වෙබ් ලිපිනය:

Wednesday, January 6, 2016

1984 සිට 2014 දක්වා

"නවවන තුන් අවුරුදු සැලැස්මේ හයවන කාර්තුවද වන, 1983 වසරේ සිවුවන කාර්තුව තුළ නිෂ්පාදනය කෙරෙනු ඇතැයි නිල වශයෙන් පුරෝකථනය කෙරුණු විවිධ පාරිභෝගික භාණ්ඩ වල නිෂ්පාදන මට්ටම් දෙසැම්බර් මස 19 වන දින ටයිම්ස් පුවත්පතේ පළ වී තිබුණේය. අද පළ වී ඇති සැබෑ නිෂ්පාදන මට්ටම් පිලිබඳ පුවත්පත් නිවේදනය අනුව මේ පුරෝකථන සැබෑ සංඛ්‍යා සමඟ ළඟපාතකින්වත් නොයයි. වින්සන්ට්ට කරන්නට ඇත්තේ පසුව පළකෙරුණු සංඛ්‍යා සමඟ ගැලපෙන පරිදි මුලින් පළකළ සංඛ්‍යා නිවැරදි කිරීමයි."

"Or again, The Times of the nineteenth of December had published the official forecasts of the output of various classes of consumption goods in the fourth quarter of 1983, which was also the sixth quarter of the Ninth Three-Year Plan. Today's issue contained a statement of the actual output, from which it appeared that the forecasts were in every instance grossly wrong. Winston's job was to rectify the original figures by making them agree with the later ones."

"උදාහරණයක් වශයෙන්, සුලභතා අමාත්‍යංශය පුරෝකථනය කර තිබුණේ කාර්තුව තුළ සපත්තු නිෂ්පාදනය කුට්ටම් මිලියන 145ක් බවයි. දැන් සැබෑ නිෂ්පාදනය ලෙස දක්වා ඇත්තේ සපත්තු කුට්ටම් මිලියන 62කි. කෙසේවුවද, වින්සන්ට් විසින් මේ පුරෝකථනය පිලිබඳ වාර්තාව නැවත ලිවීමේදී, හැමවිටම සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන පරිදි නිෂ්පාදන ඉලක්ක බලාපොරොත්තු වූ මට්ටමද ඉක්මවා ළඟා කරගත් බව පෙන්වීමට ඉඩ සලසමින්, මේ සංඛ්‍යාව 57 ලෙස පහළට ගෙන ආවේය. ඔය මොනවා ලිවුවත්, මිලියන 62 ලෙස වෙනස් කළ පුරෝකථනය මිලියන 145ට හෝ මිලියන 57ට වඩා සත්‍යයට ආසන්නයැයි කියන්නට නුපුළුවන. එක සපත්තුවක්වත් නිපදවා නොතිබෙන්නටත් ලොකු ඉඩකඩක් තිබේ. නිපදවා ඇති සපත්තු ගණන කිසිවෙකු හරියටම නොදන්නවා විය හැකි අතර එය දැනගැනීමට කිසිවෙකුට උවමනාවක්ද නැති විය හැකිය. සියල්ලන්ම දැන සිටි කරුණනම්, වාර්තා අනුව කාලයක් තිස්සේම කාර්තුවෙන් කාර්තුවට සපත්තු නිෂ්පාදනය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගියත්, ඕෂනියාවේ වැසියන්ගෙන් අඩක් පමණම ඇවිද්දේ සපත්තු තියා සෙරෙප්පුවත් නැතුව බවයි. අනෙකුත් ලොකු කුඩා සංඛ්‍යාලේඛණ සියල්ලේම තත්ත්වයද මෙයට වඩා වෙනස් වූයේ නැත."

ඉහත කොටස් උපුටාගනු ලැබුවේ ජෝජ් ඕර්විල් යන ආරූඪ නාමයෙන් ලියූ ඉංග්‍රීසි ලේඛක එරික් ආතර්  බ්ලෙයාර්ගේ "1984" කෘතියෙනි. වඩා ප්‍රචලිත "සත්ත්ව ගොවිපොළ" (Animal Farm) කෘතියද ඔහු ලිව්වේ මේ ආරූඪ නාමයෙනි. 1949 වසරේදී ප්‍රකාශයට පත් කළ මේ කෘතියෙහි වසර 35කට පසු ලෝකය මේ ලේඛකයා විසින් දකින අයුරු චිත්‍රනය කර තිබේ. බ්ලෙයාර් දුටු අනාගතය වෙනත් ඇතැම් විද්‍යා ප්‍රබන්ධ වල පෙන්වන දියුණු අනාගත සමාජ මෙන් සුන්දර එකක් වූයේ නැත. මේ පොත ගැන විස්තර කියනවානම් බ්ලොග් සටහනක් නොව වෙනම බ්ලොග් එකක්ම ලියන්නට තරම් දේවල් තිබේ. ඒ නිසා ඒ තරම් දුරට නොගොස් කෙටියෙන් කියනවානම් ඔහු දුටු 1984 රජය විසින් මිනිසුන් හිතන පතන ආකාරය පවා පාලනය කරන යුගයකි. සිංහලටද පරිවර්තනය වී ඇති, 1984 මෙන්ම සත්ත්ව ගොවිපොළ කෘති ලිවීමට බ්ලෙයාර්ට උත්තේජනයක් සැපයූවේ ස්ටාලින්ගේ සෝවියට් දේශය සහ හිට්ලර්ගේ ජර්මනියයි.

අප වර්තමානය ගැන සතුටට හෝ දුකට පත්වන්නේ අතීතය සමඟ සැසඳීමෙනි. අතීතයේ පැවතුනාට වඩා වර්තමාන ජීවන තත්වය හොඳනම් අපි සතුටු වෙමු. එසේ නැත්නම් දුක්වෙමු. සැසඳීමක් නැත්නම් සතුටක් හෝ දුකක්ද නැත.

අතීතය යනු කුමක්ද? අතීතය යනු කලකට පෙර සැබෑවටම සිදුවූ දෙයයැයි යමෙකුට කිව හැකිය. එහෙත්, මේ 'සිදු වූ දෙය' අපි හරියටම දන්නේ කොහොමද? එක් ක්‍රමයක්නම් අතීත මූලාශ්‍ර පරිශීලනය කිරීමයි. ඒ ඇසුරෙන් අපි අතීතය ගැන 'දැන ගනිමු'. මේ මූලාශ්‍ර නිවැරදි නැත්නම් අපට සැබෑවටම සිදුවූ දෙය දැනගත හැකිද? තවත් එක් ක්‍රමයක් තිබේ. ඒ අපේ මතකයයි. එසේනම්, අතීත මූලාශ්‍ර සහ පුද්ගල මතකයන් සංශෝධනය කිරීමෙන් අතීතය අපට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිය. එසේ කිරීමෙන් අපේ සතුට වැඩිකරගත හැකිනම් එය නොකළ යුතුද? මේ බ්ලෙයාර් දුටු 1984දී පාලකයින් අනුගමනය කරන දර්ශනවාදයයි.

උදාහරණයක් ලෙස මේ වස‍රේ ආර්ථික වර්ධනය 5-6%ක් පමණ වුවහොත් අප සතුටු විය යුතුද? එය තීරණය වන්නේ පසුගිය වසර වල ආර්ථික වර්ධනය කුමක්ද යන්න මතය. පසුගිය වසර වල ආර්ථික වර්ධනය 3-4% පමණ වීනම් 5-6% යනු ඉතා හොඳ මට්ටමකි. එහෙත්, පසුගිය වසර වල ආර්ථික වර්ධනය 7-8% මට්ටමේ වී නම් මෙය හොඳ තත්ත්වයක් නොවේ. වර්තමානය යනු කාටත් ඇස්පනාපිට පේන්නට ඇති දෙයයි. එය වෙනස් කිරීම තරමක් අසීරුය. එහෙත්, අතීතය වෙනස් කිරීම එතරම් අපහසු නැත. මේ බ්ලෙයාර්ගේ 1984 දර්ශනවාදයයි. කලකට පෙර මංගල සමරවීර විසින් මහින්ද යුගයේ ලංකාවද බ්ලෙයාර් දුටු 1984 සමඟ සසඳා තිබුණේය.

කෙසේවුවද, වාසනාවට සැබෑ 1984 බ්ලෙයාර් දුටු ආකාරයේ එකක් වූයේ නැත. එය පුද්ගල නිදහස වඩා දියුණුව පැවති වසරකි. 1984 සිට දැන් තවත් වසර 32ක් ගත වී තිබේ. හදිසියේ මට 1984 කෘතිය සිහිවූයේ පසුගිය වසර වල ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන දත්ත පිරික්සීමේදීය.

නිදහසින් පසු ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තේ එකම එක් වරක් පමණි. ඒ 2001 වසරේදීය. මේ වසර තුළ බලයේ සිටියේ පොදු පෙරමුණු රජයයි. එහෙත්, දෙසැම්බරයේ පැවති මහ මැතිවරණයෙන් එජාපය ජයගෙන රජයක් පිහිටවූ බැවින් 2001 ආර්ථික වර්ධනය පිලිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත්වන විට ජනාධිපති ධුරය චන්ද්‍රිකා කුමාරණතුංග අතේ තිබුණත් ආණ්ඩු කළේ පොදු පෙරමුණ නොවේ. නිකමට ලිවුවාට මේ දෙකේ සම්බන්ධයක් නැත. පොදු පෙරමුණම බලයේ සිටියත් ආර්ථික වර්ධනය සෘණ අගයක් නොවී පැවතෙන්නට විදිහක් නැත.


පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ ආර්ථික වර්ධනය වාර්තාගත ලෙස ඉහළ ගියේය. මහ මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවේ පළමු පරිච්ඡේදයේ පළමු වාක්‍යය අනුව "ශ්‍රී ලංකා ආර්ථිකයට දේශීය සහ විදේශීය කම්පන වලට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පෙන්නුම් කරමින් 2014 වසරේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) 2013 වසරේදී වාර්තා වූ සියයට 7.2 ක වර්ධනයට සාපේක්ෂව සියයට 7.4කින් වර්ධනය විය".

මහ බැංකුව විසින් වාර්ෂික වාර්තාවට අමතරව වසර මැද වනවිට ආර්ථිකයේ තත්ත්වය ගැන විස්තර කරමින් තවත් වාර්තාවක් වාර්ෂිකව පළකරයි. මෙය හැඳින්වෙන්නේ "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" යනුවෙනි. 2014දී මේ තරම් හොඳට තිබුණු ආර්ථිකයට 2015දී වෙන්නේ කුමක්ද යන්න කාටවුණත් උනන්දුවක් ඇති කරවන ප්‍රශ්නයකි. මේ තියෙන්නේ ඒ ගැන මහ මැතිවරණයට පසු, සැප්තැම්බරයේදී මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරුණු "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා - 2015 සුවිශේෂ සිදුවීම් සහ 2016 අපේක්ෂාවන්" වාර්තාව කියන දෙයයි.

"2014 වසරේ වාර්තා කළ මූර්ත දළ ජාතික නිෂ්පාදිතයේ (ද.දේ.නි.) සියයට 4.5ක වර්ධනයට සාපේක්ෂව ආර්ථිකය, 2015 වසරේදී සියයට 5.7කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරන අතර, ආර්ථිකයේ අංශ තුනෙහිම එකතු කළ අගයේ ඉහළ යාම මේ සඳහා දායක වනු ඇත". තවදුරටත් වාර්තාව පිරික්සීමේදී 2014 වසරේදීද ආර්ථික වර්ධනය පෙර වසරේදීට වඩා වැඩි වී තිබේ. 2013 වසරේදී ආර්ථික වර්ධනය 3.4%ක් පමණක්ව පැවති බැවිනි.

ඉකොනොමැට්ටා 1984 කියවා තිබුණු නිසා 2014 කියවා කැරකිල්ලක් හැදුණේ නැත. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ආර්ථික වර්ධනය ඇතුළු 'ජාතික ගිණුම් ඇස්තමේන්තු' සිදුකරන ක්‍රමවේදය තාක්ෂණිකව වඩා නිවැරදි වන පරිදි වෙනස් කර තිබේ. මේ නව ක්‍රමවේදය අනුව 2010 වසරේ සිට 2014 වසර දක්වා දළ දේශීය නිෂ්පාදිතය නැවත ගණනය කිරීමේදී මෙසේ ආර්ථික වර්ධන ප්‍රතිශතද වෙනස් වී ඇත.

(Images: http://mycatbirdseat.com, carrieslager.wordpress.com, www.cbsl.lk)


27 comments:

  1. ඉකෝ
    ගොඩ දවසකට පස්සේ එන්න වුනේ.පරන ලිපි කිහිපයත් බලලම එන්නම්.

    ReplyDelete
  2. ජෙනටික්ස් වලට එපිජෙනටික්ස් සාදක බලපෑම් කරන්නා සේ ආර්තික විද්යාවට බලපෑම් කරනා වෙනත් සාදක සහ එහි ප්‍රතිපල ගැන ලිපියක් ලියන්න බැරිද?

    උදාහරනයක් ලෙස ලෝක දේශපාලන බල කඳවුරු වලට සහයෝගය දක්වන සහ නොදක්වන රටවල ආර්තික උන්නතිය.... බලවත් රටවල් තරහා නිසා ගොඩ යෑමට හැකි නොවූ (කියුබාව වැනි ) රටවල්, කලු ආර්තිකයන් නිසා (මත්ද්‍රව්ය වැනි ) දියුනු වූ රටවල්, මහා ජනගහනයක් ඇති රටවල්ට ලඟින් ඉන්නා නිසා සේවා සපයා දියුනු වූ කස්ටිය, චීනයේ ස්ට්‍රින්ග් ඔෆ් පර්ල්ස් වැඩපිලිවෙලට යොදාගතහැකි බූගෝලීය පිහිටීම් ඇති රටවල් (සිරි ලන්කාව වැනි ) කරුනු කාරනා විශ්ලේශනය කර ආර්තික විද්යාත්මක පැහැදිලි කිරීමක් ලියන්නේ නම් අනර්ගය....

    ReplyDelete
    Replies
    1. Nice proposal. I also request from Mr. Eco to post such valuble series of posts to improve our knowledge as time permits. Thanks.

      Delete
    2. 'ටු ඩූ' ලිස්ට් එකට දාගන්නම්. තව පෝස්ට් දහ පහළොවකටම කරුණු ඔළුවේ එකතු වෙලා තියෙනවා. ටයිප් කරන්න වෙලාවකුයි හොයාගන්න ඕනෑ. එයාපෝර්ට් එකක නිදිමරන අතරේ කලින් පෝස්ට් දෙක තුනනම් ටයිප් කරගත්තා.

      Delete
  3. අපි පැත්තකට වෙලා නළල රැලි ගහගෙන කියෝනවා මෙව්වා... මක්ක හරි ඔලුවට වැටෙයි නෙ කියලා.අඩුගානෙ රැවටෙන්නැත්යුව වත් ඉන්න ඇහැකි නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  4. 1984 කියවලා තිබුන නිසා 2014 කියවලා ඉකොනොමැට්ටට කරකැවිල්ල හැදුනෙ නැතුවට ඔය දෙකම කියවලා නැති මේ මං වගේ අයට කරකැවිල්ල හැදෙනවනෙ ඉකොනොමැට්ටගෙ බොජුන් වලට

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකේ තියෙන ඒවානම් ඉකොනොමැට්ටාගේම ඒවා නෙමෙයි.

      Delete
  5. Replies
    1. Can't ignore the request when 3 people ask. Just need a little bit of time.

      Delete
  6. දැන් රුපියලේ අගය අවප්‍රමාණය විමගැන මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඉඩ ලැබෙන විදිහට ලියන්නම්. කෙටිම පිළිතුරනම් එය මේ කාලය වන විට අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිතව තිබුණු දෙයක්.

      Delete
  7. මේක මටනං බරපතළ වැඩිය. එනමුත් මොකක්ද මංද දෙයක් ඔලුවට වැටුණා

    ReplyDelete
    Replies
    1. සරලවම කියනවනම් 7.2% හා 7.4% ලෙස ගණනය කළ ලංකාවේ 2013, 2014 වසර වල ආර්ථික වර්ධන වේගයන් නැවත ගණනය කිරීමේදී 3.4% හා 4.5% වෙලා.

      Delete
    2. ගිය ආණ්ඩුවේ කබ්රාල් කාරයා බොරු කලා කිව්වා නම් ඉවරයි නේ. නැත්නම් සුන්දර් ජයා ද ?

      Delete
    3. ඇත්තටම මේක ඒ තරම්ම සරල දෙයක් නෙමෙයි. මේ සංඛ්‍යාලේඛණ පිටුපස විශාල පිරිසක් ඉන්නවා. ඒවා තනි කෙනෙක් හදන ඉලක්කම් නෙමෙයි. ඒ අය අතරේ විවිධ දේශපාලන මත ඇති අය වගේම අදේශපාලනික අයත්, වෘත්තීය ගරුත්වය ගැන සැලකිලිමත් අයත් ඉන්නවා. ඇත්තටම මෙතැන සිදු වී තිබෙන්නේ මේ සංඛ්‍යා ගණනය කරන ක්‍රමවේදය අළුත් කිරීම. මෙවැනි වෙනසක් කල විට ප්‍රතිපලය තරමක් වෙනස් වීම සාමාන්‍යයි.

      ප්‍රශ්නය තියෙන්නේ ඉන්පසුව. එවිට වෙන්නේ ඔය පර්යේෂණ පත්‍රිකා පළ වන විටත් සිදුවන විදිහේ දෙයක්. ප්‍රතිපල අවශ්‍ය පරිදිනම් වෙනස අනුමත වෙනවා. නැත්නම් එය ප්‍රසිද්ධ නොවී පරණ විදිහටම යනවා. එතකොට එන්න එන්නම නිවැරදි සහ ප්‍රකාශිත සංඛ්‍යාලේඛණ අතර පරතරය වැඩි වෙනවා. මේක ගොඩදාගන්න පහසුම ආණ්ඩු වෙනසක් සිදු වුන අළුත. ඇඟිලි ගහන්න දැනුමක් කාටවත් නැති වූ විට නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කළ හැකි වෙනවා. හැබැයි බොහොම ටික කාලයකට.

      Delete
  8. මට 1984 කියවල ඔලුවෙ කැක්කුම හැදුන මේ ක කියවල මොලේ කොලොප්පං වුණා..
    හම්මියෝ
    1984 තමයි දැනට ලියවෙලා තියෙන හොදම ප්‍රති උතෝපියානු පොත් අතර පළවෙනි තැන තියෙන්නෙ. ඒක තනිකරම කොමියුනිස්ට් පාලනයෙ අදුරු පැත්ත විතරයි මම දැක්කෙ හිට්ලර් හොදයි ලොකු සහෝදරයට වැඩිය බුහ්

    ReplyDelete
    Replies
    1. කොමියුනිස්ට් පාලනයේ 1984 කියනවා වගේ සිද්ධ වුනේ නැහැ මහේෂ්. ස්ටාලින් ගේ කාලේ ඒක වුණා . ඊට පස්සේ කාලේදී උන් එච්චර සාර්ථක වුනේ නැහැ. මිනිස්සු නිලධාරීන් ට වැඩිය දැනුවත් වුණා . දැන් 1984 කියන්නේ ඇමෙරිකාව සහ එංගලන්තය කියල මටහිතෙන්නේ. චීනයද ඇතුළුව.

      Delete
    2. මගේ ලිස්ට් එකෙත් උඩින්ම තියෙන පොතක්. මම කැමති තවත් ප්‍රති-උතෝපියානු පොතක් "Make Room! Make Room!".

      Delete
  9. සත්ව ගොවිපල නම් ස්ටාලින්ගේ රුසියාව ගැන. 1984 නම් 1945 න පසු පිහිටවූ නැගෙන හිර ජර්මනිය ගැන කියල මට හිතෙන්නේ. නමුත් දැන්නම් 1984 කියු හැම දේම වෙන්නේ බ්‍රිතාන්‍යයේ , ඇමෙරිකාවේ, රුසියාවේ හා චීනයේ. හේතුව අපි කරන හැම දෙයක්ම ආණ්ඩුව විසින් සොයා බැලීමයි හෝ හැකි අවස්ථාවක සෙවීමට හැකි කමයි . බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේ මෙය අන්තිම දරුණුයි. බිසිනස් වලිනුත් සොයා බලන අතර අපේ ක්‍රියාකාරකම් ගැන දත්ත ඔවුන් මිලදී ගන්නවා. ඔර්වෙල් ගේ 1984 සතයක් වී ඇත්තේ මෙහියි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකනම් ඇත්ත තමයි. ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරනවානම් බිග් බ්‍රදර් හැම වෙලාවෙම සාක්කුවේ ඉඳන්ම බලා ඉන්නවා. පොඩි වෙනසකට තියෙන්නේ සල්ලි තියෙන ඕනෑ කෙනෙකුට බිග් බ්‍රදර් වෙන්න පුළුවන් වීම.

      Delete
    2. මම ඒකම නෙමේ කිව්වේ. ලන්ඩන් වල CCTV තොගයක් තියනවා හැම වෙලේම චෙක් කරන. ඊළඟට ඕනෑම ස්මාර්ට් ෆෝන් එකක GPS ඔන් කරලා තියනවා නම් ඉන්න තැන දන්නවා . අපි අන්තර් ජලයේ කරන ඕන දෙයක් ඕන වෙලාවක ගන්න පුළුවන්. බර්ර්ක්ෂයර් වල හැම සිග්නල් එකක්ම දෙබසක් ම රෙකොර්ඩ් වෙනවා. listening සstations.

      Delete
    3. //ඊළඟට ඕනෑම ස්මාර්ට් ෆෝන් එකක GPS ඔන් කරලා තියනවා නම් ඉන්න තැන දන්නවා . අපි අන්තර් ජලයේ කරන ඕන දෙයක් ඕන වෙලාවක ගන්න පුළුවන්.// මම අදහස් කළෙත් එයම තමයි. මේ දත්ත බොහෝ විට මුදල් ගෙවා මිලදී ගන්නත් පුළුවන්නේ. දැන් අළුතින්ම රක්ෂණ සමාගම් වලින් පොඩි උපකරණයක් දෙනවා. මෙය ගත්විට වාරිකය ටිකක් අඩුවෙනවා. ඉන්පසුව වාහනය එලවන රටාවට අමතරව යන එනතැන් සියල්ලම ඔවුන් සතුයි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...