි.
මේ ලිපියට පාදක වූ කරුණට අදාල සංඛ්‍යාලේඛණ පදනම් වෙන්නේ නාමික විණිමය අනුපාතිකය මතයි. ඒ අනුව ගණනය කෙරෙන නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වැඩි වීම කියන්නේ නාමික ද.දේ.නි. රුපියල් අගයේ වැඩි වීමේත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීමේත් එකතුවයි. මෙයින් දෙවැන්න බොහෝ විට සෘණ අගයක් නිසා ලැබෙන පිළිතුර මුල් අගයට වඩා අඩු අගයක්.
අප කතා කළ කාලාන්තර සඳහා මේ ගණන් මොනවාද කියා බලමු.
නාමික ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම:
1970-77: 15.03%
1977-88: 17.66%
විණිමය අනුපාතිකය (ඩොලරයට සාපේක්ෂව රුපියල) අවප්‍රමාණය වීමේ වාර්ෂික සාමාන්‍ය අගය:
1970-77: 5.87%
1977-88: 12.31%
නාමික ද.දේ.නි. ඩොලර් අගයේ සාමාන්‍ය වැඩි වීම:
1970-77: 8.65%
1977-88: 4.94%
ලිපියට පාදක වූ ප්‍රතිචාරයේ කතා කරන්නේ මේ සංඛ්‍යා ගැනයි. නමුත්, මෙහි තිබෙන්නේ ලංකාවේ සැබෑ ආර්ථික වර්ධනය නෙමෙයි. සැබෑ ආර්ථික වර්ධනය අපි මුලින් ඉදිරිපත් කළා.
මූර්ත ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම:
1970-77: 3.74%
1977-88: 4.65%
මේ සංඛ්‍යා අතර තිබෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද?
නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය = නාමික ද.දේ.නි. වර්ධනය - විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීම
නමුත්, අප කලින් කී පරිදි, නාමික ද.දේ.නි. වර්ධනය = මූර්ත ද.දේ.නි. වර්ධනය + උද්ධමනය නිසා අපට මෙය මේ විදිහට ලියන්න පුළුවන්.
නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය = මූර්ත ද.දේ.නි. වර්ධනය + උද්ධමනය - විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීම
නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය හා මූර්ත ද.දේ.නි. වර්ධනය සමාන වෙන්නේ උද්ධමනය හා විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සමාන වූවොත් පමණයි. එය සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි. ඒ වගේම, එසේ වෙන්න අවශ්‍යත් නැහැ. රටේ සාමාන්‍ය උද්ධමනය තරමට විණිමය අනුපාතිකය අවප්‍රමාණය නොවුනොත් නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය ලෙස පෙනෙන්නේ මූර්ත ද.දේ.නි. වර්ධනයට වඩා වැඩි අගයක්.
නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය මඟින් පෙන්වන්නේ සාධක තුනක එකතුවක් නිසා ඒ සාධක ගැන වෙන වෙනම අවධානය නොයොදවා සංසන්දය කිරීමේ කිසිම තේරුමක් නැහැ. රටේ ආර්ථිකය වර්ධනය නොවුනත්, උද්ධමනය ඉහළ යන තරමට හා රුපියල අධිප්‍රමාණය වන තරමට ඔය ගණන් ඉහළ යනවා.
1970-77 කාලයේදී වගේම 1977-88 කාලයේදීත් උද්ධමනය තරමට විණිමය අනුපාතිකය අවප්‍රමාණය වී නැහැ. නමුත්, 1977-88 කාලයේදී වෙනස කුඩා එකක්. 1970-77 කාලයේදී වෙනස විශාල එකක්. ඒ නිසා, ඒ කාලයේ මූර්ත ද.දේ.නි. වර්ධනය අඩු වුවත් නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය වැඩියි. නමුත්, ඒ කාලයේ රටේ ජාතික ආදායම වඩා වේගයෙන් වර්ධනය වූ බවක් එයින් අදහස් වන්නේ නැහැ. එයින් කියවෙන්නේ 1970-77 කාලයේදී 1977-88 කාලයේදී තරම් වේගයෙන් රුපියල අවප්‍රමාණය නොවූ බව පමණයි.
මේ ගැන තවත් ලියන්න දේවල් තියෙනවා. මෙවැනි දෙයක් කෙටියෙන් ලියන එක අසීරුයි. එය මගේ ප්‍රශ්නයක් වෙන්න ඇති.
Saturday, August 25, 2018
නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය යනු කුමක්ද?
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
ඉකොනො,
ReplyDeleteVery informative & nice post, a food for thought.
//මේ ගැන තවත් ලියන්න දේවල් තියෙනවා. මෙවැනි දෙයක් කෙටියෙන් ලියන එක අසීරුයි. එය මගේ ප්‍රශ්නයක් වෙන්න ඇති.//
එය ඔබේවත් ප්‍රශ්නයක් කියවන බහුතර අපි කාටවත් ප්‍රශ්නයක් නොවෙයි. එක එක බකපඬියන් දොඩවන බහුබූත ගණන් නොගෙන ඉන්න.
බොහොම ස්තුතියි, ඇනෝ!
Deleteකවුරුත් නොකීවත් මගේ ලිපි ටිකක් දිගනම් වැඩියි. නමුත්, කියවන ගොඩක් අය එයට පුරුදු වී ඇතැයි මම හිතනවා. කෙටියෙන් ලියූ විට බොහෝ විට වෙන්නේ කමෙන්ට් වලට පිළිතුරු ලෙස නොලියැවුණු දේවල් විස්තර කරන්න සිදු වීමයි. එකවරම විස්තර කළාම මට වගේම කියවන අයටත් පහසුයි කියා මම හිතනවා.
බොහොමත්ම ස්තූතියි ඉකෝන්..නොදන්න එහෙමත් නැත්නම් බාගෙට දැනගෙන හිටපු කරුණු බොහොමයක් ඉගෙන ගත්තා..ඔබගේ සරල පැහැදිලි කිරීම් අනර්ඝයි...:)
ReplyDeleteබොහොම ස්තුතියි, රවී!
DeleteDollar ekata sapekshawa yam agayak prkasha karana eken adahas wenne loketa sapekshawa agayada? America wata sapeksha agayada? Ihatha gananaya kirimedi dollar eke value eka niyatha agayak kiyalada salakanne?
ReplyDeleteඅන්තිම ප්‍රශ්නයෙන් පටන් ගන්නම්. ඉහත ගණනය කිරීමේදී ඩොලර් එකේ අගය වෙනස් වීම සලකා නැහැ. නමුත්, ඇත්තටම ඩොලර් එකේ අගය වෙනත් විදේශ මුදල් වලට සාපේක්ෂව මෙන්ම ඩොලර් එකටම සාපේක්ෂවත් (කාලයත් සමඟ) වෙනස් වෙනවා. ඒ බව නොසලකා හැරීම මෙහි පෙනෙන්නට තිබෙන වෙනසට හේතුවක් කියා කියන්නත් පුළුවන්.
Deleteඩොලර් එකට සාපේක්ෂව යම් අගයක් ප්‍රකාශ කිරීමෙන් අදහස් වන්නේ ඒ අගයට ඩොලර් හා රුපියල් හුවමාරු කළ හැකි බවයි. එහිදී ඇමරිකන් ඩොලර් කොයි රටෙන් වුවත් එන්න පුළුවන්. නමුත්, ඇමරිකන් ඩොලර් සංසරණයට එකතු කළ හැක්කේ ඇමරිකාවට පමණක් නිසා මූලික වශයෙන් ඩොලරයේ අගය තීරණය කෙරෙන්නේ ඇමරිකාවෙන්.
ඔබේ ප්‍රශ්නය මම හරියට තේරුම්ගෙන නැත්නම් කරුණාකර නැවත අහන්න.
අපේ මේ ගැන දැනීම ගොඩක් අඩුයි.එක නිසා මේ විදිහට විස්තරාත්මකව ලිවීම හොදයි. එවිට තේරුම් ගන්න පහසුයි
ReplyDeleteස්තුතියි, ජීවන්ත!
Deleteමේ කරුණ ගැන අවධානය දැක්වූවාට ස්තූතියි
ReplyDelete