වෙබ් ලිපිනය:

Saturday, May 6, 2017

මාසෙ මාරු වෙන හැටි



කාලයනම් වූ සංකල්පය වැඩිදියුණු වී ඇති ආකාරය සලකන විට, ඒ හා අදාළ මිනිසුන් වඩාත්ම සංවේදී ස්වභාවික සංසිද්ධිය වනුයේ චක්‍රීය ලෙස සිදුවන දිවා රාත්‍රී මාරුවීමයි. දිවා රාත්‍රී චක්‍ර වලට මිනිසා ජීව විද්‍යාත්මක ලෙසම සංවේදීය. දවසනම් වූ සංකල්පය මේ ස්වභාවික සංසිද්ධිය මත පදනම් වී ඇත. භෞතික වශයෙන් දවසනම් වූ සංකල්පය සම්බන්ධ වන්නේ පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වීමටය.

අවුරුද්ද නම් වූ සංකල්පය බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ පොළොවේ යම් තැනක සිදුවන සෘතු විපර්යාස චක්‍රය සමඟය. මේ චක්‍රය ඉර වටා පොළොවේ ගමනට සම්බන්ධය.

මාසය නම් වූ සංකල්පය බොහෝ දුරට හඳ සමඟ සම්බන්ධ වූවකි. මාසය යන වචනය සිංහලයට එන්නේ සකු බසිනි. එය සකු බසේ මූල භාෂාව වන අවෙස්තානු භාෂාවේ මාහ යන වචනයෙන් බිඳී එයි. මාහ යන්නෙන් මාසය මෙන්ම හඳද අදහස් කෙරේ. මහ යන වචනයද සිංහලෙන් මාසය හඳුන්වන වචනයකි. ඉංග්‍රීසි භාෂාවේ මන්ත් යන වචනය සැලකුවද, එය මොනාත් යන පැරණි ඉංග්‍රීසි වචනයෙන් බිඳී එන්නකි. මොනාත් යන වචනය මූන් යන වචනය බිඳී එන මොනා යන පැරණි ඉංග්‍රීසි වචනයෙන් ව්‍යුත්පන්න වූවකි.

පැරණි පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය සැලකුවද, වඩා ජනප්‍රිය සූර්ය කේන්ද්‍රීය ආකෘතිය සැලකුවද හඳ පොළොව වටා කැරකෙන බව සරල ලෙස උපකල්පනය කෙරේ. වඩාත් නිවැරදි ලෙස සැලකිය හැකි ආකෘතියකදී සිදුවන්නේ හඳත් පොළොවත් මේ වස්තු දෙකේ පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා කැරකීම වුවත්, එය පිහිටා ඇත්තේ පොළොව මධ්‍යයේ සිට පොළොවේ පෘෂ්ඨයට වඩා අඩු දුරකින් පොළොව තුළම නිසා පළමු උපකල්පනය එතරම් නරක එකක් නොවේ.

හඳට පොළොව වටා යන්නට සාමාන්‍ය වශයෙන් දින 27.32166ක් (දින 27ක්, පැය 7ක්, මිනිත්තු 43ක් හා තත්පර 12ක්) ගත වන අතර මෙසේ ගමන් කිරීමේදී සූර්යයා, පොළොව හා හඳ පිහිටන කෝණය අනුව අපට අමාවක, අටවක, පසළොස්වක ආදී ලෙස හඳ වෙනස්ව පෙනේ. 


ඉහත රූප සටහනේ පරිදි, ඉර හා හඳ පොළොවට ප්‍රතිවිරුද්ධ දිශාවල ඇති විට හඳේ පොළොවට පෙනෙන අර්ධය ඉර වෙත යොමු වී තිබෙන නිසා අපට හඳ සම්පූර්ණ රවුමක් ලෙස පෙනේ. එහෙත්, හඳ ඉර හා පොළොව අතර ඇති විට අපට හඳේ ඉර වෙත යොමුවී ඇති පැත්ත නොපෙනෙන අතර පොළොව දෙසට යොමුවී ඇත්තේ එහි අඳුරු පැත්තයි. ඒ නිසා අපට හඳ නොපෙනේ. ඉර හා හඳ පොළොව සමඟ අංශක 90ක කෝණයක් හදන අටවක දිනක අපට හඳේ ඉර වෙත යොමු වී ඇති දීප්තිමත් පැත්තෙන් අඩක් හා අඳුරු පැත්තෙන් අඩක් පෙනෙන නිසා එය අර්ධ වෘත්තයක් සේ පෙනේ. මේ අයුරින් හඳේ වක්‍රය වෙනස් වීම අටවක, නවවක, දසවක ආදී ලෙස හැඳින්වේ.

හඳේ වක්‍රය වෙනස්වීම චක්‍රීය ලෙස සිදුවුවත් ඒ සඳහා ගතවන කාලය හඳට පොළොව වටා යාමට ගතවන දින 27.32166ක කාලය නොවේ. පොළොව, හඳ හා ඉර තනි ඉරක පිහිටන සේ සැලකිය හැකි අමාවක දිනක සිට දින 27.32166කට පසු හඳ පොළොව වටා වටයක් සම්පූර්ණ කළත්, එම කාලය තුළ පොළොව හඳද සමඟ ඉර වටා කිසියම් දුරක් යන නිසා නැවත පෙර සේ පොළොව, හඳ හා ඉර තනි ඉරක පිහිටීම සඳහා හඳ තවත් දුරක් පොළොව වටා ගමන් කළ යුතුය. මේ සඳහා තවත් දින 2.21007ක පමණ ගතවේ. ඒ නිසා පෝය දෙකක් අතර ගෙවෙන කාලය දින 29.53059කි (දින 29, පැය 12, මිනිත්තු 44 හා තත්පර 03කි). ලෝකයේ විවිධ දිනදසුන් ගණනාවක මාසය සඳහා පදනම් වූයේ මෙසේ පොහොය දෙකක් අතර ගෙවෙන කාලයයි. මේ කාලය චන්ද්‍රමාසයක් ලෙස හැඳින්විය හැකිය.

චන්ද්‍ර මාසයක දිනගණන රවුම් ගණනක් නොවන නිසා මාසයක දින ගණන දින 29 හෝ 30 ලෙස කිසියම් රටාවකට යොදාගන්නට සිදුවේ. මුල්ම කාලයේදී බොහෝ සංස්කෘතීන් වල සිදුවුණේ අමාවක හෝ පසළොස්වක පෝය දිනෙන් පසු එළඹෙන දිනෙන් පටන්ගෙන නැවත එවැනිම ආකාරයේ හඳක් දකින්නට ලැබෙන තුරු ගතවන කාලය මාසයක් ලෙස සැලකීමයි. මේ ක්‍රම දෙක අමාන්ත හා පූර්ණාන්ත ක්‍රම ලෙස හැඳින්වේ. ඉන්දියාවේ වෙරළෙන් ඈත උතුරු පෙදෙස් වල මුල් වෛදික යුගයේදීත්, සියවස් කිහිපයකදී හැර, පසුකාලීනවත් භාවිතා වුනේ වෛදිකයන්ගේ පූර්ණාන්ත ක්‍රමයයි. ලංකාවේත්, නාගයින් (නාවිකයින්) ජීවත් වූ ඉන්දියාවේ වෙරළබඩ පෙදෙස් වලත් භාවිතා වුනේ අමාන්ත ක්‍රමයයි. බයිබලයේ පරණ තෙස්තමේන්තුව අනුව, ආරොන් හා මෝසස් මුල් වී ඊශ්‍රායෙල් ජනතාව වහල් කමින් මුදාගන්නට පෙර සිටම පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේ භාවිතා වී ඇත්තේද ලංකාවේ තවමත් භාවිතා වන අමාන්ත චන්ද්‍ර මාස ක්‍රමයයි.

පුර සඳ මෙන් නොව අමාවකින් පසු එළැඹෙන අළුත් සඳ නිරීක්ෂණය කිරීම අපහසුය. ඒ නිසා, අමාන්ත ක්‍රමය පැවති සංස්කෘතීන්හි මේ නව සඳ බැලීමට විශේෂ වැදගත්කමක් ලැබී ඇත. ඉස්ලාම් ආගමික චාරිත්‍ර සමඟ නව සඳ බැලීම අදටත් බැඳී තිබේ. මේ වන විට භාවිතයෙන් මුළුමනින්ම ඉවත්ව ගොස් තිබුණත් ලංකාවේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පළමු අංගය අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සඳ බැලීමයි.

සිංහල අලුත් අවුරුදු උත්සවය ලෙස මේ වන විට මුල් තැන ලැබෙන්නේ මේෂ සංක්‍රාන්තිය සැමරීමටය. එහෙත්, මේ පුරුද්දට වැඩිම වුණොත් ඇත්තේ අවුරුදු පන්සීයක පමණ ඉතිහාසයකි. කෝට්ටේ යුගයට පෙර ලංකාවේ මේෂ සංක්‍රාන්තිය සැමරූ බවට  හෝ සූර්ය වර්ෂ ක්‍රමය භාවිතා කළ බවට ඇති සාධක කිසිවක් ගැන මා දන්නේ නැත. එහෙත්, පෝය දින නැකැත් කෙළි පැවැත්වීම හා උත්සවාකාරයෙන් නව සඳ බැලීම ලංකාවේ සියවස් ගණනක් පුරා සිදුවී තිබේ. මෙයින්ද පළමුවැන්න ආර්ය බලපෑම නිසා බුද්ධ කාලයට ආසන්න කාලයක ඇරැඹුණු බවත්, දෙවැන්න ඊටත් වඩා පැරණි බවත් සිතන්නට පුළුවන.

පොළොව, ඉර හා හඳ අතර සාපේක්ෂ චලිතය ඉතා ආසන්න ලෙස ආකෘතිගත කරන්නට පෙර බොහෝ ශිෂ්ඨාචාර වල ජීවත් වූ මිනිසුන් අවුරුද්දක් අවසන් වූ බව දැනගත්තේ සෘතු විපර්යාස නිරීක්ෂණය කිරීමෙනි. ඉස්ලාම් හිජ්රි කැලැන්ඩරය වැනි ඇතැම් දින දසුන් මේ සෘතු විපර්යාස මුළුමනින්ම නොසලකා හරිමින් චන්ද්‍ර මාස දොළහක් අවුරුද්දක් ලෙස සලකද්දී, තවත් අය චන්ද්‍ර මාස නොසලකා හරිමින් වසරක කාලය දොළහකට බෙදා දින 30ක හෝ 31ක මාස හදාගන්නට පෙළඹුණේය. ලංකාව, ඊශ්‍රායලය ඇතුළු තවත් බොහෝ රටවල භාවිතා වුණේ මේ ක්‍රම දෙකේ සම්මිශ්‍රණයකි.

චන්ද්‍ර සූර්ය කැලැන්ඩර වල මාසයක් චන්ද්‍රමාසයක් සමඟ සමපාතව පවත්වාගන්නා අතර වර්ෂය තීරණය කෙරුණේ සෘතු විපර්යාස සිදුවන චක්‍රය අනුවය. මේ චක්‍රය සූර්යයා වටා පොළොවේ ගමනට ආසන්නව සමපාත වූවකි. මෙහිදීද මතුවූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ සූර්ය වර්ෂයකට අයත් වන චන්ද්‍ර මාස ගණන රවුම් ගණනක් නොවීමයි. මේ ගණන මාස 12.39 පමණ වන නිසා චන්ද්‍රමාස හා සූර්ය වර්ෂ ඒකචාරීව (in synchronize) පවත්වා ගැනීම සඳහා මාස දොළහේ සාමාන්‍ය අවුරුදු හා මාස දහතුනේ අධික අවුරුදු වල මිශ්‍රණයක් අවශ්‍ය වේ. චන්ද්‍ර-සූර්ය දින දර්ශන භාවිතා කළ ලංකාව ඇතුළු බොහෝ රටවල පැවතුණේ එවැනි මිශ්‍ර ක්‍රමයකි.

චන්ද්‍ර-සූර්ය දින දර්ශන භාවිතා කළ ලෝකයේ බොහොමයක් සංස්කෘතීන්හි අලුත් අවුරුද්ද ලෙස සැලකුණේ වසන්ත විෂුවයෙන් පසු එළඹෙන අලුත්  චන්ද්‍රමාසයයි. එතැන් පටන් මාස දොළහක් ගතවූ පසු, වසන්තය එළැඹ ඇති බවක් නොපෙනේනම් දහතුන්වන අධික මාසයක් එක් කර වසර දිගු කර ගැනුණේය. පැරණි ඊශ්‍රායලයේ මෙය තීරණය කර ඇත්තේ තිරිඟු පැසී ඇත්ද යන සාධකය මතය. 


ලංකාවේ මෙය තීරණය කළ ආකාරය හරියටම පැහැදිලි නැතත් වසන්ත විෂුවයෙන් පසු එළැඹෙන චන්ද්‍ර මාසය අලුත් අවුරුද්දක මුල ලෙස කලක සිටම සලකා ඇති බවනම් පැහැදිලිය. මේ මාසය බක් හෙවත් බග මාසයයි. සාමූහික කටයුත්තක් ලෙස අලුත් සඳ බැලීම ලංකාවේ පැරණි සිරිතක්ව පැවතී ඇති අතර එයින්ද බක් මාසයේ අලුත්  අවුරුදු සඳ බැලීමට විශේෂ වැදගත්කමක් ලැබී තිබේ. 

(Image: www.divaina.com)

12 comments:

  1. බලන් ගියාම මේ ඉස්සර හිටපු මිනිස්සුන්ට අපිට වඩා ගනන් පුලුවන්නේ...මටනම් ෆුල් හොල්මන් මේ ඔක්කොම...

    ReplyDelete
    Replies
    1. සූර්ය සිද්ධාන්ත ගණිතය අද මට්ටමෙන් බැලුවත් ඉතාම සංකීර්ණයි.

      Delete
  2. හොද ලිපියක්... අළුත් නෙමේ අලුත් ලෙස නිවැරදි වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, මිතිල! දිගින් දිගටම වැරදියට ලියන වචන දැක්කොත් පෙන්නන්න.

      Delete
    2. වැරදි හොයනවා කියලා හිතන්න එපා හොදේ... පත්තරවල, ප්‍රවෘත්ති වල පවා දකින්න ලැබෙන දෙයක් මේක...

      Delete
  3. අපි නම් පෝය දෙකක් එක මාසයට සෙට් වෙලා තියන වේලාවක , මේවා ගැන මෙලෝ හසරක් හිතන්නේ නැතිව
    " අඩෝ මරුනේ බන් මේ මාසේ පෝය නිවාඩු දෙකක් තියනවා " කියලා කියනවා.

    ReplyDelete
    Replies
    1. අවසාන වශයෙන් බොහෝ දෙනෙකුට වැදගත් වෙන්නේ ඔය වගේ දේවල් තමයි.

      Delete
  4. ආදිකාලේ පැරන්නෝන්ට කරන්න දෙයක් නැති හින්දා කරන්න ඇත්තේ උඩ බලාගෙන සද තරු හිරු ගැන කල්පනා කරපු එක වෙන්න ඇති. ෆෙස්බුක් ඉන්ටර් නෙට් එහෙම තිබුනානම් ඔය කිසිම දෙයක් එයාලා හොයාගන්නේ නෑ. එහෙම නම් උන් ෆෙස්බුක් වලට වහල්වෙලා කාලේ නාස්තිකරලා දානවා.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයෙන් තරු බලන්නත් පුළුවන්. අජිත් ධර්මාගේ දැනුවත් කිරීමෙන් මමත් දමාගත් Stellarium ඇප් එක ඉතා හොඳ එකක්.

      Delete
  5. මේ ලිපිය මට කියවන්න පැය භාගයකට වඩා ගියා. හිතින් ඒ චලිතයන් මවමින් කියවන්න ඕනේ ඒක පැහැදිලිවම වටහාගන්න.

    මමත් අර ඇප් එක දා ගන්න ඕනේ

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...